Tuesday, December 14, 2010

නිවසේ විදුලිය...

අපේ වැඩ අපිම කරගමු  ලිපි මාලාවේ දෙවැන්න දෙන්න හිතන් හිටියේ සෙනසුරාදා. එත් එදාට බැරි උනා ඒ නිසයි අද උදේන්ම මෙකත් අරන් මම මේ ඉසව්වට ආවේ. එහෙනම් අර උඩින් ලියල තියෙන විධියටම අද කියන්න යන්නේ නිවසේ විදුලි පරිපථ හා විදුලි උපකරණ ආශ්‍රිතව ඇතිවන ප්‍රශ්න වලදී කලහැකි සුළු පිළියම් ටිකක් කර ගන්න ආකාරයයි.


ආරක්‍ෂාව***
මෙහිදී අප ගැටෙන්නේ ප්‍රධාන විදුලිය සමඟ බැවින් සියල්ලටම කලින් අපේ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ ප්‍රධාන විදුලිසැර වැදීම මාරාන්තික වෙන්න පුළුවන් නිසා. 
පළමු පියවර වන්නේ ප්‍රධාන ස්විච් (Main switch) එක ක්‍රියා විරහිත කිරීමයි (Off)මෙය විදුලිය සමග කරන කාර්යයකදී වැදගත්ම පියවර වෙනවා. 
ඉන්පසු අප නොදැන නිවසේ කිසියම් අයෙකු මෙය නැවත ක්‍රියාත්මක කළ හැකි බැවින් නිවසේ සිටිව සියළු දෙනාම දැනුවත් කරන්න. කිසියම් දැන්වීමක් ඒ අසල පැහැදිලිව පෙනෙන සේ එල්ලා තබන්න පුළුවන් නම් තවත් හොඳයි.
වියලි රබර් හො ප්ලාස්ටික් පාවහන් යුවලක් පළඳින්න. ඒ ඔබ පොළව හා ස්පර්ශ වීමෙන් වලකින්න.
ශරීරය ආවරනය වන ඇඳුමක් අඳින්න පුළුවන් නම් වඩා හොඳයි.
නියොන් ටෙස්ටරය (Neon tester) මගින් විදුලිය ක්‍රියා විරහිතවී ඇති බව තහවුරු කර ගන්න.
තවත් කියන්න තියෙන්නේ ඉතා සැලකිලිලෙන් හැම දෙයක්ම කරන්න කියලයි.

අවශ්‍ය උපකරණ
අප කරන්න යන්නේ සම්පූර්ණ පරිපථයක් සකස් කීරීම නම් නොවේ. මේ හදිස්සියකට දැවුනු බල්බ් එකක් මාරු කරන්න, ප්ලග් එකක් වයර් එකක් මාරු කරන්න, වගේ සුළු දෙවල්. ඒ නිසා ලොකු උපකරණ තොගයක් අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් පහත සඳහන් කරන උපකරණ සෑම ගෙදරකට තිබීමේ වරදක් මා දකින්නේ නෑ. මේ සියල්ලම දැන් වෙළඳපොලේ රුපියල් 1000ක පමණ මුදලකට ගන්න පුළුවන්.


නියොන් ටෙස්ටරය (Neon Tester)
මෙය පැතලි ඉස්කුරුප්පු නියන (Flat head screw driver) ලෙසද භාවතයට ගන්නා එකක් වීමෙන් ඉස්කුරුප්පු නියනක අවශ්‍යතාවය ඇතිනොවේ.
මල්ටි මීටරය (Multi Meter)

සාමාන්‍ය අඬුව හා උල් අඬුව (Combination plier & Needle nose plier)
වයර් ස්ට්‍රිපරය (Wire stripper) 


ගෘහ විදුලි පරිපථය.
කතාව පටන් ගන්න කලින් නිවසේ විදුලි පරිපථය ගැන පොඩි හැඳින්වීමක් කරන්න හිතුනා. මම මේ පිළිබඳ විශේෂඥයෙක් නම් නොවෙයි. ඒනිසාම වැරදි තිබුනොත් දන්න කෙනෙක් නිවැරදි කරන්න කියලත් කියනවා. අපේ නිවෙස් වලට විදුලිය සැපයෙන්නේ රැහැන් දෙකකින්.
සජීවී කම්බිය (Live නැතිනම් සමහර අය කියන විධියට Face) හා උදාසීන කම්බිය (Neutral) අමතරව පරිපථයේ තවත් රැහැනක් භාවිතා වෙනවා. ඒ භූගත කම්බිය (Earth wire).
මේවාට සම්මත වර්ණ රටාවක් භාවිතා වෙනවා.
ලංකාවේ දැන් පවතින සම්මතය අනුව සජීව රැහැන සඳහා දුඹුරු වර්ණය. (කලින් රතු). උදාසීන රැහැන සඳහා නිල් වර්ණය (කලින් කළු) සහ භූගත රැහැන සඳහා කොළ වයරයේ කහ පැහැ රටාවක් සහිතව (කලින් කොළ) භාවිතා වෙනවා. ලංකාවේ නිවසකට සැපයෙන්නේ වොල්ට් 220ත් 240ත් අතර විභවයක් (220V-240V) සහිත 50Hz විචලනයක් සහිත සැපයුමක්. මෙය විදුලි සැපයුම් ආයතනය මගින් සවිකර ඇති සේවා විලායකය (Service Fuse) තුලින් විදුලි මීටරය හරහා අපේ ප්‍රධාන ස්විච් එකට ලැබෙනවා. මෙයින් පිටවන ධාරාව ගමන් කරන්නේ බිම්කාන්දු පැන්නුම් ස්විචය (Earth Leakage Trip Switch හෙවත් Trip Switch) එකටයි. එයින් පසුව විලායක හරහා විවිධ පරිපථ ඔස්සේ නිවෙස පුරා බෙදා හරිනවා. මේවා නම් ලාම්පු පරිපථ (Lamp circuit) හා පේනු පරිපථ (Plug point circuit).
මේ එක් එක් උපාංගයේ කාර්යය වෙන වෙනම කියන්න හිතුවා නොදන්න අයගේ දැන ගැනීම උදෙසා. නමුත් කෙටියෙන්.
සේවා විලායකය මීටරයට කලින් සවිකර ඇති අතර වයර් අතර ඇතිවන ලුහුවත් වීමකදී (short circuit) එය ක්‍රියා විරහිත වීම හෝ දැවීයාම සිදුවේ. මේවා ඇතැම් ස්ථාන වල ස්ව්ච් එකක් ආකාරයට ඇති අතර ඇතැම් විටෙක කම්බි විලායකයක් ලෙස පවතී. යම් ලෙසකින් මෙය දැවී ගියහොත් එය නැවත යථා තත්වයට පත් කිරීම විදුලි සැපයුම් ආයතනය සතු වන අතර පාරිභෝගික අපට කිසිම ආකාරයක වෙනසක් කිරීමට අයිතියක් නැත.
විදුලි මීටරය අපේ විදුලි පරිභෝජනය කිලොවොට්/පැය (kw/h) ඒකකයෙන් පෙන්වයි.
ඉන්පසුව ඇති ප්‍රධාන ස්විච්එක නිවසේ ඇතුලත විදුලිය ක්‍රියා විරහිත කිරීමට යොදාගනී. මෙයින් සජීවි හා උදාසීන යන වයර් දෙකම විසන්ධි කරන නිසා එය ඕෆ් කිරීමෙන් නිවසේ විදුලි සම්බන්ධය සම්පූර්ණයෙන් නැවතේ. මේ තුලද විලායකයක් ඇත. නැතිනම් නිශ්චිත අගයකදී විසන්ධි වන බිඳවැටුම් ඒකකයක් (Circuit braker) ලෙස ක්‍රියා කරයි.
ට්‍රිප් ස්විච් එක ක්‍රියා කරන්නේ ආරක්‍ෂක උපාංගයක් වශයෙනි. ඒවා ක්‍රියාකාරිත්වය අනුව කොටස් දෙකකට බෙදේ (මෙයට වැඩි වර්ගීකරනයක් ඇතිදැයි නොදනිමි) පැරණි ආකාරය අනුව සැකසූ ඒවායේ විද්‍යුත් චුම්බකයක් ඇති අතර කාන්දුවන ධාරාව එම චුම්බකයේ දඟරය හරහා යන විට ක්‍රියාත්මක වන යාන්ත්‍රනයක් මගින් ස්විචය ක්‍රියාත්මක වී ධාරාව විසන්ධි කරයි. නමුත් මෙහි ඇති අවාසියක් වන අපේ සිරුරට විදුලි සැර වැදීමකදී ධාරාව දඟරය හරහා ගමන් නොකරන නිසා ධාරාව විසන්ධි නොවේ. නවීන ට්‍රිප් ස්විච් වල ඇත්තේ ධාරාව සමතුලිත වීම මත ක්‍රියා කරන යාන්ත්‍රණයකි. ඒ නිසා මෙම නව ස්විච් වඩා ආරක්‍ෂාකාරී වේ.
ඉන් පසුව ඇති ෆියුස් (විලායක) යම් නියත උපරිම ධාරාවක් සඳහා සකස් කර ඇති අතර එය ඉක්මවා යන විට දැවීයයි. නමුත් දැන් මෙය යල්පැන ගිය ක්‍රමයක් වන අතර ඒ වෙනුවට ක්‍ෂුද්‍ර පරිපථ බිඳනය හෙවත් MCB (Miniature Circuit Barker) භාවිතා කරයි. මේවා විලායක වලට වඩා කාරයක්‍ෂම වන අතර නියමිත අගයේදී ධාරාව විසන්ධි කරයි. විලායක වලදී දැවී යාමෙන් පසු අදාල ඇම්පියර් ප්‍රමාණයේ කම්බියකින් නැවත ස්ථාපනය කළ යුතු වුවත් මේවා ස්විච් එකක් මෙන් නැවත ඕන් කිරීමෙන් ක්‍රියා කාරිත්වය ඇරඹේ.
මෙම පරිපථ සඳහා භාවිතා වන්නේ PVC ආවරණය සහිත වයර්. මේවා නිවෙස පුරා කොන්ඩියුඩ් බට (conduit) කේසින්, වයරින් ක්ලිප් ආධාරයෙන් වහලය පුරාමත් බිත්ති දිගේත් ගමන් කරන බව ඔබ දන්නවා ඇති. මේවාට ඇතිවන විවිධ ආපදා නිසා යම් ස්ථානයක දොෂයක් ඇතිවන්න පුළුවන්. බොහෝවිට මීයන් වැනි සතුනි ආවරණය නොකළ වයර් කා දැමීම නිසා යම් ස්ථානයකට හෝ නිවසේ ස්ථාන කීපයකටම විදුලි සැපයුම නොලැබී යන්න පුළුවන්.
නමුත් නිවසක බහුලව සිදුවන ගැටළු වන්නේ විදුලි බල්බ දැවීයාම, ස්විච්/ප්ලග් බේස් (පේනු) නිසිලෙස ක්‍රියා නොකිරීම වැනි දේවල්. මම මේ පොස්ට් එකෙන් කියන්න බලා පොරොත්තු වන්නේ එවන් ගැටළු නිරාකරණය කර ගන්නා ආකාරයන්.
මේ සඳහන් කළ සුළු විස්තරයෙන් ඔබට නිවසේ විදුලි සැපයුම ගැන සරල අවබෝධයක් ලැබෙන්න ඇති කියා සිතෙනවා. මීළඟට කියන්න ඇත්තේ ඉහත විස්තර කරන ලද පරිපථ ආදියේ ඇතිවන දෝෂ වලින් අපටම නිවැරදි කර ගන්න පුළුවන් දෝෂ මොනවාද යන්නත් ඒවා කර ගන්නේ කෙසෙද යන්නත්.
දැන් වේලාව රෑ 11:30 පසුවෙලා. උදේම මෙක් පොස්ට් කරන්නයි යන්නේ. බොහෝ වෙලාවක් මේ පරිගනකය සමග නිසා තවත් ඉදිරියට ටයිප් කරන්න අපහසු බවක් දැනෙනවා. එහෙනම් ඉතිරි කොටස මීළඟ දවසට ඉතිරි කරමින් අදට ගිහින් එන්නම්. කවුරුවත් මේන් ස්විච් එක ඕෆ් කළානම් දැන් ගිහින් ඕන් කරන්න. නැත්නම් මම ආයේ එනකල් ලයිට් දාන්නත් බැරි වෙයි.
සුභ දවසක් !!!!!

6 comments:

  1. මගෙත් කැමතිම මාතෘකාවක් තමයි මේක.
    ඊළග ලිපියත් දාන්න.

    ReplyDelete
  2. නියමයි. මේ වගේ ලිපි දිගටම ලියන්න. සුභ පැතුම්

    ReplyDelete
  3. හුරතලයට ඇතිකරන මියන් වැනි සතුන් ට ඇති පමන ආහාර සැපයිම ඉතා වැදගත්..
    නැත්නම් බඩගින්නට උන් වයර් ආහාරයට ගෙන මහා විනාසයක් විය හැක...

    පුසා වයර් නොකන නිසා බඩගින්නෙ තැබුවාට වරදක් නැත...

    සුභ දවසක්....

    ReplyDelete
  4. කාලයක් මාත් ඔය විශය ඉගෙන ගත්තා, අන්තිමේ ගුරුකම් නිසා ඒක අතර මඟ නතර උනා. කොයිදේත් ඉගෙන ගත්තට පාඩු නැහැ නේද?
    ආ,,,,,,,,,අපි මේ මේන් ස්විච් එක ඕෆ් කරපු ගමන්,,,දැන් හරිදෝ?????????????

    ReplyDelete
  5. නියමයි සහෝ....දිගටම ලියන්න....

    ReplyDelete
  6. @ Praසන්ன
    ඔව් ප්‍රසන්න. ගත්ත ෆොටෝටික තාම කැමරාවේ. ඒවත් අරගෙනම දාන්නම්. ස්තූතියි..

    @ චරිත
    ස්තූතියි ප්‍රතිචාරයට. කලින් දැකල මතකයන් නෑ මේ පැත්තේ. සාදරයෙන් පිළගන්නවා මගේ මතකයට....

    @ ඉංදික
    කොහේද කොච්චර කන්න දුන්නත් උන් අතුරුපසට කන්නෙම වයර්නේ.
    ස්තූතියි ඉංදික..

    @ හරී - පිණිපළස
    මමත් අර ඒකාලේ සාමාන්‍ය පෙළට තිබුන ටිකට අළුතින් දැනුම එකතු කරගත්තා විතරයි. වෙනම ඉගෙන ගෙන නෑ. ඔව් දැන් මේන් ස්විච් එක දාන්න.....

    @෴ හසියා ෴
    ස්තූතියි මල්ලි ප්‍රතිචාරයට...

    ReplyDelete