Friday, August 10, 2012

මගේ මතක - මං කියවූ බ්ලොග්.....


කාලෙකින් මේ පැත්තට එන්න බැරි උන නිසා අද ඇවිත් බලන්න හිතුනා මොකද වෙලා තියෙන්නේ කියා. කිසිම අවුලක් නැතිව බ්ලොග් එක හොඳට තියනවා. එකම වරද කාලෙකින් පෝස්ට් එකක් දාන් බැරි උන එකයි. මාසයකට පමණ කලින් ඇවිත් අලුත් බැනර් එකක් නම් දාලා ගියා. ඒත් පෝස්ට් එකක් ලියන්න තරම් අවස්ථාවක් ලැබුනේම නෑ. කෙනෙකුට හිතන්න පුළුවන් මොනවාද මූට මෙච්චර තියන වැඩ කියා. 
වැඩත් ගොඩක් තිබුනා. මාගේ සොයුරිය නව නිවසත් සාදා එයට ගෙවැදුනු නිසා එහි විවිධ කටයුතු වලට සහාභාගි වෙන්න උනා. එමෙන්ම පසුගිය කාලයේ බ්ලොග් අවකාශයේ එන්න තරම් ප්‍රියතාවයක් ඇති උනේම නෑ. මහා කුණාටුවටකට පසුව සියල්ල සංසුන් වෙනවා වගේ මේ දිනවල සයිබරයත් හරිම උදාසීනයි.
ඉතින් අද මට හිතුනා බ්ලොග් කියවන්න ආ දවසේ සිට මං ආසාවෙන් කියවූ බ්ලොග් ගැන ටිකක් මතකයට නගන්න. හැබැයි අද පෝස්ට් එක නම් ලින්ක් ගොඩක් එක්ක තමා දාන්න වෙන්නේ. ඒ ගැන අමනාපයක් ඇති කරගන්න එපා.
මම මුලින්ම බ්ලොග් කියවන්න එන්නේ අහම්බෙන් හමුවූ කතන්දර අඩවිය හරහා. වසර තුනක් පුරාවට නොකඩවා ලියවෙන කතන්දර මා දකින දක්‍ෂ බ්ලොග් කරුවෙක්. මා එය කියවන්න පටන්ගන්නා කාලයේ එය මාස 9ක් විතර පරණ බ්ලොග් එකක්. එහෙත් එහි ඇති ඔහුට ආවේණික රචනා ශෛලිය නිසා මා බ්ලොග් කියවන්න පෙළඹුනා. එහෙත් දැන් නම් අර මුලින් තිබුන රසය අඩුයි වගෙයි මට දැනෙන්නේ. එමෙන්ම මා කතන්දර අඩවිය කියවන්න ගියාම පත්වන ලොකුම අපහසුතාවය අර දාලා තියන ලින්ක් හැම එකක්ම බලන්න බැරි කම. සමහර විට නෙට් ස්ලෝ වෙලාවක ලෝඩ් කරන්නත් අපහසුයි. එහෙත් ඒ හැම ලින්ක් එකක්ම පාහේ කලින් කියවා ඇති ඒවා. මාතෘකාව තමා අමතක වෙලා තියෙන්නේ. එහෙත් මගේ අදහස කතන්දරට මීට වඩා ගොඩක් හොඳින් ලියන්න පුළුවන්. ඔහු මුල් කාලයේ එක් කතන්දරයක් තුල කතන්දර ගණනාවක් ලීවා. එක් එක් අයගේ බුද්ධි මට්ටමට ගෝචර වෙන ආකාරයට. කතන්දර විසින් ලියන කවි මා එදාත් අදත් ආසාවෙන් කියවනවා.
කතන්දර අඩවියෙන් මා පිවිසෙන්නේ සයිබර් යායටයි. තමන්ගේම සිත්තර සමග ඉදිරිපත් වන සයිබර් යාය හිනාවෙන්නම හොඳ තැනක් උනා. මා තනියම හිනාවෙන විට අපේ ඔෆිස් එකේ අනික් අයත් ඇවිත් ඔවුන්ද මෙය කියවන්න පුරුදු උනා. සයිබර් යායේ මා ප්‍රිය කරන්නේ චූටි මහත්තයාගේ පොඩි කාලේ කතා හා කුරුළු හමුදාවේ කතා වලටයි. එහෙත් පසුගිය කාලයේ වැඩිපුර කාටුන්ම ඇඳම නිසා අර මුලින් තිබුන තැන අඩු උනාද කියාත් මට හිතෙනවා.
මේ කාලයේම මා කියවන්න ගත් තවත් බ්ලොග් එකක් වූයේ ටැබූ සබ්ජෙක්ට්ස්. ටැබූ යනු ලංකාවේ සිටි දක්‍ෂ බ්ලොක් කරුවෙක්. ඔහුගේ ඇතැම් රචනා ශෛලියන්ට මා ප්‍රිය නොකලත් ඔහුගේ නිර්මාණාත්මක තාවය මම තවමත් අගය කරනවා. තම මතය පහසුවෙන් වෙනස් නොකරන ටැබූ අවස්ථා කීපයක කවි ලියා තිබුනා. ඒවායින් ඔහුගේ කලාකාමී බවත් මා වටහා ගත්තා. කිසියම් හේතුවක් නිසා එම අඩවිය මැකීයාම අලුතින් ආ අයට වෙනස්ම ආකාරයක ලියවිල්ලක් කියවන්න ඇති අවස්ථාව නැතිවී යාමක්.
මේ කාලය වන විට මා බ්ලොග් කරණයට පිවිසි අතරම බොහෝ බ්ලොග් කියවා කමෙන්ට් දාන්න පුරුදු වී සිටියා. ඒසේ කමෙන්ට් හරහා ගොස් හඳුනාගත් තවත් බ්ලොග් එකක් වන්නේ වත් ලියන සොඳුරු සිතයි. කවි, නිසඳැස්, කෙටිකතා ඇතුලත් මෙහි හොඳ නිර්මාණශිලී බවක් දකින්න පුළුවන්. එමෙන්ම එහි රචකයාගේ සිතිවිලි පෙන්වන කැඩපතක් බඳුයි. ලියන්නා තම ජීවිතය තුල ලබන සතුට, දුක ආදී සියල්ල නිර්මාණ තුලත් එලෙසම දකින්න ලැබුනා. එසෙන්ම එහි පළවූ ඇය පිරිමියෙකුගේ චරිතට ආරූඪවී ලියා ඇති කතා මාගේ සිතට හොඳින් දැනුනා. මෙය තවමත් හැකි විටෙක මා කියවන බ්ලොග් එකක්.
මේ කාලයේම මා ආසාවෙන් කියවූ තවත් බ්ලොග් එකක් එකේ වාට්ටුව. හෙද නිළධාරියෙකු තම වෘත්තීය අත්දැකීම් මේ හරහා සයිබරයට එකතු කරන්නේ සිත් ඇදගන්නා වචන විලාශයකින්. එමෙන්ම එහි ඇති හාස්‍යමය රසයත් නොඅඩුව විඳින්න පුළුවන්. අවාසනාවකට දැන් එය ලියවෙන්නේ නෑ.
මේ කාලයේම කියවන්න පටන්ගත් මං ආසම කළ කවි බ්ලොග් එක සිඩ්නි ලියූ විහඟ ගීතයයි. මා බ්ලොග් අවකාශයේ දුටු අති දක්‍ෂම කවියෙක් වූ සිඩ්නිගේ කවි ලිවීම නිසා මටත් යම් ප්‍රමාණයකට කවි ලියන්න ශක්තියක් ලැබුනා. මා අද යම් ආකාරයක කවි ලියනවානම් එයින් කොටසක ගෞරවය සිඩ්නිට දෙන්න මා සූදානම්.
   මේ සමග මා කියවන්න පිවිසෙන්නේ පොඩ්ඩිගේ පොඩිකුමාරිහාමි බ්ලොග් එකයි. සොඳුරුසිත බ්ලොග් අඩවිගේදී හඳුනාගත් පොඩ්ඩිගේ බ්ලොග් එක මා දිගටම කියවන තවත් හොඳම බ්ලොග් එකක්. රචකයාට ආවේණික ශෙලියකින් ලියවෙන මෙහි ඇය විසින් කරන නිර්මාණාත්මක කොටස් වලින් ලිපියට අලුත් පණක් දෙනවා. එමෙන්ම එහි ඇති හාස්‍යමය ස්වභාවයේ නිර්මාණ වලටත් සරල බවටත් මා වැඩියෙන් ප්‍රිය කරනවා. තම මතයේ තරයේ එල්බ සිටීමටත් ඇයි දක්‍ෂයි. වසර දෙකකට ආසන්න කාලයක් තම ජනප්‍රිය බව එකලෙස රැකගෙන ආ බ්ලොග් අඩවියක් ලෙසත් මෙය මා දකිනවා. එයට ලැබෙන 200 ඉක්මවා යන කමෙන්ට් ප්‍රමාණයෙන්ම ඇයගේ හැකියාව පිළිබඳ අදහසක් ලැබෙනවා.
   මීළඟට මගේ මතකයට නැගෙන්නේ ජීවිතේ මල් ලියන සංසාරේ අපි බ්ලොග් එකයි. එකිනෙකට වෙනස් මාතෘකා ඔස්සේ ඉතාම දක්‍ෂ ලෙස වචන හසුරවමින් ලියන මෙම බ්ලොග් කාරිණිය සතු හැකියාව, දැනුම හොඳින් තේරුම් ගන්න මෙහි පෝස්ට් කීපයක් පමණක් කියවීම ප්‍රමාණවත්. කමෙන්ට් නොකළත් මා මෙය නොකඩවාම කියවාගෙන එන අතර ආරම්භයේ සිට අද දක්වාම ගුණාතිමක බව රැකගනිමින් ගාලා යෑම මෙහි දක්නට ලැබෙනවා.
     මා ප්‍රිය කරන සරලම බ්ලොග් එක හා පැටික්කි බ්ලොග් එකයි. සරල භාශාව, පරිසරය සතුන් වැනි මා ප්‍රිය කරන දේ ගැන වැඩියෙන් ලියවීම, කමෙන්ට කරන සැමට ලෙන්ගතු ලෙස දක්වන ප්‍රතිචාර මා එහි දකින විශේෂත්වයයි. එමෙන්ම මෙහි ලියවෙන බොහෝදේ ලියවෙන්නේ පොඩි ළමයෙක් ලියනා ආකාරයටයි. බොහෝ කාලයකින් මෙහි සටහනක් දක්නට නොලැබීම කණගාටුවට හේතුවක්.
      තවත් මා නිතර ආගිය බ්ලොග් එකක් අතීතයෙන් අහුලන මතක. මා එහි සරල කවි කියවන්න තමා වැඩියෙන් ප්‍රිය කලේ. බොහේවිට තමන්ගේ ජීවන අත්දැකීම් ඇසුරින් ලියවුනු මෙම බ්ලොග් එකත් වසා දැමීම ගැන මට ඇත්තේ කණගාටුවක්.
   මා මෝටර් සයිකල් ලෝලියෙක්. මේ නිසාම ආසාවෙන් කියවූ බ්ලොග් එකක් කුශාන් ලියූ සිතැඟි. මා එහි වැඩියෙන් ප්‍රිය කලේ බයික් හා බයික් චාරිකා ගැන ලියවෙන ලිපි වලටයි. එයත් දැන් ලියවෙන්නේ නැති එකක් වෙලා. 
     තවත් මා කියවූ බ්ලොග් එකක් චානක ලියූ මකර රජදහන. තමන්ට හමුවන පින්තූරයක් හෝ තමන් ගන්නා ඡායාරූපයක් ඇසුරින් පෝස්ට් එකක් නිර්මාණය කරන්න චානක දක්‍ෂයෙක්. එමෙන්ම ඒ තුලින් කිසියම් සියුම් උපහාසයක් දෙන්නත් ඔහුට හැකියාව තිබේ. මෙයත් දැන් ලියවෙන්නේ නැති එකක් වෙලා.
    දැන් නිතර ලියවෙන්නේ නැති තවත් මං ප්‍රිය කරන බ්ලොග් එකක් හේමලයා ලියන මංමුලාවූ සිතිවිලි. කවි හා නිසඳැස් පමණක් ලියවෙන මෙහි විශේෂත්වය පද පේලි දෙක තුනක් තුලින් ලොකු කතාවක් කීමයි. ඇතැම් නිසඳැස් එතරම් සරල නොවූවත් පද පේලි කීපය කියවා එහි අරුත මනින්නට යෑම මට සිතට සතුටක් ගේන දෙයක්. මෙය තවම ලියවුන්ත් පෙර මෙන් නිතර ලියවෙන්නේ නෑ. මා දුටු මුල් කාලයේ දිනකට පෝස්ට් එකක් නොවරදවාම ලියවුනත් දැන් ලියවෙන්නේ කලාතුරකින්.
        එදා සිට අද දක්වාම නොනැවතී ගලා එන මා ප්‍රිය කරන තවත් බ්ලොග් එකක් වන්නේ මාරයාගේ හෝරාවයි. මා සයිබරයේ දකින් හොඳම අව්‍යාජ ආත්ම කථනය මාරයාගේ හෝරාවයි. තමන්ගේම ක්‍රමයකට, තමන්ගේ වචනයෙන් ලියවෙන එය ඔහුගේ හැකියාව මැනවින් පෙන්වා දෙනවා. ඔහු දකින ලෝකය, ඔහුට අයිති ලෝකය මාරයාගේ හෝරාවේ අපූරුවට සටහන් තබමින් බොහෝ කාලයක් ඔහු සයිබරයේ රැඳි සිටීම මා අගේ කරනවා.
මේ හා සමානවම සිදුකරන තවත් අව්‍යාජ ආත්ම කථනයක් තිබෙනවා. ඒ සඳරු ලියන හිස් අහසයි. අම්පාරේ සුන්දර මිනිසුන් රැඳි සුන්දර ගමකට අපි රැගෙන යන හිස් අහස සඳරූගේ ජීවිතය, ඔහු මුහුණ දුන් විවිධ දුක සැප මිශ්‍ර අත්දැකීම් සයිබරයට මුසු කරන අපූර්ව ස්ථානයක් මේ හිස් අහස. පසුගිය කාලයේ සම්මාන කීපයක්ම ලැබීමෙන්ම ඔහුගේ හැකියාවන් පිළීබඳ හොඳ තක්සේරුවක් ගන්න පුළුවන්.

අභීත ලියන ටිකක් හිනාවෙන්න හා රංග ලියන මගේ ලෝකය කියවන්න හේතු උනේ ඔවුන් දෙදෙනා දෙදෙනාට මඩ එල්ලකරගනිමින් ලියූ පෝස්ට් නිසාවෙන්. 
බ්ලොග් කාරිණීයගේ දිනපොත බඳු බ්ලොග් එකකි මා නිතර කියවූ සිහින තවලම. මෙහි සරල කවි/ නිසඳැස් කෙටි කතා ලියවෙනවා. එහෙත් ලියාගෙන ආ කෙටි කතාව එක්වරම වෙනත් පැත්තකට යන්නේ බ්ලොග් කාරිනියගේ ජීවිතයේ සිදුවන වෙනස්වීම් සමගයි. මෙහි මා දකිනා ආකාරයට බොහෝ පෝස්ට් ඇත්තේ සෘණාත්මක ආකාරයෙන්. මෙයද මෑතක සිට වසා දමා තිබෙනවා.
          කාලයක්ම මා කියවු තවත් හාස්‍යය කැටිවුන පාසල් සමයේ අත්දැකීම් පෙළ ගැස්වූ බ්ලොග් එකකි බ්ලොග් ගඩොල්. ගම්පහ ප්‍රදේශයේ සුන්දර ගමක ඉපදුන පූසන් පිරිසක් ලියන මෙය තවමත් පුරුදු ලෙසින්ම ගලා යනවා. මෙය කණ්ඩායමක් එක්වී ලියන බ්ලොග් එකක් වුවද ලියන කෙනා කවුද නොකියා එකම ගිණුමකින් පවත්වාගෙන යයි. ගැටවර වියේ කියුම් කෙරුම් පිළිබඳව වැඩිපුර ලියවෙයි.

ඉහතින් සඳහන් කළේ මා කියවූ හා දැනටත් කියවන පරණ එනම් මගේ බ්ලොග් ආගමනයා හා සමගාමී හෝ ඊටත් පෙර සිට පැවති මා නිතර ආගිය බ්ලොග් කීපයක් ගැනයි. මෑතකදී පැමිණි හා මා මෑතක සිට කියවන්න ගත් බ්ලොග් ගණනාවක් වෙනවා. මේවායින් මා නිතර යන එන තැන් ගැනත් කීවොත් හොඳයි කියා සිතුවා ලිපිය අවසන් කරන්න කලින්.
අධ්‍යාපනික වටිනාකමත්, ලිවීමේ ශෛල්‍යයත් නිසා මා කියවන්න ගත් හොඳ බ්ලොග් එකක් වෙද ගෙදර. අපේ දේශිය වෛද්‍ය ශාස්ත්‍රය, එහි එදා හා අද මෙන්ම හොඳ අධ්‍යාපනික අපදෙස් එහි ඇතුලත්. මෑත කාලයේ මෙම බ්ලොග් කරුවා ලියන්න ආරම්භ කළ ලංකා ඉතිහාසය පිළිබඳ ලිපි පෙළත් හොඳින් කරුණු හදාරා ලියන බවට පැහැදිලිව මා දකිනවා. මා මෙහි දකින අඩුපාඩුව නම් හිටි වනම ටික කාලයක් කිසිවක් නොලියා සිටීමයි.
             සොඳුරු සුව අසපුව යනු එදිනෙදා ජිවිතයේ අප මුහුණ දෙන විවිධ රෝග හා ඒවා වලක්වා ගැනීම, රෝග මුලින් හඳුනා ගැනීම, රෝග වලට කරනා විවිධ ප්‍රතිකාර පිළිබඳව සිතට දැනෙන ලෙස කතාබහ කරනා බ්ලොග් අඩවියකි. මෙහි පෝස්ට ආරම්භ වන්නේ එදිනෙදා සිදුවීමක් අනුසාරයෙනි. ඉන්පසුව කතාවක් ලෙසින් පෝස්ට් එක ගලායන අතර රෝගය හා සම්බන්ධ දේ ක්‍රමාණුකූලව විස්තර කරයි. බ්ලොග් කරුවා සෞඛ්‍ය ක්‍ෂේත්‍රෙය් ප්‍රවීණයෙකු බව ලියන ආකරයෙන්ම පැහැදිළි වේ. එමෙන්ම ඔහු හොඳින් අධ්‍යයනය කර පෝස්ට් ලියනා බවක් ලිපි තුලින් පෙනේ. 
සයිබරයේ කුඩාම බ්ලොග් තරු දෙකක් ලියන පුංචි හිතට දැනෙන දේ දිනිති හා මිතිලි දියණියන් දෙදෙනා ලියනා බ්ලොග් එක මා වැඩියෙන්ම ප්‍රිය කරන ළමා බ්ලොග් කරණයයි. තමන් දකින දේ තමා ප්‍රියකරන දේ දක්ෂ ලෙසින් බ්ලොග් එකක් තුලින් ලියනා මේ දෙදෙනා මා දකින ආකාරයට අනාගතයේ තම පියා මෙන් සයිබර් අවකාශයට වටිනා දැනුම එක් කරනු ඇත.
මෑතක සිට මා ගොඩක් ආසාවෙන් කියවන තවත් බ්ලොග් එකකි අස්වැන්න. මේම බ්ලොග් කරුවා ගීත සංගීතය වැනි විශයන් ගැන හොඳ දැනුමක් ඇති ලේඛකයෙකි. කාලයක සිට ලේඛන කටයුතු වල නිරත වෙන ඔහු දක්ෂ ගීපද රචකයෙක්ද වේ. ඔහු සංගීත කලාව හා එයට සම්බන්ධ ශිල්පීන් ගැන තමා සතු දැනුම, තමාගේ ආකල්ප නොමසුරුව බෙදා දෙයි. මීට අමතරව පොත පත පිළිබඳවද ඔහුගේ දැනුම අතිමහත්. ඒ සියල්ල කැටි කරගත් අස්වැන්න මා ප්‍රිය කරන මෑත කාලයේ ඇරඹුන බ්ලොග් අඩවියකි.

මේ මා නිතර යන එන නැතිනම් පෙර නිතර ඇවිද්ද බ්ලොග් කීපයක් ගැන මට නිදහසේ සිටිනා හෝරාවක සිතට නැගුන අදහස් කැටි කර දැක්වීමකි. තවත් අයෙකු මෙය වෙනස් ආකාරයකින් දකින්නට පුළුවන්. ඔබේ අදහසත් කැමතිනම් කෙටියෙන් සටහන් කර යන්න.
සුභ දවසක්....!!!
මට දැන් කෝපි කෝප්පයක් බොන්න වේලාව හොඳයි වගේ. කෝපි එකක් බොමුද?
(පින්තූර අන්තර්ජාලයෙනි)

Friday, May 25, 2012

ආයෙත් එහෙම වෙනවානම්......


හන්තාන කඳු වැටිය මතින් රන් කිරණ විහිදුවමින් හිරු නැගී එන එක අරුමයක් නම් නොවේ. මීදුම් නැති දවසට පහල ඇති පොල් ගස් වල දළු අතු මතට තමා මුලින්ම හිරු එළිය වැටෙන්නේ. මං ගෙදර ඉන්න දවසක නම් ඉර පායන්නත් කලින් පටන් ගන්නා මේ දසුන දෙස සෑහෙන වෙලාවක් බලන් ඉන්න එක පුරුද්දක්. ටික වේලාවකින් මිදුලටත් ඉර එළිය වැටෙනවා. මේ වෙලාව තමා දවසේ මං ආසම වේලාව. මුලු පරිසරයම පුදුමාකාර සුන්දරත්වයකින් පිරී ඉතිරී යනවා. ඒත් සවස රාස්සිගේ අවුව හන්තානෙන් මිදී ගොම්මන් කලුවර මිදුලට එව වෙලාවටනම් ඇති වෙන්නේ කියා ගන්න බැරි දුකක්.

නිවාඩු දවස් වලට වහිනවාට මං එච්චරම ආස නෑ. ඒත් වැස්සේ තෙමි තෙමී කඩදාසි ඔරු යැව්වේ නැති ළමයෙක් මේ රටෙන් හොයන්න කොච්චර අමාරුද. අම්මා කොච්චර බැන්නත් ඒ වැඩේ මම නෙවෙයි නැවැත්වූවේ. ඒත් ඒ දවස්වල වැස්සට තෙමුනාම හෙම්බිරිස්සාවක් උණක් නම් වරදින්නේම නෑ. 

මං පෙර පාසැල් ගිය කාලේ මට ටිකක් මතකයි. ඒවායින් හොඳටම මතක පෙර පාසලේ මිදුලේ කෝටු කෑලි වලින් චිත්‍ර ඇන්ද හැටි. මං වැඩියෙන්ම අඳින්න ආස වාහන. ඒ මම පිරිමි ළමයෙක් නිසා වෙන්න ඇති. දවසක් අඳින්න උනේ පෙරපාසල ඉදිරියේ විදුලි රැහැනක එල්ලී ජීවිතය අවසන් කල වවුලෙකුගේ චිත්‍රයක්. මට අදවගේ මතකයි මං තමා ඒ චිත්‍රය ලස්සනටම ඇන්දේ. පාසලේදිත් සාමාන්‍යපෙළට චිත්‍ර කලාව හදාරා ඇතත් මම කිසි දිනක චිත්‍ර තරඟයකට ඉදිරිපත් වෙලා නම් නෑ. 

පාසැල් කාලේ සිදුවීම උනත් ගොඩක් දේ මතකයි. එකක් මතක් කළ විට එක පෙළට සිදුවීම් ගණනාවක් සිහියට එනවා. දවසක් පාසල් නිමවී ගෙදර එන විට පූස් පැටියෙක් අරන් ආවා. ඌ රෑ එළිවෙනතුරුම නොනවත්වාම කෑ ගැසුවා. එක දවසින් පූසා එපාම වුවත් මට කරන්න දෙයක් තිබුනේ නෑ. එහෙත් පසු දින මා පාසල් ගොස් එනවිට අසල ගෙදරක ගැහැණු කෙනෙක් පූසා දැකලා අම්මාගෙන් ඉල්ලන් ගිහින්. කොපමණ උත්සාහ කළත් ඒ පූස් පැටියාගේ පාට නම් මට මතකයට ගන්න කිසිසේත්ම බැහැ. 

පොඩිකාලේ ඉඳන්ම මං ගොඩක් ආස කළ දෙයක් තමා වැස්සකට පසුව හොඳින් ඉරපායා ඇති උදෑසනක යන්තම් සුළඟක් ඇතිනම් තනියම ඇවිදින එක. පාරේ ඇති ගල් කැට වලට පයින් ගසමින්, සිංදුවක් මුමුණමින්, වරෙක උඩ පනිමින් ඇවිදින්න මම හැමදාමත් ගොඩක් ආසයි.

පොඩි කාලේ කළ තවත් වැඩක් තමා බත්කූරන් අල්ලාගෙන උන්ගේ තටු සතරම එකට සිටිනාසේ අල්ලාගෙන කුඩා ගල් කැටයක් අසලට ලං කළ විට ඌ එය අල්ලා ගන්නවා. ඉන්පසු එය ඔසවාගෙන ගොස් වෙන තැනකට දානවා. දැන් නම් ඒ ගැන ඇති වන්නේ ලොකු කණගාටුවක්. 

ගේ පසුපස ඇල්ලේ කුඩා පාරවල් කපා සෙල්ලම් වාහන පැදවූ හැටි තාමත් මතකයි. පස් කපා පාරවල් හදන්න කුඩා බුල්ඩෝසරයක් හා කපන පස් පසෙකට ගෙනයන්න කුඩා ලොරියක් කැඩුනු සෙල්ලම් වාහන වලින් ගත් කොටස් වලින් මම සාදා ගත්තා. ත්‍රස්තවාදී කලබල ඒකාලයේත් නිතරම පැවතුනා. ත්‍රස්තවාදීන් වාහන බෝම්බ වලින් විනාශ කළ දර්ශන රූපවාහිනියෙන් නිතර දකිනවා. දවසක් ඒක බලන්නම මගේ සෙල්ලම් කාර් එකක් රතිඤ්ඤයක් දමා පුපුරවා හැරියා. එහෙත් උනේ එය උඩ ගොස් නැවත බිම වැටුන එක විතරයි. 

මම ගොඩක් ආසාවෙන් කල දෙයක් තමා පාසල් යන එක. කිසිදාක පාසල් නොගොස් බොරු කියා ගෙදර ඉඳලා නෑ. සමහර විට අසනීපයෙන් පවා පාසල් ගියා. පාසලේ අද මට සයිබරයේ ඉන්නවා වගේම හොඳ යාළුවන් පිරිසකුත් හිටියා.

උඩ ඉඳන් පහලටම කියවන් ආවා නේද. කිසිම පිළිවෙළක් නැතිව ඔහේ ලියවුන මතකයන් කීපයක ආවර්ජනයක් පමණයි නේද. අපේ ජීවිතත් එහෙම තමා. අපි කොයි තරම් සැලසුම් කළත් එදිනෙදා සිදුවීම් වෙන්නේ අපට අවශ්‍ය ආකාරයට නොවේ. ඒවායින් අපට අවශ්‍ය දේ වෙන්කරගෙන අනවශ්‍ය දේ ඉවත් කිරීම තමා අප ජීවිත කාලය පුරාම කරන්නේ.

ආයෙම මුලින් කීව දේවල් මතක් කරනවානම් ඒ කළ හැමදේම වගේ දැන් කරන්න බෑ. කරන්න පුළුවන් උනත් කරන්න හිතෙන්නේම නෑ. එහෙම කලොත් දකින අය කියයි අන්න අරකා පොඩි එකා වෙන්න යනවා කියලා. ඇත්තත් ඒකනේ. අපි පාසල් අධ්‍යාපනය අවසන් කරලා සමාජයට එන්නේ වැඩිහිටියන් වශයෙන්. අපි කොතරම් පොඩි එකා වගේ පෙන්වුවත් සමාජය අප දෙස බලන්නේ නෑ එහෙම. ඒ කියන්නේ මම දැන් පොඩි එකෙක් නෙවෙයි.

අදට අවුරුදු දෙකක් සපිරෙන මගේ බ්ලොග් එකත් දැන් පොඩි ළමයෙක් කියන්න බෑ. ඒත් ඉතින් මෙතනදී නම් මට කැමති විධියට ලියන්න පුළුවන්. මට විතරක් නෙවෙයි ඕනිම කෙනෙක්ට බ්ලොග් කලාවේදී එහෙමයි. ඒකනේ මේවායේ කිසිම තේරුමක් නැති අමුතුම වචන වලින් පවා පෝස්ට් ලියවෙන්නේ. මොනවා උනත් පටන් ගත් වැඩේ මෙච්චර දුරට ඇදන්න එන්න පුළුවන් උන එක ගැන අවංක සතුටක් දැනෙනවා. ඒ පසුපස නම් සඳහන් නොකළත් ගොඩක් අය ඉන්නවා. ඒ සැම දෙනාටම මගේ ස්තූතිය.....
තවත් සටහනකින් හමුවෙමු. සුභ දවසක්...!!!!

Thursday, May 17, 2012

Computer Hardware පාඩම 09 (Part 02)

Expansion Cards පිළිබඳ පාඩම අතරමැදින් නතර කළා කියා ඔබලාට මතක ඇතැයි හිතනවා. කාලෙකින් ලියන්න ගත් නිසා පරණ ලිපි ලියූ ගැම්මෙන් එක වරම ආයෙම ලියන්න අපහසුයි. ඒ සුපුදුරු රිද්මය එන්න තව ටික දවසක් යාවි. එතෙක් හෙමින් ගමනක් යමු. එහෙනම් අද පාඩමේ ඉතිරි කොටස.

Modem Card
PCI Modem Card
අද ජාල ගත වෙන අයගෙන් වැඩිම ප්‍රතිශතයක් ඒ සඳහා යොදාගන්නේ Broadband සබඳතා. මේ සඳහා Router එකක් හෝ Dongle එකක්. එහෙත් දැනට වසර කීපයක් අතීතයට ගිය විට ඒ සඳහා භාවිතා කලේ Modem. Modem යනු modulator-demodulator යන්න කෙටියෙන් භාවිතා කරනා ආකාරයයි. මෙහි භාවිතය වන්නේ analog telephone signal digital codes වලට හැරවීම හා digital codes නැවත analog telephone signal වලට හැරවීමයි. මේවා විවිධ දත්ත හුවමාරු වේගයන් යටතේ නිපදවූ අතර වාර්ථා මෑත කාලීනව බහුලව භාවිතා වූයේ 28.8kbps සිට 56 kbps දක්වා ඒවායි. මේවායේ මූලික භාවිතය වූයේ අන්තර්ජාල සම්බන්ධතා ලබා ගැනීම හා Facsimile (FAX) සඳහා යොදාගැනීමයි. තවමත් Modem මගින් අන්තර්ජාල සේවා ලබාගන්න ස්ථාන ඇත. FAX සඳහා නම් තවමත් භාවිතා කරයි. මීට අමතරව මේ සඳහාම භාවිතා කරනා External Modem ඇත. එහෙත් මෙහි ඒ පිළිබඳ කථා කරන්නට බලාපොරොත්තු නොවෙමි. (රූපය බලන්න)
Network Card
මුල් කාලයේ පරිගනක වල මේවා මවු පුවරුවේ නොවූ අතර පසු කාලීනව Integrated Network Card දක්නට ලැබුනි. නමුත් සමහර මවු පුවරු වල තවමත් දක්නට නැත. පරිගනකය ජාලයක් හා සම්බන්ධ කිරීමට Network card එකක් භාවිතා කරයි. මේ සාමාන්‍ය භාවිතයට ගන්නා PCI Network card එකකි.
PCI Network card 
සර්වර් පරිගනක සඳහා නෙට්වර්ක් ඉන්ටර්ෆේසස් කීපයක් අවශ්‍ය වේ. ඒ සඳහා වැඩි දත්ත සම්ප්‍රේශණ වේගයක් සහිත පෝර්ට් ගණන වැඩි කාඩ් භාවිතා කරයි. ඒ එවන් කාඩ් එකකි.

දැන් රැහැන් රහිත පරිගනක ජාල බහුලය. ලැප්ටොප්, නෙට්බුක් පරිගනක වල Integrated wireless network තිබුනද ඩෙස්ක්ටොප් පරිගනක වයර්ලස් ජාලයකට සම්බන්ධ කිරීමට පහත ආකාරයේ නෙට්වර්ක් කාර්ඩ් භාවිතා කරයි.
Wireless Network Adepter
අද කාලයේ පරිගනක සෑම විටම අන්තර්ජාලය හා සම්බන්ධවී පවතියි. මේ නිසා මේවා බොහොමයක ජාලය හා සම්බන්ධ වන සම්බන්ධතාවය ඇති කරගන්නේ Network card එක හරහාය. මීට අමතරව Integrated card එක යම් හේතුවක් නිසා ක්‍රියා නොකරන පරිගනක සඳහා මෙවැනි Network card එකක් අමතරව සම්බන්ධ කිරීමෙන් නැවත ජාලයක් හා සම්බන්ධ වීමට හැකියාව ඇත.

TV/Radio Card
මෙය පරිගනකයට අත්‍යාවශ්‍ය අංගයක් නොවුනත් බොහෝ දෙනෙක් පරිගනක වල භාවිතා කල උපාංගයකි. රූපවාහිනා නාලිකා නැරඹීමට හා රේඩියෝ සඳහා සවන් දීමට මේවා භාවිතා විය. එහෙත් දැන් බොහෝවිට ඇත්තේ External Combo Box නමින් හැඳින්වෙන මොනිටරය හා කෙලින්ම සම්බන්ධ කළ හැකි බාහිරව භාවිතා කරන ඒවාය. 

Capture Card.
වීඩියෝ එඩිටින් සඳහා මේවා බහුලව භාවිතා කරයි. TV කාර්ඩ් වලද කැප්චර් කිරීමේ හැකියාව ඇතත් කැප්චර් කාඩ් වෙනම ඇත. මේවා වෘත්තීය වීඩියෝ එඩිට් කරන්නන් බොහෝවිට භාවිතා කරයි. මේ නවීන කැප්චර් කාඩ් එකකි.
තවත් මෙවැනි කාඩ් වර්ග ගණනාවක් ඇතත් ඒ සියල්ල සාකච්චා කිරීම ලිපිය අනවශ්‍ය ලෙස දිගු කිරීමකි. එනිසා Expansion Card පිළිබඳ සාකච්ඡාව මෙයින් අවසන් කරනවා. තවත් විස්තර අවශ්‍ය අයෙක් ඇතිනම් ඒවා පිළිබඳව විස්තර ලබා දෙන්නත් සූදානම්. 

සටහන.

සාමාන්‍යයෙන් මා සටහන් තබන්නේ මාගේ පෝස්ට් එකට අදාළ කරුණු පිළිබඳවයි. නමුත් බ්ලොග් අවකාශයේ එක් සුවිශේෂි භූමිකාවක් නිරූපනය කළ Observer හෙවත් සනත් විජේවර්ධන මහත්මා පසුගිය ඉරිදා සදහටම යන්න ගියා. ඔබ්සර්වර් මාමේ ඔබට නිවන් සුව ලැබේවා.

Thursday, May 10, 2012

Computer Hardware පාඩම 09

Computer Hardware පාඩම යටතේ පසුගිය වසරේ අගෝස්තු 31 වෙනිදායින් පස්සේ කිසිම දෙයක් ලියන්න බැරි උනා. ආපු පිළිවෙලට ආවනම් මේ වන විට ඒ පාඩම් මාලාව ලියා අවසන්. අර දවසක් කතන්දර කීවා Writer block කයන ලෙඩේ මටත් හැදිලා වෙන්න ඇති. ලියන්න හිතෙන්නේම නෑ. ඒත් පසුගිය දවසක මාරයා තම පෝස්ට් එකකින් මගේ බ්ලොග් එක ගැන කීව අගය කිරීම නිසා මම මේ පාඩම් නොලියා සිටීමෙන් කිසියම් පිරිසකට යම් අසාධාරණයක් කරනවා යන සිතිවිල්ල ඇතිවුනා. ඒ නිසයි මේ පාඩම් මාලාවට නැවත අවතීර්ණ විමට කරන මේ උත්සාහය. බලමු මෙවර කලින් මෙන් පාඩම් සාර්ථක වෙයිද නැතිද? පාඨක ප්‍රතිචාර මොන වගේ වෙයිද කියා. එහෙම නම් අපි උපාංග හඳුනාගනිමින් සිටියේ. අවසන් ලිපියෙන් ලියවුනේ Hard disk පිළිබඳවයි. අද ඒතැන් සිට.
අපි Mother Board යටෙත් Expansion Slot ගැන කථා කළා ඔබට මතක ඇති ෙන්ද අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ Expansion Cards ගැනයි.

මොනවාද මේ Expansion Cards කියන්නේ.
අපි දැන් දන්නවා පරිගනකයේ Main board එක මත ඇති උපාංග වල සීමාවන් ඇති බව. එහි නැති කොටසක් අපට පරිගනකයට සවිකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් අවශ්‍ය වෙනවා. ඒ සඳහා Main board එකේ ඉඩක් වෙන් කර තිබෙනවා. එම ඉඩ පහසුකම අප Expansion Slot නමින් හඳුන්වනවා. ඒවාට සවිකරන උපාංග අප විසින් Expansion Cards නමින් හඳුන්වනවා. මුල් කාලයේ බොහෝ උපාංග පැමිණියේ Expansion Cards ලෙසයි. නමුත් කල් යත්ම ඒවායින් බොහොමයක් On board (මවුපුවරුව මතම සවිකර) නිකුත් කළා. දැන් අප බහුලව භාවිතා කරනා Expansion Cards ගැන කෙටි විමසීමක් කරමු.

I/O Cards.

මේවා තරමක් පැරණි පරිගනක වල (උදා 80286, 80386, 80486) වල භාවිතා වුන අතර ඉන් පසු ඒවායේ Main board එක මත On board I/O ලෙස දක්නට ලැබේ. Hard disk controllers, Floppy disk controllers, Communication controllers (COM1, COM2), Parallel port (Printer port) බොහෝවිට මේවායේ ඇත. පසු කාලීනව මේවා Main board එකෙන් ඉවත් වුවත් දැනටත් මේවායේ භාවිතයන් ඇත. Main board එකට අලුතින් USB port එකතු කර ගැනීමට. අලුත් බෝඩ් වල IDE connectors ඇත්තේ බොහෝවිට එකකි. ඇතැම් විට එකක්වත් නැත. එවන් අවස්ථාවක අලුත් පරිගනකයට පැරණි IDE device එකක් සම්බන්ධ කිරීමට I/O card එකක් භාවිතා කළ හැක. තවත් මෙවැනි භාවිතා රැසක් ඇත.
උදාහරණ.
PCI-Express I/O card එකක්

අලුත්ම පරිගනක වල ප්‍රින්ටරය සඳහා Parallel port එකක් නැත. එහිදී ඉහත ආකාරයේ කාඩ් එකක් භාවිතා කළ හැක.

Video Card (Display Adapter)
Video card එකක් භාවිතා වන්නේ පරිගනකයේ ප්‍රතිදානය (OUT PUT) Display device එකක් මත (Monitor) ලබා ගැනීමටය. විවිධ slot සඳහා නිපදවුන Video card භාවිතා වුන අතර ඒවායින් ඉතා බහුලව භාවිතා වූ Video card වර්ග 4ක් පිළිබඳව මෙහි සඳහන් කෙරේ.
ISA Video card එකක්

PCI Video card එකක්
AGPI Video card එකක්
PCI-Express Video card එකක්
ඉහත දැක්වෙන්නේ මුල් කාලයේ සිට මේ දක්වා Video cards ආකාර 4කි. මේවායේ උප ආකාර කීපයක් පැවතිනි. උදා AGP 2.0, AGP 4.0 ආදී වශයෙන්. මුල් කාලයේ මේවා Main board එක මත දක්නට නොලැබුන අතර පසුව On board card එකක් ලෙස ඇත. එහෙත් තවමත් මේවා අපේ අවශ්‍යතාවය අනුව වෙනස් කිරීමට බෝඩ් එකේ ස්ලොට් එකක් ඇත. අලුත් පරිගනක ක්‍රීඩා, බහුලව ග්‍රැෆික් භාවිතාවන ප්‍රෝග්‍රම් සඳහා වැඩි ප්‍රෝසෙසින් හැකියාවක් හා වැඩි මෙමරියක් සහිත කාඩ් එකක් යොදාගන්නේ මේ පහසුකම නිසාය. එය ඔබ භාවිතා කරන ගේම් එක හෝ ප්‍රෝග්‍රම් එකේ මැනුවල් එකේ දක්වා ඇති ආකාරයට තෝරා ගැනීමට පුළුවන. සාමාන්‍ය කාර්යාලීය කටයුතු, ඉන්ටර්නෙට් භාවිතය සඳහා On board card එකක් ප්‍රමාණවත්ය.

Sound Card.
Sound card එකක් භාවිතා වන්නේ පරිගනකයක ශබ්ද ප්‍රතිදාන ඩිවයිස් (Sound output device) එක ලෙසයි. මේවාද මුල් කාලයේ පරිගනක වල දක්නට බැලුනේ නෑ. පසුව ISA Bus Sound card Expansion Card එකක් ලෙස භාවිතයට එක් වූවා. මේ එවැනි Sound card එකක්.
ISA bus Sound card එකක්.
මේවායේ අමතරව එක් IDE connector එකක් ඇත. මෙවැන්නක් සවි කිරීමේදී මෙහි IDE port එක භාවිතා කරනවානම් On board හෝ Expansion Card එකේ Secondary IDE port එක disable කළ යුතුය. Games සඳහා භාවිතා කරන Joystick සම්බන්ධ කරන game port එක  Sound card එකේම ඇත.
PCI Sound card එකක්.

ISA වලට පසුව PCI Sound card භාවිතයට පැමිණි අතර ඒවැනි card එකක් ඉහත රූපයේ ඇත. මෙහි IDE connector එකක් දක්නට නැත. මුල් කාලයේ PCI card එකක් නිසා මෙහි game port එක දක්නට ඇත. පසුව game controllers USB භාවිතා කිරීම නිසා දැන් අලුත් කාඩ් වල එය නැත. අලුතින් නිපදවන main board වල on board sound card ඇතත් විශේෂ අවස්ථා සඳහා මෙන්ම තත්වයෙන් උසස් sound effects ලබා ගැනීමට Expansion Card එකක් තවමත් භාවිතයට ගනී.

ඔන්න කාලෙකින් ආයිම Computer Hadware පාඩම් මාලාව ලියන්න ගත්තා. මාස 8කින් පමණ ලියන නිසා එක්වරම දිග පෝස්ට් එකකට යන්න අපහසුයි වගේ. ඒ නිසා මෙහි ඉතිරි කොටස මීළඟ පෝස්ට් එකෙන්. තවත් පෝස්ට් දෙකකින් හෝ 3කින් මෙම පාඩම් මාලාවේ පළමු කොටස අවසන් කරනවා. කලින් පෝස්ට් අමතක අයට හා අලුත් අයට පරණ Computer Hadware පාඩම් පෝස්ට් බලන්න මෙතනින් යන්න.

එහෙනම් අදට ගිහින් එන්නම්..
සුභ දවසක්...!!!!

Wednesday, May 9, 2012

වාහිණි වාහිණි වාහිණි...........


ටයිටල් එක දැක්කාම මොකක්ද මේ යන්නේ කියා හිතාගන්න බැරි වෙන්න ඇති කියලා හිතනවා. ඒත් මේ උඩ පින්තූරේට සමාන පින්තූර නම් ඔයාලා ඕනි තරම් දකින්න ඇති මේ දවස් කීපයේ රූපවාහිනී නාලිකා වලින්. ඒ පසුගිය 6 වෙනිදා කොරියාවේ කැරෝකේ සමාජශාලාවක ඇතිවූ ගින්නක් පිළිබඳ පුවතත් සමගින්. 
මම සෑම දිනකම නොවරදවා ප්‍රවෘත්ති බලන කෙනෙක් නෙවෙයි. ඒ වගේම හැම නාලිකිවකම පුවත් බලන්නෙත් නෑ. වැඩක් නැති උනාම ගෙදර අය බලන නාලිකාවක ඇති ප්‍රවෘත්ති බැලීමයි මා කරන්නේ. සාමාන්‍යෙයන් මා පුවත් දැනගන්නේ අන්තර්ජාලය හරහා. නැතිනම් පුවත්පත් වලින්. මා ලංකාවේ නාලිකා වල පුවත් නැරඹීම නිසා ඇතිවූ ආකල්ප ලියන්න තරම් හිතුනත් මොනාවාටද මේවා ලියන්නේ, අනික ලංකාවේ කී දෙනාද බ්ලොග් බලන්නේ කියා සිතුන නිසා ලීවේ නෑ. ඇත්තෙන්ම අපි ලියන දේ හා ඒවා කියවන සුළු පිරිසක් සැලකූ විට ඇත්තෙන්ම අපිට සමාජයේ මතවාදයක් ඇති කරන්න බෑ. එහෙත් පසුගිය දා ඇතිවූ ගින්න පිළිබඳ පුවත මා නැරඹු චැනලයෙන් විකාශය වූ ආකාරය මගේ සිතට කිසිසේත්ම සෑහීමකට පත් වන්න බෑ.
එම පුවත ලංකාවට ලබාදුන් ජාත්‍යන්තර මාධ්‍ය එය වාර්ථා කිරීමේදී එහිදී අනතුරට පත් අයට ප්‍රථිකාර කිරීමට පිටතට ගෙනයන දසුන්, එහි සිට පිටතට එන අය, මියගිය අය පෙන්වීමේදී අනුගමනය කළ පිළිවෙත වූයේ ඔවුන්ගේ මුහුණ හඳුනාගැනීමට නොහැකි ආකාරයෙන්. නමුත් ලංකාවේ මා දුටු රෑපවාහිනී සේවාව ඔවුන්ගේ නම් ගම්, ඡායාරූප, පවුලේ අයගේ හා නිවෙස්වල වීඩියෝ පවා පෙන්වූවා. මං හිතන්නේ දුන්නේ නැත්තේ ටෙලිෆෝන් නම්බර් එක විතරයි. 
මොකක්ද මෙහි ඇති ප්‍රශ්නය. 
ලංකාවේ සමාජ ශාලාවකට ගියා කීවාම ගම්වල සලකන්නේ සල්ලාලයෙක් වශයෙන්. එමෙන්ම සමාජ ශාලාවකට යන අයට පිළිකුලක් එල්ල වෙනවා තවමත් මේ සමාජයේ. එවැන්නක සේවය කරන තාක්‍ෂණ ශිල්පියෙකුට පවා ගමට ඇවිත් කියන්න බෑ තමන් සේවය කරන්නේ සමාජ ශාලාවක කියා. මේ නිසා මෙම මියගිය අයට තමන් සිටි පරිසරයෙන් පිළිකුලක් එල්ල වෙනවා. ගෙවල් වල අය පවා තම පවුලේ සාමාජිකයා ගැන හිතන්නේ පහත් තත්වයෙන්. එමෙන්ම එම පවුල් වල අයට ගමට මුහුණ දෙන්න අපහසු වෙනවා. සමහර විට මේ අයගේ දෙමාපියන් දරුවා නැතිවීම පිළිබඳ ශෝකය සමග සමාජයට මුහුණ දෙන්න ඇති අපහසු තාව නිසා දැඩි මානසික පීඩනයකට ලක්වෙනවා. සමහර විට දුර්වල මානසික මට්ටමක් ඇති අයෙක් සියදිවි නසා ගන්න පවා පෙළඹෙන්න පුළුවන්.
මෙය ප්‍රවෘත්තියක් වශයෙන් කියන්න ඇත්තේ වචන කීයද?
"කොරියාවේ සමාජශාලාවක ඇතිවූ ගින්නක් නිසා ශ්‍රී ලාංකිකයන් 3දෙනෙකු මිය ගොස් තිබෙනවා. මොවුන් ගින්නට අසුවූයේ සේවා කාලයෙන් පසුව එහි ගොස් සිටියදී. මොවුන් අහවල් ස්ථානවල පදිංචි කරුවන්."
මීට වඩා ප්‍රවෘත්තියකට අවශ්‍ය මොනවාද. මැරුණේ කවුද? ඔවුන් කොහේ අයද? ඔවුන්ගේ ඥාතීන් කවුද? ගෙවල් කොහේද වැනි විස්තර අපට වැදගත් නෑ. අපට අවශ්‍ය මිය ගියේ ශ්‍රී ලාංකිකයන් බ පමණයි.
අනෙක් කාරණාව සමාජශාලාවක් යනු නීති විරෝධි තැනක් නොවේ. එහි යෑම නීතියෙන් තහනම් නෑ. 

අපේ රූපවාහිනී සේවා පුවත් විකාශය කරන්නේ තමන්ට කැමති ආකාරයටයි. ඔවුන් සිතා සිටින්නේ තමන්ට ඕනි දේ ජනතාව නැරඹිය යුතු බවක්. මෙම නාලිකාවම රිය අනතුරක් ගැන පුවතක් පෙන්වන්නේ ගෙදර 5ක් හිටියා. ළමයි පොඩියි, කට්ටිය සතුටින් හිටියා, විනෝද ගමනක් යන්න තීරණය කළා එක්කෙනෙක් යන්න බෑ කියා නෑ ගෙදරක නැවතුනා. 4යි ගියේ. ගියේ ත්‍රිරෝද රථයක. එය පහසු ගෙවීමේ ක්‍රමයට ගත් එකක්. වේගයෙන් ආව බස් එකක එය හැපුනා. බස් එකේ 60ක් හිටියා. රියදුරු උසයි, එච්චර වයස නෑ, වැරදි පැත්තෙන් බස් එක ආව නිසයි වැදුනේ. වැනි ආකාරයකට. මෙය ඔවුන් නලු නිළියන් යොදා රඟ දක්වා පෙන්වනවා. මුළු සිද්ධිය පෙන්වන්න විනාඩි 5කට වඩා ගන්නවා. එහෙත් සැබෑවට අනතුරට ලක්වූ රථය පෙන්වන්නේ තත්පර කීපයයි. ලේ වැගිරෙන තුවාල කරුවන් වැනි සංවේදී අයට බලන්න අපහසු දර්ශන නම් විනාඩි ගණන් පෙන්වනවා. මෙවන් පුවත් කීපයක් පෙන්වූ විට වෙලාව අවසන්. මේ නිසා වැදගත් පුවත් ගණනාවක් පෙන්වන්න අවස්ථාවක් නෑ.
තමාට හිතවත් කලා කරුවෙක් මියගිය අවස්ථාවක ලොකු කාලයක් වෙන්කල මෙම නාලිකාවක් ජනතාවට සමීප වෙනත් කලා කරුවෙකුගේ මරණය රටතොට කෙටියෙන් වලට පෙන්වූ අවස්ථාවක් මට මතක් උනේ මේ වෙලාවේ.
මාධ්‍ය වලට හිමි නිදහස ගැන අහස උසට කතා කරන මෙම මාධ්‍යවල ඇත්තම මාධ්‍ය සදාචාරය මෙයනම් මම මේවා නොබලා සිටීම හැර වෙන කුමක් කරන්නද?

නිකන් ඉන්නවාට ලියවුන පෝස්ට් එකක්. මාස 8ක් තිස්සේ නැවතී ඇති හාඩ්වෙයාර් පාඩමට අදාළ පෝස්ට් එකක් හෙට පළ කරන්න බලා පොරොත්තුවෙන් ඉන්නවා. නොවැරදීම හෙට මේ පැත්තට ගොඩවෙන්න අමතක කරන්න එපා.
අදට ගිහින් එන්නම්..
සුභ දවසක්...!!!!