Wednesday, March 30, 2011

සිහිනයෙන් නැගිටින්න....

සයිබර් අවකාශයේ සිහින බක්මහ උළෙල ගැන දැන් කවුරුත් දන්නවානේ. දැන් නම් ඒක තව දුරටත් සිහිනයක් නොවන තැනටයි ඇවිත් තියෙන්නේ. කාටත් තව පොඩි මතක් කිරීමක් කරන්න පොඩි පෝස්ට් එකක් දාන්න ඕන කියල හිතලයි මම මේක ලියන්නනේ. ඔන්න ඉතින් හරි හරි ලියනවා කීවට ටයිප් කරනවා තමා. දැන් මේ ටයිප් කළාට දවසක අරුණි අක්කා කියනවා වගේ අතින් ටයිප් නොකර හිතන හිතන දේ ටයිප් වෙන කාලෙකුත් එයි ඉදිරියේදී. ඒ වෙන කල් අපි අතින් ටයිප් කරමු. ඔන්න ඉතින් ට්‍රැක් එක පැන්නා. ආයෙම කතාවට එමු.


ඔය පින්තූරේ පේනවානේද? ඔව් අවුරුදු කුමාරි තෝරන තරඟයක අවසන් අවස්ථාවක් තමා. මේ අපේ සයිබර් අවුරුදු උත්සවයෙත් අවුරුදු කුමර කුමරියෝ තෝරනවා. ටිකක් විතර වෙනස් විධියක් තමා එදාට කරන්න යන්නේ. අපි තෝරන්නේ සයිබරයේ සිහින කුමරා සහ සිහින කුමරියයි. මේ අවස්ථාව එදාට ඔබට සුවිශේෂි අත්දැකීමක් වනු නියතයි. ඒ ඇයිද කියනවනම් රූමත් කුමරියක ලෙස කිරුළු පැළඳීමට හෝ කඩවසම් කුමරෙකු ලෙස කිරුළු පැළඳීමට ඔබට සයිබර් අවකාශයෙන් පියවි ලොවට පැමිණ ලැබෙන පළමු අවස්ථාව මෙයයි. මේ තරඟයට සහභාගි වන්නත් හරිම ලේසියි. පළමුවෙන්ම කරන්න තියෙන්නේ අදාළ ඉල්ලුම් පත්‍රය පුරවන එකයි. ඉන්පසු එදිනට තමන් අඳින සාමාන්‍ය ඇඳුමකින් සැරසී එදිනට පැමිණෙන්න. මේ වෙනුවෙන් වෙනම ඇඳුමක් අඳන්න අවශ්‍ය නෑ. ඒත් ඔබේ සුන්දරත්වය, කඩවසම් බව කැපී පෙනෙන ලෙස අඳින්න පුළුවන් නම් ඔබට වැඩි වාසි අත්වනු ඇත. සිහින කුමරියන්ට තම රූපලාවන්‍ය කටයුතු හොඳින් කරගන්න ඕනනම් පොඩ්ඩිගේ වලව්වේ මේ දවස්වල ඒ සඳහා පුහුණු කරනවලු. එහි ගිහින් පොඩි පුහුණුවක් අරන්ම එන්න. හැබැයි ඔය උලන ආලේප අව්වට දිය උනොත් නම් කරන්න දෙයක් නැතිවෙයි. 
හරි ඒවායින් කමක් නෑ ඔබ මේ තරඟයක් දිනන එක සිහිනයක් ලෙස සිතුවානම් එන්න ඇවිත් ඔබේ සිහිනය සැබෑ කරගන්න අවස්ථාවයි මේ.
තවත් තරඟ රැසක් තියනවනේ. ඒවා මොනවද කියල බලන්න මේ සඳහාම වෙන් කළ අඩවියටත් ගොඩ වෙන්න.
මේ උත්සවය අපි මුලින්ම තියන්න හිතුවේ නොමිලේම පිරිස සහභාගි කරගෙන දිවා ආහාරයත් ලබා දෙන්න. ඒත් පසුගිය දිනෙක අපි කවුරුත් දැනගත් එක් සිදුවීමක් නිසා මේ අදහස තරමක වෙනසකට ලක් කරන්න තීරණය කළා. ඔව් අපි මේ සතුටු දායක අවස්ථාවේ අපේ ඉදන්දාරියාගේ සතුටත් ඇති කරන්න යමක් කළ යුතුයි කියා සිතුවා. ඒ නිසා මේ උත්සවයේ අරමුදලෙන් ඉතිරි වන සියල්ල ඉලන්දාරියාගේ ඇසීම ලබා දෙන ශල්‍යකර්මය වෙනුවෙන් වැය කරන්න තීරණය වූවා. ඒ නිසා අපි ඔබෙන් ඉතා සුළු මුදලක් වන රුපියල් 100 ක ටිකට් පතක් ඇතුළුවීම වෙනුවෙන් ලබා දෙන්න තීරණය කලේ. එහෙත් කලින් තිරණය කළ ලෙසම දිවා ආහාරය ලබා දෙනවා. අරුණි ෂපීරෝ සොයුරියයේ අනුග්‍රහයෙන් රසවත් කේක් සංග්‍රහයක් පැවැත්වෙනවා. ඉලන්දාරියා වෙනුවෙන් ආධාර කරන අයට අරුණි ෂපීරෝ විසින් රචිත පොත් තෑගි දෙන්නත් තීරණය කර තිබෙනවා.
එහෙමනම් එන්න අප්‍රේල් 03 වෙනිදා උදේ 9.30 ට තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයට. සයිබරයේ මිතුරන් සමග අවුරුදු කන්න. සතුටු වන්න. අපේ ඉලංදාරියා ගොඩදාන්න දායක වෙනනත්...
මේ අපි කාගේත් සයිබරයේ අවුරුදු උත්සවයයි..
තව දුරටත් මෙය සිහිනයක් නොවේ.....

Tuesday, March 22, 2011

Feedjit ඇතුවත් බැරි නැතුවත් බැරි විජට් එකක්....

Live Traffic Feed යන්න අන්තර් ජාලය හා යෙදෙන අතර බ්ලොග් කරණයේදී බහුලවම මෙය යොදාගන්නේ අපේ බ්ලොග් එකට එන ආගන්තුකයන් හඳුනා ගැනීමටයි. මෙවැනි විජට් ගණනාවක් ඇතත් බොහෝදෙනා භාවිතයට ගන්නා Feedjit නමැති වෙබ් සයිට් එකෙන් ලබා දෙන විජට් එකයි. මගේ බ්ලොග් එකෙත් මේ විජට් එක තියනවා කවුරුත් දැකල ඇතිනේ. 
මෙහි Feeds 10ක් පමණ කියවන්න පුළුවන්. වැඩි ප්‍රමාණයක් කියවන්න නම් Real-time view එකට යන්න ඕන. එය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. පළමු වැන්න අදාල ලින්ක් එක මත මවුස් එකේ වීල් බට්න් එක ක්ලික් කර අළුත් ටැබ් එකකට ගන්න එක. පහල රූපයත් බලන්නකෝ.
මෙහි පහලින් ඇති Real-time view යන්න මත වීල් බට්න් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. නැතිනම් අදාල වෙබ් ලිපිනය ටයිප් කරන්නත් පුළුවන්. උදාහරණයක් ලෙස මගේ බ්ලොග් එක http://priyantha.blogspot.com නම්, මගේ Feedjit ලිපිනය වන්නේ http://live.feedjit.com/live/priyantha.blogspot.com/0/ යන්නයි. මෙහි රතු පැහැ අකුරු වෙනුවට ඔබේ බ්ලොග් අඩවියේ නම සඳහන් කිරීමෙන් ඔබේ බ්ලොග් අඩවිය සඳහා Feeds ලැබෙන ආකාරය බලන්න පුළුවන්. පහත රූපයත් බලන්නකෝ..
මෙයින් Feeds 50 ක් බලාගන්න පුළුවන්. රූපය මත ක්ලික් කර විශාල කර ගෙන බලන්න බොහෝ විස්තර පේනවා නේද? පැමීනීමක්ද, පිටතට යාමක්ද? පැමිණි රට, භාවිතා කරන බ්‍රව්සරය, Operating System එක, පැමිණියේ කුමන අඩවියක් හරහාද?, විස්තරයක්, පැමිණි හෝ පිටවූ වේලාව ආදිය මෙහි දර්ශනය වනවා. (මෙහි ඇත්තේ snipper tool එකෙන් වෙන්කරගත් screenshot එකක්. සම්පූරණ පිටුව නොවේ)
මේ අනුව ඔබට ඔබේ බ්ලොග් එකට පැමිණෙන අය ගැන අදහසක් ගන්න පුළුවන් නිසා මෙය වැදගත් විජට් එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්. දැන් බලමු ඇයි මේක ඇතුවත් බැරි එකක් කියල මම කීවේ.
ඔබ ගිය ආකාරයටම වෙනත් කෙනෙකුට උනත් මෙය භාවිතයෙන් ඔබේ බ්ලොග් එකේ Feed බලන්න පුළුවන්. එහෙම බැලුවා කියා කරන්න පුළුවන් දේ සීමිතයි. නමුත් මම මෙහිදී කියන්න ගියේ ඔබ කිසියම් පොස්ට් එකක් ලියන විට එය Preview කරනවනේ. එසේ Preview කරන Feed එකත් මෙහි සටහන් වෙනවා. පහත රූපය බලන්න. මම එසේ ටෙස්ට් පොස්ට් එකක් කර ලබාගත් screenshot එකක් පේනවා නේද.
මෙහි මැදින් ඇති “මගේ මතක: Preview "Test Post" යන්න එසේ preview කළ Test Post එකක feed එකයි. එහි preview කළ පෝස්ට් එකට අදාළ ලින්ක් එක තිබෙනවා. එම ලින්ක් එකෙන් ඕනෑම අයෙකුට එම preview එක බලන්න පුළුවන්. එම නිසා විශේෂ පෝස්ට් එකක් කරනවනම් එය වෙනත් අය අතට කලින් පත්වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට කෙනෙක් මුල් අයිති කරුට කලින් තම අඩවියේ පළ කරන්න පුළුවන්නේ. නමුත් වාසනාවකට පැය කීපයකට පසු එම ලින්ක් එක වලංගු නැති වෙනවා.
දැන් බලමු මෙසේ ලින්ක් එක Feeds වලට එක් නොවන ලෙස preview කරන්නේ කෙසේද කියා. ඒ සඳහා පෝස්ට් එඩිටර් පේජ් එක හා බ්ලොග් එක බ්‍රව්සරයේ ටැබ් දෙකක ඕපන් කරන්න. preview කිරීමට විනාඩියකට පෙර බ්ලොග් එකේ හෝම් පේජ් එක හෝ පරණ පොස්ට් එකක් ලෝඩ් කරන්න. නැතිනම් පවතින පිටුව රිෆ්‍රෙශ් කරන්න. වෙනම ටැබ් එකක Feeds පේජ් එක තබාගෙන බලන්න. රූපයේ ආකාරයටම තත්පර කීපයක කාලයක් සමග Feeds Update වෙයි.

එම අවස්ථාවේ preview කරන්න. බලන්න Feeds එන්නේ නෑ නේද? මෙම Feedjit අපට බ්ලොග් එකට වැදගත් නම් පොස්ට් එකක් කලින් කෙනෙකුට බලන්න බැරි වෙන්න මේ ක්‍රමය අනුගමනය කිරීම හොඳයි කියලයි මට හිතෙන්නේ.
එහෙමනම් තවත් පෝස්ට් එකක් සමග හමුවෙමු. ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

Friday, March 18, 2011

Snipping Tool මේ මොකක්ද මේ?....

කලින් දවසේ පොස්ට් එක ලියන්න මට ප්‍රයෝජනවත් උන Tool එකක් ගැන අද පොඩි පෝස්ට් එකක් ලියන්න හිතුනා. මම Windows 7 operating system එකට මාරු වෙලා තාම මාස 5යි. මේ Tool එක මට මුලින්ම ලැබුනේ වින්ඩෝස් 7 වලින්. මම කලින් භාවිතා කල විස්ටා වල මම භාවිතා කළ වර්ශන් එකේ මේක තිබුනේ නෑ. 
අර උඩින් කියල තිබුන ආකාරයටම මේකේ නම Snipping tool. මේකෙන් කරන්න පුළුවන් අපේ වින්ඩෝ ස්ක්‍රීන් එකේ screen shot එකක් ගන්න එකයි. මෙය විස්ටා සහ Widdows XP Tablet PC Edition (Experience Pack) එක සමග දක්නට ලැබේ. 
All Programs වල Accessories යටතේ මෙය ඇත. මෙය සොයා ගැනීමට කලින් මම භාවිතා කලේ Print Screen (Print Scr) කී එක මගින් ලබා ගන්නා screenshot එකක් paint වලට paste කර එයින් අවශ්‍ය කොටස පමණක් කපා වෙන් කැ ගැනීමයි. නමුත් snipping tool එක මගින් අපට අවශ්‍ය කොටස පමණක් screenshot එකට වෙන්කර ගන්න පුළුවන්.
කරන්නේ මෙහෙමයි. Snipping Tool එක මුලින්ම ලෝඩ් කර ගන්න. මේවගේ ස්ක්‍රීන් එකට ලොඩ් වෙයි.
 මෙහි New මත ක්ලික් කිරීමෙන් අවශ්‍ය පරිදි screenshot එක තෝරා ගත හැක. මෙහි option 4ක් ඇති අතර පහලට ඇති ඊ හිස මගින් අවශ්‍ය option එක තෝරා ගත හැක.
  1. Free-form Snip මෙයින් අපට නිදහසේ ඕනෑම හැඩයක capture එකක් ගන්න පුළුවන්. 
  2. Rectangular Snip මෙමගින් චතුරස්‍රාකාර හැඩයක screenshot එකක් ලබා ගන්න පුළුවන්.
  3. Window Snip මෙමගින් වින්ඩෝ එකක screenshot එකක් ගන්න පුළුළුන්. මෙහිදී අදාල වින්ඩෝ එක ඇක්ටිව් වින්ඩෝ එක ලෙස උඩින්ම පවතී නම් වඩා හොඳයි. නැතිනම් උඩින් ඇති එකේ කොටසක් එකතු වෙන්න පුළුවන්.
  4. Full-screen Snip මෙමගින් සම්පූරණ screen එකේම screenshot එකකත් ගන්න පුළුවන්.
මේ එසේ screenshot ගැනීමට යන අවස්ථාවයි.
මෙය rectangular screenshot එකක් ගන්නා අවස්ථාවකි. මෙහිදී අප තෝරා ගන්නා කොටස පමණක් පැහැදිලිව පෙනෙන අතර ඉතිරිය රූපයේ ආකාරයට ලාපැහැයෙන් දිස්වේ.
මේ එසේ ලබාගත් screenshot එකකි.
ඉන්පසු මෙය අපට අවශ්‍ය පරිදි කැමති ෆෝමැට් එකකට සේව් කර ගත හැක. ඒ සඳහා JPG, GIF, PNG, HTML(MHT) යන Image format වලින් සේව් කරගැනීමේ පහසුකම ඇත.
ඊට අමතරව Pen එකක්, Highlighter එකක් ඇත. Pen එකෙන් ලිවීමේදී හෝ Highlighter එකෙන් සලකුනු කිරීමේදී වැරදීමක් වූවිට මැතීමට Eraser එකක්ද ඇත.
මේක දන්න අයත් ඇති. කලින් භාවිතා කර නොමැති නම් වැඩක් නැතිව ඉන්න වෙලාවක අත්හදා බලන්න. Windows XP (Tablet PC Edition) භාවිතා කරන අයට දැනට මෙය නැතිනම් මෙතනින් ගන්න පුළුවන් වෙයි. ගිහින් අරන් බලන්නකෝ.
මම නම් මෙයින් ප්‍රයෝජන රැසක්ම අරන් තියනවා. ඔයාලත් කරලම බලන්න.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

ප/ලි
මේක වැඩකට නැති පෝස්ට් එකක් කියල බනින්න නම් එපෝ. මේවා ගොඩක් වැදගත් වන නවකයින් ඕනෑ තරම් ඉන්නවානේ.

Wednesday, March 16, 2011

බ්ලොග් එකේ බැකප් එකක් ගමු නේද (How to backup blog)

බ්ලොග් අඩවි ගණනාවක්ම හැක් වෙලා කියල මේ දවස් වල සිංහල බ්ලොග් අවකාශය පුරාම ලොකු ආන්දෝලනයක් ඇති වෙලා. සමහර අයට බ්ලොග් එක හැක් කරනවා කියල තර්ජන ඇවිල්ලත් කියනවා. තවත් අය කියන්නේ මේවා හැක් වෙලා නෑ තමන් විසින්ම මකා දමා ඇතැයි කියා. මේවායින් ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නෙ කවුද යන්න තෝරා බේරා ගන්නත් අමාරුයි. සිතට එකඟව කතා නොකරන, සිතට එකඟව ක්‍රියානොකරන මිනිසුන් සිටිවා අපේ සමාජයේ මේවායේ හරි වැරදි හොයනවා කියන්නේ නිකරුනේ කාලය කා දැමීමක් නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු. 
ඇත්තටම hacking යනු කුමක්ද? මෙම ලිපියේ අරමුණ හැකින් ගැන කතා කිරීම නම් නොවේ. ඒත් මගේ මේල් එක, නැතිනම් බ්ලොග් එක හැක් කරලා කියන ඇතැම් අය, එහෙම නැතිනම් මම ඔයාගේ මේල් එක, බ්ලොග් එක් හැක් කරනවා කියා බොරු තර්ජන කරන අයත් හැකින් යනු කුමක්ද කියා දන්නෙත් නැතුව ඇති.
Hacking යනුවෙන් පරිගනක ආශ්‍රිතව භාවිතා වන යෙදුමෙන් අර්ථ දක්වන්නේ කිසියම් පරිගනකයක්, පරිගනක ජාලයක්, ඊමේල් ගිණුමක්, බ්ලොග් එකක් වැනි යමක් පිටත සිට එහි අයිතිකරුගේ අවසරයකින් තොරව සම්පූර්ණ පාලනයට තමන්ට නතුකරගැනීමයි (administrative privileges). 
අද මම කියන්න යන්නෙ හැක් වීම හෝ වෙනත් ක්‍රමයකින් තම බ්ලොග් අඩවියට හානියක් වෙන අවස්ථාවක නැවත ස්ථාපනය කර ගැනීමට එහි ආරක්‍ෂිත පිටපතක් (backup) තබා ගන්නේ කෙසේද කියායි. 
මේ සඳහා විවිධ ක්‍රම ඇති. ඒත් මම කියන්නේ ඕනම කෙනෙකුට පහසුවෙන්ම කරන්න පුළුවන් බ්ලොගර් වල ඇති ක්‍රමයයි. ඉතිරිය කියන්න කලින් කියන්නම් මේ ක්‍රමය වලංගු වන්නේ blogger වල ඇති බ්ලොග් සඳහා පමණයි.  Wordpress සඳහා පසුව විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.
හරිම ලේසියි. ඒත් මම පියවරෙන් පියවර කියන්නම් නවකයින්ටත් පහසුවෙන් තේරුම් ගන්න.
පළමුව blogger dashboard එකට යන්න. ඔන්න ලින්ක් කරලම තියෙන්නේ.
පහත ආකාරයේ මෙනු එකක් ලැබෙයි.
මෙහි මගේ නම් බ්ලොග් 2ක් තිබෙනවා. ඔබේ මෙය වෙනස් ඇති. එයින් backup කරන්න අවශ්‍ය බ්ලොග් එකේ settings වලට යන්න.
මේ වගේ පේජ් එකකට යයි.
මෙහි basic යටතේ ඇති Blog Tools වලින් Export Blog වලට යන්න. එහි පේජ් එක පහත දැක්වේ.
දැන් Download Blog මත ක්ලික් කරන්න. .xml ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වනු ඇත. උදාහරනයක් ලෙස අද දවසේ මෙය කරනා විට blog-03-16-2011.xml නමින් අදාළ ෆයිල් එකක් ඔබට ලැබේ. මෙය ආරක්‍ෂාකාරි තැනකට කොපි කර තබා ගන්න. මෙම ෆයිල් එක මගින් නැවත ස්ථාපනය කළ හැකි වන්නේ අවසන් වරට බැකප් කළ දවසේ ඇති බ්ලොග් පොස්ට් හා කමෙන්ට් පමණයි. ඊට පසු ඒවා ලබා ගත නොහැක. එනිසා හොඳම දේ පොස්ට් එකකට පසු බැකප් එකක් ගැනීමයි.
දැන් බලමු යම් ලෙසකින් බ්ලොග් එක හැක් කිරීමකට හෝ වෙනත් හානියකට ලක්ව ඇතිනම් නැවත ස්ථාපනය කරන්නේ කෙසෙද කියා.
මෙහිදී කළ යුත්තේ දෙවන රූප සටහනේ ඇති පේජ් එකේ කලින් ගිය Export Blog වෙනුවට Import Blog යන්න. පහත පිටුව ලැබේ.
මෙහි Choose File මගින් කලින් සේව් කළ .xml ෆයිල් එක තෝරා ගන්න. පහල ඇති අකුරු හඳුනාගෙන ඒවා ඊට පහතින් කොටුවේ ටයිප් කරන්න. ඉන්පසු සියලු පොස්ට් අප්ඩේට් කිරීමට අවශ්‍ය නම් Automatically publish all imported posts ලකුණු කර Import Blog මත ක්ලික් කරන්න. නැතිනම්  Import Blog පමණක් ක්ලික් කර පසුව දෙවන රූපයේ ඇති Posting වල Edit වලින් අවශ්‍ය පොස්ට් පමණක් Publish කරන්න.
මෙය පොස්ට් නැතිවූ කලින් පැවති බ්ලොගයට මෙන්ම අළුත් එකවුන්ට් එකක් මගින් සාදාගත් බ්ලොග් එකක් සඳහා වුවද  Import කළ හැකිවේ.
අද නම් පොඩි පොස්ට් එකක් ලීවේ. ඒත් මෙය නවක බ්ලොග් කරුවන්ට වැදගත් වෙයි කියා හිතනවා. කෙසේ වෙතත් ඔබේ බ්ලොග් එක හැක් කිරීමකට ලක් නොවේවා කියා ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

Thursday, March 10, 2011

සොඳුරු චාරිකාවක් (සොඳුරු හමුවක්.03)

සිතේ ඇතිවන සියලු දේ බිඳී යන්නේ තත්පර කීපයකින්. කාලයක් තිස්සේ හඳුනා ගෙන සිටි ඈ හමුවූයේ මුල් වරට උනත් එදිනම ඇය මා හා ඇවිදින්න යන්න කැමති උනා. මමත් ඒ දිනය එන තෙක් සිටියේ ඇඟිලි ගනිමින්. ඒත් සියලු පැතුම් බිඳී යන බවක් පෙනුනේ බ්‍රහස්පතින්දා උදේ අහස කළු කරන්නට පටන් ගත් නිසා. මේ යන විධියට නම් මේ සුන්දර ගමන යන්න වෙන එකක් නෑ කියලයි සිතුනේ. දවසම වැස්ස අහස රෑ කාලයේත් එලෙසම පැවතුනා. ගෙදර ඉන්නා විට ඇයට ඇමතුමක් දෙන්න නොහැකි නිසා තවත් කම්මැලි කමක් ආවා. සුපුරුදු පරිගනකය වෙත ඇදී ගියේ නොදැනුවත්වම වාගේ. 
ෂාහ්.. ඇගෙන් මේල් එකක්. කාලයක් තිස්සේ සොයමින් සිටි දෙයක් ලැබුනා වගේ දැනුනේ. උදෙත් චැට් කළාට මේ මෙල් එක හොයමින් සිටි එකක් වගේ තමා මට දැනුනේ. රෑ 9 ට විතර ඕන් ලයින් එන්නම්. කතා කරන්න ඕන. එපමණයි.
හරියටම වෙලාවටම ඇගේ චැට් එකක්.
ළමයෝ දැන් මොකද කරන්නේ. දිගටම මෙහෙම වහීද?
ඒක තමා ලමයෝ මමත් මේ කල්පනා කරන්නේ. හරි වැඩේ තමා. 
මටත් හරිම දුකයි අනේ. මොකද කියන්නේ වැස්සත් කමක් නෑ වැස්සෙම යමුද?
මටනම් කමක් නෑ. ඒත් තෙමිල ඔයා ලෙඩ උනොත්. අනික දැන් වැහි වතුර විසයි. ඔයාගේ ලස්සන සමට හානි උනොත්.
අප්පේ කොල්ල හිතන දුර...
කමක් නෑ බලමු තව දවස් දෙකක් තියනවනේ.
වැස්සේ ශබ්දය මැද නින්දට ගිය මට උදේ ඇසුනේ වෙනත් සද්දයක්. එලියට ඇවිත් බලනවිට සිතේ දහසක් මල් පිපුනා. අහස නිල්ම නිල් පාටයි. හොඳට සුලං හමනවා. මෙ විධියට සුලං තිබුනොත් නම් වහින එකක් නෑ දවස් ගාණකට. මට හිතුනේ එහෙමයි.
උදෙන්ම ඇයගෙන් කෝල් එකක්..
අපේ ලෝකෙට අව්ව පායල ලමයෝ...
ඒකනේ ළමයෝ අපි හොඳයි නේ. අපිට කරදර වෙන්නේ නෑ ඒ නිසා...
තියන්නම් .. හෙට උදේ වෙලාවට ඔයා එන්න. මමත් ඇවිත් ඇති එදා තැනටම. හා මට හෙල්මට් එකක් ඕනිනේ..
හරි මම ගේනවා. අළුත් එකක්ම අරන් එන්නම්කෝ 
අවංක හදවත් දෙස දෙවියොත් ආශීර්වාද කරනවා කියන්නේ ඇත්ත වෙන්න ඇති. එදා හොඳට ඉර පායලා. මඳ සුළඟක් හමනවා. හරිම සුන්දර දවසක්.
හරියටම වෙලාවටම අපි පිටත් උනේ.
ඇයට කිසියම් නුහුරු බවක් පෙනුනත් ඇය කිසිත් නොකියා බයිසිකලයට නැගී අසුන් ගත්තා. 
දැන් යමු බබෝ...ඇගේ සුරතල් වෙමින් පැවසූවේ..
ලා හිරු රැස් මැද මඳසුළඟේ පැද්දෙන මල් බලමින් ගමන ඇරඹූ අපේ නාසයට සුමිහිරි මල් සුවඳක් කොහේදෝ සිට එනු දැනුනා. 
කෝ ඔයා හෙමින්නේ යන්නේ. පාරේ වාහන නැති තැන්වලදී ඇය කියන්නීය.
යන්නද හයියෙන්..
හරි යන්...
බය නැද්ද?
අපොයි නෑ... 
හැප්පුනොත්...
එකටම මැරෙමු...
මම වෙගය වැඩි කලෙමි. ටික දුරක් යන විට 
දැන් ඇති හෙමින් යමු. මට වට පිට බලන්නත් ඕන..
ඒකනේ මම හෙමින් ආවේ. මම දන්නවානේ පැනි කිරිල්ලි ආවේ ලස්සන බලන්න කියල...
ලස්සන තේ වත්තක් අයිනේ මම නතර කලෙමි. ඇයි මහන්සිද? ඇගේ හඬ කලින්ටත් වඩා සුමිහිරිය..
එහෙනම් දෙන්න මම ගෙනියන්නම් ඔයාව පොළවට උඩින්.. 
හා හා දැන්ම ඕන නෑ මම දන්නවා කෙල්ල චන්ඩියා කියල. මේ පාර ඔයාට පුරුදු නෑ නේ. මේකේ යන වාහන වලට කිසි පිළිවෙලකුත් නෑ. ටිකක් ඉඳල යමු. බලන්නකෝ අර කඳු තේවතු අර ඈතින් පේන දිය ඇලි වල ලස්සන.
ඔව් අනේ එහෙනම් අපි ටිකක් ඉමු.
බයිසිකලයෙන් බිමට බැස්ස කිරිල්ලිය හෙල්මටය ගලවා තබා පාරේ ඒ මේ අත දුවන්නට වූයේ පොඩි ළමයෙකු මෙනි.
දුවන්න එපා බලාගෙනයි ළමයෝ ඔය වාහන එනවා. බය වෙන්න එපා මම පරෙස්සම්. ඇය ආපසු මා වෙත දිව ආවේ සමනලියක මෙනි..
යමු අර ගල් තලාවේ වාඩි වෙලාම කතා කරමු. මා අතින් ඇදගත් ඇය පාරෙන් මදක් ඔබ්බෙන් ඇති ගල් තලාවක් වෙත දිව ගියා..
කලින් දවසේ මෙන් නොව කිසිවෙක් නැති නිසල තැනක් නිසාදෝ ඇය මට වඩාත් තුරුළුව වාඩි වෙන්න ඇත්තේ.
මම මෙහෙම ළඟින් ඉන්නකොට ඔයාට මොනවද හිතෙන්නේ. මගේ සිතුවිලි බිඳිමින් ඇය අසයි..
ලෝකෙම මගේ කියල හිතෙනවා. කෝ දෙන්න ඔයාගේ අත...
මට බෑ කපටි කොල්ලා.. සිනාසෙන ඇය මගේ අත මෘදු ලෙස අල්ලා ගනියි...
මගේ උරහිසේ ඔලුව තබා ගන්නා ඇය සුරතල් බස් මුමනයි. මම ඇගේ සේද කෙස් කළඹ අතරින් ඇඟිලි ගෙන ගියෙමි. ඇය තවත් ලංවිය. 
මගේ ජීවිතේ පිරිල වගේ දැනෙනවා ළමයෝ..
මටත් එහෙමයි...
සිංදුවක් කියමු.. ඇය දොඩමලු වෙයි.
හරි කියමු..
ඒත් මට සිංදු කියන්න බෑ ළමයා. ඔයා කියන්න මම අහන් ඉන්නම්. මම එදා කෝල් කරල ඔය කටහඬ අහපු දවසේ ඉඳන් සිංදුවක් අහන්නමයි හිටියේ. කියන්නකෝ... කෝ අනේ...
හරි එහෙනම් මම කියන්නම්. ඔයත් එකතු වෙන්න. මට බෑ...
එහෙම බෑ.. නෑ කමක් නෑ මම කියන්නම්කෝ..
බෑ කියූ ඇය මද වේලාවකින් සිංදුවට අත්වැල් අල්ලන්නට විය.. ඔයත් ඔය ලස්සනට කියන්නේ..
හී හී ගල්තලාවෙන් නැගිට ගත් ඇය දුවන්නට විය. මම ඇය පසු පස දිවගොස් අල්ලා ගතිමි.
මම හිතුවේ අල්ලන්න බැරිවෙයි කියල. ඇය සිනාසෙයි.
මම බය උනේ හයි හීල් දාන් දුවල මෙතන වැටුනොත් කියල. නැත්තන් කොහෙද මාත් එක්ක දුවන්නේ. කලින්ම අල්ල ගන්නේ...
ආයේ අල්ල ගන්න දෙයක් නෑ මම ඊට කලින් ඔයාව අල්ලන් ඉවරයි.. ඇය කොඳුරයි.
මං දන්නවා. මමත් ඇගේ කණට මිමිණුවෙමි..
යමුද තව දුර යන්නත් තියනවානේ. 
ඔව් ළමයා අපි යමු..
මතකද පොරොන්දුව.. 
ඇය ඇස් නටවමින් අසයි..
හ්ම් ඇයි නැත්තේ තව යමු. ඉස්සරහ මල් විකුණන ළමයි ඉන්නවා ඇති..
දැන් නම් සීතල තදින්ම ඇඟට දැනේ. ඇයට නම් ඒ ගැන තැකීමක් නැත. තරමක් වේගය අඩු කළ මම ඇය දෙස හැරී මං දන්නවා ඔයා සීතලට කැමතියි කියල. ඒ උනාට ඔය ජැකට් එක දාගන්න. නැතිනම් අසනීප වෙයි ඔයා..
හ්ම් හැම වෙලේම ඉතින් මට උගන්නන්න එනවා. පණ්ඩිතයා කියා කට ඇද කළ ඇය එහෙන්ම් නවත්වන්න මම මේක දාගන්නම්..
අන්න. මගේ උරහිසට උඩින් එබුන ඇය ඈත පාර අයිනේ මල් විකුණන කුඩා දැරියක පෙන්වූවාය..
දැරිය අසල බයිසිකලය නතර කළ මා දැරිය අත වූ ලස්සනම මල් පොකුර ගෙන ඇයට දුන්නේ හද පිරි සතුටිනි. එහි ඇති මල් වලටත් වඩා ලස්සන සිනාවක් ඇගේ මුවග සටහන් විය. ආසාවෙන් නාසයට ලංකළ මල් වල සුවඳ බැලූ ඇය ඒවා මටත් ලංකර සුවඳයි නේද ඇසුවාය..
හ්ම්..
මොකක්ද අනේ හරියට කියන්නකෝ..බොරු නොක්කඩුවකි.
හරියට සුවඳයි...
ඔය ආයෙත් කළේ ඒකමයි. හරි නරකයි.
මම මල් පොකුරෙන් මලක් ගෙන ඇගේ හිසේ ගැසුවෙමි. දැන්නම් හරිම ලස්සනයි. පුංචි සුරංගනාවියක්ම තමා.යමු අතන ඉඳන් ෆොටෝ එකක් ගමු.
කපටියා. කොහොමද ඔච්චර ඉක්මනට මාව ෂේප් කරගන්න ඉගෙන ගත්තේ..
මම සිනාවකින් පිළිතුරු දුනිමි.
කෝ දෙන්න බලන්න ගත්ත ෆොටෝ එක. ලස්සනයි. හැබැයි මේවා එහෙ මෙහේ දානවා එහෙම නෙවේ. බොරු තරහක් මවාගනිමින් පවසයි..
එසේය කුමරිය....
ඇය මහ හඬින් සිනාසෙයි..
කිසි දිනක නොලැබූ සැහැල්ලුවකින් සිත පිරී ගොස් ඇත. ඇයටත් එලෙසම දැනෙනා බවක් පෙනේ. විටෙක තනිවම සිනාසෙයි. බැලුවම මමත් කරන්නේ තනිවම සිනාසෙන එක නොවේද?
එක් විටෙක සිනාවන් දෙක එකිනෙක හමුවිය..
පිස්සු නේද අනේ..
කාටද? කිසිත් නොදත්තෙකු මෙන් මම ඇසුවෙමි..
ඔය ඒකවත් තෙරෙන්නේ නැද්ද. දෙන්නටම.
එක්කන් යන්නම වැඩේ. එතනින් පිස්සියෙක් අල්ල ගත්තොත්..
ඇයි අල්ල ගත්ත පිස්සි මදිවටද..
එන්න එපා මට පිස්සි කියන්න.. පිස්සා පිස්සා.....
එන්නේ නැතිව ඈත ඉඳන් කියන්නද පිස්සි කියල..
දවස ගෙවී ගියේ දෙදෙනාටම නොදැනීය. සවස ආපසු එමින් සිටියෙමු. 
ටිකක් නවතිමු අනේ තව වෙලා තියනවානේ. රෑ වෙන්නකලින් යන්න පුළුවන් වෙයි නේද. පුළුවන් බය වෙන්න එපා. ඇයි බය වෙන්නේ. ඔයා ඉන්නවානේ. ඔව් ඉතින් චන්ඩි කෙල්ලෙකුත් ඉන්න නිසා මමත් බය නෑ..
අර බලන්න. අර කඳු වල මීදුම. අර මල් වල සමනලයින් පැණි බොනවා. අන්න අන්න දේදුන්නක්...
අර බලන්න අර මල් දෙක මල් දෙක ආදරෙන් කතා කරනවා...
දේදුන්නනේ එන සමනලුනේ..ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ..
රෑන් රෑන් ඇවිදිල්ලා...අපේ ළඟින් ඉඳ පල්ලා... සනත් නනිදසිරිගේ ගීතය මම මුමුණන්නට ගතිමි. අත්වැල් ගායනය ඇයගෙන්...
යමුද අර අතන කඳු ගැටය උඩට.. ඇය අත දික්කර පෙන්නවයි.
යමු..
අවට බලමින් සුරතල් වදන් අසමින් බොහෝ වෙලාවක් අපි එතන ඉන්නට ඇත.
දැන් යමු. මම කීවේ රෑ වෙන්නට කලින් ඇයට ගෙදර යායුතු නිසාය. යමු. ඇයට යන්නට සිත් නැත. එහෙත් දවස අවසන් වේගන එයි.
පහලට එන අතර මග ඇති ගල් තලාවක මඳක් නැවතුනු ඇය එහි හිඳ ගත්තාය. මමද කිසිත් නොකියා ඇය ළඟින්ම වාඩි වූයෙමි..
ළමයෝ ආයෙම ඉක්මනට හමු වෙමු. නැතිනම් මට ලොකු පාවවක් දැනෙයි.... මටත් මම මිමිණුවෙමි.
ඇගේ ගෙල වටා අතක් යැවූ මම ඇය තවත් ළං කර ගතිමි.
ඇය මුහුණ මගේ නලලට ලං කරන්නට විය. දැන් පිපුන සමන් මලක සුවඳ මා හද වෙලාගන්නා බවක් දැනේ.
......

Tuesday, March 8, 2011

සොඳුරු හමුවක්............02


පුදුම වෙන්න එපා මම ඇයට දෙන්න රැගෙන ගියේ සූරියකාන්ත මලක්. ඇයත් මා වගේම සිතන තැනැත්තියක් නිසා මට නම් ගෑණු ළමයෙකුට පළමු වරට සූරියකාන්ත මලක් දෙන එක ගැන කිසිම ආකාරයක අමුතු සිතිවිල්ලක් උනේ නෑ. මගේ අතේ රැඳි මල දෙස ඇය බැලුවේ අපමණ සතුටකින්. ඒත් දෙදෙනාටම ඉන් පසු සිදුවූයේ නොසිතූ දෙයක්. දෙදෙනාටම එක වචනයක් කියා ගන්න බැරිව මූණෙන් මූණ බලාගෙන සිනාසෙනවා හැර කිසිවක් හිතාගන්න බැරි උනා. අවසානයේ මම අමාරුවෙන් කට හඬ අවදි කළේ.
ඉතින්...?
ඇයගේ පිළිතුර නැවතත් සිනාවක්..
ආ මේක ඔයාට..මම අතේ රැඳි මල ඇයට ලංකළා.
මං ආසම මල. ඔයා නම් මාර ලමයෙක් තමා. ඇය මගේ අතින් මල ගන්තා. මා ඇගේ සුමුදු ඇඟිලි යන්තමින් ස්පර්ශ කරමින් එය ඈ අත තැබුවා. නෙත් කොණකින් මා දෙස බලා සිනාසුනු ඇය හොරා..කියා නැවත සිනාසුනා. මේ දැන් පිපුන පිච්ච මල් යායක්ම ඒ සිනාවේ පිරී ගිහින්..
යමු ගිහින් අර බංකුවේ වාඩි වෙමු..මම හඬ ඉස්සර කළා.
ඇය මා සමගම ගොස් බංකුවේ වාඩි උනේ නැවත මාදෙස නෙත් කොනින් බලමින්.
ෂා මම හිතුවේ නෑ ළමයෝ ඔයා මෙච්චර ලස්සනයි කියල. 
ඇයි මම විතරද? ඔයත් හැන්ඩියානේ. බයික් එකේ එන ලස්සන මම ඈත ඉඳන් බලන් හිටියේ..
කොහොමද දන්නේ එන්නේ මම මයි කියල..
ඒක කියන්නේ නෑ...ඇය පොඩි ළමයෙකු මෙන් සුරතල් වෙයි..
හ්ම්ම්...
ඇයි ??
නෑ මුකුත් නෑ..
හිහි එහෙනම් කමක් නෑ..
මොකද කල්පනාව. මම ඇයට තරමක් ලංවෙමින් ඇසුවෙමි..
ඇයත් මට ලංවිය.
මා ලංකල අතට ඇගේ සුමුදු අත තබා සියුම් ලෙස ඇඟිලි මගේ ඇඟිලි අතරින් දවටා ගත්තා..

හිතුවද ඔයා අපි මෙහෙම හමු වෙයි කියල. ඈ කිංකිණි හඬින් අසයි..
හිතුවා. මම කවදාවත් ඔයා අවිශ්වාස කලේ නෑ. 
මං දන්නවා...
මාත් දන්නවා..
කාලය ගෙවී යන්නේ නොසිතන වේගයකිනි. ඇය අත් ඔර්ලෝසුව දෙස බලා මුහුණ ඇද කරගත් නිසා මට දුකක් ඇතිවිය. ඇයි.?  නෑ මුකුත් නෑ.
වෙලා ගියා නේද?
ඔව් වෙලාව නම් යනවා. මේ නිවාඩුවේ ආපු එකේ වැඩ කීයක් කරන්නද? ඒත් අනේ මට යන්න හිත දෙන්නේ නෑ මෙතනින්. 
කමක් නෑ.. අපි යමු ඇගේ සිත මට කියවන්න පුළුවන් උනේ කොහොමද මන්දා. ඔයාට බඩගිනිද? මොනව හරි බොන්න යමුද?
හා ඇගේ මුවේ මඳ සිනාවකි. මට අයිස් කෝපි හොඳයි. 
යමු අතන කැෆේ එකක් තියනවා. මම ඇගේ අතින් අල්ලාගෙනම නැගිට්ටෙමි.
මතකද? ඇය අසයි? මොකක්ද?
ඇයි මම ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් එකකුත් දැම්මේ...
ඇයි මතක නැත්තේ. දවසක බයික් එකේ නුවරඑළියේ යමු කියල නේ.. ඉතින් යමුකො ළමයෝ..
කවදද ලමයෝ ඔයාට පුළුවන්... ඇගේ නිල් නුවන් තරු දෙකක් මෙන් බබලයි.
ඔබෙ නිල්නුවන් තලාවේ ගීතය මගේ මුවගට එයි. ඒත් එහි විරහව සිහිවූ සැනින් එය අමතක කළෙමි..

ලමයෝ... ඇයි .. මේ අහන්නකෝ... අහන් ඉන්නේ ළමයෝ. ඇය ළදැරියක මෙන් සුරතල් හඬින් දොඩමලු වෙයි..
ඇය පානය කරමින් සිටි කෝපි වීදුරුව මගේ මුවගට ලං කරයි. ඉන් උගුරක් මම පානය කලෙමි. 
කෝ ඔයාගෙන් මට. මගේ කෝපි වීදුරුවෙන් ඇයත් පොදක් පානය කළාය..
අපි දෙන්නා හමුඋනේ අද උනාට එහෙම දැනුනේ නෑ නේද? ඇය පවසයි..
මම සිනාසුනෙමි. ඒකනේ...
මතකද අපි ඒ දවස්වල කතා උනා එකම දවසක රෑ එකම වෙලාවක හඳ දිහා බලමු කියල. මා ඇය පැරණි මතකයකට ගෙන ගියෙමි..
ඇයි මතක නැත්තේ.. ඇය සිනාසෙයි..
හොඳටම වෙලා ගිහින්. දැන් අපි යමු. එහෙනම් සෙනසුරාදා අපි නුවරඑළියේ යමුද? මම ඇසුවෙමි..
ඔයාට නිවාඩුනේ. මට කමක් නෑ..
ඔයාට ප්‍රශ්නයක් නැද්ද මගෙත් එක්ක මෙහෙම ගමනක් යන්න. අපි හමුඋනෙත් අදමනේ. මම ඇසුවෙමි..
නෑ මට ඔයා විශ්වාසනේ. නැතිනම් මම මෙහෙම ඔයා හොයන් එනවද? 
එහෙනම් මම ගිහින් එන්නම්. ඔයා පරෙස්සමෙන් යන්න. ඇගේ මුහුනේ දුකක් ඇවිත්..
ඔයත් පරෙස්සමෙන් කෙල්ලේ මම සෙමෙන් ඇගේ අත මුදාහරිමින් කීවෙමි..
තරමක් ඈතට ගිය ඇය නැවත හැරී ගිහින් මට කෝල් එකක් දෙන්න. ඔන්න කීවේ නෑ කියන්න එපා ෆාස්ට් රයිඩින් ඔට්ටු නෑ. මහ ලොකු එකියක් මෙන් කී ඇ පසු පස බලමින් නොපෙනී ගියා..

ප/ලි
තවත් කොටසක් සමග හමුවෙමු

Monday, March 7, 2011

සොඳුරු හමුවක්............

උදේම ජංගම දුරකථනය නාද වන්නට විය. මොන කරදරයක්ද සිතමින්ම දුරකථනය අතට ගත්තේ.
හෙලෝ ගුඩ් මෝර්නින්...
හෙලෝ...හෙලෝ...පිළිතුරක් නැත. ඒත් ඒපැත්තෙන් සද්ද ගෝෂා ඇහෙන්නේ කතා කරන කෙනා මාව උදේම රවටනවාද? උදේ පාන්දර තරහ ගන්නේ නැතිව නිහඬවම දුරකථනය විසන්ධි කළෙමි. 
පසුදින දවල් නැවතත් එවැනිම ඇමතුමක්. ම්ම් 111** ඔව් ඒ නොම්මරේම වෙන්න ඕන. කවුද මේ මට මෙහෙම කරන කෙනා. මම කලින්දා වගේම ඇමතුම විසන්ධි කළෙමි.
නැවත දින කීපයකින් ආ ඇමතුමක් සියල්ල වෙනස් කරන බවත් දැනෙන්නට විය.
හෙලෝ....
ආ හෙලෝ කොහොමද? මේ මම ලමයෝ...
මොහොතකට හදවත නැවතුනාදෝ මට දැනුනේ. ඇත්තටම ඔයාද?
ඇයි ඔයාට විශ්වාස නැද්ද?
නෑ එහෙම නෑ. මට අදහාගන්න බැරුව ගියා.
මේ ඒක නෙවේ වැඩිය කතා කරන්න බෑ. හෙට එන්නකෝ අනේ ලමයෝ මාව හමුවෙන්න. මම හෙට උදේට එන්න තැනක් කියන්නම්.. එනවා නේද? ඇය ලයාන්විත හඬින් පවසයි..
හොඳයි මම එනවා. බලන් ඉන්නම් උදේ කතා කරනකල්.
එහෙනම් තියනවා බායි......
බායි....කිව්වාද කියවුනාද මට මතක නැත. ජංගමේ අතකින් ගෙන විනාඩි කීපයක් සමහර විට පැයක් විතර මම එහෙමම ඉන්න ඇති..
පසු දින නිවාඩු දවසක් වුවත් උදේම අවදිවී බලා සිටියේ ඇමතුමක් එනතුරුය. මේක බොරුවක්ද? කවුරුත් මාව රවටනවාද? ටිකෙන් ටික වේලාව ගතවෙද්දී මට නොසිතුනා නම් නොවේ. ඒත් ඒත් පලවෙනි රිං එකටම ආන්සර් කලේ කොහොමද කියන්න මට තාම බැරිය. 
හෙලෝ මම අර පාරේ මල් ගස් පේළිය ළඟට උදේ 10ට එන්නම්. ඔයාට හොයාගන්න ලේසි වෙන්න රෝස පාට ටීෂර්ට් එකක් ඇඳන් එන්නම්. ඔයා එන්නේ කොහොමද?
මම ඉතින් පුරුදු විධියට බයික් එකේ එන්නම්. ..
හා නම්බර් එක කියන්නකෝ බයික් එකේ...
****** හරිනේ..
හරි එහෙනම් මම තියන්නම් ලමයා..
හොඳයි එහෙනම් පරෙස්සමෙන්. බුදු සරණයි..
ඔයාටත්..
මම ඇඳ ගත්තේ කොහොමද කියා මට මතකම නැත. ඒත් වෙනදාට වඩා ඒ සඳහා බොහෝ වේලාවක් ගතවූ බවනම් දැනුනා. කොණ්ඩෙම කීපාරක් පීරන්න ඇතිද? පර්ෆියුම් වැඩි උනාද මන්දා...
මෙච්චර පීරුව කොණ්ඩේ හෙල්මට් එකට අවුල් වෙන බව මතක් උනේ බයික් එකේ යතුර අතට ගන්න වේලාවේ. 
අම්මා මම නුවර ගිහින් එන්නම්. යාළුවෙක් එනවා කීවා. අම්මාට ප්‍රශ්නයක් නොතියාම මම අවසර ගත්තේ. හොඳයි පුතේ පරෙස්සමෙන්. ඒ ඉතින් කවදත් පුරුදු ආශීර්වාදෙනේ.
මම ඇය හඳුනාගෙන ටික කලක් වුවත් අප හමුවන්නේ පළමු වරටයි. තනිකම පිරි සිතට සහනයක් ගෙනාවේ ඇයයි. අද ඇය මා හමුවනවා....
පාරේ දෙපස ගස් වල කවදාවත් නොදුටු ලස්සන මල් පිපිලා තියෙන්නේ. මේවා වෙනදත් තිබුනද?
උදේ පිපුන මල් සුවඳ නාසය පුරා විඳින මට එය දැනුනේ ආත්මය සිඹිනා සුවඳක් ලෙසයි...
පාර අයිනේ නිවසක පිපුන රෝස මල් දෙකක් මද සුළඟේ එකිනෙක වැළඳ ගන්නේ කොතරම් ආදරෙන්ද. මේවා මීට කලින් මේ පාරේ තිබුනාද මට මතක නැත..
කුරුළු ගී හඬ බයිසිකලයේ එන්ජිමේ ගොර ගොර නද අභිබවා හෙල්මට් එකත් සිදුරු කරන් ඇවිත් වෙන්න ඕන මගේ කන් වලට ඇතුල් වෙන්නේ. වෙනදා නම් මට ඇසෙන්නේ බයිසිකලයේත් අනෙක් වාහන වලත් ඒන්ජින් වලින් නැගෙන රළු හඬ හා කරච්චලයක් වන නලා හඬ පමණි. ඒත් අද ඒ හඬ සියල්ල ගොළු වී ගිහින්. ඒ වෙනුවට කුරුළු ගීත, සුළඟ මුමුනන ගීත, පාරේ යන මිනිසුන්ගේ සුමිහිරි වදන්.. මේවා හදිස්සියේ කොහොමද මෙහාට ආවේ..
ඕනෑවටත් වඩා කලින් ගෙදරින් ආවත් නොදැනීම බයික් එකේ වේගය වැඩිවෙනවා. මගේ සිත අද මට අයිති නෑ වගේ. මේ හැමදාම පුරුදු බයික් එක හෙමින් ගෙන යන්න බැරි ඇයි..
අන්තිමට කරන්නම බැරි තැන විනාඩි කීපයක් බයික් එක පාර අයිනේ නවතා නිදහසේ හුස්මක් ගෙන සිත සැහැල්ලු කර ගතිමි. ආයෙම දැන් නම් පරෙස්සමෙන් පදිනවා සිතාගෙන සෙමින් ගමන ආරම්භ කලෙමි.
අහසේ වළා කුලක් පාවී යයි. එයින් වැස්සක් එන් එකක් නම් හිතන්න කොහෙත්ම ඉඩක් නෑ.
ඒත් මට වික්ටර් රත්නායකගේ හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්...අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් සිංදුව මිමිනෙන්නට විය...
අවසානයේ ඈ පැවසූ වෙලාවටම මල් ගස් පේළය ළඟ බයික් එක නතර කළෙමි..
රෝස පැහැ ටී ෂර්ට් එකකින් සැරසී මිහිබට සුරඟනක් මෙන් බංකුවේ වාඩිවී සිටින්නේ ඇයම විය යුතුය. 
මා බයික් එකෙන් බැස හෙල්මට් එක ගලවන විටම බයික් එකේ අංකය බලා නැවත මාදෙස බැලු ඇගේ මුහුනේ ඇතිවූ සතුට...
ඒ සොඳුරු මුව මත කෝපි මල් පොකුරක් පිපී දිලෙන්නට විය..

ප/ලි
(තවත් කොටසක් හෙට)