Showing posts with label පාසල් කාලේ. Show all posts
Showing posts with label පාසල් කාලේ. Show all posts

Friday, May 25, 2012

ආයෙත් එහෙම වෙනවානම්......


හන්තාන කඳු වැටිය මතින් රන් කිරණ විහිදුවමින් හිරු නැගී එන එක අරුමයක් නම් නොවේ. මීදුම් නැති දවසට පහල ඇති පොල් ගස් වල දළු අතු මතට තමා මුලින්ම හිරු එළිය වැටෙන්නේ. මං ගෙදර ඉන්න දවසක නම් ඉර පායන්නත් කලින් පටන් ගන්නා මේ දසුන දෙස සෑහෙන වෙලාවක් බලන් ඉන්න එක පුරුද්දක්. ටික වේලාවකින් මිදුලටත් ඉර එළිය වැටෙනවා. මේ වෙලාව තමා දවසේ මං ආසම වේලාව. මුලු පරිසරයම පුදුමාකාර සුන්දරත්වයකින් පිරී ඉතිරී යනවා. ඒත් සවස රාස්සිගේ අවුව හන්තානෙන් මිදී ගොම්මන් කලුවර මිදුලට එව වෙලාවටනම් ඇති වෙන්නේ කියා ගන්න බැරි දුකක්.

නිවාඩු දවස් වලට වහිනවාට මං එච්චරම ආස නෑ. ඒත් වැස්සේ තෙමි තෙමී කඩදාසි ඔරු යැව්වේ නැති ළමයෙක් මේ රටෙන් හොයන්න කොච්චර අමාරුද. අම්මා කොච්චර බැන්නත් ඒ වැඩේ මම නෙවෙයි නැවැත්වූවේ. ඒත් ඒ දවස්වල වැස්සට තෙමුනාම හෙම්බිරිස්සාවක් උණක් නම් වරදින්නේම නෑ. 

මං පෙර පාසැල් ගිය කාලේ මට ටිකක් මතකයි. ඒවායින් හොඳටම මතක පෙර පාසලේ මිදුලේ කෝටු කෑලි වලින් චිත්‍ර ඇන්ද හැටි. මං වැඩියෙන්ම අඳින්න ආස වාහන. ඒ මම පිරිමි ළමයෙක් නිසා වෙන්න ඇති. දවසක් අඳින්න උනේ පෙරපාසල ඉදිරියේ විදුලි රැහැනක එල්ලී ජීවිතය අවසන් කල වවුලෙකුගේ චිත්‍රයක්. මට අදවගේ මතකයි මං තමා ඒ චිත්‍රය ලස්සනටම ඇන්දේ. පාසලේදිත් සාමාන්‍යපෙළට චිත්‍ර කලාව හදාරා ඇතත් මම කිසි දිනක චිත්‍ර තරඟයකට ඉදිරිපත් වෙලා නම් නෑ. 

පාසැල් කාලේ සිදුවීම උනත් ගොඩක් දේ මතකයි. එකක් මතක් කළ විට එක පෙළට සිදුවීම් ගණනාවක් සිහියට එනවා. දවසක් පාසල් නිමවී ගෙදර එන විට පූස් පැටියෙක් අරන් ආවා. ඌ රෑ එළිවෙනතුරුම නොනවත්වාම කෑ ගැසුවා. එක දවසින් පූසා එපාම වුවත් මට කරන්න දෙයක් තිබුනේ නෑ. එහෙත් පසු දින මා පාසල් ගොස් එනවිට අසල ගෙදරක ගැහැණු කෙනෙක් පූසා දැකලා අම්මාගෙන් ඉල්ලන් ගිහින්. කොපමණ උත්සාහ කළත් ඒ පූස් පැටියාගේ පාට නම් මට මතකයට ගන්න කිසිසේත්ම බැහැ. 

පොඩිකාලේ ඉඳන්ම මං ගොඩක් ආස කළ දෙයක් තමා වැස්සකට පසුව හොඳින් ඉරපායා ඇති උදෑසනක යන්තම් සුළඟක් ඇතිනම් තනියම ඇවිදින එක. පාරේ ඇති ගල් කැට වලට පයින් ගසමින්, සිංදුවක් මුමුණමින්, වරෙක උඩ පනිමින් ඇවිදින්න මම හැමදාමත් ගොඩක් ආසයි.

පොඩි කාලේ කළ තවත් වැඩක් තමා බත්කූරන් අල්ලාගෙන උන්ගේ තටු සතරම එකට සිටිනාසේ අල්ලාගෙන කුඩා ගල් කැටයක් අසලට ලං කළ විට ඌ එය අල්ලා ගන්නවා. ඉන්පසු එය ඔසවාගෙන ගොස් වෙන තැනකට දානවා. දැන් නම් ඒ ගැන ඇති වන්නේ ලොකු කණගාටුවක්. 

ගේ පසුපස ඇල්ලේ කුඩා පාරවල් කපා සෙල්ලම් වාහන පැදවූ හැටි තාමත් මතකයි. පස් කපා පාරවල් හදන්න කුඩා බුල්ඩෝසරයක් හා කපන පස් පසෙකට ගෙනයන්න කුඩා ලොරියක් කැඩුනු සෙල්ලම් වාහන වලින් ගත් කොටස් වලින් මම සාදා ගත්තා. ත්‍රස්තවාදී කලබල ඒකාලයේත් නිතරම පැවතුනා. ත්‍රස්තවාදීන් වාහන බෝම්බ වලින් විනාශ කළ දර්ශන රූපවාහිනියෙන් නිතර දකිනවා. දවසක් ඒක බලන්නම මගේ සෙල්ලම් කාර් එකක් රතිඤ්ඤයක් දමා පුපුරවා හැරියා. එහෙත් උනේ එය උඩ ගොස් නැවත බිම වැටුන එක විතරයි. 

මම ගොඩක් ආසාවෙන් කල දෙයක් තමා පාසල් යන එක. කිසිදාක පාසල් නොගොස් බොරු කියා ගෙදර ඉඳලා නෑ. සමහර විට අසනීපයෙන් පවා පාසල් ගියා. පාසලේ අද මට සයිබරයේ ඉන්නවා වගේම හොඳ යාළුවන් පිරිසකුත් හිටියා.

උඩ ඉඳන් පහලටම කියවන් ආවා නේද. කිසිම පිළිවෙළක් නැතිව ඔහේ ලියවුන මතකයන් කීපයක ආවර්ජනයක් පමණයි නේද. අපේ ජීවිතත් එහෙම තමා. අපි කොයි තරම් සැලසුම් කළත් එදිනෙදා සිදුවීම් වෙන්නේ අපට අවශ්‍ය ආකාරයට නොවේ. ඒවායින් අපට අවශ්‍ය දේ වෙන්කරගෙන අනවශ්‍ය දේ ඉවත් කිරීම තමා අප ජීවිත කාලය පුරාම කරන්නේ.

ආයෙම මුලින් කීව දේවල් මතක් කරනවානම් ඒ කළ හැමදේම වගේ දැන් කරන්න බෑ. කරන්න පුළුවන් උනත් කරන්න හිතෙන්නේම නෑ. එහෙම කලොත් දකින අය කියයි අන්න අරකා පොඩි එකා වෙන්න යනවා කියලා. ඇත්තත් ඒකනේ. අපි පාසල් අධ්‍යාපනය අවසන් කරලා සමාජයට එන්නේ වැඩිහිටියන් වශයෙන්. අපි කොතරම් පොඩි එකා වගේ පෙන්වුවත් සමාජය අප දෙස බලන්නේ නෑ එහෙම. ඒ කියන්නේ මම දැන් පොඩි එකෙක් නෙවෙයි.

අදට අවුරුදු දෙකක් සපිරෙන මගේ බ්ලොග් එකත් දැන් පොඩි ළමයෙක් කියන්න බෑ. ඒත් ඉතින් මෙතනදී නම් මට කැමති විධියට ලියන්න පුළුවන්. මට විතරක් නෙවෙයි ඕනිම කෙනෙක්ට බ්ලොග් කලාවේදී එහෙමයි. ඒකනේ මේවායේ කිසිම තේරුමක් නැති අමුතුම වචන වලින් පවා පෝස්ට් ලියවෙන්නේ. මොනවා උනත් පටන් ගත් වැඩේ මෙච්චර දුරට ඇදන්න එන්න පුළුවන් උන එක ගැන අවංක සතුටක් දැනෙනවා. ඒ පසුපස නම් සඳහන් නොකළත් ගොඩක් අය ඉන්නවා. ඒ සැම දෙනාටම මගේ ස්තූතිය.....
තවත් සටහනකින් හමුවෙමු. සුභ දවසක්...!!!!

Saturday, April 30, 2011

පිට්ටනිය තැලූ කතාව...

සයිබරයේ ඇති සිංහල බ්ලොග් අතරින් බ්ලොග් ගණනාවක පාසල් කාලේ අත්දැකීම් ලියවෙන නිසා මම පාසල් කාලේ ගැන ලියන්න අදහසක් තිබුනේ නෑ. මම මේ බ්ලොග් එක පටන් ගත්තේ තාක්‍ෂණික දේවල් සරලව මගේ එදිනෙදා අත්දැකීම් ලෙසින් බෙදාගන්න බව මුල සිට මේපැත්තට ආ අය දන්නවනේ. ඒත් දැන් බ්ලොග් අවකාශේ සිංහල බ්ලොක් කියවන අය අතර මේ රටේ නැති සිංහල කතා කරන ලියන කියන බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන්ට තාක්‍ෂනික දේ කියවන්න ඕනෑතරම් මූලාශ්‍ර තියනවා. ඒවගේම සිංහලෙන් පමණක් කියවන අයට හැර අනික් අයට ඉංග්‍රීස්යෙන් ලියවුනු සටහන් ජාලයේ දැන් ඕන තරම්. ඇරත් දැන් කීදෙනෙක් සිංහල තාක්‍ෂණික බ්ලොග් ලියනවද? නමුත් මම තාක්‍ෂණික දේ ලියන එක නවත්වන්න හිතුවේ නෑ. ටික කලෙකින් ලියා නැතත් ළඟදීම ආයෙම ඒ ලිපි ලියන්න පටන් ගන්නවා. 
ඉතින් කාටත් කියවන්න දෙයක් දෙන්න ඕන නිසාත් පාසල් අත්දැකීම් එකිනෙකාගෙන් වෙනස් වන නිසාත් ඉඳහිට ඒවාත් එකක් දෙකක් ලියන්න හිතුවා.
ඔන්න පළවෙනියටම කියන්න යන්නේ අපි හත වසරේ ඉන්න කාලේ සිද්ධියක්. අපි සතියකට දවසක් ශාරීරික අභ්‍යාස සඳහා පිට්ටනියට යනවනේ. ඇත්තටම ඔය පීරියඩ් එකේ හරියට කරන අභ්‍යාසයක් නම් නෑ. කරන්නේ පොද්ගලික පිරිසිදු කම බලන එක. නියපොතු කපලද? කොණ්ඩේ කපල පීරල තියනවද? යට ඇඳුම ඇඳලද කියල කලිසම ටිකක් පහත් කරලත් බලනවා. අපෝයි නේද? අනික් සර් නම් අඩි රූලක් අරන් තමා යට ඇඳුම බලන්නේ. කොහොම හරි ඔය PT සර්ල ආවේ නැති දවසට නම් අපිට ෆුල් ආතල්. ඇයි පිට්ටනියට ගිහින් ඒ කාලයම සෙල්ලම් කරන්න පුළුවන්නේ. පිට්ටනිය අයිනේ කලින් හංගලා තිබුන බෝල බැට් එලියට එන්නේ අපි යන්නත් කලින්ම වෙන්න ඇති. යනකොටත් විකට් වෙනුවට ගල් කැට දෙකක් එහෙම පිට්ටනිය මැදට ඇවිත්.
මේ කියන දවසේ සර් ඇවිත් හිටියේ නෑ. කරුමේ කියන්නේ මට හිසේ කැක්කුමක් ඇවිත් අව්වේ සෙල්ලම් කරන්න බැරිවයි හිටියේ. එහෙම දවසට අපි කරන්නේ පිට්ටනිය අයිනේ තියන ලොකු ගහ යටට ගිහින් කතාවක් දාගෙන ඉන්න එකයි. එදා අව්ව වැඩි දවසක් නිසා එතන ගොඩක් හිටියා. ඔය ගහ පැත්තෙන් ඇල්ල වැස්සට සේදී එන නිසා ඒ පැත්තෙන් පිට්ටනියට පල්ලමක් තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්න තැන පිට්ටනියේ මැද හරියට වඩා උඩින් තියෙන්නේ. ඔතන තියනවා පිට්ටනිය තලන්න ගන්න යකඩ රෝලක්. ඔයාල දැකල ඇති නේද? ඔය පහල රූපයේ තියෙන්නේ. ඒ වගේ එකක් තමා.
අපේ ඔතන හිටිය එකෙක් ඕක තල්ලු කරන්න ගත්තා පිට්ටනිය පැත්තට. ඕක අපිට අල්ලන්න එපා කියලයි තිබුනේ ඒ දවස්වල. පල්ලම නිසා මේක ලේසියෙන්ම යනවා. අපිත් මූව ෆෝම් කරන්න හුරේ දානවා. දැන් පොරට ෆුල් ආතල්. පොර ඕක පිට්ටනිය මැදක් වෙන්ට තල්ලු කරන් ගියා. දැන් අපි කෑගහනවා උඹ තමා ඕකට මාට්ටු වෙන්නේ ආපහු ඇදන් වරෙන් කියල. දැන් පොර මේක ආපහු අදිනවා. දැන් තමා ඌට තෙරෙන්නේ වැඩේ තියන අමාරුකම. හත වසර කියන්නේ අවුරුදු 13ක විතර පොඩි ළමයිනේ. එහෙම කෙනෙකුට ඔය වගේ රොලක් කන්ද අදින්න ලේසි නෑ. ඒත් අර පොරට ගුටිකන්න බයටම දාඩිය පෙරාගෙන අදිනවා. අන්තිමට බාගයක් ඇද්දම තවත් අදින්න බැරිම තැනට ආවා. අපි ඉතින් කෑගහනවා කොහොම හරි තල්ලුකලා නම් ආපහු ගේන්න. නැතිනම් ගුටි කන්න තමා වෙන්නේ කියල. දැන් නම් පොර හොඳටම බය වෙලා. අන්තිමට පීරියඩ් එක ඉවර වෙන්ත් ඇවිත්. අපි සෙට් එකේ 6ක් විතර ගියා අරක ඇදන් එන්න. ඒ වෙලාවේ තමා අපිටත් තේරුනේ මේක අදින්න තියන අමාරුව. අර පොර මේටික කොහොම ඇද්දද කියල. බයටම වෙන්න ඇති.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

පින්තූරය ගත්තේ http://img4.allvoices.com/thumbs/event/609/480/75021613-indias-ashish.jpg