Saturday, April 30, 2011

පිට්ටනිය තැලූ කතාව...

සයිබරයේ ඇති සිංහල බ්ලොග් අතරින් බ්ලොග් ගණනාවක පාසල් කාලේ අත්දැකීම් ලියවෙන නිසා මම පාසල් කාලේ ගැන ලියන්න අදහසක් තිබුනේ නෑ. මම මේ බ්ලොග් එක පටන් ගත්තේ තාක්‍ෂණික දේවල් සරලව මගේ එදිනෙදා අත්දැකීම් ලෙසින් බෙදාගන්න බව මුල සිට මේපැත්තට ආ අය දන්නවනේ. ඒත් දැන් බ්ලොග් අවකාශේ සිංහල බ්ලොක් කියවන අය අතර මේ රටේ නැති සිංහල කතා කරන ලියන කියන බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන්ට තාක්‍ෂනික දේ කියවන්න ඕනෑතරම් මූලාශ්‍ර තියනවා. ඒවගේම සිංහලෙන් පමණක් කියවන අයට හැර අනික් අයට ඉංග්‍රීස්යෙන් ලියවුනු සටහන් ජාලයේ දැන් ඕන තරම්. ඇරත් දැන් කීදෙනෙක් සිංහල තාක්‍ෂණික බ්ලොග් ලියනවද? නමුත් මම තාක්‍ෂණික දේ ලියන එක නවත්වන්න හිතුවේ නෑ. ටික කලෙකින් ලියා නැතත් ළඟදීම ආයෙම ඒ ලිපි ලියන්න පටන් ගන්නවා. 
ඉතින් කාටත් කියවන්න දෙයක් දෙන්න ඕන නිසාත් පාසල් අත්දැකීම් එකිනෙකාගෙන් වෙනස් වන නිසාත් ඉඳහිට ඒවාත් එකක් දෙකක් ලියන්න හිතුවා.
ඔන්න පළවෙනියටම කියන්න යන්නේ අපි හත වසරේ ඉන්න කාලේ සිද්ධියක්. අපි සතියකට දවසක් ශාරීරික අභ්‍යාස සඳහා පිට්ටනියට යනවනේ. ඇත්තටම ඔය පීරියඩ් එකේ හරියට කරන අභ්‍යාසයක් නම් නෑ. කරන්නේ පොද්ගලික පිරිසිදු කම බලන එක. නියපොතු කපලද? කොණ්ඩේ කපල පීරල තියනවද? යට ඇඳුම ඇඳලද කියල කලිසම ටිකක් පහත් කරලත් බලනවා. අපෝයි නේද? අනික් සර් නම් අඩි රූලක් අරන් තමා යට ඇඳුම බලන්නේ. කොහොම හරි ඔය PT සර්ල ආවේ නැති දවසට නම් අපිට ෆුල් ආතල්. ඇයි පිට්ටනියට ගිහින් ඒ කාලයම සෙල්ලම් කරන්න පුළුවන්නේ. පිට්ටනිය අයිනේ කලින් හංගලා තිබුන බෝල බැට් එලියට එන්නේ අපි යන්නත් කලින්ම වෙන්න ඇති. යනකොටත් විකට් වෙනුවට ගල් කැට දෙකක් එහෙම පිට්ටනිය මැදට ඇවිත්.
මේ කියන දවසේ සර් ඇවිත් හිටියේ නෑ. කරුමේ කියන්නේ මට හිසේ කැක්කුමක් ඇවිත් අව්වේ සෙල්ලම් කරන්න බැරිවයි හිටියේ. එහෙම දවසට අපි කරන්නේ පිට්ටනිය අයිනේ තියන ලොකු ගහ යටට ගිහින් කතාවක් දාගෙන ඉන්න එකයි. එදා අව්ව වැඩි දවසක් නිසා එතන ගොඩක් හිටියා. ඔය ගහ පැත්තෙන් ඇල්ල වැස්සට සේදී එන නිසා ඒ පැත්තෙන් පිට්ටනියට පල්ලමක් තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්න තැන පිට්ටනියේ මැද හරියට වඩා උඩින් තියෙන්නේ. ඔතන තියනවා පිට්ටනිය තලන්න ගන්න යකඩ රෝලක්. ඔයාල දැකල ඇති නේද? ඔය පහල රූපයේ තියෙන්නේ. ඒ වගේ එකක් තමා.
අපේ ඔතන හිටිය එකෙක් ඕක තල්ලු කරන්න ගත්තා පිට්ටනිය පැත්තට. ඕක අපිට අල්ලන්න එපා කියලයි තිබුනේ ඒ දවස්වල. පල්ලම නිසා මේක ලේසියෙන්ම යනවා. අපිත් මූව ෆෝම් කරන්න හුරේ දානවා. දැන් පොරට ෆුල් ආතල්. පොර ඕක පිට්ටනිය මැදක් වෙන්ට තල්ලු කරන් ගියා. දැන් අපි කෑගහනවා උඹ තමා ඕකට මාට්ටු වෙන්නේ ආපහු ඇදන් වරෙන් කියල. දැන් පොර මේක ආපහු අදිනවා. දැන් තමා ඌට තෙරෙන්නේ වැඩේ තියන අමාරුකම. හත වසර කියන්නේ අවුරුදු 13ක විතර පොඩි ළමයිනේ. එහෙම කෙනෙකුට ඔය වගේ රොලක් කන්ද අදින්න ලේසි නෑ. ඒත් අර පොරට ගුටිකන්න බයටම දාඩිය පෙරාගෙන අදිනවා. අන්තිමට බාගයක් ඇද්දම තවත් අදින්න බැරිම තැනට ආවා. අපි ඉතින් කෑගහනවා කොහොම හරි තල්ලුකලා නම් ආපහු ගේන්න. නැතිනම් ගුටි කන්න තමා වෙන්නේ කියල. දැන් නම් පොර හොඳටම බය වෙලා. අන්තිමට පීරියඩ් එක ඉවර වෙන්ත් ඇවිත්. අපි සෙට් එකේ 6ක් විතර ගියා අරක ඇදන් එන්න. ඒ වෙලාවේ තමා අපිටත් තේරුනේ මේක අදින්න තියන අමාරුව. අර පොර මේටික කොහොම ඇද්දද කියල. බයටම වෙන්න ඇති.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

පින්තූරය ගත්තේ http://img4.allvoices.com/thumbs/event/609/480/75021613-indias-ashish.jpg

Thursday, April 28, 2011

ආයෙත් වැස්ස වහිනවා....

වසා තිබූ ජනේලයේ වීදුරුව අතරින් ඈත බැලූ නමුත් ඒ තරම් දුරක් පේන්නේ නෑ. ඒ හොඳටම වහින නිසා. මිදුල මැදින් මහා ජල කඳක් ගලාගෙන යනවා. අදත් පාරේ කාණුව උතුරනවා ඇති. මේ වැහි කාලෙට හැමදාම වැස්ස වෙලාවට කවුරු හරි ගෙදරට එන පාරට වැලි මලු දමා වතුර පාර අවහිර කරන්න ඕන. නැතිනම් ගෙදරට ඉහලින් ඇති පාරේ කාණු උතුරන නිසා ගලා යන මහා වතුර කඳෙන් කොටසක් ගලා යන්නේ අපේ මිදුල මැදින්. ඉතින් වැස්සකින් පසුව අපේ මුළු මිදුලම හේදිලා ගිහින්.
http://www.freefoto.com

ඒ විතරක් නම් තව කමක් නෑ කියමුකෝ. රොන් මඩ එකතු වෙලා. තව ප්ලාස්ටික් බෝතල්, යෝගට් කප්, පොලිතීන් ඇතුළු අප ද්‍රව්‍යයන්ගෙන් මිදුල පිරිල. සුළු පටු කාර්යයක් නෙවේ පිරිසිදු කරන එක. ඉතින් මේවා ඉවත් කරල මුලු මිදුලම පිරිසිදු කරන්න ඕන. මෙහෙම වෙන්නේ පාරේ කානුව උතුරන නිසයි.
ඉස්සර ඉඳන් තිබුනු කානු උතුරන්න ගත්තේ ඒවා ගොඩවීම නිසයි. ගොඩ වෙන්නේ නිකම්ම නොවේ. ඒ අවට සිටින අය තම නිවෙස් වලින් ඉවත් කරන බොහෝ දේ පාරට හෝ කාණුවට දැමීම නිසයි. මේ ප්‍රදේශය ප්‍රාදේශිය සභාවෙන් පාලනය වන අතර ඔවුන් වරිපනම් එකතු කිරීමට හැර කුණු ඉවත් කිරීමට නම් කවදාවත් එන්නේ නෑ. තවද මෙහි බොහෝ දෙනා. විශේෂයෙන් පාරට ඉහලින් සිටින අය තම ඇල්ලෙන් හෝ ආරක්‍ෂක බැම්මෙන් පහලට කුණු අපදුව්‍ය, කඩා වැටෙන පස් ආදිය හැලීම නිසා කානු පිරී යනවා.
අවසානයේ වන්නේ විශාල විනාශයකි. තවද උතුරායන වතුර, ඒවායේ ඇති ප්ලාස්ටික් භාජන පොල්කටු ආදියේ එකතුවන වතුර නිසා මදුරුවන් බෝවීම ඩෙංගු වැනි රෝග වලට අත වැනීමකි. ඒ වගේම මේ කාණු සුද්ධ පවිත්‍ර කිරීම ප්‍රාදේශීය සභාවේ වගකීමක් වේ. නමුත් මගේ ජීවිත කාලය පුරාම කවදාවත් ප්‍රාදේශීය සභාවෙන් නම් මේවා සුද්ධ කරනවා දැක නැත. කරනා එකම දේ වරිපනම් එකතු කිරීමයි. තවත් කියන්න ගියොත් වෙන්නේ හිතේ කෝපයක් ඇතිවෙනවා මිස වෙනත් කිසිම වාසියක් නම් නොවේ. සියල්ල අමතක කර වැස්සේම තෙමි තෙමී ගොස් අර උඩ පින්තූරේ තියනවා වගේ වැලි ගෝනි දමා ජලය අවහිර කර නැවත ආවෙමි.
අපිරිසිදු ජලයෙන් තෙමුන ඇඟ සෝදා ඇඳුම් මාරු කළ මම උනුසුම් කෝපි කෝප්පයක් බොන්නට ගත්තේ අපේ අය කවදා හැදෙයිද සිතමිනි. කිසිත් නොදන්නා වැස්ස තවමත් එලෙසම වසිනු කෝපි කෝප්පයෙන් නැගෙන දුම් රොටු අතරින් බලා සිටියෙමි.
කම්මැලි කමට ලියවුනු දෙයක්. ගිහින් එන්නම්.
සුභ සැන්දෑවක්..!!!

Tuesday, April 26, 2011

ආදරයේ උල්පත වූ අම්මා... To my Mother......

මේ කතාව කොතනින් පටන් ගන්නද? මට හිතාගන්න බෑ. මම මේ බ්ලොග් එකේ දැනට පොස්ට් 85කට වඩා දාල තියනවා. හැමදාම මාතෘකාවක් ගත්තම පොස්ට් එක කොහොම හරි ලියවෙනවා. ඒත් අද නම් මේ වැඩේ කරන්න හරි අමාරුයි. වෙනදා වගේම පුරුදු ලෙස අම්මාට වඳින්න ගියාමත් මට තේරුම් ගන්න බැරි දෙයක් හිතේ තෙරපෙනවා වගේ දැනුනනා. 
මේ ලෝකේ ඕනෑම කෙනෙකුට තම දෙමාපියන්ට වඩා වටිනා වස්තුවක් නැහැ නේද?. ඒ වටිනා වස්තූන් දෙකෙන් අම්මාට ඇති වටිනාකම කියන්න පුළුවන්ද?

මගේ අම්මා මට දක්වන ආදරය මට මතක දවසේ ඉඳන් කිසි වෙනසක් නෑ. පුංචිම දවස්වල මම ඇඳෙන් නැගිටිනකොට වඩාගෙනයි අරන් යන්නේ. මූණ කට සෝදවා කුස්සියේ බංකුවේ ඉන්දවා කිරි සදා දී බොනකන් ලඟටම වී ඉන්නවා. අම්මා ආදරෙන් සාදා බොනකන් ඔලුව අතගාමින් ඉන්න නිසාදෝ ඒ කිරි එක පුදුමාකාර රසයක් ගෙන දුන්නා. පාසල් යන්න ගත්තමත් උදේ වඩාගෙන ගොස් මුහුණ කට සොදවා සූදානම් කරන්නේ. ඉන්පසු අම්මාද සූදානම් වී නංගිවත් සූදානම් කරගෙන මා පාසලට ගෙනයනවා. සවස ගෙදර ආවම බත් බෙදාදී කා අවසන් වනතුරුම දවසේ පාසලේ විස්තර අසමින් ළඟින්ම ඉන්නවා. කෑම කන්න බෑ කියනා දවස්වල කිසිවක් නොකියාම කන්න කැමති කෑමක් සාදා කෑම එක කවනවා. ඒ පුරුද්දනම් අම්මාට තවම තියනවා. මොනවා නැතත් මාසයකට වරක්වත් අම්මා අතින් බත් පිඟාන කවා ගන්න වාසනාව තාම මට තියනවා. මට එදිනදා කන්න පුළුවන් බත් ප්‍රමාණය හරියටම දැනගෙන අම්මා පිඟානට බෙදන්නේ කොහොමද කියන එකනම් මට තවමත් ප්‍රශ්ණයක්. සාමාන්‍යෙයන් අපි හැමදාම එකම ප්‍රමාණය කන්නේ නෑනේ. කෑමට ඇති රුචිය, සහ තවත් විවිධ හේතු නිසා අද කන ප්‍රමාණය හෙට වෙනස් වෙනවා. ඒත් මගේ ඒ වෙනස් වන ප්‍රමාණය අම්මා හරියටම දන්නවා. ඇත්තටම මම බෙදා ගත්විට වැඩියි, නැතිනම් මදි. අම්මා බෙදූ බත් පත හරියටම ප්‍රමාණවත්.
රෑ නින්දට යන විට ළඟට තුරුල් කරගෙන කතන්දර කියමින් ආදරයෙන් හිස හෝ පිට පිරිමදිනවා. එවිට නින්ද යන්නේ නොදැනීමයි. තවමත් මා රෝගාතුර වී නම් නින්ද යන තුරු ළඟට වි හිස පිරිමදින පුරුද්ද අම්මාට තියනවා. ඒ දවස්වල අම්මාගේ මුහුණේ ඇති අඳුරු දුක්බර ස්වභාවය මේ ලියන මොහොතේ උනත් පරිගනක තිරය අතරින් මැවී පේනවා. 
අම්මා මං පුංචිම කාලේ රැකබලා ගත් විධිය නම් මට මතක නෑ. ඒත් මලක් වගේ බලාගන්න ඇති කියා කියන්න පුළුවන් මල්ලිව රැක බලාගත් ආකාරම මම දන්න නිසා. මා කුඩා කල මා අතින් වූ වරදකට අම්මා ගහන්න හදන විට මම අතින් අවහිර කරන්න ගොස් අතට අම්මා සිතුවාට වඩා තදින් පහරක් වැදී තිබෙනවා. ඒ අවස්ථාවේ එම ස්ථානය රත් පැහැ ගැන්වී තිබෙනවා. එය දැක අම්මා දවසම හඬා තිබෙනවා. ඒ වගේම ඒ ගහන්න ඇදූ අත දොරකට හසු කරන් අම්මාත් වේදනාවක් ලබල. ඒ සිද්ධිය මතක් වන විට අදටත් අම්මාගේ ඇස් වලට කඳුළු එනවා. මට සිරීමක් වත් නොවුනත් යන්තම් රත් පැහැවූ එම අවස්ථාව අම්මාට අදටත් දුකක්. 
මම හිතන්නෙ නෑ මගේ අම්මා විතරයි මෙහෙම කරන්නේ කියා. අනෙක් අම්මලාත් මේ වගේ ඇති. ඒත් අම්මා කීවම මම දන්නේ මගේ අම්මා විතරයි. ඒක ආත්මාර්ථකාමි අදහසක් කියා හිතන්න එපා. මම අනික් අම්මාලා තුලිනුත් ඒ මගේ අම්මා ළඟ ඇති ගුණවත් බව දකිනවා කියා කියන එකයි මම අදහස් කරන්නේ. තව .. මගේ මුල්ම ගුරුතුමිය උනෙත් අම්මානේ. තවමත් හැමදාම ඇයගෙන් මම මොනවා හෝ පාඩමක් ඉගෙන ගන්නවා. පාසල් කාලයේ නම් අපි පාඩම් ඉගෙන ගත්තේ පාසල් වේලාව ඇතුලත විතරනේ. ඒත් අම්මාගේන් ඉගෙන ගන්නෙ දේ හැමදාම මම ලබනවා.
අම්මා ගැන කියන්න ගියාම දහස් ගනන් මකතයන් සිත තුල තෙරපෙනවා. මොනවා කියන්නද කියා හිතා ගන්න බෑ. අදනම් මගේ හිත වැඩ කරන්නේ මට ඕන විධියට නෙවේ වෙන්න ඇති. ඇස් දෙකත් බොඳ වෙලා කඳුළුත් ඇවිත් ඒ සතුටු කඳුළු වෙන්න ඇති. මට වගේම අම්මාටත් මගේ සතුටේදී සතුටු කඳුළු හා දුකේදී දුක් කඳුළු එන බව මේ මොහොත් ආයෙම මට සිහි වෙනවා. සමහර විට තව ටිකකින් ඇවිත් මේ රෑ මොනවද නිදි මරාගෙන කරන්නේ. දැන් ඉතින් ඕක වහල නිදා ගන්න කියයි. නිදි මරල ඇවිත් මට අමාරුව කියන්න එපා කියයි. ඒ තරහකට නම් නෙවේ. තියෙන ආදරේ වැඩි නිසයි. කඩෙන් කනවා නෙවේ. ඔය කඩ කෑම වලට ලෙඩ වෙනවා. එහෙම කියල උදේ පාන්දරින් අවදි වෙලා මට කෑම සාදා දෙන්නේ. සමහර විට නීති දාන්නෙත් ආදරේටනේ. සැර වැඩි කෑම කන්න එපා, වැඩිය සෝස් කන්න එපා, වැඩිය තෙල් කන්න එපා. මතක් වෙන කොටත් හිතේ අම්මාට ඇති ආදරේ දෙගුණ තෙගුණ වන්නේ ඒ හැම දේම කියන්නේ මගේ හොඳට නේද කියා සිහිවෙන විටයි.
තවමත් නිවාඩු දවසට පැදුරක් බිම එලා එහි වාඩිකරවා හිසේ තෙල් ගානවා. ඉන්පසු හිස සම්බාහනය කරනවා. නවත්වන්නේ ඇගේ ඇඟිලි රිදෙන්න ගත් විටයි. දැන් නම් දුකත් හිතෙනවා එහෙම කරන්න ඉඩ දෙන එක ගැන. ඒත් ඒ තුලින් ඇය ලබන සතුට අනන්ත අප්‍රමාණයි.
මම මේ අම්මා ගැන ලියන පළමු පොස්ට් එක. මම හිතන්නේ හැම බ්ලොග් කරුවෙක්ම තම මැණියන් ගැන එක් වරක්හෝ ලියන්න ඕන කියලයි. නැතිනම් බ්ලොග් කිරීමෙන් ඇති පලක් නෑ කියා මම හිතනවා. ඒ කෙසේ වෙතත් මගේ අද පොස්ට් එක මෙතෙක් මා ලියා පළ කළ පොස්ට් අතරින් කිසිම පිළිවෙලක් නැතිව ලියවුනු එකම පොස්ට් එක වෙන්න ඕන. එහෙම උනේ කියන්න තියන කරුණු ගොඩ අතරින් සොනවා කියනවාද කියා සිතාගන්න බැරි කමයි. ඒ වගේම ලියන් යන විට තව තව දේ එකතු කරන්න මතක් වෙනවා. ඒවා සමග හැම දේම අවුල් වෙලා. ඒත් අම්මා හෙටත් උදේම මම නැගිටින විට මගේ අවුල් සිතුවිලි නිරවුල් කරන්න බලන් ඉන්නවා. මුහුණ කට සෝදන්න වතුර විදුරුවත් අතින් අරන්. ඉතින් දරුවෙකුට ඊට වඩා දෙයක් කොයින්ද?
දැන් විස්තර කිවා ඇති. මම කියන්න ආ දේ දැන් කියන්නම්. 
අදයි මගේ අම්මාගේ උපන් දිනය. වෙනදාට නම් අපි සියලු දෙනා එදාට නුවර දළදා මාළිගාවට යනවා. ඒත් මම අද රැකියාවට යන්න තිබෙන නිසා ඒ ගමන යන්න වෙන්නේ නෑ. එත් අම්මයි අප්පච්චියි පුරුදු ලෙස එහි යාවි. මම එහි නොගියත් අද සතුටින්. ඒ මගේ අම්මාගේ උපන්දිනය සයිබර් අවකාශයේ මගේ මිතුරන් සමග බෙදා සුභ පතනා පළමු දවස අද නිසා.
මගේ රත්තරන් අම්මේ. අම්මාට සුභ උපන්දිනයක්. නිදුක් නිරෝගී සුව ලැබේවා..!!!
"සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කල ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා"


මවු ගුණ සිහිකර ගැයෙනා දහසක් ගී අතරින් මගේ හිතට තදින්ම දැනෙනා ගීතය වික්ටර් රත්නායකයන්ගේ ආදරයේ උල්පත වූ අම්මා. ඔන්න ඔයාලත් මාත් එක්ක ඒ ගීතය රසවිඳින්න එන්න.

Wednesday, April 20, 2011

මෝඩ පිරිමි විතරද?.....

පොඩි කුමාරිහාමිගේ පොඩ්ඩි වැඩ අල්ලයි පෝස්ට් එකට කමෙන්ට් කරන්න ගිහින් මාර අමාරුවක වැටුනේ. ඔය පෝස්ට් එක වෙනදා වගේ එකපාරක් කියවා කමෙන්ට් කරන්න ගියත් මොනවා ලියන්නද කියා හිතා ගන්න බෑ. අර උඩ පින්තූරේ තියෙන පිරිමි මෙතරම් මෝඩද කියන එක ඇහුවාමනම් පළවෙනි වතාවට පොලව පලාගෙන යන්න හිතුනා.
ජීවිතේ පළමු වතාවට පිරිමියෙක් වී ඉපදීම ගැන කනස්සල්ලක් ඇතිවුනා. ඇයි යටිනුත් කියල තිබුනනේ පිරිමි මේච්චරම මෝඩද කියල?. කොහොම හරි පොස්ට් එක දෙතුන්වතාවක්ම කියවා විනාඩි 45කට විතර පසුව බැලුවම පූසා කමෙන්ට් කරල මමත් වැඩිය හිතන්නේ නැතිව පූසාගේ කමෙන්ට් එක අනුවම යමින් කමෙන්ට් එකක් දාල ගියා. ඒත් ඒක ගැන මටත් කිසිම අදහසක් නම් නෑ. අන්තිමේ මේගැන පොස්ට් එකක් ලියන්න හිතුනේ මේ දවස්වල ලියන්න දෙයකුත් ඔලුවට එන්නේ නැති නිසා.
ඇත්තටම මෝඩ පිරිමි විතරද?
පොඩ්ඩි කියල තියෙන කතා තුනෙන් නම් වැඩි දෙයක් කියවෙන්නේ නෑ. අනික ඒවායින් පිරිමි මෝඩයි කියන්න පුළුවන්ද? එක වර කීපදෙනෙකුට ආදරය කරන්නේ කොල්ලෝ විතරද? මේගැන හිතුවාම පරණ කතා කීපයක අදහස් එක්ක පොස්ට් එකක් ලියන්න පුළුවන් කියල හිතුනේ. 
ආදරය හමුවේ කරන වංචාව හෙවත් රැවටිල්ල.
මේගැන කියන්න ගියොත් නම් කතන්දර ගණනාවක් ලියන්න පුළුවන්. පිරිමි විතරක් නෙවේ කාන්තාවන් මේ හැසිරීම පෙන්වන බවට මම දන්න උදාහරණ ඕනෑතරම්. තමාට පණමෙන් ආදරය කරන ස්වාමියා රවටා වෙනත් පිරිමින් හා සබඳතා පවත්වන, අවසානයේ තම ස්වාමියා අතහැර ඔහුගේ සියලු දේපල තමාට පවරාගෙන වෙනත් පිරිමියෙකු හා ගිය කාන්තාවක් ගැන කතාවක් මම මීට මාස තුනකට පමණ පෙරත් ඇසුවා. පිරිමින් පැත්තෙන් ගත්තාමත් එහෙම පිරිමි ඕනෑතරම්. එහෙම ගත්තම පිරිමි හා ගැහැණු ලෙස ප්‍රමාණාත්මකව නම් ගන්න බෑ. දෙපිරිසම එක වගේ.
පිරිමි මෝඩද?
ඇත්තටම ආදරය හමුවේ බොහෝ පිරිමින් මෝඩයන් සේ හැසිරෙනවා මම දැකල තියෙනවා. ඒවගේම තම ආදරවන්තියගේ සිත රිදවීමට ඇති අකමැත්ත නිසාත් පිරිමියා නිහඬවම මෝඩයාගේ චරිතයට අවතීරණ වෙනවා. ආදරය යනු පරිත්‍යාගයක් නම් තමා මෝඩයෙකු වී හෝ ඒ පරිත්‍යාගය කරන එකයි වැදගත් ලෙස මම දකින්නේ. නමුත් ඇතැම් කපටි කාන්තාවන් මේ පිරිමින්ගේ ලක්‍ෂණය තම වාසියට හරවා ගන්නා අවස්ථාවන් ඕනෑතරම්.
තවත් දෙයක් කියන්න තියෙනවා. කාන්තාවනුත් ආදරය නිසා මෝඩ ලෙස ක්‍රියාකර බොහෝදේ නැතිකර ගෙන ඇති අවස්තා මේ මිනිස් සමාජයේ ඕනෑතරම්.
මේ අනුව බැලුවම පොඩ්ඩි කියන දේ වැරදිත් නෑ. ඒත් එයාට පෙනිල නැත්තේ ඒ කෝණයෙන්ම කාන්තාවන් දෙසත් බලන්න පුළුවන් කියන දේ නේද?
ඇත්තටම නම් ඒ පොස්ට් එක හුදෙක් විනෝදය සඳහාම ලියූ එකක්. එයින් කිසිවෙකුට පහර ගැසීමට අවශ්‍ය වෙලා නෑ. නමුත් කියවා බලන විට එහි ඊට එහා ගිය බවක් පේන නිසා පිරිමි එක්ක තරහකින් ලියූ එකක් සේ පේනවා.
දැන් බලමු කට්ටියගේ ප්‍රතිචාර කොහොමද කියා.
මම හිතුවා වගේම පිරිමි ටික පිරිමි කම පෙන්වන්නද මන්දා පොඩ්ඩිට විරුද්ධව අවි අමෝරාගෙන සටනට ඇවිත්. උදාහරණ මගින් ඇගේ ප්‍රකාශය බිඳ හෙලනවාට වඩා උත්සාහ කරල තියෙන්නේ කාන්තාවන් පහලට ඇදල දාන්න. දැන් එතකොට අපේ කාන්තාවන් මොකද කරල තියෙන්නේ. ඒ අය අන්ධයින් මෙන් පිරිමින්ට විරුද්ධව අවි අතට අරන්. අපොයි හරියට යුද්ධයකට ඔන්න මෙන්න වගේ ගිහින් කියලයි මට හිතුනේ. ඇත්තටම පිරිමි අපට වැඩියෙන්ම අවශ්‍ය කාන්තාවන්, කාන්තාවකගේ ආදරය. ඒ වගේම කාන්තාවකටත් අවශ්‍ය පිරිමියෙකුගේ ආදරය. එහෙනම් ඇයි මේ එක් පිරිසකට වඩා තවත් පිරිසක් උසස් වෙන්න හෝ පහතට ඇද දාන්න හදන්නේ. බැලුවම රන්ඩුවට ගිය ගැහැණු පිරිමි දෙපැත්තම මෝඩයෝ නේද?
මමත් දාපු කමෙන්ට් එකත් හරි මදි වගේ. ඒ ගැන මට වඩා කියවන අනික් අයට වැටහෙනවා ඇති.
ගිහින් එන්නම් සුභ දවසක්..!!!

පින්තූරය පොඩිකුමාරිහාමි බ්ලොග් අඩවියෙන්.

Sunday, April 17, 2011

මගේ අවුරුද්ද...


උදාවූ අළුත් අවුරුද්ද සුභ අළුත් අවුරුද්දක්ම වේවා..!!!
අවුරුද්ද උදා වෙලා දවස් තුනක්ම ගෙවිලා ගියා. අවුරුද්ද වෙනුවෙන් මොනව හරි පොස්ට් එකක් ලියන්න කලින් ඉඳන්ම සිතා සිටියත් මොන හේතුවක් නිසාද මන්දා ලියන්න හිතුනේම නෑ. අවුරුද්දට කලින් පෝස්ට් එකෙත් මගේ අවුරුද්ද ගැන පොස්ට්එකක් ලියනවා කියා ගිහින් පොරොන්දු කඩ කරන්න හොඳ නෑනේ අළුත් අවුරුද්දේ. ඔන්න එහෙනම් අද කියන්නේ මගේ අවුරුද්ද ගෙවුනු ආකාරයයි.

සාමාන්‍යෙයන් මම අවුරුද්දට කියා අළුතින් වෙනම ඇඳුම් පැළඳුම් ගන්න පුරුද්දක් නෑ. ඒත් අම්මට අප්පච්චිට අළුත් ඇඳුමක් අරන් දෙන්න මම හරිම ආසයි. බොහෝවිට කරන්නේ ඒ සඳහා අවශ්‍ය මුදල් දෙන එක තමා. මොකද මට ඔය ඇඳුම් තෝරනවා කියන්නේ කරන්න අපහසුම දෙයක්. ඒත් මෙවර දෙන්නා එක්ක ගිහින් ඇඳුම් අරන් දෙන්නම ඕන කියා හිතුවා. ඔන්න ඉතින් අපි තුන්දෙනා එක්ක ටවුන් එකට ගියා. හම්මේ ඉන්න සෙනග. අනේ මන්දා මිනිස්සු අවුරුදු කියා මොනවා මෙච්චර ගන්නවාද කියල. හැම දේම මේ කාලෙට මිළත් වැඩිනේ. අනික නිදහසේ තොරලා දෙයක් ගන්න පුළුවන්ය. වෙළෙන්දන්ටම ගිය නගරයක් වෙලා. පාරිභෝගික අයිතීන් කියල දෙයක් ඔවුන් දන්නවාද කියන්නත් බෑ. මින්ස්සුත් එහෙමයි. ගන්නවාට වැඩිය තෝරනවා. ඒත් අනිත්මට ගන්න දෙයක් නෑ. සමහර අයගේ පැය කීපයක් තෝරලත් මලු හිස්. අන්තිමේ පටන් ගත් තැනටම ඇවිත් මුලින්ම බලපුදේම ගන්නවා. ඔහොම වරුවක් විතර ටවුමේ දඟලල යන්තම් ඔන දේ අරන් ගෙදර ආවා.

අම්මා බොහොම මහන්සියෙන් කැවිලි හදනවා. අප්පච්චි උයන්න කැමති උනාට ඔය කැවිලි හදන ඒවට වැඩි මනාපයක් නෑ. නංගිත් අම්මාට වඩා වෙහෙසිලා. මමත් ඔය කැවුම් බදින කොකිස් බදින වැඩේට අකැමැත්තක් නෑ. කොහොමත් මට ඔය මිශ්‍රණය නම් හරියට හදන්න බෑ. ඒත් ගෙදර හැම දෙනාටම වඩා හොඳින් කැවුම් කොකිස් බදින්න නම් පුළුවන්. අනික අපේ බොහෝ කාන්තාවන්ට අපහසු කොණ්ඩ කැවුම් බදින්න බට හොඳට පුළුවන්. මම ඕක ඉගෙන ගත්තේ අපේ අම්මාගෙන්. අච්චුවක් නැතිව ඉරටු කූරක් හා තෙල් හැන්දෙන් කොණ්ඩය සිටින සේ කැවුම හදන්න මට හොඳට පුළුවන්. ඒත් මෙවර නම් කොණ්ඩ කැවුම් හැදුවේ නෑ.

කොහොම හරි ඔය ඔක්කොම ඉවර කරන් පරණ අවුරුදු දවසත් ආවා. නංගිලයි අප්පච්චියි උදේ වරුව නෑ හිතවතුන්ගේ ගෙවල් වල ගිය නිසා අම්මයි මායි ගෙදරට කොටු උනා. මොකද අවුරුද්දට ගෙදරට එන කට්ටියට ආපසු යන්න ගෙවල් වහල යන්න හොඳ නෑනේ. අවසනානයේ සවස අම්මයි මායි නෑදෑ ගෙවල් වලට යන්න ගියේ. 
ඔය අවුරුදු කාලෙට ගෙවල් වලට එන අයටත් අමුතු ලෙඩක් තියනවා දන්නවාද? අනේ මොනවත් කන්න බෑ. තේ එකක් වත් බොන්න බෑ. වතුර ටිකක් දෙන්නකෝ ඒ ඇතිනේ කියන. ඒත් හැම දෙනාම අවුරුද්දට කැවිලි හදන්නේ ලොකු වෙහෙසක් දරල. නැතිනම් සෑහෙන මුදලක් වියදම් කරල. එහෙම හදල කවුරුත් කන්නේ නැතිව යනකොට දුකයි නේද? ඒ නිසාම මම නම් කරන්නේ හැම ගෙදරකින්ම සුළුවෙන් හෝ යමක් කාලම යන එක. එක ලඟ ගෙවල් කීපයක් ඇතිනම් තව ලේසියි. එක තැනකින් කැවිලි එකක්, තව තැනකින් තවත් කෑමක්, තව තැනකින් තේ හෝ කෝපි එකක්. කාටත් සතුටුයිනේ. කොහොම නමුත් ගෙදර ආවේ හොඳටම රෑ බොවෙලා. හැමදාම අප්පච්චි එක්ක අවුරුද්දට ඇවිදින අම්මා මාත් එක්ක අවුරුදු නෑගම් ගියාමද කොහේද?

වෙන අවුරුදු වල නම් ගමේ අවුරුදු උත්සවයටත් යනවා. ඒත් කලින්ම අවුරුදු උත්සවයකට ගිය නිසා මෙවර අවුරුදු උත්සවයට නම් ගියේ නෑ. 
අවුරුදු ලබන දවසේ උදේම පුන්‍ය කාලය නිසා ගෙදරම හිටියා. පන්සල් යන්න හිතුනත් පන්සලට යන එක නුහුරු දෙයක් නොවන නිසා ගෙදරම ඉඳන් ආගමික වතාවත් ඉටුකළා. වෙන අවුරුදු වල නොකරන දෙයකට කලේ පුන්‍ය කාලයෙන් වැඩි වෙලාවක් මේ කොම්පියුටර් එකත් සමග ගත කිරීමයි. අවුරුද්ද ලබන වේලාවේ නම් යාළුවෙක් එක්ක චැට් එකකයි හිටියේ. මම හිතන්නේ ඒ වගේ විශේෂ අවස්ථාවක චැට් කළාම වෙන්න ඇති. ඒ අතරම පොඩිකාලේ මතක් වෙලා දුවගෙන ගිහින් රතිඤඤා පත්තු කරල එන්නත් අමතක කලේ නෑ. හැබැයි කාගේවත් ඇඟට නම් රතිඤඤා දාන්න ගියේනෑ.

මේ අවුරුද්ද මම නම් සැමරුවේ වෙන අවුරුදු වලට වඩා වෙනස්ව. අවුරුදු නිවාඩුවේ වැඩි කාලයක් වැය කලේ ගෙදර ඉන්නයි. වෙනදාට වඩා හොඳ නිවාඩුවක් ගත්තා කීවනම් තමා වඩා නිවැරදි. සුභ පැතුම් SMS, E-mail එහෙමත් මේ පාර අඩුවෙන් ලැබුනේ. එවූ අයට රිප්ලයි කළා විතරයි කළෙත්. වෙනදා වගේම කැවිලි වල නම් රස නොඅඩුව වින්දා. 
ඔන්න ඉතින් දැන් අවුරුදු නිවාඩුවත් ඉවරයි. හෙට උදේම වැඩට යන්න තියනවා. පසු ගිය කාලෙට වඩා වැඩියෙන් මහන්සිවී මේ වසරේ වැඩ කරන්න ඕන කියා පමණයි අළුත් අවුරුද්දේ පැතුවේ.
ඔබ සැමටත් සියලු පැතුම් ඉටුවන සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

ප/ලි
වෙනදා මෙන් නොව සිතට නැගුනු සිතිවිලි නින්දට පෙර අකුරු කලා. හොඳද නරකද කියා නැවත කියවන්නේ නැතිව පොස්ට් කරනිනයි යන්නේ. ඔය උඩ පින්තූරය කොහේද තිබී සොයාගත් එකක්. එහි කිසිම අයිතියක් මට නෑ. නිදිබර දෑස් එකිනෙක ගැටෙනා හෝරාවේ එය තිබූ අඩවිය ගැන නම් මතකයට එන්නේ නෑ.

Tuesday, April 12, 2011

අවුරුද්දත් කිට්ටු කිට්ටු. එරබදු මල් පොට්ටු පොට්ටු.


කොහාගේ මිහිරි නාදය ඇසෙන්න පටන් අරන් නම් දැන් සති කීපයක්ම වෙනවා. ඉස්සර අපි පුංචි කාලෙනම් එකෙක් නෙවේ කොහාල කීප දෙනෙක්ම කෑගහනවා. ඒත් දැන් දැන් එක්කෙනයි දෙන්නයි. ඉන්න තැන් නැති වෙන්න ගත්තම එයාලත් කොහේ හරි යන්න ඇති. පොඩි කාලේ අපිත් කොහා එක්ක තරඟෙට කෑගහනවා. ඒ කෑගැසීමත් හරි අමුතු දෙයක්. කොහා ස්වරය උච්ච වෙන විධියට තමා කෑගසන්නේ. අපිත් ඒ විධියටම කෑ ගහන්න ඕන. නැතිනම් එයා සද්දේ නවත් වනවා. කොහොම හරි ඔය කෑගහන විධිය කීප වතාවක් කළාම අපිට නිවැරදිව කොහා අනුකරනය කරන්න පුළුවන් කම තිබුනා. ඕක නම් මොකක්ද ඉස්සර අපේ ලොකුඅප්පච්චිලාගේ ගෙදර හිටිය මොණර එක්කත් මම කෑගහල තියනවා.
යන්තම් පාරේ යන කොට ගහක එරබදු මල් ඉත්තක් පිපිලා තියනවා දැක්කා. දැන් ඉස්සර වගේ එරබදු ගස් දකින්න අඩුයි. ඒවා කපා දාල. වැටවල තිබූ එරබදු ගස් වෙනුවට දැන් කොන්ක්‍රීට් කණු හිටවලා. (ඔය එරබදු මල් නම් ජාලයෙන් ගත්ත එකක්) අපේ ගෙදරත් දැන් දැන් අවුරුද්දට ලෑස්ති වෙනවා. අම්මානම් කැවිලි හදන්න පටන් අරන්. දැන් දවස් කීපයකට කලින් හැම අවුරුද්දෙම කරනවා වගේ අච්චාරුවක් හැදුවා. ඒක දැන්නම් මුට්ටිය පිටින් වහල තැම්බෙනවා. හදපු දවසේ නම් ගේ පුරාම සුවඳයි. ලුණු දෙහි දාලත් දැන් සති කීපයක්. ඒවාත් දැන් නම් කන්න පුළුවන් ගානට ඇවිත් ඇති. මේ පොස්ට් එක ලියන 11 වෙනිදා රෑ නම් මුංකැවුම් හදනවා. දැනුත් මේ කැවුම් සුවඳ ගේ පුරා පැතිරෙනවා. පළ කරන අද දවසේ අතිරස හදන්න සියල්ල සූදානම්. අම්මගේ හොඳම වට්ටෝරුව අලුවා. ඒක නම් හදන්නේ පරණ අවුරුද්ද දවසේ උදේම හෝ අද රෑ. 

ඉස්සර ඉඳන්ම අම්මට මේවා හදන්න අපිත් උදවු කරනවා. කිතුල් පැණි නැතිනම් කැවිලි හදන්න හකුරු වතුර දමා උණු කර පැණි සාදා ගන්නවා. ඒකට හකුරු කැබලි වලට කපන්න නම් හැමදාම බාර ගන්නේ මම තමා. දානයක් නම් අම්මා කලින්ම කියනවා ඔවා කටේ තියනවා එහෙම නෙවේ කියල. ඉතින් අපිත් හරි බයයිනේ පවු සිද්ධ වෙයි කියල. ඒ නිසා වැරදිලාවත් කන්නේ නම් නෑ. හැබැයි කෑල්ලක් අරන් තියා ගන්නවා පස්සේ කන්න. පසු කාලීනව නම් අපි වංගෙඩියේ පිටි කොටන්නත් අම්මට උදවු කළා. නංගි පිටි හලන්න උදවු කළා. මට නම් කවදාවත් පෙනේරයෙන් ඔය පිටි හලන වැඩේ හරියට කරන්න අමාරුයි. ඇත්තම කීවොත් කරන්න පුළුවන්. ඒත් සාමාන්‍ය කෙනෙක්ට යනවා වගේ දෙගුණයකටත් වඩා වෙලාව යනවා. වෙන අවුරුදු වල අම්මා හදන තවත් රසවත් කෑමක් වැලි තලප. ඒත් මේ පාර නම් හදන්න බෑ කීවා. අම්මටත් දැන් කැවිලි හදන්න ඉස්සර වගේ වෙහෙසෙන්න බෑ. ඒ දවස්වල අපි ඉස්කෝලේ යන කාලේ අපේ අම්මා එක්ක කැවිලි හදන්න අපේ අත්තම්මාත් එකතු වෙනවා. අත්තම්මාට අම්මට වඩා ගොඩක් කැවිලි වර්ග හදන්න පුළුවන්. අනික බොහෝ කැවිලි වල නියම පදම ඉක්මනින් ගන්න අත්තම්මා හරිම දක්‍ෂයි. අපේ කලින් මියගිය අත්තම්මා (අප්පච්චිගේ මව) කැවිලි සැදීමේදී පවුලේ හැමදෙනාටම වඩා දක්‍ෂ කෙනෙක් කියා කියනවා. ඒත් අවාසනාවට මට ඒ අත්තම්මා උයන කෑම කන්න වාසනාව තිබුනේ නෑ. මා ඉපදෙන විටත් ඇය මෙලොව හැර ගිහින්. කතාව ටිකක් මාතෘකාවෙන් පැන්නා වගේ නේ.

කුස්සිය පැත්තේ ඔය වැඩ යන අතරතුර බිත්ති වල තීන්ත ගාන එක බිම පොලිෂ් කරන එක වගේ වැඩ අප්පච්චියි මායි මල්ලියි අතින් තමා වෙන්නේ. කොහොමත් අපේ ගෙදර ඒ වැඩ කරන්න අපි දක්‍ෂයි. දැන් නම් මට තනියම වගේ ඒ වැඩ කරන්න වෙලා. කොහොමත් දැන් ඉස්සර තරම් බිත්ති වල කුණු ගෑවෙන්නේ නැ. ඒ නිසාම නිතර තීන්ත ගානන ඕනත් නෑ. සෝදා පිස දැමීම විතරයි මේ පාර කලේ.
වෙනදා වගේම ගේ අවට පිරිසිදු කිරීම මෙවර මට කරන්න නම් පුළුවන් උනේ නෑ. ඒත් අප්පච්චි ඒ ටික තනියම කරල. දැන් දැන් රතිඤඤා එහෙමත් පත්තු කරන්න පටන් අරන්. ඒක නම් ඉස්සරට වඩා වැඩියි වගේ. අපි පොඩි කාලේ තිබුනට වඩා වෙනස් විවිධ වර්ගයේ ගිනිකෙලි නිෂ්පාදන දැන් දකින්න පුළුවන්. 
කැවිලි වර්ග ගත්තත් දැන් බොහොදෙනා අවුරුද්දට ගෙවල් වල කැවිලි හදනවා දැන් අඩුයි. ගොඩක් කැවිලි ගේන්නේ කඩෙන්. දැන් අය කැවිලි හදන්න දන්නේ නැතුවාද මන්දා. අපේ සිංහල කෑම වර්ග අවුරුදු මේසයට එනවාත් අඩුයි. කවුම් වර්ගයක් දෙකක්, කිරිබත් හා විදේශිය කැවිලි වර්ග රැසක් තමා දැන් අවුරුදු මේසේ තියෙන්නේ. ඒත් තාම කෙසෙල් ඇවරිය නම් වෙනසක් නෑ. ඒ කාලේ අපි කෙසෙල් වත්තෙන් කපා ගන්න නැතිනම් තියන තැනකින් කෙසෙල් කැනක් මිළදිගෙන වලේ දමා දුම් ගසා ඉදවන ආකාරය තාම එදා වගේම මතක් වෙනවා. ඇළ අයිනේ ලන්දෙන් කපා ගන්නා කැප්පෙටියා නම් කොළ වර්ගය මත කෙසෙල් ඇවරි තබා එම කොළ වලින්ම වසා තහඩුවක් වැනි යමක් පස් නොවැටෙන්නට තබා වල වසා පසෙකින් සිදුරු කළ මුට්ටියක් දමා ඒ තුලින් උදේ සවස දුම් පිඹින්නේ අපිම තමයි. එසේ ඉදවාගත් කෙසෙල් වල අමුතු නාසය පිනා යන සුවඳක් හමනවා. දැන් නම් කරන්නේ කඩෙන් ගේන කෙසෙල් අවුරුදු මේසයට හා නෑ හිතවතුන්ගේ ගෙවල් වලට ගෙන යන එකයි.
අවුරුද්ද ලංවෙන කොට මම ඒ කාලේ භූමිතෙල් වෙඩිල්ලක් හදනවා. සවස් වරුවේ ඕක පත්තු කරන්න ගත්තොත් රෑ වෙනකොට ඇඟ පුරාම බූමිතෙල් ගඳ. අම්මා ඇවිත් කෑගහන විට තමා ඇඟ සොදාගන්න මතක් වෙන්නේ. මෙවර මගේ සොයුරියගේ දරුවාට පෙන්වන්න බූමිතෙල් වෙඩිල්ලක් හදන්න හිතුවත් උණ බම්බුවක් සොයාගන්න පුළුවන් උනේ නෑ. තිබුන එකම කෑල්ලත් අවුරුදු උත්සවයට ගෙන ගියානේ. 
තවත් ඔය වගේ අවුරුදු කාලේ කරන බොහෝ දෙ මතක් කරන්න පුළුවන්. ඒත් ඒ අතරින් බොහොමයක් දැන් අපට අමතකව ගිහින්. ඇතැම් දේ කරන්න අවශ්‍ය දේ සොයා ගන්න අපහසුයි.
ඔය මොන දේ උනත් අපේ රටේ තවමත් අවුරුද්දේ සතුට මිනිසුන් බෙදා ගන්නවා. පරණ තරහ අමතක කර සමගි වෙනවා. නවීන කෑම වර්ග හෝ නෑ හිතවතුන්ට බෙදනවා. පරණ දෙවල් නැති නිසා කණගාටුවක් ඇතත්, මෙලෙසින් හෝ අවුරුද්ද ඉතිරිවීම ගැන නම් හිතට සතුටුයි.
සැමට උදාවන අළුත් අවුරුද්ද සාමය සතුට සපිරුන සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

ප/ලි
මගේ අවුරුද්ද ගැන පොස්ට් එකක් පසුව දාන්නම්.

Friday, April 8, 2011

පුදසුනක නිසල බව....

අවුරුදු උත්සවයත් එක්ක පසුගිය දවස් වල හොඳටම වැඩ අධික වෙලයි තිබුනේ. බ්ලොග් එකේ දාන්න හිතන් හිටපු පෝස්ට් කීපයක්ම එහෙමම අතර මග නැවතිලා තිබුනේ. ඒ කියන්නේ ලියා ගන්න වේලාවක් නැතිව. යන්තම් අවුරුදු උත්සවේ ගැන නම් එකක් ලියල දැම්මා දවස් දෙකකට කලින්. ඒත් ඊට කලින් දවසේ ලියන්න හිතන් හිටපු පොස්ට් එක එහෙමමයි. ඒ නිසා ඒකත් ලියල දාන්න හිතුවා. 
අපේ මියගිය ආත්තම්මලා හා ලොකුඅත්තලා දෙදෙනාට පින් පිණිස අප විසින් වාර්ෂිකව පිරිනමන දානය මෙවරත් අප්‍රේල් දෙවෙනිදාට යෙදී තිබුනා. සාමාන්‍යෙයන් අපි ගෙදර අය හා කිට්ටුම ඥාතීන් කීප දෙනෙක් විතරයි මේ දානෙට එකතු වෙන්නේ. මෙය අපි උදේ හීල් දානයක් ලෙසයි දෙන්නේ. දානය පිරිනමන ස්ථානය මහනුවර බොවලවත්ත වජිරාරාම ආරාණ්‍ය සේනාසනයයි. එය හරිම නිස්කලංක තැනක්. මම අද කියන්න යන්නේ මේ දානය ගැන නොවේ. මෙම නිස්කලංක ආරාණ්‍ය සේනාසනය ගැනයි. මෙය පිහිටුවා ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් ලබා දුන් බිම් ප්‍රදේශයකයි.
මෙම ස්ථානයට එන්නට ප්‍රධාන මාර්ග දෙකක් තියනවා. එකක් මහනුවර පේරාදෙණිය පාරේ හීරැස්සගල හන්දියෙන් හීරැස්සගල පාරේ යන්න පුළුවන්. නැතිනම් ගැටඹේ සිට බෝවලවත්ත පාරේ යන්න පුළුවන්. ඉන්පසු Amaya Hills (කලින් Le Kandiyan) හෝටලය දක්වා ඇති පාරේ ගමන් කරන්න පුළුවන්. එම හෝටලය පසු කර සිමෙන්ති ගල් ඇතිරූ පාරක් තියෙනවා. එහි සමහර තැන් තාර දමා ඇති අතර සමහර තැන් ගුරු පාරක ස්වභාවය ගන්නවා. ඇතැම් ස්ථාන කොන්ක්‍රීට් අතුරා ඇත. එම පාර දිගේ කිලෝමීටරයක් පමණ ගිය විට මෙම ආරණ්‍ය සේනාසනය හමුවේ.
මේ තියෙන්නේ ඇතුළුවන තැන ඇති ගේට්ටුවයි. මෙම ස්ථානයෙන් ඇතුළු වී වම් පැත්තට ඇති කෙටි පඩිපෙල නැගගත් විට දාන ශාලාව හමුවේ. එහි ඉදිරියෙන් විශාල වැලි මළුවක් ඇති අතර පසෙකට වන්නට අළුතින් රොපනය කරන ලද බෝධියක්ද දක්නට ඇත. මළුවේ පිළිවෙලකට ගස් සිටුවා ඇත.
අවට පරිසරය හරිම සිසිල්ය. කුරුල්ලන්ගේ ගී හඬ හැර වෙනත් කිසිම ශබ්දයක් නැත. ඉඳ හිට මුවෙකුගේ නැතිනම් ඌරෙකුගේ ශබ්දයක් ඇසුනත් ඒ ඇසෙන්නේ කලාතුරකිනි. උන් මෙහි වැඩවසන ස්වාමීන් වහන්සේලාට කරදර නොකරනවා විය යුතුය. උදෑසන නිසා තවමත් තුරුපත් මත පිණි කැට ඉතිරිවී ඇත. ගස් අතරින් පෙරී එන ළාහිරු රැසින් ඒවා මිණිකැට මෙන් දිලිසෙයි. 
මේ දාන ශාලාව පිටතින් පේන ආකාරයයි.
මේ දාන ශාලාවේ ඇතුලත ඡායාරූපයක්..
මෙහි ඇතුලත පිරිසිදු බව ඉතාම ඉහලින් පවත්වාගෙන යනු ලැබේ. භික්‍ෂූන් වහන්සේලා උදේ දානයට පෙර පැමිණ වැලි මළුව අමදිති. ඒදෙස බලා සිටි මට මේතරම් ශාන්ත තැම්පත් අයුරකින් මෙසේ අමදින්නේ කෙසේද කියා සිතා ගැනීමටත් අපහසුය. ඉදල වැලි හා ස්පර්ශ වන හඬ මිස වෙනත් කිසිම හඬක් නැත. උන්වහන්සේලා දෙදෙනෙක් කතා කරන බවක් පෙනෙන්නට නැත. එදින දානශාලාවේ සිටි කැපකරු මහතුන් නිවාඩු ලබා නිවෙස් වලට ගොස් ඇති නිසා දානය පිළියෙල කිරීමේදී එහි වැඩ සිටි භික්‍ෂූන් වහන්සේ නමක් කටයුතු කළේය. පන්සිල් සමාදන්වී බුද්ධපූජාව පවත්වා දානය භික්‍ෂූන්ට කැපකළ පසු දන් පිළිගැන්වීමක් සිදු නොවේ. උන්වහන්සේලා පැමිණ තමන් වහන්සේ විසින්ම පාත්‍රයට දන් බෙදාගනී. ඉන්පසු නිහඬව දන් වළඳයි.
එසේ දන්වළඳන වෙලාවේ ලද නිදහසින් මම භාවනා කුටි ඇති වනයේ ඇතුලට ගියෙමි.
මෙහි ඇතුල්වීම තහනම්ය. එහෙත් මම කලින් ස්වාමීන් වහන්සේ නමකට දන්වා තිබූ නිසා ඔබ වෙනුවෙන් විස්තර ටිකක් ගෙන ඒමට ඇතුලට ගියෙමි. ඇතුලත ඇත්තේ ගුරුපාරකි. එහි ඇතැම් ස්ථාන දායකයින් විසින් කොන්ක්‍රිට් අතුරා සකස් කර ඇත. 
පාවහන් නැතිව ඇවිදින නිසා මගේ යටිපතුලේ ගල් ඇනී වේදනාවක් ආවද අවට නිස්කලංක පරිසරය ඒ සියල්ල අමතක කරයි. මෙහි ගසක් යට දවසක් වුවද ඉන්න පුළුවන්. මෙම ප්‍රදේශයේ මිනිසුන් ගැවසෙන්නේ ඉතාම අඩුවෙනි. ඒ නිසා වනාන්තරයට හානි වන්නේ නැති තරම්ය. 
භාවනා කුටි ඇත්තේ පාරෙන් පිටතය. ඒවාට යන්නට පියගැටපෙලක් සකස් කර ඇත. මෙහි භාවනා කුටි ක්‍රම කීපයකට සාදා ඇත. මම ඒවා අසලට නොගියෙමි. එහෙත් ෆොටෝ කීපයක් ගන්න නම් අමතක කළේ නෑ.
මෙය තරමක් විශාල කුටියකි. මෙහි කුටියට අමතරව වැසිකිලියක් හා සක්මන් මළුවක් ඇත. වනාන්තරයේ සතුන් ගැවසෙන නිසා රාත්‍රියේ එළමහනේ සක්මන් කිරීම භයානකය. ඒ නිසා ඇතුලත ආරක්‍ෂාකාරි ලෙස සක්මන් මළුවක් සාදා දෙන්නට දායකයින් සිතුවා වන්නට පුළුවන. මෙහි පහලින් ඇත්තේ ඉතා කුඩා කුටියකි. එහි කුටියක් හා වැසිකිලියක් පමණක් ඇත. 
මේ එහි තවත් පැත්තක ඡායා රූපයක්..
මේ තියෙන්නේ භාවනා කුටියට යන්න තියෙන පියගැටපෙළ.
මෙය පවත්වාගෙන යන්නේ මහනුවර බෞද්ධ සංගමයක් මගිනි. ඔවුන් මෙහි භාවනා කුටි සකස් කර දීම, ඒවාට විදුලිය ලබා දීම වැනි පහසුකම් සපයා ඇති. මෙයට උල්පත් මගින් ඉතා පිරිසිදු සිසිල් ජලට ලැබේ. ජල නල පද්ධතියක් සවිකර ආරණ්‍ය භූමිය පුරා එය බෙදා හැරේ. මෙහි වැඩ වාසය කරන භික්‍ෂූන් වහන්සේලා දායකයින් හමුවන්නේ ඉතා අඩුවෙනි. ඒ සඳහා දහවල් 12 සිට 2 දක්වා කාලය වෙන්කර ඇත. අනෙක් සෑම අවස්ථාවක්ම භාවනා කිරීම සඳහා වෙන් කර ඇත. 
මා මෙම ස්ථානයට අවස්ථා ගණනාවක ගොස් ඇත. මෙහි මාසයකට වරක් භාවනා වැඩසටහනක් පැවැත්වේ. ඒ සඳහා කැමති ඕනෑම අයෙකුට සහභාගි වන්නට පුළුවන. 
මෙය විඩාපත් සිතක් නිවන්නට අපූර්ව ස්ථානයක්. මගේ සිතත් සෑහෙන්න නිවා ගන්න පුළුවන් උනා එහි ගත කළ කෙටි කාලය ඇතුලත. දැන්නම් මෙහි දානයක් ලබා ගන්න එකත් අසීරු කාරණාවක් වෙලා. ඒ මම දැක්ක ආකාරයට මේ මාස දෙකම සඳහා උදේ දවල් සියලු දාන වෙන්කරගෙන අවසන් නිසා. එහෙත් භාවනා වැඩසටහනට සහභාගි වෙන්න හෝ නැතිනම් දවල් දානය වෙලාවට ගොස් සිත නිවා ගන්න හරිම අපූරු නිස්කලංක තැනක්. එහෙත් හොඳන්ම මතක තබා ගන්න මෙය භාවනා මධ්‍යස්ථානයක්. එමෙන්ම පූජා භූමියක්. ඒ නිසා එහි යන අයෙක් පූජා භූමියකට ගැලපෙන ආකාරයට යන්න. එහි ගෞරවය ආරක්‍ෂා වෙන අයුරින් කටයුතු කරන්න. 
සමහර විට දවසක මමත් ඔහොම තැනක ඉන්නත් බැරිනෑ. ඒත් ඉතින් හෙට වෙන දේ අද කියන්න බෑනේ. ඒ නිසා අනාවැකි කියන්න නම් බෑ.
ගිහින් එන්නම්..
සුභ දවසක්..!!!

Thursday, April 7, 2011

ඉලංදාරියා වෙනුවෙන් ලේ බිඳක් දන්දෙන්න....

අපි කවුරුත් දන්නවානේ අපේ බ්ලොග් අවකාශයේ ඉලංදාරියා ශ්‍රවණාබාධයකින් පීඩා විඳන බව. මේ සඳහා දැන් ශල්‍යකර්මයක් කරන්න සැලසුම් කර ඇති බවත් කවුරුත් දන්න දෙයක්. ඒ සඳහා දැන් ඔහු විවිධ පරීක්‍ෂණ ගණනාවකට මුහුණ දෙනවා. ඒතර සිදුකළ MRI පරීක්‍ෂණයකින් ඔහුගේ මොළයේ මැද කුඩා ගෙඩියක් ඇති බව සොයාගෙන ඇති අතර වෛද්‍ය මතය එය යම් ලෙසකින් පුපුරා ගියහොත් ඇති විය හැකි ප්‍රථිපලය අවිනිශ්චිතයි. ඒ සඳහා විසඳුම ශල්‍ය කර්මයකි. එම ශල්‍යකර්මය සඳහා දැන් ඔහු රොහල්ගතවී සිටී. දැනට මහනුවර මහරෝහලේ වාට්ටු අංක 74හි නේවාසිකව සිටින ඔහුට ඕ නෙගටිව් (O -) වර්ගයේ ලේ අවශ්‍ය වී ඇත. මෙය සොයාගැනීමට අපහසුම ලේ වර්ගය  වේ. ඒසේම එම ලේ වර්ගය ඇති අයෙක්ට වෙනත් කිසිම ලේ වර්ගයක් ලබා දිය නොහැක. ඔබ කිසිවෙකු සතුව මේ වර්ගයේ ලේ ඇතිනම්, ඔබ ලේ පරිත්‍යාග කිරීමට කැමති අයෙක් නම් හැකි ඉක්මනින් දන්වන්න. 
0718050116 දුරකථන අංකයෙන් ඔහුගේ සොයුරා අමතන්න.
නැතිනම් මා හට ඊ මේල් එකක් එවන්න priyantha.ab@gmail.com
මෙය ඔහු වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරනවාට වඩා මහා පුණ්‍යකර්මයකි.
ප/ලි
දැනට පරිත්‍යාග කිරීමට දෙදෙනෙකු සිටින බව පැවසේ. අවශ්‍ය තාවයක් ඇති වුවහොත් සූදානමින් සිටින මෙන් ඉල්ලමි

Wednesday, April 6, 2011

සයිබර් සිහිනයට පසු....

සයිබරයේ කවුරුත් ආසාවෙන් බලා සිටි සයිබරයේ මහා බක්මහ සැනෙකෙලිය අවසන් විය. දැන් ඇත්තේ ඒ ගැන කතා කරන්නට කාලයයි.
මා දන්නා තරමින් මෙවන් උත්සවයක් ලාංකීය සයිබර් අවකාශයේ සංවිධානය කළ පළමු අවස්ථාව මෙය වන්නට පුළුවන්. කරනා කියනා හැම දෙයක්ම හොඳ නරක නොබලා විවේචනය කරන අපේ සමාජයේ දැඩි විවේචන වලට ලක් නොවූ අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දෙන්නත් පුළුවන්. මා මීට කලින් මේ ගැන පොස්ට් කීපයක් පළ කර ඇති නිසාත් මෙයට බොහෝදෙනෙක් සහභාගි වූ නිසාත් වැඩිය දෙයක් ලියන්න හිතුවේ නෑ. ඒත් මෙච්චර මහන්සියෙන් කළ දෙයක් ගැන පොඩි පොස්ට් එකක් නොදැම්මොත් ඒක හිතට ටිකක් හරි මදි වගේ නිසා ඔය මොනව හරි කටුගාන්න හිතාගෙනයි ටිකක් ප්‍රමාද වෙලා ආවේ.
දැන් ඕක ඉවර වෙලා දවස් 3ක් විතර වෙනවනේ. පසුගිය දිනවල විවේකයක් නැතිව වැඩකළ නිසා, හරි නින්දක් නොලැබූ නිසාත් පොස්ට් එකක් දාන්න තරම් මානසික ඒකාග්‍රතාවයක් ඇතිකරගන්න පුළුවන් උනේ නෑ. තාමත් ඇඟ රිදෙනවා වගේ දැනෙනවා. ක්‍රිකට් තරඟ බලන්නත් සෑහෙන්න නිදි මරන්න උනානේ. ඒත් දුක අවසානයේ හොඳ තරඟයක් නොදීම පැරදුන එකයි.
කොහොම හරි අපි ඔය සයිබර් උළෙලට එන්න නුවරින් කට්ටියක්ම සෙට් උනා. මම නම් මුලින් හිතන් හිටියේ බස් එකේ යන්න. ඒත් කට්ටිය එකතුවෙලා වෑන් එකක යන්න කතා කළ නිසාත් ඔය අවස්ථාවේ සැරසිලි සඳහා අවශ්‍ය දේ නුවරිනුත් ගෙනියන්න උන නිසාත් නොදන්නා තව පිරිසක් එක්ක එකට යන්න ලැබෙන නිසාත් ඒ ලෙස යන්න තීරණය කළා. කොහොම හරි පාන්දරින්ම නැගිටලා ලෑස්ති උනත් වෑන් එක පැය බාගයක්ම ප්‍රමාදයි. ගීත් නම් කීවේ විනාඩි 20ක් කියල. ඒත් මමනේ දන්නේ ඇත්තටම විනාඩි කීයක්ද කියල....
ගිය විධිය නම් ගීත් බ්ලොග් පොස්ට් එකක්ම දාල තිබුනේ. ඒකත් කියවලා බලන්නකෝ.

කොහොම හරි ගිහින් අවුරුදු උත්සවේ නොසිතූ තරම් හොඳින් සාර්ථකව කරගත්තා. මේ ගැන පොස්ට් ගොඩක් ඇති නිසාත්, කියවන අයගෙන් වැඩි දෙනෙක් ඇවිත් ගිහින් තියෙන නිසාත්, එන්න බැරි අයත් ෆොටෝවලින් විස්තර ලබාගන්න ඇති නිසාත් වැඩි දෙයක් කියන්න ඕන නෑ කියා හිතනවා. 
මම කලින් පොස්ට් එකෙත් කීවානේ මේ උත්සවයෙ අරමුණ බ්ලොග් අවකාශයේ ඉන්නා අය එක තැනකට ගෙන්වා සතුටු වීම කියා. නමුත් පසුව අපේ ඉලංදාරියාගේ සැත්කම වෙනුවෙන් යම් ශක්තියක් වෙන්න මෙය වේදිකාවක් කරගන්න බව. ඇත්තෙන්ම එය සිතුවාට වඩා සාර්ථක උනා. එදින එකතුකළ මුදල්, අර ඇනෝනිමස් කෙනෙක් කීවානේ ඇයි මේ රුපියල් 100ක් ගන්නේ හරිනම් මේවා කරන්න ඕන සල්ලි අරන් නෙවේ කියල. එහෙම කියද්දිත් අපි ටිකට් විකුණා එකතුකළ රුපියල් 15000 කට වැඩි මුදල සහ මේ සඳහා ලැබුන ආධාර වලින් ඉතිරිවූ මුදල් සියල්ල ඉලංදාරියා සුවපත් කිරීම උදෙසා පිහිටුවා ඇති ගිණුමට ඊයේ අසංග සොයුරා විසින් බර කළ බව කියන්නත් කැමතියි. කවුරු කෙසේ කීවත් මේ ටිකට් විකිණීම කොතරම් සාර්ථකද කියනවනම් අපේ ඒ අංශය භාරව උනු සොයුරන් ආරාධිතයින්ට පවා ටිකට් විකුණා තිබුනා. අපේ චූටිමහත්තයා ඒක දැකල පොස්ට් එකකත් කියල තිබුනේ. ඒ වගේම සංවිධායක මණ්ඩලයේ කිසිම අයෙකුට ටිකට් නැතිව ඇතුළු වෙන්න එයා ඉඩ දුන්නේ නෑ. හැම දෙනාම මේ අවස්ථාවේ සමානයි කියන්න එය හොඳම උදාහරණයක්.
මේ සඳහා මුදලින් ආධාර කළ හැමටම ස්තූතිය පිරිනමන්නත් මෙතනම ඉඩක් ගන්නවා. ඉලංදාරියාට ආධාර කළ අයට අරුණි ශපිරෝ සොයුරියගේ අගනා පොත් කට්ටලයක් ලැබුනා. මටත් එයින් පොත් ටිකක් ලැබුනා. ඇයටත් ස්තූතිය පිරිනමන්න ඕන. කේක් සංග්‍රහයකුත් දුන්නනේ ඇගේ අනුග්‍රහයෙන්. කොතරම් කේක් ගොඩක්ද කියනවනම් අපේ වෑන් එකටත් කවුද කේක් ගොඩක් දාල නුවර එනකල්ම කට්ටිය කේක් කකා ආවේ.
අවසානයේ සියලු තරඟ අවසානයේ කට්ටිය DJ එකට ඇතිවෙන්න නටල සතුටින් විසිර ගියා කියන්න තමා තියෙන්නේ.

පසුගිය දින දෙකේම වගේ අපි එකතුවෙලා සිදුවූ අඩු පාඩු කතා කළා. ඇත්තටම කියන්න සතුටුයි මේ වගේ එකිනෙකා හමුවී නැති පිරිසක් එකම සංවිධායක මණ්ඩලයක් ලෙස එකතුවී එකම අරමුණක් කරා ගිය ගමනේ දී දන්නා කියන අය සංවිධානය කරන උත්සවයකට වඩා සාර්ථක බවක් තිබුනා. සමහර අයට තිබුන චෝදනාව වූයේ එකිනෙකා හඳුනා ගන්න බැරිඋනා කියන එකයි. ඒත් සමහර අය ඕනෑවටත් වඩා හොඳින් ඒ දේම කර තිබුනා. ඒ නිසා මම හිතන්නේ තමන්ට කෙනෙක් අඳුනා ගන්න ඕන නම් ඒක කරන්න ඕන තමන් විසින්ම කියා. පැවති සුළු අඩු ලුහුඬුකම් මගහරවාගෙන ලබන වසරේ මීට වඩා සාර්ථක සයිබර් උළෙලක් සඳහා එක්වෙමු. ඔබ අපි සැවොම. මෙහි අඩු පාඩු එහෙම තියනවනම් ඒවා ඔබට පේනවනම්, මීට වඩා උසස් ලෙස කරන්න ඔබට පුළුවන් නම් එන්න ලබන වසරේ ඒ සඳහා පෙරමුණ ගන්න. ආධාර කළ, දිරිමත් කළ, සහභාගිවිමෙන් සහයෝගය දැක්වූ සැමට ස්තූතියි.
කිසිවෙකුට කාගෙන් හරි සිත් රිදීමක් වූවානම් සමාව ඉල්ලන්නත් මෙතනින්ම මම ඉඩක් ගත්තා.
සුභ දවසක්..!!!