Thursday, August 4, 2011

මීමුරේ 17 වසරකට පසු (Meemure after 17 years)

ඔන්න ආයෙමත් දවස් කීපයකින් ආවා අළුත් පෝස්ට් එකක් රැගෙන. පොඩි ගමනක් ගියා. ඒකයි දවස් කීපයකින් එන්න බැරි උනේ. බස් රේඩියෝවේ නිශාන්තයත් කරන්න මට මගේ මිතුරියකගේ සහය ලැබුනා. නැතිනම් මම පෝස්ට් එකේ දමා ගියාට එම වැඩ සටහන කරන්න වෙන්නේ නෑ.
එහෙම නම් අද කතාව කියන්න කලින් පරණ කතාවක් මතකයට ගේන්නම්. මතකද මම මුල් කාලේ පෝස්ට් එකක ලියා ඇති ජෙනරේටරයක් කර තබාගෙන මීමුරේ ගිය කතාවක්. මුල සිට මගේ මතකය කියවා ඇති අයට නම් මතක ඇති ඒත් අනෙක් අයත් මෙතනින් ගිහින් බලන්නකෝ කැමතිනම්.
එහෙම නම් අද කතාවත් මීමුරේ ගැනමයි. ඒ කියන්නේ අපි ආයෙම මීමුරේ ගියා පසුගිය සෙනසුරාදා දින දෙකක චාරිකාවක් ලෙස. දැන් පාර පෙර මෙන් දුෂකර නොවන බවත් වාහනයකින් යන්න පුළුවන් බවත් අපි අසා දැනගත් නිසා මෙවර නම් පයින් යන්න අවශ්‍ය උනේ නෑ. මෙවර ගියේ වෙනම කාණ්ඩයක්. පෙර කාණ්ඩයෙන් ගියේ මම පමණයි. අනෙක් අය සයිබර් මිතුරු පිරිසක්. 

කලින් පෝස්ට් එකේ සඳහන් පරිදිම මේ තමා යන්න තියන මාර්ගය. නොදන්නා අයෙකුට දැන ගැනීම සඳහා මම යන මාර්ගය හා වෙනත් අවශ්‍යතා ගැන කෙටියෙන් කියන්න කැමතියි. කලින් මම කීවේ කිලෝමීටර් 15ක් පමණ යන්න ඇති කියායි. එහෙත් ඇත්තටම හුන්නස්ගිරියේ සිට මීමුරේට කිලෝමීටර් 35 පමණ ඇත. 

ගමන් මාර්ගය
මහනුවර සිට යනවානම් මහනුවර මහියංගන මාර්ගයේ යා යුතුයි. හුන්නස්ගිරියට මහනුවර සිට කිලෝමීටර් 40ක් පමණ ඇත. හුන්නස්ගිරිය ඉන්ධන පිරවුම් හල යනවිට වම් පැත්තේ ඇත. එය පසුකරනවාත් සමගම දකුණු පැත්තට මීමුරේ පාර ඇත. මේ මාර්ගයේ ලූල්වත්ත හරහා අට්ටලමෙට්ටුව හෙවත් කෝබට් ගැප් දක්වා යා යුතුය. එම පාරේ දිගටම වාගේ ඇත්තේ කන්දයි. ඉන්පසු කෝබට් ගැප් සිට පල්ලම හමුවේ. අප කලින් වතාවේ පැමිණි තංගප්පුව සිට ඇති මාර්ගය මීමුරේ පාර හා එක්වන්නේ මම ස්ථානයේදීය.
මෙම ස්ථානයේ අප මුල් වතාවේ යන විට තිබූ ගොඩනැගිල්ලේ දැන් කිසිම පදිංචියක් නැත. ගොඩනැගිල්ල ගරාවැටී ඇති බවත් පෙනේ. මේ එම ස්ථානයයි. බලන්න මාර්ගයේ තත්වය කොහොමද කියාත්...


මේ පුවරුවේ සිට මීමුරේට ඇති දුර කිලෝ මීටර් 15කි. පාර වංගු සහිත පල්ලමක් බැස යන්නට ඇත. රිය පැදවීමේදී මනා පාලනයක් වැදගත්වේ. අප ගමන් කළ වෑන් රියේ දිගටම තිරිංග යෙදීම නිසා අධික ලෙස තිරිංග පලු රත්වීමෙන් තිරිංග ක්‍රියා විරහිත වූවා. මේ තියෙන්නේ බ්‍රේක් නැතිව නවත්වා සිටින ආකාරයයි.

මීමුරේට කලින් හමුවන්නේ කයිකාවල නම් ග්‍රාමයයි. එය කලින් දුටුවාට වඩා බොහෝ වෙනස් වී ඇත. එහෙත් මුල් වතාවේ අප නවාතැන් ගත් සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල නම් පෙර පරිදිමය. අපි නූඩ්ල්ස් පිළියෙල කල පන්සල දැන් වඩා විශාල කර ඇත. කලින් වතාවේ සිටියාට වඩා වැඩි ජනගහනයක් ඉන්නා බවක් පෙනේ.
අවසානයේ සවස 5 පමණ වන විට අපි මීමුරේට ළඟා වීමු. මීමුරේ ගැන කියන්න කලින් ගමන් මාර්ගයේ පින්තූර ටිකක් බලමු නේද?
මේ හුන්නස්ගිරිය සිට ඩීන්ස්ටන් අතර මාර්ගයේ කොටසක්...
මෙම පෙදෙසේ තාර අතුරා ඇති අතර ස්ථාන කීපයක් මාර්ගය අබලන් වී ඇත. නමුත් ත්‍රිරෝද රථ වැනි වාහන පවා ගමන් කරයි. කාර් රථයක් ගමන් කිරීම නම් කළ නොහැකි බවක් පෙනේ. නමුත් වෑන් එකකින් යන්න පුළුවන්.
මෙම පෙදෙස පසු කරන විට නකල්ස් වනයේ කුරු වනාන්තර (පිග්මී වන්නාතර හමුවේ)

මෙහි පවතින අධික සුලං වලට ඔරොත්තු දීමට උස ගස් නොමැති බවක් පෙනේ. සියලුම ගස් මිටි ඒවාය. ඉන්පසු කෝබට් ගැප් සිට ඇත්තේ වනාන්තරය මැදින් ඇති පාරයි. එහි ජනාවාස අඩුය. ඇතැම් ස්ථාන වල ඇත්තේම නැත. මෙම පෙදෙසේ පාර තාර දමා ඇති අතර ඇතැම් ස්ථාන කොන්ක්‍රිට් අතුරා පිළිසකර කළද කැඩී බිඳී ගිය තැන් ඇත. මෙම දුම්බර වන පෙතට නිතර ඇද වැටෙන දැඩි වැසි නිසා මාර්ග ඉක්මනින් අබලන් වෙයි. එහෙත් මෙම පාරේ ගියා කුඩා බස් රියක් පවා අපේ නෙත් ගැටුනා...

ඉන් පසුව ඇත්තේ කොන්ක්‍රිට් මාර්ගයයි. එහි ස්ථාන කිපයක්ම කැඩී අබලන් වුවද වාහන ධාවනයට ප්‍රමාණවත්ය. මේ ගම ඇතුලේ පාරකි.

දැන් අපි බලමු ගම ගැන.

පහසුකම්.
ගමට යන්නට පාර ඇත. කලින් විදුලි බලය තිබී ඇත. ඒ දර මගින් ක්‍රියාත්මක විදුලිබලාගාරයකිනි. එහි ඇතිවූ තාක්‍ෂණ දෝෂ නිසා දැන් එය ක්‍රියාත්මක නොවේ. ගම තුල දුරකථන පහසුකම් ඇත. CDMA දුරකථන එහි ක්‍රියාකරයි. එහෙත් ජංගම දුරකථන නම් තවම ක්‍රියාත්මක කරන්න නොහැකිය. ගමේ ඉතිහාසය ආර්ථිකය ඇතුලු බොහෝදේ අපේ වැප් තම බ්ලොග් ලිපියක පළ කර ඇති නිසා මම ඒවා වැඩි විස්තර කරන්නේ නෑ. 
ගමේ කණිෂ්ඨ පාසල එදාට වඩා අද දියුණුය. එය වසර සීයකට වඩා වැඩි ඉතිහාසයකට හිමිකම් කියනා පාසලකි. එහි 5 වසර දක්වා පංති පවත්වන බව අප නවාතැන හිමිකරු වන නවරත්න මහතා අප සමග පැවසූවා. ඉන්පසු සාමාන්‍ය පෙළ දක්වා කයිකාවල පාසලේ පන්ති පැවැත්වෙන බවත් අසා දැනගත්තා. අධාපනය අතින් එහි වරදක් ඇති බවක් නොපෙනේ. එහි අධාපනය ලද අයෙකු පරිපාලන සේවයේ ඉහලම තරතුරක් වන අගමැති ලේකම් තනතුර පවා හොබවා තිබෙනවා. (එවකට රාජ්‍ය පාලකයා අගමැති සමයේ) 
ත්‍රිරෝද රථ, වෑන් හා ලොරී කීපයක් ගම්වැසියන් සතුය. මෝටර් සියිකල්ද ඇත. ඒවා ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනේ. දිනපතා වෑන් රියක් හුන්නස්ගිරිය දක්වා එහි සිට ගමන් කරයි.
ජල විදුලිය නැතත් සූර්ය බලයෙන් විදුලිය ලබා ගනියි. මීට අමතරව ජෙනරේටර් ද ඇත. බොහෝ නිවෙස්වල රූපවාහිනි, ගුවන්විදුලි යන්ත්‍ර මෙන්ම DVD/VCD යන්ත්‍රද ඇත.  DVD/VCD තැටි විකුණන ස්ථාන කිපයක්ම අතර මග දක්නට ලැබුනි. අත්‍යාවශ්‍ය දේ මිලදී ගැනීමට වෙළඳ සල් කීපයක්ම ඇත. නමුත් ආහාර අතින් ගම ස්වයංපෝෂිතය.

පරිසරය. 
දුම්බර මිටියාවතේ ඇති මෙහි අවට පරිසරය සුන්දරය. කඳුමුදුන් මිදුමින් බරව පවතී. එහෙත් අප ගියේ වියලිම කාලයක නිසා මීදුම දක්නට නොලැබුනි. ගම වටා ඇත්තේ සුන්තර වන පෙතයි. කුඩා ගංගා කීපයක් ගලා බසී. සුරිය අරණ චිත්‍රපටය සඳහා පසුබිම් සොයාගෙන ඇත්තේ මෙම ගමෙනි. මේ එහි ගංගා දෙකක පින්තූර.


මේ වනයේ මෙන්ම ගමේ ද ඇති මඩු ශාකයක්. මෙය මෙහි බහුලව දක්නට ඇත.

මේ මීමුරේ වගා කර ඇති කුඹුරකි. බොහොමයක් නියඟය නිසා මේ දිනවල වගා කර නැත.
මේ එහි ඇති තවත් කැපීපෙනෙන ස්ථානයකි. මෙය එහි ඇති උසම ස්ථානය වන අතර නකල්ස් කඳුවැටියේ උස් කඳු අතරින් එකක් වන ලකේගලය. මෙය ගමට ඉහලින් යෝධයෙකු මෙන් නැගී සිටින අතර එහි යාමට දිනක් පමණ ගතවන බවක් නවරත්න මහතා කීවේ.

ගමේ සංස්කෘතිය හා නිර්මාණ
එහි සංස්කෘතිය ගොවි තැන හා බැඳී පවතී. එහෙත් ඔවුන් හා අප අතර සැලකිය යුතු වෙනස්කම් දක්නට නොමැත. ඔවුන්ගෙන් පිරිසක් නගරයට පැමිණ රැකියා කරති. සෑම දෙනාම පාහේ ඥාති සබඳතා ඇති අය වුවත් මෑතක සිට ආවහ විවාහ කටයුතු නගරයට යන අය නිසා ගමට පිටස්තර අය සමග ආවහ විවාහ කටයුතු දැන් සිදුවේ.
මොවුන්ගේ අව්‍යාජ ගැමි ස්වභාවය තවම පවතී. මගදී හමුවන සෑම දෙනාම පාහේ සිනාසි අඳුනන්නේ නැතත් වචනයක් දෙකක් පවසා යයි. එමෙන්ම ඔවුන් පිටින් අය එනවාට විරුද්ධ නැතත් ඔවුන් කිසියම් පාලනයකට ලක් කිරීමේ අවශ්‍යතාවයක් පෙන්වයි. එනම් සංචාරකයන්ට මග පෙන්වීම වැනි දේ ඔවුන්ම කිරීම වැනි දේ ගැන බලාපොරොත්තු වේ. ඒ පසුපස කිසියම් මුදල් ඉපයීමේ චේතනාවක් ඇතැයි හැඟේ. 
එම ගමට ආවේණික මෙන්ම ගොවිතැන හා බැඳුනු නිර්මාණ ඔවුන් සතුව පවතී.
මේ ගමේ මා දුටු තවත් එක් විශේෂ නිර්මාණයක් වන්නේ ඉඩම්, වගාබිම් වෙන් කරනා ගල් වැටියයි. මේවා පෙර කල සිටම පැවත ඇත.
මෙම ගල් වැටිය වසර 40ක් පමණ පැරණිය. එහෙත් වසර සීයකට වඩා පැරනි ඒවා ගමේ පවතී.
මේ එහි ඇති තවත් අපූරු නිර්මාණයකි. මෙය හඳුන්වන්නේ පිදුරු පන්තල නමිනි. එහි පිදුරු ගබඩා කරයි. ගවයින්ට කෑමට මෙන්ම වෙනත් අවශ්‍යතා සඳහාද මෙසේ පිදුරු එකතු කරයි.
මේ දිය හොල්මන. මෙය කුඹුරට එන සතුන් පලවා හැරීමට බොහෝ පලාත්වල යොදා ගන්නා උපක්‍රමයකි.

 මතකද සූරිය අරණ චිත්‍රපටයේ වැද්දාගේ මස් කඩේ?
මේ තමා එම ස්ථානය.

මේ මීමුරේ ඇති පැරණි සංකේතයක් වන විශාල මී ගස. මේවායේ ඇට දේශීය වෙදකමේ බහුලව යොදාගනී. ප්‍රධාන වශයෙන් එයින් ලබා ගන්නා මීතෙල් විවිධ දේශීය ප්‍රතිකාර සඳහා යොදා ගනී. මී තෙල් නිපදවීම අතීතයේ සිටම මීමුරේ ජනතාව සිදුකර ඇත. 

මේ පින්තූරත් බලන්න. මේවා දුම්බර කඳු වැටියේ පින්තූර කිපයක්.
මේ දුම්බර කඳුවැටියේ අධික සුලං ඇති බවට හොඳින්ම පෙන්වන රූපයක්. සුළඟට ගස් ඇදවී ඇති ආකාරයත් බලන්න. 
වියලි කාලය වුවත් මහ දවාලේ පවා දුම්බර කඳුවල මිහිදුම් සම්පූර්ණයෙන් ඉවත්වී නොමැති බව පේනවා නේද?

තවත් පින්තූර දාන්න ගියොත් මේක බලන්න වෙන එකක් නෑ. ඒනිසා යන්න කලින් කෙටියෙන් මීමුරේ ගැන කියලම යන්නම්.
මීමුරේ ගමන දැන් නම් කියන තරම් දුෂ්කර නෑ. ෆෝවීල් ඩ්‍රයිව් නැතත් හොඳ වාහනයක යන්න පුළුවන්. නමුත් වාහනයේ ග්‍රව්න්ඩ් ක්ලියරන්ස් එක නැතිනම් පොළවේ සිට ඇති උස අඩු කාර් වැනි වාහන නම් යන්න බෑ. වෑන් එකක් තමා හොඳ. ජීප්, ඩබල්කැබ් වැනි වාහනයක් නම් කිසිම ගැටළුවකින් තොරව යන්න පුළුවන්. කණ්ඩායමක් යනවානම් මොටර් සයිකල් වැනි වාහන වුවත් සුදුසුයි. හිතන තරම් ලොකු වියදමක් යන්නේ නෑ. නවාතැන් ගන්න එහි නිවාස තියනවා. වතුර පිරිසිදුයි. උයන්න අවශ්‍ය දේ ගෙනියන්න. උයාගන්න එහි අයෙක් යොදාගන්න පුළුවන්. වැදගත්ම දේ මේ ගම පරිසරය හා තදින් බැඳී පවතිනවා. ඒ වගේම මේ දැඩි ලෙස ආරක්‍ෂාකල නකල්ස් කඳුවැටියයි. ඒ නිසා කිසිම අපද්‍රව්‍යයක් එම පරිසරයට මුදා හරින්න එපා. විශේෂයෙන් පොලිතීන් වැනි දේ. ඒ වගේම කෑගසන්න, ගින්දර තබන්න එපා. වනයට ඇතුල් වෙනවානම් පළපුරුදු අයගෙන් සහාය ගන්න. 
මම දුටු ආකාරයෙන් නම් මා 17 වසරකට පෙර දුටු ගම අද නෑ. බොහෝ දේ වෙනස් වෙලා. ගමට පාර පැමිණිමත් සමග ඔවුන්ගේ සිතුම් පැතුම් වල පවා ලොකු වෙනසක් වෙලා. වෙනදාට වඩා වානිජ පරමාර්ථ වැඩි වෙලා. සෑම දේම මුදල් මත කෙරෙන තත්වයක්. උදාහරණයක් ලෙස එහි ප්‍රධාන කර්මාන්තයක් කිතුල් හකුරු. අපේ පළාතේ කිතුල් හකුරු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 375 ක් පමණ වෙයි. එහතේ නිශ්පාදනය කරන මීමුරේ එය රුපියල් 400කි. ඒවායේ මම මුලින් ගිය වතාවේ තිබූ උසස් තත්වය දැන් නැත. කිතුල් පැණි සම්බන්ධයෙන්ද මෙය එසේමය. නිශ්පාදන තත්වය බාල වීම හා මිළ වැඩිවීම එම ගමටත් පොදු දෙයක් වී ඇත. එමෙන්ම අපේ රටේ ඇති දුෂ්කර ගම්මාන හා සලකන විට මීමුරේ තවදුරටත් දුෂ්කර ගමක් කියා කියන්න නම් මට කිසිසේත්ම නොහැකිය. එහෙත් මීමුරේට පසුව හමුවන දන්දෙණිකුඹුර හා ගලමුදුන යන ගම්මාන තවමත් දුෂ්කර ගම්මාන වේ. 
මේ පිළිබඳ තවත් විස්තර වැප්ගේ පෝස්ට් එකෙන් බලන්න.
ගිහිනි එන්නම්.
සුභ දවසක්..!!!

51 comments:

  1. අයියා ලියපු පෝස්ට් එකයි වැප්ගේ පෝස්ට් එකයි ඉතාමත් වැදගත්. එකම කාරණා නොලියා, ඒත් ගම ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා නෙව. බොහොම අගෙයි ඈ..........

    ReplyDelete
  2. මට තවම බලන්න යන්න උනේ නෑනේ.

    ReplyDelete
  3. මට මග ඇරුණු දේවල් ගොඩක් තිබිලා තියනවා .... ඒ ගැන සඳහන් කල එක ගොඩක් වටිනවා

    ස්තුතියි ප්‍රියන්ත අයියා ....

    ReplyDelete
  4. ඇත්තටම ලස්සන පෝස්ට් එකක් මේ වගේ තැන් ලංකාවෙ තියෙනවද කියලත් හිතෙනවා

    ReplyDelete
  5. මේව කියවනකොට මත් හිතෙනවා මීමුරේ යන්න.... :D

    ReplyDelete
  6. මට නම් තාමත් ජෙනියක් දැක්කම මතක් වෙනවා උඹලගෙ ජෙනිය කර ගහපු ක්තාව......

    වෙලාවක ගිහින් එන්න ඕනි ගමනක් ස්තූතියි ප්‍රියා විස්තරේට

    ReplyDelete
  7. මමත් ප්‍රියන්තගෙ බ්ලොග් එක කියවන්න පටන් ගත්තෙ ඔය ජෙනිය කරගහපු කතාවෙන් තමයි.
    මේ පෝස්ට් එකෙත් ගම ගැන ලස්සනට විස්තර කරල තියෙනවා. ගම සංවර්ධනය වෙනව වගේම මිනිස්සුන්ගෙ සිතුම් පැතුනුත් සංවර්ධනය උනේ නැත්තං සංවර්ධනය නිසා අනාත උන තවත් ගමක් බවට මීමුරේත් පත්වෙන්න පුලුවං.

    ReplyDelete
  8. ගොඩාක් ලස්සන පෝස්ට් එකක්. මුලින්ම බොහොම ස්තූතියි අපිව මීමුරේ එක්කගන ගියාට. ඔයා පෙන්නලා තියන 'පිදුරු පන්තල' 'දිය හොල්මන' වගේ පින්තූර දැක්කාම පරන ගමක අතීතයේ දකින්ට ලැබුනු දේවල් ගැනත් දැනීමක් ලැබෙනවා. ඒ වගේම ඇයි අද අපි මේ විදිහට වෙනස් වෙලා ඉන්නේ කියන එක ගැන දුකකුත් දැනෙනවා. මිනිහා ඉස්සරහට යන්වා එක්කම එයාලා අතරේ තරඟයත්, ඒවගේම ඊර්ෂ්‍යාව, තරහව වැනි හැඟීම් වැඩි වෙන බවකුත් පේනවා. ඒ හන්දා මේ ලස්සන ගමත්, ඒකේ ඉන්න මිනිස්සුත් කවදාහරි වෙනස් වෙයි නේද?

    වැප්ගේ පෝස්ට් එකත් කියෙව්වා. දෙන්නාගේ පෝස්ට් දෙක දෙවිදියක් හන්දා දෙකම ආසාවෙන් කියවන්ට පුලුවන් උනා. ඔන්න ලංකාවට ආවාම යන්ට තියන ලිස්ට් එකට මීමුරේත් එකතු කලා......:)

    ReplyDelete
  9. කොහොමහරි මේ ගමට යන්න ලැබුනොත් ප්‍රියන්ත අයියා මට සතුට දරා ගන්න බරිවේවි, ඒ තරම් සුන්දර ගමක්. ඔයාගේ ලස්සන විස්තරෙත් එක්ක ඒ ගමට යන්න තියෙන ආසාව තවත් වැඩිවෙනවා .

    ReplyDelete
  10. ගිහින් බලන්න හිතෙන විදියටම ලියලා නෙව.
    නියමම ලිපියක්.. 10 න් 9 දෙනවා..

    ReplyDelete
  11. වැප්ගේ ලිපියයි මේ ලිපියයි කියෙව්වම මීමුරේ ගැන හොඳ දැනුමක් ආවා. මට මතක්වෙන්නෙ මීට අවුරුදු ගානකට කලින් රූපවාහිනී නාලිකාවේ මීමුරේ ගැන ගිය වාර්තා වැඩසටහනක්. ඒවගේම මේකත් ආකර්ශණීයයි.

    ReplyDelete
  12. යන්න ආස හිතෙන ගමනක්. ඒ වගේම යන්න වාසනාව තිබුන ඔබටත් සුභ පතනවා, මේ වගේලස්සන දේ තව තවත් විඳින්න ලැබෙන්න කියලා...

    ReplyDelete
  13. අය අනිව ඩෙෆා අයියා සිරි මල්ලි අනිවා යනවා මෙ අවුරුද්ද ඉවර වෙන්න කලින්.. අඩෙ අයියා මෙ පින්තුර දැක්කම ඉවසන් ඉන්න බැ නෙව . අර අභි අයියගෙ පැකෙග් එක සෙට් කරගමු. අයියා තමා අපෙ නඩෙ ගුරා. :))
    really nice post aiya .. elazz

    ReplyDelete
  14. තව අවුරුදු 3කින් ආයෙත් ඔයපැත්තේ යනවනං මටත් කියන්න මාත් එනවා :D

    ReplyDelete
  15. නියම වාර්ථාවක් අයියේ ..පින්තූර ටිකත් එක්ක වාර්ථාවම මාර ආසාවෙන් බැලුවා ..

    ReplyDelete
  16. මේ ගමන අනිවාර්යයෙන්ම යන්න ඕන! ස්තුතියි ප්‍රියන්ත අයියා මේ වගේ ලිපියකින් අපිව දැනුවත් කරපු එක.

    ReplyDelete
  17. මතකයේ තියාගන්නම් ලංකාවට ආපු දවසක යන්න හිතෙන විදියට ලියලා තියෙනවා. ස්තූතියි කදිම විස්තරයට.

    ReplyDelete
  18. We went to Meemure Village 11 years ago as a part of our A/L project (in Kingswood). Oh My god That was one of the trips that I enjoyed most and still remember what we did there. There was a government bus service until one point and from that point (there was a small shop and villagers come once a week to get the stuff) on we have to walk through the jungle to the village. that was a long walk and filled with full of adventure and fun. The village and the environment is so beautiful and It is like a paradise. I still can recall my memories and I must go there once again!

    Thanks for the post and keep it up

    ReplyDelete
  19. Colombo idan Hours keeyak yanawada.?

    ReplyDelete
  20. ඇත්තටම වටිනා තොරතුරු ටිකක්. මම මීට අවුරුදු 3කට කලින් ගිය මීමුරේ නෙමෙයි මේ කියන විස්තර අනුව නම් තියෙන්නෙ.

    ReplyDelete
  21. @ RanDil
    මම ලියන්න කලින් වැප්ගේ පොස්ට් එක දැක්කා. ඒනිසා එකම දේ නොලියා එයට සබැඳියක් දුන්නේ. මේ පොස්ට් දෙකෙන්ම නොකියවුනු තවත් බොහොදේ මට මතකයට එනවා. තව කෙනෙක් ඒවා ලියනවානම් මමත් සතුටු වෙනවා. ස්තූතියි රන්දිකා.

    ReplyDelete
  22. @ නදී
    පුළුවන් ඉක්මනින් බලන්න යන්න. එම පළාත සංස්කෘතිය වේගයෙන් වෙනස් වෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් බලන එක හොඳයි. ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  23. @ වැප්
    ආරම්භය දුන්නේ ඔයාගේ පෝස්ට් එකයි. ඒ නිසයි මම එහි අන්තර්ගතයෙන් බැහැර වෙන්න හිතුවේ. මේ දෙකේම සඳහන් නොවුනු දේ බොහොමයි අපි එහිදී දුටු. ඒවාත් කිසිවෙකු ලියනවානම් මම සතුටු වෙනවා.
    ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  24. @ ශානු
    ලංකාවේ තව බලන්න කොච්චර තැන් තියනවද? සමහර විට ඒවා සුන්දර වන්නේ දකින්නාගේ ඇස අනුව වෙන්නත් පුළුවන්. ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  25. @ සෝරෝ
    අන්න හොඳ වැඩක්. ගිහින් එන්නකේ. සෝරෝ යන්න හිතන් ඉන්නේ අශ්වයා පිටේද?

    ReplyDelete
  26. @ නිශ්
    ඒ මතකය අමතක කරන්න බැරි නිසාමයි මම ආයෙම මීමුරේ යන්න සෙට් උනේ. ආයෙම පුළුවන් වුවොත් වසර කීපයකින් එහෙ යනවා. දැන් නම් අපහසුවකින් තොරව යන්න පුළුවන්.

    ReplyDelete
  27. @ Praසන්ன
    ඒ පොස්ට් එකට නම් වසරකට වැඩියි. ප්‍රසන්න ඒ කාලේ සිටම මෙහි එනවානේ. සංවර්ධනය හා එය ඔවුන් දරා ගන්නා ආකාරය තමා ඇත්තටම ප්‍රශනයක් වූවොත්. ඒහෙත් එහි තවම ඇතැම් මූලික අවශ්‍යතා නැත.

    ReplyDelete
  28. @ පොඩ්ඩි
    මගේ පොස්ට් එකෙන් මම කියන්න ගිය දේ ඔයා හරියටම වටහාගෙන තියනවා. මම වකවානු දෙකක එහි ගිය නිසා ඔයා කියන දේ මම හෙඳින් දැක්කා. අපේ පැරණි ගම හා දැන් ගම අතර ඇති වෙනස්කම් අවබෝධ කරගන්න මෙහි සිදුවූ වෙනස ගොඩක් දුරට යොදා ගන්න පුළුවන්. මිනිසා ඉදිරියට එන එකත් සමග ඔබ කියන ආකාරයෙ වෙනස්කම් සිදුවෙන බව මීමුරේ දැනටම පෙන්වනවා. එහෙත් තවම ඔවුන් පරිසරයට ආදරෙයි. ඒනිසාම තවම එහි පරිසරය සුන්දරයි.
    ඇත්තටම හොඳ අදහසක් ආ දිනක මීමුරේ බලන්න යන්න හොඳ තැනක් තමා. වෙනස් ආකාරයක අපූරු අත්දැකීමක් ලබන්න පුළුවන්. මමත් ආයෙම යන්න කැමතියි. ඕනිමනම් මාත් එන්නම් ඔයා එක්ක මිමුරේ යන්න...:D

    ReplyDelete
  29. @ neetha
    මම වැඩිය දේ කියන්නේ නැතිව කෙටි පිළිතුරක් දෙන්නම්. ගිහින් බලන්න. බලලම තේරුම් ගන්න. ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  30. @ නාකියා
    ඔවි ගිහින් බලන්න.
    හප්පා මේ මොකටද ලකුණු. ලකුණු නම් එපෝ. කමෙන්ට් කලාම හොඳටම ඇතියෝ.....
    ස්තූතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  31. @ මගේ ජීවිතය
    මමත් ඒ වැඩසටහන බැලුවා. මම ඊට කලින් මිමුරේ ගියනිසාම තමා ඒ වැඩසටහන බැලුවේ. තව මෙහි නොකියවුනු පැති බොහොමයි. ඒවාත් ලියවෙනවානම් වඩා හොඳයි කියා හිතනවා

    ReplyDelete
  32. @ Luckey
    ජීවිතයේ ඒකාකාරි බවෙන් මිදෙන්න නම් මෙවැනි ගමනක් ගොඩක් හොඳයි. පුළුවන් නම් ගිහින්ම බලන්න.
    ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  33. @ සිරි කොලුවා
    යමු යමු. එහෙනම් මාත් එන්නම් ආයෙම යන්න. මට හිතෙන්නේ මට තව කීප සැරයක්ම මීමුරේ යන් පුළුවන් වෙයි වගේ.
    අභීතගේ පැකේජ් එකටනම් නඩේ ගුරෙක් ඕන නෑ මල්ලි....

    ReplyDelete
  34. @ කිඩෝ
    අපිත් මුලින් ගියේ ඉස්කෝලේ යන කාලේ තමා. යනවානම් කියන්නම් මල්ලිත් එන්නකෝ.....:D

    ReplyDelete
  35. @ හිස් අහස
    ස්තූතියි සඳරූ ප්‍රතිචාරයට. සමහර විට සඳරුලාගේ පැත්තේ මීට වඩා දුෂ්කර ගම්මාන ඇති මං හිතන්නේ..

    ReplyDelete
  36. @ ..ChAnDiKa..
    ඔව් මල්ලි ඔයාලත් ගිහින් එන්න. වෙනස් අත්දැකීමක් විඳින්න පුළුවන් වෙයි. ස්තූතියි ප්‍රතිචාරයටත්.

    ReplyDelete
  37. @ arunishapiro
    ස්තූතියි අක්කේ මේ පැත්තට ආවාට. එහි ගිහින් බලන්න බලා තේරුම් ගන්න තරම් දෙයක් තිබෙනවා. ඒ යන දිනක මේ සටහන හා සමගාමී වෙනත් සටහන් ගැනත් මතක තබා ගෙන ගියොත් අපේ ගැමි සමාජයේ වෙනස්වීම් ගැන ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  38. @ Samantha Silva
    තවත් කිංස්වුඩ් මිතුරෙක්. සතුටුයි ඔයාලත් ගිය එක ගැන. බස් එකේ යන්න පුළුවන් පාරවල් දෙකක් තියනවා. එකක් නුවර සිට තංගප්පුව බසයේ යන්න පුළුළුන්. එහි කුඩා කඩයක් තියනවා. අනෙක් පාර ලූල්වත්ත දක්වා පාර. මට මතක ආකාරයට ඒ බස් එක තෙල්දෙණියේ සිට එන්නේ. එය නවතින තැනත් කඩයක් තිබෙනවා. ඉස්සර නම් ඒ තැන් වල සිට පාර හරිම දුෂකරයි. දැනටත් තංගප්පුව සිට පාර සකස් කර නෑ මං දන්නා ආකාරයට.

    ReplyDelete
  39. @ Priyanka
    පෞද්ගලික වාහනයක යනවානම් පැය 8ක් 9ක් අතර කාලයකින් මීමුරේට ලඟා වෙන්න පුළුවන්. කොළඹ සිට නුවරට කිලෝමීටර් 116ක් නුවර සිට හුන්නස්ගිරියට 40ක් පමණ හා හුන්නස් ගිරිය සිට මීමුරේට 35ක් මේ අන්තිම 35 යන්න පැය 2ක් 3ක් අතර කාලයක් යයි.

    ReplyDelete
  40. @ Ansh Lucky Sri Jay
    ඇත්තටම ඔව් ආන්ශ්. ඒ පරිසරය, ඒ මිනිසුන්, ඔවුන්ගේ සිතුම් පැතුම් වේගයෙන් වෙනස් වෙනවා. මම හිතන්නේ පාර ලැබීමත් එක්ක වෙන්න ඕන.

    ReplyDelete
  41. රචකයා ගේ වයසත් ටික ටික හෙලිදරව් වුණා!

    ReplyDelete
  42. හොඳ ලිපියක් අයියේ! මීමුරේ යන්න මගෙත් ආසාවක් තියෙනවා කාලෙක ඉඳන්. මේ ලිපිය කියවලා ඒ ආසාව වැඩිවුණා.

    ReplyDelete
  43. යන්න ආසයි.හැබැයි ආපහු එන්න නෙමෙයි ඉන්නම. ස්කෝලයක් තියේ නේද මී මුරේ.ගුරු හිඟයක් හෙම තියද දන්නෙ නැහැ..

    ReplyDelete
  44. අපිවත් දවසක එක්ක යන්න ලොකු මාමේ.. හැහ්!!! වැලදුනා.. ලොකු අයියේ :) ;)

    ReplyDelete
  45. @ කතන්දර Kathandara
    හීක් හික්..
    වයස මොකට හංගන්නද? දන්නෝ දනිති...
    ස්තූතියි කතන්දර....

    ReplyDelete
  46. @ blog gadol
    ගිහින් බලන්න මල්ලි. යන්න හොඳ චාරිකාවක්..
    මල්ලිටත් ස්තූතියි..

    ReplyDelete
  47. @ සොඳුරු සිත
    ගිහින් බලන්න. ඉස්කෝලයක් තියනවා. ගුරු හිඟයක් නම් තියනවාද දන්නේ නෑ. එහි උගන්වන්නේ ගමේම පදිංචි ගුරුවරුන් බවයි දන්නේ.
    ස්තූතියි වත්

    ReplyDelete
  48. @ සුදු හංසි
    හරි හරි එක්ක යන්නම්කෝ නැන්දම්මේ...
    සොරි සොරි වැරදුනා හංසි නගේ...හී හී..
    ස්තූතියි හංසියේ ප්‍රතිචාරයට..

    ReplyDelete
  49. කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙලා වගේ..

    ReplyDelete
  50. @ වජිරදේවි
    ස්තූතියි මේ පැත්තට ආවට. කාලෙත් එක්කම කියන්න නම් බෑ. ප්‍රධානම හේතුව දියුණුව. මන්ද යත් ඊට එපිටින් ඇති මාර්ග දුෂ්කරතා ඇති ගලමුදුන නම් ගම තවම ලොකු වෙනස් නැතිව පවතිනවා. එහෙත් ඉතින් ප්‍රධාන සාධකය කාලයම තමා ඔබ පවසනවාක් මෙන්.
    වජිරදේවිට ස්තූතියි ප්‍රතිචාරයට...

    ReplyDelete
  51. බවුවෙක් කට්ටිය වට කරගෙන නැට්ට වන වනා කතන්දරයක් කියමින්

    http://1.bp.blogspot.com/-IrxO_bog08Y/TjpUU-KXGMI/AAAAAAAAA-s/uBwm6W1T0cI/s320/P1010991.JPG

    ReplyDelete