Wednesday, August 31, 2011

Computer Hardware පාඩම 08 .... (Hard disk drive-02)

හාඩ් ඩිස්ක් පිළිබඳ පාඩම තවත් ඉදිරියට ලියන්න සිතුනා. එයට ලැබුන කමෙන්ට් වලින් මට හිතුනා තව ටිකක් ඉදිරියට ලියන්න. 
හාඩ් ඩිස්ක් එකක ධාරිතාව (Hard disk capacity)
හාඩ් ඩිස්ක් එකක ධාරිතාවය පෙන්වන්නේ බයිට් (Byte) නමැති ඒකකයෙනි. 
1024byte = 1 KB (kilo byte)
1024 KB = 1 MB (Mega byte)
1024 MB = 1 GB (giga byte)
1024 GB = 1 TB (tera byte)
මේ අනුව හාඩ් ඩිස්ක් එකක ධාරිතාව මැනීමට බයිට් නමැති ඒකකය වුවද දැන් කිලෝ බයිට් මෙගා බයිට් වලින් හාඩ් ඩිස්ක් නොමැත. දැනට භාවිතයේ ඇති හාඩ් ඩිස්ක් එකක අවම ධාරිතාව 80GB පමණ වේ. එනම් දැනට නිශ්පාදනය කරන කුඩාම ධාරිතාව ඇති හාඩ් ඩිසක් එක මෙයයි. දැනට ඇති උපරිම ධාරිතාව 3TB වේ. එනම් දල වශයෙන් 3000GB පමණය.

භ්‍රමණ වේගය RPM (Revolution per minute) 
ඇතැම් අය මෙය  rotation per minute ලෙසද හඳුන්වයි. මෙයින් කියවෙන්නේ මෙහි ඩිස්ක් එක විනාඩියකට කැරරවෙන වාර ගණනයි. මෙය වැඩිවත්ම දත්ත කියවීමේ වේගයද වැඩිවේ. ඒ R/W head (කියවන හිස) එක පසුකරන වාර ගණන වැඩි වන නිසාය. දැනට භාවිතයේ ඇති ඩිස්ක් වල මෙම වේගය 7200ක් වේ. මීට ටික කලකට පෙර පැවති ඒවා භ්‍රමණය වූයේ විනාඩියට වට 5400ක පමණ වේගයකිනි. එහෙත් සර්වර් සඳහා භාවිතා වන SAS හාඩ් ඩිස්ක් වල මෙම වේගය 10,000 RPM හෝ 15,000 RPM පමණ වේ.

Disk Cache (Disk buffer)
මෙය කුඩා ප්‍රමාණයක මෙමරියකි. වර්ථමානයේ ඩිස්ක් වල භාවිතා වන්නේ 8MB-64MB අතර ප්‍රමාණයක් භාවිතා කරයි. මෙය ඩිස්ක් එක (තැටිය) හා Mother board එක අතර දත්ත හුවමාරුවට සම්බන්ධ වේ. 
සාමාන්‍යෙයන් ඩිස්ක් එකේ ඇති දත්ත කියවන්නේ වටයක් පැමිණ එම ස්ථානයට එන විටයි. එසේ වන විට යම් කාලයක් මෙහෙයුම් පද්ධතියට බලා සිටීමට සිදුවේ. එහෙත් ඩිස්ක් කෑශ් වල එම දත්ත අවශ්‍ය විට ලබා දීමට තාවකාලිකව පවත්වා ගනියි.
තැටි වලින් කියවන වේගය හා මෙහෙයුම් පද්ධතියට ඒවා අවශ්‍ය වන වේගය අතර පරතරය නිසි ලෙස කරමනාකරණය කරන්නේ මෙම මෙමරිය.

දත්ත හුවමාරු වේගය (Transfer Rate)
ඇත්තටම මෙහි වේග දෙකක් ඇත. එනම් ඩිස්ක් (hard disk platter) වල සිට Disk buffer එකට දත්ත හුවමාරු වන වේගය හා Disk buffer වල සිට Host එකට (Mother board එකේ) දත්ත හුවමාරු වන වේගයයි. නමුත් බොහෝ අවස්ථා වල Transfer rate එක ලෙස පෙන්වා දෙන්නේ Disk buffer වල සිට Host එකට දත්ත හුවමාරු වන වේගයයි.
ATA (PATA) ඩිස්ක් එකක  platter එකේ  සිට Disk buffer එකට දත්ත හුවමාරු වන වේගය 126 MB/s පමණ උපරිම අගයක් ගනී. ඒවායේ Disk buffer එකේ සිට Host එකට දත්ත හුවමාරු වන වේගය 100MB/s පමණය.

SATA ඩිස්ක් එකක Disk buffer එකේ සිට Host එකට දත්ත හුවමාරු වන වේගය 3Gb/s පමණ සිට 6Gb/s දක්වා භාවිතයේ පවතී.

SSD (Solid State Disk)
මොනවද මේ කියන්නේ. මේවායේ ක්‍රියා කාරිත්වය කලින් අප සඳහන් කළ සියලු ඩිස්ක් වලට වඩා වෙනස්. මේවායේ කරකැවෙන ඩිස්ක්, මෝටර් R/W Head ආදී කිසිවක් නැත. දත්ත ගබඩා කරන්නේ ඔබ දන්නා පෙන් ඩ්‍රයිව් නැතිනම් ෆ්ලෑෂ් මෙමරි වල ආකාරයටයි. මේවායේ කිසිම චලනය වන කොටසක් නැත. වේගය අතින් වැඩිය. නමුත් මිලෙන් වැඩිය. ක්‍රියා කිරීමේදී කිසිම ශබ්දයක් නිකුත් නොවේ.

හාඩ් ඩිස්ක් ගැන කලින් ලිපියේ සඳහන් නොවුරු තොරතුරු කීපයක්ම අද ලිපියෙන් කියන්න පුළුවන් උනා. එහෙම නම් අදට සමුගෙන යන්නයි සූදානම. මීළඟ ලිපිය සමගින් හමුවෙමු.
සුභ දවසක්..!!!

Thursday, August 25, 2011

Computer Hardware පාඩම 08 .... (Hard disk drive)

ඔන්න වැඩි කාලයක් ගන්නේ නැතිවම ඊළඟ පාඩමටත් එන්න හිතුවා. ඉක්මනින්ම මේ පාඩම් ටික ඉවර කරමු නේද? 
අද අපි කතා කරන්න යන්නේ Hard disk drive ගැනයි.
මොකක්ද මේ Hard disk එකක් කියන්නේ?
Hard disk අයත් වන්නේ පරිගනකය තුල ස්ථිර ලෙස සවිකර ඇති ඩිස්ක් වර්ගයට (Fixed Disk) මේවා දත්ත ගබඩා කිරීමට ගන්නා බව දැනටමත් ඔබ දන්නවා ඇති. ඇත්තෙන්ම මෙය අයත් වන්නේ මෙමරි වලටමයි. මේවා non-volatile හෙවත් විදුලිය මත රඳා නොපවතින මතකය වේ. මෙහි චුම්බක (Magnetic) කල හැකි රසායන ආලේප කල තැටියක් පවතින අතර ඒහි ඩිජිටල් දත්ත සටහන් කරයි. මේ සඳහා කියවීමට හා ලිවීමට හැකි හිසක් (Read/Write head) ඇත. එමගින් මෙහි දත්ත සටහන් කිරීම හා නැවත කියවීම සිදු කරයි.
Hard disk ඇතුලත උපාංග පිහිටා ඇති ආකාරය ඉහත රූපයෙන් බලන්න.
පහත දැක්වෙන්නේ විවිධ ප්‍රමාණයේ හාඩ් ඩිස්ක් කීපයකි. මේවා නම් විකිපීඩියාවෙන් බලන්න වුවද ඔබට හැකිය.
මේවා අතරින් දැන් දක්නට ඇත්තේ පහත ප්‍රමාණවල හාඩ් ඩිස්ක් පමනි.
ATA Hard disk (Advanced Technology Attachment)
මේවා parallel ATA ලෙසද දැන් හැඳින්වේ. බොහෝ කලක් පැවති තාක්‍ෂණයයි. මේවායේ දත්ත හුවමාරුව සඳහා භාවිතා කරන්නේ 40 pin කනෙක්ටරයක් සහිත කේබලයකි. එය පටියක් වැනි කේබල් එකක් නිසා රිබන් කේබල් ලෙසින්ද හැඳින්වේ.
මේ ඒ සඳහා භාවිතා වන කේබල් එකයි.
මෙය 3.5" හාඩ් ඩිස්ක් එකක් හා කේබල් එකකි. ලැප්ටොප්/නෝට්බුක් සඳහා යොදාගන්නා 2.5" හාඩ්ඩිස්ක් සඳහා ඇති කනෙක්ටරයේ පින් 44ක් ඇත. ඒයට හේතුව ඒවාට විදුලිය සැපයෙන්නේද එකම කනෙක්ටර් එකෙන් වීම නිසාය. මේ එවැන්නකි.
SATA Hard disk (Serial Advanced Technology Attachment)
මෙවා 2003 දී හඳුන්වා දෙන ලදී. දැන් නිශ්පාදනයේ පවතින සියල්ල SATA ය. මේවා ඉහත වගුවේ ඇති ප්‍රමාණ සියල්ලෙන්ම නිපදවේ. දැනට SATA SATA revision 3.0 භාවිතා වන අතර එහි දත්ත සම්ප්‍රේශන වේගය 6 Gbit/s වේ.
මේ එහි නියම රූපයයි.
මේ SATA cable එකයි.
ඉහත රූපයේ වැඩි කනෙක්ශන් ගණනක් ඇත්තේ විදුලි සැපයුමට වන අතර අඩු කනෙක්ශන් ගණනක් ඇත්තේ ඩේටා කේබල් එකටයි. මේවා ලැප්ටොප් සඳහා භාවිතා වන 2.5" හාඩ් ඩිස්ක් සඳහාද වෙනසක් නැත. එනම් ඔබේ ඩෙස්ක්ටොප් එකට හදිසියකට ලැප්ටොප් හාඩ්ඩිස්ක් එකක් සම්බන්ධ කරන්න පුළුවන් Internal disk එකක් ලෙස.

මීට අමතරව හාඩ් ඩිස්ක් ගැන තවත් බොහෝ දේ මේ පාඩම් යටතේ ඉදිරියේ කියවෙනවා. පාටිශන් කිරීම, ෆෝමැට් කිරීම, ජම්පර් සෙටින්ග්ස් ඊට ඇතුලත්. මෙම පාඩමෙන් මම බලාපොරොත්තු වූයේ හාඩ් ඩිස්ක් එකක් භෞතික වශයෙන් හඳුන්වා දෙන්න පමණයි. තවත් විස්තර ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න.

එහෙනම් අදට පාඩම ඉවරයි. යන්න කලින් දවසේ ප්‍රශ්නය.

  • හාඩ් ඩිස්ක් එකක් නිතර ෆෝමැට් කලාට කමක් නැද්ද? එසේ නැතිනම් අත්‍යවශ්‍ය අවස්ථාවක  හැර අනෙක් අවස්ථාවල ෆෝමැට් නොකර සිටීම වඩා සුදුසුද?
එහෙනම් ගිහින් එන්නම්. සුභ දවසක්..!!!

Wednesday, August 24, 2011

අප්පච්චිට..........


ඔබේ පා වල ශක්තියෙන් අද අපි ඇවිදිනවා.....
ඔබේ අත් වල ශක්තියෙන් අද අපි වැඩ කරනවා...
ඔබේ හිතේ ශක්තියෙන් අද අපි සිතනවා...
ඔබ නිසා අද අපි මිනිසුන්ව ජීවත්වෙනවා...


අද 24 වෙනිදා...
හෙටයි මාසේ පඩිය...
අද තමයි අතේ සල්ලි නැතිම දවස..
අනේ මට ඔයාට මොනවත්...
තෑග්ගක් අද දවසේවත්...
අරන් දෙන්න බැරි වෙයි වගේ...
ඒත්....
මම දන්නවා අප්පච්චි තරහ නෑ කියා...
මගේ අප්පච්චිට ...
සුභ උපන්දිනයක් වේවා..!!!!


Monday, August 22, 2011

Computer Hardware පාඩම 07 .... (Microprocessor)

පරිගනකයක් ගැන කියන්න ගියාම බොහෝ දෙනෙක් අහන දෙයක් තමා ස්පීඩ් එක කීයද කියන එක. ඒ අතරින් සුළු පිරිසක් අහනවා මොකක්ද CPU ස්පීඩ් එක කියා. ඇත්තටම මොකක්ද මේ ස්පීඩ් එක කියන්නේ. මොකක්ද මේ CPU එක කියන්නේ. මෙය කොහේද තියෙන්නේ?
ඔව් අද අපි කතා කරන්න යන්නේ පරිගනකයක මොළය ගැනයි. මෙය තමා වැදගත්ම කොටස. මෙය තමා පරිගනකයේ අංක එක. එනම් මධ්‍යම සැකසුම් ඒකකය හෙවත් Central Processing Unit (CPU) එක ගැනයි.
මොකක්ද මේ Microprocessor එකක් කියන්නේ.
 Microprocessor යනු ඉලෙක්ට්‍රෝනික උපාංගයකි. එය සංගෘහිත පරිපථයක් හෙවත් integrated circuit එකක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. එනම් එය තුල සම්පූර්ණ පරිපථයක් අන්තර්ගතව ඇත. සරලව විස්තර කරනවානම් කුඩා ට්‍රාන්සිස්ටර් මිලියන ගණනක් මේ හතරැස් අඟලකටත් අඩු උපාංගය තුල අන්තර්ගතය. එය බහු කාර්යය, ක්‍රමලේඛනය කළ හැකි (Programmable) රෙජිස්ටර මෙමරි ඇතුලත් උපාංගයකි. ඩිජිටල් දත්ත ලබාගෙන ඒවා ලබා දෙන උපදෙස් අනුව සකස් කර ප්‍රතිදානයක් (Out put) ලෙස අපට ලබාදේ. මෙම විධාන ප්‍රධාන මෙමරියේ ගබඩා කෙරේ.
දැන් අපි බලමු Processor වර්ග හා ඒවායේ විකාශනය කෙටියෙන්.
Vacuum tube මුල්ම පරම්පරාවේ පරිගනක වල භාවිතා විය.
ඉන්පසුව භාවිතයට පැමිණියේ ට්‍රාන්සිස්ටරයයි
මුල්ම මයික්‍රෝප්‍රොසෙසරය ලෙස Intel 4004 භාවිතයට පැමිණෙන්නේ 1971 දී. එය DIP වර්ගයේ සොකට් එකක් සඳහා නිර්මාණය වන්නක්.

මින් පසුව විවිධ ආකාරයේ Microprocessors භාවිතයට පැමිණි අතර ඒවා එකින් එක විස්තර කිරීම තවත් පාඩමක් ප්‍රමාද වීමට හේතු වන කාරණයකි. තවද සොකට් ගැන පාඩමේදී මම Processors ගැන විස්තරයක්ද කර ඇති නිසා නැවත ඒ පාඩම බලන්න මෙතනින්. (අවශ්‍යනම් පමණක්)

Processor එකක් ක්‍රියා කරන්නේ ඊට ගැලපෙන mother board එකක් මත පමණි. එය ක්‍රියා කිරීමට නිසි වෝල්ටීයතාවයක්, එහි FSB (Front side bus) සමග ගැලපීම අනිවාර්යය වේ. එනම් අප mother board එකක් මිළදීගන්නා විට එහි නිශ්පාදකයා එයට ගැලපෙන processor ගැන එහි උපදෙස් පොතේ පැහැදිලිව සඳහන් කර ඇත.
මීට අමතරව Processor සම්බන්ධයෙන් කිවයුතුම කරුණක් ඇත. එනම් දැනට භාවිතයේ ඇති සෑම Processor එකක්ම ක්‍රියාකිරීමේදී අධික ලෙස රත්වීමට ලක්වේ. ඒ නිසා නිසි පරිදි නිශ්පාදකයා නියම කරන ආකාරයේම සිසිලන පංකාවක් යෙදිය යුතුමය. Intel Processor සඳහා ඔවුන් විසින් සපයනු ලබන පංකාව තරම් වෙනත් ඒවා සුදුසු නැත.
මීට අමතරව අද කියන්න යන්නේ මේ දිනවල බහුලව භාවිතා වන Processor කීපයක් නම් කරන්නයි.
Intel
Intel Processor ලොව පුරාම ඉතා ජනප්‍රිය මෙන්ම බහුලවම භාවිතයේ ඇති Processor වර්ගය වේ.
Intel Pentium, Intel Core හා Intel Core i වර්ගයන් දැනට භාවිතයේ පවතී. මේවායින් නිශ්පාදන තත්වයේ ඇත්තේ  Intel Core i  processors ය.
මේ Intel Pentium  processor එකකි.
මේවා දැනට භාවිතයේ ඇත.
මේ  Intel Core වර්ගයේ processor එකකි.
මේවාද භාවිතයේ ඇත.
මේ  Intel Core  i7 වර්ගයේ processor එකකි.
මේවා දැනට ඇති අළුත්ම ඒවායි. Core i 3, Core i5, Core i7 බහුලවම භාවිතයේ ඇත. මේවායේ දෙවන පරම්පරාව (2nd Generation) දැනට නිකුත්වී වෙළඳපොලේ ඇත.

AMD  processors.
AMD වර්ගයේ  processors ගණනාවක් දැනට භාවිතයේ ඇත.  Intel වලට සාපේක්‍ෂව මේවාට ඇති ප්‍රධාන චෝදනාව අධික ලෙස රත්වීමයි. එහෙත් ශිත පරිසරයක මේවා වඩා කාර්යක්‍ෂම බව බහුතර මතයයි.
මේ AMD Phenom™ II වර්ගයේ processor එකකි

මේ AMD AMD Sempron වර්ගයේ processor එකකි
මේ බොහෝ ජනප්‍රිය AMD Athlon X2 වර්ගයේ processor එකකි

තවත් processors ගණනාවක් ඇතත් සියල්ල කියන්න ඉඩක් නෑ. වැදගත්ම දෙය නම් processor එක යනු පරිගනකයේ මොළයයි. අප ඇතුල් කරන සියලු දත්ත (Data) සකස් කර ඒවා අපිට භාවිතයට ගත හැකි තොරතුරු (Information) බවට පත් කිරීමේ ප්‍රධාන කාර්යය ඉටු කරන්නේ processor එක මගිනි.
නැවතිලාම වගේ තිබූ හාඩ්වෙයාර් පාඩම යලි පටන් ගත්තා. මීළඟ ලිපියෙන් හමුවෙමු.
සුභ දවසක්..!!!

Sunday, August 7, 2011

ආදරණිය නිශාන්තය.. අදත් රෑ 8.00 ට


මතකද ආදරණීය ගීත පොකුරක් සමග අපි පසුගිය ඉරිදා රැගෙන ආ ආදරණිය නිශාන්තය. අපි අදත් රාත්‍රියේ ඔබේ ආදරණීය ගීත ඉල්ලීම් සයිබර් රේඩියෝ අවකාශයට එකතු කරන්න සූදානම්. ඔබේ ආදර ගී ඉල්ලීම් ඔබේ ළබැඳියන් වෙනුවෙන් ඉල්ලන්න. ඔබට දැනෙන දේ, හැඟෙන දේ ලියා එවන්න. නැතිනම් මෙහි කමෙන්ට් එකක ලියා යන්න. ආදරණිය ගීත ඔබේ ආදර වන්තිය නැතිනම් ආදර වන්තයා, අම්මා තාත්තා, නංගි මල්ලි අයියා අක්කා, එහෙමත් නැතිනම් හොඳම යාළුවා හෝ වෙනත් ඕනෑම ළබැඳියන් නැතිනම් ඔබ තනිවම වුවත් එකතු වන්න. මේ ඔබේ රාත්‍රියයි. ඔබේ ආදර ගී ඉල්ලීම් ඉටුවන රාත්‍රියයි. 
එවන්න ඔබේ ගී ඉල්ලීම් 

සින්දු කෝටියයි ජොකියෝ රාශියයි  

Thursday, August 4, 2011

මීමුරේ 17 වසරකට පසු (Meemure after 17 years)

ඔන්න ආයෙමත් දවස් කීපයකින් ආවා අළුත් පෝස්ට් එකක් රැගෙන. පොඩි ගමනක් ගියා. ඒකයි දවස් කීපයකින් එන්න බැරි උනේ. බස් රේඩියෝවේ නිශාන්තයත් කරන්න මට මගේ මිතුරියකගේ සහය ලැබුනා. නැතිනම් මම පෝස්ට් එකේ දමා ගියාට එම වැඩ සටහන කරන්න වෙන්නේ නෑ.
එහෙම නම් අද කතාව කියන්න කලින් පරණ කතාවක් මතකයට ගේන්නම්. මතකද මම මුල් කාලේ පෝස්ට් එකක ලියා ඇති ජෙනරේටරයක් කර තබාගෙන මීමුරේ ගිය කතාවක්. මුල සිට මගේ මතකය කියවා ඇති අයට නම් මතක ඇති ඒත් අනෙක් අයත් මෙතනින් ගිහින් බලන්නකෝ කැමතිනම්.
එහෙම නම් අද කතාවත් මීමුරේ ගැනමයි. ඒ කියන්නේ අපි ආයෙම මීමුරේ ගියා පසුගිය සෙනසුරාදා දින දෙකක චාරිකාවක් ලෙස. දැන් පාර පෙර මෙන් දුෂකර නොවන බවත් වාහනයකින් යන්න පුළුවන් බවත් අපි අසා දැනගත් නිසා මෙවර නම් පයින් යන්න අවශ්‍ය උනේ නෑ. මෙවර ගියේ වෙනම කාණ්ඩයක්. පෙර කාණ්ඩයෙන් ගියේ මම පමණයි. අනෙක් අය සයිබර් මිතුරු පිරිසක්. 

කලින් පෝස්ට් එකේ සඳහන් පරිදිම මේ තමා යන්න තියන මාර්ගය. නොදන්නා අයෙකුට දැන ගැනීම සඳහා මම යන මාර්ගය හා වෙනත් අවශ්‍යතා ගැන කෙටියෙන් කියන්න කැමතියි. කලින් මම කීවේ කිලෝමීටර් 15ක් පමණ යන්න ඇති කියායි. එහෙත් ඇත්තටම හුන්නස්ගිරියේ සිට මීමුරේට කිලෝමීටර් 35 පමණ ඇත. 

ගමන් මාර්ගය
මහනුවර සිට යනවානම් මහනුවර මහියංගන මාර්ගයේ යා යුතුයි. හුන්නස්ගිරියට මහනුවර සිට කිලෝමීටර් 40ක් පමණ ඇත. හුන්නස්ගිරිය ඉන්ධන පිරවුම් හල යනවිට වම් පැත්තේ ඇත. එය පසුකරනවාත් සමගම දකුණු පැත්තට මීමුරේ පාර ඇත. මේ මාර්ගයේ ලූල්වත්ත හරහා අට්ටලමෙට්ටුව හෙවත් කෝබට් ගැප් දක්වා යා යුතුය. එම පාරේ දිගටම වාගේ ඇත්තේ කන්දයි. ඉන්පසු කෝබට් ගැප් සිට පල්ලම හමුවේ. අප කලින් වතාවේ පැමිණි තංගප්පුව සිට ඇති මාර්ගය මීමුරේ පාර හා එක්වන්නේ මම ස්ථානයේදීය.
මෙම ස්ථානයේ අප මුල් වතාවේ යන විට තිබූ ගොඩනැගිල්ලේ දැන් කිසිම පදිංචියක් නැත. ගොඩනැගිල්ල ගරාවැටී ඇති බවත් පෙනේ. මේ එම ස්ථානයයි. බලන්න මාර්ගයේ තත්වය කොහොමද කියාත්...


මේ පුවරුවේ සිට මීමුරේට ඇති දුර කිලෝ මීටර් 15කි. පාර වංගු සහිත පල්ලමක් බැස යන්නට ඇත. රිය පැදවීමේදී මනා පාලනයක් වැදගත්වේ. අප ගමන් කළ වෑන් රියේ දිගටම තිරිංග යෙදීම නිසා අධික ලෙස තිරිංග පලු රත්වීමෙන් තිරිංග ක්‍රියා විරහිත වූවා. මේ තියෙන්නේ බ්‍රේක් නැතිව නවත්වා සිටින ආකාරයයි.

මීමුරේට කලින් හමුවන්නේ කයිකාවල නම් ග්‍රාමයයි. එය කලින් දුටුවාට වඩා බොහෝ වෙනස් වී ඇත. එහෙත් මුල් වතාවේ අප නවාතැන් ගත් සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල නම් පෙර පරිදිමය. අපි නූඩ්ල්ස් පිළියෙල කල පන්සල දැන් වඩා විශාල කර ඇත. කලින් වතාවේ සිටියාට වඩා වැඩි ජනගහනයක් ඉන්නා බවක් පෙනේ.
අවසානයේ සවස 5 පමණ වන විට අපි මීමුරේට ළඟා වීමු. මීමුරේ ගැන කියන්න කලින් ගමන් මාර්ගයේ පින්තූර ටිකක් බලමු නේද?
මේ හුන්නස්ගිරිය සිට ඩීන්ස්ටන් අතර මාර්ගයේ කොටසක්...
මෙම පෙදෙසේ තාර අතුරා ඇති අතර ස්ථාන කීපයක් මාර්ගය අබලන් වී ඇත. නමුත් ත්‍රිරෝද රථ වැනි වාහන පවා ගමන් කරයි. කාර් රථයක් ගමන් කිරීම නම් කළ නොහැකි බවක් පෙනේ. නමුත් වෑන් එකකින් යන්න පුළුවන්.
මෙම පෙදෙස පසු කරන විට නකල්ස් වනයේ කුරු වනාන්තර (පිග්මී වන්නාතර හමුවේ)

මෙහි පවතින අධික සුලං වලට ඔරොත්තු දීමට උස ගස් නොමැති බවක් පෙනේ. සියලුම ගස් මිටි ඒවාය. ඉන්පසු කෝබට් ගැප් සිට ඇත්තේ වනාන්තරය මැදින් ඇති පාරයි. එහි ජනාවාස අඩුය. ඇතැම් ස්ථාන වල ඇත්තේම නැත. මෙම පෙදෙසේ පාර තාර දමා ඇති අතර ඇතැම් ස්ථාන කොන්ක්‍රිට් අතුරා පිළිසකර කළද කැඩී බිඳී ගිය තැන් ඇත. මෙම දුම්බර වන පෙතට නිතර ඇද වැටෙන දැඩි වැසි නිසා මාර්ග ඉක්මනින් අබලන් වෙයි. එහෙත් මෙම පාරේ ගියා කුඩා බස් රියක් පවා අපේ නෙත් ගැටුනා...

ඉන් පසුව ඇත්තේ කොන්ක්‍රිට් මාර්ගයයි. එහි ස්ථාන කිපයක්ම කැඩී අබලන් වුවද වාහන ධාවනයට ප්‍රමාණවත්ය. මේ ගම ඇතුලේ පාරකි.

දැන් අපි බලමු ගම ගැන.

පහසුකම්.
ගමට යන්නට පාර ඇත. කලින් විදුලි බලය තිබී ඇත. ඒ දර මගින් ක්‍රියාත්මක විදුලිබලාගාරයකිනි. එහි ඇතිවූ තාක්‍ෂණ දෝෂ නිසා දැන් එය ක්‍රියාත්මක නොවේ. ගම තුල දුරකථන පහසුකම් ඇත. CDMA දුරකථන එහි ක්‍රියාකරයි. එහෙත් ජංගම දුරකථන නම් තවම ක්‍රියාත්මක කරන්න නොහැකිය. ගමේ ඉතිහාසය ආර්ථිකය ඇතුලු බොහෝදේ අපේ වැප් තම බ්ලොග් ලිපියක පළ කර ඇති නිසා මම ඒවා වැඩි විස්තර කරන්නේ නෑ. 
ගමේ කණිෂ්ඨ පාසල එදාට වඩා අද දියුණුය. එය වසර සීයකට වඩා වැඩි ඉතිහාසයකට හිමිකම් කියනා පාසලකි. එහි 5 වසර දක්වා පංති පවත්වන බව අප නවාතැන හිමිකරු වන නවරත්න මහතා අප සමග පැවසූවා. ඉන්පසු සාමාන්‍ය පෙළ දක්වා කයිකාවල පාසලේ පන්ති පැවැත්වෙන බවත් අසා දැනගත්තා. අධාපනය අතින් එහි වරදක් ඇති බවක් නොපෙනේ. එහි අධාපනය ලද අයෙකු පරිපාලන සේවයේ ඉහලම තරතුරක් වන අගමැති ලේකම් තනතුර පවා හොබවා තිබෙනවා. (එවකට රාජ්‍ය පාලකයා අගමැති සමයේ) 
ත්‍රිරෝද රථ, වෑන් හා ලොරී කීපයක් ගම්වැසියන් සතුය. මෝටර් සියිකල්ද ඇත. ඒවා ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනේ. දිනපතා වෑන් රියක් හුන්නස්ගිරිය දක්වා එහි සිට ගමන් කරයි.
ජල විදුලිය නැතත් සූර්ය බලයෙන් විදුලිය ලබා ගනියි. මීට අමතරව ජෙනරේටර් ද ඇත. බොහෝ නිවෙස්වල රූපවාහිනි, ගුවන්විදුලි යන්ත්‍ර මෙන්ම DVD/VCD යන්ත්‍රද ඇත.  DVD/VCD තැටි විකුණන ස්ථාන කිපයක්ම අතර මග දක්නට ලැබුනි. අත්‍යාවශ්‍ය දේ මිලදී ගැනීමට වෙළඳ සල් කීපයක්ම ඇත. නමුත් ආහාර අතින් ගම ස්වයංපෝෂිතය.

පරිසරය. 
දුම්බර මිටියාවතේ ඇති මෙහි අවට පරිසරය සුන්දරය. කඳුමුදුන් මිදුමින් බරව පවතී. එහෙත් අප ගියේ වියලිම කාලයක නිසා මීදුම දක්නට නොලැබුනි. ගම වටා ඇත්තේ සුන්තර වන පෙතයි. කුඩා ගංගා කීපයක් ගලා බසී. සුරිය අරණ චිත්‍රපටය සඳහා පසුබිම් සොයාගෙන ඇත්තේ මෙම ගමෙනි. මේ එහි ගංගා දෙකක පින්තූර.


මේ වනයේ මෙන්ම ගමේ ද ඇති මඩු ශාකයක්. මෙය මෙහි බහුලව දක්නට ඇත.

මේ මීමුරේ වගා කර ඇති කුඹුරකි. බොහොමයක් නියඟය නිසා මේ දිනවල වගා කර නැත.
මේ එහි ඇති තවත් කැපීපෙනෙන ස්ථානයකි. මෙය එහි ඇති උසම ස්ථානය වන අතර නකල්ස් කඳුවැටියේ උස් කඳු අතරින් එකක් වන ලකේගලය. මෙය ගමට ඉහලින් යෝධයෙකු මෙන් නැගී සිටින අතර එහි යාමට දිනක් පමණ ගතවන බවක් නවරත්න මහතා කීවේ.

ගමේ සංස්කෘතිය හා නිර්මාණ
එහි සංස්කෘතිය ගොවි තැන හා බැඳී පවතී. එහෙත් ඔවුන් හා අප අතර සැලකිය යුතු වෙනස්කම් දක්නට නොමැත. ඔවුන්ගෙන් පිරිසක් නගරයට පැමිණ රැකියා කරති. සෑම දෙනාම පාහේ ඥාති සබඳතා ඇති අය වුවත් මෑතක සිට ආවහ විවාහ කටයුතු නගරයට යන අය නිසා ගමට පිටස්තර අය සමග ආවහ විවාහ කටයුතු දැන් සිදුවේ.
මොවුන්ගේ අව්‍යාජ ගැමි ස්වභාවය තවම පවතී. මගදී හමුවන සෑම දෙනාම පාහේ සිනාසි අඳුනන්නේ නැතත් වචනයක් දෙකක් පවසා යයි. එමෙන්ම ඔවුන් පිටින් අය එනවාට විරුද්ධ නැතත් ඔවුන් කිසියම් පාලනයකට ලක් කිරීමේ අවශ්‍යතාවයක් පෙන්වයි. එනම් සංචාරකයන්ට මග පෙන්වීම වැනි දේ ඔවුන්ම කිරීම වැනි දේ ගැන බලාපොරොත්තු වේ. ඒ පසුපස කිසියම් මුදල් ඉපයීමේ චේතනාවක් ඇතැයි හැඟේ. 
එම ගමට ආවේණික මෙන්ම ගොවිතැන හා බැඳුනු නිර්මාණ ඔවුන් සතුව පවතී.
මේ ගමේ මා දුටු තවත් එක් විශේෂ නිර්මාණයක් වන්නේ ඉඩම්, වගාබිම් වෙන් කරනා ගල් වැටියයි. මේවා පෙර කල සිටම පැවත ඇත.
මෙම ගල් වැටිය වසර 40ක් පමණ පැරණිය. එහෙත් වසර සීයකට වඩා පැරනි ඒවා ගමේ පවතී.
මේ එහි ඇති තවත් අපූරු නිර්මාණයකි. මෙය හඳුන්වන්නේ පිදුරු පන්තල නමිනි. එහි පිදුරු ගබඩා කරයි. ගවයින්ට කෑමට මෙන්ම වෙනත් අවශ්‍යතා සඳහාද මෙසේ පිදුරු එකතු කරයි.
මේ දිය හොල්මන. මෙය කුඹුරට එන සතුන් පලවා හැරීමට බොහෝ පලාත්වල යොදා ගන්නා උපක්‍රමයකි.

 මතකද සූරිය අරණ චිත්‍රපටයේ වැද්දාගේ මස් කඩේ?
මේ තමා එම ස්ථානය.

මේ මීමුරේ ඇති පැරණි සංකේතයක් වන විශාල මී ගස. මේවායේ ඇට දේශීය වෙදකමේ බහුලව යොදාගනී. ප්‍රධාන වශයෙන් එයින් ලබා ගන්නා මීතෙල් විවිධ දේශීය ප්‍රතිකාර සඳහා යොදා ගනී. මී තෙල් නිපදවීම අතීතයේ සිටම මීමුරේ ජනතාව සිදුකර ඇත. 

මේ පින්තූරත් බලන්න. මේවා දුම්බර කඳු වැටියේ පින්තූර කිපයක්.
මේ දුම්බර කඳුවැටියේ අධික සුලං ඇති බවට හොඳින්ම පෙන්වන රූපයක්. සුළඟට ගස් ඇදවී ඇති ආකාරයත් බලන්න. 
වියලි කාලය වුවත් මහ දවාලේ පවා දුම්බර කඳුවල මිහිදුම් සම්පූර්ණයෙන් ඉවත්වී නොමැති බව පේනවා නේද?

තවත් පින්තූර දාන්න ගියොත් මේක බලන්න වෙන එකක් නෑ. ඒනිසා යන්න කලින් කෙටියෙන් මීමුරේ ගැන කියලම යන්නම්.
මීමුරේ ගමන දැන් නම් කියන තරම් දුෂ්කර නෑ. ෆෝවීල් ඩ්‍රයිව් නැතත් හොඳ වාහනයක යන්න පුළුවන්. නමුත් වාහනයේ ග්‍රව්න්ඩ් ක්ලියරන්ස් එක නැතිනම් පොළවේ සිට ඇති උස අඩු කාර් වැනි වාහන නම් යන්න බෑ. වෑන් එකක් තමා හොඳ. ජීප්, ඩබල්කැබ් වැනි වාහනයක් නම් කිසිම ගැටළුවකින් තොරව යන්න පුළුවන්. කණ්ඩායමක් යනවානම් මොටර් සයිකල් වැනි වාහන වුවත් සුදුසුයි. හිතන තරම් ලොකු වියදමක් යන්නේ නෑ. නවාතැන් ගන්න එහි නිවාස තියනවා. වතුර පිරිසිදුයි. උයන්න අවශ්‍ය දේ ගෙනියන්න. උයාගන්න එහි අයෙක් යොදාගන්න පුළුවන්. වැදගත්ම දේ මේ ගම පරිසරය හා තදින් බැඳී පවතිනවා. ඒ වගේම මේ දැඩි ලෙස ආරක්‍ෂාකල නකල්ස් කඳුවැටියයි. ඒ නිසා කිසිම අපද්‍රව්‍යයක් එම පරිසරයට මුදා හරින්න එපා. විශේෂයෙන් පොලිතීන් වැනි දේ. ඒ වගේම කෑගසන්න, ගින්දර තබන්න එපා. වනයට ඇතුල් වෙනවානම් පළපුරුදු අයගෙන් සහාය ගන්න. 
මම දුටු ආකාරයෙන් නම් මා 17 වසරකට පෙර දුටු ගම අද නෑ. බොහෝ දේ වෙනස් වෙලා. ගමට පාර පැමිණිමත් සමග ඔවුන්ගේ සිතුම් පැතුම් වල පවා ලොකු වෙනසක් වෙලා. වෙනදාට වඩා වානිජ පරමාර්ථ වැඩි වෙලා. සෑම දේම මුදල් මත කෙරෙන තත්වයක්. උදාහරණයක් ලෙස එහි ප්‍රධාන කර්මාන්තයක් කිතුල් හකුරු. අපේ පළාතේ කිතුල් හකුරු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 375 ක් පමණ වෙයි. එහතේ නිශ්පාදනය කරන මීමුරේ එය රුපියල් 400කි. ඒවායේ මම මුලින් ගිය වතාවේ තිබූ උසස් තත්වය දැන් නැත. කිතුල් පැණි සම්බන්ධයෙන්ද මෙය එසේමය. නිශ්පාදන තත්වය බාල වීම හා මිළ වැඩිවීම එම ගමටත් පොදු දෙයක් වී ඇත. එමෙන්ම අපේ රටේ ඇති දුෂ්කර ගම්මාන හා සලකන විට මීමුරේ තවදුරටත් දුෂ්කර ගමක් කියා කියන්න නම් මට කිසිසේත්ම නොහැකිය. එහෙත් මීමුරේට පසුව හමුවන දන්දෙණිකුඹුර හා ගලමුදුන යන ගම්මාන තවමත් දුෂ්කර ගම්මාන වේ. 
මේ පිළිබඳ තවත් විස්තර වැප්ගේ පෝස්ට් එකෙන් බලන්න.
ගිහිනි එන්නම්.
සුභ දවසක්..!!!