Saturday, September 18, 2010

භාවිතා කළ නෝට්බුක් කොම්පියුටර්ස්

දැන් දැන් භාවිතා කළ නොට්බුක් (ලැප්ටොප්) කොම්පියුටර් (used notebook computers) භාවිතයත් ගොඩක් වැඩිවෙලා. සති අන්ත පත්තරයක් ගත්තොත්, එහෙම නැත්තන් පාරේ යනකොට දෙන හැන්ඩ්බිල් වල පවා අඩු මුදලට විකිණෙන ලැප්ටොප් ගැන දැන්වීමක් හොයාගන්න පුළුවන්. අපි පසුගිය සටහනක භාවිතාකළ පරිගනක ගැන කිව්වනේ. ඒ නිසා අද කියන්න යන්නේ used notebook computers ගැනයි.
මේවා ගැනත් මුලින්ම කියන්න තියෙන්නේ මේවා විදේශ රටවල කලක් භාවිතාකළ ඒවාම තමයි. සමහර විට දැන්වීම් වල විදේශ රටවල මඳක් භාවිතාකළ අළුත්ම වගේ පරිගනක යැයි සඳහන්ව ඇති. එත් කව්ද ගත්ත ගමන් ලැප්ටොප් එක ආයෙ විකුණන්නේ. නැතත් මෙච්චර තොග පිටින්? ඒනිසා මේවා ගැනත් කියන්න තියෙන්නේ මේවාත් අඩු වශයෙන් වසර 3ක් වත් භාවිතා කරන ලද ඒවා බවයි.
notebook කොහොමත් තාක්‍ෂණය අතින් උසස් බව මම කලින් ලිපියෙත් කියා තිබුනා මතකයිනේ. පරණ වුවත් මේවායෙත් එම ඉහල ක්‍රියාකාරිත්වය පවතිනවා. තවත් දෙයක් මේවා නම් අපේ රටවල දෙශගුණය සමග ඒතරම් ගැටළුකාරී වන්නේ නෑ. එයට හේතුවක් වන්නේ මේවා රැගෙන භාවිතා කරන්නා තැන් තැන් වල යන නිසා විවිධ තත්වයන්ට ගැලපෙන ලෙස සකස්කර තිබීමයි. මේ නිසා අඩු මුදලකට හොඳ notebook computer එකක් ගන්න පුළුවන්. එසේනම් මෙවායේ අවාසි ඇත්තේම නැතිද යන්න කාටත් හිතෙනවා ඇති.
එහෙනම් මේවායේ ඇති අවාසි ගැනත් කතා කරන්නම ඕන. ප්‍රධාන වශයෙන් කලින් කියා ඇති පරිදිම මේවායේත් ප්‍රධාන වශයෙන් ඇති අවාසිය අමතර කොටස් මිළ අධික වීමයි. මට සුලභව දක්නට ලැබුනු දෝෂ කීපයක් මගින් මේවායේ ඇති අවාසි ගැන ලියන්න මම හිතුවා. එයින් ප්‍රධානම එක වන්නේ LCD screen එක ක්‍රියා විරහිත වීමයි. එවැනි ඒවා රැසක්ම මට හමුවූ අතර බොහොමයකට අවශ්‍ය screen සොයා ගැනීමේ හැකියාවක් තිබුනේම නෑ. ඒවා දැන් සාමාන්‍ය මොනිටරයක් සමග එකම තැනකට සීමා වෙලා. තැන තැන රැගෙන යාමේ හැකියාවක් නෑ. තවත් ඒවාට screen ගන්න තිබුනත් එවා ඉතා මිළ අධිකයි. එක් අවස්ථාවක මෙවැන්නකට screen එකක් සෙවීමේදී එහි මිළ රුපියල් 25,000 ක් පමණ වූවා. නමුත් මෙම notebook එක මිළදීගෙන තිබුනෙත් රුපියල් 20,000 කට වීම අභාග්‍ය සම්පන්න කරුණයි. තවද මේවායේ hard disk, memory ඉක්මනින් ක්‍රියා විරහිත විමත් නිතර මුහුණ දෙන දෝෂයක්. ඇතැම් ඒවා අදාල part number නොමැතිව අළුත් වැඩියා කළ ඒවා නිසා ටික කලකින් දෝෂ සහිත තත්වයට පත්වෙනවා. තවත් ප්‍රධානම ගැටළුව වන්නේ මේවායේ බැටරියයි. එය ඉතා දුර්වල තත්වයේ පවතින නිසා බැටරි බලයෙන් වැඩි කලක් භාවිතා කරන්න හැකියාවක්නෑ. ඇතැම් ඒවා ටික දිනකින් බැටරියෙන් ක්‍රියා කරන්නම නොහැකි තත්වයට පත්වෙනවා. අළුතින් මෙය දැමීමට අධික මුදලක් වැයවෙනවා. එම මුදල සැලකූවිට අඩු මුදලකට ගත් notebook එකෙන් කිසිම වාසියක් අත්වී නෑ. මීට අමතරව ඇතිවන සුළු දොෂ නිසා නිතර කරදර ඇති වෙනවා.
භාවිතා කළ කොම්පියුටර් ගැන සඳහන් ලිපියේ ඇති බොහො කරුණු මෙවා සඳහාද එලෙසම බල පානවා.
එසේනම් අද ලිපිය ඉතා කෙටි එකක්. මේ ලිපි පෙළේ අවසන් ලිපිය branded හා assembled computers ගැනයි. එය එන සතියේ ලියන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක් !!!!!!!

ප/ලි
ඉතා විශේෂ කරුණක් කියන්නත් තියනවා. අපේ බ්ලොග් මිතුරියක් වන වත්සලාගේ ෴සොඳුරු සිතට෴ අදට හරියටම වසරක් පිරෙනවා. ඒ පැත්තටත් ගිහින් එන්න.
ඔන්න අද පොඩි පොස්ට් එකකින් බේරුනා කියල බනින්න එපා. මේ ගැන මීට වඩා ලියන්න තිබුණත් මේ ටික ඇති කියලයි මට හිතුනේ.

Tuesday, September 14, 2010

Desktop ද? Notebook ද? Netbook ද?

දැන් ටික දවසක් ඉඳන් කරගෙන එන කතාව තවම ඉවර නැති බව කවුරුත් දන්නවනේ. සමහරු ඉක්මනින්ම ඉතිරි ටිකත් දාන්න කියල ගිහින් තිබුනා. කතාවත් ඇත්ත. අපි කවුරුත් දෙයක් කියවන්න ගත්තම ඉවර වෙනකල්ම කියවන්න කැමතියිනේ. ඒත් ඒ කතාව දාන්නේ කොටස් ලෙසනම් පොඩි අමනාපයක් ඇතිවෙනවා තමා. මොකද දැන් ටෙලි නාට්‍ය උනත් මෙගාවෙලා දිනපතා දාන කාලෙක පොස්ට් එක පරක්කු වෙන එකත් හොඳ දෙයක් නොවෙයිනේ. මොනව කරන්නද තියෙන වැඩ අස්සේ මෙවත් කරන්න එපැයි. ඒ කියන්නේ පොස්ට් ලියන එක විතරක් නෙවේනේ කරන්න තියෙන්නේ. එනිසා වන ප්‍රමාදයට අමනාප නොවනු ඇතැයි මම සිතනවා.
අද කියන්න යන්නේ වෙළඳපොලේ ඇති කොම්පියුටර් අතරින් අපේ භාවිතයට වඩා සුදුසු මොකක්ද කියන එක තොරාගන්න උදව්වක් වෙන කරුනු ටිකක්. දැන් බහුලවම ඇති මාදිලි අතරින් මිළදී ගන්නේ Desktop එකක්ද? Notebook එකක්ද එහෙමත් නැත්නම් Netbook එකක්ද කියන එක දැන ගන්නො කොහොමද? ඇතැම් විට Notebook එකක් මිළදීගෙන කිසි දිනෙක මේසයෙන් ඉවත්නොකර එකම තැන තබා භාවිතා කරන්නන් වගේම ඉඳ හිට Desktop එකක් යන යන තැන කරතබාගෙන යන අයත් මම දැකල තියනවා. මේ නිසා අපේ අවශ්‍යතාවය ඇතැම් අය නිසි ලෙස හඳුනාගෙන නැති බවක් පෙනෙනවා. එනිසා අද කියන්නේ එක් එක් මාදිලියේ ඇති වෙනස් කම් ගැනයි. එවගේම අපේ අවශ්‍යතාවය අනුව ඒවා යොදාගැනීමත් සරලව දක්වන්න හිතන් ඉන්නේ. ආරම්භයම තරමක් වැඩියි වගේ එත් දැන් ආයේ මකන්න බෑ. ඒනසා දැන් කතාව මෙතනින් පටන් ගන්නවා.
මුලින්ම Desktop එකක් සලකමු. මොකද තාමත් වැඩි දෙනෙක් භාවිතා කරන්නේ Desktop නිසා. මේවා යොදා ගන්නේ නිවසේ හෝ කාර්යාලයේ තබාගෙන ක්‍රියා කිරීමට බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ වගේම සැකැස්ම අනුව නිතර නිතර එ‍හා මෙහා ගෙන යාම එතරම් සුදුසු නෑ. peripheral නිතර ගැලවීම හා සවිකිරීම නිසා connector බුරුල් වන්න පුළුවන්. ඒවගේම ඇතුලත සවිකර ඇති උපාංග නිතර ගැස්සීම නිසා බුරුල් වන බවත් අමතක කරන්න එපා. අනෙක ගෙන යාමට තිබෙන කරදරය. තමන්ගේ වාහනයක් නැත්නම් ත්‍රිරෝද රථයකම පිහිට පතන්න වෙනවනේ. මෙම වර්ගවල ඇති ප්‍රධාන වාසි වන්නේ මේවාට අළුතින් උපාංග එක් කිරීමට ඇති පහසුවයි. ඒ වගේම සාපේක්‍ෂව මේවායේ අමතර උපාංග මිළෙන් අඩුයි. පහසුවෙන් සපයා ගන්නත් පුළුවන්. එකවර වැඩි peripheral ප්‍රමාණයක් සම්බන්ධ කරන්නත් පුළුවන්. උදාහරණයක් ලෙස Hard disk දෙකක් හො වැඩි ගණනක් Optical drive 2ක් වගේ සම්බන්ධ කරගන්න මේවා‍ට පුළුවන්. තවද මෙම වර්ග සාමාන්‍යයෙන් අඩු මිලට ගන්න පුළුවන්. පහසුවෙන් අළුත්වැඩියා කරන්න වගේම ලාභයට අළුත්වැඩියා හා සේවා ලබා ගැනීම අතිනුත් මේවා ඉදිරියෙන්ම පවතිනවා. ඉහත සඳහන් අවාසි වලට අමතරව මෙහි ඇති අවාසිනම් වැඩි විදුලි එකක ගණනක් වැය වීමයි. එ වගේම ක්‍රියා කිරීමේදී තරමක් වැඩි ශබ්දයක් (noise) ඇතිවෙනවා.
Notebook සලකන විට මේවා සාපේක්‍ෂව ඉහල මිළක් දරනවා. පහසුවෙන් ගෙන යන්න පුළුවන්. මේවා අළුතින් කියන්න ඕන නෑනේ. නමුත් වැදගත් කියා හිතෙන දේවල් පමණක් කියන්නම්. සාමාන්‍යයෙන් Notebook ක්‍රියාකාරිත්වය අතින් ඉතා කාර්යක්‍ෂමයි. එයට හෙතුව මේවා නිපදවීමේදී යොදාගන්නා ඉහල තාක්‍ෂණය. එයින් අදහස් වන්නේ එකම specification එකේ Notebook එකක් සහ desktop එකක් සංසන්දනය කළවිට Notebook එක ඉදිරියෙන් පවතින බවයි. මේවාට වැය වන්නෙත් සාපේක්‍ෂව අඩු විදුලියක්. හුරුබුහුටි හැඩය වගේම අඩු ඉඩකඩක තබා ගැනීමට හැකිවීමත් වාසියක්නේ. අවාසි අතර ඉහල මිළට අමතරව තවත් කීපයක්ම තිබෙනවා. එකක් අමතර කොටස් අඩු බව. මේවාට අපේ අවශ්‍යතාවය අනුව අමතර කොටස් සවිකරගන්න අපහසුයි. අදාළ නිෂ්පාදකයා අනුමත කරන කොටස් පමණක් භාවිතා කරන්න අනිවාර්යයි. ඒවාත් ඉතා මිළ අධිකයි. උදාහරණයක් ලෙස ගත්විට මෙවැන්නක ප්‍රධාන පුවරුව (Main board) එක අළුතින් ගන්න රු. 40,000 කට වඩා වැඩි මුදලක් දෙන්න වෙයි කිව්වොත්. එත් ඇත්ත එයයි. අනෙක් කොටස් උනත් එවගේ තමා. අනෙක් කරුණ අළුත්වැඩියාව අපහසුවීම. ඒවගේම පුහුණු කාර්මිකයන් අඩුබව. බොහෝ කාර්මිකයන් Notebook අළුත්වැඩියාවට මැලිකමක් දක්වනවා. ඒ නිසි පුහුණුවක් හා අවබෝධයක් නොමැත්ව මේවා අළුත්වැඩියා කරන්න අපහසු නිසා. ඒවගේම ඒ සඳහා අය කරන අධික මුදල. තවත් අවාසියක් නම් මේවාට එකවර සම්බන්ධ කළ හැකිවන්නේ සීමිත උපාංග ගණනක් විම. (desktop වලට සාපේක්‍ෂව)

මීට අමතරව මේදිනවල වේගයෙන් ව්‍යාප්ත වන Netbook ගනත් සඳහන් කරන්න අවශ්‍ය බව පෙනෙන නිසා ඒගැනත් ලියලම දාන්න හිතුවා. මේවා සාමාන්‍යයෙන් හැඩයෙන් Notebook වලට සමානයි. සාපේක්‍ෂව Notebook වලට වඩා කුඩා ලෙස මේවා නිපදවනවා. මේවා බහුලවම හමු වන්නේ Intel Atom processor එක සමගින්. සීමා සහිත වැඩ ප්‍රමාණයක් කරගැනීමට මේවා භාවිතා කර්නන පුළුවන්. Web browsing, Word processing වැනි සරල ක්‍රියා සඳහා මේවා වඩා සුදුසු ලෙස නිපදවා ඇත. බොහෝවිට Optical drive එකක් ඇත්තේම නෑ. සම්බන්ධ කළ හැකි උපාංග ප්‍රමාණයත් සීමිතයි. ඒවගේම අමතරකොටස් හා අළුත්වැඩියාව දුෂකර වීම මෙවාටත් බලපාන අවාසි අතර තිබෙනවා.
ප්‍රධානම වාසිය වන්නේ ඉතා අඩුමිළට ගන්න හැකිවීමයි. අමතරව තවත් හොඳ කරුණු මේවාටත් තිබෙනවා. පහසුවෙන්ම එහා මෙහා ගෙනයන්න හැකිවීම, ඉතා කුඩා නිසා ගෙනයාමට හා භාවිතයට අඩු ඉඩ ප්‍රමාණයක් අවශ්‍යවීමත් වැදගත් කරුණු. නමුත් ප්‍රධානම වාසිය වන්නේ විශ්මිත ලෙස විදුලිය ඉතිරි කිරීමයි.

මෙම වර්ග වලට අමතරව තවත් වර්ග ගනනාවක් ඇත. ඒ අතරින් Nettop ගැන සඳහන් කළ හැක. මේවා බොහෝ දුරට ක්‍රියාකාරිත්වයෙන් හා විදුලිය භාවිතය අතින් Netbook වලට සමාන වන අතර වැඩි වශයෙන් Intel Atom processor එක භාවිතා කරන ඒවා වේ. වෙනස නම් මේවා desktop මෙන් එක් තැනක සවිකර භාවිතයට සුදුසු වනසේ නිපදවන ලද ඒවා වීමයි.
තවත් වර්ගයක් වන netbrowser නම් උපකරණයක්ද ඇතත් මේවා එතරම් භාවිතයක් නැත. Windows CE පද්ධතිය භාවිතා වන මේවා Web browsing හා document reading වැනි දේ සඳහා භාවිතා කරන්න සකස් කර තිබෙනවා. මේවාට අපට අවශ්‍ය ලෙස operating system, application software දැමීමට නොහැකි වන අතර ඒවා කර්මාන්ත ශාලාවෙන්ම සකස්වී එනවා. හැඩයෙන් Netbook එකකට සමාන වන අතර ඊටත් වඩා කුඩාවේ.
මේ විස්තරය අදට ඇති කියා හිතනවා. තවත් කියන්න නම් කරුණු ගොඩයි. එත් දැන් වෙලාවක් නෑ. ඉදිරි ලිපි වලින් භාවිතා කළ notebook ගැනත් branded හා assembled computers ගැනත් කියන්න බලාපොරොත්තු වෙනවා.
එහෙනම් අදට ගිහින් එන්නම්.

සුභ දවසක්!!!!

ප/ලි
දැන් දිගටම තාක්‍ෂණ ලිපි ලියන නිසා වෙනත් කරුණු වගේම මතක ලියන්නත් බැරිවුනා. එවාත් ආයෙම ලියන්න ඕන. සති 2කින් විතර කවි ලියන්නත් බැරිවුනා. අළුතින් විද්‍යාත්මක ලිපි පෙළක් ලියන්නත් බලා පොරොත්තු වෙනවා. සියල්ල ඉදිරියේදී බලමු.

Thursday, September 9, 2010

Used computers ගන්නවනම්

මේ කලින් ලිපියේ දෙවන කොටස. කියවල නැත්නම් කියවලම එන එක තමා හොඳ. අළුතින් කොම්පියුටර් ගන්න උපදෙස් ටිකක් කලින් ලිපියෙන් දුන්නනේ. එත් ඉවර නෑ. මෙහිදී අප සලකා බලන තවත් දෙයක් තමා අතේ ඇති මුදලට ගැලපෙන කොම්පියුටරයක් ගන්නේ කොහොමද කියන එක. ඇත්තටම ලංකාව වගේ රටක ඉන්න අයගේ අතේ තියෙන මුදලට කොම්පියුටරයක් ගන්න එක අභියොගයක් තමා. ඒ නිසාද කොහේද අඩුවට කොම්පියටර් දෙනවා කිසිම වැඩකට නැති. මේ වගේ අවස්තාවල තමා වෙනත් රටවල භාවිතාකළ කොම්පියුටර්ස් (Used computers) වෙළඳපොළට එන්නේ.
මොනවද මේ Used computers කියන්නේ. මේවා බොහොමයක් විවිධ රටවල භාවිතා කොට තොග වශයෙන් ඉවත් කරන ඒවා. සාමාන්‍යයෙන් ඇතැම් රටවල විවිධ ආයතන තමන්ගේ ආයතනයේ භාවිතාකරන පරිගනක වසර කීපයකට වරක් ඉවත්කර අළුත් ඒවා තම පද්ධතියට එකතු කරනවා. පරණ ඒවා ක්‍රියාකාරි තත්වයේ පැවතියත් ඔවුන් ඒවා සියල්ල ඉවත් කරනවා. නමුත් අපේ වෙන්නේ හදල හදල බැරිම ඒවා ඉවත් කරන එකනේ. ඒවගේම විවිධ හේතුන් නිසා ඉවත්කරන තවත් පරිගනක එකතු කර ඇතැම් අය ඒවා තොග වශයෙන් මෙරටට ගෙන එනවා. ඉන්පසු පරීක්‍ෂාකර අළුත්වැඩියාවන් හා සේවා සිදුකර operating systems, applications software ආදිය දමා අඩුවට විකුණන ඒවා.

දැන් අපි බලමු මේවායේ හොඳ නරක කොහොමද කියල. මේවාගේ ප්‍රධාන වාසි කීපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න නොසිතන තරම් අඩු මිළකට මේවා ගන්න හැකියාව. බොහොවිට මේවා ඉතා අඩු මිළකට ගෙන එන නිසා ඇදහිය නොහැකි මිළකට විකිණෙනවා. මෙම අඩු මිළට අලෙවි වීම වෙළඳපොලේ අළුත් පරිගනක මිළ පහල හෙලන්නත් හේතු වී ඇති බව වෙළඳාමේ නිරත අයනම් හොඳටම දන්නවා. කතාවෙන් පිට පැන්නා නේද. ඔහොම තමා කියන්න ගියාම ගොඩක් දෙවල් මතක් වෙනවනේ. කමක් නෑ දැන් බලමු අනෙක් වාසිය කියල. ඒ තමා මෙවා බොහොමයක් ලොව පිළිගත් වර්ග වලට අයත් හොඳ තත්වයේ නිෂ්පාදන (HP, Dell, IBM වැනි) (IBM වෙළඳ නාමය යටතේ අළුත් කොම්පියුටර් නැත) වලට අයත්ය. එමෙන්ම ඇතැම් විට ආසියා ශාන්තිකර රටවල අලෙවි වන ඒවාට වඩා උසස් උපාංග භාවිතා කර නිපදවා ඇත. ඒ නිසා උසස් ක්‍රියාකාරිත්වයක් දැක්නට ඇත.
දැන් අවාසි. මොන හේතුවක් හින්දද මන්දා වැඩිය ඍණ මානසික තත්වයකින් නොබලන කෙනෙක් වුවත් මට මේවායේ වැඩි හොඳක් නම් පේන්නෙම නෑ. ඒත් ප්‍රධාන අවාසි විතරක් කියන්නම්. මොකද මේවා අලෙවියෙන් රැකෙන පිරිසක් ඉන්නවා වගේම ආර්ථික අපහසුතා ඇති බොහෝ අය මේවා රැගෙන තම දැනුම වර්ධනය කරගන්නා නිසා. පළමුවැන්න මේවා වෙළඳපොලේ ඇති සාමාන්‍ය කොම්පියුටරයක specification එකේ ඒවාට වඩා බොහො පහල ස්ථානයක පැවතීම. ඒ එම රටවල වසර කීපයක් භාවිතා කර ඇති නිසා. ඒ වගේම ඒවා පවතින්නේ නිතර නිතර දෝෂ ඇතිවන අවධියේ. ක්‍රියාකාරි කාලය අවසන් වන්න ආසන්නයේ පවතිනවා. ඇතැම්විට මිළදීගෙන දින කීපයකින් දෝෂ ඇති වෙන්න පුළුවන්. තවද මේවා අතර ඇති ක්‍රියා නොකරන ඒවා අළුත්වැඩියා කිරීමේදී අදාළ නිවැරදි උපාංග යොදා නොගැනීම නිසා ඇතිවන දෝෂ (බොහෝ පිළිගත් වර්ග සඳහා අදාළ අමතර කොටස් නියමිත part number එක සහිත කොටස් වලින්ම යෙදිය යුතුය. නමුත් මෙවැනි අය නිසි අවබෝධයකින් තොරව අතට අසුවන උපාංගයක් යොදා අවත් වැඩියා කර ඇති බව මා නිරීක්‍ෂණය කර ඇත. එමගින් ඒවා ටික කලකින් සම්පූර්ණයෙන් අක්‍රීය තත්වයට පත්වේ)තවත් කරුණක් වන්නේ මෙවා බොහොවිට නිෂ්පාදනය කරන්නේ එම රටවල දේශගුණ තත්වයන්ට ගැලපෙන ලෙස. ඒවා මෙහි ටික කලක් භාවිතයෙදී හානි වෙන්න ඉඩකඩ වැඩියි. මේවා බොහොවිට එකකට software install කර එකම model එක නිසා එයින් ghost කිරීමයි කරන්නේ. එවිට hard disk වල දෝෂ ඇතත් install වන නමුත් ටික දිනක් ගතවූ පසු ක්‍රියා විරහිතවේ.
මීළඟට ඇත්තේ පරිගනක තිරයේ තත්වයයි. Monitor එක අපේ ඇස හා ගැටෙන ප්‍රධානම කොටස බව කියන්න ඒන නෑනේ. බොහො රටවල Monitor එකක් ඉවත් කරන්නේ ඒවායේ විකිරණ පිටවීම (radiation)පරීක්‍ෂාකර අනුමත ප්‍රමාණය ඉක්මවා ඇති ඒවා. මේවා අපේ රටේ මෙන් නොව එක දිගට පැය ගණනාවක් ක්‍රියාකරන නිසා ඉක්මනින්ම radiation ප්‍රමාණය වැඩි වෙන තත්වයට පත්වෙනවා.
හොඳයි එහෙනම් දැන් අපි බලමු මේවා අපි ගන්න කොම්පියුටර් එකත් එක්ක සම්බන්ධ කරගන්නේ කොහොමද කියල. පළමුව බලන්න මේවාට සැලකිය යුතු වගකීමක් තියනවද කියලා. වොරන්ටිය බොහොවිට ලැබෙන්නේ මාස 3ක් හො 6ක් වගේ. ඒත් එය hard disk එක හා memory වලට ලැබෙනවාද බලන්න. එහෙම නැත්නම් එයින් කිසි තේරුමක් නෑ. ඇතැම් අය වොරන්ට් දෙන්නේ hard disk එක හා memory වලට මාසයක් හෝ 2ක් පමණ. එසේ නැතිව මාස 6ක් වත් ගන්න. බාහිර පෙනුම බලන්න. හුඟක් පරණ බවක් පෙනෙන ඒවා ගන්න එපා. කවරය විවෘත කරවාගෙන ඇතුළත කොටස් බලන්න. එනම් අදාළ වර්ගයටම අයිති නොවන ඒවා ඇත්දැයි බලන්න. උදාහරනයක් ලෙස සැලකූවිට HP කොම්පියුටරයකට IBM memory දාල තියෙන එකක් දෝෂ ගෙන එන්න පුළුවන්. ඒවගේම සීරීම් පළුදුවීම් ඇති ඒවා ගන්න එපා. විශේෂයෙන් hard disk එක ගැන බලන්න. එයින් ලොකු ශබ්දයක් එනවානම් ඒවා ගන්න එපා. Keyboard, mouse වල ක්‍රියාකාරිත්වය හොඳින් වෙනවාද යන්න පමණක් නොව භාවිතයෙදී තද බවක් දැනෙන ඒවා නොගන්න. සති අන්ත පුවත් පත් ආදියේ ඇති දැන්වීම් මගින් වෙළඳපොලේ ඇති මිළ ගැන දළ අවබොධයකින් යුතුව මිළදීගන්න. ස්ථාන කීපයකට ගොස් තත්වය මිළ ගැන අවබෝධයක් ගෙන මිළදී ගැනීමට යන්න. හැකි සෑම විටම හොඳ පළපුරුදු කොම්පියුටර් ටෙක්නිෂියන් කෙනෙක් එක්ක යන්න හැකිනම් එය වඩා වාසිදායකයි.
මොනිටර් එක ගැන මගේ අදහස නම් අළුත් එකක්ම ගන්න. එය ඔබේ ඇස් දෙක ආරක්‍ෂා කරගන්න හෙතුවෙයි. පරණ ඒවායේ ඇති අහිතරක කිරණ ප්‍රමානය මැනීමක් අප වෙළඳපොලේ සිදු නොවන අතරම ඒ පිළිබඳ අපට කිසිම තක්සේරුවක් කිරීමට සුදුසු උපකරණද නැත. එනිසා හොඳම දේ අළුත් මොනිටරයකට යාමයි. එයින් ඔබේ ඇස්දෙක ආරක්‍ෂා වෙනවා වගේම විදුලි බිලත් සැලකියයුතු මට්ටමකින් අඩුකරගන්න හැකි වනු ඇත. LCD එකක්ම ගන්න පුළුවන්නම් වඩා හොඳයි. ඒවගේම Used LCD නම් ගන්නම එපා. ලෙඩක් ආවොත් ගොඩගන්න ලෙසි නෑ.
කතාව තවම ඉවර නෑ. එත් පොස්ට් එක දිග වැඩි කරන්න හිතෙන්නෙත් නෑ. Notebook වගේම ගන්නේ මොකක්ද කියල දැනගන්න විධියත් ඊළඟ ලිපියෙන්....
අදට ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!!!!!

ප/ලි
HP, Dell, IBM වලට අමතරව තවත් පිළිගත් වර්ග ඇති බවත් මම සඳහන් කළේ හොඳම තත්වයේ වර්ග කීපයක් බවත් කියන්න ඕන.
මෙයට වෙනස් අදහස් තිබෙන්නත් පුළුවන්. ඒවාත් ලියලම යන්න. මමත් හැමදේම දන්න කෙනෙක් නොවේ.

Monday, September 6, 2010

Computer එකක් ගන්න අදහසක් තියනවද?

හැම තැනම කොම්පියුටර් කඩ. එක එක ගානට විවිධ කොම්පියුටර් ගන්න තියනවා. කොයි එකද හොඳ? කොකද නරක? ඇරන් ටික දවසකින් ලෙඩ දෙයිද? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද? කොම්පියුටර් එකක් ගන්න ගියාම එන ප්‍රශ්න ඕව තමයි.
අද කියන්න හිතුවේ අළුතින් කොම්පියුටරයක් ගන්න යන අයට වැදගත් වෙයි කියල හිතෙන දෙවල් ටිකක්. මොකද මගෙන් ගොඩ දෙනෙක් නිතර අහන ප්‍රශ්නයක් තමයි ඕක. ඒ අයට වරින් වර කොම්පියුටර් අරන් දීලම ඇති වෙන වෙලාවලුත් තියනවා. මොකද හැම තැනම ගණන් බලනවා. හොඳ නරක හොයනවා. අන්තිමට අඩු ගාණකට ලෙඩ ගොඩකට කර ගහල අපටම වද දෙනවා. අපි රෙකමන්ඩ් කළ එක ගත්තනම් තව කමක් නෑ කියන්න පුළුවන්.
මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ නම් මේ වර්ගය හොඳයි, මේක නරකයි. අර ප්‍රොසෙසර් එක මෙච්චරක් මෙමරි වගේ කතාවක් නොවේ. එහෙනම් වැඩි කතා මොකටද කෙලින්ම කතාවට එමුකෝ.
අද කොම්පියුටර් එක කියන්නෙත් ගෙදරකට අත්‍යවශ්‍ය දෙවල් වලින් එකක් වෙලා තියෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එත් තවමත් ගෙදරට කොම්පියුටරයක් නොගත්අය ඉන්නවා අළුතින් ගන්න බලාගෙන. ඒවගේම තියෙන එක පරණ නිසා, ක්‍රියා විරහිතවීම නිසා අළුතින් එකක් ගන්න වෙන අයත් ඉන්නවා. ඒකාටත් මේ පොස්ට් එකෙන් වැඩක් වෙයි කියල මම හිතනවා.
අපි කොම්පියුටරයක් ගන්න පළමුව මොනවද කරන්න ඕන. මෙහිදී අප තීරණයකට එන්න ඕන අපට ඇත්තටම මොකවද කොම්පියුටරයකින් කරන්න තියෙන වැඩ කියල. නැතුව අල්ලපු ගෙදරට ගෙනාව අපිත් ගන්න ඕන, යාළුවෝ හැමටම තියනවා මට විතරයි නැත්තේ වගේ හේතුවකට ගන්න එකේ තේරුමක් නෑ. ඇරන් පස්සේ මොනව හරි කරන්න බැරිය කියල ගන්නවනම් එකෙත් තේරුමක් නෑ.
දෙවන කරුණ මොකක්ද ගන්න කොම්පියුටර් එක? මෙහිදී මම වර්ගය ගැන කියන්න යන්නේ නෑ. මෙතනදී අපි බලන්න ඕන මෙයින් අපට කරන්න බලාපොරොත්තු වෙන වැඩ මොනවද කියන එක. මෙහි ලොකු පරාසයක් තියෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ. වර්ඩ් ප්‍රොසෙසින්, වෙබ් බ්‍රව්සින් වගේ සරල ඇප්ලිකේෂන් වලට වගේම ග්‍රැෆික් ඩිසයින්, ඇනිමේෂන් වගේ බර වැඩි ඇප්ලිකේෂන් දක්වා විවිධ කාර්යයන් රැසක් අපට කරන්න පුළුවන්. මෙහිදී සැලකිලි මත් විය යුතු වන්නේ අපි කරන කටයුතු වලට අදාළ වන ලෙස ඒකියන්නේ අපේ ඇප්ලිකේෂන් වලට අවශ්‍ය recommended specification එක සොයා බලා ඊට වඩා වැඩි specification එක්ක තොරා ගැනීමයි. එයින් තියෙන වැඩිම spec එක ගන්න කියන්නේ නෑ. ඒ වගේම අප භාවිතා කිරීමට අදහස් කරන operating system එක ගැනත් කලින්ම හිතනවානම් හොඳයි. මොකද මුලින් දැමූ operating system පසුව වෙනස් කරනවනම් system requirement එකත් වෙනස් වෙනවා. සමහර OS වලට සමහර hardware support කරන්නේ නෑ. එයින් එකම OS එකක් සදා කල් භාවිතා කරන්න කියන්නේ නෑ. නමුත් නිතර OS මාරුකිරීම එතරම් හිතකර නෑ. මොකද ඔය හැම අවස්ථාවෙම hard disk format කරන්න වෙනවනේ.
තවත් කරුණු කීපයක්ම මෙයට එක් කරන්න පුළුවන්. එකක් නම් මොකක්ද ගන්න processor එක. සාමාන්‍යයෙන් අද බහුලවම ඇත්තේ Intel සහ AMD වර්ගවල processor. මේවායින් Intel වලට සාපේක්‍ෂව AMD වල රත්වීම තරමක් වැඩියි. එමගින් processor එකට හානි වන්න ඇති අවදානමත් වැඩියි. නමුත් අප සිටින්නේ සීතල පළාතක නම් හෝ වායු සමනය කරන ලද ස්ථානයක නම් මෙය එතරම් ගැටළුවක් වෙන්නනේ නෑ. ඒ කිය්නනේ උනුසුම වැඩි පළාතකට AMD processor එකක් ගන්න එක එතරම් සුදුසු නෑ. කොම්පියුටරයේ තවත් වැදගත් කොටස් තමා Hard disk, Memory, Video Card, Sound Card, Optical drive එක. සාමාන්‍යයෙන් Hard disk එක තමන්ට ගබඩා කිරීමට ඇති දත්ත ප්‍රමාණයට ප්‍රමානවත් වන එකක් විය යුතුය. මෙහිදී films, songs විශාල ලෙස ගබඩා කරන්න සිතනවාවම් ඒ සඳහා CD/DVD භාවිතා කරන එක වඩා හොඳ. ඒ අනුව එදිනෙදා වැඩට සහ නිතර භාවිතා කරන files සඳහා ප්‍රමාණවත් Hard disk එකක් තෝරා ගන්න. Memory ප්‍රමාණය සැලකීමේදී OS එක සහ භාවිතා කිරීමට අදහස් කරන application packages සඳහා අවශ්‍ය උපරිම ප්‍රමාණයට තරමක් වැඩි අගයක් ගන්න. Video Card එක නැතිනම් Graphic card එක ගැනීමේදී බොහො දෙනෙක් සැලකිල්ලට ලක් කරන්නේ මෙහි Memory ප්‍රමාණයයි. නමුත් advanced games play කරන්න කවදාවත් අදහසක් නැත්නම් එතරම් මිළ අධික එකක් අවශ්‍ය නොවේ. මෙහිදී සැලකිය යුතු තවත් දෙයක් ඇත. එනම් කිසියම් විශේෂ application එකක් (උදා 3D Studio, Maya) සඳහා අවශ්‍යතා සැලකිල්ලට ගන්න. Sound Card එක ගැන සඳහන් කළ හැකි වන්නේත් ඉහත කරුණම වේ. ඊළඟට බලමු Optical drive ගැන දැන් නම් CD Rom drive භාවිතා කරන්නේම නැති තරම්නේ. එපමණක් නොවේ දැන් වෙළඳ පොලෙන් Combo (CD-Read/Write, DVD read) drive එකක් වත් හොයන්න අමාරු නිසා DVD writer එකක්ම ගන්න එකේ ලොකු වෙනසක් නෑ. අළුත් කොම්පියුටර් එකක් නම් SATA වලින්ම ගන්න. System board (Mother board) එකේ IDE connector එකක් තිබුනත් එය භාවිතා කරන්න එපා.
මීළඟට වැදගත් වන තවත් කරුණු කීපයක් ඇත. ඒවා නම් තොරා ගන්නා වර්ගය, නොට් බුක්, ඩෙස්ක්ටොප්, නෙට් බුක් ආදී විවිධ ආකාරයේ ඒවා වගේම ඇතැම් අය භාවිතා කළ (Used computers) ගන්නත් බලා පොරොත්තු වෙනවා. ඒ වගේම වගකීමත් අපි ඉහලින්ම සලකනවනේ.
එත් ඉතිං දැන් කියවලාම ඇස් දෙකත් රිදෙනවද මන්දා. මගේ නම් ලියලම ඇඟිලි රිදෙනවා. සමහර විට මේක තව පොස්ට් එකක් හො දෙකක් දාල ඉවර කරන්න වෙයි. අදට මේතනින් නවත් වන්නම්.
කට්ටියටම සුභ දවසක්!!!!
ප/ලි
මේක නැත්නම් වැඩකුත් නැති ගානයිනේ. මේ මගේ මතකයේ 25 වන පොස්ට් එක. මටත් දැන්නේ මතක් වුනේ. එහෙනම් මසෙ 3ක් විතර මම බ්ලොග් ලියනවානේ. මේ කාලේ මෙ පැත්තට ඇවිත් කියවල කොමෙනන්ටුවක් දාල, නැත්නම් මට ඊ මේල් එවන, කතා කර මා දිරිමත් කරන, වගේම මා සමග හිඳිමින් මෙහි අඩු පාඩු පෙන්වාදෙන සැමටත්, මගේ මතකයට ගොඩවන කාටත් මාගේ ස්තුතිය පුද කරන්නත් මෙයින් ඉඩක් ගත්තා. ආයෙ හමුවෙමු.