Wednesday, November 10, 2010

නෝට්බුක් භාවිතයේදී මේ ගැන සිතුවාද 2


මදැයි ලිපියක් ලියන්න ගිහින් අහගත්ත දේවල්. දැන් දැන් කියවන්න එන අය ඉක්මනින් කියවන්න පොඩි දෙයක් හොයනඑක වැඩිවෙලා නිසයි කලින් පොස්ට් එක කොටසක් දැම්මේ. එත් ඒකට කැමති නැති අයත් ඉන්නවානේ. මාරයාගේ හෝරාව ගියන අපේ මාරයා තමා කලින්ම කිව්වේ මේක දිගට ලියන්න කියා. දීකිරට බළල්ලුත් සාක්කි කියනවා වගේ Anonymous මිතුරන් දෙදෙනකුත් පොඩිකුමාරිහාමිත් මේක මගින් නැවැත්තුවාට නඩුත් දානවා කිව්වේ. අම්මෝ උසාවි ගානේ යන්න උනොත් ආයේ බ්ලොග් ලියලා ඉවරයි. එහෙනම් ආයේ මොකටද කතාව දික් කරන්නේ. මෙන්න එතැන් සිට....
මේකත් තාක්‍ෂණයට බර නැතත් මම දැක ඇති සැලකියයුතු පිරිසක් කර ඇති දෙයක්. ඒ නෝට්බුක් එකට අමතරව තව පෑන්, පැන්සල්, යතුරු ආදිය එකම මල්ලේ දමාගෙන යාම. මේවායින් නොට්බුක් එක සීරීමට ලක්වෙනවා. බාහිර පෙනුම ඉක්මනින් දුර්වල වෙනවා. යතුරු ආදිය සිරවීම නිසා ප්ලාස්ටික් කොටස් වලට හානි වෙන්න ඉඩ තිබෙනවා. එපමණක් නොව මේවායේ ලෝහ කොටස් පරිගනකයේ ඇති සිදුරු අතරින් පරිපථ මත ගැටී හානි වෙන්න පුළුවන් බව බොහෝ දෙනෙක් හිතන්නේ නෑ. ඒ නොට්බුක් එකක් සෑම විටම බැටරිය නිසා standby තත්වයේ පවතින නිසා.
මේ සමානම තවත් දෙයක් තමා නෝට්බුක් එක මත පෑනක්, පැන් ක්ලිප් එකක් හො එවැනි කුඩා දෙයක් තබා ගෙන සිට පරිගනකය වසා දැමීම. මෙයින් සිදුවන්නේ LCD Screen එක බිඳීයාමයි. මෙසේ Screen එක හා යතුරුපුවරුව අතරට යම් දෙයක් සිරවීමෙන් Screen බිඳීයාම සිදුවේ. මෙහි හානි කීපයක්ම තිබෙනවා. මෙසේ බිඳුනු Screen එක අතරින් එහි ඇති රසායන ද්‍රව්‍ය පිටතට වෑස්සෙන්න ඉඩ තිබෙනවා. මේවා ශරීරගතවීම ඉතා විශ සහිත වේ. මේවායේ පිළකා කාරක පවා අඩංගු වන බව සඳහන්. තවද මේවා ගලා ගොස් පරිපථ විනාශ වෙන්නත් පුළුවන්.
මීළඟට කියන්නේ විදුලිය සැපයීම ගැන. මගෙන් කීපදෙනෙක්ම අසා තිබෙනවා නොට් බුක් එකට අවශ්‍ය වන්නේ කොපමණ ධාරිතාවක් ඇති UPS එකක්ද කියා. නොට්බුක් වලට UPS අවශ්‍ය නෑනේ. බැටරියක් ඇති නිසා. එහෙත් අප මෙය භාවිතා කරන ස්ථානයේ නිතර විදුලි අඩුවැඩිවීම සිදුවනවා නම්, එය බලසැපයුමේ (power pack) සීමා ඉකමවනවානම් power guard එකක් භාවිතය වැඩි කල් power pack එක ආරක්‍ෂාකාරීව තබා ගන්න හේතු වේවි. එමෙන්ම මල්ටි සොකට් ආදිය මගින් විදුලියට සම්බන්ධ කිරීමේදී ලුහු සම්බන්ධයක් (loose connection) ඇත්නම් එයත් එතරම් හොඳ දෙයක් නොවේ. මේ හා සම්බන්ධ තවත් වැදගත්ම දෙයක් වන්නේ බොහෝ දෙනෙක් power pack එක සජිවී (power on) තත්වයේ පවතින විට පරිගනකයට සම්බන්ධ කිරීම හා ගැලවීම. මේ නිසා සම්බන්ධ වන පරිගනකයේ අග්‍ර spark වීම නිසා හානියට පත්වෙනවා. වගකීමේ කාලසීමාවේ නම් මෙය නොසැලකිලිමත් බව නිසා ඇතිවූවක් ලෙස සලකා අළුත්වැඩියා කිරීමට යන මුදල ඔබෙන් අය කරගන්නත් හේතු වේ. කාලයක් මෙය සිදුවූ නොට්බුක් වල දිගටම spark වෙමින් පවතින අවස්තා ඇත. එවිට ඒවායේ මුද්‍රිත පරිපථ පුවරු විනාශවූ අවස්ථා මම දැක ඇත.
මෙයට අමතරව ඕනෑම උපකරණයක් භාවිතාකිරීමේදී විශේෂයෙන් විදුලියෙන් ක්‍රියාකරන උපකරණ භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්‍ෂක පිළිවෙත් ඔබේ නොට්බුක් එක කෙරෙහිත් අනුගමනය කළ යුතු වෙනවා. අකුණු ආදිය පවතින විට භාවිතා නොකිරීම. නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති උෂ්ණත්ව පරාසය, ආර්ද්‍රතාවය, මුහුදු මට්ටමේ සිට ඇති උස පරාසය ආදිය ගැනත් සැලකිලි මත් වන්න. විශේෂයෙන් වැඩි උෂ්ණත්වය නෝට්බුක් එකට වගේම එහි බැටරියේ පැවැත්මටත් හානිකර වෙනවා. අසම්පූර්ණ ලෙස වරින වර ආරොපණය (charging) බැටරියේ ආයු කාලය අඩු වීමට තවත් හේතුවක්. හැකි සෑම විටම ප්‍රධානි විදුලියෙන් ක්‍රියා කරවීමෙන් බැටරිය වැය වීම අඩු කරන්න පුළුවන්. මේවා සියල්ල හිතේ තබාගෙන වැඩ කරන එක පහසු නෑ. අමතක වන්න පුළුවන්. එත් වරකට එක් පියවර බැගින් පුහුණු කිරීමෙන් ලොකු මුදලක් වැය කර මිළදිගත් ඔබේ නෝට්බුක් පරිගනකය බොහෝ කාලයක් කරදරයකින් තොරව භාවිතා කරන්න පුළුවන්.
මෙයටම තවත් දෙයක් එකතු කරන්න තිබෙනවා. මේවා යන්ත්‍ර. යන්ත්‍රයක් ක්‍රියා කිරීමට නිසි කඩත්තුවක් අවශ්‍යයි. ඒනිසා මාස 6කට වරක් වත් නිසි නඩත්තුවක් (අපහසුමනම් වසරකට වරක්) කර ගැනීමෙන් කරදර අඩු පරිගනකයක් ඔබට ලැබෙයි.
මේ කියන්නේ මෙයට අදාළ දෙයක් නම් නොවේ. එත් සමහර අයට ඇති ප්‍රශ්ණයක් නෝට්බුක් හා ලැප්ටොප් යනු කුමක්ද කියන එක. HP (Hewlett Packard) Toshiba වැනි නිෂ්පාදකයන් තම නිෂ්පාදන සඳහා නෝට්බුක් (Notebook) යන්න භාවිතා කරනවා. Dell තම නිෂ්පාදනය ලැප්ටොප් (Laptop) ලෙස හඳනුවනවා. එකම සැකැස්ම විවිධ නිෂ්පාදකයන් හඳන්වන් ආකාර තමා මේ.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!!

ප/ලි
මාරයාට උඩින් කියපු එකට අමනාප නොවනු ඇතැයි සිතනවා. ඔබලාගේ ප්‍රතිචාර නිසා තමා මම මේ සටහන් දිගටම ලියන්නේ. පොඩිකුමාරිහාමිත් නඩු නොදමනු ඇතැයි හිතනවා...
ඔන්න පොරොන්දු උන දවසේ කොහොම හරි පොස්ට් එක් දැම්මා. තව එකතු කරන් දෙයක් තියනවානම් ඒවාත් යටින් ලියල යන්න කිසිම බාධාවක් නෑ.

Monday, November 8, 2010

නෝට්බුක් භාවිතයේදී මේ ගැන සිතුවාද?


පසුගිය මාස දෙකේ අළුතින් පරිගනකයක් ගන්න අයට ලියූ පෝස්ට් කියවන්න ඇතිනේ. අද කියන්න යන්නේ අළුතින් ගන්න එකක් ගැන නම් නෙවේ. Notebook නැතිනම් Laptop කොම්පියුටරයක් භාවිතා කරන අය අතින් සිදුවන ඇතැම් වැරදි ක්‍රියා නිසා ඒවාට වන හානි වලින් කීපයක්.
කලකට ඉහත මේ notebook කොම්පියුටර්ස් ඉතා අධික මිළකට අලෙවි වුවත් දැන් ඒවායේ මිළත් හුඟක් පහල මට්ටමකට ඇවිත්. ඒනිසාම බොහෝදෙනෙක් දැන් දැන් අළුතින් notebook කොම්පියුටර් එකක්ම ගන්න පෙළඹෙනවා. ප්‍රමාණයෙන් කුඩා නිසාත්, පහසුවෙන් එහාමෙහා ගෙන යන්න හැකි නිසාත් පමණක් නොවේ දැන් එය විලාසිතාවක්නේ. මාතෘකාවෙන් පිට පැන්නානේ. ඔන්න එහෙනම් කෙලින්ම දැන්වත් කතාවට යමු.
මෙම notebook කොම්පියුටර් සාමාන්‍යයෙන් ‍desktop වලට වඩා සංවේදී බවෙන් වැඩියි. ඒ මේවායේ ඇති පරිපථ ආදිය සාමාන්‍යයෙන් ඉතා සියුම් ලෙස නිමවා ඇති නිසා. ඒනිසා පළමුව මේ කෙරෙහි දැක්විය යුතු සැලකිල්ල වන්නේ මේතුලට යම් යම් අපද්‍රව්‍ය වැටීම නිසා සිදුවන හානි වලින් ආරක්‍ෂා කර ගැනීමයි. කුඩා ස්ටේපල් කටු, ඇල්පෙනෙත්ති වැනි ලොහමය දේවල් පහසුවෙන් මේ තුලට ඇතුල්වන්න පුළුවන්. එමගින් මෙහි පරිපථ වලට හානි වෙන්න පුළුවන් බව අලුතින් කියන්න ඕන නෑනේ. ඒවගේම බොහොමයක් දියර වල‍ට ප්‍රතිරෝධි නෑ. ඒනිසා අත්වැරැද්දකින් තේ කොප්පයක්, වතුර වීදුරුවක් හැලීම නිසා හානි වෙන්න පුළුවන්. ඇයි ඒ විතරද මේවා portable නිසා රැගෙන යාමේදී වැස්සකට හසුවීමෙන් ඇතුලට වැසි ජලය ඇතුල් වන්න පුළුවන්නේ. මොන දියරය ඇතුල් වුවත් අවසාන ප්‍රතිපලය වන්නේ කොම්පියුටරයට හානි වීමයි.මේ ආකාරයෙන් කිසියම් ආගන්තුක දෙයක් අපේ පරිගනකයට ඇතුල්වීම නිසා එයට හානි වන බව තමා අවසානයේ කියන්න ඇත්තේ.
මීට අමතරව අපගේ නොසැලකිල්ල නිසා සිදුවන හානි රැසක් මා දැක තිබෙනවා. ඒවායින් සුලභව දැක ඇති ඒවා ගැන සඳහන් කරන්නම ඕන කියා මේ පොස්ට් එක ලියන්නත් කලින් හිතුවේ. අප කවුරුත් දන්න ආකාරයට මේවායේ සිසිලන පද්ධතිය එනම් cooling fan හා ventilation holes පිමිටා ඇත්තේ යට පැත්තේ. බොහෝදෙනෙක් තම notebook කොම්පියුටර් එක භාවිතා කරන්නේ නිදන ඇඳ මත තබාගෙන බව මා දැක තිබෙනවා.එවිට සිදුවන්නේ ඇඳමත notebook කොම්පියුටර් එක තදවී ඇති නිසා වා කවුළු (ventilation holes) අවහිර වීම නිසා පරිගනකය අධික ලෙස රත්වීමයි. එය notebook ආයු කාලය අඩුවන්න හේතුවක්. එමෙන්ම මේසයේ වුවද මේස ඇතිරිලල්ක් හෝ පත්තර නැතිනම් පොත් මත notebook එක තබා ක්‍රියා කරනවානම් ඉහත ආකාරයටම වෙන්න පුළුවන්. මේ නිසා notebook එක භාවිතා කරන සෑම විටම එය කෙලින්ම ඝන මතුපිටක (මේසයක/වීදුරු මතුපිටක වැනි)තබා භාවිතා කරන්න. ඒ වගේම පරිගනකය පතුලේ ඇති රබර් පාද ගැලවීයාම නිසා පරිගනකය හා තබන මතුපිට අතර ඇති නිසි පරතරය නැතිවීයාමද සිසිලනය අවහිර වීමට හේතු වන්න පුළුවන්. තවද මකුළු දැල්, දූවිලි, කෙඳි වර්ග නිසා වා කවුළු අවහිර වීමෙන්ද සිසිලන පද්ධතිය (cooling system) නිසි දෙස ක්‍රියා නොකරනවා. එයත් ඔබේ අවධානයට යොමු කළයුතු කරුණක්.
අදට මෙතනින් නවත් වන්න හිතුවා. ඉතිරි කොටස බදාදාට වන ලෙස කොටස් දෙකකට දාන්නයි යන්නේ.
එහෙනම් ලිහින් එන්නම්.
සුභ දවසක්.!!!!!
ප/ලි
සිංහල බ්ලොග් අවකාශයේ පාඨකයන් දැන් දැන් බ්ලොග් කියවන්න විවේකය අඩු බවක් මම දැක්කා. විශේෂයෙන් දිග ලිපි කියවන්නේම නැති තරම්. ඒනිසා මමත් මින්පසු දිගු ලිපි නොලියන්න සිතුවා. මෙයත් දික්වන නිසා කොටස් කරන්නේ. ඒත් එක දිගට කියවන්න හැකි අය අමනාප නොවෙත්වා.

Monday, November 1, 2010

අඩේ දාල පලයන්.....‍

දිගටම තාක්‍ෂණික කතා ලියපු නිසා මතකයක් ලියන්නත් බැරි උනානේ සෑහෙන කාලෙකින්.‍ දිගටම මේවම අහල ඇති වගේ අයටත් මොනව හරි ලියන්න හිතාගෙන හිටියත් ලියන්න කිසියක් මතක් වුනේම නෑ. එහෙම ඉන්න කොට තමා මට මේ සිදුවීම දකින්න ලැබුනේ. මේකනම් පරණ මතකයක් නෙවේ. පසුගිය සෙනසුරාදා මට බස් එකේදී (ගූගල් බස් එකේ නම් කොවේ. මේ පාරේ යන බස් එකක)දකින්න ලැබුන දෙයක්.
නිතර බස් එකේ නොයන නිසාමද කොහේද මට ලියන්න හොඳ කතා ලැබෙනවා අඩුයි. පසුලිය දිනක නුවර බලා යාමට උදේම බස් එකකට ගොඩවැදුනා.මේ බස් එකත් උදේ කාර්යාල වෙලාව නිසා මගීන්ගෙන් පිරී තිබුනා. ආසනයක් නොමැති නිසා මම පාපුවරුව අසල සිටගෙනයි සිටියෙත්. පා පුවරුවේ වයස අමුරුදු 15 ක නැතිනම් 16ක පමණ පාසල් යන් වයසේ පිරිමි ළමයින් කීප දෙනෙක් සිටියා. මම මුලින්ම නිරීක්‍ෂණය කළ ආකාරයෙන්ම මොවුන් එම වයසේ වුවත් පාසල් යන බවක් පේන්න නෑ. ඔවුන්ගේ ඇඳුම් හිසකෙස් විලාසිතා ආදිය පාසල් යන වයසේ තබා තරුණයෙකුට වුවත් එතරම් ගැලපෙන බවක් පෙනෙන්නෑ. රැවුලට විලාසිතාවක් යොදා නොතිබුනේ රැවුල වැවෙන්න පටන්ගෙන නැතිනිසායි. නමුත් මොවුන් බසයට ගොඩවන කාන්තාවන් හෝ තරුණියන්ට කිසිදු ආකාරයක විහිළු තහලු කිරීමක් කළේත් නෑ. ජංගම දුරකථන දෙකතුනක් මොවුන්ගේ සාක්කුවල තිබූ අතර ඒවා එලියට ගනිමින් ගත්ත තැන, ගත් මිළ ආදිය කතා කරමින් ගමන් ගත්තා. තනි අතින් පාපුවරුවේ බටය අල්ලාගෙන අනෙක් අතින් ජංගම දුරකථනය ප්‍රදර්ශනය කරමින් අවදානම් ආකාරයෙන් මොවුන් ගමන් ගත්තේ. ඒවා එතරම් මිළක් නොවූ චීන වර්ගවල දුරකථන නිසාත් ඔවුන්ගේ අඳුම් ආදිය අනුව ඔවුන් එතරම් ධනවත් නොවන සාමාන්‍ය පවුල් වල ළමයින් බවක් පෙනුනේ. එහෙත් ඔවුන්ගේ කථා විලාශය හා භාවිතා කරන වචන වල නම් කිසිම ආකාරයක ප්‍රසන්න බවක් තිබුනේ නෑ. එය බසයේ අනෙක් මගීන්ගේත් අප්‍රසාදයට ලක්වන ආකාරයේ කතා විලාශයක්.
මෙය ලංගම බස් රථයක් වූ අතර බසයේ රියදුරු වූයේ වයස අවුරුදු 45ක පමණ මැදිවියේ පසුවන තරමක තැම්පත් ගති ඇතැයි පෙනෙන අයෙක්. මෙහිදී මම කියන්න යන සිදුවීම වූයේ බැංකුවක් අසලින් ලමන් කිරීමේදී. එක් වරම කලබලවූ බවක් පෙන්වූ එක් ළමයෙක් ඇඟිලි කටේ ඔබාගෙන තදින් විසිල් ගසන්නට පටන් ගත්තා. එහෙත් මේය කිසිවෙකුට අවබෝධ වූයේ නෑ. බසයේ සිටි සියල්ලන් සිතුවේ පාරේ යන් කිසිවෙකතුට මොවුන් විසිල් ගසන බවයි. බසය දිගටම ගමන් ගත්තා. එවිට තවත් තදින් විසිල් ගසමින් අඩෝ...යනුවෙන් මොහු කෑගසන්න ගත්තා. ඉන්පසු ඒයි අඩේ ඔය බැංකුව ලඟින් දාල පලයන් බන් යනුවෙන් ඔහු කෑ ගැසුවා. එවිටයි මට තෙරුනේ මොහු කෑගසන්නේ රියදුරාට බව. බසයේ රියදුරා යනු ඔවුන්ගේ වයස අනුව වැඩිහිටියෙකි. එමෙන්ම බසය පොදු ස්ථානයකි. මොහු පාසල් යන වයසේ ළමයෙකි. මෙ‍ම තත්වය නොගැලපෙන අශෝභන තත්වයක් වන්නේ ඒ නිසාය. අශෝභන හැසිරීම නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදකි. එහෙත් මොවුන් එසේ හැසිරේ
තමාගේ පියාගේ වයසේ පසුවන කෙනෙකුට මෙසේ අමතන පාසල් දරුවන් අප පාසල් යන කාලයේ සිටි බවක් මට මතක නෑ. මේ සමස්ථ දරු පරපුරේ තත්වය නොවුවද මෙවැන්නන් පෙරට වඩා දැන් බහුල බවක් පෙනෙනවා.අප හොඳින් බලා සිටියොත් මෙවන් අවස්ථා දැන් සුලභ බවක් පෙනේ. එහෙත් මෙවා බොහො දෙමාපියන්ට සොයා බලන්න වෙලාවක් නැත. ඔවුන් තරඟයකයත දරුවන් යන්නේ කොහේදැයි ඔවුන් නොදනී. මෙය අප කවුරුත් මේ ගැන අවධානය යොමු කරන්න කාලයයි. මේ රටේ අනාගතයයි.‍
එහෙනම් ගිහින් එන්නම්. ඔබේ අදහසත් ලියලම යන්න. මේ වගේ වෙනස් සිද්ධින් ඔබත් දැක ඇති. ඒවාත් හැකිනම් කෙටියෙන් ලියා යන්න.‍
සුභ දවසක්!!!!!!!!!!

Tuesday, October 26, 2010

ඇතුවත් බැරි නැතුවත් බැරි Passwords

දවස් 10 කින් විතර ආයෙම පොස්ට් එකක් දාන්නයි යන්නේ. මේ මාසෛටම දාන්න උනෙත් පොස්ට් දෙකයි. ඒ නිසා තව එකක් වත් දාන්න හිතුවා. ඒ වගේම බ්ලොග් ලියන මගේ යාළුවෙකුත් නිතරම අහනවා ඇයි පොස්ට් එකක් දාන්නේ නැත්තේ කියල. ඉතින් ඒ නිසා ඒ කවුරුත් වෙනුවෙන් මේ මාසේ ඉවර වෙන් කලින් එකක් වත් දාන්න එපැයි. ඇති නේද කියෙව්වා. එහෙනම් අද කතාවට යමු.
මෙච්චර දවසක් මම මතක, කවි, hardware ගැන විතරනේ ලීවේ. අද ටිකක් වෙනස් දෙයක්. උඩින් තියන මාතෘකාව වගේම පින්තූරෙත් බැලුවම පෙනවනේ මොකක්ද අද කියන්න යන්නේ කියල. ඔව් password ගැන තමයි. අන්තර්ජාලය භාවිතා කරන අපි කවුරුත් password භාවිතා කරනවානේ. එත් මම දැකල ඇති විධියට වැඩිදෙනෙක් කිසිම අවබොධයකින් නම් නොවේ password භාවිතා කරන්නේ. ඒ අයට යම් අවබොධයක් දෙන්නයි මේ උත්සාහය.
අපි password එකක් කියන්නේ කිසියම් රහස් පදයක්නේ. එත් ඇතැම් අයගේ password බොහෝ දෙනෙක් දන්නවා. ඒකියන්නේ කිසිම රහසක් නෑ. තවත් අය මේක කොළයක හෝ කුඩා සටහන් පොතක ලියාගෙ තමයි භාවිතා කරන්නේ. ඕක අතේ තියන් ටයිප් කරනවිට තවත් අයෙකුට දකින්න ඇති ඉඩ වැඩියිනේ. ඒ නිසා හොඳ password එකක් සාදා ගන්නා ආකාරය. එහි භාවිතය ගැන වැඩි අවධානයකට ලක් නොවූ කරුණු ටිකක් කියන්නම්.
හොඳ password එකක් සඳහා අකුරු 6 කටවත් වැඩියෙන් තියෙන්න ඕන. මේ සඳහා සිංහලයුනිකොඩ් එහෙම ගන්න එපා. එහෙම කලොත් ඒවා නැති අවස්ථාවක password එකෙන් වැඩක් නෑ. මෙහි සංයුතිය පහත ආකාරයට පැවතීම වඩාත්ම සුදුසු ක්‍රමයයි.
අවම වශයෙන් එක් කැපිටල් ඉංග්‍රීසි අකුරක් ( උදා A, B, C වැනි)
අවම වශයෙන් එක් සිම්පල් ඉංග්‍රීසි අකුරක් ( උදා a, b, c වැනි)
අවම වශයෙන් එක් අංකයක් ( උදා 1, 2, 3 වැනි)
අවම වශයෙන් එක් සංකේතයක් (උදා @, #, $.... වැනි)
මෙවැනි password එකක් ප්‍රභල එකක් ලෙස සැලකේ. එහෙත් මෙවැන්නක් මතක තබා ගැනීම නම් කෙසේවත් කළ නොහැකි දෙයක් ලෙස කෙනෙකුට පෙනී යන්න පුළුවන්. එහෙත් මෙවැන්නක් පහසුවෙන් මතක තබා ගැනීමට ක්‍රමයක් මම කියන්නම්. අපට සමීප වචනයක් හා අංකයක් ගමු. උදාහරනයක් ලෙස මම මගේ නම ගන්නම්. අංකය වෙනුවට මගේ දුරකථන අංකය ගන්නම්. දැන් මම මේකෙන් password එකක් හදන්නම්.
මගේ නම Priyantha මෙයින් Priya යන්න භාවිතා කරනවා. දුරකථන අංකය 07778***** මෙයින් 07778 ගන්නවා. දැන් මේවායෙන් password එකක් හදන්නම්. priyA#07778. බලන්න මෙවැනි password එකක් ඇතැයි කෙනෙකුට පහසුවෙන් අනුමාන කරන්න පුළුවන්ද කියා. අවශ්‍යනම් මෙය තවත් සංකීර්ණ කරන්න අග සිට මුලට (87770#Ayirp) භාවිතා කරන්න පුළුවන්. මතක තබා ගන්න අපහසු නෑ නේද?. කලබල වෙන්න එපා ඔය මම භාවිතා කරන ඇත්තම password එක එහෙම නෙවේ.
දැන් මෙය ආරක්‍ෂාකාරීව භාවිතය ගැන කතා කරමු. කෙනෙකු ඉදිරියේ කිසි විටෙක මෙය ටයිප් කරන් එපා. ඔවුනට ඉවත් වන්න කියන්න ඔබට අයිතියක් ඇත. එහෙත් ප්‍රායොගිකව මෙය අපහසු කරුණක්. එවන් විටෙක ටයිප් කරමින් වරද්දමින් (දෙවරකට වඩා වරදින්න දෙන්න එපා එකවුන්ට් එක ලොක්වෙයි) එක්වරම නිවැරදි එක ටයිප් කරන්න. එමෙන්ම password එක පොදු ස්ථාන වල භාවිතයේදී (Internet Cafe වැනි) save කර යන්න එපා. එක් වර ටයිප් නොකර කොටසක් ටයිකර මවුස් එනෙක් select කර (highlight) නැවත මුල සිට ටයිප් කරන්න. එවිට select කර ඇති කොටස මැකී අළුතින් ටයිප් වෙන නිසා මෙය හඳුනා ගැනීම අපහසුය. කීප වරක් වරද්දමින් කර අවසානයේ කොටසක් ටයිප් කර select කර නැවත නිවැරදි password එක ටයිප් කරන්න.
මීට අමතරව එකවුන්ට් කීපයක් භාවිතා කරන විට password කීපයක් භාවිතා කරන්න උත්සාහ කරන්න. එමගින් එක් password එකක් කිසිවෙකු අතට පත්වුවත් අනෙක්වා ආරක්‍ෂාවේ. මේ ගැන මා මෑතකදී දැකඇති තවත් කරුණක් ගැන අවධානය යොමු කරන්න හිතුවා. එනම් ඊමේල් සේවාවේ නමින් ඔබේ එකවුන්ට් එක වසා දමනවා. මෙය තවදුරටත් පවත්වාගෙන යන්න ඕනනම් User ID එක හා password එක සමග රිප්ලයි කරන්න කියා. මෙවැන්නකට හසුවූ කීපදෙනෙකුගේම එකවුන්ට් හැක් කර තිබුනා. password hint පවා වෙනස් කර තිබුනා. මෙවැනි කිසිවකට හසු වන්න එපා. කිසිම සේවාවක් password එක ඉල්ලන්නේ නෑ. ඔවුනට අවශ්‍යනම් සැකයක් ඇතිනම් එකවුන්ට් එක verify කරන්න පමණක් පවසනවා. කිසිවෙකුට password යැවීමේ අවශ්‍යතාවයක් නෑ. මෙයනම් නොකළ යුතු දෙයක්. එනම් ඔබේ එකවුන්ට් එක කිසිවෙකුට තාවකාලිකව භාවිතයට දීම. එහෙත් එවැන්නක් කරන්නම වෙනවා නම් ඔබේ සුපුරුදු password එක වෙනස් කර වෙනත් එකක් දමා දෙන්න. යම් ලෙසකින් ඔබේ password එක දෙන්න වුවහොත් වහාම එය භාවිතා කරන අනෙක් සියලු එකවුන්ට් සඳහා password එක මාරු කරන්න.
මීට අමතරව මම දැක ඇති තවත් කරුණක් වන්නේ ඇතැම් අය administrator password එක මතක ඇත්දැයි ඇසූ විට එය ඔහුට පැවසීම. සාමාන්‍යයෙන් කිසිම administrator කෙනෙකුට කිසිවෙකුගේ password එකක් බැලීමට නොහැක. (නමුත් ඇතැම් අවස්ථාවල එය වෙනස් වේ). පද්ධතියක password එක ගබඩාකර ඇත්තේ අපට කියවිය හැකි ආකාරයකට නොවේ. ඒ නිසා ඔබේ ණයපත, බැංකු ගිණුම, දුරකථන ගිණුම සම්බන්ධයෙන් කිසිවෙකුට සේවා අංශයට සම්බන්ධ වීමේදී password පවසන්න එපා. ඔබට එය අමතක නම් reset කර ගන්න පමණක් පුළුවන්. එසේ ලබාදෙන password එක log වු වහාම වෙනස් කරගන්න.
අවසාන වශයෙන් කියන්න ඇත්තේ ඔබේ password ඔබේ අනන්‍යතාවයක්. එය ආරක්‍ෂා කරගැනීම ඔබේ වගකීමක්. යම් ලෙසකින් එය වැරදි පුද්ගලයෙක් අතට පතුවුවහොත් ඔබට බොහෝ කරදර විඳින්න සිදුවේවි.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!!

Saturday, October 16, 2010

Assembled ද? Branded ද?

අන්තිම සටහනට සතියකටත් වැඩියි නේද?. පසුගිය දින වල වැඩ ගොඩකට කොටු වීමත් (ඕක ඉතින් නිතරම කියන එකනේ) තවත් ප්‍රශ්ණ ගොඩක් එක්ක ගණුදෙනු කරන්න වීමත් නිසා තමා සටහන පමා වුනේ. මේක තමා පරිගනකයක් මිළදීගන්න යන අය වෙනුවෙන් ලියන සටහන් මාලාවේ අවසන් සටහන. සටහන් දෙකකින් පමණ අවසන් කරන්නට සිතා මෙය පටන් ගත්තත් ලැබුන ප්‍රතිචාර නිසා සටහන් 5ක්ම ලියන්න උනා. මේ පස් වැන්න. තවත් මේ හා අදාළ සටහන් කීපයක් ලියන්න තරම් දැන් කරුණු එකතු වෙලා තියෙන්නේ. ඒවා ඉදිරියේදී වෙනම ලියන්නත් අදහසක් තියනවා. ඒකෙන් අද කතාව පරක්කු වෙනවා නේද? ඔන්න එහෙනම් අද ලියන්නේ මොකක්ද කියල කියවලාම බලන්නකෝ.
අද වෙළඳ පොලේ ප්‍රධාන වශයෙන් desktop computers වර්ග 2කට ගන්න ප්‍රළුවන්. ඒවා දේශියව එකලස් කරන ලද (ඇතැම් විට වෙනත් රටවලද) හා කිසියම් ජනප්‍රිය වෙළඳ නාමයක් යටතේ නිෂ්පාදනය කරන ලද ඒවා වශයෙනි. මෙවායින් අප මිළදී ගත යුත්තේ කුමක්ද කියා තමයි මම අද කියන්න යන්නේ. කලින් ලිපිවල නම් මම බොහෝවිට කියා ඇත්තේ මේක ගන්න මේක ගන්න එපා වගේ අදහසක්නේ. එත් මෙතනදී නම් මම කියන්නේ ඊට වෙනස් කතාවක්. මොකද කියනවනම් මේ දෙවර්ගයෙම වාසි අවාසි විවිධ නිසා.
මුලින්ම අපි එකලස් කරන ලද පරිගනක (assembled computers) ගැන බලමු. මේවා සැලකූවිට මුලිනම පෙනෙන්නේ ඉතා අඩු මිළට ගැනීමේ හැකියාවයි. ඒවගේම අපට අවශ්‍යතාවයට වඩාත්ම ගැලපෙන පිරිවිතරයකින් (specification) ගන්න පුළුවන්. (වචනේ නිකන් අවුල්වගේ නිසා මින් ඉදිරියට specification කියලම කියන්නම්.) මොකද මේකට අවශ්‍ය උපාංග අපට තොරන්න පුළුවන්. Main board එකක් ගත් විට ඒයට ගැලපෙන්න විවිධ ආකාරයෙන් processor, memory, VGA cards, sound cards ආදිය ගන්න පුළුවන්. මේවා මිලෙනුත් අඩුයි. පහසුවෙන් වෙළඳපොලෙන් ගන්නත් පුළුවන්. මේවායේ upgrade, modification ආදියත් පහසුවෙන් අඩු මිළට කරන්න පුළුවන්. හොඳ උපාංග භාවිතා කර ඇත්නම් හොඳ ක්‍රියාකාරිත්වයක් බලාපොරොත්තු වන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොලේ ඇති අළුත්ම specification එකට මෙසේ පරිගනකයක් එකලස් කරගන්න හැකියාව තිබෙනවා.
දැන් බලමු මේවායේ අළුත්වැඩියාවන් හා ඇතිවන දෝෂ ගැන. එකලස් කරන පරිගනක වල සාමාන්‍යයෙන් දොෂ ඇතිවීමේ ප්‍රවණතාවය Branded කොම්පිටර් වලට සාපේක්‍ෂව වැඩි බවක් පෙන්වනවා. නිතරම මේවායේ ලුහු සම්බන්ධතා (loose connection) ඇති වෙනවා. මෙයට හේතුවන්නේ මේවයේ casing හා යොදාගන්නා උපාංග ගැලපීමේදී සුළුවශයෙන් ඇතිවන නොගැලපීම. මේනිසා කල් යනවිට නිතර නිතර නැවත ගලවා සවිකරන්න සිදුවන අවස්ථා වැඩියි. ඇතැම් විට සමහර උපාංග සවිකරන්න අපහසු වන අවස්ථා තිබෙනවා. දීඇති ඉඩ ප්‍රමාණයට ඇතැම් CD/DVD drivers නොගැලපෙනවා. නමුත් මේවායේ අවත්වැඩියාවන් සඳහා යන වියදම නම් ඉතා අඩුයි. ඒ වගේම අමතර කොටස් ඕනෑතරම් ගන්න තිබෙනවා. පරණ වුවත් භාවිතාකළ අමතර කොටස් හොයාගන්න පුළුවන්. සමහර පරණ කොම්පියුටර් වලට (වසර 3ක සිට 5ක් පමණ දක්වා වැනි) සමහර අළුත් කොටස් යොදාගන්න පුළුවන්. පරණ වනවිට අළුත් කොටස් යොදා upgrade කරන්න වැය වන්නේද අඩු මුදලකි. මේ අනුව මේවායේ ප්‍රධාන අවාසි වන්නේ නිතර දෝෂ ඇතිවීම. මීට අමතරව ඇතැම් අමතර කොටස් යෙදීමෙන් මේවායේ කැපීපෙනෙන වේගය අඩුවීමක් ඇතිවෙන්න පුළුවන්. මේවාට licences operating system එකක් ගන්නවානම් වැඩි මුදලක් වැය වෙනවා.

මීළඟට සලකා බලමු Branded කොම්පියුටර්ස් ගැන. ඉහත ආකාරයටම මේවා මිලෙන් වැඩි පරිගනක. වෙළඳ නාමය අනුව බොහොවිට මිළ තිරණය වන්නේ. වඩා ජනප්‍රිය නම් වලින් එන පරිගනක මිලෙන් වැඩියි. මේවායේ ක්‍රියාකාරිතවය සැලකූවිට ඉතාම ඉහල මට්ටමක පවතිනවා. එයට හේතුව වන්නේ මේ සඳහා භාවිතා කරන්නේ එකිනෙකට හොඳින්ම ගැලපෙන කොටස් වීමයි. ඒවා බොහෝවිට එකම නිෂ්පාදකයා විසින්ම නිපදවනවා. නැතිනම් ඔහුගේ අවශ්‍යතාව අනුව වෙනත් අයෙක් නිපදවන කොටස්. මේ නිසා මේවා එම specification එකේම එකලස් කරන ලද පරිගනකයකට වඩා කැපීපෙනෙන වැඩි කාර්යක්‍ෂමතාවයක් පෙන්වනවා. ඒ වගේම මේවායේ කල් පැවැත්මත් සාපේක්‍ෂව වැඩියි. නිතර නිතර දොෂ ඇතිවීමේ ප්‍රවනතාවයත් අඩුයි. මේවා සමග අමතරව operating system හක ගැනීමට වැය වන්නේ අඩු මුදලක් වගේම ඒ සඳහාම වෙනස් කරන ලද operating system ලැබෙනවා. මේනිසා වැඩි ක්‍රියාකාරිත්වයක් බලාපොරොත්තු වන්න පුළුවන්. විදුලිය පිරිමැසීම අතිනුත් මේවා ඉදිරියෙන් පවතිනවා. ඉතා නිවැරදිව නිර්මාණය කර ඇතිනිසා loose connection ඇති විමක් හා එමගින් ඇතිවන දෝෂ දක්නට ලැබෙන්නේම නෑ. ඹිට අමතරව නිෂ්පාදකයා විසින් ලබාදෙන පසු සේවාවන් (after sales customer support & services) ඉතා වැදගත් වෙනවා.
මේවායේ ඇති අවාසි ගැන දැන් බලමු. ප්‍රධානම වන්නේ මිළ අධික වීමයි. තවත් ප්‍රධාන අවාසි කීපයක්ම තිබෙනවා. ඒවානම් අමතර කොටස් වල අධික මිළ හා පහසුවෙන් සපයා ගැනීමේ දුෂ්කරතාව. මේවාට නිෂ්පාදකයා විසින් නිර්දේශ කළ අමතර කොටස පමණක් යෙදිම අනිවාර්යයි. නැතිනම් පද්ධතියම අක්‍රීය වන්නට පවා ඉඩ ඇත. ඒ වගේම අළුත් වැඩියාව සඳහා මනා පුහුණුවක් ඇති කාර්මිකයින් අවශය වෙනවා. මේ සඳහා වැඩි වියදමක් දරන්නට සිදුවෙනවා. upgrading, modification ඉතා අපහසුයි. බොහොවිට කරන්නට කිසිම ඉඩක් නෑ.
මීට අමතරව තවත් බොහෝ සුළු කරුණු දැක්විය හැකි වුවත් මම මේ ලිපිය වඩා දික් කරන්නට කැමති නෑ. තිබෙන වැඩත් සමග ඇතැම් අය දිගු ලිපියක් කියවන්න කැමතිත් නෑනේ. තව වැදගත් දෙයක් දන්න කෙනෙක් හිටියොත් ඒකත් කොමෙන්ටුවක දාලම යන්නකෝ. එහෙනම් අදට මෙතනින් නවතින්නම්.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!!!

ප/ලි
මේලිපිය කලින් පටන් ඇරන් තිබුන එකක්. ඒකයි අර උඩින් සතියක කතාවක් කියල තියෙන්නේ. මම ඒක ආයේ වෙනස් කරන්නේ නැතිව ඉතිරිය ලිව්වේ. ලියන්න ආපු ඔක්කොම ලියවුනාද කියන එක නම් මටත් සැකයි. එත් ලියල තිබෙන කරුණු ගැන ප්‍රශ්ණයක් නෑ. ලියල තිබෙන සියල්ල නිවැරදියි. සමහර විට කරුණු කිපයක් මග හැරෙන්න ඇති. ඒවා පසුව මෙයට එකතු කරන්නම්. නැතිනම් වෙනත් පොස්ට් එකකිත්.