Saturday, June 4, 2011

Computer Hardware පාඩම 05 (ඉතිරි කොටස) .... (Casing-Power supply)

කලින් පාඩම කියවන්න බැරි උනානම් කියවලාම ඉමු නේද?
Casing ගැන එදා පොස්ට් එකෙන් ඉවර කරන්න හිතුවත් පසුව දාන්න තිබූ සටහනක් එම සටහන හා සම්බන්ධ නිසා එහි ඉතිරි කොටස ලෙස ලියන්න හිතුවා. බල සැපයුම (Power Supply) Casing එකේම කොටසක් ලෙසයි පවතින්නේ. එහෙමනම් වැඩි විස්තර නැතිව අද කතා කරමු බල සැපයුම ගැන. 
සාමාන්‍යෙයන් පරිගනක බල සැපයුමක් එකිනෙකට වෙනස් විභව අන්තර ගණනාවක් ලබා දෙනවා. අපි සාමාන්‍යෙයන් බොහෝ උපකරණ වල භාවිතා කරන බල සැපයුම් ලබා දෙන්නේ සෘණ (-) අග්‍රයට සාපේක්‍ෂව කිසියම් නියත විභවයක් වුවත් පරිගනක බල සැපයුම විභවයන් කීපයක්ම පිටතට ලබා දෙනවා.
ඒවා නම් +12V, -12V, +5V, -5V, +3.3V වේ.
මුල් කාලයේ. එනම් 80286, 80386, 80486, 80586 (Pentium I මෙයට ඇතුලත්) හා ඇතැම් P II සඳහා  බල භාවිතා වූ සැපයුම් වූයේ AT නමින් හැඳින්වූ ඒවායි. දැනට ඒවා භාවිතා කරනා පරිගනක හොයන්නත් නැති තරම් නිසා අපි පින්තූරයක් විතරක් බැලුවම ඇති. මේවා ක්‍රියා කරන්නේ කෙලින්ම ප්‍රධාන විදුලිය ලබාදීම හා විසන්ධි කිරීම මත. එහි ස්විච් එක ඇත්තේ එම විදුලි සැපයුම ලබා දීම හා සිඳලීම සඳහා පමණයි.
මින් පසු හමුවන්නේ ATX වර්ගයයි. එහි Versions කීපයක් ඇත. මේවා වෙන් වශයෙන් විස්තර කරන්න පොස්ට් කීපයක්ම ලියන්න වෙන නිසා කෙටියෙන් හඳුනා ගැනීම ආධුනික ඔබට ප්‍රමාණවත් බවයි මගේ හැඟීම.

ATX Version 1.X
මුලින් පැමිණි ATX Version 1.X P iii, Piii, P4 සියල්ලේම භාවිතා වූවා. එහෙත් කාලෙන් කාලෙට වෙනස් වීම් සහිතවයි. 
P iii සඳහා main power connector එක 20 Pin එකක් වූ අතර. ඊට අමතරව peripheral connectors (Hard disk, CD/DVD වැනි දේ සඳහා) හා floppy drive connectors දක්නට ලැබුනා. 
පහත රූපයත් බලන්න.

හොඳින් බලන්න  main power connector එකක්, peripheral connectors 4ක් හා එක් floppy drive connector යක් පමණයි ඇත්තේ. 
ඉන්පසු P4 සඳහා වෙනස්කම් කීපයක් සහිතව බල සැපයුම් නිශ්පාදනය වූවා. මේවායේ මුල් කාලයේ 12VDC අමතර pin 4ක කනෙක්ටරයක් Main board එකට සම්බන්ධ වූවා. ඊට අමතරව auxiliary power connector Main board එකට සම්බන්ධ වෙනවා. එහෙත් පසුව මෙම  auxiliary power connector එක ඉවත් වනවා. එනම් පසුව නිශ්පාදිත ඒවායේ මෙය දක්නට නැත.
මේ එවැන්නක්.

ATX Version 2.X
දැන් භාවිතා වන්නේ මෙම වර්ගයයි. මෙහි  main power connector එක 24 Pin එකක් වේ. මීට අමතරව SATA hard disk සඳහා වෙනම power connectors ඇත. අළුත්ම ඒවායේ 6-pin PCI Express® power connector එකක්ද ඇත. 
මේ රූපයේ ඇති පවර් සප්ලයි එකේ නම් එම 6-pin PCI Express® power connector දක්නට නැත.

නමුත් මේවායේ Pin 24න් 4ක් ඇත්තේ ගලවා වෙන් කල හැකි පරිදිය. ඒනිසා පැරණි 20Pin එකක් වෙනුවෙන් මේම පවර් සප්ලයි එකක් භාවිතා කිරීමට හැකියාව ඇත. මේවායේ Pin සැකසුම හා ඒවායේ විභව අන්තර (Voltages) සහිත සටහනක් පහත රූපවලින් පෙන්වා ඇත.
මෙහි ඡායාරූපයක් බලන්න.

ATX 2.X වලට අයත් Pin 4 වෙනම සවිවී ඇති ආකාරය හොඳින් බැලූවිට දැකියහැක.
අනෙක් connectors හා ඒවායේ Pin සැකසුමත්, ඒවායේ විභව අන්තරත් පහත රූපයෙන් බලන්න.
Serial ATA (SATA) connector එකක pin සැකසුම හා විභවයන් සඳහා පහත රූපය යොදාගන්න.
 PCI Express® power connector එකක pin සැකසුම හා විභවයන් දැක්වෙන රූප සටහන.
මෙම Main board connector වල ඇති එක් එක් pin එකට අදාළ voltages රූපයේ පැහැදිලිව දක්වා ඇත. කළු පැහැයෙන් ඇති COM යනුවෙන් සඳහන් connector එක 0V විභවය පෙන්වයි. අළු පැහැති PWR_OK (ඇතැම් විට PG යනුවෙන්ද දැක්වේ) ඇත්තේ  Main board එකේ සිට ලැබෙන සඥාව ලබාගැනීමටයි. කිසියම් දෝෂයක් ඇතිනම් එමගින් බලසැපයුම ක්‍රියාවිරහිත (Power Off) කරයි. කොළ පැහැති PS_ON pin එක මගින් පවර් සප්ලයි එක ක්‍රියාත්මක (Power On) කරයි. මෙය කුඩා වයර් කැබැල්ලක් හෝ කම්බියකින් 0V (කළු/COM) හා සම්බන්ධ කළ විට පවර්සප්ලයි එක On කළ හැක. පරීක්‍ෂා කිරීම් සඳහා මෙම ක්‍රමය භාවිතා කරයි. 
මේ සාමාන්‍ය එදිනෙදා භාවිතාවන පවර් සප්ලයි එකක සැකසුමයි. නමුත් විවිධ වෙළඳනාම යටතේ නිශ්පාදනය වන ඒවායේ pin සැකසුම මීට වෙනස් වන්නට පුළුවන. එහෙත භාවිතා වන්නේ මෙම විභවයන්මය. තවද ඒවායේ connector එකින් එකින් වෙනස් වන අවස්ථා ඇත. 
නමුත් මෙයට වඩා සම්පූර්ණ වෙනස් පවර් සප්ලයි සර්වර්ස් වල භාවිතා වේ. ඒවායේ සැකසුම මෙසේ යයි පෙන්වා දිය නොහැක්කේ එකිනෙකට වෙනස් නිශ්පාදකයන් තම විවිධ මාදිලි සඳහා විවිධ ආකාරයෙන් මේවා සකස් කිරීම නිසයි. තවද බොහෝවිට බාධාවකින් තොරව අඛන්ඩව ක්‍රියා කිරීමට (redundancy) මේවායේ පවර් සප්ලයි දෙකක් හෝ වැඩි ගණනක් ඇත. එනිසා සර්වරය ක්‍රියාත්මක වන අවස්ථාවේම පවර් සප්ලයි මාරු කළ හැක. එයට ෂට්ඩවුන් කිරීමට අවශ්‍ය නොවේ. මෙවන් පවර් සප්ලයි එකක් පහත රූපයේ දැක්වේ.
මෙය Dell PowerEdge 2950 මාදිලියේ සර්වරයක පවර් සප්ලයි දෙකෙන් එකකි.

මේවාට වඩා සම්පූරණයෙන් වෙනස් බල සැපයුම් Lpatop හා Netbook වල භාවිතා වේ. ඒවායේ ඇති විභව අන්තරද එකිනෙකට වෙනස් වන අතර එය පසුව වෙනම පරිපථයකින් අවශ්‍ය පරිදි විවිධ වෝල්ටීයතාවන්ට වෙන්කර ගනී.
මේවායේ ක්‍රියාකාරීතවය හා අනෙකුත් තාක්‍ෂණ තත්වයන් පිළිබඳ සටහන් කිරීම සටහන් ගණනාවක් දුරට මෙය ගෙන යන නිසා ඒපිළිබඳ කථා කිරීමට බලා පොරොත්තුවක් නෑ. 
එහෙමනම් අපි මේ සටහන මෙයින් නවතමු. මීළඟ සටහන් කීපය Main board එක සඳහා වෙන් කරනවා. 

අද වෙනසක් කරන්න හිතුවා අවසානයේ පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔබේ පරිගනකයේ පවර් සප්ලයි එක තුළට හූනෙක් වැනි සතෙකු යනු දුටුවොත් කළ යුතු දේ සඳහන් කරන්න. (මෙම අවස්ථාවේ පරිගනකය ක්‍රියාත්මක නොවන බව සලකන්න) හැබැයි නිවැරදි පිළිතුරු සඳහා තෑගි නොදෙන බවත් සලකන්න :D

එහෙනම් ගිහින් එන්නම්. සුභ දවසක්..!!!

Pin out සඳහන් රූප http://www.smpspowersupply.com අඩවියෙනි. අනෙකුත් සියල්ල මාගේ හිමිකම් බව සලකන්න.

25 comments:

  1. හැමදාම වගේ වැදගත් ලිපියක්.
    හූනෙක් යනව දැක්කොත් කොහොම හරි ඌව අයින් කරන්න වෙනව. නැත්තං ඉතිං ඔන් කළාම 'චටස්' ගායි. හූනට දෙයියන්ගෙම පිහිට තමයි. වෙලාව හොදනං පවර් සප්ලයි එකට කෙල නොවී බේරෙයි. :D

    ReplyDelete
  2. මම ගියපාර කමෙන්ට් එකෙත් ඔය දේ කියන්න හිතලා ආයේ කම්මැලි කමට නිකං හිටියා..ඒ කියන්නේ වැඩේ ඉවර වෙලා ප්‍රශ්න දෙක තුනක් අහන එක..එතනින් අපිට හිතන්න දෙයක් වගේම අපි උම කියපු දේ අල්ල ගත්තද කියලා ටිකක් මැන ගන්න උනත් පුළුවන් කමක් ලැබෙනවා.

    හූනකේ ගියොත් මචං මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්..කොයි දේ කරන්නත් කලින් ඔය කරන්ට් වයර් ගලවලා තියලා ඉන්ට වෙයි..

    ඊ ගාවට තව හූනිච්චියෙක් හොයා ගන්ට ඕන..හැබැයි ඒ හූනිච්චිට ඇතුලට යන්ට දෙන්ට බැහැ එහෙම උනොත් වැඩේ අසාර්ථක වෙන්න ඇහැකි..ඒ හින්දා හූනිච්චිට නූලක් දාලා බැදලා පවර් සප්ලයි එක ලගින් තියලා කොහොම හරි ඒකිව කෑ ගස්සන්න වෙනවා..ආන්න එතකොට හූනා පටස් ගානකොට එළියට එනවා..හූනිච්චියෙක් හොයා ගන්න අමාරුමනං එහෙම සද්දයක් දාන්න ඉගෙන ගත්තත් කමක් නැහැ..

    ඔය එකක්වත් බැරිනං ඉතිං කම්මෝ ගෝ චිකාගෝ කියලා අර යකඩ පෙස්ටිය ගලවලා ඔය කන්ඩෙන්සර්වල අත පය ගාව ගන්නේ නැතිව හූනට දෙකක් දීලා එළියට ඇදලා දාන්ට වෙයි..හැබැයි ඉතිං ඇතුලට යනකොටම යාළුවට බඩු බනිස් වෙන්ට බොහෝ ඉඩ ඇත..එතකොටනං ඉතිං බානි රේමන්ඩ් තමා..

    ReplyDelete
  3. ඔන්න මට පැටලිලා. පාඩම 5 (1), 5 (2) විදියට දැම්මානම් නරකද? අනෙක් අයට කොහොමද දන්නේ නෑ නේද මම හිතුවේ ප්‍රියන්ත වැරදිලා 'පාඩම 5' කියලා දැම්මා කියලයි

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මේනම් මම කියවාපු සිංහල දෘඩාංග පාඩම් අතර වැදගත්ම සහ වටිනාම පාඩම .හැමදෙයක් ගැනම පින්තූර සහ කරුනු සමහග විස්තරාත්මකව දාලා තියන නිසා .හරිම කැමැත්තකින් කියවනවා .

    මම අදත් හැමදාම වගේ ප්‍රියත අයියට ස්තූතිවන්ත වෙනවා .. මම මේ ගැන ලියවුනු පොත් ගොඩාක් කියවලා තියනවා සල්ලි වියදම් කරලා අරගෙනත් තියනවා හැබැයි ,ඒතරම් මට තේරෙන විදිහට මේ කරුනු ගැන ලියවිලා තිබුනේ ඔයා අතින් විතරයි ..

    ReplyDelete
  6. @ Praසන්ன
    ස්තූතියි ප්‍රසන්න. උත්තරේ සෑහෙන්න නිවැරදියි.

    ReplyDelete
  7. @ ප්‍රවීනා
    ඔව් පොඩ්ඩි එහෙම දැම්මනම් හොඳයි තමා. ඒත් මම මේ කොටස මෙතන ලියන්න මුලින් හිතුවේ නෑ. නමුත් කලින් ලිපිය හා සම්බන්ධ නිසා මෙතන ලීවේ.එහෙම උනාම කියවන අයට ලේසිනේ. අපහසු තාවයක් උනානම් සමාව ඉල්ලා සිටිනවා. ඔන්න ඉතිරි කොටස ලෙස නිවැරදි කිරීමක් කළා.
    මේ ඒක නෙවේ මේ කෝ ප්‍රශ්නෙට උත්තර...:D

    ReplyDelete
  8. @ මාරයාගේ හෝරාව
    හූනිච්චි නෙවේ මාරයෝ හීනි...:D
    උත්තරේ අනික් පෝස්ට් එකට කලින් දෙන්නම්. බලමු හොඳම අදහස දෙන්නේ කවුද කියා..

    ReplyDelete
  9. @ Dayan Senavirathna
    ඔය අත්දැකීම් තියන අය ඉන්නේ. ඒහෙම ආවරණ යොදනවනම් වරින් වර බලන්න ඒවා නිසා සිසිලනයට බාධක ඇතිවෙනවල කියලත්. පවර්සප්ලයි එකේ ෆෑන් එක පද්ධතිය සිසිල් කරන්න සෑහෙන්න උදවු කරනවා. ස්තූතියි අත්දැකීම් අපත් සමග බෙදා ගත්තටත්.

    ReplyDelete
  10. @ හිස් අහස
    ඔනෑවට වඩා තියරි ගොඩක් එකතු වූ පමණින් හොඳ කාර්මිකයෙකු වෙන්න බෑ. පළපුරුද්ද මෙවැනි තාක්‍ෂණික දේ සඳහා ගොඩක් ප්‍රයෝජනවත්. ඒත් ප්‍රශ්ණයක් ඇතිවූවිට එහි තාක්‍ෂණක වශයෙන් ඇති සියලු තියරි සොයා බලා අධ්‍යයනය කරන්න වෙනවා. ඒ සමග කාලයත් එක්ක කෙනෙකුට හොඳ තාක්‍ෂණ ශිල්පියෙක් වෙන් පුළුවන්.

    ReplyDelete
  11. ප්‍රියන්ත,භාවිතාවෙන් ඉවත් කල Power Supply උපකරනයක් අවදානම් බවත්,ඒවා විනාශ කිරීම නුවනට හුරු බවත් මම අසා තිබෙනවා.මෙය කොතෙක් දුරට නිවැරදිද?
    ඔබ නොමසුරුවම මේ ලබා දෙන දැනුම ගැන නම් ඔබට බොහොමත්ම පින්....

    ReplyDelete
  12. දැන් හූනා යනවා අපි දකිනවා නේ,,අර හූනන්ට කන හුනු දුන්නහම උන් මැරෙනවා නේ,,,ඉරට්ටක් අරගෙන කේසින් එකේ පැත්ත ඇරලා හූනට හුනු ටිකක් ඉරට්ටක දාලා හිමින්ම හූනට කන්න දීම,,,ඒක කෑවට පස්සේ හූනා සෙත්තපෝච්චී,,,බල සැප‍යුම වහලා නිසා කිසි කරදරයක් වෙන එකක් නෑ

    ReplyDelete
  13. වටින ලිපියක්. :)

    මමනම් හූනා යනවා දැක්කොත් උට පොඩ්ඩක් කියලා නවත්තගෙන හොද වැයින් දෙකක් කියලා දෙනවා මෙච්චර යන්න තැන් තියෙද්දි මේ මගුල අස්සෙම රින්ගනවට.ඇයි යකෝ අතේ සතේ නැති කාලේ තව අලුතින් පවර් සප්ලයි එකකුත් දාන්න වැඩේ කරන්නනේ මූ හදන්නේ. : (

    ඔන්න අපේ මැශින් අස්සේ රින්ගන්නේ නැතුව ඔය උඩ ඉන්න සල්ලිකාරයන්ගේ මැශිමකට රින්ගහල්ලකෝ,මදර් බෝඩ් එකත් ගියත් එතකොට අවුලක් නෑ.මුනුත් එන්නේ දුප්පත් අපිට කෙලින්න

    ReplyDelete
  14. @පාල,

    අනේ පව් දුප්පත් හූනෝ...

    ReplyDelete
  15. ප්‍රියන්ත අය්යා,

    ඔයාගේ බ්ලොග් එක බලන්ට ආවා. ලස්සනයි. තේරෙන්නේ නෑ. ඒත් හොඳයි.

    මේ වලව්වේ චුට්ටි කුමාරිලා.

    ReplyDelete
  16. @ චින්තක
    එවැනි හේතුවක් නම් නෑ. ඒවායින් සාමාන්‍යෙයන් හානිකර කිසිවක් පිටතට එන්නේ නෑ. නමුත් ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංගයක් පරිසරයට මුදාහැරීමනම් පරසරය දූෂනයට හේතුවක්. නමුත් භාවිතයෙන් ඉවත්කළ බැටරි වලින් නම් හානි වෙන්න පුළුවන්.
    තවද Power Supply භාවිතයෙන් ඉවත් වන්නේ ක්‍රියා විරහිත වීම නිසයි.

    ReplyDelete
  17. @ පාල
    ඒකනම් මාරම විසඳුමක්නේ. මේ පොඩි අවුලක් තියනවා. හූනන්ට කතා කරන්නේ මොන භාෂාවෙන්ද?..:D

    ReplyDelete
  18. @ CUTTI
    චුට්ටි කුමාරිව මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා. සමහර විට මේ හාඩ්වෙයා පාඩම් නම් බෝරින් ඇති. කමක් නෑ ඔය පරණ කතා චාරිකා ගැන එහෙම පරණ පොස්ට් ඇති ඒවා බලන්නකෝ. තව ඉතින් පුළුවන් වෙලාවට ඔයාලටත් බලන්න හිතෙන දේවල් ලියන්නම්. ඒකාකාරී බව නැතිවෙන්න. මම පොඩ්ඩිටත් කියන්නම්කෝ ඔයාලත් මෙහේ ආවා කියල..

    ReplyDelete
  19. It's easy to find Power Supplies' wire codes' voltage using color code. Just as below.

    ORANGE : +3.3 V
    YELLOW : +12 V
    BLUE : -12 V
    RED : +5 V
    WHITE : -5 V
    BLACK : GND
    GREEN : POWER-ON
    GRAY : POWER-OK
    PURPLE : +5 V SB (Stand By Mood)

    (-) voltages are using....
    For Motors(Step Motors) to rotate vice versa,
    To Refresh memory (F5) and
    For Transistors

    An excellent Post series.... Keep it up bro....
    Sorry about using English....!!!

    ReplyDelete
  20. නොදන්න දේවල් ගොඩක් සරලව කියලා තියනවා .......
    ඇත්තටම නියමයි ......

    ReplyDelete
  21. වැඩේ කියන්නේ ඉස්සර මගේ CPU එක තිබ්බ තැනේ හැටියට ඇතුලට මොකෙක් ගියත් පේන්නෙ නෑ..
    පවර් සප්ලයි එකට තට්ටු කරල හූනවා එළියට ගන්න බලනවා. Warranty ඉවරනම් වගේ ගලවල බලන්න තමා තියෙන්නේ..
    පව්නේ හූනා. ඒක ඇතුලෙ හූනට කන්නත් නෑනේ....

    ReplyDelete
  22. @ ෴ හසියා ෴
    අවුලක් නෑ. මම ඉංග්‍රිසි තහනම් කරල නෑනේ..:D'

    @ කල්හාර දිසානායක
    ස්තූතියි කල්හාර ප්‍රතිචාරයට..

    @ තාරක Dilsh@n
    හරියටම හරි තාරක ඒක තමා නිවැරදි උත්තරේ. තව ඉතින් කියන්න තියෙන්නේ තමන්ට ඒ ගැන දැනුම මදි නම් කාර්මිකයෙකුගේ සහය ගන්න කියා තමා..:D

    ReplyDelete
  23. 20 එකක් 24 එකක් කරන්නේ කොහොමද
    ඉක්මනට Ripley කරන්න

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය පැහැදිලි මදි.
      පවර් සප්ලයි එක ගැන නම් අහන්නේ කල යුතු හොඳම දේ 24 Pin එකක්ම භාවිතා කිරීමයි. එසේ නැතිනම් මදර්බෝඩ් එකට හානිකර වෙන්න පුළුවන්.

      Delete
    2. පින් 24 එකක් වෙනුවට පින් 20 එකක් අරන් අනෙක් පින් 4 වයර් වල පාට අනුව අමුනගන්න බැරිද

      Delete