Monday, January 31, 2011

ඉලංදාරියා. අපිත් ඔබත් සමග ඉන්නවා.....

ආයෙම බ්ලොග් එක පැත්තේ ආවේ බයෙන් වගේ. ඊයේ පොස්ට් එකට පස්සේ කට්ටියක් මාව හොයනවලු. යන්තමින් පොඩි සමාවක් වත් දෙන්න. ඔහොමත් කරනවද මේ අහිංසක මට.
හරි ඔය වල් පල් වලින් අද වැඩක් නෑ. බ්ලොග් සතිය ඉවර කරමු අදින්. ඒත් දැන් ලියන්න පොස්ට් නැති තරම්. එක දිගටම මාසයක් ලියන ඒවා සතියකින් ලියා දැම්මම ඉතින් වෙන මොනවා කරන්නද. 
ඒත් අපි කරන දෙයකින් ලෝකේ කාටම හරි සෙතක් සැලසෙනවානම් එය නේද අපට ලබන්න පුළුවන් ලොකුම තෘප්තිය. මේ අද කතාවයි. කවුරුත් දන්නවා ඇති අපේ බ්ලොග් ලියන ඉලංදාරියා. දැනට වසර එකහමාරක සිට ශ්‍රවණ ආබාධයකින් පසුවනවා. විස්තර බලන්න මෙතනට යන්න.
කියවලාම බලන්න. මේ මට හෙට වනදේ වෙන්න පුළුවන්. නැතිනම් ඔය කවුරුන් හෝ කෙනෙකුට වෙන දේ වෙන්න පුළුවන්. සියලු යස ඉසුරින් සපිරි ලොවකට පය නොතැබූ අප මේ වෙලාවේ මේ සහෘදයාට උදවු නොකර ඉන්නේ කොහොමද. ඔහුගේ ගිණුමට සල්ලි ටිකක් දාන එකම විතරක් නම් නොවේ පිළියම. අපි ඊට වැඩි යමක් ඔහු වෙනුවෙන් එකතු කරමු. ඔව් ඔබ අපි එකතු උනොත් ඒ රුපියල් මිලියන තුන කියන්නේ ලොකු මුදලක් නොවේ. අපි එකතු වී අපේ ඉලංදාරියා එක්ක අපට නිදහසේ කතා කරන්න දවසක් ලබා ගනිමු. එදිනට ඇසෙන්නේ ඉලංදාරියාගේ කන් දෙක නොවේ. අපි සියලු දෙනාගේම කන් සිය දහස් ගණනකි. 
එහෙමනම් අපිට ඔහු සමග කතා කර ඇවිත් ආයෙම ඔහු ගැන ලියන්න එන දවස වෙනුවෙන් පැතුම් පතමු. 
සුභ දවසක්..!!!

ප/ලි
බ්ලොග් සතිය අදින් අවසන්. ආයෙම පොස්ට් එකක් දාන එක තමා දැන් ප්‍රශ්නේ. තව මෙවගේ අපේ උදවු ඕන අය ඉන්නවද බලන්න. මේ පණිවිඩය බ්ලොග් නොකියවන පිරිස අතරේ බෙදන්න ඕන. අවංක සිතින්ම දායක වන්න. ඔහුගේ සිනාව දකින දවසේ ඔහු හා දොඩමළු වන දවසේ ඔබේ සිතේ ඇතිවන හැඟිම් අහන්න අපි බලා ඉන්නවා.
තව දෙයක් මේ කොල්ලව කවුරුවත් විකුණන්න නම් එපා. කිසිම තැනක. 

Sunday, January 30, 2011

සත්වෙනි දවස....

ඔන්න දවසක් එකෙක් එෆ් එම් එකකට කොල් කරල වැඩක් අනාගෙන ඒක වහන්න බ්ලොග් පොස්ට් සතියක් දාලලු. හැබැයි ඒකෙන් උනේ කොහෙදෝ යන එකෙක් එතන තිබුණ කුණු අඹයකට සෙට් වෙලා ඒක විදගෙන යන අතරේ මේ කේස් එක ඇහිල ඇවිත් පෝස්ට් එකක්ම දාලලු. දැන් බස් එකෙන් බේරෙන්න ගිය එකාට බස් එකෙයි බ්ලොග් එකෙයි දෙකෙන්ම ගරු සැලකිලි ලු. ඔය සෙට් එකේම කට්ටියක්ලුනේ කාලෙකට කලින් අර කොහේද ගඟක පාරු පදින්න ගියා කියන්නේ. සූ ගාල 17දෙනෙක් ලේලන්ඩ් වයිකිං සීට් 52 බස් එකක කට කපල එකක් ගියාලු. ඔය යද්දිනේ එකෙක් කට්ටියට ලෝකේ පළවෙනි වතාවට ගල්රෝලක් පෙන්නලා තියෙන්නේ. ඒකත් වෙලා තියෙන්නේ පොර කේක් කෑල්ලක් කන්න යනකොට. අප්පද බොල කියන්න බැරි උනානේ. ඔය ගමනෙදි එක්කෙනෙක් සම්මාන කලින්ම ගන්න කලින් දවසෙ ඊමේල් බෙදාගෙනම ඉන්විසිබල් මූඩ් එකේ  ගමනට සෙට් උනාලුනේ. පවු අසරණ හබීට තමා නහය දන ප්‍රශ්ණෙ. 
ඔය දවසේ පොරක්ගේ සැඟවුනු දක්‍ෂතා එළි උනා කියනවනේ. ඒ කියන්නේ ටියුබ් එකක නැගල වැඩිම වෙලාවක් වතුරේ පාවෙන්න පුළුවන් කියල පෙන්නපු එක. තව එකෙකුට කැමරාවක් සෙට් වෙලා. අපොයි කැමරාවේ 8ජීබී මෙමරිය ඉවර වෙනකල් ෆොටෝ ගහල මදි උනාම තව කැමරා හොයනවලු. ඌට සපෝට් එකට ෆොටෝ ගන්න තව ස්වීට් පොරකුත් සෙට් උනා කියන්නේ. ඔය ගමන යන්න කියනවනේ කැලේ ඉඳන් වැදි ජෝඩුවක් අස්සයෙක් පිටේ ආවා කියන්නේ. උන් දෙන්නා දවල් වහිනවාද කියල අහගෙන ආවේ  රෑ වැස්සෙ නාගෙනලු. ඔය අර පොඩි කාලේ අම්මිලා ඇත්තෝ නෑව්වට පස්සේ නෑවම කියනවනේ. 
දැන් ඉතින් කට්ටිය ආපසු යන්න කියල. ඒත් එකෙක් යන්නේ නැතිව හිටියාලු. ඒ ඌට ලැබුන කොමිස් එකයි කියන්නේ හාවෝ ටිකක් ගෙනාවට. 
තව පොරක් හිටිය කියනවනේ ඔය සෙට් එකේ වචන 10ක් කතා කරපු නැති. හැබැයි ඌ ගෙදර ගියාට පස්සේ සද්දේ බලන්න ඕන. එහෙම වෙන්නේ එක කටක් තිබුනට ඇඟිලි 10 කින් ටයිප් කරන හින්දලු. පොර අඳුන ගන්න හරි ලේසියි. වයසක පෝනියෙක් පිටේ යන්නේ. දැන්නම් ඌව රා කඩේට උකස් කරලලු. ඒ සල්ලි වලින් බාගයක්ම අරන් පොරක් බුලත් විට කාල. ඌම තමා බස් වලට කෙල්ලො ආවම රචනා ලියනවා කියන්නෙත්. කවදාවත් ආදරේ කරපු නැති එකෙක්ද මන්දා. 
කියන්න අමතක උනානේ. මේ ළඟදි දවසක නාරංගොඩ පැත්තේ බුවෙක් (එහෙම කිවුවට පොඩි කොල්ලෙක් කියල හිතන් ඉන්නේ) කාන්තා බස් එකකට නැගල මාර සීන් එකක් උනාලු. කොසු අමොරාගත් කෙලි පැටික්කියෙක් මහාමේරු පර්වතය සේ පන්නන් එද්දි යන්තම් කොල්ලොටිකක් පැනල බස් එක නවත්තලලු බේර ගත්තේ. 
මේවා වාර්තා කරන්න ගියේ රජකම් හොයන්න ගිහින් අන්තිමට කෙලවගෙන ආපු එකෙක් කියනවනේ. හැබැයි ඔය රජ මැදුරද කොහෙන්ද කියන තැනිනුත් ඇහෙනවා ඒ ඇත්ති හැම දේම අසාර්ථක උනාම මිදි ඇඹුල් කිව්වයි කියල.
එන විධිය හොඳ නෑ වගේ. මාධ්‍යයන්ට අත නොතබනු...
ඒ කිව්වට දුවන එක හොඳයි වගේ..
සුභ.. ද...ව....ස...ක්....!!! .......

Saturday, January 29, 2011

සරුංගල් කාලේ....


අහම්බෙන් අන්තර් ජාලයෙන් හමුවූ මේ ඡායාරුපය දැකීමෙන් මගේ සිත අතීතයත් වර්තමානයත් අතර ගමන් කරන්නට විය. කතාව අතීතයෙන් පටන් ගන්නවාද? නැතිනම් වර්තමානයෙන් පටන් ගන්නවාද යන්න සිතා දින ගණනක් ගත කළෙමි. අවසානයේ සාම්ප්‍රදායික අතීතයෙන් පටන් ගන්නේ නැතිව වර්තමානයෙන් අතීතයට යන්න හිතා මෙය ආසන්න තැනින් පටන් ගන්නම්. 
පසුගිය පාසල් නිවාඩුව වෙනදාට වඩා කෙටි එකක්. මට මතක විධියට නම් දින 25ක පමණ එකක්. නමුත් අපි කුඩා කාලයේ දෙසැම්බර් නිවාඩුව යනු දින 30ක් හෝ ඇතැම් විට ඊටත් දින කීපයක් වැඩි නිවාඩුවක්. මේ නිවාඩුව තමා අවුරුදු නිවාඩුවට පසුව ලැබෙන ප්‍රීතිමත්ම නිවාඩුව. එයට හේතුව මේ කාලයේ සරුංගල් යවන්න පුළුවන් නිසයි. මෙවර නිවාඩුවේ මුල් දිනවල වෙනදා පවතින සුලං පැවතුනේ නෑ. නමුත් ටික දවසකින් ළමයින් සරුංගල් අතැතිව සිටිනවා මමත් උදේ සවස රැකියාවට යන විට, පාරේ ගමන් කරන විට දකිනවා. මේවා දුටු මගේ සොයුරියගේ පුතාටත් සරුංගලයක් යවන්න අදහසක් ඇවිත්. ඔහු සරුංගලයක් අරන් දෙන්න කියා කීප වතාවක්ම තම මවට හා පියාට පවසා තිබෙනවා. නමුත් අප නිවසේ සෑම විටම කරන්නේ කිසිවක් අපට සදා ගන්න හැකිනම් එය අප විසින්ම කර ගැනීමයි. මතකනේ අපේ වැඩ අපිම කරගන්නා ලිපි. මේ නිසාම අවසානයේ ඔහු සරුංගලයක් සදා දෙන්න කියා මගෙන් ඉල්ලා සිටියා. මටත් තියෙන වැඩ ගොඩ මැද අර කිතුල්ගල ට්‍රිප් එකෙන් පසුව දිනක ඔහුත් සමග එක්ව සරුංගලය සෑදුවා. කොළ අලවා නිම කරනවාත් සමගම වහින්න පටන් ගත්තා. පසු දින උදේ ලද සුළු කාලයක් තුල ඔහු එය රැගෙන සෙල්ලම් කළත් වැඩි වේලාවක් කරන්න ලැබුනේ නෑ. නැවත වැස්ස පටන් ගත්තා. එසේ ඇරඹුනු වැස්ස මුළු නිවාඩු කාලය පුරාම පැවති බව ලංකාවේ හැම දෙනාටම මතක ඇති. ඉතින් ඒ පොඩි දරුවට කරන්න සිදු වූයේ සරුංගලය අතේ තියාගෙන අහස දෙස බලා සිටින්නට පමණයි.

ඒ සමග මට සිහිවූයේ මගේ ළමා කාලය. අපි පොඩි කොල්ලෝ එකතු වෙලා දෙසැම්බර් නිවාඩුව පටන් ගන්න විටම සරුංගල් හදන්න පටන් ගන්නේ. උදේට කාල ගෙදරින් එළියට පැන ගත්තම ආයේ ගෙදර ඒන්නේ දවල් එකට විතර. ඒ දවල් කෑම කන්න. කාල පැයකින් විතර ගෙදරින් පැනගන්න අපි ආයේ ගෙදර එන්නේ කළුවර වැටීගෙන එන වේලාවේ. ගෙදරින් බැනුම් අසන්නේ නැතුවාම නොවේ. ඒත් පසු දිනත් දින චර්යාවේ වෙනසක් නෑ. ඒත් නිවාඩු කාලය නිසා වැඩි බලපෑමක් තිබුනේ නෑ. අනික යන්න තියෙන්නේ අළුත් පංතියකටනේ. හෝම්වර්ක් ලැබිලත් නෑ. ඒ නිසා ඉතින් දවසම සරුංගල් තමා. සරුංගල් අතින් ගත් අපිත් සරුංගල් වගේ දිව යනවා සුලං අතරින්. මම සරුංගල් හදන්න ඉගෙන ගත්තෙත් ඔය යාළුවන්ගෙන් තමා. ඒ පුරුද්ද තාම තියෙනවා. මට තවමත් හොඳට සරුංගලයක් හදන්න පුළුවන්.
දැන් ආපසු මේ කාලෙට එමු. දැන් ළමයින් වැඩි දෙනෙක් කරන්නේ කඩෙන් ගන්නා සරුංගල් යවන එකයි. ඒ අයටත් දැන් ඉස්සර වගේ සරුංගල් යවන්න විවේකය නෑ. නිවාඩුවත් අමතර පංති වලට යට වෙලා. අපිට තිබුනු නිදහස් පරිසරය දැන් නෑ. කොන්ක්‍රීට් වනාන්තර ඇතිවෙනවා. ලැබුන ඉඩෙත් සරුංගල් යවන්න උනේ නෑ. විපරිත වූ දේශගුණය හරස් වූවා. ඔය දැන් ළමයින්ට. ඉදිරි පරම්පරාවට මොනවා වේවිද කියල කවුද දන්නේ. ඇයි අපි හිතුවද ඒ කාලේ තිබුන පරිසරය නිදහස මෙතරම් ඉක්මනින් තරඟකාරීත්වය හමුවේ නැතිවෙයි කියා. 
සිතන්න. ඉදිරි පරපුර වෙනුවෙන් යමක් කරන්න දැන්මම. නැතිනම් යාන්ත්‍රික මොළ සහිත රොබෝ ළමයින් පිරිසක් අපට ඉතිරි වෙයි.
ගිහින් එන්නම්..
සුභ දවසක්..!!!

Friday, January 28, 2011

හා පැංචා....

එක දිගටම සර්පයින් ගැනනේ කීවේ. දැන් දවස් දෙකකට කලින් මම අහම්බෙන් හාවෙක් දැක්කා. මේ නම් එයාගේ පින්තූරයක් නෙවේ. එයා පැනල දුවපු වේගයට මට මගේ ෆෝන් එක හරව ගන්නත් බැරි උනා. ඒත් සමගම මතකයට ආවේ මීට වසර ගණනාවකට පෙර සිටි මගේ සුරතලා.
ඒ 1991 විතර. මම පොඩියි. හිමිදිරි උදයේ නුවර සීතල මැදින් පාසල් යනවා. බස් නැවතුමේ ඉන්න වෙලාවේ මා සිටින දිශාවට කුඩා දෙමලිත්තෙක් වැනි සතෙකු දුවගෙන එනවා. ඈතින් පෙනුනා ඒ පසුපස එන බල්ලෙකුත්. ලංවන විට බැලුවම පොඩි හා පැංචෙක්. හරියටම ඔය උඩ පින්තූරේ ඉන්නවා වගේ කෙනෙක්. හැබැයි ප්‍රමාණයෙන් ලේනෙකු තරමි ඇති. මෙයා කිසියම් හේතුවක් නිසා මවගෙන් වෙන් වෙලා. බල්ලන් හඹා එන නිසා බේරෙන්නයි මේ දුවගෙන එන්නේ. පැංචට දුවන්නත් බෑ. මම ගිහින් අල්ලන්න හැදුවා. එයා අනික් පැත්තට දුවන්න ගත්තා. දැන් තව ටිකක් ගියොත් මේ පැංචා අර රුදුරු බල්ලට ගොදුරු වෙනවා. එවිට ඒ අසල සිටි අයෙක් කුඩයක් හරහට දැමු විට බයවූ හා පැංචා කුඩයට පැන්නා. ඔහු එයාව කන් දෙකෙන් අල්ලා මට දුන්නා. මම දැන් මෙයාට මොකද කරන්නේ. කැලේට යවන්නයි ඕන. නමුත් එතන සිටි වැඩිහිටියන් කීවේ මෙයා අම්මාගෙන් වෙන්වුන පොඩි පැටවෙක් නිසා අම්මා හොයාගන්න බැරිව බල්ලන්ට ගොදුරු වෙනඑක නවත්වන්න බැරි බවයි. අනික තාම හරියට දුවන්නත් බැරි කිරි බොන වයසේ පටියෙක්ලු. 
ඉතින් මම කලේ මෙයා ඥාති ගෙදරක තබා පාසල් ගොස් එන විට ගෙදර ගෙන ගියා. ගෙදර අය එකතු වෙලා මෙයාට පැංචා කියල නමකුත් තැබුවා. විවිධ කොළ වර්ග දුන්නත් පැංචා ඒවා කන්නේ නෑ. පසුව කිරි සදා දුන්නා. එයා ඒවා බොන්න දන්නෙත් නෑ. පසුව අම්මාගේ උපදෙස් මත පහන් තිරක් කිරෙන් පොඟවා එයාට සපන්න දුන්නා. එයා බයටම වගේ එය සැපුවා. කිරි රස දැනුනම උරා බොන්න ගත්තා. ටික දිනක් ගතවන විට පිරිසියෙන් කිරි බොන්න එයාට පුළුවන් උනා. සෙමෙන් තණකොළ ඇතුළු දළු කොළ කන්නත් අපි කන බත් වැනි කෑම කන්නත් එයා පුරුදු උනා. 
රෑ එළි වෙනකල් නිදහසේ ගේ ඇතුලේ එයාට ඉන්න ඉඩ තිබුනා. අපි පාසල් ගොස් පැමිණි සෑම විටමත් එයා සිටියේ ගේ ඇතුලේ. මේ ආකාරයට මෙයා වැඩිල ලොකු හාවෙක් උනා. අපි තීරණය කළා මෙයාව මුදා හරින්න. ඒත් මෙයා උදේ ගියත් රෑ ආපසු ගෙදරට ආවා. දැන් මෙයා යන්නෙම නෑ. ඉතින් දිගටම මෙහෙම අපි එක්ක ඉනනවා. රෑට අපි ටීවී බලන විට මෙයත් ඇවිත් ඉදිරියෙන්ම ඉඳගෙන ටීවී එක දෙස බලා ඉන්නවා. අපේ ළඟට ඇවිත් නිදා ගන්නවා.
උදේට නම් මෙයාට වෙලාවට කිරි බොන්නම ඕන. නැතිනම් කිරි දෙන කෝප්පය පෙරලනවා. ඉන්පසු එය වීසි කරමින් ශබ්ද කරනවා. පළතුරු, බත් වගේ කෑම කෑවත් වැඩියෙන්ම කන්න කැමති බතල දළු. එයා වෙනුවෙන් අපි  ගෙවත්තේ බතල පාත්තියක් සිටුවා තිබුනා.
මෙසේ වසර දෙකක් පමණ අප සමග සිටි පැංචා දිනක් වත්තේ ඇවිදින අවස්ථාවක බල්ලන් දෙදෙනෙකු විසින් සපා කෑම නිසා මිය ගියා.  ඌ මිය ගියත් අපට තවම අමතක කරන්න පුළුවන් කමක් නෑ. දැනට අවුරුදු 18ක් වුවත් තාමත් අප නිවසේ අය හාවෙකු දුටු විගස අපේ පැංචා වගේ නේද කියනවා.
අද මම පෝස්ට කළේ ආදරණිය සතෙකු පිළිබඳ මතකයක්. ඒ මතකය අළුත් වෙන්නදෝ මගේ ගමන් සගයාටත් පැංචා කියල නම වැටුනා.
කියන්න දෙයක් නැතිවට පරණ මතකයක් ඔහේ ලියා දැම්මා. දැන් කට්ටියට සර්පයින් ගැන කියවලා එපාවෙලා ඇතිනේ.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

Thursday, January 27, 2011

2012 ලොක විනාශයද?

පසුගිය කාලයේ අපේ රටෙත් වරින් වර සුළු සුළු භූ චලන සිදුවූ බවට වාර්ථා වුනා. එක් වරක් අපේ ගෙදරත් කුස්සියේ තිබුනු භාජන කීපයක් ඒ සමග බිම වැටී තිබෙනවා. නමුත් මම ඒ අවස්ථාවේ ගෙදර නොසිටි නිසා මට මේ බව දකින්න ලැබුනේ නෑ. (දැක්ක කියල කරන්න දෙයකුත් නෑනේ). මම මේ ගැන දැන ගත්තේ ගෙදර ආ පසුවයි. පසුව ප්‍රවෘත්ති වලින් වැඩි විස්තර ඇසුවා. දැන් එහෙනම් අපි අද මාතෘකාවට එමු.

මතකද මේ පෝස්ටර් එක?. අමතක වෙන්න තරම් හේතුවක් ඇති කියල හිතන්න අමාරුයි. මේ සමගම පැතිර ගිය කට කථා වල සීමාවක් නෑ. ලෝකය පුරාම මිනිසුන් අතර 2012 ලෝක විනාශයක් වන බවට කට කථා පැතිර ගිය බව අමුතුවෙන් කියන්න දෙයක් නොවේනේ. එයට ලොව පුරා ජනමාධ්‍ය වලින් ලැබුනෙත් ලොකු ඉඩක්. පසුව විද්‍යාඥ්ඥයින් විසින් එවැන්නක් සිදුවීමට ඉඩක් නැති බව ප්‍රකාශ කළත් තවමත් ඒ ගැන කසුකුසු පවතිනවා. තවමත් බොහෝ දෙනා පසුවන්නේ ඒ ගැන අවිනිශ්චිත තත්වයක. මා මේ බව හොඳින්ම තේරුම් ගත්තේ පන්සල් යන විට. පෙර පන්සලේ නොසිටි මහ ජනකායක් දැන් පන්සල් ඇතුළු පූජනීය ස්ථාන වලට එක් රොක් වන බවක් පේනවා. කීප දෙනෙකුගෙන්ම මම මේ ගැන ඇසූ විට ලැබුන පිළිතුර වූයේ 2012 ලෝක විනාශේ වෙනවනේ. බේරෙන්න දැන්ම පින් රැස් කර ගන්න ඕන කියල. කරදර එන විට දෙවියන් බුදුන් සිහිවන අපේ සමාජය ගැන වෙනම පෝස්ට් ගණනාවක් ලියන්න පුළුවන් වුවද අද මාතෘකාව හා සම්බන්ධ නැති නිසා ඒ ගැන කථා කරන්නේ නෑ.

මායා වරුන්ගේ දින දර්ශනය අනුව 2012 ලෝක විනාශය වන බව විද්‍යාත්මකව පෙන්වා දෙන්න හැකියාවක් නෑ. එමෙන්ම එම කාලය වන විට පෘථිවිය හා ගැටෙන්න කිසියම් ආකාශ වස්තුවක් ඇති බවට සොයාගෙනත් නෑ. ඒ නිසා මෙය අනිසි බියක් බවයි විද්‍යාඥ්ඥයින් පවසන්නේ. ඇත්ත එයයි කියා අප නිහඬව සිටිමුද?.
මා සිතන ආකාරයට නම් ලෝක විනාශය දැනටම ආරම්භ වෙලා පවතින්නේ. දැන් ලෝකයට දරන්න බැරි තරම් මහා මිනිස් සමූහයක් මිහිතලයේ ජීවත් වෙනවා. ඒ සමග සිදුවන්නේ ස්වභාව ධර්මයේ සමතුලිතෙතාවය බිඳීයාම නේද?. එක් ජීවි කොට්ඨාශයක් ප්‍රමාණය ඉක්මවා පැතීරීම නිසා ඔවුන්ගේ පැවැත්ම උදේසා අනිකුත් ජීවීන් විනාශ කරන්න පෙළඹෙනවා. පෘථිවියේ වනාන්තර වලින් වැසී ඇති ආවරණය සීග්‍රයෙන් අඩු වෙනවා. මිහිතලය උනුසුම් කරන වායු නිසා ලෝකයේ ඌෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගෙන ඇති බව බොහෝ දෙනෙක් දන්න දෙයක්නේ. මේ සමග ඇතිවූ තත්වයන් ගැන ටිකක් හිතමුකෝ.
අපේ රට සැලකූවිට පසුගිය කාලයේ වැස්ස වැඩි වෙන්න පටන් ඇරන්. මම දන්න කාලෙක මේ තරම් එක දිගට වැසි වැටුන කාලයක් මතක නෑ. ඒ සමග ඇතිවන නාය යෑම්, ගංවතුර නිසා ඇතිවූ ජීවිත හා දේපල හානි කවුරුත් දන්නවනේ. ඇයි සුනාමිය. කාටද පුළුවන් එයින් ඇතිවූ විනාශය ගැන අමතක කරන්න. දැන් මේ ස්වභාවික විපත් අපට විතරද? නෑ. දැන් ලෝකය පුරා රටවල් ගණනාවක් මේ විපත් වලට මුහුණ දීලයි පසුවන්නේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කීපයක් දැන් දින ගණනාවක් ගංවතුරේ යට වෙලා පවතිනවා. බ්‍රසීලයේ කඳු කඩා වැටීම නිසා මහා විනාශයක් සිදුවූවා. යුරෝපයේ හිම දියවීමෙන් සිදුවූ හානි සුව පටු නෑ. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කීපයක අධික හිම පතනය නිසා දැඩි හානි සිදුවූවා. මේ සෑම විපතක්ම මින් පෙර සිදු නොවූ තරම්. 
තවත් සඳහන් නොවුනු ස්වභාවික ආපදා ගණන අති විශාලයි. මේ සෑම දෙයකම ප්‍රථිපලය වන්නේ ජීවිත හා දේපල හානියයි. මීට අමතරව ලෝකයේ ඇතැම් රටවල් දැඩි නියඟයකින් පීඩා විඳනවා. සියලු වගාබිම් වියලී විනාශ වී ගොස්. තවත් තැනක වගාවන් ජලයෙන් යටවී විනාශ වෙලා. ඉදිරියේ ලෝකයටම දැඩි ආහාර අර්බුධයකට මුහුණ දෙන්න වෙනවා. එයින් තවත් විශාල පිරිසක් කුසගින්නේ මියයාවි. අපට තාම කන්න මොනව හරි තිබුනත් ඒවායේ මිළ දරන්න බැරි තරම් වැඩි වුවත් තවත් තැනක ජන කොටසකට කන්න කිසිම දෙයක් නෑ. ඉදිරියේදී අප මහා බලවතුන් කියනනා රටවල් පවා මේ ස්වභාවික විපත් හමුවේ අසරණ වේවි. මතකනේ ඇමරිකාව මුහුණ දුන් කැත්‍රිනා කුණාටුව. එයින් වාසස්ථාන අහිමි වූ පිරිස් අතරින කොටසක් තවම අනාථ කඳවුරු වල දිවි ගෙවන බවට වාර්ථා වෙනවා. 
මෙයට අමතරව ඌෂ්ණත්වය ඉහල යාම නිසා සිදුවන මුහුදු මට්ටම ඉහල යාමෙන් ලෝකයේ විශාල භූමි ප්‍රදේශයක් මුහුදට යටවනු ඇත. තවද වැඩි වන උනුසුම නිසා අපට රෝග සාදන වෛරස් හා බැක්ටීරියා වන්නේ නව ප්‍රභේද ඇති විය හැක. මේ නිසා අළුතින් මාරාන්තික රෝග පැතීරිමේ අවදානමක් ඇතිවිය හැක. මෑතක පැතිරෙන්න ගත් A (H1 N1) නව ඉන්ෆ්ලුවන්සා රෝගය හෙවත් සූකර උණ ගැන කවුරුත් වගේ දන්නවානේ. නමුත් අනිවාර්යයයෙන් මරණය සිදුවන එවන් වෛරස් රෝගයක් පැතිරෙන්න ගත්තොත් සිදුවන විපත ගැන මදක් සිතන්න. ඒ වගේම අපේ ආහාර සඳහා වගා කරන භෝග, ගොවිපල සතුන් සඳහාද මෙවන් රෝග පැතීරී ව්‍යාප්ත වී ලෝක ආහාර නිෂ්පාදනයට එල්ලවන බලපෑම් නිසා ආහාර හිඟය වැඩි වෙන්න පුළුවන්.
තවත් මෙවැනි බොහෝ දේ පෙන්වා දෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ලේ මූලික හරය ස්වභාවික විපත් වලින් මෑත කාලයේ පෙර නොවූ විරූ තරමේ හානි වෙන්න පටන් අරන් තිබෙන බව නොවේද? මීට අමතරව මිනිස් ක්‍රියා නිසා සිදුවන අනතුරු වලින් සිදුවන ජීවිත හානි ගැන මම සඳහන් කළේ නැතත් එයත් ස්වභාවික අනතුරු වලින් සිදුවන ඒවා හා සමව සමහර විට ඊටත් වැඩියෙන් පවතිනවා.
මෙවන් පසුබිමක අපට අපේ හෙට දවස ගැන පවතින්නේ අවිනිශ්චිත බවක් නේද. මේ විපත් වලින් ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් වැනසී යාවී. ස්වභාවධර්මයට අනුව නම් විය යුත්තේද එයමයි. එනම් දරා ගත හැකි අය ඉතිරිවී දරාගත නොහැකි පිරිස විනාශ වීමයි. මෙහෙම කීවාම හැම දෙනාම බය වෙන්න එපා. අපි මැරෙනවානේ කියල සියල්ල අත්හරින්න හෝ මැරෙනකල් ජොලි කරන්න ඕන කියල සියල්ල අමතක කර ඕනෑවට වඩා ජොලි කරන්න අවශ්‍යත් නෑ. විපතක් වෙන්න තිබෙනවනම් ඒවා වෙයි. නමුත් දැන් අපි කළ යුතු දෙයක් තිබෙනවා. එනම් වෙනදාට වඩා ධාර්මික වෙන්න අවශ්‍යයි. එකිනෙකා අතර පවතින සබඳතා වැඩි කරගන්න අවශ්‍යයි. ජාති, ආගම්, පක්‍ෂ, කුල භේද පසෙක ලා සැම දෙනාගේම පැවැත්ම සඳහා වැදගත් වන දේ සොයා එහි නිරත වෙමු. 2012 දෙසැම්බර් ලෝක විනාශය වෙන්න පුළුවන්. ඒත් නොවෙන්න තියෙන ඉඩයි වැඩි. නමුත් ඉදිරියේ ලොකු විනාශයන් ගණනාවක් සිදු වන බවට දැන් ඉඟි පළවී ඇත. ඒ නිසා සැම දෙනාම එකාමෙන් ඉදිරි අභියොගයන්ට මුහුණ දෙන්න සූදානම් වෙමු. 
මේ ගැන බොහෝදේ ලියන්න හිතුනත් මේ ඇති කියා සිතෙනවා. මම අද පොස්ට් එකට ගත්තේ අපි හැමදෙනාම වගේ දන්නා කරුණු කීපයක් ඇසුරෙන් මගේ සිතට ඇතිවූ සිතිවිල්ලක් කෙටියෙන් විශ්ලේෂණය කිරීමක්. මේවා මේ කියන විධියට නොවෙන්න පුළුවන්. අපි පාසලේ ඉගෙන ගත්තේ ගස් කැපුවම උනුසුම වැඩි වෙනවා. වැස්ස අඩු වෙනවා කියල. ඒත් දැන් ගස් නැති නිරුවත් පොළව සෝදාගෙන යන්න අනෝරා වැසි වැටෙනවා. ඒ නිසා ස්වභාවික තත්වයන් ගැන නිසි අනාවැකි කියන්න අපේ විද්‍යාව තාම දියුණු මදි වගේ. වඩාත්ම වැදගත් දේ සොබා දහමෙන් ඈත් වීම නොව එයට තවත් ලංවීමයි. එවිට ස්වභාවධර්මය විසින් අප රැකගනු ඇත.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

ප/ලි
දිගටම සර්පයින් ගැන ලියන එකට සමහර අය තරමක් කැමති නෑ වගේ. ඒනිසයි අද වෙනස් දෙයක් ලියන්න හිතුනේ..
ප/ප/ලි
අපේ සහෘද බ්ලොග් සගයෙකු වන ඉලන්දාරියා බ්ලොග් එක ලියන සොයුරා ශ්‍රවණාබාධයකට ලක්ව සිටිනවා. අපි කවුරුත් ඔහු වෙනුවෙන් යමක් කරන්න පෙළ ගැසෙමු. මෙවැන්නක් හෙට මට හෝ ඔබටත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔහුට අපි යම් සහයක් දෙමු. 

Wednesday, January 26, 2011

ලංකාවේ සර්පයෝ.පලා පොළඟා (Green pit viper)

අද කියන්න යන්නේ ලංකාවේ ඉන්න තවත් ආවේණික සර්පයෙකු ගැනයි. මේ සර්පයා නොහිටින්න මේ පෝස්ට් සීරිස් එක මගේ අතින් පල නොවන්න බොහෝ දුරට ඉඩ තිබුනා. මේ වර්ගයේ කෙනෙක් තමා කලකට ඉහත මගේ අත සපා කෑවේ. එදින ඇතිවූ උනන්දුව නිසා තමා මම සර්පයින් ගැන මෙතරම් කියවන්න පටන් ගත්තේ. අවසානයේ මම එකතු කළ දැනුමේ ප්‍රථිපලය තමා මේ පෝස්ට් තුලින් මම බෙදා හදා ගන්නේ. පළමුව මෙයාගේ රූපයක් බලමු වෙනදා වගේම.
මේ පලා පොළඟා ඉංග්‍රීසියෙන් මෙයා Sri lankan Green Pit Viper ලෙසින් ද විද්‍යාත්මකව Trimeresurus trigonocephalus ලෙසින්ද හඳුන්වනවා. ලංකාවට ආවේණිකයි. මෙම සර්පයා ඇතුලත් වන්නේද ලෝරියල් සිදුර සහිත පොළඟුන් කාණ්ඩයටය. එමෙන්ම මෙයා අලංකාර සර්පයෙකු ලෙසත් පෙන්වා දිය හැක.

වාස භූමිය හා හැසිරීම
රුක් වාසී සර්පයෙකි. නිශාචරය. බොහෝ විට අලසව ගස් මත නිදා සිටින බවක් දැකිය හැකිය. මුහුදු මට්ටමේ සිට කඳුකරය දක්වාම ව්‍යාප්ත වී ඇත. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ වැවැලි සහිත ප්‍රදේශ වල බහුලව දක්නට ඇත. මා හන්තාන කඳුවැටියේ බහුලව සිටිනු නිරීක්‍ෂණය කර ඇත. ඉක්මනින් කෝප නොවන සර්පයෙකි.

හඳුනා ගැනීම
මෙම සර්පයා නිලට හුරු කොළ පාටින් යුතුය. උදරය ප්‍රදේශය කහ පාටට හුරු කොළ පැහැතිය. ශරීරයේ තැනින් තැන කළු පැහැති පැල්ලම් දක්නට ඇත. හිස ත්‍රිකෝණාකාරය. ඇස හා නාසය අතර ලෝරියල් සිදුර දක්නට ලැබේ. දිග අඩි 4ක් පමණ වේ. වල්ගය කෙටිය.


බෝවීම
මෙම සර්පයා අයත් වන්නේ වයිපරිඩේ කුලයට නිසා බෝවීම පැටවුන් බිහි කිරීම මගින් සිදු කරයි. මෙම වර්ගයේ ගැහැණු සතෙකු වරකට පැටවුන් 5ත් 30ත් අතර සංඛ්‍යාවක් බිහි කරයි.

ආහාර
මෙම සර්පයාගේ ආහාර වන්නේ කුරුල්ලන්, ගෙම්බන්, මීයන් වැනි සතුන්ය.

දෂ්ඨ කිරීම හා විෂ
මෙම සර්පයා අයත් වන්නේ මද විෂ (මධ්‍ය විෂ) සර්පයින් කාණ්ඩයටය. දෂ්ඨ කිරීමෙන් මරණ වාර්ථා වී නැති බව පැවසේ. නමුත් දෂ්ඨ කිරීම ඉතා වේදනාවක් ගෙනදේ. දෂ්ඨ කළ ස්ථානයේ ඉදිමුම දින කීපයත් පවතී. තවද දෂඨ කළ ස්ථානය පැසවීමට හෝ කුණු වීමට ඉඩක් ඇත.

පැවැත්මට ඇති තර්ජන.
කැලෑ එළි පෙහෙලි කිරීම නිසා වාස භූමි අහඅමි වී යාමෙන් විනාශයට මුහුණ දී ඇත. ලංකාවට ආවේණික සර්පයෙකි. වඳවී ගියොත් මෙම සර්පයා ලොවටම අහිමි වනු ඇත.

මෙම සර්පයාගෙන් පසුව අපට හමු වන සියලුම ගොඩබිම වසන සර්පයින් සුළු විෂ හා විෂ රහිත අයයි. ඉදිරි ලිපි වලින් එම සර්පයින් ගැන කෙටියෙන් විස්තර කරන්න බලා පොරොත්තු වෙනවා.

එහෙනම් ගිහින් එන්නම්. බ්ලොග් සතියේ පිට පිටම 3වෙනි පොස්ට් එකත් දැම්මා ඔන්න.
සුභ දවසක්..!!!

Tuesday, January 25, 2011

ලංකාවේ සර්පයෝ.පොළොන් තෙලිස්සා (Hump-nose viper)

අද කියන්න යන්නේ පොළඟුන් අයත් වන වයිපරිඩේ කුලයට අයත් තවත් සර්පයෙකු පිළිබඳවයි. ඒ තමයි පොළොන් තෙලිස්සා හෙවත් කුණ කටුවා.
ෆොටෝ එක ගත්ත තැන පේනවනේ. මම ගත් එකක් නම් නොවේ
මෙම සර්පයා කුණකටුවා ලෙසින්ද හැඳින්වේ. ඉංග්‍රීසි භාෂාවෙන් Hump-nose viper ලෙසද, විද්‍යාත්මකව Hypnale hypnale ලෙසද හැඳින්වේ. මොහු අයත් වන්නේ ලෝරියල් අවපාතය සහිත පොළඟුන් කාණ්ඩයටය.

වාස භූමිය හා හැසිරීම
භෞමිකව ජීවත් වන සර්පයෙකි. නිශාචරව හැසිරෙන සතෙකි. කෝපි, රබර්, කොකෝවා වැනි වගාවන් ආශ්‍රිතව හා කැළැවල බහුලව දක්නට ලැබේ. කිපුන විට වලිගය අග සොලවයි.

හඳුනා ගැනීම
මොවුන්ගේ වර්ණ වෙනස්කම් රැසකි. ශරීරය දුඹුරු පැහැතිය. නමුත් පොදු වශයෙන් සිරුර මතුපිට කළු හෝ දුඹුරු පුල්ලි දැකිය හැක. අඩි එකත් එකහමාරත් අතර දිගට වැඩේ. හිස ත්‍රිකෝණාකාරය. මොල්ලියක් වැනි ඉහලට එසවුනු නාසයක් ඇත. නාසය හා ඇස අතර ඇති ලෝරියල් අවපාතය (සිදුර) හඳුනාගත හැක පෘෂ්ඨයක් පතුපිට සිටින විට හිස අංශක 45කින් පමණ ඔසවාගෙන සිටිනු දැකිය හැකිවේ. 

හිස අංශක 45කින් ඔසවාගෙන සිටින ආකාරය

බෝවීම.
බෝවීම සිදුවන්නේ පැටවුන් දැමීම මගිනි. ගැහැණු සතා වරකට පැටවුන් 5ත් 15ත් අතර ප්‍රමාණයක් දමයි.

දෂ්ඨ කිරීම හා විෂ
අපේ රට සැලකූවිට මෙම සර්පයා නිසා සිදුවන දෂ්ඨ කිරීම් බහුලය. සිදුවන මරණ වලින් 2%ක් පමණ මෙම සර්පයාගේ විෂ නිසා සිදුවේ. කලින් මෙම සර්පයා මද විෂ සහිත බවට නම් කර තිබුනත් පසුව විෂ සහිත සර්පයෙකු ලෙස හඳුනාගෙන ඇත. දෂ්ඨ කළ විට තුවාලය වට දැඩි වේදනාවක් ඇතිවේ. පේශි අවට විනාශ වීම සිදුවේ.

පැවැත්මට ඇති තර්ජන
මිනිසා අතින් සිදුවන පරිසර විනාශය මෙම සර්පයාගේ පැවැත්මටද ඇති ප්‍රධාන තර්ජනයකි.

එහෙනම් මෙම සර්පයා ගැන මේ විස්තර ඇති. තවත් පොස්ට් එකක් සමග හෙටත් හමුවෙමු..
ගිහින් එන්නම්..
සුභ දවසක්..!!!



Monday, January 24, 2011

ලංකාවේ සර්පයෝ.දෙපත් කළුවා (Coral snake)

අද කියන්න යන්නේ ඉලැපිඩේ කුලයට අයත් තවත් සර්පයෙකු ගැන. මේ ඉන්නේ දෙපත් කළුවා. පින්තූරය බලන්න.
සුලභව දක්නට නොමැති සර්පයෙකි. ඒ නිසාම මෙම සර්පයා ගැන විස්තර සොයාගැනීමත් ඉතා දුෂ්කර දෙයක්. ඒ නිසා මෙයා ගැන මම කෙටියෙන් කියන්නම්.
සිංහලෙන් දෙපත් කළුවා නමින් හැඳින්වෙන මෙම සර්පයා Sri Lanka Coral Snake නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. මෙයාගේ විද්‍යාත්මක නාමය වන්නේ Caliophis melanurus යන්නයි. ශ්‍රී ලංකාවෙන් හා ඉන්දියාවෙන් වාර්ථා වෙනවා.
ප්‍රමාණයෙන් කුඩා සර්පයෙකි. දිගින් සෙන්ටි මිටර් 30ක් පමණ වේ. දිරා යන ගස් කඳන් හා කොළ රොඩු යටින් බහුලව හමුවේ. කහ පැහැයට හුරු දුඹුරු පැහැයෙන් යුත් ශරීරයේ තැඹිලි පැහැයට හුරු තිත් දක්නට ලැබේ. හිස සහ වලියේ ඇති කළු පැහැ තිත් නිසා දෙපත් කළුවා යන නම භාවිතා වේ. ලංකාවේ පළමු වරට වාර්ථා වී ඇත්තේ මාතලේ පළාතෙනි. 
බෝවීම බිත්තර මගින් සිදුවේ. ආහාර ගැන විස්තර සොයාගැනීමට අපහසුය.

කුඩා සර්පයෙකු නිසා මිනිසාට දෂ්ඨ කිරීම අපහසුය. එමෙන්ම නිතර දක්නට නොමැති නිසා දෂ්ඨ කිරීම් වාර්ථා වන්නේ කලාතුරකිනි. නමුත් ඉලැපිඩේ කුලයට අයක් උග්‍ර විෂ සහිත බව මෙම සර්පයාටත් හිමිව ඇති ලක්‍ෂණයකි.
මෙම සර්පයාත් විනාශ විමේ තර්ජනයට ලක්ව ඇති නිසා ආරක්‍ෂාකළ යුතු සතෙකි. එමෙන්ම විෂකුරු වුවද හානිකර සතෙකු ලෙස සැලකීමටද අපහසුය.
එහෙනම් තවත් සර්පයෙකුගේ විස්තර සමග හෙට හමුවෙමු. මේ සතියේ හැකි තරම් පොස්ට් දාන්නයි ඉන්නේ. බ්ලොග් සතියනේ.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

බ්ලොග් සතිය


සුභ දවසක් කියලම පටන් ගන්න යන්නේ.
බ්ලොග්, ෆේස්බුක්, ටිවීටර්, ගූගල් බස්. කුවුරුත් දන්න දේවල් වෙලා නේ දැන්. අපේ සිංහල දැන් මේ හැම එකේම ව්‍යාප්ත වෙලා. කොපමණක්ද කියනවනම් අපේ අය දැන් ගූගල් බස් ටීම් එකේ ඔෆිශියල් බස් වල යන්නෙත් සිංහල යුනිකෝඩ් වලින්. ගූගල් කාරයත් ඒක දන්නවා කියන්නේ. නැතිනම් මාතෘකාවට පටහැනියි කියල බස් එක කඩා දමයිද? දැන් ගුගල් සිංහල ඉංගිරිසි ට්‍රාන්ස්ලේටරයක් හදනවා කියන්නේ. අනේ මම නම් දන්නේ නෑ මේ කතා ඇත්තද බොරුද කියල. කොහොම උනත් කලෙක ඉහලම තලයක පැවති බ්ලොග් කරනය දැන් තරමක් පහලට ඇවිත් කියල ඇතැම් අය කියනවා. මේ බුකියෙන් (ෆේස්බුක්) හා බස් එකෙන් බ්ලොග් කරණයට බලපෑම් එල්ල වෙලාලු.
එහෙම එකක් තියෙනවද නැද්ද කියන්න නම් මම දන්නේ නෑ. මම නම් මගේ පොස්ට් ආපු පිළිවෙලටම දාගෙන යනවා. ඔය දෙකෙම මමත් ඉන්නවා. ඒත් මගේ බ්ලොග් පොස්ට් ඒ කිසිවකින් ප්‍රමාද කරලා නම් නෑ.
ඒ කෙසේ වෙතත් බ්ලොග් කරණයට නව පණක් දෙන්න අපේ වැප් බ්ලොග් සතියක් ප්‍රකාශයට පත් කරල. ඒ කියන්නේ අද සිට 31 වෙනි දින දක්වා එක දිගට සතියක් දවසට එක බැගින් පොස්ට් 7ක් දාන්න. ඉතින් මමත් හැකි ආකාරයෙන් පොස්ට් ටිකක් දාන්න හිතුවා. අඩුම වශයෙන් දිනක් හැර දිනක් වශයෙන් පොස්ට් 4ක් වත් මම දානවා මේ සතියේ. බ්ලොග් කරණය නිසා අපි බොහෝ දෙනෙක් දැන හඳුනා ගත්තානේ. ඉතින් අපි කොහොමද මේ බ්ලොග් අමතක කරන්නේ. 
එහෙමනම් අපි කට්ටියම පුළුවන් තරමින් මේ සතියේ පොස්ට් කරමු. හැබැයි ඉතින් කියවලා වතුර පාරක් ගහල යන්නත් (කමෙන්ට් එකක් දාල යන්න) කට්ටිය ඉන්නවනම් තමා හොඳ.
ඔන්න මගේ පළමු පොස්ට් එක තව හෝරා කීපයකින් දානවා.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!

Thursday, January 20, 2011

ලංකාවේ සර්පයෝ.වැලි පොළඟා (Saw-scaled viper)

අද කියන්න යන්නේ ලංකාවේ ජීවත් වන තවත් උග්‍ර විෂ සහිත සර්පයෙකු ගැනයි. මෙයත් ආසියාවේ විෂම හතරදෙනාගෙන් කෙනෙක්. දැක තිබෙනවද බලන්න.
ඡායාරූපය අන්තර් ජාලයෙන්
මේ වැලි පොළඟා. ඉංග්‍රීසියෙන් Saw-scaled viper ලෙස හඳුන්වන වැලි පොළඟා ගේ විද්‍යාත්මක නාමය වන්නේ Echis carinatus ය.

වාස භූමිය හා හැසිරීම.
භෞමිකව ජීවත් වන සර්පයෙකි. නිශාචර සතෙකි. ශරීරය දුඹුරු හෝ රතු දුඹුරු පැහැතිය. ශරීරයේ අළුවා කැට හැඩය ඇති සලකුණු දක්නට ලැබේ. ශරීරය රළු පෙනුමක් ඇත. හිස මතුපිට කුරුල්ලෙකුගේ පාදය වැනි සලකුණක් ඇත. (රූපය)

අප රටේ සැලකූ විට වියලි කලාපයේ දක්නට ඇත. මන්නාරම, යාපනය ප්‍රදේශ වලින් බහුලව වාර්ථා වේ. වැලි සහිත පොළවේ වැලි යට, ගල් අතර, කටු පඳුරු, පතොක් පඳුරු අතර දක්නට ලැබේ. ඉක්මනින් කෝප වන සර්පයෙකි. ප්‍රකෝප වූ විට ෂූ වැනි ශබ්දයක් නිකුත් කරයි.

බෝවීම
පැටවුන් බිහි කරයි. ගැහැණු සතා වරකට පැටවුන් 3ක්-6ක් අතර ප්‍රමාණයක් බිහි කරයි. මෙය 15ක් පමණ දක්වා වෙනස් විය හැක.

ආහාර
ආහාර සොයා යන්නේ රාත්‍රී කාලයේය. ගෙම්බන්, ගෝනුස්සන්, කටුස්සන්, පත්තෑයන් වැනි සතුන් ආහාරයට ගනී.

ප්‍රකෝප වූ විට දෂ්ඨ කරයි. බොහෝ විට රාත්‍රී කාලයේ දෂ්ඨ කිරීම් සිදුවේ. උග්‍ර විෂ සහිත සර්පයෙකි. නමුත් ලංකාවේ දෂ්ඨ කිරීම් වාර්ථා වන්නේ අඩුවෙනි.

පැවැත්මට ඇති තර්ජන
මිනිස් ක්‍රියා නිසා සිදුවන පරිසර දූෂණය මෙම සත්වයාගේ පැවැත්මට තර්ජනයකි. ජීවත් වන පරිසර පද්ධති විනාශ වීම. රසායන නිසා සිදුවන හානි නිසා බෝවීම අඩුවෙමින් පවතී.

එහෙනම් අපි අද තවත් සරපයෙකු ගැන දැන ගත්තානේ. මීළඟ සර්පයාගේ විස්තරය සමග ආයෙම දවසක හමු වෙමු.
ගිහින් එන්නම්..
සුභ දවසක්..!!

Monday, January 17, 2011

ලංකාවේ සර්පයෝ.තිත් පොළඟා (Russell's viper)

අද කියන්න යන්නේ වයිපරිඩේ කුලය (Viperidae) කුලයට අයත් සර්පයෙක්. ඒ කියන්නේ පොළොඟුන් අයත් වන කුලය. මෙයා නම් දරුණු ගණයේ සර්පයෙකු ලෙසයි හඳුන්වා දෙන්න පුළුවන්. පළමුව රූපය බලන්න.
මේ තමා තිත් පොළඟා. ඉංග්‍රීසියෙන් Russell's viper ලෙස හැඳින්වෙන මෙම සර්පයාගේ විද්‍යාත්මක නාමය Dabia russelli. ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාවේ, චීනය, තායිවානයේ ද වාසය කරනවා. ආසියාවේ ලොකුම හතරදෙනා (බිග්ෆෝ) අතරට මෙම සර්පයා එක් වෙනවා.

වාස භූමි හා හැසිරීම
භෞමිකව ජීවත්වන සතෙකි. බහුලවම රාත්‍රී කාලයේ හැසිරෙන නමුත් ඇතැම් විට දිවා කාලයේද දක්නට ලැබේ. උස් කඳුකර ප්‍රදේශ හැර රටේ සෑම පළාතකම වාගේ දක්නට ඇත. පඳුරු ආශ්‍රිතව, කුඹුරු වල දක්නට ලැබේ. වහාම පහර දීමට පෙළඹෙන සර්පයෙකි. කිසිවෙක් ලංවූ කල පිඹිමින් දරණ ගසා දුන්නක් මෙන් ශරීරය දිගහැර පනිමින් පහර දෙන ස්වභාවයක් පෙන්වයි.

හඳුනා ගැනීම
ශරීරය රතු දුඹුරු පැහැතිය. ශරීරය මතුපිට කිරිබත් කැට හැඩය ඇති සලකුණු එක පෙළට ඇත. එය දෙපසින් දුඹුරු පැහැ අර්ධ කවාකාර සලකුණු දෙපේළියක් ඇත. හිස මත දාරය දිගේ සුදු පැහැ ඉරක් දැකිය හැකිය. හිස ත්‍රිකෝණා කාරය. දිගින් අඩි 5ක් පමණ වර්ධනයවේ. වලිගය කෙටිය.
පින්තූරය විකිපීඩියාවෙන්. සොයා දුන් හාපැටික්කීට ස්තූතියි.
බෝවීම
මෙම සර්පයා බෝවීම සිදුවන්නේ පැටවුන් බිහිවීමෙනි. ගැහැණු සතා වරකට පැටවුන් 50ක් පමණ දක්වා බිහි කරයි.

ආහාර
ප්‍රධාන ආහාරය වන්නේ මීයන්ය.

දෂ්ඨ කිරීම් හා විෂ
වහා පහරදෙන සතෙකි. දෂ්ඨ කීරීම් සුලභය. උග්‍ර විෂ සහිත සර්පයෙකි. විෂ ශරීර ගතවු විට සෙමෙන් ගමන් කොට වකුගඩු ආදියේ එකතු වේ. මීට අමතරව හෘදය, මොළය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ විෂ තැම්පත්වේ. දෂ්ඨ කිරීමේදී දැකිය හැකි ප්‍රධාන රෝග ලක්‍ෂණ වන්නේ
  • ලේ කැටි ගැසීම ප්‍රමාදය
  • ඉදිමුම
  • අධික වේදනාව
  • සම යට සිදුවන ලේ ගැලීම්
  • විදුරුමසෙන් ලේ ගැලීම
  • මූත්‍රා සමග ලේ පිටවීම
  • මීට අමතරව අභ්‍යන්තර ලේ ගැලීම් සිදුවේ
මෙයට අමතරව මෙම සර්පයා ගැන කියවෙන වැදගත්ම දෙය නම් ලංකාවේ සර්ප විෂ නිසා සිදුවන මරණ වලින් වැඩිම ප්‍රමාණයකට හේතු වන්නේ තිත් පොළඟා වේ.

මිත්‍යා විශ්වාස.
මෙම සර්පයා කල් යනවිට වාර ගණනාවක් සැව හැලීවෙන් පසු පිඹුරකු බවට පත්වන බවට මිත්‍යා විශ්වාසයක් පවතී. එහෙත් මෙම සතුන් දෙදෙනා අතර එවැනි සම්බන්ධයක් නොමැත.

එහෙනම් තවත් සර්පයෙකුගේ විස්තර සමග තවත් දවසක හමුවෙමු.
ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

Saturday, January 15, 2011

ලංකාවේ සර්පයෝ..මුදු කරවලා (Sri Lanka Krait)

ඉලැපිඩේ කුලයට අයත් මීලඟ මාරාන්තික සර්පයා ගැනයි අද කතා කරන්න යන්නේ. මෙයා කලින් සඳහන් කළ ආසියාවේ ලොකුම හතර දෙනාට අයිත් වන්නේ නෑ. ඒ ඇයි කියන එක දැන ගන්න කලින් මෙයා හඳුනාගමු නේද.

ඔව් මෙයා මුදු කරවලා. Sri Lanka Krait/Ceylon Krait යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. අමතරව සිංහලෙන් හක් කරවලා, පොළොන් කරවලා ලෙසද හඳුන්වනවා. විද්‍යාත්මකව Bungarus ceylonicus ලෙස හඳුන්වනවා. මෙයා ලංකාවට ආවේණික සර්පයෙක්. මෙයා ලංකාවට ආවේණික නිසා වෙනත් ආසියානු රටවල දක්නට නැති නිසා තමා ඉහත මා සඳහන් කළ ආකාරයට මෙයා "බිග් ෆෝ" ට ඇතුළත් නොවන්නේ. ඒ නිසාම අප ආරක්‍ෂා කරන්න අවශ්‍ය සතෙකු ලෙසත් හඳුන්වන්න පුළුවන්.

වාස භූමිය හා හැසිරීම
භෞමිකව ජීවත් වන සර්පයෙකි. නිශාචරය. ලංකාවේ තෙත් කලාපයේ දක්නට ඇත. දිවා කාලයේ දෂ්ඨ කිරීමක් වාර්ථා වෙන්නේම නැති තරම්ය.

හඳුනා ගැනීම
තද කළු පැහැති දිලිසෙන ශරීරයේ සුදු පැහැති මුදු ආකාර පටි ඇත. වයසට යන විට මෙම මුදු හඳුනාගත නොහැකි තරමට නොපෙනී යයි. කුඩා කාලයේ හිස මතුපිට සුදු පාට ඇතත් එයද වයස් ගතවන විට නොපෙනී යයි. දිගින් සේන්ටිමීටර් 75ත්  100ත් අතර ප්‍රමාණයකට වර්ධනය වේ.

බෝවීම
බිත්තර මගින් බෝවේ. ගැහැණු සතා වරකට බිත්තර 5ක් පමණ දමයි. බිත්තරයක් 30mmx17mm පමණ වේ.

ආහාර
නිශාචර සර්පයෙකු නිසා රාත්‍රී කාලයේ ආහාර සොයායයි. බහුලව ආහාරයට ගන්නේ අනෙකුත් විෂ රහිත සර්පයින්ය, කුඩා මීයන් හා ගෙම්බන් වැනි සතුන්ය. අන්ධ සර්පයෙක් ආහාරයට ගන්නා අවස්ථාවක් මා දැක ඇත.

දෂ්ඨ කිරීම හා විෂ
දෂ්ඨ කිරීම් වාර්ථා වන්නේ රාත්‍රී කාලයේය. දිවා කල දෂ්ඨ කිරීමට පෙළඹෙන්නේ නැත. උග්‍ර විෂ සහිත සර්පයෙකි. නමුත් මෙම සර්පයා දෂ්ඨ කිරීම නිසා මරණ වාර්ථා වන්නේ අඩුවෙනි. එයට හේතුව දෂ්ඨ කිරීම් සුලභ නොවීමය. රෝග ලක්‍ෂණ නයා, තෙල් කරවලා දෂ්ඨ කිරීම නිසා ඇතිවන ලක්‍ෂණ හා සමානය. විෂ බලපාන්නේ ස්නායු පද්ධතියටයි. නිසි ප්‍රථිකාරයක් නොකළහොත් දෂ්ඨ කිරීමෙන් පැය 12කට පමණ පසු මරණය සිදුවන බව සඳහන්වේ.

පැවැත්ම හා ඇති කර්ජන
පරිසර දූෂණය නිසා මෙම සර්පයාද තර්ජනයට ලක්ව ඇත. මොහු අප පරිසරයෙන් වඳවී ගියොත් ලෝකයටම අහිමි වනු ඇත. ඒ අපට ආවේණික නිසාය.

මෙම සර්පයා ගැන සඳහන් විස්තර ඇත්තේ අඩුවෙනි. එසේම වැඩි අවධානයකට ලක් නොවූ සර්පයෙකි. තව විස්තර දන්න අය සීටීනම් කියන්න.

එහෙනම් අදට ඇති. තවත් සර්පයෙකුගේ විස්තර අරන් ආයෙම දවසක හමුවෙමු.
ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

Thursday, January 13, 2011

ලංකාවේ සර්පයෝ..තෙල් කරවලා (Common Krait)

ඉලැපිඩේ කුලයට අයත් සර්පයින් සියලු දෙනාම එක පෙලට ගේන්න හිතුවා. ඒනිසා අද කියන්න යන්නේ ලංකාවේ වසන උග්‍රම විෂ සහිත සර්පයා ගැනයි. රූපය බලාගෙනම යමු පළමුවෙන්ම.

ඔව් මේ ඉන්නේ තෙල් කරවලා (Common Krait) තමා. මෙයාට මගමරුවා නැතිනම් දුනු කරවලා ලෙසත් සමහර ප්‍රදේශ වල හඳුන්වනවා. Elapidae කුලයට අයත් තෙල් කරවලා Bungarus caeruleus යන විද්‍යාත්මක නාමයෙන්  හඳුන්වනවා. ආසියානු කලාපයේ උග්‍ර විෂ බිග් ෆෝ අතරට මෙම සර්පයාද අයත්වේ.

වාස භූමි හා හැසිරීම.
භෞමිකව ජීවත් වන සර්පයෙකි. කුඩා ගුල්, දිරායන රොඩු ගොඩවල්, බුරුල් පසේ මෙන්ම වියලි තණකොළ අතරද දක්නට ලැබේ. ජලාශ්‍රිතව සිටීමටද කැමැත්තක් දක්වයි. නිශාවර සර්පයෙකු නිසා දිවා කාලයේ දැකීම ඉතා අපහසුය. බොහෝවිට අප රටේ පහත රට කලාපයේ දක්නට ඇත.

හඳුනා ගැනීම
පෘෂ්ටීයව තද කළු පැහැතිය. උදරය සුදු පැහැතිය. කළු පැහැති ශරීරයේ සුදු පැහැ බෙදුනු මුදු (ද්විත්ව මුදු) හැඩති සලකුනු දක්නට ඇත. මේවා වලිගයේ තනි මුදු ලෙස දක්නට ඇත. (පහත රූපය බලන්න) මීටරයක් (අඩි 3.3) පමණ දිගට වැඩේ. අඩි 4-5ක් පමණ දිගට වාර්ථා වන අවස්ථා ඇත. ශරීරය තෙල් දමා පිරිමැද ඇති ආකාරයට දිලිසේ. 

මුදු බෙදී ඇති ආකාරය බලන්න පින්තූරය මත ක්ලික් කර විශාල කරන්න

බෝවීම.
මෙම සර්පයා බෝවන්නේ බිත්තර මගිනි. ගැහැනු සතා වරකට බිත්තර 5ක් පමණ දමයි.

ආහාර.
රාත්‍රී කාලයේ ආහාර සොයායයි. ආහාර ලෙස බහුලව ගන්නේ අනෙක් විෂ රහිත සර්පයින්ය. මීට අමතරව කටුස්සන්, ගෙම්බන් හා මැඩියන්, මීයන් ආහාරයට ගනී. කුඩා කාලයේ කෘමීන් හා අන්ධ පණුවන්ද ආහාරයට ගන්නා බව වාර්ථාවේ.

දෂ්ඨ කිරීම් හා විෂ
දැනට ලංකාවෙන් වාර්ථාවන උග්‍රම විෂ සහිත සර්පයා වශයෙන් සැලකේ. තෙල් කරවලාගේ විෂ මිලිග්‍රෑම් එකක් පමණ හොඳින් වැඩුනු මිනිසෙකු මරණයට පත් කරන්න ප්‍රමාණවත්. දෂ්ඨ කිරීම් බොහෝවිට රාත්‍රී කාලයේ සිදුවේ. නමුත් දෂ්ඨ කිරීම් සුලභ නොවේ. ස්නායු පද්ධතියට විෂ බලපාන අතර රෝග ලක්‍ෂණ බොහෝ විට නයාගේ විෂ නිසා ඇතිවන ලක්‍ෂණ හා සමාන වේ.

මෙම සර්පයා සම්බන්ධයෙන් මිත්‍යා මත ගැන සඳහන් නොවේ. මෙම සර්පයාද පරිසර පද්දතියේ පැවැත්මට වැදගත්  වන අතර පරිසර දූෂණය, කැලෑ හෙළි කිරීම නිසා තර්ජනයට ලක්වූ සතෙකි.

මීළඟ පෝස්ට් එකෙන් මුදු කරවලා ගැන විස්තර අරන් එන්නම්.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්.!!!!!

Tuesday, January 11, 2011

සිහිනයෙන් දුටු අවුරුද්ද

දැන් ටික දවසකට කලින් අපේ ටික ටික හිනාවෙන අභිත හෙවත් අභියා මාර හීනයක් දැකලනේ. කට්ටිය දැන් දන්නවත් ඇති මොකක්ද මේ හීනෙ කියල. දන්නෙම නැතිනම් හීනේ බලන්න මේ පාරෙන් යන්න. 
හිනාව නවත්ත ගන්න බෑනේ.
ටිකක් ඉන්න මම තාම හිනා වෙනවා.
මොනව උනත් හොඳ අදහසක්. අපේ බ්ලොග් කරුවන් මේ වගේ දේකට එකතු කරගන්න එක. අනික අවුරුදු උත්සවයක්නේ. අවුරුදු උත්සව නම් මොනවද. ආයතනයක කට්ටිය සෙට් වෙලා තියයි. නැති නම් ගමේ කට්ටිය සෙට් වෙයි. අන්තිමට මුල්ලකට සෙට් වෙලා බාල්දියකුත් පෙරලන් කට්ටිය විසිරෙයි. සමහරු අවුරුදු උත්සවේ ඉවර කරන්නේ පොලෝසියෙන් කියනවනේ. අනේ මන්දා මේ වයේ ඇත්ත නැත්ත.
ඒත් මේක වෙනස් දෙයක්. අර කලින් කීව ඒවගේ වගේ නොවේ. වැඩිය නොදන්න. සමහර විට කිසිදා නොදුටු සෙට් එකක් එකතු කරන්නයි මේ අදහස. මේකටම ගුගල් බස් එකකුත් දාල අපේ වැප්. පුදුම උනන්දුවනේ. දවසින් සියල්ල සූදානම්. කොච්චර කටිටිය උනන්දුද කියනවනම් බස් එක දවසින් චකබ්ලාස්. දැන් ඔය දෙවෙනි එකකුත් යන්නේ. දැනටම සංවිධායක කමිටුව පත් වෙලත් ඉවරයි. කිසිම දෙයක් බලා පොරොත්තු නොවී හොඳ සංවිධායකයින් ටිකක් එකතු වෙන්නේ.
කිසි කෙනෙක් කලබල වෙන්න එපා මේක වෙනස්ම අවුරුද්දක්. අර කලින් කීව ඒවා වගේ නම්නෑ. එන අයගේ සතුට වෙනුවෙන් තමා මේක කරන්නේ. දැනටම බ්ලොග් කරුවන් කීප දෙනෙක් අනුග්‍රහය දක්වනවා. බස් එකෙනුත් අනුග්‍රහය දක්වනවා. අවුලක් නැතිව ඔබ කවුරුත් වෙනුවෙන් අපි මේක කරමු.
දිනය 2011 අප්‍රේල් 03 දා උදේ 9.30 සිට සවස 3.30 වෙනකල්
ස්ථානය: තිඹිරිගස්යාය හෙන්රි පේදිරිස් ක්‍රීඩංගනය.
එහෙනම් ඔන්න කලින්ම කිව්වා ඒ දවස වෙන වැඩකට වෙන් කරගන්න එපා.
එන්න එදාට අපි සැම එකතු වෙමු. බ්ලොග් ගැන, තාක්‍ෂණය ගැන නොව අප ගැන කතා කරමු. අපි එකිනෙකා හඳුනා ගනිමු. පොඩි සිංදුවක් කියල අවුරුදු ක්‍රීඩා කරල, ඕනනම් නටල විනෝද වෙමු..
ගිහින් එන්නම්..
සුභ දවසක් !!!


ප/ලි
දිනය වෙනස් කළා. දිනය අප්‍රේල් 03 වෙනිදා. වේලාව උදේ 9.30 සිට සවස 3.00 දක්වා. 

Monday, January 10, 2011

ලංකාවේ සර්පයෝ..නයා (Cobra)

ලංකාවේ සර්පයින් අතරින් වැඩිම දෙනෙකු දන්නා කියන සර්පයෙකුගෙන් විස්තර පටන් ගන්න හිතුවා. එයා තමා මේ පහලින් ඉන්නේ.
ඡායාරූපය http://www.naturephoto-cz.eu අඩවියෙන්
ඔව් මෙයා තමා නයා එහෙම නැත්නම් නාගයා. Cobra යන ඉංග්‍රීසි නාමයෙන් හැඳින්වෙන මෙයා ඇත්තටම Indian Cobra (ඉන්දියානු නයා) ලෙස හැදීන් වෙන්නේ. විද්‍යාත්මකව Naja naja ලෙස  හැඳින්වෙනවා. ආසියානු කලාපයේ උග්‍රවිෂ හතරදෙනා හෙවත් බිග් ෆෝ අතරට නාගයා ඇතුලත්. නාගයා අයත් වන්නේ ඉලාපිඩේ (Elapidae) කුලයට.
වාස භූමිය හා හැසිරීම.
භෞමිකව ජීවත් වන සර්පයෙකි. ඉතා උස් කඳුකරයේ හැර රට පුරාම වගේ දක්නට ඇත. දිවා රාත්‍රී කාල දෙකේම ක්‍රියාශීලී සතෙකි. ක්‍ෂණිකව කොපයට පත්වේ. විශේෂයෙන් තරුණ වයසේ නයෙකු පහසුවෙන් කෝපයට පත්වේ. එවිට පෙනය විහිදුවයි. ඊට අමතරව ෂූ යන ශබ්දයක්  නිකුත් කරයි. බොහෝවිට දෂ්ඨ කිරීම් සිදුවන්නේ ප්‍රකෝප වූ අවස්ථාවන් වලදීය. දෂ්ඨ කිරීම පොළවේ සිට අඩියක් පමණ උසකින් බොහෝවිට සිදුවේ
පෙනය විහිදුවා ගත් විට නයෙකු පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. 
හඳුනා ගැනීම
ශරීර වර්ණය දුඹුරු පැහැයේ සිට කළු පැහැය දක්වා වෙනස් වේ. ශරීරයේ තැනින් තැන සුදු පැහැ තිත් දක්නට ලැබේ. දිගටි ශරීරයක් ඇති අතර හොඳින් වැඩුනු නයෙකු අඩි 6ක් පමණ දික්වේ. ඉතා කලාතුරකින් අඩි 8ක් පමණ වර්ධනය වූ අය වාර්ථා වී ඇත. හඳුනා ගැනීමට පහසුම පෙනය මගිනි. පෙනය විහිදුවා ගත් විට එහි ඉදිරි පසින් ඇති ලප දෙකක් වැනි සලකුණත්, පසු පසින් ඇති “ප“ අකුරේ සලකුණත් හඳුනා ගැනීම පහසු කරයි. (රූපය)
නාගයා හඳුනා ගැනීම
බෝවීම
නයාගේ බෝවීම සිදුවන්නේ බිත්තර මගිනි. සැපින්න වරකට බිත්තර 5-25 ත් අතර ප්‍රමාණයක් දමයි. ඒවායෙන් දින 48-60 අතර කාලයකදී අඟල් 8ක් පමණ දිගැති පැටවුන් පිටතට පැමිණේ.

ආහාර
නයා ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ ගෙම්බන් හා මැඩියන්, මීයන්, කුඩා පක්‍ෂින් හා වෙනත් සර්පයින්ය.

දෂ්ඨ කිරීම හා විෂ
නාගයා බොහොවිට දෂ්ඨ කරන්නේ ප්‍රකෝප වූ අවස්ථාවන් වලදීය. දෂ්ඨ කිරීම පොළවෙන් අඩියක් පමණ උසකින් සිදුවේ. උග්‍ර විෂ සහිතය. ප්‍රතිකාර නොකළහොත් පැය 5කින් පමණ වැඩුණු මිනිසෙකු මරණයට පත්කිරීමට තරම් විෂ ප්‍රභලය. නයාගේ විෂ ප්‍රධාන වශයෙන් බල පාන්නේ ස්නායු පද්ධතියටය. අප රටේ සර්ප විෂ නිසා සිදුවන මරණ වලින් නාග විෂ නිසා වන මරණ සැලකිය යුතු ප්‍රමාණයක් පවතී.
නාග විෂ නිසා ඇතිවන රෝග ලක්‍ෂණ කීපයක්
  • ඇස් කුඩාවීම
  • ක්ලාන්ත ස්වභාවයක් ඇතිවීම
  • අධික වේදනාව හා තුවාලය අවට ඇතිවන දැවිල්ල
  • හුස්ම ගැනීමේ අපහසු තාවය
  • යමක් ගිලීමේ හා කථා කිරීමේ අපහසු තාවය
මිත්‍යා මත.
නයා පළි ගන්නා සතෙකු ලෙස සමාජයේ මතයක් පවතී. මෙහි කිසිම සත්‍යා තාවයක් නොමැත. සර්පයෙකුට එසේ මතක තබාගෙන පළි ගන්න තරම් බුද්ධියක් නොමැත. 
මීට අමතරව ඇතැම් පිරිස් අතර නයා කාලයක් සැව ඉවත් කිරීමෙන් පසු තටු සහිත කොබෝ නයෙකු වන බවට  පිළිගැනීමක් පවතී. එයද මිත්‍යා විශ්වාසයකි.

නයා ගැන අප සමාජයේ පවතින පූජනීය පිලිගැනීම නිසා වෙනත් රටවලට සාපේක්‍ෂව අප රටේ නයි මරණ අවස්ථා අඩුය. නමුත් මෙම සතාගේ පැවැත්මට පරිසර දූෂණය ලඳු කැලෑ එළිවීම නිසා තර්ජනයක් පවතී. මොවුන් අප පරිසරයේ පැවැත්මට වැදගත් මෙහෙයක් ඉටු කරනවා. විශේෂයෙන් ගොවීන්ට මිතුරෙකු ලෙස සලකන්න පුළුවන්. ගොවිතැනට හානි කරන මීයන් විනාශ කරන නිසා.

දෂ්ඨ කිරීමකදී කළ යුතු දෑ, සර්ප විෂ ගැන මේ ලිපි මාලාව අවසානයේ වෙනම පෝස්ට් එකක් පළ කරන නිසා මෙහි වෙනම සඳහන් නොකරන්න තීරණය කළා.
එහෙනම් තවත් සර්පයෙකු ගැන පෝස්ට් එකකින් හමුවෙමු.
ගිහින් එන්නම්.
සුභ දවසක්.!!!

Saturday, January 8, 2011

ශ්‍රි ලංකාවේ සර්පයන් ගැන හැඳින්වීම...

එහෙනම් කලින් පොස්ට් එකේ පොරොන්දු වූ ආකාරයෙන්ම අද සිට මේ අප අවට පරිසරයේ ඉන්න සර්පයන් ගැන කතා කරන්නයි යන්නේ. මම පාසලේදී සත්ත්ව විද්‍යාව ඉගෙන ඇතත් ඉන්පසු ඒ පිළිබඳව ඉගෙන ගත්තේ නෑ. ඒ නිසාම මම සර්පයන් පිළිබඳ විශේෂඥයෙක් නම් නොවේ. මගේ ලිපිවල ඇතුලත් කරන්න බලා පොරොත්තු වන්නේ සර්පයන් ගැන සාමාන්‍ය තොරතුරු පමණක් බවත් කලින්ම කියන්නම්.
සර්පයින් යනු පාද නොමැති, දිගු ශරීරයකින් යුත්, කොරපොතු සහිත සමකින් වැසුන උරගයින් පිරිසකි. ලොව පුරා ගණ 450කට වැඩි සංඛ්‍යාවකට අයත් සර්ප විශේෂ 2900ක් පමණ වාසය කරයි.
සර්පයින්ගේ වර්ගීකරණය දැක්වෙන්නේ මේ ආකාරටයි.
රාජධානිය (Kingdom)        සත්ත්ව (Animalia)
වංශය (Phylum)                 කොඩාටා (Chordata)
උප වංශය (Sub Phylum)    වර්ටිබ්‍රේටා (Vertebrata)
වර්ගය (Class)                   රෙප්ටීලියා (Reptilia)
ගෝත්‍රය (Order)                ස්කුවමාටා (Squamata)
උප ගෝත්‍රය (Sub Order)   සර්පන්ටස් (Serpentes)
මෙයින් අප රටේ සත්ත්ව කුල (Family) 8කට අයත් සර්ප විශේෂ 96ක් පමණ හමුවන අතර ඉන් 35ක් පමණ විශ සහිත සර්පයන් ගණයට අයත් වේ. මේ අතරින් සර්ප විශේෂ 20 උග්‍ර විෂ සහිත සර්පයන් වන අතර එයින් 13ක්ම මුහුදේ වාසය කරන කරදිය වාසී සර්පයින් වේ. ගොඩබිම වසන වර්ග ඇත්තේ 7ක් පමණි. මෙම උග්‍ර විෂ සහිත සර්පයින් 7 අතරට ආසියාවේ උග්‍රම විෂ සහිත වර්ග 4ක්ම අයත් වේ. The big four ලෙස හඳුන්වන නාගයා (Cobra),  වැලි පොළඟා (Saw scaled viper), තෙල් කරවලා (Common Krait) හා තිත් පොළඟා (Russell's viper)  යන සිව් දෙනා මේ කොටසට ඇතුලත්.

මීට අමතරව මුදු කරවලා (Ceylon Krait), දෙපත් කළුවා (Ceylon Coral Snake) හා කුණකටුවා හෙවත් පොළොන්තෙළිස්සා (Hump-nose viper) උග්‍ර විෂ සහිත සර්පයන් යටතට ගැනේ.
මෙයට අමතරව මද විෂ සහිත සර්ප විශේෂ 3ක් හඳුනාගෙන ඇත.
පළා පොළඟා (), මූකලන් තෙලිස්සා () හා කුඩා මූකලන් තෙලිස්සා () මේ යටතට හඳුනාගෙන ඇත.
මීට අමතරව සුළු විෂ සහිත සර්ප විශේෂ 12ක් ලංකාවේ හඳුනාගෙන ඇත.
ඉතිරි සියලුම සර්පයින් අයත් වන්නේ විෂ රහිත සර්පයින් යටතටයි. ඒ අනුව අපේ රටේ ගොඩබිම මාරාන්තික සර්පයින් සිටින්නේ විශේෂ 7ක් පමණි. 
මෙම සියලු දෙනාම කුල 8කට අයත් බව ඉහත සඳහන් කළානේ. ඒ කුල පහත දැක්වෙනවා.
  1. ටිප්ලොපිඩේ කුලය (Typhlopidae
  2. යුරෝපෙලිටිඩේ කුලය (Uropeltidae)
  3. බොයිඩේ කුලය (Boidae)
  4. ඇක්ක්‍රෝකෝඩිඩේ කුලය (Acrochordidae)
  5. කොලුබ්‍රිඩේ කුලය (Colubridae)
  6. ඉලැපිඩේ කුලය (Elapidae)
  7. හයිඩ්‍රොපිඩේ කුලය (Hydrophiidae)
  8. වයිපරිඩේ කුලය (Viperidae)

ටිප්ලොපිඩේ කුලය
මොවුන් අන්ධය. පාංශු වාසීන්ය. ඝන දෙකකට අයත් විශේෂ 10ක් පමණ වාසය කරයි. 
    යුරෝපෙලිටිඩේ කුලය
    මොවුන්ද පාංශු වාසීන්ය(පොළව යට වාසය කරයි). ඝන 5කට අයත් විශේෂ 15ක් පමණ ලංකාවේ වාසය කරයි. එක් විශේෂයක් ලංකාවට ආවේණිකය.

    බොයිඩේ කුලය
    භෞමිකව වාසය කරයි. ඝන දෙකකට අතේ විශේෂ දෙකක් පමණක් ඇත. පිඹුරන් අයත් වන්නේ මෙම කුලයටයි. විෂ රහිතයි.

    ඇක්ක්‍රෝකෝඩිඩේ කුලය
    ජලයේ වාසය කරන සර්පයන් මෙම තුලයට අයත්ය. එක් ඝනයකට අයත් එකම විශේෂයක් පමණක් ලංකාවෙන් වාර්ථා වේ. උදාහරණ දිය නයා හෙවත් දියබරියා.

    කොලුබ්‍රිඩේ කුලය
    පාංශු වාසී, භෞමික, රුක්වාසී හා ජලජ යන පරිසර සියල්ලේම පාහේ දක්නට ඇත. ලංකාවේ වැඩිම ඝන සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මෙම කුලයෙනි. ඝන 22කට අයත් විශේෂ 42 පමණ වාසය කරයි. විශේෂ 4ක් ලංකාවට ආවේණික ලෙස සැලකේ. උදාහරණ ගැරඬියා.

    ඉලැපිඩේ කුලය
    භෞමිකව වාසය කරන සර්පයන් වේ. ඝන 3කට අයත් විශේෂ 5ක් ගැන ලංකාවෙන් වාර්ථා වේ. උග්‍ර විෂ සහිතය. කවුරුත් දන්නා නාගයා අයත් වන්නේ මෙම කුලයටයි.

    හයිඩ්‍රොපිඩේ කුලය
    කරදිය වාසී සර්පයන් මෙයට අයත් වේ. ඝන 10කට අයත් විශේෂ 15ක් ගැන ලංකාවෙන් වාර්තා වී ඇත. විෂ සහිත සර්පයන් වේ.

    වයිපරිඩේ කුලය
    උග්‍ර විෂ සහිත හා විෂ සහිත පොළඟුන් අයත් වන්නේ මෙම කුලයටයි. භෞමිකව හෝ තුරු මත වාසය කරයි. ඝන 4කට අයත් විශේෂ 6ක් ලංකාවේ වාසය කරයි.

    මම මෙම පොස්ට් එකෙන් මේ තරම් කුලය, ඝනය ආදිය ගැන විස්තර කරන්න සිතුවේ පාසල් අධ්‍යාපනය ලබන අයෙකුට මින් කිසියම් උපකාරයක් ගන්න හැකි වන් නිසා. අනෙක් අයටත් කිසියම් හෝ ප්‍රයෝජනයක් ඇතැයි සිතනවා. මීළඟ පොස්ට් එකේ සිට සර්පයින් එකිනෙකා බැගින් ගෙන විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
    එහෙනම් ගිහින් එන්නම්.
    සුභ දවසක් !!!

    ප/ලි
    හයිඩ්‍රොපිඩේ කුලය ගැන තරමක් වැඩි විස්තර දන්න අයෙක් සිටීනම් පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිනවා. සියලු කරුණු පොත පතින් හා අන්තර්ජාලය මගින් ලබා ගත් ඒවා වන අතර වෙනස් කම් ඇත්නම් මීට වඩා අළුත් කරණු ඇත්නම් ඒවා සටහන් කර යන මෙන් ඉල්ලා සිටිමි. ඒවා මේ පෝස්ට් එකට එක්කරන්න මම සූදානම්.

    Thursday, January 6, 2011

    ශ්‍රි ලංකාවේ සර්පයෝ..

    අම්මෝ සර්පයෙක්...
    කෝ කෝ කොහේද??
    මරමු මරමු...
    මේ වගේ කතා අපේ රටේ ගම් බද ප්‍රදේශ, කෘෂිකාර්මික ප්‍රදේශ වලින් නිතරම අසන්නට ලැබෙනවා. සර්පයෙක් දැක්කම අපේ ගොඩ දෙනෙක්ට ඇති වන්නේ මාරක බියක්. ඉතින් ඒ නිසාමද කොහේද සර්පයෙක් දුටුතැන මරන්න එක් රැස්වෙන පිරිසක් නැති වෙන්නෙත් නෑ. මේ පිරිස් අතින් මිය පරලොව යන සර්පයන් ගණන කොතරම්ද? ඒ හැම සර්පයාම භයානකද?
    මේ කතාව ලියන්න කලින් මම මේ ගැන ලියන්න හේතුව කියල ඉන්න හිතුවා. දැනට වසර ගණනාවකට පෙර මම ඒ කාලේ පාසල් ශිෂ්‍යයෙක්. ඉගෙන ගත්තේ 8 වන වසරේ. ගසක අත්තක සිටි සර්පයෙකු විසින් සපා කෑවා. තරමක විෂ සහිත එම සපා කෑම නිසා මට දින 5ක් පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නත් සිදුවුනා. ඒ වෙනකොට මගේ ළඟ සර්පයන් ගැන ලියවුනු කුඩා පොත් පිංචක් තිබූ නිසා මගේ අත සපාකෑ සර්පයා මට හඳුනාගන්න පුළුවන් වුනා. ඒ පොත අතින් ඇඳ ඇති රූප නිසා එතරම් පහසුවෙන් සතෙකු දැක හඳුනා ගැනීමට අපහසු වුවත් තරමක අවබොධයක් ලබා ගන්න ප්‍රමාණවත් වූවා. මම ඒ සර්පයා හඳුනාගැනීම වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීමේදී ලොකු පහසුවක් වූ බවත් මට මතකයි.
    මේ සිද්ධියෙන් පසු මම සර්පයන් ගැන ලියවුනු පොත්, පුවත්පත් වාර්ථා, වෙනත් වැඩ සටහන් වැඩි උනන්දුවකින් කියවන්න ගත්තා. මේ නිසා මම සර්පයන් ගැන තරමක අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේම සර්පයන් ගණනාවක් හඳුනා ගන්නත් පුළුවන්. ඉතින් ඒ මතක ඔබ සමග බෙදාගන්න හිතුනා. ඒ උත්සාහයයි අද සිට ශ්‍රිලංකාවේ සර්පයන් ලෙස ඔබ හමුවේ තබන්නේ.
    එහෙමනම් මෙතැන් සිට අපි සර්පයන් ගැනත් කියවමු. සර්පයන්ට බය වෙන්න එපා. ඒ සර්පයාට පුළුවන් සපා කන්න විතරයි. ඒහෙම බැලුවොත් වැඩිය බය වෙන්න ඕන ඇතැම් මිනිසුන්ට. ඔවුන් සපා නොකෑවට බොහෝ හානි කරන්න පුළුවන්.
    ඉහත ඡායා රූපය ලංකාවේ සිටින විෂකුරු සර්පයින් අතරින් එකෙකු වන තිත් පොළඟා ගේ. 
    ස්ථානය දෙහිවල ස්ත්වෝද්‍යානය.
    එහෙනම් ගිහින් සරුපයන්ගේ විස්තරත් අරගෙනම එන්නම්..
    සුභ දවසක් !!!!!

    Saturday, January 1, 2011

    සුභ අළුත් අවුරුද්දක් වේවා.....


    මගේ මතකයට පිවිසෙන ඔබ සියළු දෙනාම "සුභ අළුත් අවුරුද්දක් වේවා" කියා සාදරයෙන් පිළිගන්නවා...
    අද දවස කාටත් වැදගත් දවසක්. අමුතුවෙන් කියන්න ඕන නෑනේ අදින් අළුත් වසරක් ඇරඹෙනවා. ඉතින් ඒ 2011 වසර සැමගේ පැතුම් ඉටුවන වසරක් වෙන්න කියල නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවුරුද්දක් පටන් ගන්න දවසේ සුභ පතන එක සාමාන්‍ය සිරිතක්නේ. ඒත් අද මගේ මතකයට ගොඩ වදින ඔබ මට සුවිශේෂ පිරිසක් වෙනවා. ඒ අද මට, මගේ මතකයට සුවිශේෂ දවසක් නිසා ඇයි ඒ..??
    මෙන්න බලන්නකෝ හේතුව....

    ඔව් ඔය තියෙන්නේ රත්තරනින්ම ලියල. 
    මේ තමා මගේ මතකයේ දිග හැරෙන 50 වෙනි පොස්ට් එක. මේ වසරේ මැයි 25 වනදා පටන් ගත් මේ බ්ලොග් එක මගේ පළමු බ්ලොග් එක. මීට කලින් මම කිසිම බ්ලොග් සටහනක් තබා බ්ලොග් එකක කමේනට් එකක් දාලවත් නෑ. කොහොම හරි දන්නෙම නැතිව 50වෙනි සටහනටත් ඇවිත්. බ්ලොග් කරණය ගත් විට එක් එක් අය තමන්ට ආවේණික රටාවකට අනුවයි ලියන්නේ. එය මටත් පොදු දෙයක්. මම නිතරම ලියන කෙනෙක් නම් නොවේ. ඒකනේ මේ 50 ලියන්න මාස 7ක් පමණ ගියේ. ඉතින් අද කරන්න යන්නේ අතීතය දෙස නැවත හැරී බැලීමක්.
    මම කලින් පොස්ට් කීපයකම සඳහන් කර ඇති ආකාරයටම මට බ්ලොග් කරණයට පාර කැපුනේ අහම්බෙන්. ඒ කතන්දර ගේ බ්ලොග් එක එහම්බෙන් කියවීමෙන්. ඒ නිසා කතන්දර මම මගේ බ්ලොග් කරණයේ ගුරුවරයා ලෙසයි සැමදාමත් සලකන්නේ. ඒ දිනවලම කියවූ එකේ වාට්ටුව නිසා බ්ලොග් එකක් ලියන්න ඇතිවූ ආසාව වැඩි උනා. ඔය විධියට පටන් ගත් බ්ලොග් එකේ පළමු කොමෙන්ටුව ලැබුනේ කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගෙන්. ඉතින් බුද්ධිටත් මම ස්තූති වන්ත වෙනවා. මාව පළමුවෙන්ම ෆලෝ කරන්න පටන් ගත්තේ රවා මල්ලියි. දෙවැනුව නුවන් මාව ෆලෝ කරන්න ගත්තා. දැන් නම් 60 කට වැඩියෙන් මා පසුපස පන්නනවා. 
    මේ කාලයේ මා සමග සිටි තවත් බොහෝ දෙනෙක් මතක් නොකරම බෑ.
    සෑම පොස්ට් එකකටම පාහේ කමෙන්ට් එකක් දෙන්න එන මංකඩ ලියන කාංචන හා පිණිපලස ලියන හරී අමතක කරන්න බැරි දෙදෙනකේ.
    දැනට මාස දෙකකට පමණ පෙර පළමු වරට මගේ මතකයට ගොඩවැදුන දා සිට එකක් නෑර සෑම පොස්ට් එකටම කමෙන්ට් එකක් දමන ඒ වගේම පොස්ට් ලියවෙන්නේ නැති අවස්ථාවල ලියන්න උනන්දු කරන පොඩි කුමාරිහාමි ලියන ප්‍රවීනාත් මගේ මතකයෙන් කොහෙම අයින් කරන්නද?.
    බ්ලොග් එකක් ලියන්නේ නැති උනත් සෑම පොස්ට් එකක්ම කියවා කමෙන්ට් එකක් දමා යන්න අමතක නොකරන ප්‍රසන්නත් මම කොහොම අමතක කරන්නද?
    ඒ විතරක් නොවේ. බ්ලොග් අවකාශයට ආ දින පටන් මේ පැත්තට නොවරදවාම එන ඉංදික ටත් ස්තූතිය පිරි නමන්නම ඕන.
    තව මතක් කරනකොට ඉන්න ලිසිට් එක හරි දිගයි. ඒත් මගේ මතකයට නිතරම ගොඩවදින ඩුබයි වට්ටක්කා ලියන පුතා මල්ලිවත් අමතක කරන්න බෑ.
    හැකි සෑම අවස්ථාවකම මේ පැත්තට ඇවිත් යන දුකා අයියා, බ්ලොග් ගඩොල් මල්ලිලා, සොඳුරු සිත ලියන වත්, සියපත ලියන සන්සරසිඳු, කට කහන කතා ලියන දුමී අයියා, සිතැඟි ලියන මා මිත්‍ර කුෂාන්, හා පැටික්කි, හසියාගේ නවාතැන ලියන හසියා, වැප්, ජීවිතේ මල්, ආන්ශ්, මගේ මරණය, රනා, පසන්, රන්දිකා, ෆා ද බ්ලොගි, සෝරෝ, ජේඩී, වාසල, තිස්ස අයියා, නොම්මරේ, අභීත ඇතුළු බස් එකේ කාණ්ඩේ කොහොම අමතක කරන්නද?
    ඉන්න පොඩ්ඩක් තව කව්ද ඉන්නේ බලමු.....
    ඇයි තව ඉන්නවනේ..
    ආගිය කතා ලියන හසිත, ත්‍රිමාන ලියන කංචු, පලා මල්ල ලියන පිස්සා, ගැමුණු, මංමුලාවූ සිතිවිලි ලියන හේමලයා, වැම්පයර් ලියන වැම්පයර්, විහඟ ගීතයOutsider , නිශ්, මාරයාගේ හොරාව ලියන මාරයා.
    කලින් කියන්න අමතක උනා. අපේ රවි අයියවත් මතක් කරන්න ඕන.
    ඔය තමා මට මතක් වුන ලිස්ට් එක. තව ඇවිත් ගිය අය ඇති. ඒඅයත් නම් වශයෙන් ලියන්න බැරි උනත් ආදරයෙන් මතක් කරනවා කමෙන්ට් නොකරත් මගේ මතකය බලන තවත් පිරිසක් ඉන්නවා. ඒ අයටත් ස්තූතිය පල කරනවා.
    ආ..කියන්න අමතක උනා තව Anonymous ලා සෙට් එකකුත් ඉන්නවා. තව කමෙන්ට් දාන්න ආපු වීරයෙකුත් ඉන්නවා. නෑ ඒව ඕන නෑ දැන්...
    ආ ගමන ගැනත් කියනවනම් පළමු පොස්ට් එක දැම්මේ මැයි 25 වෙනිදා. වැඩි යෙන්ම ලියා ඇත්තේ පරිගනක තාක්‍ෂණය සම්බන්ධ ලිපි. ඉඳ හිට කවියක් දෙකක් ලියුවත් දැන් ඒවා ලියන්නේ මියුරු කල්පනාවේ. වැඩිම හිට්ස් ආවේ තාක්‍ෂණ ලිපි වලට හා අපේ වැඩ අපිම කරගමු ලිපි වලට. පෝස්ට් 49ක් අතරින් වැඩිම දෙනෙක් කියවා ඇත්තේ Hard disk format කිරීම ලොකුම අවියෙන් සටන් කිරීමක්ද? යන ලිපියයි. අඩුවෙන්ම කියවපු එක දාන්න ඕන නෑනේද. මොකද දැන් ඒකට ලින්ක් එක දුන්නොත් ඒකේ වාර්ථාව නැති වෙනවා.
    තව මොනව කියන්නද? දැන් ඇති වගේ. අළුත් අවුරුද්දේ මේක කියවනව ඇරෙන්න තව වැඩ ගොඩක් ඇතිනේ.
    මමත් තව දවස් කීපයකින් අළුත් ලිපි මාලාවක් පටන් ගන්නවා. දැනට ඒ සඳහා ලෑස්ති වෙමින් ඉන්නේ. අවුරුද්ද පුරාවට ලියන්න දේවල් හොයන්නත් තියෙනවානේ.
    එහෙනම් මම ගිහින් එන්නම්. මෙතෙක් ආ ගමන ගැන ඔබේ සිතට එන දේවල් පහලින් කොටලම යන්නකෝ. ‍
    සුභ නව වසරක් වේවා සෑම සියලු දෙනාටම !!!!!!