Tuesday, December 21, 2010

රෝද දෙකෙන් කිතුල්ගලට...

ආයෙමත් මාතෘකාවෙන් එළියට. මේදවස් වල ලියමින් හිටියේ අපේ වැඩ අපිම කරගනිමු ලිපි පෙලක්නේ. ඒකට පොඩි බ්රේක් එකක්. අද ලියන්නේ සති අන්තයේ ගිය චාරිකාවක මතකයක්. මේ බ්ලොග් ලියන එකෙන් ඇරඹුනු හිතවත් කම් නිසා දැන් යාළුවෝ ගොඩක්. පුදුම සතුටක් මේ අයත් එක්ක කතාකරන විට ඇතිවෙන්නේ. ඉතින් මේ යාළුවන් පිරිස සංවිධානය කළ ට්‍රිප් එකට මටත් එකතු වෙන්න ලැබුනා. ඒ කිතුල්ගලට. ඒත් මේ චාරිකාව සැලසුම් කර තිබුනේ කොළඹ සිට කිතුල්ගල දක්වා. ඉතින් මම නුවර ඉඳන් කොළඹ ගිහින් එතනින් ආයෙම කිතුල්ගල යනවා කියන්නේ පහසු වැඩක් නම් නෙවේ. අනික 19 බ්ලොග්කරුවන්ගේ සංසදයේ සුහද හමුවට යන්නත් හිතාගෙන හිටියේ. ඒ නිසා මගේ චාරිකාව ගෙදර ඉඳන් කිතුල්ගලට යන්න හිතුවා. ඒ අනුව මම මගේ රෝද දෙකේ ගමන් සගයා එක්ක යන්න තීරණය කළා. කිතුල්ගලින් අපේ මිතුරුකැළ හා එකතු වන්න.
ඒඅනුව මට පළමුවෙන්ම කළ යුතු උනේ මගේ ඉටු මිතුරු ගමන් සගයාගේ සුළු අළුත්වැඩියා කරන්න. මොකද මම සැහෙන කාලයකින් මෙහි දුර ගමනක් ගියේ නෑ. මෙන්න බලන්නකෝ මෙයා ගමනට පෙර සූදානම් වන ආකාරය.

සියල්ල අවසානයේ 18වනදා උදේ මම ගෙදරින් පිටත් උනා. හරිම ලස්සන දවසක්. හොඳින් ඉර පායා තිබුනා. ලා හිරුරැස් සෙමෙන් පොළව මත පතිතවන විට යන්තමින් හමනා සිසිල් සුලං ඇඟ දැවටෙනවා. කොහේදො සිට සුළඟට මුසුව මල් සුවඳක් හමා එනවා. මා පරිසරයේ සෞන්දර්යය විඳිමින් නුවර හැටන් මාර්ගයේ ගිනිගත්හේනට ගමන්ගත්තා. කොළ පැහැයෙන් පිරි තුරුමුදුනින් වැසුන කඳුගැට, කඳුමතිනි ගලනා දිය දහරා, කඳුමත කොළ පැහැති පලසක් අතුරා ඇතිසේ ඈතට පෙනෙන තේ වතු මැදින් ගමනේ කිසිම වෙහෙසක් නෑ. මට තිබුනු එකම ප්‍රශ්නය මේ දසුන් කැමරාවට හසුකරගන්න සගයෙකු නොමැති වීම පමණයි. ඒත් වෙලාවට කිතුල්ගල ඉන්න ඕන නිසා නවත්වා ෆොටෝ ගන්න අපහසුනේ. ඒත් ෆොටෝ කීපයක් නොගත්තාමත් නොවේ. මේ ඒ අතරින් කීපයක්
ඈතින් පෙනෙන කඳුවැටි..
මේ තවත් එකක්. බලන්න කඳුකරයේ මීදුම උදේ 10:30 ටත් අඩු නැති තරම.
දකුණු පසට වන්නට ඈතින් සුදු පැහැයෙන් දිය ඇල්ලක් පේනවා.
මෙහි පහලට වන්නට පෙනෙන ඉරි දෙක ලක්‍ෂපාන බලාගාරයේ සිට ඇති විදුලි රැහැන් පද්ධතියේ කොටසක් වෙන්න ඕන.
මේ අසිරිය විඳිමින් මම කිතුල්ගලට එන විට උදේ 11:00 පමණ වූවා. එවිටම කොළඹ සිට පැමිණි පිරිස එහි ළඟා වූයේ. 
කිතුල්ගල යනු ලංකාවේ ඇති කුඩා නගරයකි. නිතර වැස්සට හසුවන තෙත් දේශගුණික තත්වයක් මෙහි පවතිනවා. මේ අවට ඇති නිවර්තන සදාහරිත වනාන්තර පද්ධතිය හා තෙත් වැසි සහිත දේශගුණික තත්වය නිසා මෙහි සිසිල් පරිසරයක් පවතින්නේ. ඇකඩමි සම්මාන කීපයකට හිමිකම් පෑ ලෝක ප්‍රකට චිත්‍රපටයක් වන The Bridge on the River Kwai රූගත කර ඇත්තේ මෙම කිතුල්ගල ප්‍රදේශයේ. මේ අසලින් ගලා යන්නේ සුන්දර කැළණි නදියයි. මෙම පෙදෙස white water rafting සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලනවා. ගලිපර මැදින් ගලායන කැළණි ගඟ දෙස දවසම උනත් බලන්න පුළුවන්. පසුගිය දිනවල ඇද හැලුන මහ වැසි නිසා ගඟේ ජල මට්ටම වැඩියි. ඒනිසා සුදෝසුදු පෙණ කැටි නංවමින් ගලා බසින්නේ එන සැමගේ සිත තමා වෙතම රඳවා ගනිමින්.
බලන්නකෝ කැළණි ගඟේ ලස්සන...
ඔය ඈතින් රාෆ්ටින් කරනවා පේන්නේ අපේ අය තමා

බලන්නකේ වලා වියන යටින් කැළණි ගඟට හිරුරැස් පෙරී එන අපූරුව...
වලාකුළු අතරින් පෙරී එන හිරු කිරණ...
ඉතින් අපිත් water rafting කරල, සිංදු කියල නටල විනෝද වෙලා කැළණි ගඟෙන් නාලම අවසන් හිරු කිරණ බිඳ කිතුලගල වන පෙතෙන් නික්මෙන මොහොතේ තවත් සුන්දර මතකයක් සිතේ ඉතිරි කරගෙන, සුන්දර හදවත් ඇති පිරිසක් දැන හඳුනාගෙන මනරම් කිතුල්ගලින් සමුගත්තා.
අහම්බෙන් ගත් තීරණයක් මත මෙම චාරිකාව සිදු කලත් අපි නොසිතූ තරම් සාර්ථක බවක් තිබුනා. 
ඉතින් මට කියන්න තියෙන්නේ ගිහින් නැතිනම් දවසක කිතුල්ගල පැත්තේ යන්න. පුළුවන්නම් මෝටර් සයිකලයක යන්න ආශ්වාදය කියන්න බැරිතරම් ඉහලයි. මතක ඇතිව water rafting කරන්න.
මේ ඉන්නේ අපේ කාණ්ඩෙ. නම් අහන්න එපා. කියන්නෙත් නෑ. ඔක්කොම නම් ඔතන නෑ....
එහෙනම් ගිහින් එන්නම්. 
සුභ දවසක්...!!!!

Thursday, December 16, 2010

නිවසේ විදුලිය...02

කලින් දවසක ඉවර කරන්න බැරිවුන ලිපියේ ඉතිරි කොටස අද ලියන්නේ. අපේ නිවසේ විදුලි පරිපථයේ ස්විච්, සොකට් ගණනාවක් තියනවානේ. ඒවායින් බහුලව භාවිතයට ගන්න සොකට් කීපයක් පහලින් පෙන්වා ඇත්තේ.
වම් පැත්තේ සිට පිළිවෙළට ගත්විට 5A, 13A, 15A ලෙස අම්පියර් ප්‍රමාණ වලින් තමා ලංකාවේ වැඩියෙන්ම භාවිතයට ගන්නේ.
මේ නිවෙස් වල ඇති ස්විච් වර්ග කීපයක්.
තනි ස්විච්, ත්‍රිත්ව, ද්විත්ව හා බෙල් ස්විච් (Single Gang, 3 Gang, 2 Gang, Bell switch.) 4 ගැන්, 5ගැන් වශයෙන් ඇති ඒවා රූපයේ නැතත් නිවාස වල භාවිතයේ පවතී.
දැන් අපි බලමු මොනවද අපට කරන්න පුළුවන් සුළු අළුත්වැඩියා මොනවාද කියා. 
දැවීගිය විදුලි බල්බයක් මාරු කරන්න නම් බොහෝදෙනෙකුට අපහසු වෙන එකක් නෑ. ඒකට මේන් ස්විච් එක ඕෆ් කරන්න ඕන නෑ. විදුලි අග්‍ර ස්පර්ශ නොවෙන්න සවි කරන්න. නමුත් බල්බයට අදාල ස්විච් එක නම් ඕෆ් කර මෙය කරන්න.
දැන් කියන්න යන්නේ ප්ල්ග් එකකට වයර් සම්බන්ධ කර ගන්නා ආකාරයයි.
මෙම ඡායාරූපයේ ඇති ආකාරයට එහි පියවර අනුගමනය කිරීමෙන් මෙය පහසුවෙන් කර ගන්න පුළුවන්. වැඩි හොඳට මේ විස්තරයත් කියවන්නකෝ. මෙහි ඇත්තේ ඇම්පියර් 5 ප්ලග් එකකට වයරයක් සම්බන්ධ කර ගන්නා ආකාරය. මෙවැනි අවස්ථා නිවසේ නිතර ඇතිවන්නේ හීටරයකට, රයිස් කුකර් එක, වැනි බිම් කම්බියක් සහිත උපකරණයකට පලග් එකක් අළුතින් හෝ හානි වූ එකක් අළුත් එකකින් මාරු කරන අවස්ථාවකදී. 
L අකුරෙන් දැක්වෙන්නේ සජීවී කමිබිය සඳහා ඇති කූරයි. N යනු උදාසීන කම්බිය සඳහා ඇති කූර. E යනු භූගත රැහැන සඳහා. මෙහි L සඳහා රතු හෝ දුඹුරු වයරය සම්බන්ධ වේ. N සඳහා කළු හෝ නිල් වයරයත් E සඳහා කොළ හො කොළ කහ මිශ්‍ර වර්ණය සහිත වයරයත් සම්බන්ධ කරන්න. නිසිලෙස ඉස්කුරුප්පු ඇණ තදකකිරීමෙන් පසු ආවරණය යොදා එහි ඉස්කුරුප්පුව සවි කරන්න. (මේ සඳහා මේන් ස්විච් එක ඕෆ් කරන්න අවශ්‍ය නොවේ)

මීළඟට කියන්නේ හෝල්ඩරයකට වයරයක් සම්බන්ධ කරනා ආකාරයයි.
මුලින් පින්තූර ටික දාලම කරන විධිය කියන්නම්.(මෙය මේන් ස්විච් එක ඕෆ් කිරීමෙන් පසුව දුඹුරු හෝ රතු වයරයේ කම්බිය නියෝන් ටෙස්ටරය තබා විදුලිය නැති බව තහවුරු කරගැනීමෙන් පසුව කරන්න)
ඉන්න මේ ටික විතරක් නෙවේ තව තියනවා..

ඔන්න දැන් හරි.
ඔන්න දැන් රූපයේ ආකාරයට වයරයේ කෙළවර පිටත ආවරණය ඉවත් කර ගතු යුතුය. මෙය අපහසු නම් වයරය ලෑල්ලක් මත තබා මිටියකින් සෙමෙන් වටේටම තට්ටු කරන්න. ඉන්පසු පේපර් නයි‍ෆ් එකක් භාවිතයෙන් රූපයේ ආකාරයට මෙය ඉවත් කරගන්න. ඉන්පසු 10mm පමණ පුමාණයක් කම්බි මතුකර ගන්න. එය අඬුවක ආධාරයෙන් අඹරාගෙන තෙවන රූපයේ ආකාරයට නවා ගන්න. පහලින් ඇති පළමු රූපයේ ආකාරයට හෝල්ඩරයේ ඉහල ආවරනය වයරයට ඇතුල් කර හොල්ඩරයට වයර් අවසන් රූපයේ ආකාරයට සම්බන්ධ කරන්න.

දැන් බලමු දෝෂ සහිත ස්විච් එකක් වෙනුවට අළුත් එකක් සවිකරන්නේ කෙසේද කියා.
මෙන්න රූප සටහන්..

පළමුව පේපර් නයිෆ් එක ආධාරයෙන් ඇණ වසා ඇති කවර ඉවත් කරගන්න. ඇණ ගලවා ස්විච් එක ඉවතට ගන්න(වයර් වල දිග අනුව). ඉහල අවසන් රූපයේ ආකාරයට ස්විච් එකට විදුලිය සැපයෙන සජීව වයරය හා ස්විච් එකේ සිට බල්බ වෙත විදුලිය යන වයර් පෙනේ. සජීව වයරය සෑම ස්විච් ගැන් එකකටම සම්බන්ධක වයර් වලින් සම්බන්ධ වන බව පෙනේ. වයර් වෙන වෙනම ලේබල් කර ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මාරු වීමක් සිදුවීමෙන් ක්‍රියාකාරිත්වය අවුල් වන්න පුළුවන් නිසා. අවසානයේ අළුත් ස්විච්එකක් ගෙන (ගැන් ගණන සමාන විය යුතුය) කලින් ස්විච් එකේ පැවති ආකාරයටම වයර් සම්බන්ධ කරන්න.

අවසාන වශයෙන් කියන්න යන්නේ සොකට් එකක් මාරු කිරීමයි.
මෙම රූපයෙන් පෙනෙන ආකාරයටම සජීව කම්බිය රතු (හෝ දුඹුරු), උදාසීන කම්බිය කළු (හෝ නිල්) සහ භූගත කම්බිය කොළ පාටින් ඇති නිසා වෙන් කර හඳුනා ගන්න පුළුවන්. වයරයේ ඇතුලත ආවරනය අදාළ වර්ණයෙන් පෙනෙන්නේ. පිටත ආවරණය බොහොවිට එකම පැහැයක් ගන්නවා. සජීව වයරය L අකුරෙන් පෙන්වන සම්බන්ධකයට සවි කරන්න. උදාසීන වයරය N අකුර ඇති සම්බන්ධකයටත් භූගත වයරය E ලෙස සඳහන් ස්ථානයටත් සම්බන්ධ කරන්න වයර් නිසි ලෙස සම්බනධ වී ඇතිදැයි නැවත බලන්න. වයර් සවිවන ඉස්කුරුප්පු ඇණ හොඳන් සවිවිය යුතුය . ඉන්පසු බේස් එකට නැවත සවිකිරීමේදී ඇණ යන්තම් සවිකර මේන් ස්විච් එක ඕන් කර කිසියම් උපාංලයක් සම්බන්ධ කර ක්‍රියා කරන්නේද යන්න පරීක්‍ෂා කරන්න. සියල්ල නිවැරදි නම් ඇණ සම්පූර්ණයෙන් තද කර ඇණ ආවරණ යොදන්න.
තවත් සුළු සුළු දේ ඇතත් මගේ මේ පොස්ට් එකේ අරමුණ වූයේ සුළු විදුලි අළුත් වැඩියාවක් අපටම කරගන්න පුළුවන් බවට අදහසක් දීමයි. මෙහිදී මම නැවතත් අවධාරණය කරන්නේ ප්‍රධාන විදුලිය සමග වැඩ කිරීමේදී ආරක්‍ෂාවට පළමු තැන දෙන්න. සජීව, උදාසීන, භූගත කම්බි කිසි විටෙක මාරු කරගන්න එපා.
එහෙනම් විදුලිය ගැන ලිපිය අවසන් කරනවා. ගිහින් එන්නම්..
සුභ දවසක්..!!!!

Tuesday, December 14, 2010

නිවසේ විදුලිය...

අපේ වැඩ අපිම කරගමු  ලිපි මාලාවේ දෙවැන්න දෙන්න හිතන් හිටියේ සෙනසුරාදා. එත් එදාට බැරි උනා ඒ නිසයි අද උදේන්ම මෙකත් අරන් මම මේ ඉසව්වට ආවේ. එහෙනම් අර උඩින් ලියල තියෙන විධියටම අද කියන්න යන්නේ නිවසේ විදුලි පරිපථ හා විදුලි උපකරණ ආශ්‍රිතව ඇතිවන ප්‍රශ්න වලදී කලහැකි සුළු පිළියම් ටිකක් කර ගන්න ආකාරයයි.


ආරක්‍ෂාව***
මෙහිදී අප ගැටෙන්නේ ප්‍රධාන විදුලිය සමඟ බැවින් සියල්ලටම කලින් අපේ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ ප්‍රධාන විදුලිසැර වැදීම මාරාන්තික වෙන්න පුළුවන් නිසා. 
පළමු පියවර වන්නේ ප්‍රධාන ස්විච් (Main switch) එක ක්‍රියා විරහිත කිරීමයි (Off)මෙය විදුලිය සමග කරන කාර්යයකදී වැදගත්ම පියවර වෙනවා. 
ඉන්පසු අප නොදැන නිවසේ කිසියම් අයෙකු මෙය නැවත ක්‍රියාත්මක කළ හැකි බැවින් නිවසේ සිටිව සියළු දෙනාම දැනුවත් කරන්න. කිසියම් දැන්වීමක් ඒ අසල පැහැදිලිව පෙනෙන සේ එල්ලා තබන්න පුළුවන් නම් තවත් හොඳයි.
වියලි රබර් හො ප්ලාස්ටික් පාවහන් යුවලක් පළඳින්න. ඒ ඔබ පොළව හා ස්පර්ශ වීමෙන් වලකින්න.
ශරීරය ආවරනය වන ඇඳුමක් අඳින්න පුළුවන් නම් වඩා හොඳයි.
නියොන් ටෙස්ටරය (Neon tester) මගින් විදුලිය ක්‍රියා විරහිතවී ඇති බව තහවුරු කර ගන්න.
තවත් කියන්න තියෙන්නේ ඉතා සැලකිලිලෙන් හැම දෙයක්ම කරන්න කියලයි.

අවශ්‍ය උපකරණ
අප කරන්න යන්නේ සම්පූර්ණ පරිපථයක් සකස් කීරීම නම් නොවේ. මේ හදිස්සියකට දැවුනු බල්බ් එකක් මාරු කරන්න, ප්ලග් එකක් වයර් එකක් මාරු කරන්න, වගේ සුළු දෙවල්. ඒ නිසා ලොකු උපකරණ තොගයක් අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් පහත සඳහන් කරන උපකරණ සෑම ගෙදරකට තිබීමේ වරදක් මා දකින්නේ නෑ. මේ සියල්ලම දැන් වෙළඳපොලේ රුපියල් 1000ක පමණ මුදලකට ගන්න පුළුවන්.


නියොන් ටෙස්ටරය (Neon Tester)
මෙය පැතලි ඉස්කුරුප්පු නියන (Flat head screw driver) ලෙසද භාවතයට ගන්නා එකක් වීමෙන් ඉස්කුරුප්පු නියනක අවශ්‍යතාවය ඇතිනොවේ.
මල්ටි මීටරය (Multi Meter)

සාමාන්‍ය අඬුව හා උල් අඬුව (Combination plier & Needle nose plier)
වයර් ස්ට්‍රිපරය (Wire stripper) 


ගෘහ විදුලි පරිපථය.
කතාව පටන් ගන්න කලින් නිවසේ විදුලි පරිපථය ගැන පොඩි හැඳින්වීමක් කරන්න හිතුනා. මම මේ පිළිබඳ විශේෂඥයෙක් නම් නොවෙයි. ඒනිසාම වැරදි තිබුනොත් දන්න කෙනෙක් නිවැරදි කරන්න කියලත් කියනවා. අපේ නිවෙස් වලට විදුලිය සැපයෙන්නේ රැහැන් දෙකකින්.
සජීවී කම්බිය (Live නැතිනම් සමහර අය කියන විධියට Face) හා උදාසීන කම්බිය (Neutral) අමතරව පරිපථයේ තවත් රැහැනක් භාවිතා වෙනවා. ඒ භූගත කම්බිය (Earth wire).
මේවාට සම්මත වර්ණ රටාවක් භාවිතා වෙනවා.
ලංකාවේ දැන් පවතින සම්මතය අනුව සජීව රැහැන සඳහා දුඹුරු වර්ණය. (කලින් රතු). උදාසීන රැහැන සඳහා නිල් වර්ණය (කලින් කළු) සහ භූගත රැහැන සඳහා කොළ වයරයේ කහ පැහැ රටාවක් සහිතව (කලින් කොළ) භාවිතා වෙනවා. ලංකාවේ නිවසකට සැපයෙන්නේ වොල්ට් 220ත් 240ත් අතර විභවයක් (220V-240V) සහිත 50Hz විචලනයක් සහිත සැපයුමක්. මෙය විදුලි සැපයුම් ආයතනය මගින් සවිකර ඇති සේවා විලායකය (Service Fuse) තුලින් විදුලි මීටරය හරහා අපේ ප්‍රධාන ස්විච් එකට ලැබෙනවා. මෙයින් පිටවන ධාරාව ගමන් කරන්නේ බිම්කාන්දු පැන්නුම් ස්විචය (Earth Leakage Trip Switch හෙවත් Trip Switch) එකටයි. එයින් පසුව විලායක හරහා විවිධ පරිපථ ඔස්සේ නිවෙස පුරා බෙදා හරිනවා. මේවා නම් ලාම්පු පරිපථ (Lamp circuit) හා පේනු පරිපථ (Plug point circuit).
මේ එක් එක් උපාංගයේ කාර්යය වෙන වෙනම කියන්න හිතුවා නොදන්න අයගේ දැන ගැනීම උදෙසා. නමුත් කෙටියෙන්.
සේවා විලායකය මීටරයට කලින් සවිකර ඇති අතර වයර් අතර ඇතිවන ලුහුවත් වීමකදී (short circuit) එය ක්‍රියා විරහිත වීම හෝ දැවීයාම සිදුවේ. මේවා ඇතැම් ස්ථාන වල ස්ව්ච් එකක් ආකාරයට ඇති අතර ඇතැම් විටෙක කම්බි විලායකයක් ලෙස පවතී. යම් ලෙසකින් මෙය දැවී ගියහොත් එය නැවත යථා තත්වයට පත් කිරීම විදුලි සැපයුම් ආයතනය සතු වන අතර පාරිභෝගික අපට කිසිම ආකාරයක වෙනසක් කිරීමට අයිතියක් නැත.
විදුලි මීටරය අපේ විදුලි පරිභෝජනය කිලොවොට්/පැය (kw/h) ඒකකයෙන් පෙන්වයි.
ඉන්පසුව ඇති ප්‍රධාන ස්විච්එක නිවසේ ඇතුලත විදුලිය ක්‍රියා විරහිත කිරීමට යොදාගනී. මෙයින් සජීවි හා උදාසීන යන වයර් දෙකම විසන්ධි කරන නිසා එය ඕෆ් කිරීමෙන් නිවසේ විදුලි සම්බන්ධය සම්පූර්ණයෙන් නැවතේ. මේ තුලද විලායකයක් ඇත. නැතිනම් නිශ්චිත අගයකදී විසන්ධි වන බිඳවැටුම් ඒකකයක් (Circuit braker) ලෙස ක්‍රියා කරයි.
ට්‍රිප් ස්විච් එක ක්‍රියා කරන්නේ ආරක්‍ෂක උපාංගයක් වශයෙනි. ඒවා ක්‍රියාකාරිත්වය අනුව කොටස් දෙකකට බෙදේ (මෙයට වැඩි වර්ගීකරනයක් ඇතිදැයි නොදනිමි) පැරණි ආකාරය අනුව සැකසූ ඒවායේ විද්‍යුත් චුම්බකයක් ඇති අතර කාන්දුවන ධාරාව එම චුම්බකයේ දඟරය හරහා යන විට ක්‍රියාත්මක වන යාන්ත්‍රනයක් මගින් ස්විචය ක්‍රියාත්මක වී ධාරාව විසන්ධි කරයි. නමුත් මෙහි ඇති අවාසියක් වන අපේ සිරුරට විදුලි සැර වැදීමකදී ධාරාව දඟරය හරහා ගමන් නොකරන නිසා ධාරාව විසන්ධි නොවේ. නවීන ට්‍රිප් ස්විච් වල ඇත්තේ ධාරාව සමතුලිත වීම මත ක්‍රියා කරන යාන්ත්‍රණයකි. ඒ නිසා මෙම නව ස්විච් වඩා ආරක්‍ෂාකාරී වේ.
ඉන් පසුව ඇති ෆියුස් (විලායක) යම් නියත උපරිම ධාරාවක් සඳහා සකස් කර ඇති අතර එය ඉක්මවා යන විට දැවීයයි. නමුත් දැන් මෙය යල්පැන ගිය ක්‍රමයක් වන අතර ඒ වෙනුවට ක්‍ෂුද්‍ර පරිපථ බිඳනය හෙවත් MCB (Miniature Circuit Barker) භාවිතා කරයි. මේවා විලායක වලට වඩා කාරයක්‍ෂම වන අතර නියමිත අගයේදී ධාරාව විසන්ධි කරයි. විලායක වලදී දැවී යාමෙන් පසු අදාල ඇම්පියර් ප්‍රමාණයේ කම්බියකින් නැවත ස්ථාපනය කළ යුතු වුවත් මේවා ස්විච් එකක් මෙන් නැවත ඕන් කිරීමෙන් ක්‍රියා කාරිත්වය ඇරඹේ.
මෙම පරිපථ සඳහා භාවිතා වන්නේ PVC ආවරණය සහිත වයර්. මේවා නිවෙස පුරා කොන්ඩියුඩ් බට (conduit) කේසින්, වයරින් ක්ලිප් ආධාරයෙන් වහලය පුරාමත් බිත්ති දිගේත් ගමන් කරන බව ඔබ දන්නවා ඇති. මේවාට ඇතිවන විවිධ ආපදා නිසා යම් ස්ථානයක දොෂයක් ඇතිවන්න පුළුවන්. බොහෝවිට මීයන් වැනි සතුනි ආවරණය නොකළ වයර් කා දැමීම නිසා යම් ස්ථානයකට හෝ නිවසේ ස්ථාන කීපයකටම විදුලි සැපයුම නොලැබී යන්න පුළුවන්.
නමුත් නිවසක බහුලව සිදුවන ගැටළු වන්නේ විදුලි බල්බ දැවීයාම, ස්විච්/ප්ලග් බේස් (පේනු) නිසිලෙස ක්‍රියා නොකිරීම වැනි දේවල්. මම මේ පොස්ට් එකෙන් කියන්න බලා පොරොත්තු වන්නේ එවන් ගැටළු නිරාකරණය කර ගන්නා ආකාරයන්.
මේ සඳහන් කළ සුළු විස්තරයෙන් ඔබට නිවසේ විදුලි සැපයුම ගැන සරල අවබෝධයක් ලැබෙන්න ඇති කියා සිතෙනවා. මීළඟට කියන්න ඇත්තේ ඉහත විස්තර කරන ලද පරිපථ ආදියේ ඇතිවන දෝෂ වලින් අපටම නිවැරදි කර ගන්න පුළුවන් දෝෂ මොනවාද යන්නත් ඒවා කර ගන්නේ කෙසෙද යන්නත්.
දැන් වේලාව රෑ 11:30 පසුවෙලා. උදේම මෙක් පොස්ට් කරන්නයි යන්නේ. බොහෝ වෙලාවක් මේ පරිගනකය සමග නිසා තවත් ඉදිරියට ටයිප් කරන්න අපහසු බවක් දැනෙනවා. එහෙනම් ඉතිරි කොටස මීළඟ දවසට ඉතිරි කරමින් අදට ගිහින් එන්නම්. කවුරුවත් මේන් ස්විච් එක ඕෆ් කළානම් දැන් ගිහින් ඕන් කරන්න. නැත්නම් මම ආයේ එනකල් ලයිට් දාන්නත් බැරි වෙයි.
සුභ දවසක් !!!!!

Wednesday, December 8, 2010

අපේ වැඩ අපිම කරගමු....01 සීලිම

අපේ වැඩ අපිම කරගමු ලිපි පෙළ ලියන්න ගත්තා විතරයි. එක පොස්ට් එකක් දැම්මේ නෑනේ. යන්තම් පොස්ට් එකකට ඉඩක් ගත්තේ අද තමා. මේ පොස්ට් එකෙන් මම කියන්නේ අපි හැමෝටම එතරම් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නම් නොවේ. මේකත් මම ඉගෙන ගත්තේ බලාගෙන සිටීමෙන්. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙට කිව්වට මම නම් කරපු අමාරුම වැඩකින් තමා මේ ලිපි පෙළ පටන් ගන්න යන්නේ. 
දැනට වසර කීපයකට පෙර අප නිවසේ සීලිම නොමැති කොටසක සීලිම ගැසීමට වඩුකාර්මිකයෙකු ගෙන්වා ගත්තා. මම ඒදවස්වල නිවාඩු දාගෙන ගෙදර හිටියේ ඇණ, තීන්ත ආදි විවිධ දේ වරින් වර ගෙන්න ඔන නිසා. ඒ අතරම වැඩේ කරන ආකාරයත් බලා ගත්තේ අර කලින් කීවා වගේම නොබලා ඉන්න බැරි නිසාමයි. බලන් ගියාම මෙහිදී භාවිතා කරන්නේ සරල මූල ධර්ම ටිකක්. නමුත් පළ පුරුද්ද තමා වැඩියෙන් යොදාගත්තේ. මට නම් ඉතින් ලෑලි කෑල්ලකට බිත්තියකට ඇණයක් ගහන්න පුළුවන් කම තමා තිබුනේ. නමුත් කරන ආකාරය හොඳින් මතක තිබුනා.
නැවත සීලිමක් අළුතින් ගැසීමේ අවශ්‍යතාවය ඇතිවූයේ අළුතින් නිවසට එක් කළ කාමරයට. මේ සඳහා කලින් වඩුකාර්මිකයාට කතා කළත් ඔහුට වැඩ අධික නිසා එන්න බෑ කියා පවසා සිටියෙන් වෙනත් අයෙකු සොයන්න සිදුවූවා. නමුත් දැන් පොඩි වැඩකට බාස් කෙනෙක් හොයන්නම බෑනේ. අවසානයේ මම තීරණය කළා මේ වැඩේ මම කරනවා කියා. 
මේ අනුව මගේ අදහස උනේ ඇස්බැස්ටෝස් 4x4 තහඩු භාවිතයෙන් මෙය නිම කිරීමටයි. මුලින්ම කලේ අදාළ කාමරයේ දිග පළල මැන සීලින් තහඩුවක දිග පළල (4x4) ප්‍රමාණය සලකා සැලසුමක් ඇඳගැනීමයි. හරියටම දිග පළල නොගැලපෙන නිසා මැදින් කුඩා තීරුවක් යොදන්න තීරණය කළා. ඒ අනුව අවශ්‍ය සීලින් තහඩු ඇතුළු ද්‍රව්‍ය ප්‍රමාණය තීරණය කළා.
මේ සඳහා යොදාගත්තේ මේවා.
සීලින් තහඩු (අඩි4x4) , අඟල් 2x2 ලී දඬු, අඟල් 2x1 ලී දඬු(ආධාරක සඳහා), ඇණ අඟල් 1, 1 1/2, 2, 2 1/2, 3 යන ප්‍රඹාණයෙන්, අඟල් 1 1/2 බීඩින් පටි (සීලින් තහඩු අතරට යෙදීමට), අඟල් 1 1/2 මොල්ඩින් පටි (බිත්තිය හා සීලිම සම්බන්ධ වෙන තැනට) වෝල් ෆිලර්, සීලින් වයිට් ඉමල්ෂන් තීන්ත, මැහොගිනි ස්ටෙයින් පවුඩර්, වාර්නිෂ්.
උපකරණ වශයෙන් යොදා ගත්තේ 
අත්කියත, අඬු මිටිය, නියන, ලෙවල් ටියුබ් එක, තීන්ත ගෑමට රෝලර් බ්‍රෂ් එකක්, අඟලේ තීන්ත බුරුසුව හා වාර්නිෂ් ස්ප්‍රේ කිරීම සඳහා ස්ප්‍රේ ගන් එකක්. ඈන්ගල් ග්‍රයින්ඩරය (angle grinder) සීලින් තහඩු කැපීමට.
පළමුව සිදුකළේ සීලිම සඳහා ලෙවල් කර ගැනීම. (මෙම කාමරය උසින් අඩු නිසා වහලයේ හැඩයට ආනතව සීලිම නිම කිරීමට මමත් අප්පච්චිත් තීරණය කළා.) ඒ අනුව ලෙවල් බටයක් (Water level) භාවිතයෙන් මට්ටම් දෙකකට  උස ලබාගත්තා. වහලයේ උස අඩු පැත්තට අඩු උසක් හා උස වැඩි පැත්තට වැඩි උසක් ලෙස. එනම් ආනත හැඩයකට තමා මෙය නිම කරන්න තිරණය කලේ
මේ තියෙන්නේ ලෙවල් ටියුබ් එකක්. මෙහි ජල මට්ටම සමාන කිරීමෙන් තමා ලෙවල් කරන්නේ.


දෙවන පියවර වන්නේ අඟල් 2x2 ලී දඬු භාවිතයෙන් සීලිමේ සැකිල්ල නිම කිරීම. මෙහිදී දැව ආරක්‍ෂක ආලේප කළ ලී වල මැදින් සලකුනක් යෙදුවා. ඒ දෙපසට අඟල බැගින් දෙකට බෙදෙන ලෙස. ඉන්පසු අඟලකින් 1/8 ක පමණ පරතරයක් සිටින සේ සීලින් තහඩු සවිවීමට නම් ලී දෙකක් අතර පරතරය කොපමණ අවශ්‍යදැයි සොයාගත්තා. එම ඉඩ ප්‍රමාණ වෙන් කර ගැනීමෙන් පසුව සැකිල්ල සවි කිරීම පටන් ගත්තේ. එකම වර්ගයේ සීලින් තහඩු ගැනීමෙන් මෙම මිනුම් අනුව දුර යොදා ගැනීම පහසු වෙනවා. නැතිනම් සීලින් තහඩු සියල්ල එකම ප්‍රමාණයකට කපා ගන්න වෙනවා. පහත රූපයේ ආකාරයට සැලසුම් කළේ.

මෙම සාධක වලට ගැලපෙන ආකාරයට සම්පූර්ණ සැකිල්ලම සදා අවසන් කරන්නට මට දින 2ක් ගතවූවා. මෙය වඩුවෙක්ට නම් පැය 4ක් පමණ ගතවෙන දෙයක්. මෙහිදී ඇතැම් ස්ථාන වලින් බිත්තිය ඇතුලට හාරා ලී ඇතුල් කළ අතර සමහර ඒවා ආධාරකයක් යොදා  රෝල් ප්ලග් (වෝල් ප්ලග්) මගින් සවිකළා. එසේ සකස් කළ සැකිල්ල තමා ‍පහත රූපයේ පෙන්වා ඇත්තේ.(ඔය පේන wiring එකත් මම ම තමා කළේ.)
  
මේ සඳහා යොදාගත්තේ අඟල් 2x2 ලී දඬු. ආධාරක වශයෙන් අඟල් 2x1 ලී කැබලි යොදා ගත්තා. අඟල් 2, 2 1/2, 3 ප්‍රමාණයේ ඇණ වලින් ලී සම්බන්ධ කර ඇත්තේ. දෙපස ලී ලෙවල් කළ සලකුනු හා සමපාත වනසේ සකස් කීරීමෙන් පසු දෙක යාකර ඇදගන්නා නූලක් මගින් මැදින් ඇති පොලු සවිකිරීමට සමමිතික කරගන්නේ. එනිසා සියල්ල එක කෙලින් පවතිනවා. ඉන්පසු යොදාගත් පරාල වල ශක්තිමත් බව පරීක්‍ෂාකලේ එහි අතින් එල්ලි සිටිමින්.
(වාසනාවට කඩන් වැටුනේ නෑ. එහෙම උනානම් සීලිමත් ඉවරයි, බ්ලොග් ලිවිල්ලත් ඉවරයි)
සියල්ල නිවැරදි බව තහවුරු කරගත් පසු සීලින් තහඩු සවිකිරීම පටන් ගත්තා. මේ සඳහා ආධාරකයක් යොදා ගැනීම වඩුවන් විසින් කළත් මෙහි ආනත හැඩය නිසාත්, ප්‍රමාණයෙන් කුඩා ස්ථානයක් නිසා සීලින් තහඩු කැබලි අඩු සංඛ්‍යාවක් සවිකිරීමට ඇති නිසාත් එවැන්නක් භාවිතා කළේ නෑ. මමත් අප්පච්චිත් අතින් අල්ලාගෙන ඉහලට ඔසවා නොසෙල්වෙන සේ තබාගෙන ඇණ මගින් සවි කළා. මෙහිදී එක් දාරයක් සඳහා ඇණ 6ක් පමණ බාවිතා කළා.  මේ සඳහා යොදා ගන්නේ අඟලේ යකඩ ඇණ. එහෙත් සීලින් තහඩු සවිකිරීමට පෙර බිම තිබියදී එවායේ වෝල් ෆිලර් ආලේප කළා. තීන්ත ආලේප නොකළේ අතින් ඇල්ලීමේදී කිලිටි වන නිසා. මේ සඳහා අපට දින 2ක් ගත වූවා. එයට හේතුව යට සිට ඉහලට ඇණ ගැසීමට පළපුරුද්දක් නොමැති නිසා ඉකිමනින් වෙහෙසට පත් වීම හා උරහිස වේදනාවක් ඇතිවීම. මෙය මගහැරීමට එක් සීලින් තහඩුවක් සවිකිරීමෙන් පසු විවේකයක් ගන්නවා.
මේ සියලු සීලින් තහඩු සවි කිරීමෙන් පසුව ගත් ෆොටෝ එක...

හොඳින් බැලුවොත් පෙනෙයි සීලින් තහඩු අතර පරතරය අක්‍රමවත් බව. ඒයට හේතුව මගේ පළපුරුද්දක් නැති කම. මා එය වසා ගැනීමට යොදා ගත් උපක්‍රමය පසුව කියන්නම්. 
මේ තවත් ෆොටෝ එකක්..

මීළඟ පියවර වූයේ සීලිමේ තීන්ත ආලේප කිරීමයි. මේ සඳහා මම යොදා ගත්තේ සීලින් වයිට් ඉමල්ෂන් පේන්ට් එක. නමුත් අවශ්‍ය අයෙකුට වෙනත් ලා පැහැති ඉමල්ෂන් පේන්ට් එකක් භාවිතා කර්නන පුළුවන්. රෝලර් බ්‍රෂ් එකක් භාවිතා කරමින්, ඇ‍ඟේ හලෙන්නේ නැතිව, බිම හලන්නෙත් නැතිව මෙය කිරීම ඉතා අසීරු කාර්යයක් උනා. නමුත් අවසානයේ බිම සෝදන්න සිදුවුනා. ඒ බිමට තීන්ත හැලීම පාලනය කළත් නවත්වන්න නොහැකිවූ නිසා.
අවසාන පියවර වූයේ බීඩින් පටි හා මොල්ඩින් පටි සවිකිරීමයි. (මේ නම් නිවැරදිද යන්න මම නොදනිමි. ලී වෙළඳ සල් හිමියා හා කලින් බාස් උන්නැහේ භාවිතා කළ වචන තමා මමත් ලියන්නේ) මෙයින් කිසියම් අලංකාරයක් එක් කරන්න මම මගේම අදහසක් යෙදුවා. එනම් මේවායේ තීන්ත ආලේප කිරීම වෙනුවට මා මැහොගිනි ස්ටෙයින් පවුඩර් (Mahogini stain powder - ලීවල ආලේප කරන ඩයි වර්ගයකි. ජලයේ දියකර බුරුසුවකින් ආලේප කළ හැක) ආලේප කළා. බෝතලයේ සඳහන් ප්‍රමාණයට වඩා අඩු ජල ප්‍රමාණයක දිය කිරීමෙන් තද පැහැයක් ගන්න පුළුවන්. මම යොදාගත්තේ මගේ සිතුන පාටයි. එය තද රතු-දුඹුරු පැහැයක්. නමුත් මේවා ජලයේ දිය වෙනවා. මේ නිසා වැස්සකදී සීලිමේ ජල කානුදුවක් සිදුවීනම් මෙහි වර්ණක දිය වෙන්න පුළුවන්. එයට ආවරණයක් ලෙස මම යොදා ගත්තේ සාමාන්‍ය වාර්නිෂ් එකක් (polyurethane varnish) ඒ සඳහා මම බ්‍රෂ් එකකින් ආලේප කිරීම වෙනුවට ස්ප්‍රේගන් එකකින් ආලේප කිරීම සිදු කළා. එමගින් වඩා හොඳ නිමාවක් ගන්න පුළුවන්. මෙ‍හිදී කලින් සඳහන් කළ පරිදි මම අඟල් 1 1/2 බීඩින් හා මෝල්ඩින් පටි භාවිතා කළේ සීලින් තහඩු අතර ඇති පරතරය අවිධිමත් බව වසා දැමීමට. අවසානයේ අඟල් 1 1/2 ඇණ බාවිතා කරමින් බීඩින් හා මෝල්ඩින් පටි සවි කර සීලිමේ වැඩ අවසන් කළා. 
මේ එසේ අවසන් කළ සීලිම..


පින්තූර පැහැදිලි මදිනම් ඒමත ක්ලික් කර (right click or middle click) වෙනත් ටැබ් එකක සම්පූර්ණ ප්‍රමාණයේ එකක් ගන්න.
මේ සඳහා මට විශාල වෙහෙසක් යෙදවීමට සිදු වූයේ පළපුරුද්ද නැති නිසා. බොහො දේ ගැන අප්පච්චිට තිබුන දැනුම මෙහිදී මට ලොකු උදවුවක් වූවා. මුළු කාර්යය සඳහා මාසයක් පමණ ගතවූයේ මට මෙහි නිරත වීමට ලැබුනේ සති අන්තයේ දවසක් හෝ දෙකක් වීම නිසා. එසේ නොවුනා නම් වෙනස් වන්න තිබුනා. නමුත් දිනක් වැඩ කිරීමෙන් පසු උහරිස් වලින් වේදනාවක් දැනෙනා නිසා දෙවන දවසක් වැඩක් කරන්න පුළුවන් කම නෑ. ඒයට හේතුව යටිකුරුව ඇණ ගැසීම නුපුරුදු අයෙකුට අසීරු දෙයක් වීමයි. නමුත අවසානයේ මම මෙය මේතරම් අලංකාර ලෙස අවසන් කිරීම මටම අදහා ගන්න බැරි දෙයක් උනා. ඇත්තටම මේක දකින සෑම අවස්ථාවකම මට ඇතිවන්නේ ලොකු සතුටක්. මින් පසු ඉදිරිපත් කරන කිසිම දෙයක ඡායාරූප මා සතුව නෑ. ඒ අතේ විවිධ දේ ගෑවී ඇති විට ඡායාරූප ගැනීමට ‍නොහැකි විමයි. 
**ආරක්‍ෂක පියවර**
මෙය ඉතා වැදගත්. අප කිසියම් කාර්යයක නිරත වන විට ආරක්‍ෂාවට මුල් තැන දෙන්න ඕන. ඕකට වෙන්න ඇති සිංහලෙන් Safety First කියන්නනේ. විශේෂයෙන් විදුලියෙන් ක්‍රියා කරන ඈන්ගල් ග්‍රයින්ඩරය භාවිතයේදී අත් ආවරණ, ඇස් ආවරණ, ආරක්‍ෂක ඇඳුමක්, අධික ශබ්දය නිසා කන් ආවරණයක් යොදා ගැනීම අනිවාර්යයෙන් කරන්න වෙනවා. අමතරව සීලින් කැපීමේදී පිටවන ෆයිබර් කෙඳි සහිත දුමාරය ඉතා අහිතරකර එකක්. ඒ නිසා dust mask එකක් භාවිතා කළා. විදුම් උපකරණය (Electric Drill)  භාවිතයේදී අත් ආවරණ හා ඇස් ආවරණ භාවිතා කළා. කන් ආවරණත් අවශ්‍ය විට භාවිතා කළා. අනෙකුත් බොහෝ අවස්ථාවල අත් ආවරණ හා උඩ බලාගෙන වැඩ කරන විට අමතරව ඇස් ආවරණ භාවිතා කළා. අමතරව ඉතා කල්පනාකාරීව මේ වඩ වලදී උපකරණ හසුරන්න ඕන. නැතිනම් පහසුවෙන් අනතුරු සිදු වෙන්න පුළුවන්.

මම මෙය කියවන ඔබට කියන්නේ ඔබත් සීලිමක් ගසන්නට යන්න කියා නම් නොවේ. මේ වගේ කුමන හෝ දෙයක් ඔබටත් කළ හැකිව ඇති. එය ඔබම කර ගන්න බලන්න. නිමාව උපරිමයෙන් නැතත් ඒ දෙස බලන සෑම වාරයකදීම ඔබේ සිතට ලොකු සතුටක් දැනේවි. මේක කළේ මම නේද කියා. 
ඒහෙන්ම් අද දවසට මම යනවා. ආයෙත් දවසක මේ වගේ පොස්ට් එකක් අරන් එන්නම්.
සුභ දවසක් !!!

ප/ලි
දවසේ උපදේශය
ඇණ ගන්න ගිහින් ඇන ගන්න එපා (හාඩ්වෙයාර් එකකින් උපුටා ගන්න ලදී)


Saturday, December 4, 2010

හද පතුලෙන් ලියා පල කරමි

ආදරණීය බ්ලොග් මිතුරනි.......
මගේ බ්ලොග් සම්ප්‍රාප්තිය වූයේ මේ වසරේ මැයි මාසයේ බව මතකය කියවන ඔබ සැම දන්නවා. මට මේ අදහස ඇතිවූයේ කතන්දරගේ බ්ලොග් අඩවියෙන් බව නොදන්නා අය ඇත්නම් ඔවුන්ගේ දැනගැනීම සඳහා මෙසේ නැවත සිහි කරමි. 
කවුරු දැන සිටියත් නැතත් මගේ දවස ඇරඹෙන්නේ උදේම කතන්දර අඩවියෙන් බව නොකියාම බෑ. මා මෙන්ම තවත් විශාල පිරිසත් දිනපතා උදේම ඒ පැත්තට යන්නේ කතන්දරයක් අසා සිත් උද්දාමයෙන් යුතුව දවස අරඹන්න. ඒහෙත් පෙරදා උදෑසන එහි ගිය මා නෙත ගැටුනේ ඉතා සංවේගී ආරංචියක්. අපේ කතන්දරගේ පියා මෙලොව හැර ගොස් ඇත. ඔහු පසුගිය කාලයේ රෝගාතුරව සිටි බව දන්නා කරුණක්. එහෙත් මෙසේ ඔහු යනු ඇතැයි අප නොසිතුවෙමු. 
නමුත් දැන් එය සිදුවී අවසන්. කතන්දර තම පියාට දැඩිව ආදරයෙන් සලකන අයෙක්. ඔහු තම පියා ගැන ලියා ඇති පොස්ට් ගණනාවකින් එය පැහැදිලි වෙනවා. එවන් අයෙකුට මෙම දුක්බර අවස්ථාවේ වුවත් සැනසෙන්න පුළුවන්. ඒ තම යුතුකම් තම දෙමාපියන් වෙනුවෙන් නොපිරිහෙලා ඉටුකර ඇති බැවින්. 
ඇත්තෙන්ම අප කවුරුත් අද මේ තත්වයෙන් ඉන්නේ දෙමාපියන්ගේ උපරිම කැප කිරීම් නිසානේ. ඉතින් අපි ඔවුන්ට ණයක් ඇති. එය ගෙවන්න ඔවුන් පැතූ ලොකය අප ගොඩ නගන්න වෙනවානේ. ඒ අතින් කතන්දර විශිෂ්ඨ මෙහෙයක් කර ඇත්තෙක්. ඒ අනුව එම තාත්තා මොන ආකාරයේ අයෙක්ද යන්න හිතාගන්න අපහසු නොවනු ඇත. ලොවටම වැඩදායි දරුවන් පිරිසක් ලොවට දායාද කළ ඒ ආදරණිය පියා අද නිසලයි. එහෙත් ඔහු පැතූ සිතුම් සපඵල වී ඇති බව මට දැනෙනවා.
ඉතින් මගේ බ්ලොග් ආගමනයේ ගුරුතුමා ලෙස මම ගෞරවයෙන් පිළගන්නා කතන්දරගේ පියාට උපහාරයක් ලෙස මේ සටහන මෙසේ තබමි.
මගේ මතකයේ මිතුරු කැල සමග එක්ව ඒ ආදරණිය පියාණන්ට නිවන් සුව පතමු!
ප/ලි
එම දේහය දැන් පිළයන්දල මකුළුදූවේ අංක 3/14 දරණ නිවසේ තැම්පත් කර ඇති බව දන්වා ඇති අතර අවසන් කටයුතු දෙසැම්බර් 06 වන සඳුදා සිදුකිරීමට නියමිතය.

සමාවන්න. සඳුදාට පළකිරීමට බලාපොරොත්තුවෙන් සිටි ලිපිය ඔහුට දක්වන් ගෞරවයක් වශයෙන් එදිනට පළ නොකරන බව දන්වා සිටිමි.