මාසෙන් දවස් 9 ක්ම ගෙවී අවසන්....
ඒත් ආව සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා සුබ පතනවා ඔන්න. සෑහෙන කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. ආවාමයි දැක්කේ මාස දෙකකින් පෝස්ට් එකක් දාලා නෑ කියා. සාමාන්‍යෙයන් නම් මට එහෙම ලේසියෙන් පෝස්ට් නොදැමෙන හේතුවක් තිබුනේ නෑ. මේ ලෙඩේ පටන් ගත්තේ 2011 ජූලි මාසය අවසානයත් සමගම. කලබල වෙන්න කාරියක් නෑ. ඒ මම ජූලි මාසයේ
බස් රේඩියෝව එක්ක ස්ථිර සම්බන්ධයක් හදා ගත්තනේ. ඊට කලිනුත් ඒකේ හිටියා. ඔය පුළුවන් වෙලාවට ඇවිත් යනවා වගේ තමා. පසුව ඉතින් ඒකත් එක්ක කාර්යබහුල කම (ඕක මතයි ඉතින් ගැලවෙන්න තියන ලේසිම උත්තරේ) එක්ක ලියන එකත් අඩු උනා. ගුගල් මාමා බස් යහනවා කීවාම බස් වහන්න කලින් ඇති වෙන් බස් පැද්දා. කොහොම හරි අන්තිමට දන්නේම නැතිව බ්ලොග් එක ලියලාම නෑ මාස දෙකක්ම.
ආයෙම පටන් ගන්නේ කොතනින්ද කියා කල්පනා කරද්දී තමා මතක් උනේ අපි ගිය වර්ශ අවසාන රේල්වේ හයික් එක. අඟුරුනොකා කොළඹ දුවන යකඩ යකා ලියන කෝච්චි මල්ලි තමා ආරාධනා කලේ යමු අයියේ මේක කියා. කලින් වතාවක් එන්න කීවා. ඒත් එදින අත්‍යාවශ්‍ය රාජකාරියක් සඳහා සේවා ස්ථාකයට වාර්ථා කරන්න උන නිසා යන්න බැරිඋනා. ඔන්න යන්තම් මේ පාර නම් දෙසැම්බර් 31 වෙනිදා යන්න බාධාවක් තිබුනේ නෑ. ගමන ගියේ පාන්දර 5.55ට කොටුවෙන් පිටත්ව බදුල්ල බලා යන පොඩිමැණිකේ දුම්රියෙන්. කොටුව කීවාට මායි බනියයි නම් සෙට් උනේ පේරාදෙණිය හංදියෙන්....
කට්ටිය කෝච්චියේ ගියෙත් හරිම සතුටින්. පේනවානේ සංතෝසේ තරම....
පොඩිමැණිකේ ඇදන් ගියේ M6 එන්ජිමක්. බලන්නකෝ මේ තරම් සෙනගත් පටවක් කන්ද ඇදන් යන අපූරුව...
අවසානයේ අපි ඉඟුරුඔය දුම්රියපොලෙන් බැසගත්තා. මේ එම දුම්රිය පොලයි...
මුහුදු මට්ටමේ සිට මීටර් 676ක් උසින් පිහිටි ඉඟුරුඔය නාවලපිටියට පසුව හමුවන දුම්රියපොලයි. මෙතැන් සට තමා අපේ පයින් ගමන ඇරඹෙන්නේ. කට්ටයම රේල්පාර දිගේ ගල්බොඩ දෙසට යන්න පිටත් වන්නේ මෙම ස්ථානයෙන්.
සිල්පර මතින් මේ පීලි දෙක බදුල්ලටම යන බව නම් දන්නවා. පීලි දෙකේ පිළිසරණ අහිමි වූ කල ඈ කෙසේ මේ ගමන යන්නද.....
හොඳින් හිරු රැස් පතිතවී ඇති රේල් පාර දිගේ ඉදිරියට ඇදෙන අපේ ගමන හරිම හෙමින් ගියේ. හැම දෙනාම වගේ කැමරා අටවන් නේ යන්නේ. ඒ නිසාම ෆොටෝ ගන්න ලොකු වෙලාවක් යනවා. මේ මාර්ගයේ දුම්රිය නැවතුම් පොලවල් (කෝච්චි හෝල්ට්- මේවා ස්ටේශන් නොවන අතර සිග්‍රගාමී දුම්රිය මේවායේ නවත්වන්නේ නෑ. නාවලපිටිය හැටන් වැනි කෙටිදුර දුම්රිය නවත්වන්න ඇති මේවා තේ වතු වල නමින්ම වගේ තමා ඇත්තේ. මේ අවට වතු සේවකයින්ට තම ගමන් බිමන් සඳහා වැඩියෙන්ම යොදාගන්නේ දුම්රියයි) දෙකක් හමුවෙනවා. ඒවා අතරින් පළමුව හමු උනේ හඟරන් ඔය. බලන්න අපේ මිනිස්සු එහි නාම පුවරුව වනසා ඇති ආකාරය.
දෙවැන්න පෙන්රෝස්..
පෙන්රෝස් වලදී අපිට අමුත්තෙක් හමු උනා. කවුද බලන්න මේ අමුත්තා. ඔයාලා අඳුනනවාද..
ඔව් අඳුනන්න බැරිඋන අයට කියන්නම් මෙයා තමා උඩරට මැණිකේ. මේ ලයින් එකේ මැණිකෙලා දෙන්නයි යන්නේ. එක්කෙනෙක් උඩරට මැණිකේ අනික් කෙනා පොඩිමැණිකේ (පොඩ්ඩි). මෙයා බදුල්ලේ සිට පල්ලම් බහින උඩරට මැණිකේ. මේ වනවිට අනික් උඩරට මැණීකේ කන්ද එනවා ඇති හති දාගෙන. බල සම්පන්න
M6 කාණ්ඩයේ Thyssen Hanscel වර්ගයේ 783 දරණ එන්ජිම උඩරට මාර්ගයේ අති සාර්ථකම එන්ජින් කාණ්ඩයේ එකක්. මෙයා ආවේ තනියම නෙවෙයි. අකර්මන්‍ය වූ W3 කාණ්ඩයේ සගයෙක්ද ඇදගෙනමයි.
මෙන්න මං ආස කරන එන්ජින් අතරින් එකක්.. ඒ M6 783...
මේ අපේ ගමනේ එක් ඉලක්කයක්. 12 වෙනි බිංගෙය. මාර්ගයේ ඈතින් බිංගෙය පේනවා ඇති. මෙය දිගින් අඩි 434ක්. ඇතුලත අඳුරු නිසාම විදුලි ආලෝකයක් නැතිව යන්න අපහසුයි. එමෙන්ම සීතල හා තෙත් බව නිසා සිල්පර ලිස්සන සුළුයි.
මෙම උමගින් පිටවූ සැනින් හමුවන්නේ පාලමක් සමගින් 13 වන උමගයි. එය දිගින් අඩි 323ක්. මෙය පෙර උමග තරම්ම අඳුරු නෑ. ආලෝකය හොඳින් ඇති දිනෙක කිසිදු එලියක් නොමැතිව ඒ තුලින් යන්න පුළුවන්. 12 වන බිංගෙයින් පිටවන අපි සැරසෙන්නේ අපේ සංචාරයේ ප්‍රධාන ඉලක්කය ගන්නයි. ඒ බණ්ඩාරවෙල දක්වා ධාවනය වන ඉන්ටර්සිටියේ පින්තූර ගන්නයි. මේ සඳහා අපි ලොකු කාලයක් 13වන උමං කට අසල රැඳී ඉන්න උනා. පිංතූරේ බැලුනාම කට්ටියට තේරෙන්න ඇති මං කොච්චර උඩක ඉන්න ඇතිද කියා. වැඩිය නෑ පැය 1 1/2ක් පමණ මෙම ස්ථානයේ ඉන්න උනා.
කොහොම උනත් පැයක් පමණ සිටි අපේ බලාපොරොත්තු බිඳ දමමින් උමං කටින් එලියට ආවේ මෙන්න මෙයා....
උත්සාහ වන්තයා ජයගන්නවාලුනේ. අවසානයේ අපේ ඉලක්කය මෙන්න එනවා උමං කටින්. බණ්ඩාරවෙල ඉන්ටර්සිටිය රැගෙන M6 786 එන්ජිම ආඩම්බරයෙන් ආවේ මෙහෙමයි.
මෙයා 13වන උමග තුල නොපෙනී ගියේ මේ අයුරින්...
දෙන්න ගත්තාම දෙවියෝ ඔලුවේ ගහලා දෙනවාලු. උමං දොර අසලට අපි එකතු උනේ සමූහ පින්තූරයක් ගන්නයි. ඒත් ඒ සමග ආ නලා හඬ කීවේ එයට ඉඩක් නෑ තවත් අය එනවා කියයි. අපි වහාම කැමරා අටවන් සැරසුනේ මේ එන අමුත්තා පිළි ගන්නයි. කණට පුරුදු නළා හඬක් හා එන්ජිමේ ශබ්දය අපි කීප දෙනෙක්ම හොඳින් අඳුනනවා කෝච්චිය උමගෙන් එලියට එන්නත් කලින්ම. පින්තූරේ බලලාම මෙයාව අඳුනගමු.
උඩරට මැණිකේ රැගෙන මේ ඇදෙන්නේ දැනට ලංකාවේ ධාවනය වන පැරණිම එමෙන්ම අති සාර්ථකම ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජින් වර්ගය වන Class M2c වලට අයත්
EMD G12 වර්ගයේ 626 දරණ එන්ජිමයි. මෙහි ඇති වැදගත්කම වන්නේ දැනට උඩරට මාර්ගයේ ධාවනය වන Class M2 එකම එන්ජිම මෙය වීමයි. මේවා පිළිබඳ වැඩි විස්තර
ගෙහාන් මල්ලි (කෝච්චියා) ගේ බ්ලොග් එකෙන් බලන්න. වසර 50ක් පැරණි මෙම ඒන්ජින් මේ අයුරින් ධාවනය වීම අපේ දුම්රිය ඉතිහාසයේ වැදගත් අවස්ථාවක්. මගේ ප්‍රියතම එන්ජින් වර්ගය වන මේ වර්ගයේ එකක් මා ඡායාරූප ගත කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
උමං කටේ මුර කරුවා දැක තිබෙනවාද. මේ ඉන්නේ එයා තමා.....
මෙයින් පිටවන අපි ඉක්මනින් ගල්බොඩට ලඟා වන්නේ 2.50ට එහි ළඟාවන පොඩ්ඩි එක්ක ආපසු පල්ලම් බහින්නයි. අතර මග පින්තූරයක් දෙකක් බලාගෙනම යමු නේද.
ආ මග දෙස නැවත හැරී බලමුද.....
අතර මගදී ගමන හැර ගිය සගයෙක් දුම්රිය මග දෙස දුකින් බලා හිඳිනවා.......
De-railing ගැන අසා තිබෙනවාද. ඒ කියන්නේ බ්රේක් නැති කෝච්චියක් නවත්වන්න බැරි නම් කරන්නේ පීලි පන්නලා නවත්වන එකයි. ඒ සඳහා වෙනම තැන් තියනවා. මේ එවැනි තැනක්...
අන්තිමේ ඔන්න ගල්බොඩටත් ආවා.
මේ අපි ආපසු ආවා කෝච්චිය නැවත පල්ලම් බහිමින්....
Class M6 එන්ජිම පොඩ්ඩි සමග ගල්බොඩට ළඟාවෙමින්.
මෙන්න මේ තරම් බරක් ඇදගෙන කොළඹට පොඩිමැණිකේ ඇදන් යන Class M6 794 එන්ජිම පේරාදෙණියට නැවත ළඟාවූ අවස්ථාව......
මේ අපේ කාණ්ඩය.
ගිහින් එන්න කලින් කියන්න පණිවිඩයක් තියනවා. අපි, පොඩ්ඩි, නීතා සමග මා එක්ව ලියන අලුත්ම බ්ලොග් එක
සැඳෑ අඳුර අද සැඳෑ අඳුර වැටෙනා යාමයේ සයිබරයේ දිගහැරෙන බව දන්වන්නේ සතුටින්. එහෙනම් එන්න සැඳෑ අඳුරේ සැරි සරන්න අපිත් එක්කම.
එහෙනම් ගිහින් එන්නම්...
සැමට සුභ අලුත් අවුරුද්දක්....!!!!