Thursday, September 15, 2011

සමුගන්නම්.....04

සමින්ද අයියා...
මං ගැන ගොඩක් බලාපොරොත්තු තියන් සිටි අයෙක්. කොච්චර හොඳ කෙනෙක් උනත් මගේ සිත එයා ළඟට ගියේම නෑ. ඒ ඇයි කියන්න මං දන්නෙත් නෑ. එයා කවදාවත් කෙනෙක්ගේ හිත රිද්දන කෙනෙකුත් නෙවේ. ඒ වගේම හරිම නිහඬ චරිතයක්. කෙල්ලොත් එක්ක ආශ්‍රයක් නම් ඇත්තේම නැද්ද කොහේද. මම කවදාවත්ම දැකල නෑ කෙල්ලෙක් එක්ක විනාඩි පහකට වඩා කතා කරනවා. ඒත් මොන හේතුවක් නිසාද දන්නේ නෑ මාත් එක්ක නම් කතාව නවත් වන්නේම නෑ. මම මූණ ඇද කරන් හිටියත් ළඟට ඇවිත් "ඇයි චාරු නංගි? මොනව හරි ප්‍රශ්නයක්ද? " කියා අහන්න තරම් කාරුණිකයි. ඒත් කිසිම දවසක ආදරේ ගැන කතා කරන්න ආවේනෑ. 
එයා මගේ හොඳම යාළුවෙක් වූ තරුෂිගේ අයියා. ඒ අයියා අපිත් එක්ක හිත්වත් වුනෙත් සවස ක්ලාස් ඉවර වෙලා තරුෂිව ගෙදර ගෙනියන්න ඇවිත්මයි. තරූ මතක් වෙලා ආයෙම ඇස් වලට කඳුළු එන්න ගත්තා. අපේ හොඳම යාළුවෙක් වූ තරූ ඩෙංගු වලින් අපි හැර යන්න ගියේ අවුරුදු දෙකකට කලින්. අපි තරූගේ මළ ගෙදර යනවිට සමින්ද අයියා හිටියේ තවත් අඬන්න බැරි තරම් හෙම්බත් වෙලා. එයා තරුට තිබුන ආදරේ අපි හොඳටම දන්නවා. ඒ දෙන්නා අයියයි නංගි උනාට පාරේ යද්දි ගොඩක් අය හිතන්නේ කපල් එක්ක කියා. අයියා නංගිව පාර ක්‍රොස් කරවන්නේ අතින් අල්ලන්. ඒ තරම් ආසරෙයි. තරුත් එහෙමයි. අයියාට සනීප නැතිව දවසක් තරූ පන්ති ආවෙත් නෑ. අපි ඇහුවම අයියා ගෙදර ඉඳිද්දි එන්න බෑ චාරු. අයියට කතා කරන්න ඉන්නෙත් මං විතරනේ. ඉතින් මම අයියගේ තනියට ලඟ හිටියා කීවා. ඒ වෙලාවේ මට නම් හිතුනේ මටත් අයියෙක් හිටියනම් කියායි. 
අපි මළ ගෙදර ආ බව දැක්කම සමින්ද අයියා ආයෙම අඬන්න ගත්තා. එය දැක්කම තිළණිත් ඇඬුවා. මගේ ඇස් වලට කඳුළු ආවත් ඒ දිනවලත් මම සාමින්ද අයියා මග හරිමින් සිටි නිසා මම ඇස් සඟවා ගත්තා. තරූගේ මරණයෙන් පස්සේ මම හිතුවේ ආයෙත් සමින්ද අයියා දකින්න ලැබෙන එකක් නෑ කියල. තරූ නැතිවුන එක නම් දුකයි තමා. ඒත් ආයේ සමින්ද අයියා එන්නේ නෑ නේ. එකනම් හොඳයි. පවු තමා. එයා දුකින් ඇති. මට අවංකවම දුකක් දැනුනත් කිසිම වෙලාවක එයාට මුහුණ දෙන්න නම් කැමැත්තක් තිබුනේම නෑ. 
එහෙත් තරූගේ මරණයෙන් මාස දෙක කට පමණ පසුව දවසක අපි පන්ති අවසන්ව එලියට එන විට අප දෙස බලා සිටියේ සමින්ද අයියා. "චාරු නංගි.... නංගිලා ටිකකට එන්නකෝ" අයියා කතා කලේ අපි හැමෝටම. මොකද කරන්නනේ මම පසුපසින් සිටි තිළිණිගෙන් රහසින් වගේ ඇසුවා. 
"පවු බන් ඒ අයියා. අපි කතා කරල යමු නැති නම් හොඳ නෑනේ. අනික ඒ අපේ හොඳම යාළුවා තරුගේ අයියනේ. සාමින්ද අයියා කොච්චර හොඳ කෙනෙක්ද?"
මටත් වෙන කරන්න දෙයක් තිබුනේම නෑ. ඒ නිසාම මමත් තිළිණිලා එක්ක නොදැනීම වගේ නතර උනා.
අයියාගේ ඇස් වලට අපි බලා සිටියදීම කඳුළු ආවා. ඒවා යටපත් කරන්න ඔහුට කිසිම අවශ්‍යතාවයක් තිබුනේම නෑ. වෙනදා මුහුණේ ඇති හිනාව මාස ගානකින් මුහුණට ඇවිත් නැති බව හොඳටම පෙනුනා.
"මං ආවේ නංගිලා බලල යන්න. නංගිගේ තුන් මාසේ දානෙත් ලබන මාසෙට එනවා. අම්මලා කීවා ඔයාලට කියන්නම කියා. මං ආවේ එකටත් එක්ක. ඒ නැතත් නංගි නැති උනායින් පස්සේ මට ඉතුරු උනේ ඔයාල විතරයි. මට ඔයාලත් දැන් මගේ නංගි වගේමයි. මගේ නංගිට වගේම ඔයාලටත් ඕනි දෙයක් කරන්න මම කැමතියි. එහෙම කලාම මට මගේ නංගි ඉන්නවා වගේ දැනෙයි"
"ඉතින් අයියේ අපෙන් මොනවද කෙරෙන්න ඕනි. තරූ වෙනුවෙන්." තිළිණි ඇසුවා. 
"මොනවත් ඕනි නෑ එදාට ඔයාල ඇවිත් අපේ නංගි වෙනුවෙන් මේකට අපිත් එක්ක සහභාගි වෙන්න. පැමිණිමයි අපේ බලා පොරොත්තුව. ඔයාල ආවම අපේ නංගි තාම ඉන්නවා කියල අපිට දැනෙයි. එයා ඉන්න කාලේ ආව ඔයාල දැන් එන්නේ නැති උනාම අපිට එයා නෑ කියන එක වැඩියෙන් දැනෙනවා"
දැන්නම් අයියාගේ ඇස් වලින් කඳුළු ගලා යයි. 
"මම ගිහින් එන්නම්"
ඔහු පොළවට බරව පාද තබමින් යන්නට ගියේය. මටත් මහා දුකක් දැනුනා. අපි කිසිම කතාවක් නැතිව යන්නට "පිටත් වුනා. අපි වැරදියි නේද චාරු" තිළිණි ඇසුවා. "ඇයි?" 
" නෑ අපි තරු මළාට පස්සේ නිකම් වත් ඒ පැත්තේ ගියේ නෑනේ"
"උඹට පිස්සුද? එහෙම යාළුවා නැතිනම් යන එක හරිද? අනික කොල්ලෙක් ඉන්න ගෙදරකට"
"අනේ මන්දා"
"ලොකූ තේ බොන්න එන්න" අම්මාගේ හඬින් මගේ කල්පනාව බිඳුනා. 
තේ බොන්න හැලප සදා තිබුනා. පසු ගිය දිනවල නම් කන්න කිසිම ආසවක් නොතිබුනත් අද නම් හැලප දැක්කම කන්න ආසාවක් ආවා. හැලප දෙකක්ම කාල තේ එක බීව මම මිදුලට ගියේ ටිකක් ඇවිදින්නයි.
කොහේදෝ සිටි ශැගියා දිව විත් ඇඟට පැන්නේ කාලෙකින් මම ඌ සුරතල් නොකල නිසා වෙන්න ඇති. උගේ හිස අතගා සුරතල් කල මම මිදුලේ කෙළවර ඇති බංකුව වෙත ගියේ නිදහසේ ටිකක් ඉන්න සිතාගෙනයි. ශැගියා නැවත ඇවිත් මගේ දෙපා ළඟින් නිදා ගත්තේ මගේ දුක බෙදා ගන්න වගෙයි.
හෙට යන්න ඕනි තිළිණි බලල එන්න. කාලෙකින් එහෙ යන්න බැරි උනා. 
ඉස්සර නම් අපි පාඩම් කරන්න සෙට් වෙන්නේ තිළිණි ලාගේ ගෙදරට. නැතිනම් සෙය් එකම අපේ ගෙදර එනවා. පාඩමට වඩා කයිවාරුවමයි. ඒත් අම්මා කවදාවත් බනින්නේ නෑ. ගොඩක්ම සද්දේ වැඩි දවසට විතරක් ළමයි ඔහොමි ගිහින් පුළුවන් වෙයිද මේ කෝස් එක හොඳට කරන්න කියල අහන්නෙත් හිනා වෙවී. ඒත් අම්මා ළඟදී නම් මා එක්ක හිනා වුන දවසක් මතකම නැති තරම්. මගේ යාළුවෝ ටිකත් ඉක්මනින්ම මගෙන් ඈත් වුනා. කට්ටයම තාම තිළිණි ලාගේ ගෙදරට නම් මාසෙකට සැරයක් විතර සෙට් වෙනවාලු. ඒත් මුල් දින වල මට එන්න කීවත් පසුව නම් කතා කලේම නෑ. ඒත් ඒ කිසිවකට උන්ට වරදක් කියන්න බෑ. දිනේශ්ට ලංවූ පසුව මමයි එයාලගෙන් ඈත් වූයේ. මට බයක් හිතුනා කවුරු හරි මගේ යාළුවෙක් දිනේශ්ට ලංවෙයි කියා. ඒ නිසා මම කලේ ඔවුන්ගෙන් ඈත් වෙන එකයි. අන්තිමේ මට උනේ විශ්වාස කල ආදර වන්තයා නැති වෙනකොට යාළුවන්ගෙන් මම විසින්ම අයින් වෙලා තිබුන එකයි. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. තිළිණ කතා කළ නිසාත්. ඒ පැත්තේ එන්න කීව නිසාත් ගිහින් කතා කරන එක හිත සැහැල්ලු කරගන්න හොඳ උපක්‍රමයක් බව මට හිතුනා. 
අහස කළු වෙලා. අකුණුත් ගහනවා. වැස්සක් අත ළඟයි. සෙමෙන් පින්නක් වැටෙන්නත් පටන් අරන්. ඒත් මට වැස්සට තෙමෙන්න ආසාවක් ඇති වුනා. මට මතක් වෙනවා මේ වගේම වැස්ස දවසක්. මම දිනේශ් එක්ක කුඩයක් නැතිව හොඳටම වැස්සට තෙමුන දවස. ඒ තරම් නම් කවදාවත්ම තෙමිලා නැතිව ඇති. ඒත් එදා ඒ වැස්ස අපිට ආසිරි පතන්න වැස්සා කියලයි මම නම් කීවේ. ඒ ආශීර්වාද දිය වෙලාම ගියේ වැස්සක් නැතිවමද?
ආයෙත් නම් එහෙම වහින්න එපා දෙයියනේ......
මීට කලින් දවසකත් මේ වගේම වැස්සකට මම කොටුඋනේ පංති යන දවස්වල. තරූ මැරිල මාස හයකට විතර පසුව දවසක ඒ සිදුවීම උනේ. ඒ දවස්වල මම දිනේශ් දන්නේ නෑ. මම වැස්ස නිසා පාරේ බස් හෝල්ට් එකේ නැවතිලා හිටියේ. එදා මම හිටියේ තනියම. යාළුවෝ කවුරුත් නෑ. මට එහා පාරේ බස් නැවතුමෙන් බස් එකට නගින්න තියෙන්නේ. ඒත් මේ තද වැස්ස එක්ක යන්න බෑ. බස් එකටත් වෙලාව හරි. බස් එක අල්ලන්න බැරි උනොත් තව පැයක් ඉන්න වෙනවා ඊළඟ බස් එකට. ඒ වෙලාවේ බස් හෝල්ට් එකේ සිටි හොඳටම බීමත් මිනිහෙක් මා දිහා අමුතු විධියට බලන්න ගත්තා. දැන් නම් මාව ගැහෙනවා. මගේ පපුව ගැහෙන සද්දේ මටම ඇහෙනවා. ඒ වෙලාවේ තමා සමින්ද අයියා පාරේ එහා පැත්තෙන් ආවේ. මාව දැකල බස් හෝල්ට් එකට ආවා. අර බීමත් මනුස්සයා දැක්කා විතරයි අයියා ඇතුලටම ඇවිත් "ඇයි නංගි අද මේ හෝල්ට් එකේ" කියා ඇසුවා.
"වැස්ස අයියා. කුඩයක් නෑ"
"ඔයාට අනික් හෝල්ට් එකට නේද යන්න ඕන. එහෙනම් මගේ කුඩේ අරන් යන්න" කියා කුඩේ දුන් අයියා බස් හෝල්ට් එකේ නැවතුනා. ඒ කුඩේ මට දෙන්න විධියක් නැතිව තාමත් මගේ ළඟ. මම කල්පනාවෙම යන්තම් වැස්සේ තෙමි තෙමී බංකුවේ කල්පනාවක....
"ලොකූ තෙමිල ලෙඩ වෙන්නද හදන්නේ. මෙහේ එනවා ළමයා ගෙට"
අම්මාගේ හඬින් සිතිවිලි ලෝකයෙන් අවදිවූ මම කාමරයට දුවගෙන ආවා..
--මීළඟ කොටසින් හමුවෙමු--

10 comments:

  1. දැන් ඉතින් චාරු නංගී, අර හොඳ සමින්ද අය්යාට කැමති වෙයි නේද? ඒක තමා අන්තිමට වෙන්ට ඕනිත්. එතකොට අපි හැමෝටම සතුටින් විසිර ගිය හැකිනේ.

    අනේ මගේ හිතේ ඒ වගේ අය්යෙකුගේ රූපේ මේ දැන් මතුවෙලා පේනවා.

    ReplyDelete
  2. පොඩි කුමාරිහාමි කිව්ව එකම තමා මටත් කියන්ට තියෙන්නේ :D

    ReplyDelete
  3. ලොකූ තෙමෙන්න එපා,, ඉතුරු කොටස ඉක්මනින් ලියන්ඩෝ,

    ReplyDelete
  4. චාරුට කුමක් වෙයිද........ සමින්ද අයියා චාරු තිළිණිගේ ගෙදර යද්දි මගදි මුණ ගැහෙයිද....... සමින්ද අයියා චාරුගේ දුක හඳුන ගනීද....
    ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න.......


    බලමු මේකත් හරි යයිද කියලා.... මෙව්වා හා ඉවට ලියන එව්වා.....

    ReplyDelete
  5. හා,,හා ඔන්න බලලා ගියා අපිත්

    ReplyDelete
  6. ඔන්න කොටස් තුනක්ම කියෙව්වා එක හුස්මට ;)

    ReplyDelete
  7. අදයි කියවන්න පටන් ගත්තේ. නවකතා වලට වැඩිය කැමති නැතිම් මමත් එක හුස්මටම කියවාගෙන ගියා. නියමයි. අනිත් ටිකත් ඉක්මනට ලියන්න. ජය වේවා.

    ReplyDelete
  8. දැං ලොකූ පාවිච්චි කරන් නේ අර කූඩෙ ද... :D

    ReplyDelete
  9. හෑහ්!! කවුද කිව්‍වේ බල්ලට අ‍පේ බල්ල‍ගේ නම දාන්න කියලා... ඇයි අ‍ලෝ පූමා කියලා දාන්න තිවුනා.. ඒ ඇර බල්‍ලෙක්ට ‍වෙන නමක් මතක් උ‍නේම නැද්ද ආහ්??

    හික් හික් කතාව එලය ලියන්ට බලන්ට.. හැබැයි ඉතින් ‍මේකත් අවසානයක් නැති එකක් උ‍නොත් ඔන්න මම නාකයි කියන්ට එපා..

    ReplyDelete
  10. ශා... සමින්ද අයියා ( මෙය මන:කල්පිත නමක් බව කරුනාවෙන් සලකන්න :D ) ගානට ඇණේ හරිම තැන තියලා ගහලා වගෙ ... හික්zz :D ela ela ප්‍රියා අයියෙ .... :D
    අලෙ ප්‍රියා අයියෙ බැලිද මෙ කතාවෙ මටත් චරිතයක් ගන්න ඔය කාගෙ හරි මලයණ්ඩි කෙනෙක් කියලවත්, ශැගියත් ඉන්න එකෙ ..:D :D :D :D :D :D :D :D :D .. ... ...

    ReplyDelete