Friday, May 25, 2012

ආයෙත් එහෙම වෙනවානම්......


හන්තාන කඳු වැටිය මතින් රන් කිරණ විහිදුවමින් හිරු නැගී එන එක අරුමයක් නම් නොවේ. මීදුම් නැති දවසට පහල ඇති පොල් ගස් වල දළු අතු මතට තමා මුලින්ම හිරු එළිය වැටෙන්නේ. මං ගෙදර ඉන්න දවසක නම් ඉර පායන්නත් කලින් පටන් ගන්නා මේ දසුන දෙස සෑහෙන වෙලාවක් බලන් ඉන්න එක පුරුද්දක්. ටික වේලාවකින් මිදුලටත් ඉර එළිය වැටෙනවා. මේ වෙලාව තමා දවසේ මං ආසම වේලාව. මුලු පරිසරයම පුදුමාකාර සුන්දරත්වයකින් පිරී ඉතිරී යනවා. ඒත් සවස රාස්සිගේ අවුව හන්තානෙන් මිදී ගොම්මන් කලුවර මිදුලට එව වෙලාවටනම් ඇති වෙන්නේ කියා ගන්න බැරි දුකක්.

නිවාඩු දවස් වලට වහිනවාට මං එච්චරම ආස නෑ. ඒත් වැස්සේ තෙමි තෙමී කඩදාසි ඔරු යැව්වේ නැති ළමයෙක් මේ රටෙන් හොයන්න කොච්චර අමාරුද. අම්මා කොච්චර බැන්නත් ඒ වැඩේ මම නෙවෙයි නැවැත්වූවේ. ඒත් ඒ දවස්වල වැස්සට තෙමුනාම හෙම්බිරිස්සාවක් උණක් නම් වරදින්නේම නෑ. 

මං පෙර පාසැල් ගිය කාලේ මට ටිකක් මතකයි. ඒවායින් හොඳටම මතක පෙර පාසලේ මිදුලේ කෝටු කෑලි වලින් චිත්‍ර ඇන්ද හැටි. මං වැඩියෙන්ම අඳින්න ආස වාහන. ඒ මම පිරිමි ළමයෙක් නිසා වෙන්න ඇති. දවසක් අඳින්න උනේ පෙරපාසල ඉදිරියේ විදුලි රැහැනක එල්ලී ජීවිතය අවසන් කල වවුලෙකුගේ චිත්‍රයක්. මට අදවගේ මතකයි මං තමා ඒ චිත්‍රය ලස්සනටම ඇන්දේ. පාසලේදිත් සාමාන්‍යපෙළට චිත්‍ර කලාව හදාරා ඇතත් මම කිසි දිනක චිත්‍ර තරඟයකට ඉදිරිපත් වෙලා නම් නෑ. 

පාසැල් කාලේ සිදුවීම උනත් ගොඩක් දේ මතකයි. එකක් මතක් කළ විට එක පෙළට සිදුවීම් ගණනාවක් සිහියට එනවා. දවසක් පාසල් නිමවී ගෙදර එන විට පූස් පැටියෙක් අරන් ආවා. ඌ රෑ එළිවෙනතුරුම නොනවත්වාම කෑ ගැසුවා. එක දවසින් පූසා එපාම වුවත් මට කරන්න දෙයක් තිබුනේ නෑ. එහෙත් පසු දින මා පාසල් ගොස් එනවිට අසල ගෙදරක ගැහැණු කෙනෙක් පූසා දැකලා අම්මාගෙන් ඉල්ලන් ගිහින්. කොපමණ උත්සාහ කළත් ඒ පූස් පැටියාගේ පාට නම් මට මතකයට ගන්න කිසිසේත්ම බැහැ. 

පොඩිකාලේ ඉඳන්ම මං ගොඩක් ආස කළ දෙයක් තමා වැස්සකට පසුව හොඳින් ඉරපායා ඇති උදෑසනක යන්තම් සුළඟක් ඇතිනම් තනියම ඇවිදින එක. පාරේ ඇති ගල් කැට වලට පයින් ගසමින්, සිංදුවක් මුමුණමින්, වරෙක උඩ පනිමින් ඇවිදින්න මම හැමදාමත් ගොඩක් ආසයි.

පොඩි කාලේ කළ තවත් වැඩක් තමා බත්කූරන් අල්ලාගෙන උන්ගේ තටු සතරම එකට සිටිනාසේ අල්ලාගෙන කුඩා ගල් කැටයක් අසලට ලං කළ විට ඌ එය අල්ලා ගන්නවා. ඉන්පසු එය ඔසවාගෙන ගොස් වෙන තැනකට දානවා. දැන් නම් ඒ ගැන ඇති වන්නේ ලොකු කණගාටුවක්. 

ගේ පසුපස ඇල්ලේ කුඩා පාරවල් කපා සෙල්ලම් වාහන පැදවූ හැටි තාමත් මතකයි. පස් කපා පාරවල් හදන්න කුඩා බුල්ඩෝසරයක් හා කපන පස් පසෙකට ගෙනයන්න කුඩා ලොරියක් කැඩුනු සෙල්ලම් වාහන වලින් ගත් කොටස් වලින් මම සාදා ගත්තා. ත්‍රස්තවාදී කලබල ඒකාලයේත් නිතරම පැවතුනා. ත්‍රස්තවාදීන් වාහන බෝම්බ වලින් විනාශ කළ දර්ශන රූපවාහිනියෙන් නිතර දකිනවා. දවසක් ඒක බලන්නම මගේ සෙල්ලම් කාර් එකක් රතිඤ්ඤයක් දමා පුපුරවා හැරියා. එහෙත් උනේ එය උඩ ගොස් නැවත බිම වැටුන එක විතරයි. 

මම ගොඩක් ආසාවෙන් කල දෙයක් තමා පාසල් යන එක. කිසිදාක පාසල් නොගොස් බොරු කියා ගෙදර ඉඳලා නෑ. සමහර විට අසනීපයෙන් පවා පාසල් ගියා. පාසලේ අද මට සයිබරයේ ඉන්නවා වගේම හොඳ යාළුවන් පිරිසකුත් හිටියා.

උඩ ඉඳන් පහලටම කියවන් ආවා නේද. කිසිම පිළිවෙළක් නැතිව ඔහේ ලියවුන මතකයන් කීපයක ආවර්ජනයක් පමණයි නේද. අපේ ජීවිතත් එහෙම තමා. අපි කොයි තරම් සැලසුම් කළත් එදිනෙදා සිදුවීම් වෙන්නේ අපට අවශ්‍ය ආකාරයට නොවේ. ඒවායින් අපට අවශ්‍ය දේ වෙන්කරගෙන අනවශ්‍ය දේ ඉවත් කිරීම තමා අප ජීවිත කාලය පුරාම කරන්නේ.

ආයෙම මුලින් කීව දේවල් මතක් කරනවානම් ඒ කළ හැමදේම වගේ දැන් කරන්න බෑ. කරන්න පුළුවන් උනත් කරන්න හිතෙන්නේම නෑ. එහෙම කලොත් දකින අය කියයි අන්න අරකා පොඩි එකා වෙන්න යනවා කියලා. ඇත්තත් ඒකනේ. අපි පාසල් අධ්‍යාපනය අවසන් කරලා සමාජයට එන්නේ වැඩිහිටියන් වශයෙන්. අපි කොතරම් පොඩි එකා වගේ පෙන්වුවත් සමාජය අප දෙස බලන්නේ නෑ එහෙම. ඒ කියන්නේ මම දැන් පොඩි එකෙක් නෙවෙයි.

අදට අවුරුදු දෙකක් සපිරෙන මගේ බ්ලොග් එකත් දැන් පොඩි ළමයෙක් කියන්න බෑ. ඒත් ඉතින් මෙතනදී නම් මට කැමති විධියට ලියන්න පුළුවන්. මට විතරක් නෙවෙයි ඕනිම කෙනෙක්ට බ්ලොග් කලාවේදී එහෙමයි. ඒකනේ මේවායේ කිසිම තේරුමක් නැති අමුතුම වචන වලින් පවා පෝස්ට් ලියවෙන්නේ. මොනවා උනත් පටන් ගත් වැඩේ මෙච්චර දුරට ඇදන්න එන්න පුළුවන් උන එක ගැන අවංක සතුටක් දැනෙනවා. ඒ පසුපස නම් සඳහන් නොකළත් ගොඩක් අය ඉන්නවා. ඒ සැම දෙනාටම මගේ ස්තූතිය.....
තවත් සටහනකින් හමුවෙමු. සුභ දවසක්...!!!!

30 comments:

  1. ප්‍රියන්තට අවුරුදු දෙකට ඔන්න පොඩ්ඩිගෙන් සුබ පැතුම්. “මගේ මතකය” නමට ගැලපෙන්ටම අද පෝස්ට් එකක් දාලා තියනවා. අර වාහනයක් පුපුරුවා හරින්ට තැත් කරපු දර්ශනය මට මැවිලා පේනවා. පාරේ ගල් කැටවලට පයින් ගසමින්, ගී ගයමින් එන දර්ශනයත් ඒ වගේමයි. හරිම ලයාන්විතයි.

    කතාව පටන් ගෙන තියන විදියත් ලස්සනයි. හරියට ජීවිතයක් පටන්ගෙන, අවසාන වෙන හැටි කියනවා වගේ. තමන්ට පොඩි ළමයෙක් මෙන් හැසිරෙන්ට ඕනි නම් අනෙක් අය කියන දේවල් අහන්ට යන්ට එපා. පොඩි ළමයෙක් වගේ හැසිරෙන්ට. දැන් උනත්, ඔය උඩ පනිමින් ගී ගයන එක කල හැකිනේ. :)

    සොඳුරු සිතිවිලි රැසක්, ඔබේ මතකයත් එක්කම අපේ මතකයක රඳවන අපූරු ලියවිල්ලක් ප්‍රියන්ත. ස්තූතියි ඔබේ මතකය අප හා බෙදා හදා ගන්නවට.

    ReplyDelete
    Replies
    1. හැමදාමත් මගේ මතකයට ඇවිත්, මාව දිරිමත් කරනවාට, මේ බ්ලොග් සටහන මේ තරම් දුරට ඇදන් යන්න ශක්තියක් උනාට, බ්ලොග් ලෝකයේ දැක්වූ සුන්දර මිතුදමට පොඩ්ඩිටත් ගොඩක් ස්තූතියි...

      Delete
  2. අවුරුදු දෙකට සුබ පැතුම් ප්‍රියන්ත. දිගටම ලියන්න හැකියාව ලැබේවා !

    ඔයා කියල තියෙනව වගේ වාහනවල චිත්‍ර අඳින එකනං අපේ පුතත් නිතරම කරන එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. හැමදාමත් ඇවිත් මේ දක්වන සහයෝගයට ප්‍රසන්නටත් මගේ අවංක ස්තූතිය....

      Delete
  3. මගෙත් සුබ පැතුම් ....ඒ වගේම අපිවත් එක්කර ගෙන සුන්දර අතීතයට එක් කරගෙන ගියාට බොහොම පිං ....

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම සුන්දර අතීතයක් තියනවා නේද. ඔබටත් ගොඩක් ස්තූතියි...

      Delete
  4. ඔබේ අතීතයත් එක්ක මගේ අතීතයට රැගෙන ගියා කියල සිතුනා .
    …හැමදාමත් කියනව වගේ අපි වැඩිහරියක් ජීවත් වෙන්නේ අතීතයේමයි .
    …ඉතින් අවුරුදු දෙකක් ගෙවීගිහින් . බ්ලොග් එක පටන් ගත්ත කාලේට වඩා දැන් ඔබ අත්දැකීම් එක්ක පරිණත වෙලා ඇති . ඒ අත්දැකීම් , ඔබේ දැනුම අපත් සමග බෙදා ගන්නවාට අනේක වාරයක් ස්තූතියි .
    බ්ලොග් අවකාශයේ දිගු කලක් රැදී සිටීමට ශක්තිය ලැබේවා !..

    ReplyDelete
    Replies
    1. තනියම බ්ලොග් එකක් ලියන් යද්දි ඇතැම් විට හිත් රිදීම් අපහසුතා ඇතිවෙනවා. එවන් අවස්ථාවල මට දිරිදුන් කෙනෙක් ගිම්. ඔබටත් ගොඩක් ස්තූතියි මගේ මතකයට පැමිණ දක්වන සහායට.....

      Delete
  5. හ්ම්ම්...
    හිටහං බලන්න කොනකින් අල්ලගන්න...

    උඹ රවාව ආස්සරේ කරනවා වැඩියි ප්‍රියා...අපිත් ඌව ආස්සරේ කරනවා තමා..ඒත් ලෙඩේ බෝ කරගන්නේ නැහැ..:D

    ඔක්කෝම හරි උඹට එකක් අමතක වෙලා අද.. කෝ මේකේ බයික් එක ගැන පුංචිම හෝ සඳහනක් නැහැනේ...(ඒකට තිතුත් නැහැ ඩීත් නැහැ)

    උඹ ලිව්ව හැටියටම තමා අපිත් කමෙන්ට් කරන්න ඕන...දැන් මදෑ...

    -----------------------

    සුභ පැතුම් ප්‍රියෝ... අනේ උඹ ලැප් ගැන ලියන්නේ අවුරුදු 4 පිරුණමද..?

    ReplyDelete
    Replies
    1. ඇයි බං සර්පයො ගැන.

      Delete
    2. ඔය කීවේ ඇවිත් කතාවක්...:D
      හිටින් ටිකක් කාලයක්ම හාඩ්වෙයාර් පාඩම ලියන්නේ නැතිවනේ හිටියේ. දැන් ආයෙම ලියන නිසා ඒකත් ඉක්මනින් ලියවෙයි.
      මාරයාටත් ස්තූතියි ...

      Delete
  6. සුභපැතුම් සර්ප්‍රියා අයියේ.....!!!අපේ දැනුමට තව ගොඩක් පොස්ට් ලියන්න ලැබෙන්න කියල පතනවා
    ජිවිතේ අන්තිමට බැලුවම ඉතුරු වෙන්නේ මතකයන් ගොඩක් වගේම අත්දැකීම් ගොදක් විතරමයි නේද....

    ReplyDelete
    Replies
    1. අපි කරන හැමදේම ප්‍රථිපල අපිත් එක්ක තියනවා නංගි. ඒවා ඉතින් අත්දැකීම් තමා.
      ස්තූතියි මේපැත්තට ඇවිත් කියවා දිරිමත් කිරනවාට....

      Delete
  7. අවුරුදු 2ක් තිස්සේ ලියන එකත් ලේසි වැඩක් නෙවෙයිනේ...

    තව තවත් අලුත් සිතුවිලි පහල වේවා!!!

    ආපහු පොඩිකාලෙ ගැන මතකයන් අලුත් කලාට ස්තූතියි.

    සුභ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ලියන එකත් ලේසි නෑ තමා.
      බොහෝම ස්තූතියි සුභ පැතුම් වලට හා දක්වන සහායට.

      Delete
  8. සුප පැතුම් ප්‍රියා භයියා... මං හිතන්නෙ බ්ලොග් ලෝකෙට ආපු කාලෙම වගේ අපේ පැත්තෙත් ආවා නේද ප්‍රියා භයියා......ඒ කාලේ ප්‍රොෆයිල් පින්තුරෙට තිබුනේ සුදු ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න පොටෝ එකක්....

    ඔන්න මමත් අතීතය ටිකක් ආවර්ජනය කලා.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ, හැමදාම එකම ඇඳුම අඳින්න එපා කියලා අම්මා කීවා. ඒනිසා වෙන ටීශර්ට් එකක් ඇන්දා. බුද්ධි මට අමතක නෑ. බුද්ධි තමා මට පළවෙනි කමෙන්ට් එක දුන්නේ. ඒ වගේම එදා වගේම අදත් මම කෙහෙල්කොටුව පැත්තේ එනවා. චාලි මුදලාලිගේ පියන් දෙකේ ගේට්ටුවේ කතාව ලීවාද. මට ඒකනම් හොයාගන්න බැරිඋනා.....
      බුද්ධිටත් ගොඩක් ස්තූතියි..

      Delete
  9. මගේ සුභ පැතුම්!

    (සර්පයින්ට නං මං කැමති නෑ.)

    ReplyDelete
    Replies
    1. සර්පයින් ගැන ලියා අවසන්කලා. ආයි ඒ ගැන ලියන්නේ නෑ. අර "පරණ බ්ලොග් එකට" අලුතින් කවි එහෙම එකතු වෙලා නෑ නේද.
      රසිකටත් ගොඩක් ස්තූතියි දක්වන සහායට....

      Delete
  10. Replies
    1. ස්තූතියි අමිල...

      Delete
  11. Replies
    1. ස්තූතියි මිතුර...

      Delete
  12. අපි කස්ටියම ලග ලග බ්ලොග් අවකාශෙට ආපු අය තාමත් අපි රැදිලා ඉන්නවා ඒකනේ වැදගත්,,සුභ පැතුම් ප්‍රියන්ත අයියේ

    ReplyDelete
    Replies
    1. ඒ වගේම බ්ලොග් අවකාශයෙන් ඔබ්බට ගිය ලොකු හිතවත්කමක් ඇති උනා නේද ඩිලාන්.
      ඩිලාන්ටත් ස්තූතියි මට බ්ලොග් ලියන්න දිරියක් වීම ගැන....

      Delete
  13. අවුරුදු දෙකක ගමන් මගට සුභ පැතුම් ප්‍රියන්ත අයියේ..

    ඇත්ත ඉස්සර ගෙවපු ජීවිතේ ගෙවන්න අපි කොයි කවුරුත් ආසයි.. ඒත් දැන් ඒ කාලය ගෙවිලා ඉවරයි කියලා හිතෙද්දි ඇත්තටම දැනෙනේ දුකක්..

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ කාලයේ කළ කී දේවල් සිහිකරලා අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම මේ කාලෙට කරන්න දේවල් තියනවානේ. ඒ නිසා ජීවිතේ පුරාම අපිට ඒ ඒ වයසට කරන්න දේවල් තියේවි...
      මල්ලිටත් ස්තූතියි....

      Delete
  14. අවුරුදු දෙකක ගමනට මගෙනුත් සුබපැතුම් අයියේ !!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නංගි....

      Delete
  15. හැපි බ(ර්)ත් ඩේ "මගේ මතක"....!!

    ReplyDelete