Monday, February 7, 2011

සර්පයින් සම්බන්ධ වැදගත් වන කරුණු කීපයක්...

ජනවාරි මාසයේ පටන් ගත් ශ්‍රී ලංකාවේ සර්පයින් ගැන ලියවුනු ලිපි පෙළ අවසන් කරන්න කාලය ඇවිත්. එහෙනම් අද අවසන් පෝස්ට් එකෙන් කියන්න යන්නේ සර්ප විෂ, දෂ්ඨ කිරිම ඇතුලු කරුණු කීපයක්.

සර්ප විෂ
සර්ප විෂ යනු අපේ කෙළ නිපදවන ඛේඨ ග්‍රන්ථි වැනිම විකසනය වූ ඛේට ග්‍රන්ථියකින් නිපදවෙන ප්‍රෝටීන් ද්‍රාවණයකි. එහි අන්තර් ගත වන්නේ ජලය, ප්‍රෝටියෝලිටික එන්සයිම, විවිධ එන්සයිම හා ස්නායු විෂ ඇතුලත්ය. විෂකුරු සර්පයෙකුගේ කළල අවස්ථාවේ සිටම විෂ ඇත. මෙය කහ හෝ දුඹුරු පැහැති ජලයට වඩා ඝනත්වයෙන් වැඩි ද්‍රවණයකි. විෂෙහි ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ එහි අඩංගු විවිධ එන්සයිම අනුවය. මෙවැනි එන්සයිම 30ක් පමණ සර්ප විෂෙහි අන්තර්ගත බව සොයාගෙන ඇත.

මෙම එන්සයිම ක්‍රියාකාරිත්වය අනුව කොටස් කිරීමේදී ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ හඳුනාගත හැක.
1 හයලුරොනිඩේස් (Hyaluronidase)
විෂ ශරීරය පුරා පැතිරෙන්නේ මෙම එන්සයිම නිසාය

2 පොස්පොලිපේස් (Phospholipase)
සෛල වල සිවිය මෙම එන්සයිම නිසා විනාශවේ.

3 ප්‍රෝටිනේස් (Protease)
දෂඨ කළ ස්ථානය කුණු වීම හා ලේ ගැලීම මෙම එන්සයිම නිසා සිදුවේ.

සර්ප විෂ ක්‍රියා කාරිත්වය අනුව ප්‍රධාන කොටස් දෙකකි. එනම් 
1. ස්නායුක විෂ (Neurotoxin)
මෙම විෂ කෙලින්ම බල පාන්නේ ස්නායු පද්ධතියටයි.

2. සෛල වලට බලපාන විෂ (Cytotoxin)
මෙම විෂ සෛල විනාශ කරයි.

සර්පයෙකු දෂ්ඨ කිරීමක් යනු කුමක්ද?
එනම් සපා කෑමකි. මෙහි වෙනත් සතෙකු සපාකෑමෙන් වෙනස් වන්නේ විෂ ග්‍රන්ථියේ ඇති විෂ සපා කන අවස්ථාවේ ශරීරයට ඇතුළු වීමයි.
 රූපයේ ආකාරයට සර්පයාගේ විෂ දළ (Fangs) පිහිටා ඇත.  සර්පයා සපා කන අවස්ථාවේ විෂ ග්‍රන්ථියේ (venom gland) වල ඇති සිදුරෙන්  විෂ ශරීරයට එන්නත් වේ. ඇතැම් සර්පයින්ගේ විෂ දළ පිහිටා ඇත්තේ මුඛයේ තරමක් ඇතුලතිනි. එවන් සර්ප දෂ්ඨයකදී ඇතැම් විට විෂ දළ නොවැදී තිබීමටද පුළුවන. මෙසේ ඇතුළු වන විෂ රුධිරය හා මුසුව ශරීරය පුරා ගමන් කරයි.

එවිට ඇතිවන රෝග ලක්‍ෂණ හා අවදානම
1 ස්නායු පද්ධතියට
මෙය බහුලව සිදුවන්නේ ඉලැපිඩේ කුලයට අයත් සර්ප විෂ නිසාය. නිදිමත ස්වභාවය, ඇස් බාගෙට වැසී තිබීම, ඇස් ඇරීමට අපහසු බව, බොඳවූ හෝ ද්විත්ව වූ රූප පෙනීම, ශ්වසනයට හා ගිලිමට ඇති අපහසු බව මෙහි ප්‍රධාන රෝග ලක්‍ෂණ වේ. 

2 හෘදය හා රුධිර පද්ධතියට
දෂ්ඨ කළ ස්ථානයෙන් අධික ලෙස රුධිරය ගලා යාම, සම රත් පැහැ ගැනීම (අභ්‍යන්තර රුධිර වහනය නිසා) අක්‍ෂි පටල යටින් රුධිරය ගැලීම, විදුරු මස් වලින් ලේ ගැලීම, රුධිරය සමග වමනය පිටවීම සිදුවේ. රුධිර පිඪනය පහල යෑම නිසා රෝගියා කම්පනයට ලක්වේ. රුධිර සෛල විනාශ විම සිදුවේ. මෙම ලක්‍ෂණ වලට ප්‍රධාන ලෙස බලපාන්නේ පොළොං විෂයි.

3 මුත්‍රා පද්ධතියට
වකුගඩු වලට සිදුවන හානි නිසා මුත්‍රා පිටවීම අඩුවේ. මේ හේතුවෙන් ශරීරයේ යූරියා ප්‍රමාණය ඉහල යාමෙන් රෝගීවේ. වකුගඩු වලට රුධිර සැපයුම අඩුවීම නිසාද, වකුගඩු වලදී රුධිර සෛල විනාශ වීම නිසාද වකුගඩු වලට හානි සිදුවේ.

සර්ප දෂ්ඨයකදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග.
  • සර්ප දෂ්ඨයකට ලක්වූ රෝගියා තුල අධික ලෙස මරණ බිය ඇතිවේ. එම නිසා එය අනිසි බියක් බව පෙන්වා දිය යුතුය. දැන් සර්ප දෂ්ඨයකට අවශ්‍ය ප්‍රථිකාර සෑම රොහලකම වාගේ ඇති බවත් නිසි ප්‍රථිකාරයෙන් සුව කිරීම අපහසු නොවන බවත් රොගියාට පෙන්වාදී බිය නැති කළ යුතුය. 
  • දෂ්ඨ කළ තුවාලය පිරිසිදු ජලයෙන් සෝදා දෑමීම කළ හැක. නමුත් සේදීමේදී ඇතිල්ලීමක් නොකළ යුතුය. ඉන්පසු වෙනත් විෂ බීජ ඇතුල්වීම වැලැක්වීමට තුවාලය පිරිසිදු රෙදි කඩකින් ආවරණය කරන්න.
  • තුවාලය අතක හෝ පාදයක ඇති විට ලේ ගමනාගමනය වලක්වන ලෙස තිරිංගයක් (පටියකින් ගැට ගසා ලේ ගමනා ගමනය අඩාල කිරීම) පෙර සිදු කලත් එයින් ඇතිවන අතුරු හානි නිසා දැන් එය අනුමත නොකරයි. 
  • දෂ්ඨ කළ ස්ථානය අධික ලෙස ඉදිමෙන නිසා ඒ ආශ්‍රිතව ඇති වලලු, මුදු වැනි දේ ඉවත් කරන්න.
  • රෝගියා වෙහෙසට පත් නොකර නොසොල්වා, ඇවිදීමට නොදී ඔසවාගෙන රෝහල කරා ගෙනයෑම.
  • රෝගියාට පානය කිරීමට දියර වර්ග හැකි තරම් ලබා දෙන්න.
  • කිසිදු ඖෂධයක් දීමෙන් වලකින්න. විශේෂයෙන් ඇසිප්‍රින් (Aspirin) දීමෙන් වලකින්න.
  • රෝගියාට මධ්‍යසාර පානය කිරිමට දීමෙන් වලකින්න.
  • * වඩාත්ම වැදගත් වන්නේ හැකි තරම් ඉක්මනින් රෝහලක් කරා ගෙන යන්න. දෂ්ඨයෙන් පැයක් පමණ ඇතුලත ප්‍රථිකාර සඳහා යොමු කරන්න හැකිනම් එය වෛද්‍යවරුන්ට පහසුවක් වනු ඇත.
  • දෂ්ඨ කළ සර්පයා හඳුනාගත්තේ නම් එය වෛද්‍යවරයාට පවසන්න.

රොහලකදී කරන විශේෂ ප්‍රතිකාර
මේ ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. නමුත් කෙටියෙන් සඳහන් කළොත් සිදුකරන්නේ පළමුව රෝග ලක්‍ෂණ පහලවී ඇති දැයි පරීක්‍ෂාකර එසේ නැතිනම් රෝග ලක්‍ෂණ පහල වන තුරු බලා සිටිය හැක. නමුත් දෂ්ඨ කළ සර්පයා උග්‍ර විෂ නම් හැකි ඉක්මනින් ප්‍රතිකාර ඇරඹේ. ප්‍රධාන ප්‍රතිකාරය ප්‍රතිවිෂ (Anti-venom) ලබා දීමයි. මේවා සාදන්නේ සර්ප විෂ තනුක කර එය අශ්වයින්, එළුවන්, බැටළුවන් හෝ බළලුන් වැනි සතුන්ට එන්නත් කොට ඔවුන්ගේ රුධිරයේ නිපදවෙන ප්‍රතිවිෂ නිස්සාරනයෙනි.
මීට අමතරව ඇතිවන වෙනත් අතුරු ආබාධ, රුධිරය අධික ලෙස අඩුවී ඇතිනම රුධිර පාරවිලයනය කිරීම, වකුගඩු වලට වන හානි සඳහා ප්‍රතිකාර සිදු කරයි. 

දේශිය ප්‍රතිකාර
පෙර කාලයේ අපේ රටේ දියුණු සර්ප වෙදකමක් පැවති බව පැවසේ. මාගේ ලොකු අත්තා සමාජ සේවයක් වශයෙන් සර්ප වෙදකම සිදු කර ඇත. එහෙත් ඔහුගෙන් පසුව කිසිවෙකුට එම වෙදකම කරන්නට හැකියාවක් නොවීය. ඔහුගේ පොතක කොටසක් වසර ගණනාවකට පෙර මට හමු වුවත් එහි කිසිවක් වටහා ගැනීම අපහසුය. ප්‍රතිකාර ක්‍රම ඇත්තේ කවියෙනි. දැන් නම් එය මා ළඟත් නැත. මේ අයුරින් අපේ දේශිය සර්ප වෙදකම මේ වන විට සම්පූර්ණයෙන්ම වාගේ අභාවයට ගොස් ඇත. ඒ නිසා නියම දක්‍ෂ සර්ප වෙදුන් අද ඇතැයි සිතීම අපහසුය. මේ නිසා වඩා සුදුසු වන්නේ සර්පයෙකු දෂ්ඨ කළ රෝගියෙකු රෝහලකින් ප්‍රතිකාර ගැනීමට පෙළඹවීමයි.
නමුත් දැන ගැනීම සඳහා පෙර පැවති ප්‍රතිකාර ක්‍රම කීපයක් සඳහන් කරමි.
නස්න කිරීම
මෙහිදී විවිධ බෙහෙත් වර්ග නාසයට තබා පිඹීම සිදු කරයි. ඇතැම් විට තෙල් වර්ගද, ඇතැම් විට වෙදමහතා කිසියම් බෙහෙතක් ඔහුගේ මුඛයේ දමා සපා එය රොගියාගේ නාසයට පිඹියි.
විෂ ඉරීම 
මේසඳහා විවිධ ක්‍රම භාවිතා කරයි. ඇතැම් විට බෙහෙත් ගුලියක් තුවාලය මත තබා විෂ උරා ඇත. ඇතැම් වෙදුන් කටින් විෂ උරා දැමූ බවටද පැරණි අයට මතක ඇත.
කැඳ වර්ග
සර්ප දෂ්ඨ කිරීමකට ලක්වූ අයෙකුට ඖෂධීය කැඳ වර්ග  ෙබාන්නට දී තිබේ. මෙයින් එක් කැඳ වර්ගයක් නම් කරපිංචා කොළ කැඳයි.
මීට අමතරව විවිධ බෙහෙත් වර්ග තුවාලයේ ආලේප කිරීම සිදු කර ඇත.

සර්ප දෂ්ඨයන් වලක්වා ගැනීම
  • සර්ප දෂ්ඨ කිරීම් වලින් 70% වැඩියෙන් සිදුවන්නේ දණහිසෙන් පහලය. එම නිසා සර්පයින් බහුලව ගැවසෙන ස්ථාන වල ක්‍රියා කිරීමේදී දණහිස තෙක් වැසෙන බූට්ස් (පාවහන්) පැළඳීම කළ හැක.
  • රාත්‍රී කාලයේ ගමන් කිරීමේදී හොඳ ආලෝකයක් රැගෙන යන්න. තවද අනාරක්‍ෂිත ස්ථානයකින් ගමන් කිරීමේදී දණ්ඩකින් පොළවට තට්ටු කරමින් යෑම හෝ තදින් පොළවට අඩි තබමින් යෑම නිසා සර්පයින් ඉවතට ගමන් කරයි.
  • ගස් බෙන, හුඹස්, ගල් වල ඇති විවර වැනි අනාරක්‍ෂිත ස්ථාන වලට අත දැමීමෙන් වලකින්න.
  • ගොවිතැන් කටයුතු වලදී කැලෑ හෙලි කිරීම, අස්වනු කැපීම (විශේෂයෙන් උක් වැනි වගා වන් වලදී) කාණු ශුද්ධ කිරීමේදී විමසිලිමත් වීම.
  • අඳුරේ දර ගොඩවල් වැනි ස්ථාන වලට අත දැමීමෙන් වැලකීම.
  • මරා දමන ලද හෝ මැරුණ සර්පයින් ඇල්ලීමෙන් වැලකීම.
සර්ප දෂ්ඨ කිරීම නිසා ඇතිවන වෙනත් බලපෑම්
සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මරණය සිදු නොවුනද වෙනත් හානි සිදුවීමට පුළුවන. ඒ නිසි ප්‍රතිකාර නොකිරීම නිසයි.
ඒවායින් කීපයක් මෙසේයි.

  • වකුගඩු වලට වන හානි නිසා පසු කාලීනව වකුගඩු අක්‍රීය වීමට හෝ ආබාධයන්ට ලක්වීමට ඇති ඉඩකඩ.
  • අක්මාවේ විෂ තැම්පත් වන නිසා අක්මාවට සිදුවන හානි.
  • මීට අමතරව සර්පයින්ගේ මුඛයේ පිටගැස්ම සාදන ක්ලොස්ට්‍රිඩියම් ටෙටනයි (Clostridium tetani) බැක්ටීරියාව වාසය කරයි. එම නිසා දෂ්ඨ කිරීමේදී එම බැක්ටීරියාව ශරීර ගතවීමෙන් පිටගැස්ම ඇතිවිය හැක.

සර්පයින්ගේ ඇති වැදගත් කම
අප පරිසරයේ වසන සෑම ජීවියෙක් වගේම සර්පයින් පරිසරයේ වැදගත් පුරුකකි. පරිසරයේ සමතුලිත බව ආරක්‍ෂා කිරීමට සර්පයින්ගෙන් ඉටුවන මෙහෙය ඉතා වැදගත්ය. ලංකාව වැනි කෘෂි කාර්මික රටවල වගාවන්ට හානි කරන ප්‍රධාන සතුරා වන මීයන් පාලනයට දායක වන සතුන් අතරින් වැඩිම දායකත්වය සපයන්නේ සර්පයින්ය.
තවද මිනිසාට සෑදෙන ලාදුරු, රූමැටික උණ, මහාමාරිය, ඇදුම, සරම්ප, හීමෝෆිලියාව වැනි රෝග සුව කිරීම සඳහා අවශ්‍ය ඖෂධ නිපදවීම සඳහා සර්ප විෂ යොදා ගැනේ. සර්ප විෂ සඳහා ප්‍රති විෂ නිපදවන්නේද සර්ප විෂ මගිනි.
මෙසේ අපට දෂ්ඨ කරන සර්පයින් අප නොදැනම අපේ පරිසරයට කරන මෙහෙය අති මහත්ය. එමෙන්ම ලංකාවේ ජීවත් වන සර්ප විශේෂ අතරින් 61ක්ම කිසිම විෂක් නැති අය වන අතර උග්‍ර විෂ සර්පයින් සඳහාද ප්‍රතිකාර ඇත.
මේ සියල්ල සැලකූ විට සර්පයින් ආරක්‍ෂා කිරීමට කාලය එළඹ ඇති බව කිව යුතුමය.

වෙනත් විෂ සහිත සතුන්
අප මෙතෙක් කථා කළ සර්පයින් හැර අප පරිසරයේ තවත් විෂ සහිත සතුන් වාසය කරයි. ඔවුන් අතර සන්ධිපාදිකයින් කිහිපදෙනෙක් ඇත.
එනම් දිවි මකුලුවන්, ගෝනුස්සන්, පත්තෑයන්/ගරුඬන්, මී මැස්සන්, බඹරුන් හා දෙබරන් වැනි සතුන්ය. කඩියන් වැනි විෂ සහිත කුහුඹු විශේෂ කීපයක්ද ඇත.
දිවි මකුළුවා
මෙම සතා මාරාන්තික විෂ සතෙකු නොවේ. දෂ්ඨ කිරීමකදී ඉදිමුම, වේදනාව, දෂ්ඨ කළ ස්ථානයේ ඇතිවන කැසීම, පපුවේ උදරයේ වේදනාව හා දහදිය අධික ලෙස දැමීම වැනි ලක්‍ෂණ ඇතිවේ. ඇතැම් විට කලාතුරකින් වකුගඩු හා හෘදයේ ක්‍රියා කාරිත්වයට බාධා ඇතිවිය හැක.
ගෝනුසුසා
දෂ්ඨ කළ ස්ථානයේ ඉදිමුම හා වේදනාව ඇතිවේ. ඇතැම් විට මෙය දින දෙකක් පමණ පවතී. කුඩා ළමයෙකුට නම් ප්‍රතිකාර ගැනීම වැදගත් වේ.
කඩියන් හා වෙනත් විෂ කුහුඹුවන්
දෂ්ඨ කිරීමෙන් වේදනාව ඇතිවේ, ඇතැම් විට ඉදිමුම් ඇතිවිය හැක. ආසාත්මික තා ඇතිවීමෙන් මරණ කීපයක් වාර්ථාවී ඇත. සාමාන්‍යෙයන් මාරාන්තික නොවේ. නමුත් ආසාත්මිකතා ඇති වුවහොත් ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යය.
මීමැස්සා, බඹරා, දෙබරා.
විෂ සහිත වන මොවුන්ගෙන් මී මැස්සන් 400ක් 500ක් පමණ දෂ්ඨ කිරීමෙන් මිනිසෙකු මිය යාමට පුළුවන. නමුත් බඹරුන් හෝ දෙබරුන් ඊට අඩු පුමාණයකට මිනිසෙකු මරණයට පත් කළ හැක.

මේ සමග සර්පයින් ගැන ලියූ පොස්ට් මාලාව අවසන් කරනවා. නැවත මේ ගැන කිසිවක් නොලියන්නයි අදහස. මේ ලිපි ගැන ඔබේ අදහස් මට කියලම යන්න.
මෙම ලිපි මාලාව ලිවීමේදී මට උපකාරී වූ මූලාශ්‍ර.
සුමුදු බණ්ඩාරනායක නමැති වෛද්‍යවරයෙකු වෛද්‍ය ශිෂ්‍යෙයකු ලෙස සිටියදී ලියා පළකල ශ්‍රී ලංකාවේ සර්පයින් නමැති පොත (මෙය 1980 දශකයේ පළ කළ එකක් විය යුතුයි)
දෙහිවල සත්වෝද්‍යානය මගින් පළ කළ  ශ්‍රී ලංකාවේ සර්පයින් නැමැති පොත.
අන්තර්ජාලය (විශේෂයෙන් විකිපීඩියාව)
කාලයක් පුරා මා විසින් පුවත්පත් පොත් පත් මලින් එකතුකරගත් දැනුම.
මගේ මතක, හා අත්දැකීම්.
එසේනම් අළුත් ලිපියක් සමග හමුවෙමු. ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!


24 comments:

  1. අද ලිපිය හරිම වැදගත් කියලා තමයි මට හිතෙන්නේ. බොහොම සරල විදියට හිතට කාවදින්න ලියලත් තියනවා. ලොකු අත්තාගේ සර්ප වෙදකම ඔයා දැන හිටියානම් කොච්චර හොඳද කියලා හිතෙනවා. සමාජ සේවයක් හැටියට කරන්න. ඒ පැත්තෙන් තව පර්යේෂන කරලා බලන්නත් තිබුනා.එහෙනං ඉතින් සර්පයෙක් කාපු හැටියේ දුවගෙන එන්නේ ප්‍රියන්ත ලඟටනේ.

    මිනිස්සුන්ගේ විසත් ඔයවිදියට හොයලා බලන්න තිබුනා නම් කොච්චර හොඳද?

    මල්සරා ඉතින් ඕන වේශයකින් ආවත් ප්‍රශ්නයක් නෑනේ!

    ReplyDelete
  2. අද ලිපියෙනං සෑහෙන වැදගත් කරුණු ටිකක් තියෙනවා.
    මැරුන සර්පයෙක් අල්ලන්න එපා කිවුවෙ ඇයි.

    ReplyDelete
  3. ඔක්කොම ටික කියෙව්ව මුල ඉඳළම සර්පයින් ගැන ලියපු.
    ‍නොදැන සිටි කරුණු ගොඩක් දැනගත්ත.
    ඉතාම අගනා ලිපි පෙළක් බව කිව යුතුයි.

    ReplyDelete
  4. ලිපි මාලාවම වැදගත්
    එවගෙම සරලයි...
    ඉලගට අලුත් ලිපිමාලාවක් නේද?

    සුබ දවසක්...!

    ReplyDelete
  5. සර්පයොත් අහවරයි එහෙනම්...දැන් වෙන එකක් දාමු...ඉක්මනට දාන්න.... ජය වේවා!!

    ReplyDelete
  6. ප්‍රවීනා
    ඔයා කියන එක හරියටම හරි. ඒ කියන්නේ මගේ පොස්ට් එක සාර්ථකයි. මං බලා පොරොත්තුවූ ප්‍රතිචාරය ඔයාගෙන්ම උදේම ලැබුන එක ගැන මට සතුටුයි.
    ඇත්තට මල් සරා කෑවොත් මොනවා වෙයිද?

    ReplyDelete
  7. @ Praසන්ன
    සර්පයෙක් මිය ගියා වගේ අපට පෙනුනට පණ තිබී දෂ්ඨ කරන්න පුළුවන්. ඒ වගේම සර්පයින් වැනි සතුන් එක වරම මිය යන්නේ නෑ. හිස පොඩිවූ සර්පයෙක්, නැතිනම් දෙකට කැපුන සර්පයෙක් පවා නොසෙල්වී සිටියත් යම් කාලයකට පසුව සපන්න පුළුවන්. (යන්තමින් කට අරින්න හැකි තරමට හිස ඉකිරි නම්)

    ReplyDelete
  8. @ ``` Outsider```
    ලොකු සතුටක්. මගේ පොස්ට් අතරින් පළමු දවසෙම ගොඩක් ට්‍රැෆික් තිබුන පොස්ට් එකක් මේක. ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාටත්.

    ReplyDelete
  9. @ ඉංදික
    ස්තූතියි ඉංදික. ටික දවසක් ඉන්න. ඊළඟට ලියන්නේ මොනවද කියල තාම හිතුවේ නෑ.

    ReplyDelete
  10. @ රත්ගමයා
    අනිවා දානවා රත්ගමයා. ඒත් දාන්නේ මොනවද කියල නම් තාම හිතුවේ නෑ.

    ReplyDelete
  11. ඔන්න දැනුයි ඉදහසේ කියෙව්වෙ. හොඳම ලිපිය ලියල තියෙන්නෙ අද. ඇත්තට ඊලඟ ලිපි පෙල මොනවා ගැනද?

    ReplyDelete
  12. ඔයා ඊලඟට ලියන්න කල්පනාව මල්ගැනද?

    ReplyDelete
  13. @ හරී - පිණිපළස
    හෙට ඇවිත් බලන්නකෝ මොකක්ද ඊළඟ ලිපිය කියල.

    ReplyDelete
  14. ප්‍රවීනා
    ඔයාට සාස්තර කියන්නත් පුළුවන්ද?
    හෙට උදේ බලන්නකෝ ඔයාගේ සාස්තරේ හරිද කියල...

    ReplyDelete
  15. එලම කිරි ලිපියක් අයියේ! මගේ ‍ෆීල්ඩ් එකටත් සම්බන්ද කරුණු තිබුනා. බොහොම ස්තුතියි

    ReplyDelete
  16. @ blog gadol
    ඒකනම් මටත් සතුටක්. මල්ලිගේ ෆිල්ඩ් එක මොකක්ද?

    ReplyDelete
  17. මචෝ ප්‍රියන්ත,

    අහම්බෙන් මේ පැත්තෙ ආවෙ වෙන කාගෙදෝ ලින්ක් එකක් ඔස්සෙ.. එක දිගටම මේ ලිපි පෙල කියවලා ඉවරකලා‍‍‍‍.. මේ දවස්වල ටිකක් බිසි නිසා බ්ලොග් පෝස්ට් වලට කමෙන්ට් කරන එක නවත්තලා තියෙන්නෙ.. ඒත් මේ ලිපි ටික කියෙවුවට පස්සෙ මට හිතුනා කමෙන්ට් එකක් නොදැම්මොත් වැරැදියි කියලා.. ඇත්තටම බොහොම වටිනා ලිපි පෙලක්.. පුදුමෙකට වගේ ඊයෙ රෑ BBC එකෙත් මම බැලුවා මේ ගැනම programme එකක්, ඉන්දියාවෙ සර්පයන් හා ප්‍රතිවිෂ නිපදවීම ගැන.. මට හැගෙන විදිහට මෙන්න මේ කරුණු ටික වැදගත්..

    1. මිනිසුන් සර්පයන් ගැන මීට වඩා දැනුවත් කල යුතුය. විශේෂයෙන් උග්‍ර විෂ, මද විෂ හා විෂ රහිත සර්පයන් දුටු විගස හදුනාගත හැකි තරමට.

    2. මිනිසුන් තුළ සර්පයන් ගැන ඇති මිත්‍යා විශ්වාස නැති කල යුතුය. උදා: සියළුම සර්පයන් විසකුරුය, දුටු තැන මරා දැමිය යුතුය වැනි විශ්වාස.

    3‍. පොදුවේ සර්පයන් කෙරෙහි මිනිසුන් තුළ ඇති අනියත බිය නැතිකල යුතුය. සර්පයන්ද මේ ජෛව චක්‍රය තුළ සිටියයුතු අත්‍යවශය අංගයක් බව මිනිසුන් තුළ තහවුරු කල යුතුය.

    4. හැකි සෑම විටම සර්ප දශ්ටනයන්ගෙන් වැලැකීමට ගතයුතු පියවර ගැනීමට මිනිසුන් උනන්දු කල යුතුය. උදා: වගාබිම් වල වැඩ කිරීමේදි, රාත්‍රි කාලයේ ගමන් යාමේදි

    5. සර්ප දශ්ටනයන් කෙරෙහි ඇති අනියත බිය නැතිකල යුතුය. සියළුම සර්ප දශ්ටන මාරාන්තික නොවන අතර මාරාන්තික දශ්ටන පවා නිසි කල නිසි ප්‍රතිකාර මගින් සුව කල හැකි බව. දශ්ටනයකදී කල යුතු ප්‍රථමාධාර ගැන දැනුමක් සියළු දෙනාටම ලබාදිය යුතු අතර වැදගත් වන්නේ ගොඩවෙදකම් නොකර හැකි ඉක්මනින් රෝගියාව රෝහල වෙත ගෙන යාම බවත් අවධාරනය කල යුතුය.

    6. අපේ රටේ සර්පයන් (විශේෂයෙන් විෂ සහිත සර්පයන්) ගැන කෙරෙන අධ්‍යයනයන් මීට වඩා වැඩි කල යුතුය. විශේෂයෙන්ම ප්‍රතිවිෂ නිපදවීම ගැන මීට වඩා පර්යේෂණයන් සිදුකල යුතුය. ඊයේ TV programme එක දකින තෙක් මා සිතා සිටියේ ප්‍රතිවිෂ කෝකටත් තෛලයක් කියාය. නමුත් සියළුම සර්ප දශ්ටන කෙරෙහි පොදු වූ ප්‍රතිවිෂක් මේ වනතෙක් නිපදවී නැති බවත්, සමහර සර්ප දශ්ටන කෙරෙහි ප්‍රතිවිෂ කිසිසේත්ම ඵලදායක නොවන බවත් ඊයේ උගත්තෙමි. (මීට හේතුව වන්නේ සර්ප විශේෂය හා ජීවත්වන ප්‍ර‍දේශය අනුව සර්ප විෂ එකිනෙකින් වෙනස්වීමයි)

    අවසාන වශයෙන් නැවතත් ලොකු ස්තූතියක්!!

    ReplyDelete
  18. @ Buratheno
    මේ පැත්තේ ආ එක ලොකු සතුටක්. මගේ මතකයට ආදරයෙන් පිළි ගන්නවා.ඔබ කියන සියල්ල මම පිළිගන්නවා. ඇත්තටම මටත් මේ ලිපිපෙළින් කියන්න ඕන උනේ ඒටිකම තමා.
    ඔබටත් ස්තූතියි....

    ReplyDelete
  19. වටිනාම ලිපි පෙළක් අයියා. ස්තුති අපිත් එක්ක මේ දැනුම බෙදා ගත්තාට

    ReplyDelete
  20. @ Hasitha
    ස්තූතියි මල්ලි ප්‍රතිචාරයට....

    ReplyDelete
  21. කියන්න වදන් නැහැ ...... නොදන්න දේවල් ගොඩාක් දැන් ගත්තා .... තමා ඔක්කොම කියවලා ඉවර නැහැ ....

    ReplyDelete
  22. @ කල්හාර දිසානායක
    ඔව් මේවා නම් හරි අවබෝධය ගන්න සටහන් සියල්ලම කියවන්න.

    ReplyDelete
  23. මරු මරු හැමදේම එක වහලක් යට..!!

    ReplyDelete
  24. @ Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව
    ස්තූතියි ප්‍රතිචාරයට. මේක පරණ පොස්ට් එකකි නිසයි ප්‍රතිචාර දෙන්න කල් ගියේ. පරණ පෝස්ට් වල කමෙන්ට් වලට උත්තර දෙන්නේ බොහෝවිට සතියකට දවසයි. ආයෙත් ඇවිත් යන්න එන්න දිල්නුවන්.

    ReplyDelete