Wednesday, August 29, 2012

දෙවෙනි ගමන (S-12 Test trial to Nanuoya).....

කලින් පෝස්ට් එකෙන් මම කීවේ ලංකාවට අලුතින්ම ගෙන්වූ S-12 වර්ගයේ බලවේග කට්ටලයේ නුවර ගමන ගැනනේ. ඇත්තටම වසර 100කට වඩා පැරණි ලංනාවේ දුම්රිය සේවයේ පැරණිම මාර්ගයක් වෙන්නේ ප්‍රධාන මාර්ගය (Main line) එහෙමත් නැතිනම් උඩරට දුම්රිය මාර්ගය. මෙම මාර්ගය කොළඹ සිට පේරාදෙණිය හරහා බදුල්ල දක්වා වැටි තිබෙනවා. දුම්රිය සේවයේ මැණිකෙලා ගමන් ගන්නේ මේ මාර්ගයේ පමණයි. මෙහි කොළඹ බදුල්ල අතර ප්‍රධාන දුම්රිය වන්නේ උඩරට මැණිකේ (UM), පොඩි මැණිකේ (PM) හා රාත්‍රි තැපැල් දුම්රියයි(NM). මේ හැම දුම්රියක්ම දිනකට වාර දෙක බැගින් එනම් එකක් කොළඹින් හා එකක් බදුල්ලෙන් දෙස ගමන් අරඹනවා. අධික කඳු බෑවුම් හා වැඩි වංගු ප්‍රමාණයක් සහිත මෙම මාර්ගයේ ගමනා ගමනය දුම්රිය එන්ජිමකට ඉතා වෙහෙසකර ගමනක්. එනිසාම මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු බලසම්පන්න එන්ජින් යොදවා තිබෙනවා. එහෙත් අධික ආනතියක් ඇති කඳු තරණය කරන්න නම් එන්ජින් දෙකක සහාය අවශ්‍ය වෙනවා. අනෙක් සීමාව අඩු අරයක් සහිත වංගු නිසා රෝද අතර පරතරය අඩු එන්ජින් යොදවන්න අවශ්‍යයි. එමෙන්ම වැඩි දිගකින් යුතු මැදිරි ධාවනය කරන්නත් බෑ. මේ නිසා පසු කාලීනය දුම්රිය සේවයට ගෙන්වූ M4, M8, M9 හා මැතකදී ඉන්දියාවෙන් ආනයනය කළ අධික බලයක් (අශ්වබල 2200) සහිත M10 වැනි එන්ජින් මෙම මාර්ගයේ ධාවනය කරන්න අපහසුයි. 
            මේ සියලු බාධක නිසයි මෙම මාර්ගයටම ආවේණික දුම්රිය කට්ටල පැවතුනේ. 2008 දී පමණ ආනයනය කළ S-10 වර්ගයේ චීන බලවේග කට්ටලය සාර්ථක ලෙස මහනුවරට ධාවනය කළ නිසා නැවත එම සමාගමෙන්ම දුම්රිය කට්ටලයක් සාදවාගන්න අපේ දුම්රිය සේවය හිතන්න ඇති. මේ අනුව ගෙන්වූ S-12 කට්ටලයේ මුල්ම පරීක්‍ෂණ ගමන පසුගිය 19 වෙනිදා නුවරට සිදුවූ බව මා කලින් ලිපියේ විස්තර කළානේ. එහි දෙවන ගමන සිදුවූයේ නානුඔය දක්වායි. ඒ මාර්ගයේ වැඩිම කඳු හා වංගු සහිත කොටසේ ධාවනය පරික්‍ෂා කරන්න. එය සිදුවූයේ පසුගිය 23 වෙනිදායි. පණිවිඩය දුන්නේ අපේ චන්දික මල්ලිමයි. මෙවරත් සහායට මා සමග ආවේ මන්දාලක මල්ලි. අපි මෙදින ඡායාරූප ගන්න හොඳ වංගුවක් සහිත ස්ථානයකට යන්න හිතුවා. මේ සඳහා හොඳම තැනක් ලෙස අපි සොයා ගත්තේ උලපනේ දුම්රිය ස්ථානයයි. මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වන දුම්රියෙන් අපි උලපනේට ආවා. 
මේ කෝච්චියෙන් තමා අපි ආවේ...
නුවර නාවලපිටිය දුම්රිය ගෙන ගිය W3 669 එන්ජිම

මේ තමා උලපනේ දුම්රිය ස්ථානය. මෙය පිහිටා ඇත්තේ පේරාදෙණිය බදුල්ල මාර්ගයේ ගම්පොල හා නාවලපිටිය අතරයි. මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් පමණ උසින් පිහිටා තිබෙනවා.
උලපනේ දුම්රිය ස්ථානය..
අප එහි ලඟාවන විට අපේ අමුත්තා පේරාදෙණියට ළඟාවෙලා. එහෙත් අපට උලපනේ ටික වේලාවක් ඉන්න සිදුවුනා. ඒ පහලට එන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය යන තෙක්. ඉන් පසුව උඩරට මැණිකේ පහලට එන වේලාව ලඟාවුනා. මේ වන විට අපේ අමුත්තා ගම්පොලට ඇවිත්. අප යන දුම්රියේ පින්තූර ගන්න ආවත් අපට බෝනස් චාන්ස් එකක් ලැබුනේ මේ වෙලාවේ. එනම් නාවලපිටියේ සිට එන උඩරට මැණිකේ හා ගම්පොලින් පිටත්වූ S-12 විශේෂ පරීක්‍ෂණ දුම්රිය මාරුවෙන්න තිබුනේ උලපනේදී. කලින් ලඟාවන අපේ අමුත්තා දෙවන ලයින් එකට දමා නවත්වා UM එකට ඉඩදෙන බව දුම්රිය ස්ථානාධිපති තුමාගෙන් අපි දැනගත්තා. බලන්න උඩ පින්තූරේ පෙනෙනවා ගම්පොල පැත්තට ඇති සිග්නල් කණුව. සිල්පර පැහැදිලිව නොපෙනෙන ලයින් එක තමා දෙවෙනි ලයින් එක. එය මතින් තමා එන්න නියමිත.
මෙන්න ඈතින් එනවා අපේ අමුත්තා. අමුත්තා කීවාට මේ අපි එයාව හමුවෙන දෙවන අවස්ථාව.
S-12 උලපනේට ළඟා වෙමින්.
මේ දෙවන වේදිකාව මතින් එන දුම්රිය. දුමිරිය ස්ථානාධිපතිතුමා, ටැබ්ලට් ගන්න සූදානම් වූ සේවත මහතා හා මන්දාලක මල්ලි පින්තූරේ ඉන්නවා.
මේ ගම්පොල සිට රැගෙන ආ ටැබ්ලට් භාර දෙන අවස්ථාව. මෙය නැවත UM එකට පහලට යන්න දෙන්න නියමිතයි.
උලපනේට පැමිණ බවට සටහන් කිරීම

මෙන්න මේ සද්දන්තයා මා පසුකර යන අවස්ථාව. පහලින් ඇති වීඩියෝවත් පසුව බලන්න. ඉතාම අඩු ශබ්දයක් ඇසේවී. මා අතේ ඇති කැමරාවේ ශටර් ශබ්දය පවා පැහැදිලිව වීඩියෝවේ ඇසෙනවා. ඒ තරම් මෙහි ශබ්දය අඩුයි. අනෙක් හේතුව මෙහි පෙනෙන 922 එන්ජිම පණගන්වා නෑ මේ අවස්ථාවේ.
ඉදිරිපසින් පැමිණි CLASS S-12 922 එන්ජිම

මේ පසුපස එන්ජිම. 921 දරණ එන්ජිම තමා අදත් පසුපසින් බලය සපයන්නේ. මෙය පමණයි අප හමුවන අවස්ථාවේ පණ ගන්වා තිබුනේ.
පසු පසින් පැමිණි CLASS S-12 921 එන්ජිම

පේනවාද මෙහි දකුණු පස හෝස් දෙක රැඳවුමෙන් ගැලවී පහලට එල්ලා වැටී ඇති බව. මේවා සවිකර නැවත පිටත් වන්න පොඩි වෙලාවක් නවත්වා ඉන්න සිදුවූවා. ඒ නිසා මට ෆොටෝ ගොඩක් ගන්ට වෙලාව ඉතිරි උනා. පේ 921 එන්ජිමේ පැති පෙනුමක්.
CLASS S-12 922 එන්ජිම පැති පෙනුමක්

මේ වායුසමනය කළ පළමුපංතියේ මැදිරිය
AFC (Air-Conditioned First Class) 16403


මේ භෝජන රථයේ පින්තූරයක්. මේක ඇතුලට ගියාට තාම නම් කන්න දෙයක් මෙහි නෑ. අඩුම තරමේ වතුර වීදුරුවක් නෑ....:D
Buffet Car

මේ  මැදිරියක අසුන් පනවා ඇති ආකාරය.


මේ නාවලපිටියට යන්න ටැබ්ලට් දේනන එන දුම්රිය ස්ථානාධීපතිතුමා...

මේන්න උලපනෙන් පිටත්ව නාවලපිටියට යන අපේ යාළුවා.
පසෙකින් සිටින්නේ මන්දාලකයි.

මෙම පරීක්‍ෂණ චාරිකාව ගොඩක් සාර්ථක වූ බවක් තමා අපට දැනගන්න ලැබුනේ. වෙන දුම්රිය අනෙක් දුම්රිය අපහසුවෙන් යන කඩුගන්නාව කන්ද පවා පැයට කිලෝමීටර් 50ක වේගයෙන් පහසුවෙන් තරණය කළා කියා අපට දැනගන්න ලැබුනා. එමෙන්ම මෙහි මා කලින් කීවා මෙන්ම අශ්වබල 2000ක එන්ජින් දෙකක් ඇතත් අප දකින අවස්ථාවේ පණගන්වා තිබුනේ එක් එන්ජිමක් පමණයි. එයින් නානුඔය දක්වා කිසිම අපහසුවකින් තොරව ගමන්කළ බවයි පැවසෙන්නේ. එයින්ම මෙහි බල සම්පන්න බව සිතාගන්න පුළුවන් නේද.

අනෙක් කරුණ මෙහි ශබ්දය ගොඩක් අඩුයි. පසුපස එන්ජිමෙන් එනවිට ඉතාම අඩු ශබ්දක් ඇසෙන්නේ. ඒ නිසා මෙයා ධාවනයට එක්වූ පසුව නම් රේල් පාරේ යන අය සැලකිලිමත් වන්න වෙයි. මෙහි අඩු ශබ්දය අසන්න පහත වීඩියෝවත් බලන්න.



මේ වර්ගයෙන් දුම්රිය කට්ටල 13ක් ආනයනය කරන අතර කට්ටල කීපයක් උඩරට මාර්ගයටත් අනෙක්වා කැළණිවැලි මාර්ගයටත් යොදවනු ඇත. කැළණිවැලි දුම්රිය දැනට පරීක්‍ෂන චාරිකාවක යොදවා ඇත.

හෙට අනිද්දාම මේවා ධාවනයට එකතු වූ පසුව මෙහි බදුලු යන්නයි මගේ බලාපොරොත්තුව.

ස්තූතිය
ගෙහාන් චන්දික, මන්දාලක ධනසේකර, උලපනේ දුම්රියස්ථානයේ ස්ථානාධිපතිතුමා හා සේවත මණ්ඩලය.

30 comments:

  1. ලස්සන විස්තරයක් ප්‍රියන්ත. ගියාට පස්සේ කාපු කෑම , බීම ගැනත් විස්තර දාන්ටකෝ.

    ඕකේ නම් ලංකාවට ආවාම යනවා යනවාමයි...:D

    ReplyDelete
    Replies
    1. මොකෝ අප්පා කෑම බීම ගැනම හොයන්නේ....

      Delete
    2. ස්තූතියි කලින්ම ඇවිත් කමෙන්ට් කළාට. කෑමනම් මොනවාද වඩේ, ප්ලේන්ටි වගේ ඒවා තිබුනත් ඇතිනේ. ඇයි කෝච්චි වල විකුණන ඉස්සෝ වඩේ.....
      ලංකාවට ආව දවසක අනිවාර්යයෙන් ගිහින් බලන්න...

      Delete
    3. @මධුරංග,

      පෙරේතකම හන්දා අනේ...:D:D:D

      Delete
  2. ස්තුතියි පොස්ට් එකට . දැන් ඉතින් මේකේ යනකන් ආසාවේ බෑ

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවාර්යයෙන් යන්න.
      ස්තූතියි...

      Delete
  3. ලිපිය බලනකොට තේරුම් ගන්න පුලුවන් ලොකු උනන්දුවකින් හා ආසාවකින් මේ තොරතුරු එක් රැස් කිරීමට ගිය බව . මේ තොරතුරුත් ඡායාරූපත් දැක්කම ඕනම කෙනෙක්ට මෙහි යන්නට ආස හිතෙනවා .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම්. මේවා හොයන්න ගොඩක් මහන්සි වෙන්න ඕනි. අපිත් බලාපොරොත්තු උනේ නෑ කෝච්චියට නගින්ට අවස්ථාවක් ලැබෙයි කියා.
      ස්තූතියි....

      Delete
  4. නියමයි... අනිවාර්යෙන් යන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවාර්යයෙන්ම යන්න...
      ස්තූතියි...

      Delete
  5. එක එන්ජිමකින් යන්න පුලුවන්නම් පසුපසට නැරබුම් මැදිරියක් දාගෙන යන්න පුළුවන් නේද ? මම පොඩිකාලේ නානුඔයට ටෙස්ටින් වලට ගේන කොච්චි හැම එකක්ම් බලනව. අම්මෝ ...අර රුමේනියන් පෙට්ටිවල තිබුන සුවද ....

    ReplyDelete
    Replies
    1. මේක පවර් සෙට් එකක් එහෙමත් නැතිනම් Diesel Multiple Unit (DMU) එකක්. පසුපස නැරඹුම් මැදිරියක් නෑ. එමෙන්ම ඔබ දන්නවා ඇති වැඩි බෑවුමක් ඇති කඳුවල කෝච්චියට අමතර එන්ජිමක් සවිකරනවා. මෙහි එන්ජින් දෙකක් ඇත්තේ එසේ අමතර බලයක් ලබා දෙන්නයි. කැළණිවැලි මාර්ගයට ගෙනා ආ කට්ටල වල පසුපස බලය සපයන එන්ජිමක් නෑ. ඇත්තේ පාලන මැදිරිය පමණයි. එහි රියදුරු සිටිනවා. ආපසු එන්න එන්ජිම මාරු කරන්නේ නෑ. එයයි මෙවන් කට්ටල වල වෙනස සාමාන්‍ය කෝච්චියකින්.
      මේකත් තාම සුවඳයි.
      ස්තූතියි ප්‍රතිචාරයට...

      Delete
  6. ඉස්සෙල්ල ලිපිය වගේම නියමයි.
    අපේ පැත්තෙ ඉතිං මොන කෝච්චිද?

    ReplyDelete
    Replies
    1. අපි ඔය පැත්තටත් රේල්පාරක් දාමුද...D
      ස්තූතියි ප්‍රසන්න...

      Delete
  7. ලස්සන ලිපියක්.....අනිවාර්යෙන් මේ කොච්චියේ බදුල්ලට යන්න ඔනේ.. ඇතුලත සුවපහසුව නියමයි....මෙක චීන කොච්චියක්... කොහොමත් ඉන්දියන් එවට වඩා ගොඩක් හොඳයි...

    ReplyDelete
    Replies
    1. මෙය චීන වුවත් බලසැපයුම් එන්ජිම ජර්මන් MTU සමාගම නිපදවන්නේ. 2000 දී පමණ චීනයෙන් ගෙන ආ S-9 කට්ටල තවම හොඳින් ක්‍රියාත්මකයි. මෙම සමාගම නිපදවා 2008 දී ආනයනය කළ S-10 කට්ටලය 2011 දී ඉන්දියාවෙන් ගෙන්වූ S-11 කට්ටලයට වඩා තාක්ෂණයෙන් දියුණු බව දන්නවාද?
      දැනට ලංකාවේ ධාවනය වන තාක්‍ෂණයෙන් වැඩිම කට්ටලය වන්නේ S-12 කට්ටලයයි.
      ස්තූතියි.

      Delete
  8. පවර් සැට් එකක් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කරනවා දැක්කා මයි !

    ReplyDelete
    Replies
    1. දැන් නැති වූවාට ඉස්සර උඩරට මාර්ගයට වරින් වර බලවේග කට්ටල ඇවිත් තිබෙනවා.
      මෙය යෙදවූ පසු දිනපතා දකින් ලැබෙයි.
      ස්තූතියි මධුරංග...

      Delete
  9. ප්‍රශ්ණය මේකයි ප්‍රියන්ත. අපේ මිනිස්සු මොනතරම් ලස්සන දෙයක් උනත් ඉක්මනට කඩලා බිඳලා දානවනේ. බලන්නකො තව ටික දවසක් යද්දී ඔය සීට් වලට වෙනදේ. ඒ වගේම තමා ෆෑන්...
    පින්තූරටික දකිද්දී ආවාවේ බැරුවා. මේවා පරිස්සම් කරගන්න එක අපේ වගකීමක්...මොනතරම් සුව පහසු මැදිරිද...

    ReplyDelete
    Replies
    1. ඔබ දැක ඇති දුම්රිය මැදිරි වල මගීන් කර ඇති හානි. බිත්ති පුරා විකාර ඇඳලා. ලයිට් ෆෑන් කඩා බිඳ දාලා. මගීන්ගේ යුතුකමක් හා වගකීමක් තිබෙනවා තමන් යන එන දුම්රිය ආරක්‍ෂා කරන්න. දුම්රිය දෙපාර්තමේන්තුවටත් වගකීමක් තිබෙනවා කිසියම ක්‍රමයක් මගින් මගීන් දැනුවත් කරන්න.
      ස්තූතියි ලිහිණි...

      Delete
  10. ලංකාවට ආවම රවුමක් දාල එන්න යන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඔය කෝච්චියේ නුවර ඇවිත් අපිවත් බලලා යන්න මල්ලි...
      ස්තූතියි...

      Delete
  11. නියම බලවේග තට්ටලය. සුපිරියි. හැබැයි ඉතිං මේවගේ වටිනා මැදිරි ටික වුණත් ටිකදවසිකන් ෆෑන්ටික ඇතුළු වටිනා කියන දේවල් අපේ ඇත්තො ගල් කරනවා. ඒකයි දුක. අඩුම තරමින් මේවා මේ ආකාරයෙන් කඩත්තු කරන්න නම් හැම මැදිරියකටම ගාඩ්වරයෙක් දාන්න ඕනේ. අනික සීට් ගනනට පමණයි. කියලා නිතියක් පැනවිය යුතුයි.

    තවත් ලස්සන පොස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. මට තියන කණගාටුව හේතුවක් නැතිවත් සමහර මිනිසුන් මේවා විනාශ කරනවා. මේවා පොදු දේපල කියා ඇයි එයාලට මොහොතක් හිතන්න බැරි. සීට් එකට එක ගාඩ් බැගින් දැම්මාත් මේ වැඩ කරන අයත් ඉන්නවා. ඒවා පොඩි කාලේ සිට ගෙවල් වලින්ම පුරුදු කරන්න ඕනි දේවල්.
      ස්තූතියි ඔබටත්.....

      Delete
  12. හරිම ලස්සනයි දුම් රිය කට්ටලේ. හරිම ආසයි ආයෙත් බදුලු කෝච්චියෙ යන්නත්. ස්තූතියි! ප්‍රියන්ත. කිව්වත් වගේ අපේ ඇත්තො දැනුවත් කරන්නම ඕනෙ මේවා පාවිචිය ගැන. දඩ මුදලක් අය කරනවා නම් වැරදි නොකරාවි. ඒ සඳහා නිරීක්ෂණ කැමරා යොදාගන්නත් පුලුවනි. නැත්නම් දවසට දෙකට මේවා ඉවර වේවි.
    ***** ඒවා පොඩි කාලේ සිට ගෙවල් වලින්ම පුරුදු කරන්න ඕනි දේවල්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට. ලොකු කාලයක් යයි මිනිස්සුන්ගේ මේ ආකල්ප වෙනස් කරන්න නම්. එහෙම උන දවසක නම් මේවා මුල් දිනවල ඇති ලස්සන සැමදාම පවත්වා ගනීවි.

      Delete
  13. නියම විස්තරේ ප්‍රියන්ත අයියා.. :)

    ReplyDelete
  14. හරිම පිරිසුදු, ලස්සන කෝච්චියක් නේ.

    කොච්චියේ උඩරට පැත්තට යනකොට තමයි ලස්සන. මමත් උඩරට මැණිකේ එකේ බණ්ඩාරවෙල වෙනකන් ගියා. අර ඔබ්සර්වේෂන් පෙට්ටිය කියලා තියන එකේ. ලස්සන බල බල ගියාට ගමන හෙමින් හින්දා ටිකක් විතර එපා උනා :)

    ReplyDelete
    Replies
    1. තවමත් මේවා පිරිසිදුව ලස්සනට තියනවා. ඒත් අපේ අය තව කොච්චර කාලයක් එහෙම තියාගනීවිද කියන්න නම් අපහසුයි.
      දැන් මේ පවර් සෙට් වලින් එකක් කොළඹ නානුඔය අතර සීඝ්‍රගාමී දුම්රියක් ලෙස යෙදවෙනවා.
      අනික් සෙට් කීපයක් දැනටම ලංකාවට ගෙනත්. ඒවාත් ඉක්මනින් ධාවනයට එකතු වෙයි.
      සයුරිටත් ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවාට.

      Delete
  15. මේ බ්ලොග් එකේ ගොඩක් දේ ලියවෙනවා. මේ වගේ දෙයක් නම් නිතර ලියවෙන්නේ නැතිවෙයි. මොකද අපිට අලුතින් කෝච්චි ලැබෙන්නේ අවුරුදු ගණනාවකට වරක් නිසා.
    ස්තූතියි ලක්මාල්....:)

    ReplyDelete