Sunday, June 27, 2010

ඔපරේශන් ලොස්ට් කී

අද කතාව මට ලියන්න හිතුනේ මගේ බත් හැලුනොත් මොනව වෙයිද? පෝස්ට් එකට සොබනි දාපු කොමෙන්ටුවක් දැකල. මේක අද ලියන්න හිතපු කතාවනම් නෙවේ. ඒක ජෙනරේටර් එකක් ගැන කතාවක්. මතක් වුන වෙලාවේ මේක ලියල ජෙනිය ගැන පස්සේ ලියන්නම්.


මේක වුනේ දැනට අවුරුදු කීපයකට කලින් නෝට්බුක් එකක් සර්විස් කරන්න ගිහින්. මේක හරියට දුවිලි පටන් ගන්න තැන වගේ. ඒ තරමට දුවිලි පිරුන කොම්පියුටරයක්. මම ඉතිං ඔය සර්කිට් බෝඩ් වගේ ස්ථිති විදුලියට සංවේදී කොටස් පොඩි බ්‍රශ් එකකින් බ්‍රශ්කලා.

ඇණ ක්ලිප් එහෙම පැත්තකින් ඇරන් තියලා ප්ලාස්ටික් කවරය හා කී‍බෝඩ් එක පිරිසිදු කරන්න වැකියුම් ක්ලීනර් එක ගත්තා. මොකද ආයෙ ඇණ එහෙම එහෙ මෙහෙ වුනොත් අයෙ ඇණ ගෙන්න කොම්පැනියටම යන්නයැ. ඊටත් මේ නෝට් බුක් එකේ කාලේ හැටියට නම් මියුසියම් එකෙන් තමා ඇණ ගේන්න වෙන්නේ. ඒ නිසයි වැඩේ ඇණ ගන්නේ නැතිව ඇණ ටික කලින්ම ප්ලාස්ටික් කෝප්පයක දාල පරිස්සමින් ඇරන් තිබ්බෙ.

ඔය පහලින් තියෙන්නෙ අපේ සද්දන්ත වැකියුම් ක්ලීනර් රාජයා. මේක අපි ඔය පොඩි පොඩ් වැඩවලට ගත්තට බිම කාපට් එක ක්ලීන් කරන්න ගත්ත වෙට් ඇන්ඩ් ඩ්‍රයි ලීටර් 15 ක විතර එකක්.


ඔක්කොම ක්ලීන් කරල ඉවර වෙලා කොම්පියුටර් එක රිඇසෙම්බල් කර කී බෝඩ් එක ෆික්ස් කරන්න බලනකොට තමා දැක්කේ කීස් කීපයක්ම නැති බව. දැන් ඉතින් මං හොඳටම දන්නවා කවුද මේවා ගිලපු බහිරවයා කියලා.

මොනව කරන්නද ? සිංගප්පූරුවේ මියුසියම් එකට යන්න දුර වැඩි හින්දා මම වැකියුම් ක්ලීනරේ ඩස්ට් බෑග් එක ගලවලා ඔපරේශන් ලොස්ට් කී එක පටන් ගත්තා. බඩු ටික නම් හම්බවුනා. ඒවුනාට මම ඒවෙනකොට දූවිලි වලින් බාගෙට නාල හිටියේ. ඉතිං ඉතුරුටික වතුරෙන් නාල ගෙදර ගියා.

මම මේකෙන් කියන්න ගියේ වැඩක් කරනවනම් ප්‍රොපර් ටූල්ස් ම පාවිච්චි කරන්න. නැත්නම් ඉතින් මේක තමා වෙන්නේ.

ප/ලි
ඔන්න මම එක ඉංගිරිසි අකුරක්වත් නැතිව පෝස්ට් එකක් දැම්මෝ...

Thursday, June 24, 2010

අනතුරු වැලැක්වීම

අද ලියන්න කතන්දර කීපයක් හිතාගෙන හිටියත් මේ දවස් වල තියන වැඩත් එක්ක මොකවත් කරගන්න බැරි වුනා. මගේ මස්සිනා ඒ කියන්නේ සොයුරියගේ සැමියා රෝගාතුරව ඉන්න නිසා මටත් වැඩ ගොඩයි. ඊයෙ දවසටම බ්ලොග් බලන්නවත් වෙලාවක් නැතිවුනා.

උදේ මේ පැත්තෙ ආවට පස්සේ අපේ සයිබර් යාය ලියන චූටි මහත්තයාගේ ජයසිරි අයියගේ රේස් එකට ප්‍රැක්ටිස් කල කතාව කියවන කොට තමා මට මේ කතාව මතක් වුනේ.

මේක අපේ මල්ලිගේ අත්දැකීමක්. පොර ටෙක් යන කාලේ වෙච්ච දෙයක්. පොරටත් ඉඳලා තියනවා අපේ දුකා ට හිටිය වගේම ටෙක් එකේ කොල්ලො සෙට් එකක්. උනුත් මරුම මරු පිස්සො ටිකක්. මුන් ගැනත් කතා ගොඩක් තියනවා. අපේ මල්ලි බ්ලොග් ලියන්නේ නැති නිසා මම ඉඳ හිට ඒවාගෙනුත් එක්ක දෙකක් ඔහේ දාන්නම්කො.

ඔන්න මෙන්න ‍මේකයි අද කතාව.
දවසක් ටෙක් එකේ සම්මන්ත්‍රණයක් එකක් තිබිල තියනවා මාර්ග නීති හා ආරක්ෂාව ගැන. රථවාහන පොලීසිය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, තව ෆීල්ඩ් එකේ එක්සපර්ට්ල ගෙන්ල්ලා සිරාවටම කරපු එකක්. ඇත්තෙන්ම ඒක තරුණ වයසේ අයට මාර්ග නීති පිළිබඳ හොඳ අත්වැලක්.

මේකේ තිබුන එකදේශනයක් (මාර්ග අනතුරු හා අධික වේගයෙන් රිය පැදවීම ගැන) අවසානයේ දේශකයා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවලු.

"හොඳයි අපි මෙහෙම හිතමු. දැන් අපි වේගයෙන් පාරෙ වාහනයක් පදවාගෙන යනවා. ඒ වෙලාවේ අපේ නෑයෙක් පාර අයිනෙන් යනවා. පිටුපසින් තව වාහනත් එනවා. අපි ඥාතියා දකින්නේ ලඟටම ආවම. ඒවිට අපි කරන්නේ මොකක්ද?" කියලා.

දැන් ඔක්කොම කල්පනා කරනවා. හිතෙන උත්තරේ හරිද වැරදිද දන්නේ නැති නිසා කියල නොන්ඩි වෙන්න ඕන නෑනේ කියල. ඔය අතර එකෙක් හිටියලු කට ඇරියොත් ඉවර ජාතියේ.

මූ නැගිටල කිව්වේ මෙච්චරයි.

"හප්ප්පලාආ.. දානවා සඅඅර්" කියලා

Wednesday, June 9, 2010

බත් හැලුනොත් මොනව වෙයිද



කෙහෙල් කොලේ බත් කාල තියෙන්නේ කවුද?
හරිම රසයි නේද? සාමාන්‍යයෙන් බත් කෙහෙල් කොලේ කනකොට මට නම් රස වැඩියි. ඔයාලටත් එහෙම ඇති කියල මම හිතනවා. මේ කථාව මෙහෙම පටන් ගන්න හිතුවෙ ඔය උඩ තියෙන පිංතූරේ හින්දා. මම අද කතාවට පිංතූරයක් හොයන කොට මගේ හිතට අල්ලන එකකට තිබුනේ මේ පිතූරෙ තමා. ඉතිං පින්තූරෙ හැටියට අද කතාව පටන් ගත්තා.

මේකයි කතාව.
සාමාන්‍යයෙන් අපි කෑම කන්නේ මේසෙ උනාට ගෙදරදී එහෙමම නෑනේ. මමත් හුඟක් වෙලාවට බත් එක බෙදාගෙන අම්මා බනිද්දිම කාමරයට ගෙනියනවා. කොම්පියුටර් ටේබල් එක උඩ තියන් මොකක් හරි බලාගෙන කාපු වෙලාවල් ඕන තරම් ඇති. මම මේ ඒකෙ හොඳ නරක කියන්ට යනවා නෙවේ. ඔහොම වෙලාවට බත් ඇට කීපයක් හැලෙන්නේ අපටත් නොදැනමනෙ. ඕක අතුගාල පිරිසිදු කරන්න පරක්කු උනොත් කාමරේට කූඹි එන එක වලක්වන්න අමාරුයි. ඒ එක ප්‍රශ්නයක්. කාමරේ අපිරිසිදු වීම, බැනුම් ඇසීම ලෙඩ ගොඩයි.

මම කියන්න ගියේ ඒ මොනවත් නෙවෙයි. මේක උනේ මම අඳුනන මහාචාර්ය වරයෙකුට. අපේ ප්‍රොෆෙසර්ගෙ නෝට්බුක් (ලැප්ටොප් වලට වඩා මම කැමති නොට්බුක් යන වචනයට) කොම්පියුටර් එකේ Keyboard එකේ පොඩි ප්‍රශ්නයක් තියනවා කියල මට පොඩ්ඩක් බලන්න පුළුවන්ද ඇහුවා.



මම බැලුවාම එක Key එකක් වැඩ නෑ. සාමාන්‍යයෙන් Keyboard එකක fault එකක් තියනවනම් Key set එකක්ම වැඩ නැතිව යනවා. එකක් විතරක් අක්‍රිය වෙන අවස්ථා ඇත්තේම නැති තරම්. ඒ නිසා මේක Keyboard එකේ fault එක්ක වෙන්න ඉඩක් නෑ. Key එක press වෙන්නේ නැති බවක් තමා මට පෙනුනේ. මම ප්‍රවේශමෙන් එම කී එක ගලවා බැලුවා. බැලුවම කී එක යට වැලි කැටයක් වැනි යමක් ඇලවී තිබෙනවා. මේ නිසා තමා කී එක තද වෙන්නේ නැත්තේ.

ඔයාලත් දන්නවා ඇතිනේ නෝට්බුක් පරිගනක වල කීබෝඩ් එකේ key එක හා යට plate එක අතර තියෙන්නේ ඉතා කුඩා පරතරක් බව. ඒ නිසා පොඩි දෙයක් හිරවුනත් Key එක press වෙන්නේ නෑ. මම මේ වැලි කැටය ඇරන් බැලුවාම තමා පෙනුනේ ඒ වැලි කැටයක් නෙ‍වේ කියල. මේක හොඳට වේලුන බත් ඇටයක්. බත් ඇට හුඟක් වේලුනාම ගල් කැටයක් වගේ හයියයි. බොරු කියා හිතනවනම් බත් ඇට ටිකක් වෙලලා බලන්නකෝ.

ඔයවගේ අපි නොහිතන දේවල් වෙන්න පුළුවන්. කොම්පියුටරයට විතරක් නෙවේ. ඒනිසා හැම දෙයක්ම විමසිලිලෙන් බලන්න.

නොට්බුක් කීබෝඩ් එකක් කියන කොට ඒ ගැන තවත් කතාවක් මතක් වුනා. ඒක තව දවසක කියන්නම්.
එහෙනම් ගිහින් එන්නම්.

Thursday, June 3, 2010

අයියයි මල්ලියි

අද මොකවත් පෝස්ට් කරනවද නැද්ද කියල උදේ ඉඳන් හිත හිතා හිටියෙ. ලියන්න ගත්තම මැල්ලුම් ලියනවා වගේ ලියන්නත් හොඳනෑ. ඕන එකක් කියල පරන පොඩි කථාවක් දාන්න යන්නෙ. මේක වෙලා දැන් අවුරුදු කීපයක් වෙනව. මේකයි කතාව.

මම ඒ දවස්වල වැඩ කල කොම්පැනි ඒකේ බොස් එක්ක පේමන්ට් එකේ ඇවිදගෙන යනවා. තනියම නෙවේ. බොසාගෙ අයියත් අපිත් එක්ක යනව. පොරවල් දෙන්නම ඒ වෙනකොටත් කොලේ අත්සන් කරල. ඒ කිවිවෙ බැඳලයි කියමුකො. ඒත් කථා කර කර ගියෙත් බිස්නස් වැඩක්. අයියයි මල්ලියි ටිකක් සීරියස් බිස්නස් කථාවක් ඒත් මට ඒක වැදගත් නෑ. ඉතිං මාත් ඔහේ පස්සෙන් ගියා.

ආයෙ වෙලාවත් අහනවා. ඒක ඕන නෑ. නෑ කමක් නෑ කියන්නන්කො. සවස 4.00 ය විකර ඇති. ඔය දවස් වල මට වයස 22ක් විතර ඇති.

ඔන්න එක පාරටම වගේ ඉදිරියේ ගෙදරක දොරක් ඇරගෙන කෙල්ලො දෙන්නෙක් පාරට ආවා. පේන විධියට නම් අක්කයි නංගියි වෙන්න ඕන. එක පාරක් බැලුවම තව පාරක් බලන්න තරම් ලස්සනයි. අක්කට වයස 25ක් විතර පේනවා. ඒත් නංගි නම් 21 ක් 22 ක් විතර ඇති. දැන් මේ දෙන්නා අපට ටික්ක ඉදිරියෙන් යනවා.

ඒ දවස් වල අපේ බොසාට වයස 40 ක් විතර, එයාගෙ අයියට 45ක් විතර. ඒවුනත් මට පේනවා අර අයියියි මල්ලියි දෙන්නත් බලන්නේ අර කෙල්ලො දෙන්නා දිහාම බව.

ටිකක් දුර එහෙම ගිය අර අයියා මල්ලිට කීවේ මොකක්ද කියලා හිතාගන්ට පුලුවන්ද?

මම නම් හිතුවෙ ලස්සනයි, එහෙම නැත්නම් මාරයි, එල වගේ එක්ක කියයි කියල. මොකද බැලුවෙ එහෙම හින්ද.

මේ පොර උගෙ මල්ලිට කීවෙ මල්ලි අපි බඳින්ට ඉක්මන් වුනා වැඩියි නේද කියලනේ.
එතකොට මල්ලි කියපු දේ හිතන්ට පුලුවන්නේ.

අයියා කියුවට වඩා ටිකක් ඉදිරියෙන් තමා මල්ලි හිටියේ.

Tuesday, June 1, 2010

බලාගෙනයි staples

මේ ලියන්න යන්නේ මම කොම්පියුටර් කරන්න ගත්ත මුල් කාලේ අත්දැකීමක්. මට රෙපෙයාර් කරන්න ලැබුන කොම්පියුටර් එකක් boot වෙන්නෙ නෑ. අඩුම තරමෙ power on කළවිට LED on වෙනවා Display එකේ මොනවත් නෑ. වැඩිය වැඩත් බැරි කාලේ වරැවක් විතර මේක check කළා. Memory, Video card (ඒ කාලයේ integrated video තිබුනේ නෑ) , Processor, Power Supply ඔක්කොම හොඳයි. අවුල Main board එකේ. අයිතිකාරයා කියන්නේ මේක වුනේ එකපාරම කියල. අනේ ඉතිං මමත් Main board එක උඩ යට පෙරලන් බලනවා මොකද වෙලා තියෙන්නෙ කියලා. කිසි අවුලක් පේන්න නෑ. ළඟදි service කරල දූවිලි බිඳක් වත් නෑ ආසාවට පිහදාන්ට.

මොනව කරන්නද මේක කොහොම හරි හදන්නම ඕන. මට හිතෙන්නෙම board එක fail නෑ වෙන මොකක් හරි අවුලක් කියලමයි.

මම ආයෙම මුලු board එකම බැලුවා. මගෙයි අයිතිකාරයාගෙයි දෙන්නාගෙම ලොව හොඳයි වගේ. මම අහම්බෙන් වගේ දැක්කා memory slot එකක pin එකක් උඩට ඉස්සිලා වගේ.



මමත් ඒක උල් අඬුවකින් ඇද්දා. දන්නවානේ Needle nose plier එක. දන්නැත්නම් මෙන්න තියනවා.


අනේ නිකම්ම ගැලවිලා අවානෙ. අතටම ඇරන් කෝකටත් කියල බැලුවෙ pin එක ගැලවුනාවත්ද කියලයි. එතකොටනෙ බඩු අහුවුනේ. මොක්කද මේ?..
Staple pin එකකින් කැඩුන පොඩි කෑල්ලක්. අයින් කළ ගමන් Computer එක බබා වගේ වැඩ. දෙයියන්ගෙම පිහිටයි කිව්වා. මම නෙවේ. ඒකේ අයිතිකාරයා.

මම මේ කියන්න ගියේ Staple pin විතරක් නොවේ ඇල්පෙනිත්ති, File clips වගේ ලෝහ දේවල් Computer විතරක් නෙවේ කොයි Electronic උපකරණයටත් හානි කරයි. ඒනිසා කල්පනාවෙන්.

සමහර විට ඩෝං..... ගාන්නත් පුලුවන්.
ගිහින් එන්නම්.......