සයිබරයේ ඇති සිංහල බ්ලොග් අතරින් බ්ලොග් ගණනාවක පාසල් කාලේ අත්දැකීම් ලියවෙන නිසා මම පාසල් කාලේ ගැන ලියන්න අදහසක් තිබුනේ නෑ. මම මේ බ්ලොග් එක පටන් ගත්තේ තාක්‍ෂණික දේවල් සරලව මගේ එදිනෙදා අත්දැකීම් ලෙසින් බෙදාගන්න බව මුල සිට මේපැත්තට ආ අය දන්නවනේ. ඒත් දැන් බ්ලොග් අවකාශේ සිංහල බ්ලොක් කියවන අය අතර මේ රටේ නැති සිංහල කතා කරන ලියන කියන බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන්ට තාක්‍ෂනික දේ කියවන්න ඕනෑතරම් මූලාශ්‍ර තියනවා. ඒවගේම සිංහලෙන් පමණක් කියවන අයට හැර අනික් අයට ඉංග්‍රීස්යෙන් ලියවුනු සටහන් ජාලයේ දැන් ඕන තරම්. ඇරත් දැන් කීදෙනෙක් සිංහල තාක්‍ෂණික බ්ලොග් ලියනවද? නමුත් මම තාක්‍ෂණික දේ ලියන එක නවත්වන්න හිතුවේ නෑ. ටික කලෙකින් ලියා නැතත් ළඟදීම ආයෙම ඒ ලිපි ලියන්න පටන් ගන්නවා.
ඉතින් කාටත් කියවන්න දෙයක් දෙන්න ඕන නිසාත් පාසල් අත්දැකීම් එකිනෙකාගෙන් වෙනස් වන නිසාත් ඉඳහිට ඒවාත් එකක් දෙකක් ලියන්න හිතුවා.
ඔන්න පළවෙනියටම කියන්න යන්නේ අපි හත වසරේ ඉන්න කාලේ සිද්ධියක්. අපි සතියකට දවසක් ශාරීරික අභ්‍යාස සඳහා පිට්ටනියට යනවනේ. ඇත්තටම ඔය පීරියඩ් එකේ හරියට කරන අභ්‍යාසයක් නම් නෑ. කරන්නේ පොද්ගලික පිරිසිදු කම බලන එක. නියපොතු කපලද? කොණ්ඩේ කපල පීරල තියනවද? යට ඇඳුම ඇඳලද කියල කලිසම ටිකක් පහත් කරලත් බලනවා. අපෝයි නේද? අනික් සර් නම් අඩි රූලක් අරන් තමා යට ඇඳුම බලන්නේ. කොහොම හරි ඔය PT සර්ල ආවේ නැති දවසට නම් අපිට ෆුල් ආතල්. ඇයි පිට්ටනියට ගිහින් ඒ කාලයම සෙල්ලම් කරන්න පුළුවන්නේ. පිට්ටනිය අයිනේ කලින් හංගලා තිබුන බෝල බැට් එලියට එන්නේ අපි යන්නත් කලින්ම වෙන්න ඇති. යනකොටත් විකට් වෙනුවට ගල් කැට දෙකක් එහෙම පිට්ටනිය මැදට ඇවිත්.
මේ කියන දවසේ සර් ඇවිත් හිටියේ නෑ. කරුමේ කියන්නේ මට හිසේ කැක්කුමක් ඇවිත් අව්වේ සෙල්ලම් කරන්න බැරිවයි හිටියේ. එහෙම දවසට අපි කරන්නේ පිට්ටනිය අයිනේ තියන ලොකු ගහ යටට ගිහින් කතාවක් දාගෙන ඉන්න එකයි. එදා අව්ව වැඩි දවසක් නිසා එතන ගොඩක් හිටියා. ඔය ගහ පැත්තෙන් ඇල්ල වැස්සට සේදී එන නිසා ඒ පැත්තෙන් පිට්ටනියට පල්ලමක් තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්න තැන පිට්ටනියේ මැද හරියට වඩා උඩින් තියෙන්නේ. ඔතන තියනවා පිට්ටනිය තලන්න ගන්න යකඩ රෝලක්. ඔයාල දැකල ඇති නේද? ඔය පහල රූපයේ තියෙන්නේ. ඒ වගේ එකක් තමා.
අපේ ඔතන හිටිය එකෙක් ඕක තල්ලු කරන්න ගත්තා පිට්ටනිය පැත්තට. ඕක අපිට අල්ලන්න එපා කියලයි තිබුනේ ඒ දවස්වල. පල්ලම නිසා මේක ලේසියෙන්ම යනවා. අපිත් මූව ෆෝම් කරන්න හුරේ දානවා. දැන් පොරට ෆුල් ආතල්. පොර ඕක පිට්ටනිය මැදක් වෙන්ට තල්ලු කරන් ගියා. දැන් අපි කෑගහනවා උඹ තමා ඕකට මාට්ටු වෙන්නේ ආපහු ඇදන් වරෙන් කියල. දැන් පොර මේක ආපහු අදිනවා. දැන් තමා ඌට තෙරෙන්නේ වැඩේ තියන අමාරුකම. හත වසර කියන්නේ අවුරුදු 13ක විතර පොඩි ළමයිනේ. එහෙම කෙනෙකුට ඔය වගේ රොලක් කන්ද අදින්න ලේසි නෑ. ඒත් අර පොරට ගුටිකන්න බයටම දාඩිය පෙරාගෙන අදිනවා. අන්තිමට බාගයක් ඇද්දම තවත් අදින්න බැරිම තැනට ආවා. අපි ඉතින් කෑගහනවා කොහොම හරි තල්ලුකලා නම් ආපහු ගේන්න. නැතිනම් ගුටි කන්න තමා වෙන්නේ කියල. දැන් නම් පොර හොඳටම බය වෙලා. අන්තිමට පීරියඩ් එක ඉවර වෙන්ත් ඇවිත්. අපි සෙට් එකේ 6ක් විතර ගියා අරක ඇදන් එන්න. ඒ වෙලාවේ තමා අපිටත් තේරුනේ මේක අදින්න තියන අමාරුව. අර පොර මේටික කොහොම ඇද්දද කියල. බයටම වෙන්න ඇති.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!
පින්තූරය ගත්තේ http://img4.allvoices.com/thumbs/event/609/480/75021613-indias-ashish.jpg