Thursday, January 13, 2011

ලංකාවේ සර්පයෝ..තෙල් කරවලා (Common Krait)

ඉලැපිඩේ කුලයට අයත් සර්පයින් සියලු දෙනාම එක පෙලට ගේන්න හිතුවා. ඒනිසා අද කියන්න යන්නේ ලංකාවේ වසන උග්‍රම විෂ සහිත සර්පයා ගැනයි. රූපය බලාගෙනම යමු පළමුවෙන්ම.

ඔව් මේ ඉන්නේ තෙල් කරවලා (Common Krait) තමා. මෙයාට මගමරුවා නැතිනම් දුනු කරවලා ලෙසත් සමහර ප්‍රදේශ වල හඳුන්වනවා. Elapidae කුලයට අයත් තෙල් කරවලා Bungarus caeruleus යන විද්‍යාත්මක නාමයෙන්  හඳුන්වනවා. ආසියානු කලාපයේ උග්‍ර විෂ බිග් ෆෝ අතරට මෙම සර්පයාද අයත්වේ.

වාස භූමි හා හැසිරීම.
භෞමිකව ජීවත් වන සර්පයෙකි. කුඩා ගුල්, දිරායන රොඩු ගොඩවල්, බුරුල් පසේ මෙන්ම වියලි තණකොළ අතරද දක්නට ලැබේ. ජලාශ්‍රිතව සිටීමටද කැමැත්තක් දක්වයි. නිශාවර සර්පයෙකු නිසා දිවා කාලයේ දැකීම ඉතා අපහසුය. බොහෝවිට අප රටේ පහත රට කලාපයේ දක්නට ඇත.

හඳුනා ගැනීම
පෘෂ්ටීයව තද කළු පැහැතිය. උදරය සුදු පැහැතිය. කළු පැහැති ශරීරයේ සුදු පැහැ බෙදුනු මුදු (ද්විත්ව මුදු) හැඩති සලකුනු දක්නට ඇත. මේවා වලිගයේ තනි මුදු ලෙස දක්නට ඇත. (පහත රූපය බලන්න) මීටරයක් (අඩි 3.3) පමණ දිගට වැඩේ. අඩි 4-5ක් පමණ දිගට වාර්ථා වන අවස්ථා ඇත. ශරීරය තෙල් දමා පිරිමැද ඇති ආකාරයට දිලිසේ. 

මුදු බෙදී ඇති ආකාරය බලන්න පින්තූරය මත ක්ලික් කර විශාල කරන්න

බෝවීම.
මෙම සර්පයා බෝවන්නේ බිත්තර මගිනි. ගැහැනු සතා වරකට බිත්තර 5ක් පමණ දමයි.

ආහාර.
රාත්‍රී කාලයේ ආහාර සොයායයි. ආහාර ලෙස බහුලව ගන්නේ අනෙක් විෂ රහිත සර්පයින්ය. මීට අමතරව කටුස්සන්, ගෙම්බන් හා මැඩියන්, මීයන් ආහාරයට ගනී. කුඩා කාලයේ කෘමීන් හා අන්ධ පණුවන්ද ආහාරයට ගන්නා බව වාර්ථාවේ.

දෂ්ඨ කිරීම් හා විෂ
දැනට ලංකාවෙන් වාර්ථාවන උග්‍රම විෂ සහිත සර්පයා වශයෙන් සැලකේ. තෙල් කරවලාගේ විෂ මිලිග්‍රෑම් එකක් පමණ හොඳින් වැඩුනු මිනිසෙකු මරණයට පත් කරන්න ප්‍රමාණවත්. දෂ්ඨ කිරීම් බොහෝවිට රාත්‍රී කාලයේ සිදුවේ. නමුත් දෂ්ඨ කිරීම් සුලභ නොවේ. ස්නායු පද්ධතියට විෂ බලපාන අතර රෝග ලක්‍ෂණ බොහෝ විට නයාගේ විෂ නිසා ඇතිවන ලක්‍ෂණ හා සමාන වේ.

මෙම සර්පයා සම්බන්ධයෙන් මිත්‍යා මත ගැන සඳහන් නොවේ. මෙම සර්පයාද පරිසර පද්දතියේ පැවැත්මට වැදගත්  වන අතර පරිසර දූෂණය, කැලෑ හෙළි කිරීම නිසා තර්ජනයට ලක්වූ සතෙකි.

මීළඟ පෝස්ට් එකෙන් මුදු කරවලා ගැන විස්තර අරන් එන්නම්.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්.!!!!!

Tuesday, January 11, 2011

සිහිනයෙන් දුටු අවුරුද්ද

දැන් ටික දවසකට කලින් අපේ ටික ටික හිනාවෙන අභිත හෙවත් අභියා මාර හීනයක් දැකලනේ. කට්ටිය දැන් දන්නවත් ඇති මොකක්ද මේ හීනෙ කියල. දන්නෙම නැතිනම් හීනේ බලන්න මේ පාරෙන් යන්න. 
හිනාව නවත්ත ගන්න බෑනේ.
ටිකක් ඉන්න මම තාම හිනා වෙනවා.
මොනව උනත් හොඳ අදහසක්. අපේ බ්ලොග් කරුවන් මේ වගේ දේකට එකතු කරගන්න එක. අනික අවුරුදු උත්සවයක්නේ. අවුරුදු උත්සව නම් මොනවද. ආයතනයක කට්ටිය සෙට් වෙලා තියයි. නැති නම් ගමේ කට්ටිය සෙට් වෙයි. අන්තිමට මුල්ලකට සෙට් වෙලා බාල්දියකුත් පෙරලන් කට්ටිය විසිරෙයි. සමහරු අවුරුදු උත්සවේ ඉවර කරන්නේ පොලෝසියෙන් කියනවනේ. අනේ මන්දා මේ වයේ ඇත්ත නැත්ත.
ඒත් මේක වෙනස් දෙයක්. අර කලින් කීව ඒවගේ වගේ නොවේ. වැඩිය නොදන්න. සමහර විට කිසිදා නොදුටු සෙට් එකක් එකතු කරන්නයි මේ අදහස. මේකටම ගුගල් බස් එකකුත් දාල අපේ වැප්. පුදුම උනන්දුවනේ. දවසින් සියල්ල සූදානම්. කොච්චර කටිටිය උනන්දුද කියනවනම් බස් එක දවසින් චකබ්ලාස්. දැන් ඔය දෙවෙනි එකකුත් යන්නේ. දැනටම සංවිධායක කමිටුව පත් වෙලත් ඉවරයි. කිසිම දෙයක් බලා පොරොත්තු නොවී හොඳ සංවිධායකයින් ටිකක් එකතු වෙන්නේ.
කිසි කෙනෙක් කලබල වෙන්න එපා මේක වෙනස්ම අවුරුද්දක්. අර කලින් කීව ඒවා වගේ නම්නෑ. එන අයගේ සතුට වෙනුවෙන් තමා මේක කරන්නේ. දැනටම බ්ලොග් කරුවන් කීප දෙනෙක් අනුග්‍රහය දක්වනවා. බස් එකෙනුත් අනුග්‍රහය දක්වනවා. අවුලක් නැතිව ඔබ කවුරුත් වෙනුවෙන් අපි මේක කරමු.
දිනය 2011 අප්‍රේල් 03 දා උදේ 9.30 සිට සවස 3.30 වෙනකල්
ස්ථානය: තිඹිරිගස්යාය හෙන්රි පේදිරිස් ක්‍රීඩංගනය.
එහෙනම් ඔන්න කලින්ම කිව්වා ඒ දවස වෙන වැඩකට වෙන් කරගන්න එපා.
එන්න එදාට අපි සැම එකතු වෙමු. බ්ලොග් ගැන, තාක්‍ෂණය ගැන නොව අප ගැන කතා කරමු. අපි එකිනෙකා හඳුනා ගනිමු. පොඩි සිංදුවක් කියල අවුරුදු ක්‍රීඩා කරල, ඕනනම් නටල විනෝද වෙමු..
ගිහින් එන්නම්..
සුභ දවසක් !!!


ප/ලි
දිනය වෙනස් කළා. දිනය අප්‍රේල් 03 වෙනිදා. වේලාව උදේ 9.30 සිට සවස 3.00 දක්වා. 

Monday, January 10, 2011

ලංකාවේ සර්පයෝ..නයා (Cobra)

ලංකාවේ සර්පයින් අතරින් වැඩිම දෙනෙකු දන්නා කියන සර්පයෙකුගෙන් විස්තර පටන් ගන්න හිතුවා. එයා තමා මේ පහලින් ඉන්නේ.
ඡායාරූපය http://www.naturephoto-cz.eu අඩවියෙන්
ඔව් මෙයා තමා නයා එහෙම නැත්නම් නාගයා. Cobra යන ඉංග්‍රීසි නාමයෙන් හැඳින්වෙන මෙයා ඇත්තටම Indian Cobra (ඉන්දියානු නයා) ලෙස හැදීන් වෙන්නේ. විද්‍යාත්මකව Naja naja ලෙස  හැඳින්වෙනවා. ආසියානු කලාපයේ උග්‍රවිෂ හතරදෙනා හෙවත් බිග් ෆෝ අතරට නාගයා ඇතුලත්. නාගයා අයත් වන්නේ ඉලාපිඩේ (Elapidae) කුලයට.
වාස භූමිය හා හැසිරීම.
භෞමිකව ජීවත් වන සර්පයෙකි. ඉතා උස් කඳුකරයේ හැර රට පුරාම වගේ දක්නට ඇත. දිවා රාත්‍රී කාල දෙකේම ක්‍රියාශීලී සතෙකි. ක්‍ෂණිකව කොපයට පත්වේ. විශේෂයෙන් තරුණ වයසේ නයෙකු පහසුවෙන් කෝපයට පත්වේ. එවිට පෙනය විහිදුවයි. ඊට අමතරව ෂූ යන ශබ්දයක්  නිකුත් කරයි. බොහෝවිට දෂ්ඨ කිරීම් සිදුවන්නේ ප්‍රකෝප වූ අවස්ථාවන් වලදීය. දෂ්ඨ කිරීම පොළවේ සිට අඩියක් පමණ උසකින් බොහෝවිට සිදුවේ
පෙනය විහිදුවා ගත් විට නයෙකු පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. 
හඳුනා ගැනීම
ශරීර වර්ණය දුඹුරු පැහැයේ සිට කළු පැහැය දක්වා වෙනස් වේ. ශරීරයේ තැනින් තැන සුදු පැහැ තිත් දක්නට ලැබේ. දිගටි ශරීරයක් ඇති අතර හොඳින් වැඩුනු නයෙකු අඩි 6ක් පමණ දික්වේ. ඉතා කලාතුරකින් අඩි 8ක් පමණ වර්ධනය වූ අය වාර්ථා වී ඇත. හඳුනා ගැනීමට පහසුම පෙනය මගිනි. පෙනය විහිදුවා ගත් විට එහි ඉදිරි පසින් ඇති ලප දෙකක් වැනි සලකුණත්, පසු පසින් ඇති “ප“ අකුරේ සලකුණත් හඳුනා ගැනීම පහසු කරයි. (රූපය)
නාගයා හඳුනා ගැනීම
බෝවීම
නයාගේ බෝවීම සිදුවන්නේ බිත්තර මගිනි. සැපින්න වරකට බිත්තර 5-25 ත් අතර ප්‍රමාණයක් දමයි. ඒවායෙන් දින 48-60 අතර කාලයකදී අඟල් 8ක් පමණ දිගැති පැටවුන් පිටතට පැමිණේ.

ආහාර
නයා ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ ගෙම්බන් හා මැඩියන්, මීයන්, කුඩා පක්‍ෂින් හා වෙනත් සර්පයින්ය.

දෂ්ඨ කිරීම හා විෂ
නාගයා බොහොවිට දෂ්ඨ කරන්නේ ප්‍රකෝප වූ අවස්ථාවන් වලදීය. දෂ්ඨ කිරීම පොළවෙන් අඩියක් පමණ උසකින් සිදුවේ. උග්‍ර විෂ සහිතය. ප්‍රතිකාර නොකළහොත් පැය 5කින් පමණ වැඩුණු මිනිසෙකු මරණයට පත්කිරීමට තරම් විෂ ප්‍රභලය. නයාගේ විෂ ප්‍රධාන වශයෙන් බල පාන්නේ ස්නායු පද්ධතියටය. අප රටේ සර්ප විෂ නිසා සිදුවන මරණ වලින් නාග විෂ නිසා වන මරණ සැලකිය යුතු ප්‍රමාණයක් පවතී.
නාග විෂ නිසා ඇතිවන රෝග ලක්‍ෂණ කීපයක්
  • ඇස් කුඩාවීම
  • ක්ලාන්ත ස්වභාවයක් ඇතිවීම
  • අධික වේදනාව හා තුවාලය අවට ඇතිවන දැවිල්ල
  • හුස්ම ගැනීමේ අපහසු තාවය
  • යමක් ගිලීමේ හා කථා කිරීමේ අපහසු තාවය
මිත්‍යා මත.
නයා පළි ගන්නා සතෙකු ලෙස සමාජයේ මතයක් පවතී. මෙහි කිසිම සත්‍යා තාවයක් නොමැත. සර්පයෙකුට එසේ මතක තබාගෙන පළි ගන්න තරම් බුද්ධියක් නොමැත. 
මීට අමතරව ඇතැම් පිරිස් අතර නයා කාලයක් සැව ඉවත් කිරීමෙන් පසු තටු සහිත කොබෝ නයෙකු වන බවට  පිළිගැනීමක් පවතී. එයද මිත්‍යා විශ්වාසයකි.

නයා ගැන අප සමාජයේ පවතින පූජනීය පිලිගැනීම නිසා වෙනත් රටවලට සාපේක්‍ෂව අප රටේ නයි මරණ අවස්ථා අඩුය. නමුත් මෙම සතාගේ පැවැත්මට පරිසර දූෂණය ලඳු කැලෑ එළිවීම නිසා තර්ජනයක් පවතී. මොවුන් අප පරිසරයේ පැවැත්මට වැදගත් මෙහෙයක් ඉටු කරනවා. විශේෂයෙන් ගොවීන්ට මිතුරෙකු ලෙස සලකන්න පුළුවන්. ගොවිතැනට හානි කරන මීයන් විනාශ කරන නිසා.

දෂ්ඨ කිරීමකදී කළ යුතු දෑ, සර්ප විෂ ගැන මේ ලිපි මාලාව අවසානයේ වෙනම පෝස්ට් එකක් පළ කරන නිසා මෙහි වෙනම සඳහන් නොකරන්න තීරණය කළා.
එහෙනම් තවත් සර්පයෙකු ගැන පෝස්ට් එකකින් හමුවෙමු.
ගිහින් එන්නම්.
සුභ දවසක්.!!!

Saturday, January 8, 2011

ශ්‍රි ලංකාවේ සර්පයන් ගැන හැඳින්වීම...

එහෙනම් කලින් පොස්ට් එකේ පොරොන්දු වූ ආකාරයෙන්ම අද සිට මේ අප අවට පරිසරයේ ඉන්න සර්පයන් ගැන කතා කරන්නයි යන්නේ. මම පාසලේදී සත්ත්ව විද්‍යාව ඉගෙන ඇතත් ඉන්පසු ඒ පිළිබඳව ඉගෙන ගත්තේ නෑ. ඒ නිසාම මම සර්පයන් පිළිබඳ විශේෂඥයෙක් නම් නොවේ. මගේ ලිපිවල ඇතුලත් කරන්න බලා පොරොත්තු වන්නේ සර්පයන් ගැන සාමාන්‍ය තොරතුරු පමණක් බවත් කලින්ම කියන්නම්.
සර්පයින් යනු පාද නොමැති, දිගු ශරීරයකින් යුත්, කොරපොතු සහිත සමකින් වැසුන උරගයින් පිරිසකි. ලොව පුරා ගණ 450කට වැඩි සංඛ්‍යාවකට අයත් සර්ප විශේෂ 2900ක් පමණ වාසය කරයි.
සර්පයින්ගේ වර්ගීකරණය දැක්වෙන්නේ මේ ආකාරටයි.
රාජධානිය (Kingdom)        සත්ත්ව (Animalia)
වංශය (Phylum)                 කොඩාටා (Chordata)
උප වංශය (Sub Phylum)    වර්ටිබ්‍රේටා (Vertebrata)
වර්ගය (Class)                   රෙප්ටීලියා (Reptilia)
ගෝත්‍රය (Order)                ස්කුවමාටා (Squamata)
උප ගෝත්‍රය (Sub Order)   සර්පන්ටස් (Serpentes)
මෙයින් අප රටේ සත්ත්ව කුල (Family) 8කට අයත් සර්ප විශේෂ 96ක් පමණ හමුවන අතර ඉන් 35ක් පමණ විශ සහිත සර්පයන් ගණයට අයත් වේ. මේ අතරින් සර්ප විශේෂ 20 උග්‍ර විෂ සහිත සර්පයන් වන අතර එයින් 13ක්ම මුහුදේ වාසය කරන කරදිය වාසී සර්පයින් වේ. ගොඩබිම වසන වර්ග ඇත්තේ 7ක් පමණි. මෙම උග්‍ර විෂ සහිත සර්පයින් 7 අතරට ආසියාවේ උග්‍රම විෂ සහිත වර්ග 4ක්ම අයත් වේ. The big four ලෙස හඳුන්වන නාගයා (Cobra),  වැලි පොළඟා (Saw scaled viper), තෙල් කරවලා (Common Krait) හා තිත් පොළඟා (Russell's viper)  යන සිව් දෙනා මේ කොටසට ඇතුලත්.

මීට අමතරව මුදු කරවලා (Ceylon Krait), දෙපත් කළුවා (Ceylon Coral Snake) හා කුණකටුවා හෙවත් පොළොන්තෙළිස්සා (Hump-nose viper) උග්‍ර විෂ සහිත සර්පයන් යටතට ගැනේ.
මෙයට අමතරව මද විෂ සහිත සර්ප විශේෂ 3ක් හඳුනාගෙන ඇත.
පළා පොළඟා (), මූකලන් තෙලිස්සා () හා කුඩා මූකලන් තෙලිස්සා () මේ යටතට හඳුනාගෙන ඇත.
මීට අමතරව සුළු විෂ සහිත සර්ප විශේෂ 12ක් ලංකාවේ හඳුනාගෙන ඇත.
ඉතිරි සියලුම සර්පයින් අයත් වන්නේ විෂ රහිත සර්පයින් යටතටයි. ඒ අනුව අපේ රටේ ගොඩබිම මාරාන්තික සර්පයින් සිටින්නේ විශේෂ 7ක් පමණි. 
මෙම සියලු දෙනාම කුල 8කට අයත් බව ඉහත සඳහන් කළානේ. ඒ කුල පහත දැක්වෙනවා.
  1. ටිප්ලොපිඩේ කුලය (Typhlopidae
  2. යුරෝපෙලිටිඩේ කුලය (Uropeltidae)
  3. බොයිඩේ කුලය (Boidae)
  4. ඇක්ක්‍රෝකෝඩිඩේ කුලය (Acrochordidae)
  5. කොලුබ්‍රිඩේ කුලය (Colubridae)
  6. ඉලැපිඩේ කුලය (Elapidae)
  7. හයිඩ්‍රොපිඩේ කුලය (Hydrophiidae)
  8. වයිපරිඩේ කුලය (Viperidae)

ටිප්ලොපිඩේ කුලය
මොවුන් අන්ධය. පාංශු වාසීන්ය. ඝන දෙකකට අයත් විශේෂ 10ක් පමණ වාසය කරයි. 
    යුරෝපෙලිටිඩේ කුලය
    මොවුන්ද පාංශු වාසීන්ය(පොළව යට වාසය කරයි). ඝන 5කට අයත් විශේෂ 15ක් පමණ ලංකාවේ වාසය කරයි. එක් විශේෂයක් ලංකාවට ආවේණිකය.

    බොයිඩේ කුලය
    භෞමිකව වාසය කරයි. ඝන දෙකකට අතේ විශේෂ දෙකක් පමණක් ඇත. පිඹුරන් අයත් වන්නේ මෙම කුලයටයි. විෂ රහිතයි.

    ඇක්ක්‍රෝකෝඩිඩේ කුලය
    ජලයේ වාසය කරන සර්පයන් මෙම තුලයට අයත්ය. එක් ඝනයකට අයත් එකම විශේෂයක් පමණක් ලංකාවෙන් වාර්ථා වේ. උදාහරණ දිය නයා හෙවත් දියබරියා.

    කොලුබ්‍රිඩේ කුලය
    පාංශු වාසී, භෞමික, රුක්වාසී හා ජලජ යන පරිසර සියල්ලේම පාහේ දක්නට ඇත. ලංකාවේ වැඩිම ඝන සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මෙම කුලයෙනි. ඝන 22කට අයත් විශේෂ 42 පමණ වාසය කරයි. විශේෂ 4ක් ලංකාවට ආවේණික ලෙස සැලකේ. උදාහරණ ගැරඬියා.

    ඉලැපිඩේ කුලය
    භෞමිකව වාසය කරන සර්පයන් වේ. ඝන 3කට අයත් විශේෂ 5ක් ගැන ලංකාවෙන් වාර්ථා වේ. උග්‍ර විෂ සහිතය. කවුරුත් දන්නා නාගයා අයත් වන්නේ මෙම කුලයටයි.

    හයිඩ්‍රොපිඩේ කුලය
    කරදිය වාසී සර්පයන් මෙයට අයත් වේ. ඝන 10කට අයත් විශේෂ 15ක් ගැන ලංකාවෙන් වාර්තා වී ඇත. විෂ සහිත සර්පයන් වේ.

    වයිපරිඩේ කුලය
    උග්‍ර විෂ සහිත හා විෂ සහිත පොළඟුන් අයත් වන්නේ මෙම කුලයටයි. භෞමිකව හෝ තුරු මත වාසය කරයි. ඝන 4කට අයත් විශේෂ 6ක් ලංකාවේ වාසය කරයි.

    මම මෙම පොස්ට් එකෙන් මේ තරම් කුලය, ඝනය ආදිය ගැන විස්තර කරන්න සිතුවේ පාසල් අධ්‍යාපනය ලබන අයෙකුට මින් කිසියම් උපකාරයක් ගන්න හැකි වන් නිසා. අනෙක් අයටත් කිසියම් හෝ ප්‍රයෝජනයක් ඇතැයි සිතනවා. මීළඟ පොස්ට් එකේ සිට සර්පයින් එකිනෙකා බැගින් ගෙන විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
    එහෙනම් ගිහින් එන්නම්.
    සුභ දවසක් !!!

    ප/ලි
    හයිඩ්‍රොපිඩේ කුලය ගැන තරමක් වැඩි විස්තර දන්න අයෙක් සිටීනම් පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිනවා. සියලු කරුණු පොත පතින් හා අන්තර්ජාලය මගින් ලබා ගත් ඒවා වන අතර වෙනස් කම් ඇත්නම් මීට වඩා අළුත් කරණු ඇත්නම් ඒවා සටහන් කර යන මෙන් ඉල්ලා සිටිමි. ඒවා මේ පෝස්ට් එකට එක්කරන්න මම සූදානම්.

    Thursday, January 6, 2011

    ශ්‍රි ලංකාවේ සර්පයෝ..

    අම්මෝ සර්පයෙක්...
    කෝ කෝ කොහේද??
    මරමු මරමු...
    මේ වගේ කතා අපේ රටේ ගම් බද ප්‍රදේශ, කෘෂිකාර්මික ප්‍රදේශ වලින් නිතරම අසන්නට ලැබෙනවා. සර්පයෙක් දැක්කම අපේ ගොඩ දෙනෙක්ට ඇති වන්නේ මාරක බියක්. ඉතින් ඒ නිසාමද කොහේද සර්පයෙක් දුටුතැන මරන්න එක් රැස්වෙන පිරිසක් නැති වෙන්නෙත් නෑ. මේ පිරිස් අතින් මිය පරලොව යන සර්පයන් ගණන කොතරම්ද? ඒ හැම සර්පයාම භයානකද?
    මේ කතාව ලියන්න කලින් මම මේ ගැන ලියන්න හේතුව කියල ඉන්න හිතුවා. දැනට වසර ගණනාවකට පෙර මම ඒ කාලේ පාසල් ශිෂ්‍යයෙක්. ඉගෙන ගත්තේ 8 වන වසරේ. ගසක අත්තක සිටි සර්පයෙකු විසින් සපා කෑවා. තරමක විෂ සහිත එම සපා කෑම නිසා මට දින 5ක් පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නත් සිදුවුනා. ඒ වෙනකොට මගේ ළඟ සර්පයන් ගැන ලියවුනු කුඩා පොත් පිංචක් තිබූ නිසා මගේ අත සපාකෑ සර්පයා මට හඳුනාගන්න පුළුවන් වුනා. ඒ පොත අතින් ඇඳ ඇති රූප නිසා එතරම් පහසුවෙන් සතෙකු දැක හඳුනා ගැනීමට අපහසු වුවත් තරමක අවබොධයක් ලබා ගන්න ප්‍රමාණවත් වූවා. මම ඒ සර්පයා හඳුනාගැනීම වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීමේදී ලොකු පහසුවක් වූ බවත් මට මතකයි.
    මේ සිද්ධියෙන් පසු මම සර්පයන් ගැන ලියවුනු පොත්, පුවත්පත් වාර්ථා, වෙනත් වැඩ සටහන් වැඩි උනන්දුවකින් කියවන්න ගත්තා. මේ නිසා මම සර්පයන් ගැන තරමක අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේම සර්පයන් ගණනාවක් හඳුනා ගන්නත් පුළුවන්. ඉතින් ඒ මතක ඔබ සමග බෙදාගන්න හිතුනා. ඒ උත්සාහයයි අද සිට ශ්‍රිලංකාවේ සර්පයන් ලෙස ඔබ හමුවේ තබන්නේ.
    එහෙමනම් මෙතැන් සිට අපි සර්පයන් ගැනත් කියවමු. සර්පයන්ට බය වෙන්න එපා. ඒ සර්පයාට පුළුවන් සපා කන්න විතරයි. ඒහෙම බැලුවොත් වැඩිය බය වෙන්න ඕන ඇතැම් මිනිසුන්ට. ඔවුන් සපා නොකෑවට බොහෝ හානි කරන්න පුළුවන්.
    ඉහත ඡායා රූපය ලංකාවේ සිටින විෂකුරු සර්පයින් අතරින් එකෙකු වන තිත් පොළඟා ගේ. 
    ස්ථානය දෙහිවල ස්ත්වෝද්‍යානය.
    එහෙනම් ගිහින් සරුපයන්ගේ විස්තරත් අරගෙනම එන්නම්..
    සුභ දවසක් !!!!!