Thursday, December 30, 2010

අපේ වැඩ අපිම කරගමු....පසු විපරමක්

දන්නෙම නැතිව 2010 අවුරුද්දත් අවසානයට ආවා. මේ අවුරුද්ද  මට ලොකු වෙනසක් ඇති කරපු වසරක් උනා. ඒ මම බ්ලොග් කරණයට ආවේ මේ අවුරුද්දේ නිසා. මේ නිසාම මට අළුතින් හොඳ මිතුරු පිරිසක් ඇතිවුනා. මට සිතුන බොහෝදේ, පරණ මතක, සිතේ ඇතිවූ සතුට දුක මේ බ්ලොග් පිටුවේ ලියා පලකරා. ඒවාට බොහෝ දෙනෙක් කමෙන්ට් කරා. විවිධ අදහස් දුන්නා. කෙසේහෝ මම අන්තිමට කරමින් සිටියේ අපේ වැඩ අපිම කරගනිමු යන ලිපි මාලාවයි. මේ වසර අවසන්  කිරීම ඒ ලිප පෙල සමගම කරන්න ඕන කියා සිතුනා. ඒ කියන්නේ මේක තමා මම 2010ට ලියන අන්තිම පොස්ට් එක. ඒ වගේම අපේවැඩ අපිම කර ගනිමු ලිපි පෙළ මෙයින් අවසන් කරනවා. නමුත් ඉඳහිට මේ කැටගරි එක යටතේ පොස්ට් එකක් වැටෙන්න පුළුවන්. 
එහෙනම් දැන් අද කියන්න යන්නේ තවත් වැඩක් ගැන නම් නොවෙයි. කලින් දැමූ ලිපි දෙස ආපසු හැරී බැලීමක්. 
මම මුලින්ම හැඳින්වීමේදී කීවා වගේම මේ පොස්ට් වලින් මම බලාපොරොත්තු වන්නේ නිවසේ ඇති සුළු වැඩ කිසිවෙකුගේ සහයක් නොමැතිව කරගන්න පෙළඹවීමක්. ඒ වගේම කමෙන්ට් වලින් මම දැක්ක දෙයක් තමා තවත් බොහෝ දෙනෙක් මේවාට උනන්දුවක් දක්වනවා මෙන්ම ඒ සඳහා යම් හැකියාවක් ඇති අයත් ඉන්න බව. 
අප පසුගිය දින වල කතා කළ දේවල් නැවත් සිහි කරන විට මුලින්ම කළේ සීලිමක් ගසා ගැනීමේ මෙහෙයුමයි. කට්ටිය ඒක කොතරම් උනන්දුවෙන් කියවා ඇතිදැයි තේරුනේ SBU සුහද හමුවට ගිය දවසේ සීලින් ගහන්න ආපු අය දැක්කම. ඇත්තෙන්ම මම ඒ පොස්ට් එකෙන් කියන්න හැදුවේ හැමෝම තම නිවසේ සීලිම ගසා ගත යුතු බවක් නම් නොවේ. ඒත් එහෙම කරන්න අවබෝධයක් හා උනන්දුවක් ඇති අයෙක්ට එය කරන්න අපහසු කරැණක් නොවන බවයි.
දෙවනුව අපි නිවසේ විදුලිය හා සම්බන්ධ සුළු අළුත් වැඩියාවන් ගැන කතා කළා. එය කරගන්න පුළුවන් සෑම දෙනෙකුටම වැදගත් වෙයි කියල මම හිතනවා. ඒ නිවසේ හදිසියේ සිදුවන විදුලි පද්ධතියේ දෝෂයක් නිසා මේන් ස්විච් එක ඕෆ් කරන්න ඕන බවක් නොදන්නා සුළු පිරිසක් අපේ රටේ ඉන්න නිසා. අනික දැවී ගිය විදුලි බල්බයක් මාරු කරන්න වගේ සුළු වැඩක් සිට ස්විච් එකක්, ප්ලග් එකක් මාරු කරන්න උනත් විදුලි කාර්මිකයෙකු සොයමින් ගත කරන කාලය අපට ඒ දෙය කරන්න පුළුවන් නම් ඉතිරි කර ගන්න පුළුවන් නිසා. ඒවන් දෙයක් කර ගන්න ගතවෙන්නේ විනාඩි 10 ක් 20ක් වැනි සුළු කාලයක්. නමුත් කාර්මිකයෙකු සොයන්න ඊට වඩා වැඩි කාලයක් යොදවන්න වෙන අවස්ථා බහුලයි.
ඉන්පසු මම කෑම උයාගෙන කන්න සිදුවූ අවස්ථාවක එය කරගත් ආකාරය සටහනක තැබුවා. එය කියවා කී දෙනෙක් දැන් කෑම උයනවාද කියන්න නම් දන්නේ නෑ. 
අවසාන සටහන තැබුවේ මෝටර් සයිකලය සඳහා සිදුකළ නඩත්තු හා සේවා කටයුත්තක් පිළබඳව. මෙයත් තරමක සංකීර්ණ කටයුත්තක්. ඒ අප මේ ක්‍ෂේත්‍රයේ නිරත නොවන්නන් නිසා සියල්ල නිසි පරිදි කරන්න බොහෝ විස්තර හොයන්න වෙනවා. ඒ වගේම මම මෙයින් කියන්න ගියේ සෑම දෙනාම තම වාහනය සේවා කරගන්න කියල නම් නොවේ. නමුත් එදිනෙදා සිදු කරන තෙල් පරීක්‍ෂාවන්, බැටරියේ වතුර මට්ටම පරීක්‍ෂාව (අළුතින් එන සීල් බැටරි සඳහා අවශ්‍ය නොවේ), ටයර් වල හුලං ප්‍රමාණවත්ද යන බව, ඒවාට හැනි සිදුවී ඇතිද යන්න (කැපීම්, පිපිරීමට ආසන්න තත්වයන්, ගෙවී ඇති ආකාරය ආදී), දිරා යාමට ලක් වන්න ඇති ඉඩ (සීරීම් නිසා තීනිත ආවරණය ඉවත්වී ඇති තැන්) සොයා බලන්න අපට බැරි කමක් නෑ.
මේ ආකාරයෙන් මම අපටම කර ගත හැකි බොහෝ දේ අතරින් කීපයක් පමණයි සඳහන් කළේ. නමුත් එකිනෙකාට අනුව මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒ විවිධ අයගේ හැකියාවන් විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ පැතිරී ඇති නිසා. ඒ අනුව ඔබට තනිවම කළ හැකි කාර්යය වෙයට වෙනස් එකක් වෙන්න පුළුවන්. ඔබත් ඒ ගැන සිතා බලන්න. ඔබේ හැකියාව ඔබ පළමුව අවබොධ කර ගන්න. ඔබේ එදිනෙදා වැඩ වලින් යම් බාහිර අයෙකු ලවා ඉටු කරගන්නා කාර්යයන් අතරින් එකක් දෙකක් හො ඔබම කරගන්න බලන්න. එය වැඩක් කරනවා, හරි අමාරුයි යන ආකල්පයෙන් නොව සැහැල්ලුවෙන් සලකා විනෝදයෙන් කරන්න. අවසානයේ එම කාර්යය අවසන් කළ පසු සිතට සැනසුමක් දැනේවී. ඒ වගේම සිතේ පීඩාවකින් ඉන්නා අවස්ථාවකත් නිවසේ මල් වැවීම, එළවලු කොටුවක් සැදීම වැනි දෙයක් කරන්න පුළුවන්.
මම අම්මා සමග එක්ව නිවසේ මල් වවනවා, අමු මිරිස්, කොච්චි මිරිස්, තක්කාලි, කහ, අමුඉඟුරු, රම්ප, කරපිංචා , පලා වර්ග කීපයක් ඇතුළු භෝග ගණනාවක් අප ගෙවත්තේ වගා කර තිබෙනවා. මේවා අයත් වන්නෙත් අපේ වැඩ අප කරගැනීමටයි. එයින් අපට විශ්වාසයෙන් ආහාරයට ගන්න එළවලු ලැබෙනවා. 
මේ වගේ ඔබම සිතා බලා වැඩකට නැතිව ගෙවනා කාලයෙන් කිසියම් ප්‍රයෝජනයක් ගන්න බලන්න.
එහෙනම් ගිහින් එන්නම්. ලබන නව වසරේ අළුත් පොස්ට් එකක් සමග හමුවෙමු..
සැම දෙනාටම සුභ දවසක්...!!!!

Tuesday, December 28, 2010

මෝටර් සයිකලයට සර්විස් එකක්...

අපේ වැඩ අපිම කරගනිමු යටතේ පෝස්ට් වැඩි ප්‍රමාණයක් ලියන්න හිතුවේ නෑ. ඒත් මේ පෝස්ට් එක දමා මේ ලිපි මාලාව අවසන් කරන්න හිතුවා. ඒ කියන්නේ සදහටම අවසන් කරනවා නෙවේ. ආයෙත් යමක් එකතු උනොත් මේ යටතේ පළ කරනවා. නමුත් ඉදිරි වසරට අළුත් ලිපි පෙළක් ලියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. දැනට ඒ සඳහා අවශ්‍ය විස්තර පින්තූර එකතු කරනවා. 
එහෙනම් අද කියන්න යන්නේ මගේ ඉටු මිතුරා වන මගේ ගමන් සගයාට කරන සත්කාරයක් පිළිබඳ. මේ පැත්තේ එන බොහෝ අය දන්නවත් ඇති මම ඉතින් කොහේ ගියත් වැඩියෙන්ම යන්නේ බයික් එකේ බව. ඉතින් අපි මේවායෙන් නිසි සේවයක් ගන්න නම් ඒවායේ නඩත්තුව අළුත්වැඩියා නිසි පරිදි කරන්න ඕනනේ. ඉතින් මමත් කාලයක්ම මෙහි අළුත් වැඩියා බලයලත් සේවා නියෝජිතයෙකුගෙන් තමා කරගත්තේ. නමුත් මට ඒ සේවා ගැන නිසි පැහැදීමක් තිබුනෙම නෑ. එයට හේතුව තමා මම කොම්පියුටර් වලට පස්සේ ආසම ක්‍ෂේත්‍රය මෝටර් මිකැනික් වීම. පොඩි කාලෙනම් ආසම මෝටර් මිකැනික් වලට. ඒත් අහම්බෙන් වගේ මේ කොම්පියුටර් අස්සට වැටුනට පස්සේ ස්පැනර්, යතුරු ආදිය දෙවැනි තැනට වැටුනා. ඒත් තවමත් මෝටර් මිකැනික් සම්බන්ධ ලිපියක් ලැබුනොත් මුල සිට අගටම කියවනවාමයි. ඒ නිසාම සැලකියයුතු තරමේ කාර්මික දැනුමක් මට තියෙනවා. මගේ සොහොයුරා මෙන්ම කිට්ටුම ඥාතීන් කීපදෙනෙක්ම මේ ක්‍ෂේත්‍රෙය් නිරතවන නිසා මට ප්‍රායෝගිකව යමක් කර ගන්න ප්‍රළුවන් කමක් තිබෙනවා. නමුත් වඩා හොඳ නිවැරදි පුහුණුවක් ලැබූ සේවා නියෝජිතයෙකුගෙන් ලබා ගන්නා සේවා නිසාත්, වගකීමේ කාලයේ ඔවුන්ගෙන් සේවා ලබා ගැනීම අනිවාර්යය නිසාත් දිගටම අදාල ආයතනයකින් සේවා සිදුකළා. නමුත් එවායේ ඇතැම් සේවකයන් ගේ දැනුම අඩු බව මම නිතර දුටු දෙයක්.
නමුත් මට දැඩි කලකිරීමට හේතුවූයේ දිනක් මෙහි බෙයාරින් මාරු කරගැනීමට ගිය අවස්ථාවේ. එහිදී එය සිදුකළ සේවකයා අදාළ උපකරණය (bearing puller) භැවිතා නොකොට කටුවක් හා මිටියකින් එය ගලවා තිබුනේ. රිම් එකට පවා කටුව නිසා සීරීම් සිදුවී තිබුනා. අනෙක් කාරණය බෙයාරින් එකේ ඇති ග්‍රීස් සීල් කඩා වෙනත් ග්‍රීස් එයට පුරවා තිබුනා. සීල් එක කොහේ දැමුවාද යන්න පවා නොදනී. මම එය ඔහුගෙන් ඇසුවත් ඔහු Puller එක ගැන දැන සිටියේ නෑත ඒවගේම සීල් ආකාරයේ බෙයාරින් වල ඇති නිෂ්පාදකයා යොදන ග්‍රීස් හා පසුව ඔහු යෙදූ ග්‍රීස් අකර වෙනසක් ඔහු දන්නේ නෑ. කොයි ග්‍රීස් දැම්මත් වෙනසක් නෑ සර් කියා තමා ඔහු කියන්නේ. මෙවන් නිසි අවබොධයක් නැති අයට මගේ බයිසිකලය සේවා සඳහා දෙනවාද නැද්ද යන්න මට දෙවරක් සිතන්න මේ හේතුවත් තවත් මෙවනි බොහෝ සිද්ධින් ගණනක් හේතු උනා.
අවසානයේ විදේශයක සිටින මගේ සොයුරා නිවාඩුවක් සඳහා පැමිණි අවස්ථාවේ ඔහු සමග එක්ව මෙහි නඩත්තු සේවා කළා. ඒ අවස්ථාවේ ලබා ගත් දැනුම හා පුහුණුව මත පසුගිය දිනක තනිවම මෙහි සේවා කටයුතු කර ගත්තා. 
එදින මා සිදුකළ සේවාවන් සියල්ලම කියන්නයි යන්නේ.
පළමුව එන්ජිමේ තෙල් (Engine Oil) සියල්ල ඉවත් කළා. ඒ සඳහා පැයකට වැඩි කාලයක් ගතවෙනවා. ඒ අතරතුර පාලන කේබල් (Control cable) සියල්ල පිරිසිදු කර නැවත ස්නේහනය (Lubrication) කරන්න ඕන.
රෝද ගලවා තිරිංග (Brake) පද්ධතියේ තත්වය පරීක්‍ෂා කළ යුතුයි.
Final Drive System හෙවත් ධාවනය කරන දම්වැල හා දැතිරෝද පරීක්‍ෂා කර ගලවා භූමිතෙල් වලින් සොදා නැවත සවිකරා. ඉන්පසු SAE90 තෙල් යොදා ස්නේහනය කළා.
එයාර් ෆිල්ටරය ඉතා දුර්වල තත්වයක පැවති නිසා අළුත් එකක් යෙදුවා. පැරණි ප්ලග් (Spark plug) ගලවා අළුතින් ඒවා සවිකළා.
මේ තිවෙන්නේ එහෙම සේවා කරන අතරතුර ගත් පින්තූරෙකුත්.

අවසානයේ නැවත එන්ජින් ඔයිල් 1L වලින් එන්ජිමේ තෙල් දෙන (Oil sump) පුරවා පියන වැසුවා. ඉන්පසු සියලු ඇණ මුරිච්චි නිසි ලෙස සවිවී ඇති දැයි පරීක්‍ෂා කළා. මේවනවිට මෙහි විමොචන වායු පරීක්‍ෂාවට(Vehicle Emission Test) කාලය පැමිණ ඇති නිසා පිටාර පද්ධතියේ දුම් බටය (Excuse System) ගලවා කාබන් ඉවත්කර නැවත සවිකළා.
තිරිංග නැවත නිසි ලෙස සීරුමාරු කළා.
අවසානයේ පරීක්‍ෂණ ධාවනයක යොදවා සියල්ල නිවැරදි බව තහවුරු කර ගත්තා. 
සියල්ල අවසානයේ බයික් එක Emission test එක සඳහා යොමුකළා. 
මේ පහලින් ඇත්තේ එසේ ලබාගත් සහතිකයයි. කලින් සේවා නියොජිතයා මගින් සේවා කර ලබාගත් සහතිකය හා මගේ සේවා වලින් පසු ලබා ගත් සහතික (වසර 2කදී) අතර වෙනස බලන්න. පසුව ඇති මගේ සේවාවෙන් පසු ලබාගත් සහතිකයේ අගයන් වඩා හොඳ තත්වයක පවතිනවා පේනවා නේද?
පසුගිය දුම් පරීක්‍ෂණ සහතිකය
(2010 වසර සඳහා)

මාගේ සේවා වලින් පසු ලබාගත් සහතිකය
(2011 වසර සඳහා)


එහෙනම් ගිහින් එන්නම්. මම එක ලඟ දවස් දෙකක පොස්ට් දෙකක් දැමූ මුල්ම අවස්ථාව මේක වෙන්න ඕන. මෙයින් එක පෙලට ලියාගෙන ගිය අපේවැඩ අපිම කරගමු පොස්ට් ඉවර කරනවා. මේ ගැන පසු විපරමක් මීළඟ පොස්ට් එකෙන්..
සුභ දවසක්..!!!!

ප/ලි
මෙම පොස්ට් එකට අදාල අවසන් ඉමේජ් දෙක වශයෙන් දැමීමට තිබූ Emission Test Report දෙක ස්කෑන් කර ගැනීමට අද නොහැකි විය. එය ඇතුලත් කර පොස්ට් කරන්න සිතුවත් ෂෙඩුල් කර තිබූ නිසා මෙය පබිලිශ් වී ඇත. ඒ ගැන කණගාටුව පළ කරන අතර හෙට දිනයේ ඒවා මෙයට එක් කරන්න පොරොන්දු වෙමි.

Monday, December 27, 2010

මේසන් වැඩක්......

අද ලියන්න යන්නේ මම කරපු පොඩි මේසන් වැඩක් ගැන. හැබැයි මේක තාම සම්පූර්ණයෙන්ම ඉවර කර නෑ. පොඩි කොටසක් කරන්න තියනවා. මේකත් මුල සිටම ෆොටෝ ගත්තේ නෑ. මොකද අතේ සිමෙන්ති බදාම තියාගෙන කැමරාව භාවිතා කරන්න ගියොත් කැමරාවට සොරිනේ.
එහෙනම් මේකයි කළ වැඩේ.
අපේ මුළුතැන්ගෙයි සින්ක් එක (නැතිනම් වොෂ් බේසින් එක) කෙළවරේ සිට බිත්තිය දක්වා අඩි 2 1/2ක පමණ හිස් කොටසක් තිබුනා. නමුත් මේ කොටසින් කිසිම ප්‍රයෝජනයක් නැති නිසා සින්ක් එක සවිකර තිබූ කොන්ක්‍රීට් ස්ලැබ් එකට අළුතින් කොටසක් එක් කරගන්න අම්මාට අවශ්‍ය උනා. බාස් කෙනෙක් හොයන්නේම නැතිවම මම මේ වැඩේ භාර ගත්තා. හැබැයි මේක නොදන්න දෙයක් උනත් බොහෝ තැන්වලදී බාස්වරුන් කරනවා බලා සිට ඇති දෙයක්. නමුත් සිමෙන්ති කොන්ක්‍රීට් ආදියේ මිශ්‍රණ අනුපාත හිතවතෙකුගෙන් අහගන්න පුළුවන් වුනා.
මේ ඒ සඳහා යොදාගත් උපකරණ.
මේසන් හැන්ද, ලෙවල් එකක්, මිටියක්, අඬුවක්, මුළු මට්ටම, ඈන්ගල් ග්‍රයින්ඩරය, මට්ටම් ලීය වෙනුවට ඇලුමීනියම් බොක්ස් බාර් කැබැල්ලක්.
මේ තියෙන්නේ ඒවායින් ටිකක්.
පළමුව කළේ ෂටරිමක් සකස් කර ගැනීම. මෙය සවිකිරීමට බිත්තියේ කපරාදුව ඉවත්කර කම්බි ඇතුල් කර ගත්තා. ඉන්පසු ෂටරිම සවිකරගත්තා. එය ලෙවල් කළා. අවසානයේ අඟල් 2ක් ඝනකම සිටිනසේ සිමෙන්ති:වැලි:මැටල් 2:4:6 අනුපාතයේ කොන්ක්‍රීට් මිශ්‍රණය පිරෙව්වා. 
මෙය සවිවීමට දින 14ක්ම තැබීමෙන් පසු මතුපිට හා පැත්තක් සිමෙන්ති 1:වැලි (හලාගත් වැලි) 5ක් සිටින සේ කපරාදු කළා. මෙය ලෙවල් කර මට්ටම් ලීයේ හා මේසන් හැන්දේ ආධාරයෙන් සමතල කර ගත්තා.
අවසානයේ සිමෙන්ති දියකර සාදාගත් බදාමයේ ආධාරයෙන් ටයිල් සවිකලා. මේවා අතර පැවති හිදැස් ග්‍රවුට් බදාමයෙන් පුරවා දැමුවා.
මේ බලන්නකෝ...

 
මෙය තවම සම්පූර්ණයෙන් නිමකර නැත. මේ දැනට මාසයකට පමණ පෙර අවසන් කළ දවසේ පැවති ආකාරයයි. (තවමත් එලෙසමයි)
ආරක්‍ෂක පිළිවෙත්.
සිමෙන්ති සමග වැඩ කිරීමේදී ඒවා ඇස් වලට නොවැටීමට සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම සිමෙන්ති, බදාම, කොන්ක්‍රීට් ආදිය සමේ තැවරුන විට සුළු පිලිස්සීමකට ලක්වන නිසා අත් ආවරණ පැළදීම වඩා හොඳයි.
ඈන්ගල් ග්‍රයින්ඩරය භාවිතයේදී මීට කලින් ලිපියේ සඳහන් ආරක්‍ෂක පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්යයි.
මේ ලිපිය මම ඉතා කෙටියෙන් දැමූ එකක්. මෙම ක්‍ෂෙත්‍රය් භාවිතා වන වචන නිවැරදිව නොදන්නා නිසා මට ඇසී ඇති ආකාරයට ලියා ඇත්තේ. තව දන්න අය ඉන්නවානම් ඒ කරුණු මෙයට එක්කරනු ඇතැයි බලා පොරොත්තු වෙනවා.
මෙම ලිපි මාලාවේ තවත් ලිපියක් සමග තවත් දිනක හමුවෙමු.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක් !!!!

Saturday, December 25, 2010

කෑම ටිකක් උයමුද?

පළමුවෙන්ම සැමට සුභ නත්තලක් කියල ප්‍රාර්ථනා කරනවා. හැබැයි නත්තල් සමරන අය මටත් දෙන්නකෝ...
එහෙනම් අපේ වැඩ අපිම කරගමු පොස්ට් වලට තවත් එකක් එකතු කරන්න මේ හදන්නේ.
පසුගිය දවසක අපේ ගෙදර කට්ටිය වන්දනාවක ගියා. මමත් මේ ට්‍රිප් එකක් ගිහින් ඇවිත් පසුදාම SBU එකටත් ගිය නිසා මේ ගමන යන්න සෙට් උනේ නෑ. ඉතින් ඒ දවස පෝය දවසක්. මට උනෙත් හරිම අවුලකට මුහුණ දෙන්න. මොකද කෑම ටික ගන්න විධියක් නැතිව. මේක බොහෝ දෙනෙක්ට වෙන දෙයක්. ගෙදර අම්මා නැතිනම් බිරිඳ නොසිටියොත් ඒහෙම නැතිනම් ඒ උයන කෙනා රෝගාතුර උනොත් කඩෙන් තමා කන්න වෙන්නේ. පිරිමි පාර්ශවේට විතරක් නෙවේ අපේ ඇතැම් කාන්තාවන්ටත් උයා ගන්න බැහැනේ. නමුත් හදිස්සියට කඩයක් හොයාගන්නත් නැතිව මට උනා වගේ දෙයක් උනොත් හැම තැනම කඩ හොයන්නේ නැතිව පිට්සා කන්න කෝල් කරන්නේ නැතිව කෑම ටිකක් උයා ගන්න බැරිද.
මම ගෙදර ඉන්න වෙලාවට අම්මට උයන්න උදවු කරන නිසා මට උයන්න බැරි කමක් නෑ. එත් සම්පූර්ණ කෑම වේලක් උයල තියෙන්නේ ගෙදර අම්මලා නැති දවසක විතරයි. එහෙම දවස් එන්නේ කාලාතුරකින් නිසා අවුරුදු ගණනකින් කෑම වේලක් උයල තිබුනේ නෑ. නමුත් ඉතින් මේ පෝය දවසේ තනියම ගෙදර ඉන්න එකේ කෑම ටිකක් උයාගෙන කන්න ඕන කියල හිතුනා.
මේ වගේ වෙලාවක බලන්න ඕන දෙයක් තමා මොනවද පහසුවෙන් උයන්න පුළුවන් දේවල් කියල.
බත් ටිකක් එක්ක කන්න පරිප්පු කරියක්, සම්බෝලයක්, බිත්තරයක් තම්බා/ඔම්ලට්/ බුල්ස්අයි, කිරි හොද්දක් වගේ දේවල් පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඒත් දිගටම දින කීපයක් උයන්න උනොත් නම් මීට වඩා වැඩි යමක් උයන්න වෙනවා. නැතිනම් දවස් දෙකක් විතර ඔය එකම කෑම කනකොට ඇති වෙනවනේ.
හරි දැන් ඇති විස්තර එහෙනම් කියන්නම්කෝ එදා මම කෑම හදපු විධිය.
පළමු දේ බත් ටිකක් උයා ගන්න එක.
මේකේ ලොකු වැඩක් නෑ. ඒත් කියන්නම්කෝ කොහොමද කරන්නේ කියල. හාල් කිලෝ ග්‍රෑම් 1කින් සාමාන්‍යෙයන් 6ක් 8ක් අතර ප්‍රමාණයකට කන්න ඇති. ඒ අනුව අවශ්‍ය හාල් ප්‍රමාණය ගෙන සෝදා ගරා ගන්න. (දැන් ගල් වැලි ඉවත් කළ සහල් ඇති නිසා ගරන්න අවශ්‍ය නෑ)  සහල් වැඩි වෙලාවක් වතුරේ පෙඟෙන්න හරින්න එපා. මම බත් උයන්නේ රයිස් කුකර් එකෙන් නිසා කරන්නේ සොදා ගත් හාල් ටික රයිස් කුකර් එකට දමා වතුර දිමීමයි. පහසුම විධිය තමා ඇඟිල්ලෙන් පුරුක් 1 1/2ත් 2ත් අතර ප්‍රමාණයක් හාල් මට්ටමට ඉහලින් සිටින සේ වතුර දැමීම. අවශ්‍ය නම් ලුනු ස්වල්පයකුත් දමන්න. දැන් ඉතින් ස්විච් ඕන් කල පසු කරන්න දෙයක් නෑ. 
දැන් බලමු හැමදාම කන පරිප්පු උයන්නේ කොහොමද කියා.
පරිප්පු ග්‍රෑම් 100ක් පමණ ගත් විට එය 4 දෙනෙක්ට හෝ 5කට ප්‍රමාණවත්. පොල් බෑයක පමණ පොල්, අමු මිරිස් කරලක් හෝ දෙකක්, සුදු ළුනු බික් 2-4ක් පමණ, මිරිස් කුඩු තේ හැඳි 1/2ත් 1ත් අතර, රම්ප කරපිංචා, තුනපහ කුඩු තේ හැඳි 1/2ක් පමණ, කහ කුඩු තේ හැඳි 1/3 පමණ, ලුනු තේ හැඳි 1/2 පමණ.
පරිප්පු හොඳින් සෝදාගන්න. ගාගත් පොල් වලට මද උනුසුම් වතුර දමා අනා මිරිකා කිරි වෙන් කර ගන්න. පළමු වර ගන්නා උකු බව වැඩි කිරි වෙන් කර තබා දෙවැනුව ගන්නා කිරි සමග පරිප්පු අනෙකුත් සියල්ල දමා කිරි සිඳීගන එන තෙක් පිස ගන්න. කිරි සිඳීගෙන එන විට කලින් වෙන් කර තබා ගත් කිරි එයට එක් කරන්න. විනාඩි 5ක් පමණ පිස ගන්න. 
සම්බලයක් සාදා ගන්න අවශ්‍ය වන්නේ පොල් බෑයක පමණ පොල්, මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, (කොච්චි මිරිස් ඇතිනම් වඩා රසවත් කර ගන්න පුළුවන්) ළූනු ගෙඩි 1/2ක් පමණ ( රතුළූනු ගෙඩි 5-6ක් පමණ ඇතිනම් වඩා රසවත්), උම්බලකඩ ස්වල්පයක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 පමණ, කැමතිනම් සුදුළූනු බික් 2ක් පමණ.
පොල්  හැර අනෙක් සියල්ල භාජනයක දමා හොඳින් පොඩි කරන්න. එයට පොල් දමා හොඳින් අනා ගන්න. කැමතිනම් තෙල් ස්වල්පයක් රත්කර මේ සම්බලය බැද ගන්න.
බිත්තර තම්බනවානම් විනාඩි 15ක් පමණ තම්බන්න. ඔම්ලට් හෝ බුල්ස් අයි දැමීමේදී රත්වූ තෙල් වලට බිත්තර මිශ්‍රණය දැමීමට පෙර ලිප ඕෆ් කරන්න. ඉන් මිශ්‍රණය දමා නැවත දල්වන්න.
මීට අමතරව මම අල බැදුමක් සදා ගත්තා. ඒ සඳහා අල 250g, ලොකුළූනු ගෙඩියක්, මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, රම්ප කරපිංචා, කහකුඩු තේ හැඳි 1/4ක් පමණ.
අල හොඳින් තම්බා ගෙන (හොඳ වෙලාවට අම්මා තම්බල ගිහින් තිබුනා) පොතු ඉවත් කරගත්තා. සිහින්ව කපාගත් ළූනු, ඇතුළු සියල්ල කැබලි වලට කපාගත් අල හා හොඳින් මිශ්‍ර කර ගත්තා. පොල්තෙල් මේස හැඳි 2ක් පමණ භාජනයක දමා ලිප තබා තෙල් හොඳින් රත්වූ පසු අල මිශ්‍රණය එයට දමා විනාඩි 10ක් පමණ මද ගින්නේ පිස ගත්තා.
මීට අමතරව සෝයා මීට් කරියක් හදන්න එතරම් වෙලාවක් යන්නේ නෑ. සෝයා මීට් පැකට් එකක් ගත්තම සාදන පිළිවෙල එහි සඳහන් වෙනවා. ඒ ආකාරයට සකස් කර ගැනීම පමණයි කරන්න තියෙන්නේ.
මස් හෝ මාළු වැනි දෙයක් උයා ගැනීම තරමක් අපහසු නිසා කීප දෙනෙක්ට කන්න උනොත් සැමන් සලාදයක් (සම්බලයක්) වැනි දෙයක් හදන්නත් පුළුවන්.
මේ තියෙන්නේ එදා මගේ දවල් කෑම වේල.
මේ කොස් ව්‍යාංජනය අසල්වැසි නිවසකින් ලැබුනේ. හාල්මැස්සන් පොල් මැල්ලුම අම්මා සකස්කර තබා ගිය එකක්. මම අල හා පරිප්පු සමග බත් පමණයි උයා ඇත්තේ.
මම මේ පොස්ට් එකෙන් කියන්න උත්සාහ කලේ ගෙදර උයන්න කෙනෙක් නැති හැම විටම කඩෙන් කන්නේ නැතිව තමාටම උයාගෙන කන්න බැරි කමක් නෑ කියා. නමුත් හොඳම දේ එක් වරම මෙවැන්නක් කරන්න යන්නේ නැතිව මව නැතිනම් බිරිඳ සමග එක්ව උයන්න. එවිට ඔවුන් නැති වෙලාවක තනියම උයා ගන්න බැරි වෙන්නේ නෑ. 
එහෙනම් ගිහින් එන්නම්.
සැමට සුභ දවසක් වගේම අපේ නත්තල සමරන මිතුරු පිරිසටත් ලොක වාසීන්ටත් සුභ නත්තලකටත් ආසිරි පැතුම්..!!!
ප/ලි
ඔය නත්තලට හදන විශේෂ කෑම එහෙම ඇතිනම් පහලින් තියල යන්න....

Tuesday, December 21, 2010

රෝද දෙකෙන් කිතුල්ගලට...

ආයෙමත් මාතෘකාවෙන් එළියට. මේදවස් වල ලියමින් හිටියේ අපේ වැඩ අපිම කරගනිමු ලිපි පෙලක්නේ. ඒකට පොඩි බ්රේක් එකක්. අද ලියන්නේ සති අන්තයේ ගිය චාරිකාවක මතකයක්. මේ බ්ලොග් ලියන එකෙන් ඇරඹුනු හිතවත් කම් නිසා දැන් යාළුවෝ ගොඩක්. පුදුම සතුටක් මේ අයත් එක්ක කතාකරන විට ඇතිවෙන්නේ. ඉතින් මේ යාළුවන් පිරිස සංවිධානය කළ ට්‍රිප් එකට මටත් එකතු වෙන්න ලැබුනා. ඒ කිතුල්ගලට. ඒත් මේ චාරිකාව සැලසුම් කර තිබුනේ කොළඹ සිට කිතුල්ගල දක්වා. ඉතින් මම නුවර ඉඳන් කොළඹ ගිහින් එතනින් ආයෙම කිතුල්ගල යනවා කියන්නේ පහසු වැඩක් නම් නෙවේ. අනික 19 බ්ලොග්කරුවන්ගේ සංසදයේ සුහද හමුවට යන්නත් හිතාගෙන හිටියේ. ඒ නිසා මගේ චාරිකාව ගෙදර ඉඳන් කිතුල්ගලට යන්න හිතුවා. ඒ අනුව මම මගේ රෝද දෙකේ ගමන් සගයා එක්ක යන්න තීරණය කළා. කිතුල්ගලින් අපේ මිතුරුකැළ හා එකතු වන්න.
ඒඅනුව මට පළමුවෙන්ම කළ යුතු උනේ මගේ ඉටු මිතුරු ගමන් සගයාගේ සුළු අළුත්වැඩියා කරන්න. මොකද මම සැහෙන කාලයකින් මෙහි දුර ගමනක් ගියේ නෑ. මෙන්න බලන්නකෝ මෙයා ගමනට පෙර සූදානම් වන ආකාරය.

සියල්ල අවසානයේ 18වනදා උදේ මම ගෙදරින් පිටත් උනා. හරිම ලස්සන දවසක්. හොඳින් ඉර පායා තිබුනා. ලා හිරුරැස් සෙමෙන් පොළව මත පතිතවන විට යන්තමින් හමනා සිසිල් සුලං ඇඟ දැවටෙනවා. කොහේදො සිට සුළඟට මුසුව මල් සුවඳක් හමා එනවා. මා පරිසරයේ සෞන්දර්යය විඳිමින් නුවර හැටන් මාර්ගයේ ගිනිගත්හේනට ගමන්ගත්තා. කොළ පැහැයෙන් පිරි තුරුමුදුනින් වැසුන කඳුගැට, කඳුමතිනි ගලනා දිය දහරා, කඳුමත කොළ පැහැති පලසක් අතුරා ඇතිසේ ඈතට පෙනෙන තේ වතු මැදින් ගමනේ කිසිම වෙහෙසක් නෑ. මට තිබුනු එකම ප්‍රශ්නය මේ දසුන් කැමරාවට හසුකරගන්න සගයෙකු නොමැති වීම පමණයි. ඒත් වෙලාවට කිතුල්ගල ඉන්න ඕන නිසා නවත්වා ෆොටෝ ගන්න අපහසුනේ. ඒත් ෆොටෝ කීපයක් නොගත්තාමත් නොවේ. මේ ඒ අතරින් කීපයක්
ඈතින් පෙනෙන කඳුවැටි..
මේ තවත් එකක්. බලන්න කඳුකරයේ මීදුම උදේ 10:30 ටත් අඩු නැති තරම.
දකුණු පසට වන්නට ඈතින් සුදු පැහැයෙන් දිය ඇල්ලක් පේනවා.
මෙහි පහලට වන්නට පෙනෙන ඉරි දෙක ලක්‍ෂපාන බලාගාරයේ සිට ඇති විදුලි රැහැන් පද්ධතියේ කොටසක් වෙන්න ඕන.
මේ අසිරිය විඳිමින් මම කිතුල්ගලට එන විට උදේ 11:00 පමණ වූවා. එවිටම කොළඹ සිට පැමිණි පිරිස එහි ළඟා වූයේ. 
කිතුල්ගල යනු ලංකාවේ ඇති කුඩා නගරයකි. නිතර වැස්සට හසුවන තෙත් දේශගුණික තත්වයක් මෙහි පවතිනවා. මේ අවට ඇති නිවර්තන සදාහරිත වනාන්තර පද්ධතිය හා තෙත් වැසි සහිත දේශගුණික තත්වය නිසා මෙහි සිසිල් පරිසරයක් පවතින්නේ. ඇකඩමි සම්මාන කීපයකට හිමිකම් පෑ ලෝක ප්‍රකට චිත්‍රපටයක් වන The Bridge on the River Kwai රූගත කර ඇත්තේ මෙම කිතුල්ගල ප්‍රදේශයේ. මේ අසලින් ගලා යන්නේ සුන්දර කැළණි නදියයි. මෙම පෙදෙස white water rafting සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලනවා. ගලිපර මැදින් ගලායන කැළණි ගඟ දෙස දවසම උනත් බලන්න පුළුවන්. පසුගිය දිනවල ඇද හැලුන මහ වැසි නිසා ගඟේ ජල මට්ටම වැඩියි. ඒනිසා සුදෝසුදු පෙණ කැටි නංවමින් ගලා බසින්නේ එන සැමගේ සිත තමා වෙතම රඳවා ගනිමින්.
බලන්නකෝ කැළණි ගඟේ ලස්සන...
ඔය ඈතින් රාෆ්ටින් කරනවා පේන්නේ අපේ අය තමා

බලන්නකේ වලා වියන යටින් කැළණි ගඟට හිරුරැස් පෙරී එන අපූරුව...
වලාකුළු අතරින් පෙරී එන හිරු කිරණ...
ඉතින් අපිත් water rafting කරල, සිංදු කියල නටල විනෝද වෙලා කැළණි ගඟෙන් නාලම අවසන් හිරු කිරණ බිඳ කිතුලගල වන පෙතෙන් නික්මෙන මොහොතේ තවත් සුන්දර මතකයක් සිතේ ඉතිරි කරගෙන, සුන්දර හදවත් ඇති පිරිසක් දැන හඳුනාගෙන මනරම් කිතුල්ගලින් සමුගත්තා.
අහම්බෙන් ගත් තීරණයක් මත මෙම චාරිකාව සිදු කලත් අපි නොසිතූ තරම් සාර්ථක බවක් තිබුනා. 
ඉතින් මට කියන්න තියෙන්නේ ගිහින් නැතිනම් දවසක කිතුල්ගල පැත්තේ යන්න. පුළුවන්නම් මෝටර් සයිකලයක යන්න ආශ්වාදය කියන්න බැරිතරම් ඉහලයි. මතක ඇතිව water rafting කරන්න.
මේ ඉන්නේ අපේ කාණ්ඩෙ. නම් අහන්න එපා. කියන්නෙත් නෑ. ඔක්කොම නම් ඔතන නෑ....
එහෙනම් ගිහින් එන්නම්. 
සුභ දවසක්...!!!!