Friday, January 20, 2012

ලිංගික තෘප්තිය සිතටද ගතටද....(Sex for mind or Body)


මාතෘකාව දැක්ක ගමන් හැමෝම හිතනවා ඇති මොකද මේ වෙලා තියෙන්නේ කියා. මම අද ලියන්න යන්නේ එක්තරා ආකාරයක වෙනස් ලිපියක්. බොහෝ දෙනෙකු විවෘතව කතා නොකරන මාතෘකාවක් මම මට හිතෙන විදියට කතා කරන්නයි අද මේ පුංචි උත්සාහයක් දරන්නේ. ඇත්තටම මෙය මම නොදන්නා විශයක් කීවත් වරදක් නෑ. විවාහ ජීවිතයක් ගත කරන අයත් මේ ගැන නිසි අවබෝධයක් නොමැති බව පෙනී ගොස් ඇති නිසා නොදන්නා අයෙකු ලෙස වුවද මටත් යමක් ලියන්න පුළුවන් කියා හිතුනා. මේ ලිපියට ඔබේ අදහස් ඉතා වටිනවා. ඒ නිසාම මම මේ ලිපිය පුරාම අනොනිමස් කමෙන්ට් වලින් පවා අදහස් බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන්ම මම කතා කරනවාට වඩා විවිධ අදහස් ඇති අය එක්ක සාකච්ඡාවක් කරනවා කීවත් වඩා හොඳයි කියා සිතනවා. එනිසා ලිපිය පටන් ගන්න කලින්ම කියන්න තියෙන්නේ අපි කතා කරමු. අපිට තේරෙන හොඳ සභ්‍ය වචනවලින් ඉහත මාතෘකාව ගැන.
ලිංගික ක්‍රියාව යනු සියලුම සත්වයන් තම වර්ගයා බෝකිරීම සඳහා ස්වභාව ධර්මයෙන්ම වෙන් කල දෙයක් බව අපි කවුරුත් දන්නවානේ. සියලුම සතුන්ගේ පාහේ එම ක්‍රියාව සැලකූවිට එය වර්ගයා බෝවීමෙන් තොරව වෙනත් ආශ්වාදයක් සඳහා සිදුවන බවක් පැහැදිළිව දකින්න අපහසුයි. නමුත් බුද්ධිමත්ම සත්ව කොට්ඨාශය වන මානවයා මෙහිදී වෙනස් ස්වරූපයක් ගන්නවා. එනම් මෙම ක්‍රියාව මගින් කිසියම් අධික තාප්තියක් ලැබීමයි. මෙයට ඔහු කොතරම් ඇල්මක් දක්වනවාද යන්න සඳහා ඇති හොඳම උදාහරණය වන්නේ මෙහි ස්වභාවිකම අරමුණ වන වර්ගයා බෝවීම යන්න දෙවැනි තැනට දැමීමයි. එනම් උපත් පාලනය නම් සංකල්පය සොයාගෙන ඒ ඔස්සේ උපත් පාලනය කරමින් මෙම ක්‍රියාවේ සංතෘප්තිය සොයා යනවා. එනම් මෙයින් තාප්තියක් ලබන බවට කිසිම විවාදයක් නෑ. මෙහි විවිධ අවස්ථා ඇතත් මම අද කතා කරන්නේ සම්මත යුවලත් තුල ඇතිවෙයි කියා මම හිතන ආකාරයේ බන්ධනයකදී බලාපොරොත්තු වෙයි කියා හිතන දේ ගැන කතා කිරීමටයි.

එහෙමනම් අපි යමු අද මාතෘකාවට. මෙම ආශ්වාදය අපි ලබන්නේ සිතින්ද ගතින්ද? මේකට උත්තරය දෙන්න කලින් මම කියන්නම් මේ ගැන මම අසා දැක ඇති දේ. මම මෙහිදී කතා කරන්නේ අපේ ආසියානු සමාජයේ හැසිරීම් හා ආකල්ප හා සම්බන්ධවයි. මන්ද යත් බටහිර සමාජයේ අය මේ පිළිබඳව බොහෝවිට හොඳ අවබෝධයක සිටිනා බවක් පෙනි යන නිසා. මෙහිදී සිදුවන පළමු වරද තම සහකරු තේරුම් නොගැනීමයි. ඔහුගේ හෝ ඇයගේ හැඟීම් අවබෝධ කර නොගැනීමයි. නිසි පරිදි තමන් කරන්න යන දේ ගැන කතා නොකිරීමයි. කෙනෙක් අහන්න පුළුවන් මේවා ඔහොම ප්ලෑන් ගහන් කරන්න පුළුවන් දේවල්ද?

සමීපම හිතවත් කිහිප දෙනෙක් මා සමග පවසා ඇති තොරතුරු අනුව මෙය බොහෝ දෙනෙක් සිදු කරනා ආකාරය ගැන මට දල අදහසක් ලැබී තිබෙනවා. එනම් ඔවුන්බොහෝ දෙනෙක් මෙයින් බලාපොරොත්තුවන තාප්තියක් නොලබන බව. එයට හේතු වශයෙන් දැකිය හැකි වන්නේ

  • මේ සඳහා හොඳ පරිසරයක් නොපැවතීම.
  • ප්‍රමාණවත් කාලයක් නොමැති කම. (එනම් ඔවුන් පැය 1/2ක් වැනි කාලයක් තුල මෙය අවසන් කරනවා.)
  • නිරවුල් මනසකින් නොසිටීම.
  • ඒ සඳහා යොදාගන්නා වේලාව.
  • නිසි ලෙස දෙදෙනා හඳුනා නොගැනීම.
එහෙමනම් දැන් අපි යමු අපේ මාතෘකාවට. ඇත්තටම මේ යටතේ ලියන්න ගොඩක් කරුණු මා සතුව නෑ. ඉහත තත්වයන් මා මිතුරන් මා සමග පැවසූ ආකාරයට මා තේරුම් ගත් කරුණු, මේ විශය සම්බන්ධයෙන් මා කියවා ඇති කරුණු හා පෞද්ගලිකව මට හිතෙනා දේ ඇසුරෙන් මම සිතේ ඇඳගත් කරුණු ඔස්සේ මේ ගැන කියන්නයි මේ සූදානම.
මිනිසුන් මෙම ක්‍රියාවලියේ නිරතවන්නේ ප්‍රධාන වශයෙන් කායික තෘප්තිය ගැන සිතා බව මා කලින් කීවානේ. අපි සතුට වෙනුවෙන් කරන දේවල් මඳක් සිතන්න. ආහාර ගැනීමේදී රසවත් දේ සොයනවා, විනෝද ගමන්, විවිධ විනෝද කටයුතු, ක්‍රීඩා ඇතුළු සාමූහික ක්‍රියා, රූපවාහිනී නැරඹීම සිංදු ඇසීම, චිත්‍රපට නැරඹීම මෙවැනි බොහෝදේ කරනවා. මේවායින් කිසියම් ඉන්ද්‍රියක් පිනවීම අපි කළත් ප්‍රධාන වශයෙන් අපි පිනවන්නේ සිත. සිතේ දුකින් රසවත් කෑමක රස විඳින්න පුළුවන්ද, විනෝද ක්‍රියාවක් නොහැකියි නේද? සමහර විට සිතේ දුක තුනී කරගන්නත් අපි මේ වගේ දේවල් කරනවා. ඒ වගේම මෙම ලිංගික ක්‍රියාවේදීත් ප්‍රධාන වශයෙන් සතුටු විය යුත්තේ සිතම නොවේද?
දැන් ඉහත කරුණු මේ සිත හා සම්බන්ධ කරමු.

හොඳ පරිසරය.
හොඳ පරිසරයක් යනුවෙන් මම අදහස් කරන්නේ බාධක අවහිර නොමැති නිදහස් ස්ථානයක්. එම ස්ථානයේදී දෙදෙනාට නිදහසේ අදහස් හුවමාරු කරගන්න නිදහසේ කතා කරන්න හැකියාව පැවතිය යුතුයි.
පරිසරය මෙම ක්‍රියාවට නොගැලපෙන ස්ථානයක් නම් සිතේ ඇතිවන්නේ ව්‍යාකූලත්වයක්. බාධාවක් එයිද, අනික් කෙනෙක් දැනගනීද වැනි චකිතයක්. එනිසා සිතට එකඟව එහි යෙදෙන්න බෑ. එබැවින් ශාරීරික තෘප්තියට පත්වූවත් සිතේ අඩුවක් පවතීවි. තමන් දෙදෙනා මෙම ක්‍රියාවේ නිරත වූ බවක් පිළිගන්න සිත මැලි වේවි.

ප්‍රමාණවත් කාලයක් නොමැති කම.
කාලය මෙහිදී බලපාන ආකාරය තරමක් සංකීර්ණයි. එනම් මෙම ක්‍රියාවේදී පිරිමි අයෙකු හා ගැහුණු අයෙකු සංතර්පණයට පත්වන ආකාරය වෙනස්. පිරිමි කෙනාට සාපේක්‍ෂව ගැහැණිය වැඩි කාලයක් ගතකරනවා. එනිසා තම සහකාරිය නිසි සුවය නොලද බව අවබෝධ කරගත් සහකරුවාට තමන් අසාර්ථක බවක් දැනේවි. එවිට ඔහු සිතින් කණගාටුවෙයි. සිතට නිසි සතුට නොලැබීම නිසා ඔහුගේ සිතට අඩුවක් දැනේවි. එනම් සිත සැනසුනේ නැති නිසා පූර්ණ තෘප්තිය සහකරු නොබලන අතර සහකාරිය කායික මානසික දෙආකාරයෙන්ම අසතුටට පත් වෙනවා.

නිරවුල් මනසකින් නොසිටීම
කියන්න දේකුත් නෑ. සිතේ සතුටක් නැතිව ඉන්නා විටෙක මෙම ක්‍රියාවේ යෙදෙන්න සිදුවීම දෙදෙනාගෙන් එක් අයෙකුට අප්‍රසන්න අත්දැකීමක් වේවි. සිත එය ඉල්ලන්නේ නැති විටෙක සිරුරට පමණක් එය දෙන්න යන්න එපා. එයින් සිරුර කිසියම් තාප්තියක් ලබන්න ඉඩ ඇති. එහෙත් එය මනසට නම් දැනෙන එකක් නෑ. ඒ නිසා සිත නිදහස් නම්. සිත් එය ඉල්ලනවානම් පමණක් එයට ඉඩ දෙන්න.

ඒ සඳහා යොදාගන්නා වේලාව
කලින් කීවා වගේම බොහෝ දෙනෙක් රාත්‍රී නින්දට යන විට මෙයට යොමු වුවත් එය එතරම් හොඳයි කියා මම හිතන්නේ නෑ. ඒ අප දවස අවසානයේ ශාරීරික හා මානසික වශයෙන් දැඩි ලෙස වෙහෙසට පත්වී සිටීමයි. එනිසාම ඉහතින් මම සඳහන් කල ආකාරයට නිරවුල් මනසක් නෑ. සිරුර සහ සිත ඉල්ලන්නේ විවේකයයි. එය නොදී මෙම ක්‍රියාවේ නිරත වුවද පූර්ණ තාප්තියකට යන්න බෑ.

නිසි ලෙස දෙදෙනා හඳුනා නොගැනීම
මෙය සිතිවිලි හා අදහස් අතර ගණුදෙණුවක්. අනිකාගේ සිත තේරුම් ගන්න වෙනවා. දෙදෙනා තම සිතිවිලි, හැඟීම් ගැන කතා කරන්න අවශ්‍යයි. තමන්ට සිතෙන දේ අනිකාට කියන්න අවශ්‍යයි. තමන් අනෙකාගෙන් බලාපොරොත්තු වන දේ කියන්න අවශ්‍යයි. එවිටයි තමන් දෙදනොගේ සිතට හා ගතට අවශ්‍ය පහස හඳුනා ගන්න හැකි වන්නේ. එය හඳුනාගත් විට සිත තෘප්තිමත් වෙනවා. ඒ සිත ඉල්ලන දේ ලැබීම නිසා. සිරුරත් තෘප්තිමත්. එනිසා බලාපොරොත්තු වන සතුට කරා යන්න අපහසු වෙන එකක් නෑ.

මෙම කරුණු අනුව ඔයාලටම හිතෙනවා ඇති අපි සතුටු කළ යුත්තේ සිරුර පමණක් නොවන බව. අපි සිරුර මෙන්ම සමානව සිතටද සතුට ලබා දිය යුතුයි. සිත ඉල්ලන දේ කුමක්ද කියා තේරුම් ගන්න. එය අනෙකාගේ සිත ඉල්ලන දේ සමග සසඳන්න. එය තම ශරීර වලට දරන්න පුළුවන්ද කියා දෙදනොම සාකච්ඡා කරන්න. සිතිවිලි වලට නිදහසේ ගලා යන් ඉඩ දෙන්න. සිතුවිලි විසින් සිරුර පාලනය කරනු ඇත. සිතුවිලි තමන් දෙදෙනා බලා පොරොත්තු වන සතුට කරා තම ශරීර රැගෙන යනු ඇත. එහෙත් එය විවාහවූ මුල් කාලයේ සිදු නොවේවි. කාලයත් සමග දෙදෙනාගේ සිත් කියවීම වැඩි වේවි. සිත් සොයනා දේ අනෙකාට දැනේවි.

ලිංගික ඇසුර යනු විවාහක යුවලක් විසින් දිනපතා ඉටුකල යුතු රාජකාරියක් ලෙස සලකන්න එපා. දෙදෙනාට පොදු වූ දෙදෙනාට සතුටු විය හැකි තවත් ක්‍රියාකාරකම් හඳුනා ගන්න. සමහර විට මල් වැවීම, කැවිලි සකස් කර දෙදෙනා තනිව රස විඳීම, සිංදු ඇසීම වැනි ක්‍රියා කාරකම් වලින්ද සතුට ලබන්න පුළුවන්. එකම සතුට කරා නොගොස් විවිධ දේ ඔස්සේ සතුට සොයන්න. නිතර දකින කුකුළාගේ කරමලය සුදු බවක් අසා ඇති නේද? එලෙසම මෙම ක්‍රියාවද නිතිපතා කිරීම නිසා එහි ඇති ආකර්ශනිය බව අඩුවී දෙදෙනාටම එපා වනු ඇති. එනිසා ජීවිතය යනු විවිධ දේ කුඩා ක්‍රියාකාරකම් රැසක එකත්වක් බව සලකන්න. ඒ ඔස්සේ ඔබේ සිතේ සතුට සොයා යන්න. සතුටු සිත තෘප්තිමත් ශාරීරික ක්‍රියාකාරකම් වල වැදගත්ම දේ බව සිතන්න. ඒ අනුව කටයුතු කරන්න.
සැමට ප්‍රීතිමත් දිවියක්...!!!

ප/ලි
මෙම ලිපිය සකස් කිරීමේදී අතිශය පෞද්ගලික තොරතුරු පවා මා සමග පැවසූ හිතවතුන්ට මාගේ ප්‍රණාමය පුදකරමි. අද දින පෝස්ට් එක සංවාදයට විවෘත අතර තම අත්දැකීම් බෙදා හදා ගන්න කැමති අයට විවෘතයි. මේ සඳහා අද දින ඇනෝනිමස් කමෙන්ට් සඳහාද ඉඩ සලසා ඇති අතර මෙහි අඩුපාඩු ඇතිනම් පෙන්වා දෙන ලෙසද ඉල්ලා සිටිමි.

Saturday, January 14, 2012

Good Morning.......ඉතින් මට මොකෝ.......:P


අපි කවුරුත් ආසයි උදේම කාගෙන් හරි සුභ පැතුමක් ලබන්න. ඔයාල ගැන මං දන්නේ නම් නෑ. හැබැයි මම නම් ආසයි. මේ අද උදේ උන දෙයක් නිසයි මෙහෙම පෝස්ට් එකක් ලියවුනේ. වෙනදටත් මේ වගේ දේවල් වෙනවා. ඒත් තියන කලබලේ නිසා සමහර දේවල් ඒ සැනින් අමතකම වෙනවා. එහෙත් අද සිදුවූදේ ගැන නම් ලියන්නම හිතුනා. අද කීවාට මං මේ කියන්නේ සිකුරාදා වැඩට එද්දී සිදුවූ දෙයක්. මේක පබ්ලිශ් කරන්නේ නම් 14 වෙනිදා උදේ තමා. ඒකෙන් ප්‍රශ්නයකුත් නෑනේ. එහෙනම් අපි කතාවට එමු.
මේකයි සිද්ධිය. අපි කවුරුත් උදේම හමුවන අයට සුබ පතන සිරිතක් තියනවා ගුඩ් මෝනින් කියා. එය අපේ සිංහල ක්‍රමයනම් නෙවෙයි තමා. ඒත් එය අපිට සුද්දාගෙන් ලැබුන හොඳ සිරිතක්. අවශ්‍යනම් අපිට උදේම ආයුබෝවන් කියා සුබ පතන්නත් බැරි කමක් නම් නෑ. ඔන්න ඉතින් ට්‍රැක් පනිනවා. යමු කතාවට. 
අපි බොහෝ දෙනෙක් උදේට හමු වෙන අයට මේ ආකාරයට සුබ පතනවා. විශේෂයෙන්ම එකට සේවා ස්ථාන වල සේවය කරන අයට සුබ පැතීම සාමාන්‍ය දෙයක්. මටත් ඔය පුරුද්ද තියනවා. ඒත් මම ටිකක් වෙනස්ද මන්දා. මං නම් දන්නේ නෑ ඔයාලත් හිතන්නේ මං හිතන විදියටද කියා. කොහොම නමුත් මම ඉදිරියට හමුවන හැම දෙනාටම වගේ තරාතිරම නොබලාම ගුඩ් මෝනින් කියා සුබ පතනවා. සමහරු නම් මුව පුරාම සිනාසී ගුඩ් මෝනින් කියාම පෙරලා සුබ පතනවා. සමහර අය ඒකත් වර්ගීකරණය කරලා. තමන්ට ඉහලින් තනතුරක ඉන්න අයෙක් නම් ගුඩ් මෝනින්. සමාන අයට මෝනින්, පහලින් ඉන්න අයට යන්තම් හිනාවක්. බලන්නකෝ ඒකේ ඇති තේරුම මොකක්ද කියා. නිකන්ම නිකන් මෝනින් කීවා ඇති වැඩක්ද?
මම කීවානේ මම ටිකක් වෙනස් කෙනෙක් කියා. මම කෙනෙකුට සුබ පත්නනේ හිත සතුටින්. ඒ වගේම හිත තවත් සතුටු කරගන්නයි. අපි කෙනෙකුට දෙයක් දීලා, උදව්වක් කරලා ආපසුවට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන එකත් වැරදියි. එහෙත් ගුඩ් මෝනින් කීවාම ආපසු ගුඩ් මෝනින් කියන්න තරම් කෙනෙකුට බැරිනම් ඇත්තටම හිතට ඇති වෙන්නේ දුකක්. අර සුබ පැතූ එකෙන් ලැබූ සතුටත් නැති වෙලා යනවා. මෙහෙම කීවේ මම දින කීපයක්ම සුබ පතන විට එය සැලකිල්ලට නොගෙන ගිය කෙනෙක් හිටියා. මම හිතුවේ ඔහුට කිසියම් ප්‍රශ්නයක් ඇති කියා. ඒත් අද බලන විට මම සුබ පතන විට නිහඬව සිටි කෙනා වෙනත් අයෙකුට මුව පුරා සිනාසී සුබ පතනවා. සොයා බැලූ විට අර දෙවෙනි පුද්ගලයාගෙන්  උපකාරයක් ගන්න වෙලා. ඒ නිසයි මේ හිනාව. ඉතින් මම තීරණය කලේ නැවත ඔහුට සුබ පතන්නේ නෑ කියා.
ඕකයි අද කතාව. ඇත්තටම උපකාරයකට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්න නම් මම කිසිදා කැමතිම නෑ. එහෙත් සිනාසී සුබ පතන්නේ මමත් අඩුම වශයෙන් සිනාවකින් සංග්‍රහයක් ලබන්නයි. එය නොලැබෙන විට සිතට කණගාටුවක් නම් ඇති වන්නේ එය නොකර අනවශ්‍ය දේ දාගන්නේ නැතිව ඉන්න එකයි හොඳ.
මේ වගේ තව බොහෝ අවස්ථා අපිට එදිනෙදා හමුවෙනවා නේද. බලන්න අපි විශේෂ අයට සුභ පතනා ආකාර. දුරකථන ඇමතුම් වලින්, SMS වලින්, ෆේස්බුක් වැනි සමාජ ජාල හරහා, ඊ මේල් වලින් තව නම් කොච්චර දේ ඇතිද? මේ හැම දේම කරන්නේ එය ලබන්නා අපිට විශේෂ කෙනෙක් නිසයි. යාළුවෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක්, පෙම්වතා/පෙම්වතිය, සැමියා/බිරිඳ මේ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙත් එම තැනැත්තාට අපි විශේෂ නැතිනම් සුබ පැතීමෙන් ඇති පලක් තියේද කියා මට හිතුනා.
ඔයාලගේ අදහස් මීට වෙනස් ඇති. හැමෝම එක වගේ හිතන අය නෙවෙයිනේ. මට හිතුන දේයි මම අද ලියා තැබුවේ. ඔයාලටත් මේ ගැන කියන්න දෙයක් ඇතිනම් කමෙන්ට් එකක දාලම යන්නකෝ.
ගිහින් එන්නම්.
සුබ දවසක්...!!!

Monday, January 9, 2012

රේල් පාරේ කිලෝමීටර් 5.55 ක්.........

මාසෙන් දවස් 9 ක්ම ගෙවී අවසන්....
ඒත් ආව සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා සුබ පතනවා ඔන්න. සෑහෙන කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. ආවාමයි දැක්කේ මාස දෙකකින් පෝස්ට් එකක් දාලා නෑ කියා. සාමාන්‍යෙයන් නම් මට එහෙම ලේසියෙන් පෝස්ට් නොදැමෙන හේතුවක් තිබුනේ නෑ. මේ ලෙඩේ පටන් ගත්තේ 2011 ජූලි මාසය අවසානයත් සමගම. කලබල වෙන්න කාරියක් නෑ. ඒ මම ජූලි මාසයේ බස් රේඩියෝව එක්ක ස්ථිර සම්බන්ධයක් හදා ගත්තනේ. ඊට කලිනුත් ඒකේ හිටියා. ඔය පුළුවන් වෙලාවට ඇවිත් යනවා වගේ තමා. පසුව ඉතින් ඒකත් එක්ක කාර්යබහුල කම (ඕක මතයි ඉතින් ගැලවෙන්න තියන ලේසිම උත්තරේ) එක්ක ලියන එකත් අඩු උනා. ගුගල් මාමා බස් යහනවා කීවාම බස් වහන්න කලින් ඇති වෙන් බස් පැද්දා. කොහොම හරි අන්තිමට දන්නේම නැතිව බ්ලොග් එක ලියලාම නෑ මාස දෙකක්ම.
ආයෙම පටන් ගන්නේ කොතනින්ද කියා කල්පනා කරද්දී තමා මතක් උනේ අපි ගිය වර්ශ අවසාන රේල්වේ හයික් එක. අඟුරුනොකා කොළඹ දුවන යකඩ යකා ලියන කෝච්චි මල්ලි තමා ආරාධනා කලේ යමු අයියේ මේක කියා. කලින් වතාවක් එන්න කීවා. ඒත් එදින අත්‍යාවශ්‍ය රාජකාරියක් සඳහා සේවා ස්ථාකයට වාර්ථා කරන්න උන නිසා යන්න බැරිඋනා. ඔන්න යන්තම් මේ පාර නම් දෙසැම්බර් 31 වෙනිදා යන්න බාධාවක් තිබුනේ නෑ. ගමන ගියේ පාන්දර 5.55ට කොටුවෙන් පිටත්ව බදුල්ල බලා යන පොඩිමැණිකේ දුම්රියෙන්. කොටුව කීවාට මායි බනියයි නම් සෙට් උනේ පේරාදෙණිය හංදියෙන්....
කට්ටිය කෝච්චියේ ගියෙත් හරිම සතුටින්. පේනවානේ සංතෝසේ තරම....
පොඩිමැණිකේ ඇදන් ගියේ M6 එන්ජිමක්. බලන්නකෝ මේ තරම් සෙනගත් පටවක් කන්ද ඇදන් යන අපූරුව...
අවසානයේ අපි ඉඟුරුඔය දුම්රියපොලෙන් බැසගත්තා. මේ එම දුම්රිය පොලයි...
මුහුදු මට්ටමේ සිට මීටර් 676ක් උසින් පිහිටි ඉඟුරුඔය නාවලපිටියට පසුව හමුවන දුම්රියපොලයි. මෙතැන් සට තමා අපේ පයින් ගමන ඇරඹෙන්නේ. කට්ටයම රේල්පාර දිගේ ගල්බොඩ දෙසට යන්න පිටත් වන්නේ මෙම ස්ථානයෙන්.
සිල්පර මතින් මේ පීලි දෙක බදුල්ලටම යන බව නම් දන්නවා. පීලි දෙකේ පිළිසරණ අහිමි වූ කල ඈ කෙසේ මේ ගමන යන්නද.....
හොඳින් හිරු රැස් පතිතවී ඇති  රේල් පාර දිගේ ඉදිරියට ඇදෙන අපේ ගමන හරිම හෙමින් ගියේ. හැම දෙනාම වගේ කැමරා අටවන් නේ යන්නේ. ඒ නිසාම ෆොටෝ ගන්න ලොකු වෙලාවක් යනවා. මේ මාර්ගයේ දුම්රිය නැවතුම් පොලවල් (කෝච්චි හෝල්ට්- මේවා ස්ටේශන් නොවන අතර සිග්‍රගාමී දුම්රිය මේවායේ නවත්වන්නේ නෑ. නාවලපිටිය හැටන් වැනි කෙටිදුර දුම්රිය නවත්වන්න ඇති මේවා තේ වතු වල නමින්ම වගේ තමා ඇත්තේ.  මේ අවට වතු සේවකයින්ට තම ගමන් බිමන් සඳහා වැඩියෙන්ම යොදාගන්නේ දුම්රියයි) දෙකක් හමුවෙනවා. ඒවා අතරින් පළමුව හමු උනේ හඟරන් ඔය. බලන්න අපේ මිනිස්සු එහි නාම පුවරුව වනසා ඇති ආකාරය. 
දෙවැන්න පෙන්රෝස්..
පෙන්රෝස් වලදී අපිට අමුත්තෙක් හමු උනා. කවුද බලන්න මේ අමුත්තා. ඔයාලා අඳුනනවාද..
ඔව් අඳුනන්න බැරිඋන අයට කියන්නම් මෙයා තමා උඩරට මැණිකේ. මේ ලයින් එකේ මැණිකෙලා දෙන්නයි යන්නේ. එක්කෙනෙක් උඩරට මැණිකේ අනික් කෙනා පොඩිමැණිකේ (පොඩ්ඩි). මෙයා බදුල්ලේ සිට පල්ලම් බහින උඩරට මැණිකේ. මේ වනවිට අනික් උඩරට මැණීකේ කන්ද එනවා ඇති හති දාගෙන. බල සම්පන්න M6 කාණ්ඩයේ Thyssen Hanscel වර්ගයේ 783 දරණ එන්ජිම උඩරට මාර්ගයේ අති සාර්ථකම එන්ජින් කාණ්ඩයේ එකක්. මෙයා ආවේ තනියම නෙවෙයි. අකර්මන්‍ය වූ W3 කාණ්ඩයේ සගයෙක්ද ඇදගෙනමයි.
මෙන්න මං ආස කරන එන්ජින් අතරින් එකක්.. ඒ M6 783...
මේ අපේ ගමනේ එක් ඉලක්කයක්. 12 වෙනි බිංගෙය. මාර්ගයේ ඈතින් බිංගෙය පේනවා ඇති. මෙය දිගින් අඩි 434ක්. ඇතුලත අඳුරු නිසාම විදුලි ආලෝකයක් නැතිව යන්න අපහසුයි. එමෙන්ම සීතල හා තෙත් බව නිසා සිල්පර ලිස්සන සුළුයි. 
මෙම උමගින් පිටවූ සැනින් හමුවන්නේ පාලමක් සමගින් 13 වන උමගයි. එය දිගින් අඩි 323ක්. මෙය පෙර උමග තරම්ම අඳුරු නෑ. ආලෝකය හොඳින් ඇති දිනෙක කිසිදු එලියක් නොමැතිව ඒ තුලින් යන්න පුළුවන්. 12 වන බිංගෙයින් පිටවන අපි සැරසෙන්නේ අපේ සංචාරයේ ප්‍රධාන ඉලක්කය ගන්නයි. ඒ බණ්ඩාරවෙල දක්වා ධාවනය වන ඉන්ටර්සිටියේ පින්තූර ගන්නයි. මේ සඳහා අපි ලොකු කාලයක් 13වන උමං කට අසල රැඳී ඉන්න උනා. පිංතූරේ බැලුනාම කට්ටියට තේරෙන්න ඇති මං කොච්චර උඩක ඉන්න ඇතිද කියා. වැඩිය නෑ පැය 1 1/2ක් පමණ මෙම ස්ථානයේ ඉන්න උනා.
කොහොම උනත් පැයක් පමණ සිටි අපේ බලාපොරොත්තු බිඳ දමමින් උමං කටින් එලියට ආවේ මෙන්න මෙයා....
උත්සාහ වන්තයා ජයගන්නවාලුනේ. අවසානයේ අපේ ඉලක්කය මෙන්න එනවා උමං කටින්. බණ්ඩාරවෙල ඉන්ටර්සිටිය රැගෙන M6 786 එන්ජිම ආඩම්බරයෙන් ආවේ මෙහෙමයි.
මෙයා 13වන උමග තුල නොපෙනී ගියේ මේ අයුරින්...
දෙන්න ගත්තාම දෙවියෝ ඔලුවේ ගහලා දෙනවාලු. උමං දොර අසලට අපි එකතු උනේ සමූහ පින්තූරයක් ගන්නයි. ඒත් ඒ සමග ආ නලා හඬ කීවේ එයට ඉඩක් නෑ තවත් අය එනවා කියයි. අපි වහාම කැමරා අටවන් සැරසුනේ මේ එන අමුත්තා පිළි ගන්නයි. කණට පුරුදු නළා හඬක් හා එන්ජිමේ ශබ්දය අපි කීප දෙනෙක්ම හොඳින් අඳුනනවා කෝච්චිය උමගෙන් එලියට එන්නත් කලින්ම. පින්තූරේ බලලාම මෙයාව අඳුනගමු.
උඩරට මැණිකේ රැගෙන මේ ඇදෙන්නේ දැනට ලංකාවේ ධාවනය වන පැරණිම එමෙන්ම අති සාර්ථකම ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජින් වර්ගය වන Class M2c වලට අයත් EMD G12 වර්ගයේ 626 දරණ එන්ජිමයි. මෙහි ඇති වැදගත්කම වන්නේ දැනට උඩරට මාර්ගයේ ධාවනය වන Class M2 එකම එන්ජිම මෙය වීමයි. මේවා පිළිබඳ වැඩි විස්තර ගෙහාන් මල්ලි (කෝච්චියා) ගේ බ්ලොග් එකෙන් බලන්න. වසර 50ක් පැරණි මෙම ඒන්ජින් මේ අයුරින් ධාවනය වීම අපේ දුම්රිය ඉතිහාසයේ වැදගත් අවස්ථාවක්. මගේ ප්‍රියතම එන්ජින් වර්ගය වන මේ වර්ගයේ එකක් මා ඡායාරූප ගත කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
උමං කටේ මුර කරුවා දැක තිබෙනවාද. මේ ඉන්නේ එයා තමා.....
මෙයින් පිටවන අපි ඉක්මනින් ගල්බොඩට ලඟා වන්නේ 2.50ට එහි ළඟාවන පොඩ්ඩි එක්ක ආපසු පල්ලම් බහින්නයි. අතර මග පින්තූරයක් දෙකක් බලාගෙනම යමු නේද.
ආ මග දෙස නැවත හැරී බලමුද.....
අතර මගදී ගමන හැර ගිය සගයෙක් දුම්රිය මග දෙස දුකින් බලා හිඳිනවා.......
De-railing ගැන අසා තිබෙනවාද. ඒ කියන්නේ බ්රේක් නැති කෝච්චියක් නවත්වන්න බැරි නම් කරන්නේ පීලි පන්නලා නවත්වන එකයි. ඒ සඳහා වෙනම තැන් තියනවා. මේ එවැනි තැනක්...
අන්තිමේ ඔන්න ගල්බොඩටත් ආවා. 
මේ අපි ආපසු ආවා කෝච්චිය නැවත පල්ලම් බහිමින්....
Class M6 එන්ජිම පොඩ්ඩි සමග ගල්බොඩට ළඟාවෙමින්.
මෙන්න මේ තරම් බරක් ඇදගෙන කොළඹට පොඩිමැණිකේ ඇදන් යන Class M6 794 එන්ජිම පේරාදෙණියට නැවත ළඟාවූ අවස්ථාව......

මේ අපේ කාණ්ඩය.
පිටුපසින් හිටගෙන සිටිනන්නේ ඉන්දරේ, සෝරෝ, ගයන්ත, බනියා, කණියා රේලිපීලි මත වාඩිවී ඉන්නේ මමයි ගෙහාන් මල්ලියි. එහෙම නම් අලුත් අවුරුද්දේ සැමට සුභ පතමින් මේ පෝස්ට් එක ඉවර කරන්නම්.
ගිහින් එන්න කලින් කියන්න පණිවිඩයක් තියනවා. අපි, පොඩ්ඩි, නීතා සමග මා එක්ව ලියන අලුත්ම බ්ලොග් එක සැඳෑ අඳුර අද සැඳෑ අඳුර වැටෙනා යාමයේ සයිබරයේ දිගහැරෙන බව දන්වන්නේ සතුටින්. එහෙනම් එන්න සැඳෑ අඳුරේ සැරි සරන්න අපිත් එක්කම.

එහෙනම් ගිහින් එන්නම්...
සැමට සුභ අලුත් අවුරුද්දක්....!!!!