Thursday, January 27, 2011

2012 ලොක විනාශයද?

පසුගිය කාලයේ අපේ රටෙත් වරින් වර සුළු සුළු භූ චලන සිදුවූ බවට වාර්ථා වුනා. එක් වරක් අපේ ගෙදරත් කුස්සියේ තිබුනු භාජන කීපයක් ඒ සමග බිම වැටී තිබෙනවා. නමුත් මම ඒ අවස්ථාවේ ගෙදර නොසිටි නිසා මට මේ බව දකින්න ලැබුනේ නෑ. (දැක්ක කියල කරන්න දෙයකුත් නෑනේ). මම මේ ගැන දැන ගත්තේ ගෙදර ආ පසුවයි. පසුව ප්‍රවෘත්ති වලින් වැඩි විස්තර ඇසුවා. දැන් එහෙනම් අපි අද මාතෘකාවට එමු.

මතකද මේ පෝස්ටර් එක?. අමතක වෙන්න තරම් හේතුවක් ඇති කියල හිතන්න අමාරුයි. මේ සමගම පැතිර ගිය කට කථා වල සීමාවක් නෑ. ලෝකය පුරාම මිනිසුන් අතර 2012 ලෝක විනාශයක් වන බවට කට කථා පැතිර ගිය බව අමුතුවෙන් කියන්න දෙයක් නොවේනේ. එයට ලොව පුරා ජනමාධ්‍ය වලින් ලැබුනෙත් ලොකු ඉඩක්. පසුව විද්‍යාඥ්ඥයින් විසින් එවැන්නක් සිදුවීමට ඉඩක් නැති බව ප්‍රකාශ කළත් තවමත් ඒ ගැන කසුකුසු පවතිනවා. තවමත් බොහෝ දෙනා පසුවන්නේ ඒ ගැන අවිනිශ්චිත තත්වයක. මා මේ බව හොඳින්ම තේරුම් ගත්තේ පන්සල් යන විට. පෙර පන්සලේ නොසිටි මහ ජනකායක් දැන් පන්සල් ඇතුළු පූජනීය ස්ථාන වලට එක් රොක් වන බවක් පේනවා. කීප දෙනෙකුගෙන්ම මම මේ ගැන ඇසූ විට ලැබුන පිළිතුර වූයේ 2012 ලෝක විනාශේ වෙනවනේ. බේරෙන්න දැන්ම පින් රැස් කර ගන්න ඕන කියල. කරදර එන විට දෙවියන් බුදුන් සිහිවන අපේ සමාජය ගැන වෙනම පෝස්ට් ගණනාවක් ලියන්න පුළුවන් වුවද අද මාතෘකාව හා සම්බන්ධ නැති නිසා ඒ ගැන කථා කරන්නේ නෑ.

මායා වරුන්ගේ දින දර්ශනය අනුව 2012 ලෝක විනාශය වන බව විද්‍යාත්මකව පෙන්වා දෙන්න හැකියාවක් නෑ. එමෙන්ම එම කාලය වන විට පෘථිවිය හා ගැටෙන්න කිසියම් ආකාශ වස්තුවක් ඇති බවට සොයාගෙනත් නෑ. ඒ නිසා මෙය අනිසි බියක් බවයි විද්‍යාඥ්ඥයින් පවසන්නේ. ඇත්ත එයයි කියා අප නිහඬව සිටිමුද?.
මා සිතන ආකාරයට නම් ලෝක විනාශය දැනටම ආරම්භ වෙලා පවතින්නේ. දැන් ලෝකයට දරන්න බැරි තරම් මහා මිනිස් සමූහයක් මිහිතලයේ ජීවත් වෙනවා. ඒ සමග සිදුවන්නේ ස්වභාව ධර්මයේ සමතුලිතෙතාවය බිඳීයාම නේද?. එක් ජීවි කොට්ඨාශයක් ප්‍රමාණය ඉක්මවා පැතීරීම නිසා ඔවුන්ගේ පැවැත්ම උදේසා අනිකුත් ජීවීන් විනාශ කරන්න පෙළඹෙනවා. පෘථිවියේ වනාන්තර වලින් වැසී ඇති ආවරණය සීග්‍රයෙන් අඩු වෙනවා. මිහිතලය උනුසුම් කරන වායු නිසා ලෝකයේ ඌෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගෙන ඇති බව බොහෝ දෙනෙක් දන්න දෙයක්නේ. මේ සමග ඇතිවූ තත්වයන් ගැන ටිකක් හිතමුකෝ.
අපේ රට සැලකූවිට පසුගිය කාලයේ වැස්ස වැඩි වෙන්න පටන් ඇරන්. මම දන්න කාලෙක මේ තරම් එක දිගට වැසි වැටුන කාලයක් මතක නෑ. ඒ සමග ඇතිවන නාය යෑම්, ගංවතුර නිසා ඇතිවූ ජීවිත හා දේපල හානි කවුරුත් දන්නවනේ. ඇයි සුනාමිය. කාටද පුළුවන් එයින් ඇතිවූ විනාශය ගැන අමතක කරන්න. දැන් මේ ස්වභාවික විපත් අපට විතරද? නෑ. දැන් ලෝකය පුරා රටවල් ගණනාවක් මේ විපත් වලට මුහුණ දීලයි පසුවන්නේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කීපයක් දැන් දින ගණනාවක් ගංවතුරේ යට වෙලා පවතිනවා. බ්‍රසීලයේ කඳු කඩා වැටීම නිසා මහා විනාශයක් සිදුවූවා. යුරෝපයේ හිම දියවීමෙන් සිදුවූ හානි සුව පටු නෑ. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කීපයක අධික හිම පතනය නිසා දැඩි හානි සිදුවූවා. මේ සෑම විපතක්ම මින් පෙර සිදු නොවූ තරම්. 
තවත් සඳහන් නොවුනු ස්වභාවික ආපදා ගණන අති විශාලයි. මේ සෑම දෙයකම ප්‍රථිපලය වන්නේ ජීවිත හා දේපල හානියයි. මීට අමතරව ලෝකයේ ඇතැම් රටවල් දැඩි නියඟයකින් පීඩා විඳනවා. සියලු වගාබිම් වියලී විනාශ වී ගොස්. තවත් තැනක වගාවන් ජලයෙන් යටවී විනාශ වෙලා. ඉදිරියේ ලෝකයටම දැඩි ආහාර අර්බුධයකට මුහුණ දෙන්න වෙනවා. එයින් තවත් විශාල පිරිසක් කුසගින්නේ මියයාවි. අපට තාම කන්න මොනව හරි තිබුනත් ඒවායේ මිළ දරන්න බැරි තරම් වැඩි වුවත් තවත් තැනක ජන කොටසකට කන්න කිසිම දෙයක් නෑ. ඉදිරියේදී අප මහා බලවතුන් කියනනා රටවල් පවා මේ ස්වභාවික විපත් හමුවේ අසරණ වේවි. මතකනේ ඇමරිකාව මුහුණ දුන් කැත්‍රිනා කුණාටුව. එයින් වාසස්ථාන අහිමි වූ පිරිස් අතරින කොටසක් තවම අනාථ කඳවුරු වල දිවි ගෙවන බවට වාර්ථා වෙනවා. 
මෙයට අමතරව ඌෂ්ණත්වය ඉහල යාම නිසා සිදුවන මුහුදු මට්ටම ඉහල යාමෙන් ලෝකයේ විශාල භූමි ප්‍රදේශයක් මුහුදට යටවනු ඇත. තවද වැඩි වන උනුසුම නිසා අපට රෝග සාදන වෛරස් හා බැක්ටීරියා වන්නේ නව ප්‍රභේද ඇති විය හැක. මේ නිසා අළුතින් මාරාන්තික රෝග පැතීරිමේ අවදානමක් ඇතිවිය හැක. මෑතක පැතිරෙන්න ගත් A (H1 N1) නව ඉන්ෆ්ලුවන්සා රෝගය හෙවත් සූකර උණ ගැන කවුරුත් වගේ දන්නවානේ. නමුත් අනිවාර්යයයෙන් මරණය සිදුවන එවන් වෛරස් රෝගයක් පැතිරෙන්න ගත්තොත් සිදුවන විපත ගැන මදක් සිතන්න. ඒ වගේම අපේ ආහාර සඳහා වගා කරන භෝග, ගොවිපල සතුන් සඳහාද මෙවන් රෝග පැතීරී ව්‍යාප්ත වී ලෝක ආහාර නිෂ්පාදනයට එල්ලවන බලපෑම් නිසා ආහාර හිඟය වැඩි වෙන්න පුළුවන්.
තවත් මෙවැනි බොහෝ දේ පෙන්වා දෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ලේ මූලික හරය ස්වභාවික විපත් වලින් මෑත කාලයේ පෙර නොවූ විරූ තරමේ හානි වෙන්න පටන් අරන් තිබෙන බව නොවේද? මීට අමතරව මිනිස් ක්‍රියා නිසා සිදුවන අනතුරු වලින් සිදුවන ජීවිත හානි ගැන මම සඳහන් කළේ නැතත් එයත් ස්වභාවික අනතුරු වලින් සිදුවන ඒවා හා සමව සමහර විට ඊටත් වැඩියෙන් පවතිනවා.
මෙවන් පසුබිමක අපට අපේ හෙට දවස ගැන පවතින්නේ අවිනිශ්චිත බවක් නේද. මේ විපත් වලින් ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් වැනසී යාවී. ස්වභාවධර්මයට අනුව නම් විය යුත්තේද එයමයි. එනම් දරා ගත හැකි අය ඉතිරිවී දරාගත නොහැකි පිරිස විනාශ වීමයි. මෙහෙම කීවාම හැම දෙනාම බය වෙන්න එපා. අපි මැරෙනවානේ කියල සියල්ල අත්හරින්න හෝ මැරෙනකල් ජොලි කරන්න ඕන කියල සියල්ල අමතක කර ඕනෑවට වඩා ජොලි කරන්න අවශ්‍යත් නෑ. විපතක් වෙන්න තිබෙනවනම් ඒවා වෙයි. නමුත් දැන් අපි කළ යුතු දෙයක් තිබෙනවා. එනම් වෙනදාට වඩා ධාර්මික වෙන්න අවශ්‍යයි. එකිනෙකා අතර පවතින සබඳතා වැඩි කරගන්න අවශ්‍යයි. ජාති, ආගම්, පක්‍ෂ, කුල භේද පසෙක ලා සැම දෙනාගේම පැවැත්ම සඳහා වැදගත් වන දේ සොයා එහි නිරත වෙමු. 2012 දෙසැම්බර් ලෝක විනාශය වෙන්න පුළුවන්. ඒත් නොවෙන්න තියෙන ඉඩයි වැඩි. නමුත් ඉදිරියේ ලොකු විනාශයන් ගණනාවක් සිදු වන බවට දැන් ඉඟි පළවී ඇත. ඒ නිසා සැම දෙනාම එකාමෙන් ඉදිරි අභියොගයන්ට මුහුණ දෙන්න සූදානම් වෙමු. 
මේ ගැන බොහෝදේ ලියන්න හිතුනත් මේ ඇති කියා සිතෙනවා. මම අද පොස්ට් එකට ගත්තේ අපි හැමදෙනාම වගේ දන්නා කරුණු කීපයක් ඇසුරෙන් මගේ සිතට ඇතිවූ සිතිවිල්ලක් කෙටියෙන් විශ්ලේෂණය කිරීමක්. මේවා මේ කියන විධියට නොවෙන්න පුළුවන්. අපි පාසලේ ඉගෙන ගත්තේ ගස් කැපුවම උනුසුම වැඩි වෙනවා. වැස්ස අඩු වෙනවා කියල. ඒත් දැන් ගස් නැති නිරුවත් පොළව සෝදාගෙන යන්න අනෝරා වැසි වැටෙනවා. ඒ නිසා ස්වභාවික තත්වයන් ගැන නිසි අනාවැකි කියන්න අපේ විද්‍යාව තාම දියුණු මදි වගේ. වඩාත්ම වැදගත් දේ සොබා දහමෙන් ඈත් වීම නොව එයට තවත් ලංවීමයි. එවිට ස්වභාවධර්මය විසින් අප රැකගනු ඇත.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

ප/ලි
දිගටම සර්පයින් ගැන ලියන එකට සමහර අය තරමක් කැමති නෑ වගේ. ඒනිසයි අද වෙනස් දෙයක් ලියන්න හිතුනේ..
ප/ප/ලි
අපේ සහෘද බ්ලොග් සගයෙකු වන ඉලන්දාරියා බ්ලොග් එක ලියන සොයුරා ශ්‍රවණාබාධයකට ලක්ව සිටිනවා. අපි කවුරුත් ඔහු වෙනුවෙන් යමක් කරන්න පෙළ ගැසෙමු. මෙවැන්නක් හෙට මට හෝ ඔබටත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔහුට අපි යම් සහයක් දෙමු. 

19 comments:

  1. කියවපුවාම බය හිතෙනවනේ...

    "එකිනෙකා අතර පවතින සබඳතා වැඩි කරගන්න අවශ්‍යයි."
    එහෙනං ඉතින් සබඳතා වැඩිකරගනිමු.

    ReplyDelete
  2. ඔබ මේ තැබූ සටහනේ සියළුම කරුණු වලට මම 100% ක් එකඟයි. අපේ මිනිස්සු බොහෝමයකට දෙයියෝ බුදුන් සිහිවෙන්නේ විපත්තියක් සිදුවුනාම තමයි. එසේම සමහර විට මායා වරුන්ට 2012 වනතෙක් පමණක් මේ ආන්දෝලනාත්මක දිනදර්ශනය ගොඩනංවන්න වෙනත් හේතු තිබෙන්න ඇති. මොකද ඒ කාලේ පරිගණක යන්ත්‍ර නැති නිසා අදාල ගණනය කිරීම් එහෙම සිදු කරන්න සෑහෙන කාලයක් ගත වෙන්නත් ඇති. ඒවගේම ඔවුන්ගේ ශිෂ්ඨාචාරය බිද වැටීමට ප්‍රධානම කාරණයක් වෙච්ච ස්පාංඤය ආක්‍රමණයත් සමග ඒකට මුහුණ දෙන්න සිදුවුනු මෙම ජනවර්ගයට වෙනත් වැඩ කටයුතු පසෙකලා යුද්ධ කරන්න සිද්ධවීමත් 2012 පස්සේ මෙම දිනදර්ශනය ගොඩ නැංවීම අතපසුවෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ අදෘෂ්යධමාන කාරණා නිසාම ලෝක විනාශය වෙන්නේ නැහැ ඇත්තෙන්ම පේනවා මිනිස්සු කරන විනාශකාරී දේවල් දැක්කම.

    ReplyDelete
  3. විනාශයක් වෙන්න තියේනම් වලක්වන්න බෑ. අපි යන තැනකට පිනක් කරගන්න එකයි මං හිතන්නේ හොදම දේ. අනික කොච්චර බන කීවත් ඒ කනින් අහලා මේ කනින් පිට කරන ජාතියක්නේ අපි.

    ReplyDelete
  4. මම තනියම හිතපු දෙයක් මේ වගේ විස්තරාත්මකව පෙළ ගස්වපු එක ඉතාමත් හොඳයි.. හැම දෙනාටම හිතන්නට යමක් මෙතන තියෙනව.

    මීට අමතරව, මිනිසුන්ගේ සිතුම් පැතුම් වල සිදුවී ඇති වෙනස්කම් දිහා බලන්න. ජාති ආගම් කුල භේද මෙපණයි කියන්න පුළුවන්ද?

    ReplyDelete
  5. අර නුවර භූමි කම්පාවක් කියලා සැක කරලා තියෙන්නෙ ප්‍රියන්ත අයියගෙ වාහනේ ගිය වෙලාවකද?

    ReplyDelete
  6. මිනිස්සු සොබා දහමට විරුද්ධව වැඩ කලාම,සොබාදහම මිනිස්සුන්ට දඬුවම් කරනවා.

    ReplyDelete
  7. මිනිස්සුන්ට තමන්ගෙ ආගම මතක් වෙන්නෙ විපතක් උනාම කියන කතාවනං ලංකාවෙ හැටියට හරියටම හරි.

    ReplyDelete
  8. Machansla Research on Immanuel Velicoswki's Wold's in Collision.

    And recent mass animal Deaths. Here's the link To that Mass animal death maps and related news;

    http://maps.google.com/maps/ms?ie=UTF8&hl=en&msa=0&msid=214033381917754770249.00049a0687a13e7bf2bc8&ll=-2.541834,155.654297&spn=177.753873,193.359375&t=h&z=1

    Surely there won't be any end of the world in 2012. But a major scale cataclysmic event is always possible. probably A mass extinction. There is always something which more than meets the eye.

    ReplyDelete
  9. @ ප්‍රවීනා
    ඒකනම් හොඳයි තමා. මොකද කියන්නේ..

    ReplyDelete
  10. @ දිනේශ් දීපාල්
    ඔව් දීපාල්. මායා වරුන්ට එහෙම දෙයක් වෙන්න ඇති. ඒත් අපේ අයට මොකද වෙලා තියෙන්නේ. හිතුවොත් අපිට මිනිස්සු වෙලා මිනිස්සු ගැනම කළකිරෙනවා නේද?

    ReplyDelete
  11. @ රතී
    ඒකනම් ඇත්ත. ඔය ගති ලක්‍ෂණ පවතින කල් ගොඩ යනවා බොරු..
    ස්තූතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  12. @ Uditha Umesh
    ස්තූතියි උදිත ප්‍රතිචාරයට.

    ReplyDelete
  13. @ හරී - පිණිපළස
    නෑ මං එච්චර බර නෑ හරි. මගේ පැංචා (බයික් එකත්) බරනෑ වැඩිය.

    ReplyDelete
  14. @ neetha
    ඔව් එහෙම වෙනවා නීතා. අනික ඒකෙන් සොබාදහමේ සමතුලිත බව බිඳෙනවනේ.

    ReplyDelete
  15. @ Praසන්ன
    ඔව් කරදරයකදී හැමෝම පන්සලේ පල්ලියේ නැතිනම් දේවාලේ..

    ReplyDelete
  16. @ Anonymous
    Thanks for your response.

    ReplyDelete
  17. හපෝ මං කිව්වෙ අර මූණු පොතේ පින්තූර දාල තිබ්බ පස් කපන යන්තර පැංචා ගැන :D

    ReplyDelete
  18. @ හරී - පිණිපළස
    කවුද දන්නේ. ඒ පැංචෙක්ද. පැංචා ගැන හෙට පොස්ට් එකේ..

    ReplyDelete
  19. ප්‍රියන්ත, ඕනම සත්ව වර්ගයක සොබා දහමට ඔරොත්තු දිය හැකි ප්‍රමාණයට වඩා ගහණය වැඩි උනාම සොබා දහම විසින්ම සත්ව සංඛ්‍යාව පාලනය කිරීමට යම් ක්‍රියා මාර්ගයක් ගන්නවා,

    මට හිතෙන්නෙ දැන් මිනිස් වර්ගයා පෘථිවියට ඔරොත්තු දිය හැකි ප්‍රමාණය ඉක්මවා ගිහින්, ඒ නිසා මිනිස් ගහණය පාලනය කිරීමට සොබා දහම විසින් යොදන උපක්‍රම තමයි මේ සිද්ධීන්,

    ReplyDelete