Monday, November 1, 2010

අඩේ දාල පලයන්.....‍

දිගටම තාක්‍ෂණික කතා ලියපු නිසා මතකයක් ලියන්නත් බැරි උනානේ සෑහෙන කාලෙකින්.‍ දිගටම මේවම අහල ඇති වගේ අයටත් මොනව හරි ලියන්න හිතාගෙන හිටියත් ලියන්න කිසියක් මතක් වුනේම නෑ. එහෙම ඉන්න කොට තමා මට මේ සිදුවීම දකින්න ලැබුනේ. මේකනම් පරණ මතකයක් නෙවේ. පසුගිය සෙනසුරාදා මට බස් එකේදී (ගූගල් බස් එකේ නම් කොවේ. මේ පාරේ යන බස් එකක)දකින්න ලැබුන දෙයක්.
නිතර බස් එකේ නොයන නිසාමද කොහේද මට ලියන්න හොඳ කතා ලැබෙනවා අඩුයි. පසුලිය දිනක නුවර බලා යාමට උදේම බස් එකකට ගොඩවැදුනා.මේ බස් එකත් උදේ කාර්යාල වෙලාව නිසා මගීන්ගෙන් පිරී තිබුනා. ආසනයක් නොමැති නිසා මම පාපුවරුව අසල සිටගෙනයි සිටියෙත්. පා පුවරුවේ වයස අමුරුදු 15 ක නැතිනම් 16ක පමණ පාසල් යන් වයසේ පිරිමි ළමයින් කීප දෙනෙක් සිටියා. මම මුලින්ම නිරීක්‍ෂණය කළ ආකාරයෙන්ම මොවුන් එම වයසේ වුවත් පාසල් යන බවක් පේන්න නෑ. ඔවුන්ගේ ඇඳුම් හිසකෙස් විලාසිතා ආදිය පාසල් යන වයසේ තබා තරුණයෙකුට වුවත් එතරම් ගැලපෙන බවක් පෙනෙන්නෑ. රැවුලට විලාසිතාවක් යොදා නොතිබුනේ රැවුල වැවෙන්න පටන්ගෙන නැතිනිසායි. නමුත් මොවුන් බසයට ගොඩවන කාන්තාවන් හෝ තරුණියන්ට කිසිදු ආකාරයක විහිළු තහලු කිරීමක් කළේත් නෑ. ජංගම දුරකථන දෙකතුනක් මොවුන්ගේ සාක්කුවල තිබූ අතර ඒවා එලියට ගනිමින් ගත්ත තැන, ගත් මිළ ආදිය කතා කරමින් ගමන් ගත්තා. තනි අතින් පාපුවරුවේ බටය අල්ලාගෙන අනෙක් අතින් ජංගම දුරකථනය ප්‍රදර්ශනය කරමින් අවදානම් ආකාරයෙන් මොවුන් ගමන් ගත්තේ. ඒවා එතරම් මිළක් නොවූ චීන වර්ගවල දුරකථන නිසාත් ඔවුන්ගේ අඳුම් ආදිය අනුව ඔවුන් එතරම් ධනවත් නොවන සාමාන්‍ය පවුල් වල ළමයින් බවක් පෙනුනේ. එහෙත් ඔවුන්ගේ කථා විලාශය හා භාවිතා කරන වචන වල නම් කිසිම ආකාරයක ප්‍රසන්න බවක් තිබුනේ නෑ. එය බසයේ අනෙක් මගීන්ගේත් අප්‍රසාදයට ලක්වන ආකාරයේ කතා විලාශයක්.
මෙය ලංගම බස් රථයක් වූ අතර බසයේ රියදුරු වූයේ වයස අවුරුදු 45ක පමණ මැදිවියේ පසුවන තරමක තැම්පත් ගති ඇතැයි පෙනෙන අයෙක්. මෙහිදී මම කියන්න යන සිදුවීම වූයේ බැංකුවක් අසලින් ලමන් කිරීමේදී. එක් වරම කලබලවූ බවක් පෙන්වූ එක් ළමයෙක් ඇඟිලි කටේ ඔබාගෙන තදින් විසිල් ගසන්නට පටන් ගත්තා. එහෙත් මේය කිසිවෙකුට අවබෝධ වූයේ නෑ. බසයේ සිටි සියල්ලන් සිතුවේ පාරේ යන් කිසිවෙකතුට මොවුන් විසිල් ගසන බවයි. බසය දිගටම ගමන් ගත්තා. එවිට තවත් තදින් විසිල් ගසමින් අඩෝ...යනුවෙන් මොහු කෑගසන්න ගත්තා. ඉන්පසු ඒයි අඩේ ඔය බැංකුව ලඟින් දාල පලයන් බන් යනුවෙන් ඔහු කෑ ගැසුවා. එවිටයි මට තෙරුනේ මොහු කෑගසන්නේ රියදුරාට බව. බසයේ රියදුරා යනු ඔවුන්ගේ වයස අනුව වැඩිහිටියෙකි. එමෙන්ම බසය පොදු ස්ථානයකි. මොහු පාසල් යන වයසේ ළමයෙකි. මෙ‍ම තත්වය නොගැලපෙන අශෝභන තත්වයක් වන්නේ ඒ නිසාය. අශෝභන හැසිරීම නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදකි. එහෙත් මොවුන් එසේ හැසිරේ
තමාගේ පියාගේ වයසේ පසුවන කෙනෙකුට මෙසේ අමතන පාසල් දරුවන් අප පාසල් යන කාලයේ සිටි බවක් මට මතක නෑ. මේ සමස්ථ දරු පරපුරේ තත්වය නොවුවද මෙවැන්නන් පෙරට වඩා දැන් බහුල බවක් පෙනෙනවා.අප හොඳින් බලා සිටියොත් මෙවන් අවස්ථා දැන් සුලභ බවක් පෙනේ. එහෙත් මෙවා බොහො දෙමාපියන්ට සොයා බලන්න වෙලාවක් නැත. ඔවුන් තරඟයකයත දරුවන් යන්නේ කොහේදැයි ඔවුන් නොදනී. මෙය අප කවුරුත් මේ ගැන අවධානය යොමු කරන්න කාලයයි. මේ රටේ අනාගතයයි.‍
එහෙනම් ගිහින් එන්නම්. ඔබේ අදහසත් ලියලම යන්න. මේ වගේ වෙනස් සිද්ධින් ඔබත් දැක ඇති. ඒවාත් හැකිනම් කෙටියෙන් ලියා යන්න.‍
සුභ දවසක්!!!!!!!!!!

16 comments:

  1. මේකනම් කණගාටුදායක තත්වයක්. නීතිරීති වලින් මේ තත්වය නැතිකල හැකිය යන්න සිතීමනම් වැඩකට නැති සිතුවිල්ලකි. මෙරටෙහි නීති පනවා නැති ක්ෂේත්‍රයක් නැති තරම්ය. එහෙත් බොහෝ සමාජ වලට වඩා මේ සමාජය තුල පුද්ගල හැසිරීම් ඉතාමත්ම දූෂිතය. එක එක ලේබල් වලින් එම දූෂිත බව වසා ගැනීම වෙනුවට මේ සමාජ මනසේ අසහනකාරී ස්වභාවය වටහා ගැනීමේ යාන්ත්‍රණයක් ඇතිවිය යුතුය.
    සමාජය තුළ පවතින තරඟය, විෂමතාවය දිනෙන් දින වැඩිවේනම් නීතිරීති මගින් ඇතිවන සෑම ප්‍රවණතාවයක්ම මර්ධනය කිරීම කල නොහැක්කක් වනු ඇත.

    ReplyDelete
  2. බස් එකේ යන මගීන්ට ඒ ලමයින්ට මොකක් හරි පාඩමක් උගන්නන්න තිබුනේ නැද්ද? එහෙම කරන්න පුලුවන් කමක් තියනවානම් ඒ ගොල්ලන් ප්‍රසිද්ධියේ ඔහොම කරන්න බයවෙයි.

    ReplyDelete
  3. බස් රථයේ රියදුරා එයාලව එතනින් බැස්සුවාද ? ඒත් නැත්නම් හෝල්ට් එකකට ගිහින් බැස්සුවාද ? මම හිතන විදිහට නම් ඒක තමා වෙන්න ඇත්තේ............

    ReplyDelete
  4. මේවගේ දේවල් දැක්කම මට නම් උන්හිටි තැන් සේරම අමතක වෙනවා. දැන් හැදෙන ළමයි නම් අන්තිමයි,,,

    ReplyDelete
  5. ඔය වගෙ අත්දැකිම් නම් ගොඩක් තියනව... එව මිනිස්සුන්ටත් සාමාන්‍යදෙවල් වෙලා...
    මට මතක් උනෙ සත්තකුම්බක ජාතකය...
    අර ගිරා පැටව් 2නගෙ කතාව...
    මමත් දවසක් වැ‍රැද්දකට කතාකරල අන්තිමට රන්ඩුඋනා....
    එමිනිහ බැහැල ගියාට පස්සෙනම් බස්1කෙ හිටිය මගින් මගෙ පැත්ත අරන් කතාකලා...
    එත් මුලින් කව්රුත් ඉදිරිපත් උනෙ නැ...

    හෙලාදෛන්නත් සිමාවල් තියනව...
    අහක යන ප්‍රශ්න ඇගෙදාගන්න හව්රුවත් කැමති නැ...
    කව්රුහරි හොද නරක කියල දුන්නත් බොහොවිට අහන්නෙ නැ..

    සුභ දවසක්...

    ReplyDelete
  6. @ ``` Outsider```
    නීතියක් ගැන කියපු එකනම් මටත් හිතෙනවා අදාල නැති දෙයක් කියල. ඇත්තටම ඔබ කියන දේ තමයි වෙලා තියෙන්නේ.
    ස්තූතියි ප්‍රතිචාරයට..

    ReplyDelete
  7. @ Podi Kumarihami
    මෝඩයන් රැලකට පාඩමක් උගන්වන්න තරම් මොඩ වෙන්න ඕන නෑ කියල බස් එකේ මගීන්ට හිතෙන්න ඇති. මොකද ඔය වගේ පිරිසකට වැරැද්දක් කොහොමවත් තෙරුම් ගන්න බෑ. ඒනිසා හොඳම දේ තමන් නිහඬවෙන එක කියලයි අද බොහෝ අය හිතන්නේ.
    ගොඩක් ස්තූතියි පොඩිකුමාරි මේ පැත්තට ආවට...

    ReplyDelete
  8. @ Hasitha
    එතනම එහායින් තමා හොල්ට් එක. එකෙන් බැස්සුවා. ඔහු එතරම් කලබල වෙන අයෙක් බව පෙනුනේ නෑ.
    ස්තූතියි හසිත ප්‍රතිචාරයට..

    ReplyDelete
  9. @ හරී
    එහෙම වෙන එක පුදුමයක් නෙවේ. එත් ඒ අයට ඒකි කියන්න කෙනෙක් නෑ. කිව්වට අහන්න පුළුවන් මට්ටමක නෙවේ ඔවුන් ඉන්නේ.
    ස්තූතිය හරී ප්‍රතිචාරයට..

    ReplyDelete
  10. අනේ මන්දා දෑන් හෑදෙන උන් නම්. අපිත් ඒ කාලෙ පිස්සු කෙරුව තමයි ඒත් ඔය වගෙ හෑසිරුනෙ නෑ. කවද හරි පාඩමක් ඉගෙන ගනී එතකොට ඉතින් වෙන්න ඔනි හරිය වෙලා ඉවරයි.
    පොෂ් නෑතුව පොෂ් වෙන්න ගියාම විහිලුවක් වෙනව මුන්ට තේරෙන් නෑද්ද මන්දා.

    ReplyDelete
  11. හරියටම හරි ඉන්දික ඒකම තමා වෙලාතියෙන්නේ.
    ස්තූතියි ඇවිත් ගියාටත්..

    ReplyDelete
  12. ඉස්සර අපේ නම් ඉස්කෝලෙ ගේට්ටුව ගාව විනය භාර ගුරුතුමා උදේට එන ළමයි දිහා හොදට ඈහෑ ගහගෙන ඉන්නේ.කලිසම හිර කරලාද,කොන්ඩෙ සුදු වෙන්න ගාලද,ඩබල් පොකට්ද,සපත්තු විච්චුරනද දෑක්කොත් එවෙලේම කන රත් වෙන්න දෙනවා.ඉතින් ළමයි ඒ විදියට ආවේ නෑ.ඒත් දෑන් එහෙම ගෑහුවොතින් ළමයාගෙන් ගුරුතුමාට කන්න වෙනවා

    ReplyDelete
  13. මට නං මේ වගේ සිද්ධීන් ගැන බ්ලොග් එකක් ලියන්න තරම් අත්දැකීම් තියෙනවා.... බස් වල විතරක් නෙවෙයි, කොතැනක ගියත් හැසිරෙන්න දන්නේ නැති විදිහට හැසිරෙන තරුණ පිරිස් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. ඔවුන් හිතන්නේ අනුන්ට කරදරයක් වෙන එක හරි චණ්ඩි කමක් කියලා... මටත් දවසක් ඔයවගේ කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න සිදු වුණා... ඒක තමයි මගේ ජීවිතයේ මං ගතකරපු අමාරුම දවස... සමාජයක පැවැත්ම සඳහා කොවුලන් වගේම කපුටනුත්, දෙවියන් වගේම යක්ෂයනුත් ඉන්න ඕනි... අපි මොන ගොඩට යනවද කියන එක අපි තීරණය කළ යුතුයි...

    රටේ ඉහල ඉඳලා පහලට අක්‍රමිකතා සිදු වෙද්දී නීතියේ පිහිටක් ගැන හිතන්නත් අමාරුයි... ඒත් මට හිතෙනවා හොඳම විකල්පයත් නීතියමයි කියලා..
    ස්තුතියි සහෝ....

    ReplyDelete
  14. @ නිශ්
    ඒකාලේ අපි කරපු පිස්සු වැඩ එකක්වත් මුන් කරන්නෙත් නෑ. කරන වැඩවලින් උන්ටවත් වැඩකුත් නෑ. එත් අපිට විහිළු වගේ පෙන ‍ඒවත් මුන් හිතන්නේ ලොකු දේවල් කියල.
    ස්තූතියි නිශ් ප්‍රතිචාරයට.

    ReplyDelete
  15. @ NUWAN"s lane
    අපේ කාලේ ඉස්කෝල වල තිබුන තත්වය දැන් නැතුවාම නෙවේ. ඒත් මුන් ඉස්කෝලේ යනවද දන්නේ නෑ. ඒගැන ඔවුන්ගේ දෙමාපියන්ට හොයන්න වෙලාවක් නැතිකමද නැතිනම් දෙමාපියනුත් මේ වගේමද කියන්න තමා අමාරු.
    ස්තූතියි නුවන්ටත් මේ පැත්තේ ආවාට.

    ReplyDelete
  16. @ Chathura Wijekoon|චතුර විජේකෝන්
    ඔව් මේවා ගැන බ්ලොග් එකක් නෙවේ කීපයක් උනත් ලියන්න පුළුවන් තමා. මොවුන් ගැන ආයේ කරන්න දෙයක් නැති ගානයි. අපි බලන්න ඕන ඉදිරි පරම්පරාවවත් මේවායින් ගලවා ගන්නයි.
    ස්තූතියි චතුර මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..

    ReplyDelete