Saturday, February 26, 2011

හපුතලේ ගියානේ.....

අපොයි මේ මොකද වෙලා තියෙන්නේ. මේ ඉසවුව පාළුවට ගිහින්. මටත් බලන්න එන්න බැරි උනානේ. කට්ටිය ඇවිත් ආපසු හැරිලා ගිහින් වගේ. කිසිදෙයක් අළුතින් දාලා නෑ කියල. අනිත්ම පෝස්ට් එක දාල අදට දවස් 12ක් නේ. 
ඇත්තම කියනවනම් මම යාළුවන් කට්ටියක් එක්ක පොඩි සවාරියක් ගියා පසුගිය සති අන්තයේ. ඒ නිසා දවස් කීපයක්ම ජාලය පැත්තේ එන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ආපසු ආවත් පසුගිය දවස් වල නිවාඩුවේ අතපසු වූ වැඩ ඉවර කරන්න උනා. යාළුවෙක් මතක් කළාම තමා බ්ලොග් එක තියනවාද කියලත් මතක් උනේ. අන්තිමට යන්තම් පොඩි ඉඩක් අරන් පොඩි සටහනක් ලියන්න කියල ආවේ. ලියන්න දෙයක් මතකයට එන්නෙත් නෑ. අන්තිමට හිතුවා හපුතලේ ගිය චාරිකාවෙන් පොඩි සටහනක් ලියන්න. 
අපි ගියේ උදේ 10.00 ට විතර කොළඹින්. අවිස්සාවේල්ල බලංගොඩ හරහා හපුතලේට තමා ගියේ. යන ගමන් බෙලිහුල් ඔයෙන් නෑවා. දිවා ආහාරය ගත්තේ බෙලිහුල් ඔයෙන්. මේ තියෙන්නේ ඒ සුන්දර ස්ථානය.


 මේ අතර මගදී දුටු නියඟලා මලක්. පෙනුමට නම් හරි ලස්සනයි තමා. ඒත් නියඟලා අලය නම් මාරාන්තිකයි. කෑවොත් නම් මරණයෙන් කෙලවර දකින්න වෙන්නේ.
එතනින් අපි හපුතලේට යනකොට රෑ වෙන්න කිට්ටුයි. මුළු පළාතම මීදුමෙන් වැසිලයි තිබුනේ. සිසිල් පරිසරයේ ඇඟට දැනුනේ පුදුම සනීපයක්. රැය ගතකරන්න අපේ කාණ්ඩය තොරාග්තතේ හපුතලේ නිවාඩු නිකේතනයක්.
උදේ නින්දෙන් අවදිවන විට අවට මීදුම පිරිලා. යන්තම් අහසට අරුණාලොකයක් ආවේ උදේ 7ට විතර.
ඒත් ටික වේලාවකින් හිරු උදාවත් සමගම මීදුම ඉවත්ව ගියා. බලන්නකෝ ඉර පායා එන අපූරුව. ලා හිරු කිරණ මගේ කැමරා කාචයෙන් පෙරී ආවේ මේ ආකාරයටයි. (හැබැයි තද හිරු රැස් ෆොටෝ ගහන්න එපා කැම් එකේ සෙන්සර් එකට සොරි තමා)
බලන්නකෝ මීදුම පහව ගිය පසු හපුතලේ පේන ලස්සන.
දෙවන දවසේ අපේ ගමන යෙදුනේ ඇඩිෂම් තාපසාරාමය නැරඹීමට යාම හා වර්ඩ්ස් ඒන්ඩ් ලොජ් එකේ දිවා ආහාරය සඳහා යාමයි.
ඇඩිෂම් බංගලාව ගැන මීට කලින් පොස්ට් කීපයක්ම වෙනත් බ්ලොග් වල තිබූ නිසා මම ඒ ගැන විස්තර තරන්නේ නෑ. ඒත් මගේ කැමරාවේ සටහන් කරගත් ෆොටෝ කීපයක් දාන්නම ඕන.
මෙන්න සුන්දර ඇඩිෂම් මන්දිරය. මෙය තමා සර් තෝමස් විස්ටර් විලියර්ස් ගේ සිහින මන්දිරය.
මේ වෙන කොහේවත් නෙවේ. අපේ සුන්දර ලංකාවේම තැනක්.
කවුළුවකින් පිටත පෙනෙන අපූරුවත් බලන්නකෝ.
මල් උයනේ ඇති ලස්සන මල් අතරින්....

මේ දෙන්නා ලංවෙලා මොනවද හෙමිහිට මුමුණනවා නේද. හරිම ලස්සන කතාවක් වෙන්න ඇති.
අපොයි ඇතුලට යන්න දෙන්නේ නෑ වගේ. දැන් මොකද කරන්නේ?

ඊළඟට අපි ගියේ දිවා ආහාරය ගන්න වර්ල්ස් එන්ඩ් ලොජ් එකට. එතනත් හරිම සුන්දර ස්ථානයක්.

මේ ඩේසි මල් තිබුනේ නවාතැනට ඇතුළු වෙන තැන.
මේ අපි නෑව spring water swim-pool එක. මෙහෙ වතුරනම් හරිම සීතලයි. ඇඟත් හිරි වැටෙනවා. ඒත් අපි ආසාවෙන් පිහිණුවේ.
හුදෙකලා වූ මුර කුටියක් මේ.
 දිවා ආහාරයෙන් පසුව රෑ වෙන්න සෑහෙන වෙලාවක් ඉතිරිව තිබූ නිසා අපි ගියා  සර් තෝමස් ජේ. ලිප්ටන් තේ වතු සමූහයේ ඇති ලිප්ටන් සීට් බලන්නත්. හැබැයි අපි යන වෙලාවේ නම් වැඩි ඈතක් බලන්න පුළුවන් කමක් තිබුනේ නෑ. අවට මීදුමෙන් වැහිලයි තිබුනේ.
මීදුමෙන් වැසුන තේ වතු..
තුන්වෙනි දවසේ සුන්දර අමතක නොවන මතකයක් හිතේ තියාගෙන හපුතලෙන් එන්න පිටත් උනා. ආපසු ආවේ නුවරඑළිය පාරෙන්. ඒ පාරේ හමුවන සුන්දර නුවරඑළියේ ෆොටෝ ටිකකුත් බලමු නේද?
මේ ග්‍රෙගරි වැව.
මේ සුන්දර නුවරඑළිය පාරත් වෙළෙන්දන්ට අයිති වෙලා නේද?
රසවත් තේ නිපදවන නුවරඑළියේ තේ වතු..
සුපිරි වාහන වලට මාර්ග නීති අදාල නෑ වගේ. (ලැන්ඩ් රොවර් රථයක් ද්විත්ව ඉර කපමින් ධාවනයේ)
පාර අයිනේ මල් විකුණන දරුවෙක්. (සුන්දර මල් පසුපස කඳුළු කතාවක් වෙන්න ඇති) 
ඒත් මට නම් ඒ අසරණයාගෙන් මල් පොකුරක් ගන්න තරම් හේතුවක් තිබුනේ නෑ.
මෑතක ඉදිකළ රමිබොඩ උමග..

හපුතලේට පෙනුන මේ අහසමද බලන්න ඔබටත් පේන්නේ?
මේ චාරිකාව පුරා සිතේ ඇඳුන මතකයන් බොහොමයි. විහිළු කතා, පැරණි මතක, කියපු සිංදු, අතරින් දෙවන දවසේ මහරෑ අපි අහසේ දිදුලන සඳ කුමරිය දෙස බලමින් අපි පැය දෙකක් පමණ සඳට කී සින්දු නම් කිසිදාක අමතක කරන්න බෑ. මම එතරම් සින්දු ගොඩක් එක දවසක සඳ කුමරියට කියා නෑ.

මේ මගේ කවි සිත අවදි කළ ආදරණිය සඳ කුමරිය..
මෙන්න අපේ කට්ටිය...
අඳුනන කවුරුත් ඉන්නවාද බලන්න....
කොහේ ගියත් මට නම් දෙසක් රියක් දුටුවොත් නිකම් ඉන්න බෑ. රෝද දෙකක් මත නැගී උදේ පින්න, සීතල, ලා සුලං රැලි අතරින් හපුතලේ පොඩි සවාරියකට....
එහෙනම් කාලෙකින් ඇවිත් මෙතෙක් දැමූ පොස්ට් අතරින් වැඩිම ෆොටෝ ප්‍රමාණයක් සහිත පොස්ට් එක මේක වෙන්න ඕන. ලියන්න දෙයක් නැතිව සිටි මට ලැබුනු තල්ලුවෙන් ඔන්න පෝස්ට් එක කළේ. අළුතින් දෙයක් ලියන්නත් ඕන. ඉක්මනින්ම තවත් පොස්ට් එකක් අරන් එන්නම්.
(ෆොටෝ පැහැදිලිව බලන්න ෆොටෝ එක මත මවුස් එකේ වීල් බට්න් එක ක්ලික් කර අළුත් ටැබ් එකක ඕපන් කරගන්න)
එහෙනම් සැමටම..

සුභ දවසක්..!!!

Monday, February 14, 2011

ආදරණීය දවසක්.....


දෙපස මල් පිපුන පොඩි අඩිපාරක් දිගේ තරුණ යුවලක් ඇවිද යනවා. ඔවුන් දෙදෙනාට කිසිදිනක නොපෙනුන ලස්සනක් මල් වල පේනවා. මල් සුවඳින් සිත් මනමත් වෙලා. කුරුළු ගී හඬින් දෙසවන් පිරී ගිහින් කිසි දිනක නොවූ ලෙසින්. තරුණයාගෙන් තරුණියට ලස්සන මල් පොකුරක් ලැබිලා. ඇය ආසාවෙන් එය වැළඳගෙන. ඔවුන්ට මග දෙපස සුන්දරත්වය මිස වෙනත් කිසිවක් පේන්නේ නෑ. ලෝකයම කිසිදිනෙක නොතිබූ අපූර්ව සුන්දරත්වයකින් වෙලී ගිහින්. මේ දේවල කළේ කවුද? වෙන කවුරුත් නම් නොවේ. ඒ තමා ආදරේ......

මේ ලෝකේ ආදරයක් නොලබපු කෙනෙක් නැති තරම්. ආදරය විවිධ ස්වරූපයෙන් අප අතර පවතින දෙයක්නේ. මම මෙතෙක් කිසිම දිනක කතා නොකළ මෙම මාතෘකාව ගැන අද කතා කරන්න හිතුවා. එයට හේතුව අද සුවිශේෂි දවසක් ලොකේ පුරාම ඉන්න ආදර වන්තයින්ට. ආදරවන්තයින්ගේ දිනය හෙවත් වැලන්ටයින්ගේ දිනය අදට යෙදෙන නිසා.

අපි විවිධ ආකාරයෙන් ආදරය කරනවානේ. අප ලබන පළමු ආදරය ලබන්නේ අපේ අම්මාගෙන්. ඒ සමග පියාගෙන්. ඉන්පසු සහොදර සහොදරියන්, ඥාතීන් යාළු මිත්‍රයන් විතරක්ම නොවේ අපේ සුරතල් සතුන් පවා අපට ආදරය කරනවානේ. ඒත් අද කියන්න යන්නේ ප්‍රේමය ගැන. එහෙමත් නැත්නම් කවුරුත් කියනවා වාගේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතර ඇතිවන ආදරය ගැනයි. ඒත් කොල්ලෙක් කෙල්ලෙක් කීවාට ආදරය කරන්න වයසක් තියනවා කියන්නනම් බෑ. වයසට ගියත් තරණ කාලයේ සිටි ආකාරයටම ආදරය කරන අය නැත්තේ නෑ. මේ ගැන මම කතා කරන්න කොතරම් දුරට සුදුස්සෙකුදැයි කියන එක කියවන ඔබට තීරණය කරන්න කියා මට හිතෙන දේ ලියන්නම්. මේ ගැන ලියන්න මට අදහස දුන් පොඩි කුමාරිහාමි ගැන නොකියා මේ පොස්ට් එක කරන්න බෑ.

ආදරේ කියන්නේ මොකක්ද කියල විවිධ අය විවිධ ආකාරයෙන් අර්ථ දක්වනවා. සමහර අය මෙය විද්‍යාත්මකව පෙන්වා දෙන්න උත්සාහ කරල තියනවා. ඇත්තටම ආදරේ මොන වගේද? ඒය එක් අයෙකුට දැනෙන ආකාරයටම අනික් අයටත් දැනෙනවාද? මම නම් හිතන්නේ නෑ එහෙම වෙයි කියල. එය එකිනෙකා කරන්නේ තමන්ට ආවේණික ක්‍රමයකට බවයි මගේ හැඟීම. ඒ වගේම එය එකිනෙකාට දැනෙන්නෙත් වෙනස් ආකාරයට. හරියට එක් ආහාරයත් අයෙකුට රසවත් වන විට තවත් අයෙකුට වෙනත් ආහාරයක් රසවත්. ඒ වගේ ආදරය කරන විධියත්, ලබන විධියත් එකිනෙකාට ආවේණික බවයි මගේ අදහස. 


ආදරේ පූජාවක්ලු ඇත්තද ඒ කියන්නේ. ඔව් ආදරේ අවංක සිතින්ම දෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ පූජාවක් වගේ එකක්. අපි පූජාවකට දානෙකට ලෑස්ති වෙන්නේ පිරිසිදු වෙලා, පිරිසිදු සිතින්, ලොකු කැපවීමකින්නේ. ආදරේ කරන්නත් ඒ වගේ ලොකු පරිත්‍යාගයක් කරන්න ඕන.

සමහර අය කියන්නේ ආදරේ තියෙන්නේ ලබන්නලු. ඒක ඇත්තද? ඔව් ඒකත් ඇත්ත. ආදරේ ලබන්නත් ඕන. ඒ කියන්නේ දෙන්නෙක් ආදරේ කරනවනම් දෙන්නම ආදරේ කරන්න ඕන. එවිටනේ දෙන්නටම ආදරේ ලැබෙන්නේ. නැතිනම් ඉතින් එක්කෙනෙක්ට විතරයි ආදරේ ලැබෙන්නේ.

ආදරේ කරද්දි ඒ සඳහා යොදවන්න තමන්ගේ කාලයෙන් කොටසක් කැප කරන්න පුළුවන් නම්. අවංකව කටයුතු කරන්න පුළුවන් නම්. සුමට ගතිගුණ පවතිනවානම්. හොඳ සංයමයකින් කටයුතු කරන්න පුළුවන් නම්. පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම්, එය සාර්ථකව පවත්වාගෙන යන්න දෙදෙනාට කිසිම ගැටළුවක් වෙන එකක් නෑ කියා තමා මම හිතන්නේ.

ආදරේ කරන්න ඕන මොළයෙන්ද, හදවතින්ද කියා සොයා බැලුවොත් මම හිතන්නේ ආදරේ කරන්න ඕන හදවතින් බවයි. ආදරේට තර්ක විතර්ක, සංසන්දනයන්, න්‍යායන් වැදගත් වෙන්නේ නෑ. ආදරේට ඕන කරන්නේ ආදරේ විතරයි. ආදරේට ආදරේ කරන්න බැරි නම් එතන ආදරයක් නෑ.

මම කියන්න ගියේ එපමනයි. මගේ පෞද්ගලික අත්දැකීම් මම වැඩිය කතා කරල නම් නෑ. එක් වරක් නැතිවූ ආදරයක් ගැන පෝස්ට් එකක් කළා. ඒත් දැන් එය බ්ලොග් එකෙන් අයින් කරල. මේ පැත්තේ අඳෝනාවන් ලියන්න ඕන නෑ කියා සිතූ නිසා. මට ඇත්තටම ආදරය ගැන කියන්න තරම් අත්දැකීම් ලබන්න නම් අවස්ථාවක් ලැබී නෑ. ඒත් ආදරේ ලැබුන දිනක එය කරන්නේ කොහොමද කියා සිතේ ඇඳුන රූපයක් නම් පවතිනවා. 

ඒය හරිම සුන්දර සිතිවිල්ලක්. හරියට මට දැනෙන්නේ උදේ පින්නේ පිපුන මලක් වගේ. ළඟින් ඉඳන් කතා කරන්න. ලස්සන දවසක ඇවිදින්න. සතුටටත් වැඩියෙන් දුකේදී ළඟින් ඉන්න. ඉඳ හිට දවසක විනාඩි පහකට විතර පොඩ්ඩක් විතර තරහ වෙලා ආයෙම යාළු වෙන්න. ඔය වගේ පොඩි දේවල් තුලින් තමා මම නම් ආදරේ කරන්න කැමති.

ඒත් ඉතින් කවුද දන්නේ එය කෙසේ කවදා වෙයිද කියා. 
එහෙනම් මම ගිහින් එන්නම්. 
ඔබට ආදරණිය දවසක්ම වේවා...
සියලු ආදරවන්තයින්, ආදරවන්තියන්ට ආදරය උතුරා යන දවසක් වෙවා. සියලු ආදර පැතුම් සිතූ ලෙසම ඉටුවේවා..
මම ආදරයට ආදරය කරන
ප්‍රියන්ත....



මේ මට පොඩිකුමාරිහාමි ලිපියට එක් කරන්න කියා සඳහන් කළ කරණු ටික. මම ඇයගේ වචන එලෙසම මෙතන සටහන් කරන්නම්.


ආදරය කියන්නේ හිතේ ඇතිවෙන සුන්දරම හැඟීමට. උදෑසන අවදිවෙනකොටත් , රෑට ඇහැ පියාගන්න යනකොටත් හිතේ ඇතිවෙන මුල්ම හා අවසාන සිතුවිල්ල. ආදරය නපුරු නෑ. ආදරය, ආදරේ කරන කෙනාට දුකක් දෙන්නේ නෑ. ආදරය බොරු කරන්නේ නෑ. ආදරය තරම් උතුම් දෙයක් මේ ලෝකේ කොහේවත් නෑ. ආදරය'පූජාවක්' වෙන්නේ ඒ නිසයි. 

ඒ වගේ ආදරයක් පූජා කරන්න තරම්, ආදරනීය කෙනෙක් ලැබෙන එක මොන තරම් වාසනාවක්ද? 

අපි හැමෝම එකතුවෙලා අද ඒ ආදරයට ආදරේ කරමු. 

ආදරය නොලැබුනු සැමටම ආදරයක් ලැබෙන අන්දමේ සුන්දර වැලැන්ටයින් දිනයක් ඔබ හැමට ප්‍රාර්ථනා කරන්නේ, 

ආදරනීය පොඩි කුමාරිහාමි…


ආදරය ගැන ලියවුනු සින්දු සාගරයක් තරම් ඇති. ඒ අතරින් මම සිංදුවක් තෝරාගත්තා අද දවසේ අහන්න....
මේ රොෂාන් ප්‍රනාන්දු ගයන සුපෙම් සුවඳක් අරන්....

Saturday, February 12, 2011

හාමුදුරුවනේ රෑට කන්නේ......?

ඔන්න අළුත් පොස්ට් එකක් අරන් අදත් ආවා හැමෝම බලල යන්න. වැඩත් එක්ක මේ දවස්වල ඔලුවත් හොඳටම අවුල් වෙලා. මොකක්ද කීවේ. පනාවකින් පීර ගන්න. මේක පීරලා හරියන්නේ නෑ. එහෙනම් ?
සර්විස් එකක් කරන්න වෙයි වගේ.....
හරි කමක් නෑ එහෙනම් කට්ටියට මතකද දන්නේ නෑ ඒකාලේ කියපු ජෙනරේටරයක් කර තියාගෙන මීමුරේ ගිය කතාව. මතක නැති අය කැමති නම් මෙතනින් ගිහින් බලන්නකෝ. ඔය ගමන පුරා රසවත් සිදුවීම් නම් බොහොමයි. ඒත් දැන් ඒ හැම එකක්ම මතකත් නෑ. අවුරුදු 16කට විතර කලින් උන සිදුවීම්නේ. ඒත් ඔය ඉන්න ගමන් මතකයට එන ඒවා ලියන්න ඕන. මේ තවත් ඒ කාලේ මතකයක්.
ඔය ගමන ගිහින් අපි ආපසු එන එක තරමක් වෙහෙසකර වැඩක්. ඒ වගේම සවස 2.30ට පමණ (මගේ මතකය අනුව) තංගප්පුව සිට නුවර එන බස් එක අල්ලන්න බැරි උනොත් ආයේ පසුදා වෙනකල් එන්න විධියක් නෑ. ඒ නිසා මීමුරේ සිට එක දිගට එන්න ගියොත් එන්න වෙන්නේ මහරෑම මීමුරෙන් පිටත් වෙලා කියන එක අපට තේරුනා. ඒ නිසා ආපසු එන ගමන කයිකාවල සිට (මාතලේ කයිකාවල නොවේ) එන්න පුළුවන් නම් හොඳයි කියන එක අපට වැටහුනා. අනික එහි සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඇති අතර එහි නවතින්න පුළුවන් බව එහි සේවය කරන සෞඛ්‍ය සේවිකාවන් අපට යන ගමනේ කියා තිබුනා. එම නිසා එහි ඇවිත් රාත්‍රිය එහි ශාලාවේ ගත කර පසුදා උදෑසනම පිටත් වෙන්න අපි තීරණය කළා. 
මේ අනුවයි අපි දෙවන දවසේ රෑ වෙන්න කිට්ටුව මීමුරෙන් පිටත් වී කයිකාවලට ආවේ.

මේ ගමනේ හොඳටම පිස්සු කෙලිය එකෙක් තමා ඉරුබබා. පොර තවත් කට්ටියක් එක්ක කෑම හදන්න තැනක් හොයනවා. සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ඒකට ඉඩක් නෑ. ඊට මදක් එපිටින් තමා කයිකාවල පන්සල තියෙන්නේ. එහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ පන්සලේ පුළුතැන්ගේ ආහාර සකස් කර ගන්න අපට ඉඩ දුන්නා. දැන් කට්ටිය එකතුවෙලා රෑ කෑමට නූඩ්ල්ස් හදනවා. හාමුදුරුවන් වහන්සේ ආවිත් අපිත් එක්ක කතා කරමින් හිටියේ. අපි කොහේ ඉඳන්ද ආවේ. මොනවද කරන්නේ? මොකටද මේ විස්තර හොයන්නේ වගේ කරුණු විමසූ උන් වහන්සේ අපිට කෙටියෙන් පළාත ගැනත් විස්තර කරනවා. ඒ අතර අපිත් නූඩ්ල්ස් උයා අවසන් කළා.
  දැන් අපේ ඉරු බබාටත් නිකන් ඉන්න බෑ කට වහගෙන. පොර එකපාරට හාමුදුරුවන්ගෙන් අහනවා හාමුදුරුවනේ රෑට කන්න නූඩ්ල්ස් දෙන්නද? කියල. හාමුදුරුවෝ පුදුම වෙලා වගේ මූ දිහාම බලන් ඉන්නවා. අපිත් අපිසෙට් එක පාරට මූ මේ කියපු එකට. ඒත් හාමුදුරුවන්ට තේරුනා මෙතන මොකක් හරි පටැලවිල්ලක් කියා. ඒත් හාමුදුරුවෝ යමක් කියන්න පෙරම මූ ආයෙම කියනවා සමාවෙන්න හාමුදුරුවනේ රෑට වළඳන්න නූඩ්ල්ස් හොඳද කියල. ඒ අවස්ථාවේ හාමුදුරුවෝ කියනවා නෑ දරුවා අපි ස්වාමීන් වහන්සේලා රෑට වළඳන්නේ නෑ කියල. සමාවෙන්න හාමුදුරුවනේ කියල ඉරුබබා ඉක්මනට එතනින් මාරු උනා. හාමුදුරුවෝ අපෙන් අහනවා අර දරුවා බෞද්ධ දරුවෙක් නෙවේද? කියල. අපිත් වෙන කරන්න දෙයක් නැති නිසා එහෙමයි හාමුදුරුවනේ කියල යන්තම් වැඩේ ගොඩදාගත්තා. පසුව ඉරුබබා කියනවා හාමුදුරුවෝ රෑට වළඳන්නේ නෑ කියල මට මතක් උනේ නෑනේ බන් තව ටිකෙන් මාර දේශනාවක් අහන්න වෙන්නේ කියල. අපිත් කීවා අවුලක් නෑ අපි උඹේ ආගම මාරු කළා කියල. කරන්න දෙයක් නැති නිසා මූත් කිසිදෙයක් කියන්නේ නැතිව හිටියා.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

Wednesday, February 9, 2011

කම්මැලිකමට බලන්න මල් ටිකක්.....

කාලයක් එක දිගටම ලියා ඇත්තේ සර්පයන් ගැන නිසා කට්ටියට මාව ඇති වෙලාද දන්නේ නෑ. සර්පයෝ නිසා මම නපුරු වෙලා කියල චෝදනාවකුත් තිබුනා. රෝස මල් ගැන ලියන්න කියලත් තිබුනා. මම ඔය ටීවී එකෙන් බලල එලවළු පැල හිට වන්න ඉගෙන ගත්තට මල් වගාව නම් කරන්නේ අම්මා. මමත් උදවු කළාට පොස්ට එකකට ලියන්න දෙයක් නම් දන්නේ නෑ. ඉතින් කම්මැලි කමටත් එක්ක මම නිකන් ඉන්න වෙලාවට ගත්ත මල් වල ෆොටෝ ටිකක් අද පොස්ට් එකට දාන්න හිතුවා. හැබැයි ෆොටෝ නරකයි කියල කියන්න එපාත මම කවදාවත් ඡායාරූපකරණය ඉගෙන ගෙන නෑ. දන්න කෙනෙක් උපදෙස් දෙනවනම් සතුටින් පිළිගන්න සූදානම්. මේ සඳහා මම කැමරා කීපයක් භාවිතා කළා. වැඩියෙන්ම අරන් තියෙන්නේ Panasonic DMC-FX520 compact digital කැමරා එකෙන්. ඉතිරිය මගේ 6120 ෆෝන් එකෙන්. මේ ෆොටෝවල අයිතිය මගේ කියල කියන්නේ නෑ. මොකද මේ කැමරා හදල තිබුන නිසානේ මට මේවා මේ තරම් පහසුවෙන් ගන්න පුළුවන් උනේ. කැමති කෙනෙක්ට තමන්ගේ අවශ්‍යතාවයකට මෙයින් ෆොටෝ ගත්තට මගේ අමනාපයක් නෑ. හැබැයි කවුරුහරි ඇහුවොත් ප්‍රියන්ත ගත්ත එකක් කියන්න හොඳේ.
වල් සූරියකාන්න (තිත්ත) මලක් Camera FX520

Camera FX520

Camera FX520

Camera FX520

Camera FX520

බලන්නකෝ මෙයාටත් කන්න ඕන දේ Camera FX520

Camera FX520

Camera FX520

කැමරාව නොකියා 6120
බිනර මල කැමරාව නොකියා 6120
වතුසුද්ධ මලක් Camera FX520
සමන් පිච්ච මල් දෙකක් Camera FX520
සුදු රෝස මල් දෙකක් Camera FX520 (කෘතිම ආලෝකයෙන්)
කැම්පස් එකේ කහ මල් Camera FX520
කියන්න පුළුවන්ද මේ මොනවද කියා Camera FX520
වැස්සට තෙමුණ කූඬළු මල් Camera FX520
තවත් මේ වගේ ෆොටෝ නම් ගොඩක් තිබුනා. ළඟදී කොම්පියුටරේ මාරු කළ නිසා ඒටික තාම පරණ හාඩ්ඩිස්ක් එකේ. තිබුනනම් ඒවත් මේකට දාන්න තිබුනා. ඔන්න කමිමැලි කමට වගේ පොඩි පොස්ට් එකක් දැම්මා. කැමති කෙනෙකුට මේ ෆොටෝ තමන්ගේ වැඩකටත් ගන්න පුළුවන්. ඔය උඩම තියෙන වල්සූරියකාන්ත මල මම Wide Screen එකට හරියන්න 16:9 ගත්තේ මගේ ලැප්ටොප් එකේ වෝල් පේපර් එකට.
පින්තූර අපැහැදිලි නම් ඒමත ක්ලික් කර ලොකු කරලම බලන්නකෝ..
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

Monday, February 7, 2011

සර්පයින් සම්බන්ධ වැදගත් වන කරුණු කීපයක්...

ජනවාරි මාසයේ පටන් ගත් ශ්‍රී ලංකාවේ සර්පයින් ගැන ලියවුනු ලිපි පෙළ අවසන් කරන්න කාලය ඇවිත්. එහෙනම් අද අවසන් පෝස්ට් එකෙන් කියන්න යන්නේ සර්ප විෂ, දෂ්ඨ කිරිම ඇතුලු කරුණු කීපයක්.

සර්ප විෂ
සර්ප විෂ යනු අපේ කෙළ නිපදවන ඛේඨ ග්‍රන්ථි වැනිම විකසනය වූ ඛේට ග්‍රන්ථියකින් නිපදවෙන ප්‍රෝටීන් ද්‍රාවණයකි. එහි අන්තර් ගත වන්නේ ජලය, ප්‍රෝටියෝලිටික එන්සයිම, විවිධ එන්සයිම හා ස්නායු විෂ ඇතුලත්ය. විෂකුරු සර්පයෙකුගේ කළල අවස්ථාවේ සිටම විෂ ඇත. මෙය කහ හෝ දුඹුරු පැහැති ජලයට වඩා ඝනත්වයෙන් වැඩි ද්‍රවණයකි. විෂෙහි ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ එහි අඩංගු විවිධ එන්සයිම අනුවය. මෙවැනි එන්සයිම 30ක් පමණ සර්ප විෂෙහි අන්තර්ගත බව සොයාගෙන ඇත.

මෙම එන්සයිම ක්‍රියාකාරිත්වය අනුව කොටස් කිරීමේදී ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ හඳුනාගත හැක.
1 හයලුරොනිඩේස් (Hyaluronidase)
විෂ ශරීරය පුරා පැතිරෙන්නේ මෙම එන්සයිම නිසාය

2 පොස්පොලිපේස් (Phospholipase)
සෛල වල සිවිය මෙම එන්සයිම නිසා විනාශවේ.

3 ප්‍රෝටිනේස් (Protease)
දෂඨ කළ ස්ථානය කුණු වීම හා ලේ ගැලීම මෙම එන්සයිම නිසා සිදුවේ.

සර්ප විෂ ක්‍රියා කාරිත්වය අනුව ප්‍රධාන කොටස් දෙකකි. එනම් 
1. ස්නායුක විෂ (Neurotoxin)
මෙම විෂ කෙලින්ම බල පාන්නේ ස්නායු පද්ධතියටයි.

2. සෛල වලට බලපාන විෂ (Cytotoxin)
මෙම විෂ සෛල විනාශ කරයි.

සර්පයෙකු දෂ්ඨ කිරීමක් යනු කුමක්ද?
එනම් සපා කෑමකි. මෙහි වෙනත් සතෙකු සපාකෑමෙන් වෙනස් වන්නේ විෂ ග්‍රන්ථියේ ඇති විෂ සපා කන අවස්ථාවේ ශරීරයට ඇතුළු වීමයි.
 රූපයේ ආකාරයට සර්පයාගේ විෂ දළ (Fangs) පිහිටා ඇත.  සර්පයා සපා කන අවස්ථාවේ විෂ ග්‍රන්ථියේ (venom gland) වල ඇති සිදුරෙන්  විෂ ශරීරයට එන්නත් වේ. ඇතැම් සර්පයින්ගේ විෂ දළ පිහිටා ඇත්තේ මුඛයේ තරමක් ඇතුලතිනි. එවන් සර්ප දෂ්ඨයකදී ඇතැම් විට විෂ දළ නොවැදී තිබීමටද පුළුවන. මෙසේ ඇතුළු වන විෂ රුධිරය හා මුසුව ශරීරය පුරා ගමන් කරයි.

එවිට ඇතිවන රෝග ලක්‍ෂණ හා අවදානම
1 ස්නායු පද්ධතියට
මෙය බහුලව සිදුවන්නේ ඉලැපිඩේ කුලයට අයත් සර්ප විෂ නිසාය. නිදිමත ස්වභාවය, ඇස් බාගෙට වැසී තිබීම, ඇස් ඇරීමට අපහසු බව, බොඳවූ හෝ ද්විත්ව වූ රූප පෙනීම, ශ්වසනයට හා ගිලිමට ඇති අපහසු බව මෙහි ප්‍රධාන රෝග ලක්‍ෂණ වේ. 

2 හෘදය හා රුධිර පද්ධතියට
දෂ්ඨ කළ ස්ථානයෙන් අධික ලෙස රුධිරය ගලා යාම, සම රත් පැහැ ගැනීම (අභ්‍යන්තර රුධිර වහනය නිසා) අක්‍ෂි පටල යටින් රුධිරය ගැලීම, විදුරු මස් වලින් ලේ ගැලීම, රුධිරය සමග වමනය පිටවීම සිදුවේ. රුධිර පිඪනය පහල යෑම නිසා රෝගියා කම්පනයට ලක්වේ. රුධිර සෛල විනාශ විම සිදුවේ. මෙම ලක්‍ෂණ වලට ප්‍රධාන ලෙස බලපාන්නේ පොළොං විෂයි.

3 මුත්‍රා පද්ධතියට
වකුගඩු වලට සිදුවන හානි නිසා මුත්‍රා පිටවීම අඩුවේ. මේ හේතුවෙන් ශරීරයේ යූරියා ප්‍රමාණය ඉහල යාමෙන් රෝගීවේ. වකුගඩු වලට රුධිර සැපයුම අඩුවීම නිසාද, වකුගඩු වලදී රුධිර සෛල විනාශ වීම නිසාද වකුගඩු වලට හානි සිදුවේ.

සර්ප දෂ්ඨයකදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග.
  • සර්ප දෂ්ඨයකට ලක්වූ රෝගියා තුල අධික ලෙස මරණ බිය ඇතිවේ. එම නිසා එය අනිසි බියක් බව පෙන්වා දිය යුතුය. දැන් සර්ප දෂ්ඨයකට අවශ්‍ය ප්‍රථිකාර සෑම රොහලකම වාගේ ඇති බවත් නිසි ප්‍රථිකාරයෙන් සුව කිරීම අපහසු නොවන බවත් රොගියාට පෙන්වාදී බිය නැති කළ යුතුය. 
  • දෂ්ඨ කළ තුවාලය පිරිසිදු ජලයෙන් සෝදා දෑමීම කළ හැක. නමුත් සේදීමේදී ඇතිල්ලීමක් නොකළ යුතුය. ඉන්පසු වෙනත් විෂ බීජ ඇතුල්වීම වැලැක්වීමට තුවාලය පිරිසිදු රෙදි කඩකින් ආවරණය කරන්න.
  • තුවාලය අතක හෝ පාදයක ඇති විට ලේ ගමනාගමනය වලක්වන ලෙස තිරිංගයක් (පටියකින් ගැට ගසා ලේ ගමනා ගමනය අඩාල කිරීම) පෙර සිදු කලත් එයින් ඇතිවන අතුරු හානි නිසා දැන් එය අනුමත නොකරයි. 
  • දෂ්ඨ කළ ස්ථානය අධික ලෙස ඉදිමෙන නිසා ඒ ආශ්‍රිතව ඇති වලලු, මුදු වැනි දේ ඉවත් කරන්න.
  • රෝගියා වෙහෙසට පත් නොකර නොසොල්වා, ඇවිදීමට නොදී ඔසවාගෙන රෝහල කරා ගෙනයෑම.
  • රෝගියාට පානය කිරීමට දියර වර්ග හැකි තරම් ලබා දෙන්න.
  • කිසිදු ඖෂධයක් දීමෙන් වලකින්න. විශේෂයෙන් ඇසිප්‍රින් (Aspirin) දීමෙන් වලකින්න.
  • රෝගියාට මධ්‍යසාර පානය කිරිමට දීමෙන් වලකින්න.
  • * වඩාත්ම වැදගත් වන්නේ හැකි තරම් ඉක්මනින් රෝහලක් කරා ගෙන යන්න. දෂ්ඨයෙන් පැයක් පමණ ඇතුලත ප්‍රථිකාර සඳහා යොමු කරන්න හැකිනම් එය වෛද්‍යවරුන්ට පහසුවක් වනු ඇත.
  • දෂ්ඨ කළ සර්පයා හඳුනාගත්තේ නම් එය වෛද්‍යවරයාට පවසන්න.

රොහලකදී කරන විශේෂ ප්‍රතිකාර
මේ ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. නමුත් කෙටියෙන් සඳහන් කළොත් සිදුකරන්නේ පළමුව රෝග ලක්‍ෂණ පහලවී ඇති දැයි පරීක්‍ෂාකර එසේ නැතිනම් රෝග ලක්‍ෂණ පහල වන තුරු බලා සිටිය හැක. නමුත් දෂ්ඨ කළ සර්පයා උග්‍ර විෂ නම් හැකි ඉක්මනින් ප්‍රතිකාර ඇරඹේ. ප්‍රධාන ප්‍රතිකාරය ප්‍රතිවිෂ (Anti-venom) ලබා දීමයි. මේවා සාදන්නේ සර්ප විෂ තනුක කර එය අශ්වයින්, එළුවන්, බැටළුවන් හෝ බළලුන් වැනි සතුන්ට එන්නත් කොට ඔවුන්ගේ රුධිරයේ නිපදවෙන ප්‍රතිවිෂ නිස්සාරනයෙනි.
මීට අමතරව ඇතිවන වෙනත් අතුරු ආබාධ, රුධිරය අධික ලෙස අඩුවී ඇතිනම රුධිර පාරවිලයනය කිරීම, වකුගඩු වලට වන හානි සඳහා ප්‍රතිකාර සිදු කරයි. 

දේශිය ප්‍රතිකාර
පෙර කාලයේ අපේ රටේ දියුණු සර්ප වෙදකමක් පැවති බව පැවසේ. මාගේ ලොකු අත්තා සමාජ සේවයක් වශයෙන් සර්ප වෙදකම සිදු කර ඇත. එහෙත් ඔහුගෙන් පසුව කිසිවෙකුට එම වෙදකම කරන්නට හැකියාවක් නොවීය. ඔහුගේ පොතක කොටසක් වසර ගණනාවකට පෙර මට හමු වුවත් එහි කිසිවක් වටහා ගැනීම අපහසුය. ප්‍රතිකාර ක්‍රම ඇත්තේ කවියෙනි. දැන් නම් එය මා ළඟත් නැත. මේ අයුරින් අපේ දේශිය සර්ප වෙදකම මේ වන විට සම්පූර්ණයෙන්ම වාගේ අභාවයට ගොස් ඇත. ඒ නිසා නියම දක්‍ෂ සර්ප වෙදුන් අද ඇතැයි සිතීම අපහසුය. මේ නිසා වඩා සුදුසු වන්නේ සර්පයෙකු දෂ්ඨ කළ රෝගියෙකු රෝහලකින් ප්‍රතිකාර ගැනීමට පෙළඹවීමයි.
නමුත් දැන ගැනීම සඳහා පෙර පැවති ප්‍රතිකාර ක්‍රම කීපයක් සඳහන් කරමි.
නස්න කිරීම
මෙහිදී විවිධ බෙහෙත් වර්ග නාසයට තබා පිඹීම සිදු කරයි. ඇතැම් විට තෙල් වර්ගද, ඇතැම් විට වෙදමහතා කිසියම් බෙහෙතක් ඔහුගේ මුඛයේ දමා සපා එය රොගියාගේ නාසයට පිඹියි.
විෂ ඉරීම 
මේසඳහා විවිධ ක්‍රම භාවිතා කරයි. ඇතැම් විට බෙහෙත් ගුලියක් තුවාලය මත තබා විෂ උරා ඇත. ඇතැම් වෙදුන් කටින් විෂ උරා දැමූ බවටද පැරණි අයට මතක ඇත.
කැඳ වර්ග
සර්ප දෂ්ඨ කිරීමකට ලක්වූ අයෙකුට ඖෂධීය කැඳ වර්ග  ෙබාන්නට දී තිබේ. මෙයින් එක් කැඳ වර්ගයක් නම් කරපිංචා කොළ කැඳයි.
මීට අමතරව විවිධ බෙහෙත් වර්ග තුවාලයේ ආලේප කිරීම සිදු කර ඇත.

සර්ප දෂ්ඨයන් වලක්වා ගැනීම
  • සර්ප දෂ්ඨ කිරීම් වලින් 70% වැඩියෙන් සිදුවන්නේ දණහිසෙන් පහලය. එම නිසා සර්පයින් බහුලව ගැවසෙන ස්ථාන වල ක්‍රියා කිරීමේදී දණහිස තෙක් වැසෙන බූට්ස් (පාවහන්) පැළඳීම කළ හැක.
  • රාත්‍රී කාලයේ ගමන් කිරීමේදී හොඳ ආලෝකයක් රැගෙන යන්න. තවද අනාරක්‍ෂිත ස්ථානයකින් ගමන් කිරීමේදී දණ්ඩකින් පොළවට තට්ටු කරමින් යෑම හෝ තදින් පොළවට අඩි තබමින් යෑම නිසා සර්පයින් ඉවතට ගමන් කරයි.
  • ගස් බෙන, හුඹස්, ගල් වල ඇති විවර වැනි අනාරක්‍ෂිත ස්ථාන වලට අත දැමීමෙන් වලකින්න.
  • ගොවිතැන් කටයුතු වලදී කැලෑ හෙලි කිරීම, අස්වනු කැපීම (විශේෂයෙන් උක් වැනි වගා වන් වලදී) කාණු ශුද්ධ කිරීමේදී විමසිලිමත් වීම.
  • අඳුරේ දර ගොඩවල් වැනි ස්ථාන වලට අත දැමීමෙන් වැලකීම.
  • මරා දමන ලද හෝ මැරුණ සර්පයින් ඇල්ලීමෙන් වැලකීම.
සර්ප දෂ්ඨ කිරීම නිසා ඇතිවන වෙනත් බලපෑම්
සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මරණය සිදු නොවුනද වෙනත් හානි සිදුවීමට පුළුවන. ඒ නිසි ප්‍රතිකාර නොකිරීම නිසයි.
ඒවායින් කීපයක් මෙසේයි.

  • වකුගඩු වලට වන හානි නිසා පසු කාලීනව වකුගඩු අක්‍රීය වීමට හෝ ආබාධයන්ට ලක්වීමට ඇති ඉඩකඩ.
  • අක්මාවේ විෂ තැම්පත් වන නිසා අක්මාවට සිදුවන හානි.
  • මීට අමතරව සර්පයින්ගේ මුඛයේ පිටගැස්ම සාදන ක්ලොස්ට්‍රිඩියම් ටෙටනයි (Clostridium tetani) බැක්ටීරියාව වාසය කරයි. එම නිසා දෂ්ඨ කිරීමේදී එම බැක්ටීරියාව ශරීර ගතවීමෙන් පිටගැස්ම ඇතිවිය හැක.

සර්පයින්ගේ ඇති වැදගත් කම
අප පරිසරයේ වසන සෑම ජීවියෙක් වගේම සර්පයින් පරිසරයේ වැදගත් පුරුකකි. පරිසරයේ සමතුලිත බව ආරක්‍ෂා කිරීමට සර්පයින්ගෙන් ඉටුවන මෙහෙය ඉතා වැදගත්ය. ලංකාව වැනි කෘෂි කාර්මික රටවල වගාවන්ට හානි කරන ප්‍රධාන සතුරා වන මීයන් පාලනයට දායක වන සතුන් අතරින් වැඩිම දායකත්වය සපයන්නේ සර්පයින්ය.
තවද මිනිසාට සෑදෙන ලාදුරු, රූමැටික උණ, මහාමාරිය, ඇදුම, සරම්ප, හීමෝෆිලියාව වැනි රෝග සුව කිරීම සඳහා අවශ්‍ය ඖෂධ නිපදවීම සඳහා සර්ප විෂ යොදා ගැනේ. සර්ප විෂ සඳහා ප්‍රති විෂ නිපදවන්නේද සර්ප විෂ මගිනි.
මෙසේ අපට දෂ්ඨ කරන සර්පයින් අප නොදැනම අපේ පරිසරයට කරන මෙහෙය අති මහත්ය. එමෙන්ම ලංකාවේ ජීවත් වන සර්ප විශේෂ අතරින් 61ක්ම කිසිම විෂක් නැති අය වන අතර උග්‍ර විෂ සර්පයින් සඳහාද ප්‍රතිකාර ඇත.
මේ සියල්ල සැලකූ විට සර්පයින් ආරක්‍ෂා කිරීමට කාලය එළඹ ඇති බව කිව යුතුමය.

වෙනත් විෂ සහිත සතුන්
අප මෙතෙක් කථා කළ සර්පයින් හැර අප පරිසරයේ තවත් විෂ සහිත සතුන් වාසය කරයි. ඔවුන් අතර සන්ධිපාදිකයින් කිහිපදෙනෙක් ඇත.
එනම් දිවි මකුලුවන්, ගෝනුස්සන්, පත්තෑයන්/ගරුඬන්, මී මැස්සන්, බඹරුන් හා දෙබරන් වැනි සතුන්ය. කඩියන් වැනි විෂ සහිත කුහුඹු විශේෂ කීපයක්ද ඇත.
දිවි මකුළුවා
මෙම සතා මාරාන්තික විෂ සතෙකු නොවේ. දෂ්ඨ කිරීමකදී ඉදිමුම, වේදනාව, දෂ්ඨ කළ ස්ථානයේ ඇතිවන කැසීම, පපුවේ උදරයේ වේදනාව හා දහදිය අධික ලෙස දැමීම වැනි ලක්‍ෂණ ඇතිවේ. ඇතැම් විට කලාතුරකින් වකුගඩු හා හෘදයේ ක්‍රියා කාරිත්වයට බාධා ඇතිවිය හැක.
ගෝනුසුසා
දෂ්ඨ කළ ස්ථානයේ ඉදිමුම හා වේදනාව ඇතිවේ. ඇතැම් විට මෙය දින දෙකක් පමණ පවතී. කුඩා ළමයෙකුට නම් ප්‍රතිකාර ගැනීම වැදගත් වේ.
කඩියන් හා වෙනත් විෂ කුහුඹුවන්
දෂ්ඨ කිරීමෙන් වේදනාව ඇතිවේ, ඇතැම් විට ඉදිමුම් ඇතිවිය හැක. ආසාත්මික තා ඇතිවීමෙන් මරණ කීපයක් වාර්ථාවී ඇත. සාමාන්‍යෙයන් මාරාන්තික නොවේ. නමුත් ආසාත්මිකතා ඇති වුවහොත් ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යය.
මීමැස්සා, බඹරා, දෙබරා.
විෂ සහිත වන මොවුන්ගෙන් මී මැස්සන් 400ක් 500ක් පමණ දෂ්ඨ කිරීමෙන් මිනිසෙකු මිය යාමට පුළුවන. නමුත් බඹරුන් හෝ දෙබරුන් ඊට අඩු පුමාණයකට මිනිසෙකු මරණයට පත් කළ හැක.

මේ සමග සර්පයින් ගැන ලියූ පොස්ට් මාලාව අවසන් කරනවා. නැවත මේ ගැන කිසිවක් නොලියන්නයි අදහස. මේ ලිපි ගැන ඔබේ අදහස් මට කියලම යන්න.
මෙම ලිපි මාලාව ලිවීමේදී මට උපකාරී වූ මූලාශ්‍ර.
සුමුදු බණ්ඩාරනායක නමැති වෛද්‍යවරයෙකු වෛද්‍ය ශිෂ්‍යෙයකු ලෙස සිටියදී ලියා පළකල ශ්‍රී ලංකාවේ සර්පයින් නමැති පොත (මෙය 1980 දශකයේ පළ කළ එකක් විය යුතුයි)
දෙහිවල සත්වෝද්‍යානය මගින් පළ කළ  ශ්‍රී ලංකාවේ සර්පයින් නැමැති පොත.
අන්තර්ජාලය (විශේෂයෙන් විකිපීඩියාව)
කාලයක් පුරා මා විසින් පුවත්පත් පොත් පත් මලින් එකතුකරගත් දැනුම.
මගේ මතක, හා අත්දැකීම්.
එසේනම් අළුත් ලිපියක් සමග හමුවෙමු. ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!