Sunday, November 28, 2010

අපේ වැඩ අපිම කරගමු....


තාක්‍ෂණ ලිපි ලියන එක දැන් මාස තුනක් විතර ඉඳන් එක දිගටම කෙරෙනවානේ. දැන් ඉතින් ලයින් එක ටික ක‍ාලෙකට මාරු කරන්න හිතුවා. ඒ කියන්නේ තාක්‍ෂණ ලිපි ලියන එක නවත්වනවා නොවේ. තාලයක් හිතේ තිබුන අදහසක් තමා මේ කරන්න යන්නේ. තව දෙයක් තමා මගේ මතකය ලියවෙන්නේ තාක්‍ෂණික ලිපි සඳහාම නොවේනේ. වෙනත් මතක ලියන්නත් ඕනනේ.
එහෙනම් මේකයි අද පටන් ගන්න යන කතාවල ආරම්භය. හැබැයි මේවා තාක්‍ෂණ කතා තරම් ගොඩක් නෑ. කතා ටිකයි තියෙන්නේ. 
අපේ ගෙදර අපි පුංචි කාලේ ඉඳන් බිත්ති පේන්ට් කරන එක කළේ අප්පච්චි. හැබැයි අපිටත් බුරුසුව අතට අරන් බිත්තියේ තීන්ත ගාන්න පුළුවන් වෙනකොට ටික ටික ඒවා කරන්න දුන්නා. අපිත් ඒවා හරිම ආසාවෙන් කළේ. වැඩේ ඇනුවේ නැතුවා නොවේ. එත් වරදින තැන් වලදී අප්පච්චි කියලා දෙනවා. අන්තිමට අපිත් ඒ වැඩේ හොඳට කරන්න පුරුදු උනා. මුල් කාලේ අම්මගේ නම් මේව කරනවට වැඩි කැමැත්තක් තිබුනේ නෑ. ඇයි ඉතින් අපි ඇඳුම් වල තීන්ත ගාගත්තාම, ඇ‍ඟේ තීන්ත ගෑවෙන ඒවා පිරිසිදු කරන්න වෙන්නේ ඇයටනේ. එත් ටිකින් ටික අපිත් මෙවාට හවුල් වෙන එක අම්මාටත් හොඳක් කියල තේරුනා. දැන්නම් ඉතින් ගෙදර පේන්ට් කරන්නේ, පොලිෂ් කරන්නේ ඔක්කොම අපිම තමා.
ඒ විතරක් නොවේ. මගේ සොයුරිය පවා මේ වැඩ වලට හවුල් වෙනවා. ඔය විධියටම තමා මමත් කුස්සියට වැදිල අම්මට උයන්න අදව් කරන්න පටන් ගත්තේ. එයින් මටත් උයන්න ටිකක් පුළුවන් කම ලැබුනා. ගෙදර කිසිවෙකු නැති වෙලාවක තේ එකක් සදා ගන්න පමණක් නොව කෑම සදා ගන්නත් මමයි මල්ලියි ඉගෙන ගත්තේ ගෙදරින්. ඇයි හදිස්සියකට කමිසයක බොත්තමක් ගැලවුනොත් නැවත් මසා ගන්න. ඔය වගේ කොපමන දෙවල් එදිනේදා ගෙදරදී කර ගන්න වෙනවද?
කාලයත් එක්ක තවත් බොහො දේ අපි තනිවම කරගන්න ඉගෙන ගත්තා. ඒ ගැන වැඩි විස්තර කියවන්න. කරන තැන්වලට වෙලා බලන් ඉන්න, ඒ තුලින් එදිනෙදා නිවසේ කරන බොහෝ දේ ඉගෙන ගත්තා. මේනිසා මම වාහන අළුත් වැඩියා කරන තැන්වල සිට ඒවා කරන ආකාරය බලාගෙන ඉඳල තියනවා. යාළුවෙකුගේ, ඥාතියෙකුගේ වාහනයක අළුත් වැඩියාවක් වෙනව නම් කොහොම හරි ඒක බලන්න යනවා. ඒ විතරක් නොවේ වඩු වැඩ, මේසන් වැඩ කරන අවස්ථා පවා බලන් ඉන්නවා. සමහර අය කියලත් දෙනවා. මේ ආකාරයට ලබාගත් දේවල් මතක වලින් මම සමහර ඒවා ටික ටික අත්හදා බලන්න ගිහින් තියනවා. නාගත්ත අවස්ථා නෑ කියන්නත් බෑ.
අප රටේ බොහො දෙනෙක්ට ගෙදර බිත්ති පේන්ට් කරන එක, වතු පිටි සුද්ධ පවිත්‍ර කරන එක, වාහනයක් ටයරයක් මාරු කිරීම වගේ දෙයක් විත්රක් නොවේ හදිස්සියකට බිත්තියකට ඇණයක් ගහන්නත් බාස් කෙනෙක් ඕන තත්වයක් තියනවානේ. නමුත් දියුණු යැයි අප විසින් පිළිගන්නා රටවල විදේශිකයින් පවා තම නිවසේ බොහෝ කාර්යයන් කරගන්නවා මම වීඩියො වලින් දැක තිබෙනවා. එම රටවල යන අයගෙන් අසා තිබෙනවා.
ඉතින් එහෙනම් ඇයි අපි මෙසේ අපේ ගෙදර අපට පුළුවන් දෙයක් කර ගන්න ලැජ්ජ වෙන්නේ. අනික කාගෙවත් වැඩ කරනවා ‍නෙවේනේ. 
එහෙනම් දැන් තේරුනානේ මම ලියන්න යන්නේ මොන වගේ දේවල්ද කියල. ඉදිරියේදී ලිපි පෙලකින් ඒවා එකින් එක ලියන්නම්. සමහර අයනම් මේවා ලියනවාට කැමති වෙයිද කියන්නත් බෑ. මොකද මගෙන් පරිගනක තාක්‍ෂණය ගැන පමණක් ඉල්ලන පිරිසක් ඉන්නවා. පරණ තාක්‍ෂණ ලිපි වල ගැටළු ඇතිනම් ඒවායේ කොමෙන්ටු දාන්නත් පුළුවන්. ඒවාට දිගටම උත්තර දෙනවා.
එහෙනම් ගිහින් එන්නම්. 
සුභ දවසක්!!!
ප/ලි
මෙසේ ලියන මාතෘකාව වෙනස් කිරීමට අදහස හා දිරිය දුන් කුෂාන් මිතුරාටත් පොඩිකුමාරිහාමි මිතුරියටත් මගේ ස්තූතිය පිරි නමන්නත් මෙතනම ඉඩක් ගන්නවා....

Wednesday, November 24, 2010

Software දැමීමේදී මේගැනත් සිතන්න.....2


කලින් පොස්ට් එක කවුරුත් කියවලා එන්න ඇති කියල හිතනවා. එහෙම නැත්නම් පළමුවෙන්ම ඒක කියවලාම එන්නකෝ
අපි කලින් පොස්ට් එකෙන් කතා කරමින් හිටියේ Operating System (OS) එක ස්ථාපනය කරන විට සිතන්න වැදගත් කරුණු ටිකක්නේ. මේ එහි ඉතිරිය. සාමාන්‍යයෙන් අපේ පරිගනකයට පුළුවන් තරම් වැඩි ඉඩක් සහිත හාඩ් ඩිස්ක් එකක් දාගන්න තමා කව්රුත් බලන්නේ. එයට හේතුව අප බොහෝ දෙනෙක් අතට අහුවෙන සෑම software එකක්ම එහි ස්ථාපනය කරන නිසා. නැතිනම් අවම වශයෙන් කොපියක් වත් තබා ගන්න අය තමා බහුලව සිටින්නේ. ඊට අමතරව තව සිංදු, චිත්‍රපට, වීඩියෝ, ගේම්ස් කොපමණක් ඔය හාඩ්ඩිස්ක් එකට කොපි කරන් ඉන්නවද? කොතරම් වැඩි ඉඩක් සහිත හාඩ්ඩිස්ක් එකක් තිබුනත් එය පිරී යන්න වැඩි කාලයක් ගත නොවන්නේ අපේ බොහෝදෙනා ලඟ ඇති සියල්ල එකතු කරන ස්වභාවය නිසාම වෙන්න ඕන. ඒ කෙසේ වෙතත් පරිගනකයක ඇති ෆයිල් සහ ෆෝල්ඩර් ප්‍රමාණය වැඩි වෙන විට එහි වේගය අඩු වෙනවා. ඒ නිසා කිසියම් පිළිවෙලකට සකස් කර ගැනීමෙන් එහි වෙගය වැඩි කරගන්න පුළුවන්. මෙහිදී බොහෝ දෙනා කරන්නේ හාඩ් ඩිස්ක් එක කොටස් වලට (partition) වෙන් කරගැනීමයි. මේවායින් පළමු කොටස (බොහො විට drive C) වල Microsoft Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ. මෙයටම application software රැසක් දැමීමට ඇති නිසා බොහො දෙනෙක් එයට වැඩි ඉඩ ප්‍රමාණයක් වෙන් කරනවා. නමුත් මෙහි ඉඩ ප්‍රමාණය වැඩිවී අඩංගු ෆයිල් ප්‍රමාණය වැඩිවන විට නැවත පද්ධතිය slow වෙනවා. ඒ නිසා C partition එක සඳහා ප්‍රමාණවත් ඉඩක් වෙන් කර  application software වෙනම partition එකක ස්ථාපනය කිරීමෙන් වැඩි වෙගයක් ගන්න පුළුවන්. ඒ system එක install කැ ඇති සක්‍රිය partition එක (active partition ) තුල ඇති ෆයිල් ප්‍රමාණය වේගය හා සෘජුවම සම්බන්ධ නිසා.  ඊට අමතරව තවත් partition එකක්, දෙකක් පමණ (D, E partition වශයෙන්) දත්ත ගබඩා කිරීමට යොදා ගන්න පුළුවන්. 
Linux Operating System එක සඳහා  මීට වෙනස් ආකාරයක් අනුගමනය කරන්නේ. මෙහි අනිවාර්ය partition 3ක් තිබිය යුතුයි. ඒවා නම් boot, root( / ), swap වශයෙන්. අමතරව home, var, usr, tmp වගේ  partition වෙනම හදන්නත් පුළුවන්. නැතිනම් ඒවා / (root)  එකේම සෑදෙනවා. Linux වල boot සඳහා MB -MB පමණ ඉඩ ප්‍රමාණයක් ප්‍රමාණවත්. මෙය primary partition එකක් වීම අනිවාර්යයි. swap සඳහා පෙර භාවිතා කළේ memory (RAM) එක මෙන් දෙගුණයක්. නමුත් දැන් අළුත් පරිගනක වල RAM එක 2GB පමණ ඇති නිසා ඒම ප්‍රමාණයම ගන්න පුළුවන්. / (root) සඳහා අවශ්‍ය උපරිම ප්‍රමාණය ගන්න පුළුවන්. දැන් OS Installation එක ගැන කියා ඇති ප්‍රමාණය ප්‍රමාණවත් කියා හිතනවා. 
මීළඟට මම කියන්න හිතුවේ application software ගැන පොඩි කතාවක්. මේවාට නම් recommended system requirements ප්‍රමාණවත් වෙනවා. වැඩියෙන් තිබේනම් හොඳයි විශේෂයෙන් graphic, 3D animation වැනි software සඳහා. නමුත් recommended system requirements යටතේ බොහෝ applications හොඳින් ක්‍රියා කරනවා. Application software දැමී‍මේදී තමන්ට අවශ්‍ය ඒවා පමණක් ස්ථාපනය කිරීමට සැලකිලිමත් වන්න. අනවශ්‍ය ඒවා මගින් හාඩ්ඩිස්ක් එක පුරවන්න එපා. මේ ගැන කලිනුත් පෝස්ට් එකක කියා ඇති. සමහර අය පරිගනකය ගන්නකොට ඒ දිනවල පවතින ජනප්‍රිය applications සියල්ල අළුත්ම වර්ශන් වලින් දා ගන්නවා. නමුත් ඒවායින් බොහොමයක් කිසි දිනක භාවිතා කරන්නේ නෑ. ඒ නිසා අවශ්‍ය ඒවා පමණක් දාගෙන අනෙක්වා අවශ්‍ය වූ විට ස්ථාපනය කිරීම තමා සුදුසුම.
තවද අතට හසුවන සෑම software එකක්ම පරීක්‍ෂාකරන්න පරිගනකය භාවිතා කරන්න එපා. එය අනවශ්‍යනම් එසේ කිරීම තේරුමක් නැති ක්‍රියාවත්. 
මෙය hardware හා සම්බන්ධ වූ දෙයක් වුවත් මෙතනම ලියන්න වෙනවා. එනම් ඔබේ පරිගනකයට අළුතින් කිසියම් component එකක් (hardware device එකක්) මිළදී ගන්න, සවිකරන් අවශ්‍යනම් එය ඔබේ OS එක හා ගැලපෙනවාදැයි බලන්න. එසේ නොමැති නම් ප්‍රශ්ණ ගණනාවක් ඇතිවෙනවානේ.
එහෙනම් මේ කතාව දැන් ඇති වගේ. මේ නිසා තවත් කතා කීපයකටම කරුණු එකතු වෙනවා. ඒවාති ඉදිරියේදී ලියන්නම්.
අදට නවතිනවා එහෙනම්..
ගිහින් එන්නම්.
සුභ දවසක්!!!

Monday, November 22, 2010

Software දැමීමේදී මේගැනත් සිතන්න.....

පසුගිය ලිපි සියල්ලම ලියවුනේ hardware වලට අදාළව නිසා Software ගැනත් ලියන්න හිතුනා. ඒත් මේවා ගැන බ්ලොග් ගණනාවක් ලියවෙන නිසා ඒදේවල්ම නැවත ලියන එකෙන් වැඩක් වෙයිද?. ඕක තමා මට නිතරම ආපු ප්‍රශ්නය. ඒ නිසා Software ගැන මාදුටු බ්ලොග් වල කාතාකරන දේවල්ම ආයේ නොලියා ටිකක් අඩුවෙන් කියවෙන, එත් අපි එතරම් ගණන් නොගන්නා කරුණු ටිකක් කියන්නයි මේ උත්සාහය.
පළමුව අපි පටන්ගමුකො operating system එකෙන්ම. මෙතනදී බොහෝදෙනෙක් අහන ප්‍රශ්නය තමා මොකක්ද හොඳම operating system එක?. ඇත්තටම මොකක්ද?. දැන් බොහෝ දෙනෙකුට හොඳම එක වෙලා ඇත්තේ Ubuntu. සමහරුන්ට Ubuntu වලට වඩා හොඳ එකක් තවත් මෙලොව නෑ. දැන් මෙහෙම එනකොට තමා ගැටළුව ඇතිවෙන්නේ. ඇයි කෙනෙක් කියනවා Ubuntu හොඳයි කියා. තව කෙනෙක්ට Fedora Linux. තව මොනවද තියෙන්නේ. ඇයි Linux Mint, Debian, Knoppix ඔය ලිනක්ස් ගැනනේ. එතකොට බිල් මහත්තයාගේ Windows. ඒකෙත් versions කීයක්ද? මේවායින් මොකක්ද හොඳ. සරලවම කියනවානම් මේ සියල්ලම හොඳයි. එහෙම නැතිනම් මේවා අප අතර පවතින්න විධියක් නෑනේ. එහෙනම් මොකද මේවායින් කිසියම් එකක් හොඳයි කියන්න හේතුව. සරලවම ගත්තොත් අපි මිනිස්සු වශයෙන් ගත් කල අප එකිනෙකාගේ අවශ්‍යතා විවිධයි විශමයිනේ. ඒ අනුව තමා අපට වඩා යෝග්‍ය  operating system එක වෙන් කර ගන්න වෙන්නෙත්. එහෙම බැලුවම දැනට වැඩියෙන්ම භාවිතා වන්නේ Microsoft Windows XP තමා. නමුත් එහි ජනප්‍රිය භාවය දිනෙන් දින අඩු වෙනවා. ඒ වෙනුවට එන්නේ Windows 7. මේ ගැන සම්පූර්ණ විස්තරයක් W3 Schools වල සඳහන් වෙනවා. පේනවනේ අපි බොහෝ දෙනෙක් මහා දෙයක් ලෙස සලකන ලිනක්ස් පවතින්නේ Mac OS එකටත් පසුපසින් බව. දැනට ප්‍රතිශතයක් ලෙස 4.7% පමණ වෙනවා. ඉතින් ඔය Ubuntu ඇත්තේත් ඔය 4.7 ඇතුලේ. ඇත්තටම මමත් ලිනක්ස් එක්ක හැප්පෙන්න ආසයි. මගෙත් එක හාඩ්ඩිස්ක් එකක්ම වෙන් කර ඇත්තේ Fedora ට. මම ලිනක්ස් පළමුව install කළේ 1998 වසරේ. නමුත් මම දැන් භාවිතා කරන්නේ Windows vista හා Windows XP. නමුත් මගේ අත්දැකීමෙන්ම මම කියන්නේ අළුත් පද්ධති වලින් Windows vista වලට වඩා Windows 7 ඉදිරියෙන් ඉන්නේ. ඉතින් මම කිසිම පැකිලීමකින් තොරවම කියන්නම් මේ දෙකෙන් එකක් තොරගන්නවනම් Windows 7 දාන්න. දැන් මගෙන් අහන්න එපා ලිසිට එකක් දීල මේවායෙන් මට වඩා ගැලපෙන OS එක කුමක්ද කියා. මොකද මමත් ඔය හැම එකක්ම දාල බලල නෑනේ. දන්න එකක් නම් කියන්න පුළුවන්. හරි ඒත් කමක් නෑ මෙතනට තවත් දන්න අය එනවනේ. කවුරු හරි කියයි. ඒ නිසා අහන්න. අපි හොයල බලමු.
මීළඟට මම කියන්න යන්නේ මේවායින් අපට ගැලපෙන එක් සොයන්න තවත් සපුරන්න ඕන අවශ්‍යතා. ඒවා තමා පද්ධතියේ මූලික සුදුසුකම් (System requirement). අවම සුදුසුකම (Minimum requirement) ඇති පද්ධතියකට OS එක දාන්න එපා කියලයි මම නම් කියන්නේ. නියමිත සීමාවේ (Recommended requirement) පවතින එකක වුවත් මගේ මතය අනුව ප්‍රමාණවත් වන්නේ අදාළ OS එකට පමණයි. මෙයට තවත් application software, antivirus software ආදිය එක්වන විට ටික දිනකින් වේගය අඩු වෙන්න ගන්නවා. එලෙස දිනෙන් දින අළුතින් එක්වන application software නිසා නොසිතන තරම් පද්ධතිය slow වෙනවා. මේ අවස්ථාවේ බොහෝ දෙනෙක් මේක දැන් හොඳටම slow වෙලා කියා පිළියම් සොයනවා. බොහො දෙනෙකුට ඇති හොඳම පිළියම format කිරීමයි. දන්නවානේ නිතර format කළාම වෙනදේ. මේ නිසා Recommended requirement වඩා වැඩි යෙන් ඔබේ පද්ධතියේ resources ඇතිනම් පමණක් ඔබ තොරාගත් OS එක ස්ථාපනය (install) කරන්න. නැතිනම් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. එය කළ නොහැකිනම් ඊට අඩු වෙළුමක් (version) එකක් ස්ථාපනය කරන්න. 
දැන් කියන්න යන්නේ device drivers ගැනයි. ඔබේ පද්ධතියට අවශ්‍ය device drivers අදාළ OS එක සඳහා ඔබ සපයා ගැනීම කළ යුතු වෙනවා. එසේ නොමැති විට පද්ධතිය නිසි අයුරින් ක්‍රියා කරන්නේ නෑ. එනම් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් (maximum performance) ක්‍රියා කරන්නේනෑ. නමුත් ඔබ ස්ථාපනය කරන OS එක නිකුත් කර ඇත්තේ යන්ත්‍රය නිෂ්පාදනය කළාට තරමක් පසුව නම් බොහොවිට device drivers OS එක තුළම පවතිනවා. (මෙසේ නොවන අවස්ථා ඇත). නැතිනම් ඔබට ඒවා අන්තර්ජාලය භාවිතයෙන් සොයාගන්න පුළුවන්. නමුත් OS එක ස්ථාපනයට පෙර මේ සියල්ල සූදානම් කරගැනීම වඩාත්ම නැණවත් ක්‍රමයයි.
මීළඟට සැලකිලිමත් විය යුත්තේ CMOS (BIOS) settings ගැනයි. මෙම settings නිසි අයුරින් වෙනස් කර ගැනීමට යන්ත්‍රයේ user manual හෝ main-board manual එකෙන් උපකාරයක් ගන්න පුළුවන්. නැතිනම් ඉතින් ගූගල් දෙයියන් ඉන්නෙත් ඒකට තමා. අපි කොහොම කිව්වත් ප්‍රවීනයන් පවා මේවා කිරීමේදී ගූගල් දෙවියන්ගේ පිහිට පතනවා.
තවත් වැදගත් දෙයක් තමා පවතින data වල ආරක්‍ෂාව. අළුත්ම යන්ත්‍රයක් නම් මේ ප්‍රශ්ණය මතුවන්නේ නෑ. නමුත් භාවිතාකරන යන්ත්‍රය අප්ඩේට් කිරීමකදී හෝ අළුතින්ම OS එකක් දැමීමේදී  අතපසුවීමකින් අපේ වැදගත් වටිනා දත්ත මැකී යන්න පුළුවන්. සමහරවිට ඒවා වෙනත් partition එකකට කොපි කර ස්ථාපනය කරන අයත් ඉන්නවා. නමුත් කිසියම් අතපසුවීමකින් මුළු හාඩ් ඩිසික් එකේම දත්ත මැකීයන එක සිදුවන අවස්ථා ඉතා බහුලයි. විශේෂයෙන්ම පළපුරුද්ද අඩු අය ලිනක්ස් වැනි පද්ධතියක් සුථාපන්ය කිරීමේදී මේ වැරැද්ද බහුලවම කරනවා. ඒ නිසා හොඳම දේ වන්නේ CD, DVD, Flash drive, External Hard-disk  වැනි device එකකට අවශ්‍ය වැදගත් දත්ත සියල්ල කොපි කර ගැනීමයි.
ඔන්න අදත් මාතෘකාවෙන් පනින්න යන්නේ. මාතෘකාවෙන් විතරක් නොවේ...
මම මගේ යාළුවෙකුගේ පොස්ට් එකක් දැන් දවස් 5ක් විතර කියනවා. තාම ඉවර කරන් බැරි උනා ඒතරම් දිගයි. එත් වැදගත්. ඒනිසා දවසකට ටිකක් කියවනවා. එත් සමහර විට නවත්වන තැන මතක නෑ. ආයෙ කියවනවා. මේක කරදර වැඩක්නේ. ඕකට හොඳම දේ තමා කොටස් කර ලිවීම.
කොහොමද වැඩේ. සද්ද නැතිව ෂේප් උනනානේ.
ලිපිය ඕනවට වඩා දිගනම් වෙන මොනව කරන්නද?
තවත් කොටසත් බදාද උදේ....කීයටද ඕන?
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!

Friday, November 19, 2010

ඩෙස්ක්ටොප් පරිගනක භාවිතයේදී...


අන්තිම ලිපියෙන් කීවේ නෝට්බුක් කොම්පියුටර් භාවිතයේදී සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක්නේ. ඒකට අපේ කාංචන, ඉන්දික එහෙමත් කරුණු එකතු කළා. ඒ කාටත් මගේ ස්තූතිය මෙයින්ම පුදනවා. දෙයක් කියන්න ගියාමනේ අපිත් නොදන්න අළුත් දේවල් එකතු වෙන්නේ. ඔන්න අනිත්මට මටත් තවත් දැනුම එකතු උනා. අද කියන්න යන්නේ ඩෙස්ක්ටොප් වලට අදාලට කරුණු ටිකක්.
ඩෙස්ක්ටොප් එකක් භාවිතයේදී එන ප්‍රධාන වශයෙන් සැලකිලමත් වෙන්න ඕන දෙයක් තමා විදුලි සැපයුම. නෝට්බුක් වලනම් බැටරිය නිසා එතරම් ප්‍රශ්න නෑනේ. එත් මේවාට නම් හොඳ විදුලි සැපයුමක් නැතිව භාවිතය එතරම් හොඳ දෙයක් නොවේ. ඒකට හොඳමදේ හොඳ UPS (Un-interpretable Power Supply) එකක් යොදා ගැනීමයි. එය බොහොදෙනා කරනවා නමුත් භාවිතා කරන සැපයුම් වයරය ආදියනම් නිසිලෙස සම්බන්ධවෙනවාද යන්න සොයා බලනවා අඩුයි. මෙය නිසි ආකාරයෙන් සවිවී නැතිනම් ලුහුවත් වීම් නිසා නිතර විදුලි සැපයුමේ ගැස්සීම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා නිසිලෙස ඒවා සවි කරන්න. මීට අමතරව බල සැපයුම (Power Supply) එකට ඇති ප්‍රධාන හානිය වන්නේ සතුන්ගෙන්. හූනන්, කැරපොත්තන් වැනි සතුන් මෙයට යෑමනිසා සිදුවන short වීමෙන්, එනිසා මියයන සතුන් පරිපථ මත රැඳී සිදුවන ලුහුවත්වීම්, එම සතුන්ගේ අපද්‍රව්‍ය නිසා වන හානි නිසා බල සැපයුමට හානි සිදුවේ.
පොදුවේ ගත් කල දියර වර්ග නිසා ඩෙස්ක්ටොප් පරිගනක වලටක් නෝට්බුක් වලට වගේම හානි වෙනවා. එත් උඩින් වැටෙන දියර නෝට්බුක් වලට සාපේක්‍ෂව මේවා තුලට ගමන්කරනවා අඩුයි. නමුත් කීබොඩ් එකට හා මොනිටරයට පහසුවෙන් දියර ඇතුල් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල වහලයෙන් වැසි ජලය කාන්දුවී කීබොඩ් එකට වැටීම නිසා එය ක්‍රියාවිරහිත වූ අවස්ථා තිබෙනවා. කීපයක කීබොඩ් කොන්ට්‍රෝලර් එක පවා අක්‍රියවී තිබුනා. එය බොහොවිට සිදුවන්නේ භාවිතා නොකරන අවස්තාවේ වැටෙන දියර නිසා. භාවිතා කරන විට ඒවා ඇතුලේ ඇතත් නොපෙනී ක්‍රියාත්මක කිරීමෙන් මෙවැනි තත්වයක් ඇතිවෙන්න පුළුවන්. භාවිතා නොකිරීමේදී වසා තැබීමෙන් මෙවැනි අවස්ථා මගහැරගන්න පුළුවන්. සතුන්ගෙන් Power Supply එකට වගේම පරිපථ වලටත් හානි වෙනවා ඉහත ආකාරයෙන්ම.
ඊලඟට කියන්නේ නොසැලකිල්ලෙන් වන හානි ගැනයි. ඇතැමෙක් පරිගනකය භාවිතයේදී ආවරණ නිසිලෙස ඉවත් නොකර භාවිතා කරනවා. එවිට නිසිලෙස සිසිලනය නොවී අනවශ්‍ය ලෙස රත්වීම නිසා සිදුවන හානි. ක්‍රියා කිරීමේදී උපාංග සවිකිරීම හා ගැලවීම (USB හැර)නිසා හානි සිදුවීම. නෝට්බුක් වලදී මෙන්ම අල්පෙනෙත්ති, ස්ටේප්ලර් කටු වැනි සන්නායක ද්‍රව්‍ය ඇතුල්වීමෙන් සිදුවන හානි ආදියත් නොසැලකිල්ලෙන් සිදුවන දේවල්. තවද නිතර කීබෝඩ්, මවුස්, මොනිටරය විසන්ධි කර නැවත සවිකිරීම නිසා එම සම්බන්ධතා දුර්වල වෙනවා. මෙම වර්ග වල පරිගනක නෝට්බුක් තරම් කම්පන වලට ඔරොත්තු දෙන්නේ නෑ. එසේ කම්පන වලට ලක්වීමෙන් හාඩ්ඩිස්ක් එකට හානි වෙන්න අවදානමක් පවතිනවා.
බාල වර්ගයේ හෝ අපවිත්‍ර CD/DVD, DISKETTE ආදිය භාවිතා කිරීමත් දොෂ ඇති කරන්නට හෙතුවක්. මේවායේ ඇති දූවිලි, පුස් ආදිය drive එකේ lens වල තැම්පත් වීමෙන් එවා නිසි ලෙස ක්‍රියා නොකරන තත්වයක් ඇතිවෙනවා. ඇතැම් තත්වයෙන් අඩු CD/DVD drive එක තුල පුපුරා යාමෙන් ඒයට හානි වෙනවා.
මීට අමතරව නිසි දැනුමක් නොමැතිව සිදු කරන්නට යන අළුත්වැඩියාවන්, වෙනස් කිරීම්, CMOS (BIOS) setup වල සිදුකරන වෙනස්කම් ආදිය නිසා ඇතිවන දෝෂ ආදියත් මෙයටම එක්කරන්න පුළුවන්. තවද නිසිලෙස සේවා අළුත්වැඩියාවන් සිදුකර නොගැනීමද නොසැලකිලිමත් බව ලෙස හඳුනවන්න වෙනවානේද?
එහෙනම් අදට ඇති වගේ. ලිපියක් නැතිව යාළුවන් බලන් ඉන්නත් ඇතිනේ. අද මම ලියා ඇත්තේ සාමාන්‍ය කරුණු 
ටිකක්.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!

Wednesday, November 10, 2010

නෝට්බුක් භාවිතයේදී මේ ගැන සිතුවාද 2


මදැයි ලිපියක් ලියන්න ගිහින් අහගත්ත දේවල්. දැන් දැන් කියවන්න එන අය ඉක්මනින් කියවන්න පොඩි දෙයක් හොයනඑක වැඩිවෙලා නිසයි කලින් පොස්ට් එක කොටසක් දැම්මේ. එත් ඒකට කැමති නැති අයත් ඉන්නවානේ. මාරයාගේ හෝරාව ගියන අපේ මාරයා තමා කලින්ම කිව්වේ මේක දිගට ලියන්න කියා. දීකිරට බළල්ලුත් සාක්කි කියනවා වගේ Anonymous මිතුරන් දෙදෙනකුත් පොඩිකුමාරිහාමිත් මේක මගින් නැවැත්තුවාට නඩුත් දානවා කිව්වේ. අම්මෝ උසාවි ගානේ යන්න උනොත් ආයේ බ්ලොග් ලියලා ඉවරයි. එහෙනම් ආයේ මොකටද කතාව දික් කරන්නේ. මෙන්න එතැන් සිට....
මේකත් තාක්‍ෂණයට බර නැතත් මම දැක ඇති සැලකියයුතු පිරිසක් කර ඇති දෙයක්. ඒ නෝට්බුක් එකට අමතරව තව පෑන්, පැන්සල්, යතුරු ආදිය එකම මල්ලේ දමාගෙන යාම. මේවායින් නොට්බුක් එක සීරීමට ලක්වෙනවා. බාහිර පෙනුම ඉක්මනින් දුර්වල වෙනවා. යතුරු ආදිය සිරවීම නිසා ප්ලාස්ටික් කොටස් වලට හානි වෙන්න ඉඩ තිබෙනවා. එපමණක් නොව මේවායේ ලෝහ කොටස් පරිගනකයේ ඇති සිදුරු අතරින් පරිපථ මත ගැටී හානි වෙන්න පුළුවන් බව බොහෝ දෙනෙක් හිතන්නේ නෑ. ඒ නොට්බුක් එකක් සෑම විටම බැටරිය නිසා standby තත්වයේ පවතින නිසා.
මේ සමානම තවත් දෙයක් තමා නෝට්බුක් එක මත පෑනක්, පැන් ක්ලිප් එකක් හො එවැනි කුඩා දෙයක් තබා ගෙන සිට පරිගනකය වසා දැමීම. මෙයින් සිදුවන්නේ LCD Screen එක බිඳීයාමයි. මෙසේ Screen එක හා යතුරුපුවරුව අතරට යම් දෙයක් සිරවීමෙන් Screen බිඳීයාම සිදුවේ. මෙහි හානි කීපයක්ම තිබෙනවා. මෙසේ බිඳුනු Screen එක අතරින් එහි ඇති රසායන ද්‍රව්‍ය පිටතට වෑස්සෙන්න ඉඩ තිබෙනවා. මේවා ශරීරගතවීම ඉතා විශ සහිත වේ. මේවායේ පිළකා කාරක පවා අඩංගු වන බව සඳහන්. තවද මේවා ගලා ගොස් පරිපථ විනාශ වෙන්නත් පුළුවන්.
මීළඟට කියන්නේ විදුලිය සැපයීම ගැන. මගෙන් කීපදෙනෙක්ම අසා තිබෙනවා නොට් බුක් එකට අවශ්‍ය වන්නේ කොපමණ ධාරිතාවක් ඇති UPS එකක්ද කියා. නොට්බුක් වලට UPS අවශ්‍ය නෑනේ. බැටරියක් ඇති නිසා. එහෙත් අප මෙය භාවිතා කරන ස්ථානයේ නිතර විදුලි අඩුවැඩිවීම සිදුවනවා නම්, එය බලසැපයුමේ (power pack) සීමා ඉකමවනවානම් power guard එකක් භාවිතය වැඩි කල් power pack එක ආරක්‍ෂාකාරීව තබා ගන්න හේතු වේවි. එමෙන්ම මල්ටි සොකට් ආදිය මගින් විදුලියට සම්බන්ධ කිරීමේදී ලුහු සම්බන්ධයක් (loose connection) ඇත්නම් එයත් එතරම් හොඳ දෙයක් නොවේ. මේ හා සම්බන්ධ තවත් වැදගත්ම දෙයක් වන්නේ බොහෝ දෙනෙක් power pack එක සජිවී (power on) තත්වයේ පවතින විට පරිගනකයට සම්බන්ධ කිරීම හා ගැලවීම. මේ නිසා සම්බන්ධ වන පරිගනකයේ අග්‍ර spark වීම නිසා හානියට පත්වෙනවා. වගකීමේ කාලසීමාවේ නම් මෙය නොසැලකිලිමත් බව නිසා ඇතිවූවක් ලෙස සලකා අළුත්වැඩියා කිරීමට යන මුදල ඔබෙන් අය කරගන්නත් හේතු වේ. කාලයක් මෙය සිදුවූ නොට්බුක් වල දිගටම spark වෙමින් පවතින අවස්තා ඇත. එවිට ඒවායේ මුද්‍රිත පරිපථ පුවරු විනාශවූ අවස්ථා මම දැක ඇත.
මෙයට අමතරව ඕනෑම උපකරණයක් භාවිතාකිරීමේදී විශේෂයෙන් විදුලියෙන් ක්‍රියාකරන උපකරණ භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්‍ෂක පිළිවෙත් ඔබේ නොට්බුක් එක කෙරෙහිත් අනුගමනය කළ යුතු වෙනවා. අකුණු ආදිය පවතින විට භාවිතා නොකිරීම. නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති උෂ්ණත්ව පරාසය, ආර්ද්‍රතාවය, මුහුදු මට්ටමේ සිට ඇති උස පරාසය ආදිය ගැනත් සැලකිලි මත් වන්න. විශේෂයෙන් වැඩි උෂ්ණත්වය නෝට්බුක් එකට වගේම එහි බැටරියේ පැවැත්මටත් හානිකර වෙනවා. අසම්පූර්ණ ලෙස වරින වර ආරොපණය (charging) බැටරියේ ආයු කාලය අඩු වීමට තවත් හේතුවක්. හැකි සෑම විටම ප්‍රධානි විදුලියෙන් ක්‍රියා කරවීමෙන් බැටරිය වැය වීම අඩු කරන්න පුළුවන්. මේවා සියල්ල හිතේ තබාගෙන වැඩ කරන එක පහසු නෑ. අමතක වන්න පුළුවන්. එත් වරකට එක් පියවර බැගින් පුහුණු කිරීමෙන් ලොකු මුදලක් වැය කර මිළදිගත් ඔබේ නෝට්බුක් පරිගනකය බොහෝ කාලයක් කරදරයකින් තොරව භාවිතා කරන්න පුළුවන්.
මෙයටම තවත් දෙයක් එකතු කරන්න තිබෙනවා. මේවා යන්ත්‍ර. යන්ත්‍රයක් ක්‍රියා කිරීමට නිසි කඩත්තුවක් අවශ්‍යයි. ඒනිසා මාස 6කට වරක් වත් නිසි නඩත්තුවක් (අපහසුමනම් වසරකට වරක්) කර ගැනීමෙන් කරදර අඩු පරිගනකයක් ඔබට ලැබෙයි.
මේ කියන්නේ මෙයට අදාළ දෙයක් නම් නොවේ. එත් සමහර අයට ඇති ප්‍රශ්ණයක් නෝට්බුක් හා ලැප්ටොප් යනු කුමක්ද කියන එක. HP (Hewlett Packard) Toshiba වැනි නිෂ්පාදකයන් තම නිෂ්පාදන සඳහා නෝට්බුක් (Notebook) යන්න භාවිතා කරනවා. Dell තම නිෂ්පාදනය ලැප්ටොප් (Laptop) ලෙස හඳනුවනවා. එකම සැකැස්ම විවිධ නිෂ්පාදකයන් හඳන්වන් ආකාර තමා මේ.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!!

ප/ලි
මාරයාට උඩින් කියපු එකට අමනාප නොවනු ඇතැයි සිතනවා. ඔබලාගේ ප්‍රතිචාර නිසා තමා මම මේ සටහන් දිගටම ලියන්නේ. පොඩිකුමාරිහාමිත් නඩු නොදමනු ඇතැයි හිතනවා...
ඔන්න පොරොන්දු උන දවසේ කොහොම හරි පොස්ට් එක් දැම්මා. තව එකතු කරන් දෙයක් තියනවානම් ඒවාත් යටින් ලියල යන්න කිසිම බාධාවක් නෑ.

Monday, November 8, 2010

නෝට්බුක් භාවිතයේදී මේ ගැන සිතුවාද?


පසුගිය මාස දෙකේ අළුතින් පරිගනකයක් ගන්න අයට ලියූ පෝස්ට් කියවන්න ඇතිනේ. අද කියන්න යන්නේ අළුතින් ගන්න එකක් ගැන නම් නෙවේ. Notebook නැතිනම් Laptop කොම්පියුටරයක් භාවිතා කරන අය අතින් සිදුවන ඇතැම් වැරදි ක්‍රියා නිසා ඒවාට වන හානි වලින් කීපයක්.
කලකට ඉහත මේ notebook කොම්පියුටර්ස් ඉතා අධික මිළකට අලෙවි වුවත් දැන් ඒවායේ මිළත් හුඟක් පහල මට්ටමකට ඇවිත්. ඒනිසාම බොහෝදෙනෙක් දැන් දැන් අළුතින් notebook කොම්පියුටර් එකක්ම ගන්න පෙළඹෙනවා. ප්‍රමාණයෙන් කුඩා නිසාත්, පහසුවෙන් එහාමෙහා ගෙන යන්න හැකි නිසාත් පමණක් නොවේ දැන් එය විලාසිතාවක්නේ. මාතෘකාවෙන් පිට පැන්නානේ. ඔන්න එහෙනම් කෙලින්ම දැන්වත් කතාවට යමු.
මෙම notebook කොම්පියුටර් සාමාන්‍යයෙන් ‍desktop වලට වඩා සංවේදී බවෙන් වැඩියි. ඒ මේවායේ ඇති පරිපථ ආදිය සාමාන්‍යයෙන් ඉතා සියුම් ලෙස නිමවා ඇති නිසා. ඒනිසා පළමුව මේ කෙරෙහි දැක්විය යුතු සැලකිල්ල වන්නේ මේතුලට යම් යම් අපද්‍රව්‍ය වැටීම නිසා සිදුවන හානි වලින් ආරක්‍ෂා කර ගැනීමයි. කුඩා ස්ටේපල් කටු, ඇල්පෙනෙත්ති වැනි ලොහමය දේවල් පහසුවෙන් මේ තුලට ඇතුල්වන්න පුළුවන්. එමගින් මෙහි පරිපථ වලට හානි වෙන්න පුළුවන් බව අලුතින් කියන්න ඕන නෑනේ. ඒවගේම බොහොමයක් දියර වල‍ට ප්‍රතිරෝධි නෑ. ඒනිසා අත්වැරැද්දකින් තේ කොප්පයක්, වතුර වීදුරුවක් හැලීම නිසා හානි වෙන්න පුළුවන්. ඇයි ඒ විතරද මේවා portable නිසා රැගෙන යාමේදී වැස්සකට හසුවීමෙන් ඇතුලට වැසි ජලය ඇතුල් වන්න පුළුවන්නේ. මොන දියරය ඇතුල් වුවත් අවසාන ප්‍රතිපලය වන්නේ කොම්පියුටරයට හානි වීමයි.මේ ආකාරයෙන් කිසියම් ආගන්තුක දෙයක් අපේ පරිගනකයට ඇතුල්වීම නිසා එයට හානි වන බව තමා අවසානයේ කියන්න ඇත්තේ.
මීට අමතරව අපගේ නොසැලකිල්ල නිසා සිදුවන හානි රැසක් මා දැක තිබෙනවා. ඒවායින් සුලභව දැක ඇති ඒවා ගැන සඳහන් කරන්නම ඕන කියා මේ පොස්ට් එක ලියන්නත් කලින් හිතුවේ. අප කවුරුත් දන්න ආකාරයට මේවායේ සිසිලන පද්ධතිය එනම් cooling fan හා ventilation holes පිමිටා ඇත්තේ යට පැත්තේ. බොහෝදෙනෙක් තම notebook කොම්පියුටර් එක භාවිතා කරන්නේ නිදන ඇඳ මත තබාගෙන බව මා දැක තිබෙනවා.එවිට සිදුවන්නේ ඇඳමත notebook කොම්පියුටර් එක තදවී ඇති නිසා වා කවුළු (ventilation holes) අවහිර වීම නිසා පරිගනකය අධික ලෙස රත්වීමයි. එය notebook ආයු කාලය අඩුවන්න හේතුවක්. එමෙන්ම මේසයේ වුවද මේස ඇතිරිලල්ක් හෝ පත්තර නැතිනම් පොත් මත notebook එක තබා ක්‍රියා කරනවානම් ඉහත ආකාරයටම වෙන්න පුළුවන්. මේ නිසා notebook එක භාවිතා කරන සෑම විටම එය කෙලින්ම ඝන මතුපිටක (මේසයක/වීදුරු මතුපිටක වැනි)තබා භාවිතා කරන්න. ඒ වගේම පරිගනකය පතුලේ ඇති රබර් පාද ගැලවීයාම නිසා පරිගනකය හා තබන මතුපිට අතර ඇති නිසි පරතරය නැතිවීයාමද සිසිලනය අවහිර වීමට හේතු වන්න පුළුවන්. තවද මකුළු දැල්, දූවිලි, කෙඳි වර්ග නිසා වා කවුළු අවහිර වීමෙන්ද සිසිලන පද්ධතිය (cooling system) නිසි දෙස ක්‍රියා නොකරනවා. එයත් ඔබේ අවධානයට යොමු කළයුතු කරුණක්.
අදට මෙතනින් නවත් වන්න හිතුවා. ඉතිරි කොටස බදාදාට වන ලෙස කොටස් දෙකකට දාන්නයි යන්නේ.
එහෙනම් ලිහින් එන්නම්.
සුභ දවසක්.!!!!!
ප/ලි
සිංහල බ්ලොග් අවකාශයේ පාඨකයන් දැන් දැන් බ්ලොග් කියවන්න විවේකය අඩු බවක් මම දැක්කා. විශේෂයෙන් දිග ලිපි කියවන්නේම නැති තරම්. ඒනිසා මමත් මින්පසු දිගු ලිපි නොලියන්න සිතුවා. මෙයත් දික්වන නිසා කොටස් කරන්නේ. ඒත් එක දිගට කියවන්න හැකි අය අමනාප නොවෙත්වා.

Monday, November 1, 2010

අඩේ දාල පලයන්.....‍

දිගටම තාක්‍ෂණික කතා ලියපු නිසා මතකයක් ලියන්නත් බැරි උනානේ සෑහෙන කාලෙකින්.‍ දිගටම මේවම අහල ඇති වගේ අයටත් මොනව හරි ලියන්න හිතාගෙන හිටියත් ලියන්න කිසියක් මතක් වුනේම නෑ. එහෙම ඉන්න කොට තමා මට මේ සිදුවීම දකින්න ලැබුනේ. මේකනම් පරණ මතකයක් නෙවේ. පසුගිය සෙනසුරාදා මට බස් එකේදී (ගූගල් බස් එකේ නම් කොවේ. මේ පාරේ යන බස් එකක)දකින්න ලැබුන දෙයක්.
නිතර බස් එකේ නොයන නිසාමද කොහේද මට ලියන්න හොඳ කතා ලැබෙනවා අඩුයි. පසුලිය දිනක නුවර බලා යාමට උදේම බස් එකකට ගොඩවැදුනා.මේ බස් එකත් උදේ කාර්යාල වෙලාව නිසා මගීන්ගෙන් පිරී තිබුනා. ආසනයක් නොමැති නිසා මම පාපුවරුව අසල සිටගෙනයි සිටියෙත්. පා පුවරුවේ වයස අමුරුදු 15 ක නැතිනම් 16ක පමණ පාසල් යන් වයසේ පිරිමි ළමයින් කීප දෙනෙක් සිටියා. මම මුලින්ම නිරීක්‍ෂණය කළ ආකාරයෙන්ම මොවුන් එම වයසේ වුවත් පාසල් යන බවක් පේන්න නෑ. ඔවුන්ගේ ඇඳුම් හිසකෙස් විලාසිතා ආදිය පාසල් යන වයසේ තබා තරුණයෙකුට වුවත් එතරම් ගැලපෙන බවක් පෙනෙන්නෑ. රැවුලට විලාසිතාවක් යොදා නොතිබුනේ රැවුල වැවෙන්න පටන්ගෙන නැතිනිසායි. නමුත් මොවුන් බසයට ගොඩවන කාන්තාවන් හෝ තරුණියන්ට කිසිදු ආකාරයක විහිළු තහලු කිරීමක් කළේත් නෑ. ජංගම දුරකථන දෙකතුනක් මොවුන්ගේ සාක්කුවල තිබූ අතර ඒවා එලියට ගනිමින් ගත්ත තැන, ගත් මිළ ආදිය කතා කරමින් ගමන් ගත්තා. තනි අතින් පාපුවරුවේ බටය අල්ලාගෙන අනෙක් අතින් ජංගම දුරකථනය ප්‍රදර්ශනය කරමින් අවදානම් ආකාරයෙන් මොවුන් ගමන් ගත්තේ. ඒවා එතරම් මිළක් නොවූ චීන වර්ගවල දුරකථන නිසාත් ඔවුන්ගේ අඳුම් ආදිය අනුව ඔවුන් එතරම් ධනවත් නොවන සාමාන්‍ය පවුල් වල ළමයින් බවක් පෙනුනේ. එහෙත් ඔවුන්ගේ කථා විලාශය හා භාවිතා කරන වචන වල නම් කිසිම ආකාරයක ප්‍රසන්න බවක් තිබුනේ නෑ. එය බසයේ අනෙක් මගීන්ගේත් අප්‍රසාදයට ලක්වන ආකාරයේ කතා විලාශයක්.
මෙය ලංගම බස් රථයක් වූ අතර බසයේ රියදුරු වූයේ වයස අවුරුදු 45ක පමණ මැදිවියේ පසුවන තරමක තැම්පත් ගති ඇතැයි පෙනෙන අයෙක්. මෙහිදී මම කියන්න යන සිදුවීම වූයේ බැංකුවක් අසලින් ලමන් කිරීමේදී. එක් වරම කලබලවූ බවක් පෙන්වූ එක් ළමයෙක් ඇඟිලි කටේ ඔබාගෙන තදින් විසිල් ගසන්නට පටන් ගත්තා. එහෙත් මේය කිසිවෙකුට අවබෝධ වූයේ නෑ. බසයේ සිටි සියල්ලන් සිතුවේ පාරේ යන් කිසිවෙකතුට මොවුන් විසිල් ගසන බවයි. බසය දිගටම ගමන් ගත්තා. එවිට තවත් තදින් විසිල් ගසමින් අඩෝ...යනුවෙන් මොහු කෑගසන්න ගත්තා. ඉන්පසු ඒයි අඩේ ඔය බැංකුව ලඟින් දාල පලයන් බන් යනුවෙන් ඔහු කෑ ගැසුවා. එවිටයි මට තෙරුනේ මොහු කෑගසන්නේ රියදුරාට බව. බසයේ රියදුරා යනු ඔවුන්ගේ වයස අනුව වැඩිහිටියෙකි. එමෙන්ම බසය පොදු ස්ථානයකි. මොහු පාසල් යන වයසේ ළමයෙකි. මෙ‍ම තත්වය නොගැලපෙන අශෝභන තත්වයක් වන්නේ ඒ නිසාය. අශෝභන හැසිරීම නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදකි. එහෙත් මොවුන් එසේ හැසිරේ
තමාගේ පියාගේ වයසේ පසුවන කෙනෙකුට මෙසේ අමතන පාසල් දරුවන් අප පාසල් යන කාලයේ සිටි බවක් මට මතක නෑ. මේ සමස්ථ දරු පරපුරේ තත්වය නොවුවද මෙවැන්නන් පෙරට වඩා දැන් බහුල බවක් පෙනෙනවා.අප හොඳින් බලා සිටියොත් මෙවන් අවස්ථා දැන් සුලභ බවක් පෙනේ. එහෙත් මෙවා බොහො දෙමාපියන්ට සොයා බලන්න වෙලාවක් නැත. ඔවුන් තරඟයකයත දරුවන් යන්නේ කොහේදැයි ඔවුන් නොදනී. මෙය අප කවුරුත් මේ ගැන අවධානය යොමු කරන්න කාලයයි. මේ රටේ අනාගතයයි.‍
එහෙනම් ගිහින් එන්නම්. ඔබේ අදහසත් ලියලම යන්න. මේ වගේ වෙනස් සිද්ධින් ඔබත් දැක ඇති. ඒවාත් හැකිනම් කෙටියෙන් ලියා යන්න.‍
සුභ දවසක්!!!!!!!!!!