කොහාගේ මිහිරි නාදය ඇසෙන්න පටන් අරන් නම් දැන් සති කීපයක්ම වෙනවා. ඉස්සර අපි පුංචි කාලෙනම් එකෙක් නෙවේ කොහාල කීප දෙනෙක්ම කෑගහනවා. ඒත් දැන් දැන් එක්කෙනයි දෙන්නයි. ඉන්න තැන් නැති වෙන්න ගත්තම එයාලත් කොහේ හරි යන්න ඇති. පොඩි කාලේ අපිත් කොහා එක්ක තරඟෙට කෑගහනවා. ඒ කෑගැසීමත් හරි අමුතු දෙයක්. කොහා ස්වරය උච්ච වෙන විධියට තමා කෑගසන්නේ. අපිත් ඒ විධියටම කෑ ගහන්න ඕන. නැතිනම් එයා සද්දේ නවත් වනවා. කොහොම හරි ඔය කෑගහන විධිය කීප වතාවක් කළාම අපිට නිවැරදිව කොහා අනුකරනය කරන්න පුළුවන් කම තිබුනා. ඕක නම් මොකක්ද ඉස්සර අපේ ලොකුඅප්පච්චිලාගේ ගෙදර හිටිය මොණර එක්කත් මම කෑගහල තියනවා.
යන්තම් පාරේ යන කොට ගහක එරබදු මල් ඉත්තක් පිපිලා තියනවා දැක්කා. දැන් ඉස්සර වගේ එරබදු ගස් දකින්න අඩුයි. ඒවා කපා දාල. වැටවල තිබූ එරබදු ගස් වෙනුවට දැන් කොන්ක්‍රීට් කණු හිටවලා. (ඔය එරබදු මල් නම් ජාලයෙන් ගත්ත එකක්) අපේ ගෙදරත් දැන් දැන් අවුරුද්දට ලෑස්ති වෙනවා. අම්මානම් කැවිලි හදන්න පටන් අරන්. දැන් දවස් කීපයකට කලින් හැම අවුරුද්දෙම කරනවා වගේ අච්චාරුවක් හැදුවා. ඒක දැන්නම් මුට්ටිය පිටින් වහල තැම්බෙනවා. හදපු දවසේ නම් ගේ පුරාම සුවඳයි. ලුණු දෙහි දාලත් දැන් සති කීපයක්. ඒවාත් දැන් නම් කන්න පුළුවන් ගානට ඇවිත් ඇති. මේ පොස්ට් එක ලියන 11 වෙනිදා රෑ නම් මුංකැවුම් හදනවා. දැනුත් මේ කැවුම් සුවඳ ගේ පුරා පැතිරෙනවා. පළ කරන අද දවසේ අතිරස හදන්න සියල්ල සූදානම්. අම්මගේ හොඳම වට්ටෝරුව අලුවා. ඒක නම් හදන්නේ පරණ අවුරුද්ද දවසේ උදේම හෝ අද රෑ.
ඉස්සර ඉඳන්ම අම්මට මේවා හදන්න අපිත් උදවු කරනවා. කිතුල් පැණි නැතිනම් කැවිලි හදන්න හකුරු වතුර දමා උණු කර පැණි සාදා ගන්නවා. ඒකට හකුරු කැබලි වලට කපන්න නම් හැමදාම බාර ගන්නේ මම තමා. දානයක් නම් අම්මා කලින්ම කියනවා ඔවා කටේ තියනවා එහෙම නෙවේ කියල. ඉතින් අපිත් හරි බයයිනේ පවු සිද්ධ වෙයි කියල. ඒ නිසා වැරදිලාවත් කන්නේ නම් නෑ. හැබැයි කෑල්ලක් අරන් තියා ගන්නවා පස්සේ කන්න. පසු කාලීනව නම් අපි වංගෙඩියේ පිටි කොටන්නත් අම්මට උදවු කළා. නංගි පිටි හලන්න උදවු කළා. මට නම් කවදාවත් පෙනේරයෙන් ඔය පිටි හලන වැඩේ හරියට කරන්න අමාරුයි. ඇත්තම කීවොත් කරන්න පුළුවන්. ඒත් සාමාන්‍ය කෙනෙක්ට යනවා වගේ දෙගුණයකටත් වඩා වෙලාව යනවා. වෙන අවුරුදු වල අම්මා හදන තවත් රසවත් කෑමක් වැලි තලප. ඒත් මේ පාර නම් හදන්න බෑ කීවා. අම්මටත් දැන් කැවිලි හදන්න ඉස්සර වගේ වෙහෙසෙන්න බෑ. ඒ දවස්වල අපි ඉස්කෝලේ යන කාලේ අපේ අම්මා එක්ක කැවිලි හදන්න අපේ අත්තම්මාත් එකතු වෙනවා. අත්තම්මාට අම්මට වඩා ගොඩක් කැවිලි වර්ග හදන්න පුළුවන්. අනික බොහෝ කැවිලි වල නියම පදම ඉක්මනින් ගන්න අත්තම්මා හරිම දක්‍ෂයි. අපේ කලින් මියගිය අත්තම්මා (අප්පච්චිගේ මව) කැවිලි සැදීමේදී පවුලේ හැමදෙනාටම වඩා දක්‍ෂ කෙනෙක් කියා කියනවා. ඒත් අවාසනාවට මට ඒ අත්තම්මා උයන කෑම කන්න වාසනාව තිබුනේ නෑ. මා ඉපදෙන විටත් ඇය මෙලොව හැර ගිහින්. කතාව ටිකක් මාතෘකාවෙන් පැන්නා වගේ නේ.
කුස්සිය පැත්තේ ඔය වැඩ යන අතරතුර බිත්ති වල තීන්ත ගාන එක බිම පොලිෂ් කරන එක වගේ වැඩ අප්පච්චියි මායි මල්ලියි අතින් තමා වෙන්නේ. කොහොමත් අපේ ගෙදර ඒ වැඩ කරන්න අපි දක්‍ෂයි. දැන් නම් මට තනියම වගේ ඒ වැඩ කරන්න වෙලා. කොහොමත් දැන් ඉස්සර තරම් බිත්ති වල කුණු ගෑවෙන්නේ නැ. ඒ නිසාම නිතර තීන්ත ගානන ඕනත් නෑ. සෝදා පිස දැමීම විතරයි මේ පාර කලේ.
වෙනදා වගේම ගේ අවට පිරිසිදු කිරීම මෙවර මට කරන්න නම් පුළුවන් උනේ නෑ. ඒත් අප්පච්චි ඒ ටික තනියම කරල. දැන් දැන් රතිඤඤා එහෙමත් පත්තු කරන්න පටන් අරන්. ඒක නම් ඉස්සරට වඩා වැඩියි වගේ. අපි පොඩි කාලේ තිබුනට වඩා වෙනස් විවිධ වර්ගයේ ගිනිකෙලි නිෂ්පාදන දැන් දකින්න පුළුවන්.
කැවිලි වර්ග ගත්තත් දැන් බොහොදෙනා අවුරුද්දට ගෙවල් වල කැවිලි හදනවා දැන් අඩුයි. ගොඩක් කැවිලි ගේන්නේ කඩෙන්. දැන් අය කැවිලි හදන්න දන්නේ නැතුවාද මන්දා. අපේ සිංහල කෑම වර්ග අවුරුදු මේසයට එනවාත් අඩුයි. කවුම් වර්ගයක් දෙකක්, කිරිබත් හා විදේශිය කැවිලි වර්ග රැසක් තමා දැන් අවුරුදු මේසේ තියෙන්නේ. ඒත් තාම කෙසෙල් ඇවරිය නම් වෙනසක් නෑ. ඒ කාලේ අපි කෙසෙල් වත්තෙන් කපා ගන්න නැතිනම් තියන තැනකින් කෙසෙල් කැනක් මිළදිගෙන වලේ දමා දුම් ගසා ඉදවන ආකාරය තාම එදා වගේම මතක් වෙනවා. ඇළ අයිනේ ලන්දෙන් කපා ගන්නා කැප්පෙටියා නම් කොළ වර්ගය මත කෙසෙල් ඇවරි තබා එම කොළ වලින්ම වසා තහඩුවක් වැනි යමක් පස් නොවැටෙන්නට තබා වල වසා පසෙකින් සිදුරු කළ මුට්ටියක් දමා ඒ තුලින් උදේ සවස දුම් පිඹින්නේ අපිම තමයි. එසේ ඉදවාගත් කෙසෙල් වල අමුතු නාසය පිනා යන සුවඳක් හමනවා. දැන් නම් කරන්නේ කඩෙන් ගේන කෙසෙල් අවුරුදු මේසයට හා නෑ හිතවතුන්ගේ ගෙවල් වලට ගෙන යන එකයි.
අවුරුද්ද ලංවෙන කොට මම ඒ කාලේ භූමිතෙල් වෙඩිල්ලක් හදනවා. සවස් වරුවේ ඕක පත්තු කරන්න ගත්තොත් රෑ වෙනකොට ඇඟ පුරාම බූමිතෙල් ගඳ. අම්මා ඇවිත් කෑගහන විට තමා ඇඟ සොදාගන්න මතක් වෙන්නේ. මෙවර මගේ සොයුරියගේ දරුවාට පෙන්වන්න බූමිතෙල් වෙඩිල්ලක් හදන්න හිතුවත් උණ බම්බුවක් සොයාගන්න පුළුවන් උනේ නෑ. තිබුන එකම කෑල්ලත් අවුරුදු උත්සවයට ගෙන ගියානේ.
තවත් ඔය වගේ අවුරුදු කාලේ කරන බොහෝ දෙ මතක් කරන්න පුළුවන්. ඒත් ඒ අතරින් බොහොමයක් දැන් අපට අමතකව ගිහින්. ඇතැම් දේ කරන්න අවශ්‍ය දේ සොයා ගන්න අපහසුයි.
ඔය මොන දේ උනත් අපේ රටේ තවමත් අවුරුද්දේ සතුට මිනිසුන් බෙදා ගන්නවා. පරණ තරහ අමතක කර සමගි වෙනවා. නවීන කෑම වර්ග හෝ නෑ හිතවතුන්ට බෙදනවා. පරණ දෙවල් නැති නිසා කණගාටුවක් ඇතත්, මෙලෙසින් හෝ අවුරුද්ද ඉතිරිවීම ගැන නම් හිතට සතුටුයි.
සැමට උදාවන අළුත් අවුරුද්ද සාමය සතුට සපිරුන සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!
ප/ලි
මගේ අවුරුද්ද ගැන පොස්ට් එකක් පසුව දාන්නම්.
අවුරුද්දෙන් පස්සේ බස් එක පැත්තේ එනකොට ඔය කැවිලි ජාති වලින් ටික ටික අරන් වරෙන්.. හුටා ටිකක් මදි වෙයි.. කී දෙනෙක් ට කියලා දෙන්න ද.. ඇති වෙන්න අරන් වරෙන් ප්‍රියා අයියේ.... :D
ReplyDeleteප්‍රියන්ත නම් ජයටම අවුරුදු කන්න ලෑස්ති වෙනවා වගේ. අවුරුදුදා මේවා කන්න අපට වාසනාවක් නැති හැටි. අවුරුදුදාක ලංකාවේ මෑතකදී හිටපු කාලයක් මතකත් නෑ. හැබෑට ඔය සෝරෝ කියන විදියට ඔය කැවිලි බස් එකක ගේන්න පුලුවන්ද? ඔක්කොමට වඩා ඒ ගේන ඒවා කන්න පුලුවන්ද? මම කැමතී වැලිතලප කන්න. අම්මා ඒවා දැන් හදන්නේ නෑනේ.
ReplyDeleteඔයාටත්, ගෙදර හැමෝටමත්, (අර ඔයාගේ පිටිපස්සේ යන නංගී ඇතුලු ඒ පවුලේ හැමදෙනාටත්) සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :(
මිනිස්සු දියුණු වෙනව කියල පරණ සිරිත් විරිත් අමතක කරනවයි කියන එක අපරාදයක්. ඒ සිරිත් හින්ද තමයි මිනිස්සු අතර සහජීවනය එකමුතුකම රැකිල තිබුණෙ.
ReplyDeleteප්‍රියන්තටත් ගෙදර අයටත් සුබ අලුත් අවුරැද්දක් වේවා !
අපේ අම්මත් මෑලේ අච්චාරුවක් ,තව කෑවිලි කීපයක් හෑදුවා,තවත් හදනවා.මම් නම් ඉතින් කරන්නෙ කෑවිලි හදන දිහා ඇන තියාන බලන් ඉන්න එක.අන්තිම ටික තමයි මට හදන්න දෙන්නෙ.:(
ReplyDeleteඅය්යටත් ගෙදර හෑමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
අළුත් අවුරුද්ද කියන්නෙ මටනම් සුන්දර මතකයන් පොකුරක්. ඒත් දැන් නම් ඒක වෙනස් වේලා මේ පාර අළුත් අවුරුද්දට ගෙදර ඉන්නත් බැරි වේවි වගේ.
ReplyDeleteසුබ අළුත් අවුරුද්දක් පතනව ප්‍රියාට
කෑම ටික දැකලා කටට කෙලත් ඉනුවා....
ReplyDeleteඔයාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... :)
මාව අතිතයට අරන් ගියා....
ReplyDeleteමම නම් කරන්නෙ අම්මයි ආච්චියි හදනකම් එ අයව හිනස්සන 1ක තමයි...
පුලුවන් වුදවු කරනව...
පොලිශ් කරන වැඩෙයි තින්ත ගාන වැඩෙයි කරන්න යලුවොත් උදවු කරනව..
අපි එයාලගෙ ගෙවල් වල වැඩටත් උදවු කරනව...
වැලිතලපනම් දන් හදනව අඩු වැලි ගනන් නිසා වෙන්න ඇති...
කොකිස්නම් බයිට් 1කටත් මරු...
දැන් කොහෙද එවට වාසනාව...
හිතන් හිටියෙ අවුරුදට ගෙදර යන්න...
එ වැඩෙ හරිගියෙ නැ...
පොස්ට් 1ක කියවද්දි දැන්මම ලංකාවට එන්න හිතෙනව...
මම හැම පාරම කැට ගහල පරාදයිනෙ...
ආ....... මල්ලිට පාර්සලයක් එවන්න...
එතකොට මට නිකම්ම හම්බවෙයිනෙ කැල්ලක්...
අවුරුද්දට ගෙදර හිටියෙ නැහැ අවුරුදු තුනකින්, :'(
ReplyDeleteප්‍රියන්ත අයියාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක්ම වේවා !!!!
@ සෝරෝ
ReplyDeleteඅවුරුද්දෙන් පස්සෙ මොනවද සෝරෝ මල්ලි. අවුරුද්ද දවසෙම බස් එකේ කෑම බෙදමුකෝ...
සෝරෝට සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!
@ පොඩ්ඩි
ReplyDeleteඅනේ එහෙමට අවුරුදු කෑමක් නෑ. ගෙදර හැම දෙනාම ඉන්නවනම් එදාට තමා අපට අවුරුදු. ඒත් අවුරුදු සිරිත් ආරක්‍ෂා කරන්න ඕනනේ. අම්මා වැලිතලප හදනවා මේ පාර හදන්නේ නැත්තේ.ඕන දවසක අම්මට ඒවා හදන්න පුළුළුන්.
පිටේ එල්ලන් යන නංගිට නම් අවුරුදු තියනවාද දන්නේ නෑ. එයාගේ නම දන්නවා නේද?
පොඩ්ඩිටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!
@ Praසන්ன
ReplyDeleteපරණ සිරිත් පරණ අවුරුදු ක්‍රීඩා වලින් දැන් කීයද ඉතිරි වෙලා තියෙන්නේ. දුකත් හිතෙනවා. සියල්ල නැසෙන සුළුය කියා සැනසෙන්න තමා වෙන්නේ.
ප්‍රසන්නටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දකට ආසිරි..!!!
@ නදී...
ReplyDeleteමැලේ අච්චාරුව හොඳයි. ඒත් මම තාම කැමති ගම්බද ක්‍රමයට හදන අච්චාරුවට.
නදීටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!
ප්‍රියන්ත අයියා,
ReplyDeleteඅර බූමිතෙල් වෙඩිල්ල ඇර අනිත් ඔක්කොම අද්දැකීම් මටත් තියෙනවා. වැඩේ කියන්නෙ අයියට තාමත් ඒ දෙවල් ඉතිරි වෙලා. අපිට නං මෙදා පාර ඒ අද්දැකීම නැති වෙනවා. ඒ අපි මෙදා පාර කතන්දර සීයගෙ ගමේ යන්නැති හින්දා.
හැබැයි අයියට නැති අද්දැකීමක් අපිට තියෙනවා. ඒ දැනටත් අපි කතන්දර සීයගෙ ගමේ ගියාම කජු ගස් යට කජු අහුලලා ගින්දර දාලා පුච්චලා වටේ ඉදගෙන තල තලා කන එක.
ආ.... අපේ ප්‍රියන්ත අයියටයි ගෙදර කට්ටියටයි සුබ අලුත් අවුරුද්දක් වේවා......!
ReplyDelete@ නිශ්
ReplyDeleteනිශ්ටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!
@ කොට ජීවිතේ
ReplyDeleteකෙල ඉනුවා කියල හරි යන්නෙ නෑ දෙන්න එක්ක කෑම ටිකක් හදන්න.
කොට ජීවිතේටත් පාසල් ටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!
@ ඉංදික
ReplyDeleteකාටද අවුරුද්ද ගැන සුන්දර මතක නැත්තේ. කෑම ටිකක් එවන්නම්කෝ දවසක.
ඉංදිකගේ පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!
@ හරී - පිණිපළස
ReplyDeleteකොහේ හිටියත් අවුරුද්ද සමරන්න නම් පුළුවන්. ඒත් කට්ටිය නැතිව මොන අවුරුදුද නේ.
හරිටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!
@ බුද්ධි
ReplyDeleteබුද්ධිටත් මැරියන්ටත් සුභ අළුත් අවුරුද්දක්ම වේවා..!!!
@ බුද්ධි
ReplyDeleteඅපේ පළාතේ කජු ගස් හරි අඩුයි. ඒ නිසා ඒ අත්දැකීම් නම් අපට නෑ තමා. දැන් පරම්පරාවට නම් මේ දෙවල් නොලැබෙන තරම්.
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ReplyDeleteලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
@ කතන්දර
ReplyDeleteදින දින අළුත් බ්ලොග් සටහන් ලියවේවා...
කියවන දනා සතුටින් මන මත් වේවා...
කතන්දරගේ අඩවිය බො කල් වැජඹේවා...
තනත්දරටත් සුභ නව වසරක් වේවා..
ප්‍රියන්ත සහ ඔබගේ නිවසේ සෑම දෙනාටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවායි පතනවා!!! මේ දිනවල නම් අධික ලෙස වැඩකටයුතුවල යෙදී සිටීම සහ අන්තර්ජාල පහසුකම් වල දුර්වලතාවයන් නිසා දැන් තමයි පරිගණකය අසලටවත් එන්න ලැබුනේ...
ReplyDelete@ දිනේශ් දීපාල්
ReplyDeleteදීපාල්ටත්, ශිරෝමිටත්, චූටි දූටත් සුභ අළුත් අවුරුද්දක්ම වේවා..!!!