Sunday, May 15, 2011

වෙසක් ලබනවා, තොරණ් බඳිනවා, තැන තැන දන්සල් ඉදිවෙනවා....


අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුවී මෙම වෙසක් පොයට අවුරුදු 2600 ක් ගතවී ඇති බව පැවසෙනවා. එය බෞද්ධ සැමටම ඉතා වැදගත් අවස්ථාවක්. ඒ නිසාම මෙවර වෙසක් උත්සවයට වෙනදාට නැති උනන්දුවක්. හැම දෙනාටම අවශ්‍ය උපරිම අයුරින් වෙසක් සමරන්න. ඒ සඳහා වෙසක් කූඩු, තොරණ්, දන්සල් ආදිය දැන්මම සූදානම් වෙනවා. දැන් නම් ඒවායේ මූලික ඉදිකිරීම් අවසන් බවක් පේන්න තියනවා. වෙසක් කූඩු, තොරණ් ආදියේ සැකිලි සාදා අවසන්. මේ ලියන සෙනසුරාදා දවසෙත් මම එන විට එවැනි දේ දුටුවා. එසේ එද්දී සිදුවූ දෙයක් නිසා තමා මෙය ලියන්න අවසන් වරටත් හිතුනේ. නැතත් මේක ලියන්න හිතෙන් ඩ්‍රාෆ්ට් කරලයි තිබුනේ.

පසුගිය මාසේ ඉඳන්ම අපේ බලුපැටියට රෑට නොසෑහෙන්න බුරන්න වෙලා. ඒ ආධාර පත්තර කාරයෝ නිසයි. අවුරුද්දට බත්මහ උළෙලවල් තියන්න සල්ලි එකතුකරන්න කට්ටිය එනවනේ. ඊට පස්සේ වෙසක්. කට්ටියක් එන්වා තොරණට සල්ලි හොයන්න. ඊළඟට මහා පහන් කූඩු රාජයාට මුදල් හොයන්න තව පිරිසක්. ඊළඟ දවසේ දන්සලට ආධාර හොයන්න. ආධාර ගත්ත හැමෝම කීවේ අපි අහවල් තැන දන්සල දෙනවා. ඔක්කොම එක්ක ඇවිත් කාල යන්න කියල.

එහෙනම් දන්සලෙන්ම පටන් ගමු. කා වෙනුවෙන්ද දන්සල් දෙන්න ඕන. පෙර පැවති ක්‍රමය, බුද්ධ දේශනාව අනුව නම් දන්සලක් දෙන්නේ දුගී, මගී, යාචකාදීනට. දැන් බලමු අපේ ගම් පළාත්වල දෙන දන්සල් ගැන. දන්සල දවසේ කලින් දන්වා ඇති වෙලාවට ආරාධනා ලැබූ හැමොම එම ස්ථානයට එක් රොක් වෙනවා. ඒ දන්සලෙන් කන්න. ඔවුන් දුගියෝද? දුප්පත් ඇති. ඒත් එදින කෑම වේල කන්න බැරි තරම් දුප්පත් අය නොවේ. ආරාධනා ලබන්නේ දන්සලට සල්ලි දුන් අයනේ. සල්ලි දෙන්නේ එහෙම කරන්න පුළුවන් නිසානේ. එහෙනම් ඔවුන් කෑම වේල හොයාගන්න බැරි දුගියෝ නොවේ. මගීන්ද? ඔවුන් එන්නේ දන්සලටම නිසා ඔවුන් මගීන් වන්නේද නෑ. යාචකයො කියන්න නම් කොහොමත් බෑනේ. ඉතින් එහෙනම් දන්සල දුන් එකේ සම්පූර්ණ ආනිසංස ලැබේද?. මම දන්න කීප දෙනෙක් ඉන්නවා. ඔවුන් නම් වෙසක් දවසේ පන්සල් යන අයට තමන්ගේ පුළුවන් මට්ටමින් තේපැන්, කිරි කෝපි වැනි දෙයක් දන් දෙනවා. පන්සලට යන පාරේ. එය නම් දන්සලක් තමා. පන්සලට පාරේ යන අය මගීන් නේ.

තොරණ් මහා පහන්කූඩු ගත්තොත් දෙකම එක සමාන නිසා වෙන් වෙන්ව කියන්නේ නෑ. ඔය දෙකම කරන්න මුදල් එකතු කරනවා. අද මම සවස බෝධිපූජාවකට ගොස් තරමක් රෑ බෝවී එන විට තරුණ පිරිසක් පාරේ ඉන්නවා. ඈත දීම දුටු ආකාරයෙන් මොවුන් කරන්නේ පාරේ යන වාහන බලෙන් නවත්වා බලෙන්ම තමන් ඉදිකරන තොරණට ආධාර ගන්නවා. විශාල පිරිසක් නිසා ඔවුනට අසුවන අයට මුදල් නොදී යන්නත් බෑ. මම නම් ඉතින් රෑට හරි හෙමින් යන නිසා ඔවුන් ඉක්මනට පාරෙන් අයින් උනා නවත් වන්න. ඒක වෙනම කතාවක්. ඒත් මෙහෙම ගන්න සල්ලි වලින් කරන තොරණෙන් ලැබෙන පින මොකක්ද?. ඊටත් ඔය එකතුවන මුදල් ඔය වැඩේට ඕනැවටත් වැඩියි. ඉතිරිවායින් වෙන්න ඕන තොරණ පසුපස වෙනම රවුමට කට්ටිය ඉඳගෙන විදුරු සොලවන සද්ද ඇහෙන්නේ. ලයිට් දාන තොරණේ පසුපසින් දුම් යන්නේ කොහොමද කියන එකත් කාලයක්ම මට නොතේරුන දෙයක් නේ. 
ඊළඟ දේ තමා තොරණ හො වෙසක් කූඩුවේ වර්ණනාව. මෙහිදී ආධාර දෙන අයගේ නම් මහ හයියෙන් පීකර් බැඳල කියනවනේ. ගමටම ඇහෙන්න. ඉතින් මුදල් යහමින් ඇති අය නම කියවා ගන්න වැඩියෙන් ආධාර දෙනවා. දෙන ගාණත් කියනවානේ. දැන් තොරණ හදල ඉවර නම් ආයේ මොනවටද ආධාර. ඒඅයට ගෙවල් වලට ගෙනියන්නද? නැතිනම් පසුව මත්පැන් වලටද?. ඉතින් පන් සිල් වලින් සිල් පද කීයක් මේ උතුම් දවස වෙනුවෙන් කඩ කරලද? 
නුදුන් දෙයක් අරන්. වැඩි දෙනෙක් පුළුවන් කමකට, කැමැත්තකින් නොවේනේ දෙන්නේ.
බොරු කියල.
මත්පැන් පාවිච්චි කරල.
ඊට වඩා හොඳ නැද්ද කිසිම දෙයක් නොකර හිටියනම්. අඩුම වශයෙන් පින් නැතත් පවු සිද්ධ වෙන්නේ නෑ නේද?. 

බුද්ධ දේශනාවේ ආකාරයට වඩා උතුම් ආමිෂ පූජාවද? ප්‍රතිපත්ති පූජාවද?
ඔය අයගෙන් කවුද වෙසක් දවසේ එක පැයක් ධර්මානුකූලව ගත කරන්න ඇත්තේ. මම හිතන්නේ නෑ වැඩි දෙනෙක් ඒ ආකාරයට ඉන්න ඇති කියා.
මේ මගේ අදහසයි. වෙසක් කූඩු, තොරණ් දන්සල් දෙන්න ඕන. එහි වැරැද්දක් නෑ. ඒ වගේම ඒවා උතුම් පින්කම්. ඒත් කැමැත්තෙන් නොදෙන ආධාර වලින් නොවේ. තමන්ට පුළුවන් ආකාරයට. එහෙම නැතිනම් එවැනි දේ කරන අයට සොයා ගොස් ආධාර දෙන්න කැමති අය තාම මේ ලෝකේ ඉන්නවා. ඔවුන් සතුටින් දෙන ආධාර වලින් මේවා කරන්න. මම දැකල තියනවා ඇතැම් ගම්බල ළමයි බඩවැටි වල ඇවිදිමින් මල් කඩා ගෙනැවිත් පන්සල් යන අයට මල් දන් දෙනවා. බලන්න කොතරම් උතුම් දෙයක්ද? මුදල් ඉල්ලුවාද?.
මේ 2600 වෙනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් මම ඉල්ලන්නේ එකම දෙයයි. පින් රැස් කරන්න. ඒත් එහෙම බැරිනම් පවු නොකර ඉන්න. කාගේවත් සිත් රිදවන්න එපා. තමාටත් වෙනත් අයටත් වැඩදායි නොවන දේ කරන්න එපා.
ඔබ සැමට තෙරුවන් සරණයි..!!!
කවුද වෙසක් දවසේ එක පැයක් භාවනා කරන්න හිතන් ඉන්නේ. බැරි නම් පැය බාගයක් හෝ??
පින්තූරය http://www.employees.org/~sammuthu/images/vesak.jpg

9 comments:

  1. ඇහ් ඒකත් හරි එහෙනම් රෑ ට කඩාගෙන ගිහින් අර මිනිස්සු දැක්කම තව හයියෙන් රේස් කරලා යන්න ඇති.
    භාවනා..... හිතල බලන්න වෙනවා බෝධිපූජා තියලත් මතකනෙ කාටද විනාඩි 10ක් එක විදියට ඉන්න පුළුවන් වුණේ???

    ReplyDelete
  2. හොඳ කතාවක්. බලලා ඉවරවෙලා 'සාධුකාරයකුත්' දෙන්ට තරම් හිතුනා. ඔය දේවල් කොහොම වෙනස් කරන්ටද කියලා තේරෙන්නේ නෑ. සමහර විට 'දහම් පාසැල්' වලින් පටන් ගත්තා නම් හරි. 'මාන්නය' පිලිබඳ පාඩම් වැඩියෙන් උගන්නලා.

    ReplyDelete
  3. @ සංජු
    ඇයි මට භාවනා කරන්න බෑ කියලද හිතුවේ. එකකම විධියට ඉන්න පුළුවන්. වැඩිම උනොත් නින්ද යයි. ඊට පස්සේ නැගිටින කල් එකම විධියට තමා

    ReplyDelete
  4. @ ප්‍රවීනා
    කෝ සාධුකාරය. මම මේ බලන් ඉන්නේ..
    පොඩ්ඩි මේක මාන්නය පිළිබඳ දෙයක්ද? මම දහම්පාසල් ගියේ 6 පන්තියට විතරයි. ඊට පස්සේ ගියේ නෑ. වෙන හේතුවක් නෙවේ. පන්සලේ ගිහින් එම ස්ථානයට ගැල පෙන්න ඉන්න ඕන. ඒත් අපේ දහම්පාසලේ තිබුන ක්‍රමය නිසා පන්සලේ ගස්වල පළතුරු හොරකම් කරන පව මට එකතු කරගන්න ඕනනෑ කියල හිතුනා.
    ඒත් මම ඔයා කියනවා වගේ හරි දහම්පාසල් අධ්‍යාපනයකින් මේ අය නිවැරදි පාරට ගන්න පුළුවන් කියන දේ මම පිලිගන්නවා.

    ReplyDelete
  5. සහතික ඇත්ත කියලා තියෙන්නෙ ........

    ReplyDelete
  6. හ්ම් කාලීන කතාවක් .ඒත් ඊයේ (වෙසක් එකට කලින් දවසා වෙනකොට මම දැක්කේ නගරේ ඔයවගේ සැරසිලි දන් සැල් සූදානම් තමයි . මේගමන 2600 සම්බුද්දත්ව ජයන්තිය නිසා මේ සූදානම ගොඩක් වැඩියි .ඒත් බලෙන් සල්ලි එකතු කිරීම බලෙන් දන් සල් කැවීම නම් තේරුමක් නෑ

    රජයෙන් නම් හොඳ තීරණයක් අරන් තිබුණා දන් සැල් කරවන උදවිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලවා ඒ ස්ථාන සඳහා අවසර ගන්න කියලා

    ReplyDelete
  7. @ කල්හාර දිසානායක
    ස්තූතියි කල්හාර ප්‍රතිචාරයට...

    ReplyDelete
  8. @ TG
    ඔව් මම හිතන්නේ මේවා හැම තැනම වෙන්නේ නෑ. නමුත් සමහර තැන් වල වෙනවා. ඔය සිද්ධිය වූ ස්ථානය එතරම් හැදියාවක් ඇති, යහපත් මිනිසුන් ඉන්න ප්‍රදේශයක් නොවේ.
    ස්තූතියි තරංගා ප්‍රතිචාරයට.

    ReplyDelete
  9. මචං, සිදුහත් බෝධිසත්වයෝ බුදු වෙලා අවුරුදු 2600 නෙමෙයි බං. පොඩි අවුලක් තියේ. පිරිණිවන්පාලා අවුරුදු 2555. එදා ඉඳන් තමයි බුද්ධ ජයන්තිය හැදෙන්නේ. මයේ හිතේ, අපේ අයියලා ෆියුචර් ටුඩේ කියලා අවුරුදු 45ක් අනාගතෙන් මෙහාට අරගෙන. ඇයි ඒ කියන්න මං දන්නේ නෑ. සිදුහත් කුමාරයා ඉපදුනු දා ඉඳලා දැං ගනං කරනවා කියලා තමා කියන්නේ.

    කොහොම වුනත්. උඹේ කතාවේ ඇත්තක් තියෙනවා. ඒක වෙන්න ඇති ප්‍රථිපත්ති පූජාවට මුල් තැනක් දෙන්න කියලා කියන්නේ. හැබැයි ඉතිං ලොකුවට ඇඩ්වර්ටයිසින් ප්‍රෙමෝෂන් එකක් යන නිසා ආමිශ පූජාවටත් මෙදා පාර සෑහෙන තැනක් තියෙනවා.

    ReplyDelete