Saturday, December 25, 2010

කෑම ටිකක් උයමුද?

පළමුවෙන්ම සැමට සුභ නත්තලක් කියල ප්‍රාර්ථනා කරනවා. හැබැයි නත්තල් සමරන අය මටත් දෙන්නකෝ...
එහෙනම් අපේ වැඩ අපිම කරගමු පොස්ට් වලට තවත් එකක් එකතු කරන්න මේ හදන්නේ.
පසුගිය දවසක අපේ ගෙදර කට්ටිය වන්දනාවක ගියා. මමත් මේ ට්‍රිප් එකක් ගිහින් ඇවිත් පසුදාම SBU එකටත් ගිය නිසා මේ ගමන යන්න සෙට් උනේ නෑ. ඉතින් ඒ දවස පෝය දවසක්. මට උනෙත් හරිම අවුලකට මුහුණ දෙන්න. මොකද කෑම ටික ගන්න විධියක් නැතිව. මේක බොහෝ දෙනෙක්ට වෙන දෙයක්. ගෙදර අම්මා නැතිනම් බිරිඳ නොසිටියොත් ඒහෙම නැතිනම් ඒ උයන කෙනා රෝගාතුර උනොත් කඩෙන් තමා කන්න වෙන්නේ. පිරිමි පාර්ශවේට විතරක් නෙවේ අපේ ඇතැම් කාන්තාවන්ටත් උයා ගන්න බැහැනේ. නමුත් හදිස්සියට කඩයක් හොයාගන්නත් නැතිව මට උනා වගේ දෙයක් උනොත් හැම තැනම කඩ හොයන්නේ නැතිව පිට්සා කන්න කෝල් කරන්නේ නැතිව කෑම ටිකක් උයා ගන්න බැරිද.
මම ගෙදර ඉන්න වෙලාවට අම්මට උයන්න උදවු කරන නිසා මට උයන්න බැරි කමක් නෑ. එත් සම්පූර්ණ කෑම වේලක් උයල තියෙන්නේ ගෙදර අම්මලා නැති දවසක විතරයි. එහෙම දවස් එන්නේ කාලාතුරකින් නිසා අවුරුදු ගණනකින් කෑම වේලක් උයල තිබුනේ නෑ. නමුත් ඉතින් මේ පෝය දවසේ තනියම ගෙදර ඉන්න එකේ කෑම ටිකක් උයාගෙන කන්න ඕන කියල හිතුනා.
මේ වගේ වෙලාවක බලන්න ඕන දෙයක් තමා මොනවද පහසුවෙන් උයන්න පුළුවන් දේවල් කියල.
බත් ටිකක් එක්ක කන්න පරිප්පු කරියක්, සම්බෝලයක්, බිත්තරයක් තම්බා/ඔම්ලට්/ බුල්ස්අයි, කිරි හොද්දක් වගේ දේවල් පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඒත් දිගටම දින කීපයක් උයන්න උනොත් නම් මීට වඩා වැඩි යමක් උයන්න වෙනවා. නැතිනම් දවස් දෙකක් විතර ඔය එකම කෑම කනකොට ඇති වෙනවනේ.
හරි දැන් ඇති විස්තර එහෙනම් කියන්නම්කෝ එදා මම කෑම හදපු විධිය.
පළමු දේ බත් ටිකක් උයා ගන්න එක.
මේකේ ලොකු වැඩක් නෑ. ඒත් කියන්නම්කෝ කොහොමද කරන්නේ කියල. හාල් කිලෝ ග්‍රෑම් 1කින් සාමාන්‍යෙයන් 6ක් 8ක් අතර ප්‍රමාණයකට කන්න ඇති. ඒ අනුව අවශ්‍ය හාල් ප්‍රමාණය ගෙන සෝදා ගරා ගන්න. (දැන් ගල් වැලි ඉවත් කළ සහල් ඇති නිසා ගරන්න අවශ්‍ය නෑ)  සහල් වැඩි වෙලාවක් වතුරේ පෙඟෙන්න හරින්න එපා. මම බත් උයන්නේ රයිස් කුකර් එකෙන් නිසා කරන්නේ සොදා ගත් හාල් ටික රයිස් කුකර් එකට දමා වතුර දිමීමයි. පහසුම විධිය තමා ඇඟිල්ලෙන් පුරුක් 1 1/2ත් 2ත් අතර ප්‍රමාණයක් හාල් මට්ටමට ඉහලින් සිටින සේ වතුර දැමීම. අවශ්‍ය නම් ලුනු ස්වල්පයකුත් දමන්න. දැන් ඉතින් ස්විච් ඕන් කල පසු කරන්න දෙයක් නෑ. 
දැන් බලමු හැමදාම කන පරිප්පු උයන්නේ කොහොමද කියා.
පරිප්පු ග්‍රෑම් 100ක් පමණ ගත් විට එය 4 දෙනෙක්ට හෝ 5කට ප්‍රමාණවත්. පොල් බෑයක පමණ පොල්, අමු මිරිස් කරලක් හෝ දෙකක්, සුදු ළුනු බික් 2-4ක් පමණ, මිරිස් කුඩු තේ හැඳි 1/2ත් 1ත් අතර, රම්ප කරපිංචා, තුනපහ කුඩු තේ හැඳි 1/2ක් පමණ, කහ කුඩු තේ හැඳි 1/3 පමණ, ලුනු තේ හැඳි 1/2 පමණ.
පරිප්පු හොඳින් සෝදාගන්න. ගාගත් පොල් වලට මද උනුසුම් වතුර දමා අනා මිරිකා කිරි වෙන් කර ගන්න. පළමු වර ගන්නා උකු බව වැඩි කිරි වෙන් කර තබා දෙවැනුව ගන්නා කිරි සමග පරිප්පු අනෙකුත් සියල්ල දමා කිරි සිඳීගන එන තෙක් පිස ගන්න. කිරි සිඳීගෙන එන විට කලින් වෙන් කර තබා ගත් කිරි එයට එක් කරන්න. විනාඩි 5ක් පමණ පිස ගන්න. 
සම්බලයක් සාදා ගන්න අවශ්‍ය වන්නේ පොල් බෑයක පමණ පොල්, මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, (කොච්චි මිරිස් ඇතිනම් වඩා රසවත් කර ගන්න පුළුවන්) ළූනු ගෙඩි 1/2ක් පමණ ( රතුළූනු ගෙඩි 5-6ක් පමණ ඇතිනම් වඩා රසවත්), උම්බලකඩ ස්වල්පයක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 පමණ, කැමතිනම් සුදුළූනු බික් 2ක් පමණ.
පොල්  හැර අනෙක් සියල්ල භාජනයක දමා හොඳින් පොඩි කරන්න. එයට පොල් දමා හොඳින් අනා ගන්න. කැමතිනම් තෙල් ස්වල්පයක් රත්කර මේ සම්බලය බැද ගන්න.
බිත්තර තම්බනවානම් විනාඩි 15ක් පමණ තම්බන්න. ඔම්ලට් හෝ බුල්ස් අයි දැමීමේදී රත්වූ තෙල් වලට බිත්තර මිශ්‍රණය දැමීමට පෙර ලිප ඕෆ් කරන්න. ඉන් මිශ්‍රණය දමා නැවත දල්වන්න.
මීට අමතරව මම අල බැදුමක් සදා ගත්තා. ඒ සඳහා අල 250g, ලොකුළූනු ගෙඩියක්, මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, රම්ප කරපිංචා, කහකුඩු තේ හැඳි 1/4ක් පමණ.
අල හොඳින් තම්බා ගෙන (හොඳ වෙලාවට අම්මා තම්බල ගිහින් තිබුනා) පොතු ඉවත් කරගත්තා. සිහින්ව කපාගත් ළූනු, ඇතුළු සියල්ල කැබලි වලට කපාගත් අල හා හොඳින් මිශ්‍ර කර ගත්තා. පොල්තෙල් මේස හැඳි 2ක් පමණ භාජනයක දමා ලිප තබා තෙල් හොඳින් රත්වූ පසු අල මිශ්‍රණය එයට දමා විනාඩි 10ක් පමණ මද ගින්නේ පිස ගත්තා.
මීට අමතරව සෝයා මීට් කරියක් හදන්න එතරම් වෙලාවක් යන්නේ නෑ. සෝයා මීට් පැකට් එකක් ගත්තම සාදන පිළිවෙල එහි සඳහන් වෙනවා. ඒ ආකාරයට සකස් කර ගැනීම පමණයි කරන්න තියෙන්නේ.
මස් හෝ මාළු වැනි දෙයක් උයා ගැනීම තරමක් අපහසු නිසා කීප දෙනෙක්ට කන්න උනොත් සැමන් සලාදයක් (සම්බලයක්) වැනි දෙයක් හදන්නත් පුළුවන්.
මේ තියෙන්නේ එදා මගේ දවල් කෑම වේල.
මේ කොස් ව්‍යාංජනය අසල්වැසි නිවසකින් ලැබුනේ. හාල්මැස්සන් පොල් මැල්ලුම අම්මා සකස්කර තබා ගිය එකක්. මම අල හා පරිප්පු සමග බත් පමණයි උයා ඇත්තේ.
මම මේ පොස්ට් එකෙන් කියන්න උත්සාහ කලේ ගෙදර උයන්න කෙනෙක් නැති හැම විටම කඩෙන් කන්නේ නැතිව තමාටම උයාගෙන කන්න බැරි කමක් නෑ කියා. නමුත් හොඳම දේ එක් වරම මෙවැන්නක් කරන්න යන්නේ නැතිව මව නැතිනම් බිරිඳ සමග එක්ව උයන්න. එවිට ඔවුන් නැති වෙලාවක තනියම උයා ගන්න බැරි වෙන්නේ නෑ. 
එහෙනම් ගිහින් එන්නම්.
සැමට සුභ දවසක් වගේම අපේ නත්තල සමරන මිතුරු පිරිසටත් ලොක වාසීන්ටත් සුභ නත්තලකටත් ආසිරි පැතුම්..!!!
ප/ලි
ඔය නත්තලට හදන විශේෂ කෑම එහෙම ඇතිනම් පහලින් තියල යන්න....

15 comments:

  1. ගොඩදෙනෙක් අමාරුයි කියල හිතන දේ පහසුවෙන් කරගන්න හැටි ලස්සනට ලියල තියෙනවා.

    ඔබටත් සුබ නත්තලක් වේවා...!

    ReplyDelete
  2. ශා මේක දෑක්කාම කටට කෙල උනනවා මචන්.

    ReplyDelete
  3. හාල්මැස්සො මැල්ලුමත් හදල තියෙන්නෙ අම්මා, අල තම්බල ගියෙත් අම්මා, ඒකෙන් පේන්නේ ලකුනු දෙන්න පුළුවන් 50% ,,, කියන්න දෙයක් නෑ. පිරිමි මහලොකුවට කිව්වට හොදි ජාති දෙකකට වඩා උයන්නෙ නෑ, කන්න බැරුවට නෙමේ, කම්මැලි කමට

    හා හා,,, දවසක් තනියම ජාති ගොඩක් උයලා අපිට එන්න කියන්න. කලා බලලම ළකුණු දෙන්න,, :)

    ReplyDelete
  4. හසියටත් ටිකක් ටිකක් උයන්න පුළුහන්‍‍.....හසියා පොඩි කාලේ බාලදක්ෂ කලා නෙවැ....ඉතිං අමුනලා කොරලා මාළුවක් දෙකක් හදාගන්න පුළුහන්....
    හැබැයි කන්න පුළුහන්ද කියලනම් බලන්න වෙන්නේ කාලමතමා....

    හොද ලිපියක් අයියා...ඉස්සරහට කසාද බදින්න ඉන්න අයටත් අපි වගේ තනිකඩව ඉන්න පිරිමින්ටත් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි වගේ....

    ReplyDelete
  5. ෂහ්... නියම කෑම ව්වලක්නෙ බොලේ... කටටත් කෙල කෝටියක් විතර ඉනුවා....

    @හරී..

    මේ චෝදනාව මම නම් පිලි ගන්නෙ නැහැ... මොකද මට පුළුවං ඔය ඕනෙම කෑම ජාතියක් හදන්න. සමහර වෙලාවට අපේ හාමිනේටත් බැහැ මාත් එක්ක උයන්න.

    ReplyDelete
  6. හොද ලිපියක් සහෝ! සුභ නත්තලක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  7. @ දුමී අයියා,
    කවුද බෑ කිව්වෙ අනේ. මම කිව්වෙ කම්මැලි කම කියලනේ, හොඳයි බොරුද? ගෙදර තනියම ඉන්නවා නම් හොදි ජාති ගොඩාක් හදනවද? නෑනේ,,, අපේ මහත්තයටත් පුළුවනි මට වඩා රසට උයන්න, එන්නකො දවසක අපේ ගෙවල් පැත්තෙ කෑම ටිකක් කාල යන්නම,අපි නං දඹානට ගොඩාක් මෙහා,,,:D

    ReplyDelete
  8. ප්‍රියන්ත,

    මේක නම් මටම ලියපු එකක්නේ! මට උයන්න බෑ කියලා හිනාවෙනවද? නැත්නම්, උයන්න ඉගෙන ගන්න කියලා නොකියා කියනවද? කොහොම හරි කෑම මේසේ නම් හරිම ලස්සනයි. එන්න කීවා නම්, එනවානේ!

    ReplyDelete
  9. @ Praසන්ன
    ස්තූතියි ප්‍රසන්න. හැමදාමත් මගේ මතකයට ගොඩ වෙන කෙනෙක්නේ.
    උයල එහෙම නැද්ද???

    ReplyDelete
  10. @ NUWAN"s lane
    දන්නවනම් නුවන්ටත් කෑම එකක් එවන්න තිබුනනේ.
    ස්තූතියි නුවන්. සෑහෙන දවසකින් වගාවන් ගැන ලිපියක් දැක්කේ නෑනේ..

    ReplyDelete
  11. @ හරී - පිණිපළස
    අපි උයනවට ඉරිසියාවේ නේද?.....:D
    කොහොමත් පිරිම අය උයන කෑම තමා රස වැඩි. ලෝකේ හොඳම චෙෆ්ලා වැඩි දෙනකේ පිරිමි අයයි.
    ස්තූතියි හරි ප්‍රතිචාරයට.

    ReplyDelete
  12. @ ෴ හසියා ෴
    උයන්න පුළුවන් නම් කරන්න බැරි වෙන එකක් නෑ. දවසක උයල කියන්නකෝ අපිත් එන්නම් කන්න.
    ස්තූතියි මල්ලි...

    ReplyDelete
  13. @ දුමී
    අයියටත් උයන්න පුළුවන්නේ. මේ අපේ කාන්තා පාර්ශවේ හිතන් ඉන්නේ උයන්න පුළුවන් එයාලට කියලනේ නේද අයියේ.
    ස්තූතියි දුමී අයියට මේ පැත්තේ ආවටත්...

    ReplyDelete
  14. @ blog gadol
    ඔබටත් එසේම වේවා. ස්තූතියි අපේ පූස් මිතුරන්ටත්.....

    ReplyDelete
  15. @ Podi Kumarihami
    ප්‍රවීනා
    ඔව් ඔයාටත් එක්ක තමා ලීවේ. හැබැයි කවදාවත් ඔයාට උයන්න බෑ කියල හිනාවෙන්නේ නෑ. අයේ දවසක් උයන්න ලෑස්තිවෙලා කියන්නම්කෝ උයනවා බලන් ඉඳලම උයපුවා කාල යන්න එන්නකෝ...
    ස්තූතියි මාව බලන්න ආවට..

    ReplyDelete