Thursday, December 30, 2010

අපේ වැඩ අපිම කරගමු....පසු විපරමක්

දන්නෙම නැතිව 2010 අවුරුද්දත් අවසානයට ආවා. මේ අවුරුද්ද  මට ලොකු වෙනසක් ඇති කරපු වසරක් උනා. ඒ මම බ්ලොග් කරණයට ආවේ මේ අවුරුද්දේ නිසා. මේ නිසාම මට අළුතින් හොඳ මිතුරු පිරිසක් ඇතිවුනා. මට සිතුන බොහෝදේ, පරණ මතක, සිතේ ඇතිවූ සතුට දුක මේ බ්ලොග් පිටුවේ ලියා පලකරා. ඒවාට බොහෝ දෙනෙක් කමෙන්ට් කරා. විවිධ අදහස් දුන්නා. කෙසේහෝ මම අන්තිමට කරමින් සිටියේ අපේ වැඩ අපිම කරගනිමු යන ලිපි මාලාවයි. මේ වසර අවසන්  කිරීම ඒ ලිප පෙල සමගම කරන්න ඕන කියා සිතුනා. ඒ කියන්නේ මේක තමා මම 2010ට ලියන අන්තිම පොස්ට් එක. ඒ වගේම අපේවැඩ අපිම කර ගනිමු ලිපි පෙළ මෙයින් අවසන් කරනවා. නමුත් ඉඳහිට මේ කැටගරි එක යටතේ පොස්ට් එකක් වැටෙන්න පුළුවන්. 
එහෙනම් දැන් අද කියන්න යන්නේ තවත් වැඩක් ගැන නම් නොවෙයි. කලින් දැමූ ලිපි දෙස ආපසු හැරී බැලීමක්. 
මම මුලින්ම හැඳින්වීමේදී කීවා වගේම මේ පොස්ට් වලින් මම බලාපොරොත්තු වන්නේ නිවසේ ඇති සුළු වැඩ කිසිවෙකුගේ සහයක් නොමැතිව කරගන්න පෙළඹවීමක්. ඒ වගේම කමෙන්ට් වලින් මම දැක්ක දෙයක් තමා තවත් බොහෝ දෙනෙක් මේවාට උනන්දුවක් දක්වනවා මෙන්ම ඒ සඳහා යම් හැකියාවක් ඇති අයත් ඉන්න බව. 
අප පසුගිය දින වල කතා කළ දේවල් නැවත් සිහි කරන විට මුලින්ම කළේ සීලිමක් ගසා ගැනීමේ මෙහෙයුමයි. කට්ටිය ඒක කොතරම් උනන්දුවෙන් කියවා ඇතිදැයි තේරුනේ SBU සුහද හමුවට ගිය දවසේ සීලින් ගහන්න ආපු අය දැක්කම. ඇත්තෙන්ම මම ඒ පොස්ට් එකෙන් කියන්න හැදුවේ හැමෝම තම නිවසේ සීලිම ගසා ගත යුතු බවක් නම් නොවේ. ඒත් එහෙම කරන්න අවබෝධයක් හා උනන්දුවක් ඇති අයෙක්ට එය කරන්න අපහසු කරැණක් නොවන බවයි.
දෙවනුව අපි නිවසේ විදුලිය හා සම්බන්ධ සුළු අළුත් වැඩියාවන් ගැන කතා කළා. එය කරගන්න පුළුවන් සෑම දෙනෙකුටම වැදගත් වෙයි කියල මම හිතනවා. ඒ නිවසේ හදිසියේ සිදුවන විදුලි පද්ධතියේ දෝෂයක් නිසා මේන් ස්විච් එක ඕෆ් කරන්න ඕන බවක් නොදන්නා සුළු පිරිසක් අපේ රටේ ඉන්න නිසා. අනික දැවී ගිය විදුලි බල්බයක් මාරු කරන්න වගේ සුළු වැඩක් සිට ස්විච් එකක්, ප්ලග් එකක් මාරු කරන්න උනත් විදුලි කාර්මිකයෙකු සොයමින් ගත කරන කාලය අපට ඒ දෙය කරන්න පුළුවන් නම් ඉතිරි කර ගන්න පුළුවන් නිසා. ඒවන් දෙයක් කර ගන්න ගතවෙන්නේ විනාඩි 10 ක් 20ක් වැනි සුළු කාලයක්. නමුත් කාර්මිකයෙකු සොයන්න ඊට වඩා වැඩි කාලයක් යොදවන්න වෙන අවස්ථා බහුලයි.
ඉන්පසු මම කෑම උයාගෙන කන්න සිදුවූ අවස්ථාවක එය කරගත් ආකාරය සටහනක තැබුවා. එය කියවා කී දෙනෙක් දැන් කෑම උයනවාද කියන්න නම් දන්නේ නෑ. 
අවසාන සටහන තැබුවේ මෝටර් සයිකලය සඳහා සිදුකළ නඩත්තු හා සේවා කටයුත්තක් පිළබඳව. මෙයත් තරමක සංකීර්ණ කටයුත්තක්. ඒ අප මේ ක්‍ෂේත්‍රයේ නිරත නොවන්නන් නිසා සියල්ල නිසි පරිදි කරන්න බොහෝ විස්තර හොයන්න වෙනවා. ඒ වගේම මම මෙයින් කියන්න ගියේ සෑම දෙනාම තම වාහනය සේවා කරගන්න කියල නම් නොවේ. නමුත් එදිනෙදා සිදු කරන තෙල් පරීක්‍ෂාවන්, බැටරියේ වතුර මට්ටම පරීක්‍ෂාව (අළුතින් එන සීල් බැටරි සඳහා අවශ්‍ය නොවේ), ටයර් වල හුලං ප්‍රමාණවත්ද යන බව, ඒවාට හැනි සිදුවී ඇතිද යන්න (කැපීම්, පිපිරීමට ආසන්න තත්වයන්, ගෙවී ඇති ආකාරය ආදී), දිරා යාමට ලක් වන්න ඇති ඉඩ (සීරීම් නිසා තීනිත ආවරණය ඉවත්වී ඇති තැන්) සොයා බලන්න අපට බැරි කමක් නෑ.
මේ ආකාරයෙන් මම අපටම කර ගත හැකි බොහෝ දේ අතරින් කීපයක් පමණයි සඳහන් කළේ. නමුත් එකිනෙකාට අනුව මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒ විවිධ අයගේ හැකියාවන් විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ පැතිරී ඇති නිසා. ඒ අනුව ඔබට තනිවම කළ හැකි කාර්යය වෙයට වෙනස් එකක් වෙන්න පුළුවන්. ඔබත් ඒ ගැන සිතා බලන්න. ඔබේ හැකියාව ඔබ පළමුව අවබොධ කර ගන්න. ඔබේ එදිනෙදා වැඩ වලින් යම් බාහිර අයෙකු ලවා ඉටු කරගන්නා කාර්යයන් අතරින් එකක් දෙකක් හො ඔබම කරගන්න බලන්න. එය වැඩක් කරනවා, හරි අමාරුයි යන ආකල්පයෙන් නොව සැහැල්ලුවෙන් සලකා විනෝදයෙන් කරන්න. අවසානයේ එම කාර්යය අවසන් කළ පසු සිතට සැනසුමක් දැනේවී. ඒ වගේම සිතේ පීඩාවකින් ඉන්නා අවස්ථාවකත් නිවසේ මල් වැවීම, එළවලු කොටුවක් සැදීම වැනි දෙයක් කරන්න පුළුවන්.
මම අම්මා සමග එක්ව නිවසේ මල් වවනවා, අමු මිරිස්, කොච්චි මිරිස්, තක්කාලි, කහ, අමුඉඟුරු, රම්ප, කරපිංචා , පලා වර්ග කීපයක් ඇතුළු භෝග ගණනාවක් අප ගෙවත්තේ වගා කර තිබෙනවා. මේවා අයත් වන්නෙත් අපේ වැඩ අප කරගැනීමටයි. එයින් අපට විශ්වාසයෙන් ආහාරයට ගන්න එළවලු ලැබෙනවා. 
මේ වගේ ඔබම සිතා බලා වැඩකට නැතිව ගෙවනා කාලයෙන් කිසියම් ප්‍රයෝජනයක් ගන්න බලන්න.
එහෙනම් ගිහින් එන්නම්. ලබන නව වසරේ අළුත් පොස්ට් එකක් සමග හමුවෙමු..
සැම දෙනාටම සුභ දවසක්...!!!!

Tuesday, December 28, 2010

මෝටර් සයිකලයට සර්විස් එකක්...

අපේ වැඩ අපිම කරගනිමු යටතේ පෝස්ට් වැඩි ප්‍රමාණයක් ලියන්න හිතුවේ නෑ. ඒත් මේ පෝස්ට් එක දමා මේ ලිපි මාලාව අවසන් කරන්න හිතුවා. ඒ කියන්නේ සදහටම අවසන් කරනවා නෙවේ. ආයෙත් යමක් එකතු උනොත් මේ යටතේ පළ කරනවා. නමුත් ඉදිරි වසරට අළුත් ලිපි පෙළක් ලියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. දැනට ඒ සඳහා අවශ්‍ය විස්තර පින්තූර එකතු කරනවා. 
එහෙනම් අද කියන්න යන්නේ මගේ ඉටු මිතුරා වන මගේ ගමන් සගයාට කරන සත්කාරයක් පිළිබඳ. මේ පැත්තේ එන බොහෝ අය දන්නවත් ඇති මම ඉතින් කොහේ ගියත් වැඩියෙන්ම යන්නේ බයික් එකේ බව. ඉතින් අපි මේවායෙන් නිසි සේවයක් ගන්න නම් ඒවායේ නඩත්තුව අළුත්වැඩියා නිසි පරිදි කරන්න ඕනනේ. ඉතින් මමත් කාලයක්ම මෙහි අළුත් වැඩියා බලයලත් සේවා නියෝජිතයෙකුගෙන් තමා කරගත්තේ. නමුත් මට ඒ සේවා ගැන නිසි පැහැදීමක් තිබුනෙම නෑ. එයට හේතුව තමා මම කොම්පියුටර් වලට පස්සේ ආසම ක්‍ෂේත්‍රය මෝටර් මිකැනික් වීම. පොඩි කාලෙනම් ආසම මෝටර් මිකැනික් වලට. ඒත් අහම්බෙන් වගේ මේ කොම්පියුටර් අස්සට වැටුනට පස්සේ ස්පැනර්, යතුරු ආදිය දෙවැනි තැනට වැටුනා. ඒත් තවමත් මෝටර් මිකැනික් සම්බන්ධ ලිපියක් ලැබුනොත් මුල සිට අගටම කියවනවාමයි. ඒ නිසාම සැලකියයුතු තරමේ කාර්මික දැනුමක් මට තියෙනවා. මගේ සොහොයුරා මෙන්ම කිට්ටුම ඥාතීන් කීපදෙනෙක්ම මේ ක්‍ෂේත්‍රෙය් නිරතවන නිසා මට ප්‍රායෝගිකව යමක් කර ගන්න ප්‍රළුවන් කමක් තිබෙනවා. නමුත් වඩා හොඳ නිවැරදි පුහුණුවක් ලැබූ සේවා නියෝජිතයෙකුගෙන් ලබා ගන්නා සේවා නිසාත්, වගකීමේ කාලයේ ඔවුන්ගෙන් සේවා ලබා ගැනීම අනිවාර්යය නිසාත් දිගටම අදාල ආයතනයකින් සේවා සිදුකළා. නමුත් එවායේ ඇතැම් සේවකයන් ගේ දැනුම අඩු බව මම නිතර දුටු දෙයක්.
නමුත් මට දැඩි කලකිරීමට හේතුවූයේ දිනක් මෙහි බෙයාරින් මාරු කරගැනීමට ගිය අවස්ථාවේ. එහිදී එය සිදුකළ සේවකයා අදාළ උපකරණය (bearing puller) භැවිතා නොකොට කටුවක් හා මිටියකින් එය ගලවා තිබුනේ. රිම් එකට පවා කටුව නිසා සීරීම් සිදුවී තිබුනා. අනෙක් කාරණය බෙයාරින් එකේ ඇති ග්‍රීස් සීල් කඩා වෙනත් ග්‍රීස් එයට පුරවා තිබුනා. සීල් එක කොහේ දැමුවාද යන්න පවා නොදනී. මම එය ඔහුගෙන් ඇසුවත් ඔහු Puller එක ගැන දැන සිටියේ නෑත ඒවගේම සීල් ආකාරයේ බෙයාරින් වල ඇති නිෂ්පාදකයා යොදන ග්‍රීස් හා පසුව ඔහු යෙදූ ග්‍රීස් අකර වෙනසක් ඔහු දන්නේ නෑ. කොයි ග්‍රීස් දැම්මත් වෙනසක් නෑ සර් කියා තමා ඔහු කියන්නේ. මෙවන් නිසි අවබොධයක් නැති අයට මගේ බයිසිකලය සේවා සඳහා දෙනවාද නැද්ද යන්න මට දෙවරක් සිතන්න මේ හේතුවත් තවත් මෙවනි බොහෝ සිද්ධින් ගණනක් හේතු උනා.
අවසානයේ විදේශයක සිටින මගේ සොයුරා නිවාඩුවක් සඳහා පැමිණි අවස්ථාවේ ඔහු සමග එක්ව මෙහි නඩත්තු සේවා කළා. ඒ අවස්ථාවේ ලබා ගත් දැනුම හා පුහුණුව මත පසුගිය දිනක තනිවම මෙහි සේවා කටයුතු කර ගත්තා. 
එදින මා සිදුකළ සේවාවන් සියල්ලම කියන්නයි යන්නේ.
පළමුව එන්ජිමේ තෙල් (Engine Oil) සියල්ල ඉවත් කළා. ඒ සඳහා පැයකට වැඩි කාලයක් ගතවෙනවා. ඒ අතරතුර පාලන කේබල් (Control cable) සියල්ල පිරිසිදු කර නැවත ස්නේහනය (Lubrication) කරන්න ඕන.
රෝද ගලවා තිරිංග (Brake) පද්ධතියේ තත්වය පරීක්‍ෂා කළ යුතුයි.
Final Drive System හෙවත් ධාවනය කරන දම්වැල හා දැතිරෝද පරීක්‍ෂා කර ගලවා භූමිතෙල් වලින් සොදා නැවත සවිකරා. ඉන්පසු SAE90 තෙල් යොදා ස්නේහනය කළා.
එයාර් ෆිල්ටරය ඉතා දුර්වල තත්වයක පැවති නිසා අළුත් එකක් යෙදුවා. පැරණි ප්ලග් (Spark plug) ගලවා අළුතින් ඒවා සවිකළා.
මේ තිවෙන්නේ එහෙම සේවා කරන අතරතුර ගත් පින්තූරෙකුත්.

අවසානයේ නැවත එන්ජින් ඔයිල් 1L වලින් එන්ජිමේ තෙල් දෙන (Oil sump) පුරවා පියන වැසුවා. ඉන්පසු සියලු ඇණ මුරිච්චි නිසි ලෙස සවිවී ඇති දැයි පරීක්‍ෂා කළා. මේවනවිට මෙහි විමොචන වායු පරීක්‍ෂාවට(Vehicle Emission Test) කාලය පැමිණ ඇති නිසා පිටාර පද්ධතියේ දුම් බටය (Excuse System) ගලවා කාබන් ඉවත්කර නැවත සවිකළා.
තිරිංග නැවත නිසි ලෙස සීරුමාරු කළා.
අවසානයේ පරීක්‍ෂණ ධාවනයක යොදවා සියල්ල නිවැරදි බව තහවුරු කර ගත්තා. 
සියල්ල අවසානයේ බයික් එක Emission test එක සඳහා යොමුකළා. 
මේ පහලින් ඇත්තේ එසේ ලබාගත් සහතිකයයි. කලින් සේවා නියොජිතයා මගින් සේවා කර ලබාගත් සහතිකය හා මගේ සේවා වලින් පසු ලබා ගත් සහතික (වසර 2කදී) අතර වෙනස බලන්න. පසුව ඇති මගේ සේවාවෙන් පසු ලබාගත් සහතිකයේ අගයන් වඩා හොඳ තත්වයක පවතිනවා පේනවා නේද?
පසුගිය දුම් පරීක්‍ෂණ සහතිකය
(2010 වසර සඳහා)

මාගේ සේවා වලින් පසු ලබාගත් සහතිකය
(2011 වසර සඳහා)


එහෙනම් ගිහින් එන්නම්. මම එක ලඟ දවස් දෙකක පොස්ට් දෙකක් දැමූ මුල්ම අවස්ථාව මේක වෙන්න ඕන. මෙයින් එක පෙලට ලියාගෙන ගිය අපේවැඩ අපිම කරගමු පොස්ට් ඉවර කරනවා. මේ ගැන පසු විපරමක් මීළඟ පොස්ට් එකෙන්..
සුභ දවසක්..!!!!

ප/ලි
මෙම පොස්ට් එකට අදාල අවසන් ඉමේජ් දෙක වශයෙන් දැමීමට තිබූ Emission Test Report දෙක ස්කෑන් කර ගැනීමට අද නොහැකි විය. එය ඇතුලත් කර පොස්ට් කරන්න සිතුවත් ෂෙඩුල් කර තිබූ නිසා මෙය පබිලිශ් වී ඇත. ඒ ගැන කණගාටුව පළ කරන අතර හෙට දිනයේ ඒවා මෙයට එක් කරන්න පොරොන්දු වෙමි.

Monday, December 27, 2010

මේසන් වැඩක්......

අද ලියන්න යන්නේ මම කරපු පොඩි මේසන් වැඩක් ගැන. හැබැයි මේක තාම සම්පූර්ණයෙන්ම ඉවර කර නෑ. පොඩි කොටසක් කරන්න තියනවා. මේකත් මුල සිටම ෆොටෝ ගත්තේ නෑ. මොකද අතේ සිමෙන්ති බදාම තියාගෙන කැමරාව භාවිතා කරන්න ගියොත් කැමරාවට සොරිනේ.
එහෙනම් මේකයි කළ වැඩේ.
අපේ මුළුතැන්ගෙයි සින්ක් එක (නැතිනම් වොෂ් බේසින් එක) කෙළවරේ සිට බිත්තිය දක්වා අඩි 2 1/2ක පමණ හිස් කොටසක් තිබුනා. නමුත් මේ කොටසින් කිසිම ප්‍රයෝජනයක් නැති නිසා සින්ක් එක සවිකර තිබූ කොන්ක්‍රීට් ස්ලැබ් එකට අළුතින් කොටසක් එක් කරගන්න අම්මාට අවශ්‍ය උනා. බාස් කෙනෙක් හොයන්නේම නැතිවම මම මේ වැඩේ භාර ගත්තා. හැබැයි මේක නොදන්න දෙයක් උනත් බොහෝ තැන්වලදී බාස්වරුන් කරනවා බලා සිට ඇති දෙයක්. නමුත් සිමෙන්ති කොන්ක්‍රීට් ආදියේ මිශ්‍රණ අනුපාත හිතවතෙකුගෙන් අහගන්න පුළුවන් වුනා.
මේ ඒ සඳහා යොදාගත් උපකරණ.
මේසන් හැන්ද, ලෙවල් එකක්, මිටියක්, අඬුවක්, මුළු මට්ටම, ඈන්ගල් ග්‍රයින්ඩරය, මට්ටම් ලීය වෙනුවට ඇලුමීනියම් බොක්ස් බාර් කැබැල්ලක්.
මේ තියෙන්නේ ඒවායින් ටිකක්.
පළමුව කළේ ෂටරිමක් සකස් කර ගැනීම. මෙය සවිකිරීමට බිත්තියේ කපරාදුව ඉවත්කර කම්බි ඇතුල් කර ගත්තා. ඉන්පසු ෂටරිම සවිකරගත්තා. එය ලෙවල් කළා. අවසානයේ අඟල් 2ක් ඝනකම සිටිනසේ සිමෙන්ති:වැලි:මැටල් 2:4:6 අනුපාතයේ කොන්ක්‍රීට් මිශ්‍රණය පිරෙව්වා. 
මෙය සවිවීමට දින 14ක්ම තැබීමෙන් පසු මතුපිට හා පැත්තක් සිමෙන්ති 1:වැලි (හලාගත් වැලි) 5ක් සිටින සේ කපරාදු කළා. මෙය ලෙවල් කර මට්ටම් ලීයේ හා මේසන් හැන්දේ ආධාරයෙන් සමතල කර ගත්තා.
අවසානයේ සිමෙන්ති දියකර සාදාගත් බදාමයේ ආධාරයෙන් ටයිල් සවිකලා. මේවා අතර පැවති හිදැස් ග්‍රවුට් බදාමයෙන් පුරවා දැමුවා.
මේ බලන්නකෝ...

 
මෙය තවම සම්පූර්ණයෙන් නිමකර නැත. මේ දැනට මාසයකට පමණ පෙර අවසන් කළ දවසේ පැවති ආකාරයයි. (තවමත් එලෙසමයි)
ආරක්‍ෂක පිළිවෙත්.
සිමෙන්ති සමග වැඩ කිරීමේදී ඒවා ඇස් වලට නොවැටීමට සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම සිමෙන්ති, බදාම, කොන්ක්‍රීට් ආදිය සමේ තැවරුන විට සුළු පිලිස්සීමකට ලක්වන නිසා අත් ආවරණ පැළදීම වඩා හොඳයි.
ඈන්ගල් ග්‍රයින්ඩරය භාවිතයේදී මීට කලින් ලිපියේ සඳහන් ආරක්‍ෂක පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්යයි.
මේ ලිපිය මම ඉතා කෙටියෙන් දැමූ එකක්. මෙම ක්‍ෂෙත්‍රය් භාවිතා වන වචන නිවැරදිව නොදන්නා නිසා මට ඇසී ඇති ආකාරයට ලියා ඇත්තේ. තව දන්න අය ඉන්නවානම් ඒ කරුණු මෙයට එක්කරනු ඇතැයි බලා පොරොත්තු වෙනවා.
මෙම ලිපි මාලාවේ තවත් ලිපියක් සමග තවත් දිනක හමුවෙමු.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක් !!!!

Saturday, December 25, 2010

කෑම ටිකක් උයමුද?

පළමුවෙන්ම සැමට සුභ නත්තලක් කියල ප්‍රාර්ථනා කරනවා. හැබැයි නත්තල් සමරන අය මටත් දෙන්නකෝ...
එහෙනම් අපේ වැඩ අපිම කරගමු පොස්ට් වලට තවත් එකක් එකතු කරන්න මේ හදන්නේ.
පසුගිය දවසක අපේ ගෙදර කට්ටිය වන්දනාවක ගියා. මමත් මේ ට්‍රිප් එකක් ගිහින් ඇවිත් පසුදාම SBU එකටත් ගිය නිසා මේ ගමන යන්න සෙට් උනේ නෑ. ඉතින් ඒ දවස පෝය දවසක්. මට උනෙත් හරිම අවුලකට මුහුණ දෙන්න. මොකද කෑම ටික ගන්න විධියක් නැතිව. මේක බොහෝ දෙනෙක්ට වෙන දෙයක්. ගෙදර අම්මා නැතිනම් බිරිඳ නොසිටියොත් ඒහෙම නැතිනම් ඒ උයන කෙනා රෝගාතුර උනොත් කඩෙන් තමා කන්න වෙන්නේ. පිරිමි පාර්ශවේට විතරක් නෙවේ අපේ ඇතැම් කාන්තාවන්ටත් උයා ගන්න බැහැනේ. නමුත් හදිස්සියට කඩයක් හොයාගන්නත් නැතිව මට උනා වගේ දෙයක් උනොත් හැම තැනම කඩ හොයන්නේ නැතිව පිට්සා කන්න කෝල් කරන්නේ නැතිව කෑම ටිකක් උයා ගන්න බැරිද.
මම ගෙදර ඉන්න වෙලාවට අම්මට උයන්න උදවු කරන නිසා මට උයන්න බැරි කමක් නෑ. එත් සම්පූර්ණ කෑම වේලක් උයල තියෙන්නේ ගෙදර අම්මලා නැති දවසක විතරයි. එහෙම දවස් එන්නේ කාලාතුරකින් නිසා අවුරුදු ගණනකින් කෑම වේලක් උයල තිබුනේ නෑ. නමුත් ඉතින් මේ පෝය දවසේ තනියම ගෙදර ඉන්න එකේ කෑම ටිකක් උයාගෙන කන්න ඕන කියල හිතුනා.
මේ වගේ වෙලාවක බලන්න ඕන දෙයක් තමා මොනවද පහසුවෙන් උයන්න පුළුවන් දේවල් කියල.
බත් ටිකක් එක්ක කන්න පරිප්පු කරියක්, සම්බෝලයක්, බිත්තරයක් තම්බා/ඔම්ලට්/ බුල්ස්අයි, කිරි හොද්දක් වගේ දේවල් පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඒත් දිගටම දින කීපයක් උයන්න උනොත් නම් මීට වඩා වැඩි යමක් උයන්න වෙනවා. නැතිනම් දවස් දෙකක් විතර ඔය එකම කෑම කනකොට ඇති වෙනවනේ.
හරි දැන් ඇති විස්තර එහෙනම් කියන්නම්කෝ එදා මම කෑම හදපු විධිය.
පළමු දේ බත් ටිකක් උයා ගන්න එක.
මේකේ ලොකු වැඩක් නෑ. ඒත් කියන්නම්කෝ කොහොමද කරන්නේ කියල. හාල් කිලෝ ග්‍රෑම් 1කින් සාමාන්‍යෙයන් 6ක් 8ක් අතර ප්‍රමාණයකට කන්න ඇති. ඒ අනුව අවශ්‍ය හාල් ප්‍රමාණය ගෙන සෝදා ගරා ගන්න. (දැන් ගල් වැලි ඉවත් කළ සහල් ඇති නිසා ගරන්න අවශ්‍ය නෑ)  සහල් වැඩි වෙලාවක් වතුරේ පෙඟෙන්න හරින්න එපා. මම බත් උයන්නේ රයිස් කුකර් එකෙන් නිසා කරන්නේ සොදා ගත් හාල් ටික රයිස් කුකර් එකට දමා වතුර දිමීමයි. පහසුම විධිය තමා ඇඟිල්ලෙන් පුරුක් 1 1/2ත් 2ත් අතර ප්‍රමාණයක් හාල් මට්ටමට ඉහලින් සිටින සේ වතුර දැමීම. අවශ්‍ය නම් ලුනු ස්වල්පයකුත් දමන්න. දැන් ඉතින් ස්විච් ඕන් කල පසු කරන්න දෙයක් නෑ. 
දැන් බලමු හැමදාම කන පරිප්පු උයන්නේ කොහොමද කියා.
පරිප්පු ග්‍රෑම් 100ක් පමණ ගත් විට එය 4 දෙනෙක්ට හෝ 5කට ප්‍රමාණවත්. පොල් බෑයක පමණ පොල්, අමු මිරිස් කරලක් හෝ දෙකක්, සුදු ළුනු බික් 2-4ක් පමණ, මිරිස් කුඩු තේ හැඳි 1/2ත් 1ත් අතර, රම්ප කරපිංචා, තුනපහ කුඩු තේ හැඳි 1/2ක් පමණ, කහ කුඩු තේ හැඳි 1/3 පමණ, ලුනු තේ හැඳි 1/2 පමණ.
පරිප්පු හොඳින් සෝදාගන්න. ගාගත් පොල් වලට මද උනුසුම් වතුර දමා අනා මිරිකා කිරි වෙන් කර ගන්න. පළමු වර ගන්නා උකු බව වැඩි කිරි වෙන් කර තබා දෙවැනුව ගන්නා කිරි සමග පරිප්පු අනෙකුත් සියල්ල දමා කිරි සිඳීගන එන තෙක් පිස ගන්න. කිරි සිඳීගෙන එන විට කලින් වෙන් කර තබා ගත් කිරි එයට එක් කරන්න. විනාඩි 5ක් පමණ පිස ගන්න. 
සම්බලයක් සාදා ගන්න අවශ්‍ය වන්නේ පොල් බෑයක පමණ පොල්, මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, (කොච්චි මිරිස් ඇතිනම් වඩා රසවත් කර ගන්න පුළුවන්) ළූනු ගෙඩි 1/2ක් පමණ ( රතුළූනු ගෙඩි 5-6ක් පමණ ඇතිනම් වඩා රසවත්), උම්බලකඩ ස්වල්පයක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 පමණ, කැමතිනම් සුදුළූනු බික් 2ක් පමණ.
පොල්  හැර අනෙක් සියල්ල භාජනයක දමා හොඳින් පොඩි කරන්න. එයට පොල් දමා හොඳින් අනා ගන්න. කැමතිනම් තෙල් ස්වල්පයක් රත්කර මේ සම්බලය බැද ගන්න.
බිත්තර තම්බනවානම් විනාඩි 15ක් පමණ තම්බන්න. ඔම්ලට් හෝ බුල්ස් අයි දැමීමේදී රත්වූ තෙල් වලට බිත්තර මිශ්‍රණය දැමීමට පෙර ලිප ඕෆ් කරන්න. ඉන් මිශ්‍රණය දමා නැවත දල්වන්න.
මීට අමතරව මම අල බැදුමක් සදා ගත්තා. ඒ සඳහා අල 250g, ලොකුළූනු ගෙඩියක්, මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, රම්ප කරපිංචා, කහකුඩු තේ හැඳි 1/4ක් පමණ.
අල හොඳින් තම්බා ගෙන (හොඳ වෙලාවට අම්මා තම්බල ගිහින් තිබුනා) පොතු ඉවත් කරගත්තා. සිහින්ව කපාගත් ළූනු, ඇතුළු සියල්ල කැබලි වලට කපාගත් අල හා හොඳින් මිශ්‍ර කර ගත්තා. පොල්තෙල් මේස හැඳි 2ක් පමණ භාජනයක දමා ලිප තබා තෙල් හොඳින් රත්වූ පසු අල මිශ්‍රණය එයට දමා විනාඩි 10ක් පමණ මද ගින්නේ පිස ගත්තා.
මීට අමතරව සෝයා මීට් කරියක් හදන්න එතරම් වෙලාවක් යන්නේ නෑ. සෝයා මීට් පැකට් එකක් ගත්තම සාදන පිළිවෙල එහි සඳහන් වෙනවා. ඒ ආකාරයට සකස් කර ගැනීම පමණයි කරන්න තියෙන්නේ.
මස් හෝ මාළු වැනි දෙයක් උයා ගැනීම තරමක් අපහසු නිසා කීප දෙනෙක්ට කන්න උනොත් සැමන් සලාදයක් (සම්බලයක්) වැනි දෙයක් හදන්නත් පුළුවන්.
මේ තියෙන්නේ එදා මගේ දවල් කෑම වේල.
මේ කොස් ව්‍යාංජනය අසල්වැසි නිවසකින් ලැබුනේ. හාල්මැස්සන් පොල් මැල්ලුම අම්මා සකස්කර තබා ගිය එකක්. මම අල හා පරිප්පු සමග බත් පමණයි උයා ඇත්තේ.
මම මේ පොස්ට් එකෙන් කියන්න උත්සාහ කලේ ගෙදර උයන්න කෙනෙක් නැති හැම විටම කඩෙන් කන්නේ නැතිව තමාටම උයාගෙන කන්න බැරි කමක් නෑ කියා. නමුත් හොඳම දේ එක් වරම මෙවැන්නක් කරන්න යන්නේ නැතිව මව නැතිනම් බිරිඳ සමග එක්ව උයන්න. එවිට ඔවුන් නැති වෙලාවක තනියම උයා ගන්න බැරි වෙන්නේ නෑ. 
එහෙනම් ගිහින් එන්නම්.
සැමට සුභ දවසක් වගේම අපේ නත්තල සමරන මිතුරු පිරිසටත් ලොක වාසීන්ටත් සුභ නත්තලකටත් ආසිරි පැතුම්..!!!
ප/ලි
ඔය නත්තලට හදන විශේෂ කෑම එහෙම ඇතිනම් පහලින් තියල යන්න....

Tuesday, December 21, 2010

රෝද දෙකෙන් කිතුල්ගලට...

ආයෙමත් මාතෘකාවෙන් එළියට. මේදවස් වල ලියමින් හිටියේ අපේ වැඩ අපිම කරගනිමු ලිපි පෙලක්නේ. ඒකට පොඩි බ්රේක් එකක්. අද ලියන්නේ සති අන්තයේ ගිය චාරිකාවක මතකයක්. මේ බ්ලොග් ලියන එකෙන් ඇරඹුනු හිතවත් කම් නිසා දැන් යාළුවෝ ගොඩක්. පුදුම සතුටක් මේ අයත් එක්ක කතාකරන විට ඇතිවෙන්නේ. ඉතින් මේ යාළුවන් පිරිස සංවිධානය කළ ට්‍රිප් එකට මටත් එකතු වෙන්න ලැබුනා. ඒ කිතුල්ගලට. ඒත් මේ චාරිකාව සැලසුම් කර තිබුනේ කොළඹ සිට කිතුල්ගල දක්වා. ඉතින් මම නුවර ඉඳන් කොළඹ ගිහින් එතනින් ආයෙම කිතුල්ගල යනවා කියන්නේ පහසු වැඩක් නම් නෙවේ. අනික 19 බ්ලොග්කරුවන්ගේ සංසදයේ සුහද හමුවට යන්නත් හිතාගෙන හිටියේ. ඒ නිසා මගේ චාරිකාව ගෙදර ඉඳන් කිතුල්ගලට යන්න හිතුවා. ඒ අනුව මම මගේ රෝද දෙකේ ගමන් සගයා එක්ක යන්න තීරණය කළා. කිතුල්ගලින් අපේ මිතුරුකැළ හා එකතු වන්න.
ඒඅනුව මට පළමුවෙන්ම කළ යුතු උනේ මගේ ඉටු මිතුරු ගමන් සගයාගේ සුළු අළුත්වැඩියා කරන්න. මොකද මම සැහෙන කාලයකින් මෙහි දුර ගමනක් ගියේ නෑ. මෙන්න බලන්නකෝ මෙයා ගමනට පෙර සූදානම් වන ආකාරය.

සියල්ල අවසානයේ 18වනදා උදේ මම ගෙදරින් පිටත් උනා. හරිම ලස්සන දවසක්. හොඳින් ඉර පායා තිබුනා. ලා හිරුරැස් සෙමෙන් පොළව මත පතිතවන විට යන්තමින් හමනා සිසිල් සුලං ඇඟ දැවටෙනවා. කොහේදො සිට සුළඟට මුසුව මල් සුවඳක් හමා එනවා. මා පරිසරයේ සෞන්දර්යය විඳිමින් නුවර හැටන් මාර්ගයේ ගිනිගත්හේනට ගමන්ගත්තා. කොළ පැහැයෙන් පිරි තුරුමුදුනින් වැසුන කඳුගැට, කඳුමතිනි ගලනා දිය දහරා, කඳුමත කොළ පැහැති පලසක් අතුරා ඇතිසේ ඈතට පෙනෙන තේ වතු මැදින් ගමනේ කිසිම වෙහෙසක් නෑ. මට තිබුනු එකම ප්‍රශ්නය මේ දසුන් කැමරාවට හසුකරගන්න සගයෙකු නොමැති වීම පමණයි. ඒත් වෙලාවට කිතුල්ගල ඉන්න ඕන නිසා නවත්වා ෆොටෝ ගන්න අපහසුනේ. ඒත් ෆොටෝ කීපයක් නොගත්තාමත් නොවේ. මේ ඒ අතරින් කීපයක්
ඈතින් පෙනෙන කඳුවැටි..
මේ තවත් එකක්. බලන්න කඳුකරයේ මීදුම උදේ 10:30 ටත් අඩු නැති තරම.
දකුණු පසට වන්නට ඈතින් සුදු පැහැයෙන් දිය ඇල්ලක් පේනවා.
මෙහි පහලට වන්නට පෙනෙන ඉරි දෙක ලක්‍ෂපාන බලාගාරයේ සිට ඇති විදුලි රැහැන් පද්ධතියේ කොටසක් වෙන්න ඕන.
මේ අසිරිය විඳිමින් මම කිතුල්ගලට එන විට උදේ 11:00 පමණ වූවා. එවිටම කොළඹ සිට පැමිණි පිරිස එහි ළඟා වූයේ. 
කිතුල්ගල යනු ලංකාවේ ඇති කුඩා නගරයකි. නිතර වැස්සට හසුවන තෙත් දේශගුණික තත්වයක් මෙහි පවතිනවා. මේ අවට ඇති නිවර්තන සදාහරිත වනාන්තර පද්ධතිය හා තෙත් වැසි සහිත දේශගුණික තත්වය නිසා මෙහි සිසිල් පරිසරයක් පවතින්නේ. ඇකඩමි සම්මාන කීපයකට හිමිකම් පෑ ලෝක ප්‍රකට චිත්‍රපටයක් වන The Bridge on the River Kwai රූගත කර ඇත්තේ මෙම කිතුල්ගල ප්‍රදේශයේ. මේ අසලින් ගලා යන්නේ සුන්දර කැළණි නදියයි. මෙම පෙදෙස white water rafting සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලනවා. ගලිපර මැදින් ගලායන කැළණි ගඟ දෙස දවසම උනත් බලන්න පුළුවන්. පසුගිය දිනවල ඇද හැලුන මහ වැසි නිසා ගඟේ ජල මට්ටම වැඩියි. ඒනිසා සුදෝසුදු පෙණ කැටි නංවමින් ගලා බසින්නේ එන සැමගේ සිත තමා වෙතම රඳවා ගනිමින්.
බලන්නකෝ කැළණි ගඟේ ලස්සන...
ඔය ඈතින් රාෆ්ටින් කරනවා පේන්නේ අපේ අය තමා

බලන්නකේ වලා වියන යටින් කැළණි ගඟට හිරුරැස් පෙරී එන අපූරුව...
වලාකුළු අතරින් පෙරී එන හිරු කිරණ...
ඉතින් අපිත් water rafting කරල, සිංදු කියල නටල විනෝද වෙලා කැළණි ගඟෙන් නාලම අවසන් හිරු කිරණ බිඳ කිතුලගල වන පෙතෙන් නික්මෙන මොහොතේ තවත් සුන්දර මතකයක් සිතේ ඉතිරි කරගෙන, සුන්දර හදවත් ඇති පිරිසක් දැන හඳුනාගෙන මනරම් කිතුල්ගලින් සමුගත්තා.
අහම්බෙන් ගත් තීරණයක් මත මෙම චාරිකාව සිදු කලත් අපි නොසිතූ තරම් සාර්ථක බවක් තිබුනා. 
ඉතින් මට කියන්න තියෙන්නේ ගිහින් නැතිනම් දවසක කිතුල්ගල පැත්තේ යන්න. පුළුවන්නම් මෝටර් සයිකලයක යන්න ආශ්වාදය කියන්න බැරිතරම් ඉහලයි. මතක ඇතිව water rafting කරන්න.
මේ ඉන්නේ අපේ කාණ්ඩෙ. නම් අහන්න එපා. කියන්නෙත් නෑ. ඔක්කොම නම් ඔතන නෑ....
එහෙනම් ගිහින් එන්නම්. 
සුභ දවසක්...!!!!

Thursday, December 16, 2010

නිවසේ විදුලිය...02

කලින් දවසක ඉවර කරන්න බැරිවුන ලිපියේ ඉතිරි කොටස අද ලියන්නේ. අපේ නිවසේ විදුලි පරිපථයේ ස්විච්, සොකට් ගණනාවක් තියනවානේ. ඒවායින් බහුලව භාවිතයට ගන්න සොකට් කීපයක් පහලින් පෙන්වා ඇත්තේ.
වම් පැත්තේ සිට පිළිවෙළට ගත්විට 5A, 13A, 15A ලෙස අම්පියර් ප්‍රමාණ වලින් තමා ලංකාවේ වැඩියෙන්ම භාවිතයට ගන්නේ.
මේ නිවෙස් වල ඇති ස්විච් වර්ග කීපයක්.
තනි ස්විච්, ත්‍රිත්ව, ද්විත්ව හා බෙල් ස්විච් (Single Gang, 3 Gang, 2 Gang, Bell switch.) 4 ගැන්, 5ගැන් වශයෙන් ඇති ඒවා රූපයේ නැතත් නිවාස වල භාවිතයේ පවතී.
දැන් අපි බලමු මොනවද අපට කරන්න පුළුවන් සුළු අළුත්වැඩියා මොනවාද කියා. 
දැවීගිය විදුලි බල්බයක් මාරු කරන්න නම් බොහෝදෙනෙකුට අපහසු වෙන එකක් නෑ. ඒකට මේන් ස්විච් එක ඕෆ් කරන්න ඕන නෑ. විදුලි අග්‍ර ස්පර්ශ නොවෙන්න සවි කරන්න. නමුත් බල්බයට අදාල ස්විච් එක නම් ඕෆ් කර මෙය කරන්න.
දැන් කියන්න යන්නේ ප්ල්ග් එකකට වයර් සම්බන්ධ කර ගන්නා ආකාරයයි.
මෙම ඡායාරූපයේ ඇති ආකාරයට එහි පියවර අනුගමනය කිරීමෙන් මෙය පහසුවෙන් කර ගන්න පුළුවන්. වැඩි හොඳට මේ විස්තරයත් කියවන්නකෝ. මෙහි ඇත්තේ ඇම්පියර් 5 ප්ලග් එකකට වයරයක් සම්බන්ධ කර ගන්නා ආකාරය. මෙවැනි අවස්ථා නිවසේ නිතර ඇතිවන්නේ හීටරයකට, රයිස් කුකර් එක, වැනි බිම් කම්බියක් සහිත උපකරණයකට පලග් එකක් අළුතින් හෝ හානි වූ එකක් අළුත් එකකින් මාරු කරන අවස්ථාවකදී. 
L අකුරෙන් දැක්වෙන්නේ සජීවී කමිබිය සඳහා ඇති කූරයි. N යනු උදාසීන කම්බිය සඳහා ඇති කූර. E යනු භූගත රැහැන සඳහා. මෙහි L සඳහා රතු හෝ දුඹුරු වයරය සම්බන්ධ වේ. N සඳහා කළු හෝ නිල් වයරයත් E සඳහා කොළ හො කොළ කහ මිශ්‍ර වර්ණය සහිත වයරයත් සම්බන්ධ කරන්න. නිසිලෙස ඉස්කුරුප්පු ඇණ තදකකිරීමෙන් පසු ආවරණය යොදා එහි ඉස්කුරුප්පුව සවි කරන්න. (මේ සඳහා මේන් ස්විච් එක ඕෆ් කරන්න අවශ්‍ය නොවේ)

මීළඟට කියන්නේ හෝල්ඩරයකට වයරයක් සම්බන්ධ කරනා ආකාරයයි.
මුලින් පින්තූර ටික දාලම කරන විධිය කියන්නම්.(මෙය මේන් ස්විච් එක ඕෆ් කිරීමෙන් පසුව දුඹුරු හෝ රතු වයරයේ කම්බිය නියෝන් ටෙස්ටරය තබා විදුලිය නැති බව තහවුරු කරගැනීමෙන් පසුව කරන්න)
ඉන්න මේ ටික විතරක් නෙවේ තව තියනවා..

ඔන්න දැන් හරි.
ඔන්න දැන් රූපයේ ආකාරයට වයරයේ කෙළවර පිටත ආවරණය ඉවත් කර ගතු යුතුය. මෙය අපහසු නම් වයරය ලෑල්ලක් මත තබා මිටියකින් සෙමෙන් වටේටම තට්ටු කරන්න. ඉන්පසු පේපර් නයි‍ෆ් එකක් භාවිතයෙන් රූපයේ ආකාරයට මෙය ඉවත් කරගන්න. ඉන්පසු 10mm පමණ පුමාණයක් කම්බි මතුකර ගන්න. එය අඬුවක ආධාරයෙන් අඹරාගෙන තෙවන රූපයේ ආකාරයට නවා ගන්න. පහලින් ඇති පළමු රූපයේ ආකාරයට හෝල්ඩරයේ ඉහල ආවරනය වයරයට ඇතුල් කර හොල්ඩරයට වයර් අවසන් රූපයේ ආකාරයට සම්බන්ධ කරන්න.

දැන් බලමු දෝෂ සහිත ස්විච් එකක් වෙනුවට අළුත් එකක් සවිකරන්නේ කෙසේද කියා.
මෙන්න රූප සටහන්..

පළමුව පේපර් නයිෆ් එක ආධාරයෙන් ඇණ වසා ඇති කවර ඉවත් කරගන්න. ඇණ ගලවා ස්විච් එක ඉවතට ගන්න(වයර් වල දිග අනුව). ඉහල අවසන් රූපයේ ආකාරයට ස්විච් එකට විදුලිය සැපයෙන සජීව වයරය හා ස්විච් එකේ සිට බල්බ වෙත විදුලිය යන වයර් පෙනේ. සජීව වයරය සෑම ස්විච් ගැන් එකකටම සම්බන්ධක වයර් වලින් සම්බන්ධ වන බව පෙනේ. වයර් වෙන වෙනම ලේබල් කර ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මාරු වීමක් සිදුවීමෙන් ක්‍රියාකාරිත්වය අවුල් වන්න පුළුවන් නිසා. අවසානයේ අළුත් ස්විච්එකක් ගෙන (ගැන් ගණන සමාන විය යුතුය) කලින් ස්විච් එකේ පැවති ආකාරයටම වයර් සම්බන්ධ කරන්න.

අවසාන වශයෙන් කියන්න යන්නේ සොකට් එකක් මාරු කිරීමයි.
මෙම රූපයෙන් පෙනෙන ආකාරයටම සජීව කම්බිය රතු (හෝ දුඹුරු), උදාසීන කම්බිය කළු (හෝ නිල්) සහ භූගත කම්බිය කොළ පාටින් ඇති නිසා වෙන් කර හඳුනා ගන්න පුළුවන්. වයරයේ ඇතුලත ආවරනය අදාළ වර්ණයෙන් පෙනෙන්නේ. පිටත ආවරණය බොහොවිට එකම පැහැයක් ගන්නවා. සජීව වයරය L අකුරෙන් පෙන්වන සම්බන්ධකයට සවි කරන්න. උදාසීන වයරය N අකුර ඇති සම්බන්ධකයටත් භූගත වයරය E ලෙස සඳහන් ස්ථානයටත් සම්බන්ධ කරන්න වයර් නිසි ලෙස සම්බනධ වී ඇතිදැයි නැවත බලන්න. වයර් සවිවන ඉස්කුරුප්පු ඇණ හොඳන් සවිවිය යුතුය . ඉන්පසු බේස් එකට නැවත සවිකිරීමේදී ඇණ යන්තම් සවිකර මේන් ස්විච් එක ඕන් කර කිසියම් උපාංලයක් සම්බන්ධ කර ක්‍රියා කරන්නේද යන්න පරීක්‍ෂා කරන්න. සියල්ල නිවැරදි නම් ඇණ සම්පූර්ණයෙන් තද කර ඇණ ආවරණ යොදන්න.
තවත් සුළු සුළු දේ ඇතත් මගේ මේ පොස්ට් එකේ අරමුණ වූයේ සුළු විදුලි අළුත් වැඩියාවක් අපටම කරගන්න පුළුවන් බවට අදහසක් දීමයි. මෙහිදී මම නැවතත් අවධාරණය කරන්නේ ප්‍රධාන විදුලිය සමග වැඩ කිරීමේදී ආරක්‍ෂාවට පළමු තැන දෙන්න. සජීව, උදාසීන, භූගත කම්බි කිසි විටෙක මාරු කරගන්න එපා.
එහෙනම් විදුලිය ගැන ලිපිය අවසන් කරනවා. ගිහින් එන්නම්..
සුභ දවසක්..!!!!

Tuesday, December 14, 2010

නිවසේ විදුලිය...

අපේ වැඩ අපිම කරගමු  ලිපි මාලාවේ දෙවැන්න දෙන්න හිතන් හිටියේ සෙනසුරාදා. එත් එදාට බැරි උනා ඒ නිසයි අද උදේන්ම මෙකත් අරන් මම මේ ඉසව්වට ආවේ. එහෙනම් අර උඩින් ලියල තියෙන විධියටම අද කියන්න යන්නේ නිවසේ විදුලි පරිපථ හා විදුලි උපකරණ ආශ්‍රිතව ඇතිවන ප්‍රශ්න වලදී කලහැකි සුළු පිළියම් ටිකක් කර ගන්න ආකාරයයි.


ආරක්‍ෂාව***
මෙහිදී අප ගැටෙන්නේ ප්‍රධාන විදුලිය සමඟ බැවින් සියල්ලටම කලින් අපේ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ ප්‍රධාන විදුලිසැර වැදීම මාරාන්තික වෙන්න පුළුවන් නිසා. 
පළමු පියවර වන්නේ ප්‍රධාන ස්විච් (Main switch) එක ක්‍රියා විරහිත කිරීමයි (Off)මෙය විදුලිය සමග කරන කාර්යයකදී වැදගත්ම පියවර වෙනවා. 
ඉන්පසු අප නොදැන නිවසේ කිසියම් අයෙකු මෙය නැවත ක්‍රියාත්මක කළ හැකි බැවින් නිවසේ සිටිව සියළු දෙනාම දැනුවත් කරන්න. කිසියම් දැන්වීමක් ඒ අසල පැහැදිලිව පෙනෙන සේ එල්ලා තබන්න පුළුවන් නම් තවත් හොඳයි.
වියලි රබර් හො ප්ලාස්ටික් පාවහන් යුවලක් පළඳින්න. ඒ ඔබ පොළව හා ස්පර්ශ වීමෙන් වලකින්න.
ශරීරය ආවරනය වන ඇඳුමක් අඳින්න පුළුවන් නම් වඩා හොඳයි.
නියොන් ටෙස්ටරය (Neon tester) මගින් විදුලිය ක්‍රියා විරහිතවී ඇති බව තහවුරු කර ගන්න.
තවත් කියන්න තියෙන්නේ ඉතා සැලකිලිලෙන් හැම දෙයක්ම කරන්න කියලයි.

අවශ්‍ය උපකරණ
අප කරන්න යන්නේ සම්පූර්ණ පරිපථයක් සකස් කීරීම නම් නොවේ. මේ හදිස්සියකට දැවුනු බල්බ් එකක් මාරු කරන්න, ප්ලග් එකක් වයර් එකක් මාරු කරන්න, වගේ සුළු දෙවල්. ඒ නිසා ලොකු උපකරණ තොගයක් අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් පහත සඳහන් කරන උපකරණ සෑම ගෙදරකට තිබීමේ වරදක් මා දකින්නේ නෑ. මේ සියල්ලම දැන් වෙළඳපොලේ රුපියල් 1000ක පමණ මුදලකට ගන්න පුළුවන්.


නියොන් ටෙස්ටරය (Neon Tester)
මෙය පැතලි ඉස්කුරුප්පු නියන (Flat head screw driver) ලෙසද භාවතයට ගන්නා එකක් වීමෙන් ඉස්කුරුප්පු නියනක අවශ්‍යතාවය ඇතිනොවේ.
මල්ටි මීටරය (Multi Meter)

සාමාන්‍ය අඬුව හා උල් අඬුව (Combination plier & Needle nose plier)
වයර් ස්ට්‍රිපරය (Wire stripper) 


ගෘහ විදුලි පරිපථය.
කතාව පටන් ගන්න කලින් නිවසේ විදුලි පරිපථය ගැන පොඩි හැඳින්වීමක් කරන්න හිතුනා. මම මේ පිළිබඳ විශේෂඥයෙක් නම් නොවෙයි. ඒනිසාම වැරදි තිබුනොත් දන්න කෙනෙක් නිවැරදි කරන්න කියලත් කියනවා. අපේ නිවෙස් වලට විදුලිය සැපයෙන්නේ රැහැන් දෙකකින්.
සජීවී කම්බිය (Live නැතිනම් සමහර අය කියන විධියට Face) හා උදාසීන කම්බිය (Neutral) අමතරව පරිපථයේ තවත් රැහැනක් භාවිතා වෙනවා. ඒ භූගත කම්බිය (Earth wire).
මේවාට සම්මත වර්ණ රටාවක් භාවිතා වෙනවා.
ලංකාවේ දැන් පවතින සම්මතය අනුව සජීව රැහැන සඳහා දුඹුරු වර්ණය. (කලින් රතු). උදාසීන රැහැන සඳහා නිල් වර්ණය (කලින් කළු) සහ භූගත රැහැන සඳහා කොළ වයරයේ කහ පැහැ රටාවක් සහිතව (කලින් කොළ) භාවිතා වෙනවා. ලංකාවේ නිවසකට සැපයෙන්නේ වොල්ට් 220ත් 240ත් අතර විභවයක් (220V-240V) සහිත 50Hz විචලනයක් සහිත සැපයුමක්. මෙය විදුලි සැපයුම් ආයතනය මගින් සවිකර ඇති සේවා විලායකය (Service Fuse) තුලින් විදුලි මීටරය හරහා අපේ ප්‍රධාන ස්විච් එකට ලැබෙනවා. මෙයින් පිටවන ධාරාව ගමන් කරන්නේ බිම්කාන්දු පැන්නුම් ස්විචය (Earth Leakage Trip Switch හෙවත් Trip Switch) එකටයි. එයින් පසුව විලායක හරහා විවිධ පරිපථ ඔස්සේ නිවෙස පුරා බෙදා හරිනවා. මේවා නම් ලාම්පු පරිපථ (Lamp circuit) හා පේනු පරිපථ (Plug point circuit).
මේ එක් එක් උපාංගයේ කාර්යය වෙන වෙනම කියන්න හිතුවා නොදන්න අයගේ දැන ගැනීම උදෙසා. නමුත් කෙටියෙන්.
සේවා විලායකය මීටරයට කලින් සවිකර ඇති අතර වයර් අතර ඇතිවන ලුහුවත් වීමකදී (short circuit) එය ක්‍රියා විරහිත වීම හෝ දැවීයාම සිදුවේ. මේවා ඇතැම් ස්ථාන වල ස්ව්ච් එකක් ආකාරයට ඇති අතර ඇතැම් විටෙක කම්බි විලායකයක් ලෙස පවතී. යම් ලෙසකින් මෙය දැවී ගියහොත් එය නැවත යථා තත්වයට පත් කිරීම විදුලි සැපයුම් ආයතනය සතු වන අතර පාරිභෝගික අපට කිසිම ආකාරයක වෙනසක් කිරීමට අයිතියක් නැත.
විදුලි මීටරය අපේ විදුලි පරිභෝජනය කිලොවොට්/පැය (kw/h) ඒකකයෙන් පෙන්වයි.
ඉන්පසුව ඇති ප්‍රධාන ස්විච්එක නිවසේ ඇතුලත විදුලිය ක්‍රියා විරහිත කිරීමට යොදාගනී. මෙයින් සජීවි හා උදාසීන යන වයර් දෙකම විසන්ධි කරන නිසා එය ඕෆ් කිරීමෙන් නිවසේ විදුලි සම්බන්ධය සම්පූර්ණයෙන් නැවතේ. මේ තුලද විලායකයක් ඇත. නැතිනම් නිශ්චිත අගයකදී විසන්ධි වන බිඳවැටුම් ඒකකයක් (Circuit braker) ලෙස ක්‍රියා කරයි.
ට්‍රිප් ස්විච් එක ක්‍රියා කරන්නේ ආරක්‍ෂක උපාංගයක් වශයෙනි. ඒවා ක්‍රියාකාරිත්වය අනුව කොටස් දෙකකට බෙදේ (මෙයට වැඩි වර්ගීකරනයක් ඇතිදැයි නොදනිමි) පැරණි ආකාරය අනුව සැකසූ ඒවායේ විද්‍යුත් චුම්බකයක් ඇති අතර කාන්දුවන ධාරාව එම චුම්බකයේ දඟරය හරහා යන විට ක්‍රියාත්මක වන යාන්ත්‍රනයක් මගින් ස්විචය ක්‍රියාත්මක වී ධාරාව විසන්ධි කරයි. නමුත් මෙහි ඇති අවාසියක් වන අපේ සිරුරට විදුලි සැර වැදීමකදී ධාරාව දඟරය හරහා ගමන් නොකරන නිසා ධාරාව විසන්ධි නොවේ. නවීන ට්‍රිප් ස්විච් වල ඇත්තේ ධාරාව සමතුලිත වීම මත ක්‍රියා කරන යාන්ත්‍රණයකි. ඒ නිසා මෙම නව ස්විච් වඩා ආරක්‍ෂාකාරී වේ.
ඉන් පසුව ඇති ෆියුස් (විලායක) යම් නියත උපරිම ධාරාවක් සඳහා සකස් කර ඇති අතර එය ඉක්මවා යන විට දැවීයයි. නමුත් දැන් මෙය යල්පැන ගිය ක්‍රමයක් වන අතර ඒ වෙනුවට ක්‍ෂුද්‍ර පරිපථ බිඳනය හෙවත් MCB (Miniature Circuit Barker) භාවිතා කරයි. මේවා විලායක වලට වඩා කාරයක්‍ෂම වන අතර නියමිත අගයේදී ධාරාව විසන්ධි කරයි. විලායක වලදී දැවී යාමෙන් පසු අදාල ඇම්පියර් ප්‍රමාණයේ කම්බියකින් නැවත ස්ථාපනය කළ යුතු වුවත් මේවා ස්විච් එකක් මෙන් නැවත ඕන් කිරීමෙන් ක්‍රියා කාරිත්වය ඇරඹේ.
මෙම පරිපථ සඳහා භාවිතා වන්නේ PVC ආවරණය සහිත වයර්. මේවා නිවෙස පුරා කොන්ඩියුඩ් බට (conduit) කේසින්, වයරින් ක්ලිප් ආධාරයෙන් වහලය පුරාමත් බිත්ති දිගේත් ගමන් කරන බව ඔබ දන්නවා ඇති. මේවාට ඇතිවන විවිධ ආපදා නිසා යම් ස්ථානයක දොෂයක් ඇතිවන්න පුළුවන්. බොහෝවිට මීයන් වැනි සතුනි ආවරණය නොකළ වයර් කා දැමීම නිසා යම් ස්ථානයකට හෝ නිවසේ ස්ථාන කීපයකටම විදුලි සැපයුම නොලැබී යන්න පුළුවන්.
නමුත් නිවසක බහුලව සිදුවන ගැටළු වන්නේ විදුලි බල්බ දැවීයාම, ස්විච්/ප්ලග් බේස් (පේනු) නිසිලෙස ක්‍රියා නොකිරීම වැනි දේවල්. මම මේ පොස්ට් එකෙන් කියන්න බලා පොරොත්තු වන්නේ එවන් ගැටළු නිරාකරණය කර ගන්නා ආකාරයන්.
මේ සඳහන් කළ සුළු විස්තරයෙන් ඔබට නිවසේ විදුලි සැපයුම ගැන සරල අවබෝධයක් ලැබෙන්න ඇති කියා සිතෙනවා. මීළඟට කියන්න ඇත්තේ ඉහත විස්තර කරන ලද පරිපථ ආදියේ ඇතිවන දෝෂ වලින් අපටම නිවැරදි කර ගන්න පුළුවන් දෝෂ මොනවාද යන්නත් ඒවා කර ගන්නේ කෙසෙද යන්නත්.
දැන් වේලාව රෑ 11:30 පසුවෙලා. උදේම මෙක් පොස්ට් කරන්නයි යන්නේ. බොහෝ වෙලාවක් මේ පරිගනකය සමග නිසා තවත් ඉදිරියට ටයිප් කරන්න අපහසු බවක් දැනෙනවා. එහෙනම් ඉතිරි කොටස මීළඟ දවසට ඉතිරි කරමින් අදට ගිහින් එන්නම්. කවුරුවත් මේන් ස්විච් එක ඕෆ් කළානම් දැන් ගිහින් ඕන් කරන්න. නැත්නම් මම ආයේ එනකල් ලයිට් දාන්නත් බැරි වෙයි.
සුභ දවසක් !!!!!

Wednesday, December 8, 2010

අපේ වැඩ අපිම කරගමු....01 සීලිම

අපේ වැඩ අපිම කරගමු ලිපි පෙළ ලියන්න ගත්තා විතරයි. එක පොස්ට් එකක් දැම්මේ නෑනේ. යන්තම් පොස්ට් එකකට ඉඩක් ගත්තේ අද තමා. මේ පොස්ට් එකෙන් මම කියන්නේ අපි හැමෝටම එතරම් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නම් නොවේ. මේකත් මම ඉගෙන ගත්තේ බලාගෙන සිටීමෙන්. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙට කිව්වට මම නම් කරපු අමාරුම වැඩකින් තමා මේ ලිපි පෙළ පටන් ගන්න යන්නේ. 
දැනට වසර කීපයකට පෙර අප නිවසේ සීලිම නොමැති කොටසක සීලිම ගැසීමට වඩුකාර්මිකයෙකු ගෙන්වා ගත්තා. මම ඒදවස්වල නිවාඩු දාගෙන ගෙදර හිටියේ ඇණ, තීන්ත ආදි විවිධ දේ වරින් වර ගෙන්න ඔන නිසා. ඒ අතරම වැඩේ කරන ආකාරයත් බලා ගත්තේ අර කලින් කීවා වගේම නොබලා ඉන්න බැරි නිසාමයි. බලන් ගියාම මෙහිදී භාවිතා කරන්නේ සරල මූල ධර්ම ටිකක්. නමුත් පළ පුරුද්ද තමා වැඩියෙන් යොදාගත්තේ. මට නම් ඉතින් ලෑලි කෑල්ලකට බිත්තියකට ඇණයක් ගහන්න පුළුවන් කම තමා තිබුනේ. නමුත් කරන ආකාරය හොඳින් මතක තිබුනා.
නැවත සීලිමක් අළුතින් ගැසීමේ අවශ්‍යතාවය ඇතිවූයේ අළුතින් නිවසට එක් කළ කාමරයට. මේ සඳහා කලින් වඩුකාර්මිකයාට කතා කළත් ඔහුට වැඩ අධික නිසා එන්න බෑ කියා පවසා සිටියෙන් වෙනත් අයෙකු සොයන්න සිදුවූවා. නමුත් දැන් පොඩි වැඩකට බාස් කෙනෙක් හොයන්නම බෑනේ. අවසානයේ මම තීරණය කළා මේ වැඩේ මම කරනවා කියා. 
මේ අනුව මගේ අදහස උනේ ඇස්බැස්ටෝස් 4x4 තහඩු භාවිතයෙන් මෙය නිම කිරීමටයි. මුලින්ම කලේ අදාළ කාමරයේ දිග පළල මැන සීලින් තහඩුවක දිග පළල (4x4) ප්‍රමාණය සලකා සැලසුමක් ඇඳගැනීමයි. හරියටම දිග පළල නොගැලපෙන නිසා මැදින් කුඩා තීරුවක් යොදන්න තීරණය කළා. ඒ අනුව අවශ්‍ය සීලින් තහඩු ඇතුළු ද්‍රව්‍ය ප්‍රමාණය තීරණය කළා.
මේ සඳහා යොදාගත්තේ මේවා.
සීලින් තහඩු (අඩි4x4) , අඟල් 2x2 ලී දඬු, අඟල් 2x1 ලී දඬු(ආධාරක සඳහා), ඇණ අඟල් 1, 1 1/2, 2, 2 1/2, 3 යන ප්‍රඹාණයෙන්, අඟල් 1 1/2 බීඩින් පටි (සීලින් තහඩු අතරට යෙදීමට), අඟල් 1 1/2 මොල්ඩින් පටි (බිත්තිය හා සීලිම සම්බන්ධ වෙන තැනට) වෝල් ෆිලර්, සීලින් වයිට් ඉමල්ෂන් තීන්ත, මැහොගිනි ස්ටෙයින් පවුඩර්, වාර්නිෂ්.
උපකරණ වශයෙන් යොදා ගත්තේ 
අත්කියත, අඬු මිටිය, නියන, ලෙවල් ටියුබ් එක, තීන්ත ගෑමට රෝලර් බ්‍රෂ් එකක්, අඟලේ තීන්ත බුරුසුව හා වාර්නිෂ් ස්ප්‍රේ කිරීම සඳහා ස්ප්‍රේ ගන් එකක්. ඈන්ගල් ග්‍රයින්ඩරය (angle grinder) සීලින් තහඩු කැපීමට.
පළමුව සිදුකළේ සීලිම සඳහා ලෙවල් කර ගැනීම. (මෙම කාමරය උසින් අඩු නිසා වහලයේ හැඩයට ආනතව සීලිම නිම කිරීමට මමත් අප්පච්චිත් තීරණය කළා.) ඒ අනුව ලෙවල් බටයක් (Water level) භාවිතයෙන් මට්ටම් දෙකකට  උස ලබාගත්තා. වහලයේ උස අඩු පැත්තට අඩු උසක් හා උස වැඩි පැත්තට වැඩි උසක් ලෙස. එනම් ආනත හැඩයකට තමා මෙය නිම කරන්න තිරණය කලේ
මේ තියෙන්නේ ලෙවල් ටියුබ් එකක්. මෙහි ජල මට්ටම සමාන කිරීමෙන් තමා ලෙවල් කරන්නේ.


දෙවන පියවර වන්නේ අඟල් 2x2 ලී දඬු භාවිතයෙන් සීලිමේ සැකිල්ල නිම කිරීම. මෙහිදී දැව ආරක්‍ෂක ආලේප කළ ලී වල මැදින් සලකුනක් යෙදුවා. ඒ දෙපසට අඟල බැගින් දෙකට බෙදෙන ලෙස. ඉන්පසු අඟලකින් 1/8 ක පමණ පරතරයක් සිටින සේ සීලින් තහඩු සවිවීමට නම් ලී දෙකක් අතර පරතරය කොපමණ අවශ්‍යදැයි සොයාගත්තා. එම ඉඩ ප්‍රමාණ වෙන් කර ගැනීමෙන් පසුව සැකිල්ල සවි කිරීම පටන් ගත්තේ. එකම වර්ගයේ සීලින් තහඩු ගැනීමෙන් මෙම මිනුම් අනුව දුර යොදා ගැනීම පහසු වෙනවා. නැතිනම් සීලින් තහඩු සියල්ල එකම ප්‍රමාණයකට කපා ගන්න වෙනවා. පහත රූපයේ ආකාරයට සැලසුම් කළේ.

මෙම සාධක වලට ගැලපෙන ආකාරයට සම්පූර්ණ සැකිල්ලම සදා අවසන් කරන්නට මට දින 2ක් ගතවූවා. මෙය වඩුවෙක්ට නම් පැය 4ක් පමණ ගතවෙන දෙයක්. මෙහිදී ඇතැම් ස්ථාන වලින් බිත්තිය ඇතුලට හාරා ලී ඇතුල් කළ අතර සමහර ඒවා ආධාරකයක් යොදා  රෝල් ප්ලග් (වෝල් ප්ලග්) මගින් සවිකළා. එසේ සකස් කළ සැකිල්ල තමා ‍පහත රූපයේ පෙන්වා ඇත්තේ.(ඔය පේන wiring එකත් මම ම තමා කළේ.)
  
මේ සඳහා යොදාගත්තේ අඟල් 2x2 ලී දඬු. ආධාරක වශයෙන් අඟල් 2x1 ලී කැබලි යොදා ගත්තා. අඟල් 2, 2 1/2, 3 ප්‍රමාණයේ ඇණ වලින් ලී සම්බන්ධ කර ඇත්තේ. දෙපස ලී ලෙවල් කළ සලකුනු හා සමපාත වනසේ සකස් කීරීමෙන් පසු දෙක යාකර ඇදගන්නා නූලක් මගින් මැදින් ඇති පොලු සවිකිරීමට සමමිතික කරගන්නේ. එනිසා සියල්ල එක කෙලින් පවතිනවා. ඉන්පසු යොදාගත් පරාල වල ශක්තිමත් බව පරීක්‍ෂාකලේ එහි අතින් එල්ලි සිටිමින්.
(වාසනාවට කඩන් වැටුනේ නෑ. එහෙම උනානම් සීලිමත් ඉවරයි, බ්ලොග් ලිවිල්ලත් ඉවරයි)
සියල්ල නිවැරදි බව තහවුරු කරගත් පසු සීලින් තහඩු සවිකිරීම පටන් ගත්තා. මේ සඳහා ආධාරකයක් යොදා ගැනීම වඩුවන් විසින් කළත් මෙහි ආනත හැඩය නිසාත්, ප්‍රමාණයෙන් කුඩා ස්ථානයක් නිසා සීලින් තහඩු කැබලි අඩු සංඛ්‍යාවක් සවිකිරීමට ඇති නිසාත් එවැන්නක් භාවිතා කළේ නෑ. මමත් අප්පච්චිත් අතින් අල්ලාගෙන ඉහලට ඔසවා නොසෙල්වෙන සේ තබාගෙන ඇණ මගින් සවි කළා. මෙහිදී එක් දාරයක් සඳහා ඇණ 6ක් පමණ බාවිතා කළා.  මේ සඳහා යොදා ගන්නේ අඟලේ යකඩ ඇණ. එහෙත් සීලින් තහඩු සවිකිරීමට පෙර බිම තිබියදී එවායේ වෝල් ෆිලර් ආලේප කළා. තීන්ත ආලේප නොකළේ අතින් ඇල්ලීමේදී කිලිටි වන නිසා. මේ සඳහා අපට දින 2ක් ගත වූවා. එයට හේතුව යට සිට ඉහලට ඇණ ගැසීමට පළපුරුද්දක් නොමැති නිසා ඉකිමනින් වෙහෙසට පත් වීම හා උරහිස වේදනාවක් ඇතිවීම. මෙය මගහැරීමට එක් සීලින් තහඩුවක් සවිකිරීමෙන් පසු විවේකයක් ගන්නවා.
මේ සියලු සීලින් තහඩු සවි කිරීමෙන් පසුව ගත් ෆොටෝ එක...

හොඳින් බැලුවොත් පෙනෙයි සීලින් තහඩු අතර පරතරය අක්‍රමවත් බව. ඒයට හේතුව මගේ පළපුරුද්දක් නැති කම. මා එය වසා ගැනීමට යොදා ගත් උපක්‍රමය පසුව කියන්නම්. 
මේ තවත් ෆොටෝ එකක්..

මීළඟ පියවර වූයේ සීලිමේ තීන්ත ආලේප කිරීමයි. මේ සඳහා මම යොදා ගත්තේ සීලින් වයිට් ඉමල්ෂන් පේන්ට් එක. නමුත් අවශ්‍ය අයෙකුට වෙනත් ලා පැහැති ඉමල්ෂන් පේන්ට් එකක් භාවිතා කර්නන පුළුවන්. රෝලර් බ්‍රෂ් එකක් භාවිතා කරමින්, ඇ‍ඟේ හලෙන්නේ නැතිව, බිම හලන්නෙත් නැතිව මෙය කිරීම ඉතා අසීරු කාර්යයක් උනා. නමුත් අවසානයේ බිම සෝදන්න සිදුවුනා. ඒ බිමට තීන්ත හැලීම පාලනය කළත් නවත්වන්න නොහැකිවූ නිසා.
අවසාන පියවර වූයේ බීඩින් පටි හා මොල්ඩින් පටි සවිකිරීමයි. (මේ නම් නිවැරදිද යන්න මම නොදනිමි. ලී වෙළඳ සල් හිමියා හා කලින් බාස් උන්නැහේ භාවිතා කළ වචන තමා මමත් ලියන්නේ) මෙයින් කිසියම් අලංකාරයක් එක් කරන්න මම මගේම අදහසක් යෙදුවා. එනම් මේවායේ තීන්ත ආලේප කිරීම වෙනුවට මා මැහොගිනි ස්ටෙයින් පවුඩර් (Mahogini stain powder - ලීවල ආලේප කරන ඩයි වර්ගයකි. ජලයේ දියකර බුරුසුවකින් ආලේප කළ හැක) ආලේප කළා. බෝතලයේ සඳහන් ප්‍රමාණයට වඩා අඩු ජල ප්‍රමාණයක දිය කිරීමෙන් තද පැහැයක් ගන්න පුළුවන්. මම යොදාගත්තේ මගේ සිතුන පාටයි. එය තද රතු-දුඹුරු පැහැයක්. නමුත් මේවා ජලයේ දිය වෙනවා. මේ නිසා වැස්සකදී සීලිමේ ජල කානුදුවක් සිදුවීනම් මෙහි වර්ණක දිය වෙන්න පුළුවන්. එයට ආවරණයක් ලෙස මම යොදා ගත්තේ සාමාන්‍ය වාර්නිෂ් එකක් (polyurethane varnish) ඒ සඳහා මම බ්‍රෂ් එකකින් ආලේප කිරීම වෙනුවට ස්ප්‍රේගන් එකකින් ආලේප කිරීම සිදු කළා. එමගින් වඩා හොඳ නිමාවක් ගන්න පුළුවන්. මෙ‍හිදී කලින් සඳහන් කළ පරිදි මම අඟල් 1 1/2 බීඩින් හා මෝල්ඩින් පටි භාවිතා කළේ සීලින් තහඩු අතර ඇති පරතරය අවිධිමත් බව වසා දැමීමට. අවසානයේ අඟල් 1 1/2 ඇණ බාවිතා කරමින් බීඩින් හා මෝල්ඩින් පටි සවි කර සීලිමේ වැඩ අවසන් කළා. 
මේ එසේ අවසන් කළ සීලිම..


පින්තූර පැහැදිලි මදිනම් ඒමත ක්ලික් කර (right click or middle click) වෙනත් ටැබ් එකක සම්පූර්ණ ප්‍රමාණයේ එකක් ගන්න.
මේ සඳහා මට විශාල වෙහෙසක් යෙදවීමට සිදු වූයේ පළපුරුද්ද නැති නිසා. බොහො දේ ගැන අප්පච්චිට තිබුන දැනුම මෙහිදී මට ලොකු උදවුවක් වූවා. මුළු කාර්යය සඳහා මාසයක් පමණ ගතවූයේ මට මෙහි නිරත වීමට ලැබුනේ සති අන්තයේ දවසක් හෝ දෙකක් වීම නිසා. එසේ නොවුනා නම් වෙනස් වන්න තිබුනා. නමුත් දිනක් වැඩ කිරීමෙන් පසු උහරිස් වලින් වේදනාවක් දැනෙනා නිසා දෙවන දවසක් වැඩක් කරන්න පුළුවන් කම නෑ. ඒයට හේතුව යටිකුරුව ඇණ ගැසීම නුපුරුදු අයෙකුට අසීරු දෙයක් වීමයි. නමුත අවසානයේ මම මෙය මේතරම් අලංකාර ලෙස අවසන් කිරීම මටම අදහා ගන්න බැරි දෙයක් උනා. ඇත්තටම මේක දකින සෑම අවස්ථාවකම මට ඇතිවන්නේ ලොකු සතුටක්. මින් පසු ඉදිරිපත් කරන කිසිම දෙයක ඡායාරූප මා සතුව නෑ. ඒ අතේ විවිධ දේ ගෑවී ඇති විට ඡායාරූප ගැනීමට ‍නොහැකි විමයි. 
**ආරක්‍ෂක පියවර**
මෙය ඉතා වැදගත්. අප කිසියම් කාර්යයක නිරත වන විට ආරක්‍ෂාවට මුල් තැන දෙන්න ඕන. ඕකට වෙන්න ඇති සිංහලෙන් Safety First කියන්නනේ. විශේෂයෙන් විදුලියෙන් ක්‍රියා කරන ඈන්ගල් ග්‍රයින්ඩරය භාවිතයේදී අත් ආවරණ, ඇස් ආවරණ, ආරක්‍ෂක ඇඳුමක්, අධික ශබ්දය නිසා කන් ආවරණයක් යොදා ගැනීම අනිවාර්යයෙන් කරන්න වෙනවා. අමතරව සීලින් කැපීමේදී පිටවන ෆයිබර් කෙඳි සහිත දුමාරය ඉතා අහිතරකර එකක්. ඒ නිසා dust mask එකක් භාවිතා කළා. විදුම් උපකරණය (Electric Drill)  භාවිතයේදී අත් ආවරණ හා ඇස් ආවරණ භාවිතා කළා. කන් ආවරණත් අවශ්‍ය විට භාවිතා කළා. අනෙකුත් බොහෝ අවස්ථාවල අත් ආවරණ හා උඩ බලාගෙන වැඩ කරන විට අමතරව ඇස් ආවරණ භාවිතා කළා. අමතරව ඉතා කල්පනාකාරීව මේ වඩ වලදී උපකරණ හසුරන්න ඕන. නැතිනම් පහසුවෙන් අනතුරු සිදු වෙන්න පුළුවන්.

මම මෙය කියවන ඔබට කියන්නේ ඔබත් සීලිමක් ගසන්නට යන්න කියා නම් නොවේ. මේ වගේ කුමන හෝ දෙයක් ඔබටත් කළ හැකිව ඇති. එය ඔබම කර ගන්න බලන්න. නිමාව උපරිමයෙන් නැතත් ඒ දෙස බලන සෑම වාරයකදීම ඔබේ සිතට ලොකු සතුටක් දැනේවි. මේක කළේ මම නේද කියා. 
ඒහෙන්ම් අද දවසට මම යනවා. ආයෙත් දවසක මේ වගේ පොස්ට් එකක් අරන් එන්නම්.
සුභ දවසක් !!!

ප/ලි
දවසේ උපදේශය
ඇණ ගන්න ගිහින් ඇන ගන්න එපා (හාඩ්වෙයාර් එකකින් උපුටා ගන්න ලදී)


Saturday, December 4, 2010

හද පතුලෙන් ලියා පල කරමි

ආදරණීය බ්ලොග් මිතුරනි.......
මගේ බ්ලොග් සම්ප්‍රාප්තිය වූයේ මේ වසරේ මැයි මාසයේ බව මතකය කියවන ඔබ සැම දන්නවා. මට මේ අදහස ඇතිවූයේ කතන්දරගේ බ්ලොග් අඩවියෙන් බව නොදන්නා අය ඇත්නම් ඔවුන්ගේ දැනගැනීම සඳහා මෙසේ නැවත සිහි කරමි. 
කවුරු දැන සිටියත් නැතත් මගේ දවස ඇරඹෙන්නේ උදේම කතන්දර අඩවියෙන් බව නොකියාම බෑ. මා මෙන්ම තවත් විශාල පිරිසත් දිනපතා උදේම ඒ පැත්තට යන්නේ කතන්දරයක් අසා සිත් උද්දාමයෙන් යුතුව දවස අරඹන්න. ඒහෙත් පෙරදා උදෑසන එහි ගිය මා නෙත ගැටුනේ ඉතා සංවේගී ආරංචියක්. අපේ කතන්දරගේ පියා මෙලොව හැර ගොස් ඇත. ඔහු පසුගිය කාලයේ රෝගාතුරව සිටි බව දන්නා කරුණක්. එහෙත් මෙසේ ඔහු යනු ඇතැයි අප නොසිතුවෙමු. 
නමුත් දැන් එය සිදුවී අවසන්. කතන්දර තම පියාට දැඩිව ආදරයෙන් සලකන අයෙක්. ඔහු තම පියා ගැන ලියා ඇති පොස්ට් ගණනාවකින් එය පැහැදිලි වෙනවා. එවන් අයෙකුට මෙම දුක්බර අවස්ථාවේ වුවත් සැනසෙන්න පුළුවන්. ඒ තම යුතුකම් තම දෙමාපියන් වෙනුවෙන් නොපිරිහෙලා ඉටුකර ඇති බැවින්. 
ඇත්තෙන්ම අප කවුරුත් අද මේ තත්වයෙන් ඉන්නේ දෙමාපියන්ගේ උපරිම කැප කිරීම් නිසානේ. ඉතින් අපි ඔවුන්ට ණයක් ඇති. එය ගෙවන්න ඔවුන් පැතූ ලොකය අප ගොඩ නගන්න වෙනවානේ. ඒ අතින් කතන්දර විශිෂ්ඨ මෙහෙයක් කර ඇත්තෙක්. ඒ අනුව එම තාත්තා මොන ආකාරයේ අයෙක්ද යන්න හිතාගන්න අපහසු නොවනු ඇත. ලොවටම වැඩදායි දරුවන් පිරිසක් ලොවට දායාද කළ ඒ ආදරණිය පියා අද නිසලයි. එහෙත් ඔහු පැතූ සිතුම් සපඵල වී ඇති බව මට දැනෙනවා.
ඉතින් මගේ බ්ලොග් ආගමනයේ ගුරුතුමා ලෙස මම ගෞරවයෙන් පිළගන්නා කතන්දරගේ පියාට උපහාරයක් ලෙස මේ සටහන මෙසේ තබමි.
මගේ මතකයේ මිතුරු කැල සමග එක්ව ඒ ආදරණිය පියාණන්ට නිවන් සුව පතමු!
ප/ලි
එම දේහය දැන් පිළයන්දල මකුළුදූවේ අංක 3/14 දරණ නිවසේ තැම්පත් කර ඇති බව දන්වා ඇති අතර අවසන් කටයුතු දෙසැම්බර් 06 වන සඳුදා සිදුකිරීමට නියමිතය.

සමාවන්න. සඳුදාට පළකිරීමට බලාපොරොත්තුවෙන් සිටි ලිපිය ඔහුට දක්වන් ගෞරවයක් වශයෙන් එදිනට පළ නොකරන බව දන්වා සිටිමි.

Wednesday, December 1, 2010

අළුත් සගයෙක් සමග ඉදිරියට......

හැමදාම ඉතින් පොස්ට් එක පටන් ගන්නේ පින්තූරයක් දාලනේ. ඒත් අද එහෙම නෑ. 
එහෙනම් මේ අළුතින් පටන් ගන්නවා කියපු පෝස්ට් වල ආරම්භය වෙන්න ඇති.?
අනේ නෑ. ඒ පොස්ට් තාම ලියනවා...
එහෙනම් මේ මොකක්ද කරන්නේ?
ඉන්නකෝ ටිකක් කියනකල්..
අනේ ඉතින් මම අනාදිමත් කාලයක් මේ කොම්පියුටර් එක්ක හැප්පෙන කෙනා වෙච්චි. එත් මට අවුරුදු 5ක් විතර මගේ කියල කොම්පියුටරයක් තිබුනේ නෑ. පස්සේ ලැබුනා පරණ P1 166MHz එකක්. ඒක ටික කාලයක් තිබුනා. පසුව මම P4 2.4GHz එකක් assemble කරගත්තා. කාලෙකට පස්සේ ඒක අප්ග්‍රේඩ් කළා Pentium D 3.4GHz එකකට. ඒ කාලේ ඉඳන්ම ආසාවෙන් හිටියේ Notebook එකකට තමා. ඒත් ඉතින් ජොබ් එකක් කරන නිසා කාගෙන්වත් උදව් ඉල්ලන්නත් බෑ. තියන එ‍ක නිතර අප්ග්‍රේඩ් කරන නිසා සෑහෙන මුදලක් ඒකටත් වරින් වර වියදම්නේ. කොහොම හරි අන්තිමේ හිතුවා ගන්නවාම කියා. ඒ තමා මේක......
බලන්නකෝ.... 
මේක Dell Vostro 3500 එකක්. දැන් ඉතින් වැඩ ලේසියි. බාගයක් ඔෆිස් එකේ, පෙන් එකේ දාගෙන ගිහින් ඉතිරිය ගෙදරදී කරන එක ආයේ කරන්න ඕන නෑ. ඩෙල් බොහෝවිට එතරම් සිත්ඇදගන්නා නිමාවක් නැතත් මේක නම් ලස්සනයි. මෙයා නංගියෙක්ද, මල්ලියෙක්ද මන්දා. යාළුවෙක් නම් කීවේ නංගියෙක්ගේ නමක් දාන්න කියලා. ඉතින් ඒක මෙයාට දුන්නා. මෙයාල මම දෙසක්රියේ (කුෂාන්ගේ වචනයක්) යන බව දැනගෙනමද කොහේද ලේසියෙන් ගෙනියන්න බෑග් එකකුත් දුන්නා. 
බලන්නකෝ ඒකෙත් ලස්සන.....
දැන් ඉතින් මෙයාව කරේ තියන් ඇවිදින එක තමා තියෙන්නේ. නංගි කෙනෙක් නිසා පරෙස්සම් කරන්නත් වෙනවනේ.........
ස්පීඩ් එක අතින් ඉහලයි. හැමදාම අළුත් කොම්පියුටර් ගන්න උපදෙස් දෙන මමත් ඔන්න එහෙනම් මටම කියල නොට්බුක් එකක් ගත්තා. මේ මෙයා එක්ක කරන පළවෙනි පොස්ට් එක. ඉදිරියේදි වැඩිපුරම පොස්ට් කරන්නේ මෙයා එක්ක තමා. 
එතකොට හිටපු යාළුවා???
හා හා එයා ගැන බය වෙන්න එපා. සුපුරුදු විධියට එයා මේසේ උඩ වැඩ වාසය කරනවා. අළුත් අය ආවට පරණ හිතවතා අමතක කරන්න හොඳනෑනේ. අනික ෆිල්ම් එකක් එහෙම බලන්න එයා කොච්චර හොඳද?
එහෙනම් විස්තර ඇති. අද පොඩි පම්පොරියක් ගහන්න හිතුනා. තාම මෙයාට ඇප්ලිකේෂන් දාන්නත් තියනවා. Google chrome browser එක විතරයි තාම දැම්මේ. තව අප්ඩේට් වෙනවා. 
ම්ම්.... restart වෙන්න ඕනලු. එහෙනම් එයා කියන දේත් අහන්න වෙනවානේ. තාම පුරුදු වෙනවනේ..
ගිහින් එන්නම්.
සුභ දවසක්!!! 

ප/ලි
නිකමට වගේ ලියපු පොස්ට් එකක්. කාලය නාස්ති කරන් කියවයි කියා මේ කෙටියෙන් දැම්මේ.

Sunday, November 28, 2010

අපේ වැඩ අපිම කරගමු....


තාක්‍ෂණ ලිපි ලියන එක දැන් මාස තුනක් විතර ඉඳන් එක දිගටම කෙරෙනවානේ. දැන් ඉතින් ලයින් එක ටික ක‍ාලෙකට මාරු කරන්න හිතුවා. ඒ කියන්නේ තාක්‍ෂණ ලිපි ලියන එක නවත්වනවා නොවේ. තාලයක් හිතේ තිබුන අදහසක් තමා මේ කරන්න යන්නේ. තව දෙයක් තමා මගේ මතකය ලියවෙන්නේ තාක්‍ෂණික ලිපි සඳහාම නොවේනේ. වෙනත් මතක ලියන්නත් ඕනනේ.
එහෙනම් මේකයි අද පටන් ගන්න යන කතාවල ආරම්භය. හැබැයි මේවා තාක්‍ෂණ කතා තරම් ගොඩක් නෑ. කතා ටිකයි තියෙන්නේ. 
අපේ ගෙදර අපි පුංචි කාලේ ඉඳන් බිත්ති පේන්ට් කරන එක කළේ අප්පච්චි. හැබැයි අපිටත් බුරුසුව අතට අරන් බිත්තියේ තීන්ත ගාන්න පුළුවන් වෙනකොට ටික ටික ඒවා කරන්න දුන්නා. අපිත් ඒවා හරිම ආසාවෙන් කළේ. වැඩේ ඇනුවේ නැතුවා නොවේ. එත් වරදින තැන් වලදී අප්පච්චි කියලා දෙනවා. අන්තිමට අපිත් ඒ වැඩේ හොඳට කරන්න පුරුදු උනා. මුල් කාලේ අම්මගේ නම් මේව කරනවට වැඩි කැමැත්තක් තිබුනේ නෑ. ඇයි ඉතින් අපි ඇඳුම් වල තීන්ත ගාගත්තාම, ඇ‍ඟේ තීන්ත ගෑවෙන ඒවා පිරිසිදු කරන්න වෙන්නේ ඇයටනේ. එත් ටිකින් ටික අපිත් මෙවාට හවුල් වෙන එක අම්මාටත් හොඳක් කියල තේරුනා. දැන්නම් ඉතින් ගෙදර පේන්ට් කරන්නේ, පොලිෂ් කරන්නේ ඔක්කොම අපිම තමා.
ඒ විතරක් නොවේ. මගේ සොයුරිය පවා මේ වැඩ වලට හවුල් වෙනවා. ඔය විධියටම තමා මමත් කුස්සියට වැදිල අම්මට උයන්න අදව් කරන්න පටන් ගත්තේ. එයින් මටත් උයන්න ටිකක් පුළුවන් කම ලැබුනා. ගෙදර කිසිවෙකු නැති වෙලාවක තේ එකක් සදා ගන්න පමණක් නොව කෑම සදා ගන්නත් මමයි මල්ලියි ඉගෙන ගත්තේ ගෙදරින්. ඇයි හදිස්සියකට කමිසයක බොත්තමක් ගැලවුනොත් නැවත් මසා ගන්න. ඔය වගේ කොපමන දෙවල් එදිනේදා ගෙදරදී කර ගන්න වෙනවද?
කාලයත් එක්ක තවත් බොහො දේ අපි තනිවම කරගන්න ඉගෙන ගත්තා. ඒ ගැන වැඩි විස්තර කියවන්න. කරන තැන්වලට වෙලා බලන් ඉන්න, ඒ තුලින් එදිනෙදා නිවසේ කරන බොහෝ දේ ඉගෙන ගත්තා. මේනිසා මම වාහන අළුත් වැඩියා කරන තැන්වල සිට ඒවා කරන ආකාරය බලාගෙන ඉඳල තියනවා. යාළුවෙකුගේ, ඥාතියෙකුගේ වාහනයක අළුත් වැඩියාවක් වෙනව නම් කොහොම හරි ඒක බලන්න යනවා. ඒ විතරක් නොවේ වඩු වැඩ, මේසන් වැඩ කරන අවස්ථා පවා බලන් ඉන්නවා. සමහර අය කියලත් දෙනවා. මේ ආකාරයට ලබාගත් දේවල් මතක වලින් මම සමහර ඒවා ටික ටික අත්හදා බලන්න ගිහින් තියනවා. නාගත්ත අවස්ථා නෑ කියන්නත් බෑ.
අප රටේ බොහො දෙනෙක්ට ගෙදර බිත්ති පේන්ට් කරන එක, වතු පිටි සුද්ධ පවිත්‍ර කරන එක, වාහනයක් ටයරයක් මාරු කිරීම වගේ දෙයක් විත්රක් නොවේ හදිස්සියකට බිත්තියකට ඇණයක් ගහන්නත් බාස් කෙනෙක් ඕන තත්වයක් තියනවානේ. නමුත් දියුණු යැයි අප විසින් පිළිගන්නා රටවල විදේශිකයින් පවා තම නිවසේ බොහෝ කාර්යයන් කරගන්නවා මම වීඩියො වලින් දැක තිබෙනවා. එම රටවල යන අයගෙන් අසා තිබෙනවා.
ඉතින් එහෙනම් ඇයි අපි මෙසේ අපේ ගෙදර අපට පුළුවන් දෙයක් කර ගන්න ලැජ්ජ වෙන්නේ. අනික කාගෙවත් වැඩ කරනවා ‍නෙවේනේ. 
එහෙනම් දැන් තේරුනානේ මම ලියන්න යන්නේ මොන වගේ දේවල්ද කියල. ඉදිරියේදී ලිපි පෙලකින් ඒවා එකින් එක ලියන්නම්. සමහර අයනම් මේවා ලියනවාට කැමති වෙයිද කියන්නත් බෑ. මොකද මගෙන් පරිගනක තාක්‍ෂණය ගැන පමණක් ඉල්ලන පිරිසක් ඉන්නවා. පරණ තාක්‍ෂණ ලිපි වල ගැටළු ඇතිනම් ඒවායේ කොමෙන්ටු දාන්නත් පුළුවන්. ඒවාට දිගටම උත්තර දෙනවා.
එහෙනම් ගිහින් එන්නම්. 
සුභ දවසක්!!!
ප/ලි
මෙසේ ලියන මාතෘකාව වෙනස් කිරීමට අදහස හා දිරිය දුන් කුෂාන් මිතුරාටත් පොඩිකුමාරිහාමි මිතුරියටත් මගේ ස්තූතිය පිරි නමන්නත් මෙතනම ඉඩක් ගන්නවා....

Wednesday, November 24, 2010

Software දැමීමේදී මේගැනත් සිතන්න.....2


කලින් පොස්ට් එක කවුරුත් කියවලා එන්න ඇති කියල හිතනවා. එහෙම නැත්නම් පළමුවෙන්ම ඒක කියවලාම එන්නකෝ
අපි කලින් පොස්ට් එකෙන් කතා කරමින් හිටියේ Operating System (OS) එක ස්ථාපනය කරන විට සිතන්න වැදගත් කරුණු ටිකක්නේ. මේ එහි ඉතිරිය. සාමාන්‍යයෙන් අපේ පරිගනකයට පුළුවන් තරම් වැඩි ඉඩක් සහිත හාඩ් ඩිස්ක් එකක් දාගන්න තමා කව්රුත් බලන්නේ. එයට හේතුව අප බොහෝ දෙනෙක් අතට අහුවෙන සෑම software එකක්ම එහි ස්ථාපනය කරන නිසා. නැතිනම් අවම වශයෙන් කොපියක් වත් තබා ගන්න අය තමා බහුලව සිටින්නේ. ඊට අමතරව තව සිංදු, චිත්‍රපට, වීඩියෝ, ගේම්ස් කොපමණක් ඔය හාඩ්ඩිස්ක් එකට කොපි කරන් ඉන්නවද? කොතරම් වැඩි ඉඩක් සහිත හාඩ්ඩිස්ක් එකක් තිබුනත් එය පිරී යන්න වැඩි කාලයක් ගත නොවන්නේ අපේ බොහෝදෙනා ලඟ ඇති සියල්ල එකතු කරන ස්වභාවය නිසාම වෙන්න ඕන. ඒ කෙසේ වෙතත් පරිගනකයක ඇති ෆයිල් සහ ෆෝල්ඩර් ප්‍රමාණය වැඩි වෙන විට එහි වේගය අඩු වෙනවා. ඒ නිසා කිසියම් පිළිවෙලකට සකස් කර ගැනීමෙන් එහි වෙගය වැඩි කරගන්න පුළුවන්. මෙහිදී බොහෝ දෙනා කරන්නේ හාඩ් ඩිස්ක් එක කොටස් වලට (partition) වෙන් කරගැනීමයි. මේවායින් පළමු කොටස (බොහො විට drive C) වල Microsoft Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ. මෙයටම application software රැසක් දැමීමට ඇති නිසා බොහො දෙනෙක් එයට වැඩි ඉඩ ප්‍රමාණයක් වෙන් කරනවා. නමුත් මෙහි ඉඩ ප්‍රමාණය වැඩිවී අඩංගු ෆයිල් ප්‍රමාණය වැඩිවන විට නැවත පද්ධතිය slow වෙනවා. ඒ නිසා C partition එක සඳහා ප්‍රමාණවත් ඉඩක් වෙන් කර  application software වෙනම partition එකක ස්ථාපනය කිරීමෙන් වැඩි වෙගයක් ගන්න පුළුවන්. ඒ system එක install කැ ඇති සක්‍රිය partition එක (active partition ) තුල ඇති ෆයිල් ප්‍රමාණය වේගය හා සෘජුවම සම්බන්ධ නිසා.  ඊට අමතරව තවත් partition එකක්, දෙකක් පමණ (D, E partition වශයෙන්) දත්ත ගබඩා කිරීමට යොදා ගන්න පුළුවන්. 
Linux Operating System එක සඳහා  මීට වෙනස් ආකාරයක් අනුගමනය කරන්නේ. මෙහි අනිවාර්ය partition 3ක් තිබිය යුතුයි. ඒවා නම් boot, root( / ), swap වශයෙන්. අමතරව home, var, usr, tmp වගේ  partition වෙනම හදන්නත් පුළුවන්. නැතිනම් ඒවා / (root)  එකේම සෑදෙනවා. Linux වල boot සඳහා MB -MB පමණ ඉඩ ප්‍රමාණයක් ප්‍රමාණවත්. මෙය primary partition එකක් වීම අනිවාර්යයි. swap සඳහා පෙර භාවිතා කළේ memory (RAM) එක මෙන් දෙගුණයක්. නමුත් දැන් අළුත් පරිගනක වල RAM එක 2GB පමණ ඇති නිසා ඒම ප්‍රමාණයම ගන්න පුළුවන්. / (root) සඳහා අවශ්‍ය උපරිම ප්‍රමාණය ගන්න පුළුවන්. දැන් OS Installation එක ගැන කියා ඇති ප්‍රමාණය ප්‍රමාණවත් කියා හිතනවා. 
මීළඟට මම කියන්න හිතුවේ application software ගැන පොඩි කතාවක්. මේවාට නම් recommended system requirements ප්‍රමාණවත් වෙනවා. වැඩියෙන් තිබේනම් හොඳයි විශේෂයෙන් graphic, 3D animation වැනි software සඳහා. නමුත් recommended system requirements යටතේ බොහෝ applications හොඳින් ක්‍රියා කරනවා. Application software දැමී‍මේදී තමන්ට අවශ්‍ය ඒවා පමණක් ස්ථාපනය කිරීමට සැලකිලිමත් වන්න. අනවශ්‍ය ඒවා මගින් හාඩ්ඩිස්ක් එක පුරවන්න එපා. මේ ගැන කලිනුත් පෝස්ට් එකක කියා ඇති. සමහර අය පරිගනකය ගන්නකොට ඒ දිනවල පවතින ජනප්‍රිය applications සියල්ල අළුත්ම වර්ශන් වලින් දා ගන්නවා. නමුත් ඒවායින් බොහොමයක් කිසි දිනක භාවිතා කරන්නේ නෑ. ඒ නිසා අවශ්‍ය ඒවා පමණක් දාගෙන අනෙක්වා අවශ්‍ය වූ විට ස්ථාපනය කිරීම තමා සුදුසුම.
තවද අතට හසුවන සෑම software එකක්ම පරීක්‍ෂාකරන්න පරිගනකය භාවිතා කරන්න එපා. එය අනවශ්‍යනම් එසේ කිරීම තේරුමක් නැති ක්‍රියාවත්. 
මෙය hardware හා සම්බන්ධ වූ දෙයක් වුවත් මෙතනම ලියන්න වෙනවා. එනම් ඔබේ පරිගනකයට අළුතින් කිසියම් component එකක් (hardware device එකක්) මිළදී ගන්න, සවිකරන් අවශ්‍යනම් එය ඔබේ OS එක හා ගැලපෙනවාදැයි බලන්න. එසේ නොමැති නම් ප්‍රශ්ණ ගණනාවක් ඇතිවෙනවානේ.
එහෙනම් මේ කතාව දැන් ඇති වගේ. මේ නිසා තවත් කතා කීපයකටම කරුණු එකතු වෙනවා. ඒවාති ඉදිරියේදී ලියන්නම්.
අදට නවතිනවා එහෙනම්..
ගිහින් එන්නම්.
සුභ දවසක්!!!

Monday, November 22, 2010

Software දැමීමේදී මේගැනත් සිතන්න.....

පසුගිය ලිපි සියල්ලම ලියවුනේ hardware වලට අදාළව නිසා Software ගැනත් ලියන්න හිතුනා. ඒත් මේවා ගැන බ්ලොග් ගණනාවක් ලියවෙන නිසා ඒදේවල්ම නැවත ලියන එකෙන් වැඩක් වෙයිද?. ඕක තමා මට නිතරම ආපු ප්‍රශ්නය. ඒ නිසා Software ගැන මාදුටු බ්ලොග් වල කාතාකරන දේවල්ම ආයේ නොලියා ටිකක් අඩුවෙන් කියවෙන, එත් අපි එතරම් ගණන් නොගන්නා කරුණු ටිකක් කියන්නයි මේ උත්සාහය.
පළමුව අපි පටන්ගමුකො operating system එකෙන්ම. මෙතනදී බොහෝදෙනෙක් අහන ප්‍රශ්නය තමා මොකක්ද හොඳම operating system එක?. ඇත්තටම මොකක්ද?. දැන් බොහෝ දෙනෙකුට හොඳම එක වෙලා ඇත්තේ Ubuntu. සමහරුන්ට Ubuntu වලට වඩා හොඳ එකක් තවත් මෙලොව නෑ. දැන් මෙහෙම එනකොට තමා ගැටළුව ඇතිවෙන්නේ. ඇයි කෙනෙක් කියනවා Ubuntu හොඳයි කියා. තව කෙනෙක්ට Fedora Linux. තව මොනවද තියෙන්නේ. ඇයි Linux Mint, Debian, Knoppix ඔය ලිනක්ස් ගැනනේ. එතකොට බිල් මහත්තයාගේ Windows. ඒකෙත් versions කීයක්ද? මේවායින් මොකක්ද හොඳ. සරලවම කියනවානම් මේ සියල්ලම හොඳයි. එහෙම නැතිනම් මේවා අප අතර පවතින්න විධියක් නෑනේ. එහෙනම් මොකද මේවායින් කිසියම් එකක් හොඳයි කියන්න හේතුව. සරලවම ගත්තොත් අපි මිනිස්සු වශයෙන් ගත් කල අප එකිනෙකාගේ අවශ්‍යතා විවිධයි විශමයිනේ. ඒ අනුව තමා අපට වඩා යෝග්‍ය  operating system එක වෙන් කර ගන්න වෙන්නෙත්. එහෙම බැලුවම දැනට වැඩියෙන්ම භාවිතා වන්නේ Microsoft Windows XP තමා. නමුත් එහි ජනප්‍රිය භාවය දිනෙන් දින අඩු වෙනවා. ඒ වෙනුවට එන්නේ Windows 7. මේ ගැන සම්පූර්ණ විස්තරයක් W3 Schools වල සඳහන් වෙනවා. පේනවනේ අපි බොහෝ දෙනෙක් මහා දෙයක් ලෙස සලකන ලිනක්ස් පවතින්නේ Mac OS එකටත් පසුපසින් බව. දැනට ප්‍රතිශතයක් ලෙස 4.7% පමණ වෙනවා. ඉතින් ඔය Ubuntu ඇත්තේත් ඔය 4.7 ඇතුලේ. ඇත්තටම මමත් ලිනක්ස් එක්ක හැප්පෙන්න ආසයි. මගෙත් එක හාඩ්ඩිස්ක් එකක්ම වෙන් කර ඇත්තේ Fedora ට. මම ලිනක්ස් පළමුව install කළේ 1998 වසරේ. නමුත් මම දැන් භාවිතා කරන්නේ Windows vista හා Windows XP. නමුත් මගේ අත්දැකීමෙන්ම මම කියන්නේ අළුත් පද්ධති වලින් Windows vista වලට වඩා Windows 7 ඉදිරියෙන් ඉන්නේ. ඉතින් මම කිසිම පැකිලීමකින් තොරවම කියන්නම් මේ දෙකෙන් එකක් තොරගන්නවනම් Windows 7 දාන්න. දැන් මගෙන් අහන්න එපා ලිසිට එකක් දීල මේවායෙන් මට වඩා ගැලපෙන OS එක කුමක්ද කියා. මොකද මමත් ඔය හැම එකක්ම දාල බලල නෑනේ. දන්න එකක් නම් කියන්න පුළුවන්. හරි ඒත් කමක් නෑ මෙතනට තවත් දන්න අය එනවනේ. කවුරු හරි කියයි. ඒ නිසා අහන්න. අපි හොයල බලමු.
මීළඟට මම කියන්න යන්නේ මේවායින් අපට ගැලපෙන එක් සොයන්න තවත් සපුරන්න ඕන අවශ්‍යතා. ඒවා තමා පද්ධතියේ මූලික සුදුසුකම් (System requirement). අවම සුදුසුකම (Minimum requirement) ඇති පද්ධතියකට OS එක දාන්න එපා කියලයි මම නම් කියන්නේ. නියමිත සීමාවේ (Recommended requirement) පවතින එකක වුවත් මගේ මතය අනුව ප්‍රමාණවත් වන්නේ අදාළ OS එකට පමණයි. මෙයට තවත් application software, antivirus software ආදිය එක්වන විට ටික දිනකින් වේගය අඩු වෙන්න ගන්නවා. එලෙස දිනෙන් දින අළුතින් එක්වන application software නිසා නොසිතන තරම් පද්ධතිය slow වෙනවා. මේ අවස්ථාවේ බොහෝ දෙනෙක් මේක දැන් හොඳටම slow වෙලා කියා පිළියම් සොයනවා. බොහො දෙනෙකුට ඇති හොඳම පිළියම format කිරීමයි. දන්නවානේ නිතර format කළාම වෙනදේ. මේ නිසා Recommended requirement වඩා වැඩි යෙන් ඔබේ පද්ධතියේ resources ඇතිනම් පමණක් ඔබ තොරාගත් OS එක ස්ථාපනය (install) කරන්න. නැතිනම් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. එය කළ නොහැකිනම් ඊට අඩු වෙළුමක් (version) එකක් ස්ථාපනය කරන්න. 
දැන් කියන්න යන්නේ device drivers ගැනයි. ඔබේ පද්ධතියට අවශ්‍ය device drivers අදාළ OS එක සඳහා ඔබ සපයා ගැනීම කළ යුතු වෙනවා. එසේ නොමැති විට පද්ධතිය නිසි අයුරින් ක්‍රියා කරන්නේ නෑ. එනම් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් (maximum performance) ක්‍රියා කරන්නේනෑ. නමුත් ඔබ ස්ථාපනය කරන OS එක නිකුත් කර ඇත්තේ යන්ත්‍රය නිෂ්පාදනය කළාට තරමක් පසුව නම් බොහොවිට device drivers OS එක තුළම පවතිනවා. (මෙසේ නොවන අවස්ථා ඇත). නැතිනම් ඔබට ඒවා අන්තර්ජාලය භාවිතයෙන් සොයාගන්න පුළුවන්. නමුත් OS එක ස්ථාපනයට පෙර මේ සියල්ල සූදානම් කරගැනීම වඩාත්ම නැණවත් ක්‍රමයයි.
මීළඟට සැලකිලිමත් විය යුත්තේ CMOS (BIOS) settings ගැනයි. මෙම settings නිසි අයුරින් වෙනස් කර ගැනීමට යන්ත්‍රයේ user manual හෝ main-board manual එකෙන් උපකාරයක් ගන්න පුළුවන්. නැතිනම් ඉතින් ගූගල් දෙයියන් ඉන්නෙත් ඒකට තමා. අපි කොහොම කිව්වත් ප්‍රවීනයන් පවා මේවා කිරීමේදී ගූගල් දෙවියන්ගේ පිහිට පතනවා.
තවත් වැදගත් දෙයක් තමා පවතින data වල ආරක්‍ෂාව. අළුත්ම යන්ත්‍රයක් නම් මේ ප්‍රශ්ණය මතුවන්නේ නෑ. නමුත් භාවිතාකරන යන්ත්‍රය අප්ඩේට් කිරීමකදී හෝ අළුතින්ම OS එකක් දැමීමේදී  අතපසුවීමකින් අපේ වැදගත් වටිනා දත්ත මැකී යන්න පුළුවන්. සමහරවිට ඒවා වෙනත් partition එකකට කොපි කර ස්ථාපනය කරන අයත් ඉන්නවා. නමුත් කිසියම් අතපසුවීමකින් මුළු හාඩ් ඩිසික් එකේම දත්ත මැකීයන එක සිදුවන අවස්ථා ඉතා බහුලයි. විශේෂයෙන්ම පළපුරුද්ද අඩු අය ලිනක්ස් වැනි පද්ධතියක් සුථාපන්ය කිරීමේදී මේ වැරැද්ද බහුලවම කරනවා. ඒ නිසා හොඳම දේ වන්නේ CD, DVD, Flash drive, External Hard-disk  වැනි device එකකට අවශ්‍ය වැදගත් දත්ත සියල්ල කොපි කර ගැනීමයි.
ඔන්න අදත් මාතෘකාවෙන් පනින්න යන්නේ. මාතෘකාවෙන් විතරක් නොවේ...
මම මගේ යාළුවෙකුගේ පොස්ට් එකක් දැන් දවස් 5ක් විතර කියනවා. තාම ඉවර කරන් බැරි උනා ඒතරම් දිගයි. එත් වැදගත්. ඒනිසා දවසකට ටිකක් කියවනවා. එත් සමහර විට නවත්වන තැන මතක නෑ. ආයෙ කියවනවා. මේක කරදර වැඩක්නේ. ඕකට හොඳම දේ තමා කොටස් කර ලිවීම.
කොහොමද වැඩේ. සද්ද නැතිව ෂේප් උනනානේ.
ලිපිය ඕනවට වඩා දිගනම් වෙන මොනව කරන්නද?
තවත් කොටසත් බදාද උදේ....කීයටද ඕන?
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!

Friday, November 19, 2010

ඩෙස්ක්ටොප් පරිගනක භාවිතයේදී...


අන්තිම ලිපියෙන් කීවේ නෝට්බුක් කොම්පියුටර් භාවිතයේදී සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක්නේ. ඒකට අපේ කාංචන, ඉන්දික එහෙමත් කරුණු එකතු කළා. ඒ කාටත් මගේ ස්තූතිය මෙයින්ම පුදනවා. දෙයක් කියන්න ගියාමනේ අපිත් නොදන්න අළුත් දේවල් එකතු වෙන්නේ. ඔන්න අනිත්මට මටත් තවත් දැනුම එකතු උනා. අද කියන්න යන්නේ ඩෙස්ක්ටොප් වලට අදාලට කරුණු ටිකක්.
ඩෙස්ක්ටොප් එකක් භාවිතයේදී එන ප්‍රධාන වශයෙන් සැලකිලමත් වෙන්න ඕන දෙයක් තමා විදුලි සැපයුම. නෝට්බුක් වලනම් බැටරිය නිසා එතරම් ප්‍රශ්න නෑනේ. එත් මේවාට නම් හොඳ විදුලි සැපයුමක් නැතිව භාවිතය එතරම් හොඳ දෙයක් නොවේ. ඒකට හොඳමදේ හොඳ UPS (Un-interpretable Power Supply) එකක් යොදා ගැනීමයි. එය බොහොදෙනා කරනවා නමුත් භාවිතා කරන සැපයුම් වයරය ආදියනම් නිසිලෙස සම්බන්ධවෙනවාද යන්න සොයා බලනවා අඩුයි. මෙය නිසි ආකාරයෙන් සවිවී නැතිනම් ලුහුවත් වීම් නිසා නිතර විදුලි සැපයුමේ ගැස්සීම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා නිසිලෙස ඒවා සවි කරන්න. මීට අමතරව බල සැපයුම (Power Supply) එකට ඇති ප්‍රධාන හානිය වන්නේ සතුන්ගෙන්. හූනන්, කැරපොත්තන් වැනි සතුන් මෙයට යෑමනිසා සිදුවන short වීමෙන්, එනිසා මියයන සතුන් පරිපථ මත රැඳී සිදුවන ලුහුවත්වීම්, එම සතුන්ගේ අපද්‍රව්‍ය නිසා වන හානි නිසා බල සැපයුමට හානි සිදුවේ.
පොදුවේ ගත් කල දියර වර්ග නිසා ඩෙස්ක්ටොප් පරිගනක වලටක් නෝට්බුක් වලට වගේම හානි වෙනවා. එත් උඩින් වැටෙන දියර නෝට්බුක් වලට සාපේක්‍ෂව මේවා තුලට ගමන්කරනවා අඩුයි. නමුත් කීබොඩ් එකට හා මොනිටරයට පහසුවෙන් දියර ඇතුල් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල වහලයෙන් වැසි ජලය කාන්දුවී කීබොඩ් එකට වැටීම නිසා එය ක්‍රියාවිරහිත වූ අවස්ථා තිබෙනවා. කීපයක කීබොඩ් කොන්ට්‍රෝලර් එක පවා අක්‍රියවී තිබුනා. එය බොහොවිට සිදුවන්නේ භාවිතා නොකරන අවස්තාවේ වැටෙන දියර නිසා. භාවිතා කරන විට ඒවා ඇතුලේ ඇතත් නොපෙනී ක්‍රියාත්මක කිරීමෙන් මෙවැනි තත්වයක් ඇතිවෙන්න පුළුවන්. භාවිතා නොකිරීමේදී වසා තැබීමෙන් මෙවැනි අවස්ථා මගහැරගන්න පුළුවන්. සතුන්ගෙන් Power Supply එකට වගේම පරිපථ වලටත් හානි වෙනවා ඉහත ආකාරයෙන්ම.
ඊලඟට කියන්නේ නොසැලකිල්ලෙන් වන හානි ගැනයි. ඇතැමෙක් පරිගනකය භාවිතයේදී ආවරණ නිසිලෙස ඉවත් නොකර භාවිතා කරනවා. එවිට නිසිලෙස සිසිලනය නොවී අනවශ්‍ය ලෙස රත්වීම නිසා සිදුවන හානි. ක්‍රියා කිරීමේදී උපාංග සවිකිරීම හා ගැලවීම (USB හැර)නිසා හානි සිදුවීම. නෝට්බුක් වලදී මෙන්ම අල්පෙනෙත්ති, ස්ටේප්ලර් කටු වැනි සන්නායක ද්‍රව්‍ය ඇතුල්වීමෙන් සිදුවන හානි ආදියත් නොසැලකිල්ලෙන් සිදුවන දේවල්. තවද නිතර කීබෝඩ්, මවුස්, මොනිටරය විසන්ධි කර නැවත සවිකිරීම නිසා එම සම්බන්ධතා දුර්වල වෙනවා. මෙම වර්ග වල පරිගනක නෝට්බුක් තරම් කම්පන වලට ඔරොත්තු දෙන්නේ නෑ. එසේ කම්පන වලට ලක්වීමෙන් හාඩ්ඩිස්ක් එකට හානි වෙන්න අවදානමක් පවතිනවා.
බාල වර්ගයේ හෝ අපවිත්‍ර CD/DVD, DISKETTE ආදිය භාවිතා කිරීමත් දොෂ ඇති කරන්නට හෙතුවක්. මේවායේ ඇති දූවිලි, පුස් ආදිය drive එකේ lens වල තැම්පත් වීමෙන් එවා නිසි ලෙස ක්‍රියා නොකරන තත්වයක් ඇතිවෙනවා. ඇතැම් තත්වයෙන් අඩු CD/DVD drive එක තුල පුපුරා යාමෙන් ඒයට හානි වෙනවා.
මීට අමතරව නිසි දැනුමක් නොමැතිව සිදු කරන්නට යන අළුත්වැඩියාවන්, වෙනස් කිරීම්, CMOS (BIOS) setup වල සිදුකරන වෙනස්කම් ආදිය නිසා ඇතිවන දෝෂ ආදියත් මෙයටම එක්කරන්න පුළුවන්. තවද නිසිලෙස සේවා අළුත්වැඩියාවන් සිදුකර නොගැනීමද නොසැලකිලිමත් බව ලෙස හඳුනවන්න වෙනවානේද?
එහෙනම් අදට ඇති වගේ. ලිපියක් නැතිව යාළුවන් බලන් ඉන්නත් ඇතිනේ. අද මම ලියා ඇත්තේ සාමාන්‍ය කරුණු 
ටිකක්.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!

Wednesday, November 10, 2010

නෝට්බුක් භාවිතයේදී මේ ගැන සිතුවාද 2


මදැයි ලිපියක් ලියන්න ගිහින් අහගත්ත දේවල්. දැන් දැන් කියවන්න එන අය ඉක්මනින් කියවන්න පොඩි දෙයක් හොයනඑක වැඩිවෙලා නිසයි කලින් පොස්ට් එක කොටසක් දැම්මේ. එත් ඒකට කැමති නැති අයත් ඉන්නවානේ. මාරයාගේ හෝරාව ගියන අපේ මාරයා තමා කලින්ම කිව්වේ මේක දිගට ලියන්න කියා. දීකිරට බළල්ලුත් සාක්කි කියනවා වගේ Anonymous මිතුරන් දෙදෙනකුත් පොඩිකුමාරිහාමිත් මේක මගින් නැවැත්තුවාට නඩුත් දානවා කිව්වේ. අම්මෝ උසාවි ගානේ යන්න උනොත් ආයේ බ්ලොග් ලියලා ඉවරයි. එහෙනම් ආයේ මොකටද කතාව දික් කරන්නේ. මෙන්න එතැන් සිට....
මේකත් තාක්‍ෂණයට බර නැතත් මම දැක ඇති සැලකියයුතු පිරිසක් කර ඇති දෙයක්. ඒ නෝට්බුක් එකට අමතරව තව පෑන්, පැන්සල්, යතුරු ආදිය එකම මල්ලේ දමාගෙන යාම. මේවායින් නොට්බුක් එක සීරීමට ලක්වෙනවා. බාහිර පෙනුම ඉක්මනින් දුර්වල වෙනවා. යතුරු ආදිය සිරවීම නිසා ප්ලාස්ටික් කොටස් වලට හානි වෙන්න ඉඩ තිබෙනවා. එපමණක් නොව මේවායේ ලෝහ කොටස් පරිගනකයේ ඇති සිදුරු අතරින් පරිපථ මත ගැටී හානි වෙන්න පුළුවන් බව බොහෝ දෙනෙක් හිතන්නේ නෑ. ඒ නොට්බුක් එකක් සෑම විටම බැටරිය නිසා standby තත්වයේ පවතින නිසා.
මේ සමානම තවත් දෙයක් තමා නෝට්බුක් එක මත පෑනක්, පැන් ක්ලිප් එකක් හො එවැනි කුඩා දෙයක් තබා ගෙන සිට පරිගනකය වසා දැමීම. මෙයින් සිදුවන්නේ LCD Screen එක බිඳීයාමයි. මෙසේ Screen එක හා යතුරුපුවරුව අතරට යම් දෙයක් සිරවීමෙන් Screen බිඳීයාම සිදුවේ. මෙහි හානි කීපයක්ම තිබෙනවා. මෙසේ බිඳුනු Screen එක අතරින් එහි ඇති රසායන ද්‍රව්‍ය පිටතට වෑස්සෙන්න ඉඩ තිබෙනවා. මේවා ශරීරගතවීම ඉතා විශ සහිත වේ. මේවායේ පිළකා කාරක පවා අඩංගු වන බව සඳහන්. තවද මේවා ගලා ගොස් පරිපථ විනාශ වෙන්නත් පුළුවන්.
මීළඟට කියන්නේ විදුලිය සැපයීම ගැන. මගෙන් කීපදෙනෙක්ම අසා තිබෙනවා නොට් බුක් එකට අවශ්‍ය වන්නේ කොපමණ ධාරිතාවක් ඇති UPS එකක්ද කියා. නොට්බුක් වලට UPS අවශ්‍ය නෑනේ. බැටරියක් ඇති නිසා. එහෙත් අප මෙය භාවිතා කරන ස්ථානයේ නිතර විදුලි අඩුවැඩිවීම සිදුවනවා නම්, එය බලසැපයුමේ (power pack) සීමා ඉකමවනවානම් power guard එකක් භාවිතය වැඩි කල් power pack එක ආරක්‍ෂාකාරීව තබා ගන්න හේතු වේවි. එමෙන්ම මල්ටි සොකට් ආදිය මගින් විදුලියට සම්බන්ධ කිරීමේදී ලුහු සම්බන්ධයක් (loose connection) ඇත්නම් එයත් එතරම් හොඳ දෙයක් නොවේ. මේ හා සම්බන්ධ තවත් වැදගත්ම දෙයක් වන්නේ බොහෝ දෙනෙක් power pack එක සජිවී (power on) තත්වයේ පවතින විට පරිගනකයට සම්බන්ධ කිරීම හා ගැලවීම. මේ නිසා සම්බන්ධ වන පරිගනකයේ අග්‍ර spark වීම නිසා හානියට පත්වෙනවා. වගකීමේ කාලසීමාවේ නම් මෙය නොසැලකිලිමත් බව නිසා ඇතිවූවක් ලෙස සලකා අළුත්වැඩියා කිරීමට යන මුදල ඔබෙන් අය කරගන්නත් හේතු වේ. කාලයක් මෙය සිදුවූ නොට්බුක් වල දිගටම spark වෙමින් පවතින අවස්තා ඇත. එවිට ඒවායේ මුද්‍රිත පරිපථ පුවරු විනාශවූ අවස්ථා මම දැක ඇත.
මෙයට අමතරව ඕනෑම උපකරණයක් භාවිතාකිරීමේදී විශේෂයෙන් විදුලියෙන් ක්‍රියාකරන උපකරණ භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්‍ෂක පිළිවෙත් ඔබේ නොට්බුක් එක කෙරෙහිත් අනුගමනය කළ යුතු වෙනවා. අකුණු ආදිය පවතින විට භාවිතා නොකිරීම. නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති උෂ්ණත්ව පරාසය, ආර්ද්‍රතාවය, මුහුදු මට්ටමේ සිට ඇති උස පරාසය ආදිය ගැනත් සැලකිලි මත් වන්න. විශේෂයෙන් වැඩි උෂ්ණත්වය නෝට්බුක් එකට වගේම එහි බැටරියේ පැවැත්මටත් හානිකර වෙනවා. අසම්පූර්ණ ලෙස වරින වර ආරොපණය (charging) බැටරියේ ආයු කාලය අඩු වීමට තවත් හේතුවක්. හැකි සෑම විටම ප්‍රධානි විදුලියෙන් ක්‍රියා කරවීමෙන් බැටරිය වැය වීම අඩු කරන්න පුළුවන්. මේවා සියල්ල හිතේ තබාගෙන වැඩ කරන එක පහසු නෑ. අමතක වන්න පුළුවන්. එත් වරකට එක් පියවර බැගින් පුහුණු කිරීමෙන් ලොකු මුදලක් වැය කර මිළදිගත් ඔබේ නෝට්බුක් පරිගනකය බොහෝ කාලයක් කරදරයකින් තොරව භාවිතා කරන්න පුළුවන්.
මෙයටම තවත් දෙයක් එකතු කරන්න තිබෙනවා. මේවා යන්ත්‍ර. යන්ත්‍රයක් ක්‍රියා කිරීමට නිසි කඩත්තුවක් අවශ්‍යයි. ඒනිසා මාස 6කට වරක් වත් නිසි නඩත්තුවක් (අපහසුමනම් වසරකට වරක්) කර ගැනීමෙන් කරදර අඩු පරිගනකයක් ඔබට ලැබෙයි.
මේ කියන්නේ මෙයට අදාළ දෙයක් නම් නොවේ. එත් සමහර අයට ඇති ප්‍රශ්ණයක් නෝට්බුක් හා ලැප්ටොප් යනු කුමක්ද කියන එක. HP (Hewlett Packard) Toshiba වැනි නිෂ්පාදකයන් තම නිෂ්පාදන සඳහා නෝට්බුක් (Notebook) යන්න භාවිතා කරනවා. Dell තම නිෂ්පාදනය ලැප්ටොප් (Laptop) ලෙස හඳනුවනවා. එකම සැකැස්ම විවිධ නිෂ්පාදකයන් හඳන්වන් ආකාර තමා මේ.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!!

ප/ලි
මාරයාට උඩින් කියපු එකට අමනාප නොවනු ඇතැයි සිතනවා. ඔබලාගේ ප්‍රතිචාර නිසා තමා මම මේ සටහන් දිගටම ලියන්නේ. පොඩිකුමාරිහාමිත් නඩු නොදමනු ඇතැයි හිතනවා...
ඔන්න පොරොන්දු උන දවසේ කොහොම හරි පොස්ට් එක් දැම්මා. තව එකතු කරන් දෙයක් තියනවානම් ඒවාත් යටින් ලියල යන්න කිසිම බාධාවක් නෑ.