Friday, August 27, 2010

දූවිලි කඳුද? computer ද?

ඔය වගේ දූවිලි වලින් වැහුන කොම්පියුටර් එහෙම දැකල තියනවද? මම නම් ඕන තරම් දැකල තියනවා. ඔව් ඉතිං කොම්පියුටර් එක්ක හැමදාම හැප්පෙන කොට ඔවා දකින්නේ නැත්තන් නේ පුදුම නේද?.
ඔන්න ඔහොමයි අද කතාව පටන් ගන්නේ. ඔහොමයි කිව්වට තාම පටන් ගත්තේ නෑ. පටන් ගන්න හදනවා. මට නිතරම වගේ ඔය දූවිල්ලෙන් වැහුන කොම්පියුටර් එක්ක හැප්පෙන්න වෙන නිසා මට නම් මේවා අමුතු දේවල් නොවේ. එත් මම දන්නවා කොම්පියුටර් භාවිතා කළාට කවදාවත් ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියල දන්නේ නැති අයත් ඉන්න පුළුවන් බව. හැබැයි මතක තියාගන්න දන්නේ නැත්නම් මේක ගලවලා බලන්න යන්න එපා. එතනින්ම කොම්පියුටරේ අවසානේ වෙන්න පුළුවන්.
මෙහෙම දූවිලි පිරෙන එක කොම්පියුටර් එකකට ප්‍රශ්නයක්ද? නැතිද?. කවුරු මොන විධියට කිව්වත් එක හොඳනෑ. මොකද කියනවා නම් ඔය දූවිලි නිසා ලෙඩ ගොඩක් එන්න පුළුවන්. මොනවද දූවිලි විධියට එකතු වෙන්නේ?. පස් අංශු, ඉදිකිරීම් ආදිය සිදුවන බිමක් හො අවට නම් සිමෙන්ති, හුණු කුඩු, පාර අයිනේ ස්ථානයක නම් කාබන් අංශු ආදී විවිධ දේ මේ දූවිලි වෙන්න පුළුවන්. තවද විවිධ රසායන ද්‍රව්‍ය මේ දූවිලි එක්ක තිබෙනවා. මේවා නිසා තමා අපේ පරිගනකයට හානි වෙන්නේ. මේ මගින් වෙන හානි මම කීපයක් දක්වන්නම්.
පරිගනකයේ කනෙක්ටර් වල මේව තැම්පත්වීම නිසා නිසි ලෙස සම්බන්ධතා නොවීමෙන් නිතර ක්‍රියා විරහිත වෙන්න පුවවන්. System Board හෝ වෙනත් cards (Memory, Sound card, Video card) ආදියේ තැම්පත් වන දූවිලි වලින් එම පරිපථ වලට වන හානි රැසකි. මෙම දුහුවිලි අංශු හා වාතයේ ඇති වාෂ්ප හා එක්වී විවිධ රසායන ද්‍රව්‍ය හැදෙනවා. ඒවායින් Board එක දිරා පත් වන්න පුළුවන්. ඒ වගේම අග්‍ර අතර තැම්පත් වන මෙම දූවිලි හා ජලය එක්වී සන්නායක ලෙස ක්‍රියා කිරීම නිසා අළුත් පරිපථ සෑදී වැරදි ධාරාවන් නිසා mother board (system board) ඇතුළු අනෙකුත් Board වලට හානි වීමෙන් පරිගනකය නැවත භාවිතා කරන්න බැරි ආකාරයට හානි වෙන්න පුළුවන්. ඒවගේ අවස්ථා මට ගනනාවක් ලැබිල තියනවා. තවත් මෙවන් ලෙඩ ගොඩක් කියන්න නම් පුළුවන්. එත් එකෙන් වෙන්නේ පොස්ට් එක අනවශ්‍යය ලෙස දික් වෙන එක.
දැන් ඉතින් මේකට මොකද කරන්න පුළුවන්. ඔන්න මෙතෙන්දි තමයි අපිට වැඩක් තියෙන්නේ. මොකද අපේ පරිගනකය වෙලාවට සර්විස් කරන්න ඕන. එ සඳහා ප්‍රමාණවත් දැනුමක් හැකියාවක් තමන්ට තිබෙනවනම් තමා විසින්ම කර ගන්න එකේ වරදක් නෑ. හැබැයි වොරන්ටි තියෙනවනම් ඒක වෙනම ප්‍රශ්ණයක්. ඔය වොරන්ටි හා අළුතින් පරිගනක ගන්න එක ගැන වෙනම දවසක කතා කරමු. දැන් ඉක්මනට මේක කියල ඉවර කරන්නම්.
වෙලාවට සර්විස් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් මාස 6කට වරක් වත් කරනවනම් තමා හොඳ. තමන් ඉන්න පරිසරය දූවිලි අධික නම් ඊට වඩා අඩු කාලයකින් කරන් වෙයි. ටික කලක් යනකොට තමාටම ඒ ගැන තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම සර්විස් කරන වෙලාවට සර්විස් එකට කලින් ඇතුල කොහොමද කියල පෙන්නන්න කියන්න. එහෙම පෙන්නන්න අකැමති ටෙකිනීෂියන් කෙනෙක් ඉන්නවානම් මම හිතන්නේ ඔහු එතරම් හොඳ අයෙක් වෙන්න බෑ. මම සෑම විටම අයිතිකාරයා ඉන්න තැන කොම්පියුටර් එකක් ගලවන්න මැලි වන්නේ නෑ. ඒ වගේම මම මේ ක්‍ෂේත්‍රයේ ඉන්න අනෙක් අයත් එහෙම කරයි කියල හිතනවා. තවද ඔය කීබෝඩ් එක මවුස් එක මොනිටරේ එහෙමත් දූවිලි ඇතුළු අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. එවත් සර්විස් එකේදිම ඉවත් කරවා ගන්න. මතකනේ මගේ පරණ ලිපිය.
එහෙනම් අදට ගිහින් එන්නම්. මේක හදිස්සියෙ ලියල ගිය එකක්.
සුභ දවසක් හැම දෙනාටම!!!
ප/ලි
දැන් කතන්දර නිසා මමත් ප.ලි. කෑල්ලක් දාන්න පුරුදු වෙලා. කොහොමත් කසූ මගේ බ්ලොග් ගුරානේ. මේ පොස්ට් එක පබ්ල්ෂ් වෙන කොට මම බස් එකේ මග යනවා ඇති. මම අද අකුරැස්සේ යනවා (මාතර) නිල්වලා පීඨයේ අපේ AGM එක තියනවා. මාතර පැත්තේ අය ඉන්නවානම් උදව්වක්
එහෙම කරන්නනකෝ. කොමෙන්ට් ටික සඳුදා approve කරන්නම්. තරහ වෙන්න එහෙම එපා ඒ ගැන.

Tuesday, August 24, 2010

බලෙන් පෙන්නපු පෙරහැර

මේ පාර පෙරහැර බැලුවද?. නැත්නම් ඔන්න අද රෑ අවසන් රන්දෝලි පෙරහැර මහනුවර වීදි සංචාරය කරනවා. ලංකාවේ පවත්වන අලංකාරම සංස්කෘතික මංගල්‍යය නුවර පෙරහැරනේ. එකෙනුත් ලස්සනම අවසන් රන්දෝලි පෙරහැර. මම ඉස්සර බැලුවෙම දවල් පෙරහැර විතරයි. ඔය කියන්නේ මම හුඟක් පුංචිකාලේ. ඒ කාලේ අද වගේ රෑට පෙරහැර බලල ගෙදර එන්න ප්‍රවාහන පහසුකම් අඩුයි. අනික අපේ නංගිත් ඒ දවසවල හුඟක් පොඩි නිසා රෑ ගිහින් ඉන්නේ නෑ. ඔය නිසා මට රන්දෝලි පෙරහැරක් පළමු වරට බලන්න උනේ අවුරුදු 12 දී විතර. එදා තද වැස්ස දවසක්. හරිම අමාරුවෙන් කොහොම හරි නොතෙමී බලන්න නම් ලැබුනා.
ඔය වගේ කොහොමත් අපට පෙරහැර ලේසියෙන් බලන්න ලැබෙන්නේ නම් නෑ. එහෙනම් වැඩි මුදලකට කලින් සීට් එකක් ගන්න ඕන. නමුත් අපට කවදාවත් එහෙම කරන්න හිතුනේ නෑ. පෙරහැර බලන්න ඕන කියල හිතුනොත් යනවා ඉඩක් ඇතනම් බලනවා, නැත්නම් ආපහු එනවා. හැබැයි කවදාවත් නොබල එන්න උනේ නම් නෑ.
වරක් අපේ ඒදවස්වල හිටපු කොම්පැනියේ බොසා පෙරහැර බලන්න මාළගාව ළඟ ඉඳන්ම පුළුවන් එන්න කියල කීවා. අපේ කොම්පැනියේ පෙට් එකත් කියපු වෙලාවට ගියා. පොර අපිව අස්ගිරි පන්සලට එක්ක ගිහින් හාමුදුරුවන් එක්ක කරන වැඩක් ගැන කතාකර අපෙනුත් විස්තර අහල ටවුමට ඇවිත් මට වෙලා ගියා මම යනව ඕය කට්ටිය පෙරහැර බලල යන්න කියල ගියා. අම්බානක තදවුන අපි ආපහු ගෙවල් වලට ගියා. මොකද ඒවෙන විට වීදි සියල්ල පිරිල ඉවරයි.
මෙකෙන් අද කියන්න ගිය දේ කියන්න බැරි වෙනවා. 2003 දවසක ඒදවස්වල හිටියේ කලින් කොම්පැනියේ නෙවේ. සාමාන්‍යයෙන් මම රෑ ගෙදර එන්න පිටත් වෙන්නේ 7ට විතර. එත් එදා වැඩ ගොඩක් තිබුන නිසා ටිකක් ප්‍රමාද වෙලා ආවේ. එනකොට පෙරහැර පටන් අරන්. පොලීසිය හමුදාව දැඩි රැකවල් දාල. මොකද යුද්දේ යන දවස්නේ. කොහොම හරි මම නුවර ආමි කෑම්ප් එක ළඟට ආවා. එතනින් තමා එදා පෙරහැර උඩට හැරෙන්නේ. පොලිසියෙන් ඇහුවා කොහේද යන්නේ කියා. මමත් කිව්වා ගෙදර යනවා කියා. මෙතනින් එහාට පෙරහැර ඉවර වෙනකම් යන්න දෙන්න බෑ කියපි. දැන් මොකද කරන්නේ. මමත් උඩ බිම බලමින් පාර මැද හිටලෙන ඉන්නවා. පෙරහැරත් ඉදිරියෙන් එනවා පේනවා. එතන ඉන්න හමුදා සොයුරන් ටිකක් පාර මැද ඉන්නවා. එ‍තන්න්නේ පෙරහැර හැරෙන්නේ. ඔවුන් ගෙන් කෙනෙක් මට කතා කරල මල්ලි එන්න මෙතන් ඉඳන් හොඳට පෙරහැරත් බලානම යන්න කීවා. මොනව කරන්නද මමත් ඔහේ එතන ඉඳන් කවදාවත් බලල නැත් තරම් ළඟින් ඉඳන් පෙරහැර බැලුවා. ඒ දවස තමා මම කිසිම අමතර මහන්සියක් නැතිව නිදහසේ පෙරහැර බලපු දවස.
පෙරහැර ඉවර වෙනකම් යන්න බස් වලට දෙන්නෙත් නැති නිසා මට පෙරහැර බැලුවා කියල කිසි කරදරයක් උනෙත් නෑ. කවදාවත් නැති තරම් ළඟ ඉඳන් බලන්නත් ලැබුනා. ඒ වෙලේ මට මතක් උනේ අපේ පරණ බොසා පෙරහැර පෙන්වනවා කියල දීපු ලණුව.
මොනව උනත් මේ පෙරහැර මම බැලුව නම් නෙවේ මට බලෙන්ම වගේ පෙන්නුව.
ප/ලි
ඔන්න මම මේ පාර පෙරහැර බලන්න යන්නේ නෑ. ඒ ඉඩ කවදාවත් පෙරහැර බලන්න බැරි වෙච්ච කෙනෙක් ගත්තාවේ.
මොකද කියන්නේ ඇවිල්ල පෙරහැර බලල යන්න.

Wednesday, August 18, 2010

Computer එක slow වෙලාද? 2 Internet temporary files ඉවත් කිරීම

පොරොන්දුවක් දුන්නොත් කොහොම හරි ඉටු කරන්න ඕනනේ. එදා computer එක slow වෙලාද? පොස්ට් එක දිග වැඩි ‍උන නිසා මගින් නවත්වන්න සිදුවුන බව දැන් කවුරුත් දන්නවනේ. බලපු නැති අය ඉන්නවනම් ඔය උඩ තියන ලින්ක් එකෙන් ගිහින් බලලම එන්නකෝ.

ඔය හැදෙන temporary files සියල්ල එදා කියපු del *.tmp/s මගින් ඉවත් කරන්න අමාරුයි. විශේෂයෙන්ම Internet browser එකේ cache එක ලෙසින් විශාල files ගොඩක් පවතිනවා. අපි Internet browse කරන සෑම විටම මෙහි අළුතින් files එකතු වෙනවා. ඒ කියන්නේ ඔය වෙබ් පේජ් වල තියෙන පින්තූර, වීඩියෝ/සවුන්ඩ් ක්ලිප් විතරක් නොවේ xml files වගේ තවත් files රාශියක් මෙහි ඇතුළත් වෙනවා. මේවායිනුත් වෙන්නේ අර කලින් පොස්ට් එකේ වගේම කොම්පියුටරේ ස්ලෝ වෙන එකම තමයි.

දැන් අපි මේකට මොකද කරන්නේ කියන එක නො දන්න කෙනෙකුටත් එතරම් ප්‍රශ්ණයක් නොවේ. එත් මේවා හැදෙන එක නවත්වන්න බෑ. ඕනෑම නම් සීමා කරන්න පුළුවන්. වඩාත්ම හොඳමදේ තමයි ඒම ෆයිල්ස් වරින් වර ඉවත් කරන එක.

අපි මුලින්ම බලමු Microsoft windows භාවිතා කරන අය වැඩි දෙනෙක් කැමති Internet Explorer වලින් පටන් ගන්න. මෙහි Temporary files එහෙමත් නැත්නම් cache එක ඉවත් කර ගන්නේ පහත ආකාරයට.

Menu bar එකේ Tools වල Internet Options window එක open කර ගන්න. එහි General tab එක යටතේ ඇති Delete button එක press කරන්න. එම window එකේ Temporary Internet files select කරන්න. අමතරව ඇති cookies අනවශ්‍ය‍ය‍ය නම් select කරන්න. Passwords, Form data, History, InPrivate Filtering data අනවශ්‍යනම් පමණක් select කරන්න. දැන් Delete button එක press කරන්න.

දෙවනුව දැනට බොහෝදෙනා භාවිතා කරන Mozilla Firefox browser එක සඳහා මේක්‍රමය යොදන ඇකාරය බලමු. ඉහත ආකාරයටම Tools වල ඇති Options window එකට යන්න. ඔය පහලින් තියෙන්නේ ඉතුරු ටික කරගන්න විධිය.

අවසානයේ මම කියන්නේ මගේ ප්‍රියතම බ්‍රව්සරය වන Google Chrome සඳහා cache clear කර ගන්නා ආකාරයයි.

Chrome වල දකුණු කෙළවර ඇති අඩුවක් වැනි අයිකනය මක ක්ලික් කර Options window එකට යන්න. එහි Under the hood යටතේ ඇති clear browsing data window එක මගින් Empty the cache select කර අනෙකුත් ඔබට අනවශ්‍ය සියල්ලද select කර Delete button එක press කරන්න.

ඔය පහත රූපයේ තියෙන්නෙත් එම window එක තමා. අවසානයේ තව ටිකක් කොම්පිටුටරය වේගවත් වී ඇති බව පෙනෙනු ඇත.

තව වැදගත් දෙයක් කියන්න තියනවා. කොම්පියුටරයටත් අපේ අනෙක් උපකරන වලට වගේම නිසි නඩත්තුවක් අත්‍යාවශ්‍යයි. ඒනිසා නිසි ලෙස වරින්වර නඩත්තු සේවා කර ගන්නවා නම් හොඳයි.

අද ලිපිය ටිකක් ලියවිලා තියෙන විදියනම් හරි මදි වගේ. මම වෙනදා ලියන ක්‍රමයට ටිකක් පිටින් ගිහින් තියනවා. මේක ලියන්න ගොඩදවසක් ගියේ මේ දවස්වල ලිනක්ස් දාගෙන පොඩ්ඩක් නාගෙන ඉන්නේ. හැමෝම වගේ Ubantu දැම්මට මම කැමති Redhat වලට නිසා Fedora 13 දාගෙන දවස් කීපයක්ම config කරගන්න දැඟලුවා දැන් නම් යන්තම් වැඩ. තාම පොස්ට් එකක් දාන්න තරම් Applications දාගෙන නෑ (Image edit කරන්න එහෙම). ඒනිසා පරණ විස්ටා එකට ඇවිත් මේක දාන්න ගිය නිසා තමා මේ පෝස්ට් එක දාන්න කල් ගියේ. මෙහි දක්වා ඇත්තේ දැනට ඇති අළුත්ම versions සඳහා. පරන versions වලට අවුලක් ඇත්නම් කියන්නකෝ. priyantha.ab@gmail.com වලට මේල් එකක් දාල.

ප/ලි

ඔය පින්තූර පැහැදිලි මදි නම් ඒමත ක්ලික් කරන්න කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

Sunday, August 15, 2010

හොඳටම වැඩ.....

මිනිස්සු වැඩ අඩු කරගන්න කොට මම කරන්නේ වැඩ වැඩි කරන් අනාගන්න එක. කොහොම හරි යන්තම් බ්ලොග් එකක් පටන් ගත්තා. දඟලල දඟලල පොස්ට් ටිකක් දාගෙන හෙමීට වැඩේ ඇදගෙන යන්න ගත්තා. අමාරුවෙන් සතියකට පොස්ට් එකක් ගානෙ දාගෙන මාසයක් විතර යද්දි කොහොම හරි සතියට දෙක ගානේ දැම්මා. එහෙම ආමරුවෙන් මේක කරද්දිත් ඉන්න බැරි කමට තව කවි ලියන්නත් ගත්තා. ගිය සතියේ බාගෙට ලියපු එකේ දෙවෙනි කොටසත් තව ලියන්න තියනවා. මේ දවස්වල ජොබ් එක කරගන්නෙත් අමාරුවෙන්. ඉතිං ඒවත් එක්ක කාලය බෙදාගෙන මේක කරන් යන එක වෙලාවකට මටත් පුදුමයි. කොහොම හරි මේක ලිව්වේ ඉක්මනට දානවා කියපු Computer එක slow වෙලාද ලිපියේ ඉතුරු ටික වෙලාවට දා ගන්න බැරි උන හින්ද පොඩ්ඩක් ෂේප් වෙන්න.
යන්තම් ඒකෙන් බාගයක් දැනට හදල තියේනනේ. ඉක්මනට ඉවර කරල හෙට අනිද්දම දාන්නම්කෝ.
එහෙනම් අදට ඇති.
සුභ දවසක්!!!
ප/ලි
මේ දවස්වල කව්දෝ කොන්ද පණ නැති එකෙක් බ්ලොග් වල කුණුහරුප දාගෙන යනවා. ඒ නිසා comments moderation on කරල තියෙන්නේ. සිදුවන අපහසුතාව ගැන කණගාටුව පල කරමි. මොකද මගේ බ්ලොග් කියවන්න එන අයට අමිහිරි වින්දනයක් දෙන්න මම කැමති නෑ. අපි ලියන විදිය හරි නැති වෙන්න පුළුවන්. ඒත් ඒක කියන ශිෂ්ඨ සම්පන්න ක්‍රමයක් තියනවා. එහෙම කියන ඕන දෙයක් බාර ගන්න මම සැමදාම කැමතියි.

Thursday, August 12, 2010

දෙවන පිම්ම

අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. අපි අපේ ජීවිතයෙ විවිධ අවස්ථාවල විවිධ පිමි පනිනවනේ. හැබැයි පනින්න ගිහින් වැටිල පස්ස බිම ඇන ගත්ත අවස්ථාවන් එහෙමත් දැන් මතක් වෙනව ඇති නේද? මම අද කියන්න යන්නේ පිම්මක් ගැන. හැබැයි පනින්න ගත්ත විතරයි. මෙහෙම ගිහින් පස්ස බිම ඇණ ගන්න වෙයිද දන්නේ නෑ. එහෙම උනොත් මට නැගිටින්න කවුරුත් උදව් කරයි කියල හිතාගෙන තමා මේ පනින්න යන්නේ.
මොකටද මම කට්ටිය රවුමේ ගන්නේ. කෙලින්ම එහෙනම් කතාවට එමුකෝ.

කාවුරුත් දන්නව ඇතිනේ මගේ මතකය ලියන්න ගත්තේ මගේ අතීත මතක, තාක්‍ෂණය සමග ගැටෙන විට සිදුවූ රසවත් අත්දැකීම් බෙදා ගන්න කියල. ඉඳ හිට සමාජීය සිදුවීම් වලටත් දායක වෙන අදහසක් නොතිබුනාම නෙවේ. එත් මේ මාසෙ දාපු පොස්ට් 4න් දෙකක්ම කවි වදන් පැබඳුම් කියල දකින්න ඇතිනේ. මම මේ බ්ලොග් එක පටන් ගත්තේ කවි ලියන්න නම් නොවේ. එත් අපේ බ්ලොග් අවකාශයේ වත්, විහඟ ගීතය, හෙමලයා අම්මෝ තව කොච්චර ඉන්නවද? නම නෑ කියල තරහ වෙන්න එපා. කියවන ඔක්කොම ලියන්න ගියොත් මං ඉවරයි. මේ තර‍ඟෙට ලියවෙන කවි පදවැල් දැක්කම මටත් ඉන්න බැරුව ගියා. කවදාවත් කවි නොලියපු මගේ අතින් ඔය ලියවුනේ එහි ප්‍රතිපලයක්. එත් එහෙම ලියන එකෙන් මතක කියවන්න එන අයට වෙන්නේ අසාධාරණයක් කියල මට හිතුනේ පළමු කවිය දාපු දවසෙමයි.
ඉතින් හැමදාම එහෙම වෙන්න දෙන්න බෑනේ. ඒ කියල මගේ කවිසිතක් ඇතිවුන එක විනාශ කරගන්නත් බෑනේ. දෙකටම විසඳුම හරියටම දැනට පැය දෙකකට කලින් පෙන්නුවා.
හැමදාම මගේ මතක කියවපු ඔබ මගේ සිතේ උපදින, මගේම මෙන්ම, මට හිතෙන, දකින සිතිවිලි කවියට පද වැලට නැගෙන මියුරු කල්පනාවට ගිහින් බලන්නකෝ.

එහෙනම් අද සිට කවි ලියන්නේ මියුරු කල්පනා තුලයි. මේ ටිකත් නොකියම බෑ. මම කලා විශයක් ලෙස ඉගෙන ගත්තේ චිත්‍ර කලාව. මගේ සංගීත දැනුම ඉතා අල්ප බවත් කියන්න ඕන. ඉතින් මගේ කවි වල ගුණ දොස් කියල කොමෙන්ටුවක් දාල යන්නත් අමතක කරන්න එපා. ගොඩක් දේ කියන්න තියනවනම් ඔය දකුණු පැත්තේ මගේ පුරාජේරුව දැත්වෙන තැන ඊ මේල ඇති. ලියන්න.

සුභ දවසක්!!
ප/ලි
ලින්ක් එක වැඩ නැත්නම්
http://miurukalpana.blogspot.com/ වලින් මියුරු කල්පනාවට යන්න.

Tuesday, August 10, 2010

සෙත් කවි

පළමුව බුද්ධං සරණ යමි.
දෙවනුව ධම්මං සරණ යමි
තෙවනුව සංඝං සරණ යමි
මේ තුන් සරණේන් ජය පතමි

දවසින් දවස අලුතින් බ්ලොග් ලියවේවා
ඒ හා සමග කියනවන්නන් වැඩිවේවා
ලස්සන කෙමෙන්ට් ඒහා එකමුතු වේවා
සිංහල ‍බ්ලොග් අඩවි සැමදා සැරදේවා

අකුරෙන් අකුර සිංහල පද ඇමිණේවා
කවියෙන් කතාවෙන් රස ගැන්වේවා
නොඅඩුව විහිලු තහලුත් මෙහි පැතිරේවා
සිංහල ‍බ්ලොග් අඩවි සැමදා සැරදේවා

අයියල අක්කලා සැම පැමිණේවා
නංගිල මල්ලිලා කවුරුත් පැමිණේවා
කියවා කොමෙන්ට් දා සිත් සැනසේවා
සිංහල ‍බ්ලොග් අඩවි සැමදා සැරදේවා

උදයට පායන හිරු දෙවියන්නේ
සවසට පායන සඳු දෙවියන්නේ
බ්ලොගයට අධිපති බ්ලෝග් දෙවියන්නේ
සිංහල බ්ලොග් සැමදා සුරකින්නේ


Saturday, August 7, 2010

Computer එක slow වෙලාද?

ඔය උඩින් තියන රූපෙ පෙන්වනේ. ඕක Microsoft Windows එක්ක වැඩ කරන අයට නම් අමුතු දෙයක් වෙන් බෑ. වෙනත් ඔපරේටින් සිස්ටම් වලත් error message එන්නනේ නෑ කියල එහෙම නෙවේ මම කියන්නේ. මට මේක මතක් වුනේ පසුගිය දිනක බ්ලොග් ලියන හිතවතියකට ආපු error message එකක් මට එවල තිබුන වෙලාවෙ. මේ පොස්ට් එක දාන්න එදා ඉඳන් හිතන් හිටියත් අද තමා නිදහසේ ලියන්න ලැබුනේ.
ඔය කලින් කියපු error message කොම්පියුටරයේ Firefox browser එකෙන් ආපු එකක් වෙන්න ඕන මට එවල තිබුන message එකට අනුවනම්. කියල තිබුන විධියට නම් මට හිතෙන්නේ Firefox වල cache එක පිරිල වෙන්න ඕන. කොහොම හරි එක එක කතා වලින් කියන්න ගිය එකෙන් පිට පැන්නා නේද. ඔන්න එමෙනම් ආයෙත් ට්‍රැක් එකට.
කට්ටිය දැන් දන්නව ඇති කොම්පියුටරයක virtual memory එක ගැන. කමක් නෑ මම නොදන්න අයට දැනගන්න පොඩ්ඩක් කියන්නම්. ඔය virtual memory සංකල්පය Windows වල එකක් නෙවේ. ඕක එන්නේ Linux/Unix වල swap memory වලින්. කොහොම හරි මේකෙන් කරන්නේ memory එකේ ඉඩ මදිවෙනකොට hard disk එකේ memory එකක් හදාගැනීම වගේ දෙයක්. මේකට hard disk එකේ ඇති වෙන්න ඉඩ තියෙන්න ඕන. කලක් යනකොට computer එක slow වෙන්න එක හේතුවක් තමා ඔය virtual memory හදා ගන්න ඉඩ අඩුවීම. ඒකියන්නේ hard disk එකේ free space එක අඩුවෙන එක. මෙහෙම වෙන්න හේතු ගොඩක් තියනවා. එවා නම් අපි save කරන files වලින් working partition එක පිරෙන එක, තව එකක් temporary files හැදීම. වැඩ කරන හැම විටම temporary file හැදෙනවා. ඒවා ඉබේම මැකීගියත් සමහර ඒවා ඉතිරි වෙනවා. තවත් ඔය වගේ එකතු වෙන එකක් තමා check file හා cross file. මේවා හැදෙන්නේ checkdisk හා scandisk වලින්. ඔය හදිස්සියේ shutdown නොකර off කරාම, නැත්නම් කරන්ට් ගිහින් off වුනාම මෙහෙම වෙනවා. කොහොම හරි මේ හැම දේකම අවසාන ප්‍රතිපලය තමා computer එක කාලයත් එක්ක slow වෙන එක. ඒ විතරක් නොවේ. දවසින් දවස අපි මේකට අලුත් applications install කරනවා. පරණ ඒවා අයින් කරනවා. එකෙන් working partition එකේ තියන files ප්‍රමාණයත් දවසින් දවස වැඩිවෙනවා. වැඩි files ප්‍රමාණයක් එක්ක වැඩ කරන්නෙත් කලින් තිබුන memory එක හා processor එක නිසා slow වෙන එක අහන්නත් දෙයක් නොවේ නේද?.
දැන් අපි මේවාට කරන්න පුවවන් මොනවද බලමු.
සාමාන්‍යයෙන් computer එකේ speed එකට කෙලින්ම බල පාන්නේ working partition එකේ පුමාණය හා free space එක. මේක ගොඩක් ලොකු එකක් වෙන්නත් හොඳනෑ. ඒ උනත් අවම වශයෙන් physical memory (RAM) එක වගේ දෙගුණයක් වත් free වෙන්න ඕන. මේ සඳහා අපේ applications වෙනත් partition එකක තියා ගන්න පුළුවන්. save කරන files උනත් වෙනත් partition එකක තියන්න පුවවන්. නැත්නම් අවම වශයෙන් පරණ files වත් වෙන partition එකකට දාන්න. දැන් temporary files වලට මොකද කරන්නේ. ඒවා පරෙස්සම් කරල තියාගන්න හේතුවක් නෑනේ. මකල දාන්න. ඒක පහත දක්වා ඇති ආකාරයට කරන්න පුළුවන්.
Programs වල Accessories වල ඇති Command Prompt එකෙන් හෝ Run යටතේ ඇති box එකේ cmd type කිරීමෙන් Command Prompt එකට යන්න පුළුවන්. එහි C:\****(ඔබේ working ඩිරෙක්ටරිය) යනුවෙන් පෙන්වයි. එයට ඉදිරියෙන් අප වැඩ කරන folder (directory) එකේ cursor එක පවතිනු ඇත. මෙයින් පළමුව C:\ වලට යන්න CD\ විධනය මගින් එය තළ හැක. රූපයේ දක්වා ඇති ආකාරයටම. ඉන්පසු C:\ වල සිට මෙම විධානය ටයිප් කරන්න del *.tmp/s මෙහි *.tmp නිරූපනය වන්නේ සියලුම tmp extension එක සහිත files delete කරන්න කියා. "." වලට පසුව අනිවාර්යයේන්ම tmp යන්න යොදන්න. නැත්නම් සියලුම files delete වෙන්න පුළුවන්. මෙ මගින් අනවශ්‍ය temporary files ඉවත් කළ හැක.

දැන් speed එක සැලකියයුතු ප්‍රමාණයකින් වැඩීවනු ඇත. Internet browser එකේ cache එකේ ඇති අනවශ්‍ය files වලින් ඇතිවන බලපෑමද විශාලයි. නමුත් පොස්ට් එක ගොඩක් දිග වැඩි නිසා ඒ ගැන වෙනම පොස්ට් එකක් දමන්නම්.
computer එක slow වෙන්න තවත් හේතුවක් තමා ෆයිල්ස් කිසිම පිළිවෙලක් නැතිව පැවතීම. නිකං හිතල බලන්න ෆයිල් කබඩ් වල පිළිවෙලකට අසුරා ඇති ෆයිල්ස් වලින් කිසියම් ලිපියක් හොයාගන්න එතරමි අපහසුවක් නෑ නේද?. එත් ඔය ෆයිල්ස් මේසයක් පුරා ගොඩගසා ඇත්නම් ඔය වැඩේ කරන්න කොච්චර වෙලා යනවද. අපේ කොම්පියුටර් එක උනත් එහෙම තමා. hard disk එකේ file එකක් එක කෙළවරක සිට දිගටම අනෙක් කෙළවර දක්වා පිළිවෙලට නෑ. තැන් තැන් වල කොටස් වශයෙන් තියෙන්න පුළුවන් එවිට මෙය assess කරන්න ගතවන කාලයක් වැඩියි. නමුත් මුලින්ම windows install කළ අවස්ථාවේ මෙම files බොහෝ පිළිවෙලකට පවතිනවා. කල් යත්ම ඒ පිළිවෙල නැතිවෙනවා. මේ නිසා මේවා නැවත පෙලගස්වා ගතහැකිනම් එය වේගය වැඩි කරගන්න හෙතුවක් වේවි. මේසඳහා ක්‍රමයක් ඇත්තටම තිබෙනවා. ඒ තමා disk defragment. මෙය පහසුවෙන්ම කර ගැනීමට My computer වෙතට ගොස් අදාල drive එක මත right mouse button එක click කර disk properties වලට යන්න. මෙහි tools වල ඇති defragment now button එක click කරන්න. මුලින් analyze කර අවශ්‍යනම් පමණක් defrag කරන්න.
මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට hard disk එක format කිරීමකින් තොරව දිගු කලක් computer එකේ speed එක පවත්වා ගත හැක.
අද පොස්ට් එක මම හැකි තරම් සරල ලෙසයි ලියා ඇත්තේ. මේවා දන්න බොහෝ අය මේ බ්ලොග් අවකාශය තුල ඇති. නමුත් නොදන්න අයත් ඉන්න බව සමහර තැන්වලදී මට වැටහුන නිසා මෙය ලියන්න හිතුවේ. මීට තවත් කරුණු එක් කරන්න ඔබටත් පුළුවන්. ඒ වගේම මෙය Microsoft Windows එක්ක වැඩ කරන අය ඉලක්ක කරගෙන පමණයි ලියා ඇත්තේ. මෙහි අපැහැදිලි තැන් හෝ මෙයට අදාල වෙනත් ගැටළු ඇත්තම් comment කර අහන්නත් පුළුවන්. නැත්නම් මට email කරන්නත් පුළුවන්. මම හිතනවා මෙයින් යම් කෙනෙකුට ප්‍රයෝජනයක් වෙයි කියා.
සුභ දවසක්!

Thursday, August 5, 2010

E-mail යවන තවත් ක්‍රමයක්


අද කියන්න යන්නේ අර ලු කතාවක්. මොකද මේක මම දන්න එකක් නෙවෙයි මං අහපු එකක්. අදකතන්දර බ්ලොග් එකේ තියන නොදන්නා බව නොදන්න අය ගැන කතාව තමා මට මේ කතාවට පාර කිව්වේ. ප්‍රධන චරිතය එක්තරා ආචාර්ය තුමෙක්. මෙතුමා මම අහල තියන විධියට තමන්ගේ විෂය පිළිබඳ ප්‍රවීණයෙක් හැබැයි වෙනත් දෙවල් වගේම සාමාන්‍ය දැනුම අතිනුත් නිල් කියල තමා කියන්නේ. ඒවගේම තව අමුතු ලක්‍ෂණයක් තියනවා ලු. ඒ තමා නොදන්න දෙයක් නොදන්න බව පෙන්වන්න අකමැති ගතිය.
ඇත්තටම ඒක මහා භයානක ලෙඩක් කියල කියන්නත් පුළුවන්. මේකෙ හොඳම හරිය එතුමා දන්න කෙනෙක්ගෙන් අහන්නත් අකමැති කම. ඉතින් දන්නේත් නෑ. දන්න කෙනෙක් ගෙන් අහන්නෙත් නෑ.
පරිගණක ගැන ගත්තොත් නොදන්න දෙයක් නෑ වගේ තමා කතාව. එහෙම කිව්වට ලේසියකට කෙනෙක් එක්ක කතා කරන්නෙත් නෑලු. කාට හරි බැන්නොත් මිස.
දවසක් මොහු කිව්වලු බලන්නකෝ මම යවපු document file එකක් කියවන්න බෑ කියනවනේ කියල. පොර ගැන දන්න අනෙක් කෙනා කිව්වලු print out එක clear මදිද. කියල. නෑ මම file එක mail කරා. දැන් අනික් පොර කරකවල අතහැරියා වගේ. මොකද ලොක්කගෙ තරම දන්නවනේ. අනික වයිරස් එන නිසා ඉන්ටර්නෙට්, ඊ මේල් පාවිච්චි කරන්නෙත් නෑනේ. හැබැයි ඉන්ටර්නෙට්, ඊ මේල් ඕන දෙයක් දන්නවා. අහල බැලුවම මේක සෑහෙන දුරකට යවල තියෙන්නේ. දැන් අපේ පොරට ලොකු ප්‍රශ්නයක් මේ කතාව මොකක්ද කියල. ඉතින් ඇහුවලු මොකක්ද වෙලා තියනවා කියන්නේ කියල. file එක corrupt වෙලා කියනවා කියල.
බැලුවම ඇත්තටම වෙලා තියෙන්න‍නේ corrupt වෙලා තමා. හැබැයි file එක නෙවේ. file දාල ලියුම් කවරෙක දාල තැපෑලෙන් යවපු floppy diskette එක.
ප/ලි
දැන් මෙතුමා ආචාර්යටත් උඩලු

Wednesday, August 4, 2010

ආත්මයට වදනක්

සමනල තටුවක රැඳි ලස්සන පාට..
කුරුළු පිහාටුවක රැඳි සුසිනිදු බව...
දෑසමන් මල් වට්ටියක ඇති සුවඳ...
උදෑසන හමා එන සුළ‍ඟේ ඇති ගත සනසන සිසිලස...
ගත පුරා තවරා ගන්නට හදනා ඔබටයි මේ...
ඒ සොඳුරු බව එක දවසකටවක්..
ඔබේ ආත්මයට එක්කර ගන්නට හැකිනම්......