Thursday, January 13, 2011

ලංකාවේ සර්පයෝ..තෙල් කරවලා (Common Krait)

ඉලැපිඩේ කුලයට අයත් සර්පයින් සියලු දෙනාම එක පෙලට ගේන්න හිතුවා. ඒනිසා අද කියන්න යන්නේ ලංකාවේ වසන උග්‍රම විෂ සහිත සර්පයා ගැනයි. රූපය බලාගෙනම යමු පළමුවෙන්ම.

ඔව් මේ ඉන්නේ තෙල් කරවලා (Common Krait) තමා. මෙයාට මගමරුවා නැතිනම් දුනු කරවලා ලෙසත් සමහර ප්‍රදේශ වල හඳුන්වනවා. Elapidae කුලයට අයත් තෙල් කරවලා Bungarus caeruleus යන විද්‍යාත්මක නාමයෙන්  හඳුන්වනවා. ආසියානු කලාපයේ උග්‍ර විෂ බිග් ෆෝ අතරට මෙම සර්පයාද අයත්වේ.

වාස භූමි හා හැසිරීම.
භෞමිකව ජීවත් වන සර්පයෙකි. කුඩා ගුල්, දිරායන රොඩු ගොඩවල්, බුරුල් පසේ මෙන්ම වියලි තණකොළ අතරද දක්නට ලැබේ. ජලාශ්‍රිතව සිටීමටද කැමැත්තක් දක්වයි. නිශාවර සර්පයෙකු නිසා දිවා කාලයේ දැකීම ඉතා අපහසුය. බොහෝවිට අප රටේ පහත රට කලාපයේ දක්නට ඇත.

හඳුනා ගැනීම
පෘෂ්ටීයව තද කළු පැහැතිය. උදරය සුදු පැහැතිය. කළු පැහැති ශරීරයේ සුදු පැහැ බෙදුනු මුදු (ද්විත්ව මුදු) හැඩති සලකුනු දක්නට ඇත. මේවා වලිගයේ තනි මුදු ලෙස දක්නට ඇත. (පහත රූපය බලන්න) මීටරයක් (අඩි 3.3) පමණ දිගට වැඩේ. අඩි 4-5ක් පමණ දිගට වාර්ථා වන අවස්ථා ඇත. ශරීරය තෙල් දමා පිරිමැද ඇති ආකාරයට දිලිසේ. 

මුදු බෙදී ඇති ආකාරය බලන්න පින්තූරය මත ක්ලික් කර විශාල කරන්න

බෝවීම.
මෙම සර්පයා බෝවන්නේ බිත්තර මගිනි. ගැහැනු සතා වරකට බිත්තර 5ක් පමණ දමයි.

ආහාර.
රාත්‍රී කාලයේ ආහාර සොයායයි. ආහාර ලෙස බහුලව ගන්නේ අනෙක් විෂ රහිත සර්පයින්ය. මීට අමතරව කටුස්සන්, ගෙම්බන් හා මැඩියන්, මීයන් ආහාරයට ගනී. කුඩා කාලයේ කෘමීන් හා අන්ධ පණුවන්ද ආහාරයට ගන්නා බව වාර්ථාවේ.

දෂ්ඨ කිරීම් හා විෂ
දැනට ලංකාවෙන් වාර්ථාවන උග්‍රම විෂ සහිත සර්පයා වශයෙන් සැලකේ. තෙල් කරවලාගේ විෂ මිලිග්‍රෑම් එකක් පමණ හොඳින් වැඩුනු මිනිසෙකු මරණයට පත් කරන්න ප්‍රමාණවත්. දෂ්ඨ කිරීම් බොහෝවිට රාත්‍රී කාලයේ සිදුවේ. නමුත් දෂ්ඨ කිරීම් සුලභ නොවේ. ස්නායු පද්ධතියට විෂ බලපාන අතර රෝග ලක්‍ෂණ බොහෝ විට නයාගේ විෂ නිසා ඇතිවන ලක්‍ෂණ හා සමාන වේ.

මෙම සර්පයා සම්බන්ධයෙන් මිත්‍යා මත ගැන සඳහන් නොවේ. මෙම සර්පයාද පරිසර පද්දතියේ පැවැත්මට වැදගත්  වන අතර පරිසර දූෂණය, කැලෑ හෙළි කිරීම නිසා තර්ජනයට ලක්වූ සතෙකි.

මීළඟ පෝස්ට් එකෙන් මුදු කරවලා ගැන විස්තර අරන් එන්නම්.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්.!!!!!

16 comments:

  1. සෑහෙන්න වටිනව ගලේ අයියා... ස්තූතියි...!!

    ReplyDelete
  2. නම අහපුවාම කරවලත් නම් එපාවෙනවා. බලන්න ඔයා හන්දා කරන්න වෙලා තියන දේවල්?

    වටිනා ලිපි පෙලක්. ඊලඟට මොනවද ලියන්න හිතාගන ඉන්නේ?

    ReplyDelete
  3. ලස්සන වගෙම ‍රැක ගතයුතු සතෙක්....
    හරි හුරටල් නෙද?
    බලන්න ඇදුම කොච්චර ලස්සනද?
    මගුල් ගෙදරකට උනත් ගෙනියන්න පුලුවන්...

    සුභදවසක්.!!

    ReplyDelete
  4. ඉංදික, ඊඊඊඊඊ..........

    ReplyDelete
  5. ඉන්දික,

    ඕනේ නම් සරම අස්සේ වුනත් ප්‍රවාහනය කරලා බලන්න....

    විෂ ශරීරයට ඇතුලු වුනාම කොතරම් වෙලාවකින් මිය යනචාද? වෙන (පසු කාලීන) ආබාධ එහෙම තියෙනවද කියලාත් කියනවද?
    ගොඩක් වටිනවා
    දිගටම ලියන්න.‍‍
    ස්තූතියි සහො....

    ReplyDelete
  6. අන්ධ පණුවො කියන්නෙ මොක්කුද?
    අර රුවන් අහල තියෙනවා වගේ කොච්චර වේලාවකින් මිය යනවාද කියල දන්නවනං ලියන්න.
    වැදගත් ලිපියක්....

    ReplyDelete
  7. මම දන්නා පමණින් නම් විනාඩි 10 තුල ස්නායු පද්ධතිය අක්‍රීය වෙනවා. මරණය සිදුවෙන්න එම කාලය ප්‍රමාණවත්.

    ReplyDelete
  8. හ්ම්......

    මේව්වායේ වටින කම කියන්න බැරි තරම්..... අඩු තරමේ අහිංසක සරුපයෝ ටික දෙනාගේ පණවත් රැකෙයිනේ....

    ReplyDelete
  9. @ සෝරෝ
    ස්තූතියි මල්ලි ප්‍රතිචාරයට. ඉදිරි පෝස්ට් ටිකත් බලන්නකෝ.

    ReplyDelete
  10. ප්‍රවීනා
    අනේ ඔයා ඇස්පියාගෙන මගේ පෝස්ට් එක කියවනවද. සර්පයන් බොහෝ අයට අප්‍රසන්නයි තමා. ඒත් උන් හඳුනා ගැනීම වැදගත්. ඒ දෂ්ඨ කිරීමකදී ප්‍රථිකාර සඳහා සර්පයා හඳුනා ගැනීම වැදගත් නිසා. ඊළඟට මුදු කරවලා. තව කාලයක් මේ පොස්ට සෙට් එක ලියනවා.

    ReplyDelete
  11. @ ඉංදික
    ඉන්දිකට මට කලින් උත්තරයක් ලැබිලනේ. ඔව් ඉන්දික සර්පයන් රැක ගන්න ඕන තමා..ඉංදිකටත් සුභ දවසක්..

    ReplyDelete
  12. @ සංකල්පනා - රුවන්
    සාමාන්‍යෙයන් කරවලෙකුගේ දෂ්ඨ කිරීමකදී ප්‍රතිකාර කීරීමක් සිදු නොවුනොත් පැය 6-8ත් අතර වැඩුනු මිනිසෙකු මරණයට පත් වන බව සඳහන් වෙනවා. නමුත් එය ඒක් අයට වෙනස් වෙනවා. ඇතැම් විට ඊට අඩු කාලයකින් මරණය සිදුවෙන්න පුළුවන්.

    ReplyDelete
  13. @ Praසන්ன
    ඇත්තෙන්ම අන්ධ පණුවන් (blind worms) යනු පාංශු වාසී ඇස් නැති කුඩා සර්පයින් කාණ්ඩයක්. දැනට විශේෂ 120ක් පමණ හඳුනාගෙන ඇත. සමහර විට ඔබ පස් කොටන අවස්ථාවක මේ වැනි සතුන් දැක ඇති. මේ ලින්ක් එක බලන්නකෝ

    ReplyDelete
  14. @ ..ChAnDiKa..
    එතරම් අඩු කාලයක් නම් වෙන්න බෑ. කරවලෙකු දෂ්ඨ කිරීම නිසා ප්‍රථිකාර ලබා සුව වූ අය සිටිනවා. විනාඩි 10 යනු ප්‍රථිකාර කරන්න තරම් කාලයක් නොවේ නේද. මා කියවා ඇති වාර්ථා අනුව නම් පැය 5 පමණ කායලකදී මරණය සිදු වෙනවා. නමුත් විකිපීඩියාවේ සඳහන් වන්නේ පැය 6-8 දක්වා ලෙස. අපි මේ ගැන තව සොයා බලමු. ස්තූතියි අදහස් දැක්වීමට.

    ReplyDelete
  15. @ හා පැටික්කි (MS)
    හාපැටික්කි මේ ගැන උනන්දුවක් ඇති කෙනෙක් නිසා මෙහි සඳහන් නොවන දෙයක් දන්නවනම් සටහනක් තියන්න. මොකද මේ අය රැක ගැනීමට අපි කාටත් වගකීමක් තියෙනවා. මම අවසානයේ ඒ ගැනත් සඳහන් පොස්ට් එකක් දාන්නම්.

    ReplyDelete
  16. සමාවෙන්න මගේ අත්වැරැද්දකිනුයි විනාඩි 10ක් ලෙස සටහන් වෙලා ඇත්තෙ. මෙය පැය 10ක් පමණ ලෙස නිවැරදි විය යුතුයි. මම පාසල් යන කාලයේ පරිසර නියමු කණ්ඩායමේ සාමාජිකයෙකු වු නිසා මෙම විස්තර අධ්‍යයනය කොට තිබෙනවා. :)

    ReplyDelete