Monday, December 31, 2012

ලෝක විනාසෙන් පසු.......

හරියටම දෙසැම්බර් 21 වෙනිදා කලින් දන්වා තිබූ පරිදිම ලෝක විනාසය සිදුවිය. ඒත් කළ පවු ඉවර නැති නිසා මට මැරෙන්නට නොහැකි විය. පොඩ්ඩක් මිදුලේ ඇවිදලා ගෙට එනවිට අම්මා උදේම තේ සාදමින් සිටියාය. ඒ කියන්නේ අම්මත් බේරිලාය. ටිකකින් අප්පච්චිත් ආවා. පූමාත් දුවගෙන ඇවිත් ඇඟට පැන්නා. වටේ ගෙවල් වල අයත් ලෝක විනාශයට අසුවී නැත. විනාස වූ ලෝකයක ජීවත් වෙන්න ලේසි නැත. ලෝක විනාසයට ගමේ කඩටික අසුවෙලානම් කන්න දෙයක් වත් ගන්න තැනක් නැත. එහෙත් පොඩ්ඩක් ඇවිදලා බැලුවම කඩ සියල්ල හොඳින් පවතී. ඇති යාන්තම්. මොනවා හරි කාලා ජීවත් වෙන්න පුළුවන්. 
ටිකකින් ජංගමය නාද විය.....

අම්මෝ ලොකු දෙයක් ෆෝන් වැඩ කරන එකනම්. නැතිනම් ලෝක විනාසෙනුත් බේරිලා පාළුවෙන් තමා මැරෙන්න වෙන්නේ. කෝල් කල මගේ යාළුවත් බේරිලානේ. දන්න අය හැමෝම වගේ බේරිලා. ලයිට් තියෙන නිසා කොම්පියුටරේ පොඩ්ඩක් ඕන් කරලා බලන්න හිතුනා. 

අම්මේ ඇති යාන්තම් ඉන්ටර්නෙට් වැඩ. කට්ටියම ඔය ෆේස්බුක් එකේ පිස්සු නටන්නේ. බැලුවාම නෙට් ඉන්න අයත් ලෝක විනාසෙන් බේරිලානේ. 
දන්න කියන හැමෝම වගේ ලෝක විනාසෙන් බේරිලා. ඒත් අති සාර්ථකව ලෝක විනාසේ නම් වෙලාලු. විනාස වෙනවා කියන්නේ සම්පූර්ණයෙන්ම විනාස වෙලාලු. දැන් ඉතින් මොනාවා කරන්නද. බේරුනානම් ජීවත් වෙන්නත් වෙනවානේ. සික් අපරාදේ මැරෙන්නනේ හිතන් හිටියේ. දැන් ඉතින් මැරෙනකල් ජීවත් වෙන්නත් වෙනවා. ආපසු වැඩට යන්න වෙනවා. කන්න, නාන්න, අඳන්න හැමදේම කරන්න වෙනවා. අපොයි කලාතුරකින් උදාවුන අනගි අවස්තාවෙන් ප්‍රයෝජනයක් අරන් මැරෙන්න බැරි උන නිසා වෙච්ච කරදර.
මෙච්චර දවසක් කලේ උදේම නැගිටලා සතියේ දවසක් නම් වැඩට යනවා. වැඩ ඉවර කරලා ගෙදර එනවා. පොඩ්ඩක් එහෙට මෙහෙට කැරකිලා පොඩි වොශ් එකක් දාගෙන තියන දෙයක් කාලා නෙට් එක පැත්තේ රවුමක් දාලා නිදාගන්න එකනේ. නිවාඩු දවසක්නම් සමහර විට දවසම ගෙදර. නැතිනම් පොඩි රවුමක් ගහලා ඇවිත් මොනවා හරි වැඩක් කරලා රෑට දොයි. 
ඔය විධියට ගිහින් මේ අවුරුද්දත් ඉවර උනා. ඔන්න අද අවුරුද්දේ අන්තිම දවස. අදින් 2012ත් ඉවරයි. ලබන අවුරුද්දත් ආවා. ඒ අවුරුද්දේ ලෝක විනාසයක් තියනවාද දන්නේ නම් නෑ.

 ඒ මොනවා උනත් ලබන අවුරුද්ද හැමෝටම වාසනාවන්ත සුභම සුභ නව වසරක්ම වේවා....!!!

Monday, November 26, 2012

Computer Hardware පාඩම Peripherals

Computer Hardware පාඩම ඕනෑවටත් වඩා කල් ගත්තා. ලොකු කණගාටුවක් දැනෙනවා මේක ලියන්න දවසින් දවස කල් යන නිසා. රේඩියෝවටත් වැඩි අවධානයක් දෙන්න වීම පාඩම් නොලියවෙන්න තව හේතුවක්. ඒ නිසා මෙම පාඩම් මාලාවේ මුල් කොටස අද පාඩමෙන් අවසන් කරන්න තීරණය කළා. අද අප කතා කරන්න යන්නේ Peripherals ගැන බොහෝම කෙටියෙන්.

මොනවාද මේ  Peripherals කියන්නේ.
Computer Peripherals යනු පරිගනකයේ ඇතුලත කොටස් නොවන පරිගනකයට සම්බන්ධ කර ඇති උපාංග වේ. මේවාට Input/Output devices ඇතුළු ලොකු පරාසයක උපාංග ගණනාවක් අයත් වේ. ලොකු විස්තරයක් නොකියා කෙටි සටහනකින් මේවා හඳුන්වා දී මෙහි දෙවන කොටසට යන්න තීරණය කළා. එහෙම නැතිනම් මේ පාඩම් මාලාව ලියවෙන එකක්ම නැති වේවි.

පළමුව අප ප්‍රධාන Output devices එකෙන් පටන් ගමු.

මොනිටරය Monitor
පරිගනකයක ප්‍රධානම Output devices එක මොනිටරයයි. විවිධ මොනිටර් භාවිතයේ පවතිනවා. ඒවා අතරින් කලින් බහුලවම භාවිතා වූයේ CRT Monitor. මේ නම සැදී ඇත්තේ Cathode Ray Tube යන වචනය කෙටි වීමෙන්. මෙහි රූපය සෑදෙන්නේ ඉදිරිපස තිරය හා පසුපස ඇති සන්නායකය අතර ඇතිවන අධි වෝල්ටීය තාවයෙන් නිකුත් වන කැතෝඩ කිරණ ඉදිරිපස ඇති රසායන ආලේපිත තිරයේ වැදීමෙන් නිකුත්වන වර්ණ වත් ආලෝක ලප වලින්. මේවායේ වර්ණ ඉතා පැහැදිලි ස්වභාවික වර්ණයට බොහෝ ආසන්න තත්වයේ පවතිනවා.
රූපය 01

මේවායේ ඇති අවාසිය වැඩි විදුලි පරිභොජනය, වැඩි ඉඩක් ගැනීමයි. මේවා දැන් භාවිතය ක්‍රමයෙන් අඩුවන අතර ඒ අඩුව පුරවන්නේ LCD Monitor.
රූපය 02

රූපය 03

LCD මොනිටරයක (වර්ථමානයේ නම් භාවිතා වෙන්නේ TFT LCD) හෝ LED මොනිටරයක රූපයක් ඇති වීමේ ක්‍රමය කැතෝඩ කිරණ ඩිස්ප්ලේ එකකට වඩා වෙනස්. මෙහි රූපය ජනනය වන්නේ Liquid crystal වලිනි. මේවාද කැතෝඩ කිරන නල මෙන්ම කුඩා පික්සල් ගණනාවකින් සැදී ඇත. ආකාර දෙකක LCD Screen ඇත.
1 Active Matrix
මේවායෙන් ආලෝකයක් පිට නොවේ. එනිසා සෑදෙන රූපය අපට නොපෙනේ. එම රූපය අපට දර්ශනය වීමට නම් පසුපසින් ආලෝක ප්‍රභවයක් සැපයිය යුතුය. මේ සඳහා කාලයක්ම භාවිතා කලේ ප්‍රතිදීපන ආලෝකයයි (Fluorescent light). මෙය ඔබ නිවසේ භාවිතා කරන ටියුබ් ලයිට් හෝ CFL බල්බ් එකක ඇති ආකාරයේම ආලෝක ප්‍රභවයකි. නමුත් වර්ථමානයේ ඒ සඳහා භාවිතා වන්නේ LED බල්බයන්ය. සමහර විට ඔබ දැක ඇති විදුලිපන්දම් සඳහා භාවිතා කරන සුදුපැහැ ආලෝකයක් නිකුත් කරන LED. වර්ථමාන LED screen වලද භාවිතා වෙන්නේ මේ හා සමානම ආලෝක ක්‍රමයකි. අද බොහෝදෙනා කතා කරන විට LED මොනිටර් ලෙස හඳුන්වන්නේ මෙම මොනිටර්ය. රූපවාහිනී සම්බන්ධයෙන්ද එසේමය. වෙනසකට ඇත්තේ Fluorescent වලට වඩා LED අඩුවෙන් විදුලිය පරිහරණයයි. ඒ නිසාම විදුලි පරිභෝජනය අතින් වැඩිම වාසිදායක LED LCD screen භාවිතා කිරීමයි.

2 Passive Matrix Display
මේවායේ ආලෝක ප්‍රභවයක් නැත. ඔබ නිතර දැක ඇති ඉලෙක්ට්‍රොනික ඔර්ලොසු, කැල්කියුලේටර් ආදියේ ඇත්තේ මෙවැනි ස්ක්‍රීන්ය
රූපය 04
TFT යනු වෙන් හඳුන්වන්නේ Thin film transistor liquid crystal display යන්න කෙටියෙනි.
මේ අනුව පරිගනකයට අඩුම විදුලි ප්‍රමාණයකින් භාවිතා කල හැකි වන්නේ LED LCD මොනිටර් වේ. එහෙත් වඩාත් ස්වභාවික වර්ණ ලබාගැනීමට නම් තවමත් ඉදිරියෙන් ඇත්තේ CRT මොනිටර් වේ.

මොනිටරයක ප්‍රමාණය හා පළල හා උස අතර අනුපාතය. 
මෙය LCD හා CRT යන දෙකටම පොදු ආකාරයට කතා කරමු.
මොනිටරයක ප්‍රමාණය දක්වන්නේ අඟල් වලිනි. මෙය සෙන්ටිමීටර් හෝ මිලි මීටර් වලින් දැක්විය හැකි වුවත් තවමත් අඟල් ඒකකය භාවිතා වේ. මෙය ගණනය කරනු ලබන්නේ එහි විකර්ණයක දිග ලිසයි. එහි මොඩල් අංකය බොහෝවිට මෙම අගයෙන් නිරූපනය වේ.
රූපය 05 ගත්තේ මෙතනින්
http://static.ddmcdn.com/gif/monitor-crt-diagonal.jpg
උදාහරණයක් ලෙස E1912H යනු විකර්ණය අඟල් 19ක් වූ (ඉහත රූපයේ රතු පැහැ ඊතලය) මොනිටරයකි.

උස හා පළල අතර අනුපාතය අනුව මොනිටර් ආකාර දෙකක් වෙළඳ පොලේ බහුලව ඇත. මුලින් පැවතියේ 4:3 අනුපාතයේ මොනිටර්ය. ඉහත රූපයේ ඇත්තේ එවන් මොනිටරයකි. නමුත් දැන් ඇති LCD මොනිටර් සියල්ලම පාහේ 16:9 අනුපාතයේ පුළුල් තිර ඒවායි. (රූපය 03). සාමාන්‍ය භාවිතයට වඩා සුදුසු 4:3 අනුපාතයේ ඒවා වුවත් දැන් ඒවා වෙළඳපොලේ සුලභ නැත. නිශ්පාදනය වන්නේ සීමිත ප්‍රමාණයකි. මිළ වැඩිය.
4:3 අනුපාතයේ එකක් නම් සාමාන්‍ය භාවිතයට අඟල් 14, 15 හෝ 17 පමණ ප්‍රමාණවත් වන අතර ප්‍රමාණය වැඩි වන විට විදුලි පරිහරණය වැඩිය.
එහෙත් 16:9 අනුපාතයේ එකක් නම් අඟල් 17 හෝ 19 සාමාන්‍ය භාවිතයට වඩා සුදුසු වේ. මේවාද ප්‍රමාණය වැඩිවත්ම වැඩියෙන් විදුලිය වැය කරයි. මෙම මොනිටර් වර්ථමානයේ නිපදවෙන පුළුල්තිර චිත්‍රපට බැලීමේදී නම් වැඩි විශාල රූපයක් ලබාගැනීමට වඩා සුදුසු වේ. පැරණි වීඩියෝ/ චිත්‍රපට නැරඹීමට නම් 4:3 අනුපාත ඒවා වඩා හොඳයි.
4:3 අනුපාත මොනිටර් VGA, SVGA, XGA, SXGA ආදී ලෙස අඟලට ඇති පික්සල් ප්‍රමාණය අනුව වර්ග කර ඇත. (බහුලව භාවිතාවූ රෙසලූශන්)
16:9 අනුපාත මොනිටර් WSVGA, HD/WXGA, WXGA ආදී ලෙස වර්ගීකරණය කළ හැක.  HD/WXGA (720x1280 හෝ වැඩි) HD හෙවත් High definition ලෙසද හැඳින්වේ.
මොනිටර් ගැන තවත් බොහෝදේ කතා කළ හැකි වුවත් මේ ප්‍රමාණවත් කියා හිතනවා.

යතුරු පුවරුව / Keyboard
පරිගනකයක වැදගත්ම කොටස කී බෝඩ් එක කියා ඇතැම් අය කියනවා. මෙය නිවැරදි අර්ථකථනයක් නොවුනත් කී බෝඩ් එක නැතිනම් පරිගනකයෙන් ඇති වැඩක් නැති තරම්. පරිගනකයකට වැඩිම දත්ත ප්‍රමාණයක් ඇතුලත් වෙන්නේ කී බෝඩ් එකෙන්. නිකමට කල්පනා කර බලන්න දිනකට ලෝකට පුරා ඇති පරිගනක යතුරුපුවරු වලින් දිනකට ඇතුලත් කරන අකුරු ගණන. මා එය දන්නේ නම් නෑ. ඒත් එය ලියන්න නම් පහසු වෙන එකක් නෑ. ඒ තරමට කී බෝඩ් එකේ භාවිතය වැදගත්. කීබෝඩ් ආකාර 3ක් දක්නට ලැබෙන අතර සාමාන්‍ය ඩෙස්ක්ටොප් කීබෝඩ් එකක යතුරු (කී) 101ක් ඇතුලත්. එය Windows Keyboard එකක් නම් 104ක්.  එහෙත් ලැප්ටොප් / නෝට් බුක් ආකාරයේ එකක මීට අඩු අතර ප්‍රමාණයෙන්ද කුඩාය. ලැප්ටොප් කී බෝඩ් එක් එක් නිශ්පාදකයා අනුව යතුරු ප්‍රමාණය අඩු වැඩි විය හැක. මීට අමතරව අතේ ගෙනයන උපකරණ හා ජංගම දුරකථන වල ඇත්තේ කුඩා ප්‍රමාණයේ වෙනස් ආකාර යතුරු පුවරු වේ.
සාමාන්‍ය ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් වල යතුරු සැකැස්ම සම්මත ආකාරයකට වේ. සාමාන්‍ය ඩෙස්ක්ටොප් යතුරු පුවරුව පහද ආකාර වේ.
රූපය 06
මීට අමතරව වැඩි කී ප්‍රමාණයක් ඇති කීබෝඩ් ඇත. මේවා මල්ටිමීඩියා කී බෝඩ් ලෙස හැඳින්වේ. ඒවායේ ඇති ෂෝට් කට් මගින් කලින් සකස් කර ඇති ඇප්ලිකේශන් එක් වරම ඕපන් කල හැකිය.
උදාහරණ.
මීඩියා ප්ලේයර් එක රන් කිරීම, නැවතීම, ශබ්දය අඩු වැඩි කිරීම...
රූපය 07
මවුස් උපකරණය / Mouse
මෙයත් වැඩියෙන්ම භාවිතා කරන උපකරණයක්. පෙර පැවතියේ බෝලයක් කරකැවෙන විට මවුස් පොයින්ටර් එක ගමන් කරනා ඒවා වුවත් ඒවායේ ඉක්මනින් කුණු බැඳී නිසි ලෙස චලනය නොවී යනවා. එහෙත් දැන් ඇති අධෝරක්ත කිරණ මවුස් වල එවන් අපහසුතා ඇතිවන්නේ නෑ. සාමාන්‍ය මවුස් එකක බට්න් දෙකක් හා පිටුව ඉහලට හා පහලට පෙරළීමට රෝදයක් (Scroll Wheel) ඇත. මෙම වීල් එකට බට්න් එකක් මෙන් ක්‍රියා කරන අතර එය ක්ලික් කිරීමෙන්ද සමහර ෆන්ශන් භාවිතා කළ හැක.
උදාහරණ. මෙය ලින්ක් එකක් මත ක්ලික් කිරීමෙන් බ්‍රව්සරයේ අලුත් ටැබ් එකක ලින්ක් එකට අදාළ පිටුව ඕපන් කිරීම.

ස්පීකර් /Speaker
අප පරිගනකයක් භාවිතා කරන විට දැන් කාලයේ ඇති පරිගනක බහුමාධ්‍ය (Multimedia Computer) නිසා ශබ්දය ඇසීමට ක්‍රමයක් තිබිය යුතුය. මේ සඳහා විවිධ ආකාරයේ ස්පීකර් පද්ධති භාවිතා කරයි. බහුලවම හමුවන්නේ ඩෙස්ක්ටොප් ස්පීකර් වේ.
වඩා හොඳ ශ්‍රවණයක් වඩා සජීවීව ඇසීමට සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් ඇත.

තමාට පමණක් කිසිවෙකුට කරදරයක් නැතිව ඇසීමට අවශ්‍ය නම් හෙඩ්ෆෝන් එකක් භාවිතා කරන්න පුළුවන්.
මේවායි කැමති එකක් ඔබේ කැමැත්ත අනුව තෝරා ගන්න. අලුත් පරිගනක වල බොහෝවට පසුපස වගේම ඉදිරි පසත් ඕඩියෝ කනෙක්ටර් ඇති නිසා ඩෙස්ක්ටොප් හෝ සරවුන්ඩ් සිස්ටම් එකක් ඇතත් තනිවම අහන්න ඕනි නම් හෙඩ් ෆෝන් භාවිතා කරන්න පුළුවන්. එය සවිකල සැනින් පසුපස කනෙක්ටරය ඩිසේබල් වේ.
ලැප්ටොප් / නෝට්බුක් සඳහා හෙඩ්ෆෝන් භාවිතා කළත් ස්පීකර් ඒ තුලම අන්තර්ගත නිසා වෙනම අවශ්‍ය නැත. කැමතිනම් සරවුන්ඩ් සිස්ටම් එකක් භාවිතා කරන්න පුළුවන්.

Game Control
විවිධ පරිගණක ක්‍රිඩා සඳහා මේවා භාවිතා වේ. ‍ජෝයිස්ටික්(Joystick), ගේම් පෑඩ්(Gamepad), ෆෝස් ෆීඩ් බැක් (Force Feedback) මේ අතර වේ.

ජෝයිස්ටික්
ගේම් පෑඩ් එකක්
ෆෝස් ෆීඩ් බැක් එකක්
අප මේ ලිපියෙන් කතා කලේ අද කාලේ කොම්පියුටර් සඳහා භාවිතා වන උපාංග හා මීට සුළු කාලයකට පෙර භාවිතා කළ උපාංග ගැනයි. මේවාට අමතරව තවත් බොහෝ උපාංග ඇතත් ඒ සියල්ල විස්තර කරන්න අදහසක් නෑ. වැදගත් යැයි හැඟෙන සියල්ල පිළිබඳව ඉතා කෙටියෙන් අපි කතා කළ අතර මේ සමගින් හාඩ්වෙයාර් පාඩමේ පළමු අදියර අවසන් වෙනවා. දෙවන අදියර සමග නැවත කොම්පියුටර් හාඩ්වෙයාර් ගැන කතා කරමු.

එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්....!!!

Friday, November 23, 2012

රේල් පාර දිගේ (රොසැල්ල සිට ගලබඩ දක්වා) 03...

නයිට් මේල් එකේ හැටන් වලට ගොස් එතැන් සිට රොසැල්ලට පැමිණ  රොසැල්ල සිට පයින්ම ඉහල වටවලට ආව තැනින් තමා අපි අන්තිම පෝස්ට් එක නතර කලේ. එතැන් සිට ඉදිරියට ගමන ගැන කියන්නයි අද මේ සූදානම. 
ඉහල වටවලින් පිටත්වූ අප ඉන් පසුව එන්නේ වටවලටයි. වටවල යනු කලක් ලංකාවේ වැඩිම වර්ශාපතනයට ලක්වූ ප්‍රදේශයයි. පොඩ්ඩි හා ළිහිණිත් ඒ ගැන කමෙන්ට් වලින් අහලා තිබුනා. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 5023.6 වන වටවල මේ වනවිට වැඩිම වර්ෂාපතන ලැයිස්තූවේ පසුවන්නේ සිව්වැනියට. දැන් ලංකාවේ වැඩිම වර්ශාපතනයට ලක්වන ප්‍රදේශය මාලිබොඩයි. සබරගමුව පළාතට අයත් මාලිබොඩ (වාර්ෂික වර්ශාපතනය මිලි මීටර් 5330) මධ්‍යම කඳුකරයෙන් ගිලිහුනු වැඩිම වැස්සේ අයිතිය ලබා ගනිද්දී වටවල සිව්වන ස්ථානයේ පසුවනවා. අප වටවලට ලඟාවන විට වේලාව උදේ 10.30ට පමණ වෙන්නට ඇති. අහසේ වළාකුළු පිරෙන්න ගත්තේ මේ වෙලාවේ. පරිසරයේ තරමක සීතලක් පැවතුනා. 
අප වටවලට පැමිණ ටිකවේලාවකින් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පොඩිමැණිකේ (පොඩ්ඩි) වටවලට ළඟාවුනා.

පොඩ්ඩි රැගෙන ආ මේ දුම්රිය එන්ජිම ඔයාලට මතකද.....

M6 කාන්ඩයට අයත් 786 දරණ මේ එන්ජිම තමා 2005 අප්‍රේල් මස 27 වෙනිදින යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී පුද්ගලයින් 37 දෙනෙකුට පමණ මරු කැඳවමින් බස් රියක් හා ගැටුනේ. M6 කාණ්ඩයට අයත් දුම්රිය එන්ජින් තමා කොහොමත් උඩරට මාර්ගයේ සුපිරි වීරයන් වී ඇත්තේ. උඩරට මැණීකේ, පොඩිමැණිකේ හා රාත්‍රි තැපැල් දුම්රිය යන ප්‍රධාන දුම්රිය තුනටම බලය සපයන්නේ මේ වර්ගයේ එන්ජින්. 
වටවලදී දක්නට ලැබුන එක් වැදගත් දෙයක් තමා weighbridge එක. මෙය භාවිතා කරන්නේ භාන්ඩ ප්‍රවාහන ගැල් වල බර කිරීමට. ගැලෙහි බර කලින් දන්නා නිසා මුළු අගයෙන් එය අඩු කිරීමෙන් ඒවායෙන් ගනෙ ආ භාන්ඩ වල බර ලබාගැනීමට පුළුවන්.
මේ එහි පිටත භාන්ඩ ප්‍රවාහන මැදිරි (ගැල්) නවත්වන පාලම් කොටස....

මේ ඇතුලත ඇති තරාදි කොටස

1894 HODCSON AND STAD MANCHESTER ආයතනය නිපදවා ඇති මෙය කෞතුක වටිනාකමක් ඇති එකකි. එහෙත් දැන් නම් බොහෝදුරට විනාශ වී ඇත. 

මේ වටවල දුම්රිය ස්ථානයේ ඇති පැරණි ගල්අඟුරු කෝච්චි සඳහා ජලය සැපයූ ජල ටැංකියයි..

වටවලදී හමුවූ අපූරු යාළුවෝ දෙන්නෙක්. (ඡායාරූපය - /ගයන්ත)

වටවලින් පිටත්වූ අපි ගමන ආරම්භ කලේ හැකි ඉක්මනින් ගල්බොඩ දුම්රිය ස්ථානයට එන්න. ඒ සවස 2.50ට එහි ළඟාවන පොඩිමැණිකේ දුම්රියෙන් ආපසු එන්නයි. ටික වේලාවකින් වැසි අඳුර අඩුවී නැවත අව්ව වැටෙන්න ගත්තා. 
මේ කොළඹ සිට සැතපුම් 100 දැක්වෙන ස්ථානය.

ඔබට මතකද 1992 ජූනි මස 3 වෙනිදා වටවලදී සිදුවූ නාය යෑම. කොළඹ සිට 99 1/2 සැතපුම් කණුව ආසන්නයේ තමා මෙම නෑය යෑම සිදූවූයේ. අමතක අය අන්තර්ජාලයෙන් සොයාගත් මේ ඡායාරූපය බලන්න.
ඡායාරූපය අන්තර් ජාලයෙනි. අයිතිය නොදනී.

එදින මෙම අනතුරට ලක්වූයේ භාන්ඩ ප්‍රවාහනය කරමින් සිටි M6 කාණ්ඩයේ 790 එන්ජිමයි. මෙම නාය යෑමෙන් පසුව එම ස්ථානයෙන් නැවත රේල් පාර සැකසීමට හැකියාවක් ලැබුනේ නෑ. දැන් රේල් පාර ඇත්තේ ඊට තරමක් එපිටින්.

ඊතලයෙන් පෙනෙන්නේ නාය යෑමට ලක්වූ ස්ථානයයි. රතු කවයෙන් පෙන්වන්නේ පැරණි මාර්ගයේ පැවති මාර්ග සලකුණක්. 
මේ රූපයෙන් පෙන්වන්නේ පැරණි මාර්ගය හා දැන් මාර්ගයයි. රතු පාටින් නව මාර්ගත් නිල් පාටින් පැරණි මාර්ගයත් පෙන්වනවා. මාර්ග සලකුණත් ඇතුලත්...

රූපය විශාල කර බලන්න. අපේ කණ්ඩායම සිටින දෙපසින් එහි තිබූ පාලමේ ආධාරක පවා තවම දක්නට ලැබෙනවා.
එම ස්ථානයේ වර්ථමාන තත්වයයි මේ. රතු පැහැ ඊතලයෙන් පෙන්වා ඇත්තේ කන්දේ නාය ගිය කොටසක්. පන්සලට පසුපසින් පැරණි රේල්පාරේ දුරකථන කණු පේනවා.

99 1/2 සැතපුම් කණුව තවමත් පිහිටා ඇත්තේ පැරණි පිහිටුමේමයි. 

මෙම ස්ථානය පසු කර ටික දුරක් ගිය විට පීලි පැන පාරෙන් ඉවතට ගොස් භාවිතයෙන් අයින කළ දුම්රිය භාන්ඩ ප්‍රවාහන ගැල් හා කොටස් දක්නට ලැබෙනවා. එම ස්ථානයේදී පහලට එන තවත් හිතවතියක් අපට හමුවුනා. මෙයා තමා ලංකාවේ දුම්රිය මගේ ගමන් කරන පැරණිම මැණිකේ. එනම් බදුල්ල සිට කොළඹ බලා එන උඩරට මැණිකේ දුම්රිය. උඩරටමැණිකේ මෙම ස්ථානයට එන විට වේලාව උදේ 11.40ට පමණ වෙන්න ඇති. පින්තූරයේ පසෙකින් අතහැර දැමූ භාන්ඩප්‍රවාහන ගැලක් දක්නට ලැබෙනවා. මෙම පිංතූරය මා කැමරාවේ සටහන් කරගත්තේ අනෙක් පස ඇති මෙවැනිම ගැලක් මත සිටගෙනයි. එය ඇතිතේ උඩුකුරුව පෙරලී බෑවුමට ඇලවීගෙනයි. 

CLASS M6-787 එන්ජිම උඩරට මැණිකේ රැගෙන පහලට ගියපසු අපිත් ඒ පසුපසින්ම වගේ පහලට යන්න පටන් ගත්තා. ඉන්පසුව පාර වැටී ඇතිතේ වනාන්තරයක් බඳු පෙදෙසක් හරහා. මේ නිසා එම ප්‍රදේශය සිසිල්. තැන් තැන් වල කුඩා දියපහර දක්නට ලැබෙනවා. උල්පත් වලින් ඉතාම පිරිසිදු ජලය වෑස්සෙනවා. එම සිසිල් දිය පහරින් මුහුණ අත්පා සෝදාගෙන ඉන් ජලය ටිකක් පානය කළ පසු ගමනේ වෙහෙස නිවියන්නේ නොදැනීමයි. එම වනගත පෙදෙස පසුකළාම තණකොළ වැවුන දෙපස ෆයිනස් වැනි ශාක සහිත ප්‍රදේශයකට ප්‍රවේශ වෙනවා. මෙම පෙදෙසේදී දැඩි හිරුරැස් අපිට තරමක පීඩාකාරී වුවත් අප දිගටම පහලට ආවා. කොළඹ සිට නානුඔය බලා දිවෙන සීඝ්‍රගාමී නගරාන්තර දුම්රිය (දැන් එය බදුල්ල බලා දිගු කර ඇත) අපට හමුවූයේ දහවල් 12.51ට පමණ. අප ඡායාරූප ගන්නවා දුටු එහි රියදුරන් ප්‍රධාන පහන් දල්වා අපට හොඳ දරුශනයක් ලබා දුන්නා.

මෙය අප පසු කර ගියපසු නැවත අපට දුම්රියක් හමුවන්නේ සවස 1.41ට පමණ. ඒ දෙකිඳ ආසන්නයේදී. එය සාමාන්‍ය කාලසටහනේ නැති විශේෂ දුම්රියක් විය යුතුයි. අප දෙකිඳ දුම්රිය නැවතුමට ලඟවන විට වේලාව සවස 1.45 පමණ වන්නට ඇති. කුඩා දුම්රිය නැවතුමක් වන මෙහි කිසිවෙකු සේවය නොකරන අතර නවත්වන්නේ ප්‍රාදේශිය වශයෙන් ධාවනය වන කෙටි දුම්රීය කීපයක් පමණයි. අවට වැසියන්ගේ පහසුව සඳහායි මෙය පිහිටුවා ඇත්තේ. 

දෙකිඳ පසුකර අප ගල්බඩ සීමාවට ලඟාවුනා. කොළඹ සිට සැතපුම් 95 1/2 දී අපට හමුවුනේ කොළඹ සිට බදුල්ල බලා යන උඩරට මැණකේ දුම්රියයි. මා මෙම ගමන පුරා ගත් පින්තූර අතරින් ලස්සනම එකක් වන්නේ මේ පින්තූරයයි. M6-788 එන්ජිම Intercity Express වර්ණයෙන් වර්ණ ගන්වා ඇති නිසාම හරිම ලස්සනට පෙනුනා. 

මෙම ස්ථානය පසුකර සැතපුම් 1/4 ක් පමණ ගිය පසු අප ගල්බඩට ලඟවුනා. ගල්බඩට ලඟාවන විට වේලව සවස 2.30ට පමණ වෙන්නට ඇත. ඒ වනවිට අප දැඩි වෙහෙසට පත්වී සිටියේ. අප පැමිණ විනාඩි 20කින් පමණ අප ආපසු එන්නට බලාපොරොත්තු වූ පොඩිමැණිකේ දුම්රිය ගල්බඩට ලඟාවුනා. සමහර සිදුවිම් වන්නේ දෛවොපගත ලෙසින්. මේ එවැන්නත්. අපට පහලට එන්න පොඩ්ඩිට බලය ලබා දුන්නේ අප රැගෙන පෙරදින රැයේ තැපැල් දුම්රිය ඇදගෙන ගිය M6 -792 එන්ජිමමයි.

වඩේ කමින් තව බිස්කට් පාන් ආදිය කමින් ආ අපේ පිරිස වැඩි වෙලාවක් යන්න කලින් නින්දට වැටුනේ වෙහෙස නිසාම වෙන්ට ඇති.

තවත් රසබර රේල් චාරිකාවක මතක සිතේ රඳවාගෙන මා පේරාදෙණියෙන් බැස ගෙදර ආවා. මෙවැනි චාරිකාවකින් ලැබෙන අත්දෑකීම්, විනෝදය වගේම අපේ රටේ දේශගුණ තත්ව මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ආදී බෝහෝ දේ දැනගන්න පුළුවන්. අවසාන වශයෙන් මට කියන්න ඇත්තේ මෙවන් චාරිකා යන එක හොඳයි. හැබැයි මෙවන් ගමනක් යන විට තමන්ගේ වගේම තමන් සමග යන සගයින්ගේ ආරක‍්ෂාව ගැනත් සැලකිලිමත් වන්න. එමෙන්ම එමෙන්ම මෙම රේල්පාරවල් දුම්රිය ඇත්තේ රටේ ජනතාව වෙනුවෙන්. ඒනිසා ඒවා ආරක‍්ෂා කරන්නත් සැලකිලිමත් වන්න. එමෙන්ම සංචාරය කරන පරිසරයේ පැවැත්ම ගැනත් සැලකිලිමත් වන්න. ඔබේ අපද්‍රව්‍ය නිසා පරිසරය වැනසෙන්න දෙන්න එපා. දුම්රිය මාර්ගයේ ගමන්කිරීම තහනම්. එහෙම නීතියක් ඇත්තේ යන අයගේ ආරක්ෂාව මෙන්ම එම දෙපල වල ආරක්ෂාව වෙනුවෙන්. ඒනිසා එම ආයතනයේ අයට අපහසුතාවයක් ඇති නොවන්නත් මෙහෙම ගමනක් යනවානම් වගබලාගන්න එක අත්‍යාවශ්‍ය කරුණක්.
මෙන්න ගිය අපේ කණ්ඩායම. (පින්තූරය ගයන්ත)

එහෙමනම් තවත් මෙවන් චාරිකාවක තොරතුරු දිනෙක රැගෙන එන්නම්. ඒ අතරතුර පැරණි පුරුදු ආකාරයේ පෝස්ට් ලියන්නත් ඕනි. ගිහින් එන්නම්...
සුභ දවසක්....!!!!

Saturday, November 17, 2012

රේල් පාර දිගේ (රොසැල්ල සිට ගලබඩ දක්වා) 02.....

අපි කලින් පෝස්ට් එකෙන් කතා කලේ රොසැල්ල සිට ගලබඩට යන චාරිකාවේ ආරම්භයයි. අද කතාකරන්න යන්නේ එතැන් සිට ඉදිරියට ගමනයි. රොසැල්ල Derailment එක පසු කරන විට හමුවන්නේ මා කලින් සඳහන් කළ S හැඩය ඇති ද්විත්ව වංගුවයි. මෙය කලකට ඉහත නෑය යෑමකට ලක්වූ තැනක්ලු. 
අප පින්තූර ගන්න තැන් කීපයකට එකතු උනා. මම සිටියේ පහල රූපයේ ඇති කඳු ගැටය මත. ඔය දුරකථන සංඥා කණුව අසල අපි ඉන්නවා යන්තමින් පේනවා ඇති. මේ පින්තූරේ නම් ගත්තේ අපේ ගයන්ත සමරදිවාකර මල්ලි.

මෙම ස්ථානයට S අකුරේ පහල කොටස හොඳින් දර්ශනය වෙනවා. ඉහල කොටස ගස් වලින් හා කැලෑවට වැහිලා තිබෙන්නේ. මේ එම වංගුවෙන් කොටසක් පෙනෙනා පිංතූර දෙකක්.


මේ එම වංගුවේ දුම්රියක් ගමන් ගන්නා ආකාරය.

මේ දුම්රිය රොසැල්ලට ළඟාවූ පසුව එහි නවතා තිබූ දුම්රිය මහනුවරට යන්න මෙම ස්ථානය පසුකර ගියා. ඉන් පසු අප පහලට පැමිණ ගමන ආරම්භ කලා. මෙම ස්ථානයට කොළඹ සිට ඇති දුර සැතපුම් 103 1/4කි. මෙතනින් පිටත්වූ අපට යාමට ඇත්තේ ඉහල වටවල උප දුම්රිය ස්ථානයටයි. මෙම දුම්රිය මග වැටී ඇත්තේ මනරම් කඳුවැටි තේ වතු, දිය ඇලි හා කුඩා ජල පහරින් හෙබි ජනගහනය තරමක් අඩු ප්‍රදේශ හරහායි. මේ අවට කුඩා නගර හා ගම් ගණනාවක් ඇත. තරමක් දුරින් ගිනිගත්හේන හැටන් මාර්ගය වැටී ඇත. 
උදේ පින්නෙත් තෙතබරිතවූ දුම්රිය මග අපට පෙනුනේ මෙහෙමයි.


මේ තෙත් සිල්පර මතින් ගමන් කීරීම තරමක් අපහසුයි. කෝච්චි වලින් නිතරම සිල්පර මතට වැටෙන තෙල් හා ලිහිසි ද්‍රව්‍ය මතට පින්න වැටුනාම ග්‍රීස් ගහේ යනවා මෙන් ලෙස්සනවා. ලෙස්සා ගොස් යකඩ පීලි වල වැදුනොත් අනතුරක් වන්නත් ඉඩකඩ තිබෙනවා. එහෙත් අවට ලස්සන හා සෞම්‍ය දේශගුණය නිසා ඒ අවදානම් බව සියල්ල අමතක වෙනවා.

මේ ලස්සනට පිපුන මලක්...

කඳු අතරින් නිල්වන් අහසේ අසිරිය....

කන්ද මුදුනේ කවුදෝ ඉන්නවා වගෙයි.....

මග දෙපස ඇති තේ වතු..

මේ සුන්දර පරිසරය මැදින් පහලට ගමන් ගන්නා අයෙකුට හමුවන ඊළඟ දුම්රිය නැවතුම ඉහළ වටවලයි. වටවලට පසුව පිහිටා ඇති ඉහළ වටවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෙළවරකට වන්නට පිහිටා තිබෙනවා. මෙහි දේශගුණය නුවර හා නුවරඑළියට අතරමැදි ස්වභාවයක් ගන්නවා. මේ අවට බහුලව තේ වගාව සිදුවන අතර වතුනිවාස තැන තැන දක්නට ලැබෙනවා. බහළ වටවල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 1100ක් පමණ උසකින්. 
ඉහළ වටවල යනු උප දුම්රිය ස්ථානයක්. මෙහි සිදුවන්නේ දුම්රිය ටිකට් නිකුත් කිරීම පමණයි. දුම්රිය දෙකක් මාරු වීමක් හෝ ටැබ්ලට් දීමක් මෙහි සිදුවන්නේ නෑ. එමෙන්ම සිඝ්‍රගාමි දුම්රිය මෙහි නවත්වන්නේ නෑ. වෙහෙසට පත්ව සිටි අපි දුම්රිය ස්ථානය අසල කඩයකින් තේ බොන්නත් අමතක කලේ නෑ. ටික වොලවක් විනෝද වෙමින් විවේක ගන්නා අතරම කට්ටිය ෆොටෝ ගන්නත් අමතක කලේ නෑ. 


ඉහලවටවල දුම්රිය නවත්වන්නේ මේ කාල සටහන අනුවයි..

උනුසුම් තේ කෝප්පයෙන් ප්‍රාණවත් වූ අපි අපේ ඊළඟ නැවතුම වන වටවල බලා පිටත් වුනා. වටවල හා ඉහල වලවල අතර තරමක් ජනාකීර්ණයි. පෙර තරම්ම පරිසරයේ පාළු පවක් නෑ. තේවතු හා වතු නිවාස මෙන්ම සාමාන්‍ය නිවාසද දක්නට ලැබෙන අතර රේල් පාරේ යන විටත් නිතරම ප්‍රදේශ වාසීන් හමුවෙනවා. 

අතරමගදී හමුවූ මල්කඩාගෙන යන ළමුන් පිරිසක්..

ඈතින් පෙනෙන තේ කර්මාන්ත ශාලාවක්..

අපිට මීළඟට යන්නට ඇත්තේ වටවලටයි. ඒ විස්තරය මීළඟ ලිපියෙන් අරන් එන්නම්...
එහෙනම් දැන් ගිහින් එන්නම්...
සැමට සුභ දවසක් හා සුභ සති අන්තයක්...!!!!

Tuesday, November 13, 2012

රේල් පාර දිගේ (රොසැල්ල සිට ගලබඩ දක්වා) 01...

ගිය අවුරුද්දේ කෝච්චි පාරේ ඇවිදින්න ගිය කතාව මතක ඇති නේද. ඊට පස්සේ නම් ආයෙම එහෙම ගමනක් යන්නම වෙලාවක් ලැබුනේ නෑ. ඒ වගේම මේ පැත්තේ පෝස්ට් එකක් දාන්නත් සිතුනේ නෑ. ලියන්න දෙයක් හිතෙන්නේ නැතිනම් ඔනිවාට එපාවට ලියනවාට වඩා නොලියාම ඉන්න එක හොඳයි කියා සිතුන නිසාම කිසිවක් බ්ලොග් එකේ ලීවේ නෑ. එහෙත් ආයෙම ලියන්න තරම් හේතුවක් ලැබුනා. ආයෙම රේල් චාරිකාවකට අපි එකතු උනා. 
මෙවර චාරිකාව සඳහා අපි යොදාගත්තේ රොසැල්ල සිට කලින් චාරිකාව අවසන් කල ගල්බොඩ දක්වා. ඇවිදින්න ඇති මුළු දුර ප්‍රමාණය ආසන්න වශයෙන් කිලෝමීටර් 15ක් පමණ. ඒ ගියවර ගමන්කළ දුර ප්‍රමාණය මෙන් තුන් ගුණයක් පමණ. මේ සඳහා ගතවේ යැයි අපි උපකල්පනය කල කාලය පැය 6 - 7 පමණ. කොළඹ හා දුර පළාත්වලින් කීප දෙනෙක් පැමිණෙන නිසා ආපසු එන්න සැලසුම් කලේ සවස 2.50ට ගල්බොඩින් පටත්වන පොඩිමැණිකේ සිඝ්‍රගාමී දුම්රියෙන්. එනිසාම උදේ පාන්දරින් රොසැල්ලෙන් පිටත්වීමට සිදුවෙනවා. 
ඒ අනුව අපි ගමන යන්න යොදාගත්තේ රාත්‍රි 8.00ට කොළඹින් පිටත්වන රාත්‍රි තැපැල් දුම්රියයි. කොටසක් කොළඹින් චාරිකාවට එකතුවූ අතර මා එකතු වන්න නියමිතව තිබුනේ පේරාදෙණිය හන්දියෙන්. මෙය පේරාදෙණියට ළඟා වීමට නියමිත රාත්‍රි 10.52යි. මා 10.30ට පමණ එහි ළඟා වුවත් දුම්රිය පැමිණියේ පැයක පමණ ප්‍රමාදයකින්. රාත්‍රි තැපැල් දුම්රිය අධික තදබදයක් සහිත එකක්. එහෙත් මිතුරු පිරිසක් කොළඹින් පැමිණි නිසා මට ඉඩකඩ තිබුනා. 
ගම්පොළ සිට ඇති අධික ආනතියක් සහිත කන්ද නිසාම වැඩි මැදිරි සංඛ්‍යාවක් සහිත මෙම දුම්රියට පසුපසින් අමතර එන්ජිමක සහාය ලබා දෙනවා. එම එන්ජිම සවිකිරීමෙන් පසුව කන්දේ වුවද අපහසුවකින් තොරවම ගමන් කරනවා. මේ අතර නාවලපිටියේදී දුම්රියේ කාර්ය මණ්ඩලය මාරු වෙනවා. ඉන්පසුව පැමිණි රියදුරන් සිදුවූ ප්‍රමාදය ආවරණය කරමින් ඉක්මනින් ගමන්කලා. මෙම දුම්රිය වටවල දුම්රිය ස්ථානයෙන් පසුව නතර කරන්නේ හැටන් දුම්රිය ස්ථානයේ. මේ නිසා අපේ ගමනාන්තය වූයේ හැටන් දුම්රිය ස්ථානයයි. අප පාන්දර 2.30ට පමණ එහි ළඟාවුනා. 
අන්තර් ජාලයෙනි
මෙයා තමයි අපිව හැටන් වලදී පිළිගත්තේ. මෙයාගේ යාළුවා අපිත් එක්ක නගරයේ ඇවිදින්නත් ආවා. 

හැටන් වලින් තේ බොන්න අපිට ගතවූයේ පැයකුත් විනාඩි 30ක පමණ සුළු කාලයක්. නගරයේ පිහිට ආපනශාලාවේ සේවකයින් ඒ තරම් ඉක්මන්. කෙසේ හෝ පාන්දර 5.10ට හැටන් වලින් පටත්වන දුම්රිය සඳහා අපිට යන්තමින් 5.05ට ස්ටේශන් එකට එන් පුළුවන් කම ලැබුනා. එහි නැගී අප ළඟා වූයේ රොසැල්ලටයි.
රොසැල්ලට පැමිණි කෝච්චි පිස්සෝ.
අප එහි ළඟාවන විට වේලාව පාන්දර 5.26යි. තවම එළිය වැටී නැති අතර අධික ශීතලක් සමග මීදුම හා පින්නෙන් පරිසරයම වැසී ගිහින්. අප සමග ගිය දුම්රිය ස්ථානාධිපතිවරයෙතු වන රසික නිසා රොසැල්ලේ දුම්රිය ස්ථානාධීපති වරයා අපට සුහදව පිළිගත්තා. ඔහුගේ නවාතැනින් අවශ්‍යතා ඉටුකරගෙන ඇඳුම් මාරු කරගෙන උදේ කෑමට අප රැගෙන ගිය පාන් සකස් කරගත්තා. මේ වන විට එළිය වැටී තිබුනා. මෙම දුම්රිය ස්ථානයට විදුලිය සැපයෙන්නේ ඒ අසලම පහලින් ඇති කුඩා විදුලි බලාගාරයකින්.
රොසැල්ල දුම්රිය ස්ථානයට විදුලිය සපයන බලාගාරය
රොසැල්ල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 1130ක් උසින්. මේ නිසාම වැඩි සීතලක් පවතිනවා. කොළඹ සිට රොසැල්ලට ඇති දුර කිලෝමීටර් 168. බදුල්ලේ සිට එනවානම් කිලෝමීටර් 124ක් දුර ගෙවා එන්න වෙනවා.
රොසැල්ල යනු කඳුකරයේ ඇති සිසිල් තෙත් ප්‍රදේශයක්. ඉතා අලංකාර පරිසරයකින් හෙබි මෙහි මල් වර්ග රැසක් දක්නට ලැබෙනවා. පිරිසිදු ජලය ඇති පමණ ඇති අතර මිහිරි රසයක් සහිතයි. රොසැල්ල තේ වතුයාය නිසා මෙයට රොසැල්ල යන නම ලැබී ඇති බවයි පැවසෙන්නේ. මේ අවට ඇති වැදගත් ස්ථාන නම්.
  • තේ වතු යායන්.
  • දිය ඇලි
  • විදුලි බලාගාර ආසන්න වීම
  • බින් ඔය හා කුඩා ඔයට ආසන්න වීම
මෙම ප්‍රදේශය A7 (හැටන් සිට ඉහල වටවල දක්වා ඇත) මාර්ගයට ආසන්නව ඇත.
මෙම දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ S අකුරේ හැඩය ගත් සීඝ්‍ර වංගුවක අවසානයේය. 
රූපය ගුගල් මැප් වලින් ගෙන සකස් කරන ලද්දකි.
ඉහත රූපයෙන් පෙනෙන ආකාරයටම මෙම දුම්රිය නැවතුම S හැඩති වංගුවක අවසානයේ පිහිටීම හා වැඩි ආනතියක් සහිත වීම නිසා අනතුරක් සිදුවන්න ඇති ඉඩකඩ ඉතා වැඩියි. ඒ නිසාම මෙහි වැඩි ආරක්‍ෂාව සඳහා Train Indicator Bars සවි කර තිබෙනවා.
Train Indicator Bar

මොනවාද මේ Train Indicator Bar කියන්නේ. එහි ක්‍රියාකාරිත්වය සරලව විමසා බලමු. 
මේවා සමාන්තර රේල්පීලි දෙක මට පිහිටා ඇති රූපයේ ආකර යකඩ පටියකි. ඒ මතට දුම්රියක් පැමිණි පසු නැවත එසවිය නොහැක. එවිට සඥා පද්ධතිය අගුලු වැටෙයි. මේ හේතුවෙන් එම තීරුවේ දුම්රියක් ධාවනය වීමෙන් සිදුවන අනතුර වලක්වා ගත හැකි වෙයි. කලකට ඉහත මේ S හැඩති වංගුව නිසා අමතර තීරුවට (Loop) පහල සිට එන දුම්රියක් එක්වරම ඇතුල් කිරීමට නොහැකිලු. ඒ නිසා කරන්නේ ප්‍රධාන තීරුවේ ධාවනය කර අමතර තීරුවට පසුපසට ගැනීමලු. එහෙත් දැන් එය වෙනස් කර ඇති නිසා එක්වරම එම තීරුවට ගන්න හැකියාව ඇත.
උදේ 7.00ට පමණ අපි රොසැල්ල දුම්රිය පොලෙන් සමු අරන් අපේ ගමන ආරම්භ කලා. ඒ වන විට මීදුම අඩුව ගොසින් ඉර පායන්න පටන් අරන් තිබුනා. මීදුම් අතරින් කඳු මුදුන් සිපගන්නා හිරු රැස් මනරම් දසුනක් මවන අතර රෑ පින්නෙත් තෙතබරිත වූ තබන තබන අඩියක් පාසා ලිස්සා යන සිල්පර මතින් අපේ ගමන පහලට යෙදුනා.  ගමනේ මුලින්ම හමුවුනේ දුම්රිය පීලි පැන්නුමක්. තිරිංග නැතිව තවත්වාගන්න බැරිව එන දුම්රියක් පීලි පන්නා විනාශය අඩුකරන්න මෙවැනි පීලි පැන්නුම් යොදාගන්නවා. ඔබට මතක ඇති මීට පෙර ගල්බඩ අසල මෙවැන්නක් මම සඳහන් කලා.
මේ රොසැල්ල Derailment එක.

මෙතනින් ඉදිරියට යන විට හමුවන්නේ මුලින් සඳහන් කළ S හැඩැති වංගුවයි. පිංතූර සකසමින් ගමනේදී ගත් පින්තූර ලොකු එකතුවකින් වඩා සුදුසු පින්තූරය සොයමින් මෙවන් ලිපි ලියන එක එතරම් පහසු නෑ. ඒනිසාත් කියවන ඔබට වැය කරන්න කාලය සීමිත නිසාත් මේ ලිපිය කොටස් කර ලියනවා. අදට මෙතනින් නවතින අතර මීළඟ කොටස සමග ඉදිරියට යමු.
සුභ දවසක් වේවා....!!!