Saturday, January 29, 2011

සරුංගල් කාලේ....


අහම්බෙන් අන්තර් ජාලයෙන් හමුවූ මේ ඡායාරුපය දැකීමෙන් මගේ සිත අතීතයත් වර්තමානයත් අතර ගමන් කරන්නට විය. කතාව අතීතයෙන් පටන් ගන්නවාද? නැතිනම් වර්තමානයෙන් පටන් ගන්නවාද යන්න සිතා දින ගණනක් ගත කළෙමි. අවසානයේ සාම්ප්‍රදායික අතීතයෙන් පටන් ගන්නේ නැතිව වර්තමානයෙන් අතීතයට යන්න හිතා මෙය ආසන්න තැනින් පටන් ගන්නම්. 
පසුගිය පාසල් නිවාඩුව වෙනදාට වඩා කෙටි එකක්. මට මතක විධියට නම් දින 25ක පමණ එකක්. නමුත් අපි කුඩා කාලයේ දෙසැම්බර් නිවාඩුව යනු දින 30ක් හෝ ඇතැම් විට ඊටත් දින කීපයක් වැඩි නිවාඩුවක්. මේ නිවාඩුව තමා අවුරුදු නිවාඩුවට පසුව ලැබෙන ප්‍රීතිමත්ම නිවාඩුව. එයට හේතුව මේ කාලයේ සරුංගල් යවන්න පුළුවන් නිසයි. මෙවර නිවාඩුවේ මුල් දිනවල වෙනදා පවතින සුලං පැවතුනේ නෑ. නමුත් ටික දවසකින් ළමයින් සරුංගල් අතැතිව සිටිනවා මමත් උදේ සවස රැකියාවට යන විට, පාරේ ගමන් කරන විට දකිනවා. මේවා දුටු මගේ සොයුරියගේ පුතාටත් සරුංගලයක් යවන්න අදහසක් ඇවිත්. ඔහු සරුංගලයක් අරන් දෙන්න කියා කීප වතාවක්ම තම මවට හා පියාට පවසා තිබෙනවා. නමුත් අප නිවසේ සෑම විටම කරන්නේ කිසිවක් අපට සදා ගන්න හැකිනම් එය අප විසින්ම කර ගැනීමයි. මතකනේ අපේ වැඩ අපිම කරගන්නා ලිපි. මේ නිසාම අවසානයේ ඔහු සරුංගලයක් සදා දෙන්න කියා මගෙන් ඉල්ලා සිටියා. මටත් තියෙන වැඩ ගොඩ මැද අර කිතුල්ගල ට්‍රිප් එකෙන් පසුව දිනක ඔහුත් සමග එක්ව සරුංගලය සෑදුවා. කොළ අලවා නිම කරනවාත් සමගම වහින්න පටන් ගත්තා. පසු දින උදේ ලද සුළු කාලයක් තුල ඔහු එය රැගෙන සෙල්ලම් කළත් වැඩි වේලාවක් කරන්න ලැබුනේ නෑ. නැවත වැස්ස පටන් ගත්තා. එසේ ඇරඹුනු වැස්ස මුළු නිවාඩු කාලය පුරාම පැවති බව ලංකාවේ හැම දෙනාටම මතක ඇති. ඉතින් ඒ පොඩි දරුවට කරන්න සිදු වූයේ සරුංගලය අතේ තියාගෙන අහස දෙස බලා සිටින්නට පමණයි.

ඒ සමග මට සිහිවූයේ මගේ ළමා කාලය. අපි පොඩි කොල්ලෝ එකතු වෙලා දෙසැම්බර් නිවාඩුව පටන් ගන්න විටම සරුංගල් හදන්න පටන් ගන්නේ. උදේට කාල ගෙදරින් එළියට පැන ගත්තම ආයේ ගෙදර ඒන්නේ දවල් එකට විතර. ඒ දවල් කෑම කන්න. කාල පැයකින් විතර ගෙදරින් පැනගන්න අපි ආයේ ගෙදර එන්නේ කළුවර වැටීගෙන එන වේලාවේ. ගෙදරින් බැනුම් අසන්නේ නැතුවාම නොවේ. ඒත් පසු දිනත් දින චර්යාවේ වෙනසක් නෑ. ඒත් නිවාඩු කාලය නිසා වැඩි බලපෑමක් තිබුනේ නෑ. අනික යන්න තියෙන්නේ අළුත් පංතියකටනේ. හෝම්වර්ක් ලැබිලත් නෑ. ඒ නිසා ඉතින් දවසම සරුංගල් තමා. සරුංගල් අතින් ගත් අපිත් සරුංගල් වගේ දිව යනවා සුලං අතරින්. මම සරුංගල් හදන්න ඉගෙන ගත්තෙත් ඔය යාළුවන්ගෙන් තමා. ඒ පුරුද්ද තාම තියෙනවා. මට තවමත් හොඳට සරුංගලයක් හදන්න පුළුවන්.
දැන් ආපසු මේ කාලෙට එමු. දැන් ළමයින් වැඩි දෙනෙක් කරන්නේ කඩෙන් ගන්නා සරුංගල් යවන එකයි. ඒ අයටත් දැන් ඉස්සර වගේ සරුංගල් යවන්න විවේකය නෑ. නිවාඩුවත් අමතර පංති වලට යට වෙලා. අපිට තිබුනු නිදහස් පරිසරය දැන් නෑ. කොන්ක්‍රීට් වනාන්තර ඇතිවෙනවා. ලැබුන ඉඩෙත් සරුංගල් යවන්න උනේ නෑ. විපරිත වූ දේශගුණය හරස් වූවා. ඔය දැන් ළමයින්ට. ඉදිරි පරම්පරාවට මොනවා වේවිද කියල කවුද දන්නේ. ඇයි අපි හිතුවද ඒ කාලේ තිබුන පරිසරය නිදහස මෙතරම් ඉක්මනින් තරඟකාරීත්වය හමුවේ නැතිවෙයි කියා. 
සිතන්න. ඉදිරි පරපුර වෙනුවෙන් යමක් කරන්න දැන්මම. නැතිනම් යාන්ත්‍රික මොළ සහිත රොබෝ ළමයින් පිරිසක් අපට ඉතිරි වෙයි.
ගිහින් එන්නම්..
සුභ දවසක්..!!!

16 comments:

  1. මමත් කවදාවත් සරුංගලයක් හදපු කෙනෙක් නෙමේ. ආසයි හදනවා බලා ඉන්න. හොඳ පුරුදු කාරයෙක් සරුංගල් අරිනවා බලන්නත් ආසයි.

    ReplyDelete
  2. හ්ම්ම්.. අයියාලාත් එක්ක සරුංගල යවපු හැටි මතක් උනා..

    ReplyDelete
  3. ඇත්තටම මාත් ඕන තරම් දකිනවා දැන් ළමයින්ට අම්මලා ඉල්ලපු ගමන් අර පාට පාට මෙලෝ රහක් නැති ප්ලාස්ටික් සරුංගල් අරන් දෙනවා. ඒ ඇරත් අයියේ ඉස්සර අපේ පැත්තේ සරුංගල් වාරෙට කිතුල් පිති ඕන තරම්. ඒත් දැන් එකක් හොයා ගන්නත් අමාරුයි.
    ආ තව දෙයක් අපේ පැත්තේ සරුංගල් යවන්නේ අගෝස්තු නිවාඩුවට.

    ReplyDelete
  4. ළමා කාලෙ මතක් උනා. ඇත්තටම ඕක විතරක් නෙවි දැං කාලෙ ළමයින්ට අහිමිවෙලා තියෙන දේ අනන්තයි. දුක හිතෙනවා ඒ ගැන හිතෙනකොටත්...

    ReplyDelete
  5. සරුංගලේ දිහා බලාගෙන දුවලා වැටිලා වෙච්ච තුවාලේ කැළල අදටත් තියෙනවා මගේ නිකටේ...... මාරම ස්තූතියි ප්‍රියා ඒ මතකය අළුත් කරාට....

    ReplyDelete
  6. ඉස්සරනං ළමයි විතරක් නෙමෙයි ලොකු අයත් සරුංගල් කාලෙට සරුංගල් යවනවා.
    නමුත් දැන් ඒව දකින්න අමාරුයි.

    ReplyDelete
  7. @ ප්‍රවීනා..
    සරුංගලයක් හදලත් නැත්නම්, යවලත් නැත්නම්,
    මොකද කියන්නේ. සරුංගලයක් හදල යවමුද?

    ReplyDelete
  8. @ හසී
    මටත් මතක් උනා අපේ නංගිත් අපිත් එක්ක සරුංගල් යවන්න ආව හැටි..

    ReplyDelete
  9. @ පූසා
    කතාව සම්පූර්ණ ඇත්ත මල්ලි. දැන් ළමයි සරුංගල් හදන්න දන්නේ නෑ. සරුංගල් කාලේ එන්න හුලං තියෙන්න ඕනනේ. සමහර පළාත්වල අගෝස්තු කියල මමත් අහල තියෙනවා.

    ReplyDelete
  10. @ හරී - පිණිපළස
    දැන් ළමයි ගැන දුකෙන් තමා මේ පොස්ට් එක කළේ හරී. තන ඉදිරියට මොනව වෙයිද හිතන්නවත් බෑ.

    ReplyDelete
  11. @ අභීත
    මගෙත් ඒකාලේ තුවාල වෙලා ඇති ඕන තරම්. ආයෙත් සරුංගලයක් හදන්න හිතෙනවා.

    ReplyDelete
  12. @ Praසන්ன
    දැන් නම් ළමයි නැතත් ලොකු අය සරුංගල් යවනවාද කොහේද.

    ReplyDelete
  13. හා හා නියම කලේ ඈ ............. ඇදන් දිව්වා ........ උඩ යන එක කෙසේ වෙතත් .......

    ReplyDelete
  14. @ වැප්
    ඇදගෙන දුවන එක තමා ඒ කාලේ වැඩියෙන් කළේ. ඒ පුරුද්දටද මන්දා දැන් ඇදගෙන නාන්නේ...:D

    ReplyDelete
  15. එක්කොත් මම එන්නම්.

    ReplyDelete