Thursday, July 15, 2010

Hard disk format කිරීම ලොකුම අවියෙන් සටන් කිරීමක්ද?

ලංකාවේ අපට නම් උඩ තිබෙන රූපය අමුතු දෙයක් නෙවේනෙ. මොකද පසුගිය අවුරුදු 30 ක් විතරම තිබුන යුද්ධයත් එක්ක ඔය මල්ටිබැරල්, කාලතුවක්කු, මෝටාර්, යුද්ධ ටැංකි වගේ දේවල් නොදන්න අහල නැති පොඩි ළමයෙක්වත් හොයන්න අමාරුයි. ඒත් කවුරුත් කලබල වෙන්න දෙයක් නෑ. මොකද මම ආයෙ ඒ යුද්ධෙ ගැන මතක් කරන්න යනවා නොවේ.
සාමාන්‍යයෙන් යුද්ධයකදී විවිධ ආයුධ භාවිතා කරනවා. ඕක ඉතිං අපි කවුරුත් දන්න දෙයක්නේ. නමුත් කවදාවත් ලොකුම ආයුධය ඉස්සර කරගන්න සිරිතක් යුද්ධ වල නෑ. මොකද ඕක සතුරා අතට පත්වෙන්න පුළුවන් නිසා. තව ඉතිං වියදම. ඒ වගේම නාස්තිය. ඒ නිසා සාමාන්‍යයෙන් ලොතුම තුරුම්පුව අන්තිමට තියාගන්න එක තමා නුවණට හුරු. අනික ගලෙන් ගහල කඩන්න පුළුවන් අඹගෙඩිය කඩන්න ගහට නගින්නේ කවුද?

මම අද කියන්නෙත් ටිකක් ඒවගේ කතාවක්.
මම මේ බ්ලොග් එකේ වරින් වර තාක්‍ෂණයට අදාලවත් පොස්ට් දාන බව මේ පැත්තට එන කවුරුත් දැන් දන්නවනේ. එත් පහුගිය දවස් වල, එහෙම නැත්නම් මේ මුළු මාසෙම ඒවගේ පොස්ට් එකක් දාන්න බැරිවුනා. ඉතිං අද පොඩියට හරි ඒ වගේ පොස්ට් එකක් දාන්න හිතුවා. කවුරුත් කැමතියිනේ?

ඔය උඩින් තියෙන්නේ මොකක්ද කියල කොම්පියුටර් කරන කවුරුත් දන්නවනේ. ඔව් Hard disk එක අපේ කොම්පියුටර් එකේ වැදගත්ම කොටසක් තමයි. හැබැයි අපේ ගොඩක් Technician ල ඔය හාඩ් ඩිස්ක් එකත් එක්ක පුදුම තරහත් තියෙන්නෙ. මම එහෙ කිව්වේ ඇයි?. බලන්න පොඩි අවුලකටත් ඕකට කොච්චර වද දෙනවද කියල. Computer එකට Virus එකක් ආවොත් හුඟක් දෙනෙකුට තියන එකම විසඳුම ඕක Format කරල අලුතින් system දාන එක තමයි. තව කොච්චර fault වලට කිසිම වග විභාගයක් නැතිව Hard disk එක Format කරන පිරිසක් අප අතර ඉන්නවද?. ඇයි ඒහෙම කරන්නේ? සමහර විට බාගෙට ඉගෙන ගෙන ඔ‍තනට ආපු අය වෙන්න පුළුවන්. නැත්නම් ඉගෙන ගෙන තියෙන ප්‍රමාණය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් කම්මැල් කමට හෝ ඉක්මනට වැඩේ ඉවර කරල ගැලවෙන්න එහෙම කරන අයත් ඉන්නවා. මම මේව කියන්නේ නිකම්ම නෙවෙයි. කාලයක් තිස්සේ මේවා ගැන හොයල බලල මම දැක්ක දෙවල් ආශ්‍රයෙන්. මේක මම හොඳටම දන්න දෙයක් කිව්වොත් තමා වඩා හරි.

ඇත්තටම එහෙම හැම අවුලකටම Hard disk එක Format කරන්න ඕන වෙන්නේ නෑ. Virus එකක් ආවොත් antivirus software එක ගැන නැවත සලකා බලන්න පුළුවන්. හොඳ නැත්නම් අළුත් එකක් දානවා. Update වෙලා නැත්නම් Update කරනවා. System crash එකක නම් repair එහෙම නැත්නම් re-install කරන්න පුළුවන්. මේක ඔබේ කොම්පියුටර් එක නම් ඔබට මේ පිළිබඳ දැනුම අඩුනම් ලේසියට format කරන්න හදන එක ඒච්චර හොඳ දෙයක් නොවේ. ඔබ technician කෙනෙක් නම් මේක කොහොමවත් කරන්න හොඳනෑ.
මෙහෙම format කරන්න ගියාම අපේ ඩිස්ක් එකට වෙන අතුරු අන්තරා ගොඩයි. ඇයි අපේ ෆයිල් නැතිවෙන එක. ඊළඟට ආයෙ driver- software හොයන්න වෙන එක. ඇයි අමාරුවෙන් අටව ගත්තු settings ටික.

මොකද මම මෙහෙම කියන්නේ මගේ ලඟ තියනවා අවුරුදු 8ක් විතර පරණ 40GB ඩිස්ක් එකක්. ගත්ත ගමන් format කරාට පස්සේ තාම එක පාරක් වත් format කරලා නෑ. කොහොමත් මම maintenance කරන ඩිස්ක් වැඩි ප්‍රමාණයක් අවුරුදු 5කට වඩා format නොකර දුවන ඒවා තමා. සමහර විට අවුරුදු 3-4කට වරක් repair හෝ re-install කර ඇති. එහෙම නැති ඒවත් තියනවා මේ ලොකු ටෝක් දෙනවා නෙවේ. සම්පූර්ණයෙන්ම ඇත්ත.
පළමුව හොඳට ප්‍රශනෙත් එක්ක හැප්පෙන්න. කාලයක් ගියාට කමක් නෑ. ඒක ඊළඟ වතාවේ එන ප්‍රශනයට ලෙසියක් බව හිතන්න. උත්තරේ හොයාගන්න අමාරු නම් පොඩි සර්ච් පාරක් දාල බලන්න. නැත්නම් ඔය user group වල එහෙම ඇවිදලා බලන්න. පළමු උත්තරේ එකම විසඳුම ලෙස ගන්න එපා.
ඔය මොන ක්‍රමේකටවත් බැරි උනොත්, මොනව කරන්නද? එහෙනම් ඉතිං format කරල දාන්න. හැබැයි ඒක අන්තිම තුරුම්පුව වෙන්න ඕන.
ඔබේ හාඩ් ඩිස්ක් නිතර ෆෝමැට් කරන්න සිදු නොවේවා!!
ගිහින් එන්නම්. සුභ රාත්‍රියක්!!.

Sunday, July 11, 2010

ජය වේවා

හුරේ කමොන් මට ජයවේවා!
මොකෝ මොකෝ මේ අද අමුතු ජොලියක්
ඇයි දන්නේ නැද්ද මගෙ බ්ලොග් එකේ හිට්ස් 1000 පන්නලානේ.
අයියෝ ඕක මොකද්ද? ඔය හිට්ස් ලක්‍ෂ ගණන් තියන සිංහල බ්ලොග් ඕන තරම් තියෙන්නේ.
ඒක නම් ඇත්ත තමයි. ඒත් මට මගේ බ්ලොග් එක වටිනවානේ.
ඔව් ඒත් මාස 2කට හිට්ස් 1000 ලොකු දෙයක්ද?
අපෝ නෑ.
එහෙනම්?
තව දෙයක් තියනවා.
ඒ මොකක්ද?
අදට අපේ කතන්දරගේ බ්ලොග් එකට හරියටම අවුරුද්දක් වෙනවනේ.
ඇත්තට?
ඔව් දන්නේ නැද්ද? අප්පෝ ගොඩ දෙනෙක් මේක දන්නවානේ.
ඔව්නේ කතන්දර කියවන්නේ නැත්තෙ කව්ද?
එහෙනම් අපි ඔක්කොම කතන්දර බ්ලොග් එකට සුභ උපන්දිනයක් පතමු.
කතන්දර ශූරිනි ඔබේ කතන්දර අඩවියට මගෙන් සුභ පැතුම්!!!!!!

ප/ලි
කැමති අය මේ ටිකත් කියවන්න.
අවුරුදු 12ක් විතර ජාලයේ ඇවිදින මම කවදාවත් බ්ලොග් නම් බලල තිබුනේ නෑ මේ අවුරුද්ද වෙනකම්ම. බැරිවෙලාවත් බ්ලොග් එකක් ඕපන් වුනත් ඕක ක්ලෝස් කරල දාන එක තමා කරන්නෙ. ඔහොම ඉන්න කොට මේ මාර්තු මාසයේ අන්තිම දවස්වල අහම්බෙන් සර්ච් එකක් කරනකොට කතන්දර බ්ලොග් එකට ගියා. අර කතන්දරගේ ප්‍රියතම ලෝකට් බ්ලව්ස් කතාව. ඕක කියවන කොට අමුතුම ශෙලියක් මේ කතාවල තියන බව දැනුනා. ඊට පස්සේ අනික් කතා ඔක්කොම දවස් 2න් කියෙව්වා. බ්ලොග් රෝලෙ තිබුන අනෙක් බ්ලොග් වලටත් ගියා. මේවායේ තිබුන විවිධ අදහස්, ඉදිරිපත් කර ඇති ආකාරය මගේ සිත බ්ලොග් උණක් කරා ගෙනගියා. පස්සේ බ්ලොගර් එකේ එකව්න්ට් එකක් හදාගෙන Comment කරන්න ගත්තා. ඒ ගමන්ම මගේ මතක එලි දක්වන්නත් ගත්තේ මැයි මාසේ ඉඳන්. ඔහොමයි මගේ බ්ලොග් ආගමනය. ඒ නිසා තමා කතන්දරට වෙන් කරල පෝස්ට් එකක් දාන්න හිතුවේ.
නැවතත් කතන්දරට දිගටම මේ කතන්දර වලින් අප සතුටු කරන්න වාසනාව ලැබේවා කියමින්. සිංහල බ්ලොග් අවකාශයට ජයෙන් ජය වේවායි පතමින් අදට ගිහින් එන්නම්.
සැමට සුභ දවසක්!!!

Friday, July 9, 2010

ජෙනියත් රැ‍ගෙන මීමුරේට- පසුවදනක්

මතකනේ අපි ජෙනරේටරයක් කරතියන් මීමුරේ ගියහැටි. අමතක වෙන්න ඒ හැටි කාලයක්ය නේද? කොහොම හරි ඔය කතාවේ සමහරුන්ට පොඩි අපැහැදිලි ගතියක් තබුන බව ආපු comment කීපයකින්ම මට හිතුනා. අර දවසක් comment කරන්න බැරුව තිබුන දවසේ ආපු මේල් එකකත් තිබුනා. ඒ නිසා ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් මේ.

එකක් ජෙනරේටරය. ඕක ගේන්න භාරගත් අය වැඩේ අනාගෙන තමා කිලෝවොට් 2 ක එකක් ගෙනාවේ. මොකද ඒ දවස්වලත් වොට් 600 විතර පෝටබල් ජෙනරේටර් ඕන තරම් තිබුනා. බැටරි චාර්ජ් කරන්න ඒකක් හොඳටම ඇති. ඒක එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට පහසුවෙන් ගෙනියන්න තිබුනා.

අනෙක වෑන් එකේ කතාව ගැනත් කියන්න එපැයි. අපි දැනගෙන හිටියේ නැති වුනාට ඒ කාලේ මීමුරේ පැත්තේ වෑන් කීපයක්ම තිබුනා. ඒවා මේ පරණ 34ශ්‍රී මොඩල් එකේ කිරි කිරි ඩෙලිකා වෑන්. ඒ කිව්වේ ඔය පරණ මොඩල් එකේ වෑන් එක පාරෙ යනකොට කිරි කරි ශබ්දයක් එනවා. ඔය පහල තියෙන්නේ ටිකක් ඒ වගේ එකක්.

එහෙ කඩ වලට ඕන කරන බඩුබාහිරාදිය ගෙන්නේ ඒවායේ. ඒ ගමන්ම ජෙනරේටරයක් හෙම තිබුනොත් එහෙ මෙහෙ ගෙනියනවා. ඒ ගමෙත් සමහර ගෙවල් වල ජෙනරේටර් තිබුනා. හැබැයි ඔය වෑන් එකක් නගරයට එන්න වෙනම සටනක් කරන්න තියනවා. සාමාන්‍යයෙන් ගමේ ශක්තිමත් තරුණයන් කිප ගෙනෙක් හවුල් කරගෙන, උදලු අලවංගු, කඹ පටවගෙන තමා එන්නේ මොකද මගදි වලකට වැටුනොත් ගොඩගන්න. මඩවෙලා ලිස්සන තැන් වලදි අදින්න වගේ දේවල් කරන්න වෙන නිසා. පාරෙ නොදන්න කෙනෙකුට නම් ෆෝවීල් ඩ්‍රයිව් නැති වෙන කිසිම වාහනයක් ගෙනියන්න ඒ කාලෙ පුළුවන් කමක් තිබුනේ නෑ. දැන් නම් පැර හදල කියල පුතා මට comment කරල තිබුනා.

තව ටිකක් තියනවා ඒකත් කියලම අදට යන්න හිතුවා. අපි එහෙ දවස් 3ක් නැවතී හිටියා. අපට ගමේ අය හුඟක් උදව් කරා අපේ අරමුණ කරා යන්න.

ජෙනරේටරේ නිසා නැවතී හිටිය පාසලේ ශාලාවට ලයිට් දා ගන්නත් ලැබුනා. රෙකොඩින් වලට ඕන ආලෝකය ගන්න අපි ලයිට් ඇති වෙන්න අරන් ගියේ. එන දවසට කලින්දා රෑ අතරමග තියන කයිකාවල (මාතලේ කයිකාවල නොවේ) කියන ගමේ නවතින්න තීරණය කලා මොකද උදේම මීමුරෙන් ආවොත් සවස 2ට පිටත්වන අන්තිම බස් එක අල්ලන්න අමාරු නිසා. රෑ එන ගමනටත් ජෙනිය පිහිට වුනා. අපි ඕක ස්ටාර්ට් කරල ෆ්ලෑෂ් ලයිට් පත්තු කරන් ඒ එළියෙන් තමා ආවේ.

කොහොම වුනත් අපේ මහන්සිය අපතේ නොගිය බව දැනුනේ ලබාගත් අත්දැකීම්, සොඳුරු මතක නිසා විතරක් නොවේ. Exebition එකෙන් අපට ෆස්ට් ප්ලේස් එකත් ලැබුන නිසා.
කොහොමද? එල කොල්ලො ටිකක් නේ.
එහෙනම් අදට ගිහින් එන්නම්.

Sunday, July 4, 2010

ජෙනියට කර ගහපු හැටි 2 ජෙනිය කරෙන් යයි

මතකනේ ජෙනියට කර ගහපු කතාවේ පළමු කොටස. ඔන්න කියවපු නැති අයට මෙතනින් බලා ගන්න පුළුවන්.

අද ඉතුරු කොටස.

දැන් අපි උදේ 6.30 නුවරින් යන බස් එකට සෙට් වෙන්න කථා කර ගත්තා. අපේ ඥානෙගේ තාත්තා ඩිපෝවේ නිළධාරියෙක් නිසා බස් එක නුවර ගුඩ් ෂෙඩ් එකෙන් පිටත් වන බස් එක ඔර්ලොසු කණුව ළඟ ස්ටෑන්ඩ් එකේත් විනාඩි 10ක් නවත්වගෙන ඉන්න පුළුවන් කියා පොරොන්දු වුනා. (නුවර බස් ස්ටැන්ඩ් ගැන නොදන්න අයට- නුවර ප්‍රධාන බස් ස්ටැන්ඩ් 2ක් තියනවා. එක්ක ගුඩ්ෂෙඩ්, බොහෝ දුර ගමන් බස් පිටත් වනේ මෙතනින්. අනෙක ක්ලොක් ටවර්. ළඟ පාතට යන බස් තමා මෙතැනින් පිටත් වන්නේ. ගුඩ්ෂෙඩ් බස් සාමාන්‍යයෙන් ක්ලොක් ටවර් ස්ටෑන්ඩ් එකට දාන්නේ නෑ) වෙලාවට ඔක්කොම ඒම ස්ථානයට එන්නත් පොරොන්දු වුනා. දැන් උදේ 6.30 ට බස් එක වෙලාවටම ස්ටෑන්ඩ් එකට දැම්මා. හැමදාම බස් එකේ යන පිරිසට ටිකක් අප්සේට්. ඒත් කොන්දා වැඩේ ෂේප් කරා විනාඩි 5න් යනවා කියා.

කොහොම හරි ඔක්කොම ඇවිත් ජෙනිය ගේන සෙටි එක නෑ. බස් එකේ කට්ටිය සද්දෙ දානකොට යන්තම් විනාඩි 15 ක විතර සුළු ප්‍රමාදයකින් පස්සේ කට්ටිය ආවා. නිකම්ම නොවේ ඔපරේටර් කෙනෙක් සමගම ජෙනරේටරයත් රැගෙනම. ආයේ සුළු පටුනෑ පළාතෙම බැටරි චාර්ජ් කරන්න පුළුවන් කිලෝවොට් 2ක ජෙනියක්. කොහොමද අපේ කට්ටියගෙ වැඩ. ඕක උදේ පාන්දර බස් එකකට දාගන්න ගිහින් තමා විනාඩි 15 ක් පරක්කු වෙලා තියෙන්නෙත්. ඔය පහල තියෙන්නේත් ඒ වගේ එකක්.


ඔන්න ඉතිං ගමන පිටත් වුනා. ආපදාවක් නැතුවම බස් එකේ මගීනගෙත් ප්‍රශංසා මැද ගමනාන්තයටත් ආවා. මොකෝ අපේ උන්ගේ සද්දෙයි කියන සිංදුයි ඇහුවම කාටද ආදරේ හිතෙන්නේ නැත්තේ. බස් නැවතුමේ තේ කඩයෙන් උදේ ආහාරය ඇරන් කඩේ මුදලාලිගෙන් යන පාරේ විස්තරත් අහගෙන කිලෝමීටර් 15 ක විතර දුර පයන්ම යන්නයි කට්ටිය දැන් ලෑස්ති.

දෙන්නෙක් ජෙනිය උස්සලා ‍බැලුවා. ඉස්සුවාට මීටර් 100 ගෙනියන්නබෑ. ඒතරම් බරයි. දැන් මොකද කරන්නේ. ජෙනිය කඩේ ළඟ තියලා ගිහින් වරින් වර ඇවිත් බැටරි චාර්ජ් කරන් යන්ට පුළුවන් තරම් පොඩි දුරක්යැ. ආයෙත් අදහස් ගලනවා. අපි ඕක ලී දෙකක ගැටගහලා කරේ තියන් යමු. වැඩේ නම් හොඳයි. කඩේ මුදලාලිගෙන් ලී දඬු දෙකක් හොයා ගන්න අපහසු වුනේ නෑ.

දැන් ජෙනිය මාරුවෙන් මාරුවට අපි හතර දෙනෙක්ගේ කර මතින් උජාරුවෙන් යනවා. මං හිතන්නේ මේ දක්වාම ලෝකේ ජෙනරේටරයක් පාසල් සිසුන්ගේ කර මතින් ගිය වැඩිම දුර වෙන්න ඕන. ඔය තියෙන්නේ අපේ අය ජෙනිය කරමතින් ගෙන ගිය ආකාරය. (මට ලස්සනට අඳින්න පුළුවන් හරිද? ඒකයි ඔහොම තියෙන්නේ)

අතර මග හමුවන කීප දෙනෙක්ගෙන්ම පාර අහන්න අපි අමතක කලේත් නෑ. එහෙට තියෙන්නේ රබර් හැතැප්මද කොහේදෝ. ඇහුවාම තව හැතැප්ම 6ක් විතර ඇති කියනවා. හැතැප්ම 5ක් විතර ගිහින් ආයේ හමුවන කෙනෙක්ගෙන් ඇහුවාම තව 5ක් විතර ඇති කියනවා. ඔහොම හත් අට දෙනෙක්ගෙන්ම අහන්ට ඇති.

අපිට ඇල්ලුවේම නැත්තේ උත්තර දෙන ගමන් අපි දිහාත් අපේ කරමත නැගී අභිමානවත්ව ගමන් කරන ජෙනීරාජයා දෙසත් ඔවුන් අමුතු විධියට බලපු එකයි. අපි හිතුවේ දුෂ්කර ගමක ඉන්න ඔවුන්ට ජෙනරේටරය අලුත්දෙයක් කියයි. ඒත් නියම හේතුව තේරුනේ නැවති ගිමන් හරින විට එතැනට ආ ‍පොරක් අපිත් එක්ක කථා කරමින් ඉන්න විටයි. ඒක වුනේ මෙහෙමයි.

පොර. මේ පුංචි මහත්තුරු කොහේ ඉඳන්ද?

අපි. අපි මේ නුවර ඉඳන්

පොර. මීමුරේ යනවා වෙන්ටෑ මයෙ හිතේ.

අපි. ඔව් මේ ගම ගැන විස්තර හොයන්නට. මේ ඉස්කොලේ තියන ප්‍රදර්ශනයකට.

පොර. මේ ජෙනරේටර් එකකුත් ඇරන් (මළා මුන් ජෙනරේටර් ගැන දන්නවා නේ)

අපි. ඔව් මේ අපේ කැමරා වල බැටරි චාර්ජ් කරන්න. (ඒක නම් තේරුනාද දන්නෑ)

පොර. ඇත්තද (කිංඩියට වගේ සිනාසෙයි)

අපිනම් ජෙනරේටර් එහෙ මෙහෙ ගෙනියන්නේ වැන් එකක පටවගෙන.

ගොහින් ඒඤ්ඤං මහත්තුරුනේ

ප/ලි

මං අන්තිම ටික කීවේ කියවන නෝවරුන්ටත් එක්කයි

Thursday, July 1, 2010

ජෙනියට කර ගහපු හැටි

ආයෙත් වැස්ස පටන් ඇරන්. වැස්සත් එක්ක කූඬැල්ලෝ එලියට බැහැල. පොඩ්ඩක් නගරයෙන් පිටට ගියානම්, අඩි පාරක ඇවිද්දනම් කූඩැල්ලොත් එක්ක ආපහු එන්ටත් පුළුවන්. මම මේ අද කියන්න වනනේ අපි පාසල් ගිය කාලේ වෙච්ච දෙයක් ගැනයි. මම තාම මේ බ්ලොග් එකේ අපේ පාසල් කාලේ මොනවත් ලියලම නැනේ.

ඔන්න එහෙනම් අද පරණ කතාවක්.
මේ 1994 නොවැම්බර් අග වැස්ස කාලෙ, කූඩැල්ලො මැදින් අපි "මීමුරේ" ගිය කතාවක්. අහල ඇතිනේ මීමුරේ ගම ගැන. අහල නැති අයට මම පොඩි හැඳින්වීමක් කරල ඉන්නම්. මීමුරේ කියන්නේ නකල්ස් රක්‍ෂිතයේ (දුම්බර මිටියාවතේ) පිහිටි අති දුෂ්කර ගම්මානයක් හැබැයි හරිම සුන්දරයි. දැන් නම් කොහොමද දන්නේ නෑ. ඒත් ඒ කාලේ එහෙ විදුලිය නෑ, බස් යන්නේ නෑ. හරි හැටි පැරක් නෑ. මං හිතන්නේ කිලෝමීටර් 15 ක් විතර පයින් යන්න තියනවා. සමහර විට ඊටත් වැඩිද මංදා. කූඩැල්ලෝ තොග ගණන් පාරේ ඉන්නවා එල්ලෙන්නේ කාගෙද කියල බලාගෙන. වැස්සට මඩ වගුරු හැදිල ලිස්සනවා, වැටෙනවා. ඒ මදිවට පාරේ කානු හැදිල වතුර ගලනවා. ඔය තියෙන්නේ යන පාරේ මැප් එක. මම නම් ඕක හොරකම් කරා සයිට් එකකින්. මොකද මගේ ලඟ තිබුන පරණ ෆොටෝ ඔක්කොම වගේ විනාශවෙලා.





ඉතිං ඔය දුෂ්කර මගගෙවා අපි මීමුරේ යන්න හිතුවේ නිකං ඉන්න බැරි කමට ‍නම් නෙවේ. ශ්‍රිලංකා යොවුන් ගවේශන සංගමය පවත්වන "ජීව 94" ප්‍රද්ර්ශනයට ප්‍රදර්ශන කුටියක් කරන්න විස්තර එකතු කරන්නයි.

දැන් පාර ගැනයි යන්න හේතුවයි කිව්වනේ. එහෙනම් දැන් කතාවේ ඉතුරු හරිය. මීමුරේ යන්න අපේ පාසලේ යොවුන් ගවේශන සංගම් ශාඛාවේ 17 දෙනෙක් එකතු වුනා. යන්න වාහනයක් හයර් කරන එක ඒ කාලේ හැටියට ලොකු මුදලක් යන වැඩක්. අනික අපට ලැබුන විස්තර අනුව ෆෝවීල් ඩ්‍රයිව් වාහනයක් විතරයි ඒ පාරේ යන්න පුළුවන්. ඒකත් මගට. ඉතුරු ටික කොහොමත් පයින්. ඉතිං 17 දෙනෙක් යන්න වාහන කියක් ඕනද? අනික ගමනට දවස් තුනක් විතර යනවා. අපි ආපහු එනකන් උන් දවස් 3ක් මගට වෙලා බලාගෙන ඉඳියිද? ඔය වගේ කරුණු නිසා අපි ගමන පාරේ බස් එකේ යන්න තීරනය කළා. තංගප්පුව කියන බස් එකේ ගොස් ඉතුරු හරිය පයින් යන්න. ඔය කාලෙ ඔහොම යන එකත් මරු ආතල් වාඩේනේද? කවරු කවුරුත් උඩින්ම කැමති වුනා.

දැන් කරන්න තියෙන්නේ මේ වැඩ ටික. එහෙ ෆොටෝ ටිකක් ගන්න ඕන, විස්තර ලියා ගන්න ඕන, Specimen එකතු කර ගන්න ඕන, ඊට අමතරව වැදගත්ම දේ ප්‍රදර්ශනේ දවසේ පෙන්වන්න හොඳ වීඩියෝ එකක් හදනන්න. එක පොරක් කැමරාවක් ගේනනම් කිවා. හැබැයි ඒ දවස් වල අද වගේ compact කැමරා නෑ. තිබුනේ මේ වගේ ලොකු කැමරා තමා.



දැන් ප්‍රශ්න ගොඩක් එකතු වෙනවා. මොකද කැමරාවට බැටරි 2ක් තියනවා. දෙකම ටික ටික අවුල්. දෙකම එකතු කරත් පැයයි විනාඩි 40 ක් විතර තමා වීඩියෝ කරන්න පුළුවන්. ඕකට අපේ එකෙක් ලඟ සොලුශන් එකක් තිබුනා. මචං අපි බැටරි චාර්ජ් කරන්න ජෙනියක් (ඉලෙක්ට්‍රික් ජෙනරේටරයක්) ගෙනියමු. යෝජනාව සභා සම්මතයි. වෙනත් යොජනා?... නැත. ගම්පොල ඉඳන් එන පොරවල් සෙට් එක ජෙනිය ගේන්න බාර ගත්තා අනිත් ආය එක එක දේ බාර ඇරන්. මොකද මේකට ඉස්කොලෙන් සල්ලි ලැබෙන පාටක් නැති නිසා අපිම හැම දේම හොයා ගන්න හිතුවා.

අද කතාව ටිකක් දික් වෙන පාටයි මට මේක පටන් ගනිද්දි වත් මෙච්චර දික්වෙයි කියලා හිතුනේ නෑ. කරන්න දෙයක්නෑ. කුට්ටි කරන්නම වෙනවා.

ඉතුරු ටික තවත් දවසකින්. එතකං සුභ දවසක්!

ප/ලි
මේ ලිපියෙන් පසුව ඉතිරිවා කියවන්න මෙන්න ලින්ක්
ජෙනියට කර ගහපු හැටි 2 ජෙනිය කරෙන් යයි