Wednesday, June 22, 2011

Computer Hardware පාඩම 06 .... (Main Board 03) Memory & Memory Slot

Computer Hardware පාඩම යටතේ අන්තිම පොස්ට් එකට දැන් සතියකටත් වැඩියි. එන හැමදෙනාටම කණගාටුව පළ කරනවා පෝස්ට් එක ප්‍රමාද වූ එක ගැන. අපි කතා කරමින් සිටියේ mother board එක ගැනනේ. තාම ඒ පාඩම ඉවර නෑ. අන්තිම පාඩම Processor socket ගනනේ. අද කියන්න යන්නේ Memory slot ගැනයි. එහෙත් අද පාඩමටම Memory Slot එක සමගම Memory ගැනත් ලියනවා.

පරිගනකයක Memory ආකාර ගණනාවක් පවතිනවා. ඒවා ප්‍රධාන ලෙස Random Access Memory (RAM) හා Read Only Memory (ROM) ලෙස වෙන් කරන්න පුළුවන්. 

Random Access Memory (RAM)
මේවායින් RAM ආකාර දෙකක් පවතිනවා. මේවා විදුලිය මත රඳා පවතින්නක් (Volatile memory) එනම් විදුලි සැපයුම නැවතුන විට මතකය මැකී යනවා. RAM ආකාර දෙක නම්,
  • Static RAM
  • Dynamic RAM
Static RAM (SRAM)
ඉතා කෙටියෙන් කියනවනම් මේවා සැකසී ඇත්තේ අර්ධසන්නායක (Semiconductors) වලින්. ට්‍රාන්සිසිටර් වලින් සැදි පරිපථයක් මතකය ලෙස භාවිතා වන්නේ. මේවා ඉතා වේගයෙන් කියවිය හැකියි. එහෙත් මිළ ඉතා අධික නිසා පරිගනකයක මතකයේ අඩු ප්‍රතිශතයක් භාවිතා වන්නේ. ප්‍රධාන වශයෙන් Register memory හා Cache memory ලෙස processor එකේ භාවිතා කරයි. මුලින් Cache memory  processor එකට පිටින් Mother board එක තුල තිබුනත් දැන්  processor එකටම ඇතුලත් කර ඇත. ගලවා වෙනස් කිරීමට නොහැක.
Dynamic RAM (DRAM)
මේවායේ ක්‍රියාකාරිත්වය ධාරිත්‍රිකයක (Capacitor) ආරෝපණ ක්‍රියාවලියයි. සෑම Bit එකක් සඳහාම ධාරිත්‍රිකයක් ඇත.  මේවායේ ආරෝපණ විසර්ජනය (Discharge) වන නිසා කිසියම් කාල පරාසයකට වරක් නැවත ආරෝපණය කළ යුතුය. පරිගනකයක ප්‍රධාන මතකය ලෙස භාවිතා වන්නේ මෙම වර්ගයයි. අප අද කථා කරන මාතෘකාවද මෙම DRAM ගැනයි.

Read Only Memory (ROM)
කියවීමට පමණක් ඇති මෙම වර්ගය ගැන ඉදිරි ලිපියක කියවෙනවා ඇත.

එහෙමනම් අද මාතෘකාවට පිවිසෙමු.
 DIP socket Memory
මුලින්ම මේසඳහා භාවිතා කර ඇත්තේ අපි කලින් පෝස්ට් එකේ සඳහන් කළ DIP socket එකක්. එවැනි සැකසුමක් පිළිබඳව කලින් සඳහන් කළ නිසා මෙහිදී කියන්න අදහසක් නෑ. නමුත් මුල් කාලයේ Cache memory සඳහාද  DIP socket ක්‍රමය භාවිතා විය. Mother Board එකේ ඇති ඉඩකඩ උපරිමයෙන් භාවිතයටත් පහසුවෙන් ප්‍රමාණය වැඩිකරගැනීමටත් අවශ්‍යවූ නිසා මෙම ක්‍රමය ඉවත් කරන ලදී.

SIMM (Single In-line Memory Module)
1980 සිට 1990 දක්වා පමණ භාවිතා වූයේ මේවායි. මුලින් පැවති පින් 30ක සැකසුමකි. රූපය බලන්න. උපරිම වශයෙන් 4MB පමණ වනතෙක් මෙම මොඩියුල් පැවතිනි.
ඉන්පසුව භාවිතයට පැමිණියේ 72 Pin Memory Module ය. මේවා ප්‍රමාණයෙන් කලින් ඒවාට වඩා විශාලය. 


DIMM (Dual In-line Memory Module)
1990 පමණ සිට මේවා අද දක්වාම භාවිතයේ ඇත. කාලයත් සමග විවිධ ආකාරයෙන් වෙනස් වී ඇත. SIMM වල මෙන් නොව මේවායේ දෙපැත්තේ වෙන වෙනම Contact ඇත. කාලයත් සමග වෙනස් වූ ආකාරය අනුව වෙන් වෙන්ව හඳුනාගනිමු.
SDRAM
144-pin SO-DIMM (SDRAM)
PC66 = 66 MHz, PC100 = 100 MHz, PC133 = 133 MHz යන වේගයන් ගෙන් මේවා භාවිතයට පැමිණ ඇත. පින් 144කි. 


168-pin DIMM, SDR SDRAM
මේවා සර්වර් (Servers)  හා වර්ක්ස්ටේෂන් (Workstation) සඳහා භාවිතා විය.

DDR SDRAM (Double Data Rate SDRAM)
දැනට භාවිතයේ ඇත්තතේ DDR වර්ගයේ Memory Module ය. ඒවායේ වෙනස් කම් අනුව වෙන් වෙන්ව හඳුනා ගනිමු.

DDR I 
මේවා විවිධ වේගයන් සහිතව වාර්ථා වී ඇත.
PC1600 = 200 MHz / 100 MHz clock address හා control සඳහා
PC2100 = 266 MHz  / 133 MHz clock address හා control සඳහා
PC2700 = 333 MHz  / 166 MHz clock address හා control සඳහා
PC3200 = 400 MHz / 200 MHz clock address හා control සඳහා



DDR II
මේවායේ වේගය හා වර්ග අනුව පහත ආකාරයට වේ. Pin 240කි.
PC2-3200 = 400 MHz/ 200 MHz
PC2-4200 = 533 MHz/ 266 MHz
PC2-5300 = 667 MHz/ 333 MHz
PC2-6400 = 800 MHz/ 400 MHz
PC2-8000 = 1000 MHz/ 500 MHz
PC2-8500 = 1066 MHz/ 533 MHz
PC2-9600 = 1200 MHz/ 600 MHz


DDR 3
Pin 240 කින් යුක්තය. දැනට භාවිතා වන තාක්‍ෂනයයි. මේවා පහත ආකාරයෙන් ඇත.

PC3-6400 = 800 / 400 MHz
PC3-8500 = 1066 / 533 MHz
PC3-10600 = 1333 / 667 MHz
PC3-12800 = 1600 / 800 MHz
PC3-16000 = 2000 / 1000 MHz

RDRAM (RambusDRAM)
1999 දී පමණ භාවිතයට පැමිණි තාක්‍ෂනයකි. PC 800 සහය දක්වන අතර 400MHz වේගයකින් ක්‍රියා කරන ලදී. Pin 184 කි. මේවා සියල්ල අදික ලෙස රත්වන නිසා හීට් සින්ක් භාවිතා විය. එමෙන්ම මේවායේ විශේෂත්වය වූයේ සෑම ස්ලොට් එකක්ම මෙමරි මොඩියුල් වලින් සම්පූර්ණ කළ යුතුය. සාමාන්‍යෙයන් ස්ලොට් 4ක් ඇති අතර Mother board එක සමග RAMBUS Continuity-RIMM 2ක් සපයනු ලැබේ ඉතිරි ස්ලොට් 2 මෙමරි වලින් සම්පූර්ණ කළ යුතුය. නැතිනම් RAMBUS Continuity-RIMM ඉවත් කර සම්පූර්ණයෙන්ම මෙමරි සවිකළ හැක.


ලැප්ටොප් මෙමරි සොකට් ගැන මම කියන්න මෙම සටහනෙන් ඉඩක් ගන්න සිතුවේ නෑ. ඒ මෙමරි ගැන විස්තරාත්මක සටහනක් නැවත ලියන්න වන නිසා. මෙහිදී පෙන්වා දුන්නේ ප්‍රධාන මෙමරි මොඩියුල් හා ඒ සඳහා භාවිතා වන සොකට් පිළිබඳ හඳුන්වා දීමක් පමණයි. Expansion socket හා Dirvers connectors පිලිබඳව මීළඟ ලිපි වලින් බලා පොරොත්තු වන්න. ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

Thursday, June 16, 2011

දන්සැල් වල පෝලිම් වල......


පොසොන් එකත් එක්ක ආයෙම තොරණ්, දන්සැල් හැම තැනම. හැමදාම ඉතින් මට ඕවායේ හොඳ වගේම නරකත් පේනවනේ. මොන හේතුවක් හින්දද මන්දා? අපේ ගෙවල් පැත්තෙත් දන්සල් කීපයක්ම තිබුනා. ඕව කරන්නේ බොහෝවිට ගම පුරාම සල්ලි එකතු කරලයි. සමහර අයනම් සල්ලි ඉල්ලන්නේත් බලෙන්ම වගේනේ. ඒත් මම අද කියන්න හැදුවේ නම් එහෙම බලෙන් සල්ලි එකතු කරල කරන දන්සල් ගැන නෙවෙයි. මේක මට ඊයේ නිකමට වගේ සිතුන දෙයක්.

ඊයේ දවල් මම අප්පච්චිට පැරසිටමෝල් පෙති දෙකක් ගෙන්න කඩේට ගියා. පාර පුරාම මිනිස්සු. බැලුවම හැමෝම යන්නේ දන්සලෙන් බත් කන්න. වැඩි දෙනෙක් දන්සල දෙන්න ආදාර උපකාර කළ අයයි. හැමෝම වගේ දන්සලට ගිහින් කෑම කාල ආයෙම ගෙවල් වලට යනවා. හොයල බැලුවම ඒ කවුරුත් වගේ එදා ගෙදර කෑම උයලත් නෑ දන්සලෙන් කන්නම හිතන්. ගොඩක් අයට කන්න එන්න කියා ආරාධනා ලැබිල. ඔවුන් ඒ අනුවයි කන්න ගිහින් තියෙන්නේ.

මොනවද මේ දන්සල් කියන්නේ. ඇත්තටම දන්සල් ඈත අතීතයේ සිටම අපේ රටේ පැවති දෙයක්. පෙර රජ දවස බොහෝ පූජාභූමි වල වසර පුරාම රජදරුවන්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන දන්සල් පැවති බවට සඳහන් වෙනවා. දැන් නම් එහෙම නෑ තමයි. ඒවා පවත්වාගෙන යන්නේ වන්දනා කරුවන් වෙනුවෙන් පුධාන ලෙසම. ඇත්තටම දන්සලක් දෙන්නේ දුගී, මගී යාචකාදීන් වෙනුවෙන්. 

ඉතින් වන්දනා කරුවන් මගීන්. ඔවුන්ට එම දන්සලෙන් කෑම ගන්න අයිතියක් තියනවා. ඒ වගේම ඒ දන්සල් වලින් දූගී දුප්පත් අය ඕන තරම් කාල තියනවා. යාචකයින් ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. නමුත් මම අර කලින් කී දන්සලට ආරාධනා ලැබූ පිරිස කිසිවෙකු දුගී දුප්පත් අය හෝ යාචකයින් නොවේ. එමෙන්ම ඔවුන් වෙනත් ගමනක අතර මග නොසිටින දන්සලටම යන අය නිසා මගීන් කියන්නත් බෑ. එහෙනම් ඔවුන්ට දන්සලකින් කන්න සදාචාරාත්මකව පුළුවන්ද කියා තමා මට හිතුනේ. අනික ඔය දන්සල් බොහොමයකින් කන පිරිස අතර දුගී දුප්පත් යාචකාදීන් ඇත්තේ අල්පයයි. හැම තැනම මේ තත්වය තියනවා කියන්නේ නෑ. පූජාබිම් අවට දන්සල් වලින් වන්දනාකරුවන් (මගීන්) ඕන තරම් කනවා තමා. එහෙත් සමහර ඒවායෙන් මම කලින් සඳහන් කළ පාර්ශව තුනෙන් එකක්වත් කන්නේ නෑ. එහෙම නම් දන්සල දීමේ පරමාර්ථ ඉටුවෙනවාද යන්න ගැටළුවක්.

දන්සල් දෙන්නන් කෙසේ වෙතත් කන්න යන ඔබ හිතට එකඟව හිතන්න ඔබට එයින් වේලක් කන්න ඇත්තටම අයිතියක් තියේද කියා. එහෙම හිතුවොත් ඒ වියදමින් මාසයක් දුගී, මගී යාචකයින් වෙනුවෙන් දන්සල් දෙන්න පුළුවන් වෙයි නේද. මේ පොසොන් සමයේ ඔබත් ටිකක් හිතන්න. ඔබේ අවංක තිරණය තවත් අහිංසකයෙකුගේ කුසගින්න නිවීමක් වේවි.
ගිහින් එන්නම්. Computer Hardware පාඩමේ ඊළඟ පොස්ට් එක ළඟම එනවා..

පින්තූරය ගත්තේ http://www.mirisawetiya.org/images/06-dansala.JPG

Saturday, June 11, 2011

Computer Hardware පාඩම 06 .... (Main Board 02)

කලින් දවසේ අපි Computer Hardware පාඩමෙන් කතා කලේ Mother board ගැනයි. මෙහි ලිපි කීපයක්ම පළ වෙනවා. මේ එහි දෙවන පෝස්ට් එකයි. කලින් එක කියවා නැතිනම් මෙතනින් ගිහින් කියවලාම එන්න.
අද කතා කරන්න යන්නේ Processor socket එක ගැනයි. කාලයත් සමග  Processor එක වෙනස් වූ නිසා සොකට් එකත් ඒ සමග වෙනස් වූවා. 

Dual in-line package (DIP)
මෙය මුල්ම Processor socket එකයි. වැඩි විස්තර අවශ්‍ය නෑ රූපය පමණක් බලන්න.
මෙම Processor හා Processor socket වර්ථමානයේ භාවිතාවන IC එකකට සමානයි. 1970 පමණ හඳුන්වා දුන් මෙය පින් 40ක සොකට් එකකි.

Plastic leaded chip carrier (PLCC)
පින් 68 සිට 132 දක්වා වූ මෙය මීළඟ Processor socket එකයි. දැනටත් CMOS සඳහා මෙවැන්නක් භාවිතා කරයි. රූපය බලන්න.

Socket 01
1989 මුල් වරට හඳුන්වාදුන් මෙය පින් 169 සොකට් එකකි. 16 සිට 33 MHz 486 SX, 486 DX, 486 DX2 සහ 486 OverDrive processors සඳහා මෙම සොකට් එක භාවිතා කරන ලදී. 5-volt processors සඳහා සහය දක්වයි.  මෙය PGA (Pin Grid Array) සොකට් එකකි


Socket 02
පින් 238 කින් යුත් මෙම සොකට් එක භාවිතා වූයේ 5-volt, 25 සිට 50 MHz 486 SX, 486 DX, 486 DX2, 486 DX4, 486 OverDrive සහ 63 හෝ 83 MHz Pentium OverDrive processors සඳහායි.  මෙය PGA (Pin Grid Array) සොකට් එකකි
රූපය බලන්න. මෙය විකිපීඩියා අඩවියෙන් ගත් රූපයකි.

Socket 03
1991 හඳුන්වා දුන් මෙය පින් 237ක සොකට් එකක් වන මෙය 3.3 Vසහ 5 V, 25–50 MHz Intel 486 SX, 486 DX, 486 DX2, 486 DX4, 486 OverDrive සහ Pentium OverDrive processors සඳහා සහය දක්වයි. තවද AMD Am486 හා Am5x86 processors සඳහාද සහය වේ.  මෙය PGA (Pin Grid Array) සොකට් එකකි

Socket 4
Pin 273 සොකට් එකකි. මෙය PGA (Pin Grid Array) සොකට් එකකි. 1993 හඳුන්වාදුන් මෙය P5 Pentium processors සඳහා යොදාගනී. 5-volt සහාය දක්වන මෙය  Pentium OverDrive processors සඳහා සහාය නොදක්වයි. රූපය විකිපීඩියාවෙනි.

Socket 5
Pin 320 කින් යුත් මෙය processors ගණනාවකට සහාය දක්වයි. ඒවා නම්, Intel P5 Pentium (75 - 133 MHz), Intel Pentium Overdrive (125 - 166 MHz),AMD K5 (PR75 - PR200), IDT WinChip (180 - 200 MHz), IDT WinChip-2 (200 - 240 MHz), IDT WinChip-2a (233 MHz) මෙය Socket මගින් ප්‍රතිස්ථාපනය (Replace) කරන  ලදී. රූපය විකිපීඩියාවෙනි.

Socket 6
Intel 486 සඳහා නිපදවා ඇති 235 Pin සොකට් එකකි. මෙයත් PGA පැකේජයේ සොකට් එකකි. 3.3V Socket  එකකි. රූපය ගත් තැන එහි ඇත.

Socket 7
1994 දී හඳුන්වා දුන් මෙය බොහෝ ප්‍රචලිත Socket එකකි. Pin 321 කි. 2.5 සිට 3.5V දක්වා සහය දක්වයි. 75–233 MHz Intel P5 Pentium, AMD K5 සිට K6 දක්වා, Cyrix 6x86 (සහ 6x86MX) P120–P233 processors සඳහා සහය දක්වයි. මෙය SPGA පැකේජයට අයත්ය. 
Supper Socket 7
මෙය AMD සඳහා යොදා ගැනේ. AMD K6-2 (300 MHz – 550 MHz), AMD K6-III, AMD K6-2+, AMD K6-III+, Cyrix MII (PR366/250 MHz – PR433/300 MHz), IDT WinChip 2 (200 MHz – 250 MHz) සඳහා සහය දක්වයි. Pin 321 කි. 2.0 සිට 2.4V දක්වා සහය දක්වයි.

Socket 8
1995 හඳුන්වාදුන් මෙය Pin 387 සොකට් එකකි. Pentium Pro, Pentium II OverDrive සඳහා සහය දක්වයි. 3.1 හෝ 3.3V සඳහා සහායවේ. FSB frequency 60–66MHz වේ.

Slot 1 හා Slot 2
1997 Slot 1 හඳුන්වා දුන් අතර 1998 Slot 2 හඳුන්වා දෙන ලදී. Slot 1 සම්බන්ධතා (Contacts) 242 සහිත වන අතර 1.3V සිට 3.50V දක්වා සහාය දක්වයි. Pentium II: 233–450 MHz, Celeron: 266–433 MHz, Pentium III: 450–1.133 GHz යන processrs හා Celeron and Pentium III to 1,400 MHz, VIA Cyrix III: 350–733 MHz, VIA C3: 733–1,200 MHz සඳහා සහාය දක්වයි.
Slot 2 Intel Pentium II Xeon (400-450 MHz), Intel Pentium III Xeon (500-1000 MHz) සඳහා සහයවේ.  1.3V සිට 3.3V දක්වා සහාය දක්වයි.

Slot A
1998 AMD Athlon සඳහා හඳුන්වා දෙන ලදී. Contacts 242 කි. 1.3 - 2.05 V අතර ක්‍රියාකරයි. AMD Athlon (500-1000 MHz) සඳහා සහය දක්වයි.

Socket 370
1999 හඳුන්වා දුන් මෙය බොහෝ කලක් භාවිතා වූ අතර contacts 370 කින් යුත් සොකට් එකකි. සහය දක්වන processors වන්නේ.
Intel Celeron Mendocino (PPGA, 300–533 MHz, 2.0 V)
Intel Celeron Coppermine (FC-PGA, 533–1100 MHz, 1.5–1.75 V)
Intel Celeron Tualatin (FC-PGA2, 900–1400 MHz, 1.475–1.5 V)
Intel Pentium III Coppermine (FC-PGA, 500–1133 MHz, 1.6–1.75 V)
Intel Pentium III Tualatin (FC-PGA2, 1000–1400 MHz, 1.45–1.5 V)
VIA Cyrix III/C3 (500–1200 MHz, 1.35–2.0 V)

මෙහි FSB 66, 100 and 133 MHz වේ. PGA වර්ගයේ සොකට් එකක් වන අතර 1.05 - 2.1V දක්වා ක්‍රියා කරයි.

Socket 462/Socket A
2000 දී හඳුන්වා දුන් මෙය contact 462 කින් යුත් සොකට් එකකි. AMD processors සඳහාම නිපදවා ඇත. සහය දක්වන processors වන්නේ.
AMD Athlon
AMD Duron
AMD Athlon XP
AMD Athlon XP-M
AMD Athlon MP
AMD Sempron
FSB frequency 200 MT/s, 266 MT/s, 333 MT/s, 400 MT/s වන අතර 1.0 සිට 2.05V දක්වා ක්‍රියා කරයි. මෙයද PGA package processor එකකි.

Socket 423
වසර 2000 දී හඳුනවා දුන් මෙය PGA 423Pin processor එකකි. Intel Pentium 4 processors සඳහාම නිපදවා ඇත. 1.3GHz සිට 2.0GHz දක්වා Willamette core Intel Pentium 4 සඳහා සහය දක්වයි. 1.0 - 1.85 V අතර ක්‍රියා කරයි. FSB frequency 400 MT/s වේ.

Socket 478/Socket N
වසර 2000 දී හඳුනවා දුන් මෙය PGA 478 Pin processor එකකි. Intel Pentium 4 processors සඳහාම නිපදවා ඇත. 1.3GHz සිට 3.4GHz දක්වා Northwood core processors, Willamette-series processors, Prescott Pentium 4 සඳහා සහය දක්වයි. සහය දක්වන processors වන්නේ (දෝෂයක් පෙන්වා දුන් peace  ස්තුතිය)
Intel Pentium 4 (1.4 - 3.4 GHz)
Intel Celeron (1.7 - 2.8 GHz)
Celeron D (2.13 - 3.2 GHz)
Intel Pentium 4 Extreme Edition (3.2, 3.4 GHz) 

FSB frequency 400 MT/s, 533 MT/s, 800 MT/s වේ.

Socket 495
Intel Celeron mobile processors සඳහා යොදාගත් සොකට් එකයි. PGA 495 contact සහිතවේ.

Socket 754
2003 දී හඳුන්වා දුන් මෙය AMD processors සඳහා සැකසූ එකකි. Contact 754 සහිත මෙය PGA වන අතර 0.8 - 1.55 V අතර ක්‍රියා කරයි. FSB 200MHz - 800MHz අතර වේ. සහය දක්වන Processors වන්නේ,
AMD Athlon 64 (2800+ - 3700+)
AMD Sempron (2500+ - 3400+)
AMD Turion 64 (ML සහ MT)
AMD Mobile Athlon 64 (2800+ - 4000+)

Socket 940
2003 දී හඳුන්වා දුන් මෙයද AMD processors සඳහා සැකසූ එකකි. Contact 940 සහිත මෙය PGA වන අතර 0.8 - 1.55 V අතර ක්‍රියා කරයි. FSB frequency 200 MHz System clock හා  800/1000 MHz HyperTransport link වේ. සහය දක්වන Processors වන්නේ AMD Athlon 64 FX හා AMD Opteron ය.

Socket 479
2004 දී හඳුනවා දුන් මෙය Mobile processor එකකි. සොකට් එකේ contact 479 කි. එහෙත් ප්‍රොසෙසරයේ ඇත්තේ පින් 478කි. Intel Pentium M, Intel Celeron M සඳහා යොදාගනී. FSB 400 MT/s, 533 MT/s වේ.

Socket 939
2004 හඳුන්වා දුන් මෙම සොකට් එක AMD processors සඳහා යොදාගැනේ. 0.8 - 1.55 V අතර ක්‍රියා කරන මෙය FSB 200 MHz System clock හා 1000 MHz HyperTransport link අතරවේ. සහාය දක්වන processors වන්නේ,
AMD Athlon 64 (3000+ - 4000+)
AMD Athlon 64 FX (51 - 60)
AMD Athlon 64 X2 (3600+ - 4800+)
Some AMD Opteron 1xx series
Some Sempron 3x00+ (Step E3, E6)

LGA 775/Socket T
2004 දී හඳුන්වාදුන් මෙයත් Intel processors සඳහා සහාය දක්වයි. contact 775කි. LGA වර්ගයේ සොකට් එකකි. FSB 133 MHz (533 MT/s), 200 MHz (800 MT/s), 266 MHz (1066 MT/s), 333 MHz (1333 MT/s), 400 MHz (1600 MT/s) සහාය දක්වයි. සහාය දක්වන Processrs වන්නේ,
Intel Pentium 4 (2.60 - 3.80 GHz)
Intel Celeron D (2.53 - 3.60 GHz )
Intel Pentium 4 Extreme Edition (3.20 - 3.73 GHz)
Intel Pentium D (2.66 - 3.60 GHz)
Pentium Extreme Edition (3.20 - 3.73 GHz)
Pentium Dual-Core (1.40 - 3.33 GHz)
Intel Core 2 Duo (1.60 - 3.33 GHz)
Intel Core 2 Extreme (2.66 - 3.20 GHz)
Intel Core 2 Quad (2.33 - 3.00 GHz)
Intel Xeon (1.86-3.40 GHz)
Intel Celeron (1.60 - 2.40 GHz)

Socket 563
Athlon XP-M processors සඳහා යොදාගනී. Contact 563 කි. 

Socket S1
Mobile processor එකකි. FSB 800 MHz වේ. සහය දක්වන්නේ Athlon 64 X2; Turion 64 X2; Mobile Sempron; Turion 64  සඳහාය.

Socket AM2
2006 දී හඳුන්වා දුන් මෙය Contacts 940 යුත් PGA සොකට් එකකි. FSB 200 MHz System clock, 1 GHz HyperTransport 2.0 අතර ක්‍රියාකරයි සහය දක්වන Processors වන්නේ,
Athlon 64, Athlon 64 X2, Athlon 64 FX, Opteron, Sempron, Phenom ය.
Socket AM2+ ද මේ හා සමානය.

Socket F
2006 දී හඳුන්වාදුන් මෙම සොකට් එක Contacts 1207 කින් යුක්තය. සහය දක්වන්නේ Opteron 2xxx, 8xxx series, Athlon 64 FX FX-7x series සඳහාය.

Socket P
මොබයිල් සොකට් එකකි. Intel සඳහා සහය දක්වයි. කන්ටැක්ට් 478 වේ. 

Socket 441
Intel Atom Processors සඳහා භාවිතා වන්නේ මෙම සොකට් එකයි. මෙහි FSB 400 MT/s, 533 MT/s අතර වන අතර Contacts 441 සහිතයි. හඳුන්වා දී ඇත්තේ 2008 දීය.


LGA 1366/Socket B
2008 හඳුන්වාදුන් මෙම සොකට් එක කන්ටැක්ට් 1366කින් යුතුය. වර්ථමානයේ බහුලව භාවිතා වන එකකි. LGA පැකේජයේ සොකට් එකකි. High end හා performance පරිගනක සඳහා යොදාගැනේ. සහය දක්වන processors වන්නේ,
Intel Core i7 (9xx series), Intel Xeon (35xx, 36xx,55xx, 56xx series), Intel Celeron P1053 යන ඒවායි.

Socket AM3
2009 දී හඳුන්වා දුන් මෙය AMD සඳහා භාවිතා වේ. Contacts 941 (Socket) හා 938 (CPU) ක් වනසේ ඇත. මෙයද PGA Package socket එකකි. වර්ථමානයේ භාවිතා වන සොකට් එකකි. සහාය දක්වන Processors වන්නේ,
Phenom II (AM3 models පමණි), Athlon II, Sempron, Opteron 138x

LGA 1156/Socket H
2009 දී හඳුන්වාදුන් මෙය වර්තමානයේ බහුලවම භාවිතා වන සොකට් එකකි. Contacts 1156 කින් යුතුවේ. LGA Socket එකක් වන මෙය සහය දක්වන Processors වන්නේ,
Intel Celeron, Intel Core i3, Intel Core i5, Intel Core i7, Intel Pentium, Intel Xeon යන ඒවා වේ.

මෙයට අමතරව Server Processor socket ගණනාවක් ඇතත් ඒවා පිළිබඳව මම සඳහන් කර නොමැත. අද නම් පොස්ට් එක ගොඩක් දිගයි වගේ. එහෙත් දැන් අපි මේ සොකට් සියල්ල ගැන දන්නවා. රූප නොමැති ඒවා අඩුවෙන් භාවිතා වන්නේ. නිතර භාවිතා වන සියල්ලේම රූපයක් ඇතුලත් කර ඇත. මේවා පිළිබඳව මෙම පොස්ට් එකෙන් කර ඇත්තේ හඳුන්වා දිමක් පමණි. එහෙත් මේවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් ඉදිරි ලිපි වලින් වැදගත් වන දැනට භාවිතා කරන ඒවා ගැන තව විස්තර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මීළඟ පොස්ට් එක වෙන් වන්නේ මෙමරි (Memory Slot) සඳහාය. මෙම ලිපි පෙළට අළුතින් කියවන්න ආ අය පැරණි පොස්ට් කියවා එන මෙන්න ඉල්ලමි.
සුභ දවසක්..!!!

ඡායාරූප වලින් කොටසක් මගේ වන අතර අනෙක්වා අන්තර්පාලයෙන් ලබා ගත් ඒවා බව සලකන්න. 

Tuesday, June 7, 2011

Computer Hardware පාඩම 06 .... (Main Board 01)

Hardware පාඩම සමග එකතුවන ඔබ දැන් පිවිසෙන්නේ මේ පාඩමේ වැදගත්ම කොටස් වලටයි. මේ තමා පරිගනකයක ස්වභාවය තීරණය කරන ප්‍රධාන සාධකය. 

මේ රූපයෙන් දක්වා ඇති පරිදිම අද සිට අපි කතා කරන්නේ මවු පුවරුව ගැනයි. මෙය Main Board, Mother Board, System Board යන නම් වලින්ද හැඳින්වෙනවා. අපි මෙතැන් සිට මෙය Mother Board යන නමින් කතා කරමු. නමුත් ඉහත ඕනෑම නමක් කියන්න පුළුවන්. මම පහසුව සඳහා පමණයි Mother Board යන්න යොදන්නේ.
Mother Board එකක දල සටහනක් පහතින් දක්වා ඇත.

මෙය බෝඩ් එකෙන් එකට කාලය සමග වෙනස් වන්න පුළුවන් නමුත් දල වශයෙන් දැනට භාවිතයේ ඇති Mother Board වල ඇත්තේ මෙවැනි සැකසුමක්. 
කලින් සඳහන් කළාක් මෙන් ඇයි මේ Mother Board එකක් පරිගනකයක සීමාකාරී සාධකය වන්නේ?
පරිගනකයක Mother Board එක මගින් තීරණය කරනා දේ මොනවාද කියා අපි පළමුව සොයා බලමු.
  • පරිගනකයට භාවිතා කරන Processor එකේ වර්ගය හා එහි වේගය ඇතුළු සාධක තීරණය වන්නේ Mother Board එක මගිනි.
  • පරිගනකය සහාය දක්වන Memory තීරණය කරන්නේ Mother Board එක මගිනි.
  • අනෙකුත් Expansion cards තීරණය කරන්නේ Mother Board එක මගිනි.
  • Hard disk, Floppy Drives, Optical Drivers සඳහා Mother Board එක සහාය දැක්විය යුතුය.
  • එපමණක් නොව Casing එක Power supply එක පවා තිරණය කරන්නේ Mother Board එක අනුවයි.

Mother Board එක යනු කුමක්ද?

ඇත්තටම Mother Board එකක් යනු තීරු ගණනාවකින් යුතු මුද්‍රිත පරිපථයකි. (Multi layer printed circuit board) එහි ප්‍රොසෙසරය  (Processor), මෙමරි (Memory modules), Expansion cards, Input/Out put connectors, Power connector ආදි සියල්ල එහි ඇත. 
ඊට අමතරව Casing එකට සවිකිරීමට ඇණ සිදුරු ඇත. ඒවා ඇත්තේ සම්මත දුර ප්‍රමාන වලිනි. ඒ එකලස් කරන පරිගනක සඳහාය. නමුත් වෙළඳ නාම යටතේ නිපදවෙන ඒවායේ ඔවුනට ආවේණික දුර ප්‍රමාණ යොදාගනී.

Mother Board එකක කොටස්
  • Processor socket එකක් හෝ කීපයක් (සර්වර් වල Processor socket කීපයක් ඇත)
  • Memory slots දෙකක් හෝ වැඩි ගණනක් ඇත. 
  • Chip Set එක. 
  • BIOS /Flash ROM
  • Clock generator 
  • Expansion cards සඳහා ස්ලොට්ස්
  • Power connectors
  • Hard disk, Floppy drivers සඳහා connectors
  • Indicator LED සඳහා connectors
  • මීට අමතරව ඉලෙට්‍රොනික උපාංග රැසක් ඇත.
Intel 945 Chipset Mother board එකක පහත රූපය බලන්න. අප නම් කළ කොටස් ඒ මත පිහිටා ඇති ආකාරය එයින් ඔබට අවබෝධ කරගන්න පුළුවන් වනු ඇත.

මෙම කරුණ වලින් Mother board ගැන ඔබ දල අදහසක් ගන්න ඇතැයි සිතනවා. කෙටියෙන් කියනවානම් Mother board එකක් යනු පරිගනකයේ ප්‍රධාන පරිපථයයි. මෙහි එක් එක් කොටස්, දැනට භාවිතයේ පවතින පරිගනක වල භාවිතා කර ඇති Mother board ගැන මීළඟ ලිපි වලින් බලාපොරොත්තු වන්න. 
අද පාඩම නම් ගොඩක් කෙටි උනා. තරමක වැඩ අධික නිසා අපහසුවෙන් කාලය වෙන් කර ගත්තේ මේ සටහනට. මීළඟ ලිපියෙන් හමුවෙමු.

Saturday, June 4, 2011

Computer Hardware පාඩම 05 (ඉතිරි කොටස) .... (Casing-Power supply)

කලින් පාඩම කියවන්න බැරි උනානම් කියවලාම ඉමු නේද?
Casing ගැන එදා පොස්ට් එකෙන් ඉවර කරන්න හිතුවත් පසුව දාන්න තිබූ සටහනක් එම සටහන හා සම්බන්ධ නිසා එහි ඉතිරි කොටස ලෙස ලියන්න හිතුවා. බල සැපයුම (Power Supply) Casing එකේම කොටසක් ලෙසයි පවතින්නේ. එහෙමනම් වැඩි විස්තර නැතිව අද කතා කරමු බල සැපයුම ගැන. 
සාමාන්‍යෙයන් පරිගනක බල සැපයුමක් එකිනෙකට වෙනස් විභව අන්තර ගණනාවක් ලබා දෙනවා. අපි සාමාන්‍යෙයන් බොහෝ උපකරණ වල භාවිතා කරන බල සැපයුම් ලබා දෙන්නේ සෘණ (-) අග්‍රයට සාපේක්‍ෂව කිසියම් නියත විභවයක් වුවත් පරිගනක බල සැපයුම විභවයන් කීපයක්ම පිටතට ලබා දෙනවා.
ඒවා නම් +12V, -12V, +5V, -5V, +3.3V වේ.
මුල් කාලයේ. එනම් 80286, 80386, 80486, 80586 (Pentium I මෙයට ඇතුලත්) හා ඇතැම් P II සඳහා  බල භාවිතා වූ සැපයුම් වූයේ AT නමින් හැඳින්වූ ඒවායි. දැනට ඒවා භාවිතා කරනා පරිගනක හොයන්නත් නැති තරම් නිසා අපි පින්තූරයක් විතරක් බැලුවම ඇති. මේවා ක්‍රියා කරන්නේ කෙලින්ම ප්‍රධාන විදුලිය ලබාදීම හා විසන්ධි කිරීම මත. එහි ස්විච් එක ඇත්තේ එම විදුලි සැපයුම ලබා දීම හා සිඳලීම සඳහා පමණයි.
මින් පසු හමුවන්නේ ATX වර්ගයයි. එහි Versions කීපයක් ඇත. මේවා වෙන් වශයෙන් විස්තර කරන්න පොස්ට් කීපයක්ම ලියන්න වෙන නිසා කෙටියෙන් හඳුනා ගැනීම ආධුනික ඔබට ප්‍රමාණවත් බවයි මගේ හැඟීම.

ATX Version 1.X
මුලින් පැමිණි ATX Version 1.X P iii, Piii, P4 සියල්ලේම භාවිතා වූවා. එහෙත් කාලෙන් කාලෙට වෙනස් වීම් සහිතවයි. 
P iii සඳහා main power connector එක 20 Pin එකක් වූ අතර. ඊට අමතරව peripheral connectors (Hard disk, CD/DVD වැනි දේ සඳහා) හා floppy drive connectors දක්නට ලැබුනා. 
පහත රූපයත් බලන්න.

හොඳින් බලන්න  main power connector එකක්, peripheral connectors 4ක් හා එක් floppy drive connector යක් පමණයි ඇත්තේ. 
ඉන්පසු P4 සඳහා වෙනස්කම් කීපයක් සහිතව බල සැපයුම් නිශ්පාදනය වූවා. මේවායේ මුල් කාලයේ 12VDC අමතර pin 4ක කනෙක්ටරයක් Main board එකට සම්බන්ධ වූවා. ඊට අමතරව auxiliary power connector Main board එකට සම්බන්ධ වෙනවා. එහෙත් පසුව මෙම  auxiliary power connector එක ඉවත් වනවා. එනම් පසුව නිශ්පාදිත ඒවායේ මෙය දක්නට නැත.
මේ එවැන්නක්.

ATX Version 2.X
දැන් භාවිතා වන්නේ මෙම වර්ගයයි. මෙහි  main power connector එක 24 Pin එකක් වේ. මීට අමතරව SATA hard disk සඳහා වෙනම power connectors ඇත. අළුත්ම ඒවායේ 6-pin PCI Express® power connector එකක්ද ඇත. 
මේ රූපයේ ඇති පවර් සප්ලයි එකේ නම් එම 6-pin PCI Express® power connector දක්නට නැත.

නමුත් මේවායේ Pin 24න් 4ක් ඇත්තේ ගලවා වෙන් කල හැකි පරිදිය. ඒනිසා පැරණි 20Pin එකක් වෙනුවෙන් මේම පවර් සප්ලයි එකක් භාවිතා කිරීමට හැකියාව ඇත. මේවායේ Pin සැකසුම හා ඒවායේ විභව අන්තර (Voltages) සහිත සටහනක් පහත රූපවලින් පෙන්වා ඇත.
මෙහි ඡායාරූපයක් බලන්න.

ATX 2.X වලට අයත් Pin 4 වෙනම සවිවී ඇති ආකාරය හොඳින් බැලූවිට දැකියහැක.
අනෙක් connectors හා ඒවායේ Pin සැකසුමත්, ඒවායේ විභව අන්තරත් පහත රූපයෙන් බලන්න.
Serial ATA (SATA) connector එකක pin සැකසුම හා විභවයන් සඳහා පහත රූපය යොදාගන්න.
 PCI Express® power connector එකක pin සැකසුම හා විභවයන් දැක්වෙන රූප සටහන.
මෙම Main board connector වල ඇති එක් එක් pin එකට අදාළ voltages රූපයේ පැහැදිලිව දක්වා ඇත. කළු පැහැයෙන් ඇති COM යනුවෙන් සඳහන් connector එක 0V විභවය පෙන්වයි. අළු පැහැති PWR_OK (ඇතැම් විට PG යනුවෙන්ද දැක්වේ) ඇත්තේ  Main board එකේ සිට ලැබෙන සඥාව ලබාගැනීමටයි. කිසියම් දෝෂයක් ඇතිනම් එමගින් බලසැපයුම ක්‍රියාවිරහිත (Power Off) කරයි. කොළ පැහැති PS_ON pin එක මගින් පවර් සප්ලයි එක ක්‍රියාත්මක (Power On) කරයි. මෙය කුඩා වයර් කැබැල්ලක් හෝ කම්බියකින් 0V (කළු/COM) හා සම්බන්ධ කළ විට පවර්සප්ලයි එක On කළ හැක. පරීක්‍ෂා කිරීම් සඳහා මෙම ක්‍රමය භාවිතා කරයි. 
මේ සාමාන්‍ය එදිනෙදා භාවිතාවන පවර් සප්ලයි එකක සැකසුමයි. නමුත් විවිධ වෙළඳනාම යටතේ නිශ්පාදනය වන ඒවායේ pin සැකසුම මීට වෙනස් වන්නට පුළුවන. එහෙත භාවිතා වන්නේ මෙම විභවයන්මය. තවද ඒවායේ connector එකින් එකින් වෙනස් වන අවස්ථා ඇත. 
නමුත් මෙයට වඩා සම්පූර්ණ වෙනස් පවර් සප්ලයි සර්වර්ස් වල භාවිතා වේ. ඒවායේ සැකසුම මෙසේ යයි පෙන්වා දිය නොහැක්කේ එකිනෙකට වෙනස් නිශ්පාදකයන් තම විවිධ මාදිලි සඳහා විවිධ ආකාරයෙන් මේවා සකස් කිරීම නිසයි. තවද බොහෝවිට බාධාවකින් තොරව අඛන්ඩව ක්‍රියා කිරීමට (redundancy) මේවායේ පවර් සප්ලයි දෙකක් හෝ වැඩි ගණනක් ඇත. එනිසා සර්වරය ක්‍රියාත්මක වන අවස්ථාවේම පවර් සප්ලයි මාරු කළ හැක. එයට ෂට්ඩවුන් කිරීමට අවශ්‍ය නොවේ. මෙවන් පවර් සප්ලයි එකක් පහත රූපයේ දැක්වේ.
මෙය Dell PowerEdge 2950 මාදිලියේ සර්වරයක පවර් සප්ලයි දෙකෙන් එකකි.

මේවාට වඩා සම්පූරණයෙන් වෙනස් බල සැපයුම් Lpatop හා Netbook වල භාවිතා වේ. ඒවායේ ඇති විභව අන්තරද එකිනෙකට වෙනස් වන අතර එය පසුව වෙනම පරිපථයකින් අවශ්‍ය පරිදි විවිධ වෝල්ටීයතාවන්ට වෙන්කර ගනී.
මේවායේ ක්‍රියාකාරීතවය හා අනෙකුත් තාක්‍ෂණ තත්වයන් පිළිබඳ සටහන් කිරීම සටහන් ගණනාවක් දුරට මෙය ගෙන යන නිසා ඒපිළිබඳ කථා කිරීමට බලා පොරොත්තුවක් නෑ. 
එහෙමනම් අපි මේ සටහන මෙයින් නවතමු. මීළඟ සටහන් කීපය Main board එක සඳහා වෙන් කරනවා. 

අද වෙනසක් කරන්න හිතුවා අවසානයේ පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔබේ පරිගනකයේ පවර් සප්ලයි එක තුළට හූනෙක් වැනි සතෙකු යනු දුටුවොත් කළ යුතු දේ සඳහන් කරන්න. (මෙම අවස්ථාවේ පරිගනකය ක්‍රියාත්මක නොවන බව සලකන්න) හැබැයි නිවැරදි පිළිතුරු සඳහා තෑගි නොදෙන බවත් සලකන්න :D

එහෙනම් ගිහින් එන්නම්. සුභ දවසක්..!!!

Pin out සඳහන් රූප http://www.smpspowersupply.com අඩවියෙනි. අනෙකුත් සියල්ල මාගේ හිමිකම් බව සලකන්න.