ඉහල වටවලින් පිටත්වූ අප ඉන් පසුව එන්නේ වටවලටයි. වටවල යනු කලක් ලංකාවේ වැඩිම වර්ශාපතනයට ලක්වූ ප්‍රදේශයයි.
පොඩ්ඩි හා
ළිහිණිත් ඒ ගැන කමෙන්ට් වලින් අහලා තිබුනා. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 5023.6 වන වටවල මේ වනවිට වැඩිම වර්ෂාපතන ලැයිස්තූවේ පසුවන්නේ සිව්වැනියට. දැන් ලංකාවේ වැඩිම වර්ශාපතනයට ලක්වන ප්‍රදේශය මාලිබොඩයි. සබරගමුව පළාතට අයත් මාලිබොඩ (වාර්ෂික වර්ශාපතනය මිලි මීටර් 5330) මධ්‍යම කඳුකරයෙන් ගිලිහුනු වැඩිම වැස්සේ අයිතිය ලබා ගනිද්දී වටවල සිව්වන ස්ථානයේ පසුවනවා. අප වටවලට ලඟාවන විට වේලාව උදේ 10.30ට පමණ වෙන්නට ඇති. අහසේ වළාකුළු පිරෙන්න ගත්තේ මේ වෙලාවේ. පරිසරයේ තරමක සීතලක් පැවතුනා.
අප වටවලට පැමිණ ටිකවේලාවකින් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පොඩිමැණිකේ (පොඩ්ඩි) වටවලට ළඟාවුනා.
පොඩ්ඩි රැගෙන ආ මේ දුම්රිය එන්ජිම ඔයාලට මතකද.....
M6 කාන්ඩයට අයත් 786 දරණ මේ එන්ජිම තමා 2005 අප්‍රේල් මස 27 වෙනිදින යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී පුද්ගලයින් 37 දෙනෙකුට පමණ මරු කැඳවමින් බස් රියක් හා ගැටුනේ. M6 කාණ්ඩයට අයත් දුම්රිය එන්ජින් තමා කොහොමත් උඩරට මාර්ගයේ සුපිරි වීරයන් වී ඇත්තේ. උඩරට මැණීකේ, පොඩිමැණිකේ හා රාත්‍රි තැපැල් දුම්රිය යන ප්‍රධාන දුම්රිය තුනටම බලය සපයන්නේ මේ වර්ගයේ එන්ජින්.
වටවලදී දක්නට ලැබුන එක් වැදගත් දෙයක් තමා weighbridge එක. මෙය භාවිතා කරන්නේ භාන්ඩ ප්‍රවාහන ගැල් වල බර කිරීමට. ගැලෙහි බර කලින් දන්නා නිසා මුළු අගයෙන් එය අඩු කිරීමෙන් ඒවායෙන් ගනෙ ආ භාන්ඩ වල බර ලබාගැනීමට පුළුවන්.
මේ එහි පිටත භාන්ඩ ප්‍රවාහන මැදිරි (ගැල්) නවත්වන පාලම් කොටස....
මේ ඇතුලත ඇති තරාදි කොටස
1894 HODCSON AND STAD MANCHESTER ආයතනය නිපදවා ඇති මෙය කෞතුක වටිනාකමක් ඇති එකකි. එහෙත් දැන් නම් බොහෝදුරට විනාශ වී ඇත.
මේ වටවල දුම්රිය ස්ථානයේ ඇති පැරණි ගල්අඟුරු කෝච්චි සඳහා ජලය සැපයූ ජල ටැංකියයි..
වටවලදී හමුවූ අපූරු යාළුවෝ දෙන්නෙක්. (ඡායාරූපය - /ගයන්ත)
වටවලින් පිටත්වූ අපි ගමන ආරම්භ කලේ හැකි ඉක්මනින් ගල්බොඩ දුම්රිය ස්ථානයට එන්න. ඒ සවස 2.50ට එහි ළඟාවන පොඩිමැණිකේ දුම්රියෙන් ආපසු එන්නයි. ටික වේලාවකින් වැසි අඳුර අඩුවී නැවත අව්ව වැටෙන්න ගත්තා.
මේ කොළඹ සිට සැතපුම් 100 දැක්වෙන ස්ථානය.
ඔබට මතකද 1992 ජූනි මස 3 වෙනිදා වටවලදී සිදුවූ නාය යෑම. කොළඹ සිට 99 1/2 සැතපුම් කණුව ආසන්නයේ තමා මෙම නෑය යෑම සිදූවූයේ. අමතක අය අන්තර්ජාලයෙන් සොයාගත් මේ ඡායාරූපය බලන්න.
|
ඡායාරූපය අන්තර් ජාලයෙනි. අයිතිය නොදනී. |
එදින මෙම අනතුරට ලක්වූයේ භාන්ඩ ප්‍රවාහනය කරමින් සිටි M6 කාණ්ඩයේ 790 එන්ජිමයි. මෙම නාය යෑමෙන් පසුව එම ස්ථානයෙන් නැවත රේල් පාර සැකසීමට හැකියාවක් ලැබුනේ නෑ. දැන් රේල් පාර ඇත්තේ ඊට තරමක් එපිටින්.
ඊතලයෙන් පෙනෙන්නේ නාය යෑමට ලක්වූ ස්ථානයයි. රතු කවයෙන් පෙන්වන්නේ පැරණි මාර්ගයේ පැවති මාර්ග සලකුණක්.
මේ රූපයෙන් පෙන්වන්නේ පැරණි මාර්ගය හා දැන් මාර්ගයයි. රතු පාටින් නව මාර්ගත් නිල් පාටින් පැරණි මාර්ගයත් පෙන්වනවා. මාර්ග සලකුණත් ඇතුලත්...
රූපය විශාල කර බලන්න. අපේ කණ්ඩායම සිටින දෙපසින් එහි තිබූ පාලමේ ආධාරක පවා තවම දක්නට ලැබෙනවා.
එම ස්ථානයේ වර්ථමාන තත්වයයි මේ. රතු පැහැ ඊතලයෙන් පෙන්වා ඇත්තේ කන්දේ නාය ගිය කොටසක්. පන්සලට පසුපසින් පැරණි රේල්පාරේ දුරකථන කණු පේනවා.
99 1/2 සැතපුම් කණුව තවමත් පිහිටා ඇත්තේ පැරණි පිහිටුමේමයි.
මෙම ස්ථානය පසු කර ටික දුරක් ගිය විට පීලි පැන පාරෙන් ඉවතට ගොස් භාවිතයෙන් අයින කළ දුම්රිය භාන්ඩ ප්‍රවාහන ගැල් හා කොටස් දක්නට ලැබෙනවා. එම ස්ථානයේදී පහලට එන තවත් හිතවතියක් අපට හමුවුනා. මෙයා තමා ලංකාවේ දුම්රිය මගේ ගමන් කරන පැරණිම මැණිකේ. එනම් බදුල්ල සිට කොළඹ බලා එන උඩරට මැණිකේ දුම්රිය. උඩරටමැණිකේ මෙම ස්ථානයට එන විට වේලාව උදේ 11.40ට පමණ වෙන්න ඇති. පින්තූරයේ පසෙකින් අතහැර දැමූ භාන්ඩප්‍රවාහන ගැලක් දක්නට ලැබෙනවා. මෙම පිංතූරය මා කැමරාවේ සටහන් කරගත්තේ අනෙක් පස ඇති මෙවැනිම ගැලක් මත සිටගෙනයි. එය ඇතිතේ උඩුකුරුව පෙරලී බෑවුමට ඇලවීගෙනයි.
CLASS M6-787 එන්ජිම උඩරට මැණිකේ රැගෙන පහලට ගියපසු අපිත් ඒ පසුපසින්ම වගේ පහලට යන්න පටන් ගත්තා. ඉන්පසුව පාර වැටී ඇතිතේ වනාන්තරයක් බඳු පෙදෙසක් හරහා. මේ නිසා එම ප්‍රදේශය සිසිල්. තැන් තැන් වල කුඩා දියපහර දක්නට ලැබෙනවා. උල්පත් වලින් ඉතාම පිරිසිදු ජලය වෑස්සෙනවා. එම සිසිල් දිය පහරින් මුහුණ අත්පා සෝදාගෙන ඉන් ජලය ටිකක් පානය කළ පසු ගමනේ වෙහෙස නිවියන්නේ නොදැනීමයි. එම වනගත පෙදෙස පසුකළාම තණකොළ වැවුන දෙපස ෆයිනස් වැනි ශාක සහිත ප්‍රදේශයකට ප්‍රවේශ වෙනවා. මෙම පෙදෙසේදී දැඩි හිරුරැස් අපිට තරමක පීඩාකාරී වුවත් අප දිගටම පහලට ආවා. කොළඹ සිට නානුඔය බලා දිවෙන සීඝ්‍රගාමී නගරාන්තර දුම්රිය (දැන් එය බදුල්ල බලා දිගු කර ඇත) අපට හමුවූයේ දහවල් 12.51ට පමණ. අප ඡායාරූප ගන්නවා දුටු එහි රියදුරන් ප්‍රධාන පහන් දල්වා අපට හොඳ දරුශනයක් ලබා දුන්නා.
මෙය අප පසු කර ගියපසු නැවත අපට දුම්රියක් හමුවන්නේ සවස 1.41ට පමණ. ඒ දෙකිඳ ආසන්නයේදී. එය සාමාන්‍ය කාලසටහනේ නැති විශේෂ දුම්රියක් විය යුතුයි. අප දෙකිඳ දුම්රිය නැවතුමට ලඟවන විට වේලාව සවස 1.45 පමණ වන්නට ඇති. කුඩා දුම්රිය නැවතුමක් වන මෙහි කිසිවෙකු සේවය නොකරන අතර නවත්වන්නේ ප්‍රාදේශිය වශයෙන් ධාවනය වන කෙටි දුම්රීය කීපයක් පමණයි. අවට වැසියන්ගේ පහසුව සඳහායි මෙය පිහිටුවා ඇත්තේ.
දෙකිඳ පසුකර අප ගල්බඩ සීමාවට ලඟාවුනා. කොළඹ සිට සැතපුම් 95 1/2 දී අපට හමුවුනේ කොළඹ සිට බදුල්ල බලා යන උඩරට මැණකේ දුම්රියයි. මා මෙම ගමන පුරා ගත් පින්තූර අතරින් ලස්සනම එකක් වන්නේ මේ පින්තූරයයි. M6-788 එන්ජිම Intercity Express වර්ණයෙන් වර්ණ ගන්වා ඇති නිසාම හරිම ලස්සනට පෙනුනා.
මෙම ස්ථානය පසුකර සැතපුම් 1/4 ක් පමණ ගිය පසු අප ගල්බඩට ලඟවුනා. ගල්බඩට ලඟාවන විට වේලව සවස 2.30ට පමණ වෙන්නට ඇත. ඒ වනවිට අප දැඩි වෙහෙසට පත්වී සිටියේ. අප පැමිණ විනාඩි 20කින් පමණ අප ආපසු එන්නට බලාපොරොත්තු වූ පොඩිමැණිකේ දුම්රිය ගල්බඩට ලඟාවුනා. සමහර සිදුවිම් වන්නේ දෛවොපගත ලෙසින්. මේ එවැන්නත්. අපට පහලට එන්න පොඩ්ඩිට බලය ලබා දුන්නේ අප රැගෙන පෙරදින රැයේ තැපැල් දුම්රිය ඇදගෙන ගිය M6 -792 එන්ජිමමයි.
වඩේ කමින් තව බිස්කට් පාන් ආදිය කමින් ආ අපේ පිරිස වැඩි වෙලාවක් යන්න කලින් නින්දට වැටුනේ වෙහෙස නිසාම වෙන්ට ඇති.
තවත් රසබර රේල් චාරිකාවක මතක සිතේ රඳවාගෙන මා පේරාදෙණියෙන් බැස ගෙදර ආවා. මෙවැනි චාරිකාවකින් ලැබෙන අත්දෑකීම්, විනෝදය වගේම අපේ රටේ දේශගුණ තත්ව මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ආදී බෝහෝ දේ දැනගන්න පුළුවන්. අවසාන වශයෙන් මට කියන්න ඇත්තේ මෙවන් චාරිකා යන එක හොඳයි. හැබැයි මෙවන් ගමනක් යන විට තමන්ගේ වගේම තමන් සමග යන සගයින්ගේ ආරක‍්ෂාව ගැනත් සැලකිලිමත් වන්න. එමෙන්ම එමෙන්ම මෙම රේල්පාරවල් දුම්රිය ඇත්තේ රටේ ජනතාව වෙනුවෙන්. ඒනිසා ඒවා ආරක‍්ෂා කරන්නත් සැලකිලිමත් වන්න. එමෙන්ම සංචාරය කරන පරිසරයේ පැවැත්ම ගැනත් සැලකිලිමත් වන්න. ඔබේ අපද්‍රව්‍ය නිසා පරිසරය වැනසෙන්න දෙන්න එපා. දුම්රිය මාර්ගයේ ගමන්කිරීම තහනම්. එහෙම නීතියක් ඇත්තේ යන අයගේ ආරක්ෂාව මෙන්ම එම දෙපල වල ආරක්ෂාව වෙනුවෙන්. ඒනිසා එම ආයතනයේ අයට අපහසුතාවයක් ඇති නොවන්නත් මෙහෙම ගමනක් යනවානම් වගබලාගන්න එක අත්‍යාවශ්‍ය කරුණක්.
මෙන්න ගිය අපේ කණ්ඩායම. (පින්තූරය ගයන්ත)
එහෙමනම් තවත් මෙවන් චාරිකාවක තොරතුරු දිනෙක රැගෙන එන්නම්. ඒ අතරතුර පැරණි පුරුදු ආකාරයේ පෝස්ට් ලියන්නත් ඕනි. ගිහින් එන්නම්...
සුභ දවසක්....!!!!