Thursday, September 15, 2011

සමුගන්නම්.....04

සමින්ද අයියා...
මං ගැන ගොඩක් බලාපොරොත්තු තියන් සිටි අයෙක්. කොච්චර හොඳ කෙනෙක් උනත් මගේ සිත එයා ළඟට ගියේම නෑ. ඒ ඇයි කියන්න මං දන්නෙත් නෑ. එයා කවදාවත් කෙනෙක්ගේ හිත රිද්දන කෙනෙකුත් නෙවේ. ඒ වගේම හරිම නිහඬ චරිතයක්. කෙල්ලොත් එක්ක ආශ්‍රයක් නම් ඇත්තේම නැද්ද කොහේද. මම කවදාවත්ම දැකල නෑ කෙල්ලෙක් එක්ක විනාඩි පහකට වඩා කතා කරනවා. ඒත් මොන හේතුවක් නිසාද දන්නේ නෑ මාත් එක්ක නම් කතාව නවත් වන්නේම නෑ. මම මූණ ඇද කරන් හිටියත් ළඟට ඇවිත් "ඇයි චාරු නංගි? මොනව හරි ප්‍රශ්නයක්ද? " කියා අහන්න තරම් කාරුණිකයි. ඒත් කිසිම දවසක ආදරේ ගැන කතා කරන්න ආවේනෑ. 
එයා මගේ හොඳම යාළුවෙක් වූ තරුෂිගේ අයියා. ඒ අයියා අපිත් එක්ක හිත්වත් වුනෙත් සවස ක්ලාස් ඉවර වෙලා තරුෂිව ගෙදර ගෙනියන්න ඇවිත්මයි. තරූ මතක් වෙලා ආයෙම ඇස් වලට කඳුළු එන්න ගත්තා. අපේ හොඳම යාළුවෙක් වූ තරූ ඩෙංගු වලින් අපි හැර යන්න ගියේ අවුරුදු දෙකකට කලින්. අපි තරූගේ මළ ගෙදර යනවිට සමින්ද අයියා හිටියේ තවත් අඬන්න බැරි තරම් හෙම්බත් වෙලා. එයා තරුට තිබුන ආදරේ අපි හොඳටම දන්නවා. ඒ දෙන්නා අයියයි නංගි උනාට පාරේ යද්දි ගොඩක් අය හිතන්නේ කපල් එක්ක කියා. අයියා නංගිව පාර ක්‍රොස් කරවන්නේ අතින් අල්ලන්. ඒ තරම් ආසරෙයි. තරුත් එහෙමයි. අයියාට සනීප නැතිව දවසක් තරූ පන්ති ආවෙත් නෑ. අපි ඇහුවම අයියා ගෙදර ඉඳිද්දි එන්න බෑ චාරු. අයියට කතා කරන්න ඉන්නෙත් මං විතරනේ. ඉතින් මම අයියගේ තනියට ලඟ හිටියා කීවා. ඒ වෙලාවේ මට නම් හිතුනේ මටත් අයියෙක් හිටියනම් කියායි. 
අපි මළ ගෙදර ආ බව දැක්කම සමින්ද අයියා ආයෙම අඬන්න ගත්තා. එය දැක්කම තිළණිත් ඇඬුවා. මගේ ඇස් වලට කඳුළු ආවත් ඒ දිනවලත් මම සාමින්ද අයියා මග හරිමින් සිටි නිසා මම ඇස් සඟවා ගත්තා. තරූගේ මරණයෙන් පස්සේ මම හිතුවේ ආයෙත් සමින්ද අයියා දකින්න ලැබෙන එකක් නෑ කියල. තරූ නැතිවුන එක නම් දුකයි තමා. ඒත් ආයේ සමින්ද අයියා එන්නේ නෑ නේ. එකනම් හොඳයි. පවු තමා. එයා දුකින් ඇති. මට අවංකවම දුකක් දැනුනත් කිසිම වෙලාවක එයාට මුහුණ දෙන්න නම් කැමැත්තක් තිබුනේම නෑ. 
එහෙත් තරූගේ මරණයෙන් මාස දෙක කට පමණ පසුව දවසක අපි පන්ති අවසන්ව එලියට එන විට අප දෙස බලා සිටියේ සමින්ද අයියා. "චාරු නංගි.... නංගිලා ටිකකට එන්නකෝ" අයියා කතා කලේ අපි හැමෝටම. මොකද කරන්නනේ මම පසුපසින් සිටි තිළිණිගෙන් රහසින් වගේ ඇසුවා. 
"පවු බන් ඒ අයියා. අපි කතා කරල යමු නැති නම් හොඳ නෑනේ. අනික ඒ අපේ හොඳම යාළුවා තරුගේ අයියනේ. සාමින්ද අයියා කොච්චර හොඳ කෙනෙක්ද?"
මටත් වෙන කරන්න දෙයක් තිබුනේම නෑ. ඒ නිසාම මමත් තිළිණිලා එක්ක නොදැනීම වගේ නතර උනා.
අයියාගේ ඇස් වලට අපි බලා සිටියදීම කඳුළු ආවා. ඒවා යටපත් කරන්න ඔහුට කිසිම අවශ්‍යතාවයක් තිබුනේම නෑ. වෙනදා මුහුණේ ඇති හිනාව මාස ගානකින් මුහුණට ඇවිත් නැති බව හොඳටම පෙනුනා.
"මං ආවේ නංගිලා බලල යන්න. නංගිගේ තුන් මාසේ දානෙත් ලබන මාසෙට එනවා. අම්මලා කීවා ඔයාලට කියන්නම කියා. මං ආවේ එකටත් එක්ක. ඒ නැතත් නංගි නැති උනායින් පස්සේ මට ඉතුරු උනේ ඔයාල විතරයි. මට ඔයාලත් දැන් මගේ නංගි වගේමයි. මගේ නංගිට වගේම ඔයාලටත් ඕනි දෙයක් කරන්න මම කැමතියි. එහෙම කලාම මට මගේ නංගි ඉන්නවා වගේ දැනෙයි"
"ඉතින් අයියේ අපෙන් මොනවද කෙරෙන්න ඕනි. තරූ වෙනුවෙන්." තිළිණි ඇසුවා. 
"මොනවත් ඕනි නෑ එදාට ඔයාල ඇවිත් අපේ නංගි වෙනුවෙන් මේකට අපිත් එක්ක සහභාගි වෙන්න. පැමිණිමයි අපේ බලා පොරොත්තුව. ඔයාල ආවම අපේ නංගි තාම ඉන්නවා කියල අපිට දැනෙයි. එයා ඉන්න කාලේ ආව ඔයාල දැන් එන්නේ නැති උනාම අපිට එයා නෑ කියන එක වැඩියෙන් දැනෙනවා"
දැන්නම් අයියාගේ ඇස් වලින් කඳුළු ගලා යයි. 
"මම ගිහින් එන්නම්"
ඔහු පොළවට බරව පාද තබමින් යන්නට ගියේය. මටත් මහා දුකක් දැනුනා. අපි කිසිම කතාවක් නැතිව යන්නට "පිටත් වුනා. අපි වැරදියි නේද චාරු" තිළිණි ඇසුවා. "ඇයි?" 
" නෑ අපි තරු මළාට පස්සේ නිකම් වත් ඒ පැත්තේ ගියේ නෑනේ"
"උඹට පිස්සුද? එහෙම යාළුවා නැතිනම් යන එක හරිද? අනික කොල්ලෙක් ඉන්න ගෙදරකට"
"අනේ මන්දා"
"ලොකූ තේ බොන්න එන්න" අම්මාගේ හඬින් මගේ කල්පනාව බිඳුනා. 
තේ බොන්න හැලප සදා තිබුනා. පසු ගිය දිනවල නම් කන්න කිසිම ආසවක් නොතිබුනත් අද නම් හැලප දැක්කම කන්න ආසාවක් ආවා. හැලප දෙකක්ම කාල තේ එක බීව මම මිදුලට ගියේ ටිකක් ඇවිදින්නයි.
කොහේදෝ සිටි ශැගියා දිව විත් ඇඟට පැන්නේ කාලෙකින් මම ඌ සුරතල් නොකල නිසා වෙන්න ඇති. උගේ හිස අතගා සුරතල් කල මම මිදුලේ කෙළවර ඇති බංකුව වෙත ගියේ නිදහසේ ටිකක් ඉන්න සිතාගෙනයි. ශැගියා නැවත ඇවිත් මගේ දෙපා ළඟින් නිදා ගත්තේ මගේ දුක බෙදා ගන්න වගෙයි.
හෙට යන්න ඕනි තිළිණි බලල එන්න. කාලෙකින් එහෙ යන්න බැරි උනා. 
ඉස්සර නම් අපි පාඩම් කරන්න සෙට් වෙන්නේ තිළිණි ලාගේ ගෙදරට. නැතිනම් සෙය් එකම අපේ ගෙදර එනවා. පාඩමට වඩා කයිවාරුවමයි. ඒත් අම්මා කවදාවත් බනින්නේ නෑ. ගොඩක්ම සද්දේ වැඩි දවසට විතරක් ළමයි ඔහොමි ගිහින් පුළුවන් වෙයිද මේ කෝස් එක හොඳට කරන්න කියල අහන්නෙත් හිනා වෙවී. ඒත් අම්මා ළඟදී නම් මා එක්ක හිනා වුන දවසක් මතකම නැති තරම්. මගේ යාළුවෝ ටිකත් ඉක්මනින්ම මගෙන් ඈත් වුනා. කට්ටයම තාම තිළිණි ලාගේ ගෙදරට නම් මාසෙකට සැරයක් විතර සෙට් වෙනවාලු. ඒත් මුල් දින වල මට එන්න කීවත් පසුව නම් කතා කලේම නෑ. ඒත් ඒ කිසිවකට උන්ට වරදක් කියන්න බෑ. දිනේශ්ට ලංවූ පසුව මමයි එයාලගෙන් ඈත් වූයේ. මට බයක් හිතුනා කවුරු හරි මගේ යාළුවෙක් දිනේශ්ට ලංවෙයි කියා. ඒ නිසා මම කලේ ඔවුන්ගෙන් ඈත් වෙන එකයි. අන්තිමේ මට උනේ විශ්වාස කල ආදර වන්තයා නැති වෙනකොට යාළුවන්ගෙන් මම විසින්ම අයින් වෙලා තිබුන එකයි. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. තිළිණ කතා කළ නිසාත්. ඒ පැත්තේ එන්න කීව නිසාත් ගිහින් කතා කරන එක හිත සැහැල්ලු කරගන්න හොඳ උපක්‍රමයක් බව මට හිතුනා. 
අහස කළු වෙලා. අකුණුත් ගහනවා. වැස්සක් අත ළඟයි. සෙමෙන් පින්නක් වැටෙන්නත් පටන් අරන්. ඒත් මට වැස්සට තෙමෙන්න ආසාවක් ඇති වුනා. මට මතක් වෙනවා මේ වගේම වැස්ස දවසක්. මම දිනේශ් එක්ක කුඩයක් නැතිව හොඳටම වැස්සට තෙමුන දවස. ඒ තරම් නම් කවදාවත්ම තෙමිලා නැතිව ඇති. ඒත් එදා ඒ වැස්ස අපිට ආසිරි පතන්න වැස්සා කියලයි මම නම් කීවේ. ඒ ආශීර්වාද දිය වෙලාම ගියේ වැස්සක් නැතිවමද?
ආයෙත් නම් එහෙම වහින්න එපා දෙයියනේ......
මීට කලින් දවසකත් මේ වගේම වැස්සකට මම කොටුඋනේ පංති යන දවස්වල. තරූ මැරිල මාස හයකට විතර පසුව දවසක ඒ සිදුවීම උනේ. ඒ දවස්වල මම දිනේශ් දන්නේ නෑ. මම වැස්ස නිසා පාරේ බස් හෝල්ට් එකේ නැවතිලා හිටියේ. එදා මම හිටියේ තනියම. යාළුවෝ කවුරුත් නෑ. මට එහා පාරේ බස් නැවතුමෙන් බස් එකට නගින්න තියෙන්නේ. ඒත් මේ තද වැස්ස එක්ක යන්න බෑ. බස් එකටත් වෙලාව හරි. බස් එක අල්ලන්න බැරි උනොත් තව පැයක් ඉන්න වෙනවා ඊළඟ බස් එකට. ඒ වෙලාවේ බස් හෝල්ට් එකේ සිටි හොඳටම බීමත් මිනිහෙක් මා දිහා අමුතු විධියට බලන්න ගත්තා. දැන් නම් මාව ගැහෙනවා. මගේ පපුව ගැහෙන සද්දේ මටම ඇහෙනවා. ඒ වෙලාවේ තමා සමින්ද අයියා පාරේ එහා පැත්තෙන් ආවේ. මාව දැකල බස් හෝල්ට් එකට ආවා. අර බීමත් මනුස්සයා දැක්කා විතරයි අයියා ඇතුලටම ඇවිත් "ඇයි නංගි අද මේ හෝල්ට් එකේ" කියා ඇසුවා.
"වැස්ස අයියා. කුඩයක් නෑ"
"ඔයාට අනික් හෝල්ට් එකට නේද යන්න ඕන. එහෙනම් මගේ කුඩේ අරන් යන්න" කියා කුඩේ දුන් අයියා බස් හෝල්ට් එකේ නැවතුනා. ඒ කුඩේ මට දෙන්න විධියක් නැතිව තාමත් මගේ ළඟ. මම කල්පනාවෙම යන්තම් වැස්සේ තෙමි තෙමී බංකුවේ කල්පනාවක....
"ලොකූ තෙමිල ලෙඩ වෙන්නද හදන්නේ. මෙහේ එනවා ළමයා ගෙට"
අම්මාගේ හඬින් සිතිවිලි ලෝකයෙන් අවදිවූ මම කාමරයට දුවගෙන ආවා..
--මීළඟ කොටසින් හමුවෙමු--

Saturday, September 10, 2011

සමුගන්නම්.....03

කියන්න තිළිණි..
චාරු මම ඔයාට කතා කලේ දිනේශ් ගැන දෙයක් කියන්න. එයා ඔයාට කෝල් කලාද චාරු?
තිළිණි ඔයා ඒක මගෙන් අහන්නේ එයා ඔයාගේ හොඳ යාළුවෙක් නේද?
ඒක ඇත්ත චාරු ඒත් ඔයා දන්නවානේ මම ඔයාගෙත් හොඳ යාළුවා කියා. එහෙම වෙලත් මම ඔය දෙන්නට උදවු කලේ නැත්තේ ඇයි කියා ඔයා දන්නවාද?
මම කොහොමද දන්නේ..
මට දැන් නම් කේන්තියක් දැනේ. මේකිට මොනවා වෙලාද? මේකි තමා මේ හැම දේම තරන්න ඇත්තේ. දැන් එනව ඇති හොඳ එකී වෙන්න.
චාරු ඇයි කෙල්ලේ කතා නැත්තේ. මම හැම දේම දන්නවා. ඒකයි මම ඔයාට කතා කලේ.
හ්ම්ම් එහෙනම් කියන්න.
ඔය දිනේශ් ගෙයි තුෂාරිගෙයි එෆෙයාර් එක දැන් මාස හයක් වෙනවා.
හෑ මොනවා!
හ්ම්ම් ඔව්. .... ඒත් මම ඕක කීවට ඔයා විශ්වාස කරන්නේ නැති බව දන්න නිසායි මම කීවේ නැත්තේ. ඔයාට ඒ දවස්වල දිනේශ් ට වඩා කවුරුත් හිටියේ නෑ නේ. මම ඕක සුමීටත් කීවා. ඔයා දන්නවානේ සුමී ඔයාට හැම වෙලේම ඔය සම්බන්ධෙට විරුද්ධ උනා කියා. ඔයා එහෙම කියනවට සුමීටත් බැන්නා නේද? ඉතින් මම ඔයාට කීවට ඔයා පිළිගන්නේ නැතිවෙයි කියලයි මම හිතුවේ. දැන්න නම් මට හිතෙනවා මමත් මේක දැනගෙන නොකියා හිටිය එක වැරැද්දක් කියල. බැරිම තැනයි මම ඔයාට මේ කතා කරන්න හිත හදා ගත්තේ. ඒත් මම දන්නවා මම පරක්කු වැඩියි කියල. අනික ඔය දිනේශ් කෙල්ලෙක්ට ඔහොම කළ පළවෙනි වතාවත් නෙවේනේ. එයා කලින් එෆෙයාර් ගැන ඔයාට කියල තියනවද?
ම්හු නෑ. එයා කීවේ මම තමා එයාගේ පළවෙනි ගර්ල් කියල...
නෑ..... මොනවා........!
ඔව් ඇයි මම ඔයාට බොරු කියන්නේ...
හ්ම්ම් වෙන්න ඇති. එයාට ඔයාට කලින් මම දන් විධියට කෙල්ලෝ තුන් දෙනෙක් හිටියා. නෙදැන කීයක් හිටියද දන්නේ නෑ.
අනේ ඇයි තිළිණි කොල්ලෝ එහෙම කරන්නේ...?
අනේ මම දන්නේ නෑ චාරු. ඒත් ඔයා බලන්න මගේ ශානක. එයා කවදාවත් වෙන කෙල්ලෙක් දිහා බලන්නේවත් නෑ. එහෙම කොල්ලොත් ඉන්නවා. හැබැයි හොයන්න තමා අමාරු...... මේ ඒක නෙවේ මට තේරෙනවා ඔයා ඉන්න තත්වය. මටත් ඔය දේ කලින් උනානේ. මම දන්නවා විඳින්න තියන අමාරුව. ඔයා හෙට මොනවද කරන්නේ?
මොනවත් නෑ ගෙදර පොත් ටිකක් තියනවා. ඒවා කියවනවා.
උඹට කරදරයක් නැතිනම් මායි සුමීයි හෙට එන්නම් උඹ බලන්න.
අනේ වරෙන් තිළිණි. ඒක නම් ලොකු දෙයක්. මට තනිකම ගෙවා ගන්න බැරිව ඉන්නේ. 
මගේ ඇස් නැවත තෙත් වන්නට විය. මම හිතා සිටි බොහෝ දේ වැරදිය. තිළිණි හා සුමී මගේ හොඳ යාළුවන්ය. ඒත් මම හිතුවේ ඔවුන් දිනේශ් හැන්ඩ්සම් නිසා ඉරිසියාවට මට විරුද්ධ වෙනවා කියාය. අනේ ඒ දවස්වලම මම මෙයාල කීව දේ ඇහුවනම් අද මට අඬන්න වෙන්නේ නෑ නේද? මට දැන් නම් ඉකි ගැසෙන්නේ දිනේශ් ගැන නොවේ. මේ වගේ චපල හිතක් ඇති මිනිහෙක් පණ වගේ විශ්වාස කළ මං මොන තරම් මෝඩියක්ද කියායි. 
චාරු උඹ අඬනවා නේද? අඬන්න එපා කෙල්ලේ. මේ තමා ඇත්ත. හමුවීමක් එක්ක වෙන් වීමක් තියනවා. ඒක සමහර විට සතියකින් දෙකකින් මාසෙකින් දෙකකින් වෙන්න පුළුවන්. සමහර විට මැරුනම වෙන්න පුළුවන්. සමහර විට නිවන් දකින කම් ආත්මයක් පාසා එකට ඉන්න පුළුවන්. ඒත් එදාට හරි වෙන් වෙනවා. උඹ ඔය තරමින් බේරුනා කියා සතුටු වෙයන්. අඩන්න එපා චාරු අපි ඔයා එක් ඉන්නවා. හැමදාටම.
මං තියන්නම් චාරු ටිකක් නිදා ගනින්...
හොඳයි තිළිණි. තැන්ක්ස් අනේ කෝල් කළාට..
තිළිණ කී දේ ඇත්තය. ශානක දිනේශ් එක්ක ගත්තම කොල්ලෙක්ද කියා මට ඒ දවස්වල හිතුනා. ඒත් ශානක තිළිණිට පණ මෙන් ආදරේ කරයි. තිළිණි ඇත්තටම ඉන්නේ ලොකු සතුටකින්. ඇත්තටම ඇත්ත ආදරේ තියෙන්නේ හිත් ඇතුලේ නේද? මම රැවටුනේ පිට ඔපයට නේද? පිටින් ලස්සන කොල්ලෝ කෙල්ලෝ හිතින් ඇත්තටම ලස්සනද? 
මගේ සිතිවිලි වලට කිසි පිළිවෙලක් නැත. මතකයන් ඇවිස්සෙන්නේ එක එක තැන් වලින්. ඒත් ඒ හැම දෙයක් තුලම ඇත්තේ කළකිරීම පමණකි. ඇත්තටම දිනේශ් මාස පහක් තිස්සේ දෙන්නෙක්ට ආදරේ කරල. කොහොමද එහෙම කරන්නේ? මට මෙච්චර මාව රවටලත් තාම දිනේශ් හිතෙන් අයින් කරන්න බැරි හැටියක්. මට හිතෙන්නෙම එයා ආයේ එයි කියලමයි. සමහර විට එයා මා එක්ක යාළු වෙන්න ඇත්තේ තව කෙනෙක් එකක් යාළු වෙලා ඉන්න අතරම වෙන්න ඇති. ඔව් එහෙම වෙන්න ඇති. එක තමා මුල් කාලේ එයාගේ ෆෝන් එක බිසී උනේ. මම කෝල් කරන ගොඩක් වෙලාවට ෆෝන් බිසී උනේ ඒකයි. ඒත් එයාගේ ජොබ් එක් එක්ක මම හිතුවේ එයා කීවා වගේම ඔෆිස් එකෙන්, නැතිනම් කස්ටමර් කෙනෙක් කොල් කරනවා කියලනේ. පස්සෙ නම් ගන්න ඕන වෙලාවක ආන්සර් කළා. අන්තිම කාලේ ආයෙම බිසී උනේ තුෂාරි එක්ක කතා කරනවා ඇති. මට මගේ තැන ආක්‍රමණය කළ කෙල්ල ගැන පළමු වතාවට කේන්තියක් වෙනුවට දුකක් ඇති උනා. අනේ තුෂාරි මට ඔයාට කතා කරන්න ඕනි. ඒත් මම ඔයා කවුද කොයි වගේද? මොකක්ද කන්ටැක්ට් නම්බර්? ඔයාව මම කොහොම හරි ඔතනින් ගන්නවා. නැතිනම් ඔයාටත් වෙන්නේ මට උන දේම වෙන්න පුළුවන්. සමහර විට තිළිණි විස්තර දන්නවා ඇති. හෙට ආවම එයාලගෙන් අහන්න ඕනි. මම වගේ අවුරුද්දක්ම ආදරේ කලොත් එයාට දැනෙන දුක වැඩි වෙයි. මාස හයක් නිසා තවත් කල් යන් දෙන්න හොඳනෑ. ඒත් එයා මම කියන දෙයක් විශ්වාස කරන එකක් නෑ. එයා හිතයි මම එයාගෙන් දිනේශ් උදුරගන්න එහෙම කියනවා කියා. සාක්ශි නැතිව එහෙම කීවාට පලක් නෑ. මට  මගේ ෆොටෝ ඇල්බම් එකේ දිනේශ්ගෙයි මගෙයි ෆොටෝ තියන නිසා නොබලාම පුච්චන්න හිතා හිටියත් ‍මෙයින් තවත් කෙනෙක් ගලවා ගන්න පුළුවන් නම්...
මම ඇල්බම් එක සීරුවෙන් පෙරලන්නට වීමි.
ක්ලාස් එකේ කෙල්ලෝ එක්ක ගත්ත පින්තූර රැසක්ම මුලින් තිබුනා. ඇත්තටම ඒ කාලේ කොච්චර ලස්සනද? ආදරයක් ගැන හිතේ හාංකවිස්සියක් නොතිබුනු කාලේ. ක්ලාස් ඉවර වෙලා කෙල්ලෝ ටික අයිස් ක්‍රීම් කන්න ගිය ෆොටෝ. කොල්ලෝ වගේ කවුරුත් නැති දවසක අඹ ගහකට ගල් ගසා අඹ කඩන් කෑ දවස. සුමීගේ ෆෝන් එකෙන් ගත්ත ඒ ෆොටෝ එක අම්මා දැක්කම කීවේ ලොකු කොල්ලෙක් වගේනේ අඹ ගහට ගල් ගහන්නේ. ගෑණු ළමයෙක් කරන වැඩද මේ කියා. ඒත් ඒ වෙලාවේ අම්මාගේ හිතේ තිබුනේ ලොකු ආදරයක් විතරයි. අම්මා මා එක්ක තිබුන බැඳීම අඩු උනේ දිනේශ් එක්ක යාළු උනාට පස්සේ. කොච්චර නම් අම්මා එපා කියන්න ඇතිද? ඒත් මම නෙවේ කියන කිසි දෙයක් සතේකට මායිම් කලේ. ඒ කියා අම්මා බනින එක ටිකක් වත් අඩු කලේ නෑ. 
ඔච්චර විශ්වාස නම් එන්න කියනවා දෙමාපියන් එක් මෙහේ. දවසක් අම්මයි අප්පච්චියි කීවත් දිනේශ් කිසිදා අපේ ගෙදර එන්නට සිතුවේ නැත. ඒ සෑම අවස්ථාවකම කීවේ ඇයි නැත්තේ "මම එන්න මග බලන් ඉන්නේ. කොහේද අම්මිට පුළුවන් දවසක තාත්තට බෑ. එයාට පුළුවන් දවසට අම්මිට බෑ. ඉක්මනට දෙන්නත් එක්කම එන්නම් කෙල්ලේ. ඔයා බය වෙන්න එපා. මම අනිවාර්යයෙන් එනවා. ඒත් අම්මියි තාත්තයි නැතිව පළවෙනි පාර එන එක හරි මදිනේ." මට ඒ වදන් ඇත්තම ඇත්ත විය. ඔහු කොතරම් කපටියෙක්ද? අහිංසක මගේ හිත කොතරම් මේ ආකාරයට රවටන්න ඇතිද? අම්මිට පෙන්නන්න කියා මගේ ෆොටෝ එකක් අරන් ගියා. පසුදා එය ගෙනත් දී කිවේ "අම්මා කීවා කොහෙන්ද මේ කුමාරිකාව හොයාගත්තේ. මගේ පුතා වාසනාවන්තයා" ඕවා අමූලික බොරු වෙන් ඇති. ඕනිනම් යාළුවන්ට පෙන්වලා කොහොමද මගේ වැඩ කියන්න ඇති. මම අපි දෙන්නගේ ෆොටෝ එක යාළුවන්ට පෙන්වලා ආඩමිබරෙන් කලා කළා වගේ. ඒත් අද.......
නැවත හෙමින් පිටු පෙරලන්නට ගතිමි. මගේ මතකයෙන් ඈතටම ගිය සමහර කෙල්ලෝ .. අනේ මං මේ බොරු කාරයෙක් හින්දා උඹලා හැම දෙනාම අමතක කලා නේද? උඹලා මට සමාව දෙනවද? උඹලා තමා ඒ දවස්වල මට තිබුන ලොකුම සම්පත්. ඒත් අම්මා අප්පච්චි කවදාවත් උඹලා එක් ඉන්නවාට වචනයකින් විරුද්ධ වෙලා නෑ. උඹලා අපේ ගෙදර ආ නිසා ඒ දෙන්නා හොඳටම දන්නවා උඹලා හොඳ කෙල්ලෝ කියා. අම්මලා කැමති උනේ නැත්තේ වරුණි එක්ක ආශ්‍රයට විතරයි. කොහොමත් එයා වැඩි කාලයක් අපිත් එක්ක හිටියෙත් නෑනේ. 
ක්ලාස් එකේ අන්තිම දවසේ පාටියේ ෆොටෝ ටික තාමත් එලෙසම තියනවා. එදා තරම් සන්තෝස වෙච්ච දවසක් මට මතක නැතිව ඇති. දිනේශ් හමු වූ පසු මම සතුටින් කීවාට හිතේ යට මොකක්දෝ බයක් තිබුනා. මෙයා කවදා හරි මාව දාල යයිද? අනික මම නේ ඉස්සර උනේ. මුලින් එයා ට්‍රයි කලේ වරුණිට. ඒත් මේ වගේ හැන්ඩි කොල්ලෙක් අතාහරින්නේ කොහොමද? මගේ මෝඩ හිත ඉස්සර උනා වැඩියි. අපි කොච්චර ඉගෙන ගත්තත් සමාජය ආශ්‍රය කලත් ආදරේ එක්ක කෙල්ලෝ මොඩයි කියා කොල්ලෝ කියන්නේ මේ නිසා වෙන්න ඇති. නැති නම් අපිට හිතුන කොල්ලා කොහොම හරි අයිති කරගන්න හදන්නේ? එදා පාටිය දවසේ නම් මම මේ දිනේශ් හමුවුනාට පසුව සතුටු උනාට වඩා සතුටු උනා කීවේ එදා අපි සමුගන්නා දවස උනත් හිතේ දුකක් මිස බරක් නොතිබුන නිසා. ඒත් දිනේශ් ඔයා මගේ අසරණ හිතට හැමදාම බරක් උනා. මගේ ගැන හිතේ නොතිබුන ඔයාට මම ආදරේ කරන් උත්සාහ කළ එක වරදක් වෙන්න ඇති. ඒත් දෙය්යනේ ඇයි ඔයා මට කැමති නැතිනම් ඒක නොකියා මෙච්චර කාලයක් ලංවෙලා හිටියේ........
හ්ම්ම්ම්
අන්තිමමේ එක පින්තූරයක් ලඟ මම නැවතුනා....
--මීළඟ කොටසින් හමුවෙමු--

Tuesday, September 6, 2011

සමුගන්නම්.....02

මොකද මේ ඇස් රතු වෙලා..
අම්මාගෙන් ඇස් දෙක සඟවාගන්න මම ගත් සියලු උත්සාහයන් සාර්ථක උනේ නෑ. දැන් මොකක්ද අම්මට කියන්නේ? මම නැවතත් කල්පනාවට වැටුනා. 
මොකද ළමයෝ? ඇයි මේ?
මුකුත් නෑ අම්මා. ඊයේ රෑ නින්ද ගියේ නෑ. ඔලුව කකියනවා වගේ.
එහෙනම් ගිහින් බෙහෙතක් ගමු. 
ඕන වෙන එකක් නෑ අම්මා ටිකක් නිදා ගත්තනම් හරියයි. 
මට ඕනිම ආපසු ඇඳට යන්නයි. දැන් අම්මාගෙන් ගැලවෙන්න අමාරුයි. තේ එකත් අතේ තියන් මම කල්පනා කරන්න උනා. 
එහෙනම් තේ එක බීල ගිහින් ටිකක් නිදා ගන්නවා. පැනඩෝල් පෙති දෙකකුත් බීලම නිදා ගන්න.
ලෙඩක් නැතත් පැනඩෝල් බීවට කමක් නෑනේ. සිතින් සිතාගත් මම අම්මට පේන්නම බෙහෙත් පෙති දෙක ගිල දමා නැවතත් කාමරයට ඇදුනා. දැන් නම් හයියෙන්ම අඬන්න හිතුනත් අම්මාට ඇහෙන නිසා කොට්ටේ මූණ ඔබාගෙන කල්පනාවට වැටුනා. 
ආයෙත් කෝල එකක් අරන් බලමු. සමහර විට ෆෝන් එක ඕන් කරල තියෙන්න පුළුවන්. මට එහෙම හිතුනත් නෑ ඕන නෑ. ඔයාට එපානම් මටත් එපා. එහෙත් මගේ හිත මට වලංගු නෑ. නොදැනීම වගේ ෆෝන් එක ඩයල් උනා. ෆෝන් බුක් එකේ නම ඇතත් ඔය නම්බර් එක මට ඇස් පායාගෙන ඩයල් කරන්න පුළුවන්. 
ඔබ ඇමතූ ජංගම දුරකථනය තාවකාලිකව විසන්ධිකර ඇත...Number you dial temporary out of......
අපොයි එහෙනම් මෙයා මගෙන් ගැලවෙන්නම වෙන්න ඕනි ෆෝන් එක ඩිස්කනෙක්ට් කරන්න ඇත්තේ. ඇයි දෙයියනේ මොක්කද මම කල වරද මෙහෙම මාව අමතක කරන්න. ඔයාටම ටික දවසකින් තේරෙයි මම ඔයාට කොච්චර ආදරේද කියා. එදාට ඔයා ආයෙම එයි මගේ ළඟට. මට එහෙම හිතුනත් ඇත්තටම ඔයා එයිද? එන එකක් නෑ. මට සිතාගන්න බැරිව ඇඬෙන්නම එනවා. ඒත් කොහොම අඬන්නද? අම්මාට ඇහෙනවානේ. එයාට දෙන්න මගේ ළඟ උත්තරයක් නෑ.
මං ඔයාට ආදරේ කළාට ඔයා මට ආදරේ කරන්න නැතිව ඇති. නැතිනම් ඔයා කොහොමද මෙහෙම හෑඟීම් නැති කෙනෙක් වගේ මාව දාල යන්නේ. සෑම දේම දරාගන්න පුළුවන්. ඒත් ඔයා මෙහෙම කරන්න හේතුව තමා මට හිතා ගන්නම බැරි. කොහොම උනත් තව ටිකක් මේ ගැන හොයන්න ඕනි. 
ඔය සිතිවිලි අතරින් මට නින්ද යන්න ඇති. ඒත් හදිසියේම ෆෝන් එක වදිනවා.
තිලිනිගේ නම්බර් එක ආන්සර් කරනවාද නැද්ද?
මෙකී මොනවද කියන්න යන්නේ. නෑ ඕනි නෑ මං ආන්සර් කරන්නේ නෑ. යාළුවාව හොඳ බබා කරන්න ඔය හදනවා ඇත්තේ. අම්මාට ඇසුනොත් ඒ නිසා ෆෝන් එක මියුට් කල මම නැවත ඇඳේ හාන්සි උනා.
නින්දෙන් ඇහැරුනේ අම්මා රේඩියෝව දාල තියන සද්දෙට. මොන සිංදුවක් ගියත් ඒවායේ කිසිම ගත යුත්තක් නෑ නේද කියා මට හිතුනා.

පියඹා යනවා මා ආකාශයේ
අවසානයී ප්‍රේමාදරේ
ගිරවෝ කොවුලෝ 
මිදුනා මා ආදරෙන්....
ක්ලැරන්ස් ගේ සිංදුව මගේ සිතට කිසියම් සහනයක් ගේනවා වගේ. ඒත් ආදරයකින් එහෙම ලේසියෙන් මිදෙන්න පුළුවන්ද? කවි කාරයින්ට එහෙම ඇති. ඒත් අපිට. නෑ බැරි නැතිව ඇති. මේ කවි සිංදු ලියන්නේ අපි වගේම මිනිස්සු නේද? එයාලත් මං වගේම හිතේ දුක නැති කරගන්න මේවා ලියන්න ඇති. කාමරේටම වෙලා ඉන්නවාට වඩා හොඳයි ටවුන් එකට ගිහින් පත්තරයක් අරන් ඇවිත් කියවනවා. මොනවා හරි රස්සාවක් හොයාගත්තනම් වැඩත් එක්ක හිතට සහනයක් එයි. පත්තරේ අරන් ඇවිත් වේකන්සි තියනවානම් ඇප්ලයි කරනවා.
වෙනදා මෙන් නොව ඉක්මනින්ම ඇඳගත් මම කණ්නාඩිය ඉදිරියේ වෙනදා ගත කරන වෙලාවෙන් කාලක් වත් ඉන්න නැතිව කාමරෙන් එලියට ආවා.
අම්මේ මම ටවුන් එකට ගිහින් පත්තර අරන් එන්නම්...
ඔයාට පිස්සුද ළමයෝ. දැන් ඔලුව රිදෙනවා කීවානේද?
බේත් බීල පැයක් විතර නින්ද ගියානේ. දැන් හරි.
හ්ම්ම්ම් ... පරෙස්සමෙන්..
වෙනදාට මම බස් එකේ යන්නේ මොන තරම් බලා පොරොත්තු එක්කද? ඔයා එක්ක ඇවිදින්න. අයිසික්‍රීම් කන්න. හිනාවෙන්න. ඒත් අද ඒ සියලු පැතුම් පත්තරයක් ගන්න එකට සීමා වෙලා. සමහරි වට මට පිස්සු කියා මට හිතුනා. නැතිනම් අප්පච්චිට කෝල් එකක් දාල එනකොට පත්තරේ ගෙන්න ගන්නත් පුළුවන්. ඒත් ඒක අම්මත් දන්නවා. අම්මාට තේරෙන්න ඇති මම ඉන්නේ ප්‍රශ්නෙක කියා. ඒකයි යන්න දුන්නේ. නැතිනම් අම්මා වෙනදා ඕන නම් අප්පච්චිට කියා ගෙන්න ගන්න කියනවානේ. 
වෙනදාට බස් එක ටවුමට එන්න කොච්චර වෙලා යනවද? ඒත් අද ඉක්මනින්ම ඇවිත් වගේ. ඒත් මට ඕනි වෙලාව යවන්න. පත්තර අරන් යාළුවෙක්ගේ ගෙදර යන්න හිතුවත් ආයෙම ඔලුව රිදෙන්න ගත් නිසා ගෙදර එන්න පිටත් උනා. ගෙදර ආව ගමන් නාන කාමරයට වැදී ඇතිවෙන්න නාගත්තා. හිතේ ඇති හැම දේම ඇඟේ බැඳෙන කුණු මෙන් මේ වතුරෙන් දිය කර හරින්න පුළුවන්නම්. 
ළමයෝ දැන් වෙලාව කීයද දවල්ට කන්නේ නැද්ද?
කීයද අම්මා වෙලාව.
හතරයි.
මම හැමදාමත් දෙකට කලින් කන කෙනා උනත් අද මෙච්චර වෙලාවක් බඩගින්නෙ හිටියේ කොහොමද කියන එක මටම හිතා ගන්න බෑ. කන්න ආසාවක් නැතත් අම්මාට පේන්න බත් ටිකක් කා ඉක්මනින්ම කාමරයට වැදුනා. ෆෝන් එක බැලුවම තිලිණිගෙන් මිස් කෝල් දහයයි. අන්තිමට මැසේජ් එකකුත් එවලා. 
ඉක්මනින් කෝල් කරන්න.
මොන වදයක්ද? ඕනි නම් කෝල් කරපු දෙන්. ෆෝන් එක අන්මියුට් කල මම නැවත පත්තරේ කියවන්න ගත්තා.
නැවතත් ෆෝන් එක වදිනවා. ආයෙම තිළිනි.
ඕන එකක් ආන්සර් කරනවා.
හෙලෝ....
අනේ අනේ චාරු. ඔයා කොහේද හිටියේ. මම උදේ ඉඳන් ඔයාව හොයනවා අනේ...
--මීළඟ කොටසින් හමුවෙමු--

Sunday, September 4, 2011

සමුගන්නම්.....


කලින් දවසේ රෑ ඇද හැලෙන්න ගත්ත වැස්ස තාම නැවතී නැති හැඩයි. කැඩුන වැහි පීල්ලකින් වතුර වැටෙනා ශබ්දය ඇසෙන විටත් උපදින්නේ මහ කම්මැලි කියාගන්න බැරි දුකක් වැනි සිතිවිල්ලක්. මම කොට්ටය ලඟින්ම ඇති ෆෝන් එක දෙස ආයෙම බැලුවා. අලුතින් මිස් කෝල් එකක් SMS එකක් නැති බව බලන්නත් හිත දෙන්නේම නෑ. නිකමට වගේ ෆෝන් එකේ වෙලාව බැලුවා 
හ්ම්ම්ම් 8.30ත් වෙලා. හොඳටම නින්ද ගියේ රෑ නින්දක් නොගියනනිසාම වෙන්න ඇති. රෑ පුරාම ඇඳේ පෙරලෙමින් සිටියා මිස නින්ද ගියේම නෑ වගේ. පාන්දර 4 ටත් වෙලාව බැලුවා මට හොඳටම මතකයි. මීට අවුරුද්දකට කලින් අතීතයට මම නොදැනීම ඇදී ගියා. ඒ දවස්වල මම හිටියේ පාවෙන පුළුන් රොදක් වගේ. හිතට කිසිම සිතිවිල්ලක් නැතිව ආයෙම එහෙම ඉන්න ඇතිනම්. ඒ දවස්වල රෑ නවය වෙනකොට ඕෆ් කර මේසය උඩින් තියන ෆෝන් එක ආයේ ඕන කරන්නේ පසුදින උදේ. සමහර දවස්වල ගෙදරින් යන්නේ නැතිනම් ඕන් කරන්නේම නෑ. සමහර විට යාළුවෝ ගෙදරට කෝල් කරල මොකද බන් ෆෝන් ඕෆ් කරන් ඉන්නේ මම දැන් කීයේ ඉඳන්ද උඹට ගන්නේ කීවම තමා මතක් වෙන්නේ ෆෝන් එක ඕන කරන්න අමතක වෙලා කියා.

ඒත් සියල්ල වෙනස් උනේ ඔයා මගේ ජීවිතේට ඇතුල් උනාට පස්සෙයි. වෙනදා රෑ නවයට ඕෆ් වෙන ෆෝන් එක පසුගිය අවුරුද්ද පුරාම රෑ දවල් නැතිව ඕන එකේමයි තිබුනේ. රෑ මැදත් ඔයා එවන SMS කියෙව්වේ හරිම සතුටින්. කොතරම් නිදි මතේ සිටියත් මහරෑ ඔයා කෝල් කලත් මම ආන්සර් කරන්න නැගිටින්නේ කිසිම ලෝබ කමක් නැතිවයි. කෝල් එක ඉවර උනත් ෆෝන් එක තවත් විනාඩි පහක්වත් කනේ තියන් ඉන්නේ ඔයා ඇත්තටම තියලද දන්නේ නැති නිසා. මම දන්නවා ඔයා ඒ දවස්වල සද්ද නැතිව විනාඩි පහක් විතර ඉඳලත් හලෝ... ඔයා නිදිද කියා අහනවා කියා......
එහෙත් පහුගිය මාස දෙක පුරාම ටිකෙන් ටික ඔයා කතා කරන එක, SMS එවන එක අඩු වෙන්න ගත්තම මගේ හිත ටිකෙන් ටික අඬන්න ගත්ත බව ඔයා දන්නේ නැතුව ඇති. සමහර විට දන්නවත් ඇති. ඒත් නොදන්නවා වගේ ඉන්නවා ඇති.
දැන් සතියක ඉඳන් තමා ඔයා මට කතා කරන්නෙම නැත්තේ. හැමදාම පුරුද්දට උදේම SMS ඇවිත් ඇතිද බැලුවත් දැන්නම් හිත දන්නවා ඔයාගෙන් ආයේ මැසේජ් එන්නේ නෑ කියා. ඒත් මගේ අසරණ හිතට මම ඒක කොහොමද තේරුම් කරන්නේ.
මම හිතන්නේ ඔයාගේ ෆෝන් එක හැම විටම ඕෆ් කරන් ඉන්නේ මම කතා කරන නිසා වෙන්න ඇති. ඔයා දවසකට සැරයක් වත් ඕක ඔන් කරල බලන්නේ නැතිද? එහෙම නැතිනම් පසුගිය දවස් පුරාම මම එවූ මැසේජ් කියවන්නේ නැතිවම මකල දැම්මද?
ආයම හිත ඒ දවස් වලට ඇදී යනවා. අපි වැස්ස දවසේ පොඩි කුඩයක් යටින් වැස්සෙන් බේරෙන්න දඟලපු හැටි මෙච්චර ඉක්මනට කොහොමද අමතක කලේ. එදත් අද වගේම වැස්ස දවසක් නේද? මතකද අපි මොඩයෝ වගේ වැස්ස දවසක අයිස්ක්‍රීම් කෑවා. අන්තිමට උණ හෙම්බිරිස්සාව හැදිල සතියක්ම ඇඳේ ඉන්නත් උනානේ. ඒත් හැම වෙලේම කතා කල නිසා කිසිම පාළුවක් තිබුනේ නෑ. පණ්ඩිත කමට බේත් කීව හැටි....
එක් වරම ඇසුනු අකුණු හඬින් සිතිවිලි ලොකය මොහොතකට බිඳ වැටුනා. වැස්ස ආයෙම වැඩි වෙන්න වගේ. ජනේලයේ බීරලු අතරින් කාමරේට එන හිරිකඩ ඇඟේ වදින්නේ නැතත් සීතලෙන් වෙව්ලනවා. රස්නෙට කෝපි එකක් බීවනම් හරි. ඒත් නැගිටින්න හිත දෙන්නේම නෑ. ඇස් යටින් කඳුළු ඇවිත් කියා මම දන්නවා. ඒත් පිස දාන්න හිතෙන්නේ නෑ. පිස දැම්මත් ආයෙම එයි.
වෙලාව නවයත් වෙලා. මම කවදාවත් මෙච්චර වෙලා ඇඳේ ඉන්නේ නෑ. දැන් නම් නැගිටලා කුස්සියට යන්න වෙලාව හරි. ඒත් ඇස් දෙක අම්මාගෙන් හංගා ගන්නේ කොහොමද? වෙන මොනව හරි හිතන්න ඕනි......
ඒත් හිතට ඔයා හැර වෙන කිසිවක් එන්නේම නැද්ද? 
ඒ ගමන නම් වැස්ස ටිකක් අඩු වෙන බවක් පේනවා. සුළඟත් අඩු නිසාද කොහේද ටිකක් නිහඬ බවක් පරිසරයේ ඇති වෙලා. ඒත් හිතේ නම් කිසිම නිහඬ පවක් නෑ. තේරුම් ගන්න බැරි සිතිවිලි රැසක් එකක් පරයමින් අනික නැගිටන්න හදනවා වගේ. මට ඒ දවස්වල යාළුවෝ කී දේවල් ආයෙම මතක් වෙනවා. මම ටිකක් වත් ඒ ගැන සිතුවානම්. මම ඒ දවස්වල හිතුවේ ඔයා මිස වෙන කවුරුත් මගේ ලෝකේ නෑ කියා. යාළුවෝ දැක්කේ ඉරිසියා කාරයින් ටිකක් කියලයි. ඒත් දැන් නම් මට එයාලට මහුණ දිල කතා කරන්නත් බෑ වගේ. ඒත් මම දන්නවා එයාල කවදාවත් මාව අත් හරින්නේ නැති බව. 
දැන් නම් අවුවක් වැටිලා වෙන්න ඕනි. ජනේලයෙන් කාමරයට එළිය හොඳට වැටෙන්නේ. වෙනදා නම් වැහැල අවුව පායන විට මම හරිම ආසයි මිදුලට ගිහින් ඒ දිහා බලන් ඉන්න. ඒත් මට දැන් නම් හිතෙන්නේ ආයෙම තදින් වහිනවානම් හොඳයි කියා. එහෙම නම් කාමරේට වෙලා ඇඳේම ගුලි වෙලා ඉන්න තිබුනා. ඒත් මට හිතෙන කිසිම දෙයක් වෙන්නේ නැත්තේ ඇයිද මන්දා. මම පායයි කියා ඉන්න දවසට වහිනවා. වැස්සොත් හොඳයි කියා හිතෙන දවසට පායනවා. බස් එකේ යන්න ගියොත් බස් එක නෑ. මම නම් ගෙවන්නේ ලොකු පවක් වෙන්න ඇති කියා මට දැන් හිතෙන වාර අනන්තයි.
නැවතත් මම ෆෝන් එකේ වෙලාව බැලුවේ වෙලාව බලන්න ඕනි නිසාම නොවේ. මට නොදැනීම මිස් කෝල් එකක් තිබුනොත්. නැතිනම් මැසේජ් එකක්. ඒත් ස්ක්‍රීන් එක නිහඬයි. ෆෝන් එක පොලවේ ගසා අඩන්න තරමි හිතයි. ඒත් අම්මලා අහන ප්‍රශ්න වලට මොකක්ද මම ඊට පස්සේ දෙන උත්තරේ.
වෙලාව නවයයි තිහත් වෙලා. ඉස්සර නම් මම නවයයි තිහ වෙනකොට හරියටම බස් එකේ. ඒ දවස්වල පාරේ යනකොට ගස්වල ලස්සනට මල් පිපිලා තිබුනා. තාම ඒවා තියනවාද දන්නේනෑ. දැන් මාසයක් දෙකක් සිට මට ඒවා කිසිවත් තිබුන බවක් මතක නෑ. ඇවිද්දේ යන්ත්‍රයක් වගේ. දැන් නම් ඇවිද්න්න කකුල් පණ නෑ කියල හිතෙන්නේ. මට ආයේ කවදාවත් ඇඳෙන් නැගිටින්න බැරි වෙයි කියා හිතෙනවා. කිසිම අසනීපයක් නැතිව ඇයි එහෙම හිතෙන්නේ..
ලොකූ...
නැගිටින්නේ නැද්ද ළමයා අද?
දැන් කීයල වෙලාව...
අම්මාගේ හඬින් මගේ සිතිවිලි ලෝකය බිඳුනා.
ඉක්මනට ඇස් දෙක පිසගෙන කුස්සියට යන්න ඕනි. කාමරේට එන්න කලින්...
---මීළඟ කොටසින් හමුවෙමු--

Wednesday, August 31, 2011

Computer Hardware පාඩම 08 .... (Hard disk drive-02)

හාඩ් ඩිස්ක් පිළිබඳ පාඩම තවත් ඉදිරියට ලියන්න සිතුනා. එයට ලැබුන කමෙන්ට් වලින් මට හිතුනා තව ටිකක් ඉදිරියට ලියන්න. 
හාඩ් ඩිස්ක් එකක ධාරිතාව (Hard disk capacity)
හාඩ් ඩිස්ක් එකක ධාරිතාවය පෙන්වන්නේ බයිට් (Byte) නමැති ඒකකයෙනි. 
1024byte = 1 KB (kilo byte)
1024 KB = 1 MB (Mega byte)
1024 MB = 1 GB (giga byte)
1024 GB = 1 TB (tera byte)
මේ අනුව හාඩ් ඩිස්ක් එකක ධාරිතාව මැනීමට බයිට් නමැති ඒකකය වුවද දැන් කිලෝ බයිට් මෙගා බයිට් වලින් හාඩ් ඩිස්ක් නොමැත. දැනට භාවිතයේ ඇති හාඩ් ඩිස්ක් එකක අවම ධාරිතාව 80GB පමණ වේ. එනම් දැනට නිශ්පාදනය කරන කුඩාම ධාරිතාව ඇති හාඩ් ඩිසක් එක මෙයයි. දැනට ඇති උපරිම ධාරිතාව 3TB වේ. එනම් දල වශයෙන් 3000GB පමණය.

භ්‍රමණ වේගය RPM (Revolution per minute) 
ඇතැම් අය මෙය  rotation per minute ලෙසද හඳුන්වයි. මෙයින් කියවෙන්නේ මෙහි ඩිස්ක් එක විනාඩියකට කැරරවෙන වාර ගණනයි. මෙය වැඩිවත්ම දත්ත කියවීමේ වේගයද වැඩිවේ. ඒ R/W head (කියවන හිස) එක පසුකරන වාර ගණන වැඩි වන නිසාය. දැනට භාවිතයේ ඇති ඩිස්ක් වල මෙම වේගය 7200ක් වේ. මීට ටික කලකට පෙර පැවති ඒවා භ්‍රමණය වූයේ විනාඩියට වට 5400ක පමණ වේගයකිනි. එහෙත් සර්වර් සඳහා භාවිතා වන SAS හාඩ් ඩිස්ක් වල මෙම වේගය 10,000 RPM හෝ 15,000 RPM පමණ වේ.

Disk Cache (Disk buffer)
මෙය කුඩා ප්‍රමාණයක මෙමරියකි. වර්ථමානයේ ඩිස්ක් වල භාවිතා වන්නේ 8MB-64MB අතර ප්‍රමාණයක් භාවිතා කරයි. මෙය ඩිස්ක් එක (තැටිය) හා Mother board එක අතර දත්ත හුවමාරුවට සම්බන්ධ වේ. 
සාමාන්‍යෙයන් ඩිස්ක් එකේ ඇති දත්ත කියවන්නේ වටයක් පැමිණ එම ස්ථානයට එන විටයි. එසේ වන විට යම් කාලයක් මෙහෙයුම් පද්ධතියට බලා සිටීමට සිදුවේ. එහෙත් ඩිස්ක් කෑශ් වල එම දත්ත අවශ්‍ය විට ලබා දීමට තාවකාලිකව පවත්වා ගනියි.
තැටි වලින් කියවන වේගය හා මෙහෙයුම් පද්ධතියට ඒවා අවශ්‍ය වන වේගය අතර පරතරය නිසි ලෙස කරමනාකරණය කරන්නේ මෙම මෙමරිය.

දත්ත හුවමාරු වේගය (Transfer Rate)
ඇත්තටම මෙහි වේග දෙකක් ඇත. එනම් ඩිස්ක් (hard disk platter) වල සිට Disk buffer එකට දත්ත හුවමාරු වන වේගය හා Disk buffer වල සිට Host එකට (Mother board එකේ) දත්ත හුවමාරු වන වේගයයි. නමුත් බොහෝ අවස්ථා වල Transfer rate එක ලෙස පෙන්වා දෙන්නේ Disk buffer වල සිට Host එකට දත්ත හුවමාරු වන වේගයයි.
ATA (PATA) ඩිස්ක් එකක  platter එකේ  සිට Disk buffer එකට දත්ත හුවමාරු වන වේගය 126 MB/s පමණ උපරිම අගයක් ගනී. ඒවායේ Disk buffer එකේ සිට Host එකට දත්ත හුවමාරු වන වේගය 100MB/s පමණය.

SATA ඩිස්ක් එකක Disk buffer එකේ සිට Host එකට දත්ත හුවමාරු වන වේගය 3Gb/s පමණ සිට 6Gb/s දක්වා භාවිතයේ පවතී.

SSD (Solid State Disk)
මොනවද මේ කියන්නේ. මේවායේ ක්‍රියා කාරිත්වය කලින් අප සඳහන් කළ සියලු ඩිස්ක් වලට වඩා වෙනස්. මේවායේ කරකැවෙන ඩිස්ක්, මෝටර් R/W Head ආදී කිසිවක් නැත. දත්ත ගබඩා කරන්නේ ඔබ දන්නා පෙන් ඩ්‍රයිව් නැතිනම් ෆ්ලෑෂ් මෙමරි වල ආකාරයටයි. මේවායේ කිසිම චලනය වන කොටසක් නැත. වේගය අතින් වැඩිය. නමුත් මිලෙන් වැඩිය. ක්‍රියා කිරීමේදී කිසිම ශබ්දයක් නිකුත් නොවේ.

හාඩ් ඩිස්ක් ගැන කලින් ලිපියේ සඳහන් නොවුරු තොරතුරු කීපයක්ම අද ලිපියෙන් කියන්න පුළුවන් උනා. එහෙම නම් අදට සමුගෙන යන්නයි සූදානම. මීළඟ ලිපිය සමගින් හමුවෙමු.
සුභ දවසක්..!!!