Showing posts with label ශ්‍රිලංකාවේ සර්පයන්. Show all posts
Showing posts with label ශ්‍රිලංකාවේ සර්පයන්. Show all posts

Monday, February 7, 2011

සර්පයින් සම්බන්ධ වැදගත් වන කරුණු කීපයක්...

ජනවාරි මාසයේ පටන් ගත් ශ්‍රී ලංකාවේ සර්පයින් ගැන ලියවුනු ලිපි පෙළ අවසන් කරන්න කාලය ඇවිත්. එහෙනම් අද අවසන් පෝස්ට් එකෙන් කියන්න යන්නේ සර්ප විෂ, දෂ්ඨ කිරිම ඇතුලු කරුණු කීපයක්.

සර්ප විෂ
සර්ප විෂ යනු අපේ කෙළ නිපදවන ඛේඨ ග්‍රන්ථි වැනිම විකසනය වූ ඛේට ග්‍රන්ථියකින් නිපදවෙන ප්‍රෝටීන් ද්‍රාවණයකි. එහි අන්තර් ගත වන්නේ ජලය, ප්‍රෝටියෝලිටික එන්සයිම, විවිධ එන්සයිම හා ස්නායු විෂ ඇතුලත්ය. විෂකුරු සර්පයෙකුගේ කළල අවස්ථාවේ සිටම විෂ ඇත. මෙය කහ හෝ දුඹුරු පැහැති ජලයට වඩා ඝනත්වයෙන් වැඩි ද්‍රවණයකි. විෂෙහි ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ එහි අඩංගු විවිධ එන්සයිම අනුවය. මෙවැනි එන්සයිම 30ක් පමණ සර්ප විෂෙහි අන්තර්ගත බව සොයාගෙන ඇත.

මෙම එන්සයිම ක්‍රියාකාරිත්වය අනුව කොටස් කිරීමේදී ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ හඳුනාගත හැක.
1 හයලුරොනිඩේස් (Hyaluronidase)
විෂ ශරීරය පුරා පැතිරෙන්නේ මෙම එන්සයිම නිසාය

2 පොස්පොලිපේස් (Phospholipase)
සෛල වල සිවිය මෙම එන්සයිම නිසා විනාශවේ.

3 ප්‍රෝටිනේස් (Protease)
දෂඨ කළ ස්ථානය කුණු වීම හා ලේ ගැලීම මෙම එන්සයිම නිසා සිදුවේ.

සර්ප විෂ ක්‍රියා කාරිත්වය අනුව ප්‍රධාන කොටස් දෙකකි. එනම් 
1. ස්නායුක විෂ (Neurotoxin)
මෙම විෂ කෙලින්ම බල පාන්නේ ස්නායු පද්ධතියටයි.

2. සෛල වලට බලපාන විෂ (Cytotoxin)
මෙම විෂ සෛල විනාශ කරයි.

සර්පයෙකු දෂ්ඨ කිරීමක් යනු කුමක්ද?
එනම් සපා කෑමකි. මෙහි වෙනත් සතෙකු සපාකෑමෙන් වෙනස් වන්නේ විෂ ග්‍රන්ථියේ ඇති විෂ සපා කන අවස්ථාවේ ශරීරයට ඇතුළු වීමයි.
 රූපයේ ආකාරයට සර්පයාගේ විෂ දළ (Fangs) පිහිටා ඇත.  සර්පයා සපා කන අවස්ථාවේ විෂ ග්‍රන්ථියේ (venom gland) වල ඇති සිදුරෙන්  විෂ ශරීරයට එන්නත් වේ. ඇතැම් සර්පයින්ගේ විෂ දළ පිහිටා ඇත්තේ මුඛයේ තරමක් ඇතුලතිනි. එවන් සර්ප දෂ්ඨයකදී ඇතැම් විට විෂ දළ නොවැදී තිබීමටද පුළුවන. මෙසේ ඇතුළු වන විෂ රුධිරය හා මුසුව ශරීරය පුරා ගමන් කරයි.

එවිට ඇතිවන රෝග ලක්‍ෂණ හා අවදානම
1 ස්නායු පද්ධතියට
මෙය බහුලව සිදුවන්නේ ඉලැපිඩේ කුලයට අයත් සර්ප විෂ නිසාය. නිදිමත ස්වභාවය, ඇස් බාගෙට වැසී තිබීම, ඇස් ඇරීමට අපහසු බව, බොඳවූ හෝ ද්විත්ව වූ රූප පෙනීම, ශ්වසනයට හා ගිලිමට ඇති අපහසු බව මෙහි ප්‍රධාන රෝග ලක්‍ෂණ වේ. 

2 හෘදය හා රුධිර පද්ධතියට
දෂ්ඨ කළ ස්ථානයෙන් අධික ලෙස රුධිරය ගලා යාම, සම රත් පැහැ ගැනීම (අභ්‍යන්තර රුධිර වහනය නිසා) අක්‍ෂි පටල යටින් රුධිරය ගැලීම, විදුරු මස් වලින් ලේ ගැලීම, රුධිරය සමග වමනය පිටවීම සිදුවේ. රුධිර පිඪනය පහල යෑම නිසා රෝගියා කම්පනයට ලක්වේ. රුධිර සෛල විනාශ විම සිදුවේ. මෙම ලක්‍ෂණ වලට ප්‍රධාන ලෙස බලපාන්නේ පොළොං විෂයි.

3 මුත්‍රා පද්ධතියට
වකුගඩු වලට සිදුවන හානි නිසා මුත්‍රා පිටවීම අඩුවේ. මේ හේතුවෙන් ශරීරයේ යූරියා ප්‍රමාණය ඉහල යාමෙන් රෝගීවේ. වකුගඩු වලට රුධිර සැපයුම අඩුවීම නිසාද, වකුගඩු වලදී රුධිර සෛල විනාශ වීම නිසාද වකුගඩු වලට හානි සිදුවේ.

සර්ප දෂ්ඨයකදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග.
  • සර්ප දෂ්ඨයකට ලක්වූ රෝගියා තුල අධික ලෙස මරණ බිය ඇතිවේ. එම නිසා එය අනිසි බියක් බව පෙන්වා දිය යුතුය. දැන් සර්ප දෂ්ඨයකට අවශ්‍ය ප්‍රථිකාර සෑම රොහලකම වාගේ ඇති බවත් නිසි ප්‍රථිකාරයෙන් සුව කිරීම අපහසු නොවන බවත් රොගියාට පෙන්වාදී බිය නැති කළ යුතුය. 
  • දෂ්ඨ කළ තුවාලය පිරිසිදු ජලයෙන් සෝදා දෑමීම කළ හැක. නමුත් සේදීමේදී ඇතිල්ලීමක් නොකළ යුතුය. ඉන්පසු වෙනත් විෂ බීජ ඇතුල්වීම වැලැක්වීමට තුවාලය පිරිසිදු රෙදි කඩකින් ආවරණය කරන්න.
  • තුවාලය අතක හෝ පාදයක ඇති විට ලේ ගමනාගමනය වලක්වන ලෙස තිරිංගයක් (පටියකින් ගැට ගසා ලේ ගමනා ගමනය අඩාල කිරීම) පෙර සිදු කලත් එයින් ඇතිවන අතුරු හානි නිසා දැන් එය අනුමත නොකරයි. 
  • දෂ්ඨ කළ ස්ථානය අධික ලෙස ඉදිමෙන නිසා ඒ ආශ්‍රිතව ඇති වලලු, මුදු වැනි දේ ඉවත් කරන්න.
  • රෝගියා වෙහෙසට පත් නොකර නොසොල්වා, ඇවිදීමට නොදී ඔසවාගෙන රෝහල කරා ගෙනයෑම.
  • රෝගියාට පානය කිරීමට දියර වර්ග හැකි තරම් ලබා දෙන්න.
  • කිසිදු ඖෂධයක් දීමෙන් වලකින්න. විශේෂයෙන් ඇසිප්‍රින් (Aspirin) දීමෙන් වලකින්න.
  • රෝගියාට මධ්‍යසාර පානය කිරිමට දීමෙන් වලකින්න.
  • * වඩාත්ම වැදගත් වන්නේ හැකි තරම් ඉක්මනින් රෝහලක් කරා ගෙන යන්න. දෂ්ඨයෙන් පැයක් පමණ ඇතුලත ප්‍රථිකාර සඳහා යොමු කරන්න හැකිනම් එය වෛද්‍යවරුන්ට පහසුවක් වනු ඇත.
  • දෂ්ඨ කළ සර්පයා හඳුනාගත්තේ නම් එය වෛද්‍යවරයාට පවසන්න.

රොහලකදී කරන විශේෂ ප්‍රතිකාර
මේ ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. නමුත් කෙටියෙන් සඳහන් කළොත් සිදුකරන්නේ පළමුව රෝග ලක්‍ෂණ පහලවී ඇති දැයි පරීක්‍ෂාකර එසේ නැතිනම් රෝග ලක්‍ෂණ පහල වන තුරු බලා සිටිය හැක. නමුත් දෂ්ඨ කළ සර්පයා උග්‍ර විෂ නම් හැකි ඉක්මනින් ප්‍රතිකාර ඇරඹේ. ප්‍රධාන ප්‍රතිකාරය ප්‍රතිවිෂ (Anti-venom) ලබා දීමයි. මේවා සාදන්නේ සර්ප විෂ තනුක කර එය අශ්වයින්, එළුවන්, බැටළුවන් හෝ බළලුන් වැනි සතුන්ට එන්නත් කොට ඔවුන්ගේ රුධිරයේ නිපදවෙන ප්‍රතිවිෂ නිස්සාරනයෙනි.
මීට අමතරව ඇතිවන වෙනත් අතුරු ආබාධ, රුධිරය අධික ලෙස අඩුවී ඇතිනම රුධිර පාරවිලයනය කිරීම, වකුගඩු වලට වන හානි සඳහා ප්‍රතිකාර සිදු කරයි. 

දේශිය ප්‍රතිකාර
පෙර කාලයේ අපේ රටේ දියුණු සර්ප වෙදකමක් පැවති බව පැවසේ. මාගේ ලොකු අත්තා සමාජ සේවයක් වශයෙන් සර්ප වෙදකම සිදු කර ඇත. එහෙත් ඔහුගෙන් පසුව කිසිවෙකුට එම වෙදකම කරන්නට හැකියාවක් නොවීය. ඔහුගේ පොතක කොටසක් වසර ගණනාවකට පෙර මට හමු වුවත් එහි කිසිවක් වටහා ගැනීම අපහසුය. ප්‍රතිකාර ක්‍රම ඇත්තේ කවියෙනි. දැන් නම් එය මා ළඟත් නැත. මේ අයුරින් අපේ දේශිය සර්ප වෙදකම මේ වන විට සම්පූර්ණයෙන්ම වාගේ අභාවයට ගොස් ඇත. ඒ නිසා නියම දක්‍ෂ සර්ප වෙදුන් අද ඇතැයි සිතීම අපහසුය. මේ නිසා වඩා සුදුසු වන්නේ සර්පයෙකු දෂ්ඨ කළ රෝගියෙකු රෝහලකින් ප්‍රතිකාර ගැනීමට පෙළඹවීමයි.
නමුත් දැන ගැනීම සඳහා පෙර පැවති ප්‍රතිකාර ක්‍රම කීපයක් සඳහන් කරමි.
නස්න කිරීම
මෙහිදී විවිධ බෙහෙත් වර්ග නාසයට තබා පිඹීම සිදු කරයි. ඇතැම් විට තෙල් වර්ගද, ඇතැම් විට වෙදමහතා කිසියම් බෙහෙතක් ඔහුගේ මුඛයේ දමා සපා එය රොගියාගේ නාසයට පිඹියි.
විෂ ඉරීම 
මේසඳහා විවිධ ක්‍රම භාවිතා කරයි. ඇතැම් විට බෙහෙත් ගුලියක් තුවාලය මත තබා විෂ උරා ඇත. ඇතැම් වෙදුන් කටින් විෂ උරා දැමූ බවටද පැරණි අයට මතක ඇත.
කැඳ වර්ග
සර්ප දෂ්ඨ කිරීමකට ලක්වූ අයෙකුට ඖෂධීය කැඳ වර්ග  ෙබාන්නට දී තිබේ. මෙයින් එක් කැඳ වර්ගයක් නම් කරපිංචා කොළ කැඳයි.
මීට අමතරව විවිධ බෙහෙත් වර්ග තුවාලයේ ආලේප කිරීම සිදු කර ඇත.

සර්ප දෂ්ඨයන් වලක්වා ගැනීම
  • සර්ප දෂ්ඨ කිරීම් වලින් 70% වැඩියෙන් සිදුවන්නේ දණහිසෙන් පහලය. එම නිසා සර්පයින් බහුලව ගැවසෙන ස්ථාන වල ක්‍රියා කිරීමේදී දණහිස තෙක් වැසෙන බූට්ස් (පාවහන්) පැළඳීම කළ හැක.
  • රාත්‍රී කාලයේ ගමන් කිරීමේදී හොඳ ආලෝකයක් රැගෙන යන්න. තවද අනාරක්‍ෂිත ස්ථානයකින් ගමන් කිරීමේදී දණ්ඩකින් පොළවට තට්ටු කරමින් යෑම හෝ තදින් පොළවට අඩි තබමින් යෑම නිසා සර්පයින් ඉවතට ගමන් කරයි.
  • ගස් බෙන, හුඹස්, ගල් වල ඇති විවර වැනි අනාරක්‍ෂිත ස්ථාන වලට අත දැමීමෙන් වලකින්න.
  • ගොවිතැන් කටයුතු වලදී කැලෑ හෙලි කිරීම, අස්වනු කැපීම (විශේෂයෙන් උක් වැනි වගා වන් වලදී) කාණු ශුද්ධ කිරීමේදී විමසිලිමත් වීම.
  • අඳුරේ දර ගොඩවල් වැනි ස්ථාන වලට අත දැමීමෙන් වැලකීම.
  • මරා දමන ලද හෝ මැරුණ සර්පයින් ඇල්ලීමෙන් වැලකීම.
සර්ප දෂ්ඨ කිරීම නිසා ඇතිවන වෙනත් බලපෑම්
සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මරණය සිදු නොවුනද වෙනත් හානි සිදුවීමට පුළුවන. ඒ නිසි ප්‍රතිකාර නොකිරීම නිසයි.
ඒවායින් කීපයක් මෙසේයි.

  • වකුගඩු වලට වන හානි නිසා පසු කාලීනව වකුගඩු අක්‍රීය වීමට හෝ ආබාධයන්ට ලක්වීමට ඇති ඉඩකඩ.
  • අක්මාවේ විෂ තැම්පත් වන නිසා අක්මාවට සිදුවන හානි.
  • මීට අමතරව සර්පයින්ගේ මුඛයේ පිටගැස්ම සාදන ක්ලොස්ට්‍රිඩියම් ටෙටනයි (Clostridium tetani) බැක්ටීරියාව වාසය කරයි. එම නිසා දෂ්ඨ කිරීමේදී එම බැක්ටීරියාව ශරීර ගතවීමෙන් පිටගැස්ම ඇතිවිය හැක.

සර්පයින්ගේ ඇති වැදගත් කම
අප පරිසරයේ වසන සෑම ජීවියෙක් වගේම සර්පයින් පරිසරයේ වැදගත් පුරුකකි. පරිසරයේ සමතුලිත බව ආරක්‍ෂා කිරීමට සර්පයින්ගෙන් ඉටුවන මෙහෙය ඉතා වැදගත්ය. ලංකාව වැනි කෘෂි කාර්මික රටවල වගාවන්ට හානි කරන ප්‍රධාන සතුරා වන මීයන් පාලනයට දායක වන සතුන් අතරින් වැඩිම දායකත්වය සපයන්නේ සර්පයින්ය.
තවද මිනිසාට සෑදෙන ලාදුරු, රූමැටික උණ, මහාමාරිය, ඇදුම, සරම්ප, හීමෝෆිලියාව වැනි රෝග සුව කිරීම සඳහා අවශ්‍ය ඖෂධ නිපදවීම සඳහා සර්ප විෂ යොදා ගැනේ. සර්ප විෂ සඳහා ප්‍රති විෂ නිපදවන්නේද සර්ප විෂ මගිනි.
මෙසේ අපට දෂ්ඨ කරන සර්පයින් අප නොදැනම අපේ පරිසරයට කරන මෙහෙය අති මහත්ය. එමෙන්ම ලංකාවේ ජීවත් වන සර්ප විශේෂ අතරින් 61ක්ම කිසිම විෂක් නැති අය වන අතර උග්‍ර විෂ සර්පයින් සඳහාද ප්‍රතිකාර ඇත.
මේ සියල්ල සැලකූ විට සර්පයින් ආරක්‍ෂා කිරීමට කාලය එළඹ ඇති බව කිව යුතුමය.

වෙනත් විෂ සහිත සතුන්
අප මෙතෙක් කථා කළ සර්පයින් හැර අප පරිසරයේ තවත් විෂ සහිත සතුන් වාසය කරයි. ඔවුන් අතර සන්ධිපාදිකයින් කිහිපදෙනෙක් ඇත.
එනම් දිවි මකුලුවන්, ගෝනුස්සන්, පත්තෑයන්/ගරුඬන්, මී මැස්සන්, බඹරුන් හා දෙබරන් වැනි සතුන්ය. කඩියන් වැනි විෂ සහිත කුහුඹු විශේෂ කීපයක්ද ඇත.
දිවි මකුළුවා
මෙම සතා මාරාන්තික විෂ සතෙකු නොවේ. දෂ්ඨ කිරීමකදී ඉදිමුම, වේදනාව, දෂ්ඨ කළ ස්ථානයේ ඇතිවන කැසීම, පපුවේ උදරයේ වේදනාව හා දහදිය අධික ලෙස දැමීම වැනි ලක්‍ෂණ ඇතිවේ. ඇතැම් විට කලාතුරකින් වකුගඩු හා හෘදයේ ක්‍රියා කාරිත්වයට බාධා ඇතිවිය හැක.
ගෝනුසුසා
දෂ්ඨ කළ ස්ථානයේ ඉදිමුම හා වේදනාව ඇතිවේ. ඇතැම් විට මෙය දින දෙකක් පමණ පවතී. කුඩා ළමයෙකුට නම් ප්‍රතිකාර ගැනීම වැදගත් වේ.
කඩියන් හා වෙනත් විෂ කුහුඹුවන්
දෂ්ඨ කිරීමෙන් වේදනාව ඇතිවේ, ඇතැම් විට ඉදිමුම් ඇතිවිය හැක. ආසාත්මික තා ඇතිවීමෙන් මරණ කීපයක් වාර්ථාවී ඇත. සාමාන්‍යෙයන් මාරාන්තික නොවේ. නමුත් ආසාත්මිකතා ඇති වුවහොත් ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යය.
මීමැස්සා, බඹරා, දෙබරා.
විෂ සහිත වන මොවුන්ගෙන් මී මැස්සන් 400ක් 500ක් පමණ දෂ්ඨ කිරීමෙන් මිනිසෙකු මිය යාමට පුළුවන. නමුත් බඹරුන් හෝ දෙබරුන් ඊට අඩු පුමාණයකට මිනිසෙකු මරණයට පත් කළ හැක.

මේ සමග සර්පයින් ගැන ලියූ පොස්ට් මාලාව අවසන් කරනවා. නැවත මේ ගැන කිසිවක් නොලියන්නයි අදහස. මේ ලිපි ගැන ඔබේ අදහස් මට කියලම යන්න.
මෙම ලිපි මාලාව ලිවීමේදී මට උපකාරී වූ මූලාශ්‍ර.
සුමුදු බණ්ඩාරනායක නමැති වෛද්‍යවරයෙකු වෛද්‍ය ශිෂ්‍යෙයකු ලෙස සිටියදී ලියා පළකල ශ්‍රී ලංකාවේ සර්පයින් නමැති පොත (මෙය 1980 දශකයේ පළ කළ එකක් විය යුතුයි)
දෙහිවල සත්වෝද්‍යානය මගින් පළ කළ  ශ්‍රී ලංකාවේ සර්පයින් නැමැති පොත.
අන්තර්ජාලය (විශේෂයෙන් විකිපීඩියාව)
කාලයක් පුරා මා විසින් පුවත්පත් පොත් පත් මලින් එකතුකරගත් දැනුම.
මගේ මතක, හා අත්දැකීම්.
එසේනම් අළුත් ලිපියක් සමග හමුවෙමු. ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!


Sunday, February 6, 2011

ලංකාවේ මුහුදු සර්පයෝ.

ලංකාව අවට මුහුදු තීරයේ මුහුදු සර්පයින් වර්ග 13ක් දක්නට ලැබේ. වාලක්කඩියන් ලෙස හැඳින්වෙන මොවුන් සියල්ලම උග්‍ර විෂ සහිත සර්පයින්වේ. මොවුන් අයත් වන්නේ හයිඩ්‍රොපිඩේ (Hydrophidae) යන කුලයටයි.

බඩ කහ මුහුදු නයා
Yellow-bellied Sea Snake යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන මෙම සර්පයා විද්‍යාත්මකව Pelamis platurus නම්වේ. අප දන්නා නයා, කරවලුන් අයත්වන ඉලැපිඩේ (Elapidae) කුලයට අයත් මෙම සර්පයා Pelamis ගනයට අයත් ලොව වසන එකම විශේෂය වේ. බහුලවම මන්නාරම් බොක්ක ආශ්‍රිතව වාර්ථා වී ඇති අතර නිවර්තන උනුසුම් ජලය ඇති මුහුදු ප්‍රදේශ වල වාසය කරයි. දිග සෙන්ටිමීටර් 72 සිට 80 ක් පමණ වෙයි. ගැහැණු සතුන් සාපේක්‍ෂව දිගින් වැඩිය.
උග්‍ර විෂ සහිත වුවද මෙම සර්පයින් දෂ්ඨ කිරීම නිසා මරණ වාර්ථා වන්නේ නැති තරම්ය. 
ලංකාව අවට ජීවත් වන අනෙකුත් මුහුදු සර්පයින් වර්ග 12 ගැන ප්‍රමාණවත් තොරතුරු නොමැත. නමුත් මේ සියලු විශේෂ උග්‍ර විෂ සහිත වේ.

මේ සමගම සියලුම සර්පයින් ගැන ලියන්න ආ කරුණු ලියා අවසන්. විෂ රහිත සර්පයින් විශේෂ 61 සිටින බැවින් ඒ සියලු දෙනා ගැන ලිවීමෙන් වන්නේ කාලය නාස්ති කිරීමක් පමණයි. 
සර්පයින් ගැන ලියවෙන අවසන් පොස්ට් එක සමග හමුවෙමු.
ගිහින් එන්නම්...
සුභ දවසක්..!!!

Saturday, February 5, 2011

ලංකාවේ සර්පයෝ..සුළු විෂ සහිත සර්පයින්.

අපේ කතාව දැන් අන්තිම භාගයට ඇවිත් තියෙන්නේ. අද මම කියන්න යන්නේ ලංකාවේ ජීවත් වන සුළු විෂ සහිත සර්පයින් ගැනයි. ලංකාවේ මෙම කාණ්ඩයට වෙන්කළ හැකි සර්පයින් වර්ග 12ක් පමණ හඳුනාගෙන තිබෙනවා. මොවුන් දෂ්ඨ කිරීමෙන් මරණය සිදු නොවන අතර සුළු ඉදිමුමක් හා ඇතැම් විට වේදනාවක් ඇතිවිය හැකිය.
මොවුන් ගැන දීර්ඝ වශයෙන් විස්තර කරන්න අවශ්‍ය නැති නිසා කෙටියෙන් ඡායාරූප ඇති අය නම් රූපයක් මගින් පමණක් හඳුන්වා දෙන්නම්.
1. ලේ මාපිලා.
නාග මාපිලා වශයෙන්ද හඳුන්වන මෙම සර්පයා Forsten's Catsnake යන ඉංග්‍රීසි නාමයෙන්ද Boiga forsteni යන විද්‍යාත්මක නාමයෙන්ද හැඳින්වේ.
දිගින් අඩි 4ක් 4 1/2 පමණ වන සර්පයෙකි. වල්ගය අඩියක් පමණ දිගැතිය. දුඹුරු පැහැතිය. ශරීරයේ හරස් අතට සුදු පැහැ ඉරි වැනි සලකුණු දක්නට ඇත. ගස් මතද දැකිය හැක. ඇසේ කණිනිකාව බළලෙකුගේ වැනිය.
ලංකාව, ඉන්දියාව හා නේපාලයෙන් වාර්ථා වී ඇත.

2.  රෑන් මාපිලා
මෙම සර්පයා ඉංග්‍රීසියෙන් Gamma Catsnake ලෙසත් විද්‍යාත්මකව Boiga trigonata ලෙසත් හැඳින්වේ. 
ඔලිව් පැහැයට හුරු ශරීරයේ කළු හා සුදු පැහැති ඉරි වැනි සලකුණු දක්නට ඇත. අඩි 3ක් පමණ වන අතර වලිගය අඟල් 7ක් පමණ දිගුය. දකුණු ආසියානු රටවල දක්නට ලැබේ. 

3. නිදි මාපිලා
ලංකාවේ සහ නැගෙනහිර ඉන්දියාවේ වාසය කරන සර්පයෙකි. Sri Lanka Cat Snake යන ඉංග්‍රීසි නාමයෙන්ද, Boiga ceylonensis යන විද්‍යාත්මක නාමයෙන්ද හැඳින්වේ.
දුඹුරු පැහැ ශරීරයේ තද පැහැයෙන් සලකුණු ඇති මෙම සර්පයා දිගින් අඩි 4ක් පරණ වර්ධනය වේ. වල්ගය අඟල් 10ක් පමණ දිගුය.

4. පඳුරු මාපිලා
ලංකාවේ දක්නට ලැබෙන මෙම සර්ලයා Barnes's Cat Snake යන ඉංග්‍රීසි නාමයෙන් හැඳන්වේ. මොහුගේ විද්‍යාත්මක නාමය වන්නේ Boiga barnesii ය.

මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් දක්වා පහත් බිම් වල වාසය කරයි. දුඹුරු ශරීරයේ තද දුඹුරු සලකුණු ඇත. අඩි 2ක් පමණ දිගට වර්ධනය වේ. උග්‍ර විෂ සහිත බවට මතයක් මිනිසුන් අතර ඇතත් සුළු විෂ සහිත සර්පයෙකි. දෂ්ඨ කිරීමෙන් මරණය ඇති නොවේ.

5 කහ මාපිලා
ලංකාවේ හා ඉන්දියාවේ දක්නට ලැබෙන සර්පයෙකි. Beddome's Cat Snake යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම සර්පයාගේ විද්‍යාත්මක නාමය වන්නේ Boiga beddomei ය.

මෙම මාපිල් වර්ග සියල්ලම අයත් වන්නේ කොලුබ්‍රිඩේ (Colubridae) කුලයටයි.

6 හෙණ කඳයා
ලංකාවේ හා ඉන්දියාවේ දක්නට ලැබෙන සර්පයෙකි. Brown Vine Snake යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම සර්පයාගේ විද්‍යාත්මක නාමය Ahaetulla pulverulenta වේ.
බොහෝවිට ගස් මත දක්නට ලැබේ. සිහින් දිග ශරීරයක් ඇත. නාසය උල් වන අතර නපුරු පෙනුමක් හිසේ ඇත. දිගින් අඩි 5ක් පමණ වේ. මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

7. ඇහැටුල්ලා
දකුණු ආසියාවේ රටවල් බොහොමයක දක්නට ලැබේ. ඉංග්‍රීසියෙන් Green Vine Snake යනුවෙන් හඳුන්වන මෙම සර්පයා විද්‍යාත්මකව Ahaetulla nasuta ලෙස හැඳින්වේ.
අඩි 5ක් පමණ දිග සිහින් ශරීරයක් ඇති මෙම සර්පයා ගස් මත වාසය කරයි. උල් නාසයක් සහිත හිස නපුරු පෙනුමක් ගනී. මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

8. මල්සරා
පොල් මල් කරවලා හා මල් කරවලා යන නම් වලින්ද හැඳින්වෙන මෙම සර්පයා Gold & Black Tree Snake යනුවෙන් ඉංග්‍රීසියෙන් නම් කෙරේ. Chrysopelea ornata ornata යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ.
ලංකාවේ වාසය කරන අලංකාරම සර්පයා ලෙස සැලකේ. දිගින් අඩි 4 1/2ක් පමණ වේ. බොහෝ විට ගස් මත වාසය කරයි. මොහු අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

9. දඟර දණ්ඩා
ගස් මත වාසය කරන මෙම සර්පයා Sri lanka Flying Snake යන ඉංග්‍රීසි නාමයෙන්ද, Chrysopelea taprobanica යන විද්‍යාත්මක නාමයෙන්ද හැඳින්වේ. 
මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

10. කුණුදිය කළුවා
ආසියවේ සහ ඕස්ට්‍රේලියාවේ දක්නට ලැබෙන සර්පයෙකි. ජලයේ වාසය කරයි. විශේෂයෙන් කඩොලාන ආශ්‍රිතවද දැකිය හැක. ඉංග්‍රීසියෙන් Dog Faced water snake යනුවෙන් හඳුන්වන මෙම සර්පයා Cerberus rynchops යන නාමයෙන් විද්‍යාත්මකව නම් කෙරේ.



රූප දෙකෙන් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ හා සිංගපූරුවේ ගන්න ඡායාරූප බව සලකන්න.
දිගින් අඩි 4ක් පමණ වේ. මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

11. නිහලුවා
ලංකාවට ආවේණික සර්පයෙකි. ඉංග්‍රීසි භාෂාවෙන් Sri lanka Keel Black හෝ Blossom Krait ලෙස හැඳින්වෙන මෙම සර්පයා විද්‍යාත්මකව Balanophis ceylonensis ලෙස නම් කර ඇත.

අඩි 1 1/2ක් පමණ දිගු සර්පයෙකි. තෙත් කලාපයෙන් වාර්ථා වී ඇත. කොලුබ්‍රිඩේ කුලයට අයත්වේ.

12. දිය වර්ණ.
ජලයේ ජීවත් වන මෙම සර්පයා Gerard's Water Snake යන ඉංග්‍රීසි නාමයෙන් හඳන්වන අතර විද්‍යාත්මකව Gerarda prevostiana නම්වේ. ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල දක්නට ඇත.

අඟල් 16ක් පමණ දිගු මෙම සර්පයා අයත් වන්නේ කොලුබ්‍රිඩේ කුලයටයි.

මේ අනුව ලංකාවේ වාසය කරන සියලුම සුළු විෂ සර්පයින් අයත් වන්නේ කොලුබ්‍රිඩේ (Colubridae)කුලයටයි. මෙම සර්පයින් දෂ්ඨ කිරීමෙන් මරණ වාර්ථා වී නැත. පොල්මල් කරවලා හෙවත් මල්සරා දෂ්ඨ කිරීම නිසා මරණ සිදුවන බවට මතයක් ඇතත් එයද මිත්‍යාවකි. තවද පොල්මල් කරවලා හා මල් කරවලා යන සර්පයින් නියම කරවලුන් නොවේ. නියම කරවලුන් අයත් වන්නේ Bungarus යන ගනයටයි.එමෙන්ම ඔවුන් ඉලැපිඩේ කුලයට අයත්. 
මෙතෙක් විස්තර කළ සර්පයින් හැර විෂ සහිත සර්පයින් ලෙස පෙන්වා දිය හැක්කේ මුහුදු සර්පයින් පමණි. ලංකාවේ හමුවන ඉතිරි වර්ග 61 පමණ වන සියලුම සර්පයින් විෂ රහිතවේ.
එහෙමනම් අදට මේ ඇති. තවත් ලිපියකින් හමුවෙමු.
ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!


Wednesday, January 26, 2011

ලංකාවේ සර්පයෝ.පලා පොළඟා (Green pit viper)

අද කියන්න යන්නේ ලංකාවේ ඉන්න තවත් ආවේණික සර්පයෙකු ගැනයි. මේ සර්පයා නොහිටින්න මේ පෝස්ට් සීරිස් එක මගේ අතින් පල නොවන්න බොහෝ දුරට ඉඩ තිබුනා. මේ වර්ගයේ කෙනෙක් තමා කලකට ඉහත මගේ අත සපා කෑවේ. එදින ඇතිවූ උනන්දුව නිසා තමා මම සර්පයින් ගැන මෙතරම් කියවන්න පටන් ගත්තේ. අවසානයේ මම එකතු කළ දැනුමේ ප්‍රථිපලය තමා මේ පෝස්ට් තුලින් මම බෙදා හදා ගන්නේ. පළමුව මෙයාගේ රූපයක් බලමු වෙනදා වගේම.
මේ පලා පොළඟා ඉංග්‍රීසියෙන් මෙයා Sri lankan Green Pit Viper ලෙසින් ද විද්‍යාත්මකව Trimeresurus trigonocephalus ලෙසින්ද හඳුන්වනවා. ලංකාවට ආවේණිකයි. මෙම සර්පයා ඇතුලත් වන්නේද ලෝරියල් සිදුර සහිත පොළඟුන් කාණ්ඩයටය. එමෙන්ම මෙයා අලංකාර සර්පයෙකු ලෙසත් පෙන්වා දිය හැක.

වාස භූමිය හා හැසිරීම
රුක් වාසී සර්පයෙකි. නිශාචරය. බොහෝ විට අලසව ගස් මත නිදා සිටින බවක් දැකිය හැකිය. මුහුදු මට්ටමේ සිට කඳුකරය දක්වාම ව්‍යාප්ත වී ඇත. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ වැවැලි සහිත ප්‍රදේශ වල බහුලව දක්නට ඇත. මා හන්තාන කඳුවැටියේ බහුලව සිටිනු නිරීක්‍ෂණය කර ඇත. ඉක්මනින් කෝප නොවන සර්පයෙකි.

හඳුනා ගැනීම
මෙම සර්පයා නිලට හුරු කොළ පාටින් යුතුය. උදරය ප්‍රදේශය කහ පාටට හුරු කොළ පැහැතිය. ශරීරයේ තැනින් තැන කළු පැහැති පැල්ලම් දක්නට ඇත. හිස ත්‍රිකෝණාකාරය. ඇස හා නාසය අතර ලෝරියල් සිදුර දක්නට ලැබේ. දිග අඩි 4ක් පමණ වේ. වල්ගය කෙටිය.


බෝවීම
මෙම සර්පයා අයත් වන්නේ වයිපරිඩේ කුලයට නිසා බෝවීම පැටවුන් බිහි කිරීම මගින් සිදු කරයි. මෙම වර්ගයේ ගැහැණු සතෙකු වරකට පැටවුන් 5ත් 30ත් අතර සංඛ්‍යාවක් බිහි කරයි.

ආහාර
මෙම සර්පයාගේ ආහාර වන්නේ කුරුල්ලන්, ගෙම්බන්, මීයන් වැනි සතුන්ය.

දෂ්ඨ කිරීම හා විෂ
මෙම සර්පයා අයත් වන්නේ මද විෂ (මධ්‍ය විෂ) සර්පයින් කාණ්ඩයටය. දෂ්ඨ කිරීමෙන් මරණ වාර්ථා වී නැති බව පැවසේ. නමුත් දෂ්ඨ කිරීම ඉතා වේදනාවක් ගෙනදේ. දෂ්ඨ කළ ස්ථානයේ ඉදිමුම දින කීපයත් පවතී. තවද දෂඨ කළ ස්ථානය පැසවීමට හෝ කුණු වීමට ඉඩක් ඇත.

පැවැත්මට ඇති තර්ජන.
කැලෑ එළි පෙහෙලි කිරීම නිසා වාස භූමි අහඅමි වී යාමෙන් විනාශයට මුහුණ දී ඇත. ලංකාවට ආවේණික සර්පයෙකි. වඳවී ගියොත් මෙම සර්පයා ලොවටම අහිමි වනු ඇත.

මෙම සර්පයාගෙන් පසුව අපට හමු වන සියලුම ගොඩබිම වසන සර්පයින් සුළු විෂ හා විෂ රහිත අයයි. ඉදිරි ලිපි වලින් එම සර්පයින් ගැන කෙටියෙන් විස්තර කරන්න බලා පොරොත්තු වෙනවා.

එහෙනම් ගිහින් එන්නම්. බ්ලොග් සතියේ පිට පිටම 3වෙනි පොස්ට් එකත් දැම්මා ඔන්න.
සුභ දවසක්..!!!

Tuesday, January 25, 2011

ලංකාවේ සර්පයෝ.පොළොන් තෙලිස්සා (Hump-nose viper)

අද කියන්න යන්නේ පොළඟුන් අයත් වන වයිපරිඩේ කුලයට අයත් තවත් සර්පයෙකු පිළිබඳවයි. ඒ තමයි පොළොන් තෙලිස්සා හෙවත් කුණ කටුවා.
ෆොටෝ එක ගත්ත තැන පේනවනේ. මම ගත් එකක් නම් නොවේ
මෙම සර්පයා කුණකටුවා ලෙසින්ද හැඳින්වේ. ඉංග්‍රීසි භාෂාවෙන් Hump-nose viper ලෙසද, විද්‍යාත්මකව Hypnale hypnale ලෙසද හැඳින්වේ. මොහු අයත් වන්නේ ලෝරියල් අවපාතය සහිත පොළඟුන් කාණ්ඩයටය.

වාස භූමිය හා හැසිරීම
භෞමිකව ජීවත් වන සර්පයෙකි. නිශාචරව හැසිරෙන සතෙකි. කෝපි, රබර්, කොකෝවා වැනි වගාවන් ආශ්‍රිතව හා කැළැවල බහුලව දක්නට ලැබේ. කිපුන විට වලිගය අග සොලවයි.

හඳුනා ගැනීම
මොවුන්ගේ වර්ණ වෙනස්කම් රැසකි. ශරීරය දුඹුරු පැහැතිය. නමුත් පොදු වශයෙන් සිරුර මතුපිට කළු හෝ දුඹුරු පුල්ලි දැකිය හැක. අඩි එකත් එකහමාරත් අතර දිගට වැඩේ. හිස ත්‍රිකෝණාකාරය. මොල්ලියක් වැනි ඉහලට එසවුනු නාසයක් ඇත. නාසය හා ඇස අතර ඇති ලෝරියල් අවපාතය (සිදුර) හඳුනාගත හැක පෘෂ්ඨයක් පතුපිට සිටින විට හිස අංශක 45කින් පමණ ඔසවාගෙන සිටිනු දැකිය හැකිවේ. 

හිස අංශක 45කින් ඔසවාගෙන සිටින ආකාරය

බෝවීම.
බෝවීම සිදුවන්නේ පැටවුන් දැමීම මගිනි. ගැහැණු සතා වරකට පැටවුන් 5ත් 15ත් අතර ප්‍රමාණයක් දමයි.

දෂ්ඨ කිරීම හා විෂ
අපේ රට සැලකූවිට මෙම සර්පයා නිසා සිදුවන දෂ්ඨ කිරීම් බහුලය. සිදුවන මරණ වලින් 2%ක් පමණ මෙම සර්පයාගේ විෂ නිසා සිදුවේ. කලින් මෙම සර්පයා මද විෂ සහිත බවට නම් කර තිබුනත් පසුව විෂ සහිත සර්පයෙකු ලෙස හඳුනාගෙන ඇත. දෂ්ඨ කළ විට තුවාලය වට දැඩි වේදනාවක් ඇතිවේ. පේශි අවට විනාශ වීම සිදුවේ.

පැවැත්මට ඇති තර්ජන
මිනිසා අතින් සිදුවන පරිසර විනාශය මෙම සර්පයාගේ පැවැත්මටද ඇති ප්‍රධාන තර්ජනයකි.

එහෙනම් මෙම සර්පයා ගැන මේ විස්තර ඇති. තවත් පොස්ට් එකක් සමග හෙටත් හමුවෙමු..
ගිහින් එන්නම්..
සුභ දවසක්..!!!



Monday, January 24, 2011

ලංකාවේ සර්පයෝ.දෙපත් කළුවා (Coral snake)

අද කියන්න යන්නේ ඉලැපිඩේ කුලයට අයත් තවත් සර්පයෙකු ගැන. මේ ඉන්නේ දෙපත් කළුවා. පින්තූරය බලන්න.
සුලභව දක්නට නොමැති සර්පයෙකි. ඒ නිසාම මෙම සර්පයා ගැන විස්තර සොයාගැනීමත් ඉතා දුෂ්කර දෙයක්. ඒ නිසා මෙයා ගැන මම කෙටියෙන් කියන්නම්.
සිංහලෙන් දෙපත් කළුවා නමින් හැඳින්වෙන මෙම සර්පයා Sri Lanka Coral Snake නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. මෙයාගේ විද්‍යාත්මක නාමය වන්නේ Caliophis melanurus යන්නයි. ශ්‍රී ලංකාවෙන් හා ඉන්දියාවෙන් වාර්ථා වෙනවා.
ප්‍රමාණයෙන් කුඩා සර්පයෙකි. දිගින් සෙන්ටි මිටර් 30ක් පමණ වේ. දිරා යන ගස් කඳන් හා කොළ රොඩු යටින් බහුලව හමුවේ. කහ පැහැයට හුරු දුඹුරු පැහැයෙන් යුත් ශරීරයේ තැඹිලි පැහැයට හුරු තිත් දක්නට ලැබේ. හිස සහ වලියේ ඇති කළු පැහැ තිත් නිසා දෙපත් කළුවා යන නම භාවිතා වේ. ලංකාවේ පළමු වරට වාර්ථා වී ඇත්තේ මාතලේ පළාතෙනි. 
බෝවීම බිත්තර මගින් සිදුවේ. ආහාර ගැන විස්තර සොයාගැනීමට අපහසුය.

කුඩා සර්පයෙකු නිසා මිනිසාට දෂ්ඨ කිරීම අපහසුය. එමෙන්ම නිතර දක්නට නොමැති නිසා දෂ්ඨ කිරීම් වාර්ථා වන්නේ කලාතුරකිනි. නමුත් ඉලැපිඩේ කුලයට අයක් උග්‍ර විෂ සහිත බව මෙම සර්පයාටත් හිමිව ඇති ලක්‍ෂණයකි.
මෙම සර්පයාත් විනාශ විමේ තර්ජනයට ලක්ව ඇති නිසා ආරක්‍ෂාකළ යුතු සතෙකි. එමෙන්ම විෂකුරු වුවද හානිකර සතෙකු ලෙස සැලකීමටද අපහසුය.
එහෙනම් තවත් සර්පයෙකුගේ විස්තර සමග හෙට හමුවෙමු. මේ සතියේ හැකි තරම් පොස්ට් දාන්නයි ඉන්නේ. බ්ලොග් සතියනේ.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

Thursday, January 20, 2011

ලංකාවේ සර්පයෝ.වැලි පොළඟා (Saw-scaled viper)

අද කියන්න යන්නේ ලංකාවේ ජීවත් වන තවත් උග්‍ර විෂ සහිත සර්පයෙකු ගැනයි. මෙයත් ආසියාවේ විෂම හතරදෙනාගෙන් කෙනෙක්. දැක තිබෙනවද බලන්න.
ඡායාරූපය අන්තර් ජාලයෙන්
මේ වැලි පොළඟා. ඉංග්‍රීසියෙන් Saw-scaled viper ලෙස හඳුන්වන වැලි පොළඟා ගේ විද්‍යාත්මක නාමය වන්නේ Echis carinatus ය.

වාස භූමිය හා හැසිරීම.
භෞමිකව ජීවත් වන සර්පයෙකි. නිශාචර සතෙකි. ශරීරය දුඹුරු හෝ රතු දුඹුරු පැහැතිය. ශරීරයේ අළුවා කැට හැඩය ඇති සලකුණු දක්නට ලැබේ. ශරීරය රළු පෙනුමක් ඇත. හිස මතුපිට කුරුල්ලෙකුගේ පාදය වැනි සලකුණක් ඇත. (රූපය)

අප රටේ සැලකූ විට වියලි කලාපයේ දක්නට ඇත. මන්නාරම, යාපනය ප්‍රදේශ වලින් බහුලව වාර්ථා වේ. වැලි සහිත පොළවේ වැලි යට, ගල් අතර, කටු පඳුරු, පතොක් පඳුරු අතර දක්නට ලැබේ. ඉක්මනින් කෝප වන සර්පයෙකි. ප්‍රකෝප වූ විට ෂූ වැනි ශබ්දයක් නිකුත් කරයි.

බෝවීම
පැටවුන් බිහි කරයි. ගැහැණු සතා වරකට පැටවුන් 3ක්-6ක් අතර ප්‍රමාණයක් බිහි කරයි. මෙය 15ක් පමණ දක්වා වෙනස් විය හැක.

ආහාර
ආහාර සොයා යන්නේ රාත්‍රී කාලයේය. ගෙම්බන්, ගෝනුස්සන්, කටුස්සන්, පත්තෑයන් වැනි සතුන් ආහාරයට ගනී.

ප්‍රකෝප වූ විට දෂ්ඨ කරයි. බොහෝ විට රාත්‍රී කාලයේ දෂ්ඨ කිරීම් සිදුවේ. උග්‍ර විෂ සහිත සර්පයෙකි. නමුත් ලංකාවේ දෂ්ඨ කිරීම් වාර්ථා වන්නේ අඩුවෙනි.

පැවැත්මට ඇති තර්ජන
මිනිස් ක්‍රියා නිසා සිදුවන පරිසර දූෂණය මෙම සත්වයාගේ පැවැත්මට තර්ජනයකි. ජීවත් වන පරිසර පද්ධති විනාශ වීම. රසායන නිසා සිදුවන හානි නිසා බෝවීම අඩුවෙමින් පවතී.

එහෙනම් අපි අද තවත් සරපයෙකු ගැන දැන ගත්තානේ. මීළඟ සර්පයාගේ විස්තරය සමග ආයෙම දවසක හමු වෙමු.
ගිහින් එන්නම්..
සුභ දවසක්..!!

Monday, January 17, 2011

ලංකාවේ සර්පයෝ.තිත් පොළඟා (Russell's viper)

අද කියන්න යන්නේ වයිපරිඩේ කුලය (Viperidae) කුලයට අයත් සර්පයෙක්. ඒ කියන්නේ පොළොඟුන් අයත් වන කුලය. මෙයා නම් දරුණු ගණයේ සර්පයෙකු ලෙසයි හඳුන්වා දෙන්න පුළුවන්. පළමුව රූපය බලන්න.
මේ තමා තිත් පොළඟා. ඉංග්‍රීසියෙන් Russell's viper ලෙස හැඳින්වෙන මෙම සර්පයාගේ විද්‍යාත්මක නාමය Dabia russelli. ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාවේ, චීනය, තායිවානයේ ද වාසය කරනවා. ආසියාවේ ලොකුම හතරදෙනා (බිග්ෆෝ) අතරට මෙම සර්පයා එක් වෙනවා.

වාස භූමි හා හැසිරීම
භෞමිකව ජීවත්වන සතෙකි. බහුලවම රාත්‍රී කාලයේ හැසිරෙන නමුත් ඇතැම් විට දිවා කාලයේද දක්නට ලැබේ. උස් කඳුකර ප්‍රදේශ හැර රටේ සෑම පළාතකම වාගේ දක්නට ඇත. පඳුරු ආශ්‍රිතව, කුඹුරු වල දක්නට ලැබේ. වහාම පහර දීමට පෙළඹෙන සර්පයෙකි. කිසිවෙක් ලංවූ කල පිඹිමින් දරණ ගසා දුන්නක් මෙන් ශරීරය දිගහැර පනිමින් පහර දෙන ස්වභාවයක් පෙන්වයි.

හඳුනා ගැනීම
ශරීරය රතු දුඹුරු පැහැතිය. ශරීරය මතුපිට කිරිබත් කැට හැඩය ඇති සලකුණු එක පෙළට ඇත. එය දෙපසින් දුඹුරු පැහැ අර්ධ කවාකාර සලකුණු දෙපේළියක් ඇත. හිස මත දාරය දිගේ සුදු පැහැ ඉරක් දැකිය හැකිය. හිස ත්‍රිකෝණා කාරය. දිගින් අඩි 5ක් පමණ වර්ධනයවේ. වලිගය කෙටිය.
පින්තූරය විකිපීඩියාවෙන්. සොයා දුන් හාපැටික්කීට ස්තූතියි.
බෝවීම
මෙම සර්පයා බෝවීම සිදුවන්නේ පැටවුන් බිහිවීමෙනි. ගැහැණු සතා වරකට පැටවුන් 50ක් පමණ දක්වා බිහි කරයි.

ආහාර
ප්‍රධාන ආහාරය වන්නේ මීයන්ය.

දෂ්ඨ කිරීම් හා විෂ
වහා පහරදෙන සතෙකි. දෂ්ඨ කීරීම් සුලභය. උග්‍ර විෂ සහිත සර්පයෙකි. විෂ ශරීර ගතවු විට සෙමෙන් ගමන් කොට වකුගඩු ආදියේ එකතු වේ. මීට අමතරව හෘදය, මොළය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ විෂ තැම්පත්වේ. දෂ්ඨ කිරීමේදී දැකිය හැකි ප්‍රධාන රෝග ලක්‍ෂණ වන්නේ
  • ලේ කැටි ගැසීම ප්‍රමාදය
  • ඉදිමුම
  • අධික වේදනාව
  • සම යට සිදුවන ලේ ගැලීම්
  • විදුරුමසෙන් ලේ ගැලීම
  • මූත්‍රා සමග ලේ පිටවීම
  • මීට අමතරව අභ්‍යන්තර ලේ ගැලීම් සිදුවේ
මෙයට අමතරව මෙම සර්පයා ගැන කියවෙන වැදගත්ම දෙය නම් ලංකාවේ සර්ප විෂ නිසා සිදුවන මරණ වලින් වැඩිම ප්‍රමාණයකට හේතු වන්නේ තිත් පොළඟා වේ.

මිත්‍යා විශ්වාස.
මෙම සර්පයා කල් යනවිට වාර ගණනාවක් සැව හැලීවෙන් පසු පිඹුරකු බවට පත්වන බවට මිත්‍යා විශ්වාසයක් පවතී. එහෙත් මෙම සතුන් දෙදෙනා අතර එවැනි සම්බන්ධයක් නොමැත.

එහෙනම් තවත් සර්පයෙකුගේ විස්තර සමග තවත් දවසක හමුවෙමු.
ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

Saturday, January 15, 2011

ලංකාවේ සර්පයෝ..මුදු කරවලා (Sri Lanka Krait)

ඉලැපිඩේ කුලයට අයත් මීලඟ මාරාන්තික සර්පයා ගැනයි අද කතා කරන්න යන්නේ. මෙයා කලින් සඳහන් කළ ආසියාවේ ලොකුම හතර දෙනාට අයිත් වන්නේ නෑ. ඒ ඇයි කියන එක දැන ගන්න කලින් මෙයා හඳුනාගමු නේද.

ඔව් මෙයා මුදු කරවලා. Sri Lanka Krait/Ceylon Krait යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. අමතරව සිංහලෙන් හක් කරවලා, පොළොන් කරවලා ලෙසද හඳුන්වනවා. විද්‍යාත්මකව Bungarus ceylonicus ලෙස හඳුන්වනවා. මෙයා ලංකාවට ආවේණික සර්පයෙක්. මෙයා ලංකාවට ආවේණික නිසා වෙනත් ආසියානු රටවල දක්නට නැති නිසා තමා ඉහත මා සඳහන් කළ ආකාරයට මෙයා "බිග් ෆෝ" ට ඇතුළත් නොවන්නේ. ඒ නිසාම අප ආරක්‍ෂා කරන්න අවශ්‍ය සතෙකු ලෙසත් හඳුන්වන්න පුළුවන්.

වාස භූමිය හා හැසිරීම
භෞමිකව ජීවත් වන සර්පයෙකි. නිශාචරය. ලංකාවේ තෙත් කලාපයේ දක්නට ඇත. දිවා කාලයේ දෂ්ඨ කිරීමක් වාර්ථා වෙන්නේම නැති තරම්ය.

හඳුනා ගැනීම
තද කළු පැහැති දිලිසෙන ශරීරයේ සුදු පැහැති මුදු ආකාර පටි ඇත. වයසට යන විට මෙම මුදු හඳුනාගත නොහැකි තරමට නොපෙනී යයි. කුඩා කාලයේ හිස මතුපිට සුදු පාට ඇතත් එයද වයස් ගතවන විට නොපෙනී යයි. දිගින් සේන්ටිමීටර් 75ත්  100ත් අතර ප්‍රමාණයකට වර්ධනය වේ.

බෝවීම
බිත්තර මගින් බෝවේ. ගැහැණු සතා වරකට බිත්තර 5ක් පමණ දමයි. බිත්තරයක් 30mmx17mm පමණ වේ.

ආහාර
නිශාචර සර්පයෙකු නිසා රාත්‍රී කාලයේ ආහාර සොයායයි. බහුලව ආහාරයට ගන්නේ අනෙකුත් විෂ රහිත සර්පයින්ය, කුඩා මීයන් හා ගෙම්බන් වැනි සතුන්ය. අන්ධ සර්පයෙක් ආහාරයට ගන්නා අවස්ථාවක් මා දැක ඇත.

දෂ්ඨ කිරීම හා විෂ
දෂ්ඨ කිරීම් වාර්ථා වන්නේ රාත්‍රී කාලයේය. දිවා කල දෂ්ඨ කිරීමට පෙළඹෙන්නේ නැත. උග්‍ර විෂ සහිත සර්පයෙකි. නමුත් මෙම සර්පයා දෂ්ඨ කිරීම නිසා මරණ වාර්ථා වන්නේ අඩුවෙනි. එයට හේතුව දෂ්ඨ කිරීම් සුලභ නොවීමය. රෝග ලක්‍ෂණ නයා, තෙල් කරවලා දෂ්ඨ කිරීම නිසා ඇතිවන ලක්‍ෂණ හා සමානය. විෂ බලපාන්නේ ස්නායු පද්ධතියටයි. නිසි ප්‍රථිකාරයක් නොකළහොත් දෂ්ඨ කිරීමෙන් පැය 12කට පමණ පසු මරණය සිදුවන බව සඳහන්වේ.

පැවැත්ම හා ඇති කර්ජන
පරිසර දූෂණය නිසා මෙම සර්පයාද තර්ජනයට ලක්ව ඇත. මොහු අප පරිසරයෙන් වඳවී ගියොත් ලෝකයටම අහිමි වනු ඇත. ඒ අපට ආවේණික නිසාය.

මෙම සර්පයා ගැන සඳහන් විස්තර ඇත්තේ අඩුවෙනි. එසේම වැඩි අවධානයකට ලක් නොවූ සර්පයෙකි. තව විස්තර දන්න අය සීටීනම් කියන්න.

එහෙනම් අදට ඇති. තවත් සර්පයෙකුගේ විස්තර අරන් ආයෙම දවසක හමුවෙමු.
ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

Thursday, January 13, 2011

ලංකාවේ සර්පයෝ..තෙල් කරවලා (Common Krait)

ඉලැපිඩේ කුලයට අයත් සර්පයින් සියලු දෙනාම එක පෙලට ගේන්න හිතුවා. ඒනිසා අද කියන්න යන්නේ ලංකාවේ වසන උග්‍රම විෂ සහිත සර්පයා ගැනයි. රූපය බලාගෙනම යමු පළමුවෙන්ම.

ඔව් මේ ඉන්නේ තෙල් කරවලා (Common Krait) තමා. මෙයාට මගමරුවා නැතිනම් දුනු කරවලා ලෙසත් සමහර ප්‍රදේශ වල හඳුන්වනවා. Elapidae කුලයට අයත් තෙල් කරවලා Bungarus caeruleus යන විද්‍යාත්මක නාමයෙන්  හඳුන්වනවා. ආසියානු කලාපයේ උග්‍ර විෂ බිග් ෆෝ අතරට මෙම සර්පයාද අයත්වේ.

වාස භූමි හා හැසිරීම.
භෞමිකව ජීවත් වන සර්පයෙකි. කුඩා ගුල්, දිරායන රොඩු ගොඩවල්, බුරුල් පසේ මෙන්ම වියලි තණකොළ අතරද දක්නට ලැබේ. ජලාශ්‍රිතව සිටීමටද කැමැත්තක් දක්වයි. නිශාවර සර්පයෙකු නිසා දිවා කාලයේ දැකීම ඉතා අපහසුය. බොහෝවිට අප රටේ පහත රට කලාපයේ දක්නට ඇත.

හඳුනා ගැනීම
පෘෂ්ටීයව තද කළු පැහැතිය. උදරය සුදු පැහැතිය. කළු පැහැති ශරීරයේ සුදු පැහැ බෙදුනු මුදු (ද්විත්ව මුදු) හැඩති සලකුනු දක්නට ඇත. මේවා වලිගයේ තනි මුදු ලෙස දක්නට ඇත. (පහත රූපය බලන්න) මීටරයක් (අඩි 3.3) පමණ දිගට වැඩේ. අඩි 4-5ක් පමණ දිගට වාර්ථා වන අවස්ථා ඇත. ශරීරය තෙල් දමා පිරිමැද ඇති ආකාරයට දිලිසේ. 

මුදු බෙදී ඇති ආකාරය බලන්න පින්තූරය මත ක්ලික් කර විශාල කරන්න

බෝවීම.
මෙම සර්පයා බෝවන්නේ බිත්තර මගිනි. ගැහැනු සතා වරකට බිත්තර 5ක් පමණ දමයි.

ආහාර.
රාත්‍රී කාලයේ ආහාර සොයායයි. ආහාර ලෙස බහුලව ගන්නේ අනෙක් විෂ රහිත සර්පයින්ය. මීට අමතරව කටුස්සන්, ගෙම්බන් හා මැඩියන්, මීයන් ආහාරයට ගනී. කුඩා කාලයේ කෘමීන් හා අන්ධ පණුවන්ද ආහාරයට ගන්නා බව වාර්ථාවේ.

දෂ්ඨ කිරීම් හා විෂ
දැනට ලංකාවෙන් වාර්ථාවන උග්‍රම විෂ සහිත සර්පයා වශයෙන් සැලකේ. තෙල් කරවලාගේ විෂ මිලිග්‍රෑම් එකක් පමණ හොඳින් වැඩුනු මිනිසෙකු මරණයට පත් කරන්න ප්‍රමාණවත්. දෂ්ඨ කිරීම් බොහෝවිට රාත්‍රී කාලයේ සිදුවේ. නමුත් දෂ්ඨ කිරීම් සුලභ නොවේ. ස්නායු පද්ධතියට විෂ බලපාන අතර රෝග ලක්‍ෂණ බොහෝ විට නයාගේ විෂ නිසා ඇතිවන ලක්‍ෂණ හා සමාන වේ.

මෙම සර්පයා සම්බන්ධයෙන් මිත්‍යා මත ගැන සඳහන් නොවේ. මෙම සර්පයාද පරිසර පද්දතියේ පැවැත්මට වැදගත්  වන අතර පරිසර දූෂණය, කැලෑ හෙළි කිරීම නිසා තර්ජනයට ලක්වූ සතෙකි.

මීළඟ පෝස්ට් එකෙන් මුදු කරවලා ගැන විස්තර අරන් එන්නම්.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්.!!!!!

Monday, January 10, 2011

ලංකාවේ සර්පයෝ..නයා (Cobra)

ලංකාවේ සර්පයින් අතරින් වැඩිම දෙනෙකු දන්නා කියන සර්පයෙකුගෙන් විස්තර පටන් ගන්න හිතුවා. එයා තමා මේ පහලින් ඉන්නේ.
ඡායාරූපය http://www.naturephoto-cz.eu අඩවියෙන්
ඔව් මෙයා තමා නයා එහෙම නැත්නම් නාගයා. Cobra යන ඉංග්‍රීසි නාමයෙන් හැඳින්වෙන මෙයා ඇත්තටම Indian Cobra (ඉන්දියානු නයා) ලෙස හැදීන් වෙන්නේ. විද්‍යාත්මකව Naja naja ලෙස  හැඳින්වෙනවා. ආසියානු කලාපයේ උග්‍රවිෂ හතරදෙනා හෙවත් බිග් ෆෝ අතරට නාගයා ඇතුලත්. නාගයා අයත් වන්නේ ඉලාපිඩේ (Elapidae) කුලයට.
වාස භූමිය හා හැසිරීම.
භෞමිකව ජීවත් වන සර්පයෙකි. ඉතා උස් කඳුකරයේ හැර රට පුරාම වගේ දක්නට ඇත. දිවා රාත්‍රී කාල දෙකේම ක්‍රියාශීලී සතෙකි. ක්‍ෂණිකව කොපයට පත්වේ. විශේෂයෙන් තරුණ වයසේ නයෙකු පහසුවෙන් කෝපයට පත්වේ. එවිට පෙනය විහිදුවයි. ඊට අමතරව ෂූ යන ශබ්දයක්  නිකුත් කරයි. බොහෝවිට දෂ්ඨ කිරීම් සිදුවන්නේ ප්‍රකෝප වූ අවස්ථාවන් වලදීය. දෂ්ඨ කිරීම පොළවේ සිට අඩියක් පමණ උසකින් බොහෝවිට සිදුවේ
පෙනය විහිදුවා ගත් විට නයෙකු පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. 
හඳුනා ගැනීම
ශරීර වර්ණය දුඹුරු පැහැයේ සිට කළු පැහැය දක්වා වෙනස් වේ. ශරීරයේ තැනින් තැන සුදු පැහැ තිත් දක්නට ලැබේ. දිගටි ශරීරයක් ඇති අතර හොඳින් වැඩුනු නයෙකු අඩි 6ක් පමණ දික්වේ. ඉතා කලාතුරකින් අඩි 8ක් පමණ වර්ධනය වූ අය වාර්ථා වී ඇත. හඳුනා ගැනීමට පහසුම පෙනය මගිනි. පෙනය විහිදුවා ගත් විට එහි ඉදිරි පසින් ඇති ලප දෙකක් වැනි සලකුණත්, පසු පසින් ඇති “ප“ අකුරේ සලකුණත් හඳුනා ගැනීම පහසු කරයි. (රූපය)
නාගයා හඳුනා ගැනීම
බෝවීම
නයාගේ බෝවීම සිදුවන්නේ බිත්තර මගිනි. සැපින්න වරකට බිත්තර 5-25 ත් අතර ප්‍රමාණයක් දමයි. ඒවායෙන් දින 48-60 අතර කාලයකදී අඟල් 8ක් පමණ දිගැති පැටවුන් පිටතට පැමිණේ.

ආහාර
නයා ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ ගෙම්බන් හා මැඩියන්, මීයන්, කුඩා පක්‍ෂින් හා වෙනත් සර්පයින්ය.

දෂ්ඨ කිරීම හා විෂ
නාගයා බොහොවිට දෂ්ඨ කරන්නේ ප්‍රකෝප වූ අවස්ථාවන් වලදීය. දෂ්ඨ කිරීම පොළවෙන් අඩියක් පමණ උසකින් සිදුවේ. උග්‍ර විෂ සහිතය. ප්‍රතිකාර නොකළහොත් පැය 5කින් පමණ වැඩුණු මිනිසෙකු මරණයට පත්කිරීමට තරම් විෂ ප්‍රභලය. නයාගේ විෂ ප්‍රධාන වශයෙන් බල පාන්නේ ස්නායු පද්ධතියටය. අප රටේ සර්ප විෂ නිසා සිදුවන මරණ වලින් නාග විෂ නිසා වන මරණ සැලකිය යුතු ප්‍රමාණයක් පවතී.
නාග විෂ නිසා ඇතිවන රෝග ලක්‍ෂණ කීපයක්
  • ඇස් කුඩාවීම
  • ක්ලාන්ත ස්වභාවයක් ඇතිවීම
  • අධික වේදනාව හා තුවාලය අවට ඇතිවන දැවිල්ල
  • හුස්ම ගැනීමේ අපහසු තාවය
  • යමක් ගිලීමේ හා කථා කිරීමේ අපහසු තාවය
මිත්‍යා මත.
නයා පළි ගන්නා සතෙකු ලෙස සමාජයේ මතයක් පවතී. මෙහි කිසිම සත්‍යා තාවයක් නොමැත. සර්පයෙකුට එසේ මතක තබාගෙන පළි ගන්න තරම් බුද්ධියක් නොමැත. 
මීට අමතරව ඇතැම් පිරිස් අතර නයා කාලයක් සැව ඉවත් කිරීමෙන් පසු තටු සහිත කොබෝ නයෙකු වන බවට  පිළිගැනීමක් පවතී. එයද මිත්‍යා විශ්වාසයකි.

නයා ගැන අප සමාජයේ පවතින පූජනීය පිලිගැනීම නිසා වෙනත් රටවලට සාපේක්‍ෂව අප රටේ නයි මරණ අවස්ථා අඩුය. නමුත් මෙම සතාගේ පැවැත්මට පරිසර දූෂණය ලඳු කැලෑ එළිවීම නිසා තර්ජනයක් පවතී. මොවුන් අප පරිසරයේ පැවැත්මට වැදගත් මෙහෙයක් ඉටු කරනවා. විශේෂයෙන් ගොවීන්ට මිතුරෙකු ලෙස සලකන්න පුළුවන්. ගොවිතැනට හානි කරන මීයන් විනාශ කරන නිසා.

දෂ්ඨ කිරීමකදී කළ යුතු දෑ, සර්ප විෂ ගැන මේ ලිපි මාලාව අවසානයේ වෙනම පෝස්ට් එකක් පළ කරන නිසා මෙහි වෙනම සඳහන් නොකරන්න තීරණය කළා.
එහෙනම් තවත් සර්පයෙකු ගැන පෝස්ට් එකකින් හමුවෙමු.
ගිහින් එන්නම්.
සුභ දවසක්.!!!

Saturday, January 8, 2011

ශ්‍රි ලංකාවේ සර්පයන් ගැන හැඳින්වීම...

එහෙනම් කලින් පොස්ට් එකේ පොරොන්දු වූ ආකාරයෙන්ම අද සිට මේ අප අවට පරිසරයේ ඉන්න සර්පයන් ගැන කතා කරන්නයි යන්නේ. මම පාසලේදී සත්ත්ව විද්‍යාව ඉගෙන ඇතත් ඉන්පසු ඒ පිළිබඳව ඉගෙන ගත්තේ නෑ. ඒ නිසාම මම සර්පයන් පිළිබඳ විශේෂඥයෙක් නම් නොවේ. මගේ ලිපිවල ඇතුලත් කරන්න බලා පොරොත්තු වන්නේ සර්පයන් ගැන සාමාන්‍ය තොරතුරු පමණක් බවත් කලින්ම කියන්නම්.
සර්පයින් යනු පාද නොමැති, දිගු ශරීරයකින් යුත්, කොරපොතු සහිත සමකින් වැසුන උරගයින් පිරිසකි. ලොව පුරා ගණ 450කට වැඩි සංඛ්‍යාවකට අයත් සර්ප විශේෂ 2900ක් පමණ වාසය කරයි.
සර්පයින්ගේ වර්ගීකරණය දැක්වෙන්නේ මේ ආකාරටයි.
රාජධානිය (Kingdom)        සත්ත්ව (Animalia)
වංශය (Phylum)                 කොඩාටා (Chordata)
උප වංශය (Sub Phylum)    වර්ටිබ්‍රේටා (Vertebrata)
වර්ගය (Class)                   රෙප්ටීලියා (Reptilia)
ගෝත්‍රය (Order)                ස්කුවමාටා (Squamata)
උප ගෝත්‍රය (Sub Order)   සර්පන්ටස් (Serpentes)
මෙයින් අප රටේ සත්ත්ව කුල (Family) 8කට අයත් සර්ප විශේෂ 96ක් පමණ හමුවන අතර ඉන් 35ක් පමණ විශ සහිත සර්පයන් ගණයට අයත් වේ. මේ අතරින් සර්ප විශේෂ 20 උග්‍ර විෂ සහිත සර්පයන් වන අතර එයින් 13ක්ම මුහුදේ වාසය කරන කරදිය වාසී සර්පයින් වේ. ගොඩබිම වසන වර්ග ඇත්තේ 7ක් පමණි. මෙම උග්‍ර විෂ සහිත සර්පයින් 7 අතරට ආසියාවේ උග්‍රම විෂ සහිත වර්ග 4ක්ම අයත් වේ. The big four ලෙස හඳුන්වන නාගයා (Cobra),  වැලි පොළඟා (Saw scaled viper), තෙල් කරවලා (Common Krait) හා තිත් පොළඟා (Russell's viper)  යන සිව් දෙනා මේ කොටසට ඇතුලත්.

මීට අමතරව මුදු කරවලා (Ceylon Krait), දෙපත් කළුවා (Ceylon Coral Snake) හා කුණකටුවා හෙවත් පොළොන්තෙළිස්සා (Hump-nose viper) උග්‍ර විෂ සහිත සර්පයන් යටතට ගැනේ.
මෙයට අමතරව මද විෂ සහිත සර්ප විශේෂ 3ක් හඳුනාගෙන ඇත.
පළා පොළඟා (), මූකලන් තෙලිස්සා () හා කුඩා මූකලන් තෙලිස්සා () මේ යටතට හඳුනාගෙන ඇත.
මීට අමතරව සුළු විෂ සහිත සර්ප විශේෂ 12ක් ලංකාවේ හඳුනාගෙන ඇත.
ඉතිරි සියලුම සර්පයින් අයත් වන්නේ විෂ රහිත සර්පයින් යටතටයි. ඒ අනුව අපේ රටේ ගොඩබිම මාරාන්තික සර්පයින් සිටින්නේ විශේෂ 7ක් පමණි. 
මෙම සියලු දෙනාම කුල 8කට අයත් බව ඉහත සඳහන් කළානේ. ඒ කුල පහත දැක්වෙනවා.
  1. ටිප්ලොපිඩේ කුලය (Typhlopidae
  2. යුරෝපෙලිටිඩේ කුලය (Uropeltidae)
  3. බොයිඩේ කුලය (Boidae)
  4. ඇක්ක්‍රෝකෝඩිඩේ කුලය (Acrochordidae)
  5. කොලුබ්‍රිඩේ කුලය (Colubridae)
  6. ඉලැපිඩේ කුලය (Elapidae)
  7. හයිඩ්‍රොපිඩේ කුලය (Hydrophiidae)
  8. වයිපරිඩේ කුලය (Viperidae)

ටිප්ලොපිඩේ කුලය
මොවුන් අන්ධය. පාංශු වාසීන්ය. ඝන දෙකකට අයත් විශේෂ 10ක් පමණ වාසය කරයි. 
    යුරෝපෙලිටිඩේ කුලය
    මොවුන්ද පාංශු වාසීන්ය(පොළව යට වාසය කරයි). ඝන 5කට අයත් විශේෂ 15ක් පමණ ලංකාවේ වාසය කරයි. එක් විශේෂයක් ලංකාවට ආවේණිකය.

    බොයිඩේ කුලය
    භෞමිකව වාසය කරයි. ඝන දෙකකට අතේ විශේෂ දෙකක් පමණක් ඇත. පිඹුරන් අයත් වන්නේ මෙම කුලයටයි. විෂ රහිතයි.

    ඇක්ක්‍රෝකෝඩිඩේ කුලය
    ජලයේ වාසය කරන සර්පයන් මෙම තුලයට අයත්ය. එක් ඝනයකට අයත් එකම විශේෂයක් පමණක් ලංකාවෙන් වාර්ථා වේ. උදාහරණ දිය නයා හෙවත් දියබරියා.

    කොලුබ්‍රිඩේ කුලය
    පාංශු වාසී, භෞමික, රුක්වාසී හා ජලජ යන පරිසර සියල්ලේම පාහේ දක්නට ඇත. ලංකාවේ වැඩිම ඝන සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මෙම කුලයෙනි. ඝන 22කට අයත් විශේෂ 42 පමණ වාසය කරයි. විශේෂ 4ක් ලංකාවට ආවේණික ලෙස සැලකේ. උදාහරණ ගැරඬියා.

    ඉලැපිඩේ කුලය
    භෞමිකව වාසය කරන සර්පයන් වේ. ඝන 3කට අයත් විශේෂ 5ක් ගැන ලංකාවෙන් වාර්ථා වේ. උග්‍ර විෂ සහිතය. කවුරුත් දන්නා නාගයා අයත් වන්නේ මෙම කුලයටයි.

    හයිඩ්‍රොපිඩේ කුලය
    කරදිය වාසී සර්පයන් මෙයට අයත් වේ. ඝන 10කට අයත් විශේෂ 15ක් ගැන ලංකාවෙන් වාර්තා වී ඇත. විෂ සහිත සර්පයන් වේ.

    වයිපරිඩේ කුලය
    උග්‍ර විෂ සහිත හා විෂ සහිත පොළඟුන් අයත් වන්නේ මෙම කුලයටයි. භෞමිකව හෝ තුරු මත වාසය කරයි. ඝන 4කට අයත් විශේෂ 6ක් ලංකාවේ වාසය කරයි.

    මම මෙම පොස්ට් එකෙන් මේ තරම් කුලය, ඝනය ආදිය ගැන විස්තර කරන්න සිතුවේ පාසල් අධ්‍යාපනය ලබන අයෙකුට මින් කිසියම් උපකාරයක් ගන්න හැකි වන් නිසා. අනෙක් අයටත් කිසියම් හෝ ප්‍රයෝජනයක් ඇතැයි සිතනවා. මීළඟ පොස්ට් එකේ සිට සර්පයින් එකිනෙකා බැගින් ගෙන විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
    එහෙනම් ගිහින් එන්නම්.
    සුභ දවසක් !!!

    ප/ලි
    හයිඩ්‍රොපිඩේ කුලය ගැන තරමක් වැඩි විස්තර දන්න අයෙක් සිටීනම් පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිනවා. සියලු කරුණු පොත පතින් හා අන්තර්ජාලය මගින් ලබා ගත් ඒවා වන අතර වෙනස් කම් ඇත්නම් මීට වඩා අළුත් කරණු ඇත්නම් ඒවා සටහන් කර යන මෙන් ඉල්ලා සිටිමි. ඒවා මේ පෝස්ට් එකට එක්කරන්න මම සූදානම්.

    Thursday, January 6, 2011

    ශ්‍රි ලංකාවේ සර්පයෝ..

    අම්මෝ සර්පයෙක්...
    කෝ කෝ කොහේද??
    මරමු මරමු...
    මේ වගේ කතා අපේ රටේ ගම් බද ප්‍රදේශ, කෘෂිකාර්මික ප්‍රදේශ වලින් නිතරම අසන්නට ලැබෙනවා. සර්පයෙක් දැක්කම අපේ ගොඩ දෙනෙක්ට ඇති වන්නේ මාරක බියක්. ඉතින් ඒ නිසාමද කොහේද සර්පයෙක් දුටුතැන මරන්න එක් රැස්වෙන පිරිසක් නැති වෙන්නෙත් නෑ. මේ පිරිස් අතින් මිය පරලොව යන සර්පයන් ගණන කොතරම්ද? ඒ හැම සර්පයාම භයානකද?
    මේ කතාව ලියන්න කලින් මම මේ ගැන ලියන්න හේතුව කියල ඉන්න හිතුවා. දැනට වසර ගණනාවකට පෙර මම ඒ කාලේ පාසල් ශිෂ්‍යයෙක්. ඉගෙන ගත්තේ 8 වන වසරේ. ගසක අත්තක සිටි සර්පයෙකු විසින් සපා කෑවා. තරමක විෂ සහිත එම සපා කෑම නිසා මට දින 5ක් පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නත් සිදුවුනා. ඒ වෙනකොට මගේ ළඟ සර්පයන් ගැන ලියවුනු කුඩා පොත් පිංචක් තිබූ නිසා මගේ අත සපාකෑ සර්පයා මට හඳුනාගන්න පුළුවන් වුනා. ඒ පොත අතින් ඇඳ ඇති රූප නිසා එතරම් පහසුවෙන් සතෙකු දැක හඳුනා ගැනීමට අපහසු වුවත් තරමක අවබොධයක් ලබා ගන්න ප්‍රමාණවත් වූවා. මම ඒ සර්පයා හඳුනාගැනීම වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීමේදී ලොකු පහසුවක් වූ බවත් මට මතකයි.
    මේ සිද්ධියෙන් පසු මම සර්පයන් ගැන ලියවුනු පොත්, පුවත්පත් වාර්ථා, වෙනත් වැඩ සටහන් වැඩි උනන්දුවකින් කියවන්න ගත්තා. මේ නිසා මම සර්පයන් ගැන තරමක අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේම සර්පයන් ගණනාවක් හඳුනා ගන්නත් පුළුවන්. ඉතින් ඒ මතක ඔබ සමග බෙදාගන්න හිතුනා. ඒ උත්සාහයයි අද සිට ශ්‍රිලංකාවේ සර්පයන් ලෙස ඔබ හමුවේ තබන්නේ.
    එහෙමනම් මෙතැන් සිට අපි සර්පයන් ගැනත් කියවමු. සර්පයන්ට බය වෙන්න එපා. ඒ සර්පයාට පුළුවන් සපා කන්න විතරයි. ඒහෙම බැලුවොත් වැඩිය බය වෙන්න ඕන ඇතැම් මිනිසුන්ට. ඔවුන් සපා නොකෑවට බොහෝ හානි කරන්න පුළුවන්.
    ඉහත ඡායා රූපය ලංකාවේ සිටින විෂකුරු සර්පයින් අතරින් එකෙකු වන තිත් පොළඟා ගේ. 
    ස්ථානය දෙහිවල ස්ත්වෝද්‍යානය.
    එහෙනම් ගිහින් සරුපයන්ගේ විස්තරත් අරගෙනම එන්නම්..
    සුභ දවසක් !!!!!