ඉලැපිඩේ කුලයට අයත් සර්පයින් සියලු දෙනාම එක පෙලට ගේන්න හිතුවා. ඒනිසා අද කියන්න යන්නේ ලංකාවේ වසන උග්‍රම විෂ සහිත සර්පයා ගැනයි. රූපය බලාගෙනම යමු පළමුවෙන්ම.
ඔව් මේ ඉන්නේ තෙල් කරවලා (Common Krait) තමා. මෙයාට මගමරුවා නැතිනම් දුනු කරවලා ලෙසත් සමහර ප්‍රදේශ වල හඳුන්වනවා. Elapidae කුලයට අයත් තෙල් කරවලා Bungarus caeruleus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. ආසියානු කලාපයේ උග්‍ර විෂ බිග් ෆෝ අතරට මෙම සර්පයාද අයත්වේ.
වාස භූමි හා හැසිරීම.
භෞමිකව ජීවත් වන සර්පයෙකි. කුඩා ගුල්, දිරායන රොඩු ගොඩවල්, බුරුල් පසේ මෙන්ම වියලි තණකොළ අතරද දක්නට ලැබේ. ජලාශ්‍රිතව සිටීමටද කැමැත්තක් දක්වයි. නිශාවර සර්පයෙකු නිසා දිවා කාලයේ දැකීම ඉතා අපහසුය. බොහෝවිට අප රටේ පහත රට කලාපයේ දක්නට ඇත.
හඳුනා ගැනීම
පෘෂ්ටීයව තද කළු පැහැතිය. උදරය සුදු පැහැතිය. කළු පැහැති ශරීරයේ සුදු පැහැ බෙදුනු මුදු (ද්විත්ව මුදු) හැඩති සලකුනු දක්නට ඇත. මේවා වලිගයේ තනි මුදු ලෙස දක්නට ඇත. (පහත රූපය බලන්න) මීටරයක් (අඩි 3.3) පමණ දිගට වැඩේ. අඩි 4-5ක් පමණ දිගට වාර්ථා වන අවස්ථා ඇත. ශරීරය තෙල් දමා පිරිමැද ඇති ආකාරයට දිලිසේ.
![]() |
| මුදු බෙදී ඇති ආකාරය බලන්න පින්තූරය මත ක්ලික් කර විශාල කරන්න |
බෝවීම.
මෙම සර්පයා බෝවන්නේ බිත්තර මගිනි. ගැහැනු සතා වරකට බිත්තර 5ක් පමණ දමයි.
ආහාර.
රාත්‍රී කාලයේ ආහාර සොයායයි. ආහාර ලෙස බහුලව ගන්නේ අනෙක් විෂ රහිත සර්පයින්ය. මීට අමතරව කටුස්සන්, ගෙම්බන් හා මැඩියන්, මීයන් ආහාරයට ගනී. කුඩා කාලයේ කෘමීන් හා අන්ධ පණුවන්ද ආහාරයට ගන්නා බව වාර්ථාවේ.
දෂ්ඨ කිරීම් හා විෂ
දැනට ලංකාවෙන් වාර්ථාවන උග්‍රම විෂ සහිත සර්පයා වශයෙන් සැලකේ. තෙල් කරවලාගේ විෂ මිලිග්‍රෑම් එකක් පමණ හොඳින් වැඩුනු මිනිසෙකු මරණයට පත් කරන්න ප්‍රමාණවත්. දෂ්ඨ කිරීම් බොහෝවිට රාත්‍රී කාලයේ සිදුවේ. නමුත් දෂ්ඨ කිරීම් සුලභ නොවේ. ස්නායු පද්ධතියට විෂ බලපාන අතර රෝග ලක්‍ෂණ බොහෝ විට නයාගේ විෂ නිසා ඇතිවන ලක්‍ෂණ හා සමාන වේ.
මෙම සර්පයා සම්බන්ධයෙන් මිත්‍යා මත ගැන සඳහන් නොවේ. මෙම සර්පයාද පරිසර පද්දතියේ පැවැත්මට වැදගත් වන අතර පරිසර දූෂණය, කැලෑ හෙළි කිරීම නිසා තර්ජනයට ලක්වූ සතෙකි.
මීළඟ පෝස්ට් එකෙන් මුදු කරවලා ගැන විස්තර අරන් එන්නම්.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්.!!!!!





