Sunday, October 30, 2011

බස් රේඩියෝවෙන් පරිගනක හාඩ්වෙයා ගැටළු වලට පිළිතුරු....

මගේ මතකයට එන ඔයාල හැමෝම දන්නවානේ මම පරිගනක හාඩ්වෙයා පාඩම් ලියනා බව. කොහොම හරි ඔය පාඩම කාලෙකින් ලියන්නත් බැරි උනා. ඒ වුවත් පාඩම නවත්වලා නම් නෑ. ආයෙම පටන් ගන්නවා ඉක්මනින්ම. මේ හාඩ්වෙයා පාඩමක් නැම් නොවේ. ඒත් ඔයාල දන්නවා ඇතිනේ මම බස් රේඩියෝ ටීම් එකේ සාමාජිකයෙක් බව. ඉතින් ඔයාලගේ පරිගනක හාඩ්වෙයා සමිබන්ධ ගැටළු වලට පිළිතුරු ලබා දෙන වැඩසටහනක් අපි බස් රේඩියෝවෙන් කරන්න හිතුවා. මෙහිදී අපි පිළිතුරු දෙන්න බලාපොරොත්තු වන්නේ පරිගනකයේ හාඩ්වෙයා සම්බන්ධ ගැටළු වලට මෙන්ම අලුතින් පරිගනකයක් මිළදී ගන්නට යන අයටත්, භාවිතා කළ පරිගනක මිළදී ගැනීමට යන අයටත් ඇති ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නයි. 
ඉතින් ගැටළු යොමු කරන්න ක්‍රමයක් කියන්නත් වෙනවනේ. ඔබේ සියලුම ගැටළු එවන්න අපිට ඊමේල් එකකින්. ඊ ලිපිනය කියනවානම් request@buzzradio.lk.
ඔන්න එහෙනම් මේ වැඩසටහනට යොමුකරන්න බලා පොරොත්තු වන ගැටළු යොමු කරන්න 31 වෙනි සඳුදා සවස 6.00ට පෙර ඉහත ලිපිනයට.
ඔබේ ගැටළු වලට පිළිතුරු අරන් අපි එනවා සඳුදා රැ 8.30ට මෙම වැඩසටහන සමගින්. ලස්සනම ලස්සන ගීත කීපයක්ද මේ සමගම රැගෙන එනවා.

Buzz Radio - Requests
Million Songs with Hundreds of DJs
request@BuzzRadio
 සින්දු කෝටියයි ජොකියෝ රාශියයි  

(බස් රේඩියෝවෙන් ගීතයක් ඉල්ලීම ගැන අපගේ ස්තූතිය.. කියා පිළිතුරු මේල් එකක් ලැබෙයි එය නොසලකා හරින්න)

Friday, October 21, 2011

රෑවීලා ඇයි මේ උදේ.........


සති දෙකක් තිස්සේ මකුළුවෝ දැල් බැඳන් හිටිය නිසා මකුළුවෝ එලවන්න කොස්සක් අරන් ආවට බය වෙන්න එපා. මේ කොස්ස ගෙනාවේ මකුළුදැල් කඩල මකුළුවෝ එලවන්න. නැතිව බ්ලොග් එකට එන අයව එලවන්න එහෙම නෙවේ.
පසුගිය සති දෙකේම බ්ලොග් පැත්තේ යන්න බැරි උනා. පෝස්ට් කරල චැට් එකෙන් නැතිනම් ඊමේල් එකෙන් කීව අයට පමණක් කමෙන්ට් කලාට මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාගන්නත් බැරි උනා. පසුගිය සති දෙකම ගෙදර වැඩත්, වැඩ කරන ආයතනයේ වැඩත් එක්ක ගොඩක් බිසී උනානේ. අලුතින් බැච් එකක් එන කාලෙට කොහොමත් අපිට වැඩ වැඩි වෙනවා. ඔය අපේ හා පැටික්කි, මධුශාන් එහෙමත් ආවා කියන්නේ. හාවි නම් ආවා කියා කතා කරලත් කීවා. මේවාට අමතරව අපේ ඥාතියෙකුගේ විවාහ මංගල්‍යයක් තිබුන නිසා එයටත් ගොඩක් වෙහෙසුනා. ඒ හා සම්බන්ධ රසවත් සිදුවීම් ගනනාවක් තියනවා. වෙලාවක ඒවාත් බ්ලොග් පෝස්ට් එකකට දාන්න පුළුවන්. 
මේ කියන්න ගියේ එකක් දැන් කියන්නේ වෙන එකක්. මටත් ලියන්න ගියාම මුලක් මැදක් අගක් නෑ නේද?
මේ සින්දුව හදිසියේ ඇයි මතක් උනේ කියලා දන්නවාද? අහම්බෙන් දුටු සිදුවීමක් නිසා. මේකයි කතාව.
මේ වෙඩිම නිසා අපිට රැයක් දවාලක් තිබුනේ නෑ. මොකද උන් දෙන්නා බැඳල හනිමූනි ගියා. අපි එපැයි හෝම් කමින් එකට ගෙවල් ලස්සන කරල තියන්න. කොහොම හරි කට්ටිය රෑ දවල් නැතිව උගේ ගෙදර වැඩ. ඔහොම වැඩ කරලා මහරෑ ගෙවල් වලට යනවා. ආයේ උදේ පාන්දර උගේ ගෙදර. කොහොමත් උදේ තේ එක බොන්නේ උගේ ගෙදරින්ම තමා. නැතිනම් ආයේ බැන්දට පස්සේ වතුර එකක් දෙයිද කවුද දන්නේ..:DD
කොහොම හරි ඔය හෝම් කමින් එක දවසේ උදේම මම රෑ කරපු ඩෙකරේශන් ටික හරියට තියනවද බලන්නත් එක්ක උදේම උගේ ගෙදර ආවා. ඒ එනකොට උදේ අව්ව පායලත් නෑ. ඒත් හොඳට එළිය වැටිල නිසා මම බයික් එකේ හෙඩ් ලයිට් නිවාගෙන ආවේ. මෙහෙම එනකොට මගේ ඉදිරියට එනවා බයික් එකක් හෙඩ් ලයිට් දා ගෙනම. සාමාන්‍යෙයන් අපි එළිය වැටුනම හෙඩ් ලයිට් දාන්නේ ආපදාවක් නැතිනම් අති විශේෂ අවස්ථාවක ඉක්මනින් යන්නනේ. ඒත් මේ පොර මොකද මේ හෙඩ් ලයිට් දාගෙන. කරදරයක්ද? නැතිනම් බයික් එකෙ දෝශයක්ද?
ටිකක් ලඟට ආවමනේ හේතුව දැක්කේ.....

ඔය පින්තූරෙනම් ඇත්තම සිද්ධිය නෙවෙයි. ඒත් මේකත් ඒ වගේ තමයි...
රෑ වීලා ඇයි මේ උදේ.........:DDD

Friday, October 7, 2011

සමුගන්නම්.....සමුගැනීම


ළමයෝ ඔලුව හොඳ නැද්ද මේ වැස්සේ තෙමෙන්නේ.?
පොඩි කාලේ මතක් උනා අම්මේ. මං කොච්චර ආසද පොඩි කාලේ වැස්සට තෙමෙන්න. යන්තම් අම්මාගෙන් ගැලවුනු මම ඉක්මනින් කාමරයට පැන ගත්තේ හිස පිස දාගන්නයි. 
කුඩේ දීල ගිහින් සතියකට පමන පසුව දවසක සමින්ද අයියා මට හමු උනා. ඒ දවස් වෙනකොට මගේ හිතේ දිනේශ් ගැන සිතිවිලි ඇති වෙමින් පැවති කාලයයි. මට ඒ දවස් වල දිනේශ් දකින්න නොලැබුනොත් නින්ද යන්නෙත් නැති තත්වයක් තිබුනේ. ඒත් දිනේශ් නම් මං ගැන කිසිම අදහසක් ඒ දවස් වල නැතිව ඉන්න ඇත්තේ. 
කොහොම හරි එදා සමින්ද අයියා මොනව හරි හිතේ තියන දයෙක් කියන්න යන බව මට හොඳින්ම දැනුනා. මේක තමා හොඳම වෙලාව. මෙයාට ඒක කියන්න දෙන්න ඕනි. ඊට පස්සේ මගේ උත්තරේ දුන්නම ප්‍රශ්නේ ඉවරයි. මම හිතුවා.
චාරු නංගි....
ඇයි අයියා..?
මට ඔයා එක්ක ටිකක් කතා කරන්න තියනවා....
ඉතින් කතා කරන්න අයියා...
මෙතන බෑ අපි අර කූල් ස්පොට් එකට යමුද?
ඒක හරි නෑනේ අයියා. අර යාළුවොත් බලන් ඉන්නවානේ. කියන දෙයක් මෙතනදී කියන්න. කාටවත් ඇහෙන්නේ නෑනේ.
මගේ යාළුවන්ගේ නම් මතය වූයේ සමින්ද අයියා මට හොඳටම ගැලපෙනවා කියන එකයි. ඒත් යාළුවන් මතම පවරා මට ඕනි උනේ මෙතනදීම කතාව ඉවර කරන්නයි.
චාරු...
සමින්දට එක වරම වචන පිට කරගන්න බැරි බවක් පෙනෙන්නේ..
කියන්න අයියා. මට පරක්කුත් උනා.
නංගි මං ඔයාට ආදරෙයි. මං කැමතියි ඔයාව ආදරෙන් බලා ගන්න..
අයියා.. මොනවද අයියා මේ කියන්නේ. මට අයියෙක් නැති නිසා මං ඔයාව මගේම අයියා කියා හිතුවේ. මට තව හිතන්න ඕනි. මං කොල්ලෙක් එක්ක යාළු වෙන්න හිතලාවත් නෑ තවම. කෙල්ලන්ගේ සාමාන්‍ය උත්තරයෙන් මම ගැලවී පැනගත්තා.
එහෙමනම් නංගි තව හොඳට හිතලා කියන්නකෝ..
අයියා යන්න ගියා.
දවස් දෙකකට පස්සේ සමින්ද අයියා ඇවිත් ඉන්නවා දැක්ක මම ඔහුට නොපෙනෙන්න පංතියට ගියා. තිළිණිට කීවා මං කැමති නෑ කීවා කියන්න. මට එයා මගේම අයියා වගේ ඊට වඩා හිතන්න බෑ කියා කියන්න කියා.
එයින් සතියකට පසුව දිනේශ් මගෙන් කැමැත්ත ඇසුවේ. මම තාම එහෙම දෙයක් හිතලා නෑ තව හිතන්න ඕනි කීවේ බොරුවට. ඒත් දවස් දෙකකට පසුව මම දිනේශ්ට කැමැත්ත දුන්නා.
හ්ම්ම්ම්
දැන් ඉතින් සියල්ල අවසන්. මහා කුණාටුවකට පසුව මුලු පරිසරයම නිහඬ වෙනවා වගේ හැම දේම සන්සුන් වෙලා. ඒත් කුණාටුව මගේ හිත විනාශ කරන් හමා ගිහින්.
එදා මම සමින්ද අයියට කැමති උනානම්. මේ සියල්ල මීට වඩා වෙනස් නේද? මම හොඳටම දන්නවා සමින්ද අයියා කවදාවත් මාව මෙහෙම දාල යන්නේ නෑ කියා. එහෙම කරන්න පුළුවන් විධියේ හදවතක් එයාට නෑ. එයා ළඟ මං හොයන ආදරේ ඕනිවාටත් වඩා තියනවා. එහෙත් මම බැලුවේ දිනේශ්ගේ බාහිර පෙනුම විතරයි. බැලුවම මම පෙර පින් කරල ඇති. මෙහෙම හරි නැවතුනු එකට. සමහර විට මම දිනේශ් බැන්ද නම් මීට වඩා දරුණු තනිවීමක් වෙන්න තිබුනා. 
දැන් නම් මට කිසිම කෙනෙක් හිතට ඇතුල් කරගන්න බෑ. පිරිමියෙකුට මගේ හිතේ තිබූ ඉඩ සම්පූර්ණයෙන්ම ගත්ත දිනේශ් මුළු හිතම විනාශ කර යන්න ගිහින්. මගේ හිතේ ඔහු ආයෙත් එයිදෝ කියා බලාපොරොත්තුවක් පොර කෑවත් මගේ යටි හිත හොඳටම දන්නවා ආයේ නම් කවදාවත් ඔහු එන්නේ නෑ කියා.
එහෙම ඉන්න විටයි මට සමින්ද අයියා මතක් උනේ. ඒම සිද්ධියෙන් මාසයකට පමණ පසුව ඔහු අලුත් රැකියාවක් සොයාගෙන ඈත දුශ්කර පලාතකට ගිහින්. ඔහු එහෙම කරන්න ඇත්තේ හිත හදා ගන්න වෙන්න ඇති. ඔහුට ප්‍රශ්නයක් බව දැනගෙන ගෙදරින් විවාහ යෝජනා ගෙනෙන බවක් තිළිණිට පවසා තිබෙනවා. එහෙත් ඒවාට කැමති වෙන්න හිත හදාගන්න බෑ කියා පමණයි කියා තිබෙන්නේ. ඉන් පසුව ඔහු ගැන කිසිම තොරතුරක් ලැබුනේ නෑ. මට හොයන්න අවශ්‍ය තාවයක් තිබුනෙත් නෑ.
මමෆෝන් එක අරන් තිළිණි ඇමතුවා.
මොකෝ බන් මේ හදිසියේ.
නිකන් බන්.
වෙන්න බෑ...
ආයේ ඉතින්. උඹට විශ්වාසම නෑනේ...
ඔය විධියට පටන් ගත්ත කතාව විනාඩි විසි පහක් විතර ඇදගෙන ගියා. අන්තිමට මම සමින්ද අයියා ගැනත් හෙමින් ඇසුවා.
දන්නේ නෑ චාරු. උඹ අකමැති උනාට පස්සේ හරි දුකෙන් හිටියේ. උඹේ වැරැද්දකුත් නෑ. උඹ එයාට බලා පොරොත්තු තියා ගන්න හිනා වෙලාවත් නෑනේ. කතා කරත් උඹ කලේ මගහරින එකනේ.
ඒ උනාට මට කියන්න තිබුනා තිළිණි මම වෙන කෙනෙක් ගැන හිතනවා කියල. එයා දැන්ගන්න ඇති මම එයාට තාම කොල්ලකේ ගැන හිතලත් නෑ කීවේ බොරුවට කියා. ඒ කියල සතියෙන් මම දිනේශ් එක්ක යාළු උනානේ.
හ්ම්ම්....තිළිණිට මං ගැන තරහක් එන්න ඇති. නැතිනම් එහෙම උත්තර දෙන්නේ නෑ කවදාවත්ම.
ඇත්තටම මගෙන් ලොකු වැරදීමක් වෙලා කියා මට දැන් හොඳටම දැනෙනවා. අපි ආදරේ කරන්න ඕනී හරියටම අපි කැමති කෙනොටමද?
එහෙම කලාට වැරැද්දක් නෑ. එයාත් අපිට එහෙම ආදරේ නම්.
එහෙම නැතිනම් අපි කරන්න ඕනි අපිට ගොඩක් ආදරේ කෙනෙක්ට අපි ආදරේ කරන එකයි. එයා කවදාවත් අපිට දාලා යන එකක් නෑ. අනික එයාගේ ආදරේ අපි උපරිමයෙන් ලබන විට අපිත් නොදැනීම එයාට ආදරේ කරයි. සමින්ද අයියා ආයෙත් එකම වතාවක් මට හමු උනොත්.... එහෙම උනොත් මම එයාගෙන් සමාව ඉල්ලන්න ඕනි පරණ දේවල් වලට.
මගේ සිතට ලොකු සැහැල්ලුවක් දැනුනා. සමහර අවස්ථාවල ගැහැණු අපි හැසිරෙන්නේ මොන තරම් මෝඩ විධියටද? අපේ අත ළඟ ඇති දේ නොදැක නේ අපි ගන්න බැරි තරම් උඩ තියන දේ ගන්න හදන්නේ. කොල්ලොත් එහෙමද? ඒ ගැන මට හිතාගන්නත් බැරි මම ආදරේ කළ කොල්ලාගෙන් එවැනි කිසිම දෙයක් ගැන අදහසක් ගන්න බැරි උන නිසායි. ඔහුට මගෙන් අවශ්‍ය උනේ ආදරේද කියන්නත් දැන් නම් මට බෑ. එක තැනක් වැරදුනොත් බොහෝ දේ වරදින්න පුළුවන් කියන්නේ මේ නිසා වෙන්න ඇති. දැන් ඇත්තත් හොඳත් මට පේන්නේ නෑ. මම ඕනිවාට වඩා හිතුවා වෙන්න ඇති. හැම වෙලේම යාළුවෝ ගෙදර අයගේ උපදෙස් පතන්නේ නැතිව මගේම ලෝකෙක තනිවෙලා මට හිතුන දේ කරලා අවසානයේ මටම රිදවා ගත්තා නේද? මේවාට වැඩියෙන්ම වැරදි කාරයා මමම නොවේද?
ළමයා මේ තේ එක බීලා ඉන්න.
අම්මා නැවත මගේ කල්පනා ලෝකේ බිඳ දැම්මා.
තේ එක අරන් කුස්සියේ බංකුවේ අම්මා ළඟින් ඉඳගෙනකතාවට වැටුනේ කාලෙකින්. මගේ හිතේ තිබුන සියල්ල අර පින්තූරය සමග වෙනස් වෙමින් පවතිනවා වගේ මට දැනෙන්න අරන්. අම්මාට උයන්න උදවු කරන්න හිතුවේ අම්මා මගේ ගැන සිතනා විධිය වෙනස් කරන්නත් එක්කයි. දන්නේම නැතිව රෑත් උනා. මම උයපු කරි අප්පච්චි රස කරමින් කෑවේ අද මොකද මෙයාට උයන්න හිතක් පහල උනේ කියා අසමින්. 
නිකන් අප්පච්චි... ඒකේ වැරැද්දක් නෑ නේද?
කොච්චර හොඳද පුතේ..
අප්පච්චිටත් සතුටුයි වගේ. ඇත්තට එයාල හිතන්නෙත් මගේ සතුට නේද?
හෙට යන්න ඕනි තිළිණී බලන්න. මම නින්දට කලින් හිතුවේ එහෙමයි. 
පසුදා උදේ අම්මාට තිළිණි බලන්න යනවා කියා මම ගෙදරින් පිට උනා. දැන් අම්මා දන්නවා මම යන්නේ බොරුවක් නොකියා බව. අම්මට නොකීවට දිනේශ් එක්ක දැන් සම්බන්ධයක් නැති බව එයා හොඳින් තේරුම් අරන් ඉන්නේ.
ටවුමෙන් බස්එකෙන් බැස්ස මම තිළිණිගේ ගෙදරට යන බස් එකට හෝල්ට් එකට යන විට දැක්කේ හිතා ගන් බැරි දෙයක්.
පාර අයිනේ සමින්ද අයියා නැවතී ඉන්නවා. අයියා මාව දකින්න නැතිව ඇති. එයා වෙනත් පැත්තක් බලා සිටින්නේ. ගිහින් කතා කරන්න ඕනි.
ළඟට ගියත් එක පාරම කතා කරන්න බෑ. මගේ කකුල් දෙකත් ගැහෙනවා වගේ. ඒත් මම අයියා ගැන හොඳින්ම දන්න නිසා හිතට දිරි අරන් අයියේ කියා කතා කළා. එක් වරම ගැස්සුනු අයියා මා දිහා බැලුවා. 
කිසිම වෙනසක් නොපෙන්වා සිනාසුනු ඔහු කොහොමද නංගි කියා ඇසුවා.
වරදක් නෑ අයියේ. පාඩුවේ ඉන්නවා..
හ්ම් හම් පේනවා. මොකද අද තනියම. කෝ නැද්ද?
අයියා අසන්නේ දිනේශ් ගැන කියා මට හොඳින්ම පැහැදිලියි.
මෙක තමා මට වැරදුනු තැන අයියට කියන්න හොඳම අවස්ථාව. පැත්තකට ගිහින් කියන්න සිතන විටම වෙළඳ සැලක සිටි ලස්සන බොහෝම නිවුනු පෙනුමක් ඇති කෙල්ලෙක් ඇවිත් අයියාගේ ළඟින් සිට ගත්තා. 
ඒ දෙස හැරුනු අයියා සසී මේ මගේ නැතිවුන නංගිගේ හොඳම යාළුවෙක් චාරු.
මට මොනවදෝ වෙනවා වගේ මට දැනෙන්න අරන්.
චාරු නංගී.. මේ මගේ වයිෆ් සශිකා.. මට හීනෙන් වගේ සමින්ද අයියගේ කට හඩ ඇසුනා...
෴කතාව හා රැඳුන සැමට ස්තූතියි෴

Tuesday, September 20, 2011

හීටරය තව හැඩ කර අමතර ප්‍රයෝජනයකුත් ගමුද?......

මතකද ඔයාලට මම ඒ දවස්වල ලීව අපේ වැඩ අපිම කරගනිමු පෝස්ට් සීරිස් එක. මේකත් ටිකක් ඒ වගේ එකක්. :D 
ඔන්න අපි කරන්න යන්නේ වතුර උණුකරන හීටරයට වල්ගයක් එකතු කරගන්නා ආකාරයයි. අවසානයේ අපිට ලස්සන හීටරයක් නිම කරගන්න පුළුවන්. නමුත් මෙය සාර්ථක වන්නේ ඔබේ වාසනාව හා හැකියාව මතයි. ප්‍රධාන වශයෙන් වාසනාවම තමා. මෙය අත්හදා බැලීමට පෙර මේ පෝස්ට් එක මුල සිට අගටම කියවන්න. නැතිනම් අත්වැරදීම් සිදුවේ. 
*ඉතා වැදගත්. කුඩා ළමුන් මෙය අත්හදා බැලීමෙන් වලකින්න.
එහෙමනම් බලමු මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය.
සාමාන්‍ය විදුලි හීටරයක් හා ස්ටෙයින්ලස් ස්ටීල් ජෝගුවක්.
01 මේ රූපයේ ආකාරයේ ඒවා හොඳටම ප්‍රමාණවත්. මේ සඳහා ප්ලාස්ටික් ඒවා ගන්න එපා. ස්ටෙයින්ලස් සටීල්ම ගන්න.

02 විදුලි සැපයුමක්.
03 පරිගනකයක් හෝ පොතක්.
04 පරිගනක මේසයක් හෝ පොත කියවන්න මේසයක්.
05 ජෝගුවෙන් 3/4 පමණ පිරෙන්න ජලය.
06 ඔර්ලෝසුවක්.
07 පොතක් හෝ කඩදාසියක්.
08 පෑනක් හෝ පැන්සලක්

පළමුව විදුලි සැපයුම අවට ඇති සියලු දේ ඉවත් කරන්න. දොර ජනෙල් තිර ආදිය පවා. ඉන්පසු ජෝගුවට ජලය දමන්න. හීටරය දමා විදුලිය සම්බන්ධ කරන්න. ස්විච් එක ක්‍රියාත්මක කරන්න. ඔර්ලෝසුවේ වෙලාව බලා එය පොතේ හෝ කඩදාසියේ සටහන් කරන්න. හීටරයේ සිට මීටර් 3ක් පමණ දුරින් එයට විරුද්ධ පැත්තට හැරී වාඩිවන්න. පොත කියවන්න පටන් ගන්න. පරිගනකයේ නම් මගේ මතකයේ පෝස්ට් 10ක් පමණ කියවන්න. බය වෙන්න දෙයක් නෑ පෝස්ට් 120කට වඩා තියනවනේ.
මේ ආකාරයෙන් පැය 1/2ක් විනාඩි 45ක් පමණ කාලයක් ගත කරන්න. මේ අතර ඇතිවන චර චර ශබ්දය සාමාන්‍ය දෙයක් ලෙස සලකන්න. අතර මැදින් ට්‍රිප් ස්විච් එක ඕෆ් වුනොත් තවත් කාලය වැය කිරීමෙන් පලක් නෑ හීටරය පරීක්‍ෂා කර බලන්න. නැතිනම් විනාඩි 30ක් 45ක් පමණ කාලයකට පසුව පරික්‍ෂා කර බලන්න.
පහත රූපයේ ආකාරයෙන් හීටරය ඔබට ලැබේවි.

දැන් බලමු මෙහි ඇති අමතර ප්‍රයෝජනය කුමක්ද කියා......
රූපය බලන්නකෝ....
ඔව් මේ රූපයේ පේන්නේ තඹ බෝල. මේවා ජෝගුවේ පතුලේ තැම්පත් වෙලා ඇති. මේවා ඔබේ හදිසි තඹ අවශ්‍යතාවයකට ගන්න පුළුවන්. නැතිනම් කාලයක් එකතු කලොත් තඹ එකතු කරන වෙදෙන්දෙකුට විකුණා මුදල් උපයන්නත් පුළුවන්. හැබැයි මතක තියා ගන්න මේවා මෙහෙම ලැබෙන්නේ ඔබේ වාසනාව මත බව.
පොඩ්ඩක් හෝව්. පෝස්ට් එක ඉවර නෑ. 

ඔය තියෙන්නේ වලිගය සහිත හීටරයේ සම්පූර්ණ පින්තූරයක්.
ගිනි ගැනීම් නිසා සිදුවන අනතුරු සඳහා වගකියනු නොලැබේ. කුඩා ළමුන් මෙය අත්හදා බැලීමෙන් වලකින්න. දැනටමත් ඔබ මේ වසනාව උදා කරගත් අයෙක් නම් ඒ බවත් කියලම යන්න.

එහෙනම් මම ගියා. සුභ දවසක්..!!!

Friday, September 16, 2011

Audacity සවුන්ඩ් රෙකෝඩ් කරන්න නොමිලේ සොෆ්ට් වෙයාර් එකක්

ඔබේ විවිධ අවශ්‍යතා සඳහා පරිගනකයට ශබ්ද රෙකෝඩ් කරන්නත්. ඒවායේ අඬ අඩු වැඩි කරන්න, මිශ්‍ර කරන්න සිදු වෙනවා නේ. ඒ සඳහා විවිධ ඇප්ලිකේෂන් භාවිතා කරනවා. මම අද කියන්න යන්නේ එසේ භාවිතා කරන් පුළුවන් නොමිලේ ලබා දෙන ඇප්ලිකේෂන් එකක් පිළිබඳවයි. මේ දිනවල බස් රේඩියෝව සමග කටයුතු කරන නිසා මටත් මෙයින් ගොඩක් ප්‍රෙයෝජන ගන්න පුළුවන් වුනා. මෙය හඳුන්වන්නේ Audacity නමින්. මෙය Windows, Linux මෙන්ම Mac OS සමගත් භාවිතා කරන්න පුළුවන් http://audacity.sourceforge.net/ වලින් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙත් මම ඔයාලගේ පහසුව වෙනුවෙන් මෙය මීඩියාෆයර් වලට දැම්මා. අවශ්‍ය අයෙකුට අදාල සියලු ෆයිල් මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. lame_enc නමැති ෆයිල් එක පහසුවෙන් සොයා ගන්න නම් මගේ මීඩියා ෆයර් ලින්ක් එකෙන්ම ගන්න. එය MP3 ලෙස ඕඩියෝ ෆයිල් සදා ගැනීමට අවශ්‍ය වේ.
ඉන්ස්ටෝල් කිරීම පහත ආකාරයට කළ හැක.
පළමුව audacity-win-1.2.6 මගින් සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්පසු ඉතිරි සපෝට් ෆයිල්ස් ඉන්ස්ටෝල් කරගන්න.

සාමාන්‍යෙයන් මෙය ඔබේ C:\ ඩ්‍රයිව් එකටයි ඉන්ස්ටෝල් වන්නේ. අවශ්‍ය නම් ඉහත වින්ඩෝ එකේදී ඩ්‍රයිව් එක මාරු කරන්නත් පුළුවන්. 
 ඉන්පසු ඉතිරි සපෝට් ෆයිල්ස් ඉන්ස්ටෝල් කරගන්න.
දැන් Audacity ලෝඩ් කර බලන්න. පහත ආකාරයට පෙනේ.

මෙයින් කරන්න පුළුවන් වැඩ ගොඩයි. එහෙත් මම අද කියන්න යන්නේ ඔබේ හඩ මයික් එකෙන් රැගෙන මෙයින් රෙකෝඩ් කරගන්නා ආකාරයයි. ඉන් පසු අපි එය MP3 ලෙස සේව් කරගන්නා ආකාරයත් බලමු. මෙසේ රෙකෝඩ් කරන්න Windows වලම Sound Recorder වලින් හැකියාව ඇතත් එයින් උපරිම තත්පර 60ක් පමණයි පටිගත කරන්න පුළුවන්. ඒ නිසයි මම මෙය තෝරාගත්තේ.
හොඳයි අපි දැන් කරන විධිය බලමු.
පරිගනකයට මයික්‍රෆෝනය සවි කර Audacity ලෝඩ් කරගන්න.  ඉන්පසු Record button එක ක්ලික් කරන්න.
රූපයේ ආකාරයට රෙකෝඩ් වනවා ඔබට පෙනෙයි.

 

රෙකෝඩ් කර අවසන් වූ පසු Stop button එක ක්ලික් කරන්න.

දැන් රෙකෝඩ් කර අවසන්. දැන් අපිට මෙය MP3 ලෙස Export කල යුතුයි. මෙහිදී  lame_enc නමැති dll ෆයිල් එක ( lame_enc.dll) අවශ්‍ය වන නිසා කලින්ම ඉහත Audacity ඉන්ස්ටෝල් කල ෆෝල්ඩර් එකට මෙම ෆයිල් එක කොපි කරගන්න. සාමාන්‍යෙයන් C:\Program Files\Audacity වලට යන්න. මෙය ඔබ වෙනත් ඩ්‍රයිව් එකක ඉන්ස්ටෝල් කලානම් අදාල තැනට කොපි කරගන්න. (එහෙත් මෙය මෙම ෆෝල්ඩර් එක තුලම තිබීම අවශ්‍ය නැත. ඔබට අවශ්‍ය ඕනෑම ලෝකල් ඩිස්ක් එකක තබා ගත හැකිය.
දැන් File මෙනු එකට ගොස් Export As MP3 තෝරන්න. එවිට අදාල ෆයිල් එක සේව් කිරීමට ලොකේෂන් එකක් හා ෆයිල් නේම් එක දෙන්න. ඉන් පසුව ප්‍රථම වරට පමණක්  lame_enc.dll ෆයිල් එක සොයයි. දැන් ඔබ අදාල ෆයිල් එක ස්ථාපනය කළ ලොකේෂන් එක සොයා ෆයිල් එක සිලෙක්ට් කරන්න. දැන් සියල්ල හරි. අවශ්‍ය නම් ෆයිල් ඩීටේල්ස් ලබා දෙන්න.

දැන් ක්ලිප් එක ප්ලේ කරල බලන්නකෝ. 
මෙයින් ගන්න පුළුවන් තවත් ප්‍රයෝජන නම් ගණනාවක් තියනවා. ඒවා එකින් එක උත්සාහ කර බලන්න. තවද මෙයටම අවශ්‍ය නම් Project--> Import Audio මගින් පසුබිම් සංගීතයක් මුසු කරන්න පුළුවන්. අනවශ්‍ය කොටස් කපා දමන්න. වෙනත් කොටස් එකතු කරන්න. ගොඩක් වැඩ කරන්න පුළුවන්. 
ඔන්න මම පොඩි වැඩක් කියනවා. කැමතිනම් මේ ඉරිදා අපේ බස් රේඩියෝවේ ආදරණීය නිශාන්තයට ඔබේම හඬින් ගීත ඉල්ලීමක් කරන්න පුළුවන්. මේ ආකාරයට MP3 ක්ලිප් එකක් සාදා request@buzzradio.lk වෙතට යොමු කලොත් අපි එය ආදරණිය නිශාන්තයෙන් විකාශය කරනවා.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්...

Thursday, September 15, 2011

සමුගන්නම්.....04

සමින්ද අයියා...
මං ගැන ගොඩක් බලාපොරොත්තු තියන් සිටි අයෙක්. කොච්චර හොඳ කෙනෙක් උනත් මගේ සිත එයා ළඟට ගියේම නෑ. ඒ ඇයි කියන්න මං දන්නෙත් නෑ. එයා කවදාවත් කෙනෙක්ගේ හිත රිද්දන කෙනෙකුත් නෙවේ. ඒ වගේම හරිම නිහඬ චරිතයක්. කෙල්ලොත් එක්ක ආශ්‍රයක් නම් ඇත්තේම නැද්ද කොහේද. මම කවදාවත්ම දැකල නෑ කෙල්ලෙක් එක්ක විනාඩි පහකට වඩා කතා කරනවා. ඒත් මොන හේතුවක් නිසාද දන්නේ නෑ මාත් එක්ක නම් කතාව නවත් වන්නේම නෑ. මම මූණ ඇද කරන් හිටියත් ළඟට ඇවිත් "ඇයි චාරු නංගි? මොනව හරි ප්‍රශ්නයක්ද? " කියා අහන්න තරම් කාරුණිකයි. ඒත් කිසිම දවසක ආදරේ ගැන කතා කරන්න ආවේනෑ. 
එයා මගේ හොඳම යාළුවෙක් වූ තරුෂිගේ අයියා. ඒ අයියා අපිත් එක්ක හිත්වත් වුනෙත් සවස ක්ලාස් ඉවර වෙලා තරුෂිව ගෙදර ගෙනියන්න ඇවිත්මයි. තරූ මතක් වෙලා ආයෙම ඇස් වලට කඳුළු එන්න ගත්තා. අපේ හොඳම යාළුවෙක් වූ තරූ ඩෙංගු වලින් අපි හැර යන්න ගියේ අවුරුදු දෙකකට කලින්. අපි තරූගේ මළ ගෙදර යනවිට සමින්ද අයියා හිටියේ තවත් අඬන්න බැරි තරම් හෙම්බත් වෙලා. එයා තරුට තිබුන ආදරේ අපි හොඳටම දන්නවා. ඒ දෙන්නා අයියයි නංගි උනාට පාරේ යද්දි ගොඩක් අය හිතන්නේ කපල් එක්ක කියා. අයියා නංගිව පාර ක්‍රොස් කරවන්නේ අතින් අල්ලන්. ඒ තරම් ආසරෙයි. තරුත් එහෙමයි. අයියාට සනීප නැතිව දවසක් තරූ පන්ති ආවෙත් නෑ. අපි ඇහුවම අයියා ගෙදර ඉඳිද්දි එන්න බෑ චාරු. අයියට කතා කරන්න ඉන්නෙත් මං විතරනේ. ඉතින් මම අයියගේ තනියට ලඟ හිටියා කීවා. ඒ වෙලාවේ මට නම් හිතුනේ මටත් අයියෙක් හිටියනම් කියායි. 
අපි මළ ගෙදර ආ බව දැක්කම සමින්ද අයියා ආයෙම අඬන්න ගත්තා. එය දැක්කම තිළණිත් ඇඬුවා. මගේ ඇස් වලට කඳුළු ආවත් ඒ දිනවලත් මම සාමින්ද අයියා මග හරිමින් සිටි නිසා මම ඇස් සඟවා ගත්තා. තරූගේ මරණයෙන් පස්සේ මම හිතුවේ ආයෙත් සමින්ද අයියා දකින්න ලැබෙන එකක් නෑ කියල. තරූ නැතිවුන එක නම් දුකයි තමා. ඒත් ආයේ සමින්ද අයියා එන්නේ නෑ නේ. එකනම් හොඳයි. පවු තමා. එයා දුකින් ඇති. මට අවංකවම දුකක් දැනුනත් කිසිම වෙලාවක එයාට මුහුණ දෙන්න නම් කැමැත්තක් තිබුනේම නෑ. 
එහෙත් තරූගේ මරණයෙන් මාස දෙක කට පමණ පසුව දවසක අපි පන්ති අවසන්ව එලියට එන විට අප දෙස බලා සිටියේ සමින්ද අයියා. "චාරු නංගි.... නංගිලා ටිකකට එන්නකෝ" අයියා කතා කලේ අපි හැමෝටම. මොකද කරන්නනේ මම පසුපසින් සිටි තිළිණිගෙන් රහසින් වගේ ඇසුවා. 
"පවු බන් ඒ අයියා. අපි කතා කරල යමු නැති නම් හොඳ නෑනේ. අනික ඒ අපේ හොඳම යාළුවා තරුගේ අයියනේ. සාමින්ද අයියා කොච්චර හොඳ කෙනෙක්ද?"
මටත් වෙන කරන්න දෙයක් තිබුනේම නෑ. ඒ නිසාම මමත් තිළිණිලා එක්ක නොදැනීම වගේ නතර උනා.
අයියාගේ ඇස් වලට අපි බලා සිටියදීම කඳුළු ආවා. ඒවා යටපත් කරන්න ඔහුට කිසිම අවශ්‍යතාවයක් තිබුනේම නෑ. වෙනදා මුහුණේ ඇති හිනාව මාස ගානකින් මුහුණට ඇවිත් නැති බව හොඳටම පෙනුනා.
"මං ආවේ නංගිලා බලල යන්න. නංගිගේ තුන් මාසේ දානෙත් ලබන මාසෙට එනවා. අම්මලා කීවා ඔයාලට කියන්නම කියා. මං ආවේ එකටත් එක්ක. ඒ නැතත් නංගි නැති උනායින් පස්සේ මට ඉතුරු උනේ ඔයාල විතරයි. මට ඔයාලත් දැන් මගේ නංගි වගේමයි. මගේ නංගිට වගේම ඔයාලටත් ඕනි දෙයක් කරන්න මම කැමතියි. එහෙම කලාම මට මගේ නංගි ඉන්නවා වගේ දැනෙයි"
"ඉතින් අයියේ අපෙන් මොනවද කෙරෙන්න ඕනි. තරූ වෙනුවෙන්." තිළිණි ඇසුවා. 
"මොනවත් ඕනි නෑ එදාට ඔයාල ඇවිත් අපේ නංගි වෙනුවෙන් මේකට අපිත් එක්ක සහභාගි වෙන්න. පැමිණිමයි අපේ බලා පොරොත්තුව. ඔයාල ආවම අපේ නංගි තාම ඉන්නවා කියල අපිට දැනෙයි. එයා ඉන්න කාලේ ආව ඔයාල දැන් එන්නේ නැති උනාම අපිට එයා නෑ කියන එක වැඩියෙන් දැනෙනවා"
දැන්නම් අයියාගේ ඇස් වලින් කඳුළු ගලා යයි. 
"මම ගිහින් එන්නම්"
ඔහු පොළවට බරව පාද තබමින් යන්නට ගියේය. මටත් මහා දුකක් දැනුනා. අපි කිසිම කතාවක් නැතිව යන්නට "පිටත් වුනා. අපි වැරදියි නේද චාරු" තිළිණි ඇසුවා. "ඇයි?" 
" නෑ අපි තරු මළාට පස්සේ නිකම් වත් ඒ පැත්තේ ගියේ නෑනේ"
"උඹට පිස්සුද? එහෙම යාළුවා නැතිනම් යන එක හරිද? අනික කොල්ලෙක් ඉන්න ගෙදරකට"
"අනේ මන්දා"
"ලොකූ තේ බොන්න එන්න" අම්මාගේ හඬින් මගේ කල්පනාව බිඳුනා. 
තේ බොන්න හැලප සදා තිබුනා. පසු ගිය දිනවල නම් කන්න කිසිම ආසවක් නොතිබුනත් අද නම් හැලප දැක්කම කන්න ආසාවක් ආවා. හැලප දෙකක්ම කාල තේ එක බීව මම මිදුලට ගියේ ටිකක් ඇවිදින්නයි.
කොහේදෝ සිටි ශැගියා දිව විත් ඇඟට පැන්නේ කාලෙකින් මම ඌ සුරතල් නොකල නිසා වෙන්න ඇති. උගේ හිස අතගා සුරතල් කල මම මිදුලේ කෙළවර ඇති බංකුව වෙත ගියේ නිදහසේ ටිකක් ඉන්න සිතාගෙනයි. ශැගියා නැවත ඇවිත් මගේ දෙපා ළඟින් නිදා ගත්තේ මගේ දුක බෙදා ගන්න වගෙයි.
හෙට යන්න ඕනි තිළිණි බලල එන්න. කාලෙකින් එහෙ යන්න බැරි උනා. 
ඉස්සර නම් අපි පාඩම් කරන්න සෙට් වෙන්නේ තිළිණි ලාගේ ගෙදරට. නැතිනම් සෙය් එකම අපේ ගෙදර එනවා. පාඩමට වඩා කයිවාරුවමයි. ඒත් අම්මා කවදාවත් බනින්නේ නෑ. ගොඩක්ම සද්දේ වැඩි දවසට විතරක් ළමයි ඔහොමි ගිහින් පුළුවන් වෙයිද මේ කෝස් එක හොඳට කරන්න කියල අහන්නෙත් හිනා වෙවී. ඒත් අම්මා ළඟදී නම් මා එක්ක හිනා වුන දවසක් මතකම නැති තරම්. මගේ යාළුවෝ ටිකත් ඉක්මනින්ම මගෙන් ඈත් වුනා. කට්ටයම තාම තිළිණි ලාගේ ගෙදරට නම් මාසෙකට සැරයක් විතර සෙට් වෙනවාලු. ඒත් මුල් දින වල මට එන්න කීවත් පසුව නම් කතා කලේම නෑ. ඒත් ඒ කිසිවකට උන්ට වරදක් කියන්න බෑ. දිනේශ්ට ලංවූ පසුව මමයි එයාලගෙන් ඈත් වූයේ. මට බයක් හිතුනා කවුරු හරි මගේ යාළුවෙක් දිනේශ්ට ලංවෙයි කියා. ඒ නිසා මම කලේ ඔවුන්ගෙන් ඈත් වෙන එකයි. අන්තිමේ මට උනේ විශ්වාස කල ආදර වන්තයා නැති වෙනකොට යාළුවන්ගෙන් මම විසින්ම අයින් වෙලා තිබුන එකයි. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. තිළිණ කතා කළ නිසාත්. ඒ පැත්තේ එන්න කීව නිසාත් ගිහින් කතා කරන එක හිත සැහැල්ලු කරගන්න හොඳ උපක්‍රමයක් බව මට හිතුනා. 
අහස කළු වෙලා. අකුණුත් ගහනවා. වැස්සක් අත ළඟයි. සෙමෙන් පින්නක් වැටෙන්නත් පටන් අරන්. ඒත් මට වැස්සට තෙමෙන්න ආසාවක් ඇති වුනා. මට මතක් වෙනවා මේ වගේම වැස්ස දවසක්. මම දිනේශ් එක්ක කුඩයක් නැතිව හොඳටම වැස්සට තෙමුන දවස. ඒ තරම් නම් කවදාවත්ම තෙමිලා නැතිව ඇති. ඒත් එදා ඒ වැස්ස අපිට ආසිරි පතන්න වැස්සා කියලයි මම නම් කීවේ. ඒ ආශීර්වාද දිය වෙලාම ගියේ වැස්සක් නැතිවමද?
ආයෙත් නම් එහෙම වහින්න එපා දෙයියනේ......
මීට කලින් දවසකත් මේ වගේම වැස්සකට මම කොටුඋනේ පංති යන දවස්වල. තරූ මැරිල මාස හයකට විතර පසුව දවසක ඒ සිදුවීම උනේ. ඒ දවස්වල මම දිනේශ් දන්නේ නෑ. මම වැස්ස නිසා පාරේ බස් හෝල්ට් එකේ නැවතිලා හිටියේ. එදා මම හිටියේ තනියම. යාළුවෝ කවුරුත් නෑ. මට එහා පාරේ බස් නැවතුමෙන් බස් එකට නගින්න තියෙන්නේ. ඒත් මේ තද වැස්ස එක්ක යන්න බෑ. බස් එකටත් වෙලාව හරි. බස් එක අල්ලන්න බැරි උනොත් තව පැයක් ඉන්න වෙනවා ඊළඟ බස් එකට. ඒ වෙලාවේ බස් හෝල්ට් එකේ සිටි හොඳටම බීමත් මිනිහෙක් මා දිහා අමුතු විධියට බලන්න ගත්තා. දැන් නම් මාව ගැහෙනවා. මගේ පපුව ගැහෙන සද්දේ මටම ඇහෙනවා. ඒ වෙලාවේ තමා සමින්ද අයියා පාරේ එහා පැත්තෙන් ආවේ. මාව දැකල බස් හෝල්ට් එකට ආවා. අර බීමත් මනුස්සයා දැක්කා විතරයි අයියා ඇතුලටම ඇවිත් "ඇයි නංගි අද මේ හෝල්ට් එකේ" කියා ඇසුවා.
"වැස්ස අයියා. කුඩයක් නෑ"
"ඔයාට අනික් හෝල්ට් එකට නේද යන්න ඕන. එහෙනම් මගේ කුඩේ අරන් යන්න" කියා කුඩේ දුන් අයියා බස් හෝල්ට් එකේ නැවතුනා. ඒ කුඩේ මට දෙන්න විධියක් නැතිව තාමත් මගේ ළඟ. මම කල්පනාවෙම යන්තම් වැස්සේ තෙමි තෙමී බංකුවේ කල්පනාවක....
"ලොකූ තෙමිල ලෙඩ වෙන්නද හදන්නේ. මෙහේ එනවා ළමයා ගෙට"
අම්මාගේ හඬින් සිතිවිලි ලෝකයෙන් අවදිවූ මම කාමරයට දුවගෙන ආවා..
--මීළඟ කොටසින් හමුවෙමු--

Saturday, September 10, 2011

සමුගන්නම්.....03

කියන්න තිළිණි..
චාරු මම ඔයාට කතා කලේ දිනේශ් ගැන දෙයක් කියන්න. එයා ඔයාට කෝල් කලාද චාරු?
තිළිණි ඔයා ඒක මගෙන් අහන්නේ එයා ඔයාගේ හොඳ යාළුවෙක් නේද?
ඒක ඇත්ත චාරු ඒත් ඔයා දන්නවානේ මම ඔයාගෙත් හොඳ යාළුවා කියා. එහෙම වෙලත් මම ඔය දෙන්නට උදවු කලේ නැත්තේ ඇයි කියා ඔයා දන්නවාද?
මම කොහොමද දන්නේ..
මට දැන් නම් කේන්තියක් දැනේ. මේකිට මොනවා වෙලාද? මේකි තමා මේ හැම දේම තරන්න ඇත්තේ. දැන් එනව ඇති හොඳ එකී වෙන්න.
චාරු ඇයි කෙල්ලේ කතා නැත්තේ. මම හැම දේම දන්නවා. ඒකයි මම ඔයාට කතා කලේ.
හ්ම්ම් එහෙනම් කියන්න.
ඔය දිනේශ් ගෙයි තුෂාරිගෙයි එෆෙයාර් එක දැන් මාස හයක් වෙනවා.
හෑ මොනවා!
හ්ම්ම් ඔව්. .... ඒත් මම ඕක කීවට ඔයා විශ්වාස කරන්නේ නැති බව දන්න නිසායි මම කීවේ නැත්තේ. ඔයාට ඒ දවස්වල දිනේශ් ට වඩා කවුරුත් හිටියේ නෑ නේ. මම ඕක සුමීටත් කීවා. ඔයා දන්නවානේ සුමී ඔයාට හැම වෙලේම ඔය සම්බන්ධෙට විරුද්ධ උනා කියා. ඔයා එහෙම කියනවට සුමීටත් බැන්නා නේද? ඉතින් මම ඔයාට කීවට ඔයා පිළිගන්නේ නැතිවෙයි කියලයි මම හිතුවේ. දැන්න නම් මට හිතෙනවා මමත් මේක දැනගෙන නොකියා හිටිය එක වැරැද්දක් කියල. බැරිම තැනයි මම ඔයාට මේ කතා කරන්න හිත හදා ගත්තේ. ඒත් මම දන්නවා මම පරක්කු වැඩියි කියල. අනික ඔය දිනේශ් කෙල්ලෙක්ට ඔහොම කළ පළවෙනි වතාවත් නෙවේනේ. එයා කලින් එෆෙයාර් ගැන ඔයාට කියල තියනවද?
ම්හු නෑ. එයා කීවේ මම තමා එයාගේ පළවෙනි ගර්ල් කියල...
නෑ..... මොනවා........!
ඔව් ඇයි මම ඔයාට බොරු කියන්නේ...
හ්ම්ම් වෙන්න ඇති. එයාට ඔයාට කලින් මම දන් විධියට කෙල්ලෝ තුන් දෙනෙක් හිටියා. නෙදැන කීයක් හිටියද දන්නේ නෑ.
අනේ ඇයි තිළිණි කොල්ලෝ එහෙම කරන්නේ...?
අනේ මම දන්නේ නෑ චාරු. ඒත් ඔයා බලන්න මගේ ශානක. එයා කවදාවත් වෙන කෙල්ලෙක් දිහා බලන්නේවත් නෑ. එහෙම කොල්ලොත් ඉන්නවා. හැබැයි හොයන්න තමා අමාරු...... මේ ඒක නෙවේ මට තේරෙනවා ඔයා ඉන්න තත්වය. මටත් ඔය දේ කලින් උනානේ. මම දන්නවා විඳින්න තියන අමාරුව. ඔයා හෙට මොනවද කරන්නේ?
මොනවත් නෑ ගෙදර පොත් ටිකක් තියනවා. ඒවා කියවනවා.
උඹට කරදරයක් නැතිනම් මායි සුමීයි හෙට එන්නම් උඹ බලන්න.
අනේ වරෙන් තිළිණි. ඒක නම් ලොකු දෙයක්. මට තනිකම ගෙවා ගන්න බැරිව ඉන්නේ. 
මගේ ඇස් නැවත තෙත් වන්නට විය. මම හිතා සිටි බොහෝ දේ වැරදිය. තිළිණි හා සුමී මගේ හොඳ යාළුවන්ය. ඒත් මම හිතුවේ ඔවුන් දිනේශ් හැන්ඩ්සම් නිසා ඉරිසියාවට මට විරුද්ධ වෙනවා කියාය. අනේ ඒ දවස්වලම මම මෙයාල කීව දේ ඇහුවනම් අද මට අඬන්න වෙන්නේ නෑ නේද? මට දැන් නම් ඉකි ගැසෙන්නේ දිනේශ් ගැන නොවේ. මේ වගේ චපල හිතක් ඇති මිනිහෙක් පණ වගේ විශ්වාස කළ මං මොන තරම් මෝඩියක්ද කියායි. 
චාරු උඹ අඬනවා නේද? අඬන්න එපා කෙල්ලේ. මේ තමා ඇත්ත. හමුවීමක් එක්ක වෙන් වීමක් තියනවා. ඒක සමහර විට සතියකින් දෙකකින් මාසෙකින් දෙකකින් වෙන්න පුළුවන්. සමහර විට මැරුනම වෙන්න පුළුවන්. සමහර විට නිවන් දකින කම් ආත්මයක් පාසා එකට ඉන්න පුළුවන්. ඒත් එදාට හරි වෙන් වෙනවා. උඹ ඔය තරමින් බේරුනා කියා සතුටු වෙයන්. අඩන්න එපා චාරු අපි ඔයා එක් ඉන්නවා. හැමදාටම.
මං තියන්නම් චාරු ටිකක් නිදා ගනින්...
හොඳයි තිළිණි. තැන්ක්ස් අනේ කෝල් කළාට..
තිළිණ කී දේ ඇත්තය. ශානක දිනේශ් එක්ක ගත්තම කොල්ලෙක්ද කියා මට ඒ දවස්වල හිතුනා. ඒත් ශානක තිළිණිට පණ මෙන් ආදරේ කරයි. තිළිණි ඇත්තටම ඉන්නේ ලොකු සතුටකින්. ඇත්තටම ඇත්ත ආදරේ තියෙන්නේ හිත් ඇතුලේ නේද? මම රැවටුනේ පිට ඔපයට නේද? පිටින් ලස්සන කොල්ලෝ කෙල්ලෝ හිතින් ඇත්තටම ලස්සනද? 
මගේ සිතිවිලි වලට කිසි පිළිවෙලක් නැත. මතකයන් ඇවිස්සෙන්නේ එක එක තැන් වලින්. ඒත් ඒ හැම දෙයක් තුලම ඇත්තේ කළකිරීම පමණකි. ඇත්තටම දිනේශ් මාස පහක් තිස්සේ දෙන්නෙක්ට ආදරේ කරල. කොහොමද එහෙම කරන්නේ? මට මෙච්චර මාව රවටලත් තාම දිනේශ් හිතෙන් අයින් කරන්න බැරි හැටියක්. මට හිතෙන්නෙම එයා ආයේ එයි කියලමයි. සමහර විට එයා මා එක්ක යාළු වෙන්න ඇත්තේ තව කෙනෙක් එකක් යාළු වෙලා ඉන්න අතරම වෙන්න ඇති. ඔව් එහෙම වෙන්න ඇති. එක තමා මුල් කාලේ එයාගේ ෆෝන් එක බිසී උනේ. මම කෝල් කරන ගොඩක් වෙලාවට ෆෝන් බිසී උනේ ඒකයි. ඒත් එයාගේ ජොබ් එක් එක්ක මම හිතුවේ එයා කීවා වගේම ඔෆිස් එකෙන්, නැතිනම් කස්ටමර් කෙනෙක් කොල් කරනවා කියලනේ. පස්සෙ නම් ගන්න ඕන වෙලාවක ආන්සර් කළා. අන්තිම කාලේ ආයෙම බිසී උනේ තුෂාරි එක්ක කතා කරනවා ඇති. මට මගේ තැන ආක්‍රමණය කළ කෙල්ල ගැන පළමු වතාවට කේන්තියක් වෙනුවට දුකක් ඇති උනා. අනේ තුෂාරි මට ඔයාට කතා කරන්න ඕනි. ඒත් මම ඔයා කවුද කොයි වගේද? මොකක්ද කන්ටැක්ට් නම්බර්? ඔයාව මම කොහොම හරි ඔතනින් ගන්නවා. නැතිනම් ඔයාටත් වෙන්නේ මට උන දේම වෙන්න පුළුවන්. සමහර විට තිළිණි විස්තර දන්නවා ඇති. හෙට ආවම එයාලගෙන් අහන්න ඕනි. මම වගේ අවුරුද්දක්ම ආදරේ කලොත් එයාට දැනෙන දුක වැඩි වෙයි. මාස හයක් නිසා තවත් කල් යන් දෙන්න හොඳනෑ. ඒත් එයා මම කියන දෙයක් විශ්වාස කරන එකක් නෑ. එයා හිතයි මම එයාගෙන් දිනේශ් උදුරගන්න එහෙම කියනවා කියා. සාක්ශි නැතිව එහෙම කීවාට පලක් නෑ. මට  මගේ ෆොටෝ ඇල්බම් එකේ දිනේශ්ගෙයි මගෙයි ෆොටෝ තියන නිසා නොබලාම පුච්චන්න හිතා හිටියත් ‍මෙයින් තවත් කෙනෙක් ගලවා ගන්න පුළුවන් නම්...
මම ඇල්බම් එක සීරුවෙන් පෙරලන්නට වීමි.
ක්ලාස් එකේ කෙල්ලෝ එක්ක ගත්ත පින්තූර රැසක්ම මුලින් තිබුනා. ඇත්තටම ඒ කාලේ කොච්චර ලස්සනද? ආදරයක් ගැන හිතේ හාංකවිස්සියක් නොතිබුනු කාලේ. ක්ලාස් ඉවර වෙලා කෙල්ලෝ ටික අයිස් ක්‍රීම් කන්න ගිය ෆොටෝ. කොල්ලෝ වගේ කවුරුත් නැති දවසක අඹ ගහකට ගල් ගසා අඹ කඩන් කෑ දවස. සුමීගේ ෆෝන් එකෙන් ගත්ත ඒ ෆොටෝ එක අම්මා දැක්කම කීවේ ලොකු කොල්ලෙක් වගේනේ අඹ ගහට ගල් ගහන්නේ. ගෑණු ළමයෙක් කරන වැඩද මේ කියා. ඒත් ඒ වෙලාවේ අම්මාගේ හිතේ තිබුනේ ලොකු ආදරයක් විතරයි. අම්මා මා එක්ක තිබුන බැඳීම අඩු උනේ දිනේශ් එක්ක යාළු උනාට පස්සේ. කොච්චර නම් අම්මා එපා කියන්න ඇතිද? ඒත් මම නෙවේ කියන කිසි දෙයක් සතේකට මායිම් කලේ. ඒ කියා අම්මා බනින එක ටිකක් වත් අඩු කලේ නෑ. 
ඔච්චර විශ්වාස නම් එන්න කියනවා දෙමාපියන් එක් මෙහේ. දවසක් අම්මයි අප්පච්චියි කීවත් දිනේශ් කිසිදා අපේ ගෙදර එන්නට සිතුවේ නැත. ඒ සෑම අවස්ථාවකම කීවේ ඇයි නැත්තේ "මම එන්න මග බලන් ඉන්නේ. කොහේද අම්මිට පුළුවන් දවසක තාත්තට බෑ. එයාට පුළුවන් දවසට අම්මිට බෑ. ඉක්මනට දෙන්නත් එක්කම එන්නම් කෙල්ලේ. ඔයා බය වෙන්න එපා. මම අනිවාර්යයෙන් එනවා. ඒත් අම්මියි තාත්තයි නැතිව පළවෙනි පාර එන එක හරි මදිනේ." මට ඒ වදන් ඇත්තම ඇත්ත විය. ඔහු කොතරම් කපටියෙක්ද? අහිංසක මගේ හිත කොතරම් මේ ආකාරයට රවටන්න ඇතිද? අම්මිට පෙන්නන්න කියා මගේ ෆොටෝ එකක් අරන් ගියා. පසුදා එය ගෙනත් දී කිවේ "අම්මා කීවා කොහෙන්ද මේ කුමාරිකාව හොයාගත්තේ. මගේ පුතා වාසනාවන්තයා" ඕවා අමූලික බොරු වෙන් ඇති. ඕනිනම් යාළුවන්ට පෙන්වලා කොහොමද මගේ වැඩ කියන්න ඇති. මම අපි දෙන්නගේ ෆොටෝ එක යාළුවන්ට පෙන්වලා ආඩමිබරෙන් කලා කළා වගේ. ඒත් අද.......
නැවත හෙමින් පිටු පෙරලන්නට ගතිමි. මගේ මතකයෙන් ඈතටම ගිය සමහර කෙල්ලෝ .. අනේ මං මේ බොරු කාරයෙක් හින්දා උඹලා හැම දෙනාම අමතක කලා නේද? උඹලා මට සමාව දෙනවද? උඹලා තමා ඒ දවස්වල මට තිබුන ලොකුම සම්පත්. ඒත් අම්මා අප්පච්චි කවදාවත් උඹලා එක් ඉන්නවාට වචනයකින් විරුද්ධ වෙලා නෑ. උඹලා අපේ ගෙදර ආ නිසා ඒ දෙන්නා හොඳටම දන්නවා උඹලා හොඳ කෙල්ලෝ කියා. අම්මලා කැමති උනේ නැත්තේ වරුණි එක්ක ආශ්‍රයට විතරයි. කොහොමත් එයා වැඩි කාලයක් අපිත් එක්ක හිටියෙත් නෑනේ. 
ක්ලාස් එකේ අන්තිම දවසේ පාටියේ ෆොටෝ ටික තාමත් එලෙසම තියනවා. එදා තරම් සන්තෝස වෙච්ච දවසක් මට මතක නැතිව ඇති. දිනේශ් හමු වූ පසු මම සතුටින් කීවාට හිතේ යට මොකක්දෝ බයක් තිබුනා. මෙයා කවදා හරි මාව දාල යයිද? අනික මම නේ ඉස්සර උනේ. මුලින් එයා ට්‍රයි කලේ වරුණිට. ඒත් මේ වගේ හැන්ඩි කොල්ලෙක් අතාහරින්නේ කොහොමද? මගේ මෝඩ හිත ඉස්සර උනා වැඩියි. අපි කොච්චර ඉගෙන ගත්තත් සමාජය ආශ්‍රය කලත් ආදරේ එක්ක කෙල්ලෝ මොඩයි කියා කොල්ලෝ කියන්නේ මේ නිසා වෙන්න ඇති. නැති නම් අපිට හිතුන කොල්ලා කොහොම හරි අයිති කරගන්න හදන්නේ? එදා පාටිය දවසේ නම් මම මේ දිනේශ් හමුවුනාට පසුව සතුටු උනාට වඩා සතුටු උනා කීවේ එදා අපි සමුගන්නා දවස උනත් හිතේ දුකක් මිස බරක් නොතිබුන නිසා. ඒත් දිනේශ් ඔයා මගේ අසරණ හිතට හැමදාම බරක් උනා. මගේ ගැන හිතේ නොතිබුන ඔයාට මම ආදරේ කරන් උත්සාහ කළ එක වරදක් වෙන්න ඇති. ඒත් දෙය්යනේ ඇයි ඔයා මට කැමති නැතිනම් ඒක නොකියා මෙච්චර කාලයක් ලංවෙලා හිටියේ........
හ්ම්ම්ම්
අන්තිමමේ එක පින්තූරයක් ලඟ මම නැවතුනා....
--මීළඟ කොටසින් හමුවෙමු--

Tuesday, September 6, 2011

සමුගන්නම්.....02

මොකද මේ ඇස් රතු වෙලා..
අම්මාගෙන් ඇස් දෙක සඟවාගන්න මම ගත් සියලු උත්සාහයන් සාර්ථක උනේ නෑ. දැන් මොකක්ද අම්මට කියන්නේ? මම නැවතත් කල්පනාවට වැටුනා. 
මොකද ළමයෝ? ඇයි මේ?
මුකුත් නෑ අම්මා. ඊයේ රෑ නින්ද ගියේ නෑ. ඔලුව කකියනවා වගේ.
එහෙනම් ගිහින් බෙහෙතක් ගමු. 
ඕන වෙන එකක් නෑ අම්මා ටිකක් නිදා ගත්තනම් හරියයි. 
මට ඕනිම ආපසු ඇඳට යන්නයි. දැන් අම්මාගෙන් ගැලවෙන්න අමාරුයි. තේ එකත් අතේ තියන් මම කල්පනා කරන්න උනා. 
එහෙනම් තේ එක බීල ගිහින් ටිකක් නිදා ගන්නවා. පැනඩෝල් පෙති දෙකකුත් බීලම නිදා ගන්න.
ලෙඩක් නැතත් පැනඩෝල් බීවට කමක් නෑනේ. සිතින් සිතාගත් මම අම්මට පේන්නම බෙහෙත් පෙති දෙක ගිල දමා නැවතත් කාමරයට ඇදුනා. දැන් නම් හයියෙන්ම අඬන්න හිතුනත් අම්මාට ඇහෙන නිසා කොට්ටේ මූණ ඔබාගෙන කල්පනාවට වැටුනා. 
ආයෙත් කෝල එකක් අරන් බලමු. සමහර විට ෆෝන් එක ඕන් කරල තියෙන්න පුළුවන්. මට එහෙම හිතුනත් නෑ ඕන නෑ. ඔයාට එපානම් මටත් එපා. එහෙත් මගේ හිත මට වලංගු නෑ. නොදැනීම වගේ ෆෝන් එක ඩයල් උනා. ෆෝන් බුක් එකේ නම ඇතත් ඔය නම්බර් එක මට ඇස් පායාගෙන ඩයල් කරන්න පුළුවන්. 
ඔබ ඇමතූ ජංගම දුරකථනය තාවකාලිකව විසන්ධිකර ඇත...Number you dial temporary out of......
අපොයි එහෙනම් මෙයා මගෙන් ගැලවෙන්නම වෙන්න ඕනි ෆෝන් එක ඩිස්කනෙක්ට් කරන්න ඇත්තේ. ඇයි දෙයියනේ මොක්කද මම කල වරද මෙහෙම මාව අමතක කරන්න. ඔයාටම ටික දවසකින් තේරෙයි මම ඔයාට කොච්චර ආදරේද කියා. එදාට ඔයා ආයෙම එයි මගේ ළඟට. මට එහෙම හිතුනත් ඇත්තටම ඔයා එයිද? එන එකක් නෑ. මට සිතාගන්න බැරිව ඇඬෙන්නම එනවා. ඒත් කොහොම අඬන්නද? අම්මාට ඇහෙනවානේ. එයාට දෙන්න මගේ ළඟ උත්තරයක් නෑ.
මං ඔයාට ආදරේ කළාට ඔයා මට ආදරේ කරන්න නැතිව ඇති. නැතිනම් ඔයා කොහොමද මෙහෙම හෑඟීම් නැති කෙනෙක් වගේ මාව දාල යන්නේ. සෑම දේම දරාගන්න පුළුවන්. ඒත් ඔයා මෙහෙම කරන්න හේතුව තමා මට හිතා ගන්නම බැරි. කොහොම උනත් තව ටිකක් මේ ගැන හොයන්න ඕනි. 
ඔය සිතිවිලි අතරින් මට නින්ද යන්න ඇති. ඒත් හදිසියේම ෆෝන් එක වදිනවා.
තිලිනිගේ නම්බර් එක ආන්සර් කරනවාද නැද්ද?
මෙකී මොනවද කියන්න යන්නේ. නෑ ඕනි නෑ මං ආන්සර් කරන්නේ නෑ. යාළුවාව හොඳ බබා කරන්න ඔය හදනවා ඇත්තේ. අම්මාට ඇසුනොත් ඒ නිසා ෆෝන් එක මියුට් කල මම නැවත ඇඳේ හාන්සි උනා.
නින්දෙන් ඇහැරුනේ අම්මා රේඩියෝව දාල තියන සද්දෙට. මොන සිංදුවක් ගියත් ඒවායේ කිසිම ගත යුත්තක් නෑ නේද කියා මට හිතුනා.

පියඹා යනවා මා ආකාශයේ
අවසානයී ප්‍රේමාදරේ
ගිරවෝ කොවුලෝ 
මිදුනා මා ආදරෙන්....
ක්ලැරන්ස් ගේ සිංදුව මගේ සිතට කිසියම් සහනයක් ගේනවා වගේ. ඒත් ආදරයකින් එහෙම ලේසියෙන් මිදෙන්න පුළුවන්ද? කවි කාරයින්ට එහෙම ඇති. ඒත් අපිට. නෑ බැරි නැතිව ඇති. මේ කවි සිංදු ලියන්නේ අපි වගේම මිනිස්සු නේද? එයාලත් මං වගේම හිතේ දුක නැති කරගන්න මේවා ලියන්න ඇති. කාමරේටම වෙලා ඉන්නවාට වඩා හොඳයි ටවුන් එකට ගිහින් පත්තරයක් අරන් ඇවිත් කියවනවා. මොනවා හරි රස්සාවක් හොයාගත්තනම් වැඩත් එක්ක හිතට සහනයක් එයි. පත්තරේ අරන් ඇවිත් වේකන්සි තියනවානම් ඇප්ලයි කරනවා.
වෙනදා මෙන් නොව ඉක්මනින්ම ඇඳගත් මම කණ්නාඩිය ඉදිරියේ වෙනදා ගත කරන වෙලාවෙන් කාලක් වත් ඉන්න නැතිව කාමරෙන් එලියට ආවා.
අම්මේ මම ටවුන් එකට ගිහින් පත්තර අරන් එන්නම්...
ඔයාට පිස්සුද ළමයෝ. දැන් ඔලුව රිදෙනවා කීවානේද?
බේත් බීල පැයක් විතර නින්ද ගියානේ. දැන් හරි.
හ්ම්ම්ම් ... පරෙස්සමෙන්..
වෙනදාට මම බස් එකේ යන්නේ මොන තරම් බලා පොරොත්තු එක්කද? ඔයා එක්ක ඇවිදින්න. අයිසික්‍රීම් කන්න. හිනාවෙන්න. ඒත් අද ඒ සියලු පැතුම් පත්තරයක් ගන්න එකට සීමා වෙලා. සමහරි වට මට පිස්සු කියා මට හිතුනා. නැතිනම් අප්පච්චිට කෝල් එකක් දාල එනකොට පත්තරේ ගෙන්න ගන්නත් පුළුවන්. ඒත් ඒක අම්මත් දන්නවා. අම්මාට තේරෙන්න ඇති මම ඉන්නේ ප්‍රශ්නෙක කියා. ඒකයි යන්න දුන්නේ. නැතිනම් අම්මා වෙනදා ඕන නම් අප්පච්චිට කියා ගෙන්න ගන්න කියනවානේ. 
වෙනදාට බස් එක ටවුමට එන්න කොච්චර වෙලා යනවද? ඒත් අද ඉක්මනින්ම ඇවිත් වගේ. ඒත් මට ඕනි වෙලාව යවන්න. පත්තර අරන් යාළුවෙක්ගේ ගෙදර යන්න හිතුවත් ආයෙම ඔලුව රිදෙන්න ගත් නිසා ගෙදර එන්න පිටත් උනා. ගෙදර ආව ගමන් නාන කාමරයට වැදී ඇතිවෙන්න නාගත්තා. හිතේ ඇති හැම දේම ඇඟේ බැඳෙන කුණු මෙන් මේ වතුරෙන් දිය කර හරින්න පුළුවන්නම්. 
ළමයෝ දැන් වෙලාව කීයද දවල්ට කන්නේ නැද්ද?
කීයද අම්මා වෙලාව.
හතරයි.
මම හැමදාමත් දෙකට කලින් කන කෙනා උනත් අද මෙච්චර වෙලාවක් බඩගින්නෙ හිටියේ කොහොමද කියන එක මටම හිතා ගන්න බෑ. කන්න ආසාවක් නැතත් අම්මාට පේන්න බත් ටිකක් කා ඉක්මනින්ම කාමරයට වැදුනා. ෆෝන් එක බැලුවම තිලිණිගෙන් මිස් කෝල් දහයයි. අන්තිමට මැසේජ් එකකුත් එවලා. 
ඉක්මනින් කෝල් කරන්න.
මොන වදයක්ද? ඕනි නම් කෝල් කරපු දෙන්. ෆෝන් එක අන්මියුට් කල මම නැවත පත්තරේ කියවන්න ගත්තා.
නැවතත් ෆෝන් එක වදිනවා. ආයෙම තිළිනි.
ඕන එකක් ආන්සර් කරනවා.
හෙලෝ....
අනේ අනේ චාරු. ඔයා කොහේද හිටියේ. මම උදේ ඉඳන් ඔයාව හොයනවා අනේ...
--මීළඟ කොටසින් හමුවෙමු--

Sunday, September 4, 2011

සමුගන්නම්.....


කලින් දවසේ රෑ ඇද හැලෙන්න ගත්ත වැස්ස තාම නැවතී නැති හැඩයි. කැඩුන වැහි පීල්ලකින් වතුර වැටෙනා ශබ්දය ඇසෙන විටත් උපදින්නේ මහ කම්මැලි කියාගන්න බැරි දුකක් වැනි සිතිවිල්ලක්. මම කොට්ටය ලඟින්ම ඇති ෆෝන් එක දෙස ආයෙම බැලුවා. අලුතින් මිස් කෝල් එකක් SMS එකක් නැති බව බලන්නත් හිත දෙන්නේම නෑ. නිකමට වගේ ෆෝන් එකේ වෙලාව බැලුවා 
හ්ම්ම්ම් 8.30ත් වෙලා. හොඳටම නින්ද ගියේ රෑ නින්දක් නොගියනනිසාම වෙන්න ඇති. රෑ පුරාම ඇඳේ පෙරලෙමින් සිටියා මිස නින්ද ගියේම නෑ වගේ. පාන්දර 4 ටත් වෙලාව බැලුවා මට හොඳටම මතකයි. මීට අවුරුද්දකට කලින් අතීතයට මම නොදැනීම ඇදී ගියා. ඒ දවස්වල මම හිටියේ පාවෙන පුළුන් රොදක් වගේ. හිතට කිසිම සිතිවිල්ලක් නැතිව ආයෙම එහෙම ඉන්න ඇතිනම්. ඒ දවස්වල රෑ නවය වෙනකොට ඕෆ් කර මේසය උඩින් තියන ෆෝන් එක ආයේ ඕන කරන්නේ පසුදින උදේ. සමහර දවස්වල ගෙදරින් යන්නේ නැතිනම් ඕන් කරන්නේම නෑ. සමහර විට යාළුවෝ ගෙදරට කෝල් කරල මොකද බන් ෆෝන් ඕෆ් කරන් ඉන්නේ මම දැන් කීයේ ඉඳන්ද උඹට ගන්නේ කීවම තමා මතක් වෙන්නේ ෆෝන් එක ඕන කරන්න අමතක වෙලා කියා.

ඒත් සියල්ල වෙනස් උනේ ඔයා මගේ ජීවිතේට ඇතුල් උනාට පස්සෙයි. වෙනදා රෑ නවයට ඕෆ් වෙන ෆෝන් එක පසුගිය අවුරුද්ද පුරාම රෑ දවල් නැතිව ඕන එකේමයි තිබුනේ. රෑ මැදත් ඔයා එවන SMS කියෙව්වේ හරිම සතුටින්. කොතරම් නිදි මතේ සිටියත් මහරෑ ඔයා කෝල් කලත් මම ආන්සර් කරන්න නැගිටින්නේ කිසිම ලෝබ කමක් නැතිවයි. කෝල් එක ඉවර උනත් ෆෝන් එක තවත් විනාඩි පහක්වත් කනේ තියන් ඉන්නේ ඔයා ඇත්තටම තියලද දන්නේ නැති නිසා. මම දන්නවා ඔයා ඒ දවස්වල සද්ද නැතිව විනාඩි පහක් විතර ඉඳලත් හලෝ... ඔයා නිදිද කියා අහනවා කියා......
එහෙත් පහුගිය මාස දෙක පුරාම ටිකෙන් ටික ඔයා කතා කරන එක, SMS එවන එක අඩු වෙන්න ගත්තම මගේ හිත ටිකෙන් ටික අඬන්න ගත්ත බව ඔයා දන්නේ නැතුව ඇති. සමහර විට දන්නවත් ඇති. ඒත් නොදන්නවා වගේ ඉන්නවා ඇති.
දැන් සතියක ඉඳන් තමා ඔයා මට කතා කරන්නෙම නැත්තේ. හැමදාම පුරුද්දට උදේම SMS ඇවිත් ඇතිද බැලුවත් දැන්නම් හිත දන්නවා ඔයාගෙන් ආයේ මැසේජ් එන්නේ නෑ කියා. ඒත් මගේ අසරණ හිතට මම ඒක කොහොමද තේරුම් කරන්නේ.
මම හිතන්නේ ඔයාගේ ෆෝන් එක හැම විටම ඕෆ් කරන් ඉන්නේ මම කතා කරන නිසා වෙන්න ඇති. ඔයා දවසකට සැරයක් වත් ඕක ඔන් කරල බලන්නේ නැතිද? එහෙම නැතිනම් පසුගිය දවස් පුරාම මම එවූ මැසේජ් කියවන්නේ නැතිවම මකල දැම්මද?
ආයම හිත ඒ දවස් වලට ඇදී යනවා. අපි වැස්ස දවසේ පොඩි කුඩයක් යටින් වැස්සෙන් බේරෙන්න දඟලපු හැටි මෙච්චර ඉක්මනට කොහොමද අමතක කලේ. එදත් අද වගේම වැස්ස දවසක් නේද? මතකද අපි මොඩයෝ වගේ වැස්ස දවසක අයිස්ක්‍රීම් කෑවා. අන්තිමට උණ හෙම්බිරිස්සාව හැදිල සතියක්ම ඇඳේ ඉන්නත් උනානේ. ඒත් හැම වෙලේම කතා කල නිසා කිසිම පාළුවක් තිබුනේ නෑ. පණ්ඩිත කමට බේත් කීව හැටි....
එක් වරම ඇසුනු අකුණු හඬින් සිතිවිලි ලොකය මොහොතකට බිඳ වැටුනා. වැස්ස ආයෙම වැඩි වෙන්න වගේ. ජනේලයේ බීරලු අතරින් කාමරේට එන හිරිකඩ ඇඟේ වදින්නේ නැතත් සීතලෙන් වෙව්ලනවා. රස්නෙට කෝපි එකක් බීවනම් හරි. ඒත් නැගිටින්න හිත දෙන්නේම නෑ. ඇස් යටින් කඳුළු ඇවිත් කියා මම දන්නවා. ඒත් පිස දාන්න හිතෙන්නේ නෑ. පිස දැම්මත් ආයෙම එයි.
වෙලාව නවයත් වෙලා. මම කවදාවත් මෙච්චර වෙලා ඇඳේ ඉන්නේ නෑ. දැන් නම් නැගිටලා කුස්සියට යන්න වෙලාව හරි. ඒත් ඇස් දෙක අම්මාගෙන් හංගා ගන්නේ කොහොමද? වෙන මොනව හරි හිතන්න ඕනි......
ඒත් හිතට ඔයා හැර වෙන කිසිවක් එන්නේම නැද්ද? 
ඒ ගමන නම් වැස්ස ටිකක් අඩු වෙන බවක් පේනවා. සුළඟත් අඩු නිසාද කොහේද ටිකක් නිහඬ බවක් පරිසරයේ ඇති වෙලා. ඒත් හිතේ නම් කිසිම නිහඬ පවක් නෑ. තේරුම් ගන්න බැරි සිතිවිලි රැසක් එකක් පරයමින් අනික නැගිටන්න හදනවා වගේ. මට ඒ දවස්වල යාළුවෝ කී දේවල් ආයෙම මතක් වෙනවා. මම ටිකක් වත් ඒ ගැන සිතුවානම්. මම ඒ දවස්වල හිතුවේ ඔයා මිස වෙන කවුරුත් මගේ ලෝකේ නෑ කියා. යාළුවෝ දැක්කේ ඉරිසියා කාරයින් ටිකක් කියලයි. ඒත් දැන් නම් මට එයාලට මහුණ දිල කතා කරන්නත් බෑ වගේ. ඒත් මම දන්නවා එයාල කවදාවත් මාව අත් හරින්නේ නැති බව. 
දැන් නම් අවුවක් වැටිලා වෙන්න ඕනි. ජනේලයෙන් කාමරයට එළිය හොඳට වැටෙන්නේ. වෙනදා නම් වැහැල අවුව පායන විට මම හරිම ආසයි මිදුලට ගිහින් ඒ දිහා බලන් ඉන්න. ඒත් මට දැන් නම් හිතෙන්නේ ආයෙම තදින් වහිනවානම් හොඳයි කියා. එහෙම නම් කාමරේට වෙලා ඇඳේම ගුලි වෙලා ඉන්න තිබුනා. ඒත් මට හිතෙන කිසිම දෙයක් වෙන්නේ නැත්තේ ඇයිද මන්දා. මම පායයි කියා ඉන්න දවසට වහිනවා. වැස්සොත් හොඳයි කියා හිතෙන දවසට පායනවා. බස් එකේ යන්න ගියොත් බස් එක නෑ. මම නම් ගෙවන්නේ ලොකු පවක් වෙන්න ඇති කියා මට දැන් හිතෙන වාර අනන්තයි.
නැවතත් මම ෆෝන් එකේ වෙලාව බැලුවේ වෙලාව බලන්න ඕනි නිසාම නොවේ. මට නොදැනීම මිස් කෝල් එකක් තිබුනොත්. නැතිනම් මැසේජ් එකක්. ඒත් ස්ක්‍රීන් එක නිහඬයි. ෆෝන් එක පොලවේ ගසා අඩන්න තරමි හිතයි. ඒත් අම්මලා අහන ප්‍රශ්න වලට මොකක්ද මම ඊට පස්සේ දෙන උත්තරේ.
වෙලාව නවයයි තිහත් වෙලා. ඉස්සර නම් මම නවයයි තිහ වෙනකොට හරියටම බස් එකේ. ඒ දවස්වල පාරේ යනකොට ගස්වල ලස්සනට මල් පිපිලා තිබුනා. තාම ඒවා තියනවාද දන්නේනෑ. දැන් මාසයක් දෙකක් සිට මට ඒවා කිසිවත් තිබුන බවක් මතක නෑ. ඇවිද්දේ යන්ත්‍රයක් වගේ. දැන් නම් ඇවිද්න්න කකුල් පණ නෑ කියල හිතෙන්නේ. මට ආයේ කවදාවත් ඇඳෙන් නැගිටින්න බැරි වෙයි කියා හිතෙනවා. කිසිම අසනීපයක් නැතිව ඇයි එහෙම හිතෙන්නේ..
ලොකූ...
නැගිටින්නේ නැද්ද ළමයා අද?
දැන් කීයල වෙලාව...
අම්මාගේ හඬින් මගේ සිතිවිලි ලෝකය බිඳුනා.
ඉක්මනට ඇස් දෙක පිසගෙන කුස්සියට යන්න ඕනි. කාමරේට එන්න කලින්...
---මීළඟ කොටසින් හමුවෙමු--

Wednesday, August 31, 2011

Computer Hardware පාඩම 08 .... (Hard disk drive-02)

හාඩ් ඩිස්ක් පිළිබඳ පාඩම තවත් ඉදිරියට ලියන්න සිතුනා. එයට ලැබුන කමෙන්ට් වලින් මට හිතුනා තව ටිකක් ඉදිරියට ලියන්න. 
හාඩ් ඩිස්ක් එකක ධාරිතාව (Hard disk capacity)
හාඩ් ඩිස්ක් එකක ධාරිතාවය පෙන්වන්නේ බයිට් (Byte) නමැති ඒකකයෙනි. 
1024byte = 1 KB (kilo byte)
1024 KB = 1 MB (Mega byte)
1024 MB = 1 GB (giga byte)
1024 GB = 1 TB (tera byte)
මේ අනුව හාඩ් ඩිස්ක් එකක ධාරිතාව මැනීමට බයිට් නමැති ඒකකය වුවද දැන් කිලෝ බයිට් මෙගා බයිට් වලින් හාඩ් ඩිස්ක් නොමැත. දැනට භාවිතයේ ඇති හාඩ් ඩිස්ක් එකක අවම ධාරිතාව 80GB පමණ වේ. එනම් දැනට නිශ්පාදනය කරන කුඩාම ධාරිතාව ඇති හාඩ් ඩිසක් එක මෙයයි. දැනට ඇති උපරිම ධාරිතාව 3TB වේ. එනම් දල වශයෙන් 3000GB පමණය.

භ්‍රමණ වේගය RPM (Revolution per minute) 
ඇතැම් අය මෙය  rotation per minute ලෙසද හඳුන්වයි. මෙයින් කියවෙන්නේ මෙහි ඩිස්ක් එක විනාඩියකට කැරරවෙන වාර ගණනයි. මෙය වැඩිවත්ම දත්ත කියවීමේ වේගයද වැඩිවේ. ඒ R/W head (කියවන හිස) එක පසුකරන වාර ගණන වැඩි වන නිසාය. දැනට භාවිතයේ ඇති ඩිස්ක් වල මෙම වේගය 7200ක් වේ. මීට ටික කලකට පෙර පැවති ඒවා භ්‍රමණය වූයේ විනාඩියට වට 5400ක පමණ වේගයකිනි. එහෙත් සර්වර් සඳහා භාවිතා වන SAS හාඩ් ඩිස්ක් වල මෙම වේගය 10,000 RPM හෝ 15,000 RPM පමණ වේ.

Disk Cache (Disk buffer)
මෙය කුඩා ප්‍රමාණයක මෙමරියකි. වර්ථමානයේ ඩිස්ක් වල භාවිතා වන්නේ 8MB-64MB අතර ප්‍රමාණයක් භාවිතා කරයි. මෙය ඩිස්ක් එක (තැටිය) හා Mother board එක අතර දත්ත හුවමාරුවට සම්බන්ධ වේ. 
සාමාන්‍යෙයන් ඩිස්ක් එකේ ඇති දත්ත කියවන්නේ වටයක් පැමිණ එම ස්ථානයට එන විටයි. එසේ වන විට යම් කාලයක් මෙහෙයුම් පද්ධතියට බලා සිටීමට සිදුවේ. එහෙත් ඩිස්ක් කෑශ් වල එම දත්ත අවශ්‍ය විට ලබා දීමට තාවකාලිකව පවත්වා ගනියි.
තැටි වලින් කියවන වේගය හා මෙහෙයුම් පද්ධතියට ඒවා අවශ්‍ය වන වේගය අතර පරතරය නිසි ලෙස කරමනාකරණය කරන්නේ මෙම මෙමරිය.

දත්ත හුවමාරු වේගය (Transfer Rate)
ඇත්තටම මෙහි වේග දෙකක් ඇත. එනම් ඩිස්ක් (hard disk platter) වල සිට Disk buffer එකට දත්ත හුවමාරු වන වේගය හා Disk buffer වල සිට Host එකට (Mother board එකේ) දත්ත හුවමාරු වන වේගයයි. නමුත් බොහෝ අවස්ථා වල Transfer rate එක ලෙස පෙන්වා දෙන්නේ Disk buffer වල සිට Host එකට දත්ත හුවමාරු වන වේගයයි.
ATA (PATA) ඩිස්ක් එකක  platter එකේ  සිට Disk buffer එකට දත්ත හුවමාරු වන වේගය 126 MB/s පමණ උපරිම අගයක් ගනී. ඒවායේ Disk buffer එකේ සිට Host එකට දත්ත හුවමාරු වන වේගය 100MB/s පමණය.

SATA ඩිස්ක් එකක Disk buffer එකේ සිට Host එකට දත්ත හුවමාරු වන වේගය 3Gb/s පමණ සිට 6Gb/s දක්වා භාවිතයේ පවතී.

SSD (Solid State Disk)
මොනවද මේ කියන්නේ. මේවායේ ක්‍රියා කාරිත්වය කලින් අප සඳහන් කළ සියලු ඩිස්ක් වලට වඩා වෙනස්. මේවායේ කරකැවෙන ඩිස්ක්, මෝටර් R/W Head ආදී කිසිවක් නැත. දත්ත ගබඩා කරන්නේ ඔබ දන්නා පෙන් ඩ්‍රයිව් නැතිනම් ෆ්ලෑෂ් මෙමරි වල ආකාරයටයි. මේවායේ කිසිම චලනය වන කොටසක් නැත. වේගය අතින් වැඩිය. නමුත් මිලෙන් වැඩිය. ක්‍රියා කිරීමේදී කිසිම ශබ්දයක් නිකුත් නොවේ.

හාඩ් ඩිස්ක් ගැන කලින් ලිපියේ සඳහන් නොවුරු තොරතුරු කීපයක්ම අද ලිපියෙන් කියන්න පුළුවන් උනා. එහෙම නම් අදට සමුගෙන යන්නයි සූදානම. මීළඟ ලිපිය සමගින් හමුවෙමු.
සුභ දවසක්..!!!

Thursday, August 25, 2011

Computer Hardware පාඩම 08 .... (Hard disk drive)

ඔන්න වැඩි කාලයක් ගන්නේ නැතිවම ඊළඟ පාඩමටත් එන්න හිතුවා. ඉක්මනින්ම මේ පාඩම් ටික ඉවර කරමු නේද? 
අද අපි කතා කරන්න යන්නේ Hard disk drive ගැනයි.
මොකක්ද මේ Hard disk එකක් කියන්නේ?
Hard disk අයත් වන්නේ පරිගනකය තුල ස්ථිර ලෙස සවිකර ඇති ඩිස්ක් වර්ගයට (Fixed Disk) මේවා දත්ත ගබඩා කිරීමට ගන්නා බව දැනටමත් ඔබ දන්නවා ඇති. ඇත්තෙන්ම මෙය අයත් වන්නේ මෙමරි වලටමයි. මේවා non-volatile හෙවත් විදුලිය මත රඳා නොපවතින මතකය වේ. මෙහි චුම්බක (Magnetic) කල හැකි රසායන ආලේප කල තැටියක් පවතින අතර ඒහි ඩිජිටල් දත්ත සටහන් කරයි. මේ සඳහා කියවීමට හා ලිවීමට හැකි හිසක් (Read/Write head) ඇත. එමගින් මෙහි දත්ත සටහන් කිරීම හා නැවත කියවීම සිදු කරයි.
Hard disk ඇතුලත උපාංග පිහිටා ඇති ආකාරය ඉහත රූපයෙන් බලන්න.
පහත දැක්වෙන්නේ විවිධ ප්‍රමාණයේ හාඩ් ඩිස්ක් කීපයකි. මේවා නම් විකිපීඩියාවෙන් බලන්න වුවද ඔබට හැකිය.
මේවා අතරින් දැන් දක්නට ඇත්තේ පහත ප්‍රමාණවල හාඩ් ඩිස්ක් පමනි.
ATA Hard disk (Advanced Technology Attachment)
මේවා parallel ATA ලෙසද දැන් හැඳින්වේ. බොහෝ කලක් පැවති තාක්‍ෂණයයි. මේවායේ දත්ත හුවමාරුව සඳහා භාවිතා කරන්නේ 40 pin කනෙක්ටරයක් සහිත කේබලයකි. එය පටියක් වැනි කේබල් එකක් නිසා රිබන් කේබල් ලෙසින්ද හැඳින්වේ.
මේ ඒ සඳහා භාවිතා වන කේබල් එකයි.
මෙය 3.5" හාඩ් ඩිස්ක් එකක් හා කේබල් එකකි. ලැප්ටොප්/නෝට්බුක් සඳහා යොදාගන්නා 2.5" හාඩ්ඩිස්ක් සඳහා ඇති කනෙක්ටරයේ පින් 44ක් ඇත. ඒයට හේතුව ඒවාට විදුලිය සැපයෙන්නේද එකම කනෙක්ටර් එකෙන් වීම නිසාය. මේ එවැන්නකි.
SATA Hard disk (Serial Advanced Technology Attachment)
මෙවා 2003 දී හඳුන්වා දෙන ලදී. දැන් නිශ්පාදනයේ පවතින සියල්ල SATA ය. මේවා ඉහත වගුවේ ඇති ප්‍රමාණ සියල්ලෙන්ම නිපදවේ. දැනට SATA SATA revision 3.0 භාවිතා වන අතර එහි දත්ත සම්ප්‍රේශන වේගය 6 Gbit/s වේ.
මේ එහි නියම රූපයයි.
මේ SATA cable එකයි.
ඉහත රූපයේ වැඩි කනෙක්ශන් ගණනක් ඇත්තේ විදුලි සැපයුමට වන අතර අඩු කනෙක්ශන් ගණනක් ඇත්තේ ඩේටා කේබල් එකටයි. මේවා ලැප්ටොප් සඳහා භාවිතා වන 2.5" හාඩ් ඩිස්ක් සඳහාද වෙනසක් නැත. එනම් ඔබේ ඩෙස්ක්ටොප් එකට හදිසියකට ලැප්ටොප් හාඩ්ඩිස්ක් එකක් සම්බන්ධ කරන්න පුළුවන් Internal disk එකක් ලෙස.

මීට අමතරව හාඩ් ඩිස්ක් ගැන තවත් බොහෝ දේ මේ පාඩම් යටතේ ඉදිරියේ කියවෙනවා. පාටිශන් කිරීම, ෆෝමැට් කිරීම, ජම්පර් සෙටින්ග්ස් ඊට ඇතුලත්. මෙම පාඩමෙන් මම බලාපොරොත්තු වූයේ හාඩ් ඩිස්ක් එකක් භෞතික වශයෙන් හඳුන්වා දෙන්න පමණයි. තවත් විස්තර ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න.

එහෙනම් අදට පාඩම ඉවරයි. යන්න කලින් දවසේ ප්‍රශ්නය.

  • හාඩ් ඩිස්ක් එකක් නිතර ෆෝමැට් කලාට කමක් නැද්ද? එසේ නැතිනම් අත්‍යවශ්‍ය අවස්ථාවක  හැර අනෙක් අවස්ථාවල ෆෝමැට් නොකර සිටීම වඩා සුදුසුද?
එහෙනම් ගිහින් එන්නම්. සුභ දවසක්..!!!

Wednesday, August 24, 2011

අප්පච්චිට..........


ඔබේ පා වල ශක්තියෙන් අද අපි ඇවිදිනවා.....
ඔබේ අත් වල ශක්තියෙන් අද අපි වැඩ කරනවා...
ඔබේ හිතේ ශක්තියෙන් අද අපි සිතනවා...
ඔබ නිසා අද අපි මිනිසුන්ව ජීවත්වෙනවා...


අද 24 වෙනිදා...
හෙටයි මාසේ පඩිය...
අද තමයි අතේ සල්ලි නැතිම දවස..
අනේ මට ඔයාට මොනවත්...
තෑග්ගක් අද දවසේවත්...
අරන් දෙන්න බැරි වෙයි වගේ...
ඒත්....
මම දන්නවා අප්පච්චි තරහ නෑ කියා...
මගේ අප්පච්චිට ...
සුභ උපන්දිනයක් වේවා..!!!!


Monday, August 22, 2011

Computer Hardware පාඩම 07 .... (Microprocessor)

පරිගනකයක් ගැන කියන්න ගියාම බොහෝ දෙනෙක් අහන දෙයක් තමා ස්පීඩ් එක කීයද කියන එක. ඒ අතරින් සුළු පිරිසක් අහනවා මොකක්ද CPU ස්පීඩ් එක කියා. ඇත්තටම මොකක්ද මේ ස්පීඩ් එක කියන්නේ. මොකක්ද මේ CPU එක කියන්නේ. මෙය කොහේද තියෙන්නේ?
ඔව් අද අපි කතා කරන්න යන්නේ පරිගනකයක මොළය ගැනයි. මෙය තමා වැදගත්ම කොටස. මෙය තමා පරිගනකයේ අංක එක. එනම් මධ්‍යම සැකසුම් ඒකකය හෙවත් Central Processing Unit (CPU) එක ගැනයි.
මොකක්ද මේ Microprocessor එකක් කියන්නේ.
 Microprocessor යනු ඉලෙක්ට්‍රෝනික උපාංගයකි. එය සංගෘහිත පරිපථයක් හෙවත් integrated circuit එකක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. එනම් එය තුල සම්පූර්ණ පරිපථයක් අන්තර්ගතව ඇත. සරලව විස්තර කරනවානම් කුඩා ට්‍රාන්සිස්ටර් මිලියන ගණනක් මේ හතරැස් අඟලකටත් අඩු උපාංගය තුල අන්තර්ගතය. එය බහු කාර්යය, ක්‍රමලේඛනය කළ හැකි (Programmable) රෙජිස්ටර මෙමරි ඇතුලත් උපාංගයකි. ඩිජිටල් දත්ත ලබාගෙන ඒවා ලබා දෙන උපදෙස් අනුව සකස් කර ප්‍රතිදානයක් (Out put) ලෙස අපට ලබාදේ. මෙම විධාන ප්‍රධාන මෙමරියේ ගබඩා කෙරේ.
දැන් අපි බලමු Processor වර්ග හා ඒවායේ විකාශනය කෙටියෙන්.
Vacuum tube මුල්ම පරම්පරාවේ පරිගනක වල භාවිතා විය.
ඉන්පසුව භාවිතයට පැමිණියේ ට්‍රාන්සිස්ටරයයි
මුල්ම මයික්‍රෝප්‍රොසෙසරය ලෙස Intel 4004 භාවිතයට පැමිණෙන්නේ 1971 දී. එය DIP වර්ගයේ සොකට් එකක් සඳහා නිර්මාණය වන්නක්.

මින් පසුව විවිධ ආකාරයේ Microprocessors භාවිතයට පැමිණි අතර ඒවා එකින් එක විස්තර කිරීම තවත් පාඩමක් ප්‍රමාද වීමට හේතු වන කාරණයකි. තවද සොකට් ගැන පාඩමේදී මම Processors ගැන විස්තරයක්ද කර ඇති නිසා නැවත ඒ පාඩම බලන්න මෙතනින්. (අවශ්‍යනම් පමණක්)

Processor එකක් ක්‍රියා කරන්නේ ඊට ගැලපෙන mother board එකක් මත පමණි. එය ක්‍රියා කිරීමට නිසි වෝල්ටීයතාවයක්, එහි FSB (Front side bus) සමග ගැලපීම අනිවාර්යය වේ. එනම් අප mother board එකක් මිළදීගන්නා විට එහි නිශ්පාදකයා එයට ගැලපෙන processor ගැන එහි උපදෙස් පොතේ පැහැදිලිව සඳහන් කර ඇත.
මීට අමතරව Processor සම්බන්ධයෙන් කිවයුතුම කරුණක් ඇත. එනම් දැනට භාවිතයේ ඇති සෑම Processor එකක්ම ක්‍රියාකිරීමේදී අධික ලෙස රත්වීමට ලක්වේ. ඒ නිසා නිසි පරිදි නිශ්පාදකයා නියම කරන ආකාරයේම සිසිලන පංකාවක් යෙදිය යුතුමය. Intel Processor සඳහා ඔවුන් විසින් සපයනු ලබන පංකාව තරම් වෙනත් ඒවා සුදුසු නැත.
මීට අමතරව අද කියන්න යන්නේ මේ දිනවල බහුලව භාවිතා වන Processor කීපයක් නම් කරන්නයි.
Intel
Intel Processor ලොව පුරාම ඉතා ජනප්‍රිය මෙන්ම බහුලවම භාවිතයේ ඇති Processor වර්ගය වේ.
Intel Pentium, Intel Core හා Intel Core i වර්ගයන් දැනට භාවිතයේ පවතී. මේවායින් නිශ්පාදන තත්වයේ ඇත්තේ  Intel Core i  processors ය.
මේ Intel Pentium  processor එකකි.
මේවා දැනට භාවිතයේ ඇත.
මේ  Intel Core වර්ගයේ processor එකකි.
මේවාද භාවිතයේ ඇත.
මේ  Intel Core  i7 වර්ගයේ processor එකකි.
මේවා දැනට ඇති අළුත්ම ඒවායි. Core i 3, Core i5, Core i7 බහුලවම භාවිතයේ ඇත. මේවායේ දෙවන පරම්පරාව (2nd Generation) දැනට නිකුත්වී වෙළඳපොලේ ඇත.

AMD  processors.
AMD වර්ගයේ  processors ගණනාවක් දැනට භාවිතයේ ඇත.  Intel වලට සාපේක්‍ෂව මේවාට ඇති ප්‍රධාන චෝදනාව අධික ලෙස රත්වීමයි. එහෙත් ශිත පරිසරයක මේවා වඩා කාර්යක්‍ෂම බව බහුතර මතයයි.
මේ AMD Phenom™ II වර්ගයේ processor එකකි

මේ AMD AMD Sempron වර්ගයේ processor එකකි
මේ බොහෝ ජනප්‍රිය AMD Athlon X2 වර්ගයේ processor එකකි

තවත් processors ගණනාවක් ඇතත් සියල්ල කියන්න ඉඩක් නෑ. වැදගත්ම දෙය නම් processor එක යනු පරිගනකයේ මොළයයි. අප ඇතුල් කරන සියලු දත්ත (Data) සකස් කර ඒවා අපිට භාවිතයට ගත හැකි තොරතුරු (Information) බවට පත් කිරීමේ ප්‍රධාන කාර්යය ඉටු කරන්නේ processor එක මගිනි.
නැවතිලාම වගේ තිබූ හාඩ්වෙයාර් පාඩම යලි පටන් ගත්තා. මීළඟ ලිපියෙන් හමුවෙමු.
සුභ දවසක්..!!!

Sunday, August 7, 2011

ආදරණිය නිශාන්තය.. අදත් රෑ 8.00 ට


මතකද ආදරණීය ගීත පොකුරක් සමග අපි පසුගිය ඉරිදා රැගෙන ආ ආදරණිය නිශාන්තය. අපි අදත් රාත්‍රියේ ඔබේ ආදරණීය ගීත ඉල්ලීම් සයිබර් රේඩියෝ අවකාශයට එකතු කරන්න සූදානම්. ඔබේ ආදර ගී ඉල්ලීම් ඔබේ ළබැඳියන් වෙනුවෙන් ඉල්ලන්න. ඔබට දැනෙන දේ, හැඟෙන දේ ලියා එවන්න. නැතිනම් මෙහි කමෙන්ට් එකක ලියා යන්න. ආදරණිය ගීත ඔබේ ආදර වන්තිය නැතිනම් ආදර වන්තයා, අම්මා තාත්තා, නංගි මල්ලි අයියා අක්කා, එහෙමත් නැතිනම් හොඳම යාළුවා හෝ වෙනත් ඕනෑම ළබැඳියන් නැතිනම් ඔබ තනිවම වුවත් එකතු වන්න. මේ ඔබේ රාත්‍රියයි. ඔබේ ආදර ගී ඉල්ලීම් ඉටුවන රාත්‍රියයි. 
එවන්න ඔබේ ගී ඉල්ලීම් 

සින්දු කෝටියයි ජොකියෝ රාශියයි  

Thursday, August 4, 2011

මීමුරේ 17 වසරකට පසු (Meemure after 17 years)

ඔන්න ආයෙමත් දවස් කීපයකින් ආවා අළුත් පෝස්ට් එකක් රැගෙන. පොඩි ගමනක් ගියා. ඒකයි දවස් කීපයකින් එන්න බැරි උනේ. බස් රේඩියෝවේ නිශාන්තයත් කරන්න මට මගේ මිතුරියකගේ සහය ලැබුනා. නැතිනම් මම පෝස්ට් එකේ දමා ගියාට එම වැඩ සටහන කරන්න වෙන්නේ නෑ.
එහෙම නම් අද කතාව කියන්න කලින් පරණ කතාවක් මතකයට ගේන්නම්. මතකද මම මුල් කාලේ පෝස්ට් එකක ලියා ඇති ජෙනරේටරයක් කර තබාගෙන මීමුරේ ගිය කතාවක්. මුල සිට මගේ මතකය කියවා ඇති අයට නම් මතක ඇති ඒත් අනෙක් අයත් මෙතනින් ගිහින් බලන්නකෝ කැමතිනම්.
එහෙම නම් අද කතාවත් මීමුරේ ගැනමයි. ඒ කියන්නේ අපි ආයෙම මීමුරේ ගියා පසුගිය සෙනසුරාදා දින දෙකක චාරිකාවක් ලෙස. දැන් පාර පෙර මෙන් දුෂකර නොවන බවත් වාහනයකින් යන්න පුළුවන් බවත් අපි අසා දැනගත් නිසා මෙවර නම් පයින් යන්න අවශ්‍ය උනේ නෑ. මෙවර ගියේ වෙනම කාණ්ඩයක්. පෙර කාණ්ඩයෙන් ගියේ මම පමණයි. අනෙක් අය සයිබර් මිතුරු පිරිසක්. 

කලින් පෝස්ට් එකේ සඳහන් පරිදිම මේ තමා යන්න තියන මාර්ගය. නොදන්නා අයෙකුට දැන ගැනීම සඳහා මම යන මාර්ගය හා වෙනත් අවශ්‍යතා ගැන කෙටියෙන් කියන්න කැමතියි. කලින් මම කීවේ කිලෝමීටර් 15ක් පමණ යන්න ඇති කියායි. එහෙත් ඇත්තටම හුන්නස්ගිරියේ සිට මීමුරේට කිලෝමීටර් 35 පමණ ඇත. 

ගමන් මාර්ගය
මහනුවර සිට යනවානම් මහනුවර මහියංගන මාර්ගයේ යා යුතුයි. හුන්නස්ගිරියට මහනුවර සිට කිලෝමීටර් 40ක් පමණ ඇත. හුන්නස්ගිරිය ඉන්ධන පිරවුම් හල යනවිට වම් පැත්තේ ඇත. එය පසුකරනවාත් සමගම දකුණු පැත්තට මීමුරේ පාර ඇත. මේ මාර්ගයේ ලූල්වත්ත හරහා අට්ටලමෙට්ටුව හෙවත් කෝබට් ගැප් දක්වා යා යුතුය. එම පාරේ දිගටම වාගේ ඇත්තේ කන්දයි. ඉන්පසු කෝබට් ගැප් සිට පල්ලම හමුවේ. අප කලින් වතාවේ පැමිණි තංගප්පුව සිට ඇති මාර්ගය මීමුරේ පාර හා එක්වන්නේ මම ස්ථානයේදීය.
මෙම ස්ථානයේ අප මුල් වතාවේ යන විට තිබූ ගොඩනැගිල්ලේ දැන් කිසිම පදිංචියක් නැත. ගොඩනැගිල්ල ගරාවැටී ඇති බවත් පෙනේ. මේ එම ස්ථානයයි. බලන්න මාර්ගයේ තත්වය කොහොමද කියාත්...


මේ පුවරුවේ සිට මීමුරේට ඇති දුර කිලෝ මීටර් 15කි. පාර වංගු සහිත පල්ලමක් බැස යන්නට ඇත. රිය පැදවීමේදී මනා පාලනයක් වැදගත්වේ. අප ගමන් කළ වෑන් රියේ දිගටම තිරිංග යෙදීම නිසා අධික ලෙස තිරිංග පලු රත්වීමෙන් තිරිංග ක්‍රියා විරහිත වූවා. මේ තියෙන්නේ බ්‍රේක් නැතිව නවත්වා සිටින ආකාරයයි.

මීමුරේට කලින් හමුවන්නේ කයිකාවල නම් ග්‍රාමයයි. එය කලින් දුටුවාට වඩා බොහෝ වෙනස් වී ඇත. එහෙත් මුල් වතාවේ අප නවාතැන් ගත් සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල නම් පෙර පරිදිමය. අපි නූඩ්ල්ස් පිළියෙල කල පන්සල දැන් වඩා විශාල කර ඇත. කලින් වතාවේ සිටියාට වඩා වැඩි ජනගහනයක් ඉන්නා බවක් පෙනේ.
අවසානයේ සවස 5 පමණ වන විට අපි මීමුරේට ළඟා වීමු. මීමුරේ ගැන කියන්න කලින් ගමන් මාර්ගයේ පින්තූර ටිකක් බලමු නේද?
මේ හුන්නස්ගිරිය සිට ඩීන්ස්ටන් අතර මාර්ගයේ කොටසක්...
මෙම පෙදෙසේ තාර අතුරා ඇති අතර ස්ථාන කීපයක් මාර්ගය අබලන් වී ඇත. නමුත් ත්‍රිරෝද රථ වැනි වාහන පවා ගමන් කරයි. කාර් රථයක් ගමන් කිරීම නම් කළ නොහැකි බවක් පෙනේ. නමුත් වෑන් එකකින් යන්න පුළුවන්.
මෙම පෙදෙස පසු කරන විට නකල්ස් වනයේ කුරු වනාන්තර (පිග්මී වන්නාතර හමුවේ)

මෙහි පවතින අධික සුලං වලට ඔරොත්තු දීමට උස ගස් නොමැති බවක් පෙනේ. සියලුම ගස් මිටි ඒවාය. ඉන්පසු කෝබට් ගැප් සිට ඇත්තේ වනාන්තරය මැදින් ඇති පාරයි. එහි ජනාවාස අඩුය. ඇතැම් ස්ථාන වල ඇත්තේම නැත. මෙම පෙදෙසේ පාර තාර දමා ඇති අතර ඇතැම් ස්ථාන කොන්ක්‍රිට් අතුරා පිළිසකර කළද කැඩී බිඳී ගිය තැන් ඇත. මෙම දුම්බර වන පෙතට නිතර ඇද වැටෙන දැඩි වැසි නිසා මාර්ග ඉක්මනින් අබලන් වෙයි. එහෙත් මෙම පාරේ ගියා කුඩා බස් රියක් පවා අපේ නෙත් ගැටුනා...

ඉන් පසුව ඇත්තේ කොන්ක්‍රිට් මාර්ගයයි. එහි ස්ථාන කිපයක්ම කැඩී අබලන් වුවද වාහන ධාවනයට ප්‍රමාණවත්ය. මේ ගම ඇතුලේ පාරකි.

දැන් අපි බලමු ගම ගැන.

පහසුකම්.
ගමට යන්නට පාර ඇත. කලින් විදුලි බලය තිබී ඇත. ඒ දර මගින් ක්‍රියාත්මක විදුලිබලාගාරයකිනි. එහි ඇතිවූ තාක්‍ෂණ දෝෂ නිසා දැන් එය ක්‍රියාත්මක නොවේ. ගම තුල දුරකථන පහසුකම් ඇත. CDMA දුරකථන එහි ක්‍රියාකරයි. එහෙත් ජංගම දුරකථන නම් තවම ක්‍රියාත්මක කරන්න නොහැකිය. ගමේ ඉතිහාසය ආර්ථිකය ඇතුලු බොහෝදේ අපේ වැප් තම බ්ලොග් ලිපියක පළ කර ඇති නිසා මම ඒවා වැඩි විස්තර කරන්නේ නෑ. 
ගමේ කණිෂ්ඨ පාසල එදාට වඩා අද දියුණුය. එය වසර සීයකට වඩා වැඩි ඉතිහාසයකට හිමිකම් කියනා පාසලකි. එහි 5 වසර දක්වා පංති පවත්වන බව අප නවාතැන හිමිකරු වන නවරත්න මහතා අප සමග පැවසූවා. ඉන්පසු සාමාන්‍ය පෙළ දක්වා කයිකාවල පාසලේ පන්ති පැවැත්වෙන බවත් අසා දැනගත්තා. අධාපනය අතින් එහි වරදක් ඇති බවක් නොපෙනේ. එහි අධාපනය ලද අයෙකු පරිපාලන සේවයේ ඉහලම තරතුරක් වන අගමැති ලේකම් තනතුර පවා හොබවා තිබෙනවා. (එවකට රාජ්‍ය පාලකයා අගමැති සමයේ) 
ත්‍රිරෝද රථ, වෑන් හා ලොරී කීපයක් ගම්වැසියන් සතුය. මෝටර් සියිකල්ද ඇත. ඒවා ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනේ. දිනපතා වෑන් රියක් හුන්නස්ගිරිය දක්වා එහි සිට ගමන් කරයි.
ජල විදුලිය නැතත් සූර්ය බලයෙන් විදුලිය ලබා ගනියි. මීට අමතරව ජෙනරේටර් ද ඇත. බොහෝ නිවෙස්වල රූපවාහිනි, ගුවන්විදුලි යන්ත්‍ර මෙන්ම DVD/VCD යන්ත්‍රද ඇත.  DVD/VCD තැටි විකුණන ස්ථාන කිපයක්ම අතර මග දක්නට ලැබුනි. අත්‍යාවශ්‍ය දේ මිලදී ගැනීමට වෙළඳ සල් කීපයක්ම ඇත. නමුත් ආහාර අතින් ගම ස්වයංපෝෂිතය.

පරිසරය. 
දුම්බර මිටියාවතේ ඇති මෙහි අවට පරිසරය සුන්දරය. කඳුමුදුන් මිදුමින් බරව පවතී. එහෙත් අප ගියේ වියලිම කාලයක නිසා මීදුම දක්නට නොලැබුනි. ගම වටා ඇත්තේ සුන්තර වන පෙතයි. කුඩා ගංගා කීපයක් ගලා බසී. සුරිය අරණ චිත්‍රපටය සඳහා පසුබිම් සොයාගෙන ඇත්තේ මෙම ගමෙනි. මේ එහි ගංගා දෙකක පින්තූර.


මේ වනයේ මෙන්ම ගමේ ද ඇති මඩු ශාකයක්. මෙය මෙහි බහුලව දක්නට ඇත.

මේ මීමුරේ වගා කර ඇති කුඹුරකි. බොහොමයක් නියඟය නිසා මේ දිනවල වගා කර නැත.
මේ එහි ඇති තවත් කැපීපෙනෙන ස්ථානයකි. මෙය එහි ඇති උසම ස්ථානය වන අතර නකල්ස් කඳුවැටියේ උස් කඳු අතරින් එකක් වන ලකේගලය. මෙය ගමට ඉහලින් යෝධයෙකු මෙන් නැගී සිටින අතර එහි යාමට දිනක් පමණ ගතවන බවක් නවරත්න මහතා කීවේ.

ගමේ සංස්කෘතිය හා නිර්මාණ
එහි සංස්කෘතිය ගොවි තැන හා බැඳී පවතී. එහෙත් ඔවුන් හා අප අතර සැලකිය යුතු වෙනස්කම් දක්නට නොමැත. ඔවුන්ගෙන් පිරිසක් නගරයට පැමිණ රැකියා කරති. සෑම දෙනාම පාහේ ඥාති සබඳතා ඇති අය වුවත් මෑතක සිට ආවහ විවාහ කටයුතු නගරයට යන අය නිසා ගමට පිටස්තර අය සමග ආවහ විවාහ කටයුතු දැන් සිදුවේ.
මොවුන්ගේ අව්‍යාජ ගැමි ස්වභාවය තවම පවතී. මගදී හමුවන සෑම දෙනාම පාහේ සිනාසි අඳුනන්නේ නැතත් වචනයක් දෙකක් පවසා යයි. එමෙන්ම ඔවුන් පිටින් අය එනවාට විරුද්ධ නැතත් ඔවුන් කිසියම් පාලනයකට ලක් කිරීමේ අවශ්‍යතාවයක් පෙන්වයි. එනම් සංචාරකයන්ට මග පෙන්වීම වැනි දේ ඔවුන්ම කිරීම වැනි දේ ගැන බලාපොරොත්තු වේ. ඒ පසුපස කිසියම් මුදල් ඉපයීමේ චේතනාවක් ඇතැයි හැඟේ. 
එම ගමට ආවේණික මෙන්ම ගොවිතැන හා බැඳුනු නිර්මාණ ඔවුන් සතුව පවතී.
මේ ගමේ මා දුටු තවත් එක් විශේෂ නිර්මාණයක් වන්නේ ඉඩම්, වගාබිම් වෙන් කරනා ගල් වැටියයි. මේවා පෙර කල සිටම පැවත ඇත.
මෙම ගල් වැටිය වසර 40ක් පමණ පැරණිය. එහෙත් වසර සීයකට වඩා පැරනි ඒවා ගමේ පවතී.
මේ එහි ඇති තවත් අපූරු නිර්මාණයකි. මෙය හඳුන්වන්නේ පිදුරු පන්තල නමිනි. එහි පිදුරු ගබඩා කරයි. ගවයින්ට කෑමට මෙන්ම වෙනත් අවශ්‍යතා සඳහාද මෙසේ පිදුරු එකතු කරයි.
මේ දිය හොල්මන. මෙය කුඹුරට එන සතුන් පලවා හැරීමට බොහෝ පලාත්වල යොදා ගන්නා උපක්‍රමයකි.

 මතකද සූරිය අරණ චිත්‍රපටයේ වැද්දාගේ මස් කඩේ?
මේ තමා එම ස්ථානය.

මේ මීමුරේ ඇති පැරණි සංකේතයක් වන විශාල මී ගස. මේවායේ ඇට දේශීය වෙදකමේ බහුලව යොදාගනී. ප්‍රධාන වශයෙන් එයින් ලබා ගන්නා මීතෙල් විවිධ දේශීය ප්‍රතිකාර සඳහා යොදා ගනී. මී තෙල් නිපදවීම අතීතයේ සිටම මීමුරේ ජනතාව සිදුකර ඇත. 

මේ පින්තූරත් බලන්න. මේවා දුම්බර කඳු වැටියේ පින්තූර කිපයක්.
මේ දුම්බර කඳුවැටියේ අධික සුලං ඇති බවට හොඳින්ම පෙන්වන රූපයක්. සුළඟට ගස් ඇදවී ඇති ආකාරයත් බලන්න. 
වියලි කාලය වුවත් මහ දවාලේ පවා දුම්බර කඳුවල මිහිදුම් සම්පූර්ණයෙන් ඉවත්වී නොමැති බව පේනවා නේද?

තවත් පින්තූර දාන්න ගියොත් මේක බලන්න වෙන එකක් නෑ. ඒනිසා යන්න කලින් කෙටියෙන් මීමුරේ ගැන කියලම යන්නම්.
මීමුරේ ගමන දැන් නම් කියන තරම් දුෂ්කර නෑ. ෆෝවීල් ඩ්‍රයිව් නැතත් හොඳ වාහනයක යන්න පුළුවන්. නමුත් වාහනයේ ග්‍රව්න්ඩ් ක්ලියරන්ස් එක නැතිනම් පොළවේ සිට ඇති උස අඩු කාර් වැනි වාහන නම් යන්න බෑ. වෑන් එකක් තමා හොඳ. ජීප්, ඩබල්කැබ් වැනි වාහනයක් නම් කිසිම ගැටළුවකින් තොරව යන්න පුළුවන්. කණ්ඩායමක් යනවානම් මොටර් සයිකල් වැනි වාහන වුවත් සුදුසුයි. හිතන තරම් ලොකු වියදමක් යන්නේ නෑ. නවාතැන් ගන්න එහි නිවාස තියනවා. වතුර පිරිසිදුයි. උයන්න අවශ්‍ය දේ ගෙනියන්න. උයාගන්න එහි අයෙක් යොදාගන්න පුළුවන්. වැදගත්ම දේ මේ ගම පරිසරය හා තදින් බැඳී පවතිනවා. ඒ වගේම මේ දැඩි ලෙස ආරක්‍ෂාකල නකල්ස් කඳුවැටියයි. ඒ නිසා කිසිම අපද්‍රව්‍යයක් එම පරිසරයට මුදා හරින්න එපා. විශේෂයෙන් පොලිතීන් වැනි දේ. ඒ වගේම කෑගසන්න, ගින්දර තබන්න එපා. වනයට ඇතුල් වෙනවානම් පළපුරුදු අයගෙන් සහාය ගන්න. 
මම දුටු ආකාරයෙන් නම් මා 17 වසරකට පෙර දුටු ගම අද නෑ. බොහෝ දේ වෙනස් වෙලා. ගමට පාර පැමිණිමත් සමග ඔවුන්ගේ සිතුම් පැතුම් වල පවා ලොකු වෙනසක් වෙලා. වෙනදාට වඩා වානිජ පරමාර්ථ වැඩි වෙලා. සෑම දේම මුදල් මත කෙරෙන තත්වයක්. උදාහරණයක් ලෙස එහි ප්‍රධාන කර්මාන්තයක් කිතුල් හකුරු. අපේ පළාතේ කිතුල් හකුරු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 375 ක් පමණ වෙයි. එහතේ නිශ්පාදනය කරන මීමුරේ එය රුපියල් 400කි. ඒවායේ මම මුලින් ගිය වතාවේ තිබූ උසස් තත්වය දැන් නැත. කිතුල් පැණි සම්බන්ධයෙන්ද මෙය එසේමය. නිශ්පාදන තත්වය බාල වීම හා මිළ වැඩිවීම එම ගමටත් පොදු දෙයක් වී ඇත. එමෙන්ම අපේ රටේ ඇති දුෂ්කර ගම්මාන හා සලකන විට මීමුරේ තවදුරටත් දුෂ්කර ගමක් කියා කියන්න නම් මට කිසිසේත්ම නොහැකිය. එහෙත් මීමුරේට පසුව හමුවන දන්දෙණිකුඹුර හා ගලමුදුන යන ගම්මාන තවමත් දුෂ්කර ගම්මාන වේ. 
මේ පිළිබඳ තවත් විස්තර වැප්ගේ පෝස්ට් එකෙන් බලන්න.
ගිහිනි එන්නම්.
සුභ දවසක්..!!!