Sunday, July 25, 2010

තහනම් කර ඇත‍.

මේක ලියනවද? නැතිද?
මට දවස් ගණනක්ම තිබුන ප්‍රශ්ණයක්. කමක් නෑ ලියනවා කියල හිතුවේ අද උදේ. හිතුන ගමන් ලියන්න ගත්තා. ඊට කලින් පොඩි කතාවක් කියල ඉන්නම්. මොකද නැත්නම් අද පොස්ට් එක පේලියකින් ඉවර කරන්න පුළුවන් එකක්. මේක අවුරුදු 15 කට විතර කලින් (සමහර විට ඊටත් වැඩි ඇති) පත්තරේක තිබුන කතාවක්.
දවසක් බස් එකකට ටිකට් පරීක්‍ෂකයින් ටිකක් අතර මගින් නැග ගත්තා. මේක ලංගම බස් එකක්. ඔවුන් ටිකට් පරීක්‍ෂාකළත් ඔවුනගේ කරුමෙට එක ටිකට් නැති එකෙක් හිටියේ නෑ. අම්බානක තද වුන ටික්කන් බස් එක වටේම බැලුවා. මොකද ඔය ටික්කන්ට තියන ලොකුම සතුට ටිකට් නැතිව යන එකෙක් හරි අල්ල ගන්න එකලු.
බැලුවාම බස් එක මැදින් දුමක් යනවා පේනවා. ටිකට් නැති අය නැතුවට කමක් නෑ. අර තියෙන්නේ දඩයක් කොල්ලෙක් සිගරට් එකක් බොනවා.
ටික්කා ගේමට බැස්සා. කොල්ලා ලඟට ගිහින් මෙහෙම අහනවා.
පුතා අකුරු කියවන්න පුළුවන්ද?. කොල්ලා ටිකක් අප්පසට් ගියා වැඩේ එක පාරට මීටර් උනත් නෑ. ඇයි මහත්තයා කියල ඇහුවා.
ටික්කා බස් එකේ සුදු පසුබිමේ රතු අකුරින් තියන දැන්වීමක් පෙන්නුවා. අරක කියනවනකෝ.
කොල්ලට එකපාරම වැඩේ මීටර් වුනා. ඒත් පෙන්නන්න ගියේ නෑ. නිකන් අමාරුවෙන් වගේ මමම..ගිගි..ගී...නන..න් හතරයි....බින්දුවයි... මගීන් හතලිහයි කිවා. ඒගමන් ටික්කට හොරෙන් සිගරට් එක ජනේලයේ එලියේ.
තදවුන ටික්කා. ඕක නේවේ ඕයි අර අනික් එක. ආ ඒකද? ඒ තියෙන්නේ දුම්බීම තහනම් කියලනේ. ඉතින් මොකක්ද ප්‍රශ්නේ? දැන් කවුද මෙතන දුම් බොන්නේ?. ටික්කාට කරගන්න දෙයක් නැතිව ගියා. මගීන්ගේ සිනහව මැද ඉක්මනින්ම බසය නවතා ගෙන ඔවුන් බැසගියා.

ඔය මම කිව්වේ ඉස්සර බස් වල සුදු පසුබිමක රතු තීන්තෙන් ලියා තිබූ දැන්වීමක් ගැන. දැන් බස් වල නම් ඕක ස්ටිකරයකින් තමා අලවන්නේ. ඒ මදිවට අලවලා තියෙන ස්ටිකර් ගොඩත් එක්ක ඕක හොයාගන්නත් අමාරුයි. ඒත් මට තාමත් අද වගේ මතක් වෙනනේ සුදු පසුබිමක රතු තීන්තෙන් ලියා තිබූ දැන්වීම. ඒ වගේම එකක් අධිබල විදුලි කණුවලත් එල්ලලා තියෙනවා "අන්ත්‍රාවයි" කියල.

මට ඔය පරණ සිද්ධින් හා දැන්වීම් මතක් වුනේ උසස් අධ්‍යාපන ආයතනයක අලවා තිබූ පහත දැන්වීම නිසා. පොඩ්ඩක් කියවලාම බලන්නකෝ.

මම මේ ගැන මොකවත්ම කියන්නෙ නෑ. අහන්නේ මෙහෙම වුනේ ඇයි කියල. දන්නවනම් උත්තරයක් දෙන්න

7 comments:

  1. විශ්ව විද්‍යාල වලට අදාලව නම් ඕක නිකන් බෝඩ් ලෑල්ලක් විතරයි. කිසිම වටින කමක් නෑ. මම කියන කතාවේ ඇත්ත නැත්ත ටික කාලයකට පස්සේ බලන්න පුළුවන්.

    ReplyDelete
  2. දැන් ඉස්සරහට එන සති දෙක තුනේ බලාගන්න පුලුවන් නවක වදයේ තරම!!

    ReplyDelete
  3. මම නම් ඔය කැම්පස් රැග් එක ගැන දන්නෙ නෑ ප්‍රියන්ත අයියා... ඒත් ඔය වගෙ අවවාදයයි කියලා දැන්වීමක් ගහලා ඕක නවත්තන්ට පුලුවන් වෙයි කියලා මං නම් හිතන්නෙ නෑ...
    ඔය රැග් සීන් වලට වැරදිකාරයෝ වෙන්නෙම නගරබද ළමයින්ට වඩා ගම්වලින් එන ළමයි නේද? එතන මොකක් හරි තරහක් පිරිමහගන්න කතන්දරයක් තියෙනව වගෙයි මටනම් හිතෙන්නේ...

    ReplyDelete
  4. බෝඩ් ගහල බැහ ඕවා නවත්තන්න. නවක වදය කියන එක බලහත්කාරකමක්. ඒ බලහත්කාරකමට ඒ විදියටම නීතියෙන් දඩුවම් දුන්නනම් එකෙක්ට දෙන්නෙක්ට... කෑ ගහන උන්ට කෑ ගහ ගන්න කියල නවතියි.

    ඔය පුද්ගලික ඒවයේ නවක වදය නැති/ අඩුම ඇයි ?? සල්ලි දීල ඉගෙන ගන්න නිසා. නිකන් දෙන එකයි.. අයිතිවාසිකමුයි....

    ReplyDelete
  5. ඕක සංකීර්ණ මානසික ප්‍රස්නයක් කොල්ලො..නවක වදය කියන එක සමාජයෙ හැම ස්තරයකම අඩු වැඩි වසයෙන් තියෙන දෙයක්.. අනේ මන්ද.. අපේ උන්දැලගෙ අං කවද හැලෙයිද කියල

    ReplyDelete
  6. @Shadow/හේමලයා
    ඒකතමා
    @කාංචන දිනූක
    අලුතෙන් බලන්න දෙයක් නෑ
    @ blog gadol
    මේපැර නම් තාම සද්දයක් නෑ
    @පුතා
    ආයේ කැම්පස් විතරයැ. ඕක දැන් හැම තැනම තියනවා.
    @පිස්සා පලාමල්ල
    සහතික ඇත්ත. සල්ලි දෙන නිසාද කොහේද ඉක්මනට එලියට යන්න තමා බලන්නේ.
    @ වැම්පයර්
    එහෙමැයි දෙවයන් වහන්ස. දැන් ඕක අඩු වැඩි වශයෙන් පාසල් වල විතරක් නොවේ. ඔෆිස් වලත් තියනවානේ.
    ආපු සැමට ස්තුතියි.

    ReplyDelete