Saturday, November 17, 2012

රේල් පාර දිගේ (රොසැල්ල සිට ගලබඩ දක්වා) 02.....

අපි කලින් පෝස්ට් එකෙන් කතා කලේ රොසැල්ල සිට ගලබඩට යන චාරිකාවේ ආරම්භයයි. අද කතාකරන්න යන්නේ එතැන් සිට ඉදිරියට ගමනයි. රොසැල්ල Derailment එක පසු කරන විට හමුවන්නේ මා කලින් සඳහන් කළ S හැඩය ඇති ද්විත්ව වංගුවයි. මෙය කලකට ඉහත නෑය යෑමකට ලක්වූ තැනක්ලු. 
අප පින්තූර ගන්න තැන් කීපයකට එකතු උනා. මම සිටියේ පහල රූපයේ ඇති කඳු ගැටය මත. ඔය දුරකථන සංඥා කණුව අසල අපි ඉන්නවා යන්තමින් පේනවා ඇති. මේ පින්තූරේ නම් ගත්තේ අපේ ගයන්ත සමරදිවාකර මල්ලි.

මෙම ස්ථානයට S අකුරේ පහල කොටස හොඳින් දර්ශනය වෙනවා. ඉහල කොටස ගස් වලින් හා කැලෑවට වැහිලා තිබෙන්නේ. මේ එම වංගුවෙන් කොටසක් පෙනෙනා පිංතූර දෙකක්.


මේ එම වංගුවේ දුම්රියක් ගමන් ගන්නා ආකාරය.

මේ දුම්රිය රොසැල්ලට ළඟාවූ පසුව එහි නවතා තිබූ දුම්රිය මහනුවරට යන්න මෙම ස්ථානය පසුකර ගියා. ඉන් පසු අප පහලට පැමිණ ගමන ආරම්භ කලා. මෙම ස්ථානයට කොළඹ සිට ඇති දුර සැතපුම් 103 1/4කි. මෙතනින් පිටත්වූ අපට යාමට ඇත්තේ ඉහල වටවල උප දුම්රිය ස්ථානයටයි. මෙම දුම්රිය මග වැටී ඇත්තේ මනරම් කඳුවැටි තේ වතු, දිය ඇලි හා කුඩා ජල පහරින් හෙබි ජනගහනය තරමක් අඩු ප්‍රදේශ හරහායි. මේ අවට කුඩා නගර හා ගම් ගණනාවක් ඇත. තරමක් දුරින් ගිනිගත්හේන හැටන් මාර්ගය වැටී ඇත. 
උදේ පින්නෙත් තෙතබරිතවූ දුම්රිය මග අපට පෙනුනේ මෙහෙමයි.


මේ තෙත් සිල්පර මතින් ගමන් කීරීම තරමක් අපහසුයි. කෝච්චි වලින් නිතරම සිල්පර මතට වැටෙන තෙල් හා ලිහිසි ද්‍රව්‍ය මතට පින්න වැටුනාම ග්‍රීස් ගහේ යනවා මෙන් ලෙස්සනවා. ලෙස්සා ගොස් යකඩ පීලි වල වැදුනොත් අනතුරක් වන්නත් ඉඩකඩ තිබෙනවා. එහෙත් අවට ලස්සන හා සෞම්‍ය දේශගුණය නිසා ඒ අවදානම් බව සියල්ල අමතක වෙනවා.

මේ ලස්සනට පිපුන මලක්...

කඳු අතරින් නිල්වන් අහසේ අසිරිය....

කන්ද මුදුනේ කවුදෝ ඉන්නවා වගෙයි.....

මග දෙපස ඇති තේ වතු..

මේ සුන්දර පරිසරය මැදින් පහලට ගමන් ගන්නා අයෙකුට හමුවන ඊළඟ දුම්රිය නැවතුම ඉහළ වටවලයි. වටවලට පසුව පිහිටා ඇති ඉහළ වටවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෙළවරකට වන්නට පිහිටා තිබෙනවා. මෙහි දේශගුණය නුවර හා නුවරඑළියට අතරමැදි ස්වභාවයක් ගන්නවා. මේ අවට බහුලව තේ වගාව සිදුවන අතර වතුනිවාස තැන තැන දක්නට ලැබෙනවා. බහළ වටවල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 1100ක් පමණ උසකින්. 
ඉහළ වටවල යනු උප දුම්රිය ස්ථානයක්. මෙහි සිදුවන්නේ දුම්රිය ටිකට් නිකුත් කිරීම පමණයි. දුම්රිය දෙකක් මාරු වීමක් හෝ ටැබ්ලට් දීමක් මෙහි සිදුවන්නේ නෑ. එමෙන්ම සිඝ්‍රගාමි දුම්රිය මෙහි නවත්වන්නේ නෑ. වෙහෙසට පත්ව සිටි අපි දුම්රිය ස්ථානය අසල කඩයකින් තේ බොන්නත් අමතක කලේ නෑ. ටික වොලවක් විනෝද වෙමින් විවේක ගන්නා අතරම කට්ටිය ෆොටෝ ගන්නත් අමතක කලේ නෑ. 


ඉහලවටවල දුම්රිය නවත්වන්නේ මේ කාල සටහන අනුවයි..

උනුසුම් තේ කෝප්පයෙන් ප්‍රාණවත් වූ අපි අපේ ඊළඟ නැවතුම වන වටවල බලා පිටත් වුනා. වටවල හා ඉහල වලවල අතර තරමක් ජනාකීර්ණයි. පෙර තරම්ම පරිසරයේ පාළු පවක් නෑ. තේවතු හා වතු නිවාස මෙන්ම සාමාන්‍ය නිවාසද දක්නට ලැබෙන අතර රේල් පාරේ යන විටත් නිතරම ප්‍රදේශ වාසීන් හමුවෙනවා. 

අතරමගදී හමුවූ මල්කඩාගෙන යන ළමුන් පිරිසක්..

ඈතින් පෙනෙන තේ කර්මාන්ත ශාලාවක්..

අපිට මීළඟට යන්නට ඇත්තේ වටවලටයි. ඒ විස්තරය මීළඟ ලිපියෙන් අරන් එන්නම්...
එහෙනම් දැන් ගිහින් එන්නම්...
සැමට සුභ දවසක් හා සුභ සති අන්තයක්...!!!!

Tuesday, November 13, 2012

රේල් පාර දිගේ (රොසැල්ල සිට ගලබඩ දක්වා) 01...

ගිය අවුරුද්දේ කෝච්චි පාරේ ඇවිදින්න ගිය කතාව මතක ඇති නේද. ඊට පස්සේ නම් ආයෙම එහෙම ගමනක් යන්නම වෙලාවක් ලැබුනේ නෑ. ඒ වගේම මේ පැත්තේ පෝස්ට් එකක් දාන්නත් සිතුනේ නෑ. ලියන්න දෙයක් හිතෙන්නේ නැතිනම් ඔනිවාට එපාවට ලියනවාට වඩා නොලියාම ඉන්න එක හොඳයි කියා සිතුන නිසාම කිසිවක් බ්ලොග් එකේ ලීවේ නෑ. එහෙත් ආයෙම ලියන්න තරම් හේතුවක් ලැබුනා. ආයෙම රේල් චාරිකාවකට අපි එකතු උනා. 
මෙවර චාරිකාව සඳහා අපි යොදාගත්තේ රොසැල්ල සිට කලින් චාරිකාව අවසන් කල ගල්බොඩ දක්වා. ඇවිදින්න ඇති මුළු දුර ප්‍රමාණය ආසන්න වශයෙන් කිලෝමීටර් 15ක් පමණ. ඒ ගියවර ගමන්කළ දුර ප්‍රමාණය මෙන් තුන් ගුණයක් පමණ. මේ සඳහා ගතවේ යැයි අපි උපකල්පනය කල කාලය පැය 6 - 7 පමණ. කොළඹ හා දුර පළාත්වලින් කීප දෙනෙක් පැමිණෙන නිසා ආපසු එන්න සැලසුම් කලේ සවස 2.50ට ගල්බොඩින් පටත්වන පොඩිමැණිකේ සිඝ්‍රගාමී දුම්රියෙන්. එනිසාම උදේ පාන්දරින් රොසැල්ලෙන් පිටත්වීමට සිදුවෙනවා. 
ඒ අනුව අපි ගමන යන්න යොදාගත්තේ රාත්‍රි 8.00ට කොළඹින් පිටත්වන රාත්‍රි තැපැල් දුම්රියයි. කොටසක් කොළඹින් චාරිකාවට එකතුවූ අතර මා එකතු වන්න නියමිතව තිබුනේ පේරාදෙණිය හන්දියෙන්. මෙය පේරාදෙණියට ළඟා වීමට නියමිත රාත්‍රි 10.52යි. මා 10.30ට පමණ එහි ළඟා වුවත් දුම්රිය පැමිණියේ පැයක පමණ ප්‍රමාදයකින්. රාත්‍රි තැපැල් දුම්රිය අධික තදබදයක් සහිත එකක්. එහෙත් මිතුරු පිරිසක් කොළඹින් පැමිණි නිසා මට ඉඩකඩ තිබුනා. 
ගම්පොළ සිට ඇති අධික ආනතියක් සහිත කන්ද නිසාම වැඩි මැදිරි සංඛ්‍යාවක් සහිත මෙම දුම්රියට පසුපසින් අමතර එන්ජිමක සහාය ලබා දෙනවා. එම එන්ජිම සවිකිරීමෙන් පසුව කන්දේ වුවද අපහසුවකින් තොරවම ගමන් කරනවා. මේ අතර නාවලපිටියේදී දුම්රියේ කාර්ය මණ්ඩලය මාරු වෙනවා. ඉන්පසුව පැමිණි රියදුරන් සිදුවූ ප්‍රමාදය ආවරණය කරමින් ඉක්මනින් ගමන්කලා. මෙම දුම්රිය වටවල දුම්රිය ස්ථානයෙන් පසුව නතර කරන්නේ හැටන් දුම්රිය ස්ථානයේ. මේ නිසා අපේ ගමනාන්තය වූයේ හැටන් දුම්රිය ස්ථානයයි. අප පාන්දර 2.30ට පමණ එහි ළඟාවුනා. 
අන්තර් ජාලයෙනි
මෙයා තමයි අපිව හැටන් වලදී පිළිගත්තේ. මෙයාගේ යාළුවා අපිත් එක්ක නගරයේ ඇවිදින්නත් ආවා. 

හැටන් වලින් තේ බොන්න අපිට ගතවූයේ පැයකුත් විනාඩි 30ක පමණ සුළු කාලයක්. නගරයේ පිහිට ආපනශාලාවේ සේවකයින් ඒ තරම් ඉක්මන්. කෙසේ හෝ පාන්දර 5.10ට හැටන් වලින් පටත්වන දුම්රිය සඳහා අපිට යන්තමින් 5.05ට ස්ටේශන් එකට එන් පුළුවන් කම ලැබුනා. එහි නැගී අප ළඟා වූයේ රොසැල්ලටයි.
රොසැල්ලට පැමිණි කෝච්චි පිස්සෝ.
අප එහි ළඟාවන විට වේලාව පාන්දර 5.26යි. තවම එළිය වැටී නැති අතර අධික ශීතලක් සමග මීදුම හා පින්නෙන් පරිසරයම වැසී ගිහින්. අප සමග ගිය දුම්රිය ස්ථානාධිපතිවරයෙතු වන රසික නිසා රොසැල්ලේ දුම්රිය ස්ථානාධීපති වරයා අපට සුහදව පිළිගත්තා. ඔහුගේ නවාතැනින් අවශ්‍යතා ඉටුකරගෙන ඇඳුම් මාරු කරගෙන උදේ කෑමට අප රැගෙන ගිය පාන් සකස් කරගත්තා. මේ වන විට එළිය වැටී තිබුනා. මෙම දුම්රිය ස්ථානයට විදුලිය සැපයෙන්නේ ඒ අසලම පහලින් ඇති කුඩා විදුලි බලාගාරයකින්.
රොසැල්ල දුම්රිය ස්ථානයට විදුලිය සපයන බලාගාරය
රොසැල්ල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 1130ක් උසින්. මේ නිසාම වැඩි සීතලක් පවතිනවා. කොළඹ සිට රොසැල්ලට ඇති දුර කිලෝමීටර් 168. බදුල්ලේ සිට එනවානම් කිලෝමීටර් 124ක් දුර ගෙවා එන්න වෙනවා.
රොසැල්ල යනු කඳුකරයේ ඇති සිසිල් තෙත් ප්‍රදේශයක්. ඉතා අලංකාර පරිසරයකින් හෙබි මෙහි මල් වර්ග රැසක් දක්නට ලැබෙනවා. පිරිසිදු ජලය ඇති පමණ ඇති අතර මිහිරි රසයක් සහිතයි. රොසැල්ල තේ වතුයාය නිසා මෙයට රොසැල්ල යන නම ලැබී ඇති බවයි පැවසෙන්නේ. මේ අවට ඇති වැදගත් ස්ථාන නම්.
  • තේ වතු යායන්.
  • දිය ඇලි
  • විදුලි බලාගාර ආසන්න වීම
  • බින් ඔය හා කුඩා ඔයට ආසන්න වීම
මෙම ප්‍රදේශය A7 (හැටන් සිට ඉහල වටවල දක්වා ඇත) මාර්ගයට ආසන්නව ඇත.
මෙම දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ S අකුරේ හැඩය ගත් සීඝ්‍ර වංගුවක අවසානයේය. 
රූපය ගුගල් මැප් වලින් ගෙන සකස් කරන ලද්දකි.
ඉහත රූපයෙන් පෙනෙන ආකාරයටම මෙම දුම්රිය නැවතුම S හැඩති වංගුවක අවසානයේ පිහිටීම හා වැඩි ආනතියක් සහිත වීම නිසා අනතුරක් සිදුවන්න ඇති ඉඩකඩ ඉතා වැඩියි. ඒ නිසාම මෙහි වැඩි ආරක්‍ෂාව සඳහා Train Indicator Bars සවි කර තිබෙනවා.
Train Indicator Bar

මොනවාද මේ Train Indicator Bar කියන්නේ. එහි ක්‍රියාකාරිත්වය සරලව විමසා බලමු. 
මේවා සමාන්තර රේල්පීලි දෙක මට පිහිටා ඇති රූපයේ ආකර යකඩ පටියකි. ඒ මතට දුම්රියක් පැමිණි පසු නැවත එසවිය නොහැක. එවිට සඥා පද්ධතිය අගුලු වැටෙයි. මේ හේතුවෙන් එම තීරුවේ දුම්රියක් ධාවනය වීමෙන් සිදුවන අනතුර වලක්වා ගත හැකි වෙයි. කලකට ඉහත මේ S හැඩති වංගුව නිසා අමතර තීරුවට (Loop) පහල සිට එන දුම්රියක් එක්වරම ඇතුල් කිරීමට නොහැකිලු. ඒ නිසා කරන්නේ ප්‍රධාන තීරුවේ ධාවනය කර අමතර තීරුවට පසුපසට ගැනීමලු. එහෙත් දැන් එය වෙනස් කර ඇති නිසා එක්වරම එම තීරුවට ගන්න හැකියාව ඇත.
උදේ 7.00ට පමණ අපි රොසැල්ල දුම්රිය පොලෙන් සමු අරන් අපේ ගමන ආරම්භ කලා. ඒ වන විට මීදුම අඩුව ගොසින් ඉර පායන්න පටන් අරන් තිබුනා. මීදුම් අතරින් කඳු මුදුන් සිපගන්නා හිරු රැස් මනරම් දසුනක් මවන අතර රෑ පින්නෙත් තෙතබරිත වූ තබන තබන අඩියක් පාසා ලිස්සා යන සිල්පර මතින් අපේ ගමන පහලට යෙදුනා.  ගමනේ මුලින්ම හමුවුනේ දුම්රිය පීලි පැන්නුමක්. තිරිංග නැතිව තවත්වාගන්න බැරිව එන දුම්රියක් පීලි පන්නා විනාශය අඩුකරන්න මෙවැනි පීලි පැන්නුම් යොදාගන්නවා. ඔබට මතක ඇති මීට පෙර ගල්බඩ අසල මෙවැන්නක් මම සඳහන් කලා.
මේ රොසැල්ල Derailment එක.

මෙතනින් ඉදිරියට යන විට හමුවන්නේ මුලින් සඳහන් කළ S හැඩැති වංගුවයි. පිංතූර සකසමින් ගමනේදී ගත් පින්තූර ලොකු එකතුවකින් වඩා සුදුසු පින්තූරය සොයමින් මෙවන් ලිපි ලියන එක එතරම් පහසු නෑ. ඒනිසාත් කියවන ඔබට වැය කරන්න කාලය සීමිත නිසාත් මේ ලිපිය කොටස් කර ලියනවා. අදට මෙතනින් නවතින අතර මීළඟ කොටස සමග ඉදිරියට යමු.
සුභ දවසක් වේවා....!!!

Wednesday, August 29, 2012

දෙවෙනි ගමන (S-12 Test trial to Nanuoya).....

කලින් පෝස්ට් එකෙන් මම කීවේ ලංකාවට අලුතින්ම ගෙන්වූ S-12 වර්ගයේ බලවේග කට්ටලයේ නුවර ගමන ගැනනේ. ඇත්තටම වසර 100කට වඩා පැරණි ලංනාවේ දුම්රිය සේවයේ පැරණිම මාර්ගයක් වෙන්නේ ප්‍රධාන මාර්ගය (Main line) එහෙමත් නැතිනම් උඩරට දුම්රිය මාර්ගය. මෙම මාර්ගය කොළඹ සිට පේරාදෙණිය හරහා බදුල්ල දක්වා වැටි තිබෙනවා. දුම්රිය සේවයේ මැණිකෙලා ගමන් ගන්නේ මේ මාර්ගයේ පමණයි. මෙහි කොළඹ බදුල්ල අතර ප්‍රධාන දුම්රිය වන්නේ උඩරට මැණිකේ (UM), පොඩි මැණිකේ (PM) හා රාත්‍රි තැපැල් දුම්රියයි(NM). මේ හැම දුම්රියක්ම දිනකට වාර දෙක බැගින් එනම් එකක් කොළඹින් හා එකක් බදුල්ලෙන් දෙස ගමන් අරඹනවා. අධික කඳු බෑවුම් හා වැඩි වංගු ප්‍රමාණයක් සහිත මෙම මාර්ගයේ ගමනා ගමනය දුම්රිය එන්ජිමකට ඉතා වෙහෙසකර ගමනක්. එනිසාම මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු බලසම්පන්න එන්ජින් යොදවා තිබෙනවා. එහෙත් අධික ආනතියක් ඇති කඳු තරණය කරන්න නම් එන්ජින් දෙකක සහාය අවශ්‍ය වෙනවා. අනෙක් සීමාව අඩු අරයක් සහිත වංගු නිසා රෝද අතර පරතරය අඩු එන්ජින් යොදවන්න අවශ්‍යයි. එමෙන්ම වැඩි දිගකින් යුතු මැදිරි ධාවනය කරන්නත් බෑ. මේ නිසා පසු කාලීනය දුම්රිය සේවයට ගෙන්වූ M4, M8, M9 හා මැතකදී ඉන්දියාවෙන් ආනයනය කළ අධික බලයක් (අශ්වබල 2200) සහිත M10 වැනි එන්ජින් මෙම මාර්ගයේ ධාවනය කරන්න අපහසුයි. 
            මේ සියලු බාධක නිසයි මෙම මාර්ගයටම ආවේණික දුම්රිය කට්ටල පැවතුනේ. 2008 දී පමණ ආනයනය කළ S-10 වර්ගයේ චීන බලවේග කට්ටලය සාර්ථක ලෙස මහනුවරට ධාවනය කළ නිසා නැවත එම සමාගමෙන්ම දුම්රිය කට්ටලයක් සාදවාගන්න අපේ දුම්රිය සේවය හිතන්න ඇති. මේ අනුව ගෙන්වූ S-12 කට්ටලයේ මුල්ම පරීක්‍ෂණ ගමන පසුගිය 19 වෙනිදා නුවරට සිදුවූ බව මා කලින් ලිපියේ විස්තර කළානේ. එහි දෙවන ගමන සිදුවූයේ නානුඔය දක්වායි. ඒ මාර්ගයේ වැඩිම කඳු හා වංගු සහිත කොටසේ ධාවනය පරික්‍ෂා කරන්න. එය සිදුවූයේ පසුගිය 23 වෙනිදායි. පණිවිඩය දුන්නේ අපේ චන්දික මල්ලිමයි. මෙවරත් සහායට මා සමග ආවේ මන්දාලක මල්ලි. අපි මෙදින ඡායාරූප ගන්න හොඳ වංගුවක් සහිත ස්ථානයකට යන්න හිතුවා. මේ සඳහා හොඳම තැනක් ලෙස අපි සොයා ගත්තේ උලපනේ දුම්රිය ස්ථානයයි. මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වන දුම්රියෙන් අපි උලපනේට ආවා. 
මේ කෝච්චියෙන් තමා අපි ආවේ...
නුවර නාවලපිටිය දුම්රිය ගෙන ගිය W3 669 එන්ජිම

මේ තමා උලපනේ දුම්රිය ස්ථානය. මෙය පිහිටා ඇත්තේ පේරාදෙණිය බදුල්ල මාර්ගයේ ගම්පොල හා නාවලපිටිය අතරයි. මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් පමණ උසින් පිහිටා තිබෙනවා.
උලපනේ දුම්රිය ස්ථානය..
අප එහි ලඟාවන විට අපේ අමුත්තා පේරාදෙණියට ළඟාවෙලා. එහෙත් අපට උලපනේ ටික වේලාවක් ඉන්න සිදුවුනා. ඒ පහලට එන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය යන තෙක්. ඉන් පසුව උඩරට මැණිකේ පහලට එන වේලාව ලඟාවුනා. මේ වන විට අපේ අමුත්තා ගම්පොලට ඇවිත්. අප යන දුම්රියේ පින්තූර ගන්න ආවත් අපට බෝනස් චාන්ස් එකක් ලැබුනේ මේ වෙලාවේ. එනම් නාවලපිටියේ සිට එන උඩරට මැණිකේ හා ගම්පොලින් පිටත්වූ S-12 විශේෂ පරීක්‍ෂණ දුම්රිය මාරුවෙන්න තිබුනේ උලපනේදී. කලින් ලඟාවන අපේ අමුත්තා දෙවන ලයින් එකට දමා නවත්වා UM එකට ඉඩදෙන බව දුම්රිය ස්ථානාධිපති තුමාගෙන් අපි දැනගත්තා. බලන්න උඩ පින්තූරේ පෙනෙනවා ගම්පොල පැත්තට ඇති සිග්නල් කණුව. සිල්පර පැහැදිලිව නොපෙනෙන ලයින් එක තමා දෙවෙනි ලයින් එක. එය මතින් තමා එන්න නියමිත.
මෙන්න ඈතින් එනවා අපේ අමුත්තා. අමුත්තා කීවාට මේ අපි එයාව හමුවෙන දෙවන අවස්ථාව.
S-12 උලපනේට ළඟා වෙමින්.
මේ දෙවන වේදිකාව මතින් එන දුම්රිය. දුමිරිය ස්ථානාධිපතිතුමා, ටැබ්ලට් ගන්න සූදානම් වූ සේවත මහතා හා මන්දාලක මල්ලි පින්තූරේ ඉන්නවා.
මේ ගම්පොල සිට රැගෙන ආ ටැබ්ලට් භාර දෙන අවස්ථාව. මෙය නැවත UM එකට පහලට යන්න දෙන්න නියමිතයි.
උලපනේට පැමිණ බවට සටහන් කිරීම

මෙන්න මේ සද්දන්තයා මා පසුකර යන අවස්ථාව. පහලින් ඇති වීඩියෝවත් පසුව බලන්න. ඉතාම අඩු ශබ්දයක් ඇසේවී. මා අතේ ඇති කැමරාවේ ශටර් ශබ්දය පවා පැහැදිලිව වීඩියෝවේ ඇසෙනවා. ඒ තරම් මෙහි ශබ්දය අඩුයි. අනෙක් හේතුව මෙහි පෙනෙන 922 එන්ජිම පණගන්වා නෑ මේ අවස්ථාවේ.
ඉදිරිපසින් පැමිණි CLASS S-12 922 එන්ජිම

මේ පසුපස එන්ජිම. 921 දරණ එන්ජිම තමා අදත් පසුපසින් බලය සපයන්නේ. මෙය පමණයි අප හමුවන අවස්ථාවේ පණ ගන්වා තිබුනේ.
පසු පසින් පැමිණි CLASS S-12 921 එන්ජිම

පේනවාද මෙහි දකුණු පස හෝස් දෙක රැඳවුමෙන් ගැලවී පහලට එල්ලා වැටී ඇති බව. මේවා සවිකර නැවත පිටත් වන්න පොඩි වෙලාවක් නවත්වා ඉන්න සිදුවූවා. ඒ නිසා මට ෆොටෝ ගොඩක් ගන්ට වෙලාව ඉතිරි උනා. පේ 921 එන්ජිමේ පැති පෙනුමක්.
CLASS S-12 922 එන්ජිම පැති පෙනුමක්

මේ වායුසමනය කළ පළමුපංතියේ මැදිරිය
AFC (Air-Conditioned First Class) 16403


මේ භෝජන රථයේ පින්තූරයක්. මේක ඇතුලට ගියාට තාම නම් කන්න දෙයක් මෙහි නෑ. අඩුම තරමේ වතුර වීදුරුවක් නෑ....:D
Buffet Car

මේ  මැදිරියක අසුන් පනවා ඇති ආකාරය.


මේ නාවලපිටියට යන්න ටැබ්ලට් දේනන එන දුම්රිය ස්ථානාධීපතිතුමා...

මේන්න උලපනෙන් පිටත්ව නාවලපිටියට යන අපේ යාළුවා.
පසෙකින් සිටින්නේ මන්දාලකයි.

මෙම පරීක්‍ෂණ චාරිකාව ගොඩක් සාර්ථක වූ බවක් තමා අපට දැනගන්න ලැබුනේ. වෙන දුම්රිය අනෙක් දුම්රිය අපහසුවෙන් යන කඩුගන්නාව කන්ද පවා පැයට කිලෝමීටර් 50ක වේගයෙන් පහසුවෙන් තරණය කළා කියා අපට දැනගන්න ලැබුනා. එමෙන්ම මෙහි මා කලින් කීවා මෙන්ම අශ්වබල 2000ක එන්ජින් දෙකක් ඇතත් අප දකින අවස්ථාවේ පණගන්වා තිබුනේ එක් එන්ජිමක් පමණයි. එයින් නානුඔය දක්වා කිසිම අපහසුවකින් තොරව ගමන්කළ බවයි පැවසෙන්නේ. එයින්ම මෙහි බල සම්පන්න බව සිතාගන්න පුළුවන් නේද.

අනෙක් කරුණ මෙහි ශබ්දය ගොඩක් අඩුයි. පසුපස එන්ජිමෙන් එනවිට ඉතාම අඩු ශබ්දක් ඇසෙන්නේ. ඒ නිසා මෙයා ධාවනයට එක්වූ පසුව නම් රේල් පාරේ යන අය සැලකිලිමත් වන්න වෙයි. මෙහි අඩු ශබ්දය අසන්න පහත වීඩියෝවත් බලන්න.



මේ වර්ගයෙන් දුම්රිය කට්ටල 13ක් ආනයනය කරන අතර කට්ටල කීපයක් උඩරට මාර්ගයටත් අනෙක්වා කැළණිවැලි මාර්ගයටත් යොදවනු ඇත. කැළණිවැලි දුම්රිය දැනට පරීක්‍ෂන චාරිකාවක යොදවා ඇත.

හෙට අනිද්දාම මේවා ධාවනයට එකතු වූ පසුව මෙහි බදුලු යන්නයි මගේ බලාපොරොත්තුව.

ස්තූතිය
ගෙහාන් චන්දික, මන්දාලක ධනසේකර, උලපනේ දුම්රියස්ථානයේ ස්ථානාධිපතිතුමා හා සේවත මණ්ඩලය.

Wednesday, August 22, 2012

අවසානයේ ඇය ආවා.....

ඇය එන තුරු මා බොහෝ දිනක් බලා සිටියේ නොඉවසිල්ලෙන්. එහෙත් ඇය කෙසේ හෝ එන බව මට ඉර හඳ වගේ විශ්වාසයක් තිබුනා. මේ අතරේ තමා ඇය ලංකාවට ඇවිත් යන ආරංචිය ලැබුනේ. ලංකාවට ආවොත් නම් පළවෙනියටම එන්නේ නුවර යන විශ්වාසය මට හොඳටම තිබුනා. 
අවසානයේ මම බලාපොරොත්තුවෙන්ම සිටි ඇමතුම ලැබුනා මගේ හිතවත් මල්ලි කෙනෙක්ගෙන්. 
"අයියේ අරයා අද නුවරට එනවාලු. මම අයියාට හරියටම එන වේලාව කියන්නම්."
ඒ ඇමතුම ලැබුන මොහොතේ සිතේ ඇතිවුනේ පුදුම සතුටක්. 
එයින් පසුව මම ඇමතුමක් දුන්නා මන්දාලක මල්ලිට. මීට කලින් මන්දාලක හමුවී නැතත් තනියට කෙනෙක් නැතිව මුලින්ම ඇය බලන්න යන්න මට හිතට හරි මදි වගේ දැනුනා. 
"අයියේ මම ගෙදර ඉන්නේ. මං එන්නම්."
ඒත් සමග වගේ අර මුලින් ඇමතුම දුන්න මල්ලිගෙන් නැවත ඇමතුමක්. එයා එන්නේ නැතිවාවත්ද? හිතට පොඩ්ඩක් නොඉවසිලිමත් බවක් දැනුනා.
"අයියේ එයා ලඟටම ඇවිත්. අයියා ඉක්මන් කරන්න. එයාලාගේ ලොක්කාත් එනවාලු. ටිකක් කල්පනවෙන්"
මම නැවත මන්දාලකට කෝල් එකක් ගත්තා. 
"අයියේ මම කෝච්චියේ එන්නම් පේරාදෙණීයට"
කෝච්චිය එනකල් ඉල්ල වෙලා නෑ මල්ලි. ළඟටම ඇවිත්. මම මල්ලිව ගෙවල් ළඟින් ගන්නම්. මගේ පිළිතුර.
ඒ සැනින් මම ඇඳුම් මාරු කරන්න නැවත කණ්නාඩියෙන් ඡායව බලා කැමරාවත් සාක්කුවේ දාන් අනික් සාක්කුවට ෆෝන් එකත් දාගෙන ගෙදරින් පිටවුනා.
කාලෙකට පස්සේ බයික් එකේ ස්පීඩෝමීටර් එක ටිකක් උඩට ආවා. ඒ තරම් හදිස්සියක් මට තිබුනේ. 
මම මන්දාලකලගේ ගේ ලඟට ගිහින් කෝල් කළ සැනින් මල්ලිත් පාරට ආවා.
අපි ඉක්මනින්ම පේරාදෙණිය හන්දිය ස්ටේශන් එකට ආවා. ටිකට් එකකුත් අරන් වේදිකාවට ගොඩඋනා. ආරංචියේ හැටියට නම් ඇය ළඟම එනවා. 
ටං ටං ටං ටං .........     
යන හඬින් සෙමෙන් ගේට්ටුව පහතට වැටුනා. 
අප දෙදෙනාගෙම ඇස් යොමුවී තිබුනේ දුම්රිය වේදිකාව දෙසට. අපේ උපකල්පනව වැරදියි. ඇය ආවේ නෑ. සති අන්ත සීඝ්‍රගාමී දුම්රිය නළාව හඬවමින් නුවරට යන්න පිටත් වුනා. අප දෙදෙනා නැවත කතාවට වැටුනා. මේ අතර තවත් මිතුරන් දෙදෙනෙත් එකතු උනා. අප කතා කරමින් සිටින අතරතුර දහවල් 12.15 පමණ වනවිට නැවත අර ශබ්දය...
ටං ටං ටං ටං .........   
සෙමෙන් ගේට්ටුව පහත් වෙනවා. 
මේ පාරනම් ඇයම වෙන්න ඕනි. ගේට්ටුව වැසුනා. මම වේදිකාවෙන් පහලට පැන අනික් පසට ගියේ පැහැදිලි පිංතූර ගන්න. එක් අතක කැමරාවේ ෆොටෝ ගන්න සූදානමින්. අනික් අතේ ෆෝන් එකෙන් වීඩියෝ කරන්න සූදානමින්.

ඔන්න ඈතින් ඇය එනවා...


මේ ටිකින් ටික මා සිටින තැනට ලංවෙද්දි ඡායාරූපය

මේ පළමු එන්ජිම මා පසුකර යද්දි ඡායාරූපය


මේ පසුපස එන්ජිම මා පසු කරයද්දි...


මෙන්න බලන්න මේ කෝච්චියේ දිග...


මේ මා පසුකර ගිය කෝච්චිය...


ලස්සනයි නේද මේ කෝච්චිය.
මේ තියෙන්නේ මං ෆෝන් එකෙන් ගත් විඩියෝව...

අද මං කියන්න ගියේ ශ්‍රී ලංකා දුම්රිය සේවයට අලුතින්ම ගෙන්වූ S-12 බලවේග කට්ටලයේ පළමු පරීක්ෂණ චාරිකාව මගේ කැමරා ඇසට යොමුවූ ආකාරයයි. 
මා දුම්රිය ලෝලියෙකු බව මීට කලින් කිසිම ලිපියක සඳහන් කළ බවක් මතක නෑ. ඉතින් දුම්රිය ලෝලියෙකුට කිසියම් දුම්රියක මංගල චාරිකාව ඡායාරූපයට නගනවා යන්න හරිම වැදගත් අවස්ථාවක්. 
මේ සටහන කියවන දුම්රිය ගැන දන්නා අය නම් දන්නවා ඇති උඩරට මාර්ගයේ බලවේග කට්ටල ධාවනය නොවන බව. මේ S-12 බලවේග කට්ටලය පහසුකම් රැසක් සපිරි පළවන, දෙවන හා තුන්වන පන්ති සහිත දුම්රිය කට්ටලයක්. මෙවන් දුම්රිය කට්ටල 5ක් දැනට සතියකට පමණ පෙර ලංකාවට ආනයනය කළ අතර ඒවායින් එක් කට්ටලයක් උඩරට මාර්ගයටත් අනෙක් 4 කැළණි වැලි මාර්ගයේත් ධාවනය වනු ඇත. උඩරට මාර්ගයේ වැඩි ආනතිය නිසා විශේෂ කට්ටලයක් යොදා ගැනේ. මෙහි ඇත්තේ එයයි.
අශ්වබල 2000ක ධාරිතාවක් ඇති එන්ජින් දෙකක් දෙපසට ඇති සේ සකසා ඇති මෙය ලංකාවේ ධාවනය වන බලයෙන් වැඩිම දුම්රිය වනු ඇත. කැළණි වැලි මාර්ගයේ ධාවනය වන දුම්රියේ බලගැන්වුම් ඒන්ජින් එකක් හා පාලන කුටිය පමණක් ඇති හිසක් අනෙක් පසට සවිකර ධාවනය වනු ඇති. 
මේ පිළිබඳ මට විස්තරය හා පණිවිඩය ලබා දුන්නේ චන්දික මිතුරායි. ඉදිරියේ මෙහි තාක්ෂණික විස්තරයක් ඔහුගේ අඟුරුනොකා කොළඹ දුවන යකඩයකා බ්ලොග් එකේ පළ කරනු ඇත. ඒ වගේම මා සමග ඡායාරූප ගන්න ආ මන්දාලක මල්ලිටත් ස්තූතිය.

ඔබ මේ සටහන කියවන හෙට දින (23-08-2012) මෙම කට්ටලය බදුල්ල බලා පරීක්‍ෂණ චාරිකාවක යනු ඇත. එම මාර්ගය ආසන්නයේ ඔබ ඉන්නවානම් පිංතූරයක් ගන්න බලන්න. හැකිනම් මටත් පිටපතක් එවන්න...
සුභ දවසක්....!!!!!

ප/ලි
ශ්‍රී ලංකා දුම්රිය ගවේශකයින්ගේ සංගමය එළිදක්වන සිව්මාසික සඟරාව Lanka Railway Digest දෙවන කලාපය දැන් නිකුත්ව තිබෙනවා. මේ පිළිබඳ උනන්දුවක් ඇති අයට සරසවි පොත් හලෙන් ඉක්මනින්ම ගන්න පුළුවන්.

Friday, August 10, 2012

මගේ මතක - මං කියවූ බ්ලොග්.....


කාලෙකින් මේ පැත්තට එන්න බැරි උන නිසා අද ඇවිත් බලන්න හිතුනා මොකද වෙලා තියෙන්නේ කියා. කිසිම අවුලක් නැතිව බ්ලොග් එක හොඳට තියනවා. එකම වරද කාලෙකින් පෝස්ට් එකක් දාන් බැරි උන එකයි. මාසයකට පමණ කලින් ඇවිත් අලුත් බැනර් එකක් නම් දාලා ගියා. ඒත් පෝස්ට් එකක් ලියන්න තරම් අවස්ථාවක් ලැබුනේම නෑ. කෙනෙකුට හිතන්න පුළුවන් මොනවාද මූට මෙච්චර තියන වැඩ කියා. 
වැඩත් ගොඩක් තිබුනා. මාගේ සොයුරිය නව නිවසත් සාදා එයට ගෙවැදුනු නිසා එහි විවිධ කටයුතු වලට සහාභාගි වෙන්න උනා. එමෙන්ම පසුගිය කාලයේ බ්ලොග් අවකාශයේ එන්න තරම් ප්‍රියතාවයක් ඇති උනේම නෑ. මහා කුණාටුවටකට පසුව සියල්ල සංසුන් වෙනවා වගේ මේ දිනවල සයිබරයත් හරිම උදාසීනයි.
ඉතින් අද මට හිතුනා බ්ලොග් කියවන්න ආ දවසේ සිට මං ආසාවෙන් කියවූ බ්ලොග් ගැන ටිකක් මතකයට නගන්න. හැබැයි අද පෝස්ට් එක නම් ලින්ක් ගොඩක් එක්ක තමා දාන්න වෙන්නේ. ඒ ගැන අමනාපයක් ඇති කරගන්න එපා.
මම මුලින්ම බ්ලොග් කියවන්න එන්නේ අහම්බෙන් හමුවූ කතන්දර අඩවිය හරහා. වසර තුනක් පුරාවට නොකඩවා ලියවෙන කතන්දර මා දකින දක්‍ෂ බ්ලොග් කරුවෙක්. මා එය කියවන්න පටන්ගන්නා කාලයේ එය මාස 9ක් විතර පරණ බ්ලොග් එකක්. එහෙත් එහි ඇති ඔහුට ආවේණික රචනා ශෛලිය නිසා මා බ්ලොග් කියවන්න පෙළඹුනා. එහෙත් දැන් නම් අර මුලින් තිබුන රසය අඩුයි වගෙයි මට දැනෙන්නේ. එමෙන්ම මා කතන්දර අඩවිය කියවන්න ගියාම පත්වන ලොකුම අපහසුතාවය අර දාලා තියන ලින්ක් හැම එකක්ම බලන්න බැරි කම. සමහර විට නෙට් ස්ලෝ වෙලාවක ලෝඩ් කරන්නත් අපහසුයි. එහෙත් ඒ හැම ලින්ක් එකක්ම පාහේ කලින් කියවා ඇති ඒවා. මාතෘකාව තමා අමතක වෙලා තියෙන්නේ. එහෙත් මගේ අදහස කතන්දරට මීට වඩා ගොඩක් හොඳින් ලියන්න පුළුවන්. ඔහු මුල් කාලයේ එක් කතන්දරයක් තුල කතන්දර ගණනාවක් ලීවා. එක් එක් අයගේ බුද්ධි මට්ටමට ගෝචර වෙන ආකාරයට. කතන්දර විසින් ලියන කවි මා එදාත් අදත් ආසාවෙන් කියවනවා.
කතන්දර අඩවියෙන් මා පිවිසෙන්නේ සයිබර් යායටයි. තමන්ගේම සිත්තර සමග ඉදිරිපත් වන සයිබර් යාය හිනාවෙන්නම හොඳ තැනක් උනා. මා තනියම හිනාවෙන විට අපේ ඔෆිස් එකේ අනික් අයත් ඇවිත් ඔවුන්ද මෙය කියවන්න පුරුදු උනා. සයිබර් යායේ මා ප්‍රිය කරන්නේ චූටි මහත්තයාගේ පොඩි කාලේ කතා හා කුරුළු හමුදාවේ කතා වලටයි. එහෙත් පසුගිය කාලයේ වැඩිපුර කාටුන්ම ඇඳම නිසා අර මුලින් තිබුන තැන අඩු උනාද කියාත් මට හිතෙනවා.
මේ කාලයේම මා කියවන්න ගත් තවත් බ්ලොග් එකක් වූයේ ටැබූ සබ්ජෙක්ට්ස්. ටැබූ යනු ලංකාවේ සිටි දක්‍ෂ බ්ලොක් කරුවෙක්. ඔහුගේ ඇතැම් රචනා ශෛලියන්ට මා ප්‍රිය නොකලත් ඔහුගේ නිර්මාණාත්මක තාවය මම තවමත් අගය කරනවා. තම මතය පහසුවෙන් වෙනස් නොකරන ටැබූ අවස්ථා කීපයක කවි ලියා තිබුනා. ඒවායින් ඔහුගේ කලාකාමී බවත් මා වටහා ගත්තා. කිසියම් හේතුවක් නිසා එම අඩවිය මැකීයාම අලුතින් ආ අයට වෙනස්ම ආකාරයක ලියවිල්ලක් කියවන්න ඇති අවස්ථාව නැතිවී යාමක්.
මේ කාලය වන විට මා බ්ලොග් කරණයට පිවිසි අතරම බොහෝ බ්ලොග් කියවා කමෙන්ට් දාන්න පුරුදු වී සිටියා. ඒසේ කමෙන්ට් හරහා ගොස් හඳුනාගත් තවත් බ්ලොග් එකක් වන්නේ වත් ලියන සොඳුරු සිතයි. කවි, නිසඳැස්, කෙටිකතා ඇතුලත් මෙහි හොඳ නිර්මාණශිලී බවක් දකින්න පුළුවන්. එමෙන්ම එහි රචකයාගේ සිතිවිලි පෙන්වන කැඩපතක් බඳුයි. ලියන්නා තම ජීවිතය තුල ලබන සතුට, දුක ආදී සියල්ල නිර්මාණ තුලත් එලෙසම දකින්න ලැබුනා. එසෙන්ම එහි පළවූ ඇය පිරිමියෙකුගේ චරිතට ආරූඪවී ලියා ඇති කතා මාගේ සිතට හොඳින් දැනුනා. මෙය තවමත් හැකි විටෙක මා කියවන බ්ලොග් එකක්.
මේ කාලයේම මා ආසාවෙන් කියවූ තවත් බ්ලොග් එකක් එකේ වාට්ටුව. හෙද නිළධාරියෙකු තම වෘත්තීය අත්දැකීම් මේ හරහා සයිබරයට එකතු කරන්නේ සිත් ඇදගන්නා වචන විලාශයකින්. එමෙන්ම එහි ඇති හාස්‍යමය රසයත් නොඅඩුව විඳින්න පුළුවන්. අවාසනාවකට දැන් එය ලියවෙන්නේ නෑ.
මේ කාලයේම කියවන්න පටන්ගත් මං ආසම කළ කවි බ්ලොග් එක සිඩ්නි ලියූ විහඟ ගීතයයි. මා බ්ලොග් අවකාශයේ දුටු අති දක්‍ෂම කවියෙක් වූ සිඩ්නිගේ කවි ලිවීම නිසා මටත් යම් ප්‍රමාණයකට කවි ලියන්න ශක්තියක් ලැබුනා. මා අද යම් ආකාරයක කවි ලියනවානම් එයින් කොටසක ගෞරවය සිඩ්නිට දෙන්න මා සූදානම්.
   මේ සමග මා කියවන්න පිවිසෙන්නේ පොඩ්ඩිගේ පොඩිකුමාරිහාමි බ්ලොග් එකයි. සොඳුරුසිත බ්ලොග් අඩවිගේදී හඳුනාගත් පොඩ්ඩිගේ බ්ලොග් එක මා දිගටම කියවන තවත් හොඳම බ්ලොග් එකක්. රචකයාට ආවේණික ශෙලියකින් ලියවෙන මෙහි ඇය විසින් කරන නිර්මාණාත්මක කොටස් වලින් ලිපියට අලුත් පණක් දෙනවා. එමෙන්ම එහි ඇති හාස්‍යමය ස්වභාවයේ නිර්මාණ වලටත් සරල බවටත් මා වැඩියෙන් ප්‍රිය කරනවා. තම මතයේ තරයේ එල්බ සිටීමටත් ඇයි දක්‍ෂයි. වසර දෙකකට ආසන්න කාලයක් තම ජනප්‍රිය බව එකලෙස රැකගෙන ආ බ්ලොග් අඩවියක් ලෙසත් මෙය මා දකිනවා. එයට ලැබෙන 200 ඉක්මවා යන කමෙන්ට් ප්‍රමාණයෙන්ම ඇයගේ හැකියාව පිළිබඳ අදහසක් ලැබෙනවා.
   මීළඟට මගේ මතකයට නැගෙන්නේ ජීවිතේ මල් ලියන සංසාරේ අපි බ්ලොග් එකයි. එකිනෙකට වෙනස් මාතෘකා ඔස්සේ ඉතාම දක්‍ෂ ලෙස වචන හසුරවමින් ලියන මෙම බ්ලොග් කාරිණිය සතු හැකියාව, දැනුම හොඳින් තේරුම් ගන්න මෙහි පෝස්ට් කීපයක් පමණක් කියවීම ප්‍රමාණවත්. කමෙන්ට් නොකළත් මා මෙය නොකඩවාම කියවාගෙන එන අතර ආරම්භයේ සිට අද දක්වාම ගුණාතිමක බව රැකගනිමින් ගාලා යෑම මෙහි දක්නට ලැබෙනවා.
     මා ප්‍රිය කරන සරලම බ්ලොග් එක හා පැටික්කි බ්ලොග් එකයි. සරල භාශාව, පරිසරය සතුන් වැනි මා ප්‍රිය කරන දේ ගැන වැඩියෙන් ලියවීම, කමෙන්ට කරන සැමට ලෙන්ගතු ලෙස දක්වන ප්‍රතිචාර මා එහි දකින විශේෂත්වයයි. එමෙන්ම මෙහි ලියවෙන බොහෝදේ ලියවෙන්නේ පොඩි ළමයෙක් ලියනා ආකාරයටයි. බොහෝ කාලයකින් මෙහි සටහනක් දක්නට නොලැබීම කණගාටුවට හේතුවක්.
      තවත් මා නිතර ආගිය බ්ලොග් එකක් අතීතයෙන් අහුලන මතක. මා එහි සරල කවි කියවන්න තමා වැඩියෙන් ප්‍රිය කලේ. බොහේවිට තමන්ගේ ජීවන අත්දැකීම් ඇසුරින් ලියවුනු මෙම බ්ලොග් එකත් වසා දැමීම ගැන මට ඇත්තේ කණගාටුවක්.
   මා මෝටර් සයිකල් ලෝලියෙක්. මේ නිසාම ආසාවෙන් කියවූ බ්ලොග් එකක් කුශාන් ලියූ සිතැඟි. මා එහි වැඩියෙන් ප්‍රිය කලේ බයික් හා බයික් චාරිකා ගැන ලියවෙන ලිපි වලටයි. එයත් දැන් ලියවෙන්නේ නැති එකක් වෙලා. 
     තවත් මා කියවූ බ්ලොග් එකක් චානක ලියූ මකර රජදහන. තමන්ට හමුවන පින්තූරයක් හෝ තමන් ගන්නා ඡායාරූපයක් ඇසුරින් පෝස්ට් එකක් නිර්මාණය කරන්න චානක දක්‍ෂයෙක්. එමෙන්ම ඒ තුලින් කිසියම් සියුම් උපහාසයක් දෙන්නත් ඔහුට හැකියාව තිබේ. මෙයත් දැන් ලියවෙන්නේ නැති එකක් වෙලා.
    දැන් නිතර ලියවෙන්නේ නැති තවත් මං ප්‍රිය කරන බ්ලොග් එකක් හේමලයා ලියන මංමුලාවූ සිතිවිලි. කවි හා නිසඳැස් පමණක් ලියවෙන මෙහි විශේෂත්වය පද පේලි දෙක තුනක් තුලින් ලොකු කතාවක් කීමයි. ඇතැම් නිසඳැස් එතරම් සරල නොවූවත් පද පේලි කීපය කියවා එහි අරුත මනින්නට යෑම මට සිතට සතුටක් ගේන දෙයක්. මෙය තවම ලියවුන්ත් පෙර මෙන් නිතර ලියවෙන්නේ නෑ. මා දුටු මුල් කාලයේ දිනකට පෝස්ට් එකක් නොවරදවාම ලියවුනත් දැන් ලියවෙන්නේ කලාතුරකින්.
        එදා සිට අද දක්වාම නොනැවතී ගලා එන මා ප්‍රිය කරන තවත් බ්ලොග් එකක් වන්නේ මාරයාගේ හෝරාවයි. මා සයිබරයේ දකින් හොඳම අව්‍යාජ ආත්ම කථනය මාරයාගේ හෝරාවයි. තමන්ගේම ක්‍රමයකට, තමන්ගේ වචනයෙන් ලියවෙන එය ඔහුගේ හැකියාව මැනවින් පෙන්වා දෙනවා. ඔහු දකින ලෝකය, ඔහුට අයිති ලෝකය මාරයාගේ හෝරාවේ අපූරුවට සටහන් තබමින් බොහෝ කාලයක් ඔහු සයිබරයේ රැඳි සිටීම මා අගේ කරනවා.
මේ හා සමානවම සිදුකරන තවත් අව්‍යාජ ආත්ම කථනයක් තිබෙනවා. ඒ සඳරු ලියන හිස් අහසයි. අම්පාරේ සුන්දර මිනිසුන් රැඳි සුන්දර ගමකට අපි රැගෙන යන හිස් අහස සඳරූගේ ජීවිතය, ඔහු මුහුණ දුන් විවිධ දුක සැප මිශ්‍ර අත්දැකීම් සයිබරයට මුසු කරන අපූර්ව ස්ථානයක් මේ හිස් අහස. පසුගිය කාලයේ සම්මාන කීපයක්ම ලැබීමෙන්ම ඔහුගේ හැකියාවන් පිළීබඳ හොඳ තක්සේරුවක් ගන්න පුළුවන්.

අභීත ලියන ටිකක් හිනාවෙන්න හා රංග ලියන මගේ ලෝකය කියවන්න හේතු උනේ ඔවුන් දෙදෙනා දෙදෙනාට මඩ එල්ලකරගනිමින් ලියූ පෝස්ට් නිසාවෙන්. 
බ්ලොග් කාරිණීයගේ දිනපොත බඳු බ්ලොග් එකකි මා නිතර කියවූ සිහින තවලම. මෙහි සරල කවි/ නිසඳැස් කෙටි කතා ලියවෙනවා. එහෙත් ලියාගෙන ආ කෙටි කතාව එක්වරම වෙනත් පැත්තකට යන්නේ බ්ලොග් කාරිනියගේ ජීවිතයේ සිදුවන වෙනස්වීම් සමගයි. මෙහි මා දකිනා ආකාරයට බොහෝ පෝස්ට් ඇත්තේ සෘණාත්මක ආකාරයෙන්. මෙයද මෑතක සිට වසා දමා තිබෙනවා.
          කාලයක්ම මා කියවු තවත් හාස්‍යය කැටිවුන පාසල් සමයේ අත්දැකීම් පෙළ ගැස්වූ බ්ලොග් එකකි බ්ලොග් ගඩොල්. ගම්පහ ප්‍රදේශයේ සුන්දර ගමක ඉපදුන පූසන් පිරිසක් ලියන මෙය තවමත් පුරුදු ලෙසින්ම ගලා යනවා. මෙය කණ්ඩායමක් එක්වී ලියන බ්ලොග් එකක් වුවද ලියන කෙනා කවුද නොකියා එකම ගිණුමකින් පවත්වාගෙන යයි. ගැටවර වියේ කියුම් කෙරුම් පිළිබඳව වැඩිපුර ලියවෙයි.

ඉහතින් සඳහන් කළේ මා කියවූ හා දැනටත් කියවන පරණ එනම් මගේ බ්ලොග් ආගමනයා හා සමගාමී හෝ ඊටත් පෙර සිට පැවති මා නිතර ආගිය බ්ලොග් කීපයක් ගැනයි. මෑතකදී පැමිණි හා මා මෑතක සිට කියවන්න ගත් බ්ලොග් ගණනාවක් වෙනවා. මේවායින් මා නිතර යන එන තැන් ගැනත් කීවොත් හොඳයි කියා සිතුවා ලිපිය අවසන් කරන්න කලින්.
අධ්‍යාපනික වටිනාකමත්, ලිවීමේ ශෛල්‍යයත් නිසා මා කියවන්න ගත් හොඳ බ්ලොග් එකක් වෙද ගෙදර. අපේ දේශිය වෛද්‍ය ශාස්ත්‍රය, එහි එදා හා අද මෙන්ම හොඳ අධ්‍යාපනික අපදෙස් එහි ඇතුලත්. මෑත කාලයේ මෙම බ්ලොග් කරුවා ලියන්න ආරම්භ කළ ලංකා ඉතිහාසය පිළිබඳ ලිපි පෙළත් හොඳින් කරුණු හදාරා ලියන බවට පැහැදිලිව මා දකිනවා. මා මෙහි දකින අඩුපාඩුව නම් හිටි වනම ටික කාලයක් කිසිවක් නොලියා සිටීමයි.
             සොඳුරු සුව අසපුව යනු එදිනෙදා ජිවිතයේ අප මුහුණ දෙන විවිධ රෝග හා ඒවා වලක්වා ගැනීම, රෝග මුලින් හඳුනා ගැනීම, රෝග වලට කරනා විවිධ ප්‍රතිකාර පිළිබඳව සිතට දැනෙන ලෙස කතාබහ කරනා බ්ලොග් අඩවියකි. මෙහි පෝස්ට ආරම්භ වන්නේ එදිනෙදා සිදුවීමක් අනුසාරයෙනි. ඉන්පසුව කතාවක් ලෙසින් පෝස්ට් එක ගලායන අතර රෝගය හා සම්බන්ධ දේ ක්‍රමාණුකූලව විස්තර කරයි. බ්ලොග් කරුවා සෞඛ්‍ය ක්‍ෂේත්‍රෙය් ප්‍රවීණයෙකු බව ලියන ආකරයෙන්ම පැහැදිළි වේ. එමෙන්ම ඔහු හොඳින් අධ්‍යයනය කර පෝස්ට් ලියනා බවක් ලිපි තුලින් පෙනේ. 
සයිබරයේ කුඩාම බ්ලොග් තරු දෙකක් ලියන පුංචි හිතට දැනෙන දේ දිනිති හා මිතිලි දියණියන් දෙදෙනා ලියනා බ්ලොග් එක මා වැඩියෙන්ම ප්‍රිය කරන ළමා බ්ලොග් කරණයයි. තමන් දකින දේ තමා ප්‍රියකරන දේ දක්ෂ ලෙසින් බ්ලොග් එකක් තුලින් ලියනා මේ දෙදෙනා මා දකින ආකාරයට අනාගතයේ තම පියා මෙන් සයිබර් අවකාශයට වටිනා දැනුම එක් කරනු ඇත.
මෑතක සිට මා ගොඩක් ආසාවෙන් කියවන තවත් බ්ලොග් එකකි අස්වැන්න. මේම බ්ලොග් කරුවා ගීත සංගීතය වැනි විශයන් ගැන හොඳ දැනුමක් ඇති ලේඛකයෙකි. කාලයක සිට ලේඛන කටයුතු වල නිරත වෙන ඔහු දක්ෂ ගීපද රචකයෙක්ද වේ. ඔහු සංගීත කලාව හා එයට සම්බන්ධ ශිල්පීන් ගැන තමා සතු දැනුම, තමාගේ ආකල්ප නොමසුරුව බෙදා දෙයි. මීට අමතරව පොත පත පිළිබඳවද ඔහුගේ දැනුම අතිමහත්. ඒ සියල්ල කැටි කරගත් අස්වැන්න මා ප්‍රිය කරන මෑත කාලයේ ඇරඹුන බ්ලොග් අඩවියකි.

මේ මා නිතර යන එන නැතිනම් පෙර නිතර ඇවිද්ද බ්ලොග් කීපයක් ගැන මට නිදහසේ සිටිනා හෝරාවක සිතට නැගුන අදහස් කැටි කර දැක්වීමකි. තවත් අයෙකු මෙය වෙනස් ආකාරයකින් දකින්නට පුළුවන්. ඔබේ අදහසත් කැමතිනම් කෙටියෙන් සටහන් කර යන්න.
සුභ දවසක්....!!!
මට දැන් කෝපි කෝප්පයක් බොන්න වේලාව හොඳයි වගේ. කෝපි එකක් බොමුද?
(පින්තූර අන්තර්ජාලයෙනි)