
දවස් 10 කින් විතර ආයෙම පොස්ට් එකක් දාන්නයි යන්නේ. මේ මාසෛටම දාන්න උනෙත් පොස්ට් දෙකයි. ඒ නිසා තව එකක් වත් දාන්න හිතුවා. ඒ වගේම බ්ලොග් ලියන මගේ යාළුවෙකුත් නිතරම අහනවා ඇයි පොස්ට් එකක් දාන්නේ නැත්තේ කියල. ඉතින් ඒ නිසා ඒ කවුරුත් වෙනුවෙන් මේ මාසේ ඉවර වෙන් කලින් එකක් වත් දාන්න එපැයි. ඇති නේද කියෙව්වා. එහෙනම් අද කතාවට යමු.
මෙච්චර දවසක් මම මතක, කවි, hardware ගැන විතරනේ ලීවේ. අද ටිකක් වෙනස් දෙයක්. උඩින් තියන මාතෘකාව වගේම පින්තූරෙත් බැලුවම පෙනවනේ මොකක්ද අද කියන්න යන්නේ කියල. ඔව් password ගැන තමයි. අන්තර්ජාලය භාවිතා කරන අපි කවුරුත් password භාවිතා කරනවානේ. එත් මම දැකල ඇති විධියට වැඩිදෙනෙක් කිසිම අවබොධයකින් නම් නොවේ password භාවිතා කරන්නේ. ඒ අයට යම් අවබොධයක් දෙන්නයි මේ උත්සාහය.
අපි password එකක් කියන්නේ කිසියම් රහස් පදයක්නේ. එත් ඇතැම් අයගේ password බොහෝ දෙනෙක් දන්නවා. ඒකියන්නේ කිසිම රහසක් නෑ. තවත් අය මේක කොළයක හෝ කුඩා සටහන් පොතක ලියාගෙ තමයි භාවිතා කරන්නේ. ඕක අතේ තියන් ටයිප් කරනවිට තවත් අයෙකුට දකින්න ඇති ඉඩ වැඩියිනේ. ඒ නිසා හොඳ password එකක් සාදා ගන්නා ආකාරය. එහි භාවිතය ගැන වැඩි අවධානයකට ලක් නොවූ කරුණු ටිකක් කියන්නම්.
හොඳ password එකක් සඳහා අකුරු 6 කටවත් වැඩියෙන් තියෙන්න ඕන. මේ සඳහා සිංහලයුනිකොඩ් එහෙම ගන්න එපා. එහෙම කලොත් ඒවා නැති අවස්ථාවක password එකෙන් වැඩක් නෑ. මෙහි සංයුතිය පහත ආකාරයට පැවතීම වඩාත්ම සුදුසු ක්‍රමයයි.
අවම වශයෙන් එක් කැපිටල් ඉංග්‍රීසි අකුරක් ( උදා A, B, C වැනි)
අවම වශයෙන් එක් සිම්පල් ඉංග්‍රීසි අකුරක් ( උදා a, b, c වැනි)
අවම වශයෙන් එක් අංකයක් ( උදා 1, 2, 3 වැනි)
අවම වශයෙන් එක් සංකේතයක් (උදා @, #, $.... වැනි)
මෙවැනි password එකක් ප්‍රභල එකක් ලෙස සැලකේ. එහෙත් මෙවැන්නක් මතක තබා ගැනීම නම් කෙසේවත් කළ නොහැකි දෙයක් ලෙස කෙනෙකුට පෙනී යන්න පුළුවන්. එහෙත් මෙවැන්නක් පහසුවෙන් මතක තබා ගැනීමට ක්‍රමයක් මම කියන්නම්. අපට සමීප වචනයක් හා අංකයක් ගමු. උදාහරනයක් ලෙස මම මගේ නම ගන්නම්. අංකය වෙනුවට මගේ දුරකථන අංකය ගන්නම්. දැන් මම මේකෙන් password එකක් හදන්නම්.
මගේ නම Priyantha මෙයින් Priya යන්න භාවිතා කරනවා. දුරකථන අංකය 07778***** මෙයින් 07778 ගන්නවා. දැන් මේවායෙන් password එකක් හදන්නම්. priyA#07778. බලන්න මෙවැනි password එකක් ඇතැයි කෙනෙකුට පහසුවෙන් අනුමාන කරන්න පුළුවන්ද කියා. අවශ්‍යනම් මෙය තවත් සංකීර්ණ කරන්න අග සිට මුලට (87770#Ayirp) භාවිතා කරන්න පුළුවන්. මතක තබා ගන්න අපහසු නෑ නේද?. කලබල වෙන්න එපා ඔය මම භාවිතා කරන ඇත්තම password එක එහෙම නෙවේ.
දැන් මෙය ආරක්ෂාකාරීව භාවිතය ගැන කතා කරමු. කෙනෙකු ඉදිරියේ කිසි විටෙක මෙය ටයිප් කරන් එපා. ඔවුනට ඉවත් වන්න කියන්න ඔබට අයිතියක් ඇත. එහෙත් ප්‍රායොගිකව මෙය අපහසු කරුණක්. එවන් විටෙක ටයිප් කරමින් වරද්දමින් (දෙවරකට වඩා වරදින්න දෙන්න එපා එකවුන්ට් එක ලොක්වෙයි) එක්වරම නිවැරදි එක ටයිප් කරන්න. එමෙන්ම password එක පොදු ස්ථාන වල භාවිතයේදී (Internet Cafe වැනි) save කර යන්න එපා. එක් වර ටයිප් නොකර කොටසක් ටයිකර මවුස් එනෙක් select කර (highlight) නැවත මුල සිට ටයිප් කරන්න. එවිට select කර ඇති කොටස මැකී අළුතින් ටයිප් වෙන නිසා මෙය හඳුනා ගැනීම අපහසුය. කීප වරක් වරද්දමින් කර අවසානයේ කොටසක් ටයිප් කර select කර නැවත නිවැරදි password එක ටයිප් කරන්න.
මීට අමතරව එකවුන්ට් කීපයක් භාවිතා කරන විට password කීපයක් භාවිතා කරන්න උත්සාහ කරන්න. එමගින් එක් password එකක් කිසිවෙකු අතට පත්වුවත් අනෙක්වා ආරක්ෂාවේ. මේ ගැන මා මෑතකදී දැකඇති තවත් කරුණක් ගැන අවධානය යොමු කරන්න හිතුවා. එනම් ඊමේල් සේවාවේ නමින් ඔබේ එකවුන්ට් එක වසා දමනවා. මෙය තවදුරටත් පවත්වාගෙන යන්න ඕනනම් User ID එක හා password එක සමග රිප්ලයි කරන්න කියා. මෙවැන්නකට හසුවූ කීපදෙනෙකුගේම එකවුන්ට් හැක් කර තිබුනා. password hint පවා වෙනස් කර තිබුනා. මෙවැනි කිසිවකට හසු වන්න එපා. කිසිම සේවාවක් password එක ඉල්ලන්නේ නෑ. ඔවුනට අවශ්‍යනම් සැකයක් ඇතිනම් එකවුන්ට් එක verify කරන්න පමණක් පවසනවා. කිසිවෙකුට password යැවීමේ අවශ්‍යතාවයක් නෑ. මෙයනම් නොකළ යුතු දෙයක්. එනම් ඔබේ එකවුන්ට් එක කිසිවෙකුට තාවකාලිකව භාවිතයට දීම. එහෙත් එවැන්නක් කරන්නම වෙනවා නම් ඔබේ සුපුරුදු password එක වෙනස් කර වෙනත් එකක් දමා දෙන්න. යම් ලෙසකින් ඔබේ password එක දෙන්න වුවහොත් වහාම එය භාවිතා කරන අනෙක් සියලු එකවුන්ට් සඳහා password එක මාරු කරන්න.
මීට අමතරව මම දැක ඇති තවත් කරුණක් වන්නේ ඇතැම් අය administrator password එක මතක ඇත්දැයි ඇසූ විට එය ඔහුට පැවසීම. සාමාන්‍යයෙන් කිසිම administrator කෙනෙකුට කිසිවෙකුගේ password එකක් බැලීමට නොහැක. (නමුත් ඇතැම් අවස්ථාවල එය වෙනස් වේ). පද්ධතියක password එක ගබඩාකර ඇත්තේ අපට කියවිය හැකි ආකාරයකට නොවේ. ඒ නිසා ඔබේ ණයපත, බැංකු ගිණුම, දුරකථන ගිණුම සම්බන්ධයෙන් කිසිවෙකුට සේවා අංශයට සම්බන්ධ වීමේදී password පවසන්න එපා. ඔබට එය අමතක නම් reset කර ගන්න පමණක් පුළුවන්. එසේ ලබාදෙන password එක log වු වහාම වෙනස් කරගන්න.
අවසාන වශයෙන් කියන්න ඇත්තේ ඔබේ password ඔබේ අනන්‍යතාවයක්. එය ආරක්ෂා කරගැනීම ඔබේ වගකීමක්. යම් ලෙසකින් එය වැරදි පුද්ගලයෙක් අතට පතුවුවහොත් ඔබට බොහෝ කරදර විඳින්න සිදුවේවි.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!!