Saturday, February 5, 2011

ලංකාවේ සර්පයෝ..සුළු විෂ සහිත සර්පයින්.

අපේ කතාව දැන් අන්තිම භාගයට ඇවිත් තියෙන්නේ. අද මම කියන්න යන්නේ ලංකාවේ ජීවත් වන සුළු විෂ සහිත සර්පයින් ගැනයි. ලංකාවේ මෙම කාණ්ඩයට වෙන්කළ හැකි සර්පයින් වර්ග 12ක් පමණ හඳුනාගෙන තිබෙනවා. මොවුන් දෂ්ඨ කිරීමෙන් මරණය සිදු නොවන අතර සුළු ඉදිමුමක් හා ඇතැම් විට වේදනාවක් ඇතිවිය හැකිය.
මොවුන් ගැන දීර්ඝ වශයෙන් විස්තර කරන්න අවශ්‍ය නැති නිසා කෙටියෙන් ඡායාරූප ඇති අය නම් රූපයක් මගින් පමණක් හඳුන්වා දෙන්නම්.
1. ලේ මාපිලා.
නාග මාපිලා වශයෙන්ද හඳුන්වන මෙම සර්පයා Forsten's Catsnake යන ඉංග්‍රීසි නාමයෙන්ද Boiga forsteni යන විද්‍යාත්මක නාමයෙන්ද හැඳින්වේ.
දිගින් අඩි 4ක් 4 1/2 පමණ වන සර්පයෙකි. වල්ගය අඩියක් පමණ දිගැතිය. දුඹුරු පැහැතිය. ශරීරයේ හරස් අතට සුදු පැහැ ඉරි වැනි සලකුණු දක්නට ඇත. ගස් මතද දැකිය හැක. ඇසේ කණිනිකාව බළලෙකුගේ වැනිය.
ලංකාව, ඉන්දියාව හා නේපාලයෙන් වාර්ථා වී ඇත.

2.  රෑන් මාපිලා
මෙම සර්පයා ඉංග්‍රීසියෙන් Gamma Catsnake ලෙසත් විද්‍යාත්මකව Boiga trigonata ලෙසත් හැඳින්වේ. 
ඔලිව් පැහැයට හුරු ශරීරයේ කළු හා සුදු පැහැති ඉරි වැනි සලකුණු දක්නට ඇත. අඩි 3ක් පමණ වන අතර වලිගය අඟල් 7ක් පමණ දිගුය. දකුණු ආසියානු රටවල දක්නට ලැබේ. 

3. නිදි මාපිලා
ලංකාවේ සහ නැගෙනහිර ඉන්දියාවේ වාසය කරන සර්පයෙකි. Sri Lanka Cat Snake යන ඉංග්‍රීසි නාමයෙන්ද, Boiga ceylonensis යන විද්‍යාත්මක නාමයෙන්ද හැඳින්වේ.
දුඹුරු පැහැ ශරීරයේ තද පැහැයෙන් සලකුණු ඇති මෙම සර්පයා දිගින් අඩි 4ක් පරණ වර්ධනය වේ. වල්ගය අඟල් 10ක් පමණ දිගුය.

4. පඳුරු මාපිලා
ලංකාවේ දක්නට ලැබෙන මෙම සර්ලයා Barnes's Cat Snake යන ඉංග්‍රීසි නාමයෙන් හැඳන්වේ. මොහුගේ විද්‍යාත්මක නාමය වන්නේ Boiga barnesii ය.

මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් දක්වා පහත් බිම් වල වාසය කරයි. දුඹුරු ශරීරයේ තද දුඹුරු සලකුණු ඇත. අඩි 2ක් පමණ දිගට වර්ධනය වේ. උග්‍ර විෂ සහිත බවට මතයක් මිනිසුන් අතර ඇතත් සුළු විෂ සහිත සර්පයෙකි. දෂ්ඨ කිරීමෙන් මරණය ඇති නොවේ.

5 කහ මාපිලා
ලංකාවේ හා ඉන්දියාවේ දක්නට ලැබෙන සර්පයෙකි. Beddome's Cat Snake යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම සර්පයාගේ විද්‍යාත්මක නාමය වන්නේ Boiga beddomei ය.

මෙම මාපිල් වර්ග සියල්ලම අයත් වන්නේ කොලුබ්‍රිඩේ (Colubridae) කුලයටයි.

6 හෙණ කඳයා
ලංකාවේ හා ඉන්දියාවේ දක්නට ලැබෙන සර්පයෙකි. Brown Vine Snake යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම සර්පයාගේ විද්‍යාත්මක නාමය Ahaetulla pulverulenta වේ.
බොහෝවිට ගස් මත දක්නට ලැබේ. සිහින් දිග ශරීරයක් ඇත. නාසය උල් වන අතර නපුරු පෙනුමක් හිසේ ඇත. දිගින් අඩි 5ක් පමණ වේ. මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

7. ඇහැටුල්ලා
දකුණු ආසියාවේ රටවල් බොහොමයක දක්නට ලැබේ. ඉංග්‍රීසියෙන් Green Vine Snake යනුවෙන් හඳුන්වන මෙම සර්පයා විද්‍යාත්මකව Ahaetulla nasuta ලෙස හැඳින්වේ.
අඩි 5ක් පමණ දිග සිහින් ශරීරයක් ඇති මෙම සර්පයා ගස් මත වාසය කරයි. උල් නාසයක් සහිත හිස නපුරු පෙනුමක් ගනී. මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

8. මල්සරා
පොල් මල් කරවලා හා මල් කරවලා යන නම් වලින්ද හැඳින්වෙන මෙම සර්පයා Gold & Black Tree Snake යනුවෙන් ඉංග්‍රීසියෙන් නම් කෙරේ. Chrysopelea ornata ornata යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ.
ලංකාවේ වාසය කරන අලංකාරම සර්පයා ලෙස සැලකේ. දිගින් අඩි 4 1/2ක් පමණ වේ. බොහෝ විට ගස් මත වාසය කරයි. මොහු අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

9. දඟර දණ්ඩා
ගස් මත වාසය කරන මෙම සර්පයා Sri lanka Flying Snake යන ඉංග්‍රීසි නාමයෙන්ද, Chrysopelea taprobanica යන විද්‍යාත්මක නාමයෙන්ද හැඳින්වේ. 
මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

10. කුණුදිය කළුවා
ආසියවේ සහ ඕස්ට්‍රේලියාවේ දක්නට ලැබෙන සර්පයෙකි. ජලයේ වාසය කරයි. විශේෂයෙන් කඩොලාන ආශ්‍රිතවද දැකිය හැක. ඉංග්‍රීසියෙන් Dog Faced water snake යනුවෙන් හඳුන්වන මෙම සර්පයා Cerberus rynchops යන නාමයෙන් විද්‍යාත්මකව නම් කෙරේ.



රූප දෙකෙන් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ හා සිංගපූරුවේ ගන්න ඡායාරූප බව සලකන්න.
දිගින් අඩි 4ක් පමණ වේ. මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

11. නිහලුවා
ලංකාවට ආවේණික සර්පයෙකි. ඉංග්‍රීසි භාෂාවෙන් Sri lanka Keel Black හෝ Blossom Krait ලෙස හැඳින්වෙන මෙම සර්පයා විද්‍යාත්මකව Balanophis ceylonensis ලෙස නම් කර ඇත.

අඩි 1 1/2ක් පමණ දිගු සර්පයෙකි. තෙත් කලාපයෙන් වාර්ථා වී ඇත. කොලුබ්‍රිඩේ කුලයට අයත්වේ.

12. දිය වර්ණ.
ජලයේ ජීවත් වන මෙම සර්පයා Gerard's Water Snake යන ඉංග්‍රීසි නාමයෙන් හඳන්වන අතර විද්‍යාත්මකව Gerarda prevostiana නම්වේ. ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල දක්නට ඇත.

අඟල් 16ක් පමණ දිගු මෙම සර්පයා අයත් වන්නේ කොලුබ්‍රිඩේ කුලයටයි.

මේ අනුව ලංකාවේ වාසය කරන සියලුම සුළු විෂ සර්පයින් අයත් වන්නේ කොලුබ්‍රිඩේ (Colubridae)කුලයටයි. මෙම සර්පයින් දෂ්ඨ කිරීමෙන් මරණ වාර්ථා වී නැත. පොල්මල් කරවලා හෙවත් මල්සරා දෂ්ඨ කිරීම නිසා මරණ සිදුවන බවට මතයක් ඇතත් එයද මිත්‍යාවකි. තවද පොල්මල් කරවලා හා මල් කරවලා යන සර්පයින් නියම කරවලුන් නොවේ. නියම කරවලුන් අයත් වන්නේ Bungarus යන ගනයටයි.එමෙන්ම ඔවුන් ඉලැපිඩේ කුලයට අයත්. 
මෙතෙක් විස්තර කළ සර්පයින් හැර විෂ සහිත සර්පයින් ලෙස පෙන්වා දිය හැක්කේ මුහුදු සර්පයින් පමණි. ලංකාවේ හමුවන ඉතිරි වර්ග 61 පමණ වන සියලුම සර්පයින් විෂ රහිතවේ.
එහෙමනම් අදට මේ ඇති. තවත් ලිපියකින් හමුවෙමු.
ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!


19 comments:

  1. මම හිතුවේ 'මාපිලා' කියන්නේ ඉතාම විසකුරු සර්පයෙක් කියලා. හිනායන්නේ 'මල්සරා' කියලා කෙනෙක් ඉන්න එකනේ. අනංගයා පව්නේද?

    ReplyDelete
  2. වැදගත් තොරතුරු ටිකක්.
    දිගටම ලියන්න.

    ReplyDelete
  3. ඔයාගේ මේ ලිපි පෙලින් වැඩිම ප්‍රයෝජනේ ගන්නෙ මම වෙන්න ඇති ප්‍රියන්ත.... ස්තූතියි මචන්....

    ReplyDelete
  4. වැදගත් ලිපි මාලාවක්....

    පින්තුර ටික්කත් ලස්සනයි..
    මෙ හැම කෙනෙකුටම වාසස්තාන අහිමි විමෙ තර්ජනයක් තියනව නෙද?
    පව් අනෙ මෙයාල... මටනම් මෙයාලව හම්බවෙලා තියනව වගෙම මම නම් මෙයාලට පාඩුවෙ ඉන්න ඉඩ අරිනව...... එයාලටත් ජිවත්වෙන්න අයිතියක් තියනවනෙ අපිට වගෙම..

    ඇත්තටම අපි (මිනිසා) තමයි මෙයාලට කරදර කරන්නෙ නෙද?

    ReplyDelete
  5. ගොඩක් වැදගත් ලිපියක්....බ්ලොග් අවකාශයේ තියෙනා වැදගත්ම බ්ලොග් එකක්...අද තමා ආවේ...හැමදාම එන්න හිතන් ඉන්නේ...
    ජය!!!!!

    ReplyDelete
  6. නියමයි අයියේ! කියන්න ඕනෙ දේවල් කට්ටිය කලින්ම කියලා තියනවනේ

    ReplyDelete
  7. ලින්ක් එක එව්වට ස්තුතිය් .හෙට උදේටම හොඳට පෝස්ට් එක කියවනවා .දැන් ගොඩක් රෑ වෙලා .නයි කතා කියවන්න ටිකක් බයයි රෑට හීනෙන් පෙනුනොත් කියලා :)

    ReplyDelete
  8. @ ප්‍රවීනා
    ගොඩක් අය අතර ඇති වැරදි මතයක් තමා මාපිලා උග්‍ර විෂ සර්පයෙක් කියන එක. ඒත් ඌ දෂ්ඨ කර මේ දක්වා කිසිම අයෙකු මිය ගිහින් නම් නෑ.
    ඔය අනංගයා හා මල්සරා දෙන්නෙක්ද දන්නේ නෑ නේ. දැන් දුන්නෙන් විදිනවා වෙනුවට දෂ්ඨ කරයිද?

    ReplyDelete
  9. @ Praසන්ன
    ස්තූතියි ප්‍රසන්න..

    ReplyDelete
  10. @ අභීත
    මට ගොඩක් සතුටුයි අභීත. මෙයින් කෙනෙකුට ලොකු ප්‍රයෝජනයක් උනා කියන එකත්.

    ReplyDelete
  11. @ ඉංදික
    මම මේ පොස්ට් සීරිස් එක කරන්නෙත් ඒවෙනුවෙන් තමා ඉංදික.

    ReplyDelete
  12. @ රත්ගමයා
    මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා. පුළුවන් වෙලාවට ඇවිත් කියවලා යන්න.

    ReplyDelete
  13. @ blog gadol
    ස්තූතියි මල්ලි.

    ReplyDelete
  14. @ TG
    මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා. පුළුවන් වෙලාවට ඇවිත් කියවලා යන්න.

    ReplyDelete
  15. මම සර්පයෝ ගැන නොදන්න දේවල් ‍ගොඩක් දැනගත්තා ලිපියට තුති....

    ReplyDelete
  16. මචන් මම "ලOකාවේ විශ සහිත සතුන්" කියල පොතක් හදනව.. පොතක් කියන්නෙ මගෙ A/L Project එක.. මට ඒක හදන්න හොද විස්තර ටිකක් දීපන්කො මචන්.. ගොඩක් ලොකු උදව්වක්.. Mata puluwan nam E mail karapan machan.. "harshanacom@gmail.com"..

    ReplyDelete
  17. නියම වැඩක් නැත්නම් අපරාදෙ සර්පයො මරනව

    ReplyDelete
  18. ගොඩක් වැදගත් කරැණු දැනගත්තා.....
    ඹබට ස්තූතියි .

    ReplyDelete