නයිට් මේල් එකේ හැටන් වලට ගොස් එතැන් සිට රොසැල්ලට පැමිණ රොසැල්ල සිට පයින්ම ඉහල වටවලට ආව තැනින් තමා අපි අන්තිම පෝස්ට් එක නතර කලේ. එතැන් සිට ඉදිරියට ගමන ගැන කියන්නයි අද මේ සූදානම.
ඉහල වටවලින් පිටත්වූ අප ඉන් පසුව එන්නේ වටවලටයි. වටවල යනු කලක් ලංකාවේ වැඩිම වර්ශාපතනයට ලක්වූ ප්රදේශයයි. පොඩ්ඩි හා ළිහිණිත් ඒ ගැන කමෙන්ට් වලින් අහලා තිබුනා. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 5023.6 වන වටවල මේ වනවිට වැඩිම වර්ෂාපතන ලැයිස්තූවේ පසුවන්නේ සිව්වැනියට. දැන් ලංකාවේ වැඩිම වර්ශාපතනයට ලක්වන ප්‍රදේශය මාලිබොඩයි. සබරගමුව පළාතට අයත් මාලිබොඩ (වාර්ෂික වර්ශාපතනය මිලි මීටර් 5330) මධ්‍යම කඳුකරයෙන් ගිලිහුනු වැඩිම වැස්සේ අයිතිය ලබා ගනිද්දී වටවල සිව්වන ස්ථානයේ පසුවනවා. අප වටවලට ලඟාවන විට වේලාව උදේ 10.30ට පමණ වෙන්නට ඇති. අහසේ වළාකුළු පිරෙන්න ගත්තේ මේ වෙලාවේ. පරිසරයේ තරමක සීතලක් පැවතුනා.
අප වටවලට පැමිණ ටිකවේලාවකින් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පොඩිමැණිකේ (පොඩ්ඩි) වටවලට ළඟාවුනා.
පොඩ්ඩි රැගෙන ආ මේ දුම්රිය එන්ජිම ඔයාලට මතකද.....
M6 කාන්ඩයට අයත් 786 දරණ මේ එන්ජිම තමා 2005 අප්‍රේල් මස 27 වෙනිදින යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී පුද්ගලයින් 37 දෙනෙකුට පමණ මරු කැඳවමින් බස් රියක් හා ගැටුනේ. M6 කාණ්ඩයට අයත් දුම්රිය එන්ජින් තමා කොහොමත් උඩරට මාර්ගයේ සුපිරි වීරයන් වී ඇත්තේ. උඩරට මැණීකේ, පොඩිමැණිකේ හා රාත්‍රි තැපැල් දුම්රිය යන ප්‍රධාන දුම්රිය තුනටම බලය සපයන්නේ මේ වර්ගයේ එන්ජින්.
වටවලදී දක්නට ලැබුන එක් වැදගත් දෙයක් තමා weighbridge එක. මෙය භාවිතා කරන්නේ භාන්ඩ ප්‍රවාහන ගැල් වල බර කිරීමට. ගැලෙහි බර කලින් දන්නා නිසා මුළු අගයෙන් එය අඩු කිරීමෙන් ඒවායෙන් ගනෙ ආ භාන්ඩ වල බර ලබාගැනීමට පුළුවන්.
මේ එහි පිටත භාන්ඩ ප්‍රවාහන මැදිරි (ගැල්) නවත්වන පාලම් කොටස....
මේ ඇතුලත ඇති තරාදි කොටස
1894 HODCSON AND STAD MANCHESTER ආයතනය නිපදවා ඇති මෙය කෞතුක වටිනාකමක් ඇති එකකි. එහෙත් දැන් නම් බොහෝදුරට විනාශ වී ඇත.
මේ වටවල දුම්රිය ස්ථානයේ ඇති පැරණි ගල්අඟුරු කෝච්චි සඳහා ජලය සැපයූ ජල ටැංකියයි..
වටවලදී හමුවූ අපූරු යාළුවෝ දෙන්නෙක්. (ඡායාරූපය - /ගයන්ත)
වටවලින් පිටත්වූ අපි ගමන ආරම්භ කලේ හැකි ඉක්මනින් ගල්බොඩ දුම්රිය ස්ථානයට එන්න. ඒ සවස 2.50ට එහි ළඟාවන පොඩිමැණිකේ දුම්රියෙන් ආපසු එන්නයි. ටික වේලාවකින් වැසි අඳුර අඩුවී නැවත අව්ව වැටෙන්න ගත්තා.
මේ කොළඹ සිට සැතපුම් 100 දැක්වෙන ස්ථානය.
ඔබට මතකද 1992 ජූනි මස 3 වෙනිදා වටවලදී සිදුවූ නාය යෑම. කොළඹ සිට 99 1/2 සැතපුම් කණුව ආසන්නයේ තමා මෙම නෑය යෑම සිදූවූයේ. අමතක අය අන්තර්ජාලයෙන් සොයාගත් මේ ඡායාරූපය බලන්න.
![]() |
ඡායාරූපය අන්තර් ජාලයෙනි. අයිතිය නොදනී. |
එදින මෙම අනතුරට ලක්වූයේ භාන්ඩ ප්‍රවාහනය කරමින් සිටි M6 කාණ්ඩයේ 790 එන්ජිමයි. මෙම නාය යෑමෙන් පසුව එම ස්ථානයෙන් නැවත රේල් පාර සැකසීමට හැකියාවක් ලැබුනේ නෑ. දැන් රේල් පාර ඇත්තේ ඊට තරමක් එපිටින්.
ඊතලයෙන් පෙනෙන්නේ නාය යෑමට ලක්වූ ස්ථානයයි. රතු කවයෙන් පෙන්වන්නේ පැරණි මාර්ගයේ පැවති මාර්ග සලකුණක්.
මේ රූපයෙන් පෙන්වන්නේ පැරණි මාර්ගය හා දැන් මාර්ගයයි. රතු පාටින් නව මාර්ගත් නිල් පාටින් පැරණි මාර්ගයත් පෙන්වනවා. මාර්ග සලකුණත් ඇතුලත්...
රූපය විශාල කර බලන්න. අපේ කණ්ඩායම සිටින දෙපසින් එහි තිබූ පාලමේ ආධාරක පවා තවම දක්නට ලැබෙනවා.
එම ස්ථානයේ වර්ථමාන තත්වයයි මේ. රතු පැහැ ඊතලයෙන් පෙන්වා ඇත්තේ කන්දේ නාය ගිය කොටසක්. පන්සලට පසුපසින් පැරණි රේල්පාරේ දුරකථන කණු පේනවා.
99 1/2 සැතපුම් කණුව තවමත් පිහිටා ඇත්තේ පැරණි පිහිටුමේමයි.
මෙම ස්ථානය පසු කර ටික දුරක් ගිය විට පීලි පැන පාරෙන් ඉවතට ගොස් භාවිතයෙන් අයින කළ දුම්රිය භාන්ඩ ප්‍රවාහන ගැල් හා කොටස් දක්නට ලැබෙනවා. එම ස්ථානයේදී පහලට එන තවත් හිතවතියක් අපට හමුවුනා. මෙයා තමා ලංකාවේ දුම්රිය මගේ ගමන් කරන පැරණිම මැණිකේ. එනම් බදුල්ල සිට කොළඹ බලා එන උඩරට මැණිකේ දුම්රිය. උඩරටමැණිකේ මෙම ස්ථානයට එන විට වේලාව උදේ 11.40ට පමණ වෙන්න ඇති. පින්තූරයේ පසෙකින් අතහැර දැමූ භාන්ඩප්රවාහන ගැලක් දක්නට ලැබෙනවා. මෙම පිංතූරය මා කැමරාවේ සටහන් කරගත්තේ අනෙක් පස ඇති මෙවැනිම ගැලක් මත සිටගෙනයි. එය ඇතිතේ උඩුකුරුව පෙරලී බෑවුමට ඇලවීගෙනයි.
CLASS M6-787 එන්ජිම උඩරට මැණිකේ රැගෙන පහලට ගියපසු අපිත් ඒ පසුපසින්ම වගේ පහලට යන්න පටන් ගත්තා. ඉන්පසුව පාර වැටී ඇතිතේ වනාන්තරයක් බඳු පෙදෙසක් හරහා. මේ නිසා එම ප්‍රදේශය සිසිල්. තැන් තැන් වල කුඩා දියපහර දක්නට ලැබෙනවා. උල්පත් වලින් ඉතාම පිරිසිදු ජලය වෑස්සෙනවා. එම සිසිල් දිය පහරින් මුහුණ අත්පා සෝදාගෙන ඉන් ජලය ටිකක් පානය කළ පසු ගමනේ වෙහෙස නිවියන්නේ නොදැනීමයි. එම වනගත පෙදෙස පසුකළාම තණකොළ වැවුන දෙපස ෆයිනස් වැනි ශාක සහිත ප්‍රදේශයකට ප්‍රවේශ වෙනවා. මෙම පෙදෙසේදී දැඩි හිරුරැස් අපිට තරමක පීඩාකාරී වුවත් අප දිගටම පහලට ආවා. කොළඹ සිට නානුඔය බලා දිවෙන සීඝ්‍රගාමී නගරාන්තර දුම්රිය (දැන් එය බදුල්ල බලා දිගු කර ඇත) අපට හමුවූයේ දහවල් 12.51ට පමණ. අප ඡායාරූප ගන්නවා දුටු එහි රියදුරන් ප්‍රධාන පහන් දල්වා අපට හොඳ දරුශනයක් ලබා දුන්නා.
මෙය අප පසු කර ගියපසු නැවත අපට දුම්රියක් හමුවන්නේ සවස 1.41ට පමණ. ඒ දෙකිඳ ආසන්නයේදී. එය සාමාන්‍ය කාලසටහනේ නැති විශේෂ දුම්රියක් විය යුතුයි. අප දෙකිඳ දුම්රිය නැවතුමට ලඟවන විට වේලාව සවස 1.45 පමණ වන්නට ඇති. කුඩා දුම්රිය නැවතුමක් වන මෙහි කිසිවෙකු සේවය නොකරන අතර නවත්වන්නේ ප්‍රාදේශිය වශයෙන් ධාවනය වන කෙටි දුම්රීය කීපයක් පමණයි. අවට වැසියන්ගේ පහසුව සඳහායි මෙය පිහිටුවා ඇත්තේ.
දෙකිඳ පසුකර අප ගල්බඩ සීමාවට ලඟාවුනා. කොළඹ සිට සැතපුම් 95 1/2 දී අපට හමුවුනේ කොළඹ සිට බදුල්ල බලා යන උඩරට මැණකේ දුම්රියයි. මා මෙම ගමන පුරා ගත් පින්තූර අතරින් ලස්සනම එකක් වන්නේ මේ පින්තූරයයි. M6-788 එන්ජිම Intercity Express වර්ණයෙන් වර්ණ ගන්වා ඇති නිසාම හරිම ලස්සනට පෙනුනා.
මෙම ස්ථානය පසුකර සැතපුම් 1/4 ක් පමණ ගිය පසු අප ගල්බඩට ලඟවුනා. ගල්බඩට ලඟාවන විට වේලව සවස 2.30ට පමණ වෙන්නට ඇත. ඒ වනවිට අප දැඩි වෙහෙසට පත්වී සිටියේ. අප පැමිණ විනාඩි 20කින් පමණ අප ආපසු එන්නට බලාපොරොත්තු වූ පොඩිමැණිකේ දුම්රිය ගල්බඩට ලඟාවුනා. සමහර සිදුවිම් වන්නේ දෛවොපගත ලෙසින්. මේ එවැන්නත්. අපට පහලට එන්න පොඩ්ඩිට බලය ලබා දුන්නේ අප රැගෙන පෙරදින රැයේ තැපැල් දුම්රිය ඇදගෙන ගිය M6 -792 එන්ජිමමයි.
වඩේ කමින් තව බිස්කට් පාන් ආදිය කමින් ආ අපේ පිරිස වැඩි වෙලාවක් යන්න කලින් නින්දට වැටුනේ වෙහෙස නිසාම වෙන්ට ඇති.
තවත් රසබර රේල් චාරිකාවක මතක සිතේ රඳවාගෙන මා පේරාදෙණියෙන් බැස ගෙදර ආවා. මෙවැනි චාරිකාවකින් ලැබෙන අත්දෑකීම්, විනෝදය වගේම අපේ රටේ දේශගුණ තත්ව මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ආදී බෝහෝ දේ දැනගන්න පුළුවන්. අවසාන වශයෙන් මට කියන්න ඇත්තේ මෙවන් චාරිකා යන එක හොඳයි. හැබැයි මෙවන් ගමනක් යන විට තමන්ගේ වගේම තමන් සමග යන සගයින්ගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වන්න. එමෙන්ම එමෙන්ම මෙම රේල්පාරවල් දුම්රිය ඇත්තේ රටේ ජනතාව වෙනුවෙන්. ඒනිසා ඒවා ආරක්ෂා කරන්නත් සැලකිලිමත් වන්න. එමෙන්ම සංචාරය කරන පරිසරයේ පැවැත්ම ගැනත් සැලකිලිමත් වන්න. ඔබේ අපද්‍රව්‍ය නිසා පරිසරය වැනසෙන්න දෙන්න එපා. දුම්රිය මාර්ගයේ ගමන්කිරීම තහනම්. එහෙම නීතියක් ඇත්තේ යන අයගේ ආරක්ෂාව මෙන්ම එම දෙපල වල ආරක්ෂාව වෙනුවෙන්. ඒනිසා එම ආයතනයේ අයට අපහසුතාවයක් ඇති නොවන්නත් මෙහෙම ගමනක් යනවානම් වගබලාගන්න එක අත්‍යාවශ්‍ය කරුණක්.
මෙන්න ගිය අපේ කණ්ඩායම. (පින්තූරය ගයන්ත)
එහෙමනම් තවත් මෙවන් චාරිකාවක තොරතුරු දිනෙක රැගෙන එන්නම්. ඒ අතරතුර පැරණි පුරුදු ආකාරයේ පෝස්ට් ලියන්නත් ඕනි. ගිහින් එන්නම්...
සුභ දවසක්....!!!!
නියමයි නියමයි...
ReplyDeleteතව දවස් 3යි ඉවසන්න තියෙන්නෙ :)
මේක පළ කලාට පසුව අද තමයි විවේකයක් ලැබුනේ. පාතන්ලාත් හයික් එකක් ගිහින් වගෙයි ඒ අතර කාලයේ.
Deleteස්තූතියි...
නියම ගමනක් තමයි.
ReplyDelete'ඒ අතරතුර පැරණි පුරුදු ආකාරයේ පෝස්ට් ලියන්නත් ඕනි.'
ඒකත් කෙරෙයි කියල හිතනවා.
ඔන්න කිය කියා ඉන්නේම නැතිව පෝස්ට් එකකුත් දාලාම උත්තර ලියන්න ආවා..:D
Deleteස්තූතියි ප්‍රසන්න....
අනේ අර හම්බවෙච්ච යහළුවෝ දෙන්නාගෙ අපූරුව. හොඳ පිළිගැනීමක්! ඉස්සො වඩේ ටිකත් මරු. සුන්දර චාරිකාව අපිත් එක්ක බෙදා ගත්තාට ස්තූතියි. දඹදිව චාරිකා සටහනුත් ඉවර ඇත්නම් කියවන්න එන්න මල්ලි.
ReplyDeleteඔන්න අක්කාගේ ඉසවුවටත් ආවා.
Deleteඒ සත්තු නම් හරිම ඉක්මනින් හිතවත් වෙනවා කන්න දුන්නාම. තව එක්කෙනෙක් හිටියා. එයා ටිකක් ඈත හිටියේ.
ස්තූතියි ප්‍රතිචාරයට..
නියමයි මචං මේ වගේ ට්‍රිප්. මමත් පට්ටිපොල ඉඳන් හපුතලේට ගියෙ ගිය සතියෙ. ඒ විස්තරේ ඕනිනම් මෙතතින් බලන්න පුළුවං.
ReplyDeleteඔන්න විස්තරේ බලාගෙනම ආවා. ඒකත් නියම ට්‍රිප් එක.
Deleteස්තූතියි මේ පැත්තට ආවාටත්....
හරිම සුන්දර චාරිකාවක් . ඒ වගේම ලිපිය අවසන් කර ඇති ආකාරයත් ලස්සනයි . අපි අපේ දේ රැක ගතයුතුයි . නැතිනම් මේ සුන්දරත්ව ඉදිරි පරම්පරාවට දකින්නට ලැබෙන්නේ නෑ .
ReplyDelete…
ඔව් මේ චාරකාව සුන්දර අත්දැකීමක්. යට සඳහන් දේ කීවේ සමහර අයට යන තැනක හරියට හැසිරෙන් දන්නේ නැති නිසා. අපි දකින දේ තවත් කෙනෙකුටත් දැක බලාගන්න ඇති අයිතිය අපි රකින්න ඕනි නේද.
Deleteස්තූතියි ගිම් අදහස් දැක්වීමට..
නියම ගමන් විස්තරයක් !
ReplyDeleteකොල්ලෝ සෙට් එකකුත් සෙට් කරගෙන ගිහින් එන්න ඕනා !
ඔව් මල්ලි. පුළුවන් උනොත් ගිහින්ම එන්න.
Deleteස්තූතියි ප්‍රතිචාරයට...
සුන්දර පරිසරයක් ඇත්තටම මේ මගේ තාත්තගේ ගම.පුංචි දවස්වල මම ලොකු තාත්තාගේ දුවලත් එක්ක අත්තම්මගේ මහා ගෙදර ඉදල වටවල කන්දට නගිනවා .... අපි අපේ ගමන නවත්තන්නේ මේ ඔයා ලියල තියෙන ස්ටේශන් එකට ඇවිත්..... පුදුම සුන්දර පරිසරයක් තියෙන්නේ....ඇත්තටම උදේ පාන්දරට කියන්න බැරි තරම් සීතලේ අපි මේ සුන්දරත්වය අත්විදලා තියනවා... මේ පොස්ට් එක කියවනකොට ඇත්තටම මම ගොඩක් රස වින්දා මගේ තාත්තගේ ගමේ සුන්දරත්වය.සා නොදැන සිටි බොහෝ දේ....ස්තුතියි ....
ReplyDeleteමේ පරිසරය එක්ක නිතර ගැටුන ඔබට නම් මේ පැත්තේ ගොඩක් අත්දැකීම් ඇති. ලංකාවෙන් ඈත්වෙලා ඉන්නකොට මේ දේවල් කියවන්න ලැබුනාම අතීතයට යනවා ඇති.
Deleteස්තූතියි ප්‍රතිචාරයට...
චාරිකා සටහනක් ලෙස සුපිරියට ලියලා තියෙනවා.... කියවන අයගෙ හිත්වලත් මෙවැනි ආශාවක් ඇති නොවුනොත් තමා පුදුමෙ... දෙකිද කියන නම අද ඇහුවෙ මුල් වතාවට... ඡායාරූප සියල්ලත් මරු... දැන් බලවේග කට්ටල දුම්රිය උඩරට මාර්ගයේ යනවාද ?
ReplyDeleteඅපි අහලා නැති පොඩි කෝච්චි හෝල්ට් ගොඩක් තියනවා සිරා. ඔව් දැන් උඩරට මාර්ගයේ බලවේග කට්ටල දෙකක් යනවා බදුල්ලට. තව කීපයක්ම ළඟදීම ධාවනයට එකතු වෙන්නත් නියමිතයි.
Deleteස්තූතියි ප්‍රතිචාරයට...
නියම ට්‍රිප් එකක් නේ.
ReplyDeleteමුල් ටිකත් බලලම එන්නම්
ඔව් මුල ඉදන්ම බලන්නකෝ...
Deleteස්තූතියි ප්‍රතිචාරයට...
අපේ කෝච්චියාගේ සටහන් නැති තැන කෝච්චියාගේ ටීම් එකේ සටහන් හරි එන එක සතුටක්.....
ReplyDeleteඑකින් එකට කියෙව්වත් පොඩි ඉරිසියාවක් වගේ එකක් (හරියටම ඩෙෆයින් කලේ නෑ) දැනුන හින්දා කොමන්ට් කලේ නම් නෑ අපි... හා හා...
පොඩි ඉරිසියාවක්....
Deleteකොච්චර හොඳද. ඒ කියන්නේ හොඳටම සටහන කිවයලා දැනිලා තියනවා කියන එකනේ...
ස්තූතියි ප්‍රතිචාරයට...
නියම විස්තරයක්
ReplyDeleteස්තූතියි...
Deleteගමන සංවිදානය කරගතයුතු ආකාරය..නවාතැන් එහෙම කොහොමද ඕය අවට..මේ ගැන තව ලියවුනානම් හොඳයි කියල හිතෙන්නෙ.
ReplyDeleteහරිම ආසා හිතෙන චාරිකාවක්.! සීතලේ වෙව්ල වෙව්ල...!
ගමන සංවිධානය කලේ චැට් වලින්ම තමා. කෝච්චි වෙලාවන් "දුම්රිය කාල සටහනෙන්" සොයා ගන්න පුළුවන්. ඇවිදින්න බලාපොරොත්තු වන ස්ටේශන් දෙක හෝ කිහිපය අතර දුර "දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන්" සොයාගන්න. ඇවිදින්න පුළුවන් දුර පැයකට කිලෝමීටර් 3ක් පමණ ලෙස සලකන්න. කෙටි දුරක් නම් 4ක් පමණ පුළුවන්. අපි නම් නවාතැන් ගත්තේ ස්ටේශන් එකේ බංකුවේම තමා....:D
Deleteස්තූතියි ප්‍රතිචාරයට...
මේ සුන්දර චාරිකාවනම් නියමයි. අපි බොහෝ දෙනෙක් විනෝද චාරිකා යන්නේ වාහනයකින් ඒ ස්ථානයට ලඟටම වාහනයෙන් ගිහින් ආයෙමත් වාහනයේ නැගී ගෙදර එනවා. ඒ විනෝද චාරිකාවට වඩා නියම විනෝදයක් දැනුමක් ලැබෙන්නේ මෙවන් ගමනකින්..
ReplyDeleteඇත්තටම ඔය පයින් ගිය ගමනේදි කූඬැල්ල්න්ගේ ප්‍රහාරයට ලක්වුනේ නැද්ද?
ඔව්. ඇත්තටම එහෙම ගෙදරින් වාහනයකට ගොඩවී අදාලා ස්ථානයට ගොස් එය නරඹා ආපසු එනවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක් මෙය. ඔබ කියනවා වාගේම නියම විනෝදය මෙය කියා මාත් හිතනවා.
Deleteඇති වෙන්න කූඬලු ප්රහාරයන්ට ලක්වුනා. උන්ගෙන් ආරක්ෂා වන්න ලුනු ටිකක් හරි ඩෙටෝල් ටිකක් ආලේප කරන් හරි ගියානම් අපහසුව මගහරින් පුළුවන්..
ස්තූතියි ප්‍රතිචාරයට..
මම ටිකක් පරක්කුයි...ඒත් ඉතින් වෙනදා වගේම අදත් ගමන් යන්න ආවා.. හ්ම්ම් එතකොට වටවලට දැන් එතරම් වර්ෂාපතනයක් ලැබෙන්නේ නැද්ද..ඉස්සර නම් ප්රවෘත්ති ඇහුවොත් වටවල ගැන කියවෙනවමනෙ...ගමන හරිම සුන්දරයි. පින්තූර ටිකත් අපූරුයි ප්‍රියන්ත...
ReplyDeleteවටවලට ඉස්සර වගේම වැස්ස ලැබෙනවා. කිසිම වෙනසක් නෑ. වෙනස මාලාබඩ ඇතුළු ප්‍රදේශ කීපයකට ඊට වඩා වැස්ස ලැබෙනවා. ( මේ මං දන්නා තරමින්)
Deleteස්තූතියි ලිහිණි ප්‍රතිචාරයට....
නියම විස්තරයක්.පින්තුර ටිකත් ලස්සනයි. කියවනකොට, මේ පින්තූර දකින කොට ආයෙත් යන්න ආසා හිතුන. කෝච්චියෙන් කඳුකරය හරහා යන ගමන හරිම සුන්දරයි නේද..
ReplyDeleteඅපිත් ඉස්සර සිරිපාදේ යනකොට බස් එකේ යන එක ලඟයි උනත් කෝච්චියෙන් තමයි යන්නේ. මට ඒ ගමනත් මතක් උනා මේක කියෙව්වම.
// මේ පින්තූර දකින කොට ආයෙත් යන්න ආසා හිතුන.// යමු එහෙමනම් ආයෙම....:D
Deleteස්තූතියි ප්‍රතිචාරයට...
ලස්සනයි බොලව්...මම හිතෙන් ගියා මේ විස්තරේ අහලා..
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
සතුටුයි එහෙම හිතෙන් හරි යනවානම්...
Deleteඔබටත් එසේම වේවා....
ස්තූතියි...
මේවා තමයි නියම චාරිකා. නිකන් වාහනෙකින් යන ගමනකට වඩා ලොකු විනෝදයක් මේකෙන් ලැබෙනවා ඇති. ගැල් කිරන්න පාවිච්චි කරපු තරාදිය නම් අපූරුයි :) අන්තිමට ලියපු ටිකනම් ගොඩක් වැදගත්.
ReplyDeleteහරියටම හරි. ලොකු විනෝදයක් අපි මේකෙන් ලැබුවා. ඔව් එවැනි තරාදී ලංකාවේ ස්ථාන ගණනාවක තියනවා. ඒත් මං හිතන්නේ නිසි සංරක්ෂණයක් නැතිව විනාශ වෙනවා.
Deleteස්තූතියි ප්‍රතිචාරයට....
මම මේ කල්පනා කලේ S12 ආගමනයත් එක්ක දර්ශනය කොච්චර නං වෙනස් වෙලාද කියල :)
ReplyDelete"සමහර සිදුවිම් වන්නේ දෛවොපගත ලෙසින්. මේ එවැන්නත්. අපට පහලට එන්න පොඩ්ඩිට බලය ලබා දුන්නේ අප රැගෙන පෙරදින රැයේ තැපැල් දුම්රිය ඇදගෙන ගිය M6 -792 එන්ජිමමයි." මේක සාමාන්‍ය දෙයක් අයියා. මේ බලන්න http://railwaysl.blogspot.com/2012/04/blog-post_27.html මෙතන තියෙනව විස්තරේ.
මල්ලිගේ පෝස්ට් එක මම කියෙව්වා. මේ පෝස්ට් එක දාන්න කලින් නැවත කියෙව්වා හරියට එන්ජින් සර්කල් එක ආවද බලන්න. සමහර විට සර්කල් එක වෙනස් වෙනවා නේද. මේ ගමනේත් මං එහෙම වෙනසක් දැක්කා.
Deleteස්තූතියි ප්‍රතිචාරයට