Friday, August 10, 2012

මගේ මතක - මං කියවූ බ්ලොග්.....


කාලෙකින් මේ පැත්තට එන්න බැරි උන නිසා අද ඇවිත් බලන්න හිතුනා මොකද වෙලා තියෙන්නේ කියා. කිසිම අවුලක් නැතිව බ්ලොග් එක හොඳට තියනවා. එකම වරද කාලෙකින් පෝස්ට් එකක් දාන් බැරි උන එකයි. මාසයකට පමණ කලින් ඇවිත් අලුත් බැනර් එකක් නම් දාලා ගියා. ඒත් පෝස්ට් එකක් ලියන්න තරම් අවස්ථාවක් ලැබුනේම නෑ. කෙනෙකුට හිතන්න පුළුවන් මොනවාද මූට මෙච්චර තියන වැඩ කියා. 
වැඩත් ගොඩක් තිබුනා. මාගේ සොයුරිය නව නිවසත් සාදා එයට ගෙවැදුනු නිසා එහි විවිධ කටයුතු වලට සහාභාගි වෙන්න උනා. එමෙන්ම පසුගිය කාලයේ බ්ලොග් අවකාශයේ එන්න තරම් ප්‍රියතාවයක් ඇති උනේම නෑ. මහා කුණාටුවටකට පසුව සියල්ල සංසුන් වෙනවා වගේ මේ දිනවල සයිබරයත් හරිම උදාසීනයි.
ඉතින් අද මට හිතුනා බ්ලොග් කියවන්න ආ දවසේ සිට මං ආසාවෙන් කියවූ බ්ලොග් ගැන ටිකක් මතකයට නගන්න. හැබැයි අද පෝස්ට් එක නම් ලින්ක් ගොඩක් එක්ක තමා දාන්න වෙන්නේ. ඒ ගැන අමනාපයක් ඇති කරගන්න එපා.
මම මුලින්ම බ්ලොග් කියවන්න එන්නේ අහම්බෙන් හමුවූ කතන්දර අඩවිය හරහා. වසර තුනක් පුරාවට නොකඩවා ලියවෙන කතන්දර මා දකින දක්‍ෂ බ්ලොග් කරුවෙක්. මා එය කියවන්න පටන්ගන්නා කාලයේ එය මාස 9ක් විතර පරණ බ්ලොග් එකක්. එහෙත් එහි ඇති ඔහුට ආවේණික රචනා ශෛලිය නිසා මා බ්ලොග් කියවන්න පෙළඹුනා. එහෙත් දැන් නම් අර මුලින් තිබුන රසය අඩුයි වගෙයි මට දැනෙන්නේ. එමෙන්ම මා කතන්දර අඩවිය කියවන්න ගියාම පත්වන ලොකුම අපහසුතාවය අර දාලා තියන ලින්ක් හැම එකක්ම බලන්න බැරි කම. සමහර විට නෙට් ස්ලෝ වෙලාවක ලෝඩ් කරන්නත් අපහසුයි. එහෙත් ඒ හැම ලින්ක් එකක්ම පාහේ කලින් කියවා ඇති ඒවා. මාතෘකාව තමා අමතක වෙලා තියෙන්නේ. එහෙත් මගේ අදහස කතන්දරට මීට වඩා ගොඩක් හොඳින් ලියන්න පුළුවන්. ඔහු මුල් කාලයේ එක් කතන්දරයක් තුල කතන්දර ගණනාවක් ලීවා. එක් එක් අයගේ බුද්ධි මට්ටමට ගෝචර වෙන ආකාරයට. කතන්දර විසින් ලියන කවි මා එදාත් අදත් ආසාවෙන් කියවනවා.
කතන්දර අඩවියෙන් මා පිවිසෙන්නේ සයිබර් යායටයි. තමන්ගේම සිත්තර සමග ඉදිරිපත් වන සයිබර් යාය හිනාවෙන්නම හොඳ තැනක් උනා. මා තනියම හිනාවෙන විට අපේ ඔෆිස් එකේ අනික් අයත් ඇවිත් ඔවුන්ද මෙය කියවන්න පුරුදු උනා. සයිබර් යායේ මා ප්‍රිය කරන්නේ චූටි මහත්තයාගේ පොඩි කාලේ කතා හා කුරුළු හමුදාවේ කතා වලටයි. එහෙත් පසුගිය කාලයේ වැඩිපුර කාටුන්ම ඇඳම නිසා අර මුලින් තිබුන තැන අඩු උනාද කියාත් මට හිතෙනවා.
මේ කාලයේම මා කියවන්න ගත් තවත් බ්ලොග් එකක් වූයේ ටැබූ සබ්ජෙක්ට්ස්. ටැබූ යනු ලංකාවේ සිටි දක්‍ෂ බ්ලොක් කරුවෙක්. ඔහුගේ ඇතැම් රචනා ශෛලියන්ට මා ප්‍රිය නොකලත් ඔහුගේ නිර්මාණාත්මක තාවය මම තවමත් අගය කරනවා. තම මතය පහසුවෙන් වෙනස් නොකරන ටැබූ අවස්ථා කීපයක කවි ලියා තිබුනා. ඒවායින් ඔහුගේ කලාකාමී බවත් මා වටහා ගත්තා. කිසියම් හේතුවක් නිසා එම අඩවිය මැකීයාම අලුතින් ආ අයට වෙනස්ම ආකාරයක ලියවිල්ලක් කියවන්න ඇති අවස්ථාව නැතිවී යාමක්.
මේ කාලය වන විට මා බ්ලොග් කරණයට පිවිසි අතරම බොහෝ බ්ලොග් කියවා කමෙන්ට් දාන්න පුරුදු වී සිටියා. ඒසේ කමෙන්ට් හරහා ගොස් හඳුනාගත් තවත් බ්ලොග් එකක් වන්නේ වත් ලියන සොඳුරු සිතයි. කවි, නිසඳැස්, කෙටිකතා ඇතුලත් මෙහි හොඳ නිර්මාණශිලී බවක් දකින්න පුළුවන්. එමෙන්ම එහි රචකයාගේ සිතිවිලි පෙන්වන කැඩපතක් බඳුයි. ලියන්නා තම ජීවිතය තුල ලබන සතුට, දුක ආදී සියල්ල නිර්මාණ තුලත් එලෙසම දකින්න ලැබුනා. එසෙන්ම එහි පළවූ ඇය පිරිමියෙකුගේ චරිතට ආරූඪවී ලියා ඇති කතා මාගේ සිතට හොඳින් දැනුනා. මෙය තවමත් හැකි විටෙක මා කියවන බ්ලොග් එකක්.
මේ කාලයේම මා ආසාවෙන් කියවූ තවත් බ්ලොග් එකක් එකේ වාට්ටුව. හෙද නිළධාරියෙකු තම වෘත්තීය අත්දැකීම් මේ හරහා සයිබරයට එකතු කරන්නේ සිත් ඇදගන්නා වචන විලාශයකින්. එමෙන්ම එහි ඇති හාස්‍යමය රසයත් නොඅඩුව විඳින්න පුළුවන්. අවාසනාවකට දැන් එය ලියවෙන්නේ නෑ.
මේ කාලයේම කියවන්න පටන්ගත් මං ආසම කළ කවි බ්ලොග් එක සිඩ්නි ලියූ විහඟ ගීතයයි. මා බ්ලොග් අවකාශයේ දුටු අති දක්‍ෂම කවියෙක් වූ සිඩ්නිගේ කවි ලිවීම නිසා මටත් යම් ප්‍රමාණයකට කවි ලියන්න ශක්තියක් ලැබුනා. මා අද යම් ආකාරයක කවි ලියනවානම් එයින් කොටසක ගෞරවය සිඩ්නිට දෙන්න මා සූදානම්.
   මේ සමග මා කියවන්න පිවිසෙන්නේ පොඩ්ඩිගේ පොඩිකුමාරිහාමි බ්ලොග් එකයි. සොඳුරුසිත බ්ලොග් අඩවිගේදී හඳුනාගත් පොඩ්ඩිගේ බ්ලොග් එක මා දිගටම කියවන තවත් හොඳම බ්ලොග් එකක්. රචකයාට ආවේණික ශෙලියකින් ලියවෙන මෙහි ඇය විසින් කරන නිර්මාණාත්මක කොටස් වලින් ලිපියට අලුත් පණක් දෙනවා. එමෙන්ම එහි ඇති හාස්‍යමය ස්වභාවයේ නිර්මාණ වලටත් සරල බවටත් මා වැඩියෙන් ප්‍රිය කරනවා. තම මතයේ තරයේ එල්බ සිටීමටත් ඇයි දක්‍ෂයි. වසර දෙකකට ආසන්න කාලයක් තම ජනප්‍රිය බව එකලෙස රැකගෙන ආ බ්ලොග් අඩවියක් ලෙසත් මෙය මා දකිනවා. එයට ලැබෙන 200 ඉක්මවා යන කමෙන්ට් ප්‍රමාණයෙන්ම ඇයගේ හැකියාව පිළිබඳ අදහසක් ලැබෙනවා.
   මීළඟට මගේ මතකයට නැගෙන්නේ ජීවිතේ මල් ලියන සංසාරේ අපි බ්ලොග් එකයි. එකිනෙකට වෙනස් මාතෘකා ඔස්සේ ඉතාම දක්‍ෂ ලෙස වචන හසුරවමින් ලියන මෙම බ්ලොග් කාරිණිය සතු හැකියාව, දැනුම හොඳින් තේරුම් ගන්න මෙහි පෝස්ට් කීපයක් පමණක් කියවීම ප්‍රමාණවත්. කමෙන්ට් නොකළත් මා මෙය නොකඩවාම කියවාගෙන එන අතර ආරම්භයේ සිට අද දක්වාම ගුණාතිමක බව රැකගනිමින් ගාලා යෑම මෙහි දක්නට ලැබෙනවා.
     මා ප්‍රිය කරන සරලම බ්ලොග් එක හා පැටික්කි බ්ලොග් එකයි. සරල භාශාව, පරිසරය සතුන් වැනි මා ප්‍රිය කරන දේ ගැන වැඩියෙන් ලියවීම, කමෙන්ට කරන සැමට ලෙන්ගතු ලෙස දක්වන ප්‍රතිචාර මා එහි දකින විශේෂත්වයයි. එමෙන්ම මෙහි ලියවෙන බොහෝදේ ලියවෙන්නේ පොඩි ළමයෙක් ලියනා ආකාරයටයි. බොහෝ කාලයකින් මෙහි සටහනක් දක්නට නොලැබීම කණගාටුවට හේතුවක්.
      තවත් මා නිතර ආගිය බ්ලොග් එකක් අතීතයෙන් අහුලන මතක. මා එහි සරල කවි කියවන්න තමා වැඩියෙන් ප්‍රිය කලේ. බොහේවිට තමන්ගේ ජීවන අත්දැකීම් ඇසුරින් ලියවුනු මෙම බ්ලොග් එකත් වසා දැමීම ගැන මට ඇත්තේ කණගාටුවක්.
   මා මෝටර් සයිකල් ලෝලියෙක්. මේ නිසාම ආසාවෙන් කියවූ බ්ලොග් එකක් කුශාන් ලියූ සිතැඟි. මා එහි වැඩියෙන් ප්‍රිය කලේ බයික් හා බයික් චාරිකා ගැන ලියවෙන ලිපි වලටයි. එයත් දැන් ලියවෙන්නේ නැති එකක් වෙලා. 
     තවත් මා කියවූ බ්ලොග් එකක් චානක ලියූ මකර රජදහන. තමන්ට හමුවන පින්තූරයක් හෝ තමන් ගන්නා ඡායාරූපයක් ඇසුරින් පෝස්ට් එකක් නිර්මාණය කරන්න චානක දක්‍ෂයෙක්. එමෙන්ම ඒ තුලින් කිසියම් සියුම් උපහාසයක් දෙන්නත් ඔහුට හැකියාව තිබේ. මෙයත් දැන් ලියවෙන්නේ නැති එකක් වෙලා.
    දැන් නිතර ලියවෙන්නේ නැති තවත් මං ප්‍රිය කරන බ්ලොග් එකක් හේමලයා ලියන මංමුලාවූ සිතිවිලි. කවි හා නිසඳැස් පමණක් ලියවෙන මෙහි විශේෂත්වය පද පේලි දෙක තුනක් තුලින් ලොකු කතාවක් කීමයි. ඇතැම් නිසඳැස් එතරම් සරල නොවූවත් පද පේලි කීපය කියවා එහි අරුත මනින්නට යෑම මට සිතට සතුටක් ගේන දෙයක්. මෙය තවම ලියවුන්ත් පෙර මෙන් නිතර ලියවෙන්නේ නෑ. මා දුටු මුල් කාලයේ දිනකට පෝස්ට් එකක් නොවරදවාම ලියවුනත් දැන් ලියවෙන්නේ කලාතුරකින්.
        එදා සිට අද දක්වාම නොනැවතී ගලා එන මා ප්‍රිය කරන තවත් බ්ලොග් එකක් වන්නේ මාරයාගේ හෝරාවයි. මා සයිබරයේ දකින් හොඳම අව්‍යාජ ආත්ම කථනය මාරයාගේ හෝරාවයි. තමන්ගේම ක්‍රමයකට, තමන්ගේ වචනයෙන් ලියවෙන එය ඔහුගේ හැකියාව මැනවින් පෙන්වා දෙනවා. ඔහු දකින ලෝකය, ඔහුට අයිති ලෝකය මාරයාගේ හෝරාවේ අපූරුවට සටහන් තබමින් බොහෝ කාලයක් ඔහු සයිබරයේ රැඳි සිටීම මා අගේ කරනවා.
මේ හා සමානවම සිදුකරන තවත් අව්‍යාජ ආත්ම කථනයක් තිබෙනවා. ඒ සඳරු ලියන හිස් අහසයි. අම්පාරේ සුන්දර මිනිසුන් රැඳි සුන්දර ගමකට අපි රැගෙන යන හිස් අහස සඳරූගේ ජීවිතය, ඔහු මුහුණ දුන් විවිධ දුක සැප මිශ්‍ර අත්දැකීම් සයිබරයට මුසු කරන අපූර්ව ස්ථානයක් මේ හිස් අහස. පසුගිය කාලයේ සම්මාන කීපයක්ම ලැබීමෙන්ම ඔහුගේ හැකියාවන් පිළීබඳ හොඳ තක්සේරුවක් ගන්න පුළුවන්.

අභීත ලියන ටිකක් හිනාවෙන්න හා රංග ලියන මගේ ලෝකය කියවන්න හේතු උනේ ඔවුන් දෙදෙනා දෙදෙනාට මඩ එල්ලකරගනිමින් ලියූ පෝස්ට් නිසාවෙන්. 
බ්ලොග් කාරිණීයගේ දිනපොත බඳු බ්ලොග් එකකි මා නිතර කියවූ සිහින තවලම. මෙහි සරල කවි/ නිසඳැස් කෙටි කතා ලියවෙනවා. එහෙත් ලියාගෙන ආ කෙටි කතාව එක්වරම වෙනත් පැත්තකට යන්නේ බ්ලොග් කාරිනියගේ ජීවිතයේ සිදුවන වෙනස්වීම් සමගයි. මෙහි මා දකිනා ආකාරයට බොහෝ පෝස්ට් ඇත්තේ සෘණාත්මක ආකාරයෙන්. මෙයද මෑතක සිට වසා දමා තිබෙනවා.
          කාලයක්ම මා කියවු තවත් හාස්‍යය කැටිවුන පාසල් සමයේ අත්දැකීම් පෙළ ගැස්වූ බ්ලොග් එකකි බ්ලොග් ගඩොල්. ගම්පහ ප්‍රදේශයේ සුන්දර ගමක ඉපදුන පූසන් පිරිසක් ලියන මෙය තවමත් පුරුදු ලෙසින්ම ගලා යනවා. මෙය කණ්ඩායමක් එක්වී ලියන බ්ලොග් එකක් වුවද ලියන කෙනා කවුද නොකියා එකම ගිණුමකින් පවත්වාගෙන යයි. ගැටවර වියේ කියුම් කෙරුම් පිළිබඳව වැඩිපුර ලියවෙයි.

ඉහතින් සඳහන් කළේ මා කියවූ හා දැනටත් කියවන පරණ එනම් මගේ බ්ලොග් ආගමනයා හා සමගාමී හෝ ඊටත් පෙර සිට පැවති මා නිතර ආගිය බ්ලොග් කීපයක් ගැනයි. මෑතකදී පැමිණි හා මා මෑතක සිට කියවන්න ගත් බ්ලොග් ගණනාවක් වෙනවා. මේවායින් මා නිතර යන එන තැන් ගැනත් කීවොත් හොඳයි කියා සිතුවා ලිපිය අවසන් කරන්න කලින්.
අධ්‍යාපනික වටිනාකමත්, ලිවීමේ ශෛල්‍යයත් නිසා මා කියවන්න ගත් හොඳ බ්ලොග් එකක් වෙද ගෙදර. අපේ දේශිය වෛද්‍ය ශාස්ත්‍රය, එහි එදා හා අද මෙන්ම හොඳ අධ්‍යාපනික අපදෙස් එහි ඇතුලත්. මෑත කාලයේ මෙම බ්ලොග් කරුවා ලියන්න ආරම්භ කළ ලංකා ඉතිහාසය පිළිබඳ ලිපි පෙළත් හොඳින් කරුණු හදාරා ලියන බවට පැහැදිලිව මා දකිනවා. මා මෙහි දකින අඩුපාඩුව නම් හිටි වනම ටික කාලයක් කිසිවක් නොලියා සිටීමයි.
             සොඳුරු සුව අසපුව යනු එදිනෙදා ජිවිතයේ අප මුහුණ දෙන විවිධ රෝග හා ඒවා වලක්වා ගැනීම, රෝග මුලින් හඳුනා ගැනීම, රෝග වලට කරනා විවිධ ප්‍රතිකාර පිළිබඳව සිතට දැනෙන ලෙස කතාබහ කරනා බ්ලොග් අඩවියකි. මෙහි පෝස්ට ආරම්භ වන්නේ එදිනෙදා සිදුවීමක් අනුසාරයෙනි. ඉන්පසුව කතාවක් ලෙසින් පෝස්ට් එක ගලායන අතර රෝගය හා සම්බන්ධ දේ ක්‍රමාණුකූලව විස්තර කරයි. බ්ලොග් කරුවා සෞඛ්‍ය ක්‍ෂේත්‍රෙය් ප්‍රවීණයෙකු බව ලියන ආකරයෙන්ම පැහැදිළි වේ. එමෙන්ම ඔහු හොඳින් අධ්‍යයනය කර පෝස්ට් ලියනා බවක් ලිපි තුලින් පෙනේ. 
සයිබරයේ කුඩාම බ්ලොග් තරු දෙකක් ලියන පුංචි හිතට දැනෙන දේ දිනිති හා මිතිලි දියණියන් දෙදෙනා ලියනා බ්ලොග් එක මා වැඩියෙන්ම ප්‍රිය කරන ළමා බ්ලොග් කරණයයි. තමන් දකින දේ තමා ප්‍රියකරන දේ දක්ෂ ලෙසින් බ්ලොග් එකක් තුලින් ලියනා මේ දෙදෙනා මා දකින ආකාරයට අනාගතයේ තම පියා මෙන් සයිබර් අවකාශයට වටිනා දැනුම එක් කරනු ඇත.
මෑතක සිට මා ගොඩක් ආසාවෙන් කියවන තවත් බ්ලොග් එකකි අස්වැන්න. මේම බ්ලොග් කරුවා ගීත සංගීතය වැනි විශයන් ගැන හොඳ දැනුමක් ඇති ලේඛකයෙකි. කාලයක සිට ලේඛන කටයුතු වල නිරත වෙන ඔහු දක්ෂ ගීපද රචකයෙක්ද වේ. ඔහු සංගීත කලාව හා එයට සම්බන්ධ ශිල්පීන් ගැන තමා සතු දැනුම, තමාගේ ආකල්ප නොමසුරුව බෙදා දෙයි. මීට අමතරව පොත පත පිළිබඳවද ඔහුගේ දැනුම අතිමහත්. ඒ සියල්ල කැටි කරගත් අස්වැන්න මා ප්‍රිය කරන මෑත කාලයේ ඇරඹුන බ්ලොග් අඩවියකි.

මේ මා නිතර යන එන නැතිනම් පෙර නිතර ඇවිද්ද බ්ලොග් කීපයක් ගැන මට නිදහසේ සිටිනා හෝරාවක සිතට නැගුන අදහස් කැටි කර දැක්වීමකි. තවත් අයෙකු මෙය වෙනස් ආකාරයකින් දකින්නට පුළුවන්. ඔබේ අදහසත් කැමතිනම් කෙටියෙන් සටහන් කර යන්න.
සුභ දවසක්....!!!
මට දැන් කෝපි කෝප්පයක් බොන්න වේලාව හොඳයි වගේ. කෝපි එකක් බොමුද?
(පින්තූර අන්තර්ජාලයෙනි)

42 comments:

  1. ඇත්ත තමයි ඔය කියන සමහර බ්ලොග් කියවන්න ආස විදියට තිබුණත් දැන් ලියවෙන්නෙ නැති එකනං පාඩුයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා ප්‍රසන්න. ඒත් දැන් මගේ අතිනුත් ලියවෙනවා අඩුයිනේ. ආයෙම ලියන්න ඕනි කියා පටන් ගන්නවා. ටික දවසයි ලියන්නේ ආයෙම අමතකයි.

      Delete
  2. බයික් කිව්වම මාත් දුවං ගියා.. මේ අපේ වැද්දා බෝයිනේ...:D

    ලිපියයි ලින්ක් ටිකයි වටිනවා.. එයිටත් වඩා මට වටින්නේ උඹ ඒ ඒ බ්ලොග් දකින ආකාරය ගැන ලියලා තියෙන ටික..හුඟාක් දුරට මගේ කියැවීමට සමානයි...

    ආ උඹට තව එක බ්ලොග් එකක් අමතක වෙලා... එකේ නම "උගේ මතක" ඌ ඔය කොම්පීටර්ලා ගැන වැඩි පුර ලියන එකෙක්.. ඌ ලැප් එකක් ගලෝන හැටියි ඒකක් ගැන ලියන කනුයි මං තාම බලං ඉන්නවා..දැන් ටික කාලෙක ඉඳන්.. ටික කලක් කිව්වට වැඩි කලක් නැහැ දැන් අවුරුද්දක දෙහෙක ඉඳන්.. ඌ තාමනං ඒ ගැන ලිව්වේ නැහැ... මට හිතෙන් "උගේ මතක" ඌට අමතක වෙලාද කොහේද...

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ අර කාලයක් සර්පයො ගැන ලියපු එකා වෙන්න ඇති.

      Delete
    2. දැන් උගේ බ්ලොග් එකේ නම "උගේ අමතක" ලු...:DDD
      ඌට හිතුනොත් ආයෙම ලියයි. උගේ ලැපටත් කෙලවෙලාලු මේ දවස්වල...

      Delete
  3. මෙතන තියෙන ගොඩක් බ්ලොග් මං කියවනවා. හා පැටික්කි කියවන්න යන්න හැදුවට ඉන්වයිටීස් ඔන්ලි කියනවා.

    ReplyDelete
    Replies
    1. හා පැටික්කිට අපිව අමතක වෙලා වගෙයි.

      Delete
    2. සමාවෙන්න අපහසුවක් උනා නම්. හා පැටික්කි ගෙදර දමලා ගිහිල්ලා.......... ආයේ නොඑන්නම.

      Delete
    3. ඒකනේ. හා පැටික්කි ආයෙම ලියනවානම් අපිත් කැමතියි කියවන්න. හා පැටික්කිට විරුද්ධව පෙත්සමක් ලියන්න තමා වෙන්නේ ආයෙම ලියන්න කියා....:D

      Delete
  4. ඇති යන්තම් බ්ලොග් එකක් තියන බව මතක් උනා .

    ReplyDelete
    Replies
    1. යන්තම් මතක් වෙලා නේද...:D

      Delete
  5. මමත් ඔය කියන බ්ලොග් ටික තමයි ආසාවෙන්ම කියවන්නෙ.. තව අළුතින් ආපු බ්ලොග් කීපයකුත් කියවනවා..

    ReplyDelete
    Replies
    1. අලුතින් ආව හොඳ බ්ලොග් ගොඩක් තියනවා අයියේ. සමහර ඒවා මෙතන ඇති ඇතැම් ඒවාට වඩා හොඳ තත්වයේ. එහෙත් මං කීවේ මං උපරිමයෙන් බ්ලොග් කියවන කාලේ හිතට වැදුන ඒවා හා ළඟදී කියවපු කීපයක් පමණයි. වෙනී අයියාගේ එක, බීට්ල්ගේ එක හොඳටම හොඳ තව බ්ලොග්. ඒත් මං ඒවාට යනවා අඩුයි. හේතුවක් කියන්නත් බෑ.

      Delete
  6. මමත් නිතරම යන එන බ්ලොග් ගැන අයියා අයියගේ අදහස් ලියලා.. සිතැඟි නම් බැළුවේ අද..

    ReplyDelete
    Replies
    1. තව හොඳ බ්ලොග් තියනවා මල්ලි. මං මේ ටිකක් ගැනයි කීවේ...

      Delete
  7. ඉතාමත් ස්තුතියි ඔබ මා ගැනත් මතක් කළාට. මම මේ දිනවල ඉතාමත් අවිවේකී. එම නිසා ටික දිනක් ලියන්න වෙන්නේ නැතිවෙයි. නමුත් ලියාගෙන යන පෝස්ට් කීපයක්ම මා සතුව තිබෙනවා. ඒවා අවසන් වන පිළිවෙළ අනුව පළ කරන්නම්.
    ඔබ වැනි මිතුරන් වෙනුවෙන් කෙසේ හෝ ලියනවා. ජය!!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ රැකියාව සමග එන අවිවේකී බව ගැන නම් හොඳින්ම දන්නවා. එවන් පසුබිමක හිඳ මෙසේ ලියන එක ගැනත් ගොඩක් සතුටුයි. හැකි වේලාවට ලියන්න. අපි කියවනවා.

      Delete
  8. ඔන්න අද 'ඔබේ මතකයට' එන්ට පරක්කු උනා. මේ විදියට හරි මතකය අලුත් කල එක නම් ලොකු දෙයක්. ප්‍රියන්තගේ බ්ලොග් එක ගැන සඳහන් කරලා නෑනේ. හරිම නිරවුල්, ඒ වගේම නමටම ඔබින ප්‍රියජනක දේවල් ලියන, ඒ වගේම නොදන්නා දේවල් කියලා දෙන 'මගේ මතකයට' මම ගොඩක් කැමතී. එහි මුකුත් ලියවෙන්නේ නැති එක ගැන නම් කැමති නෑ.

    ආයම දිගට ලියන්ට. අපි ඇවිත් කියවන්නම්....

    පොඩ්ඩිවත් මතක් කලාට ස්තූතියි. //තම මතයේ තරයේ එල්බ සිටීමටත් ඇයි දක්‍ෂයි// හී හී....

    ReplyDelete
    Replies
    1. හැමදාමත් මගේ මතකයට එන කෙනානේ පොඩ්ඩි. ටිකක් පරක්කු උනාට කිසිම අමනාපයක් නෑ. ආව එකයි මට නම් වැදගත්. ලියන්න තමා හිතන් ඉන්නේ. මගේ මතකය අමතක වෙයිද මන්දා. එහෙම උනොත් පොඩ්ඩි ඇවිත් මතක් කරනවා නේ. එහෙම කරනවානම් බය වෙන්ට දෙයක් නෑ.
      ඔව් ඔව් ඒ පොඩ්ඩිට ආවේණික එක ගතිගුණයක් තමා....

      Delete
  9. හප්පා මේ මැයි මාසෙට පස්සේ නේද ලියල තියෙන්නේ..

    හරි බිසී වෙච්චි කාරණේ තේරුණා!

    බුකියෙත් දකින්න හම්බ වුණේ නෑනෙව වැඩියෙ?
    එහෙමනම් ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියත් ගොඩ කාලෙකින් දැක්කේ. සතුටුයි අයියාත් ආව එක ගැනයි, නැවත සයිබරයේ පේන්න ඉන්න එක ගැනයි.

      Delete
  10. කාලෙකට පස්සේ ඔන්න අපිත් මේ පැත්තේ ආවා :)

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත. කාලෙකින් නේ මේ පැත්තේ සටහනක් ලියවුනේ. ස්තූතියි.....

      Delete
  11. මෙතන තියෙන ගොඩක් බ්ලොග් කියවනවා... හා පැටික්කිගේ බ්ලොග් එක නම් කියවන්ඩ ලැබිලා නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ. හාපැටික්කි අඩුම තරමේ බ්ලොග් එක ඉතිරි කරන්න තිබුනානේ පුළුවන් වෙලාවක කියවන්න හරි අලුත් අයටත්.

      Delete
  12. මා මේ බ්ලොගයේ සර්ප කතා සහ හාඩ්වෙයා කතා නං කියෙවුවේ නැත. සරපයෝ මට හිරිකිතයි. හාඩ්වෙයා මට අදාල නැත.

    මං කැමති අනෙකුත් ෂෙනාරවල (Genre) කතන්දරවලටයි.

    ReplyDelete
    Replies
    1. සර්ප කතා නම් ආයේ ලියවෙන්නේ නෑ. හාඩ්වෙයාර් නම් ඉදිරියේදීත් ලියවෙයි. ඔබේ ක්‍රමය ගොඩක්ම හරි. තමන්ට අදාළ, එහෙම නැතිනම් තමන් කැමති දේ තෝරාගෙන කියවීමයි කරන්න පුළුවන්. මේ බ්ලොග් අවකාශයේ ඇති අති මහත් බ්ලොග් සෑම එකක්ම අපිට කියවන්න බෑනේ.
      ස්තූතියි කතන්දර.

      Delete
  13. ඉස්සර මම බ්ලොග් කියෙව්වේ අනෝනිමස් කෙනෙක් විදියට. මේකේ සඳහන් කරලා තියෙන හුඟාක් බ්ලොග් කියෙව්වා. පාඩුවේ. කොමෙන්ට් නොදා. ඊට පස්සේ ලියන්න ආවා. දැන් ඉස්සර වගේම බ්ලොග් කියවනවා වගේ කොමෙන්ට් කරන්නත් පුළුවන්.

    ඒ වගේම දැන් සමහර බ්ලොග් බලන්න බෑ. එක එක කාලෙට ආව එක එක ප්‍රශ්ණ නිසා වැහිලා ගිය බ්ලොග් අඩ්වි ගැන හිතේ තියෙන්නෙ දුකක්

    ReplyDelete
    Replies
    1. ලිහිණිව මං දැක්කේ අදයි. මං හිතන්නේ මං සයිබරයේ ගැවසෙනවා අඩු නිසාම වෙන්න ඇති. අවම වශයෙන් ලියන එක නැවැත්වූ අය ඒවා ඉතිරි කරනවානම් ගොඩක් හොඳයි කියා මා හිතනවා. ස්තූතියි.

      Delete
  14. මගේ මතක ලියන ප්‍රියන්තට දවස ගානෙ වුණත් පොස්ට් දාන්න පුළුවන් හිමිදිරියෙ දකින හන්තාන කදුවැටිය, නුවර වැව, වැවට ඉහලින් පේන දළදා මැදුර, බෝගම්බර සිපිරි ගෙදර, හැමදාමත් එකවගේ ගැලුවත් හැම මොහොතෙම වෙනස් වෙවී ගලන මහවැලිය. ආදරය ,කඳුලු සුසුම් හංගපු මල්වත්ත ලියන්න නම් ඕනෙ තරම් මාතෘකා...

    ආයෙත් ලියන එක නම් සතුටක්..

    ආ... අන්තිමටම මා ගැනත් ලියලා... හදවතින්ම සතුටුවෙනවා..ඒවගේ ස්තූතියි. මේ ක්ෂේත්‍රයේ විශිෂ්ඨයකුගෙන් ඇගයුමක් ලැබීම තරම් සතුටක් තනත් තියෙනවද

    ReplyDelete
    Replies
    1. දයානන්ද අයියා මතුකළ පැත්ත ගැනනම් මා මීට කලින් ලියා නෑ. හොඳ අදහසක්. මා උත්සාහ කර බලන්නම් ඒ ගැනත් ලියන්න.
      ස්තුතියි ඔබටත්....

      Delete
  15. මම නම් මේ ආවමයි.. :) මෙතන තියෙන බ්ලොග් ගොඩාක් මන් කියවලා නැ.. ගිහින් බලන්න ඕනේ.. ජය වේවා සහෝ..

    ReplyDelete
    Replies
    1. මේ තවත් මට මගහැරුණු බ්ලොග් කරුවෙක්. සතුටුයි මේ පැත්තට ආ එක ගැන. ඔබත් මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  16. ස්තුතියි සොඳුරු සුව අසපුව ගැන ඔබේ අගය කිරීමට , ඊටත් වඩා පොඩ්ඩන්ගේ සටහන අගය කළාට , ඒ දෙන්නට මේ පෝස්ට් එක බලලා හරිම සතුටුයි , මගෙත් , මගේ පැටවුන්ගේත් තුති පිළිගන්න

    ReplyDelete
    Replies
    1. සොඳුරු සුව අසපුවෙන් මා බොහෝ දැනුමක් ලබා ගන්නවා. ඇත්තෙන්ම එය තමා මා දකින හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය.
      එමෙන්ම කුඩා කාලයේ අත්දැකීම් ලියන බ්ලොග් බොහෝ ඇතත් ඇත්තෙන්ම කුඩා කාලයේ හිඳිමින් බ්ලොග් ලියන්නේ ඔබේ පැටවුන් දෙදෙනායි. ඒ නිසාත් එය ලියවෙන ආකාරයටත් මා කැමතියි.

      Delete
  17. වැඩ අධිකම වෙලාවක ඔබ ලිපිය පල කල නිසා හරියට කමෙන්ටුවක් දාන්න බැරි උනා ..
    …ඔබ සදහන් කර ඇති බොහෝ බ්ලොග්ස් මාත් කියවන ඒවා . බ්ලොග්ස් කියවන එකනම් දැන් ගොඩාක් සීමා කරල තියෙන්නෙ . සමහ බ්ලොග් කරුවන්නම් මුල සිටම තමන්ගෙ ස්ථානය රැකගෙන දිගටම ලියනවා . කලාතුරකින් ලිව්වත් හොද ලිපියක් පලකරනවා . සමහර බ්ලොග්ස්නම් මදක් පසුබෑමකට ලක් වෙලා කියා සිතෙනවා .

    …දිනිති මිතිලි ලියන කුඩා දරු දෙදෙනා ගැනනම් ඉතාමත් සතුටුයි . පරිසරයට , සොභා දහමට ඉතාමත් ආදරය කරන දරු දෙදෙනෙක් . මාත් හිතන්නේ ඔවුන් කවදා හෝ සෙමින් සෙමින් ඔවුන්ගේ ඉලක්කය කරා යාවි .

    …දයානන්දයන් කියා ඇති ආකාරයට ඔබටත් ඕන තරම් කරුණු ඇති ලියනවනම් ඔබ ඉන්න පරිසරයෙන්ම ගැතහැකි .

    ReplyDelete
    Replies
    1. බලමු. දයා අයියා කීදේ ගැනත් අවධානය යොමු කරන්නම්. මගේත් බ්ලොග් කියවීම ගොඩක් අඩුවෙලා. ගොඩක් වෙලාවට රේඩියෝවේ වැඩත් අධ්‍යාපන කටයුතුත් එයට හේතු වෙන්න ඇති.
      ඔබ කියනවා මෙන් කලාතුරකින් ලීවත් හොඳ ලිපියක් ලියවෙනවානම් ඒ බ්ලොග් බලන්න තමා මාත් කැමති.

      Delete
  18. හේමලයා ගේ බ්ලොගයට ගොඩ වුණේ ඔබේ පිහිටෙන්.. බොහොම ස්තුතියි ඒකට.. තවත් සමහරුන්ගේ බ්ලොග් වලට අපට යන්ට දෙන්නෙ නෑ.. හ්ම්.. ඒකට කමක් නෑ.. ඔබ ආයෙමත් ලියනවනම් මාත් කැමතියි..

    ReplyDelete
    Replies
    1. අලුතින් කියවන්න පටන් ගන්න කෙනෙකුට හොඳ පොස්ටුවක්. ඉඳලා ඉඳල දාපු පොස්ටුව නරක නෑ. කට්ටියම එක තැනකට ගත්තා ඈ

      මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

      Delete
    2. @ චතුර
      ඔව් තවත් බ්ලොග් රැසක් දැන් වසා දාලා. හේමලයා නම් හැකි වෙලාවට ලියනා කෙනෙක්.

      Delete
    3. @ ලොකු ජෝන්
      මම කීවේ මම බ්ලොග් කියවන්න ආ ගමනයි. එය තව කෙනෙකුට අරඹන්න සුදුසුයි කියා ඔබ කියනවානම් මටත් සතුටුයි.
      ආත්තම්මාගේ පෙට්ටගම කීවාට ලින්ක් එක තියෙන්නේ වෙන ඉසවුවකට නේද....

      Delete
  19. කාලෙකින් පෝස්ට් එකක් දමලා. මුලුන්ම ස්තූතියි ඒකට. මම කවදාවත් නොගිය බ්ලොග් සටහන් ටිකක් ගැනත් දැනගත්තා. ඒ ගැනත් තුති. මෙය කියෙව්වාම ඒවත් බලන්න යනවා කියලා හිතුනා ප්‍රියන්ත මල්ලි.

    ReplyDelete