Sunday, September 4, 2011

සමුගන්නම්.....


කලින් දවසේ රෑ ඇද හැලෙන්න ගත්ත වැස්ස තාම නැවතී නැති හැඩයි. කැඩුන වැහි පීල්ලකින් වතුර වැටෙනා ශබ්දය ඇසෙන විටත් උපදින්නේ මහ කම්මැලි කියාගන්න බැරි දුකක් වැනි සිතිවිල්ලක්. මම කොට්ටය ලඟින්ම ඇති ෆෝන් එක දෙස ආයෙම බැලුවා. අලුතින් මිස් කෝල් එකක් SMS එකක් නැති බව බලන්නත් හිත දෙන්නේම නෑ. නිකමට වගේ ෆෝන් එකේ වෙලාව බැලුවා 
හ්ම්ම්ම් 8.30ත් වෙලා. හොඳටම නින්ද ගියේ රෑ නින්දක් නොගියනනිසාම වෙන්න ඇති. රෑ පුරාම ඇඳේ පෙරලෙමින් සිටියා මිස නින්ද ගියේම නෑ වගේ. පාන්දර 4 ටත් වෙලාව බැලුවා මට හොඳටම මතකයි. මීට අවුරුද්දකට කලින් අතීතයට මම නොදැනීම ඇදී ගියා. ඒ දවස්වල මම හිටියේ පාවෙන පුළුන් රොදක් වගේ. හිතට කිසිම සිතිවිල්ලක් නැතිව ආයෙම එහෙම ඉන්න ඇතිනම්. ඒ දවස්වල රෑ නවය වෙනකොට ඕෆ් කර මේසය උඩින් තියන ෆෝන් එක ආයේ ඕන කරන්නේ පසුදින උදේ. සමහර දවස්වල ගෙදරින් යන්නේ නැතිනම් ඕන් කරන්නේම නෑ. සමහර විට යාළුවෝ ගෙදරට කෝල් කරල මොකද බන් ෆෝන් ඕෆ් කරන් ඉන්නේ මම දැන් කීයේ ඉඳන්ද උඹට ගන්නේ කීවම තමා මතක් වෙන්නේ ෆෝන් එක ඕන කරන්න අමතක වෙලා කියා.

ඒත් සියල්ල වෙනස් උනේ ඔයා මගේ ජීවිතේට ඇතුල් උනාට පස්සෙයි. වෙනදා රෑ නවයට ඕෆ් වෙන ෆෝන් එක පසුගිය අවුරුද්ද පුරාම රෑ දවල් නැතිව ඕන එකේමයි තිබුනේ. රෑ මැදත් ඔයා එවන SMS කියෙව්වේ හරිම සතුටින්. කොතරම් නිදි මතේ සිටියත් මහරෑ ඔයා කෝල් කලත් මම ආන්සර් කරන්න නැගිටින්නේ කිසිම ලෝබ කමක් නැතිවයි. කෝල් එක ඉවර උනත් ෆෝන් එක තවත් විනාඩි පහක්වත් කනේ තියන් ඉන්නේ ඔයා ඇත්තටම තියලද දන්නේ නැති නිසා. මම දන්නවා ඔයා ඒ දවස්වල සද්ද නැතිව විනාඩි පහක් විතර ඉඳලත් හලෝ... ඔයා නිදිද කියා අහනවා කියා......
එහෙත් පහුගිය මාස දෙක පුරාම ටිකෙන් ටික ඔයා කතා කරන එක, SMS එවන එක අඩු වෙන්න ගත්තම මගේ හිත ටිකෙන් ටික අඬන්න ගත්ත බව ඔයා දන්නේ නැතුව ඇති. සමහර විට දන්නවත් ඇති. ඒත් නොදන්නවා වගේ ඉන්නවා ඇති.
දැන් සතියක ඉඳන් තමා ඔයා මට කතා කරන්නෙම නැත්තේ. හැමදාම පුරුද්දට උදේම SMS ඇවිත් ඇතිද බැලුවත් දැන්නම් හිත දන්නවා ඔයාගෙන් ආයේ මැසේජ් එන්නේ නෑ කියා. ඒත් මගේ අසරණ හිතට මම ඒක කොහොමද තේරුම් කරන්නේ.
මම හිතන්නේ ඔයාගේ ෆෝන් එක හැම විටම ඕෆ් කරන් ඉන්නේ මම කතා කරන නිසා වෙන්න ඇති. ඔයා දවසකට සැරයක් වත් ඕක ඔන් කරල බලන්නේ නැතිද? එහෙම නැතිනම් පසුගිය දවස් පුරාම මම එවූ මැසේජ් කියවන්නේ නැතිවම මකල දැම්මද?
ආයම හිත ඒ දවස් වලට ඇදී යනවා. අපි වැස්ස දවසේ පොඩි කුඩයක් යටින් වැස්සෙන් බේරෙන්න දඟලපු හැටි මෙච්චර ඉක්මනට කොහොමද අමතක කලේ. එදත් අද වගේම වැස්ස දවසක් නේද? මතකද අපි මොඩයෝ වගේ වැස්ස දවසක අයිස්ක්‍රීම් කෑවා. අන්තිමට උණ හෙම්බිරිස්සාව හැදිල සතියක්ම ඇඳේ ඉන්නත් උනානේ. ඒත් හැම වෙලේම කතා කල නිසා කිසිම පාළුවක් තිබුනේ නෑ. පණ්ඩිත කමට බේත් කීව හැටි....
එක් වරම ඇසුනු අකුණු හඬින් සිතිවිලි ලොකය මොහොතකට බිඳ වැටුනා. වැස්ස ආයෙම වැඩි වෙන්න වගේ. ජනේලයේ බීරලු අතරින් කාමරේට එන හිරිකඩ ඇඟේ වදින්නේ නැතත් සීතලෙන් වෙව්ලනවා. රස්නෙට කෝපි එකක් බීවනම් හරි. ඒත් නැගිටින්න හිත දෙන්නේම නෑ. ඇස් යටින් කඳුළු ඇවිත් කියා මම දන්නවා. ඒත් පිස දාන්න හිතෙන්නේ නෑ. පිස දැම්මත් ආයෙම එයි.
වෙලාව නවයත් වෙලා. මම කවදාවත් මෙච්චර වෙලා ඇඳේ ඉන්නේ නෑ. දැන් නම් නැගිටලා කුස්සියට යන්න වෙලාව හරි. ඒත් ඇස් දෙක අම්මාගෙන් හංගා ගන්නේ කොහොමද? වෙන මොනව හරි හිතන්න ඕනි......
ඒත් හිතට ඔයා හැර වෙන කිසිවක් එන්නේම නැද්ද? 
ඒ ගමන නම් වැස්ස ටිකක් අඩු වෙන බවක් පේනවා. සුළඟත් අඩු නිසාද කොහේද ටිකක් නිහඬ බවක් පරිසරයේ ඇති වෙලා. ඒත් හිතේ නම් කිසිම නිහඬ පවක් නෑ. තේරුම් ගන්න බැරි සිතිවිලි රැසක් එකක් පරයමින් අනික නැගිටන්න හදනවා වගේ. මට ඒ දවස්වල යාළුවෝ කී දේවල් ආයෙම මතක් වෙනවා. මම ටිකක් වත් ඒ ගැන සිතුවානම්. මම ඒ දවස්වල හිතුවේ ඔයා මිස වෙන කවුරුත් මගේ ලෝකේ නෑ කියා. යාළුවෝ දැක්කේ ඉරිසියා කාරයින් ටිකක් කියලයි. ඒත් දැන් නම් මට එයාලට මහුණ දිල කතා කරන්නත් බෑ වගේ. ඒත් මම දන්නවා එයාල කවදාවත් මාව අත් හරින්නේ නැති බව. 
දැන් නම් අවුවක් වැටිලා වෙන්න ඕනි. ජනේලයෙන් කාමරයට එළිය හොඳට වැටෙන්නේ. වෙනදා නම් වැහැල අවුව පායන විට මම හරිම ආසයි මිදුලට ගිහින් ඒ දිහා බලන් ඉන්න. ඒත් මට දැන් නම් හිතෙන්නේ ආයෙම තදින් වහිනවානම් හොඳයි කියා. එහෙම නම් කාමරේට වෙලා ඇඳේම ගුලි වෙලා ඉන්න තිබුනා. ඒත් මට හිතෙන කිසිම දෙයක් වෙන්නේ නැත්තේ ඇයිද මන්දා. මම පායයි කියා ඉන්න දවසට වහිනවා. වැස්සොත් හොඳයි කියා හිතෙන දවසට පායනවා. බස් එකේ යන්න ගියොත් බස් එක නෑ. මම නම් ගෙවන්නේ ලොකු පවක් වෙන්න ඇති කියා මට දැන් හිතෙන වාර අනන්තයි.
නැවතත් මම ෆෝන් එකේ වෙලාව බැලුවේ වෙලාව බලන්න ඕනි නිසාම නොවේ. මට නොදැනීම මිස් කෝල් එකක් තිබුනොත්. නැතිනම් මැසේජ් එකක්. ඒත් ස්ක්‍රීන් එක නිහඬයි. ෆෝන් එක පොලවේ ගසා අඩන්න තරමි හිතයි. ඒත් අම්මලා අහන ප්‍රශ්න වලට මොකක්ද මම ඊට පස්සේ දෙන උත්තරේ.
වෙලාව නවයයි තිහත් වෙලා. ඉස්සර නම් මම නවයයි තිහ වෙනකොට හරියටම බස් එකේ. ඒ දවස්වල පාරේ යනකොට ගස්වල ලස්සනට මල් පිපිලා තිබුනා. තාම ඒවා තියනවාද දන්නේනෑ. දැන් මාසයක් දෙකක් සිට මට ඒවා කිසිවත් තිබුන බවක් මතක නෑ. ඇවිද්දේ යන්ත්‍රයක් වගේ. දැන් නම් ඇවිද්න්න කකුල් පණ නෑ කියල හිතෙන්නේ. මට ආයේ කවදාවත් ඇඳෙන් නැගිටින්න බැරි වෙයි කියා හිතෙනවා. කිසිම අසනීපයක් නැතිව ඇයි එහෙම හිතෙන්නේ..
ලොකූ...
නැගිටින්නේ නැද්ද ළමයා අද?
දැන් කීයල වෙලාව...
අම්මාගේ හඬින් මගේ සිතිවිලි ලෝකය බිඳුනා.
ඉක්මනට ඇස් දෙක පිසගෙන කුස්සියට යන්න ඕනි. කාමරේට එන්න කලින්...
---මීළඟ කොටසින් හමුවෙමු--

29 comments:

  1. ලස්සනයි... පරිසරයේ වෙනස්කම්වලින් ලස්සනට හිතේ ස්වභාවය කියල...

    ReplyDelete
  2. "..... නාඬ ඉඳින්..
    සිකුරු තරුව පායනකල්..."

    ReplyDelete
  3. හෑ ප්‍රියා මේ මොකෝ අඬන කතාවක් දාලා අද ?

    ReplyDelete
  4. මේ මොකෝ අනේ මේ??? කුස්සියට ගිහින් එනකොට මිස් කෝල් එකක්,, අපරාදෙ :'(

    ReplyDelete
  5. ග්‍රහයෙක් මාරු උනාද?

    ReplyDelete
  6. ඇති යන්තං අර යකඩ, ප්ලාස්ටික් ගොඩෙන් ගැලවිලා වගේ!

    ReplyDelete
  7. හරිම ලස්සනට ලියලා තියෙනවා. අකුරු වලින් සටහන් කල දේවල් සිතුවම් වෙලා මැව්නා. ලස්සනයි...

    ReplyDelete
  8. මීට අවුරුදු 2කට විතර උඩදි මටත් ඔය පිස්සුව තිබුනා නොවැ. මහ රෑ ජාමෙටත් ඇහැරෙනවා මැසේජ් ටෝන්, නැත්නම් රින් වෙනවා ඇහිලා. ඒත් බැලුවම මොන උලව්වක්වත් නැ.

    ආයෙමත් කතාවක්...... අර කලින් ලිව්ව එක වගේම.... :)

    ReplyDelete
  9. "එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .
    දවසක් හැන්දෑවේ . . .
    මතකද ඔබ . . මා . . පියවර මැන්නා . . .
    පිනිමල් වරුසාවේ . . ."

    ඇඬෙන්න ලියන තියෙනවා . . . දුකයි ඒත් . . .

    ReplyDelete
  10. හිත කියවලා වගේ...

    ReplyDelete
  11. මටත් අහන්න තියෙන්නෙ අර ටීජී අහපු එකම තමා... හෑ ප්‍රියා අයියා ෆෝන් එක කැඩුනවත් ද?

    ReplyDelete
  12. මේක ඇත්ත කතාවක්ද? අයියා හිතලා ලියන කතාවක්ද? මොනවා වුණත් ඇඬෙන්න ලියලා තියෙනවා

    ReplyDelete
  13. කවුද, කාටද සමු දීලා තියෙන්නේ? කෝ මේ පොඩ්ඩි අක්කා?

    ReplyDelete
  14. ප්‍රියා අයියා ඒ පාර මොකටද මේ හැරුනේ

    ReplyDelete
  15. මේකත් මඟින් නැවැත්තුවොත් ඉතින් මැරුම් කන්න තමයි ප්‍රියා....

    ReplyDelete
  16. අඩෝ ප්‍රියා අයියා මම දැනං හිටියේ නෑ මචං උඹට කතන්දරත් ලියන්න පුලුවන් කියලා .. මේක මගේ බොකු බඩවැල් සිසාරා විහිදුනා .. සුපර් එකට ලියා තියනවා මචං ..

    බලමු අනිකත් ..

    ReplyDelete
  17. පරක්කු උනාට තරහාවෙන්ට එපා. කතාව හරිම ලස්සනයි. කමෙන්ට් එකක් දාන්ට හිත හදාගන්ට බැරුව හිටියේ, කතාව දුක හන්දා...

    ReplyDelete
  18. ලස්සනට ලියලා තියෙනව බන් කියවද්දි අවුරුදු ගානකට පෙර අතීතයෙ දවස් හිතේ මැවුනා

    පට්ට ලිවීමක් ඈ......

    ReplyDelete
  19. මමත් ඔය අත්දැකීම විදල තියෙනවා...
    දැන් ෆෝන් එක ඔන් කලොත් ඔන් කලාමයි. ඕෆ් කලොත් ඕෆ් කලාම තමයි. :P

    ReplyDelete
  20. හපොයි ෆෝන් කේෂ්... මට නම් දැන් ෆෝන් එක අමතක වෙලා... සම හර වෙලාවට ඒක මතක් වෙන්නේ මට කෝල් කරන 3න් දෙනාගෙන් (අයියා මල්ලි නංගි) කෙනෙක් කෝල් කලාම විතරයි.. බැටරි බැස්සොත් බැස්සා තමා චාර්ජ් කරන්නේත් එහෙමත් දවසක... ඒ උනාට පහුගිය කාලේ.. හප්පේ... අයිය ඔය කියන ලෙඩ සේරම නොඅඩුව තිබුනා :)

    ReplyDelete
  21. @ මන්තරකාරී
    ස්තූතියි. පරිසරය හා අපි කියන්නේ දෙකක් නොවේ නේද?

    @ තිස්ස දොඩන්ගොඩ
    අපොයි අයියේ මොකට අඬනවද?...:D
    ස්තූතියි අයියටත් මේ පැත්තට ආවාට.

    @ TG
    යකඩ ප්ලාස්ටික් ඇණ මුරිච්චි වලින් ටිකකට මිදෙන්න හිතුනා. ස්තූතියි..

    @ හරී - පිණිපළස
    අපොයි එහෙමවත් උනේ නෑනේ...:D
    ස්තූතියි හරීටත්..

    @ අලුත් කොල්ලා
    මොකද කියලා ගිහින්ම බලමු...ස්තූතියි අලුත්ටත්...:D

    ReplyDelete
  22. @ නදී
    කියවලාම බලමු නේද මොකද වෙන්නේ කියා...:D
    ස්තූතියි

    @ Praසන්ன
    ඒ වගේ පේන්නේ. බලමු ඉස්සරහට ගිහින්. ස්තූතියි..:D

    @ කතන්දර Kathandara
    ඔව් යකට ප්ලාස්ටික් වලටම ආස නැති අයත් ඉන්නවානේ. පොඩි වෙනසක් කරල ආයෙම ඒ පැත්තට යන්න හිතුවා. ස්තූතියි..:D

    @ දිල්
    ගොඩක් ස්තූතියි දිල්. හදිසියේ හිතට ආ අදහසක් මේ ලියන්නේ..:D

    @ හා පැටික්කි (MS)
    හාවිට වැඩේ තේරුනා නේ...:DDD
    ස්තුතියි හාවියේ...

    ReplyDelete
  23. @ දුකා
    ඇඬෙන්න තරම් දෙයක් තියනවාද? අපොයි....
    ස්තූතියි අයියා...:D

    @ හසී
    කාගේද?
    ස්තූතියි හසී

    @ සංජු
    අපොයි නෑ. අපූරුවට ඔය වැඩ කරන්නේ...:D
    ස්තූතියි සංජු...

    @ blog gadol
    කියවලා බලමු මල්ලි. මටත් හිතාගන්න බෑ මේක ලීවේ මමමද කියල...DDD
    ස්තුතියි..

    @ Samanalee
    කියන්නම් කියන්නම්. මොකෝ පොඩ්ඩි අක්කා හොයන්නේ. ඔන්න ඇවිත් ගිහින්.
    ස්තූතියි සමනලීටත්...:D

    ReplyDelete
  24. @ නදුන් උයන
    එහෙම දැනෙනවද..:D
    ස්තූතියි..:D

    @ ItalyDilan
    අපොයි මොනව ලීවත් මෙයාලගෙන් බේරෙන්න බැහැනේ...:D
    ස්තූතියි ඩිලාන්..

    @ අභීත
    අපොයි මරන්න නම් එපෝ...:D
    ස්තූතියි අබීත...

    @ හිස් අහස
    ඉඳ හිට මෙහෙමත් ලියනවා මල්ලි. ස්තූතියි මල්ලටත්..:D

    ReplyDelete
  25. @ පොඩ්ඩි
    එහෙම තරහා වෙනවද මම පොඩ්ඩි එක්ක. දුක හිතෙනවාද කතාවට. ජීවිතේ හැටි එහෙම තමා. සතුට දුක දෙකම විඳින්න වෙනවා.
    ස්තූතියි පොඩ්ඩියේ ..:D

    @ නිශ්
    අතීතයටම ගියා එහෙනම් ..:D
    ස්තූතියි නිශ්..

    @ තාරක Dilsh@n
    මේක ගොඩක් අයගේ අත්දැකීමක්. ස්තූතියි තාරක...:D

    @ සුදු හංසි
    ඇතුවත් බැරි නැත්වත් බැරි ෆෝන්...
    දැන් ඒ ලෙඩ නෑ වෙන්න ඇති නේද? කලින් කීවනම් ඒවත් මේකට එකතු කරන්න තිබුනා නේ...:DDD
    ස්තූතියි සුද්දියේ කමෙන්ට් එකට...

    ReplyDelete
  26. හෆ්ෆටසිලි සිරි කිව්වලු.. අපෙ ලොකු අයියා ෆුල් ඉමොශනල් වෙලා... බලමු බලමු ඉතුරු ටිකත් මෙ හුස්මටම කියවලා. ....... :))
    …හිතට දැනෙනවා ලොකු අයියෙ... ලස්සනයි ඇත්තටම ....

    ReplyDelete