Wednesday, August 22, 2012

අවසානයේ ඇය ආවා.....

ඇය එන තුරු මා බොහෝ දිනක් බලා සිටියේ නොඉවසිල්ලෙන්. එහෙත් ඇය කෙසේ හෝ එන බව මට ඉර හඳ වගේ විශ්වාසයක් තිබුනා. මේ අතරේ තමා ඇය ලංකාවට ඇවිත් යන ආරංචිය ලැබුනේ. ලංකාවට ආවොත් නම් පළවෙනියටම එන්නේ නුවර යන විශ්වාසය මට හොඳටම තිබුනා. 
අවසානයේ මම බලාපොරොත්තුවෙන්ම සිටි ඇමතුම ලැබුනා මගේ හිතවත් මල්ලි කෙනෙක්ගෙන්. 
"අයියේ අරයා අද නුවරට එනවාලු. මම අයියාට හරියටම එන වේලාව කියන්නම්."
ඒ ඇමතුම ලැබුන මොහොතේ සිතේ ඇතිවුනේ පුදුම සතුටක්. 
එයින් පසුව මම ඇමතුමක් දුන්නා මන්දාලක මල්ලිට. මීට කලින් මන්දාලක හමුවී නැතත් තනියට කෙනෙක් නැතිව මුලින්ම ඇය බලන්න යන්න මට හිතට හරි මදි වගේ දැනුනා. 
"අයියේ මම ගෙදර ඉන්නේ. මං එන්නම්."
ඒත් සමග වගේ අර මුලින් ඇමතුම දුන්න මල්ලිගෙන් නැවත ඇමතුමක්. එයා එන්නේ නැතිවාවත්ද? හිතට පොඩ්ඩක් නොඉවසිලිමත් බවක් දැනුනා.
"අයියේ එයා ලඟටම ඇවිත්. අයියා ඉක්මන් කරන්න. එයාලාගේ ලොක්කාත් එනවාලු. ටිකක් කල්පනවෙන්"
මම නැවත මන්දාලකට කෝල් එකක් ගත්තා. 
"අයියේ මම කෝච්චියේ එන්නම් පේරාදෙණීයට"
කෝච්චිය එනකල් ඉල්ල වෙලා නෑ මල්ලි. ළඟටම ඇවිත්. මම මල්ලිව ගෙවල් ළඟින් ගන්නම්. මගේ පිළිතුර.
ඒ සැනින් මම ඇඳුම් මාරු කරන්න නැවත කණ්නාඩියෙන් ඡායව බලා කැමරාවත් සාක්කුවේ දාන් අනික් සාක්කුවට ෆෝන් එකත් දාගෙන ගෙදරින් පිටවුනා.
කාලෙකට පස්සේ බයික් එකේ ස්පීඩෝමීටර් එක ටිකක් උඩට ආවා. ඒ තරම් හදිස්සියක් මට තිබුනේ. 
මම මන්දාලකලගේ ගේ ලඟට ගිහින් කෝල් කළ සැනින් මල්ලිත් පාරට ආවා.
අපි ඉක්මනින්ම පේරාදෙණිය හන්දිය ස්ටේශන් එකට ආවා. ටිකට් එකකුත් අරන් වේදිකාවට ගොඩඋනා. ආරංචියේ හැටියට නම් ඇය ළඟම එනවා. 
ටං ටං ටං ටං .........     
යන හඬින් සෙමෙන් ගේට්ටුව පහතට වැටුනා. 
අප දෙදෙනාගෙම ඇස් යොමුවී තිබුනේ දුම්රිය වේදිකාව දෙසට. අපේ උපකල්පනව වැරදියි. ඇය ආවේ නෑ. සති අන්ත සීඝ්‍රගාමී දුම්රිය නළාව හඬවමින් නුවරට යන්න පිටත් වුනා. අප දෙදෙනා නැවත කතාවට වැටුනා. මේ අතර තවත් මිතුරන් දෙදෙනෙත් එකතු උනා. අප කතා කරමින් සිටින අතරතුර දහවල් 12.15 පමණ වනවිට නැවත අර ශබ්දය...
ටං ටං ටං ටං .........   
සෙමෙන් ගේට්ටුව පහත් වෙනවා. 
මේ පාරනම් ඇයම වෙන්න ඕනි. ගේට්ටුව වැසුනා. මම වේදිකාවෙන් පහලට පැන අනික් පසට ගියේ පැහැදිලි පිංතූර ගන්න. එක් අතක කැමරාවේ ෆොටෝ ගන්න සූදානමින්. අනික් අතේ ෆෝන් එකෙන් වීඩියෝ කරන්න සූදානමින්.

ඔන්න ඈතින් ඇය එනවා...


මේ ටිකින් ටික මා සිටින තැනට ලංවෙද්දි ඡායාරූපය

මේ පළමු එන්ජිම මා පසුකර යද්දි ඡායාරූපය


මේ පසුපස එන්ජිම මා පසු කරයද්දි...


මෙන්න බලන්න මේ කෝච්චියේ දිග...


මේ මා පසුකර ගිය කෝච්චිය...


ලස්සනයි නේද මේ කෝච්චිය.
මේ තියෙන්නේ මං ෆෝන් එකෙන් ගත් විඩියෝව...

අද මං කියන්න ගියේ ශ්‍රී ලංකා දුම්රිය සේවයට අලුතින්ම ගෙන්වූ S-12 බලවේග කට්ටලයේ පළමු පරීක්ෂණ චාරිකාව මගේ කැමරා ඇසට යොමුවූ ආකාරයයි. 
මා දුම්රිය ලෝලියෙකු බව මීට කලින් කිසිම ලිපියක සඳහන් කළ බවක් මතක නෑ. ඉතින් දුම්රිය ලෝලියෙකුට කිසියම් දුම්රියක මංගල චාරිකාව ඡායාරූපයට නගනවා යන්න හරිම වැදගත් අවස්ථාවක්. 
මේ සටහන කියවන දුම්රිය ගැන දන්නා අය නම් දන්නවා ඇති උඩරට මාර්ගයේ බලවේග කට්ටල ධාවනය නොවන බව. මේ S-12 බලවේග කට්ටලය පහසුකම් රැසක් සපිරි පළවන, දෙවන හා තුන්වන පන්ති සහිත දුම්රිය කට්ටලයක්. මෙවන් දුම්රිය කට්ටල 5ක් දැනට සතියකට පමණ පෙර ලංකාවට ආනයනය කළ අතර ඒවායින් එක් කට්ටලයක් උඩරට මාර්ගයටත් අනෙක් 4 කැළණි වැලි මාර්ගයේත් ධාවනය වනු ඇත. උඩරට මාර්ගයේ වැඩි ආනතිය නිසා විශේෂ කට්ටලයක් යොදා ගැනේ. මෙහි ඇත්තේ එයයි.
අශ්වබල 2000ක ධාරිතාවක් ඇති එන්ජින් දෙකක් දෙපසට ඇති සේ සකසා ඇති මෙය ලංකාවේ ධාවනය වන බලයෙන් වැඩිම දුම්රිය වනු ඇත. කැළණි වැලි මාර්ගයේ ධාවනය වන දුම්රියේ බලගැන්වුම් ඒන්ජින් එකක් හා පාලන කුටිය පමණක් ඇති හිසක් අනෙක් පසට සවිකර ධාවනය වනු ඇති. 
මේ පිළිබඳ මට විස්තරය හා පණිවිඩය ලබා දුන්නේ චන්දික මිතුරායි. ඉදිරියේ මෙහි තාක්ෂණික විස්තරයක් ඔහුගේ අඟුරුනොකා කොළඹ දුවන යකඩයකා බ්ලොග් එකේ පළ කරනු ඇත. ඒ වගේම මා සමග ඡායාරූප ගන්න ආ මන්දාලක මල්ලිටත් ස්තූතිය.

ඔබ මේ සටහන කියවන හෙට දින (23-08-2012) මෙම කට්ටලය බදුල්ල බලා පරීක්‍ෂණ චාරිකාවක යනු ඇත. එම මාර්ගය ආසන්නයේ ඔබ ඉන්නවානම් පිංතූරයක් ගන්න බලන්න. හැකිනම් මටත් පිටපතක් එවන්න...
සුභ දවසක්....!!!!!

ප/ලි
ශ්‍රී ලංකා දුම්රිය ගවේශකයින්ගේ සංගමය එළිදක්වන සිව්මාසික සඟරාව Lanka Railway Digest දෙවන කලාපය දැන් නිකුත්ව තිබෙනවා. මේ පිළිබඳ උනන්දුවක් ඇති අයට සරසවි පොත් හලෙන් ඉක්මනින්ම ගන්න පුළුවන්.

41 comments:

  1. ඉස්සරහ පැත්තයි, පස්ස පැත්තයි දෙකම එක අච්චුවේ නේද?

    ඩෙස්මන්ඩ් මොරිස් ඔය ගැන ලියලා තියෙනවා නේකඩ් ඒප් කියන පොතේ.

    ReplyDelete
    Replies
    1. ඩෙස්මන් මොරිස් කෝච්චි ගැනත් ලියලා තියනවාද ඒ පොතේ....
      ස්තුතියි උදේම මේ පැත්තටත් ආවාට.....

      Delete
  2. මේ පාර නම් මෙයා ආවේ ඉන්නම බලාගෙන. බොහොම ලඟදිම උඩරට මාර්ගයේ දෛනික චාරිකාවන්ට එකතු වේවි. එය බොහෝ ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන්ටත් නවමු අත්දැකීමක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ දවස එනකල් මාත් බලා ඉන්නවා. මේකේ නැගලා බදුල්ලට යන්න ඇතිනම් මරු.
      ස්තූතියි දුන් සහායට.....

      Delete

  3. නියමයි නියමයි කොහොමහරි photo ටික ගත්තනේ එදා .....මමත් කන්නෙත් නැතුව දුවන් ආව එදා පේරාදෙණියට ඕක එනවා කිව්වම

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ෆොටෝ ටික ගත්තා. නුවරට යන්න අවස්ථාවක් නැති උනා. නැතිනම් ඇතුලේ පිංතූර ටිකකුත් ගන්න තිබුනා. මේ පැත්තට ආවාට ගොඩක් ස්තූතියි.

      Delete
  4. ප්‍රියන්තට ස්තූතියි සටහනටත් ලස්සන පින්තූර ටිකටත් . කෝච්චි දැක්කම පොඩි කාලේ මතක් වෙනවා . අනිවාර්යෙන් පාසල් නිවාඩුවට කෝච්චියේ ට්‍රිප් එකක් යනවා ..

    …නුදුරු දිනකදී මේ කෝච්චියේ යන්නත් ආසාවෙන් ඉන්නවා .

    …ගෙහාන් මල්ලිටත් ස්තූතිය පුද කරනවා ඔහු බුකියේ පලකරන කෝච්චි පිලිබඳ විස්තර වලටත් මනරම් පින්තූර වලටත් .

    ReplyDelete
    Replies
    1. මේක බොහොම සුව පහසු කෝච්චියක්. රවුමක් ගිහින් බලන්න පොඩි කාලේ මතක් වෙන්නත් එක්කම. ස්තූතියි ප්‍රතිචාරයට.

      Delete
  5. he he....mn meka irida hawasa maradana yard eke gahala thiyanawa dakka..kattiya watawela hitiye.....mata nm mathak une Kochchi ayiyawa....Priya ayiyath balinnam Trains walata asayine.....

    ReplyDelete
    Replies
    1. කෝච්චි අයියා විතරක් නෙවෙයි. මාත් කෝච්චි පිස්සෙක් තමා...:D
      ස්තූතියි මේ පැත්තට ආවාට...

      Delete
  6. අපරාදෙ එදා මම සති අන්ත නගරාන්තර දුම්රියේ නුවර ආව... ඒ දුම්රිය පරක්කුයි මග බින්ගෙයක් ඇතුලු රේල්පාර කැඩිල. අපි නුවරට එනකොටත් 12.00ට ඇති.. හොද අවස්ථාවක් මට නැති උනේ... නමුත් කැලණි වැලියට ආවම මම යනවා හැම දාම දුක නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් නගරාන්තරේ පේරාදෙණියට ආවේ 11.40ට ඒක එද්දි මමත් සූදානමින් හිටියා මේක කියා. හොන් එක ඇහුනාම තමා දන්නේ එන්නේ ඉන්ටසිටිය කියා.
      ස්තූතියි..

      Delete
  7. ඉතාමත් අපූරු ලිපියක් ප්‍රියන්ත අයියේ :)

    ජායා රූප සහ වීඩියෝව මගින් ඔන්න අපිටත් ඇයව දැකගන්න ලැබුනා :)

    බොහෝම ස්තූතියි!!!! :)

    ඔබට ජයෙන් ජය :)

    ReplyDelete
    Replies
    1. ප්‍රසාව මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.
      ඔබටත් ජයෙන් ජය...

      Delete
  8. මම කෝච්චි පිස්සෙක් නොවෙන නිසා මටනම් මේකත් අනිත් කෝච්චි වගේමයි :)

    ඒක නෙමෙයි මේ වීඩියෝ එකේ කැමරාව හෙලවෙන එක හැදුවේ කොහොමද කියලා කියා දෙන්න පුළුවන්නම් මාර වටිනවා...

    ReplyDelete
    Replies
    1. ඒක නම් මම අමුතුවෙන් මහන්සි වෙලා කළ දෙයක් නෙවෙයි. ගූගල් යූ ටියුබ් වලින් තමා මට කීවේ හෙලවෙන එක හදන්නද කියා. මම හා කීවා. හැබැයි ඒක පේන්නේ මං දැම්ම වෝටමාක් හෙලවෙන නිසා. වෝට මාක් නැති උනානම් හොයන්නම බෑ. මෙච්චරම කැමරාව (ෆෝන් කැමරාව) හෙල්ලෙන්නේ අනික් අතේ කැමරාවෙන් ෆොටෝ ගන්න නිසා.
      ස්තුතියි බිට්ල්....

      Delete
  9. කතාව ලස්සනට ලියලා තියෙනව. ස්තුතියි අපේ සඟරාව ගැනත් අන් අයට දැනුවත් කලාට. මෙවර කලාපයේ මෙම දුම්රිය පිළිබඳ තාක්ෂණික කරුණු සහිත ලිපියක් සිංහලෙන් පළ කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එක නම් හරිම වැදගත්. මටත් තාම සඟරාව ගන්න බැරි උනා. මම ඇඩ් දාලා කොපි ඉවර වෙලාද දන්නේ නෑ.
      ස්තූතියි තූර්ය....

      Delete
    2. මේ සගරාවට දෙන පබ්ලිසිටි එක නම් මදි. මාත් දැනුයි දැක්කේ මේ පොස්ට් එකේ අන්තිමට. තකහනියක් ගිහින් ගන්න ඕන. මේ පොස්ට් එකටත් බොහොම ස්තුතියි. වටිනා පින්තුර ටික.

      Delete
    3. @ Prabath
      ස්තූතියි මේ පැත්තට ආවාට...
      මාත් ගත්තේ ගිය ඉරිදා. තාම කියවනවා.....

      Delete
  10. අපිට ඕකෙ යන්න වාසනවා තියෙනවා...ඒත් පන්ති ගොඩක් තියෙන එක අපරාදෙ කියලා මට හිතෙන්නෙ...යසට ඉඩකඩ තිබුනානං ඉතිං තුන්වෙනි පංතියත් වරදක් නෑනෙව...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ චීනෙන් හදලා එවලා තියන විධිය වෙන්න ඇති...:D
      මේ කට්ටලය ඇවිත් තියෙන්නේ දුරගමන් යන්න අමිල. ඒ නිසා වෙන්න ඇති පංති 3ම මැදිරි ඇත්තේ.
      ස්තූතියි ප්‍රතිචාරයට

      Delete
  11. ප්‍රියන්ත මලේ..හෙහ්, හෙහ්, මමත් පොඩි කාලෙ කෝච්චි පිස්සෙක් බං....දැන් උනත් ගෙදර ඉන්න දවසක උඩරට මැණිකෙ හරි පොඩි මැණිකෙ හරි ගේ ඉස්සරහින් යන වෙලාවට මොන වැඩේ තිබ්බත් සඳළු තලයට දුවන එක මගෙ ඇබ්බැහියක්...හෙහ්, හෙහ්,

    අපෙ මාමල දෙන්නෙක්ම වැඩකලේ දුම් රිය දෙපාර්තමේන්තුවෙ.... සුද්දගෙ කාලෙ තිබ්බ රේල්වේ වැඩකරන අයට තමන්ගෙ දරුවන් රැකියාවකට දාගන්ට ප්‍රමුඛස්ථානය දෙන ක්‍රමයක්..තවම එහෙම වෙනවද නම් දන්නෙ නෑ....ඉතින් අම්මගෙ අප්පච්චි අපෙ ආතා දුම් රිය දෙපාර්තමේන්තුවෙ සේවය කලේ...ඒ නිසයි මාමලට ඒ අවස්ථාව ලැබිල තියෙන්නෙ.

    අනික අපෙ අම්මලගෙ මහගෙදර තියෙන්නෙ කඩුගන්නාවෙ කෝච්චි පාර අද්දර...ඉතිං අපෙ අත්තම්ම මා එක්ක පොඩි කාලෙ කියල ඇති කෝච්චි ගැන කතන්දර අනන්ත...

    උඹ දන්නවද ඒ දවස්වල බලන කන්ද අදිනකොට එන්ජිමේ ඉස්සරහ මිනිස්සු දෙන්නෙක් ඉඳගෙන රේල් පීලි වලට වැලි දැම්මයි කියන කතාව...ඝර්ෂණය වැඩි කරන්න....මම මේ කතාව ඇහුවෙ අපෙ අත්තම්මගෙන්ද වෙන කොහෙන්ද කියලත් මතක නම් නෑ...කතාව ඇත්තද කියලත් හරියටම දන්නෙත්නම් නෑ...

    ස්තූතියි මලේ...අපූරු ලිපියකට..ඡායාරූප සහ වීඩියෝවට....

    ReplyDelete
    Replies
    1. රේල් පීල්ලට වැලි දාන කතාව නම් මාත් ඇහුවේ අදයි. ඒත් දැනට ඇති ඩීසල් එන්ජින් සෑම එකකම වගේ වැලි පීල්ලට දමන යාන්ත්‍රණයක් තිබෙනවා. රියදුරුට අවශ්‍ය විට එය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් වැස්ස ඇති වේලාවට වැඩි ආනතියක් ඇති පාරක ගමන් කරද්දී. මා දන්නා තරමින් පැරණි වාශ්ප එන්ජින් වල මෙවැන්නක් නොතිබෙන්න ඇති. ඒ නිසයි මිනිසුන් දෙන්නෙක් ඒ දේ කරන්න ඇත්තේ. මං හිතන්නේ කතාව ඇත්තක් වෙන්න ඇති.
      ස්තූතියි අයියාටත්....

      Delete
  12. මමත් ඔය ගැන ලොකු විස්තරයක් දැක්කා එළකිරියෙන්,,අලුත් පිට නම් සුපිරියටම තියනවා ඇතුල, වැසිකිළි පහසුකම් එහෙම,,කුණු දැමීමට භාජන,,අනේ ඉතින් දවස් කීයක් ඔය ලස්සන තියේවිද දන්නේ නෑ

    http://www.elakiri.com/forum/showthread.php?t=1473638

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලාන්. මාත් ඔය විස්තරය දැක්කා. ඒත් මං දැම්මේ මං ගත් පිංතූර හා විඩියෝ සමගයි. යන අයත් මේක පරිස්සමට පාවිච්චි කරන්න සැලකිලිමත් වෙන්න ඕනි නේද.
      ස්තූතියි ඩිලාන්....

      Delete
  13. මමත් නම් දුම්රිය ගමනට බොහෝම කැමති කෙනෙක්.ඉස්සර උදේ හවා දුම්රියෙන් තමා ගමන බිමන.දැන් උනත් ගෙදර යද්දී දුම්රියෙන් යන්නෙ එන්නේ. ආ...ඉස්සර එක දවසක බදුල්ලට ගියා තනියම..ඒ කතාව පස්සෙ ලියන්නම්.

    මුලින්ම කතාව කියවද්දී හිතුවේ ඇත්තටම ගෑණු පරාණයක් බලන්න යන්න යනවා කියලා. අපූරුවට ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ලියන්නකෝ දවසක බදුලු ගිය කතාව. කෝච්චි වලට බහුලවම දාන්නේ ගෑණු ළමයින්ගේ නම් නිසයි එහෙම ලියන්න හිතුනේ.
      ස්තූතියි ඔබටත්...!!!

      Delete
  14. මේ දුම්රිය බැලූ බැල්මට නම් විනෝද චාරිකාවලට නියමයි වගේ. දැනට තියෙන හිතාචි, එකත් වයිස්රෝයි දුම්රියත් මේකත් එකතු වුනාම නියමයි.

    බලන් ගියාම ප්‍රියන්ත දුම්රිය ලෝලියක්නේ. මම මේකෙම තද රතුපාට දුම්රියක් දැක්කා හැබැයි. මේ පෝස්ට් එක කියෙව්වා ම තමයි හිතුනේ ඒකත් අලුත් සෙට් එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. මේක තියෙන්නෙ දෛනික මගී ප්‍රවාහනයට. මේ පන්තියටම අයත් සම්පූර්ණයෙන්ම වායු සමනය කළ විශේෂ දුම්රිය කට්ටල දෙකක් එනවා. ඒවා හිතාචියට බොහෝ සෙයින් සමානයි. තද රතු පාට කට්ටලය මේ පන්තියට අයත් එකක් නෙවෙයි. මීට ප්‍රථමයෙන් ඉන්දියාවෙන් ආනයනය කළ S11 පන්තියට අයත් වෙන්නෙ. එම පන්තියේ දුම්රිය කට්ටලත් තවම ලංකාවට එමින් පවතිනවා.

      Delete
    2. මං හිතන්නේ දයානන්ද අයියට උත්තරේ තූර්ය දී තිබෙනවා. S-11 යනුවෙන් හඳුන්වන්නේ මීට ටික කලකට පෙර (2011 සැප්තැම්බර් 17) අලව්වේදී අනතුරට ලක්වුන රතු හා සුදු වර්ණ ගැන්වූ බලවේග කට්ටලයයි. මෙය උඩරට මාර්ගයේ ධාවනය කරන්න බෑ.
      ස්තූතියි දයා අයියාට...

      @තූර්ය
      ස්තූතියි දැනුවත් කිරීමට....

      Delete
  15. අයියෝ . .. මම හිතුවේ වෙන මොනා හරි සුභ ආරංචියක් කියලා . . .. හරි එහෙනම් ලංකාවෙදි මටත් කොළඹ නුවර දුවන්න මේක හොඳ එකක් වේවි . . ..

    ReplyDelete
    Replies
    1. සුභ ආරංචියක් නේනනම්. මේ උඩරට මාර්ගයට එන හොඳම බලවේග කට්ටලයනේ. ඔව් මේක ඉක්මනින් යන්න පුළුවන්. පොඩි ගැටළුවකට ඇත්තේ දුම්රිය මාර්ගයේ ඇති වේගසීමා.
      දන්නවාද පරීක්ෂන චාරිකාවේ උපරිම වේගය පැයට කිලෝමීටර් 100කට ආසන්නයි.
      ස්තූතියි අයියා.....

      Delete
  16. ප්‍රියන්ත අයිය දුම්රියට මෙච්චර ආස බවක් දැනන් හිටියෙම නෑනේ.. පින්තූර ටිකටයි විස්තරේටයි ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ මල්ලි. දැන් තමා ඒ ගැන කියන්න අවස්ථාව ආවේ.
      ස්තූතියි මල්ලි...

      Delete
  17. මම හිතුවෙම මම එනවා බලා ඉන්නවා කියලනේ."D:D:D

    ලස්ස්න කෝච්චිය. ආවාම ඕකේ නැගලා පේරාදෙණියේ එන්නම්.
    හොඳ සටහනක් ප්‍රියන්ත. පරක්කු උනා මේ පාර හොඳටම. කමක් නෑ කොහොම හරි ආවානේ නේද? :)))

    ReplyDelete
    Replies
    1. ඔයා බලන්ට පේරාදෙණිය ස්ටේශමට...:DDD
      ඊට හොඳ නැද්ද නුවර ස්ටේශන් එක...
      හැබැයි පොඩ්ඩි මේක බදුල්ල කොළඹ දැමීමටයි සැලසුම් කරන්නේ. එහෙම උනොත් පේරාදෙණියට තමා එන්න වෙන්නේ.
      මේ කෝචිචිය ලස්සනයි. මේකේ ඇතුලත් ලස්සනයි. කමෙන්ට් පරක්කු උනාට ඔයා ආවනේ මේ පැත්තට.
      ස්තූතියි පොඩ්ඩිටත්....

      Delete
  18. හොඳටම පරක්කු වෙලානෙ මේක දැක්කෙ.
    විස්තර ටිකයි ෆොටෝ ටිකයි ලස්සනට තියෙනව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්නගේ කමෙන්ට් එකත් පරක්කු වෙලානේ මම දැක්කේ. ටික දවසකට පස්සේ අදයි මේ පැත්තට ආවේ. ස්තූතියි ප්‍රසන්න ප්‍රතිචාරයට....

      Delete
  19. හරියට කරනවා නම් දුම්රිය සේවයෙන් පාඩු ලබන්න කිසිම හේතුවක් නෑ! ගේනව වගේම ඕවා නිසි පිලිවෙලට නඩත්තු කරනවා නම් සෑහෙන්න වටිනවා!මගීන්ගෙත් යුතුකමක් ඒක!

    ReplyDelete
    Replies
    1. ඔව් කෝච්චි ගොඩක් අපිරිසිදු කරන්නේ ඒවායේ යන මගීන්මයි. ලංකාවේ ඇති කෝච්චි හිඟය නිසා මේවා නිතිපතා පිරිසිදු කරන්න අවස්ථාව අඩුයි. ඒ නිසා යන මගීන් මේවා පිරිසිදුව තබා ගන්න උනන්දු වෙනවානම් හොඳයි.
      ස්තූතියි සාබිත්.....

      Delete