Monday, May 30, 2011

Computer Hardware පාඩම 04....කොටස් (Parts)

අද දවසේ පොස්ට් එකක් දෙන්න උන පොරොන්දුව නිසාමයි මේ ලියන්න ගත්තේ. නැතිනම් පෝස්ට් එකක් දාන්න තරම් නිදහසක් නම් තිබුනේ නෑ මේ සති අන්තයේ.
එහෙම නම් කලින් පාඩම් කියවලානේ එන්න ඇත්තේ. එහෙනම් අද බලමු මොනවාද පරිගනක පද්ධතියක කොටස් කියා. මේවා කොටස් වශයෙන් ගන්නවානම් ප්‍රධාන ලෙස කොටස් 3ක් පෙන්වා දෙන්න පුළුවන්.

  1. දත්ත ඇතුළු කරන උපාංග (Input Devices)
  2. ප්‍රතිදානයන් ලබාගන්නා උපාංග (Out put devices)
  3. මධ්‍යම සැකසුම් ඒකකය (Central Processing Unit)
මෙය සරලව වර්ග කිරීමක් පමණයි. මීට වඩා විස්තරාත්මකව මේවා වර්ග කරන්න පුළුවන්. එහෙත් අප මෙහිදී සරල හඳුනාගැනීමකින් පසුව එක් එක් කොටසේ ක්‍රියාකාරිත්වය විස්තර කරන්න බලාපොරොත්තු වන නිසා මේවා ඔබටම වෙන් වෙන්ව හඳුනා ගන්න පුළුවන් වෙනු ඇත.

දත්ත ඇතුළු කරන උපාංග (Input Devices)
මේ යටතට ගැනෙන්නේ පරිගනකයට දත්ත ඇතුලු කිරීමට ගන්නා විවිධ උපාංගයන් වේ. ඇත්ත වශයෙන්ම අප පරිගනකයක් හසුරවන්නේ මේවා හරහාය.
මේවානම් 
  • යතුරු පුවරුව (Keyboard)
  • මවුස් (මූසිකය යනුවෙන්ද හැඳින්වේ) (Mouse)
  • මයික්‍රොෆෝනය (Microphone)
  • ස්කෑනරය (Scanner)
  • ලයිට් පෙන්  (Light Pen)
  • ජෝයි ස්ටික් Joystick) ඇතුළු විවිධ Game controllers
මීට අමතරව ඩිජිටල් කැමරා, ෆින්ගර් ප්‍රින්ට් ස්කෑනර්, බාර් කෝඩ් රීඩර්, වෙබ් කැම්, සහ විවිධ උපකරණ රාශියක් Input Devices ගනයට ඇතුලත්වේ.

ප්‍රතිදානයන් ලබාගන්නා උපාංග (Out put devices)
සරලවම කියනවනම් මේවා යොදාගන්නේ සකස් කරන ලද තොරතුරු අපට නැවත ලබා ගැනීමටයි. තවමත් අපි පරණ මිනුම් ඒකකයක් වන අඟල් වලින් ප්‍රමාණය කියන මොනිටරය අයත් වන්නේද මෙම උපාංග වලටයි.
  • මොනිටරය (Monitor)
  • ප්‍රින්ටරය (Printer)
  • ස්පීකර් (Speaker) හෙඩ්ෆෝන්ද මෙයටම ඇතුලත් කළ හැක.
මීට අමතරව විවිධ ආකාරයේ Out put devices දක්නට ලැබේ. විවිධ යාන්ත්‍රික මෙවලම් පවා ඇත. 

මධ්‍යම සැකසුම් ඒකකය (Central Processing Unit)
සාමාන්‍ය ව්‍යවහාරයේ CPU නමින් හඳුන්වන්නේ මෙම කොටසයි. ඇත්ත වශයෙන්ම මෙහි CPU එකට අමතරව තවත් බොහෝ උපාංග සවිකර ඇත. ඒහෙත් පොදුවේ මේ සියලල් එකතුවට CPU යනුවෙන් ව්‍යවහාර වේ.
මෙහි ඇති කොටස් Computer Hardware පිළිබඳ ඉගෙන ගැනීමේදී ප්‍රමුඛස්ථානය ගන්නා නිසා ඒවා පිළිබඳව වැඩි අවධානයක් යොදන්න අපි උත්සාහ කරමු.
මෙහි ඇතුලත් කොටස් අතර
  • මවු පුවරුව (Main Board)
  • ප්‍රොසෙසරය (Processor)
  • මෙමරි (Mamory/RAM)
  • හාඩ් ඩිස්ක් (Hard Disk)
  • CD/DVD ධාවකය (CD/DVD Device)
  • Expansion cards (Sound, Video Cards Etc)
වැනි කොටස් වඩා වැඩි වැදගත් කමක් උසුලයි. 
අපි මීළඟ කොටසින් මෙවා එකිනෙක අරගෙන ඒවායේ ක්‍රියාකාරිත්වය කතා කරමු. 
බොහෝ දෙනෙකුට මෙම පෝස්ට් එකෙන් කිසිම වැඩක් නැතිව ඇති. ඒත් ආධුනිකයෙකුට අනාගතයේ මෙම පොස්ට් කියවන්න සිදුවීනම් මෙහි වැදගත් කමක් පවතී.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

Saturday, May 28, 2011

දින 365හේ ගමන....

යාන්තමින් අවුරුද්දක් ඉවර කළා. ඔව් ඉතින් කේක් වෙනුවට කැවුම් කිරිබත් දීලා ආයේ මොන කතාද කියලත් හිතෙනවා ඇති. දැන් ඉතින් ආයෙම පුරුදු පොස්ට් ලියන්නේ නැතිද? තාම උපන්දිනේ ගැන පුරසාරම්ද කියා ඔයාලට හිතෙනවා ඇති. එහෙමමත් නෑ. මේදවස්වල ලියන හාඩ්වෙයාර් පෝස්ට් වල මීළඟ පෝස්ට් එක තාම සූදානම් නෑ. ඒවා හිතුනා ලිව්වා කියන තත්වයෙන් ලියන්න බෑ. කලින් සැලසුම් කළ පිළිවෙළකට ලියන්නේ. පෙර  සූදානමක් ඕන. අදාල පොස්ට් එකේ දල සටහනක් හිතේ ඇඳගන්න ඕන. ඒනිසයි මේ ප්‍රමාදය. ඉලංදාරියාගේ වියෝව සමග සටහන් ලිවීමත් නතර කළා. ඒ නිසාම සැලසුම් කීපයක් වෙනස් කරන්නත් උනා. 
ඒ වගේම අපේ අනාගතය තීරණය වන්නේ අතීතයේ අප කළ කී දෑ අනුවනේ. ඒ නිසයි මම ආපසු හැරී බලන්න හිතුවේ මගේ වසරක බ්ලොග් කරණය ගැන. තනියම නොව ඔයාලත් එක්කමයි.

මම මුලින්ම ලියන්න තීරණය කළේ තාක්‍ෂණික දේ පමණයි. අමතරව විනෝදාස්වාදයට අදාල සටහන්. සිංහල බ්ලොග් කියවනයේ ලියාපදිංචි වූයෙත් ඒ ආකාරයට. මූලිකත්වය තාක්‍ෂණ සටහන් වලට දීලයි. ලාංකීයේ නම් එහෙම කලේ නෑ. නමුත් පසුව වෙනත් දේ පවා මෙහි ලියන්න පටන් ගත්තා. පසුව කවිත් ලීවානේ. දැන් නම් ඒ සඳහා වෙනම බ්ලොග් එකක් ලියනවා. ඒකේ නම් මාස දෙක තුනකට කවි පෙලක් ලියවෙන්නේ. 

කෙසේ වෙතත් මම ප්‍රධාන පෝස්ට් මාලා තුනක් දැනට ලියා තිබෙනවා. අනුපිළිවලටම ගත්තොත් මුලින්ම ලීවේ අපේ වැඩ අපිම කරගමු ලිපි පෙළයි. මෙය තවම අවසන් නෑ. ඉදිරියේ තවත් මෙවන් දෙයක් කළොත් මේ ලිපි පෙළටම ඒවාත් එකතු වේවි. මෙයට හොඳ ප්‍රතිචාරත් තිබුනා. ඒනිසාම ඇතිවූ දිරියෙන් මම කුඩා කල සිට එකතු කළ දැනුම උපයෝගි කරගෙන ශ්‍රී ලංකාවේ සර්පයින් ගැන සටහන් පෙළක් ලියා තිබෙනවා. අන්තර්ජාලයේ තවමත් සිංහලෙන් සර්පයින් ගැන ලියවී ඇති විස්තරාත්මක සටහන් පෙළ මෙයයි. තවමත් Google Search එකේ දෙවනුව ඇත්තේ මෙම ලිපි පෙළයි. එහෙත් මම තවමත් මේ ලිපි පෙළට වැඩි කැමැත්තක් නෑ. එයට හේතුව මම මේවා ලියා ඇත්තේ විවිධ පොත් පත්, අන්තර්ජාලයේ ඇති තොරතුරු (විශේෂයෙන් විකිපීඩියාවෙන්) හා කුඩාකල සිට පුවත්පත් ඇතුළු මාධ්‍යයන්ගෙන් එක්කළ කරුණු වලින්. ඉතින් මෙහි ඇත්තේ එකතු කළ තොරතුරු සංසන්දනය කර නිවැරදි කරුණු වෙන්කල පිළිවෙලකට පෙළ ගැස්වීමක් විනා මගේ නිර්මාණයක් නොවේ. මම කොහොමත් බ්ලොග් කරණයේදී විකිපීඩියාව ඇතුළු මුලාශ්‍රවලින්, විවිධ සඟරා පුවත්පත් වැනි මාධ්‍ය වලින් එකතු කරන කරුණු සටහන් තැබීම එතරම් මනාප නැති දෙයක්. ස්වනිර්මාණ වලයි වැඩි වැදගත් කමක් ඇත්තේ. මක් නිසාද යත් එසේ ලියන දේ කියවන්නාට කොහෙන් හෝ කියවන්න පුළුවන්. නමුත් අපේ අත්දැකීම්, පළපුරුද්දෙන් ලත් දේ ගැන ලියනා දේ තවත් කිසිම තැනකින් ගන්න බෑ. තුන්වෙනි පෝස්ට් පෙළ Computer Hardware පාඩමයි. දැනට මට වැඩිම හිට්ස් ලැබෙන්නේ මේ තුලින්. මේ නිසාමද කොහේද වසරක බ්ලොග් කරණයේ මසක් ඇතුලත උපරිම හිට්ස් ප්‍රමාණය මේ මාසයේ ලැබුනා. මේ සටහන් මාලාව තරමක දීර්ඝ එකක් වනු ඇත. අවම වශයෙන් මාස හතරක් පමණ ලියන්න කරුණු තිබෙනවා. එතනින් නවතින එකකු නෑ. නමුත් ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත තමා සටහන් පෙලේ ගමන තීරණය කරන්නේ. වැඩිය බර වෙන්න ඕන මොන පැත්තටද යන්න වගේ දේ.
මෙම ප්‍රධාන ලිපි වලට අමතරව විවිධ සමාජීය වශයෙන් වැදගත් කරුණු, චාරිකා පිළිබඳ සොඳුරු මතකයන්, කෙටි කතාවක් මගේ සටහන් අතර ලියවුනා. ලියා ඇති කිසිම සටහනක් ගැන පසුතැවිල්ලක් නම් නෑ. හැම දෙයක්ම ලීවේ හිතට එකඟවයි. කිසිවෙකුට හානි කරන්න නෙවේ. මේවා අතර කිසිම ප්‍රතිචාරයක් නොලැබුන සටහනක් තියනවා. දැන් බ්ලොග් එකට වසරක් අවසන් නිසා එම සටහනට මින්පසු ප්‍රතිචාර ලැබුනත් පළ කරන්නේ නෑ. :D 

දැන් මේ අනුව දෙවන වසර සඳහා කිසියම් සැලසුමක් සිතේ ඇඳෙමින් පවතිනවා. මීට අමතරව මගේ හාඩ්වෙයාර් සටහන් සඳහා ප්‍රධාන පෙලේ පරිගනක සඟරාවකින් ඉල්ලුමක් ලැබුන බව මම කලින් පොස්ට් එකේ කීවානේ. එහෙත් ඔවුන් සටහන් ඉල්ලන්නේ මුදලටයි. ඒවායේ අයිතිය සමගින්. නමුත් මට මෙම දැනුම ඔබට දෙන්න අවශ්‍ය නොමිලේ. ඒ නිසා මම ලියන සටහන් කිසිවෙකුට පළ කරන්න දෙන්නේ නොමිලේ වන අතර ඒවායේ මගේ නම හා මෙම බ්ලොග් අඩවියේ ලින්ක් එක පළකළ හැකිනම් පමණක් දෙන්න කැමතියි. ඒ වගේම ඒයාගේ සියලු අයිතිවාසිකම් මා යටතේම තබාගෙන. ඒ වගේම අනුග්‍රහයක් ලැබුනොත් ඉදිරි කාලයක මේවා මුද්‍රණය කර නොමිලේ බෙදාහරින්නත් කැමැත්තක් තියනවා. ඒ අපේ අත්දැකීම් දැනුම ඉදිරි පරපුරට වැදගත් බවක් දැනෙන නිසා මට ලැබෙන ප්‍රතිචාර වලින්. 
එහෙමනම් සඳුදා සිට සුපුරුදු සටහන් සමග හමුවෙමු. අද ටිකක් ඇවිදින්න යන්නයි හිතන් ඉන්නේ.
සුභ දවසක්..!!!

Wednesday, May 25, 2011

දින 365ක් පොස්ට් 100ක් එන්න අපි කැවුම් කිරිබත් කමු.....


ඔන්න අද මගේ මතකයට ගොඩ වැදුන ගමන් කිරිබත් කෑල්ලක් කාල ඉන්නකෝ. හරිනේ කිරිබත් කෑවනම් මේ කැවුම් තියනවා. පහලින්. ඒවත් කමුකෝ.

මොකද මේ අද හදිස්සියේ කැවිලි බෙදන්නේ කියා දැන් කට්ටිය බලනවා ඇති නේද? බලන්නකෝ ඔය උඩින් දකුණු පැත්තේ තියන මුළු පෝස්ට් ගණන. ඒක 100 ක් වෙලානේ. 
ඔව් ඇත්තටම බ්ලොග් එකක පොස්ට් 100ක් දානවා කියන්නේ තරමක අපහසු දෙයක් තමා. ඒත් ඇතැම් අය නම් ඔය වැඩේ මාස දෙක තුනක් ඇතුලත කරනවා මම දැකල තියනවා. තවත් අය අවුරුදු කීපයක් ලියනවා ඒත් තාම 100ට ඇවිත් නෑ. ඒත් ඉතින් මම අද 100 වෙනි පොස්ට් එක දාන්නේ ඉතාම සතුටින්. ඒ අදට මගේ මතකය පටන් අරන් හරියටම අවුරුද්දයි. බොහෝ දෙනා උපන් දිනය සමරන්න කේක් බෙදන නිසා මම මගේ මතකයේ පළමු උපන්දිනය සමරන්න සිංහල ක්‍රමයට කැවුම් කිරිබත් උයාගෙනම ආවා.
පුරා වසරක්, පොස්ට් සීයක්, කමෙන්ට්ස් 1550ක් හා හිට්ස් 35000 ක් පමණ කියන්නේ එතරම් ලොකු දෙයක් නොවන්න පුළුවන් මට බ්ලොග් කරණයට හේතුවූ කතන්දර වැනි බ්ලොග් සමග සංසන්දනය කලොත්. එහෙත් එක්තරා දිනක දැන් බ්ලොග් අවකාශයේ නැති ටැබූ මට දුන් කමෙන්ට් එකක කීවේ අද ලක්‍ෂ ගණන් හිට්ස් ලැබෙන බොහොමයක් බ්ලොග් කුඩා හිටිස් ගණනකින් පටන් ගත් ඒවා බවයි. එනිසා දිගටම ලියන්න පටන් ගත්තා. 

ඉතින් ලියන්න නම් කියවන්න කෙනෙක් ඉන්න ඕන නේ. ඒත් දිනෙන් දින දැබෙන කමෙන්ට් හා පෞද්ගලිකව ඊමේල් වලින් ලැබෙන ප්‍රතිචාර නිසා තමා අද වෙනකල් ලියන්නේ. ඉතින් සෑම පොස්ට් එකකටම පැමිණ කියවන, කමෙන්ට් මගින් දිරිමත් කරන ඔබ නොසිටින්න මෙය අතරමග නවතින්න ඉඩ තිබුනා. මගේ ලිවීම ගැන පසු විපරමක් මීළඟ පොස්ට් එකෙන් කරනවා. ඒ නිසා ඒගැන වැඩිය කියන්න කැමති නෑ. 

ඒ කෙසේ වෙතත් මගේ පොස්ට් අතරින් මෑතකදී ලියන්න ගත් Computer Hardware පාඩම නම් බොහො දෙනා ආසාවෙන් කියවන්නක් බව දැනටම ලැබෙන හිට්ස් වලින් තේරෙනවා. ඒ අතරම සතුටින් කියන්න කැමතියි ලංකාවේ පළවන පරිගණක සඟරා කීපයකින්ම මගේ පොස්ට් ඔවුන්ගේ සඟරාවල පල කරන්න කැමැත්ත පළ කර තිබුනා. ඒවායින් එකක් මම දැන් තෝරාගෙන සිටිනවා. ඔවුන්ට මෙහි පළවන දේ ඔවුන්ගේ සඟරාවේ පළ කරන්න. එහෙත් මම මෙයින් ඔබ වෙත ලබාදෙන කිසිම පාඩමක් නවත්වන්න හිතන්නේ නෑ. ඒවා එලෙසින්ම මගේ මතකය සමග එනු ඇත. 
කලින් නම් මම මෙහි පැමිණි අය නම් වශයෙන් පෙන්වා දුන්නත් දැන් එන පිරිස නම් වශයෙන් කියන්න ගියොත් කීප දෙනෙක් හො මගහැරෙන්න පුළුවන්. එයාලට කණගාටුවක් නොදැනෙන්න වෙන වෙනම නම් නොකියා සිටින්නම්. එහෙත් ඔබ සියලුදෙනාම මෙහි කොටස් කරුවන්. ඒ වගේම තිරය පසුපස සිටිමින් මා දිරි ගන්වන කීප දෙනෙක් ඉන්නවා. මට මෙය නවත්වන්නම සිතුනු විටක එය නැවත ලියන්න දිරි දුන් ඔබටත් මගේ ප්‍රණාමය මෙයින් පළ කරනවා. 
අද දිගට ලියන්න හිතුවේ නෑ. එදා සිට මා සමග සිටි අය වගේම ගමනේ අතර මගදී මා සමග යන්න ආ අයත් වරින් වර ඇවිත් යන අයත් කිසි වෙනසක් නැතිව මගේ මතකයට හෙටත් පිළිගන්නවා. ආගිය සැමට නැවතත් මගේ හද පත්ලෙන්ම නැගෙන අවංක ස්තූතිය පිරිනමමි.
සැමට ජයෙන් ජය වේවා..!!!

Friday, May 20, 2011

Computer Hardware පාඩම 03....ආරක්‍ෂාව (Safty)


පේනවානේ පින්තූරේ. ඔව් අද කියන්න යන්නේ ආරක්‍ෂාව ගැන තමා. මේ කියන්න යන්නේ මොන වගේ ආරක්‍ෂාවක් ගැනද කියා කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ. නෑ මේ රටේ ආරක්‍ෂාව, නැතිනම් ජාතික ආරක්‍ෂාව ගැන පොස්ට් එකක් නෙවේනේ. අපි මේ දවස්වල කතා කරන්නේ Computer Hardware ගැනනේ. ඉතින් මම අදත් කියන්නේ ඒ සම්බන්ධ දෙයක්ම තමා. අද පෝස්ට් එකෙන් අපි පැති දෙකක් ගැන කෙටියෙන් කතා කරනවා. පළමුවැන්න වශයෙන් මම ඉතා කෙටියෙන් අපේ ආරක්‍ෂාව ගැනත් දෙවනුව පරිගනක හා උපාංග වල ආරක්‍ෂාව ගැනත් කතා කරනවා. 

පුද්ගල ආරක්‍ෂාව.
පරිගනක කාර්මිකයෙකු මුහුණ දෙන අනතුරු ගණනාවක් තියනවා. මේවායින් ප්‍රධාන දේ කුමක්ද?

ඔබ දැනටම දැක ඇති මෙම සලකුණ. නොදන්නා අය හොඳින් නැවත බලන්න. මෙයින් නිරූපනය වන්නේ අධි වෝල්ටීයතා ඇති බවයි. අපේ පරිගනකයේ ස්ථාන කීපයකම මෙම අධිවෝල්ටීයතාවයන් (High Voltages) පවතිනවානේ. හිතන්න පුළුවන්ද? නෑ ඕන නෑ මම ම කියන්නම්. සම්පූර්ණ මොනිටරයම අධිවෝල්ටීයතා කලාපයක් තමා. අළුත් LCD හෝ LED මොනිටර් වලත් මෙම අධිවෝලිටීයතා පවතිනවා. ඒ නිසා ඒවා ඇතුලත පරීක්‍ෂා කිරීමේදී ඒගැන සැලකිලිමත් වන්න. 
මේ හැර සියලුම විදුලි සැපයුම් (Power Supply) භාවිතා කරන්නේ ප්‍රධාන විදුලියයි. මේවා තුලද මෙම අධිවෝලිටීයතා පවතිනවා. මීට අමතරව මේවායේ දෝෂ ඇති විට විදුලි සැපයුම ක්‍රියාවිරහිත කර යම් කාලයක් ගතවනතුරුම මේවායේ ඇති ධාරිත්‍රික (Condenser) විදුලි ආරෝපණ පවතින නිසා ඒවායින් විදුලිසැර වදින්න පුළුවන්.
දෙවනුව සඳහන් කරන්න පුළුවන් වන්නේ සීරීම් තුවාල වීම් තැලීම් වැනි අනතුරු සිදුවන අවස්ථාවන්ය. 
මෙය විශේෂයෙන් පරිගනක එකලස් කිරීමේදී (Assembling) සිදුවේ. මේවායේ ඇති තියුණු ලෝහ දාර වල වැදීමෙන් කැපීම් හා සීරිම් සිදුවීම බහුලය. මේ සඳහා ආරක්‍ෂක පියවරක් ලෙස අත් ආවරණ පැළඳීමද ප්‍රායෝගික නොවේ. එනිසා වැදගත් වන්නේ ඉතා සැලකිල්ලෙන් වැඩ කිරීමයි. තවද ආයුධ වලින් සිදුවන අනතුරු ආදිය මෙන්ම බර වැඩි මොනිටර් වැනි දේ පාදය මතට වැටීමෙන් පවා අනතුරු සිදුවේ. කොටස් දෙකට ගලවා ඈත් කිරීමේදී ඒවා අතරට ශරීර කොටස් (වි‍ශේෂයෙන් ඇඟිලි) හසුවීමට පුළුවන්.
මීට අමතරව LCD තිර බිඳී යාමෙන් ඒවායේ ඇති රසායන ශරීරයේ තැවරෙන්න පුළුවන්. මේවා විශ සහිත රසායනයන් වේ. තවද සේවා සිදුකිරීමේදී ඇතුලත ඇති දූවිලි අපද්‍රව්‍ය ඉවත් කරන නිසා ඒවා ශරීර ගතවීමෙන් රොගාබාධ ඇතිවෙන් පුළුවන්.  ඉහත මූලික කරුණු ගැන අවධානය යොමුකීරීම කාර්මිකයෙකුට ප්‍රයෝජනවත්ය.

උපාංග වල ආරක්‍ෂාව
උපාංග වල ආරක්‍ෂාව කොටස් ගණනාවකින් විස්තර කරන්න පුළුවන්. 

මේ පින්තූරෙන් කියන්නේ මොනවද?
මෙම රූපය දක්වා ඇත්තේ එහි සඳහන් උපකරණ ස්ථිති විදුලියට (Electrostatics) සංවේදී බවයි. මතකද අපි කුඩා කල පනාවක් වියලි හිසකෙස් හෝ සිල්ක් රෙදි කඩක පිරිමැද කුඩා කඩදාසි කැබලි නැතිනම් රෙජිෆෝම් කැබලි වලට ලංකලාම ඇදී එන ආකාරය. එසේ වන්නේ මෙම Electrostatics නිසා තමයි. මෙය ඇත්තටම විදුලි ආරෝපනයක්. මෙම ආරොපණ අපේ ශරීරයේ මෙන්ම ප්ලාස්ටික්, පොලිතීන් වැනි දේ මත ඇති වන්න පුළුවන්. විශේෂයෙන් වියලි කාලයට මෙසේ ආරෝපනය වනවා වැඩියි. මෙම සඳහන් උපාංග මෙම Electrostatics වලට අධිසංවේදී බවක් දක්වනවා. එනම් Electrostatics මගින් මෙම උපාංගයන්ගේ ඇති සියුම් උපකරණවලට හානි සිදුවේ. මේවා සපයන්නේ මෙම විදුලියට ආවරණය කළ උරයක් තුලයි. එහෙත් එයින් පිටතට ගැනීමේදී ස්ථිති විදුලියට නිරාවරණය වෙන්න පුළුවන්. මෙයින් වැලකෙන්න බැරිද?
ඒ සඳහා තමා කලින් පොස්ට් එකේ Anti static wrist wrap හා Anti static mat එකක් ගැන සඳහන් කලේ. එයින් ස්ථිති විදුලිය ලුහුවක් කරන්න (discharge) කරන්න පුළුවන්. එවැන්නක් නැතිනම් අත සෝදා පිසදා ගන්න. නැතිනම් වරින් වර භූගත කරන ලද යකඩ පෘෂ්ඨයක් ස්පර්ශ කරන්න. නමුත් මේවා නිවැරදිම ක්‍රම නොවේ. නිවැරදි ක්‍රමය වන්නේ Anti static wrist wrap භාවිතයයි. Anti static wrist wrap භාවිතය ගැනත් මෙතනදීම කියන්නම්. Anti static wrist wrap භාවිතා කිරීමේදී එහි අග්‍රය හොඳින් බිම්ගත කරන්න. Anti static mat ද හොඳන් බිම්ගත කළ යුතුය. කෙසේ වෙතත් ස්ථිති විදුලිය ආරෝපණය වීම වැඩි වියලි අවස්ථාවන්හිදී. විශේෂයෙන් වායු සමනය කළ පරිසරයේ වැඩි බව මම දන්නේ අත්දැකීමෙන්. හේතුව ලංකාව වැනි තෙත් කලාපීය රටක වායුසමනය කළ කාමර වියලි නිසා. එබැවින් එම ස්ථිති ආරොපණ ගැන සැලකිලිමත්ව ආරක්‍ෂක පියවර අනුගමනය කරන්න.

මීළඟට කියන්න යන්නේ මේවායේ ඇති ඉතා කුඩා පරිපථ කොටස් හා උපාංග අප භාවිතා කරන ටූල්ස් නිසා  පහසුවෙන් හානියට ලක්වන්න පුළුවන්. සම්බන්ධක සීරිම නිසා විදුලිය ගමන් නොකිරීම, පරිපථයටම අලවා ඇති සියුම් උපාංග වලට හානි වීම සිදුවෙන්න පුළුවන්. තවද ඉස්කුරුප්පු ඇණ තද කිරීමේදී ප්‍රමාණයට වඩා තද කිරීමෙන් (Over tight) ඒවාට මෙන්ම එවා මගින් සම්බන්ධ වන උපාංග වලටද හානි සිදුවෙන්න පුළුවන්.

කවද Hard disk වැනි උපාංග කම්පනයට ලක්වීම නිසා ක්‍රියා විරහිත වෙන බව දන්නවා ඇතිනේ. එබැවින් මේවා පරිහරණයේදී බිම වැටීම වැනි කම්පනයට ලක්වවන අවස්ථා සඳහා ඉඩ නොදෙන්න. එමෙන්ම ගැලවීමේදී හා නැවත සවිකිරීමේදී ප්ලාස්ටික් හෝ වෙනත් කොටස් බිඳී යා හැකි නිසා ප්‍රමාණය ඉක්මවා බලය යොදා ඒවා ගලවන්න උත්සාහ නොකරන්න. විශේෂයෙන් ක්ලිප් කර ඇති සබඳතා පහසුවෙන් කැඩෙන්න පුළුවන්.

මීට අමතරව කලින් පෝස්ට් එකේ සඳහන් කළ ආකාරයටම නිවරදි ටූල් එක භාවිතා නොකිරීම නිසා සිදුවන හානිද මෙයටම ඇතුලත්. සඳරූ එයාගේ අත්දැකීමත් එකතු කරල තිබුනනේ. ඒනිසා නිවැරදි ටූල්ස් භාවිතයෙන් එවන් හානි වලක්වා ගන්නත් නියම කාර්මිකයෙකු සෑම විටම උත්සාහ කරන්න ඕන.
මෙයට තවත් කරුණු ඇතත් ඒවා අදාල පොස්ට් එක සමග විස්තර කරන්නම්. කලින් පොස්ට් කියවා නැති අය මේ ලින්ක් වලින් මෙයට අදාල කලින් පොස්ට් කියවන්න.


එහෙම නම් අදට මේ ඇති කියා සිතනවා. ඊළඟ පොස්ට් එකෙන් හමු වෙමු.
සුභ දවසක්..!!!

ප/ලි
සමහර විට තව සතියක් පමණ යන තෙක් මේ Computer Hardware පාඩම ලියන්න බැරි වෙයි. ඒ අත්‍යවශ්‍ය පෝස්ට් කීපයක් ලියන්න සිතා සිටින නිසා. ඒ ගැන අමනාප නොවන මෙන් ඉල්ලමි.

Thursday, May 19, 2011

ඉලංදාරියා ඇයි නොකියම යන්න ගියේ....


සයිබරයේ ඉලංදාරියා...
කවුරුත් දන්නා ඔබ ගැන අපි දැන සිටියෙත් ඉලංදාරියා කියලමයි. එහෙත් එක් පෝස්ට් එකක් සියල්ල වෙනස් කලා. එදා තමා අපි දන්නේ ඔබ දිලුම් කියා. ඒතෙක් ඔබ කොහේ ඉන්නවාද කියා දැන සිටියේවත් නෑ. ඔබ වට දහසක් රොක් වූවා. දහසින් බැඳි පියලි නැතත් හැමෝම උපරිමයෙන් යමක් කරන්න ඔබ ගොඩ දාන්න රොද බැඳගත්තා. ඔබ සියල්ල දෙස සිනා මුසු මුහුණින් බලා සිටියා. 
මට තාම මතකයි අපි පළමුවෙන්ම සැබෑ ලොව හමුවූ දිනය. ඒ ලෙන්ගතු සිනාව. අපි අවුරුදු උත්සවයට ගිය හැටි. මතකද වෑන් එකේ ටයර් මාරු කරන්න ගිය වේලාව. ඒ හැම දෙයක් තුලම තිබුනේ ඔබේ අව්‍යාජ මනුස්ස කමයි. ඔබට හොඳ යාළුවෙක් සිටි බව මම දන්නේ නෑ. ඔබ හැමෝටම එකම වගේ සැලකූවා. ඔබට හැමෝම හොඳම යාළුවන් වූවා. 
ඔබ රෝහලේ පසුවන අවසථාවේ ඔබේ මව ඔබ ගැන කී දේවල් තාම ඇහෙනවා වගේ. ඔබ වැනි උතුම් ගති ගුණ ඇති අඳින්න පියා අරන්දුන් ඇඳුම, අම්මා ඔතා දුන් බත් පත පවා පරිත්‍යාග කරන විශිෂ්ඨ මිනිස් ගති ඇති අය ලොව පහල වන්නේ කලාතුරකින්. 
හොඳ මිනිසුන්ට වැඩි කල් ඉන්න බැරිලු. ඒ නිසාද ඔබ යන්නම යන්න ගියේ. අපට කිසිවක් නොකියාම.?
අපි කොහොම කීවත් ඔබට මීළඟ ආත්මයේ නිවන් දකින්න බැරි වෙයි. එය ලෝක ස්වභාවයයි. එතෙක් මතු මතු ආත්ම භවයන්හි අප අතරම ඉපිද මෙවන් අකල් මරණයකට ලක් නොවී ඉක්මනින්ම නිවනට යන්න ලැබේවා කියා අපි කවුරුත් එක්ව පතනවා..
සොයුර ඔබට නිවන් සුව ලැබේවා..!!!

Monday, May 16, 2011

Computer Hardware පාඩම 02....(Tools)

ඊයේ දාන්න හිතන් හිටිය පොස්ට් එක තමා අද දාන්නේ. මේ බ්ලොගර් වල පසුගිය දිනයක ඇතිවූ  දෝෂ නිසා පෝස්ට් එක නිසි දවසට ඉවර කරන්න බැරි උනා. එඩිටර් එකේ බාගෙට ටයිප් කරල තිබුන පෝස්ට් එකත් නැති වෙලා. අන්තිම පෝස්ට් එක තිබුනෙත් ෂෙඩුල්ඩ් පෝස්ට් වල. එහි කමෙන්ට් සියල්ල මැකිල.
හරි දැන් ඒවායින් වැඩක් නෑ. අද පොස්ට් එකට කලින් Computer Hardware පාඩම 01. බැලුවේ නැතිනම් ඒක බලාගෙනම එන්න.
අද කියන්න යන්නේ Computer Hardware කටයුතු හා සම්බන්ධයෙන් නිතර අවශ්‍ය වෙන ආයුධ හා උපකරණ (Tools) ගැනයි. 
පළමුව මතක තියාගන්න කොම්පියුටර් විතරක් නොවේ. අනෙක් ඕනෑම තාක්‍ෂණ කාර්යයකදී නිවැරදි උපකරණයම භාවිතා කරන්න. නැතිනම් ඒවායේ ඇති කොටස් වලට දැඩි හානි වෙන්න පුළුවන්. සමහර විට නැවත නිවැරදි කරන්නම බැරි ආකාරයේ හානි වෙන්නත් පුළුවන්. Computer Hardware සඳහා අවශ්‍ය වන සම්පූර්ණ ආයුධ කට්ටලයක් ගන්න එක තරමක් අසීරු කාර්යයකි. ඒ සඳහා තරමක විශාල මුදලක් වැය කරන්න සිදු වෙනවා. එහෙත් ඇතැම් ටූල්ස් භාවිතා වෙන්නේම නැති තරම්. ඒ නිසා නිතර භාවිතා වන ටූල්ස් කීපයක් ගැන තමා මම කියන්නේ.

පළමුවෙන්ම කියන්න යන්නේ මේ සඳහා අවශ්‍ය වන ඉස්කුරුප්පු නියන් (Screw drives) ගැනයි.
නිතර භාවිතයට Phillips® හිස සහිත ලැඉස්කුරුප්පු නියන් තිබිය යුතුය. මේ සඳහා හිස (Bit) මාරු කළ හැකි ඒවා ගන්න එපා. 6mm පමණ එකක් අත්‍යාවශ්‍යය. මීට අමතරව එම ප්‍රමාණයට අඩු හා වැඩි ප්‍රමාණ වලින් දෙකක් ගන්න. මෙම ටූල්ස් හොඳ වර්ග වලින්ම ගන්න. 



ලැප්ටොප් (නෝට් බුක්) සඳහා කුඩා ඉස්තුරුප්පු නියන් කීපයක් අවශ්‍ය වේ. එහෙත් ආධුනිකයෙකුට ලැප්ටොප් අළුත්වැඩියාව අසීරු නිසා පළමුව සාමාන්‍ය ඩෙස්ක්ටොප් ගැන කතා කරමු. තවද අවශ්‍ය වන පිලිප්ස් ඉස්කුරුප්පු නියන් වල ප්‍රමාණ නැවත ඉදිරියේදී සඳහන් කරනවා.

දෙවනුව අවශ්‍ය වන්නේ පැතලි හිස සහිත ඉස්කුරුප්පු නියන්ය (Slot head) වේවායින් 6mm පමණ එකක් අත්‍යාවශ්‍යය. ඊට අමතරව තවත් කුඩා එකක් (4mm) පමණ ප්‍රමාණවත් වේ. මෙම ටූල් එක නිතරම භාවිතා නොවේ.
තවත් ඉස්කුරුප්පු නියන් වර්ග ගණනාවක් ඇතත් මේවා සියල්ල නිතර භාවිතයට නොගන්නා ඒවා නිසා ඒවා වෙනුවෙන් වැඩියෙන් මුදල් වැය කිරීම ආධුනිකයෙකුට එතරම් ප්‍රයෝජනයක් නැත.

එහෙත් Torx වර්ගය නිතරම භාවිතයට ගැනේ. තරු හැඩය ඇති ඉස්කුරුප්පු ගැලවීමට මේවා ඉතාම වැදගත් වේ. විශේෂයෙන් ජනප්‍රිය වෙළඳ නාම යටතේ එන කොම්පියුටර් ගණනාවක භාවිතා වෙන්නේ මෙම වර්ගයේ අණයි. එමෙන්ම මේවා ගැලවීමට වෙනත් ටූල්ස් භාවිතා කිරීම නිසා එම ඇණයේ හිස හානිවී නැවත එම ඇණය ගැලවීමට නොහැකි තැනට පත්වන්න පුළුවන්. මේවායින් ප්‍රමාණ දෙකක් නිතර භාවිතා වේ. එම ප්‍රමාණ දෙකෙන් ටූල් එක බැගින් තබා ගැනීම වැදගත්ය. එවා නම් T10, T15 යන ප්‍රමාණයන්ය.
මෙම ඉස්කුරුප්පු නියන් ආධුනියයෙකුට ප්‍රමාණවත් වන අතර පළපුරුද්ද හා තමන් නිතර භාවිතා කරන ආකාරය මත අමතර ටූල්ස් ගන්න පුළුවන්. ඉස්කුරුප්පු නියන් ගැන විකිපීඩියාවෙන් කියවන්න පුළුවන් වැඩි විස්තර.

දැන් අපි බලමු මොනවාද නිතර භාවිතයට ගන්නා අඬු වර්ග කියා.
පැතලි හිස සහිත අඬුවක් (Flat-nose pliers) අනිවාර්යයෙන් ගන්න.


මීට අමතරව අනිවාර්යයෙන්ම උල් හිස සහිත අඬුවක් (Needle nose plier)  අවශ්‍ය වෙනවා.
Anti static wrist wrap එකක් අනිවාර්යයෙන්ම ගන්න. මේ පිළිබඳ විස්තර ඉදිරි ලිපි වලින් කියවෙනවා. 

මීට අමතරව Anti static mat එකක් ගන්න පුළුවන් නම් එයත් ප්‍රයෝජනවත්. නමුත් එය අනිවාර්යය නෑ.
විදුලිය හා විභව අන්තර (Voltages) ඇතුළු විදුලිය සම්බන්ධ ගණනය කිරීම් හා වෙනත් පරීක්‍ෂාකිරීම් සඳහා මල්ටිමීටරයක් (Multimeter) එකක් තමන් ලඟ තබා ගන්න.
මෙයට අමතරව කුඩා වැකියුම් ක්ලීනර් එකක් (Hand vacuum cleaner) එකක් ගන්න පුළුවන් නම් වඩා ප්‍රයෝජනවත් වෙනවා. 

දූවිලි පිස දැමීමට අඟල් එකක පමණ මෘදු කෙඳි සහිත තීන්ත ගාන බුරුසුවක් ගන්න. කුඩා ස්ථාන පිරිසිදු කිරීමට අඟල් 1/2 පමණ බුරුසුවක් අමතරව තබා ගැනීමේ වරදක් නැත.
මේවාට අමතරව කුඩා කඩදාසි කපන පිහියක් (Paper knife) පරිවාරක ටේප් (Insulation tape) හා වයර් ටයි (Wire ties) ඔබේ උපකරණ කට්ටලයේ තබා ගන්න.

මෙම උපකරණ මූලික වශයෙන් ප්‍රමාණවත් වන අතර උපකරණ සමග සිදුකරන ගණුදෙනුවක් නිසා සුළු අනතුරු, සුළු තුවාල සිදු වීමට ඇති ඉඩ කඩ සලකා කුඩා ප්‍රථමාධාර කට්ටලයක් තබා ගන්න පුළුවන් නම් එය වඩා හොඳයි. මෙහි තුවාල සඳහා බෙහෙතක්, ප්ලාස්ටර්, ගොස් හා පුළුන් ටිකක් ප්‍රමාණවත්.
දැනට මෙම උපකරණ ප්‍රමාණවත් වෙනවා. ඉදිරියේ තවත් දේ කතා කරමු.
මීළඟ ලිපිය ඉක්මනින් ගේන්නම්. 
සුභ දවසක්..!!!

ප/ලි
පසුගිය දිනවල බ්ලොගර් සේවාවේ ඇතුවූ දෝෂ නිසා ලිපි වල ප්‍රමාදයක් වන බවින් ඒ ගැන කණගාටුව පළ කරමි. ඩ්‍රාෆ්ට් කරමින් සිටි ලිපි දෙකක් අළුතින්ම ටයිප් කරන්න සිදුවී ඇත.

Sunday, May 15, 2011

වෙසක් ලබනවා, තොරණ් බඳිනවා, තැන තැන දන්සල් ඉදිවෙනවා....


අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුවී මෙම වෙසක් පොයට අවුරුදු 2600 ක් ගතවී ඇති බව පැවසෙනවා. එය බෞද්ධ සැමටම ඉතා වැදගත් අවස්ථාවක්. ඒ නිසාම මෙවර වෙසක් උත්සවයට වෙනදාට නැති උනන්දුවක්. හැම දෙනාටම අවශ්‍ය උපරිම අයුරින් වෙසක් සමරන්න. ඒ සඳහා වෙසක් කූඩු, තොරණ්, දන්සල් ආදිය දැන්මම සූදානම් වෙනවා. දැන් නම් ඒවායේ මූලික ඉදිකිරීම් අවසන් බවක් පේන්න තියනවා. වෙසක් කූඩු, තොරණ් ආදියේ සැකිලි සාදා අවසන්. මේ ලියන සෙනසුරාදා දවසෙත් මම එන විට එවැනි දේ දුටුවා. එසේ එද්දී සිදුවූ දෙයක් නිසා තමා මෙය ලියන්න අවසන් වරටත් හිතුනේ. නැතත් මේක ලියන්න හිතෙන් ඩ්‍රාෆ්ට් කරලයි තිබුනේ.

පසුගිය මාසේ ඉඳන්ම අපේ බලුපැටියට රෑට නොසෑහෙන්න බුරන්න වෙලා. ඒ ආධාර පත්තර කාරයෝ නිසයි. අවුරුද්දට බත්මහ උළෙලවල් තියන්න සල්ලි එකතුකරන්න කට්ටිය එනවනේ. ඊට පස්සේ වෙසක්. කට්ටියක් එන්වා තොරණට සල්ලි හොයන්න. ඊළඟට මහා පහන් කූඩු රාජයාට මුදල් හොයන්න තව පිරිසක්. ඊළඟ දවසේ දන්සලට ආධාර හොයන්න. ආධාර ගත්ත හැමෝම කීවේ අපි අහවල් තැන දන්සල දෙනවා. ඔක්කොම එක්ක ඇවිත් කාල යන්න කියල.

එහෙනම් දන්සලෙන්ම පටන් ගමු. කා වෙනුවෙන්ද දන්සල් දෙන්න ඕන. පෙර පැවති ක්‍රමය, බුද්ධ දේශනාව අනුව නම් දන්සලක් දෙන්නේ දුගී, මගී, යාචකාදීනට. දැන් බලමු අපේ ගම් පළාත්වල දෙන දන්සල් ගැන. දන්සල දවසේ කලින් දන්වා ඇති වෙලාවට ආරාධනා ලැබූ හැමොම එම ස්ථානයට එක් රොක් වෙනවා. ඒ දන්සලෙන් කන්න. ඔවුන් දුගියෝද? දුප්පත් ඇති. ඒත් එදින කෑම වේල කන්න බැරි තරම් දුප්පත් අය නොවේ. ආරාධනා ලබන්නේ දන්සලට සල්ලි දුන් අයනේ. සල්ලි දෙන්නේ එහෙම කරන්න පුළුවන් නිසානේ. එහෙනම් ඔවුන් කෑම වේල හොයාගන්න බැරි දුගියෝ නොවේ. මගීන්ද? ඔවුන් එන්නේ දන්සලටම නිසා ඔවුන් මගීන් වන්නේද නෑ. යාචකයො කියන්න නම් කොහොමත් බෑනේ. ඉතින් එහෙනම් දන්සල දුන් එකේ සම්පූර්ණ ආනිසංස ලැබේද?. මම දන්න කීප දෙනෙක් ඉන්නවා. ඔවුන් නම් වෙසක් දවසේ පන්සල් යන අයට තමන්ගේ පුළුවන් මට්ටමින් තේපැන්, කිරි කෝපි වැනි දෙයක් දන් දෙනවා. පන්සලට යන පාරේ. එය නම් දන්සලක් තමා. පන්සලට පාරේ යන අය මගීන් නේ.

තොරණ් මහා පහන්කූඩු ගත්තොත් දෙකම එක සමාන නිසා වෙන් වෙන්ව කියන්නේ නෑ. ඔය දෙකම කරන්න මුදල් එකතු කරනවා. අද මම සවස බෝධිපූජාවකට ගොස් තරමක් රෑ බෝවී එන විට තරුණ පිරිසක් පාරේ ඉන්නවා. ඈත දීම දුටු ආකාරයෙන් මොවුන් කරන්නේ පාරේ යන වාහන බලෙන් නවත්වා බලෙන්ම තමන් ඉදිකරන තොරණට ආධාර ගන්නවා. විශාල පිරිසක් නිසා ඔවුනට අසුවන අයට මුදල් නොදී යන්නත් බෑ. මම නම් ඉතින් රෑට හරි හෙමින් යන නිසා ඔවුන් ඉක්මනට පාරෙන් අයින් උනා නවත් වන්න. ඒක වෙනම කතාවක්. ඒත් මෙහෙම ගන්න සල්ලි වලින් කරන තොරණෙන් ලැබෙන පින මොකක්ද?. ඊටත් ඔය එකතුවන මුදල් ඔය වැඩේට ඕනැවටත් වැඩියි. ඉතිරිවායින් වෙන්න ඕන තොරණ පසුපස වෙනම රවුමට කට්ටිය ඉඳගෙන විදුරු සොලවන සද්ද ඇහෙන්නේ. ලයිට් දාන තොරණේ පසුපසින් දුම් යන්නේ කොහොමද කියන එකත් කාලයක්ම මට නොතේරුන දෙයක් නේ. 
ඊළඟ දේ තමා තොරණ හො වෙසක් කූඩුවේ වර්ණනාව. මෙහිදී ආධාර දෙන අයගේ නම් මහ හයියෙන් පීකර් බැඳල කියනවනේ. ගමටම ඇහෙන්න. ඉතින් මුදල් යහමින් ඇති අය නම කියවා ගන්න වැඩියෙන් ආධාර දෙනවා. දෙන ගාණත් කියනවානේ. දැන් තොරණ හදල ඉවර නම් ආයේ මොනවටද ආධාර. ඒඅයට ගෙවල් වලට ගෙනියන්නද? නැතිනම් පසුව මත්පැන් වලටද?. ඉතින් පන් සිල් වලින් සිල් පද කීයක් මේ උතුම් දවස වෙනුවෙන් කඩ කරලද? 
නුදුන් දෙයක් අරන්. වැඩි දෙනෙක් පුළුවන් කමකට, කැමැත්තකින් නොවේනේ දෙන්නේ.
බොරු කියල.
මත්පැන් පාවිච්චි කරල.
ඊට වඩා හොඳ නැද්ද කිසිම දෙයක් නොකර හිටියනම්. අඩුම වශයෙන් පින් නැතත් පවු සිද්ධ වෙන්නේ නෑ නේද?. 

බුද්ධ දේශනාවේ ආකාරයට වඩා උතුම් ආමිෂ පූජාවද? ප්‍රතිපත්ති පූජාවද?
ඔය අයගෙන් කවුද වෙසක් දවසේ එක පැයක් ධර්මානුකූලව ගත කරන්න ඇත්තේ. මම හිතන්නේ නෑ වැඩි දෙනෙක් ඒ ආකාරයට ඉන්න ඇති කියා.
මේ මගේ අදහසයි. වෙසක් කූඩු, තොරණ් දන්සල් දෙන්න ඕන. එහි වැරැද්දක් නෑ. ඒ වගේම ඒවා උතුම් පින්කම්. ඒත් කැමැත්තෙන් නොදෙන ආධාර වලින් නොවේ. තමන්ට පුළුවන් ආකාරයට. එහෙම නැතිනම් එවැනි දේ කරන අයට සොයා ගොස් ආධාර දෙන්න කැමති අය තාම මේ ලෝකේ ඉන්නවා. ඔවුන් සතුටින් දෙන ආධාර වලින් මේවා කරන්න. මම දැකල තියනවා ඇතැම් ගම්බල ළමයි බඩවැටි වල ඇවිදිමින් මල් කඩා ගෙනැවිත් පන්සල් යන අයට මල් දන් දෙනවා. බලන්න කොතරම් උතුම් දෙයක්ද? මුදල් ඉල්ලුවාද?.
මේ 2600 වෙනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් මම ඉල්ලන්නේ එකම දෙයයි. පින් රැස් කරන්න. ඒත් එහෙම බැරිනම් පවු නොකර ඉන්න. කාගේවත් සිත් රිදවන්න එපා. තමාටත් වෙනත් අයටත් වැඩදායි නොවන දේ කරන්න එපා.
ඔබ සැමට තෙරුවන් සරණයි..!!!
කවුද වෙසක් දවසේ එක පැයක් භාවනා කරන්න හිතන් ඉන්නේ. බැරි නම් පැය බාගයක් හෝ??
පින්තූරය http://www.employees.org/~sammuthu/images/vesak.jpg

Thursday, May 12, 2011

Computer Hardware පාඩම 01....

මම මේ බ්ලොග් එක පටන් ගත්ත කාලෙම හිතුවේ Computer Hardware පාඩමක් කරන්න. නමුත් විවිධ හේතු නිසා කරන්න බැරි උනා. කොහොම උනත් මේක කරන්න හිතන් ඔබේ අදහස් විමසන්න දැමූ පෝස්ට් එකනම් හිතුවාට වඩා වැඩි ප්‍රතිචාර දුන් එකක්. කමෙන්ට්ස් නම් වැඩි ප්‍රමාණයක් නැතත් ගොඩක් හිට්ස් ලැබුනා. සාමාන්‍යෙයන් අළුත් පොස්ට් එකක් දැමූ දින ලැබෙන ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් හිට්ස් ලැබුනා. ඒ නිසාම තමා මේ ලිපි පෙල ලියනවාමයි කියා තීරණය කලේ. එහෙම නම් තවත් වැඩි විස්තර කියමින් ඔයාලගේ වටිනා කාලය නාස්ති කරන්න ඕන නෑනේ. පටන් ගමු.

Computer Hardware ඉගෙන ගන්න පෙර..
පරිගනකයක් භාවිතයේ කොටස් 3ක් ගැන අපි කතා කරනවා.
  1. Computer Hardware 
  2. Software
  3. Live-ware
මෙහිදි Computer Hardware යනු කලින් පෝස්ට් එකේ සඳහන් කළ විධියටම පරිගනකයේ භෞතික දේ.  මේවා අතර සක්‍රිය මෙන්ම අක්‍රිය කොටස්ද පවතිනවා. අපි මේ ලිපි පෙළ ලියන්නේ එම Computer Hardware එකලස් කිරීම, නඩත්තුව හා අළුත්වැඩියා කිරිම ගැන කතා කරන්නයි. එනිසාම මෙම ලිපි මාලාව ගොඩක් දිග, කාලයක් ලියවෙන ලිපි පෙලක් වෙනවා.
Software යනු පරිගනකයේ ස්ථාපනය කර ඇති Operating system, Application software (උදා. Microsoft Office, Open Office, Firefox, Games), Anti-virus software ආදියයි. 
Live-ware යනු පරිගනකය භාවිතා කරන්නාය.

Computer Hardware ඉගෙන ගැනීමට පෙර සපුරාගත යුතු අවශ්‍යතා කීපයක්ම තියනවා. 
සාමාන්‍යෙයන් Software සම්බන්ධ පාඨමාලා හදාරන්න කිසිම Computer Hardware දැනුමක් නැතිව කරන්න පුළුවන්. නමුත් Computer Hardware ගැන ඉගෙන ගැනීමේදී අනිවාර්යයෙන්ම Software ගැන අවබෝධයක් තියෙන්නම ඕන. මෙහිදී මම අදහස් කරන්නේ Software development ගැන නොවේ. Operating system, Application software, Anti-virus software ආදී දේ පිළිබඳව හා ඒවා ස්ථාපනය කිරීම පිළබඳවයි. මේවා හැසීරවීමේ අවබෝධය නැතිව ඒවා අදාල පරිගනකය තුල ස්ථාපනය කරන්න බෑනේ.
පරිගනක කාර්මිකයෙකු සතු වියයුතු තවත් ගුනාංගයක් වන්නේ හොඳ ඉවසීමක් තියෙන්න ඕන. නැතිනම් ටික කලකින්ම මෙය අතහැර දමන්න හිතෙනවා. ඒ ඇතැම් අවස්ථාවල පැය ගණන් තිරය දෙස බලාහිඳිමින් දෝෂ සෙවීමට, Software install කරන්න සිදුවෙන නිසා. මෙහි ඇති ඉතා සියුම් උපාංග නිසා හොඳ ඇස් පෙනීමක් තියෙන්න ඕන. උපැස් භාවිතා කිරීමේ ගැටළුවක් නැත. තමන්ගේ බුද්ධි මට්ටමත් හොඳ කාර්මිකයෙකු වන්න හේතු වෙනවා. හොඳින් දක්‍ෂ ලෙස ඇඟිලි තුඩු හැසිරවීමට හැකිනම් එයත් මෙම කාර්යයට ලොකු පිටිවහලක් වෙනවා. ඒසේ නොමැති අයට ව්‍යායාම මගින් එය දියුණ කරගන්න පුළුවන්. මීට අමතරව වෙනත් ඕනෑම කාර්යයකදී මෙන්ම ලොකු කැපවීමක් කරන්න වෙනවා මෙම ක්‍ෂේත්‍රෙය්ද හොඳ දියුණුවක් ලබන්නට.

දැන් ඔය අවශ්‍යතා සම්පූර්ණ කල අය මාත් එක්ක මේ පාඩම කරන් ඉදිරියට යනවා. නෑ ඇත්තෙන්ම එහෙම හිතන්න එපා. අනෙක් අයටත් උවමනාව ඇතිනම් මෙම අවශ්‍යතා සපුරන්න පුළුවන්. නැතත් මේවා ලියන්නේ කියවන හැම දෙනාම පරිගනක කාර්මිකයින් කරන්න නොවේ. එසේ නොවන අයටත් අපි හැමදාම සමහරවිට උදේ සිට රෑ නිදියන මොහොත දක්වාම අපත් සමග අපේ කටයුතු පහසු කරන පරිගනකයේ ඇතුලේ ඇත්තේ මොනවාද? ඒවා සවිකලේ කෙහොමද? ඒවා නඩත්තු වන්නේ කෙසේද? සුළු හෝ අළුත්වැඩියාවක් කරගන්න පුළුවන් ද කියා දැන ගන්න පුළුවන්නේ. අවම වශයෙන් එන දෝෂ දන්නවානම් ඒවාට හේතු දන්නවානම්, ඒවා ඇති නොවන සේ භාවිතා කරන්න පුළුවන්නේ. 

දැන් බලමු මේ සඳහා ඇති වෙනත් අවශ්‍යතාවයන් මොනවාද කියා. 
මේ සඳහා වෙනම කාමරයක් නැතිනම් අවම වශයෙන් වෙනම මේසයක් අවශ්‍ය වෙනවා. එම ස්ථානයේ පැවතිය යුතු දේ අතර හොඳ වාතාශ්‍රයක්, ජල කරාමයක් හා සින්ක් එකක්, ප්‍රථමාධාර කට්ටලයක් වැනි දේ පවා ඇතුලත් විය යුතු බවයි මගේ මතය. මේ මොන දේ ඇතත් නිසි ප්‍රමිතියේ ආයුධ කට්ටලයක් හා වෙනත් උපකරණ ගණනාවක් අවශ්‍ය වෙනවා. එහෙත් ඒවා දැනට අපි ලඟ නැතත් මේ වැඩේ තියන දේයින් කළමනාකරණය කරගන්න උනන්දුව ඇති දක්‍ෂෙයකුට අපහසු වෙයි කියා හිතන්නේ නෑ. එහෙමනම් මෙම ලිපි පෙලේ මීළඟ ලිපියට ඉඩ තබමින් අදට යන්නම්. මීළඟට කියන්න යන්නේ අවශ්‍ය උපකරණ, ආයුධ ආදිය ගැනයි.
සුභ දවසක්

Tuesday, May 10, 2011

Computer Hardware ගැන දැනගන්න කැමතිද?

   Computer Hardware කීවම මොනවද සිතට එන්නේ?    Computer Hardware ගැන පොස්ට් එකක් කියවන් ආ ඔබ සිතනවා ඇති මේ මොන වදයක්ද? දෙයක් දැන ගන්නයි ආවේ. ඒත් මේ ආපු ගමන් අහන්නේ ප්‍රශ්ණයක්නේ කියල. ඇත්තටම අද පොස්ට් එක ප්‍රශ්නයක් තමා. ඊට වඩා පොස්ට් එකක් මෙතන නෑ කියන්නත් පුළුවන්. ඇත්තටම    Computer Hardware කියන්නේ මොනවද?
ඔය පින්තූරේ වගේ අදහසක් බොහෝ දෙනෙක්ට එන්න ඇති. ඒකේ ඇති වැරැද්දක් නම් නෑ. ඒත් වඩා නිවැරදිව කියනවනම්  Computer Hardware යනුවෙන් හඳුන්වන්න පුළුවන් වන්නේ පරිගනකයක ඇති සියලුම භෞතික කොටස්ය. සමහර ඒවා අපට පිටතින් දැකිය හැකි අතර අනෙක්වා අභ්‍යන්තරයේ ස්ථිරව සවිකර ඇත. එහෙමනම් Computer Hardware ගැන අපට මොනවද දැනගන්න තියෙන්නේ. මම බ්ලොග් ලියන්නේ පරිගනක භාවිතාකරන අයට නිසා ඒවා එකින් එක විස්තර කරන්න ඕන නෑ. 
එහෙත් පරිගනකයක් එකලස් කිරීම (Computer assemble) අළුත්වැඩියාව හා දෝෂ සොයාගැනීම ගැන කෙටියෙන් සරලව සටහන් පෙලක් ලියන්න හිතුවා. නමුත් මගේ බ්ලොග් එකට එන අය අනුව හා ලැබෙන ට්‍රැෆික් අනුව පෙර තාක්‍ෂණික ලිපි කියවන්න බොහෝ අය ආවත් දැන් සරල විනෝදාත්මක දේ හොයාගෙනත් ගොඩක් අය එනවා. ඒ නිසා එක දිගට එවැනි ලිපි පෙලක් පල කිරීම ඒ අයට කරන අසාධාරණයක්. ඒ නිසා එවැන්නක් කරනවානම් කරන්න වෙන්නේ අතරමැදින් තාක්‍ෂණ ලිපි ඉවත්කර හුදු විනෝදය හෝ වෙනත් තාක්‍ෂණ නොවන ලිපි පල කරන අතරතුරේ වෙනවා.
සාමාන්‍ය පරිගනකයක සැකසුම ඔය පහලින් ඇති ආකාරයේ එකක්නේ. 

එහි ඇතුලත තමා ඔය ඉහල රූපයේ වැනි අංගොපාංග සවිකර ඇත්තේ. ඒ සියල්ල තමා Computer Hardware යනුවෙන් හඳුන්වන්න පුළුවන්. 
එහෙම නම් මම මේ ලිපි පෙල ලියන්න බලාපොරොත්තු වන්නේ මේ කියන Computer Hardware එකලස් කිරීම, අළුත්වැඩියාව හා නඩත්තුව, දෝෂ නිවාරනය වැනි කරණු ගැනයි. 
එහෙත් ඊට කලින් මේක කියවා එම ලිපි පෙලක් අවශ්‍යද? නැතිනම් දැනට ඔබට අවශ්‍ය එවානි ලිපි ප්‍රමාණවත් තරමට ජාලයෙන් සොයාගන්න පුළුවන්ද කියා කමෙන්ට් එකකින් කියන්න. අවශ්‍ය නැතැයි හැඟේනම් එයත් පවසන්න. බහුතරයකගේ කැමැත්ත අනුව ලිපි පෙලක් ලියනවාද නැතිද යන්න තීරණය කරන්නම්.
ඔබේ ප්‍රතිචාර මෙම ලිපියට නම් ඉතාම වැදගත්. 
ගිහින් එන්නම්. සුභ දවසක්..!!!
පින්තූර 

Monday, May 9, 2011

වසර 120ක්.. මගේ පාසල ගැනයි මේ..(KCK)


පේරාදෙණිය නුවර පාරේ යන අයෙකුට නම් ඔය ගේට්ටුව නුපුරුදු දසුනක් නොවේ. මමත් නිතරම දකිනවා. ඒත් ඔය ගේට්ටුව හා බැඳුනු රසවත් අමතක කළ නොහැකි මතකයක් හදපතුලේ තැම්පත් වෙලා. ඔය ගේට්ටව දෙපසින් තව පොඩි ගේට්ටු දෙකක් තියනවා. අවුරුදු ගණනාවක්ම ඔය ගේට්ටු දෙකෙන් ගිහින් තියනවා. ඒත් ඔය පින්තූරේ ඇති ලොකු ලස්සන ගේට්ටුවෙන් ගිහින් තියෙන්නේ වසරකට දෙතුන් වරක් විතර වෙන්න ඕන. 
කිංස්වුඩ් විද්‍යාලය (Kingswood College). ඒ තමා මගේ පාසල. හදිස්සියේ ඇයි මේ පාසල මතක් වෙලා කියල කෙනෙකුට හිතානවා ඇති. අද මගේ සුරක්‍ෂිත පොත් ගොන්න අතරින් එක් පොතක් මගේ අතේ නැවතුනා. ඒ පොත තමා මේ සුන්දර අතීතයට මාව අරන් ගියේ. ඒ සුන්දර මතක අද මම ලියන්න යන්නේ නෑ. පාසල් කාලේ ගැන මම ලියා ඇත්තේ කතා කීපයයි. ඒවායිනුත් පාසලේ සිදුවීම් ඇත්තේ එකම එකයි. ඒත් අද කියන්න යන්නේ ඒ පාසල ගැන මිස ඒ හා බැඳි මතකයන් නම් නොවේ. ඒවා ඉදිරියේ ලියන්නත් හිතන් ඉන්නවා. 
ඇත්තටම මහනුවර කිංස්වුඩ් විද්‍යාලය කියන්නේ තරමක් වෙනස් පාසලක්. ලංකාවේ සෑම පාසලකම මෙන් මෙහි කරන්නෙත් උගන්වන එක තමා. ඒත් තරමක් වෙනස්. ඒ කියන්නේ තනිකරම විභාග ඉලක්ක කර ගත් ක්‍රමය මෙහි කිසියම් අභායොගයකට ලක් වෙනවා. මෑතක නම් මම විස්තර හොයන්න ගියේ නෑ. පටන්ගත් දා සිට අපි ඉන්නා කාලෙ දක්වාම මෙයින් බිහි වන්නේ සම්පූර්ණ මිනිසුන්. ඔවුන් විභාග වලින් වගේම වෙනත් සමාජ සබඳතා, ක්‍රීඩා ආදී බොහෝ දෙයින් ඉදිරියෙන් සිටියා. ඒ වගේම ආවේණික සම්ප්‍රදායන් තියනවා. සිසුන්ට මහත්වරුන් (Gentleman of Kingswood) යනුවෙන් අමතන එකම පාසල මෙයයි. අපිට හැමදාම උදේ විදුහල්පති තුමා අමතන්නේ ඔය විධියට තමා. කවදාවත් පුතා, ළමයා, දරුවා වැනි නමකින් අමතන්නේ නෑ. තවත් ඔය වගේ සම්ප්‍රදායන් රැසක්. ඒත් මම කියන්න ගියේ අර මැගසින් එකක් ගැන කතාවක් නේද?
ඔය සඟරාව 1991 මුද්‍රණය කරන ලද්දක්. ඒ පාසලේ 100 වෙනි සංවත්සරය සඳහා. ඒ කාලේ අපි එහි අභිමානවත් කිංස්වුඩ් මහත්වරුන්. ඒ දිනය යෙදී තිබුනේ 1991 මැයි 4 වෙනිදාට. ඒ සඳහා පැවති ප්‍රදර්ශනය තමා මම සහභාගිවූ පළමු ප්‍රදර්ශනයත්. 
ඉතින් ඔය පොත බලන විට මට සිහියට ආවේ ලුවී එඩ්මන්ඩ් බ්ලාසේ (L. E. Blaze) මැතිතුමා ඇරඹූ අප පාසල මේ මැයි 4 වෙනිදා සිය 120 වෙනි ජන්ම දිනය සැමරූ බව. මට නම් දවස් ගාණකින් ඒ පාරෙන් යන්නත් බැරි උනා. ඒත් එය එදින සමරන්න ඇති උත්සවාකාරයෙන්. 
ගොඩක් දේ කියන්නේ නෑ. හෙට අළුත් පොස්ට් එකකට මුල පුරන්න තියනවා.
ඒත් මට ආලෝකය දුන් විදුහල් මාතාවට තවත් දිරාත් කාලයක් සිසුනට දිවි මග ආලෝකමත් කරන්න අවස්ථාව ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ආදරණිය කිංස්වුඩ් මහත්මයෙක් විධියට..!!!

Hill-throned, where Nature is gracious and kind,
Home of our early youth, grant us the love of truth,
Health for the body, and light for the mind.
KINGSWOOD, O may we be loyal and true to thee,
Holding what'er betide, Virtue and Faith our guide.

Loyally, Manfully
All of us true to thee,
'No room for trimmer, coward, or fool;
Word and will true and clean,
Work and play strong and keen,
'None for himself, but all for the school!
School! School! None for himself, but all,
All for the school!
Nor shall the world destroy our love and pride,
For both, we know, the stronger shall grow,
And whatever thy fortunes, we stand at thy side.
Present and Past shall be one in the heart, all for thee,
Holding what'er betide, Virtue and Faith our guide.

Then in all things, whatever Duty's voice many call
Ready we follow and spring to our work;
Country or School may call; play the game, Forward, all!
Shoulder to shoulder, disdaining to shirk!
Duty we dare not flee, heavy the cost may be,
Holding what'er betide, Virtue and faith our guide.
(හැමදාම උදේට කියන පාසල් ගීතය. තාම ඇහෙනවා වගේ මේ අකුරු දකින විට)

Friday, May 6, 2011

Microsoft Security Essentials නොමිලේම වයිරස් වලින් ආරක්‍ෂාව..

Microsoft Security Essentials යන්න ගොඩක් අය අහල ඇති නේද? නැති අයට දැන ගන්නයි වැඩියම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ. මොකක්ද මේ Microsoft Security Essentials කියන්නේ. මෙය අන්ටිවයිරස් (Antivirus) සොෆ්ට්වෙයාර් එකක්. මෙය ලබා දෙන්නේ Microsoft ආයතනයයි. සල්ලි වලට එහෙම නොවෙයි. නොමිලේමයි. නිකන් දෙන එකක් නම් අපි ටිකක් විස්තර දැන ගත්තට වරදක් නෑ නේද? කතාවට කියන්න නිකන් දෙනවනම් හොරිකඩයක් උනත් කමක් නෑ කියලනේ. ඒත් මෙය නම් හොරිකඩයක් නොවේ.
මෙය Microsoft ආයතනය විසින් මුල් වරට නිකුත් කලේ 2009 සැප්තැම්බර් මාසයේ. ඒ අත්හදා බැලීමක් ලෙසයි. පළමු Stable Version එක 2010 දෙසැම්බර් 16 වැනිදා තමා නිකුත් වන්නේ. මමත් මේ ඇන්ටිවයිරස් එක 2010 මුල් කාලයේ සිටම භාවිතා කරනවා. 
මෙය දැනට භාවිතයේ ඇති මෙහෙයුම් පද්ධති (OS) අතරින් Windows XP, Windows Vista හා Windows 7 සඳහා හොඳින් ක්‍රියාකරනවා. මෙය Intel x86 (32bit) මෙන්ම x64 (64bit) යන platform දෙක සඳහාම එකසේ භාවිතා කරන්න පුළුවන්. මෙයින් Computer Viruses, Spyware, Rootkits, Trojan horses ආදියෙන් ඔබේ පරිගනකය ආරක්‍ෂා කරගන්න පුළුවන්. 

මොනවාද මෙහි ඇති වාසි කියා අපි සොයා බලමු.
මෙය නිපදවා ඇත්තේ Microsoft ආයතනය නිසා තම මෙහෙයුම් පද්ධතිවල ඇති අඩු පාඩු, වයිරස් ඇතුල්වන්න ඇති සිදුරු ගැන වඩා හොඳින් දන්නේ ඔවුන් මයි. ඒ නිසා ඔවුනට මෙය තුලින් පහසුවෙන් අදාල සිදුරු පමණක් වහන්න පුළුවන්. වෙනත් ඇන්ටි වයිරස් එකකින් මෙය කරන්න පහසු නොවන නිසා ඔවුන් විසින් සෑම අවස්ථාවක්ම අවහිර කිරීමක් කරනවා. එවිට කොම්පියුටරයේ ඇති සම්පත් (resources) භාවිතය අතින් වෙනත් ඇන්ටි වයිරස් පසුපසින් ඇත්තේ. එනම් වෙනත් ඇන්ටි වයිරසයක් ඇති විට ඇතිවන පද්ධතියේ වේගය අඩාල වීම Microsoft Security Essentials වලදී වෙන්නේ අවම වශයෙන්. සාමාන්‍යෙයන් Microsoft Security Essentials මගින් කැපී පෙනෙන වේගය අඩාල වීමක් මම දැක ඇත්තේම නෑ.
මෙහි තවත් වාසියක් වන්නේ වෙනත් අපි කැමති ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් එකක් සමග වුවත් භාවිතා කරන්නට හැකි වීමයි. මම අතහදා බැලීමක් ලෙස Kaspersky Antivirus සමග වසරක්ම භාවිතා කලා. ඊට අමතරව McAfee සමගද භාවිතා කළා. Update කිරීම (definition update) on line මෙන්ම off line යන ආකාර දෙකෙන්ම කරන්න පුළුවන්. ඔබට කොම්පියුටර් ගණනාවක් update කරන්න ඇති නම් වඩා සුදුසු offline updater එකයි. මෙහිදී අදාල ෆයිල් එක ඩවුන්ලොඩ් කර ජාලයක් නම් (Network) එය හරහා කරන්න පුළුවන්. නැතිනම් පෙන් ඩ්‍රයිව් එකක් මගින් කරන්න පුළුවන්.
මෙහි මම දුටු එක් දුර්වල තාවයක් තියනවා. එනම් වයිරස් එකක් ඉවත් කරන්නේ ලෝකල් කොපි කරගෙන  ඉන් පසුවයි. යම් ලෙසකින් ඒ අවස්ථාවේ යන්ත්‍රය ස්ට්‍රක් වීමක් හෝ ක්‍රියා විරහිත විමක් වුවහොත් වයිරසය ඉතිරි වෙන්න පුළුවන්. නමුත් බොහෝවිට මෙය සිදුවන්නේ ඇන්ටි වයිරස් දෙකක් එකවර ක්‍රියාත්මක වන විටයි. එවන් අවස්ථාවක ඉවත් කරන්න තරමක් වෙහෙසෙන්න වෙනවා. ඒ ඇන්ටි වයිරස් දෙකෙන්ම හොයන නිසයි. එකකින් අල්ලා ගත් විට අනෙකට ඉවත් කරන්න බෑ.
දැන් අපි බලමු මේ සොෆ්ට්වෙයාර් එක දමන්න පුළුවන් මොනවාටද කියා.
ඉහත සඳහන් කල ආකාරයෙන්ම  Windows XP(Service Pack 2), Windows Vista හා Windows 7 සඳහා  ෙමය භාවිතා කළ හැකියි. එනමුත් එය Genuine Windows ම විය යුතුයි.
Microsoft Security Essentials වඩුන්ලෝඩ් කර ගැනීමට මෙම ලින්ක් එක භාවිතා කරන්න.
මෙම ලිපියට ඔබේ අත්දැකීම් ඇතිනම් කමෙන්ට් එකක් දමා ඒවා එකතු කරන්න.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

ප/ලි (10-05-2011)

මේ පොස්ට් එකට පොඩ්ඩි ඇසූ ප්‍රශ්නයට මම දුන් පිළිතුරට ඇය මගෙන් නැවත මේල් එකේ අසා තිබුනා මෙවන් ප්‍රශ්නයක්.
ehema nam oya dekama pavicchi kireeme terumak naa neda
ඇත්තටම ගොඩක් අයට ඔය ප්‍රශනේ තියෙන්න ඕන ඇසුවේ නැති උනාට.
ඒකට උත්තරේ තමා:
ඇත්තටම වයිරස් ස්කෑනර්ස් දෙකක් භාවිතා කරන එකේ වැදගත් කමක් තියනවා. අපි කොහොම හිතුවත් වයිරස් ගාඩ් එකකින් සම්පූර්ණ ආරක්‍ෂාවක් ලබන්න බෑ. සෑම වයිරස් ගාඩ් එකකින්ම රිංගා යන්න පුළුවන් වයිරස් තියනවා. Kaspersky එකට අල්ලන්න බැරි ඒවා McAfee එකට අහුවෙනවා. ඒ දෙකටම අහුවෙන්නේ නැති ඒවා security essential එකට අහුවෙනවා. ඔවායෙන් සමහරකට අල්ලන්න බැරි ඒවා AVG වලින් පුළුවන්. නැතිනම් Norton වලින්. එහෙම බැලුවම වයිරස් ගාඩ් දෙකක් තියන එකෙන් වැඩි ආරක්‍ෂාවක් ලබන්න පුළුවන්. නමුත් ඉතා සාමාන්‍ය පාවිච්චියකදී නම් එකකින් ලැබෙන ගාඩ් එක ඇති වෙන්න පුළුවන්. නමුත් වයිරස් වැඩි තැනක ආරක්‍ෂාව ගැන විස්වාසයක් නැති තැනකදී මැෂින් එකේ ඇතිවෙන්න මෙමරි (RAM)  තියනවනම් දෙකකින් ලැබෙන ආරක්‍ෂාව වඩා හොඳයි. නමුත් දෙකක් ඇති විට ගැටළු ඇතිවෙනවා මම කලින් කීවාවගේ. මම වයිරස් ගාඩ් 4ක් එක්ක වැඩ කරනවා. ලැප්ටොප් එකේ 2ක්, සර්වර් එකේ ESET, සහ ඩෙස්ක්ටොප් එකක McAfee. සාමාන්‍යෙයන් සැකයක් ඇතිනම් ඔය 4න්ම චෙක් කරනවා. ඒත් ඔයාලට වගේ නම් ඒතරම් බලපෑමක් ඇති කියා හිතන්න බෑ. මම පිටතින් ගේන ගොඩක් ෆයිල්, සොෆ්ට්වෙයා එක්ක වැඩ කරන නිසයි මට ඔය ප්‍රශ්නේ එන්නේ. මේක තව විස්තර කරන්න පුළුවන්. ඒත් මේ ටිකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් නේද?


Microsoft, Microsoft Windows, Microsoft Security Essentials are registered trade mark of Microsoft corporation.  

Thursday, May 5, 2011

යලි ඉපදුනු බ්ලොග් කරුවෝ..


මමත් බ්ලොග් ලියන්න අරන් දැන් මාස 11ක් විතර. දැන් නම් ඒදවස්වල හිටිය බ්ලොග් කරුවන් බොහෝ දෙනෙක් හිටපු බ්ලොග් කරුවන් වෙලා. හොඳ, රසවත් බ්ලොග් ගණනාවක් ලියවෙන්නේම නැති තරම්. සමහර ඒවායේ නම් මමත් ගිහින් ඇයි ලියන්නේ නැත්තේ කියා කමෙන්ට් පවා දමා ආවා. නමුත් ප්‍රතිචාරයක් ඇත්තේම නෑ. ඒ අතරම සමහර බ්ලොග් හොයන්නත් නෑ. මකා දමා තිබෙනවා. සමහර ඒවා හැක් කිරිම් හෝ වෙනත් උවදුරු වලට ලක්වෙලා. ඔය අතර විවිධ තාක්‍ෂණික ගැටළු නිසා මැකීගිය බ්ලොග් අඩවිත් ඇති. 
ඔය අතරම අළුතින් බ්ලොග් කරුවන් රැසක් බ්ලොග් කරණයට ආවා. සමහර ඒවා ඉතා සාර්ථකව ලියවෙනවා. සමහර ඒවානම් අර ඉස්සර කාලයේ රබර් වතු වල කිරි කැපීම සරු කාලයේ හදන්න ගත් ගෙවල් වගේ. ලොකු අත්තිවාරම් දැම්මට අත්තිවාරම විතරයි. ගෙයක් නෑ. කොහොම උනත් මම කියන්න ආවේ ඔය එකක් වත් නොවේ. පසුගිය කාලයක් පුරාවට ලියවුනේ නැති බ්ලොග් කීපයක්ම නැවත ලියන්න පටන් අරන්. සමහර ඒවා මම බ්ලොග් කරණයට එන කාලයේ හොඳ තත්වයේ තිබී පසුව නවතා දමා තිබූ ඒවා. සමහර ඒවා මම එන කාලයේම වගේ නැවතුන ඒවා.
මමත් ආසාවෙන් කියවන ඒවා ගැන මට මතක ආකාරයෙන් ලින්ක් දෙන්නයි අද පොස්ට් එක වෙන් කරන්නේ.
ඒවායින් එකක් තමා අක්කණ්ඩි ලියන පුලිනතලාව. කාලයකට පසුව තමා එය නැවත ලියන්න අරන් තියෙන්නේ. පසුගිය වසරේ ජූනි මාසයේ සටහනක් තබා ගිය මාතලන් අඩවියත් පසුගිය මාසේ සිට යලි ගමන් ඇරඹිලා. අළුතින් පොස්ට් දෙකක්ම එකතුවෙලා තිබුනා. රසබර කතා උපදේශනාත්මකව අපට දෙන ඉන්දිකගේ එකේ වාට්ටුවත් මෙන්න අළුතින් ලියවෙන්න පටන් අරන්. වෛද්‍ය ක්‍ෂේත්‍රයේ හෙද නිළධාරියෙකුගේ උපදේශනාත්මක අත්දැකීම් එහි නැවත පෙළ ගන්වනවා. පෙබරවාරි මාසයෙන් පසුව සටහනක් නොතැබූ හරීගේ පිණිපලසත් යලි දිගහැරී තියෙන්නේ. පෙබරවාරි මාසයෙන් පසුව සටහනක් නැතිව තිබූ කුෂාන්ගේ සිතැඟි නැවත අවදිවෙලා තියන බව දැන් දවස් කීපයකට කලින් තමා මම දැක්කේ. පූස් මල්ලිලා ලියන බ්ලොග් ගඩොල් ටික කලක් නැවතී තිබී ඔන්න එකින් එක බිත්තියක් බැඳෙනවා දැන් ටික දවසක ඉඳන්. ආහ් තව ටිකෙන් කියන්න අමතකම වෙනවා. මියුරු කල්පනාවෙත් ජනවාරියෙන් පස්සේ ආයෙම අප්‍රේල් පොස්ට් එකක් තියනවලුනේ. මුල සිටම මා බලන්න ආ නුවන් ටික කාලෙකට පස්සේ ආයෙම NUWAN's lane එකේ යන්න අරන් තියෙන්නේ. 
මම ඔය කීවේ මම කියවන බ්ලොග් අතරින් නැවත උපන් කීපයක් විතරයි. මගේ මතකයෙත් ඉතාම තදින් සිතට දැනුන සටහනක් ගිය සතියේ ලියවුනා මතක ඇතිනේ අම්මාගේ උපන්දිනය වෙනුවෙන්. ඒ තමා මම අපහසුවෙන්ම ලියූ සටහන. එය ලියන්න නම් මට පුදුමාකාර අපහසුවක් දැනුනේ. මම එහිදි ගොඩක්ම හැඟුම්බර උනා. මේ කාලයේ පොඩ්ඩි ලියූ සටහනකුත් මගේ සිත් ගත්තා. මම හිතන්නේ එම බ්ලොග් එකේ ලියවුනු සංවේදී අව්‍යාජම සටහන එය වෙන්න ඕන. කතන්දරත් පසුගිය කාලයේ තරමක වෙනස් ආකාරයෙන් ලියූ නමුත් දැන් නැවත අපට සුපුරුදු කතන්දර දෙන්න පටන් අරන්. ඔය විධියට තමා අප්‍රේල් මාසය බ්ලොග් අවකාශයට දැනුනේ. තව මේ වගේ ඔයාලත් දැක්ක යලි ඉපදුන බ්ලොග් ඇත්නම් යටින් මතක් කරල යන්නකෝ. ඒවාත් මේ ලිස්ට් එකට දාන්න.
ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

පින්තූරය : http://www.prospectresearch.com/wp-content/uploads/2011/04/Blog.jpg